Saturday, December 15, 2012

බාල වියෙන් පිටමං වී . . . යොවුන් වියට පියමැන්නේ . . . ප්‍රිය ළඳුනේ . . . නුඹ නිසායි . . . !


මේ කතාව කොතනින් පටන් අරගෙන . . . කොහොම ලියනවද කියලා මම දවස් ගානක් තිස්සේ හිතුවා . . . හිතල හිතලා මගේ හිත පඹ ගාලක පැටලිලා වගේ තිබුනේ මේ දවස් කීපයේම . . . . කොතනින් කොහොම උනත් . . . ලියන්නම ඕන කියල මට මගේ හිත කරපු තර්ජනය නම් නොසලකා හරින්න මට බැරි උනා . . .

වික්ටර් රත්නායක මහත්මයා ගායනා කරන "හුරතලේට කවි කියමින් එහෙ මෙහෙ ගිය මං . . . බාල බොලඳ බස් දොඩමින් කැලේ පැන්න මං . . . බාල වියෙන් පිටමං වී . . . යොවුන් වියට පියමැන්නේ . . . ප්‍රිය ළඳුනේ . . . නුඹ නිසායි . . ." ගීතය අහල තියෙන කෙනෙකුටත් . . . කරුණාසේන ජයලත් මහතා විසින් රචිත "ලස්සන ඇස්" නවකතාව කියවල තියෙන කෙනෙකුටත් . . . . . . ඒ ගීතයෙත් . . . නවකතාවෙත් . . . සමහර කොටසුත් මගේ මේ කතාවෙත් යම්කිසි සමාන ගතියක් තියෙනවා කියල හිතෙන්න පුලුවන් . . .



ඇත්තෙන්ම මේ සිදුවීමෙන් සෑහෙන කාලෙකට පසු මම ඒ ගීතයත් . . . නවකතාවත් . . . රසවින්ඳට පසු මම දෑස් පියාගෙන අතීතෙට ඉගිලිලා ගොස් යලි යලිත් ඒ සුන්දර අතීතය මනසින් ස්පර්ශ කලා . . .

කිසිවෙක් මගෙන් අසුවොත් මා වැඩියෙන්ම ආදරේ කරන්නේ . . . පාසැලේ ගතකරපු අතීතයටද . . . දහම් පාසැලේ ගතකරපු අතීතයටද කියල . . . . වචන දෙකක් නෑ මම නම් කියන්නේ මා දහම් පාසැලේ ගතකරපු අතීතයට කියලා . . . එය එතරම්ම සොඳුරුයි . . . ආශ්වාදජනකයි . . . දැනටත් ඒ කාලය ගැන සිතන කොට . . . මොකද්දෝ කියාගන්න බැරි . . . කිතියක් වගේ හැඟීමකින් . . . හිත සිහිල් වෙනවා . . . හරියට සිහිනෙන් දිව ගෑ සුවඳක් වගේ . . .

මේ සිදුවීම සිදුවෙන කාලෙ වෙනකොට මම පාසැලේ 8 වසරෙ . . . දහම් පාසැලේ 6 ශ්‍රේනියේ . . . මගේ වයස 13ක් නැතිනම් 14ක් පමන ඇති . . .

ඔය කාලේ මම විනෝදාංශෙට කලේ ඔය වයසෙ හැම ළමයෙකුම කරනව වගේ . . මාළු ඇති කරන එකයි . . මුද්දර එකතු කරන එකයි . . . පාට පාට පිහාටු එකතු කරන එකයි . . රට රට වල කාසි එකතු කරන එකයි. . .හැකි හැමවෙලාවෙම යාළුවොත් එක්ක සෙල්ලම් කරන එකයි තමයි. . .

දහම් පාසැල . . . 
නුපුරුදු ජාතික ඇඳුම හෙවත් සුදු අත්දිග කර පියවපු කමිසයයි . . දාංගලේට කඩා ගනී කියල බයට ඉනට තද වෙන්න අක්කගෙ පරන ලේස් පටියකින් ගැටගහල අම්ම හිරට අන්දපු සුදු කොට කලිසමට උඩින් අඳින සුදු සරමයි ඇඳල . . . අපේ වත්තේ අරලිය ගහෙනුත් . . ඉද්ද ගස් වලිනුත් කඩාගත්තු සුදු මලුත් අහල පහල ගෙවල් වලින් ඉල්ලගෙන කඩාගත්තු පාට මලුත් . . වට්ටියක දාගෙන . . . අම්ම පොල්තෙල් ගාලා පැත්තට පීරපු කොන්ඩෙ අවුල්වෙයි කියල බයට දුවන්නේ නැතුව . .සුදු ළමා සාරි ඇඳගත්තු අක්කයි . . නංගියි එක්ක . . . පෙලට දහම් පාසැල් ගිය පුංචි කොල්ලව මට මේ දැනුත් මැවිලා පේනව . . . .

අනේ කොච්චර අහිංසකද . . . ඒ පුංචි එකා . . .

දහම් පාසැලේ කලා සංගමේ මමත් සාමාජියයෙක් නිසා නිතැතින්ම මම ඇසුරු කලේ මට වඩා වයස 5-6ක් හෝ 7-8ක් හෝ වැඩිමහල් සොයුරු සොයුරියන්ව . . . මට වඩා අවුරුද්දක් බාල "තරුශි" ත් මාත් තමයි අපේ කලා සංගමේ වයසින් අඩුම දෙදෙනා . . .

අපේ මිතුරු මිතුරියන් වුනේ පර්ල් අක්කා,ළලනිශා අක්ක,චමින්ද ,ලෝචනා අක්කා,සමන් අයියා, වසන්ත අයියා, ලතිකා අක්ක, දිනේන්ද්‍ර අයියා, නිරෝශා අක්කා . . . සමහර නම් මතකයෙන් ගිලිහිලාත් ගිහින් . . . . එහෙම නොවී තිබේවියෑ . . . . . දැනට කොපමන කාලයකට පෙරද . . ?

මගේ වයසෙ අනිත් ළමයි විවේක කාලයේදී සරම ගලවල පැත්තක තියෙන ගහක එල්ලල යටට ඇඳන් ආපු කොට කලිසම පිටින් සෙල්ලම් කරද්දි . . . මම යන්නේ මගේ දයාබර අක්කල අයියල ටික හොයාගෙන . . !

"තරුශි" . . . .
හ්හ්හ්ම්ම්ම්ම්ම් . . . තළෙලු . . සිහින් සිරුරක් තිබූ . . නිතරම එහෙ මෙහෙ දුවන චංචල . . කතාකරන දෙනෙතක් තිබූ . . . විනාඩියක් එක තැනක එකවිදිහට ඉන්න බැරි තරම් දඟකාර . . . "තරුශි" . . . . . . !

මට ළමා වියෙන් යොවුන්වියට පා තබන්නට මඟ සලකුනු කියා දුන් . . "තරුශි" . .

"දහම් පාසැලේ සංවත්සර උත්සවය . . . " 
අපි හැමදෙනාම පුල පුලා බලා සිටින . . . ආදරණීය සංවත්සරය . . . . !

මමත් ගායන කාංඩායමේ සාමාජිකයෙක් නිසා පාසැල් වෙලාවෙන් පසුව පවත්වන රිහසල් වලට "මෙයාට ස්කෝලේ වැඩකටවත් නැහැනේ මෙහෙම උනන්දුවක්" කියා බනින අම්මගේත් . . . "ඔය ඉතිං පර්ල් ලයි, ලළා ලයි, ලතිකලයි, තරුශියි එක්ක මුකුළු කර කර ඉන්න තියෙන හදිස්සියනේ " කියා ඇනුම්පද කියන අක්කගෙත් . .බැනුම්, ඇනුම්පද . . වම් කනෙන් අසා දකුනු කනෙක් පිටකර හැර , තියෙන දෙයක් කා බී දඩිබිඩියේ රිහසල් වලට දුවන ආදරණීය සංවත්සරය . . . . !

රිහසල් වල විවේක කාල වලදී අක්කල අයියල එයාලගේ පෙම්වතුන් පෙම්වතියන් සමඟින් පෙම්බස් දොඩද්දී දෙපැත්තකට වී ඉන්න අපි දෙදෙනාට ඔවුන්

"උඹල දෙන්නත් සෙට් වෙලා ලව් කලානම් හරිනේ " කියා සමච්චල් කරත්දී . . . පුංචි අපේ හිත් වලටත් කුමක්දෝ නොදන්නා හැඟීමක් ගලා එන්න ඇති . . . .

එක තැනක එක විදිහට ඉන්න බැරි ඇගේ දාංගලේ පැත්තකට විසිකොට . . . මම ප්‍රමාද වී දහම් පාසැල් ආ දිනෙක . . . ගේට්ටුව අසල ඇති බුලු මුලේ වාඩිවී . . . මා එනතුරු . . . දෑස් දලවා බලා සිටි ඈ . . මා ලඟට එනවාත් සමඟ අතේ ගුලිකරගෙන සිටි නාරංබික් ලොසින්ජර අහුරක් මගේ අතේ තැබූ සැටි මට අද මෙන් මතකයේ තිබෙනවා . . . අනේ පුංචි අපි . . . !

පසුකලෙක ගොළුහදවත නවකතාව බැලූ පසු දම්මි සුගත්ට වෙරළු අහුරක් දිගු කල සිදුවීම මට මගේ යටගියාව සිහිපත් කලා . . .

අන්තර් දහම් පාසැල් නාට්‍ය තරඟයක් අපේ දහම් පාසැලේ සංවිධානය කර තිබුනා . . පිට දහම් පාසැල් වලින් පැමිනි සොයුරු සොයුරින්ට හැඩ ගැන්වීම සඳහා පංති කාමරයක් බැගින් ලබාදී අපේ කට්ටියේ අය ඔවුන්ට අවශ්ය යමක් ඇත්නම් සපයා දීමේ බලාපොරොත්තුවෙන් එකිනෙකා එක් එක් පංති කාමර බෙදා ගත්තා . . .

තරුශිටයි මටයි පංති පේලියේ කෙලවරේම පංතියක් ලබාදී තිබුනේ . . .

"උඹල අපේ පංතිත් ටිකක් බලා ගනිල්ල ළමයිනේ . . . අපි තේ එකක් බොන්න යනෝ . . ." කියාගෙන අක්කලා ටික අපිව තනිකර පැන ගියා . . .

වෙස්ගැන්වී අහවර උනු අය රංගශාලාවට ගියපසු ඔවුන්ගේ බඩු මුට්ටු ප්‍රවෙසම් කිරීමට ඉතිරි වූයේ ටික වේලාවකට ඇයත් මාත් පමනයි . . .

ඇගේ දෑතිම අල්ලගත් මා "මම ඔයාව ඉඹින්නද . . ." කියා ඇසුවා . . .

හා කියන දෙය කටින් නොව දෙනෙතින් පැවසූ ඇය . . . ඇගේ කම්මුලක් මගේ පැත්තට හැරවූවා . . .

මා සිනිදුවට ඇගේ කම්මුලක් සිප ගත්තා . . .

දැනටත් මතක් වෙද්දී හීන් සිනාවක් මගේ මුවට නැගෙනවා . . අනේ පුංචි අපි . . . !

ගැහැනු ළමයි නවකතාවේ ලොක්කයියාගෙත් කුසුම්ගෙත් කුඩාකල පටන් බැඳි වචනයයෙන් "මම ඔබට ආදරෙයි " නොකියූ පෙම මෙන් අපේ කුඩා පෙමත් සුන්දරව ගලා ගියා . . .

අපේ පාසැලේම මගේ නමම තියෙන අයිය කෙනෙක් ඇගේ ආච්චිලගේ ගෙදර ඇනෙක්සියේ පදිංචිවී සිටියා . නිවාඩුවට ආච්චිලගේ ගෙදර ගොස් ආපසු පැමිනි ඈ බොහෝ සෙයින් වෙනස් වී ඇති අයුරක් මට දැනුනා. පෙර මෙන් පෙම් බැලුම්, පෙම් සිනා,කෝමල කතා අතුරුදන්වී ඇති සැටියක් මට දැනුනා .

දිනක් ඉහත සඳහන් අයියාගේ මිතුරෙක් මා හමුවට පැමින, මල්ලී ඔයා අර තරුශි එක්ක ෆිට් නේද ? මේ ලියුම සුභාෂ් අයියා දුන්නා කියල එයාට දෙන්න කියලා මගේ නම ඇති සොයුරගේ නම සඳහන් කර මට ලිපියක් දී ගියා . . .

විදුලියක් වැදුනු සැනින් කෙනෙකුට කුමන හැඟීමක් දැනේවිදැයි මට එදා දැනී ගියා . . . .

ලිපිය ඉරා විසිකරන්න තරම් ක්‍රෑර නොවූ මා විවේක කාලයේ ඈ අතට ලිපිය දුන්නේ වෙව්ලන දෑතින්.

මගේ දෙනෙත් දෙස බැල්මකුදු නොහෙලූ ඇය එය ගෙන ගොස් පොතක් ඇතුලේ දමා විත් මා පසුකර කැන්ටිමට ගියේ මා කවුදැයි නොදන්න අයෙකු ලෙසින්.

එදින දහම් පාසැල නිමා වෙන තුරු කාලය මා කෙසේ ගෙවා ගත්තාදැයි මටම සිතා ගත නොහැකි වුනා. හැමදාම ප්‍රමාද වී යන අපේ කන්ඩායමෙන් වෙන්වී ඈ තනිවම ඉක්මන් ගමනින් පා නගනු මා දුටුවා.

සරම කොනකින් උස්සා ගත් මා වේගයෙන් දිවගියා. පන්සල මෙහා පැත්තේ වූ කෝන්ගස අසලදී මට ඈ හමුවූවා . . . .

"තරුශි. . . මට කියන්න ඇයි ඔයා ඔහොම කරන්නේ . . . ඔයාට ඔහොම කරන්න පුලුවන්ද ? මගේ සියලු ප්‍රශ්න වලට ඇගේ පිලිතුර නිහඬ බව පමනක් වූවා . . .

"අඩු තරමින් මට කියන්න ඔයා ආදරේ කරන්නේ මටද . . . නැතිනම් සුභාෂ් අයියාටද ? "

පුංචි මගේ මුවට එවැනි වදන් කෙසේ ආවාදැයි අදටත් මට සිතා ගත නොහැකියි . . .

කිසිදු පිලිතුරක් නොදුන් ඈ . . . අප දෙදෙනා . . . දෙදෙනාගේ නිවෙස්වලට යාමට වෙන්විය යුතු මංසන්ධිය හෙවත් පංසල පිටුපස කාක බෝධිය අසලටම ඇගේ එදින හුරුකරගත් ඉක්මන් ගමනින් පැමින . . .

"සුභාෂ් අයියාට කියා . . . මගේ දෙස වත් නොබලා පවසා පොත් ටිකත් ළමැදට තදකරගෙන ළමා සාරියේ මැදින් ටිකක් ඉහලට ඔසවාගෙන වේගයෙන් දිව ගියා . . . .

මාළු ටැන්කි හතක පමන ගෝල්ඩ් ෆිශ් . . ෆයිටර් . . සීබ්‍රාස් . . ඒන්ජල්ස් . . ආදී මාළු වර්ග ආසාවෙන් ඇතිකල . . . ලොකු පොත් 4ක් පිරෙන්න රට රට වල මුද්දර එකතු කල . . . පාට පාට පිහාටු . . . කාසි වර්ග එකතු කල . . . නමුත් දැන් ඒවාට ආසාවක් නැතිවී . . . ළමා වියෙන් එලියට පැනගත් . . . යොවුන් වියේ එලිපත්ත මත හිඳි කුඩා ලමයෙක් . . . අසල වූ කාක බෝධිය පසුපසට වී . . . මංසන්ධියේ මැදට වී . . . දුරින් දුවන . . . කුඩා දැරියක දෙස වේදනාවෙන් බලා හිඳින තවත් දරුවෙකු දෙස . . . අසරන හැඟීමන් බලා සිටියා . . . . !!!

Tuesday, November 27, 2012

වැලි කතරේ අපි . . .!

091111115843-large

ගිනිගෙන දැවෙනා මිරිඟු දියෙන් පිරි
වැලිකැට පුපුරන වැලි කතරක් සරි
ගහක් කොලක් නැති දිය කඳුලක් නැති
මරු කතරක් ගැන ඇසුවෙමි බිය ඇති

මිනිසුන් යති එති කහවනු ගෙන එති
මැදුරුද තනවා සිටුවරු මෙන් වෙති
කහවනු ඇති මුත් බෝ දුක් එහි ඇති
කතරට යන්නට නොසිතනු පවසති

ගත සරසන්න සළු පිලි නැති මුත්
කුස පුරවන්නට මසවුළු නැති මුත්
කරදර අඟහිඟ බෝ දුක් ඇති මුත්
කිම යනු කතරට සුරපුර මෙහි වෙත්

දේසපාලුවන් මුලු රට වනසති
මහජන මුදලින් සෙල්ලම් පෙන්නති
ජීවන වියදම අහසට උඩයති
දුප්පත් අපගේ බඳපටි තදවෙති

දෙමාපියන් හා අඹු දරු විඳවති
නොබලා ඉන්නට සිත සවි බල නැති
මරු කතරේ නොව මරු මුව තුල ඇති
කහවනු ගන්නට යන්නට සිත ඇති

ආවෙමි කතරට උන් ගැන සිතලා
දහදුක් වින්දෙමි උන් සැප පතලා
කතරේ දුක් ගිනි සිත තුල වලලා
සිනා සිසී ඉමි උන් දෙස බලලා  . . .!

Pic from: http://www.sciencedaily.com/releases/2009/11/091111115843.htm

Monday, October 8, 2012

අයියෝ සති දෙකයි . . .!!

429349_418556011542903_1006425663_n
ආන්ඩු පක්ෂෙම මන්ත්‍රී වරයෙක් උනු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාව මැතිවරණයක් දවසේම මහපාරේදී ස්වර්ගස්ථ කලා. මිනීමරුවන්ට රැකවරණය දීලා රට පැටෙව්වා කියලා චෝදනා කලා. මිනිස්සු කතා කලා, ෆේස් බුක් එකේ ගමේ කෝපි කඩේ හැම තැනම කතා කලා. කොයි තරම් කාලයක්ද? සති දෙකයි. ඉන් පස්සේ අපිට අමතකයි. Open-mouthed smile

ඩෙංගු මදුරුවෝ මැරුවේ නෑ කියලා කැලනිය පැත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කෙනෙක්ව පාර්ලිමේන්තුවේ ඉන්න දුටුගැමුනු රජතුමාගේ පරම්පරාවෙන් පැවත එනවායි කියන ඇමැති කෙනෙක් විසින් ගස් බැන්දා. ගස් බැන්ද එකා දිවුරුම් පෙස්සමක් දීලා කිව්වා ඌ ම ඌව බැඳ ගත්තා කියලා. අපි කතා කලා. අපි ඒක ගැනත් කතා කලා. කොයි තරම් කාලයක්ද? සති දෙකයි . . . Open-mouthed smile

"හදවතින් අපි යුධ බිමේ ඔබ තනි කලේ නැත කිසි දිනේ" කිය කියා අපි යුද්ධේ තියෙන කාලේ මැරෙන්න හැදුවා. අපිට නිදහස් රටක ජීවත් වීම වෙනුවෙන් යුධ බිමේ ජීවිත පූජා කරන රණවිරුවෝ වෙනුවෙන් ලේ ඇට මස් වුනත් පූජා කරන්න තරම් ලෑස්ති විදිහට උන්නු අපේ  ඉස්මොල ගිනි ගත්තා බුද්ධි අංශයේම ඉඳන් රට වෙනුවෙන් සේවය කරපු මේජර් කෙනෙක්ට ඔලු කට්ට කුඩුවෙන්න ඇමැති පුතෙක් ගහපු බව දැන ගත්තාම. සී.සී.ටී.වී වලත් සටහන් වෙලා තිබ්බා කිව්වට පස්සේ මේජර්ම අර ගස් බැඳගත්තා කිව්ව සෞඛ්‍ය පරීක්ෂක කිව්ව විදිහටම කිව්වා මට ඌ ගැහුවේ නෑ ඌ මට ගැහුවේ නෑ කියලා. අපි ලේ රත් කරගෙන කතා කලා. කොයි තරම් කාලයක්ද පිංවතුනි . .. වැඩිම උනොත් සති දෙකයි . . Smile with tongue out

පුතාලට නයිට් රේස් තියන්න, එයාලගේ ආසාව සංසිඳවන්න ඉන්දියාවෙන් නිලියෝ ගෙන්වන්න ලෝස් නැතුව මහජන මුදල් වියදම් කලාට රටේ දරුදැරියෝ වෙනුවෙන් අධ්‍යාපනය වෙනුවෙන් දැනට වියදම් කරන 1.86% වෙනුවට අවම වශයෙන් සීයට 6%ක් දෙන්න කියලා විශ්ව විද්‍යාල වල ආචාර්‍යවරු පාරට බැහැලා වර්ජනය කරනවා. අපි ෆේස් බුක් එකේ ප්‍රොෆයිල් ෆික් එකත් සීයට 6ක් දීපියෝ කියාලා තියෙන එකක් දාගෙන ඒ ගැන උදේ හවා කතා කරනවා. (ෆේස්බුක් එකේ විතරක් නෙමේ හැබෑ ලෝකෙත්) අදටත් සක්‍රියව තියෙන ඒ අරගලය ගැන අපි උද්යෝගයෙක් කතා කලේ කොයි තරම් කාලයක්ද? සති දෙකයි . . සති දෙකයි . . .  Open-mouthed smile

ඊයේ 20-20 ෆයිනල් තිබුනු දා මිනිස්සුන්ගේ අවදානය වෙන අතක තියෙන වාසිය බලාගෙනද මන්දා අධිකරණ සේවා කොමිසමේ ලේකම්ට ගහලා කපලා හොස්පිටල් එකේ . . අපි ඒ ගැන කතා කරන්න පටන් ගත්තා. . . රටේ නීතිය හැමෝටම සමානව සාධාරන වෙන්න, රට වෙනුවෙන් ගන්න තීරණ රටේ යහපතට මිසක් පවුලක අයට කොමිස් ගන්න ජාතියේ ඒවා නොවන ලෙස වග බලා ගන්න රටේ ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය තනි කනුවක් උඩ අස්ථාවරව තියෙන දෙයක් විදිහට නොවී එකිනෙකාගේ බලය හා තීරණ ගැන ඍජුව ප්‍රශ්න කල හැකි නිදහස් කනු තුනක් ලෙස (තනි කෙනෙක්ගේ අතේ තියෙන දෙයක් නොවන ලෙස ) ස්ථාවර ව තියෙන්න ඕන දෙයක් කියලා අපි කතා කරනවා. මේ කතා කොයි තරම් කාලයක් තියෙයිද? සති දෙකයි පිංවතුනි සති දෙකයි . . . Open-mouthed smile Open-mouthed smile

ඉසෙඩ් ස්කෝර් එක අනා ගත්තා, ප්‍රශ්න පත්තර අල කර ගත්තා, කැම්පස් වැහුවා කියලා එස්.බීට බන්දුලට අපි බැන්නා. කොයි තරම් කාලයක්ද? සති දෙකයි. .. Rolling on the floor laughing

බාල පෙට්‍රෝල් ගෙන්නුවා ඒවා නිසා වාහන මඟ හිට්ටා, එන්ජින් සවුත්තු උනා කියලා සුසිල් ප්‍රේම් ජයන්ත්ට බැන්නා . . . සති දෙකයි ඕයි සති දෙකයි . . Rolling on the floor laughing

දැනට සතියක විතර ඉඳන් ෆේස්බුක් එකේ දිගට හරහට "කියන තැනකත වඳින්නම් ෆයිනල් මැච් එන නම් බලන්න එන්න අපෝ" කියලා කියද්දී මහජන මතය හික් හික් හික් (ෆේස් බුක් එකේ ඉන්න කීප දෙනෙක්ගේ මහජන මතය හික ) තුට්ටුවකට ගනන් නොගෙන මේ අපේ ජනාධිපති මැච් එක බලන්න ආවායින් ෆයිනල් මැච් එක පරාද උනා කියලා මිනිස්සු ෆේස් බුක් එක හරහායි .. කටින් කටයි බනින එකට සමහර අයට හොඳටම තද වෙලා. ඒ අයටත් කියන්න තියෙන්නේ ගනන් ගන්න එපා ලා බන් . . ඔය බැනිල්ල සති දෙකයි . . .

ඕන නම් සති දෙකකට කලින්ම  ඩීසල්, පෙට්‍රෝල්, පාන්, හාල්, ඔය ඕනෑම දේක මිල දෙගුනයක් වැඩි කරලා ජනාධිපතිගේ ජෝකර්ලා සෙට් එකේ එස්.බීගේ හරි මර්වින්ගේ හරි බන්දුලගේ හරි වෙන ජෝකර් කෙනෙක්ගේ හරි ගොන් පාර්ට් එකක් පොඩ්ඩක් උලුප්පලා නිවුස් එකක් දාන්න. අපි ඒ ජෝකර්ට උගේ අම්මට සති දෙකක් තිස්සේ බනින්නේ නැද්ද බලන්න . .. .

ඕන් දැක්කා නේද සිරි ලාංකික අභිමානය සති දෙකයි ඕයි . . . සති දෙකයි . ..

ඒ නිසා අර බනින උන්ට සති දෙකක් දුක යන්නත් එක්ක බනින්න දීලා එහෙම බනිනවා දැක්කාම දුක හිතෙන අය අනේ මේ සති දෙකේ ෆේස් බුක් එන්නේ නැතුව ඉන්න . . මොකටද නිකන් ප්‍රෙෂර් හදාගන්නේ . . හික් හික් හික්

Wednesday, October 3, 2012

Facebook වෝල් පුරවන බෞද්ධ යැයි කියා ගන්නා වානරයෝ . . . !




අපි පරිනාමය වෙමින් පවතින වානරයෝ වෙමු. . . !

වානරයෝ නිතරම බලය මත තමන්ගේ පැවැත්මේ තත්වය රඳවා ගන්නා ජාතියක්.

වානර රැලක නායකත්වය – ගැහැනු සතුන්ගේ අයිතිය වගේ දේවල් හිමිවෙන්නේ කාය ශක්තිය හෝ බලය වැඩි වානරයාට.

අනෙක් වානරයෝ ඔහුගේ නායකත්වය පිලිගෙන ඔහුගේ අණට අනුව ජීවත්විය යුතුයි.

ඒ අණට අකීකරුවෙන එකා එක්කෝ පහරකා වැනසෙන්න ඕන නැති නම් වානර රැල අතහැර තනිවම කැලෑ වදින්න ඕන.

පවුල කියන කුඩාම සංකල්පය ඇතුලේ ස්වාමියා කියන වානරයාට ඕන බිරිඳ කියන වානරයා තමන්ගේ සියළු වැඩකටයුතු නිසි වෙලාවට කර දෙන ඊට අමතරව තම වර්ගයා බෝ කරන වහලියක් වෙනවා දකින්න.

බිරිඳ කියන වානරයට ඕන සැමියා කියන වානරයා තමන්ගේ අතේ නැටවෙන රූකඩයක් කරගන්න.

තාත්තා කියන වානරයට ඕන දරුවෝ, ගෑනි එයාගේ නායකත්වය පිලිගෙන කිසි දෙයක් ප්‍රශ්න නොකර එයාට බයෙන් ඉන්න.

අම්මා කියන වානරයට ඕන තාත්තා සහ දරුවෝ තමන් කියන විදිහට ජීවත් වෙන අය වෙනවා දකින්න.

ලිංගිකව හෝ වෙන භෞතිකමය දෙයකට ආකර්ෂනය නොවී අධ්‍යාත්මිකව ආකර්ෂනය වීම නිසාම ඇතිවෙන මිතුරු සමාජෙකදී උනත් අපිට අපේ අර සම්පූර්ණයෙන් පරිනාමය නොවුනු ලක්ෂන පහල වෙනවා.

එක වානරයෙක්ට ඕන වෙනවා ඒ මිතුරු කන්ඩායමේ නායකයා මඟ පෙන්වන්නා වෙන්න.

සමාජය ගත්තොත් ගමේ මරණාධාර සමිතියටත් නායකත්වයට සභාපති ලේකම් කෙනෙක් ඕන වෙනවා.

සමාජිකයෝ කියන වානරයෝ ටිකට උන් කරන්නේ මොනවද කරන්නේ කොහොමද කියන එක සිවිලයිස් වුනු මනුස්සයන්ට වගේ හිතවත්කමින් විසඳගන්න බෑ ඒකට නායකත්වය දෙන වානරයෙක් ඕනම වෙනවා.

ඔෆිස් එකේ ලොක්කා කියන වානරයා කැමතියි තමන් යටතේ වැඩකරන වානරයෝ තමන්ගේ නායකත්වය පිලිබඳව තමන් නිතරම දැනුවත් කරනවට . .

ඒකට ඔහු යොදා ගන්නේ “සර්” කියන වචනය. සේවක සේවිකා වානරයෝ ඔෆිස් එකේ වානර නායකයට සර් කියලා අමතලා ඔහුට යටහත්ව පහත්ව ඉන්න ඕන.

මගේ ඔෆීසියේ ලොක්කන්ට අපි හැමෝම කියන්නේ එවාන් / ස්ටුවර්ට් කියලා. අඩු තරමේ මිස්ටර් එවාන් මිස්ටර් ස්ටුවර්ට් කියල වත් කියන්නේ නෑ ඔවුන් එහෙම කියනවට අකමැති නිසා.

කලින් වයසක පහේ ඩිරෙක්ටර් කෙනෙක් හිටියා ගෝර්ඩන් කියලා. කවුරු හරි මනුස්සයට “සර්” කිව්වොත් “මට තාම රැජිනගෙන් නයිට් නාමේ ගන්න බැරි උනා . . ඒ නිසා මට දනට ගෝර්ඩන් කියපන්” කියලා වහාම කියනවා.

එහෙම බැලුවාම සමහර බටහිර අධිරාජ්ය වාදී (ඌරුවංශ කියන විදිහට) රටවල වානරයෝ ආසියාතික අපිට වඩා සිවිලයිස් වෙලා කියලා හිතෙනවා.

ඒකට අපේ රටේ.

ඉන්න ඇමතියගේ ඡන්ද ව්‍යාපාරෙදි පෝස්ටර් අලවපු හෙංචයියෙක් නිසා ම පියන් ජොබ් එක ලැබුනු රජයේ කාර්‍යාලයක පියන් කියන වානරයට උනත් එතනින් වැඩක් කර ගන්න යන ඩොක්ටර් හරි ඩිරෙක්ටර් හරි කවුරු නමුත් සර් හරි මිස්ටර් හරි කියන්න ඕන. නැතිනම් ඉතිං සොරි ඩොට් කොම් තමයි.

අට පාස් වෙච්චි ඇමති වානරයගෙන් පත්වීම ගන්න මහාචාර්‍ය වරයා කියන වානරයා හතරට පහට නැමිලා ඇමතියගේ බඩ අතගාලා වැඳ වැටෙන්න ඕන.

උගත් කමට තැනක් ලැබෙන්නේ සිවිලයිස් සමාජෙක. වානර සමාජයේ තැන ලැබෙන්නේ බලය තියෙන එකාට.

සමහර බටහිර රටවල ජනාධිපති / අගමැති හෝ ඇමති කියන නායකයෝ වැරදි කලහම මහජනයා කියන  අය ඒකට විරුද්ද උනාම ඉල්ලා අස්වෙනවා, එහෙම නැති නම් බලයෙන් පහකරනවා ප්‍රවෘත්ති වල දකිනවා. ඒ සිවිලයිස් උනු වානරයෝද?

අපේ රටේ නම් ඇමති පුතා කියන වානරයා රට වෙනුවෙන් සේවය කල (ටික කාලෙකට ඉස්සර අපි වානරයෝ "හදවති අපි යුද බිමේ ඔබ තනි කලේ නැත කිසි දිනේ" කිය කිය මැරෙන්න හදපු) රණවිරුවෙක් කියන වානරයෙක් ට ඔලුව කුඩු වෙන්න ගැහුවත් ගුටි කාපු වානරයා කියන්න ඕන මට ගැහුවේ ඌ නෙමේ කියලා.

බලය තියෙනවා කියලා අපි වගේ සාමාන්‍ය වානරයෝ හිතාගෙන ඉන්න වානරයෙක්ට එහෙම නම්, කිසිම බලයක් නැති සාමාන්‍ය අපි වගේ වානරයෝ බලය තියෙන එකා ඉස්සරහා නැට්ට පුකේ ගහගෙන ම ඉන්න ඕන කියලා මතක තියා ගන්නවා හොඳා.

අනික අපේ වානර ගති කොයි තරම්ද කියනව නම් නායක වානරයෝ (තාත්තා, අම්මා, සභාපති, බොසා, මන්ත්‍රියා, ඇමතියා, ජනාධිපතියා මොකා උනත් ) තමන් වගේම සමාන අයිතිවාසිකම් තියෙන සමානයෙක් කියලා අපි වානරයෝ හිතන්නේ ම නැති එක.

අපි වානරයෝ හිතන්නේ ඒ අයට ඕනම වැරැද්දක් කරන්න අයිතිය තියෙනවා – මොකද ඒ අය නායකයෝ කියලා.

එහෙම බැලුවාම මහ ලොකුවට අපි බෞද්ධයෝ කියලා ෆේස් බුක් එකේ වෝල් එක පුරවන එක මහා ලොකු විහිලුවක්.

මොකද බෞද්ධාගම කියන දර්ෂනය සොයා ගත්තු ගෞතම කියන සාශ්තෲ වරයගේ මූලික පරමාදර්ෂයක් තමයි සියළු සත්වයෝ සමානයි කියන එක හෙවත් සමානාත්මතාවය.

සැඩොල් කුලේ එකාත් ශාක්‍ය කුලේ එකාත් එකම බුදු සසුනේ මහන වෙන්න සුදුස්සෝ කියලා එතුමා කියලා තියෙන්නේ.

මිනිහෙක් බ්‍රාහ්මණයෙක් හරි වසලයෙක් හරි වෙන්නේ උපතින් නෙමේ ක්‍රියාවෙන් කියලා එතුමා කියලා තියෙන්නේ.

නායකයෝ කියන වානරයෝ තමන්ට වඩා අසමන අය, උන් මොනව කලාම අපේ මොකෝ කියලා හිතන උන් බෞද්ධාගමට අනුව ජීවත් වෙන සිවිලයිස් මනුස්සයෝ වෙන්න බෑ. . .

උන් තාම පරිනාමය වෙමින් පවතින වානරයෝ . . . !!

අසාධාරණය දැක්කාම ඒට එරෙහිව නැගී සිටින්න කොන්ද පන නැති . . එහෙම නැගී සිටින උන් දැක්කම උන්ට විරුද්ධව මඩ ගහනන හොරිකඩයෝ ත් ඒ උතුම් සමානාත්මතා ධර්මය පිරුනු දර්ෂනය අදහන්න වටින උන් නෙමේ . .

උනුත් සාමාන්‍ය අනිත් එකාට බයේ මුලුගැන්විලා ඉන්න, බලය තියෙන එකාගේ බලය පිලිගෙන අත්දෙක දෙපැරැන්දේ ගහගෙන වකුටු වෙලා ඉන්න වානරයෝ . . !

බලය තියෙන වසලයා කරන වසල වැඩ ඌ බලය තියෙන එකානේ ඒ නිසා කමක් නෑ කියලා ඌගේ වසල වැඩ වලට හුරේ දාන උනුත් සිවිලයිස් මනුස්සයෝ නෙමේ ඌත් තාම පරිනාමය වෙමින් පවතින වානරයෝ . . !

එහෙව් එකේ "අපි පරිනාමය වෙමින් පවතින වානරයෝ වෙමු. . . !" කියලා මම කිව්වේ බොරුද හා?



Pic From: http://elijahthewaterman.blogspot.com/

Monday, September 3, 2012

සුභ උපන් දිනයක් වේවා මගෙ පුතේ ඔයාට . . . !




මා පෙලන මේ පාලුව තනිකම විඳ ගැනීම බොහෝම අසීරුය.

බොහෝ හිතවතුන් අසල ගැවසුනත් ඒ මහා විසාල හිස්තැන පුරවන්න සමත් කිසිවක් නැත.

පාලුව ඉවසිය නොහැකි තැන එලියට බැස අහස දෙස බැලීමි. මා මෙන්ම පාලුවෙන් පෙලෙන තරුවක් වත්???

දූවිලි පිරුනු මැදපෙරදිග අහසේ තරු දැකීම අහම්බයක් පමනි.

ඊටත් මේ ගිම්හානයේ සෙල්සියස් අංශක 40ට වැඩි ගිනි රස්නය ගතේ දාබිඳු නංවමින් පාලු මකන තරුවක් සෙවීම ඉවත ලන්න බල කරයි.

ස්කයිප් කතාබහකට මගේ සොඳුරු ත්‍රස්තවාදියා - විරුල් ගෙන්වා ගැනීම බොහෝ අපහසුය.

ඔහු මා සමඟ තරහින්ද? මගේ හිත හඬා වැටෙයි.

පසුගිය ජුනි මාසයේ ඔවුන් තනිකර මා මෙහි ආවේ "පුතේ ලංකාවේ ලස්සන හොට් වීල්ස් කාර් නෑනේ. අප්පච්චි ඩුබායි ගිහින් ඔයාට ඒවා අරන් එන්නම් කියායි"

ඒ අලුත නිතර ස්කයිප් එකෙන් මා හා දොඩමලු වූ විරුල්ට නිවාඩු යන මිතුරෙක් අතේ ඔහු ඉල්ලා සිටි හොට් වීල්ස් කාර් ගේම් එකක් යැවීමි.

ස්කයිප් එකෙන් එය පෙන්වද්දී "අප්පච්චී ඕක ඔයාගේ ලොකු බෑග් එකේ දාගෙන ඔයා එන්න" කිව්වේ ඇත්තෙන්ම මා එතැයි විස්වාස කරගෙන විය හැකියි.

පොරොන්දු වූ සෙල්ලම්බඩුව ලැබුනු පසුත් මා නො එන්නේ ඇයිදැයි ඔහුට හිතෙනවා ඇති.

"මම තව ලස්සන සෙල්ලම් බඩු මගෙ පුතාර අරන් එන්නම්"

"අනේ අප්පච්චී සෙල්ලම් බඩු නැතැත් කමක් නෑ ඔයා එන්න" විරුල්ට එසේ සිතෙනවා ඇති.

කොල්ලට සිතෙන හැම දේ කියා ගන්න බැරි වීම කොයි තරම් ලොකු දෙයක්ද?

"හම්බකරන ඔක්කෝම මෙහේ වියදම් වුනත් කමක් නෑ ඔයයි පුතයි ආපහු එන්න. අපි පුතාව මෙහේ ඉස්කෝලෙකට දාමු"

"අපි එක එක වෙලාවට ප්‍රශ්න එන එන විදිහට තීරණ වෙනස් කරන එකෙන් පුතාගේ ඉගෙනීමට බාදාවෙයි අනේ. අනික පටන් ගත්තු බිස්නස් එක ටිකක් පිලිවෙලක් වෙනකම් හරි අපි මෙහේ ඉන්නම්" 

නදීෂා තීරන ගන්නේ මම වගේ නොව බොහෝ දුර සිතා බලායි.

ඒත් මගේ හිත දෙගිඩියාවෙන්.

මට තාත්තගේ ආදරේ ඕන කරපු පුංචි කාලේ හිත පුරා ඒක නොලැබුනායින් වුනේ හිතේ සුව නොවෙන තුවායලක් වගේ තාත්ත ගැන තරහක් ඇතිවුනු එක.

සුනේත්‍රාගේ පූර්ව ජන්ම අපූර්වය පොතට පින් සිද්ද වෙන්න ඒ තුවාල නම් සනීප උනා තමා.

මම හිතුවේ මට වුනු දේ නම් මගේ පුතාට වෙන්න ඉඩ දෙන්නේම නෑ කියලමයි.

ඒත් මේ අනාගතේ වෙනුවෙන් වර්තමානය කැප කරන එකෙන් මගේ පුතාගේ හිතේත් මම එක්ක තරහක් ඉතුරු වෙයිදෝ කියලා සැකයි.

පුතා ලොකු වෙලා කරුනු තේරෙන දවසක ඒක සමාව දේවි . . එත් . . ඒත් එදාට ගොඩක් පරක්කු වැඩි උනොත් . . .

අදට පුතාට අවුරුදු පහයි . . .

සුභ උපන් දිනයක් මගේ රත්තරන් පුතේ ඔයාට . .

හ්හ්ම්ම්ම්ම්ම්ම්ම්


කසුන් කල්හාර මේ අප්පච්චිලා ගැන කියන අපූරු ගීතයත් අහලා බලන්න.



Saturday, August 25, 2012

දික්කසාදය | Divorce . . . !

divorce1
අප එක්ව තෙමංසලකට පැමින සිටින්නෙමු.
මින් ඔබ්බට ඔබ එක මඟකත් මා අනෙක් මඟත් යායුතුය.
ඒ මඟේ යන ගමනේදී මගේ සුරතින් අල්ලාගන්නට කෙනෙක් වේද, ඔබේ සුරතින් අල්ලා ගන්න කෙනෙක්වේද යන ප්‍රශ්නයට පිලිතුරු දීම අනාගතයට භාර කරමු.

අපගේ ප්‍රේමයේ නාමයෙන් ! ප්‍රේමයේ නාමයෙන් ?? ප්‍රේමයේ නාමයෙන් @#$%^&amp
හ්හ්ම්ම්ම් . . අපගේ ප්‍රේමයේ නාමයෙන් උපන් දරුවා අප පිටුපසින් විපක්ෂිත දෑසින් අප දෙදෙනා දෙස බලා සිටිනු පෙනේ.

මම දරුවාගේ දෑස් දෙස නොබලන්නට ප්‍රවේසම් වෙමි.
ඒ දෑසේ පොපියන කඳුළු කැට වෙත්නම් එය අපගේ තීරණය වෙනස් කල හැකි සාධකයක් වෙදෝයි කියා සැකයක් මට ඇත. මම ඒ දෑස් දෙස නොබලා ඉන්නට හැකි වීරිය යොදමි.

ප්‍රේමය, ප්‍රේමය ප්‍රේමය . . .!!!
එය සැබෑවක්ද? නැතිනම් නිකම්ම නිකම් හිස්වචනක් පමනක්ද?
කවියන් දාර්ෂනිකයන් පතුරු ගසන ප්‍රේමය නම් මහා සුපිරිසිදු ගංගාවේ අප ගිලුනාද?
නැතිනම් ප්‍රේමය කියා නමක් ඇති යම් කිසි මනෝ භාවයකට අප රැවටුනාද?
ඔබ මට ඇත්තෙන්ම ප්‍රේම කාලද? මා ඔබට ඇත්තෙන්ම ප්‍රේම කලාද? නැතිනම් අප එකිනෙකාව රැවැට්ටුවාද?
රැවටුනේ ඔබද නැතිනම් මාද?
"මෙයාලගේ ප්‍රේමය නිසා උනේ මම මේ ලොකේ අසරන වුනු එක" කවදා හෝ වැඩුනු දිනෙක අපේ දරුවා එසේ නොකියාවිද?
මේ ප්‍රශ්න වලට උත්තර සොයන්න අතීතය නම් මිනීවල යලි හාරා බලා මිනීකුනු ගඳ ගසන අතුන්බහන් වලින් යලිත් අප එකිනෙකාට දමා ගසනවාට වඩා දෙමඟක යෑමේ තීරණය වඩා වටින්නේ නොවේද?

මම දරුවාගේ දෑස් දෙස නොබලන්නට ප්‍රවේසම් වෙමි.

වසර ගානනාවකට කලින් අපගේ ප්‍රේමයේ සාක්ෂිකරුවන්වූ අප මිතුරන්ගෙන් අපගේ වෙන්වීමේ ත් සාක්ෂිකරුවන් වන ලෙස මා ඉල්ලා සිටිමි.
මතකය වසර ගනනාවකට කලින් වූ කාලයක් වෙත ඉගිල යයි.
"මචං . . මට අර දෙවෙනි පේලියේ තුන්වෙනියට ඉන්න කෙල්ලව යාළු කර ගන්න ඕන. අද ම ලන්ච් බ්‍රේක් එකෙදි උඹ එයාගෙන් අහනවද?"
"අනේ මචං අදට - අදට විතරක් විසිවෙනි පාර උනාට කමක් නෑ අදට විතරක් අහපන් එයා මට කැමතිද කියලා"
"මචං, එයාට කියපන් එයා කොයි තරම් බෑ කිව්වත් මම කවදා හරි බඳින්නේ එයාවමයි කියලා"
"අනේ එයාට කියන්න මම කලින් බෑ කිව්වා තමයි . . ඒත් පස්සේ මම තේරුම් ගත්තා මට හරියන කෙනා එයා කියලා. එයාට කියන්න ගෙදරින් කතා කරපු එකට අකමැති වෙන්න කියලා. මම කැමතියි කිව්වා කියන්න . . ප්ලීස් . . "
එදා එසේ අපගේ ප්‍රේමයේ සාක්ෂි කරුවන්වූ ඔවුන්ට ම
"මචං අපි වෙන්වෙන්න තීරණය කලා. බැන්ද දවසේ ඉඳන් අපි අතරේ ප්‍රශ්න තිබුනා කියලා උසාවියට ඔප්පු කරන්න සාක්කි කාරයෝ ඕනලු. උඹට පුලුවන්ද අපේ වෙන්වීමේ සාක්කි කාරයෙක් වෙන්න" යි කියා ඇසීම දෛවය ඔවුන්ට කල සරදමක් ලෙස නොසිතේවිද?

ඇත්තෙන්ම එය දෛවයේ සරදමක් නොවේද?
"පවුලක් විනාශ කිරීමේ පාපයට හවුල් වන්න මට නම් බෑ" ඔවුන් නොකියාවිද?
"අර දරුවට මොකෝ වෙන්නේ? ඒ දරුවගේ නාමයෙන් වත් උඹලට එකට ඉන්න බැරි ඇයි" ඔවුන් නොඅසාවිද?

පවුලක් සහ දරුවෝ . . . !!
පවුලක් යනු ඉඳහිට අඩදබර වෙන, සමඟියෙන් එකමුතුව ප්‍රශ්නවලට මුහුන දෙන කන්ඩායමක් හඳුන්වන නාමකැයි මගේ නිර්වචන ඔවුන් පිලිගනීවිද?
යහපත් දරුවන් සමාජයට දායාද වන්නේ එසේ සමඟිගෙන් සතුටෙන් සිටිනා පවුල් වලින් පමනකැයි යන මගේ අත්දැකීම් පරිපූර්ණ පැහැදිලි කිරීම ඔවුන් විස්වාස කරාවිද?
එකිනෙකා කෙරෙහි ඇති නොරිස්සුම, වෛරය නිසා අපට අපගෙන් පලිගන්න අවස්තාව නැතිවූ විටෙක පලිගැනීමට ලක්වෙන දරුවා, අපගේ වෙන්වීමෙන් වැඩියෙන්ම යහපතක් වෙන කෙනා බව මගේ පෙන්වා දීම ඔවුන් තේරුම් ගනීවිද?

මම දරුවාගේ දෑස් දෙස නොබලන්නට ප්‍රවේසම් වෙමි!

- කෙටි කතාවකි -
Pic From: http://vsmeets.wordpress.com/2011/11/09/happily-divorced/

Tuesday, August 14, 2012

සාරභූමිය


ඒකට හැමෝම කිව්වේ සාරභූමිය කියලා.

අහම්බෙන් වැටෙන ඇටයකින් උනත් රූස්ස ගහක් හැදෙන්න තරම් සාරවත් බවක් එකේ තිබුනු නිසාම එහෙම කියන්න ඇති.

ඒක ඇත්තෙන්ම බටහිර අධිරාජ්‍යවාදීන්ට අයිති ඉඩමක්. ඔවුන් එකට දාලා තිබුනු නම වුනු “සයිමන් ස්පේස්” කියන එක හැදිලා තිබුනේ ඒක මුලින්ම මිලදී ගත්තු සුද්දා - සයිමන්ගේ සාවිය කියන එකෙන් කියලා දැනගන්න ලැබුනේ කාලෙකට පස්සේ.

මෑත කාලයේ සාරභූමිය හෙවත් සයිමන්ගේ සාවිය හෙවත් සයිමන් ස්පේස් එකේ කටයුතු සිද්ද උනේ මහා පුදුම අකාරයකට.

පස්සේ කාලේක මේ ඉඩමේ අයිතිය ලබා ගත්තු බටහිර අධිරාජ්‍යවාදීන්, මේ ඉඩම තමන්ගේම කියලා දෙයක් වවාගන්න කැමති නමුත් ඒකට අදාල බර-පැන නැති එහෙම නැතිනම් බර-පැන තිබබ්ත් තාක්ෂනික දැනීම නැති අයට පහසුවෙන් තමන්ගේම කියලා දෙයක් වවා ගන්න කියලා මේ ඉඩමේ කොටස් නොමිලේ ලබා දෙන්න තීරණය කලා.

නොමිලේ ලබාගන්න ඕන වුනු අයට කරන්න වුනේ බොහෝම සුළු දෙයයි.

ඒ බටහිර අධිරාජ්‍යවාදීන්ට අයිති එන්.ජී.ඕ එකේ සාමාජිකත්වය ඉල්ලලා තමන්ගේ නම ගම ආදිය සටහන් කරපු ඉල්ලුම්පත්‍රයක් යවන එක විතයි.

ඊලඟ දවසේ ඉඳන් ඉඩම තමන්ගේ.

කැමති කැමති අයට හිතේ හැටියට වවන්න පුලුවන්.

වෙන වෙන රටවල මේ ක්‍රමේට ඒ අයම ඉඩම් ලබා දීලා තමන්ගේම කියලා ඉඩමක වවන එක කාලෙකට කලින් ඉඳන් ජනප්‍රිය වෙලා තිබ්බත් අපේ අයට ඒක අල්ලලා ගියේ බොහෝම මෑත කාලෙදි.

කට්ටිය හිතේ හැටියට වවන්න පටන් ගත්තා. පුංචි කාලේ ඉඳන් අනුන් වවපු දේවල් දිහා බලාගෙන හිතේ විතරක් දළු දාමින් තිබුනු ගස්-වැල් තව දුරටත් හීනයක්ම නොවී හැබෑවටම අත්විඳින්න ලැබුනා.

ආසාවෙන් පොහොර වතුර දාදා ඒ තමන්ම පැල කරපු ගස් වැල් මෝරන දිහා ඇස් වල කඳුලු පුරවාගෙන බලන් හිටියා.

වත්තේ වැවුනු මල්-පළතුරු අහලින් පහලින් යන අය එක්ක, අහල පහල වතු වල අය එක්ක බෙදා හදා ගත්තේ උතුරා යන සන්තෝෂයෙන්.

අහලින් පහලින් ගිය අය “ෂා මේ වත්තේ මල් හරිම ලස්සනයි, මේ පළතුරු හරිම මිහිරියි කියල කියද්දී අත්වින්දේ පුදුම නිරාමිස ප්‍රීතියක්.

සමහර අය නීරස ගෙඩි උනත් රසයි කිව්වා වත්තේ අයිතිකාරයගේ හිත රිදෙයි කියලා හිතලා. ඒත් ඇත්ත ඇති සැටියෙන් කීම වගා කරන කෙනාට කරන උදව්වක් විදිහට හිතපු සමහර අය නම් “මේ ගෙඩි නම් මෙලෝ රහක් නෑ බන්” වගේ කතා කිව්වා.

කොහොම නමුත්  හැමෝම මල් පලතුරු විතරක් වැව්වේ නෑ. සමහරු නීති විරෝධී දේත් වැව්වා. පරිසරයම ගඳ ගස්සන කීඩාරම් මල් එහෙමත් වවපු අය හිටියා.

ඒත් මේ මල් පලතුරු වල සුවඳ – රස හොඳින් අඳුන්න පුලුවන් තරම් රසඥතාවයක් තිබුනු අය හොඳම මල් වතු – හොඳම පළතුරු උයන් වලට ගිහින් ඒ මල් වල අපූර්වත්වය වින්දා . . .පළතුරුවල මිහිර රසවින්දා

එක ජාතියේ මල් – පළතුරු වලට කැමති අය එක එක පොඩි පොඩි හවුල් හදාගෙන එයාලා වවන දේවල් වල අත්දැකීම් බෙදා හදා ගත්තා. එයාලා වවන්න ආසාකරන දේවල් ගැන අදහස් හුවමාරු කර ගත්තා.

ඔව් ඔව් අපේ අයගේ ඕනේම හවුලකට සහභාගී වන මිතුරා “මධුපාන්‍ය”ත් ඒ තන් වල නිතරම ගැවසුනා. ඒත් ඒ මධුපාන්‍ය ඒ මිතුරු සමාගම් වල සමාගම රකින්න එකතු වුනු කෙනෙක් විතරක් උනා.

“මධුපාන්‍ය” වෙනුවෙන්ම ඇතිවුනු මිතුරු සමාගමුත් මේ වැවිල්ල නිසා ඇතිඋනා කිව්වොත් ඒක බොරුවක් නෙමේ.

සරලව කිව්වොත් මධුපාන්‍ය ට ලොල් වෙච්චි අය, ඒක තමන්ගේ ආත්මයේ කොටසක් කර ගත්තු අය ඒ වෙනුවෙන් මිතුරන් ඇති කර ගන්න මේ වැවිල්ල යොදා ගන්නවා කියලා එහෙම නොකරපු අයට සාධාරණ සැකයන් පහල උනු අවස්ථාත් තිබුනා.

කොහොම නමුත් මේ එක් එක් කුඩා කන්ඩායම් කල්ලි අතරේ තිබුනු මත ගැටුම්, තමන්ගේ වත්තේ වැවෙන දේවල් වල අගය සහ අනුන්ගේ වතුවල වැවෙන දේවල් වල නිස්සාරත්වය, කල්ලි ගැසීමේ හොඳ කම සහ නරක, මධුපාන්‍ය සහ ශෘන්ගාරය මේ වැවිල්ලට සම්බන්ධ කර ගත යුතුද වගේ මාතෘකා ඔස්සේ සුහදව ගල ගියා මිසක් එතනින් එහාට ශාරිරිකව හෝ මානසිකව වදයක් දෙන තරම් ලොකු රන්ඩු සරුවල් වුනේ නෑ.

මොකද සමහර අය අනුන්ගේ වතු වල වැවෙන මල්-පළතුරු රසවින්දාට ඒවායේ අයිතිකාරයා හරියටම කවුරුද කියලා නොදැන හිටි අවස්ථා ඉඳන් තිබ්බා.

එහෙම වෙන්නත් හේතු තිබ්බා. සමහර වවපු අය කැමති උනේ නෑ තමන්ගේ අනන්‍යතාවය එලි කරන්න. ඒ අය කිව්වේ “මගේ වත්තේ මල් වල පළතුරු වල රසය-සුවඳ විතරක් විඳින්න වවන කෙනාගේ ජාතකේ නොසොයන්න – වෙනස් විදිහකට කිව්වොත් “මයියොක්කා ගන්න ආවනම් මයියොක්කා අරගෙන පලයන් වත්තේ හතර මායිම් නොසොයා” වගේ ජාති වහෙන් ඔරෝ කිව්වා . . . එහෙම නැතිනම් කිව්ව බව දැන ගන්න ලැබුනා.

සුවඳ–ගඳ මල්, රස-නීරස පළතුරු, සුහද සංවාද – පුංචි පුංචි මතවාද – අඬදබර තිබුනු සාරභූමි වතුයාය උඩු යටිකුරු වුනේ සාර්ථක වවන්නෙක්ගේ මඟ පෙන්වීමෙන් එකතු උනු අලුත් වවන්නෙක් නිසා. 

මුලින් ඔහුත් කිසිම වෙනසක් නැති අන් අය වගේම තමන්ගේ කියලා දෙයක් වවා ගැනීමේ පරම චේතනාවෙන් වවන්න එක් වුනු වවන්නෙක් ලෙස පෙනී සිටිය නමුත් ඔහු ඔහුගේම ඇජෙන්ඩා එකකට – (න්‍යාය පත්‍රයක් කියමූ) අනුව වෙනස්ම ප්‍රතිලාභ බලා පොරොත්තුවෙන් වවන්න ආවෙක් බව අනෙක් අයට දැන ගන්න ලැබෙන කොට, සාරභූමි වතුයායේ සාරය අසාරය වෙයිදෝ කියා සිතන මන්සන්ධියකට පැමින තිබුනා.

කරුනාසේන ජයලත්ගේ රිදී නිම්නය නවකතාව කියවලා තිබුනු අය ඔහු ගැන කිව්වේ සිල්ලර එලිය හෙවත් රිදී නිම්නය (සිල්වර් වැලි) විනාස කරන්න ආපු සොයිසා වගේ පිලිලයක් කියලා, "හිස්ට්‍රි රිපීට්ස් කියන්නේ මේකයි මචං" කියලා කියපු අයත් හිටියා.

සොයිසා සිල්ලර එලියේ ඔහුට බාගන්න පුලුවන් උනු කොල්ලන්ව බේබද්දෝ කලා, කෙල්ලන්ව ගණිකාවෝ කලා, සොයිසාගෙන් පිනට බොන්න ආපු අය සොයිසාගේ හෙංචයියෝ විදිහට තියාගෙන සිල්ලර එලියේ සාමාන්‍ය මිනිසුන්ට එරෙහිව, එහෙම නැතිනම්සොයිසාගේ ජඩ වැඩ වලට එරෙහිව කතා කරන ලියන මහත්තයා වගේ අයට එරෙහිව පවා කල්ලි ගැහිලා වටවෙලා ගැහුවා.

ඒ වගේ ඔහුත් ඔහුට බා ගන්න පුලුවන් වුනු අයව ඔහුගෙ  හෙංචයියෝ විදිහට තියාගෙන ඔහුගේ වැවිල්ලට ඔහුගේ වැඩවලට විරුද්ධ ව යමක් කියන අයව මර්ධනය කරන්න යොදා ගත්තා. (මේ සමහර අය ඔහුගෙන් පිනට බොන්න ආපු අයම නෙමේ ඔහු සැබෑ මිතුරෙක් කියලා වැරදියට වටහා ගත්තු අයත් මේ හෙංචයියා කල්ලි වල හිටියා)

කොහේ හරි දෙන්නෙක් තුන්දෙනෙක් අතර මත භේධයක් තියෙනවා දැක්කොත් (යටි හිතේ වෙනස් බලා පොරොත්තු තියාගෙන නෝර්වේ රජයෙන් සාම සාධකයෝ එනවා) වගේ ඔහු සාම සාධකයා උනා.

පස්සේ හතර පැත්තම කොටවලා කුකුල්ලු කොටවන්න පොර පිටියට තමන්ගේ වත්ත දෙනවා වගේ මරා ගන්න අයට ගහ මරා ගන්න තමන්ගේ වත්තේ ඉඩ දුන්නා.

දිය යටින් ගින්දර ගෙනිහින් හතර අතේ කෙටෙව්වත් ඔහු නිතර පෙනී සිටියා ඔහු තමයි සයිමන් ස්පේස් එකේ හෙවත් සාරභූමියේ ආරක්ෂකයා එහෙම නැතිනම් ගැලවුම් කරුවා වගේ.

මොකද මුලින් ඔහු සැබෑ මනුස්සයෙක් කියලා වැරදියට වටහා ගත්තු අය ඔහුගේ මූලිකත්වයෙන් හෝ සහභාගීත්වයෙන් වවන්නන් අතර සුහද හමුවක්, පොහොර, බීජ නැති අය කීප දෙනෙක්ට ආධාර ලබා දීම් වගේ ඉසව් කීපයක් සංවිධානය කිරීමේදී ඔහුගේ සහාය ලබා ගත්තා.  හැබැයි මේ හෑම් තැනකදීම ඔහු තනියෙම සියළු දේ කලා වගේ හැඟීමක් සැබෑ තත්වය නොදන්නා අයට අඟවන්න පුලුවන් වෙන විදිහට රඟපාන්න තරම් ඔහුගේ කපටි මොලේ වැඩ කලා.

කොහොම නමුත් ඔහුගේ බැටළු හමට යටින් තියෙන නරි මූන "එක වවන්නෙක්" හෙලි කරනකොට ඔහු බොරු හිතවත්කම් පෙන්නලා වවන්නෝ කීප දෙනෙක්වම අපහසුවට පත්කරලා ඉවරයි.

අන්න එතනදියි ගොඩක් අයට වැටහුනේ ඔහුගේ අපේක්ෂාව වැවීම නෙමෙයි කියන එක.

ඔහුට ඕන වුනේ වවන්නෙක් විදිහට පෙනී සිටිමින් ඔහුගේ වෙනත් ව්‍යාපරවලට ආයෝජකයෝ සොයා ගැනීම.

මොකද මේ වැවිල්ලට එන්නේ ලෝකේ කාලා වතුර බීපු තෙම්පරාදු වෙච්චි මනුස්සයෝ නෙමෙයි සංවේදී කලාකාමී හදවත් ඇත්තෝ කියන එක ඔහුගේ කපටි මොලෙට වැටහිලා තිබුනු නිසා.

කොහොම නමුත් ඔහුත් ඔහුගේ හෙංචයියලා කන්ඩායමත්, කුකුල් කෙටවිලිත්, දිය යටින් ගින්දර ගෙනයෑමුත් නිසා සැබෑවටම වවන්න ආසාවෙන් හෝ වැවූ දේවල් රසවිඳින්න සාරභූමියට ආපු අයටත් මේ වෙනකොට සාරභූමිය එපා වෙන තත්වයකට පත්වෙලා තිබ්බා.

ඉස්සර ආසාවෙන් තමන්ගේ වතුවල මල්-පලතුරු වවපු අය සාරභූමිය පැත්ත පලාතේ නොයන තරම් අප්‍රසන්න තැනක් බවට ඔහු පත්කරලා තිබ්බ උනත්, කිසිම දෙයක් නොකල කෙනෙක් ලෙසට ඔහුගේ වත්තේ ඉඳහිට යමක් වන්න ඔහු අමතක කලෙත් නෑ.

සිරි ලාංකිකයින්ට ඕනෑම දෙයක් මතක සති දෙකයි කියලා ජරාම ජරා ත්‍රස්තවාදී නායකයා කියපු දේ සහතික ඇත්තක් කියලා ඔප්පු උනා මුලින් ඔහුට බැනපු අය පවා ඔහු සාරභූමිය විනාස කරන්න මුල් වුනු පුද්ගලයා බව අමතක කරලා ටික දවසක් ගිහින් ඔහුගේ වත්තේ මල්-පල අගය කරන්න පටන් ගත්තාම.

ඉස්සර සාරභූමියේ ආසාවෙන් මල් – පලතුරු වවපු අය, වැවුනු මල්වල සුවඳ විඳි අය, පලතුරු වල රස විඳපු අය තාමත් ඉඳහිට හිතින් හඬනවා ඒ සිහිනෙන් දිව ගෑ අතීතය සිහි කරමින්.

සොයිසාට සිල්ලර එලිය විනාසෙටම විනාස කරන්න බැරි උනා වගේ සිල්ලර එලියේ කුසලලා – ජෝතිරත්නලා වගේ අය ආපහු ඇවිත් සාරභූමිය රසින්-සුවඳින් පුරවන දවස වෙනකම් ඔවුන් බලන් ඉන්නවා.

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails