Monday, February 25, 2013

පොලී මුදලාලිගේ බුද්ධාගම . . !


නිවාඩුවට ලංකාවේ හිටි දවසක අපි ජගත්ලගේ ගෙදර ගියේ ඩිනර් එකකට එන්න කියලා ජගත් - අමිලා දෙන්නම අපිට ආරාධනා කරපු නිසා.

විරුල් ඒ ගෙදර එයාගේ වයසේ ළමයි දෙන්න එක්ක සෙල්ලමට වැටිලා හරියට කෑවෙත් නෑ.

අපි දෙන්න නම් කෑවා මදි නොකියන්න. අමිලාගේ කෑම රසයි.

කාලා ඉවර වේගන එනකොටම ජගත්ගේ යාලුවෝ සෙට් එකක් ආපු නිසා ජගත් කෑම මේසෙන් ඉක්මනට නැගිටලා ගියා.

කාලා ඉවර වෙලා චයිනීස් ග්‍රීන් ටී කෝප්පෙකුත් අරගෙන මම සාලෙට ගියාට ජගත් හිටියේ මිදුලේ.

මාත් තේ කෝප්පේ අරගෙනම එතනට ගියා.

ජගත් මධ්‍යම ප්‍රමානයේ ව්‍යාපාරිකයෙක්. එතන ඌගේ ලෙවල් එකේ බිස්නස් කාරයෝ කීප දෙනෙක් ම ඉන්න බව මම දැනගත්තේ කලින් දවසක ජගත්ලගේ ගෙදරදීම උන්ව මුන ගැහුනු නිසා.

කට්ටිය ම මහා ලොකු සල්ලි කාරයෝ නෙමෙයි නිසා පොලියට සල්ලි අරගෙන තමයි බිස්නස් කරන්නේ. මම එතනට යන වෙලාවේ කට්ටිය එතන කතා කර කර හිටියේ සල්ලි පොලියට ගන්න සීන් එකක් ගැන.

ඒ අපිත් විරූස් පටන් ගන්න කල් යල් බලබල හිටපු දවස් නිසා මාත් උනන්දුවෙන් කතාවට සම්බන්ධ උනා.

"දැන් උඹලට ඔය සල්ලි පොලියට දෙන බුවාලා ඉඩමක්, වාහනේක පොතක් එහෙම ඇපේට ඉල්ලනවද?" මම ශේප් එකේ ඇහුවා.

"ලොකු ගානක් ඉල්ලනව නම් දෙන්න ඕන. ඒත් අපි කලින් දීලා තියෙනවනම් ආයේ ඉල්ලන්නේ නෑ ඇග්‍රිමන්ට් එක වෙනස් කරනව විතරයි"

"ඒ කියන්නේ ලක්ෂයක් දෙකක් වගේ පොඩි ගානකට ඕන නෑ ?"

"අපි බුවාලා එක්ක කලින් ඩීල් කරලා අපිව විස්වාස නිසා ඕන නෑ. ඒත් අපි රෙකමන්ඩ් කලා උනත් අලුත් කෙනෙක්ගෙන් ඉල්ලන්න ඉඩ තියෙනවා, නැති වෙන්නත් ඉඩ තියෙනවා" අපේ විරූස් බිස්නස් සීන් එක ගැන ජගත් දන්න නිසා මම මේ හාර හාර අහන්නේ ඒකයි කියලා හිතලා වෙන්න ඇති ජගා කිව්වා.

"හරි උඹලා රෙකමඩ් කරපු නිසා හරි උඹලගේ යාලුකම නිසා හරි පොලියට සල්ලි ගත්තු කෙනෙක් නොගෙවා ඇරියොත් බුවාලා කොහොමද රිකවර් කර ගන්නේ?"
කට්ටියම මගේ දිහා බැලුවා.

"නෑ මම කිව්වේ ඩීඩ් එකක්, වාහනේක පොතක් මොකුත් නැතුව උඹලගේ යාලුවෙක්නේ කියලා විස්වාසෙට දුන්නු සීන් එකක් නම් එහෙම" ප්‍රශ්නේ ටිකක් සැර බාල කරන්න මම නැට්ටක් එල්ලුවා.

"මොකෝ උඹ මාව විකුනලා පොලියට සල්ලි අරගෙන පොල්ලක් තියන්නද හදන්නේ?" ජගා ඇහුවේ හිනා වෙවී.

"නෑ මම අහුවේ එහෙම දේවල් වෙන්න පුලුවන් නිසා"

"ඒවට බුවාලා ලඟ ක්‍රම සහ විධි තියෙනවා මල්ලී" කට්ටියම  එක එකා දිහා බලන ගමන් හිනාවුනා.

"කියහංකෝ බන් අපිටත් ඒ ක්‍රම සහ විධි. මගේ බිස්නස් එක පටන් ගන්නත් පොලියට ගානක් ගන්න හිතාගෙන ඉන්නවා. දැනගෙන ඉන්න එක කොයි එකටත් හොඳයිනේ" මමත් හිනාවෙවීම කිව්වා.

"මෙහෙමයි, උඹ පොල්ල තියන්න හදනවා කියලා උන්ට තේරුනොත් උඹට අනතුරු අඟවනවා සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා කොල්ලෝ කියලා"

"ඊට පස්සේ"

"ඒත් උඹ ගනන් ගන්නේ නැතුව පොල්ල තියන්න හදනවනම් සල්ලි දෙන එක මඟ අරිනවනම් . . . " කියපු එකා ඉතුරු ටික නොකියා අනිත් උන්ගේ මූනු දිහා බලනවා.

"ඉතිං කියහන්" මට ඉවසිල්ලක් නෑ

"උන් එක්කෝ උඹේ ගෙදර ඇවිත් වටින කියන බඩු ටිකක් සීස් කරනවා, නැතිනම් උබේ පවුලේ කෙනෙක්ගේ අතක් පයක් කඩනවා"

"මොකක් . . වටින බඩුවක් උස්සන් යන එක ඕකේ කියමු. පවුලේ එකෙක්ගේ අතක් පයක් කඩන එක කොහොමද කරන්නේ. රටේ නීතිය කියල දෙයක් තියෙද්දී"

"ඕවා කරන බුවාලා නීතිය ක්‍රියාකරවන්න උඹට වඩා හොඳට දන්නවා මචං"

"ඒත් . . ඒත් . " මට වචන පැටලෙනවා වගේ.

"අතක් පයක් කඩනවනම් එහෙම කරන්නේ පවුලේ කෙනෙක්ගෙනුත් උඹ ගොඩක් ආදරේ කරන කෙනෙක්ට. උඹේ පුතාගේ, වයිෆ්ගේ එහෙම වෙන්න පුලුවන්"

"ඈහ් . . " මට මැවිලා පේන්න ගත්තා මම පොලියට සල්ලි ගත්තු බුවා කොන්ත්‍රාත් කාරයෝ ලව්වා මගේ කිරිකැටියා විරුල්ගේ අතක් මේසෙකට පුටුවකට තියලා නොපිට හරවලා කඩන හැටි.  මගේ ඔලුවේ ඉඳන් මුළු ඇඟම හිරි වැටිලා ගියා. අතේ තිබ්බ තේ එකත් එක්කම වෙව්ලන්න ගත්තා.

ජගායි යාලුවෝ සෙට් එකයි ටික වෙලාවක් මගේ දිහා කන්න වගේ බලන් හිටියා.

"ඔහොම දේවල් ඉංග්ලිෂ් ඇක්ෂන් ෆිල්ම් වල විතරයි . . . මෙහේ, මේ ගෙන්දගම් පොලොවේ වෙන්නේ නෑ කියලා හිතහං මචං . . " ජගා ගල්වෙලා හිටපු මාව අපහු යථාතත්වෙට ගෙන්න ඕනවට මගේ පිටට එකක් ගැහුවා.

"මම කරපු වැරැද්දට අතක් පයක් කඩනවනම් කඩන්න ඕන මගේනේ මචං . . මගේ දරුපැටියා මොකටද මගේ වැරැද්දට දඬුවම් ලබන්නේ? ඒක මහපොලොව උහුලන්නේ නැති අපරාදයක්නේ මචං .. !"

"උඹේ අතක් පයක් කඩලා උඹ එක්තැන් උනොත් කොහොමද ඌ උඹෙන් සල්ලි ටික ගන්නේ. අනික ඒ උඹ කියන විදිහට උඹේ වැරැද්දට උඹ දඬුවම් ලබන්න ඕන උඹේ බුද්ධාගමේ. පොලී මුදලාලිගේ බුද්ධාගමේ එහෙම නෑ මචෝ . . . !"

Pic from: http://www.shutterstock.com/

Tuesday, February 19, 2013

මෙන්න මෙහෙමයි වෙන්නේ . . !



"මචං උඹලගේ බඩු නම් හරි ලස්සනයි. කොහෙන්ද ගෙන්නන්නේ චීනෙන්ද?"

"මොකක් චීනෙන්. . ?"

"අහ් වෙන රටකින්ද? චීනෙන් හරි වෙන රටකින් හරි ගෙනත් උඹලගේ නම ගහල විකුනන එකනේ කරන්නේ නේද?"

"පිස්සුද ඒවා ඔක්කෝම මගේ ගෙදර උන්දෑ නදීෂා ම ඩිසයින් කරලා එයාම හදන ඒවා"

"සිරාවට? එතකොට නදීෂා ඒවා හදන්න ඉගෙන ගත්තද?"

"ඔව් මගේ නැන්දම්මා සපත්තු හදන කෝස් එකක් ගැන විස්තරයක් දැකලා එයාට බල කරලා ඒ කෝස් එක කරන්න කියලා. ඉතිං එයා කෝස් එක කලා. ඒක ඉවර වෙලා තමයි මේ වැඩේට බැස්සේ."


"එතකොට සපත්තු හදන මැෂින් එහෙමත් උඹලා ගත්තද?"

"තාම නෑ බන්. කොහොමත් අපේ සපත්තු 100% හෑන්ඩ්මේඩ්. ගොඩක් අය චීනේ මැෂින් වලින් හැදිලා එන සපත්තු වලට වඩා Handmade ඒවට කැමතියි"

"මැෂින් මොකවත් නැතුව කොහොමද බන් එයා ඒවා හදන්නේ?"

"මහන්න එහෙම තියෙන ඒවට දැනට එයාගේ අම්මගේ සිංගර් මැෂිම යූස් කරනවා. ඒ ඇරුනාම සපත්තු මෝල්ඩ්ස් වලට අමතරව පෑනයි, කතුරයි, ටේප් එකයි, අඩි රූලයි, පේපර් කටර් එකයි, තලන යකඩෙයි, රබර් මිටියයි විතරයි"

"අඩේ නියමයිනේ. එතකොට උඹලගේ Shop එක දාලා තියෙන්නේ කොහේද? කොළඹද, නුවරද?"

"අපි Shop එකක් දාලා නෑ මචං. අපිට තියෙන්නේ ඔන්ලයින් Shop එකක්"

"මොකක්?? ඔන් ලයින් Shop එකක්!! ඒ කිව්වේ?"

"මෙහෙමයි නදීෂා හදන හැම සපත්තුවක්ම මුලින්ම එයාගේ කකුලේ ගානට හදලා, එයා ටික දවසක් දාලා බලලා කොම්ෆොටබල් නම් ඩිසයින් එක ගැන එයා හැපී නම් ෆොටෝස් අරගෙන අපේ ෆේස්බුක් පේජ් එකේයි වෙබ් සයිට් එකේයි දානවා. අපේ වෙබ් සයිට් එකයි ෆේස්බුක් ෆෑන් පේජ් එකයි තමයි අපේ ශොප් දෙක."

"ඒක හොඳයි මචං, කට්ට කාගෙන Shop ගානේ යන්න ඕන නෑ කොම්පුටරේ ඉස්සරහා ඉඳගත්තා, උඹලගේ වෙබ් සයිට් එක බැලුවා. ඕඩර් කලා. එත් එතකොට ඒ සපත්තු අපිට ලැබෙන්නේ කොහොමද?”

"අපි Courier කම්පනි දෙකක් එක්ක ගිවිසුම් ගහල තියෙන්නේ. එකක් ලංකාව ඇතුලේ ඕනෑම තැනකට ගෙනියන්න. අනික ලෝකේ ඕනෑම රටකට ගෙනියන්න"

"එතකොට ඒවායේ ගනං මිනුම්?"

"ලංකාවේ ඇතුලේ ඕනෑම තැනකට එක සපත්තු කුට්ටමක් ගෙනියන්න රුපියල් 200යි. ($1.60), පිට රටවලට පලමු ග්‍රෑම් 500ට ඩොලර් $10 ඉඳන් ඩොලර් $15 වෙනකම් ගානකුත් වැඩිවෙන හැම ග්‍රෑම් 500කට අමතර ඩොලර් $3 ඉඳන් $5 වෙනකම් ගානකුත් දීලා තියෙන්නේ. ඒ නිසා පිට රට යවන සපත්තු වලට අපි එක සපත්තු කුට්ටමක් ඩොලර් $5.60ක් කියලා ඇවරේජ් ගානක් දාලා තියෙන්නේ පිට රට ඉඳන් ඕඩර් කරන කෙනෙක් අඩු තරමින් සපත්තු කුට්ටම් 3ක්වත් ඕඩර් කරයි කියලා උපකල්පනය කරලා"

"ඇයි එහෙම උපකල්පනයක් කලේ"


"ඩුබායි වුනත් යුරෝප් උනත් අපේ කොලිටියේ සපත්තු කුට්ටමක්  අපේ ගාන වගේ තුන් ගුනයක ගානක් ගෙවල මිසක් ගන්න බෑ. අපි රුපියල් 1000ට ($7.20) විකුනන සෙරෙප්පු දෙකක් පිටරටදී ඩොලර් 25ක් වත් වෙනවා. ඊට වැඩි මිසක් අඩු නෑ. ඉතිං පිටරට ඉඳන් අපේ සපත්තු ගන්න කෙනෙක් ලාබ නිසාම එක පාර තුක වත් ගනීවී කියලා අපි උපකල්පනය කලා"

“හරි එතකොට සල්ලි ගෙවන්නේ කොහොමද?"

"ක්‍රෙඩිට් කාර්ඩ් එකක් තියෙන කෙනෙක්ට නම් මෙන්න මේ පහල තියෙන විදිහට වැඩේ කර ගන්න පුලුවන්. .

1. ඉන්ටර්නෙට් ලොග් වෙලා www.viroozv.com ගහලා අපේ වෙබ් සයිට් එකට යන්න.

2. ගිහින් එකේ ප්‍රොඩක්ට්ස් යටතේ තමන් ගන්න කැමති සපත්තු සිලෙක්ට් කරන්න

3. එතනදී සපත්තු සයිස් එකයි කුට්ටම් කීයක් ඕනද කියන එකයි සිලෙක්ට් කරලා මතක තියා ගන්න

4. පස්සේ Add to Bag කියල ක්ලික් කලාම එනවා මෙසේජ් එකක් "Go checkout" එහෙම නැතිනම්  "Continue Shopping" කියලා

5. සිලෙක්ට් කරපු සපත්තුව විතරක් ගන්නවා කියලා හිතුවොත් "Go checkout" එක ක්ලික් කලම සල්ලි ගෙවන තැනට යනවා"

6. එතනදි මුලින්ම රට සිලෙක්ට් කරන්න ඕන. පස්සේ Billing ඇඩ්‍රස් කියන තැනටයි Shipping ඇඩ්‍රස් කියන තැනයි පුරවලා ඉවර උනාම Proceed to Purchase කියන එක ක්ලික් කරන ඕන

7. පස්සේ ක්‍රෙඩිට් කාඩ් එකේ විස්තර ටික එහෙම ඇතුලත් කරලා ගෙවීම සහතික කරන්නයි තියෙන්නේ.


"හරි මෙහෙම හිතමු. මම ඉන්නේ USA මට ඕන නංගිගේ උපන්දිනේට තෑග්ගක් යවන්න. මට පුලුවන්ද මගේ USA ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් සල්ලි ගෙවලා ලංකාවේ ඉන්න නංගිගේ එඩ්‍රස් Shipping එඩ්‍රස් කියලා දාල යවන්න?"

"ම් ම් ම් ගොඩක් අය Paypal එක විස්වාස කරන නිසාත්, ලංකාවේ බැංකුවක පේමන්ට් ගේට්වේ  එකකට එකතු වෙන්න ලොකු ගානක් යන නිසාත් අපි පේමන්ට් ගේට්වේ එක විදිහට පාවිච්චි කරන්නේ Paypal. ඒකේ Billing එඩ්‍රස් වෙන රටක් තිබිලා Shipping එඩ්‍රස් ලංකාව දැම්මට සපෝර්ට් කරන්නේ නෑ. ඒ නිසා ඒ වැඩේ වෙන විදිහකින් තමයි කරන්න වෙනේ"

"ඇයි Paypal එකෙන් එහෙම කරන්න ඉඩ දෙන්නේ නැත්තේ"

"සමහර විට ක්‍රෙඩිට් කාර්ඩ් ෆ්‍රෝඩ්ස් වලට ලංකාව ප්‍රසිද්ද නිසාද දන්නේ නෑ මොකද මගේ ඩුබායි ක්‍රෙඩිට් කාර්ඩ් එකත් ලංකාවෙදි යූස් කලොත් ඒ වෙලාවෙම බ්ලොක් කරනවා. කරලා ආපහු ඩුබායි අවහම අලුත් එකක් දෙනවා"

"හරි එතකොට අර කිව්ව අනිත් ක්‍රමේ මොකද්ද?"

"යවන්න කැමති සපත්තු ටිකේ ගානයි ඒක ලංකාවේ ඇතුලත Deliver කරන්න යන ගානයි හදලා Billing එඩ්‍රස් එකයි Shipping එඩ්‍රස් එකයි එකක් දාලා ඒ වටිනාකමට හරියන්න තියෙන සපත්තු ටිකක් select කරලා ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් සල්ලි ගෙවනවා. ගෙවල ඉවර වෙලා අපිට ඊමේල් එකක් එවන්න සල්ලි ගෙව්ව සපත්තු නෙමෙයි ඇත්තටම මට ඕන කරන්නේ මෙන්න මේ මේ සපත්තු, යවන්න ඕන මෙන්න මේ එඩ්‍රස් එකට කියලා. සිම්පල් ප්ලෑන් එකක්. හි හී"
"එහෙම කරද්දි ගාන පොඩ්ඩක් එහා මෙහා උනොත්"

"අනේ බන් අපි ෂයිලොක් වගේ පපුවෙන් මස් රාත්තලම ඉල්ලන ජාතියේ නෙමෙයි. රුපියල් සීයක හමාරාක ගානක් එහා මෙහා උනාට අවුලක් නෑ"

"ඒත් හැමදාම ඕක කරන්න බෑනේ?"

"ඔව් අපි දියුනු උනාට පස්සේ අවුරුද්දකට රුපියල් 60,000ක් 70,000ක් ගෙවන්න ලංකාවේ බැංකුවක පේමන්ට් ගේට්වේ එකකට සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්නවා. තාම බිස්නස් එක පටන් ගත්තා විතරයිනේ බන්. අඩියෙන් අඩිය නැගලා එන්න එපැයි."

"හරි, ක්‍රෙඩිට් කාර්ඩ් එකක් තියෙන අයට ඔහොම කරන්න පුලුවන්. නැති අයට ගන්න විදිහක් නැද්ද?"


"මොකෝ නැත්තේ. එයාලට කරන්න තියෙන්නේ තමන් ගන්න කැමති සපත්තුවල කෝඩ් නම්බර් ටිකයි, සයිස් එකයි, ඕන කරන පාටවල් ටිකයි දාලා අපිට ඊමේල් එකක් එවන එක. අපි එතකොට අපේ ගිනුම් අංකේ දෙනවා. සල්ලි දාලා අපිට ඩිපොසිට් ස්ලිප් එක ස්කෑන් කරල මේල් කරන්න. එතකොටම නදීශා ඒ සපත්තු හදන්න පටන් ගන්නවා. බෑන්ක් එකේ අපි චෙක් කරලා සල්ලි වැටුන කියල කන්ෆර්ම් වුනු ගමන් Courier කම්පනි එකේ අයට එන්න කියලා පාර්සලේ එයාලට දෙනවා."

"ඕන කරන පාටවල් ගැන උඹ කිව්වනේ. ඒ කියන්නේ සයිට් එකේ දාලා තියෙන සපත්තු සෙරෙප්පු වල තියෙන පාටට අමතරව අපි කැමති පාට වලින් ගන්න පුලුවන්ද?

"ඔව් හිතන්න මෙන්න මේ පහල තියෙන සෙරෙප්පුව.

අපේ සයිට් එකේ, ෆේස්බුක් ෆෑන්පේජ් එකේ එහෙම තියෙන්නේ රතුපාට සෙරෙප්පුව විතරයි. ඒත් කාට හරි මේ ඩිසයින් එකෙන් කලු පාට දෙකක් ඕන නම් අපිට ඊමේල් එකක් එවනන් මට ඕන කරන පාට කලු කියලා. එච්චරයි"

"ඉතිං පාට සිලෙක්ට් කරන පහසුකම සයිට් එකේම තිබ්බ නම් හරිනේ"

"ඔව් අපි එහෙම කරන්න පුලුවන් විදිහට සයිට් එක අප්ඩේට් කරමින් ඉන්නවා. ලඟදීම ඒ ටික කරලා ඉවර කරන්න පුලුවන් වෙයි"

"සපත්තු වල සයිස් එක සයිට් එකේ තියෙන විදිහට යූකේ සයිස් හරි යුරෝප් සයිස් වලින් හරි දුන්නොත් ඇත්ද?"

"මෙහෙමයි. කකුල කොලේක ඇඳලා රූලක් අරගෙන විලුඹේ ඉඳන් මහපට ඇඟිල්ල දක්වා තියෙන දිග අඟල් වලින් හරි සෙන්ටිමීටර් වලින් හරි එව්වොත් තවත් හොඳයි. මොකද අපි තනිකරම සපත්තු ගන්න කෙනාගේ කකුලටම මැච්වෙන විදිහටම හදන්නයි ට්‍රයි කරන්නේ."

"කකුල ඇඳපු කොලේ ම අර කිව්ව දිගයි, කකුලේ පළලම තැන මිම්මයි දාලා ඒ කොලේ ස්කෑන් කරල උඹලට එව්වොත්"

"එහෙම කලොත් තවත් හොඳයි"

"ආන්ඩුවේ රස්සාවක් කර කර හිටපු නදීෂාව ඒකෙන් අස් කරලා මේ වගේ දේකට පටලෝපු එක අපරාධයක් කියලා හිතෙන්නේ නැද්ද?

"අපේ පුතා විරුල් ඉපදුනාට පස්සේ එයාව තනිකරලා රස්සාවට යන එකට අපි දෙන්නම කැමති උනේ නෑ. අපි හැමදේම කරන්නේ දරුවෝ වෙනුවෙන්නේ. දරුවන්ට ලබා දිය යුතු අධ්‍යාත්මික ආදරය සෙනෙහස නොදී භෞතික මොන දේ දුන්නත් මොකටද කියලා අපි හිතුවා. මේ වැඩේ නිසා නදීෂාට විරුල් එක්ක ඉන්න කාලේ හම්බවෙනවා. අනික එයාට සහජයෙන් ලැබුනු මේ දක්ෂකමින් කරන නිර්මාණශීලී වැඩක් නිසා එයත් ගොඩක් සතුටක් ලබනවා.

"අන්තිම ප්‍රශ්නේ - කඩයිම් ප්‍රශ්නේ. . ගන්නවද?"

"අහපන්කෝ බලන්න"

"උඹයි නදීෂයි දෙන්නම QS ලා සිවිල් ඉන්ජිනියරින් ෆීල්ඩ් එකේ බිස්නස් එකක් නැතුව මේ වගේ ෆැෂන් ෆීල්ඩ් එකේ බිස්නස් එකක් කරන්න හිතුවේ ඇයි?"

"ඕකට දුන්නු දිග උත්තරයක් මෙන්න මේ ලිපියේ තියෙනවා. පොඩ්ඩක් ගිහින් බලපන්"

මේ තියෙන්නේ පහුගිය කාලේ පුරාවට මගේ යාලුවෝ ගොඩක් දෙනෙක් අපේ බිස්නස් එක ගැන  ෆේස්බුක් එකෙන්, ගූල් එකෙන්, ස්කයිප් එකෙන් සහ හැබෑවටම චැට් කරද්දී අහපු පුරස්න ටිකකුයි ඒවට මම දුන්නු උත්තර ටිකයි.

Monday, February 4, 2013

සතුට, දුක, කඳුල, සිනහව . . .!

සතුට
දෑත අද්දරටම පැමින
ඇඟිලි තුඩඟ, නියඟ තුඩඟ 
ගෑවී නොගෑවී මෙන් ඉඳ
ඔච්චම් පා ඈතටම ඇදී යන . . . !

දුක
ආත්මයම තුරුළු කර
ඉරා කීතු කොට හද 
දවා හළු කර බිඳෙන් බිඳ
කැඳවන ඒ වෙතටම තවත් . . . !

කඳුළ
රූරා වැටෙන්නට ඉඩ නොදී
කොපුල් තල තෙමාගෙන
බොඳ කරනට දෑස් තුලම
මහත් වෙහෙසක් දරන . . . !

සිනහව
දුක් කඳුළු බිම දමා
දූලි ගා පාගා දමා
හද කවුළු විවර කර
පිබිදෙන්න ඉඩ සොයන . . . !



අමරදේව මාස්ටර්ගේ මේ සින්දුවත් අහලා බලන්නකෝ


ආරාධනා . .. !

ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
අතිතයේ ගිලිහි ගිය
සතුට රැගෙන යළි වඩින්න
ආරාධනා

නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ කාලයේ වෙරළේ
ජිවිතයේ දිගු ගමනින් අනාථ වූදා
සෙනේහයේ සත් පියුමන් යළිදු පිපේවා
ආරාධනා

එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ
ඔබේ උණුහුමේ යළිඳු උපන්නෙමි
බිඳුනු එවන් රජදහනින් සමුගෙන යනදා
ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා
ආරාධනා



Pic From: http://www.sweetclipart.com/

Friday, February 1, 2013

සහන සංවිධානය සහ මුදලට ආත්මය බිලි නොදුන් නීලා . . !

neela

සිතාරයක තතක් ශෝකී ස්වරයෙන් වැයෙයි. දෑස අගට ලොකු කඳුලු බිඳු දෙකක් උනා එයි.

කොහේදෝ ඈතකින් බටලී හඬක් ගලා එයි. සිත කාන්සියකින් පිරී යයි.

වයලීනයක තත් උච්ච ස්වරයකින් පිරිමදිනු ඇසෙයි. හදවත උල් නියපොතු වලින් සූරනවා වැනි වේදනාවක් දැනෙයි.

ගිටාරයක තත් හඬවන රිද්මයට බොන්ගෝ බෙරයක් වේග රිද්ම තාලයක් වයයි. නොදැනීම අපගේ දෙපා ඒ රිද්මය ලුහු බඳී, දෑත් එකට එකතු වී අත්පොලසන් නාද මවයි.

සංගීතයේ ආශ්චර්ය එයයි. කලාවේ ආශ්චර්ය එයයි.

අජිවී තතක්, ලීයක සවි වූ සත්ව හමක්, වියලුනු උණ ලී බටයක් තනිව මේ ආශ්චර්ය කෙසේ මැව්වාද?

නැත, එය එවැනි අජීවී වස්තූන්ගේ නිර්මාණයක් නොව ලේ මස් සමින් සෑදුනු සජීවී මිනිසෙක් ඒ අජීවී වස්තූන්ට ඔහුගේ හෝ ඇගේ සංවේදී හදවතේ රිද්මයෙන්, දෑතේ හුරුවෙන්, ජීව වායුවෙන් සජීවී බවක් අරෝපනය කලා පමනි.

ඔවුන්ව අපි කලා කරුවන් යැයි හඳුන්වන්නෙමු. අපේ හදවතේ සියුම් තැන් පිරිමැදීමේ කලාව දන්නේ ඔවුන්ය, සිනා වෙන්න නොදන්නවුන් මෙන් උදේ සිට රෑ වෙන තුරු ජීවිත හරඹයේ යෙදෙන ඒකාකාරී අප දිවියේ සිනා දොරගුළු හැර දෙන්නේ ඔවුන්ය, කඳුලු උල්පත් උපද්දවා දෙන්නේ ඔවුන්ය.

එවන් වූ විශ්ව කර්ම ප්‍රාතීහාර්යයන් මවන කලා කරුවෝ අතර හුදු කලාව පමනක් පිහිටා මනුසත්දම් නොපිහිටි උන්ද බොහෝය.

කලාවෙන් සංගීතයෙන් නොව ගිනි කන්දකින් උතුරා යන ලෝදියෙන් වත් මෙලෙක් කල නොහැකි නරුම හදවත් ඇත්තෝද මේ ලෝකයේ වෙති.

නමුදු වාසනාවකට අපට බොහෝ විට හමුවන්නේ අනෙකෙකුගේ දුකට හඬන්න උරහිස ලබා දෙන අයයි, කුසගින්නේ හඬන අයෙකුට පිහිට වන්න තමන්ගේ කුස පුරවා ගන්න තිබෙන තුට්ටු දෙක පූජා කල හැකි අයයි, ඉරුනු ඇඳුමක් ඇඳි අසරණයෙකුට තමන්ගේ ආසම ඇදුමක් වුව දන් දෙන්න හිතැති අයයි. අසරණ රෝගියෙකු සුවපත් කර ගැනීම වෙනුවෙන් බස් රියේ යාමට අතැති මුදල පුදදී පයින් යන්න තරම් කාරුණික අයයි.

භෞතික කිසිවක්ම කල නොහැකි නම් අඩු තරමේ කෙනෙක්ගේ දුකක් කරදරයක් ඉවසීමෙන් අසා සිටින්න තරම් වත් වූ විසල් හදවත් ඇත්තෝ ඔබ මා අසල නොවෙත්ද?
ටිකක් නැවතී අවට බලන්න. ඔබ අසල සිටින අනෙකාගේ නෙතේ ලෙංගතු හිනාව ඔබේ දුක් කරදර වලින් අඩක් නිමා කලා නොවේද? කාරුනික වචන සිතේ දුක් ගිනි නිව්වා නොවේද? මේ අවට හමා යන සුවඳ උතුම් මානුෂිකත්වයේ සුවඳ මිස වෙන කුමක්ද?

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

දිනෙන් දින ඉහල යන ජීවන වියදම හමුවේ ආදායම් විෂමතාවයේ පරතරය තව තවත් පුළුල් වෙද්දී, වැඩිවන ජීවන වියදමට සරිලන සේ ආදායම ඉහල නොයෑම "අපේ පූරුවේ කරුමේ" කියා සුපුරුදු දීන බවින් විඳ දරා ගැනීම අපේ ක්‍රමයයි.

හිස ගසා මරා දැමීම්, ඇඟපුරා කටු ගැසීම්, පුලුස්සා දමීම්, ඉහලමාලයෙන් තල්ලු කිරීම් ආදී භයානක පුවත් නිතර පුවත් පත්, රූපවාහිනී ආදී මාධ්‍යන්ගෙන් ප්‍රචාරය කරත්දීත් ගෘහ සේවිකාවන් ලෙස අපේ කාන්තාවන් අරාබියට එන්නේ ඇයි කියා ඔබ මොහොතක් වත් සිතා ඇත්ද?

වැලිකැට පවා පුපුරන ගිනිගහන කාස්ටකය, දූවිලි කුනාටු ආදිය ගැන දැනුවත් වීත් අපේ මේසන්වරු, වඩු කාර්මිකයන්, කම්කරුවන් මැදපෙරදිග ගොඩනැගිලි සහ මාර්ග ඉදිකිරීම් රැකියා සඳහා යාමට ඒජන්සි වල පෝලිම් ගැසී ඉන්නේ විනෝදෙට කියා ඔබ මොහොතකට වත් සිතුවාද?

සහෘදය,

කෑමට යමක් ඉල්ලා හඬන දරුවෙකුගේ කුසගින්න නිවන්න;

එකම පොතේ විෂයන් කීපයක සටහන් තබන ඉරුනු නිල ඇඳුමක් ඇඳන් පාසල් යන දරුවෙකුට සහෝදරයෙකුට අවුරුද්ද මුලදී පොත් ටික අරන් දෙන්න, නිල ඇඳුමක් මසා දෙන්න, කැන්ටිමෙන් මාලු පාන් ගෙඩියක් කන්න උදේම කීයක් හරි මිට මොලවන්න;

කුලී ගෙදරක සිට තමන්ගේම කියා පොල් අතු පැලක් හෝ අටවා ගන්න;

දන්න කියන දා සිට උදේ සිට රෑ වෙන තුරු දරුවන්ගේ කුසගින්න නිවන්න උවමනා එපාකම් පිරිමහන්න වෙහෙසුනු අම්ම තාත්තාට කෑමට බීමට බෙහෙත් හේත් වලට මාස් පතා මුදලක් යවන්න,

මේ එක කරුණක් හෝ කීපයක් ඉටුකර ගන්න ලැබෙනවා නම් හිස ගසා දමන්න, කටු ගසන්න, කාස්ටකේ වෙලෙන්න නොව මාරයගේ කටට පනින්න වුව නොපසුබට මවක්, පියෙක්, සහෝදරයෙක්, සහෝදරියක් සොයා ගැනීම අප ජීවත් වන සමාජයේ මහා කාරියක්ද?

එසේ තමන්ගේ අය වෙනුවෙන් මාරයාගේ මුවට නොව ඕනෑම නරකාදියකට වුව කමක් නැතැයි සිතුවා වුවත් මැදපෙරදිග එන අපගේ හදවත පිරී ඇත්තේ සුභ සිහින වලින් නොවේ යැයි අපට අපගේ හදවතට තට්ටු කර ඇසුවොත් නොකියාවිද?

හැකි ඉක්මනින් මුදල් සොයාගෙන කලින් හිටියාට වඩා යහපත් ජීවිතයක් මවුබිමේ හිතැත්තන් සමඟ ගත කරන්න හීන මවාගෙන අරාබිකරයට ආ අපිට අහම්බෙන් අසනීපයක් වී රෝහල් ගත වෙන්න සිදුවුනොත් එහි බිල ගෙවන්නේ කෙසේද, බොරු කාර ඒජන්සිකාරයෙකුට අසුවී කාන්තාරයේ අතරමං වෙන්න සිදු උනොත් ආපසු ලංකාවට යන්න ගුවන් ටිකට් පතක් ලබා ගන්නේ කෙසේද?

මෙතුවක් එක් එක් ශ්‍රී ලාංකික සංවිධාන එකතු වී එසේ අසරණ වූ අයට පිහිට වූවා නමුත් (අසා ඇති ආකාරයට බොහෝ ඉන්දියානු සංවිධාන පවා ශ්‍රී ලාංකික අපට නිතර පිහිට වී ඇත.) කිසියම් සංවිධානයක් සමබන්ධ කරගත නොහී අසරණ වූ අය කීදෙනෙක් නම් ඇත්ද?

ටික කලකට පෙර ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ හුවමාරුවී එක්සත් අරාබි එමීරයේ කාරුණිකයන්ගේ පිහිට ලැබූ ශීතකරණය උඩ තිබූ ඇසිඩ් බෝතලයක් ඔලුවට පපුවට වැටී රෝහලේ ගතව අසරණවූ සොයුරිය මෙහි වාසය කරන සියළුම දෙනාගේ ඇස් ඇරවූවාය.

ඇය ගැන සඳහන් වූ ගල්ෆ් නිවුස් පුවත් පතේ පලවූ එක් ලිපියක් මෙතනින් කියවන්න

අනෙක් ලිපිය මෙතනින් කියවන්න

එක් එක් ආගමික, වෘත්තීක, ක්‍රීඩ සමාජීය, සංස්කෘතික, විනෝදජනක, සුභ සාධක ආදී සංවිධාන රැසක් ක්‍රියාත්මක වූවා වුනත් ශ්‍රී ලාංකික අප වෙනුවෙන් ම සියළුම එක්සත් අරාබි එමීරයේ ශ්‍රී ලාංකික අප එකතුවී කිසියම් සුභ සාධක සංවිධානයක් පිහිටුවා ගත යුතු බව අපට ඇහැට ඇඟිල්ලෙන් ඇන කීවාසේ දැනුම් දුන්නේ ඇයයි.

එතැන් සිට මෙහි ඇති එක් එක් සංවිධාන විසි ගනනක අය නිතර මුන ගැසී සාකච්චා කොට ඉතා ඉහල සංවිධානාත්මක භාවයක් රඳවා ගනිමින් පිහිටුවා ගත් සංවිධානය "සහන" සංවිධානයයි. (Sri Lankan Welfare Association in the UAE)

Sahana Logo (1)

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

අජීවී සංගීත භාණ්ඩ වලට සජීවීත්වය එක් කරන සංවේදී පුද්ගලයෝ  කලාකාරයෝ ලෙස අප හඳුන්වන බව ලිපියේ මුල්දී මම කිවෙමි. කලාව පමනක් පිහිටුවා සංවේදී බව නොපිහිටි ඊනියා කලා කාරයෝ කියා කියා ගන්නා අයද ඇති බව කීවෙමි.

සහන සංවිධානයට අරමුදල් රැස් කිරීම සඳහා සංගීත සැඳෑවක් සංවිධානය කිරීමේ අදහස මතු වූ අවස්ථාවේ අපට නියම කලා කාරයින් සහ ඊනියා කලාකාරයින් යැයි, කියා ගන්නා අයගේ වෙනස අඳුනා ගන්න හැකි වූ බව සඳහන් කරන්නේ එවන් වූ අය ගැන උපන් කලකිරීමෙනි.

සහන සංවිධානයේ ක්‍රියාකාරීන් විසින් මහා ඉහලින් අදහන බොහෝ කලාකරුවන්ට සංවිධානයේ අරමුන පැහැදිලිකොට සංගීත ප්‍රසංගයක් ගැන ඉල්ලීම් කල විට අපට ඔවුන්ගෙන් ලැබී තිබුනු පිලිතුරු වී ඇත්තේ "හොඳ අදහස . . ප්‍රසංගයක් සංවිධානය කරන්න. අපේ මිල මේකයි . .!"

මිල මුදල් ඔවුන්ගේ සංවේදීතාවය බිලි ගත්තාද? මිල මුදල් විසින් ඔවුන්ගේ සංවේදීතාවය, හර්ද්‍යාංගම බව උකසට ගත්තාද දන්නේ ඔවුන්ගේ හර්ද්‍ය සාක්ෂිය පමනි.

මිල මුදලට ආත්මය බිලිදුන් කලාකරුවන් අතර නීලා වික්‍රමසිංහ මහත්මිය සැබෑ සංවේදී කලාකාරියකි.
මුදලට ගී ගැයිය හැකි ලංකාවේ ප්‍රසංගයක් ඇති බැවින් "සහන" සංවිදානයේ ප්‍රසංගය සතියකට හෝ පමා කල හැකි දැයි ඇය අසා ඇත.

ශ්‍රවනාගාරය වෙන් කරවා ගැනීමේ අපහසුවක් ඇති බැවින් පමා කල නොහැකි බව දැනුම් දුන් විට ඈ එසේ ඇගේ ජන්ම හැකියාව වූ ගී ගැයීමෙන් මුදල් උපයන්න තිබූ අවස්තාව අතහැර කාන්තාරයේ දුක් විඳින අප වෙනුවෙන් මුදල් රැස් කරන ප්‍රසංගයට ගී ගයන්න පැමිනෙන්නේ මිල මුදල් වලට වඩා මානුෂිකත්වය කෙරෙහි ගරු සරුවක්, තෙතමනයක් ඇගේ විසල් හදවතේ තිබෙන නිසා නොවේද?

ඩිරාහ්ම්ස් දෙදාහක් (Rs. 70,000/-)  වැනි මුදලක් ගෙවීමේ හැකියාවක් සංවිධානය සතුව ඇතැයි සංවිධායකයින් ඇයට පවසා ඇත.

ඇයගේ පිලිතුර වී ඇත්තේ "බොහෝම ස්තූතියි, ඒ මුදලත් සංවිධානයේ මූල්‍ය ස්තාවරත්වය වැඩි කරගන්න අරමුදලටම යොදවන්න. කිසිම මුදලක්  මට එපා. ඔබලා ගේ උදාර කාර්ය වෙනුවෙන් මා සතුටින් නොමිලේ ගී ගයන්නම්" කියායි.

විස්වාස කරනවාද? ඒ බව ඇසූ වෙලේ ඇයගේ උතුම් මානුෂිකත්වය මගේ නෙතට කඳුලක් ගෙනා බව.

ඉතිං සහෘදය ඈ අප වෙනුවෙන් සතුටින් ගයන්නී . . . අප මුදල් දී ටිකට් පතක් ගෙන ඒ ගී අසා අප වෙනුවෙන් ඇය වෙහෙසන කාරිය උත්කෘෂ්ඨත්වයට පත් කරමු.

Master Sir_15022013

දයබර සොයුර, සොයුරිය, 2013 පෙබරවාරි මස 15 වෙනි සිකුරාදා සවස 7.30ය ඩුබායි හි රශීඩ් රෝහලේ වෛද්‍ය පුස්ථකාලයේ ශ්‍රවනාගාරයේදී නීලා වික්‍රමසිංහ මහත්මියගේ "මාස්ටර් සර්" ප්‍රසංගය නරඹන්න ඔබ සියළු දෙනාම පැමිනෙන්න.

වැලිකතරේ සේවය කරන අප අහම්බයෙන් හෝ අසරණ උනොත් පිටක් ලබා දෙන්න සංවිධානය වූ සහන සංවිධානයේ සාමාජිකයෙක් වෙන්න.

ඔවුන්ට සවියක් වන්න.

ඔබටයි මේ සුහද ආරාධනය . .. !

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

නීලාගේ සුවිසල් ගීත එකතුව අතුරින් මගේ ප්‍රියතම ගීත දෙකයි මේ



වියෝ ගී ගැයෙනා හදේ . . .
වියෝ ගී ගැයෙනා හදේ . . .
ආදර මල් නොමියේ. . . .
සදා මේ සංසාරයේ . . .
අපේ හමුවීම නොවේ . . . .

අතීතයේ මායා රූ කැඩී බිඳී යාවී . . . . .
අනාථ වූ මා දෑසේ කතා නිමා වේවී. . .
මගේ කඳුලු හංගා මා සිනා සිසී ඉන්නේ . . .
ඔබේ ලොවේ හිරු පායා සදා සිනාසේවා. . .

වියෝ ගී ගැයෙනා හදේ . . . .

අනාගතේ සිහිනේ නෑ මෙදා සැබෑ වෙන්නේ . . .
මිලාන වූ ආකාසේ  අපේ පැතුම් පාවේ . . . .
මගේ පැලේ තනිවී මා සුසුම් හෙලන වේලේ . . .
ඔබේ ලොවේ හිරු පායා සදා සිනාසේවා . . . .

වියෝ ගී ගැයෙනා හදේ . . .
ආදර මල් නොමියේ. . . .
සදා මේ සංසාරයේ . . .
අපේ හමුවීම නොවේ . . . .


බෝධියේ විහාරයේ පිදූ පියුම් වැනි වූ
බාලිකා ලොව මැළවුනදා මුළු ලොවටම රෑ වෙනවා

ජීවිතේ පියාඹමින් සිනාසිසී හිඳිනා
ඒ සිනා මා බොළඳ නෙතේ උනු කඳුළක් කරනු එපා

මල් පොහොට්ටු මා හදේ සුරංගනා පොකුණේ
මල් වරම් ලැබ පිපෙන තුරා ඔබ නටුවෙන් මිදෙනු එපා

බෝධියේ විහාරයේ . . ..

Saturday, January 26, 2013

උඹේ කරුමෙට අපි මොනව කරන්නද . .. !!!!



මතක ඇති කාලේ පටන් 
අග හිඟ දුක් කරදරම විඳ
අල්ලට සීනී කා කහට බී
කල්ගිය රෙදි වැරලි ඇඳ
ගහ මරා ගත්තත් පොඩි දේටත් 

ගෙදර අපි තුන්දෙනාම
උන්නම එක පොදියට ගුලිවී
දුක දුකක්ම නෙමේ කියා
හිතුනා නේද
කියපන්

මහාමේරුව අල්ලන්න නොව
රස්සාවක් හොයා ගනින් කියූ
ගෝරනාඩුවෙන් ගැලවෙන්ටත්
මහ උන්ගේ බර ඩිංගක්වත්
හෑල්ලු කරන්න වත් කියල 

උඹ තීරණේ ගන්න ඇති
එහෙම හිතෙනකොට 
වාවන්නේ නෑ බන්

අතාරින්න බෑ කියා හිතා හිටි
සියලු දේ අතෑරලා මදිවට
අපි දෙන්නත් අතෑරලා
ඔය ලෝකෙට උඹ යද්දී
සැප හීනත් තියෙන්නැති
නෑ කියන්න ඇහැක්ද උඹට . .?


හීන කියන්නේ හීන වලට
ජීවිතේ හූරන ලොතරැයියන්ක්ද
මොන මගුලටද උඹ
ඔට්ටු ඇල්ලුවේ ජීවිතය
දවාලේ මවපු හීන වලට ??
උඹ හීනෙන් ඇහැරෙන කොට
එන්න බැරි තරම් දුර ගිහින්
ඔට්ටුවෙන් උඹ පරාදයි බන් . . !


උඹ හිනාවෙනකොට හිනාවෙන්න
පෙරුම් පුරුම් පුරපු අපිට උනේ
උඹ අඬන දහා බලාගෙන 

එක පොදියට එකට අඬන්න

ඒත් උඹ කැමති නෑ ඒකට
කඳුලු පපුවේ හංගගෙන
උඹ හිනා උනා යස අපූරුවට

හිතුව උඹ අපි රැවටෙයි කියලා.  
අපේ දුක උඹට උහුලන්න
බෑ කියලා දන්න නිසාම
හිනා වුනා අපිත් බොරුවට
උඹත් එක්කම එකට
හරි අපූරු රැවටිලිකාර සෙල්ලම . . !


දුක් කාලේ ගෙවිලා ගොස්
සරු කාලේ ආවා අපිට
ඒත් උඹ. . 

උඹ තාම එතනම
ඉතිං සරුවෙන් පලක් මොකටද අපිට
උඹට නැති කොට අපිට වැඩක්ද ?

ඒත් උඹ හිනා වෙලා කිව්වෙම
මම හැමදා පැතුවේ
උඹල දෙන්නට හරි යන්න . . !


උඹේ පපුවේ කුහක කම 
අහලක වත් නෑ බන් 
අපි දන්නවා ඒක

උඹටත් සරු වෙන්නෙයි කියලා
කරපු හැමදේම අපි
ගඟට කපපු ඉනි වගේ
උඹත් එක්කම
ගඟ දිගේම ගලා යනවා

ඇස් දෙකෙන් දකිද්දී ඒ බව
පීනලා බේර ගන්නත්
බැරි බව පෙනෙද්දී
උඹ ගහගෙන යන දිහා බලාගෙන
වාවන්න බැරි දුකින්
මහ පොලොව පෙඟෙන්න අඬනු මිස
ඒ ගඟට ම පැනලා මැරෙන්නද ?


Pic from: http://collegecandy.com/

Sunday, January 20, 2013

අහසින් තරුවක් කඩා වැටෙනවා . .. !

blood

"මට සමාවෙන්න පවිත්‍රා. මම ලොකු වැරැද්දක් කලේ කියලා මගේ හිත කියනවා. මට මේ තරම් දුර යන්නේ නැතුව ඉන්න තිබ්බා"

සුදර්ශන සිදුවුනු දේට කනගාටුව ප්‍රකාෂ කරන හඬකින් කියන්න උත්සාහ කලත් ඒ වචන වල කිසිම පසුතැවීමක්, ශෝකයක් නෑ තියෙන්නේ උද්දාමක් වගේ දෙයක් කියලා පවිත්‍රාට හීතුනා.

"ඒකට කමක් නෑ"

පවිත්‍රා කිසිම හැඟීමක් නැති හඬකින් කිව්වේ තානායම් කාමරේ ඇඳේ කොනක තිබ්බ රෙද්දක් අරන් ඇඟවටේ ඔතා ගන්න ගමන්.

"ඒ උනාට, මගේ හිතට කනගාටුයි"

ඇඳ රෙද්දේ රතුපාට පැල්ලම දිහා බලාගෙන එහෙම කියන සුදර්ශනගේ ඇස් දෙකෙන් සතුටක් කාන්දු වෙනවා වගේ කියලා එයා දිහා ඇස් කොනෙන් බලපු පවිත්‍රාට හිතුනා.

"ඇයි ඔයා ඒ ගැන ඔය තරම් හිතන්නේ. ආදරේ වෙනුවෙන් මට පූජා කරන්න බැරි දෙයක් නෑ කියලා මගේ හිත කියපු නිසා මම එකඟ වුනා මිසක් ඔයා මට බලහත්කාරකමක් කලා නෙමේනේ"

පිරිමින්ට මේ පොඩි ලේ බින්දුව මේ තරම් මහා ලොකු දෙයක්ද? පවිත්‍රාගේ හිතට ආවේ නොරිස්සුමක්.

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

"පවිත්‍රා මම කියන දේ අහන්න ළමයෝ. මට අම්මලගේ බලාපොරොත්තු නැති කරලා දාලා ඒ අයගේ හිත රිද්දන්න පුලුවන් කමක් නෑ. මගේ තත්වෙත් පොඩ්ඩක් තේරුම් ගන්න”

ඕනෑම වටිනා දෙයක වටිනාකම තියෙන්නේ ඒ දේ තමන්සතු කරගන්නකම් විතරයි කියලා පවිත්‍රා හිතලා තිබ්බට ඒක හරියටම තේරුම් ගත්තේ අදයි කියලා හිතුනා.

"හ්හ්ම්ම්ම්ම්ම්ම්"

"අනික අපේ අම්මගෙයි අප්පච්චිගෙයි නෑදෑයෝ ඔය කුල මල හැම මගුලම හොයන උන්"

හතර පෝයටම සිල්ගත්තට, උදේ පාන්දර ගමටම ඇහෙන්න රේඩියෝ එකේ පිරිත් දාගෙන, හලාල් කෑම ගන්න එපා කියලා දන්න දන්න එකාට කිය කිය අපි බෞද්ධයෝ කියලා ලේබල් ගහගත්තට උඹලා බුදු හාමුදුරුවන්ගේ දහම නෙමෙයි ඉන්දියාවේ බමුනන්ගේ දහමක් ඔලුව උඩ තියාගෙන ඉන්න මිත්‍යා දෘශ්ටිකයෝ කියලා කෑ ගහලා කියන්න උවමනාව තිබ්බත් පවිත්‍රා සුපුරුදු නිහඬතාවයම රැක්කා.

"ඔයා ඉතිං තාමත් තරහින්"

පවිත්‍රගේ නිරුවත් ළැම උඩ හිස තියාගෙන උන්නු සුදර්ශන නැගිටලා ටවල් රැක් එකෙන් තුවායක් අරගෙන ඉන වටේ දවට ගත්තා.

"මේ කාලකන්නියා මාව මඟ හරින්න හදනවා කියලා තේරිලත් මම ආවනේ මූත් එක්ක නිදි වදින්න" පවිත්‍රාට එයා ගැනම ආපු තරහව පිට කර ගත්තේ ලේ පිරෙන තරම් හයියෙන් දත්වලින් යටි තොල හපා ගැනීමන්.

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

 "හලෝ . .. හලෝ . .. කවුද මේ"

"හලෝ පවිත්‍රා, මම මේ සුදර්ශන. ඔයා මගේ නම්බර් එකත් ඩිලීට් කලාද?"

"ආ හලෝ කොහොමද? ඉතිං කවද්ද වෙඩින් එක?"

"ඔයා නක්කලේට අහන්නේ?"

"ඇයි මම නක්කලේට අහන්නේ?"

"ලබන 20, හිල්ටන් එකේ. ඔයාට ඉන්විටේෂන් නොදී ඉන්නම් කමක් නෑනේ"

"හෝම් කමින් එක කවද්ද? ඒකත් හොටෙල් එකකද?"

"නෑ ඒක අපේ ගෙදර, දන්නේ නැද්ද අපේ අම්මලා ගම් වල හැදුනු අයනේ. එයාලගේ අය රෙදි නැන්ද කෙනෙක් එහෙම එක්ක එන්න ඕන කියල . . "

"ආ මේ ලේලි පොඩ්ඩ පත්තිනි අම්ම කෙනෙක් ද කියලා සැක හැරලා දැන ගන්න. බලාගෙන, ඔය පත්තිනි අම්මලගේ රෙද්දේ තුත්තිරි කාටවත් පේන්නේ නෑ.  . .හඃ හඃ හා . . ."

"මම තියනවා . . බායි"



අහසින් තරුවක් කඩා වැටෙනවා
තරුව කතා නෑ අහසයි වැලපෙන්නේ
නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා
මලේ කතා නෑ සුළඟයි වැලපෙන්නේ


පෑහීමක් නෑ නොකෙරෙන දීගේ
හෙවනැල්ලත් ඇදලූ
දවල් වැටුනු වල මෙදා වැටුනේ රෑ
හිත හොඳ වැඩි කමලූ . . .


අහසින් තරුවක් කඩා වැටෙනවා . .

මලෙන් උපන් මල් පත්තිනි දේවී
කැන්දන් එන නැකතේ
ඇස් කූඩෙන් මං වතුර අදින්නම්
ඔබේ මගුල් දවසේ


අහසින් තරුවක් කඩා වැටෙනවා . .  . . .!!

ගායනය : මාලනී බුලත්සිංහල

Pic From: http://www.ehow.com

Tuesday, January 1, 2013

අම්මා . . . !

28344_391714987270_5234067_n
කාලෙකට කලින් ඩවුන්ලෝඩ් කරගත්තා උනාට පෙරේදා තමයි වික්ටර්ගේ ස ප්‍රසංගයේ අවසාන ප්‍රසංග තුනම එකතු කරලා හදලා තිබුනු ස ප්‍රසංගය බලන්න ලැබුනේ.

වික්ටර්ගේ “ආදරයේ උල්පත වූ අම්මා” ගීතය ඇහෙද්දී මීට අවුරුදු තිස් ගානකට එහාදි මුලින්ම තේරුමක් ඇතුව අහපු දා වගේම පෙරේදාත් ඇඟේ මවිල් කෙලින් උනා. ඇස් දෙකට ලොකු කඳුලු බෝල ගලාගෙන ආවා.



ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදු වන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවන පතා
අද මෙන් පැමිනෙන්නෙමි
සුළැඟිල්ලේ එල්ලී . .

සඳ දිය කොට කිරි වතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක් වන් නැලවි ගීයෙන්
මතකයි මා නැලවූවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී
ඒ ජීවිතයට කිරිදී පනදී
මා දැඩි කල අම්මා . . .

තුරුලට ගෙන අත්පා හැඩ ගන්වා
නිදිගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් මෙන්
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ළබැඳී
ගෙනදී දිවියට නව පන ලැබදී
මා දැඩි කල අම්මා . .
ආදරයේ උල්පත වූ අම්මා . .

මීට අවුරුදු තිස්ගානකට හෝ විසි ගානකට කලින් ඒ ගීතය අහද්දී කඳුළු ඉනුවේ නිතරම ගහන බනින මගේම අම්මා ගැන නම් නෙමේ කියලා හොඳටම විස්වාසයි.

ඒත් ඉන් පස්සේ ත් පෙරේදාත්  ඇස් දෙකට කඳුලු ඉනුවේ මගේම අම්මව සිහි වෙලා බව හදවතේ ගැඹුරුම තැනින් කියන්න පුලුවන්.

දරුවෙක් කෙරෙහි අම්මා කෙනෙක්ගේ තියෙන ආදරේ මේ ලෝකේ වටිනාම දේවල් වලින් එකක් කියලා දැනෙන්නේ දරුවොයි අම්මලයි අතරේ අන්තර් සම්බන්ධතාවය දිහා සියුම්ව බැලුවොත් කියලයි මට හිතෙන්නේ.

මොකද සමහර අම්මලා තමන්ගේ නියම ආදරේ දරුවන්ට පෙන්වන්නේ නෑ. එහෙමත් නැතිනම් හැම දේකටම අල්ලගෙන තඩිබාන අම්මලා ගේ හිත ඇතුලේ තියෙන ආදරේ දරුවන්ට දැනෙන්නේ නෑ. ඒකනේ අපි පුංචි කාලේ අම්මා කියන කිසි දෙයක් ගනන් ගන්නේ නැතුව අම්මාත් එක්ක නිතරම රන්ඩු කරන්නෙත්.

ඒත් වැඩිහිටියෙක් වුනාට පස්සේ පිරිමියෙක්ට නම් පියෙක් උනු දාට තමන්ගේ බිරිඳ තමන්ගේ දරුවෝ වෙනුවෙන් කැපවෙන හැටි දැක්කාම තමයි හොඳින්ම තේරුම් යන්නේ තමන්ගේ අම්මා තමන් වෙනුවෙන් මොන තරම් කැපකිරීමක් කරන්න ඇතිද කියන එක.

සමහර පිරිමි තමන්ගේ බිරිඳට ගහන එක මහා ලොකුවට අභිරුචියෙන් වර්ණනා කරනවා මට ඇහිලා තියෙනවා.

"මම මෙයාට ගහලා තමයි හදා ගත්තේ"
"ගහලා හදා ගත්තු නිසා තමයි අද මේ විදිහට ඉන්නේ"

ඒ කතා ඇහෙන කොට නම් මට ඇඟේ මාළු නටන්න පටන් ගන්නවා.

"ගෑනියෙක් කියන්නේ කාගේ හරි අම්මෙක්. සමහර විට දරුවෝ නොවැදුවත් දරුවෙක්ට ආදරෙන් සලකන්න පුලුවන් සියුමැලි කෙනෙක්"
"ගහන්න තරම් වැරදි තියෙන ගෑනු ඉන්නවා වෙන්න පුලුවන්'
"ඒත් දරුවෙක් වෙනුවෙන් උපන් සෙනෙහසට ඇඟේ ලේ කිරි වෙන්න තරම් සුවිශේෂත්වයක් තියෙන ගෑනු කෙනෙක්ට අම්මා කෙනෙක්ට අතක් උස්සලා ගහන්න පුලුවන් එකා තිරිසනෙක්"

ගෑනියෙක්ට ගහන්න පුලුවන් එකා මොකෙක් උනත් උන්ට තිරිසනා කියලා චෝදනා කරන්න තරම් හේතු හොයා ගන්න පුලුවන් වෙන්නේ අම්මා කියන වචනෙත් අම්මා කියන වචනෙත් එක්ක බැඳුනු සියළු දේත් නිසා කියලයි මම නම් විස්වාස කරන්නේ.



සක්වල එතෙරට ඇසෙනා
අනන්ත ඈතට දැනෙනා
මුලු මිහිතලයම
කම්පා කරනා
එකම හඬයි අම්මා . . .

කියලා නන්දා මලනියයි එඩ්වර්ඩ් ජයකොඩියි ගායනා කරන්නෙත් ඒ අම්මා කියන වචනේ තියෙන උත්තරීතර බව නේද?

මගේ අම්මා ගැන කියනවනම් වෙලාවකට ඇය මගේ ලොකේ වීරවරියක් ඒත් වෙලාවකට ඉවරයක් නැතුව රන්ඩුවෙන්න හිතෙන තරම් වැරදි ලෝකයක්. කොහොම නමුත් මේ අන්ත දෙකෙන්ම පිටට ගිහින් අම්මටයි අපිටයි අයිති නැති තුන්වෙනි පාර්ශවයක කෙනෙක් විදිහට මගේ අම්මව කියෙව්වොත් මෙන්න මේ වගේ ලිස්ට් එකක් ලැබයි කියලා මට හිතෙනවා.

1. අසාධාරනේකදී කාට හරි කියන්න තියෙන දේ පොල්ලෙන් ගැහුවා වගේ කෙලින්ම මූනට කියන කෙනෙක්.
2. තමන් කියන දේ අනිත් කෙනා මොන විඩිහට භාරගනීවිද කියලා හිතන්නේ වත් නැතුව කටට එන ඕනම දෙයක් ඔහේ කියලා දාන කෙනෙක්.
3. කිසි කෙනෙක්ගේ දියුනුවට ඉරිසියා නොකරන කෙනෙක්.
4. අතීතයේදී තමන්ට වල කපපු අයට වත් වෛර නොකරන කෙනෙක්
5. ඒත් තමන්ට කපපු වලවල් වල ගැඹුර ඒ අමිහිරි මතකයන් හිතේ තියෙන ඒත් ඒවා මතකයන් විදිහට පමනක් තියාගෙන ඉන්න කෙනෙක්.
6. ජීවිතේ මොන දුක් කරදර වලට මුහුන දෙන්න සිදු උනත් දරුවන් වෙනුවෙන් ඒ සියලුම දේවල් ඉවසගෙන හිටි කෙනෙක්
7. කවුරු හරි තමන්ට කෙනෙක් ගැන යමක් කිව්වොත් අතිනුත් පොඩ්ඩක් දාලා අදාල කෙනාගෙන් අහන කෙනෙක්. එහෙම කරලා වැඩේ අල වුනොත් මොකක් හරි ජෝක් එකක් කියලා ශේප් එකක් දාගන්න දන්න කෙනෙක්.
8. තමන්ගේ මනුස්පයා මොන ගොන් වැඩේ කලත් කිසි කතාවක් නැතුව එකෙන්ම සපෝර්ට් එක දෙන කෙනෙක්.
9. එහෙම සපෝර්ට් කරපු වැඩ අල වෙලා අනිත් අයගෙන් බැනුම් අහන්න උනොත් බනින අය එක්ක එකතු වෙලා මනුස්පයට අම්ම මෝ නැතුව බනින කෙනෙක්.
10. එහෙම සපෝර්ට් කරපු වැඩක් සාර්ථක උනොත් තමන් කිසිම උදව්වක් නොකරපු කෙනෙක් වගේ සද්දේ වහගෙන ඉන්න කෙනෙක්.
11. කිසිම දෙයක් දයක් දනිස්සෙන් උඩට ගනන් ගන්නේ නැතුව සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්.

අද අම්මගේ 67 වෙනි උපන් දිනේ . . .

අක්කයි නංගියි නම් පවුල් පිටින් අම්මගේ උපන්දින සාදයට යයි. නුවර ඉඳන් තනියෙම පුතාත් එක්ක එන එක නදීශාටත් ලේසි වැඩක් නෙමේ. ඉතිං  මෙහේ ඉන්න මම කප් රුක එකෙන් කේක් එකක්, කාර්ඩ් එකක් යවනවා ඇර වෙන මක්කා කරන්නද . . .

සුභ උපන් දිනයක් ආදරණීය අම්මේ . . . ඔයාට තව අවුරුදු බර ගානක් මේ ඉන්න විදිහට අපි තුන්දෙනායි තාත්තයි එක්ක රන්ඩු වෙවී යාලු වෙවී ජොලියේ ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඈ . . .. !

7235_137508997270_3577838_n
මේ අපේ අම්මා කෙල්ල කාලේ

අහ් ඔයාගේ ලස්සන විතරක් නෙමේ හොඳ නරක ගතුගුණ වලිනුත් සෑහෙන ගානක් අපිට ජාන හරහා දායාද කල එකටත් තැන්කූ ඈ . . !!!

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails