Tuesday, August 24, 2010

චූචි චීචර්ට වෙච්චි දේ . . . හෆොයි . . .!!




අර මම කලින් ලියපු ඇටසැකිල්ලේ කතාව මතකයි නේද . . ?, ඇයි අප්පා අර හදිසියට ඇටසැකිල්ල කියලා ලියන්න ගිහින් පලමු දවසේ නිසා චකිතයට පොඩි අකුරු ටැපලිල්ලක් වෙලා අකරතැබ්බයකට මූන දුන්නු ටීචර්ගේ කතාව . . හරි දැන් මතකයිනේ මතක නැත්නම් මෙන්න මෙතනින් ගිහින් ඒක බලලා එන්න . . .

. . . . . .

හරි හරි . . . අද මම කියන්න යන්නේ ඒ ජාතියෙම තවත් ටීච කෙනෙක්ට වෙච්චි තවත් අකරතැබ්බයක් ගැන කතාවක් . . .

මේකත් මම ඇහුවේ දැක්කේ කොහේදිද කියලා නම් ඉතිං හාංකවිසියක මතකයක් නෑ ඕන් . ..

. . . . . .. . . .. . ..

හරි කතාවට බහිමුකෝ දැන් . . .

ඔන්න තවත් අලුත් ටීච කෙනෙක්ට මූලික පත්වීම ලැබුනලු බොහෝම දුෂ්කර පලාතක

ඉතිං මේ ටීචත් සූට් කේස් එකකට ඇඳුම් කැඩුම් ටික සාරි හැට්ට ටික අඩුක් කරගෙන කොලඹින් නැග්ගලු ටීචගේ ඉස්කෝලේ තියෙන පැත්තේ ටවුන් එකක නතර කොරන බස් එකකට.

ඒ බස් එක හතර වරම් ගහලා ගහලා ටවුන් එකේ නවත්තන කොට හොඳටෝම හවස් වෙලාලු.

බැහැපු ගමන් චූටි ටීචර් විපරම් කලාලු ඉස්කොලේ තියෙන ගමට යන බස් එක ගැන . . .

මනුස්පයෙක් පොඩි හුංඩුවක් වගේ වෑන් කට්ටක් පෙන්නලා කිව්වලු "ආං නෝනේ ආං අර බස් එක තමයි ඔය ගමට යන අන්තිම බස් එක . . .” කියල . .

අපේ චූටි ටීචත් එක අතකින් සාරියත් පැත්තකින් උස්සගෙන අනිත් අතින් සූට් කේස් එකත් උස්සගෙන දුවලා දුවලා ගිහින් නැග්ගලු අර මොරගහ හේනේ පොල් පටෝපු බස් එක වගේ බස් එකට

දන් මේ ටීච කොන්දොස්තර ළමයට කියලා ඉස්කෝලෙට හැරෙන හන්දියෙන් බැස්සලු . . . ඒත් එක්කම තව අවුරුදු 3ක විතර පුංචි කොලු පැටියෙක් වඩා ගත්තු අම්ම කෙනෙකුයි කොලු පැටියගේ අප්පච්චි කියලා හිතන්න ඇහැක් මනුස්සයෙකුත් බැස්සලු.

බැහැලා බැලින්නම් හතර අත කට්ට කලුවරයිලු.

ටීචර් අර මනුස්ස පරාන දෙකෙන් ඇහුවාම ඉස්කොලේ තියෙන්නේ කොයි හරියෙද කියලා අර කොලු පැටියගේ අප්පච්චි කිව්වලු "අනේ නෝනේ ඉස්කෝලේට මෙතන ඉඳන් මයිල හතරක විතර දුරක් යන්ට වෙන්වා නොවෑ . . " කියලා

ඒ මනුස්සයා එක පාරටම මයිල කිව්ව ගමන් ටීචර්ව පොඩ්ඩක් අන්දොස් උනු බව දැක්ක ගෑනු කෙනා " ඒ කිව්වේ නෝනේ මේ හැතැප්ම හතරක්" කියලා මනුස්සයගේ කතාවට ගෑනු කෙනා නැටි කෑල්ලක් එල්ලුවලු.

"මේ අපේ ස්කෝලෙට අලුතෙන් එන ගුරුතුමී වෙන්ටැ . . . සතා සරුපයියා හක්කලන් කොරන මේ වෙලාවේ ගුරු නිවාසෙට යන්ට ඇහැකිය . . ?? ඇහැක් විදිහට අද අපේ දිහා ඉඳලා හෙට උදානැක්කේ ගුරු නිවාසෙට යන්ට බැරුවායැ" කියලා අර ගෑනු කෙනා මනුස්සයගෙන් අවසර ඉල්ලන බැල්මක් දාගෙන කිව්වලු.

"අනේ අක්කේ ඒක නම් ලොකු උදව්වක්" කියලා ටීචර් ස්තූතිපූර්වක බැල්මක් දෙන්නටම දැම්මලු.

කොහේදෝ තිබිලා හුලු අත්තකුත් පත්තු කරගෙන තුන් හතර දෙනා යන ගමන් අර මනුස්සයා "හැබැයි නෝනේ ඒ වුනාට අපේ ගෙදර එහෙමට ඉඩ පාඩු නම් නැතෙයි" කියලා කිව්වහම

“කමක් නෑ අයියේ මට අද රෑට විතරයිනේ කියලා ටීචර් ඒක ශේප් කලාලු.

දැන් ඉතිං ඔන්න කට්ටියම ගෙදරට ආවලු.

කටු මැටි ගහපු මේ ගෙදරට තියෙන්නේ එකම එක කාමරයයිලු. කනු හිටෝපු පිලක් දාපු පොඩි ස්තෝප්පුවේ පැලළි දොරෙන් ඇතුල් වුනාම මේ කියපු කාමරේ ඉන් එහා තව පැලළි දොරක් ඇරියාම ගෙට එහාට වෙන්න තියෙන කුස්සියලු. කට්ට කලුවරේ නිසා ටීචර්ට මේ කිසි දෙයක් හිතා ගන්නත් බෑලු.

ගෙදරට ඇවිත් අර ගෙදර ගෑනු මනුස්සයා ටීචර්ව කාමරේට එක්ක ගිහින් ඇඳුම් මාරු කරගෙන ඇවිත් මූන කට ඩිංගක් හෝදගෙන කෑවායින් නොකෑවයින් නිදා ගන්නලු ලෑස්තිය.

කොලු පැටියගේ අම්මයි තාත්තයි කාමරේ පැදුරක් එලලා හෙලිකොට්ටෙන් නිදාගෙන හිටපු කොලු පැටියව පැදුරේ තියලා "ගුරුතුමී එහෙනම් මේ කාමරේ තියෙන අපේ එකම ඇඳේ නිදා ගන්ට . . අපි දෙන්නා ඉස්තෝප්පුවේ පැදුරක් දාගෙන නිදා ගන්නම්. කොලු පැටියා ඉස්තෝප්පුවේ නිදා ගත්තොත් පිනී බායිනේ . . ඒක නිසා ඌව මෙතන බිමින් නිදි කලා " කියලා ටීචර් ස්තූති කරද්දී ගෙදර තිබුනු එකම කුප්පි ලාම්පුවත් අරගෙන කාමරෙන් ඉස්තෝප්පුවට යන්න තිබුනු පැලැළි දොරත් වහගෙන ගියාලු.

කට්ට කලුවරේ කොහු ලනු මෙට්ටේ එහාට මෙහාට ඇඹරී ඇඹරී ඉන්නවා මිසක් ටීචර්ට නින්ද අහලක වත් නෑලු . . .

ඔහොම පැයක් දෙකක් ඉන්න කොට අපේ මේ ටීචර්ට එනවලු අම්බානක පිප්පි බරක් . . .

මේ කෑලි කපන්න පුලුවන් කලුවරේ කාමරේ දොරක් කොහේ තියෙයිද කොහාට කියලා යන්නද කියලා නොදන්න ටීචරුත් ඉවසගෙන ඉන්නවලු දැන් එලිවෙයි දැන් එලිවෙයි කියලා . . .

ම්ම්හූ එලිවෙන පාට කෙසේ වෙතත් තව ඉවසගෙන හිටියොත් මුත්‍රා බොක්ක පැලයි වත්දෝ කියලා හිතලා කොහොමද මේ බරෙන් නිදහස් වෙන්නේ කියලා හිත හිත ඉන්න ටීචර්ගේ ටිකිරි මොලේට ආවලු නියම අයිඩියා එකක් . ..

ටීචර් කලුවරේ අත ගගා ගිහින් අර කොලු පැටියව උස්සගෙන ඇවිත් තිබ්බලු ඇඳ උඩින් . .. තියලා කොලු පැටියා නිදාගෙන හිටපු පැදුරේ පිප්පි කලාලු . . . "දැන් හරි දැන් ඉතිං මේක වැටෙන්නේ මේ කොලු පැටියගේ එකවුන්ට් එකටනේ" කියලා හිතලා ආපහු කලුවරේ අත ගගා ඇවිත් කොලු පැටියව ආපහු පැදුරෙන් තියන්න ඒකාව වඩා ගන්න හදනකොට ටීචර්ට ආපහු පාරක් චූ බර හැදෙන වැඩක් වෙලාලු . ..

පොඩි එකා ඇඳේ කක්කි දාලලු . . ..

. . . ..

pic taken from : http://lagringasblogicito.blogspot.com/

Sunday, August 15, 2010

හාමුදුරුවනේ දනක් බෙදන්නට හයි හත්තිය නෑ දැන් . . . !



"ට්‍රී. .. . න්"

"හ . . . ලෝ . .. "

"අනේ අයියා ඔයාලා තාම නිදිද . . . සමාවෙන්න ඇහැරෙව්වට"

"කවුද මේ . . . "

"මම චාන්දනී, මංජුලගේ වයිෆ්"

"ආ නංගී . . කියන්න . . ."

"අනේ අයියා අද රිවිර පත්තරේ බලනකොට දැකපු ලිපියක් හින්දයි අයියට කරදර කරන්න උනේ නිවාඩු දවසේ උදේ පාන්දරම . . "

“ඒකට කමක් නෑ නංගී. මොකද්ද සීන් එක”

"අපේ ගමේ අපි දන්න කියන දුප්පත් පවුලක ගෑනු ළමයෙක් ගැන පත්තරේ තියෙනවා දැකලා මම එහාට කෝල් කලා . . .අනේ අයියා ඒ ගෑනු ළමයා කැම්පස් යන කෙනෙක් . . . වකුගඩු දෙකම නරක් වෙලා ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්න ඕන කියලා දැන් හොස්පිටල් එකේලු ඉන්නේ . . ."

"ඒ කියන්නේ දැන් ඔපරේට් කරන්නද හදන්නේ"

"නෑ ඒකට එයාට මැච් වෙන වකුගඩුවක් ලැබෙන පාටක් තියෙනවලු. හැබැයි ඒ වකුගඩුව දෙන කෙනාට ත් රුපියල් ලක්ෂ තුනක්ද කොහෙද දෙන්න ඕන වගේ කතාවක් කිව්වා"

"අද කාලේ මිනිස්සු හරිම අමාරුවෙන්නේ නංගී ජීවත් වෙන්නේ ඉතිං ඒ වකුගඩුව දෙන කෙනාත් ඒ ලැබෙන සල්ලි වලින් පවුලේ අය වෙනුවෙන් මොනව හරි යමක් කරන්න ඉන්නව වෙන්න පුලුවන් . . ඒක නිසා ඒ මනුස්සයා ගැන අහිතක් හිතන්න නරකයි"

"වැඩේ කියන්නේ අයියා ඔපරේට් කරනකම් සතියක්ලට සැරයක් විතර ඉස්පිරිතාලේ යන්න ඕනළු . . එකට එක පාරකට රුපියල් 9000ක් විතර වියදම් වෙනවළු. මේ පවුලේ අය ගැන මම දනන්වා අයියා එයාල එහෙමට වත්කමක් තියෙන අය නෙමෙයි. අපි කට්ටිය එකතු වෙලා කීයක් හරි එකතු කරල යවමුද අයියා . .. "

"හරි මම කැමතියි නංගී"

"තව එකක් අයියා, ඉස්සර ඉඳන්ම මේ වගේ වැඩ ඕගනයිස් කලේ . . ඔයාටම බැරිද මේ වැඩේත් පොඩ්ඩක් ඕරගනයිස් කරලා කට්ටියට කෝල් කරලා වැඩේ කෙරෙන විදිහකට වැඩේ සංවිදානය කරන්න අයියා . .. "

දැනට සති තුනකට පමන කලින් සිකුරාදා උදේවරුවක ලැබුනු දුරකතන ඇමතුමෙන් පසු මුලින්ම මූනු පොතේ මේ පනිවිඩය සියලුම මිතුරු මිතුරියන් හට දන්වා දෙවෙනුව මා දන්නා හඳුනන මීට කලින් මේ වගේ යහපත් කාර්‍‍යන්ට හවුල් වුනු මිතුරනුත් ඊට අමතරව බ්ලොග් හරහා අඳුන ගත්තු මිතුරු මිතුරියනුත් අතර මේ පනිවිඩය බෙදා හැරීමෙන් පසු අද හවස් වන විට මිතුරු මිතුරියන්ගේ කීප දෙනෙකුගේ උපකාරයෙන් මේ වන විට ලංකාවේ මුදලින් රුපියල් 60,000කට කිට්ටු මුදලක් එකතු වී ඇති බව චාන්දනීත් අනෙක් පසින් මුදල් බැර කිරීම සඳහා ගිනුම් අංකය හා සියලු සහයෝගය ලබා දෙන මනෝජ් මල්ලීත් දැනුම් දෙනු ලැබූ විට දැනුනේ සියුම් සතුටක් හා මුසුවුනු වේදනාවක් . . .

ඒ වේදනාව තුලින් මට ඇසුනේ මාලනී බුලත්සිංහල මහත්මිය ගායනා කරපු ගීතයක්.

"හාමුදුරුවනේ දනක් බෙදන්නට හයි හත්තිය නෑ දැන්
ඉස්සර නම් දවසක් ඇර දවසක් පන්සල් එනවා මං
දැන් කොහොමද ලොකු හාමුදුරුවනේ කරන්නේ ඒ වගේ ඉතින්
රස්සාවක් නැති දරුවගේ දරුවොත් රකින්නේ මං නේ දැන් . . . !"

මේ උපාසකම්මා "දනක් බෙදන්නට හයි හත්තිය නෑ දැන්" කියන දෙයින් අදහස් වෙන්නේ ඇය වයසට ගොස් නිසාවෙන් හයි හත්තිය නොමැති බව නෙමෙයි, ඉස්සර කාලේ වගේ නමෙයි දැන් ජීවිතේ පවතින ආර්ථික අපහසුකම් එක්ක ඉස්සර වගේ පිනට දහමට විය පැහැදම් කරන්න ශක්තියක් නැති බව බව මේ ගීතයෙ සිව් වන පදය අහන කොට ම අපට වැටහෙනවා.

මටත් හිතුනේ අපි හැම දෙනාටමත් වෙලා තියෙනෙන මේ දේම නොවේද කියලා . . .

ඉස්සර ඒ කිව්වේ මීට අවුරුද්දකට දෙකකට කලින් මේ වගේ දෙයක් වෙනුවෙන් අපි මුදල් එකතු කරද්දී දැන් වගේ දෙතුන් පාර දුරකතන ඇමතුම් දෙන්න අවශ්‍ය වුනේ නෑ . . .

ඒත් ලෝක මූල‍ය අවපාතය අපි ඉන්න මේ රටට තදින්ම බලපාලා හැමදෙනාගේම වගේ රැකියා අහිමි වෙලා, ගොඩක් අඩු පඩි වලට නැවත් රැකියා සොයාගෙන, ඒ අතරේ රැකියා අහිමි නොවුනු අයගේ වැටුප තදබල ලෙස සීයට ලොකු ගනන් වලින් අඩු කලාට පස්සේ කලින් එක්තරා මුදලකට සරිලන ලෙස ජීවත් වෙන්න හුරුවෙලා ඉඳපු අපි හැමෝම ඊට වඩා අඩු මුදලකට ජීවත් වෙන්න උත්සාහ කරද්දී (වැටුප් අඩු කලාට බඩු මිල වත් බැංකු වලින් අරන් තිබුනු ණය වල වරික මුදලේ වටිනාකම වත් අඩු නොවුනු නිසාවෙන් සහ ලංකාවේ මෙතුවක් කරගෙන ආ නඩත්තු සඳහා යවන මුදල් ප්‍රමානය දිනෙන් දින වැඩි වනවා මිස අඩු වීමක් නැති නිසාවෙන්) මාලනී බුලත්සිංහල මහත්මිය කියන අයුරු ඉස්සර වගේ දන් පින් කරන්න හයි හත්තිය නැති එක ගැන කනගාටු වෙනවා හැර වෙන මොනවා කියලා කරන්නද කියලා හිතෙනවා.

දුමී මට ඔහුගේ හිතවතෙකුගේ (ජෝර්ජ් අයියගේ)පරන ලැප්ටොප් පර්ඝනකයක් ලබා දීපු වෙලාවේ ඒකට ස්තූති කරලා මම මූනු පොතේ දාපු සටහනට රන්දිල් නංගී කියලා තිබුනු "බත් ඇති තැනටමයි කොස්" කියන කොමෙන්ටුවට දුමී දුන්නු "අපි කන හැටි ලිපා දනී" කියන පිලිතුර දැක්කාම මට හිතුනේ ඒක තමයි ලබා දෙන්න පුලුවන් නියම පිලිතුර කියලයි. මොකද ලංකාවේ ඉන්න අය (පිට රටක වැඩ නොකරපු අය ) ගොඩක් අය හිතන්නේ පිට රට ඉන්න අය සුරපුරයක ජීවත් වෙනවා . . . එහෙම නැතිනම් සල්ලි ගස් හිටවලා තියෙන දිහාක ජීවත් වෙනවා . . එයාලට තියෙන්නේ ඕන වෙලාවට ඒ ගහ යටට ගිහින් ගහ පොඩ්ඩක් හොල්ලන එක විතරයි කියලා (අපේ අම්මයි තාත්තයි උනත් හිතන්නේ එහෙමයි )

කොහොමින් හරි අපි අමාරුවෙන් එකතු කර ගත්තු මුදල් එයාලගේ ගිනුම් අංකයට යවන්න හිතලා චාන්දනී නංගී ඒ ගෙදරට ආපහු දුරකතන ඇමතුමක් ලබා දුන් වෙලාවේ ඒ අය කියලා තියෙනවා තව සතු තුනකින් හෝ මාසෙකින් විතර පස්සේ මුදල් ලැබුනත් ඇති කියලා . . .

අහ් තව දෙයක් ඉතාලියේ වැඩ කරන කෙනෙකුගේ තාත්තා කෙනෙක් මහ රෝහලට ගිහින් මේ සොයුරියගේ දුක සැප බලා ඒ වෙලාවේම රුපියල් 15,000ක පරිත්‍යාගයක් කරලා කිව්වලු මූනු පොතේ තිබුනු පනිවිඩේ දැකලා අර ඉතාලියේ වැඩ කරන ඔහුගේ දරුවා කිව්ව කියලා ගිහින් පුලුවන් උපකාරයක් කරන්න කියලා . .. .

ඉතිං ඒක ඇහුවට පස්සේ හා තව සති තුනක්,මාසයක් කල් තියෙනවා කියලා තේරුනාට පස්සේ මම හිතුවා ආපහු පාරක් මේ උදව්වට සම්මාදම් වෙන්න කියලා මගේ බ්ලොග් එකේත් දැම්මොත් පුලුවන් කමක් තියෙන අය කවුරු හරි උදව් කරාවී නේද කියලා . . ..

ඉතිං මගේ ඉල්ලීම ලොකු දනක් බෙදන්නට හයි හත්තිය නැති උනත් තියෙන හත්තියේ තරමින් පොඩි හරි දනක් බෙදන්න කැමති අය ඉන්නව නම් පොඩියක් හිතලා බලන්න . .. .

(ප.ලි. ලංකාවට මෙහෙන් මුදල් යවන්න ඩිරාහ්ම්ස් 15ක් යන නිසා ඒ මුදලත් මෙහේ එක්කෙනෙක් එකතු කරලා එක පාරට යවන්න ත් මුදල් යවලා ඉවර උනාට පසු රිසිට් එක සියලු දෙනාට මේල් කරලා යවන්නත් අපි හිතුවා. . .ඒක නිස (UAE) ඩුබායි, අබුඩාබි ඉන්න තව කවුරු හරි මේකට එකතු වෙන්න කැමති නම් 050-4514671 කියන අංකයට දුරකතන ඇමතුමක් දෙන්න කියලා ඉල්ලා සිටින්නත් කැමතියි.



නයෝමි ගැන සඳහන් රිවිර පුවත්පතේ ලිපිය සඳහා සබඳියාව මෙතනින්

Pic taken from : http://www.dhammakaya.net/events/501104_kathina.php

Thursday, August 5, 2010

ඇටසැකිල්ල



මගේ බ්ලොග් එකේ තියෙන වෙන්න හිනා කරදර ඉවත දමා කියන කැටගරි එකට යමක් ලියන්න ඕන කියලා දවස් ගානක් හිත හිත හිටියා.

ම්හු කෙටි ඒත් හිනා යන දෙයක් මතක් කර ගන්න අමාරු වුනා.

මාගල් වගේ දිග කතා නම් තියෙනවා ඒත් කෝ ලියන් න වෙලාවක්.

ඔහොම ඉන්න කොට ඊයේ මගේ සොඳුරු ත්‍රස්තවාදියා උඩට එකක් අඳින්නේ නතුව කටු බොඩිය පිටින් ඉන්න්කොට අපේ ගෙදර උන්දෑ "බලන්නකෝ මේකගේ හැටි ඇටසැකිල්ල විතරයි" කියලා කියපු ගමන් සං ගාල මට පරන කතාවක් මතක් වුනා.

හැබැයි මේ පරන කතා කියද්දී දාන කොන්දේසිය මතකයිනේ කවුද මේක කලින්ම කිව්වේ කොහෙන්ද මේක හොයා ගත්තේ ඔන්න ඕව්ව අහන්න බෑ හරිය මොකෝ මට ඒවා මතකම නෑ . ..

හරි මෙන්න කතාව

අපි ස්කෝලේ පහේ හයේ වගේ ඉන්නකොට (මතක හටියට) එක පාරක් රුපියල් දාහේ පඩියට වැඩකරන්න ගුරුවරු බඳවා ගත්තා.

මේ ගුරුවරු ගුරුවරියෝ ගොඩක් වෙලාවට හරිම තරුණ අය. මේ අය අයට ඒ කාලේ කොල්ලෝ කෙල්ලෝ කිව්වේ දාහේ කෑලි කියලයි මට මතක හැටියට.

අපේ ස්කෝලේටත් ආවා මේ දාහේ ගුරුවරියෝ කීපදෙනෙක්ම ඒ අයගෙන් සමහර අය හරිම ලස්සන අක්කලා.

අපේ ස්කෝලේ පිරිමි පාසලක් නිසා අපේ ලොකු අයියලා ඉස්සර මේ ලස්සන ටීචර්ස්ලාට හරියට උදව් කලා අපි දැක්කා. කොච්චරද කියනවනම් මේ අයට එක පංතියක ඉඳලා තව පන්තියකට තනියෙම යන්නවත් දෙන්නේ නෑ වැටෙයි එහෙම කියලා . . හික්ස්

අතුරු කතා එපා . . . ආපහු කතාවට එමු.

හරි ඔන්න ඉතිං මේ වගේ එක ටීච කෙනක්ට ලැබුනු පත්වීම මිශ්‍ර පාසලක්ලු. ලැබුනු පන්තිය හත වසරලු. විශය සෞඛ්‍යලු.

ඔන්න ඉතිං මේ ටීච පලමු දවසේ කකුල් දෙකත් මැඩ්ලින් ගහ ගහ ගියාලු පංතියට. ළමයින්ට ආයුබෝවන් ළමයි කියලා සුභපතලා එහෙම . .

"ළමයි මම තමයි අද ඉඳලා ඔයාලගේ සෞඛ්‍ය ටීචර් . . . මගේ නම . . .. .. ගම . .. . . බ්ලා . . . බ්ලා . . . බ්ලා . . . කියලා

"හරි ඔයාලා මේ පංතියට වෙනකම්ම සෞඛ්‍ය ඉගෙන ගත්තානේ . . අපි බලමු ඔයාලගේ සෞඛ්‍ය පිලිබඳ දැනීම" කියලා කළු ලෑල්ලේ තඩි පොල් ගෙඩි අකුරින් ලිව්වලු "ඇටසැකිල්ල" කියලා . ..

ලියලා ඉවරවෙලා මේසෙට හේත්තු වෙලා ළමයි දිහා හිනාවක් එහෙම දාගෙන කිව්වලු හරි දැන් මේ ළමයි මේ ගැන ඔයාලා දන්න දේවල් අහලා තියෙන දේවල් . . දැකලා තියෙන දේවල් කියන්න කියල . . .

පංතියේ ගෑනු ළමයි ඔක්කෝම ඇස් උඩ තියාගෙන බලන් ඉන්නවලු . .. කොල්ලෝ අත් වලින් කටවල් වහගෙන හිනාව හිර කරගෙන ඉන්නවලු . . .

ටීච හිතුවලු "හහ් . . මුන් මේ මගේ පලවෙනි දවස හිංදා මට රැගක් දෙන්න වෙන්න ඇති හදන්නේ" කියලා හිතලා . . ."ඔයාල මෙච්චර කල් මොනාද ඉගෙන ගත්තේ . . කොයි ලෝකෙද ජීවත් වුනේ" කියලා ටිකක් තදින් ඇහුවලු . ..

ඒත් නෑළු කිසි වෙනසක් . . . ආපහු ටිකක් තරහින් වගේ කිව්වළු "මේ ගැන කිසි දෙයක් කියන්න දන්න එක ළමයෙක් වත් නැද්ද මේ පන්තියේ" කියලා . . .

ඔන්න ගෑනු ළමයින්ගේ පැත්තේ එක කටකාර වගේ කෙල්ලෙක් නැගිට්ටලු . . .

නැගිටලා වට පිට බලලා කිව්වලු . . .

"ටීච ඕක අපේ ආච්චිට තිබුනේ නෑ . . ඒක නිසා අපේ අම්මට තිබුනෙත් නෑ . . අම්ම්ට තිබුනේ නැති නිසා මටත් නෑ . . . ඒත් . . . ඕක අපේ සීයට තිබුනා . . . ඒක නිසා අපේ තාත්තටත් තිබුනා . . . තාත්තට තියෙන හින්දා තමයි මල්ලිටත් තියෙන්නේ කියලා අපේ අම්මා නිතරම තාත්තට බනිනවා මට ඇහිලා තියෙනවා" කියලා කිව්වලු . .. .

පන්තියේ කෙල්ලෝ කොල්ලෝ ඔක්කෝම හූ කිය කිය උඩ පැන පැන හිනා වෙන්න ගත්තලු . ..

ටීච ෆුල් අඤ්ඤකොරොස්ලු කෙල්ලගේ මේ කොහේටවත් නැති උත්තරේ හින්දා . . . .

දැම්මලු හීනියට දාඩිය පාරකුත් . . .

සාරි පොටෙන් දාඩිය පිහිදගෙන ආපහු බැලුවලු කළු ලෑල්ල දිහා . . .


මල කෙලියයි . . .


ටීච "ඇටසැකිල්ල" කියලා කළු ලෑල්ලේ ලියද්දී චකිතය හින්දා පොඩි ටැපලිල්ලක් වෙලාලු

Tuesday, August 3, 2010

තුසිතයට මා කැඳවා ගෙන ගිය මට ලැබුනු නිධානය



විශ්වාස කරනවද, මට දවසක් නිධානයක් ලැබුනා.

ලැබුනා කිව්වට මේ ඉබේ පහල වුනා නෙමයි මගේ දයාබර මිතුරු ලළන්ත මළයා මට තෑගි කලා.

"අයියේ මේක මම ලඟදී ගත්තේ. . . අයියා මේ වගේ ඒවට ගොඩක් කැමතියිනේ . . . ඔයා මේක තියා ගන්න. . "

කියා කොපියක් ලඟතබා ගන්නේ වත් නොමැතිව ඔරි"ම"ජිනල් එකෙන් ඔහු මිලදී ගත් අපූරුම අපූරු සී ඩී තැටියක් අබුඩාබි සිට ඩුබායි ගොස් නයිට් පාකින් වලට දවසක් ඔහුගේ කාමරයට ගිය වෙලාවක පැකින් කඩපු ගමන් ම මට තෑගි කලා. (මගේ දයාබර මිතුරු කැල ජාතිත් වාසනාවන්)

ඒ නිධානය මගේ මනුස්ස කමට ත්‍යාගයක් ලෙස ලැබුවා කියා කියන්න මම හදිස්සි වෙන්නේ නැත්තේ එය ඇත්තම නොවන නිසා. ඇත්තෙන්ම එය මට ලැබුනේ සොයුරු ලළන්තගේ පරම පිවිතුරු පරිත්‍යාගශීලී හදවතට පින්සිදු වන්න කියා කීවොත් එයයි නිවරදි . .. .



ඉස්සර මම ඩුබායි ඉන්න කාලේ නිතර අහන හිංදි රේඩියෝ චැනල් එකක මගේ ප්‍රියතම නිවේදිකාව "ක්‍රිතිකා" උදේ පාන්දර ඈ මෙහෙයවන වැඩසටහනට සවන් දෙන මට තිබුනු ලොකුම ප්‍රශ්නේ නිදිමත බේරෙන උදේපාන්දර ඈ ඒ තරම් ප්‍රහර්ශයකින් උද්දාමයකින් කිලිපොලායන සතුටකින් වැඩසටහන මෙහෙයවන්නේ කෙසේද යන්න.

මිතුරන් සමඟ ඒ ගැන කතාබහ කරද්දී මගේ උපකල්පනය කිසිවෙක් නොසිතන දෙයක්

"මම නම් කියන්නේ මචංලා ඔය ක්‍රිතිකා උදේ නැගිට්ට ගමන් හරි රෙකෝඩින් ස්ටුඩියෝ එකට එන ගමනේදි හරි පස්ස පැත්තේ හෙනම සැර මිරිස් කරලක් ගහගෙන ඉන්නවා වෙන්න ඕන"

දැං ඔයාලා අහන්න එපා මම කවදහරි එහම ගහගෙන ඉඳලා තියෙනවාද කියලා හරිය . . !@#$%

මට තිබුනු ප්‍රශ්නේම තිබුනු ප්‍රේක්ෂකයෙක් දවසක් ක්‍රිතිකාගෙන් දුරකථන මාර්ගයෙන් අහද්දී ඈ දුන්නු පිලිතුර තමයි . .

"මගේ ලඟ විශේෂ සී ඩී එකක් තියෙනවා. මම හැමදාම උදේට ඔෆිස් එනගමන් ඒ සී ඩී එක අසමින් තමයි එන්නේ. ඒ සී ඩී එක තමයි මාව මේ තරම් ප්‍රබෝධයෙන් තියන්නේ කියලා.

ඒක අහපු දවසේ ඉඳන් ඈ කිව්වේ බොරුවක් වෙන්න ඇති කියලා හිතමින් උන්නු මට මේ මා සඳහන් කල සී ඩී තැටිය ලැබුනු පසු තමයි පසක් වුනේ ඇගේ වචන කෙතරම් සත්‍යද යන්න.

. . . . . . .. . . .. . .. .. ..

මෙහි අඩංගු බෙර වාදන තාල ඇසෙන විට මට සිතෙන්නේ මා කොහේදෝ මා නොදන්නා තුසිතයකට රැගෙන යන බවකුයි එසේත් නොමතිනම් පා වී යන ලෙසකුයි. මා අසා ඇති මනෝ විද්‍යාවේදී මෝහනයට පත්කිරීම සඳහා බෙර වාදන යොදා ගන්නා මතයත් මේ තැටියට සවන් දීමේදී සිත පාවෙලා ගොස් නතර වී ගිමන් හරින තුසිතයත් එකට සමපාත වන බවක් මොහොතකට සිතුනා කීවොත් එය බොරු නොවෙයි . . . .

රසවිඳ බලන්න, මේ තැටියේ බෙරවාදන නාද මාලා සියුම් ඉඳිකටු තුඩක් වී ඒ ඉඳිකටු තුඩ ඔබේ සියළුම රෝමකූපයන් එකක් නෑර එහි මුලට වැද ඒවා විද ඒ සියල්ල උද්දීපනය කොට නැගිටුවා තබන අපූරුව.

රසවිඳ බලන්න, සාම්ප්‍රදාය්ක ලාංකික නැටුම් කලාව විචිත්‍රවත් කිරනු වස් නාද මාලා සපයන සාම්ප්‍රදායික බෙරවාදන කලාවේ ආශ්චර්‍‍යෙන් ඔබ කෙතරම් මවිතයට පතකල හැකිද කියා . . .

ඉන් ඔබ මෝහනයට පත්නොවුනේදැයි කියා මට පසුව කියන්න . . . .

කෙටියෙන් පැවසුවොත් ඇඟේ මවිල් කෙලින්වන, හිරිගඩු පිපෙන, ලේ රත්වෙන සංගීතයක් මේ නාද අසන්න ප්‍රථම මා අසා ඇත්දැයි කියාත් සැකයි.

. . . . . .. . ..

මේ නාදමාලා වල නිර්මාතෘ පාරම්පරික නාට්‍ය කලාව බොහෝ උත්සාහයෙන් රැකගන්නා මහා කලාකරුවෙක් වූ රවිබන්දු විද්‍යාපති මහතායි. ඩී. ඩී ගුණසේන, නෙලූ අධිකාරී ඇතුලු විශාල කලාකාමීන් පිරිසක් මේ උත්කෘෂ්ඨ නිර්මාණය සඳහා දායකත්වය ලබාදී තිබෙන බැව් මේ සමඟ අමුණා ඇති පින්තූර බැලීමේදී ඔබට වැටහෙනවා ඇති.



උසස් රසවින්දනයක් ලැබීම පමනක් නොව අපගේ ලාංකීය අනන්‍යතාව ලෝකයට ඉදිරිපත් කිරීමේදී මහඟු මෙහෙවරක් ඉටුකරනු ලබන සාම්ප්‍රධායික නර්ථන කලාව රැකගෙන ඉදිරි පරම්පරාවට දායාද කිරීම නම් වූ කර්ථව්‍යයේදීත් දී මේ සංයුක්ත තැටිය බෙරවාදන කලාවේ සළකුණක් ලෙස භාවිතා කල හකි බව මගේ හැඟීමයි.

ඉදින් මේ සංයුක්ත තැටිය මිලදීගෙන උසස් රසවින්දනයක් ලබන්න ඔබ තවත් පමා වෙනෙනේ මන්ද . . . මේ මහඟු කලාකෘතිය ඔබේ දූ දරුවන් ට තිලිණ කර දෙන්න ඔබ තව ත් දෙවෙනි වතාවටත් සිතා බලිය යුතුද . ..

නමුත් එකම එක ඉල්ලීමක් . . මේ සාම්ප්‍රදායික කලාකරුවන් තම ජීවිත කාලයම කැපකොට ලබාගත් විශේෂ ප්‍රාගුණ්‍යයේ බලමහිමයෙන් නිර්මිත මේ නිර්මාණය මිලදීගෙන ඔවුන්ගේ ඒ කලාවට හා කලාවට ඇති කැපවීමට දිරි දෙනු විනා එක් අයෙක් මිලදීගෙන මිලදී ගැනීමට පහසුකමක් නැති පිටරටවල ජීවත් වන අය හර සියළු දෙනාට නොමිලේ බාගත කරගතැ හැකි ලෙස නොයවන ලෙස සාම්ප්‍රදායික කලාවට හිතැති කලාකාමියෙක්, රසිකයෙක් ලෙස මා ඔබ සැමගෙන් කාරුණාවෙන් ඉල්ලා සිටිමි.

අවසන, මට ලබා දුන් මේ නිධානය වෙනුවෙන් දයාබර ලළන්ත මළයාට බොහෝමත්ම ස්තූතියි හා පිං.




අනතුරු ඇඟවීමයි!

අමතක වුනු තව දෙයක් නදීෂාගෙයි සචී ගෙයි මතක් කිරීම් නිසා දාන්න හිතුනා. . .

මේ සී ඩී තැටිය අසමින් රිය ධාවනයේ යෙදෙන්නේ බලාගෙන . . .

ඒ අනතුරු ඇඟවීම වැඩි විස්තර අවශ්‍ය නම් මෙන්න මේ ලින්ක් එකෙන් "තව පොඩ්ඩෙන් දුකාට අනිච්චාවත සංඛාරා" කියන ලිපිය බලන්න.

ඇත්තෙන්ම ඒ දේ සිදුවුනේ මේ සී ඩී එක අහගෙන යන ගමන් සිදුවුනු මෝහනය වෙනවා වගේ දේ නිසා තමයි.

Tuesday, July 27, 2010

සාහිත්‍ය ලෝකයේ සියළු නොපනත්කම් ඉවසමින් සිට ඈ අවසන් ගමන ගියාය.



පහුගිය මාසයේ දින කීපයක් අසනීපෙන් උන්නු නිසාවෙන් ලැබුනු පොඩි විවේකයේ කලින් වතාවක් කියවා තිබූ පොතක් යලිත් වරක් කියවන්න සිතා පොතත් රැගෙන සයනයේ හරි බරි ගැසුනෙමි.

පොතේ නම “ගෝ දානය” නූතන ඉන්දීය ලේඛකයින් විසින් විශිෂ්ඨතම කතුවරයෙකු ලෙස සලකන ප්‍රේම් චාන්ද් විසින් රචිත, චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි විසින් පරිවර්ථිත ශ්‍රේෂ්ඨ නවකතාවක්. පොත පතට ආදරය කරන අපි බොහෝ දෙනෙක් ආදරයෙන් වැළඳගත් පොතක් . ..

පොතේ කතෘ හා පරිවර්තිකාව පොත හරහා විවරණය කරන්න අදහස් කරන සමාජ කතිකාව කලින් වතාවේ කියවනවිට දැනුනාට වඩා විශාල ලෙස හදවතට වැදුනු බවක් දැනුනා වුවත් අද මගේ සටහනේ පරමාර්ථය පොත ගැන මට හැඟුනු දේ සටහන් කිරීම නොවේ . . . .

ඒ ගැන නුදුරු දිනෙක ලියා තබන්නම් කියා පොරොන්දු වෙන්නම්.

පොතේ පෙරවදන ලෙස එකතු කර තිබෙන සරත් විජේසූරිය මහතා විසින් දිවයින පුවත්පතට 2000-08-20 දින ලියූ ලිපිය කියවූ සැනින් එතනින් එහාට පොත කියවාගන්න තරම් ශක්තියක් නොමැතිව හදවත ගල්වූවා වැනි හැඟීමක්, එසේත් නොමැතිනම් මගේ දයාබර නැගෙනිය මා හැරදමා දුරු රටකට ගියදා දැනුනාක් බඳු ගිලින්නත් නොහැකි විසිකරන්නත් නොහැකි ගුලියක් වැනි යමක් උගුරේ සිරවුනාක් වැනි හැඟීමක් නිසාවෙන් දෙනෙතේ හා හදවතේ රැඳි කඳුලු බිඳු අතරින් ඇගේ මහඟු සත්කාරිය මගේ ජීවිතයට කෙසේ බැලපෑමක් කලාදැයි සිතන්න මා වෙහෙසුනා . . .

සෝමා ජයකොඩි, මර්ටින් වික්‍රමසිංහ, ජී බී සේනානායක, ජයකොඩි සෙනෙවිරත්නයන් ආදීන්ගේ පොත් තුලින් මානව දයාවේ වටිනා කම හා එහි ගැඹුර උගත් ලෙසින්, කරුණාසේන ජයලත් මහතාගේ පොත් තුලින් සොයුරියන්ට, මිතුරු මිතුරියන්ට ගහකොලට මුලු විශ්වයටම ආදරය කරන්න ඉගෙන ගත් ලෙස, ජයසේන ජයකොඩි මහතාගේ පොත් තුලින් ජීවිතයේ ඕනෑම කඩාවැටීමක් උපේක්ෂාවෙන් දරාගැනීමට හුරුවූවාක් මෙන් සුනේත්‍රා රාජකරුණාය්නායකගේ පූර්වජන්ම අපූර්වය පොත තුලුන් ක්‍රෝධය ඉවතලන හැටි ඉගෙන ගත්තාක් මෙන් වෙනසක් නොමැත ඇගේ අපූ ත්‍රිත්වය, ගෝ දානය හා අරණකට පෙම්බැඳ තුලින් ලද දෙයින් තුටුවන අකාරය, ජීවිතයේ සතුට ලබන ආකාරය, සොබාදහමට ආදරය කරනා ආකාරය ආදී ලෙසින් කොටින්ම ජීවිතය විඳිනා අයුරු ඉගෙන ගතිමි.

ඉදින් මා අද දින මගේ දිවියේ මේ අත්විඳින සැහැල්ලුව සතුට වෙනුවෙන් මා සදා ණයගැති අය අතර ඈත් මූලිකම ස්ථානයක හිඳින නිසාවෙන් මීට දසවසකට පෙර අප අතරින් වියෝවූ නමුත් ඇගේ මියගිය ආත්මයට ශාන්තියක් උදාවේවායි හදවතේ ගැඹුරුම තැනින් කල ප්‍රාර්ථනාවෙන් පසු මා ගෝදානය පොතේ පිටු පෙරලන්නට වීමි.

ලිපිය දිගු වුවත් ඇගේ පොත් හරහා ජීවිතයේ සතුට ලද අය විසින් කියවාවි යයි උපකල්පනයෙන් තවදුරටත් ඈට උපහාරයක් ලෙස ගෝදානය පොතේ මුලට හැඳින්වීම ලෙස එකතුකොට තිබූ සරත් විජේසූරිය මහතා විසින් 2000-08-20 දින දිවයින පුවත්පතට සැපයූ ලිපිය ස්කෑන් කර මේ ලිපියේ අගට ඇමිනීමට මා අදහස් කලෙමි.







Sunday, July 18, 2010

අඬන්න අමතකව වියළුනු ඇස් වලට කඳුලක සිසිලසක් ලබාදෙන තක්සලාව . .. !



අබුඩාබි වල Head Office එකට මේ මාසේ පළවෙනිදා ඉඳලා මාරු කරපු දවසේ ඉඳන් කලින් සයිට් ඔෆිස් එකේ වගේ වැඩක් කරන අතරේ බ්‍රේක් එකේ බ්ලොග් කියවන්න , බ්ලොග් ලියන්න හා ෆේස් බුක් බලන්න නෙමෙයි හුස්ම ගන්නත් බැරි තරම් වැඩ ගොඩක් භාර දුන්නා. . .

සමහර වෙලාවට එක දිගට වැඩ කරලා කරලා ස්ට්‍රෙස් එක නිසා පපුවත් එක්ක රිදෙනවා වගේ වුනාම තමයි ලොකුවට හුස්ම ගන්නත් මතක් වෙන්නේ . . .

කොයි තරම් වැඩ වැඩිද කියනවනම් ඊයේ නිවාඩු දවසේත් ඔෆිස් ගිහින් වැඩ කරන්න වුනා මොකද එහෙම නොකලා නම් ටාගට් ඩේට් එකට වැඩේ ගොඩ දාන්න බැරි වෙනවා වගේ හිතුනු නිසා.

අහම්බෙන් හරි රෑ මගේ පොඩි සොඳුරු ත්‍රස්තවාදියා මට කලින් නින්දට ගියොත් බ්ලොග් කියවන එක කරන නමුත් ඉස්සර වගේ බ්ලොග් පෝස්ට් නොලියන එක ගැනයි අනිත් අය ලියපු දේවල් වලට මගේ අදහස් දක්වන්න නොලැබෙන එක ගැනයි මගේ බ්ලොග් සහෘදයෝ මට සමාව දේවීකියලා මම විස්වාස කරනවා . ..

ලියන්න ජාති නම් එමට තිබුනත් අද මේ කොල්ලට TV එකේ ටොම් ඇන්ඩ් ජෙරී දාලා දීලා රවට්ටලා කොම්පූටරේ ලඟ මම පොඩි වෙලාවකට ඉඳ ගත්තේ අද නම් පොඩි හරි පෝස්ට් එකක් ලියන්න ඕනි කියලා හිතාගෙන .

හරි එහෙනම් අපි කතාවට බහිමු.

. . .. . .. . . .. .. . . .. .. .


මගේ මිතුරු රුවන්ගේ මඟපෙන්වීමෙන් අපි දැන් කාලෙක ඉඳන් අන්තර්ජාලය හරහා ලංකාවේ පෙන්වන ටෙලි නාට්‍ය බලනවා.

හැබැයි අපි ඉතිං ෆිල්ටර් කරලා කරලා අපේ සෙන්සර් එකට අහුවෙන හොඳම කියලා හිතෙන ඒවා තමයි බලන්නේ.

කාලෙක ඉඳන් මේ පහත සඳහන් හොඳයි කියලා මට /අපිට හිතුනු (දැනට මතකයේ තිබෙන) ටෙලි නාට්‍ය බලලා තියෙන නිසා මම හිතන්නේ හොඳ ටෙලි නාට්‍යක් අඳුනා ගන්න ඉවක් අපිට ලැබිලා තියෙනවා.

1. තාරාදේවී
2. පලිඟු මැනිකේ
3. දඬුබස්නාමානය
4. වෙද හාමිනේ
5. ඉඳිකඩ අසන
6. ඇල්ල ලඟ වලව්ව
7. දුන්හිඳ අද්දර
8. ඉමදිය මංකඩ
9. කඩවර
10. ගජමන් නෝනා
11. ඉරට හඬන මල්
12. යශෝරාවය
13. රන් මසු උයන
14. දිය සුළිය
15. අග පිපි මල්
16. නිසල විල
17. සංක්‍රාන්ති සමය
18. නන්නාදුනන්නී
19. බැද්දේ ගෙදර
20. ඉසුරු යෝගය
21. ගංගා සහ නිස්සංක
22. චක බ්ලාස් - ඉඳි ආප්ප කතාව
මේ මතකයේ තියෙන කීපයක් පමනයි.

කොහොමින් හරි අද මම දෙන්න යන්නේ මේ වගේම හොඳ තත්වයේ තියෙන ටෙලි නාට්‍යක් ගැන ඔත්තුවක්.

වීදුරු බඩු වගේ පරිස්සමින් රැකිය යුතු මානුසික සබඳකම් වල වටිනාකම ගැන අපූරුවට කියා දෙන ගමන් සෙනෙහස හා මානව දයාව බර හදවතට දනවමින් අඬන්න අමතක වුනු ඇස් වලට කඳුලක උනුහුමත් අරන් එන මේ අපූරු නාට්‍යයේ නම තක්සලාව.

හිමාලි සයුරංගී ප්‍රධාන චරිතයත් සෙසු චරිත ජගත් මනුවර්ණ, චාන්දනී සෙනෙවිරත්න, මහේන්ද්‍ර පෙරේරා, ගිරිරාජ් කෞශල්‍ය ආදීන් රඟපාන මේ සංවේදී කතාව අඩංගු නාට්‍යයේ අධ්‍යක්ශක ආන්නද අබේනායක මහතායි.

ස්වර්ණවාහිනී නාලිකාවේ විකාෂනය වෙමින් තිබුනු මේ නාට්‍යය ගිය සෙනසුරාදායින් අවසන් වුනා.



මේ අඩවියෙන් (මෙන්න මෙතනින් ගිහින් බලන්න) සම්පූර්ණ ටෙලි නාට්‍යයම මුල සිට එක දිගට නැරඹිය හැකියි. කාලවේලාව සකස් කරගෙන නැරඹුවාට පාඩු නොවන ටෙලියක් වූ මෙය නරඹන්න නොහැකි වූ අය වෙත් නම් නරඹා ඔබට සිතුනු / සිතෙන දේ ගැන සටහනකුත් තබන්න ඇහැකි නම් අගෙයි . . .

Saturday, July 10, 2010

දඬුවම් ලද යුතු යෞවනය හා බැඳුනු මිල්ටන් . .. !



යෞවන වයසේ මානව මානවිකාවන්ට ආදර හැඟීම පහල වීම අරුමයක්ද . . .
තරුණ වියේදී පමනක් නොව මැදි වයසේදී පවා ආදර හැඟීම නූපදින හදවත් ඇත්තෝ විරල වන කලෙක යෞවන හදවත් වල උපදින ආදරය ආශ්චර්‍‍යක් ලෙස සලකුනු වෙනුවට එය මහා අපරාදයක් ලෙස සලකා දඬුවම් කිරීම අපරාධයක් ලෙස මට හැඟේ . .. .

යෞවන වයසේදී ආදරය කිරීම දඬුවම් ලද යුතු වරදක් නම් එසේ නම් මානව මානවිකාවන්ට දඬුවම් කරනු වෙනුවට යෞවනයට දඬුවම් නොකරන්නේ මන්දැයි නන්දා මාලනී "මේ සිර මැදුරෙන් . . පැන යන්නට ඇත්නම් . .. !!" ගීතය හරහා අපෙන් අසන්න්ට සිදුව ඇත්තේ සුනිල් ආරියරත්නයන්ද යෞවන වියේ ප්‍රේමය අපරාධයක් ලෙස නො සලකන නිසා නොවේදැයි මට සිතේ . ..

මේ සිර මැදුරෙන් පැන යන්නට ඇත්නම්

මේ සිර මැදුරෙන් පැන යන්නට ඇත්නම්
මේ මුර සෙබලුන් එලවන්නට ඇත්නම්
පවුරු වළල්ලෙන් එහා රටේ
අප දෙදෙනා වෙනුවෙන්
මල් පිපේවි ආදරේ නමින් . . .
ම -ල් - පි - පේ - වි- ආ - ද - රේ - න - මි- න් . .

ගැරහුම් අසමින් හද ගිනි දළු ලියලයි
දඬුවම් ලද යුතු අප නොව යෞවනයයි . . .
විස කටු පඳුරුය අප යන එන මඟ
ස්නේහයට ඇයි මේ අමිහිරි අවමන්

ඇසට උරුම ඇස උණන කඳුල පමන්යි
හදට උරුම හද දවන සුසුම පමනයි
මුලු ලොව සතුරුය අද අපි අබියස
ප්‍රේමයට ඇයි මේ විසකුරු සරදම්

යොවුන් වියේ ආදරය දෙස වැඩිහිටියන් තමන්ගේ තරුණ විය අමතක කොට හනමිටි ඔලුවේ තබා ගත් කෝණයකින් නොබලා ඒ ඉපදුනු සෙනෙහස පිරුනු හදින් ඉගෙනීම හා අනාගත දියුණුව ගැන සලකන අයුරු පිලිබඳව උපදෙස් දී ආදරයත් ඉගෙනීමත් සමාන්තරව කරගෙන යාම සඳහා අනුබල හා මඟපෙන්වීම දිය යුතුයි කියන දේ තමයි මගේ පුද්ගලික මතය නම් . ..

. . .. . .. . .. . .. . .. . . ... . . .. . .. . .. . .

පදම් කර ගත් තල්ගොබයක් ලී දෙකක් මැදට දමා මැද ඒ මත පන්හිඳකින් අකුරු කොට කළු මැද ඊතලයක අමුලා එල්ලය බලා විදීමෙන් හෝ එසේ ලියා ගත් තල්පත හීලෑ කර ගත් ගිරවෙකුගේ හෝ සැලළිහිනියෙකුගේ පාදයේ ගැට ගසා ඌ ලව්වා අදාල තැනැත්තා අතට පත් කිරීම ආදී අතීතයේ වූ සන්නිවේදන ක්‍රම පසුකර විත් අද දවසේ ජංගම දුරකතනයේ තිරය දෙස බලාගෙන සජීවී සංවාද පැවැත්විය හැකි තරම් දියුණු වූ නමුත් අපේ යෞවන වයසේදී ප්‍රේම සම්බන්ධතා අතර අන්තර් සන්නිවේදන මාධ්‍ය වූයේ ලිපි පමනි.

කොලයේ අග රෝසමල්, සමනළුන් ප්‍රින්ට් කර තිබූ ලිපි කොලවල ලියා ලිපියේ උඩින්ම ගීතයක කොටසකුත් එකතු කොට අක්කගේ "ග්‍රීන් ග්‍රාස්" සුවඳ විලවුන් බෝතලය හොරෙන් අරගෙන දෙතුන් තැනකට හලා ලස්සනට නවා අතින් හැදූ කවරයක බහා ටියුෂන් සර්ලා බෝඩ් එකේ ගණන් ලියන අතරතුර හොරෙන් පාස් කල ලිපියක සුන්දරත්වය අද දවසේ ඊමේල් මඟින් ආදර හසුන් යවන නැතිනම් දුරකථනයෙන් එස්. එම් එස්. මඟින් පෙම් පණිවිඩ යවන යෞවන පෙම්වතුන්ට ලබා ගත නොහැකි බව නම් මට ඉඳුරා පැවසිය හැකියි . ..

එවන් වූ අපගේ දඬුවම් ලද යුතු යෞවනයේ ලිපි වලට නැතුවම බැරි වූ ගීත කොටස් බොහෝ විට මිල්ටන්ගේ ගීත බැව් එසේ ලිපි ලියූ අය හා කියවූ අය ම හැර වෙන කවුරු නම් දනීද . . . !!

. . . . . . . . .. . . . . . . . . . . . . . . . . . .

හප්පා . . මෙයාගේ තියෙන ගෑස් . .
මෙහෙමද අලුතෙන් ගමකට ආවහම . . .
හැමෝම එක්ක පොඩ්ඩක් හිනා වෙලා ඉන්න එපැයි . . .
අනික නිකං දැන් ගමේ කමට වත් පොඩ්ඩක් හිනා වුනා නම් මොකෝ . ..
කතා කරන්න ආස වුනත් කස්ටිය ඉස්සරහා ඇඟට කඩන් පැන්නොත් නෝන්ඩි හොඳම එක . ..

අප එක පෙදෙසක

අප එක පෙදෙසක නිවසන්නේ
නැතුවද ඔබ මා හඳුනන්නේ
මා දිහා ඇයි නොබලන්නේ
ඇයි නොබලන්නේ

ඔබ යන පසු පස පිය මැන ඇත්තෙමි
ඔබට නොම දැනී
ඔබගේ තොරතුරු විපරම් කෙරුවෙමි
ඔබට නොම දැනී
මා දිහා ඇයි නොබලන්නේ
ඇයි නොබලන්නේ

ඔබ අමතන්නට සිතුවද විටකදී
එයට සිත නොදේ
මොහොතින් මොහොතට මගෙ සිතුවිලි පෙළ
ඔබ වටා ඇදේ
මා දිහා ඇයි නොබලන්නේ
ඇයි නොබලන්නේ

. . . .. . . .. . .. . .

විනාඩි දහයක් වත් මම පේන්න නොහිටියොත් ස්කෝලේ පුරාම මාව හොය හොය ඇවිදින කෙනා අද මට හොයා ගන්නවත් බැරි තරම් දුරක නොකියාම ගිහින් නො එන්නම . . . . මතකය විතරක් මගේ ලඟ . . . ! ඇයි මතකය විතරක් වේදනාව . . ???

කඳු පාර ඈත අයිනේ

කඳු පාර ඈත අයිනේ සඳ රෑක ඈ සිනාසේ
වේදනා සිතාරයේ ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා

යාලුවී දෙවටේ එදා කී කතා අසා
පාලුවී හැඬුවා සදා මාරුතේ පවා

ගං ඉමේ මාදං කැලේ පාසැලේ පුරා
මා සොයා ආවා වගේ වෙන්වෙලා ගියා

. . .. . .

"උසස් පෙළ සමයේ ප්‍රේමය ගැන ලියවුනු ගීයක් මම ඊලඟට ගයන්නේ . . . පෙම්වතිය උසස් පෙළ සමත් වෙලා සරසවි වරම් ලැබ එහි ගොසින් . . පෙම්වතා ඇය ගැන විස්සෝපයෙන් . . ."
අමරසිරි පීරිස් මහතා ඩුබායිහි තිබූ සංගීත සැඳේවේදී එසේ පවසන විට මට එක්වරම මතකයට ආවේ සුපුන් සුදාරක මළයා විචාරයක් ලියපු "හන්තානට පායන සඳ" ගීතය . . . මෙයත් එවන්ම වූ සිදුවීමක් නොවේද

දෙනෝ දහක් ගැවසෙන

දෙනෝ දහක් ගැවසෙන සරසවියේ
පාලුව තනිකම දැනෙනවනම්
කුටියේ කවුළුව විවර කරනු මැන
සුළඟක් වී ඔබ වෙත එන්නම්

ඔබ සරසවියක මා පොඩි ගෙපැලක
එක්වන්නට අද වරම් නැතේ
එකම පංතියේ එක ලඟ ඉඳගෙන
පාසැල් ගිය හැටි සිතට නැගේ

ඔබ හා අත්වැල් බැඳ ඇවිදින්නට
පෙරුම් පිරූ පාසැල් සමයේ
සිල්ප සතර රැඳුනේ නැහැ මා සිත
ඒ හින්දයි අප දුරස් වුනේ

. . . . . .

යොවුන් වියේ ප්‍රේමය කොයි තරම් සොඳුරුද . . කොයි තරම් බොලඳද . . . හැබෑ ලෝකයේදී හීනෙකින් වත් සිදු කල නොහැකි දේවල් යොවුන් පෙම් ලොවේදී ඉතාම සුලු දේවල් . . ..

සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ

සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ
නෙත් දෙකින් අරන් එනු මැන සඳ පානේ

මල් ගෙනත් තබා දෝතින් පිලි ගන්නයි
කල් බලා හිඳින්නේ ඔබ පිලි ගන්නයි
කල්පයක් තරම් නිදහස රැක ගන්නයි
කල්පනා ලොවින් එතෙරට ඉගිලෙන්නයි

වැහි වලාකුලෙන් පැල්පත සාදන්නයි
කවුලුවක් ලෙසින් තබන්නේ දේදුන්නයි
සුපුරුදු ලෙස යලි ඉර හඳ පායන්නයි
ඒ මැදින් මගේ සම්පත ගෙට එනන්යි

. . . .. .

එයා අදරය කරන්නේ මටද . .. නැති නම් ඔහුටද . . . ? ඔහුගේ හද රිදවලා ඈ මා සතු කරගන්නවාද . . . ? ඒත් කිසිවෙකුට රිදවන්න හිත හදාගන්න නොහැකි මම මමම හිත රිදවාගෙන ඒ දෙදෙනාට සුභ පතා අයින් වෙනවාද . . ?

මට මෙන් ඔහුටද කඳුල ඔබයි

මට මෙන් ඔහුටද කඳුල ඔබයි
කඳුල ඔබයි හසරැල්ල ඔබයි

තිදෙනෙකු අතරින් දෙදෙනෙකු එක් වෙයි
ආදර ගඟුලක් පෙරට ඇදෙයි
කාටද ඔබේ අත හිමිවන්නේ
මා වාගේම ඔහු විමසන්නේ

කිසිවකු රිදවා හිනැහෙනු බැහැ මට
එහෙයින් ඔබගෙන් බැහැර යමී
ඔබටද ඔහුටද සුභ පතමී
ඔබටද ඔහුටද සුභ පතමී

. . .. .

මැයි මල් වැටිලා රතු පාවඩයක් එලළා වගේ තිබුනු මේ පාර දිගේ අපි එදා අත්වැල් පටලන් පිය නැගුවේ කොයි තරම් සතුටෙන්ද . . . ඒත් ඒ පාරෙම අද මට තනියෙම පියනගන්න සිදුවීම තරම් දරාගත නොහැකි වෙන යමක් ඇතැයි ඔබට නොසිතේද . .. ?

මේ මැයි ගහ යට

මේ මැයි ගහ යට දවසක්දා
මතකද අපි උන්නා
රතු කැට වාගේ මැයි මල් පිපී පිපී
අපිට සෙවන දුන්නා

මැයි මාසේ එක සැන්ඳෑ වරුවක
සීතල වැහිපොද වැටෙන වෙලේ
ආදර වියෝවත් සිතින් එබෙන සඳ
වැහි පොද සේ නෙත කඳුලු සැලේ

වැහි පොද වැටුනත් ඉස්සර වාගේ
මැයි මල් පිපුනත් රතට රතේ
අප දෙදෙනෙක් නැත අද මා පමනයි
මැයි ගස් සෙවනේ අඳුරු පෙතේ

. . . . . .. . . . .. . .

පාසැල් යන අතරමඟ දී දකින දෙමහල් නිවසේ සඳළුතලයේ සිට සිනා මල් එවන ඇය කවුද . . . ඒ සිනාව ඔස්සේ ඈ පවසන කතාව මට වැටහුනාද . . . ඈ එසේ සිනා සෙන්නේ මට විතරක්මද . . .. මිතුරන් පවසන දේවල් විස්වාසෙට ගන්නවාද . . .මට කිසිවක් පැහැදිලිව සිතා ගත නොහැකි ඇයි මේ . ..

සිටු කුමාරියේ ඔබේ සිනා

සිටු කුමාරියේ ඔබේ සිනා සඳළුතලාවේ
මගේ හැඟුම් හොරෙන් බමාලා
මට ගෙනා කතාවේ උන් කියූ කතාවේ
මගේ හැඟුම් බිඟුම් කියූ රහස් මේ

පෙරදාක වෙන කවුද ලං වූ වගයි
ඔබ ඉන් මුලා වූ වගයි
මධු යාමයේ ගීත සෝ ගී වුනැයි
ඔබගේම දෙනුවන් කියයි

හමුවීම වෙන්වීම ඔබගේ ලොවේ
එක දාක අරුමේ නොවේ
හැමදාම ඔබ ඒ වගේ නම් අනේ
ඔය මල් හිනා නෑ අගේ

. . . . .. . . . ..

මේ කෙල්ල අදත් එන්නේ නෑ වගේ . . . එයාමයි කිව්වේ මෙතන මේ බීච් එක ලඟදී මුනගහෙමු කියලා . . ඒත් අද එයා නාවේ ඇයි . . ෂිහ් දැන් ඉතිං ලබන සෙනසුරාදා වෙනකම් හිටපන්කෝ කල්පයක් විතර ඉවසගෙන . .. !!!

මගේ පුන්චි කුමාරී

මගේ පුන්චි කුමාරී
පමා ඇයිද සැඳෑවේ
ආල හැඟුම් මෝරන යාමේ පාලුවේ
ආල හැඟුම් මෝරන යාමේ

ක්ෂිතිජ ඉමේ තනිවෙලා
හිරු අවරට යයි ගලා
තව මොහොතින් අඳුර ගලාවී
ආදර සිත් ආදරයෙන් එක්ව බැඳෙන යාමේ
මා තනිවී සිහින මවාවී

රැය එලිවී දින සතෙකින් යලි ශනිදා ඒවී
කල්ප සතක් මට දැනුනාවේ
කල්ප ගෙවී දින සතෙකින් යලි ශනිදා ඒවී
ඔබ නොලසා ඉන්න දයාවී

. . . . .

"දුකා මාර සීන් එකක් වුනා බන් අද ඉස්කෝලෙදී"
"අහ් ඉරේෂි අද ඕ ලෙවෙල් අන්තිම දවස නේද කොහොමද එග්සෑම් හොඳට කලාද?"
"හිටපන්කෝ පනින්නේ නැතුව . . ඔව් ඔව් හොඳට කලා තව එකක් අපේ ඉස්කෝලෙට ප්‍රයිවෙට් එග්සෑම් කරන අය ලොකු සෙට් එකක් ඇවිත් හිටියා"
"ඉතිං"
"ඒ අය අතරේ හිටියා හරි ලස්සන කොල්ලෙක් බන් ඌ පලවෙනි දවසේ ඉඳන් මට මාර ලයින් . . කොහෙද අපේ කෙල්ලොන්ගෙන් බේරිලා කතා කරන්නේ වත් . . ."
"අයියෝ එඩ්‍රස් එක වත් දුන්නේ නැද්ද බන්"
"මොන එඩ්‍රස් ද බන් දෙන්නම බල බල ඇහෙන් කතා කර කර හිටියා විතරයි . . අද අන්තිම දවසනේ එයාලගේ කට්ටිය එකතු වෙලා සින්දු කිව්වා . .. "
"උඹලත් එකතු වුනාද එයාලා එක්ක "
"ඔව් අනේ එයා මේ සින්දුව මාර ලස්සනට කිව්වා හොරෙන් හොරෙන් මගේ දිහා බල බල . .. "
"පව් අප්පා . ."

සුලඟේ පාවී

සුලඟේ පාවී ඈ වෙත යාවී මා සිතූ සිතුම්
සිහින විමානෙන් ගෙනා මා සිතූ සිතුම්

පාසැලේදී මා දිහා නෙත් කොනින් බලා
ඒ කියූ රහස් කතා නෑ සැබෑ වුනේ

ගී පොතේහී මා ලියූ සෝක ගීතයේ
උල්පතයි ඔබේ නෙතින් හෙලූ බැලුම් ප්‍රියේ

. . . .. . .. .. .. . .

අහිංසක හදවත් දෙකක ඉපදුනු ආදරයක් දෙස දයාවෙන් බැලිය නොහැකි ලෝකයක අප ඉපදුනේ ඇයි . ..
ආදරය කුළ මල දේපල වස්තුව උස් පහත් කම් කිසි දෙයක් නොසලකන බව මේ වැඩිහිටියෝ එයාලගේ තරුණ කාලේදී වත් හිතලා නැද්ද . . .
මේ වගේ කුරිරු මෝඩ සමාජෙක නැතුව ආදරයට අදරයෙන් ආදරය කරන ලස්සන සමාජෙක නැවත් අපි දෙන්නත් ඉපදී එහිදී යලි හමුවෙන්නත් අපි ප්‍රාර්ථනා කරගෙන වෙන්වීම හර අපිට වෙන විකල්පයක් ඇද්ද . . . ?

ඔබයි මමයි මැවූ සිහින

ඔබයි මමයි මැවූ සිහින ලොවම මැකී යයි
දෙ අත රැගෙන එකම දිනෙක අප සමු ගන්නයි

සුනිල පළිඟු දියෙන් සපිරි පොකුන මා තමයි
රුවද සුවඳ එකම පරිදි රැගත් මල ඔබයි
ඔබයි මමයි මැවූ සිහින ලොවම මැකී යයි
දෙ අත රැගෙන එකම දිනෙක අප සමු ගන්නයි

අපට නොමැත නීති රීති සෙනෙහස පමනී
තවත් ලොවක එවන් දිනෙක ඔබෙ අත පතමී
ඔබයි මමයි මැවූ සිහින ලොවම මැකී යයි
දෙ අත රැගෙන එකම දිනෙක යලි හමුවෙන්නයි

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails