Wednesday, May 26, 2010

තී මට තී මට කියමින් බිඟු පෙල ඇය අවටම රඟතී . . . . !



මම පුංචි කාලේ ඉඳන්ම අපේ ගෙදර අය අතරින් අම්මයි මමයි කැමති බොහෝ වෙලාවට එක වගේ සිංදුවලට. වෙලඳ සේවයේ විකාශනය වුනු අසන්නන්ගේ ඉල්ලීම්, නිවේදක තෝරයි, අම්බිගා ගීතයෙන් ගීතය, ආරාධනා සවර දැහැන, හිංදී ගී පැය, පිබිදෙන ගායක පරපුර, අයි.ටී. එන් එකේ නිශාන්තය, යාත්‍රා . . රූපවාහිනියේ හද රැඳි ගී . . . ආදී ඒවා අපි දෙන්නගේම කැමතිම වැඩසටහන්.

අක්කා ඇහුවේ . . ඇහුවේ කිව්වට බැලුවේ අයි.ටී. එන් එකේ එහෙම නිතර ගිය ඉංග්‍රීසි සින්දු තමයි. නන්දා මාලනී, වික්ටර්, අමරදේව, සුනිල් එදිරිසිංහ මගේ ලෝකයේ වීරයෝ වෙන කලේ අක්කගේ ලෝකේ හිටියේ බෝයි ජෝර්ජ්, ජෝර්ජ් මයිකල්, පෝල් යන්ග්, මැඩෝනා, සින්ඩි ලෝෆර් වගේ කට්ටිය.

ඉංග්‍රීසි සින්දු අහන අයට සෙකන්ඩ් නොවී ඉන්න කියලා මමත් ඉඳලා හිටලා එකක් දෙකක් අහනවා . . කටපාඩම් කර ගන්න හදනවා. පෝල් යන්ග් ගේ "Love of the common peple" සිංදුව එහෙම ඒ කාලයේ පොඩ්ඩක් කටපාඩම්.



ඒ අතර දවසක් බෝයි ජෝර්ජ් ගේ කැමීලියන් සින්දුවේ වචන වැරදියට කියලා අක්කා මට හෙනම හෙන නෝන්ඩියක් දාපු හැටි තාම මතකේ තියෙනවා.

නංගී නම් මැරෙන්න හැඩුවේ මයිකල් ජැක්සන්ට . . ඒකත් මයිකල්ගේ සිංදුවලට තියෙන ආසාවටද නැත්නම් තාත්තා ඒවා අහන වෙලාවට බනින නිසා එකට එක කරන්න ඕන කමට අහන්න ආස වුනාද කියලා තාම මට ෂුවර් නෑ. හැබැයි එයා බෝයි සෝන්ලගේ, බැක්ස්ට්‍රී බෝයිස්ලගේ, ස්පයිස් ගර්ල්ස් ලගේ ජේලෝ (Jlo) ගේ සිංදු එහෙම බොහෝම ආසාවෙන් එකතු කරගෙන අහපු බව නම් මම දන්නවා.

අපි ට්‍රිප් යනකොට මම "ජීවන මේ ගමන සංසාරේ" සින්දුව එහෙම කියනකොට අක්කගේ ළමයින් එක්ක එකතු වෙලා "අපෝ 18වෙනි සියවසේ සිංදුනේ ඕවා" කියලා නංගීත් භාතියගේ ඉරාජ්ගේ සිංදු එහෙම කිව්ව වුනත් . . .මාමගේ ඔල්ඩ් හිට්ස් කියලා මගේ සිංදුවලට නෝන්ඩි දාපු අක්කගේ ලොකු කොල්ලා උගේ කැම්පස් එකේ යාලුවෝ ඒවා කියනවා අහලා තේරුම් අරගෙන මාමා අහන සින්දු "මාරයි" කියලා.

කොහොමින් හරි අපි හැමෝම එක එක වර්ගයේ සිංදු ඇහුවා . . වැඩක් කරන අතරේ සින්දුවක කෑල්ලක් මුමුන මුමුන හිටියා. ඒත් අපි දැකලා නෑ අපේ තාත්තා ආසාවෙන් සිංදු අහනවා කවදාවත්ම. අපි නිතරම තාත්තට බනිනවා "අපෝ අර මල ජරා දේශපාලනේ තමයි මෙයාගේ හොඳම විනෝදාංශේ . . ඔයා මෙලෝ රහක් නෑ නේ "කියලා .

දවසක් අහම්බෙන් මට ඇහුනා තාත්තා ගීතයක කොටසක් මුමුනනවා.

"ජීවන විල මැද වැජඹෙන කැකුලකි රූබර වූ යුවතී . . ."

අපි ඒක නෝට් කලා කියලා එයාට තේරුනාම අම්මගෙන් අහනවා "කවුද ඒයි ඒ සිංදුව කියන්නේ . . ඒක හරිම ලස්සනයි" කියලා.

"ඒක කියන්නේ සුජාතා අත්තනායක" කියලා පැනලා දුන්නු මම . . . සිංදු නාහන, ඒවට වැඩිය කැමති නැති, අපේ තාත්තාත් අහන්න නම් එයාගේ සිංදු ගොඩක්ම හොඳ ඇති කියලා හිතාගෙන . . . එදා ඉඳන් සුජාතාගේ සිංදුත් බොහෝම ආසාවෙන් අහන්න පටන් ගත්තා.

. . . .



සුජාතා වැඩිපුර සිංදු කියලා තියෙන්නේ චිත්‍රපටි පසුබිම් ගීත කියලයි මම හිතන්නේ. බලන්න මේ ගීත නිකන් අහලා පුරුදුයිද කියලා .. .

. . . ..

මේ මහ රෑ හමු වූ ස්ත්‍රිය චිත්‍රපටියේ ගීතයක්

ජීවන විල මැද වැජඹෙන කැකුලකි

ජීවන විල මැද වැජඹෙන කැකුලකි රූබව වූ යුවතී
තී මට තී මට කියමින් බිඟු පෙල ඇය අවටම රඟතී . .
ජීවන විල මැද වැජඹෙන කැකුලකි රූබව වූ යුවතී

ළහිරු රැසින් පිබිදෙන පියුමින් රොන් බී මත් වුන බඹරා
මියුරු හඳින් ඒ ගී නවතා යයි පියුබේ හද අඹරා
නෑ එන පාටක් නෑ එන පාටක් ළතැවෙයි පියුම අනේ
ආ මට කෑමක් ආ මට කෑමක් තවෙකෙක් බඳිති සෙනේ

අවරට යන හිරු සවසාට් බැස යයි ගුම් නද දැන් නොඇසේ
රසයට රැවටුනු නෙළුමද හැකිලෙයි පුන්සඳ දැක අහසේ
ඒකයි දෛවය නෙළුමේ ඒකද යුවතියගෙත් දෛවේ
දාකයි දෙකකයි පමනයි විසිතුර එය ජීවන මහිමේ

. . . ..

මේ ගීතය ඔක්කෝම හරි චිත්‍රපටියේ

ආදරේ මන්දිරේ

ආදරේ මන්දිරේ සඳළුතල එලිවෙලා
මීවිතේ මී පිරී පිටාරය එයි ගලා . . .

සුවඳ අරගෙන ඔබේ සුළඟ මාවෙත ඇදේ
සුහද කිම ඔබ පමා සුසුම් වැල් යයි හමා . .

ගඟක බිහිවන සුලී වැනිය හද සිතුවිලී
නයන සනහන පුරා කොහෙද මගේ පෙම්බරා . .

. . .

ජෝතිපාල සමඟ මේ ගීතය ගයා තිබෙන්නේ ස්වීප් ටිකට් චිත්‍රපටියට

ආවා පෙම්වතා යන්නේ

ආවා පෙම්වතා යන්නේ
ඇයි ඔයා දෙනුකෝ
පෙම් සිනා ආදරෙයි කියා . .

සුලඟක් හමාවී සිසිලක් දැනේවී . .
සුදුහඳ හාමී මට හිනැහේවී . .
ඔබගේ තොල්වලා අතරේ
හැංගිලා ඉන්නයි
මා සොයා ඉන්නේ බලා. . .

දෑසින්ම නොබලා දෑතින් නො අල්ලා
ඈතින්ම රැඳිලා සැපැතා නොවේවී .. .
පායා චන්ද්‍රයා දීලා
පෙම් සිනා යාවී
හැංගිලා ආදරෙයි කියා

. . .

දුහුළු මලක් චිත්‍රපටියේ අපූරු ගීතයක් අබේවර්ධන බාලසූයිය සමඟ

බොඳ මීදුම් කඳු රැල්ලේ

බොඳ මීදුම් කඳු රැල්ලේ සුරංගනා රජ දහනේ
ඔබේ සිනා කඳුලු බිඳක්
හෙටත් වාසනා හෙටත් වාසනාවන්
සින නදී රල රැල්ලේ පැතුම් රුවල් රන් ඔරුවේ
ඔබේ නිම මෙත් රාගී මටත් වාසනා මටත් වාසනාවන්

හිතක තැවුල් සංසිඳිලා මිටියාවත මල් ඉසිලා
මල් වරුසා සුවඳ සමය මටත් වාසනා මටත් වාසනාවන්
රෑසියන්ගේ නොනිමි නාද සැවුල් කොවුල් විහඟ ගීත
අපට ඇරුනු හුදකලාව හෙටත් වාසනා හෙටත් වාසනාවන්

මාල හතක් පලඳනන්ට හීන හතක් එලි වනන්ට
දොලොස් මහේ පහන් එලිය මටත් වාසනා මටත් වාසනාවන්
අනාගතය කිරුළු දරා දෙපා මුලට වඩින තුරා
ළවන් පොඟන මියුරු තෙපුල් හෙටත් වාසනා හෙටත් වාසනාවන්

. . . .

මේ මගේ ප්‍රියතම ගීතයක් . . .හැංගි හොරා චිත්‍රපටිය වෙනුවෙන් හරූන් ලන්ත්‍රා සමඟ

හංස රාණී ආදරේ

හංස රාණී ආදරේ . . මදාරා පරසතු විලේ
මීවිතේ මදිරා බොනූ . . මගේ හිත උදුරා ගනූ . .

හංසයානෙනි ආදරේ . . මදාරා පරසතු විලේ
මීවිතේ මදිරා බොනූ . . මගේ හිත උදුරා ගනූ . .

ඉගිල්ලෙන්නට තටු සලා පියාපත් සවිබල වෙලා
අඳුර ආලෝකය වෙලා සොඳුරු හීනය එලිවෙලා

ආදරේ මල් පල දරයි දුගී පැල රස මුසු කරයි
රිදී මිණි මුතු මිල නොවෙයි මාලිගය සිත ගිය තැනයි

. . .

මේ සකුන්තලා චිත්‍රපටියේ ගීතයක්

හර්දේ රස මාලිගේ

හර්දේ රස මාලිගේ ප්‍රීති වේ මා හදේ
ඔබේ දායාදේ .
පැතුවේ මේ ජීවිතේ මහදේ ආලෝකයේ
හර්දේ රස මාලිගේ

සිය හදේහී ම රස ගන්වා පැතුවේ මෙමා
දරු සෙනෙහේ නි හදවත් හි පැතුමන් තබා
ඔබ ආවාදෝ මා වාගේ බිඳක් සොයා
මේ ජීවිතයේ

ලොව රන්වන් වූ ආලෝකේ දල්වා තබා
ඔබ එනකන් මා සිටියේ මේ ගීතේ ගයා
ප්‍රිය රස දේහිනී මා ආවේ සොයා මේ
ජීවිතයේ

. . . .

ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කල පරසතු මල් චිත්‍රපටියේ ගීතයක්

පරවුනු මල් වල සුවඳ අතීතේ

පරවුනු මල් වල සුවඳ අතීතේ
පර සතු මල් ලඟ විසිව ගියාවේ
දුවගේ මුවින් එන කැකුළු හිනාවේ
එලිය මැදින් හෙට දවස උදාවේ

අතට වළලු මම කොහින් සොයම්දෝ
පයට ගිගිරි මම කොහින් සොයම්දෝ
ඉනට හවඩි මම කොහින් සොයම්දෝ
දුවට මවක මිස පියෙකු කොයින්දෝ . .

දාවල ගෙවිලා අඳුර ගලනවා
ඈත ලොවක නිදි දෑස පියෙනවා
හීතල පාළුව ඉවුරු පිපෙනවා
ඒ අතරින් දුව දොරට වඩනවා

. . . .


rare moment where two extra-ordinary voices of the continent merged; Sujatha Attanayake with Mohmad Rafi. Her Eldest son, Heli Attanayake also present.


Sujatha with her grand children Ayodh Attanayake and Sandesha Attanayake


With "Parasathumalwal Suwanda Athithe .. " Sujatha Attanayake immortalized the film " Parasathumal". Music for the film was composed by maestro Lionel Algama

39 comments:

  1. ඇගේ හඩ නිහඩ වීම ඇත්තෙන්ම..කිව නොහැකි පාඩුවක්...

    ReplyDelete
  2. මම ආසම සුජාතා අත්තනායක මහත්මියගෙ "සැතපෙන කල විඳ නිදි සුවේ" කියන ගීතයට.

    මම පොඩි කාලයෙදී මෙතුමිය මගේ ලොකු නැන්දාගෙ සංගීත ගුරුවරිය වෙලා හිටියා ගුරු විදළ්‍යාලයේ. මම කිහිප සැරයක්ම ( එතකොට මට අවුරුදු 6ක් විතර ඇති ) මෙතුමියගේ ගෙදර ගොස් තියෙනවා. ඇය ඇයගේ දරුවන් ඉතා හොඳ විනයක් ඇතිව ඇති දැඩි කලා. දවසක් මම නැන්දා සමග මෙතුමියගේ ගෙදර යන විට ඇයගේ පුතුන් තිදෙනාවම සාලයේ දණ ගස්වා තිබුනා. අපි එහුමියගේ ගෙදර ගත කල මුලු කලයම, මම හිතන්නෙ පැය දෙක තුනක්ම ගියත් ඔවුනට නැගිට යන්න අවසර තිබුනේ නෑ.

    ඇයගේ දෙවනි පුතා හමුදවේ කපිතාන් කෙනෙකු ලෙස සේවය කර කොකාවිල් සම්ප්‍රශණ කුලුනට එල්ල කල කොටි ත්‍රස්තවාදී ප්‍රහාරයෙදී ඉතාමත් අභීත ලෙස අවසන් මොහොත දක්වාම සටන් කර කොටින්ට යටත් නොවී තම රාජකාරී පිස්තොලයෙන්ම වෙඩි තබාගෙන තම ජීවිතය රට වෙනුවෙන් පූජ කලා.

    ReplyDelete
  3. වෙලඳ සේවයේ විකාශනය වුනු අසන්නන්ගේ ඉල්ලීම්, අම්බිගා ගීතයෙන් ගීතය,ආරාධනා ස්වර දැහැන, හිංදී ගී පැය තව වෙලඳ සේවයේ හයිඩ්බ්රනයිඩ් ගීයෙන් ගීය..මමත් හරි අාසාෙවන් අහපු බලපු වැඩසටහන්.ආරාධනා ස්වර දැහැන තවමත් සිටි FM ඒෙක් යනවා. ලංකාවේ ඉද්දි නම් නොවරදවා ඇහුවා. සුජාතා අත්තනායක මහත්මියගේ ගීතත් හරිම සැහැල්ලුවෙන් අහන්න පුළුවන් ගීත. කොළඹ කඩිමුඩියේ දිවයන බෝඩිම් ජීවිත වලට මේ ගීත වලින් උපරිම සැහැල්ලුවක් ගන්න පුළුවන්.
    ඩිටෝල් සබන් කෑල්ලක් ඇග ගාලා නාලා රෑ කෑම සෙට් වෙනකම් ඇද උඩට වෙලා ලයිට් ඕෆ් කරගෙන ඉයර්ෆෝන් එක කනේ ගහගෙන මේ වගේ කාලාත්මක ගීත වලට සවන් දුන්නු මට දැනුනු සැහැල්ලුව දවසේ සියළුම කර්කශක රළු පරළු දේවල් ශරීරයෙන් ඉවත් වුනා වගේ හැගීමක් .
    ඇගේ ගීත වලින් මම ආසම හර්දේ රස මාලිගේ ප්රී ති වේ මා හදේ ඔබේ දායාදේ ගීතයට . මේ වගේ ගීත අහන්න අපේ දෙසවන් පින් කරලා තියෙනවා කියලා හිතෙනවා

    ReplyDelete
  4. ඕක තමා කියන්නෙ කොච්චර අලුත් 'සිංදු' ආවත් අපට අන්තිමට ඉතිරිවෙන්නෙ අපි හැමදාමත් ආසාවෙන් රසවින්ද 70-80 දශකවල 'ගීත' කියලා...

    ReplyDelete
  5. නියම අදහස්ටික..

    ReplyDelete
  6. පරසතු මල් ගීතයට මම හැමදාමත් කැමතියි. ඇත්තටම 70, 80 දශකයේ ගීත අදටත් අහන්න පුළුවන්, අද බිහි වෙන සංගීතයට වඩා.

    ReplyDelete
  7. මම වැඩියෙන්ම කැමති කෙනා ගැන අද දුකා අයියා ලියලා තියෙන දේ මදි වගේ කියලා මට හිතුනා අයියේ. වෙනදටනම් හෙන හෑල්ලක් ලියනවා :(

    මම සුජාතගෙ කට හඬ තරම් මිහිරි කට හඩක් තවත් නෑ.වැඩියෙන්ම ආස " බොද මීදුම් කදුලැල්ලේ " සහ " අද හවසට මා හමුවනු මැනවි " කියන ගීත දෙක. මේ තමා උපරිමය...සංගීතයේ උපරිමය..දැන් තියෙන රැල්ලෙ ගීත නිකම්ම නිකම් පුස්...

    ස්තුතියි දුකා අයියේ..ගොඩාක් ස්තුතියි

    ReplyDelete
  8. ගෙන යන අතීතෙට සැමරුම් පොදි බන්දා
    සැනසුන රසිකයන් මොන තරමද මන්දා
    එන යන ගීත ‍රැළි වල හිරිවත බින්දා
    පිනවන මෙ ගී හැමදාමත් රස බැන්දා

    ReplyDelete
  9. මට තව දෙයක් අමතක උනා. සුජාතා අත්තනයක මහත්මියගෙ "සාදු දන්තදා" කියන ගීතය මගෙ ලමා කාලයේ සුන්දරම මතකයන් යලි මෙනෙහි කරවන ගීතයක්. මම පොඩිම කාලෙ අපේ ගෙදර ලියිට් තිබුනෙ නෑ. ගෙදර එලිය කලේ පැට්‍රල් මැක්ස් කියන ලාම්පුවකින් සහ චිමිනි ලාම්පු වලින්. රෑ කලුවර උනහම අපෙ ආත්තම්ම, නැන්දල ඉස්තෝප්පුවට එකතු වෙලා ඉතාමත් සුන්දර ගීත ගයනවා. මගේ ආත්තම්ම නිතරම කියන සින්දුව තමයි මේ ගීතය. ඇය ඉතාමත් ලයාන්විතව මේ ගීතය ගයනවා. ඒ වෙලවට අපි ( මම සහ මගේ අක්ක සහ මගෙ නැන්දලගෙ පුතාල ) මිදුලට වෙලා කණාමැදිරියො අල්ලනවා.

    අවාසනාවකට වගේ මේ ගීතය ඇයගෙ කිසිම සීඩී පටියකට හෝ කැසට් පටියකට අතුලත් කර නැහැ.

    ඒත් වාසනාවකට මට ඒක මෙතනින් හොය ගන්න පුලුවන් උනා.

    මේ ගීතය ඇසෙන හැම වාරයකම මම ඇස් දෙක පියා ගන්නවා. එතකොට මම ඉන්නෙ ආයෙමත් මගෙ ඒ සුන්දර ළමා කාලේ මගෙ අක්ක සහ අනිත් මල්ලිලා එක්ක කණාමැදිරියො අල්ල අල්ල. මට ඇහෙන්නෙ මගේ ආත්තම්ම මේ ගීය ඈතින් ඉඳන් ගයනව වගේ.

    ReplyDelete
  10. සුජාතා ඇන්ටිගෙ, "ඔන්චිල්ලා තොටිලි කොයින්දෝ..." සින්දුව හරිම ලස්සනයි

    ReplyDelete
  11. එළ මචං.
    (නොහදුනන මචං විසින්..)

    ReplyDelete
  12. @Sinuwara Hasuna!
    කතාව ඇත්ත . . යුද්ධය අපිට කොයි තරම් නම් දේවල් අහිමි කලාද . . ?

    @මාරයා!
    ඔව් ඇත්තෙන්ම ඒත් අපේ ගායක ගායිකාවන්ගේ එදා ගැයූ ගී අමරණීය නිසා ඇගේ හඬ අඩ දවසේ නෑසෙන එක ඉවස ගෙන ඉන්න පුලුව්න් මොකද අපි තාමත් රස විඳිනෙන ඒ ගීතම නිසා නැද්ද?

    ReplyDelete
  13. පොඩි කාලෙනන් ඇත්තටම සුජාතා අත්තනායක කියන්නෙ මම අකමැති ගායිකාවක් ;) ඊට ගොඩ කාලෙකට පස්සෙ තමයි ඒ සිංදු රසවිඳින්ඩ පටන් ගත්තේ. මම කැමතිම පරසතු මල් චිත්‍රපටයේ සිංදුවට. පුදුම ලස්සනක් තියෙන්නේ ඒකෙ. නියම පෝස්ට් එකක් දුකා අය්යා...

    ReplyDelete
  14. @dhumee !
    මචං ඔයාගේ මේ තොරතුරු ගොඩක් වටිනව කියලා හිතෙනවා මේ බ්ලොග් එක බලන අයට.

    මගේත් ප්‍රියතම ගීතයක් ඒක.

    අද උදෙත් මම හිතුවා ආයේ දවසක සුජාතා ගැන පෝස්ට් එකක් ලියන්න ඕන කියලා පහත සඳහන් සින්දු ටිකත් එකතු කරලා

    1. සැතපෙන කල විඳ නිදි සුවේ
    2. අද හවසට මා හමුවනු මැනවි (දිල් සඳහන් කරපු සිංදුව )
    3. බොලන් පොඩි නංගි ටිකක් හිටපන්
    4. හතර අතින් කළු කරගෙන වහින වෙලාවේ . .
    5. ඔන්චිල්ලා තොටිලි කොයින්දෝ

    ReplyDelete
  15. දුකා, හරිම අපූරුයි. මේකට, වික්ටර් සමග ගයන 'ආදර පූජාසනේ', ත් එක් කරන්න පුළුවන් වුණා නම් අගෙයි. කොහොම උනත්, මේත් ඇති. බොහොම ස්තුතියි.

    ReplyDelete
  16. @ගීත්!
    ඔව් මචං අද තියෙන කර්කෂ සංගීත කන්ඩායම් ගීත එක්ක මේ ගීත සංසන්දනය කලාම අපි මේ ගීත අහලා විඳපු විඳිල්ල කොයි තරම් වටිනවද කියලා හිතෙනවා.

    @Buratheno!
    ඒකනේ මචං . . ආ අර උඹ එව්ව සිංදු ටිකට බොහෝම ස්තූතියි . . අපි ඒවා මේ ගීත ලොලීන්ටත් බෙදා දෙමුද . . මොකෝ කියන්නේ . . ???
    මේ බ්ලොග් එකට, මේ ලිපිය කියවන්න එන .. ඒ අයත් අනිවාර්යෙන් උඹයි මමයි වගේම ඒවට කැමති අය . . .

    ReplyDelete
  17. @Nadun Dissanayake, nirahankaara ahinsakaawi!
    තැන්කූ තැන්කූ . . . !
    ඔයාලා පෝස්ට් එක කියවලා පස්සේ කාලෙකින් අහන්න බැරි වුනු මේ ගීත ටික අහලා සතුටු වුනානම් මට ඒ ඇති . .

    @Ansh Lucky Sri Jay!
    ඔව් නගේ ඒ ගීතය පුදුමාකාර ශෝකී රසයකින් යුක්ත ගීතයක්.
    ඒක ඇත්ත ඒ දශක දෙකේ බිහිවුනු ගොඩක් ගීත හා ගොඩක් නිර්මාණ තමයි අපි අදටත් අමුවෙන් හරි . . රැප් කරලා හරි මොඩිෆයි කරලා හරි රසවිඳින්නේ

    ReplyDelete
  18. @දිල්!
    මම ලියන ඒවා හිග වැඩී කොට කරන්න කියලා කියනවා . . ඔන්න ඉතිං කොට කරල ලිව්වම දිග මදි කියනවා . . අනේ මන්දා හි හි . .
    ම් ම් මමත් ආසයි ඒ ගීතයට. මේ ගීත බොහොමයක් අපේ පාර්ටි වලට එහෙම නැතුවම බැරි ඒවා

    @විහඟ ගීතය!
    අතීත සැමරුම් නම් අගනා සලු පිලි අන්දා
    අගය විඳී සහෘද කැල මන බන්දා
    හිරිවත බිඳි නවමූ ගී නම් ගී නොවූ හින්දා
    විඳිමු අපි හැම මේ ගී අම රස කැන්දා

    ReplyDelete
  19. @දුමී!
    මේ දෙවෙනියට තැබූ පුන්චි සටහන ම අපි හැමදෙනාවම අපූරු සුරංගනා ලෝකෙකට ගෙන ගියා වගේ දනවන සටහනක් මචං . . . ස්තූතියි ඒ දුර්ලභ ගීතය ගැන සහෘද පිරිස දැනුවත් කිරීම ගැන හා එය බෙදා හදා ගැනීම ගැන.

    @Ano!
    ඔව් ඒ ලස්සන සින්දුව සූර චෞරයා ෆිල්ම් එකේ . . . හරිම සංවෙදී ගීතයක්.
    ඔංචිලා තොටිලි කොයින්දෝ
    රන් සළුපිලි වලළු කොයින්දෝ
    දොයි දො පුත ළපටි බිලිඳෝ
    රන් කඳ රැක දේවි සුරින්දෝ
    . .
    රුසිරින් සරු මල් සර පරදා
    නුවණින් ගණපති ලෙස සැමදා
    තෙරුවන් වැද දෙවියන් පුදලා
    මිනිසුන් මැද මිනිසෙකු වීලා
    සිතමින් මවගේ කතා
    දොයි දොයි දොයිය පුතා
    . .
    සලකනු පරපන තම පනසේ
    හොර බොරු නොකරනු කිසි දවසේ
    ඉපදුනු රට දැය සහ සමයයි
    රැක මළ පසුවද නම නොමැරෙයි
    හිටියොත් හොඳට හැඳී
    දෙවියොත් නමට වඳී

    ReplyDelete
  20. @එරංග!
    තැන්කූ තැන්කූ . . . !

    @චමිල!
    ඔව් මළේ මමත් ඉස්සර ඉඳන් ඇහුවා උනාට ආසාවෙන් අහන්න ගත්තේ අපේ තාත්තා අහනවා දැකපු දවසේ ඉඳන් තමයි. ඊට පස්සේ තමයි තේරුනේ ඒ හඬ කොයි තරම් සංවේදීයිද කියලා.

    @සචී !
    "දෙවියනි ඔබ කොහිද?" ෆිල්ම් එකේ ඒ සිංදුවත් ඉස්සර ඉඳන් අහලා තිබුනාට ඔයා කිව්වම ආයේ අහලා බැලුවාම තමයි තේරුනේ . .
    ඇඟේ මයිල් කෙලින් වුනා ඒක හැඟීමකින් අහන කොට . . එල එල (හි හි )සචී ඒක ගැන කිව්වට . ..

    ReplyDelete
  21. පහුගිය ටිකේම අතරින් පතර පොස්ට් කියෙව්වත් කිසිම සටහනක් තියන්නේ නැතිව ගියා, කෙටියෙන් ලියන්න ඇති අකැමැත්ත නිසාම.

    ඒත් මෙ පොස්ට් එක කියවා එහෙම යන්න බැහැ.

    සුජාතා අත්තනායකයන් ගේ ගීත ගැන ලියන්න ගියොත් කොතැනින් පටන් ගෙන කොතැනින් අවසන් කරන්න ද හිතා ගන්න බැහැ. එකක් කියන්න පුලුවනි, ඇගේ ගීත කවදත් අළුත්, ඒවා පරණ වෙන්නේ නැහැ.

    ReplyDelete
  22. මචං දුකා, 'සඳ රැජිනියණේ' ගීතයත් අමතක කරන්න එපා. . . . .

    ReplyDelete
  23. ඇත්තටම මේ ලිපිය නෙතගැටුණාහම හිත සතුටින් පිරුණා.....ඇය මගේත් හිත් ගත්ත ගායිකාවක්...
    මට මතක හැටියට ඒ අසූවෙ දශකයේ මුල් භාගය...අපේ ගමටම තිබුණේ එකම එක රූප පෙට්ටියයි..අඟල් දොළහේ කළු සුදු රූප පෙට්ටියක්...ඉතිං විදුලිය එහෙමත් නෑ නෙව ඒ කාලෙ...චිත්‍රපටියක්,එහෙම නැත්නම් නන්දන වින්දන වගේ වැඩසටහන් බලන්න ගමේ ඈත කෙළවරේ ඉඳන්ම උදවිය හුළු අතු පත්තුකරන් එනවා.....ඉතිං ඒ සන්දියේ මටත් ඉතිං පොදුයිනෙ ඔය කාරණය...
    එහෙම බලපු එක නන්දන වින්දන වැඩ සටහනකදි මගේ නෙතගැටුණා ඇලිස් බෑන්ඩ් (මම හරිද මන්දන්නෑ...ඉතිං මං ඕවා පාවිච්චිකරණ එකක් යෑ)එකක් දාගත්තු ලස්සනට සාරියෙන් හැඩවෙච්චි අව්‍යාජ සිනහාවකින් මුව සරසාගෙන අංගනාවක් කකුලෙන් තාලෙ අල්ලන ගමන් සිංදුවක් කියනවා...මට මතක හැටියට ඈ කිව්වෙ මේ සිංදුව..

    බොලං පොඩි නංගි ටිකක් හිටපං..
    බුලත් විට කන්න නෙවෙයි...
    වෙල ළන්ද ලඟින් සුදු බණ්ඩි අදත් ඇවිදින්..
    හමුවෙන්ඩ එයා මට යන්ඩ හිතයි තනියෙං..

    සම්බන්ඳෙ අපේ දන්නැත්ද නගේ...හුඟ ඈත කළක් හෙම නෑ..
    ගම්මැද්දෙ ඉතිං හැදුනාට කතන්දර...ඒකෙවගක් මට නෑ..

    කරකාර බඳින්නට නංගි හිතයි මට..හිත කෝළ සිතුම් එනවා..
    අප්පච්චි අපේ ඉඩ දුන්නෝතින් අපි..හද්ද මඟුල් කනවා..

    පදවැල හිත පතුලෙම තැන්පත්වුණා...එදා ඉඳන් ඇයගේ ගීත හැමකක්ම වාගේ රස විඳිනවා...ඇත්තට ම ඒ ගීතවල රසය මේ මොහොතෙත් හිතට දැනෙනවා...ම්..ම්..තව සින්දුවක් මතක්වුණා..මේ දිනවලටම ගැලපෙන ගීතයක්...මෙහි විශිෂත්වයකුත් නැතුවා නොවෙයි...ඒ දවස්වල දහම්පාසැලේ විවිධප්‍රසංගයේදී පසුකාලීනව මගේ පලමු ප්‍රේමය මේ ගීතයට නර්තනයෙන් දායකවනවා මතකයි..

    ඉතිපිසෝ භගවා අරහං
    සම්මා සම්බුද්ධෝ….///
    මල් සුගන්දේ දම් සුගන්දේ සිල් සුළන් රැලි පාවෙලා
    සම්බුදුන් සම්භාවනීයයි සාධු සාධු වන්දනා
    මිහින්තලාවයි දහම් අමාවයි ශාන්ත අනුබුදු නාමයයි
    කාට කාටත් මේ කියන්නේ සාසනේ ඉතිහාසයයි
    රත්නමාලී සෑ රදුන්ගෙන් දෙව් බඹුන් පූජා ලබයි
    මේ මහා ගල් කුල් කියන්නේ ඒ උතුම් අභිමානයයි
    මල් සුගන්දේ ……
    රැල් නගා හෝ ගා ගලන්නේ ජාතියේ ජය පානයයි
    සිංහලේ විරුවන් කියන්නේ මේ පොලොන්නරු දේශයයි
    දාගැබයි මහ මේඝයයි නිල් වන් ගුවන් ගැබ යාවුනේ
    ගල් කුලින් සිත්තම් වුනා දෝ මෙත් සිහිල් කරුණා ගුණේ
    මල් සුගන්දේ ……
    මහා රජුන් තුන් සිංහලේ මෙහෙමයි එදා දස්කම් කලේ
    ඒ උතුම් දහමින් සමාජේමත් මහා විස්කම් කලේ
    ධීර වීරයි පූජනීයයි නෑ නිමක් ගුණ ගායනේ
    දෙව් මහා දෙවිඳුන් රකීවී මේ අපේ බුදු සාසනේ///

    බෙග් මාස්ටර් එක්ක ගයපු මේ ගීතයත් හරිම ලස්සනයි නේද???
    කොහොමනමුත් ඇය දැන් ලංකාවෙ පදිංචිය නැහැ මයෙහිතේ...කොහේ හිටියත් දශක ගනණාවක් රසික හදවත් සනහාපු පිනෙන් නීරෝගීව වැජඹේවා...!!!

    සුලා..

    ReplyDelete
  24. Sujaatha Aththanayakage samaharak geethawalata mamath kemathi. namuth nawa parapura gena dakwana adahas nisa wayasaka kenek unath paudgalikawa eyata mama kemathi nehe. maha aluguththeru minissu. ITN ekata ape gedara TV balanna ena kattiya kiyanne "ane mahaththayo Idel eka daanna kiyala" dukaa ge akkath mage parapure mama hitanne. mage sangeetha blog eke parana sindu daanawa. niwadu paadu welaawaka balanna.

    game gihin yaaluwekge computer eken comment daanne ekai English

    happy wesak to and ur family ....!!!

    ReplyDelete
  25. රසවත් පෝස්ට් එකක්.....සුජාතා අත්තනායක මහත්මියගෙ ගීත වලට මාත් ගොඩක් ආසයි

    ReplyDelete
  26. සම්බන්ඳෙ අපේ දන්නැත්ද නගේ...හුඟ ඈත කළක් හෙම නෑ..
    ගම්මැද්දෙ ඉතිං හැදුනාට කතන්දර...ඒකෙවගක් මට නෑ..

    කරකාර බඳින්නට නංගි හිතයි මට..හිත කෝළ සිතුම් එනවා..
    අප්පච්චි අපේ ඉඩ දුන්නෝතින් අපි..හද්දා මඟුල් කනවා..

    සොයුරේ සුලා, මේ පදපෙල ගයන සුජාතා අත්තනායක මහත්මියගේ නිහතමානී සිනාව ඔබ අපූරුවට රූපකරා. තුති සෙයුර.

    ReplyDelete
  27. දුකා මලයට ස්තූතියි මේක දැම්මට... මාත් හරිම ආසා සින්දු ටිකක්..
    දැන් තියෙන චොකා බයිලා වලට වඩා මේ පැරණි ගීත වටින බව වටහා ගැනීමවත් ලොකු දෙයක්නේ....
    එපමණක් නොවෙයි.. සුජාතා මැතිණිය වගේ .. ඒ කාලෙ තව කොතරම් හොඳ , දක්ෂ ගායක ගායිකාවෝ හිටියද....?

    ReplyDelete
  28. 94 දි විතර පැපිලියානෙ ටයිප් සෙටිං කරන තැනකින් මගේ වැඩ වලට ඔ්නතරන ටයිප් සෙටිං කරවගත්තෙ. උදේ ඉඳන් රෑ වෙනතම් රස්තියාදු වෙලා තමයි පුංචි ලයින් එකක් ගහත්තෙ. ඇපල් ක්ලැසික් එකකුයි පර්පෝමා එකකුයි තමයි තිබුනෙ . දවසක්දා සුජාතා අත්තනායක කියන විශිෂ්ට ගායන ශිල්පිනිය මෙතනය ආවා එක දිගට සතියක් විතර. හමුදාවෙ පුතාලා වෙනුවෙන් කරන ප්‍රසංගයක සමරු කලාපයක වැඩක් කරවා ගන්න. මේ කාලය ඇතුලත මේ අග්‍රගන්‍ය ගායාකාව සමග ලංකාවේ ගායන සංගීත සහ ප්‍රසංග කලාව ගැන ගොඩක් දේකතාකරන්න විරල අවස්ථාවක් ලැබුනා. අපේ හිතවතෙකුග පුතෙක් වුන මේජර් රුවන් රාජපක්ෂ මල්ලි නැති උනෙත් ල්ලිත් නැතිවෙලාතිබුනේඅ ැයගෙ ඇයගෙ පුතා මියගිය සටනෙදි වීමත් අපි අතර නෑකමක් ගොඩ නැගෙන්න හේතුවක් වෙන්නැති.

    ReplyDelete
  29. අය්යා මට කියන්න පුළුවන් සුජාතා අත්තනායකගේ සිංදු විතරයි මම ලංකාවේ ගෑනු කටහඬකින් රස විඳින්නේ කියලා. ලතා නිකම්ම හූ කියනවා වගේ.ඇන්ජලීනුත් මම මොකටද පරදින්නේ කියලා හිතාගෙන වගේ තව හයියෙන් හූ කියනවා.අළුත් පරම්පරාවේ නම් නිරෝෂා විරාජිනී ඇරෙන්න අනිත් අය ගැන කතාකරන්නවත් වැඩක් නැහැ.නිරෝෂාගෙත් සුජාතා අත්තනායකගේ කතහඬේත් පොඩි සමානකමක් තියෙනවා.ඒක නිසා වෙච්ච සන්තෑසිය ගැන වෙනම ලිපියක් ලියන්න වටිනව.

    ReplyDelete
  30. මටනම් හිතෙන්නෙ 70 80 දශකයෙ ගීත වඩා ජනප්‍රිය උනේ සංගීතය නිසා කියලා.. සිංහලෙන්ම කිවොතින් එව්වා බොක්කටම වදිනවනේ දුකා අයියේ :-D මාත් මාර අස ගායිකාවක් තමා මේ..මරූ...!

    ReplyDelete
  31. @ගල්මල්-Coral !
    ඩීන් . .
    උඹ, මම, තිසා, සුලා, දුමී, සචී වගේම මේ බ්ලොග් අවකාශේ පොඩි උන් පවා මේ ගීතවලට ආදරය කරන බව දැන ගන්න ලැබෙන එක කොයි තරම් හිතට සතුටක් ගෙන දෙයක්ද කියලා කියන්න ඕන නෑ නේ මචං . . ඉත්ං එහෙම එකේ කොයි තරම් වැඩ වැඩි උනත් කමෙන්ට් එකක් නොදා යන්න හිත හදා ගන්න බැරිවුනු බව අහන්නත් දෙයක්ද . .

    @දුමී!
    ඔන්න මචං ඒකත් නෝට් කර ගත්තා . . !

    ReplyDelete
  32. @සුලා!
    අනේ මචං මට නන්දන වින්දන වැඩ සටහන ගැන සඳහන් කරන්න මගහැරුනා.

    ඔව් ඔව් අපිත් ඔහොම තමයි . . අපිත් ටී වී බැලුවේ අපේ හොඳම යාලුවලගේ (අක්කගයි මගේයි ) ගෙදරින් මොකද එයාලගේ තාත්තා සීමන් කෙනෙක් නිසා අපේ පැත්තෙන්ම එයාලගේ ගෙදර තමයි ඉස්සෙල්ලාම ටී වී එකක් තිබුනේ.

    බොහෝම පස්සේ කාලේක තමයි අපේ ගෙදර එකේ වැඩසටහන් බලන්න මරා ගන්න වුනේ . .

    සුජාතාගේ ඇලිස් බෑන්ඩ් එකට අපිත් හිනාවුනා මචං . . "බලන්නකෝ මේ මනුස්සයා පොඩි කෙල්ලෝ දාන එකක් දාගෙන " කියලා.
    සුජාතාගේ සිංදු වලින් මගේ නම් වැඩිපුරම හිත ගත්තු සිංදු කෑල්ල තමයි . .

    එදා ඉඳන් මඟ බැලුවා විඳ අමෝද සුවේ
    දෑතේ වළලු රන්ඩු කලා අඩි සද්දෙට නුඹේ
    සිතේ පැතුම් සනහා හදේ සිනා නංවා
    ඔබේ සෙවන සදා වාසනා . .

    හතර අතින් කළු කරගෙන වහින වෙලාවේ
    මට මුවා වෙන්න ගසකුත් නැති සැඳෑ වෙලාවේ
    අතර මඟක සිටි මා
    කුඩේ යටින් කැන්දා
    ගෙදර ගිහින් ඇරලූ දා . .
    මතකයි අද වගේ

    කාලෙකින් අහපු නැති නිසා වචන වැරදිද මන්දා . . !!

    අහ් අර දෙවෙනි සිංදුවට පෙම් කතාවකුත් ගෑවිලා හියෙන නිසා කොහොමට වත් උඹට අමතක වෙන එකක් නෑ හි හි

    ඔව් මම හිතන්නේ කාලෙක ඉඳන් පිට රට කියලා තමයි ආරංචිය මචන්. .

    ReplyDelete
  33. @මාතලන් !
    මචන් ඔයාගේ ඒ බ්ලොග් එක නම් පට්ට . . මම හෙන ආසාවෙන් රසවිඳිනව සමහර වෙලාවට . .
    ආයේ නිවාඩු වෙලාවක ඊකයි උබේ අනිත් එකෙයි පැල් බැඳගෙන ඉන්න වෙනවා අද දැක්කා හෙන ගොඩක් පෝස්ට් මිස් වෙලා කියලා.
    ම් ම් ම්
    මාම් සුජාතාගේ නව පරපුර ගැන අදහස් නම් දන්නේ අනෙ මචං ඒත් මට හිතෙන්නේත් අද නව පරපුර පැරනි ප්‍රවීන අයට නියම ගරුත්වය ලබා දෙන්න දන්නේ නෑ කියලයි.

    එක උදාහරණයක් කියනවනම් එක නව පරපුරේ තරුවක් වුනු ගායිකාවක් ඩුබායි ඇවිත් පැරණි ප්‍රවීණ ගායිකාවකගේ සිංදු ගොඩක් එයාගේ ඒවා කියලා නිකමට වත් අර ගායිකාවගේ නම සඳහන් නොකර යන්න ගියා . . . ගීත රස වින්දා උනත් අපිට (මටයි අපේ ගෙදර උන්දැටයි) නම් අම්බානක මළ පැන්නා

    ReplyDelete
  34. @හසිත ජයසූරිය!
    ඔය ඉන්නේ . . . . !
    අළුත් පරමපරාවත් මේ අපේ ඒවටම කැමතියි කියනෙන මොන තරම් ජොලි වැඩක්ද . .

    @ගල්මල්-Coral !
    ඔව් මචං මටත් මැවිලා පේනවා සුලා කිව්වා වගේ ඇලිස් බෑන්ඩ් එකක් දාගෙන සරලව කකුලක් හොල්ල හොල්ල සුජාතා සිංදු කියල හැටි !

    @kumaraya !
    ඒකනේ . .අපි කොයි තරම් වාසනා වන්තද මේ පුංචි රටේ මේ තරම් වටින ගායක ගායිකාවෝ රැසක් ලබන්න තරම් . .

    ReplyDelete
  35. @Chinthaka !
    "මේ කාලය ඇතුලත මේ අග්‍රගන්‍ය ගායාකාව සමග ලංකාවේ ගායන සංගීත සහ ප්‍රසංග කලාව ගැන ගොඩක් දේකතාකරන්න විරල අවස්ථාවක් ලැබුනා."
    ලියනන්කෝ අයියා ඒ ගැන මොනා හරි අපි හැමෝටම වැදගත් වේවී ඒවා.

    "නිරෝෂාගෙත් සුජාතා අත්තනායකගේ කතහඬේත් පොඩි සමානකමක් තියෙනවා.ඒක නිසා වෙච්ච සන්තෑසිය ගැන වෙනම ලිපියක් ලියන්න වටිනව"
    ලියනන් ලියනන් මලේ අපි වෙලාව ලැබෙන ලැබෙන විදිහට කියවන්නම් . . හැබැයි කාලෙකින් උඹේ බ්ලොග් එක පැත්තේ යන්න නම් බැරි උනා මලේ සමවෙයන් ඒකට අම්බානක වැඩ කොල්ලෝ . .
    ම් ම් ම් මම නම් ඇන්ජිගේ, ලතාගේ සිංදුවලටත් කැමතියි . . . අපේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ මහා යෝධ කුළුනුනේ බන් එයාලා

    @Bunny ! !
    සංගීතය විතරක්ම නෙමෙයි කොල්ලෝ පද රචනයත් ඒ කාලේ ගීත වල උපරිමයි . . අද එලියට එන බොහෝ ගීත වල පද රචනය ගැන නම් කතා කරලා වැඩක් තියෙනවාද . .

    ReplyDelete
  36. ඵ්ල දුකා නියමයි

    ReplyDelete
  37. මෙය පරණ පොස්ට් එකක් වුණත් අදයි අහම්බෙන් දැක්කෙ. එදත් අදත් ගායක ගායිකාවන්ගේන් මා ප්‍රියතම ගායිකාව සුජාතා. මගේ දැනිමේ හැටියට සුජාතා ලංකාවේ අසහාය ගායිකාව ලෙස සලකමි. ඒකට හේතු ගොඩාක් තියෙනවා. එකක් පමණක් කියන්නම්. අද බලන්න ඔබ කවුරුත් දන්නවා හැම රූපවාහිනී නාලිකාවකම සුපර් ස්ටාර් මෙගා ස්ටාර් ඩ්‍රීම් ස්ටාර් වැන් ස්ටාර් තරග වැහි වැහැලා. හොදට අවධානය යොමු කරල බලන්න ඒ වලට එන ආධුනික ගායිකාවක් වැඩිපුරම ගායනා කරන්න තෝරාගන්නේ කුමන ගායිකාවගේ සින්දුද කියලා.තව අදහස් පස්සෙ දෙන්නම්. මගේ ප්‍රියතම ගායිකාව ගැන් ඔබ ලියූ මේ පෝස්ට් එකට ස්තුතිවන්ත වෙනවා.

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails