Thursday, May 17, 2018

තුන්සිත දැහැන් ගත වෙනා . . !


මගේ මැණික ඔන්න කිව්වා, අර ලොකු රිදී පාට තිරේ දිග ඇරෙන කතා වල හිටියට, ඒවායේ ඉන්න ජාතියේ, උදේ නැගිටලා පාන් ටෝස්ට් කරලා - බිත්තර ස්ක්‍රැම්බල් එක්ක - තේ එක ඇඳ ලඟට ට්‍රේ එකක ගෙනත් දෙන ප්‍රේමවන්තයා නෙමේ මම.

ඔයා මොන ගොංකම කලත් හිනා වෙලා "ආ ඒකට කමක් නෑ අපි ඒක හදාගමු" කියන, වැඩ ඇරිලා ගෙදර එනකොටම "ඔයාගේ ෆේස්බුක් ප්‍රොෆයිල් පික් එකට අද හවස හාට් රියැක්ෂන් දාපු සක්කරවට්ටම කවුද" වගේ ජාති කියලා ඇඟට ගොඩවෙන්න හදනවනම් - හිනා වෙලා විහිලුවක් කරන ප්‍රේමණීය පෙම්වතා නෙමේ මම.

ෂූටින් ගිහින් ආපු ගමන් ඇඳගෙන ආපු ඇඳුම් ගලෝලා හිතෙන හිතෙන තැන් වලට විසිකරන, උදේට නාලා ඉවර උනාම බිම ඉහිරුනු වතුර වයිප් නොකරන, නිදිමත ආපු ගමන් සැටියේ වැටිලා ගොරෝ ගොරෝ නිදියන, චූ කරද්දී කොමඩ් එකේ ලිඩ් එක ඉස්සුවත් ෆ්ලෂ් කරන්න අමතක වෙන්න ඉඩ තියෙන, සරල සාම්ප්‍රදායික ප්‍රේමවන්තයෙක් තමා මම හොඳේ !

ම් ම් ම් හා එහෙනම් මම ඒවට හැඩගැහෙන්න ට්‍රයි කරන්නම්කෝ . .

හැබැයි රත්තරන් ඔයා දැන ගන්න මමත් රේඩියෝ එකේ - ටීවී එකේ - ස්ටේජ් එකේදි අහන් ඉන්න  රසිකයන්ගේ ඇස් වලින් කඳුලු එන ජාතියේ දුක් ගී කිව්වට, වැලහින්නි වගේ අඬා ගත්තු ගමන් ඉන්න ගෑනියෙක් නෙමේ මම.

ගී පද රචකයෝ රචනා කල ජීවිතේ මේ තරම්ම සුන්දරද කියලා ගී පද ගැයුවට හැබෑ ජීවිතේදි සර්වශුභවාදී විදිහට ජීවිතේ දකින ගෑනියෙක් නෙමේ මම.

උදේ යද්දී බායි කියන්න අමත උනොත් මුලු දවසෙම තරහින් ඉන්න; මගේ අතින් වීදුරුවක් කැඩුනොත් හොරෙන් කුනු කූඩෙට දාන - ඔයා ඔයා එකක් බින්දොත් "මේ ගෙදර හැමදේම විනාස කරනවා" කියලා මාසයක් විතර ආඩපාලි කියන; අවුරුදු 10කට 15කට කලින් දවසක හරි ඔයා කරපු වැරැදි වල දිනය - දවස - තැන - අවස්ථා සම්බන්ධය මතක තියාගෙන ඉන්න, මට ඕන ඕන වෙලාවට ඒවා මතක් කරලා රන්ඩුවෙන; ලොකේ වටේම ට්‍රිප් එක්ක ගියත්, යන්න බැරි උනු එක තැනක් ගැන කියලා "මාව කොහේ වත් එක්ක ගිහින් නෑ" කියලා චෝදනා කරන හරිම සරල පෙම්වතියක් තමයි මාත් හොඳේ !


තුන්සිත දැහැන් ගත වෙනා
සිතුවිලි සසල කරවනා
පදවැල් අතර ගැයෙන
ස්වරයෙ සප්ත වරුණ
සිත ළඟ ගයනවද ඔයා . .

තුන් පැය අතර නිමවෙනා
මතකය අතර රැ‍ඳවෙනා
සිනමා පටයෙ රැ‍ඳෙන
සුන්දර සිහින රැඟුම
හිත ළඟ රඟනවද ඔයා . .

නෙතකට කඳුළ ගෙන දෙනා
නරඹන සිතද හඬවනා
දුක්බර ප්‍රේම රැඟුම
සුන්දර පියවි ලොවක
රඟන්න කියන්නට එපා . .

තනිකම සිතට කැඳවනා
තනිවම සිතින් වැලපෙනා
දුක්බර විරහා ගැයුම්
සුන්දර පියවි ලොවක
ගයන්න කියන්නට එපා . .

පෙම්බර වදන් වැල් විනා
දුක්බර දෙබස් නම් එපා
සිනමා ලොවක මිසක
දිවියක සැබෑ ලොවක
දුක්බර රැඟුම් නම් එපා . .

සුන්දර අදහසක් කියා
දුක්බර පදවැලක් ලියා
සත්සර අතර මිසක
සුන්දර සැබෑ ලොවක
දුක්බර ගැයුම නම් එපා

Pic from

8 comments:

  1. කමල්ගෙ හඬ නම් මගෙ හිතට මදි. ඒත් මේ සිංදුවට ගැලපෙන්නම නීලාගේ වොයිස් එක. ඒ කටහඬ තමයි සිංහල සංගීතයේ පපුව කීරිගහන " ආයාචනාත්මක" හඬ. නීලාගේ කටහඬේ තියෙන අහිංසක - නිර්මල හඬ වෙන කාටවත් ගායිකාවකට තියෙනවා කියලා මම හිතන්නේ නෑ. කරුණාසේන ජයලත් හිතපු ගැහැණු ළමයි කුසුම් ට හරියටම හරි යන හඬ නීලාම තමයි.

    මේ මං දකින ඒ ආයාචනාත්මක හඬ !

    සත්සර අතර මිසක
    සුන්දර සැබෑ ලොවක
    දුක්බර ගැයුම නම් එපා
    - තුන්සිත -

    සිරිත් ලෙස කුල ගෙයට යනදා
    හීනයක් සේ මතක් වෙයි මට
    අපේ අසරණ බිඳුනු පෙම් ලෝකේ
    - පාරමී දම් පුරමු -

    මල් පොහොට්ටු මා හදේ සුරංගනා පොකුණේ
    මල් වරම් ලැබ පිපෙන තුරා ඔබ නටුවෙන් බිඳිනු එපා
    - බෝධියේ විහාරයේ -

    මගේ කදුළු හංගා මා සිනා සිසී ඉන්නේ
    ඔබේ ලොවේ හිරු පායා සදා සිනාසේවා
    - වියෝ ගී ගැයෙනා හදේ -

    වැළපුණ දා ඔබ හිනැහුණු බැව් මා 
    රිදුණ හිතින් පවසන්න ඇති
    සාගර ජලයත් මදි හැඬුවා මම
    ඒ බව ඔබ තව දන්නෙ නැති
    - මේ අයුරින් අපි : පිළිතුරු ගීතය -

    සවන් පිරූ සත්සර මැද්දේ
    ඔහුගෙ ගී හඬ මට ඇසුනේ
    මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
    - දවසක් දා රෑ -

    සොඳුරු ළමා විය උදුරාගෙන යන්නට පෙර අම්මේ
    පෝලියෝ එන්නත් බිඳු කීපෙන්
    බේරාගන්න ඔබේ දරුවා
    - පෝලියෝ මර්දන වැඩසටහන -

    මාස්ටර් සර්
    මගෙ හිමිතැන මට දෙන්න
    අනේ සර් කරුණාවෙන් සලකන්න
    - පනම් අටෙන් -


    ReplyDelete
  2. සිරා විග්‍රහය

    ReplyDelete
  3. අතිශයින් ආදරණීයයි.

    ReplyDelete
  4. මම ආසම කරන සින්දුවකට ලියූ අපූරු සටහනක් දුකා.

    ජයවේවා!!!

    ReplyDelete
  5. ඔව් ඔව්.. එහෙම නොවෙන තරමට හොඳයි.. ඒත් හදා ගන්න දේවල් තියෙනවා වගෙයි... හී හී

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails