Monday, July 22, 2013

ප්‍රසන්න . . !

ලඟදී ෆේස්බුක් එකේ වීඩියෝ දෙකක් දැක්කා.

එකක් මෙහෙමයි: අතපය හතර හොඳට තියෙන මිනිහෙක් එයාගේ කකුලක් දෙකට නවලා ගැටගහගෙන සරම කොටට ඇඳලා ඒ නමපු කකුල වැහෙන්න ඇඳගෙන හිඟාකනවා.

එක ලොකු ගෙයක් ලඟ දී එතන නතර කරන වාහනේ පිටිපස්සේ ඉන්න මහත්මයාටත් හිඟන්නා අතපානවා. මහත්මයා ගනන් ගන්නේ නෑ. ගේට්ටුව ඇරිලා ඩ්‍රැයිවර් කාර් එක වත්ත ඇතුලට දානවා.

හිඟන්න කියවනවා කාරේ එකේ පිටිපස්සේ ගහල තියෙන ලේබලයක්. කොමසාරිස්කෙනෙක්ගේ වාහනයක්. ටික වෙලාවකින් අර කාර් එකේ පිටිපස්සේ ඉඳගෙන හිටපු කොමසාරිස් බහිනවා.

මනුස්සයගේ කකුල් දෙකම පණ නෑ. පෝලියෝ. ඒත් උත්සාහයෙන් ඉගෙනගෙන කොමසාරිස් කෙනෙක් වෙලා. හිඟන්නා තමන් ගැනම හිතනවා.
-------------------------------------------------------------------
අනිත් වීඩියෝ එක කකුල් දෙකම පන නැති අප්‍රිකානු මිනිහෙක් ගැන. එයාගේ නම බිග් මෑන්. මිනිහගේ කකුල් දෙකම පන නෑ. ඒත් තනියෙම බඩ ගාගෙන වගේ ගිහින් තමන්ගේ වැඩ ඔක්කෝම කර ගන්නවා. වත්තේ තණකොල කපනවා. ඉනිමඟක් දිගේ බඩගාගෙන ගිහින් වහලට නැගලා වහලේ හදනවා.
-----------------------------------------------------------------------

ඒ දෙක දැක්ක ගමන් මට මතක් උනේ ප්‍රසන්නව.

ප්‍රසන්න ගැන මට දැනගන්න ලැබුනේ අපේ ජෝර්ජ් අයියා නිසා.

ජෝර්ජ් අයියා එයාගේ පනස්වෙනි උපන්දිනේට විශේෂ යමක් කරපු කෙනෙක්. එයාට ප්‍රසන්නව මුන ගැහිලා තියෙන්නේ නිවාඩු ගිය වෙලාවක අර්ල්ස් රීජන්සි එකට ගිය වෙලාවක. 

ප්‍රසන්න උපතින්ම දෑසින් ලෝකේ දකින්න වාසනාව නොලබපු කෙනෙක්. ඒත් ස්වභාවධර්මය ප්‍රසන්නට හොඳටම අකාරුණික වෙලා තිබ්බේ නෑ. දෑස් නැති අඩුව පුරවන්න ප්‍රසන්නට කඩවසම් රූපෙකුයි, සංගීත හැකියාවකුයි ලබා දීලා තිබුනා.

ප්‍රසන්න අර්ල්ස් රීජන්සි හෝටලයේ පාර්ට් ටයිම් සංගීත ශිල්පියෙක් විදිහට සේවය කරනවා. වාසනාවට එයා හෝටලේ සින්දු කියපු දවසකම අපේ ජෝර්ජ් අයියත් එතනට ගියායින් ඒ දෙන්නා හිතවතුන් වෙනවා.

ජෝර්ජ් අයියා එයාගේ පනස්වෙනි උපන්දිනේට විශේෂ යමක් කලා කිව්වනේ. යාලුවෝ ඔක්කෝටම පාර්ටියට ඉන්වයිට් කලා හැබැයි එක කොන්දේසියක් දාලා. කොන්දේසිය තමයි

"මගේ උපන්දිනයදා මට ලබාදෙන තෑග්ගක් වෙනුවෙන් වැය කරන යම් මුදලක් වේද, ඒ මුදල මගේ 50වෙනි උපන්දිනය විශේෂිත අයුරින් සමරනු වස් විසිට් වීසා එකක් මඟින් ලංකාවෙන් ගෙන්වා ගත් දක්ෂතා පිරිපුන් නමුත් දෑස් නොපෙනෙන කලාකරුවා - ප්‍රසන්නට, ඔහුගේම නිවසක් තනාගැනීමේ සිහිනය සැබෑකරගනු වස් ලබා දෙන්න"
--------------------------------------------------------------

අර වීඩියෝ වල මම දැකපු කොමසාරිස්, බිග් මෑන් වගේ ප්‍රසන්නත් කැමති නෑ තමන්ගේ අන්ධභාවය ලෝකෙට පෙන්නලා ලෝකයාගේ අනුකම්පාව ලබාගෙන අතපාලා ජීවත් වෙන්න.

ඔහු අදීන මනුශ්‍යයෙක්. අතපය හතර, උගත්කම, දක්ෂකම මේ ඔක්කෝම තියාගෙනත් තමන්ගේ බඩ පුරවාගැනීම වෙනුවෙන් දීනයෝ උනු මනුස්සයෝ දිනපතා හතර අතේ දකින්න ලැබෙන සමාජයේ ඔහු වගේ අදීන මනුස්සයෙක්ට මම හදවතින්ම ගෞරව කරන්න දෙපාරක් හිතන්නේ නෑ.

තවම හැබෑවටම මුණගැහිලා නැතත්, ප්‍රසන්න ගැන වගේම ඔහුගේ ප්‍රිය බිරිඳ ගැනත් මට තියෙන්නේ ගෞරවයක්. භක්තියක්.

ආදරේ වෙනුවෙන් රජ සැප අත්හැරපු කුමාරිකවෝ ඒ කිව්වේ තමන් ආදරේ කරන තමන්ගේ මැදුරේ කසල සෝධකයා එක්ක පෙමින් බැඳුනු රත්නවල්ලිලා ගැන, තමන්ගේ මැදුරේ දර පලන්නා සමඟ ආදරයෙන් බැඳුනු පටාචාරලා ගැන අපි අහලා තිබ්බේ පරණ කතාවල විතරයි. ඒවා හැබෑ ලෝකේ කවදාවත් සිදුනොවන නිකම් ම නිකම් කතා විතරක් කියලයි අපි හිතන්නේ.

ඒත් හැබෑ ලෝකෙත් තමන් ආදරේ කරන දෑස් අන්ධ පෙම්වතා වෙනුවෙන් සැප සම්පත් පිරුනු දෙමාපිය සෙවන අතහැර, අන්ධ පෙම්වතාට කණවල අල්ලන්න, දුෂ්කර කන්දක් උඩ තියෙන පැල්පතට කන්ද දිගේ අන්ධ පෙම්වතා වාරු කරගෙන යන්න ජීවිතයම පුද දෙන්න කැමති රූමත්, පෝසත් පෙම්වතියන් ඉන්න බව කිව්වොත් ඔබ විස්වාස කරනවද?

නුවර පෝසත් පවුලක් කෙල්ලෙක් උනු ප්‍රසන්නගේ බිරිඳ, අන්ධ පුද්ගලයෙක් එක්ක පෙමින් වෙළිලා ඔහුගේ සෙවනැල්ලම වෙන්න පතපු හේතුවෙන් පවුලේ දේපල වලින් තඹ සතේක වත්කමක් නොදී පවුලෙන් එළවපු උදාර පෙම්වතියක්.

අම්මල තාත්තලගේ දේපල වලට වඩා අන්ධ පුද්ගලයෙක් උනත් තමන් ආදරය කරන පෙම්වතාට වඩා පෙම්වතියකට මේ ලෝකේ වෙන කිසිම දෙයක වටිනාකමක් නෑ කියලා ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්වපු ඒ පෙම්වතිය / බිරිඳ / සොහොයුරිය / මව ශ්‍රේෂ්ඨ කාන්තාවක් නොවේ කියා ආදරය, මනුස්සකම හඳුනන කිසිවෙකුට කිව හැකිද?

මේ ප්‍රසන්නගේ පුද්ගලික තොරතුරු කීපයක්:
රැකියාව: දෘෂ්‍යාබාදිත පුද්ගලයින් පිලිබඳ සංවර්ධන නිළදාරී
රැකිය ස්ථානය: සමාජ සේවා දෙපාර්තමේන්තුව - මහනුවර, දොඩන්වල අඳ බිහිරි පාසලට අනුයුක්තව
රාජකාරී වේලාව: උදේ 7.30ට දහවල් 1.30 දක්වා
මාසික වේතනය: රුපියල් 22,000/-
උපන් අවුරුද්ද: 1977 ජුනි 15
උගත් පාසැල: මහනුවර කිංස්වුඩ් විද්‍යාලය
අනෙක්: විවාහකයෙක්, වසර 5ක පුංචි පුතෙක්ගේ පියෙක්.
සංගීත හැකියාවන්: බටනළා වාදනය සහ ගායනය
සංගීත කන්ඩායම : විෂන් - කලාකාමී දෘෂ්‍යාබාදිත පුද්ගලයින් කිහිප දෙනෙක්ගේ එකතුවෙන් සෑදූ සංගීත කන්ඩායමේ නායක

2012 පෙබරවාරි 29 වන දින විකාශනය වූ වෙනස වැඩසටහනට ප්‍රසන්න සහ ඔහුගේ විෂන් වාදක කන්ඩායම සහභාගී වුනා. මේ පහත ඇත්තේ එහි යූ ටියුබ් වීඩියෝවක්.

-----------------------------------------------------
රැකියාවට අමතරව ඔහු සමාජ සේවකයෙක්. අන්ධ පුද්ගලයෙක් වුවත් තවත් බොහෝ වූ අන්ධ පුද්ගලයින්ගේ සුභ සාධනය වෙනුවෙන් ඔහු ස්වේච්ඡාවෙන් සේවය කරනවා. ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යාබාදිත සම්මේලනයේ මධ්‍යම පලාතේ සභාපති ඔහුයි.
මහනුවර, මාතලේ, නුවර එලිය දිස්ත්‍රික්ක 3 හෙවත් මධ‍යම පලාතේ වෙනුවෙන් ඔහු දැනට වසර හතරක් නිතරඟයෙන් සභාපති ලෙස පත්වී තිබෙනවා. වසර 2ක් ලේකම් ලෙස සේවය කර තිබෙනවා.

ප්‍රසන්න සහ පුතා රැකබලා ගත යුතු නිසා බිරිඳට රැකියාවක් කරන්න අවස්ථාවක් ප්‍රසන්නගේ පවුලේ නැති නිසා පවුලේ සියළු බර දරන්න සිදුවන්නේ ඔහුගේ මාසික වේතනයන් පමනයි.

උපතින් දෑස් නොපෙනුනත් පුතෙක්ට අම්මා තාත්තා ගැන තියෙන වගෙකීමෙන් මිදෙන්න හැකිද? ප්‍රසන්න ඔහුගේ මාසික වේතනයෙක් දෙමාපියන්ගේ නඩත්තුවටත් යොදවන උදාර පුතෙක්.

ඔහුගේ රැකියාව දෘෂ්‍යාබාදිත පුද්ගලයින් පිලිබඳ සංවර්ධන නිළධාරී, මධ්‍යම පලාතේ ඔහුගේ සේවල ලබාදිය හැකි එකම ස්ථානය ඔහු සේවය කරන දොඩංවල අඳ බිහිරි පාසල පමනයි. ඒ නිසා ගමනාගමන පහසුවට ඔහු රැකියා ස්ථානය අසල නිවසක් මාසිකව රුපියල් 6,000/-ක කුලියට ලබාගෙනයි ඔවුන් එහි පදිංචි වී සිටින්නේ.

මාසික වේතනයෙන් සියලු බර දරන්න නොහැකි නිසාම තම සංගීත හැකියාවෙන් කල හැකි පාර්ට් ටයිම් රැකියා සෙවූ ප්‍රසන්නට අර්ල්ස් රීජන්සි හෝටයේ බටනලා වාදනය කිරීමෙන් උපයන මුදල මහමෙරක් තරම්.

තමාගේම කියා හිසට සෙවනක් ලැබීම මෙලොව උපන් සියළුම මිනිසුන්ගේ ප්‍රධානම සිහිනයයි. අන්ධ පුද්ගලයෙක් වූ පමනින් ප්‍රසන්නට ඒ සිහිනය අකපැද?

ඔහුගේත් එකම සිහිනය තමන්ගේම කියා ඉඩමක පුංචි නිවසක් සාදාගැනීම.

හිතවතෙකුගේ ආරාධනයෙන් පැදුරු පාර්ටියක ගීත ගයන්න ගිය ප්‍රසන්නට එකල දිස්ත්‍රික් ලේකම් ජී.ඒ (දිසාපති) ගෝඨාභය ජයරත්න මහතා (වර්ථමාන අධ්‍යාපන ලේකම්) පොරොන්දුවක් ලබාදෙනවා ඔහුගේ බල ප්‍රදේශයෙන් ඉඩමක් ලබා දෙන්න. දේශපාලන හෙයිංචයිලාට රුපියල් සීයට අක්කරේ මිලදී ගන්න හැකියාව ඇති අපේ රටේ දෑස් නොපෙනෙන ප්‍රසන්නට පර්චස් දහයක් ලබා දෙන්න අපේ රටේ සිස්ටම් එක එතුමට ඉඩ ලබා දුන්නේ නෑ.

තවත් අන්ධ දරුවෙකුට ටියුෂන් දෙන්න ගිය වෙලාවක අඳුනා ගත් විමල් වීරවංශ මහතාගේ සම්බන්ධීකරණ ලේකම් නිමල් ප්‍රේමවංශ මහතා නම් හිතවතාගේ මාර්ගයෙන් සහ ඇමති මහින්දානන්ද අළුත්ගමගේ මහතාගේ මැදිහත්වීමෙන් නිවාස ඇමති විමල් වීරවංස මහතා ඔහුට මාසික වාරිකය රුපියල් 9,000/- බැගින් වසර 20කින් පොලී රහිතව ගෙවීමේ පදනමට ඉඩමක් ලබා දී තිබෙනවා.

හිතන්න මාසිකව රුපියල් 22,000ක වේතනයක් ලබන අයෙක් රුපියල් 9,000ක ඉඩම් වාරිකයත්, රුපියල් 6,000ක නිවාස කුලියත් ගෙවූ පසු ඉතුරුවන රුපියල් 7,000න් තුන්දෙනෙක් වූ තමන්ගේ පවුලත් දෙමාපියන්වත් නඩත්තුවත් කෙසේ කරයිද කියා?

ඊටත් වඩා එසේ වසර විස්සක් ඉඩමේ වටිනාකම ගෙවූ පසු ඔහුට වසර 55 වූ පසුවද තමන්ගේම නිවස යන සිහිනය සැබෑ කර ගන්න සිදුවෙන්නේ?

දෘෂ්‍යාබාදිත පුද්ගලයින් පිලිබඳ සංවර්ධන නිළදාරී තණතුරට අදලා ලියකියවිලි, දැන හඳුනාගත් නිලධාරීන් මාර්ගයෙන් තමන්ට නිවසක්  ලබාගන්න බැරි කමක් ප්‍රසන්නට නැත්තේ නෑ නමුත් දෙනෙතින් අන්ධ පුද්ගලයෙකු වුනත් හදවතින් බොහෝම හොඳින් ලෝකයේ හොඳ නරක දකින පුද්ගලයෙක් ලෙස එවැනි සදාචාර විරෝධී වැ ඩක් කරන්න ප්‍රසන්නගේ කොහෙත්ම කැමැත්තක් නෑ.

ප්‍රසන්නට ඔබගේ, මගේ, අපගේ උපකාරය අවශ්‍ය වෙන්නේ ඒ නිසයි.

නමුත් ඔහු නිකම්ම අපෙන් ආධාර බලාපොරොත්තු වෙන්නේ නෑ.

ඔහුගේ සංගීත හැකියාවෙන් අපි ප්‍රයෝජන ලබා ඊට ප්‍රති උපකාරයක් ලෙස ඔහු වෙනුවෙන් අපට කල හැකි දේ කරනවාටයි ඔහු කැමති.

පුද්ගලික මිතුරු සාද, ෆේස්බුක් සමාජ ජාලයේ මිතුරු සාද, කාර්යාලයීය සාද ආදී පැදුරු සාජ්ජ හෝ ගීත සාජ්ජයන් සඳහා අදාලා එකඟ වූ ගාස්තුවක් ගෙවා ගායකයෙකු වාදකයෙකු ලෙස ප්‍රසන්න සහභාගී කරගැනීමෙන් අපට ඔහුට පිහිට විය හැකියි.

තවත් ආකාරයකින් ප්‍රසන්නට උපකාරයක් කිරීම වෙනුවෙන්ම පැදුරු සාජ්ජ සංවිධානය කර අදාල ගාස්තුව ගෙවා ප්‍රසන්නගේ විෂන් සංගීත කන්ඩායම හෝ ප්‍රසන්න පමනක් ගෙන්වාගෙන ඔවුනට අපෙන් විය යුතු යුතුකම් ඉටු කරන්න අපට පුලුවන්.

විශේෂයෙන්ම පිටරට සංගීත සංදර්ශන සංවිධානය කරන අය මේ ලිපිය කියවන අය අතර ඉන්නවා නම්, ඔවුන්ගෙනුයි මේ විශේෂ ඉල්ලීම . .

කරුනාකර ඔබලාගේ මීලඟ සංගීත සංදර්ශනය වෙනුවෙන් ගායකයෙක්, වාදයකයෙක් ලෙස ප්‍රසන්න සහභාගෙ කරගන්න. දෑසින් ලෝකය දකින්න වාසනාවක් නොලැබූ දක්ශතා සපිරුනු කලාකරුවෙක්ට දරු පවුල සමඟ ඔහුගේම නිවසක ජීවත්වීමේ සිහිනය සැබෑකර ගන්න ඔබෙන් ඔහු වෙනුවෙන් යමක් කල හැකි නම් එය ඔබ මියයනතුරාවට සිහිපත් කර සිත සතුටු කර ගත හැකි මහඟු පිනක් වනවා නොඅනුමානයි.

කලින් සඳහන් කලා ප්‍රසන්න අපෙන් නිකම්ම ආධාර බලාපොරොත්තු වෙන්නේ නැති බව.
ඔහු ආඩම්බරකාරයෙක් කියා වරදවා වටහා ගන්න එපා.

මඟ තොට යන එන පාරේ අපි සිඟමනේ යෙදෙන ආබාධිතයින් බොහෝ විට දකිනවා. ආබාධායක් නැති අයත් ආබාධිතයන් ලෙස වෙස්වලගෙන අපෙන් ආධාර සිඟමන් ඉල්ලනවා.

එවන් වූ ලෝකයේ තවත් තමන්ගේ දෘශ්‍යාබාදය විකුනාගෙන කන්නෙක් ලෙස අනෙක් අය තමාව දකීවී යැයි හැඟීම නිසායි ඔහු එසේ නිකම් ආධාර ලබන්න අකමැති.

නමුත් හදවතින්ම ප්‍රසන්න වෙනුවෙන් උපකාරයක් කරන්න කැමැති පරිත්‍යාගශීලීන් වෙත්නම් අන්‍යෝන්‍ය අවබෝධය මත ඔවුන්ගේ ආධාරය ලබා ගන්න ඔහුගේ අකමැත්තක් නෑ.

මේ පහත දැක්වෙන දුරකථන අංක මඟින් ප්‍රසන්නව සම්බන්ධ කර ගන්න පුලුවන්.

071 80 72 179 , 077 794 96 39

ජෝර්ජ් අයියගේ උපන්දිනය වෙනුවෙන් එකතු වුනු ප්‍රසන්නට ලබා දුන් රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදල ඔහු මොන අඟහිඟකම් මැද්දේ උනත් පරිස්සම් කර තබාගෙන ඔහුගේ නිවසේ අත්තිවාරම දමා නිම කර ගැනීමට ඔහු සමත්වී තිබෙනවා.

වැඩ නිමාවූ අත්තිවාරම දෙස "දෙනෙතින් බලා සිටින" ප්‍රසන්නගේ බිරින්දත් සුරතල් පුතාත් දෙනෙත් අන්ධ නිසා "හදවතින් බලා සිටින" ප්‍රසන්නත් සිටින මේ පින්තූරය දෙස මා බලන්නේ කඳුලු පිරි දෑසින්. ඔවුන්ගේ ගෙපැල නිමා කරගන්න මට පුංචි උපකාරයක් හෝ කරන්න හැකි නම් . . .


මේ ජෝර්ජ් අයියගේ උපන් දින සාදයේ ප්‍රසන්න ගීත ගයන අවස්තාවක්.

මේ බටනලා වාදනය කරන අවස්ථාවක්

ජෝර්ජ් අයියා නිතර පවසනවා වගේ "ජීවිතයේ සුන්දරත්වය රඳා පවතින්නේ අප කෙතරම් සතුටු වනවාද යන්න මත නොව අප නිසා අන් අය කෙතරම් සතුටු වනවාද යන්න මතයි" ඔව් මම මට හැකි පමණින් යමක් කරමි . . ! 

ඔබටත් එසේ කරන්න පුලුවන් නම් . . . කලින් කීවාක් මෙන් මරණ මංචකයේදී හෝ සිතා සතුටු විය හැකි දානයක් වේවි එය . . .

මේ පහත ඇත්තේ තමන්ගේ ගායන වාදන දස්කම් සලකා බලා දෙස් විදෙස් සංගීත සැඳෑවන් සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා ප්‍රසන්න විසින් සකස් කල ලිපියක් .
මහනුවර පල්ලේකැලේ ප්‍රදේශයෙන් ප්‍රසන්නට ඉඩමක් අනුමත වූ බවටත් එහි වාරිකය සහ වාරික කොපමන වෙදැයි යන්න ගැනත් සඳහන් වන ලිපිය මේ පහත අමුනා ඇත.

නොපෙනෙන දෙනෙතට දෙනෙතක් විය හැකි නම් . .
හඬ නැති මුවඟට කට හඬ දිය හැකි නම් . . . පොඩි මිතුරෝ . . මම නුඹ සිප ගන්නම් . .. ! මේ නන්දා මාලනී මහත්මිය ගායනා කරන ගීයක කොටසක් . . . !

Sunday, June 2, 2013

Happy B'day Darling . . . !


ගිය අවුරුද්දේ නදීෂාගේ උපන්දිනේට "පලංචියේ ලී ඉරුවේ අපි එකට" සිංදුවට වෙන වෙන වචන දාලා පෝස්ට් එකක් ලිව්ව වෙලවේ අපේ කකා මට කිව්ව "දුකා, කොපියක් නෙමේ අළුත්ම සින්දුවක් ලියපං!" කියලා.


කවදා හරි සිංදුවක් ලියන්න ඕන කියලා හිතලා තිබුනට නදීෂාගේ උපන් දිනේට සිංදුවක් ලියන්න ඕන කියලා හාංකවිසියක් හිතලා තිබ්බේ නම් නෑ.


අපේ ගෙදර උන්දෑ නදීෂාට වටින කියන භෞතික තෑගි අරන් දෙන එක හරිම අමාරු කාරියක්. මොකෝ වෙන අයගේ උන්දැලා වගේ නෙමෙයි අපිට ගෙයක් නෑ, කාර් එකක් නෑ වගේ පොදු ඉල්ලීම් තිබුනට  එයා ආසා කරන වටින දේවල් අරන් දෙන්න ගියාම ගන්නේම නෑ.


කොටින්ම ගිය නිවාඩුවෙදි අපේ පරන බ්ලොග් කාරයෙක් වෙච්චි තාරක සමරණායක මුනැගැහෙන්න නුවර එයා වැඩ කරන මැනික් සාප්පුවට ගිය වෙලාවේ අපේ උන්දෑ ආසාකරන කලු පාට ගලක් මැදට හිටින්න වටේට White Sapphire ගල් අල්ලපු ඩිසයින් එකකින් පෙන්ඩන්ට් එකක්, කරාබු දෙකක් බ්‍රේස්ලට් එකක් හදවන්න ගනම් මිනුම් කතා කරගෙන ඇවිත් ඇඩ්වාන්ස් එක පස්සේ එවන්නම් කියලා ආවට "ඕන නෑ අනේ එච්චර ගානක් වියදම් කරන්න" කියල ඒක කපා හැරලා.


එහෙව් එකේ මම හිතුවා අද නදීෂාගේ උපන් දිනේට විශේෂ තෑග්ගක් දෙන්න.


මෙදා සැරේ උපන්දිනේට විශේෂ තෑග්ගක් දෙන්න ඕන කියලා මාස ගානක් කල්පනා කර කර ඉන්නකොට තමයි මට මේ අදහස හිතට ආවේ.


පස්සේ දැනට මාස එකහමාරකට විතර කලින් දවසක් ඩුබායි ගිහින් මහ රෑ තනියෙම ආපහු අබුඩාබි එන ගමනකදී තෑග්ගේ සම්පූර්න අදහසම එක සැරේම හිතට ආවා.


අහ් කියන්න බැරි උනානේ, විශේෂ තෑග්ග තමයි නදීෂා වෙනුවන් සිංදුවක් ලියන්න ඕන කියන එක.


අර මාස ගානක වචන ගැටගැහිල්ලේ අග්‍ර ප්‍රතිඵලය විදිහට එක පාරටම ඒ සින්දුවේ වචනයි ඒ වචන මේ වගේ තාලයක් උනා නම් හොඳයි කියන එකයි හිතට ආව ගමන් මම කලේ ඒ ටික අමතක වෙන්න කලින් ෆෝන් එක රෙකෝර්ඩ් කරගත්තු එක.


එදා ඉඳන් දන්න කියන සංගීත කාරයෝ සෑහෙන දෙනෙක් එක්ක කතා කලා ඒ සින්දුවට තාලයක් දාලා සම්පූර්ණ ගීතයක් විදිහට වැඩේ අවසන් කරන්න.


හරි හරි කරලා දෙන්නම් කිව්වා උනාට එහෙම කියපු ඔක්කෝම අය පොල්ල තිබ්බ මිසක් කිසි කෙනෙක් වචනෙන් එහාට ගිය උනන්දුවක් පෙන්නුවේ නෑ. මම මුල ඉඳන්ම වැඩේ කතා උනේ නිකම් කර ගන්න නෙමේ සල්ලි දීලා කර ගන්න. ඒත් ම්ම්ම්හූ . . .


පස්සේ ඒ සින්දුවක් කරන අදහස අමතක කරලා වගේ ඉන්න මොහොතක අහම්බෙන් පැදුරු පාර්ටියක් ඕගනයිස් කරන වැඩක් ගැන කතා උනු වෙලාවක යාලුවෙක් කිව්ව මෙන්න මෙහෙම.


"මචං හර්ෂන බලපිටිය කියලා සිරා මියුසික් වැඩ කාරයෙක් ඉන්නවා. මම උඹට උගේ නම්බර් එක දෙන්නම්"


එදාම හවස් වෙද්දී නම්බර් එක ඉල්ලගෙන හර්ෂණට කෝල් කලා.


"හරි අයියේ මම ලබන සඳුදා නිවාඩු. අයිය මගේ ගෙදර එන්න. අපි වැඩේ කරමු"


හැමදාම හවසට නදීෂායි විරුලුයි ස්කයිප් එකෙන් චැට් කරන්න බලන් ඉන්න බව දන්න නිසා අද එන්න එපා වෙන ගමනක් යනවා කියලා සඳුදා හවස වැඩ ඇරිලා එන ගමන් ගියා හර්ෂණ මල්ලිගේ ගෙදර.


කලින් වචන ටික ඊමේල් කරල යැව්වත් මම යද්දී ප්‍රින්ට් අවුට් එකක් අරන් ගියා.


හර්ෂන මගේ ෆෝන් එකෙන් එක සැරයක් ඇහුවා අර මම කලින් රෙකෝර්ඩ් කරපු එක.


ගත්තා ගිටාර් එක. ඇස් දෙක වහගෙන ගිටාර් එකේ තත් දෙක තුනක් හැඬෙව්වා. අර කොලේ අරගෙන වචන පේලියක් ලඟින් අකුරක් ලිව්වා.


ආපහු ඒ වැඩේම කලා, ඊලඟ පේලියට අකුරක් ලිව්වා.


ඔහොම ඔහොම පේලි ටික ඔක්කෝටම අකුරු දැම්මා. ඒ දාලා තියෙන්නේ ගිටාර් කෝඩ්ස්. සංගීතය ගැන මම දන්න තරම තමා ඈ


පැයක් විතර ගිහින් හරි අයියේ අපි නිකම් පොඩි රෙකෝඩින් එකක් කරලා අහල බලමුද කිව්වා.


හර්ෂණ ගිටාර් එක ගගහා සින්දුව කිව්වා . .


මට පිස්සු හැදුනේ නැති ටික විතරයි.


අර මම හිතපු විදිහට වඩා සිය දහස් ගුනයක් උපරිමයෙන් ඌ ඒ රෙකෝඩින් එක කලා.


සමහර වචන කීපයක් රෝ වැඩියි වගේ කියලා වෙනස් කරන්න කතා උනා.


"අයියේ මෙන්න මේ වගේ අදහසක් එන වචන ටිකක් ආවනම් මේක සිරා"


පස්සේ තව සැරයක් රෙකෝඩ් කරල ඉවර වෙලා


"හරි මල්ලී එහෙනම් ඉතුරු ටික ඔයා කල්පනා කරලා හදන්න. මම ගෙදර යන්නම්" කියලා ගෙදර යද්දී මඟදීම ආපහු ඔලුවට ආවා හර්ෂන කියපු අදහසට ගැලපෙන වචන් ටික.


ඒ වෙලාවෙම කෝල් කරලා ඒකත් ලියා ගන්න කිව්වා.


අයියේ අපි දැනට මේ වගේ කරලා අක්කගේ උපන්දිනේ දවසට මේක එලියට දාමු. පස්සේ මම නිවාඩු ගියාම හරියට රෙකෝඩින් කරගෙන එන්නම්. හර්ෂණ එහෙම කිව්ව.


මම අපේ දුමියයි දර්ශනයි එක්ක කතා කලාම දෙන්නම කැමති උනා වැඩේට උපරිමයෙන් සහයෝගය දෙන්න.


ඒ කියන්නේ මේ තියෙන්නේ ප්‍රඩක්ෂන් එකේ Early release වර්ෂන් එක.


Final release එකේ මතුවට.


මෙන්න මෙතනින් සින්දුවේ early release වර්ෂන් එක අහන්න පුලුවන්.

මේක මේ පලවෙනි රෙකෝර්ඩින් එක නිසා ගොඩක් අඩු පාඩු තියෙනවා. හර්ෂණ පොරොන්දු උනා නිවාඩුවට ලංකාවට ගියාම මේක ට ගිටාර් පාර්ට් එකත් එක්ක යන වයලීන් පාර්ට් එකක්, බොන්ගෝ හරි තබ්ලා හරි පාර්ට් එකක් එහෙම එකතු කරලා ප්‍රොෆෙෂනල් මියුසික් කොම්පෝසර් කෙනෙක් ලව්වා වැඩේ උපරිමයෙන් නිමා කරන්න. 


හරි ඒ තියෙන්නේ ප්‍රඩක්ෂන් එකේ නිධාන කතාව.


මේ තියෙන්නේ සිංදුවේ නිධාන කතාව.


2011 මාර්තු මාසේ මම වැඩ කරපු ආයතනයේ අලුත් ව්‍යාපෘති නැති නිසා මගේ රස්සාව නැති උනු බව බ්ලොග් පාඨකයෝත් ලඟම හිතවතුනුත් දන්නවා.


ඒ වෙනකොට අප්‍රේල් ඉඳන් පුතාට යන්න අබුඩාබි වල ස්කෝලෙකට ගෙවීම් එහෙමත් කරල තිබ්බා උනත්, ගේ හදන්න ගත්තු ලෝන් වල වාරිකයි, ගෙවල් කුලීයි මාසික වියදම් එහෙමයි බැලුවහම හොඳම දේ පුතාව අරන් ලංකාවට ගිහින් එහේ ඉකෝලෙකට දාන එක කියලා අපි කතා වෙලා අම්මයි පුතයි මාව දාලා ගියා.


ගිහින් නදීෂා කලින් ඉඳන් කර කර ඉඳලා ඉවර කරන්න බැරි උනු Dress making කෝස් එක ඉවර කලාම එයාලගේ අම්මා හොයල දුන්නු සපත්තු හදන කෝස් එකත් කලානේ.


ඒකෙන් පස්සේ අපි කලින් ඉඳන් කතා වෙලා තිබ්බ විදිහට "Virooz" කියලා අපේම ෆැශන් බෑන්ඩ් එකක් රෙජිස්ටර් කරලා 2012 පෙබරවාරි 27 අපේ Virooz සපත්තු බිස්නස් එක පටන් ගත්තා.


සිවිල් ඉන්ජිනේරු ක්ෂේත්‍රයේ හිටපු නදීෂා, "විරුල් හෙවත් මගේ සොඳුරු ත්‍රස්තවාදියා "ට අම්මගෙයි අප්පච්චිගෙයි දෙන්නගේම උනුහුම වෙනුවට අම්මගේ උනුහුම වත් උපරිමයෙන් දෙන්න ඕන නිසා සපත්තු හදන කෙනෙක් උනේ ඔන්න ඔහොමයි.

මේ විස්තර බොහෝ දෙනෙක් දන්නවා.


රැකියාවක්, ව්‍යාපාරයක් කලත් නොකලත් හැම බිරිඳක්ම පවුලේ බරන් විශාලම කොටසක් උහුලනවා. ගේදොර පිලිවෙලට තියා ගන්න එක, ළමයින්ගේ ඉගෙනීම, උයන පිහන වැඩ. ගෘහනියකගේ වැඩ රාජකාරී ගැන හිතුවාම එයාලා ඒ ඔක්කෝම කොහොම කර ගන්නවද කියල පුදුමත් හිතෙනවා.


සපත්තු වැඩේ පටන් ගත්තු දවසේ ඉඳන් නදීෂා, එයාගේ අප්ප්ච්චි එක්ක හරි නංගි එක්ක හරි යාලුවෙක් එක්ක හරි පිටකොටුවේ ගිහින් සපත්තු හදන බඩු අරගෙන බස් එකේ දාගෙන නුවර අරන් ඇවිත්, එහෙම නැති නම් නුවර පුරාම එක එක තැන් වල තියෙන සපත්තු බඩු කඩවලින් බඩු අරගන්න විඳින දුක කොයි තරම්ද කියලා දැන ගත්තේ මම නිවාඩු අවහම අපි දෙන්නම පිටකොටුවෙයි නුවරයි කඩවල් ගානේ රස්තියාදු උනු නිසා තමයි.


බඩු ගේන එක විතරක් නෙමේ බිස්නස් එකේ අනිත් සියලුම වැඩ තනියෙම කරගෙන යන්න එයා විඳින දුක දැක්කම මට හැම තිස්සෙම නදීෂා ගැන පුදුම දුකක් දැනෙනවා.


නදීෂා වෙනුවෙන් ලියවුනු ගීතයේ


දිවි බරට උරදී
ඔබ උහුලනා දුක් රළ රැලී
සිහිව සිත සසැලේ
හද දුක් සුසුම් රැල් සැලි සැලී . . //”


කියන කොටස මගේ හිතට ආවේ ඒ විදිහට


නදීෂා වෙලවකට අපේ "අක්කා" ගෙදර ඉන්න කාලේ වගේ හරිම ඇණයක්. ඕන එකයි එපා එකයි හැම දේටම ඇඟිලි ගහනවා. වෙලාවකට "නංගී" වගේ ජොලි පොරක්. ඕන මහරෑක උදේක දවාලක ඕන ගමනක් යන්න . . . ඕන වලක් බහින්න එක පයින්. ඉතින් වෙලාවකට සහෝදරියක් වගේ.


බීලා ආවහම එලියට දාලා දොර වහනවා වගේ, ඔලුව කැක්කුම හැදුනාම ඔඩොක්කුවේ තියාගෙන සනීපෙට ඔලුව මසාජ් කරනවා වගේ අම්ම කරන ජාතියේ වැඩ අම්ම කරන විදිහටමත් කරනවා. ඉතිං වෙලාවකට අම්ම කෙනෙක් වගේ
.
රහස් කියන්න, උපදෙස් ගන්න, ට්‍රිප් යන්න, එක එක පිස්සු වැඩ අත්හදා බලන්න, ඕප දූප කතා කරන්න, හවුලේ වලි දාගන්න වගේ යාලුවෙක් / යෙහෙලියක් එක්ක කරන ජාතියේ ඕන දේටත් ඉන්න නිසා වෙලාවකට යෙහෙලියක් වගේ.


කලින් දවසේ වලියක් දාගෙන තරහ වෙලා මූන බුම්මගෙන හිටියත් උදේ වැඩට යන්න කලින් නැගිටලා කෑම උයලා කෑම එක බෑග් එකට දානවා. එයා අසනීපයක් හැදිලා ඉන්න වෙලාවක හෙට උයන්න එපා මම කඩෙන් කන්නම් ඔයාලට කෑම ඕඩර් කරල ගෙන්වලා දෙන්නම් කිව්වත් බැරි බැරි ගාතේ හරි උදේ නැගිටලා උයලා තේ හදලා දෙනවා.

ගේ කැලේ වගේ තියෙනවට මම කෑමතිම නැතිබව දන්න නිසා විරුල් ගේ උඩ යට පෙරලුවත් මම එන්න කලින් අස් කරලා තියෙනවා. හැම විදිහකින්ම පතිනියකගෙන් වෙන්න ඕන යුතුකමුත් ඉටු කරනවා.


ඒ ඔක්කෝම චරිත එකට ගත්තාම වැඩිපුරම වෙන්නේ අපේ දුක් කරදර වලට හවුල් වෙන ඒක නේද කියලා හිතුනාම ආපහු එයා ගැන දුක හිතෙනවා.


ඕවා ගැන හිතුවාම මට හිතුනේ සින්දුවේ දෙවෙනි කෑල්ල මේ වගේ ලියන්න.


“ගැහැනු සතරක්
එකම සිරුරක
සැඟව ඇත සිරවී . .
යෙහෙළියක ලෙස
සොයුරියක ලෙස
පතිනියක ලෙස
මවක් ලෙස ඔබ
උහුලනා දුක් රළ රැලී . .
සිහිව හිත සසැලේ . .
හද දුක් සුසුම් රැල් සැලි සැලී . .”


පුතාත් අරන් ගිහින් ලංකාවේ පදින්චි වෙලා නදීෂා බිස්නස් එක කරගෙන යනවා. මම මාස තුනෙන් තුනට වගේ ලංකාවට යනවා.


ජොබ් එක නැතිවෙලා දවස් 10ක් විතර ගෙදර ඉඳලා සෙට් උනේ යාලුවෙක්ගේ කොම්පැනියක ජොබ් එකක්. ඒත් පැකේජ් එක කලින් එකේ තරම් නෑ. ඒ මදිවට වෙලාවට පඩි දෙන්නෙත් නෑ.


අවුරුද්දකට විතර පස්සේ පරන කොම්පැනියෙන්ම ආපහු එන්න කියලා ආරධනා කලා. අපහු ඒකටම සෙට් උනා.


හැම තැනකම බොස් ලා ෆිට් පොරවල් නිසා නිතර නිතර නිවාඩු යන එක ලොකුම අවුලක් උනේ නෑ.


ගිය අප්‍රේල් නිවාඩුවට එද්දී නිවාඩු ඉතුරු වෙලාත් නෑ. ලොක්කා කිව්වේ අපි පස්සේ අඩු කරගමු. උඹ පුතාගේ ඉස්කෝලේ නිවාඩුවට ගිහින් උගේ ලඟ හිටපන් කියලා.


මම මෙහේ රස්සාව කරගෙන මාසේ ගානේ සල්ලි යැව්වට අනිත් බිරින්දෑලට වගේ සැමියගේ උනුහුමේ හෑමදාම දැවටිලා ඉන්න වාසනාවක් නදීෂාට නෑ.


ඒ මදිවට පුතාගේ ඉස්කෝලේ වැඩයි බිස්නස් එකේ වැඩයි, ගෙදර අයගේ දේවල් තිබ්බොත් ඒවයේ වැඩයි, එක එක විදිහට අපේ උදව් ඕන වෙන යාලුවන්ගේ නෑදෑයන්ගේ වැඩ අරව මෙව්වා මේ ඔක්කෝම වැඩ කරගෙන බැලන්ස් කරගෙන යන එක හරියට කුනාටු ගහන සාගරයෙක නැවක් පදවගෙන යනවා වගේ වැඩක් කියලා මට හිතුනේ.


අන්න ඒ නිසයි ගීතයේ ඉතුරු ටික මේ විදිහට ලිව්වේ


“දුරු රටක හිඳ
කාසි එව්වට
උනුහුමද නොලැබී . ..
රළ මතින් සැඩ
සුළං මැඩගෙන
නැවක් පදවන
නියමුවෙකු ලෙස ඔබ
සියළු දුක් ගිනි විඳිමිනී
සිහිව හිත සසැලේ . .
හද දුක් සුසුම් රැල් සැලි සැලී . .”


දැන් මුලු ගීතයම එකට එකතු කලොත් මේ වගේ


දිවි බරට උරදී
ඔබ උහුලනා දුක් රළ රැලී
සිහිව සිත සසැලේ
හද දුක් සුසුම් රැල් සැලි සැලී . . //


ගැහැනු සතරක්
එකම සිරුරක
සැඟව ඇත සිරවී . .
යෙහෙළියක ලෙස
සොයුරියක ලෙස
පතිනියක ලෙස
මවක් ලෙස ඔබ
උහුලනා දුක් රළ රැලී . .
සිහිව හිත සසැලේ . .
හද දුක් සුසුම් රැල් සැලි සැලී . .


දුරු රටක හිඳ
කාසි එව්වට
උනුහුමද නොලැබී . ..
රළ මතින් සැඩ
සුළං මැඩගෙන
නැවක් පදවන
නියමුවෙකු ලෙස ඔබ
සියළු දුක් ගිනි විඳිමිනී
සිහිව හිත සසැලේ . .
හද දුක් සුසුම් රැල් සැලි සැලී . .


දිවි බරට උරදී
ඔබ උහුලනා දුක් රළ රැලී
සිහිව සිත සසැලී
හද දුක් සුසුම් රැල් සැලි සැලී . . //


අහලා බලලා කියන්නකෝ කොහොමද කියලා.

එහෙනම් ඔයාලත් එකතු වෙන්න නදීෂාට උපන්දිනේට සුභ පතන්න . . !!


මේ ගීතය සියළුම බිරින්දෑවන්ට උපහාරයක් වේවා . . .!!!!

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails