Saturday, June 4, 2011

ගාමන්ට් කෑලි වල නියම අගය පෙන්වූ නුඹ . . !



අපෝ ගාමන්ට් කෑලිද - උන් හොඳ සොමියක් ගන්න
ගාමන්ට් කෙල්ලෝ කොල්ලෝ - මෙලෝ රහක් නෑ චා මැක්ස්
මෙසේ කියමින් උගතුන් වියතුන් - පැෂන්කාර පොෂ් පොරවල්
දෙකේ කොලේට දමා තිබූ නමුත් - වචනයේ පරිසමාප්තියෙන්ම
නියම කම්කරුවන් වූ - අපේම සහෝදරියන් සහෝදරයන්
කොන්ද පන ඇති - නියම මිනිසුන් බව
ලෝකෙට පෙන්වාදුන් - සලකුණ නුඹයි සොයුර

හැම අවුරුද්දෙම මැයි පලමුදාට - පක්ෂ සාමාජික පොරවල්
රතු නිල් කොල කමිස ඇඳන් - බුරියානි කා අරක්කු බොමින්
මන්ත්‍රී සල්ලි ගෙවූ බසයෙන් - කොළඹට ට්‍රිප් ඇවිත්
කම්කරුවන්ට ජයවේවා කියනු වෙනුවට
මන්ත්‍රීට ජය වේවා, ජනාධිපතිට සැප වේවා කියා
උගුරු කඩාගෙන කෑ ගහන විටත්
ෂිප්මන්ට් එකට පෙර - ටාගට් කවර් කරන්න
ෆැක්ටරියේ සොයුරු සොයුරියන් සමඟින්
හරි හරියට වැඩ කරන්න ඇති - රොෂේන් සොයුර නුඹත්

රුපියල් පන්සීයක වැඩි පඩියක් - වෙන ෆැක්ටරියකින් දෙන්නම් කීවොත්
ගෙදර බ්ලොග් ගල් බිත්තියක් - කපරාරු කරගන්න
සතියට දවසක් දෙකක්වත් - මාලු කෑල්ලක් මස් කෑල්ලක් එක්ක
බත් කටක් අම්ම-අප්පට - අක්කලාට ලබා දෙන්න
ඕන කමට යන්න හිතුවොත්
බලෙන් ලබාදෙන්න යන - පැන්ෂන් එකේ වගන්ති
"අවුරුදු දහයට අඩුවෙන් අයින් වුනොත්
කපා ගත් කිසිවක් දෙන්නේ නැත "
උඹේ හිත හිරි වට්ටන්න ඇති . .

ආන්ඩුව කියන්නැහේ - ජෙප්පන් ලියාදුන් දේ
කට පාඩමින් කියන - ගිරාපෝතකයින් නොව
සහතික මිටි, උගත්කම - පැත්තකට වීසි කොට
අම්ම අප්පට තව තවත් - බරක් වෙන්න බැරි කමට
ෆැක්ටරියක රස්සාවට ආ - බුද්ධිමතුන් පිරිසක් වග
ලෝකෙටම නුඹලා - පෙන්නුවා නොවේද සොයුර
වීඩියෝ වලින් අප දුටු - මේ අකාරයෙන් ප්‍රශ්න කර

"කම්කරු අපේ යහපතට - කිසිවක් කරන්නැයි
පාලකයින්ගෙන් නො ඉල්ලන නුඹලාට
අපේ සොච්චම් පඩි පතින් ගානක් කපාගෙන
වයස පනහේදී පැන්ෂන් ගොස්
හැටේදී පැන්ෂන් පඩියක් දෙන්න තරමට
අපි ගැන දුකක් පහල වුනේ – අරුමය කිම මේ හදිස්සියෙන්"

තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් - උදේ හවා පක්ෂයකට කඩේ යන
මහා උගතුන් යැයි කියාගන්නා - පොරවල් දැක දැක
අනේ මේ වගේ කොඳුඇටපෙළක් නැති - බඩජාරි හැත්තක් ඉන්න රටක
ඉපදුනේ මොන කරුමෙටද කියා - දුක් වෙවී ඉන්න මොහොතක

තුවක්කුවට බැටන් පොල්ලට බය නැති
අතක් පයක් කැඩුවත් බඩට හෙන ගැහුවත් විතරක් නොව
ජීවිතයම වුව පුදන්න තරම් බය නැති අභීත
අසාධාරණයට එරෙහි වෙන - කොන්ද පන ඇති මිනිස්සුත්
මේ රටේ ඉන්න වග - පසක් කර දුන් සොයුර
කලකිරීම දුරු කරගන්නට හිතට සවි දුන් සොයුර
නුඹ වෙනුවෙන් කඳුලක් හෙලීම පමනක් - තේරුමක් නැති බව හැඟේ මට

අයුක්තිය වෙනුවෙන් කඳුලු සැලීමට වඩා දෙයක් කල යුතු බව
හදට දැනවූ සොයුර හිතට බල කරවන සොයුර
ස්තූතියි නුඹට ණයගැතියි මා නුඹට
දෙව් මවු තුරුලේ නුඹට සාමදානෙන් සැතැපෙන්නට
වරම් ලැබේවා යි පතමි නුඹට දයාබර රොෂේන් සොයුර . . . !


Thursday, June 2, 2011

හැපි බර්ත්ඩේ ඩාලිං . . . !



පලංචියේ ලී ඉරුවේ . . අහ් නෑ නෑ වැරදුනා

උදේ හවා වලි ඇද්දේ
අපි එකට
කොල්ල ඇවිත්
වලි චොර කෙරුවේ අපි මැදට
වලි නවතා ජොලි කෙරුවේ
අපි හොඳට
අද නෝනේ උඹෙ උපන් දිනේ
මං නැතුව . . .. !

උඹ දැන් ඔහෙට වී
මා දැන් මෙහෙට වී
දෙන්නා දෙපැත්තේ
පාලුවේ දුකින් තැවී
අපි තුන්දෙනයි දෙමව්පියොයි
රැකිය යුතුයි . . .
එක වහලක ඉන්නට තව
කලක් යයී . . .

උදේ හවා . . . .

ස්කයිපයේ චැටින් බෑ
නෙට් එක කචල් අදියි
ගෙදරත් වැඩ ගොඩයි
තනියෙම කරදරයි
රැකියාවද ජීවිතයද
කියා සිතෙයි . . .
හැමදේ වීසි කර ගෙදරට
එන්න හිතයී . . .

උදේ හවා . . . .

. . . . . . . . . . . . . . . .

නදීෂා, ඔයාට සුභ උපන් දිනයක් වේවා . . . !

(කරදරකාර මම ලඟ නැති නිසාම සුභ උපන්දිනයක් වෙයි හැබැයි )



Friday, May 27, 2011

සුලැඟිල්ලට කිරි එරෙන මාමා . . !



ලේන් පැටියෙක් තරම් දා නුඹ
වඩා ගත් දා පෙමින් දෝතට
හදේ උතුරා ගැලූ සෙනෙහස
මෙතෙක් වේ යැයි කෙසේ කියමිද

ලොවේ ඉපදුනු සියලු දරුවන්
ගැන දයාවෙන් සිතනු හැකි මුත්
විශේෂිත වූ සෙනේ හැඟුමන්
කෙසේ ඉනුවා දැයි නොදන්නෙමි

කිරි සිනා පා කෝල හැඟුමින්
බදා ගන්නා විට ගෙලේ නුඹ
පියා නොවුනත් දරු සෙනේහෙට
සුලැඟිල්ල කිරි බර වුනේ

අම්මා අප්පා සෙනේ පෑමුත්
මයිලනූගේ සෙනේ මදිවෙද
කෙලි පැටික්කී සුරතලී නුඹ
මගෙම දෝනියි මට සිතේ

උරේ දා නුඹ නිදි කෙරූ මම
ජරා කැත කුණු අත ගගා
ලොකු වුනත් මගෙ කරේ තරමට
මගේ හුරතලි නුඹ සදා

වැඩී අද නුඹේ අත්පා කර දඬු
කුළගෙයක පිට වෙනු සිතා
මගේ සියුමැලි පුංචි දෝනී
කෙසේ ඉවසා ගමි මෙමා

දුවෙක් විණි නම් දීග දිය යුතු
ලොවේ සම්මතයැයි සිතා
මගේ කඳුලැලි උනන නෙත් මුල
නුඹට මල් සේ දෙමි මෙදා . . !

Tuesday, May 24, 2011

බලන්න අප්පිරිය ෆේස්බුක් සහ බ්ලොග් වැඩ කිඩ



බොහෝ කාලයක් කසිප්පු පෙරූ මනුස්සයෙක් ඒ ජාවරාම නතර කර ඒ සඳහා යොදාගත් උපකරන වත්තේ ගොඩ ගසා තැබුවේලු.

මේ දුටු ඒ පලාතේ පොලිසිය ඔහු කස්සිප්පු ජාවාරම් කරන්නෙක් ලෙස නඩුවක් පවරා ඇත්තේ ඒ ජාවාරම නවතා බොහෝ කල් යැයි කී ඔහුගේ බස් ප්‍රතිකේශ්ප කොටය.

පොලිසිය උසාවියෙන් ඉල්ලා ඇත්තේ කසිප්පු පෙරීමට ඇවැසි සියලු උපකරන ඔහු සතු නිසා ඔහු වැරදි කරු ලෙස නම් කරන ලෙසයි.

විනිශ්චයකරු තීන්දුව දීමට ප්‍රථම ඔහුගෙන් කීමට යමක් ඇද්දැයි අසා ඇත.

"ස්ත්‍රී දූෂනයටත් මාව වැරදිකරු කරන්න ස්වාමිනී" ඔහු ඉල්ලා ඇත.

තක්බීර් වුනු විනිසුරු "ඒ මොකෝ ඔහේ ඒවත් කරනවදැයි" අසූ විට ඔහු පිලිතුරු දී තිබෙන්නේ

ස්ත්‍රී දූෂන කරන අවයවය තමා ලඟ තියෙන නිසා කසිප්පු නොපෙරුවත් උපකරණ තිබුනු පලියට වැරදිකරනු කරනවානම් ස්ත්‍රී දූෂ්ණය නොකලත් එය කරන අවයවය තමන් සතු නිසා තමා එයටත් වැරදි කරුවෙක් කල හැකි නොවේද කියායි.

මේ කතාව මට මතක් වුනේ ගිය ඉරිදා දිවයින පුවත්පතේ ෆේස්බුක් සහ බ්ලොග් අඩවි වල ක්‍රියාකාරීත්වය නිසා සමාජයට අවැඩක් සිදුවන්නේය යන්න පාඨකයන්ට ඇඟවෙන ලෙස ලියූ ලිපියක් කියවීම නිසායි.

පාන්, එලවලු කපන්න ගෙදර තියෙන පිහියම කෙනෙක්ව කපා කොටා මරා දැමීමටත් ප්‍රයෝජනයට ගත හැකි නිසා නිවසක පිහි තබා ගැනීම තහනම් කිරීම නැති නම් පිහි පාවිච්චියෙන් වැලකී සිටින්න කියා සමාජයෙන් ඉල්ලා සිටීමද . ..

පිහිය නිවරදි ආකාරයෙන් ප්‍රයෝජන ගන්නා අයුරු දැනුවත් කිරීමද කල යුත්තේ යන දෙකෙන් කොයි එකද හරි කියා අපේ ලාංකීය සමජයෙන් අසන්න සිතෙන්නේ බුදුන් දවස කොසොල් රජු දුටු සිහින වල මෙන් මහා අප්‍රභංශ දේවල් ගැන අද දවසේ අසන්න දකින්න ලැබෙන නිසාවෙනි.

ලිපියේ අග සංස්කෘත්තික පොලිස්කරුවන්ගේ උදහසට ලක්වීමක් ගැන බලෙන් ඔබ්බවා තිබ්බද එහි මූලික අරමුණ ෆේස්බුක් සහ බ්ලොග් අඩවි නිසා සමාජයේ සභ්‍යත්වයට සංස්කෘතියට හානි පැමිනෙන බව උලුප්පා දැක්වීම බව ඒ ලිපිය ලියූ ලේඛකයාට හැර වෙන ඕනෑම පොඩි හෝ මොළයක් තිබෙන කෙනෙකුට වැටහී යනවා ඇති.


කඩුවට වඩා පෑන බලවත් කියා කතාවක් මා අසා ඇත. එය පරම සත්‍යක් යැයි මා අදහන තරම්ය.

ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ගැන මහා ඉහලින් කතා කරන නමුත් ලංකා නිවුස් වෙබ්, ලංකා ඊ නිවුස් ආදී ලාංකීය පාඨකයන්ට තහනම් වෙන අඩවි වල මෙන් ලිපිය අසලම පාඨක අදහස් දැක්වීමට ඉඩක් සලසා නැති නිසාවෙන්, ෆේස්බුක් සහ බ්ලොග් භාවිතා කරන්නෙක් ලෙස ඒ ලිපිය ගැන මගේ අදහස මගේ බ්ලොග් අඩවියේම දක්වන්න අදහස් කලෙමි.

"මේ සාද එක එල්ලේම ඉලක්‌ක ගත වන්නේ ලිංගික ආස්‌වාදය විඳීම පිණිසය" මේ එහි මූලික චෝදනාවලින් එක්ක්.

මේ වැකිය ගැන මට සිතෙන්නේ මේ ලෙසයි.

ලියූ කෙනා ලිංගික බෙලහීනතාවයකින් පෙලෙන්නෙක් විය හැකියි. (තමා නොලබන සුවයක් අනෙක් අය විඳිය යුතු නැතැයි සිතන්නෙක්)

ලිංගික කුහක කමින් පෙලෙන්නෙක් විය හැකියි (මගේ තරුණ කාලේ ඔය විදිහට සැප ගන්න බැරි උනානේ ඉතිං මුන් ආතල් ගන්න දිහා කොහොමද බලං ඉන්නේ)

යෞවන-යෞවනියන්ට, තරුණ-තරුණියන්ට, පොදුවේ සියලු සත්වයන්ට ස්වභාවධර්මයේ නියාමයන්ට අනුව ලිංගික හැඟීම් පහල වීම වැලැක්වීමට හැකි සමතෙක් සිටීද??

මේ ලේඛකයා ගේ උත්සාහය ෆේස්බුක් සහ බ්ලොග් අඩවි නිසා කල්ලි ගැසී පාර්ටි දමන යෞවන-යෞවනියන්, තරුණ-තරුණියන් (ඔහු/ඔවුන් ඇසූ, දුටු, උපකල්පනය කල අකාරයට) ලිංගික ක්‍රියාවල නිරත් වීම නිසා සමාජරෝග, ගැබ් ගැනීම් ආදිය සිදුවෙන්න පුලුවන්ය යන්න නම් . ..

ලිංගික ක්‍රියා වලින් වැලකී සිටින්න උපදෙස් දෙනු වෙනුවට කුඩා වයසේ පටන් ක්‍රමානුකූලව යථා පරිදි ලිංගික අධ්යාපනයක් ලබාදෙන්නැයි කියා සිටීමට ඔවුන්ගේ ඒ කඩුවට වඩා බලවත් පෑන පාවිච්චි කරන්න තිබුනා යන්න මගේ හැඟීමයි.

ලේඛකයා අදහස් කලේ ෆේස්බුක්, බ්ලොග් ආදිය නිසා සංස්කෘතිය සදාචාර හානියට පත්වෙනවා යන්න නම්. .

පහත කරුනු ගැන සිතූ විට මගේ හැඟීම ගනිකා නිවායසක සිට මාට්ටුවී ඇති ඇමතිවරයෙක් කොට ගවුම් ඇඳීම තහනම් කිරීමට සැලසුම් කල ආකාරයේ තමාම වැරදි කරමින් අනෙක් අයට වැරදි නොකරන්නැයි කියනා ආකාරයේ තමාට එසේ කියන්න සදාචාරාරාත්මක අයිතියක් ඇද්දැයි දෙවරක් සිතා බැලිය යුතු කරුනක් බවයි.

සමාජය වෙනස් වන බව නොදන්නා අයෙක් සිටීද?

අලුත් පරම්පරාව, අපේ පරම්පරාව, දෙමාපියන්ගේ පරම්පරාව මේ කොයි නමින් කීවත් ඒ ඒ පරම්පරාවල ජීවත් වූ අය සදාචාරය, සංස්කෘතිය නම් කඩතුරාවෙන් වැසී තිබුනු නමුත් ස්වභාවධර්මයට අනුව උපදින ලිංගිකත්වය ගැන උපන් කුතුහලය කිසියම් වූ අකාරයකින් නිවා ගත්තේ නොවේද?

හැත්තෑව දශකයේ ඉපදුනු අප තරුණ කාලයේ හොර රහසේ මිලදී ගත් වැඩිහිටියන්ට පමණයි නම් ලේබලය ඇලවූ පුවත්වත් කියෙව්වේ නැද්ද?

මිතුරෙකුගේ නිවසක වැඩිහිටියන් නැති වෙලාවක බොහෝ අපහසුවෙන් සොයා ගත් වී එච් එස් පටියක් නොබැලුවේද?

පාඩම් කරන්න යයි කියා මිතුරෙකුගේ නිවසක එකතු වූ ඇසූදේ දුටුදේ අත්විඳි දේ බෙදා හදා නොගත්තාද?

අපේ තාත්තලාගේ පරම්පරාවේ අයට ඒ වැඩිහිටියන්ට පමනයි පුවත්පත් නොතිබෙන්නට ඇති. එසේ කියා ඔවුන් සිල් රැක්කාද?

කාන්තාවන් නාන තොටක හොරෙන් බලා හෝ ලිංගික කුතුහලය නිවා ගන්න ඇතැයි අපි නොසිතා සිටින්නේ කෙසේද?

අලුත් පරම්පරාවේ අයට අපේ තාත්තලාගේ තරුණ කාලයේ මෙන් ගෑනු නාන දිහා හොරෙන් බලන්න වත් අපේ කාලයේ මෙන් වැඩිහිටියන්ට පමනයි පත්තර වත් නැති නිසා (ගෑනු බාත්-රූම් ඇතුලේ නාන නිසා සහ අර ජාතියේ පත්තර අච්චු ගහන්නේ නැති නිසා) ඒ කුතුහලය සංසිඳවාගන්න අන්තර්ජායලේ ෆෙස්බුක් එකේ පින්තූර, වීඩියෝ බලන එකේ ඇති වැරැද්ද කුමක්ද?

කුඩා වයසේ පටන් ලිංගික අවයව පිරිසිදුව තබාගන්නා හැටි අම්මා තාත්තාට හැර වෙන කිසිවෙක්ට ඒවා බලන්න අල්ල ඉඩනොදන්න කියා උපදෙස් දීම. . .

යෞවනයින්ට අනාරක්ෂිත ලිංගික ඇසුරු නිසා සමාජ රෝග වැළඳෙන අයුරු, ගැබ් ගැනීම් සිද්විය හැකි අයුරු ආදී ලෙස උපදෙස් ලබා දෙනු සඳහා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීමට බල කරනු සඳහා . . .

ඔවුන්ගේ කඩුවට වඩා බලවත් පෑන භාවිතා කලේ නම් කොයි තරම් අපූරුද??

අනෙක් කරුණ, ඇයි මේ ෆේස්බුක්, බ්ලොග් අඩවි වල නරක පැත්ත ගැන පමනක් ඔවුන් සංවේදී?

පාර්ටි සහ ගැදරින් ගැන සංවේදී වූ ඔවුන්ට අහම්බෙන් වත් පසුගිය මාස කීපය පුරා ෆේස්බුක්-බ්ලොග් හරහා ගමන් කල මානුශිකත්වය හෙවත් සවන් සෙවූ ඉලංදාරියා වෙනුවෙන් බ්ලොග් කරුවන් ෆේස්බුක් පරිහරණය කරන්නන් සිදුකල මෙහෙවර ඇස නොගැටුනේ ෆෙස්බුක්-බ්ලොග් නරක දෙයක් යැයි කියා ඔවුන් පැළඳ සිටි කලු කන්නාඩිය නිසාද?

පහත ඇති ෆේස්බුක්-බ්ලොග් හරහා බෙදා හදා ගන්න දැනුම් සම්භාරය ඔවුන් කියන්නේ මොනවාද?

ලෝකේ වටේ ඇති රැකියා ගැන දැනුවත් කරන ෆේස්බුක් ලුහුඬු දැන්වීම් සමූහය.

ඡායාරූපකරණය ගැන විශේෂඥ ශිල්පීන් අපව දැනුවත් කරන සේයා රූ කතා බහ.

අපේ සංස්කෘතිය ගැන නොදන්නා දේ අපට කියා දෙන හෙරිටේජ් සමූහය

පරිඝනක දැනීම නොමිලේ බෙදා හදාදෙන පරිඝනක උදව් සමූහය, ඔන් ලයින් හෙල්ප් සමූහය

දේශපාලනයේ නිරුවත හෝ සැබෑ මුහුන හෙලිකරන, සැබෑ දේශපාලනයක් වෙනුවෙන්, සුන්දර ශ්‍රී ලංකාවක් වෙනුවෙන් කතිකා ඇතිවෙන ශ්‍රී ලංකාවේ දේශපාලනය සමූහය

සැඟවුනු නිර්මාණශීලීත්වයට පිබිදෙන්න ඉඩහසර සලසන වලාකුළු අතර හිඳ සමූහය, කෙටි කතා සමූහය, එෆ්.බී. කවි සංසදය

තාක්ෂනික බ්ලොග්, නිර්මාණ බ්ලොග්, ජ්‍යෝතිෂය බ්ලොග්, ආදී මේ සියල්ල නොදැක ෆේස්බුක්-බ්ලොග් හානිකර දෙයක් ලෙස දුටුවේ සත්‍ය වශයෙන්ම අන්ධ නිසාවෙන්ද ??

නැති නම් ජනතාව රටේ පවතිය සැබෑ තත්වය ගැන දැනුවත් වීම පාලයකයන්ට පාලනයට අපහසුවක් කියා සිතා කඩුවට වඩා බලවත් පෑනක් ඇති අයෙක්ගේ බඩගෙඩිය පුරවා එසේ බඩ පිරීමෙන් පසු කෑමත නිසා අන්ධ වූ නිසාවෙන්ද කියා සිතා බැලීම බුද්ධිමත් දෙමාපියන්ගේ, පාඨකයන්ගේ වගකීමකි.

දිවයින පුවත්පතේ ලිපිය මෙතනින් කියවන්න

පින්තූරය යත්තේත් දිවයිනේ ලිපියෙනි.


Wednesday, May 11, 2011

දීනයකු ලෙස ජීවත් වූයෙමි . . එහෙත් !!!



දෙමාපිය සෙවනේ වැඩෙන කුඩා වයසේ පටන් රැකියාවක් කරමින් ස්වාධීන වූ පසුවත්, ඉන් මතු අතපය වලංගු නොමැති මහළු වයස වන තුරුත් - අප අසාධාරණයට එරෙහි නොවන්නට, අසාධාරණය දැක දැක එය ඉවසමින් දීන ලෙස ජීවත් වන්නටත් උගත්තෝ වෙමු, අනුබල ලැබුවෝ වෙමු.

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

කලබල නොවන්න මේ මගේ ගොං මොළයට දැනෙන සැටිය.

මා ජීවත් වූ සහ ජීවත් වන සැටිත්, දෙමාපිය, සෝයුරු, ඥාති, අසල්වැසි, මිතුරු ආදී සියළු දෙනා ජීවත් වූ සහ ජීවත් වන සැටිත් අනුසාරයෙන් මට දැනෙන සැටිත්ය.

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

දෙමාපිය සෙවනේ වැඩෙන කුඩා වයසේදී, හම්බුකරන තුට්ටු දෙකෙන් කටගොන්නක් බීගෙන මහ රෑ යක්කු ගස් නගින දෙගොඩහරි ජාමේ පැමින කෑම බීම වල නැති අඩුවක් සොයා පිඟන් කෝප්ප පොලොවේ ගසා මව සමඟ දබර කරන පියෙක්ගේ ඒ අසාධාරණ ක්‍රියාවට පවුලේ සාමාජිකයෙකු ලෙස දරුවෙකු, යව්වනයෙකු ලෙස ඔබ එරෙහි වූයේ නම් . . . .

“මොන මගුලටද තාත්තා ඔය තරම් බීලා එන්නේ. ඒ නාස්ති කරන සල්ලි වලින් හැමදාම ස්කෝලේ අඳින එකම යුනිෆෝම් එක වෙනුවට තව එකක් මහලා දුන්න නම් මොකේ වෙන්නේ. අනික තාත්තා බිව්වයි කියල අම්ම ටේස්ද??”

වැරදීමකින් හෝ දරුවෙකු / යව්වනයෙකු වූ ඔබේ මුවින් මෙවැනි යමක් පිට වූයේ නම් . .

මුලින්ම අසාධාරණයල ලක්වූ මවද ඇතුලුව පවුලේ වැඩිහිටි සියළු දෙනා ඔබට එරෙහිව අවි ඔසවනවා නොවේද??

“අපෝ තෝ වගේ මූසලයෙක්. කන්න බොන්න දෙන තාත්තට ඔහොම කතා කරනවද??”

“තාත්තා ගැන ඔහොම කතා කරලා පව් පුරෝ ගන්න එපා යකෝ”

“මොන වැරැද්ද කලත් එයා තාත්තනේ, එයාට විරුද්ධව ඔහොම කතා කරන්න උඹ මොන ලොක්කෙක්ද?”

ඔය ආදී ලෙස ඔබට චෝදනා කරමින් ඔබව ඉහේ සිට පතුරු ගසමින් පියාගෙන් (සෑම පියෙක්ගෙන්ම නොවේ – සමහර පවුල්වල මව, සීයා, ආච්චී, අක්කා, අයියා, නැන්දා, මාමා විය හැකියි ) පවුලට වන අසාධාරණය ඉවසමින් දීනයෙකු ලෙස පවුල තුල ජීවත් වන්නට ඔබට බල කරනවා නොවේද??

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

පාසැල් සිසුවෙකු ලෙස පාසැලේදී ගුරුවරයෙකුගෙන්, විදුහල්පතිගෙන් අසාධාරණ ලෙස පහර කෑමකට ලක් වූයේ නමෙ නැතහොත් සරසවි සිසුවෙකු ලෙස සරසවි පද්ධතියෙන්, පාලක ආන්ඩු පක්ශයේ ඇමතියෙකුගෙන් සිදුවූ අසාධාරණයකට ඔබට මුහුන දෙන්නට වූයේ නම් . . .

“ගුරුවරයෙක්ගෙන් ගුටි කෑවට පව් නෑ බං”

“කැම්පස් ගියේ ඉගෙන ගන්නනේ. ඕන දේකට ඔලුව පත් කරගෙන ඉගෙන ගන්නවා මිසක් අසාධාරණයට විරුද්ධව උද්ගෝෂණය කරන්න යනව එහෙම නෙමෙයි. ගිහින් ඔලු පලාගෙන ගෙදර එනව නෙමෙයි”

මේ ආදී ලෙස අසාධාරණයට ලක් වූ පුද්ගලයා ඔබ වුවත් දීනයෙකු ලෙස එය ඉවසා දරා ගන්නට ඔබ අනුබල ලැබුවා නොවේද??

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

ස්වාධීන මිනිසෙකු ලෙස රැකියාවක් කරමින් ජීවත් වීමේදී කිසියම් උවමනාවකට ප්‍රාදේශීය සභාවට, නගර සභාවට, රජයේ කාර්‍යාලයකට, රෝහලකට යන්නට වූයේ නම් – අප මිලදී ගන්නා හාල් හුන්ඩුවෙන්, පොල් ගෙඩියෙන් පවා ගෙවන බදු මුදලින් හෙවත් මහජන මුදලින් වේතනය ලබනා පියන්ගේ පටන් අදාල රාජකාරිය කරන ලිපිකරුවා දක්වා අයගේ කෙනෙහිලිකම්, නොසලකාහැරීම් වලට ලක් වන නමුත් ඔවුන්ව නඩත්තු කරන මහජනයා වූ අප අපේ මුදලින් යැපෙන රජයේ සේවකයා අපට කල අසාධාරණයට එරෙහි වන්නට තරම් අදීන කමක් අප සතු වීද??

“කෝ කෝ එහාට වෙනවා එහාට වෙනවා හරක් වගේ ඉන්නේ නැතුව, එලියට වෙලා ඉන්නවා එලියට වෙලා ඉනන්වා ක්ලාක් මිසී ආවහම පෝලිමට එනවා”

“ලියුමේ අත්සන ගැලපෙන්නේ නෑ, දිවුරුම් පෙස්සමක් අරගෙන ලබන සතියේ මහජන දිනෙට එනවා”

“ප්‍රදේශීය ලේකම්ගේ අත්සනයි සීල් එකයි ගහගෙන ලබන සතියේ එනවා”

“මොකෝ කෙඳිරි ගාන්නේ. කෑනුගහ ඉන්නවා. ඔය තරම් අමාරු නම් ප්‍රයිවෙට් හොස්පිටල් එකකට යන්න තිබ්බනේ”

“බෙරිහන් දෙන්නේ නැතුව ඉන්නවා ගෑනියේ, බඩවල් හදාගෙන එනව මෙතනෙ හුරතල් වෙන්න”

මේ ආදී ලෙස පීචන් වෙන්න සිදුවූ අවස්තා කීයක් ඔබේ මතකයේ ඇද්ද?? මිතුරන් ඔබට පවසා ඇද්ද??

මේ සියලු අවස්ථා වලදී දීනයෙකු ලෙස ඉවසා සිටියා විනා ඔවුන් නඩත්තු කරන මහජනයෙක් වීම කෙසේ වෙතත් මිනිසත් බව ලැබූවෙක්ට හිමි ගව්‍රවය පවා නොලැබූ අයෙක් ලෙස අප ඔවුන්ට එරෙහි වී ඇද්ද??

“ඇමති තුමාට බැන්නොත් හරි වැඩේ කර ගන්න පුලුවන්, පියන්ට හරි ක්ලාක්ට හරි බැන්නොත් ඉති සොරි තමයි. ෆයිල් එක මිසින් කියලා වැඩේ හබක්”

“නර්ස් නෝනගේ කට මිරිස් ගලක උලන්න හිතෙනවා තමයි කියන ඒවට ඒත් වචයක් වත් කියන්නේ කොහොමද ඊට පස්සේ මොනව කරයිද කවුද දන්නේ”

මේ ආදී ලෙස අපේ ම හිත රවට්ටා ගන්න හේතු ඉදිරිපත් කරමින් දීනයෙකු ලෙස ඔලුව පහත් කරගෙන සිටියා නොවේද අප ??

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

රණවිරුවෙකු ලෙස යුද බිමේදී දිවි පරදුවට තබා සටන්කොට නැති නම් රජයේ සේවකයෙකු ලෙස ජීවිතයම කාර්‍යාලයක ගතකොට විශ්‍රාම ගිය පසු ඔබේ සීයාගේ ආච්චිගේ විශාම වැටුප සකස් කර ගැනීමට අදාල කාර්‍යාල වලට ගිය පසු කෙතරම් නම් කෙනෙහිලි කම් වලට ලක් වී ඇද්ද??

ඒ කෙනෙහිලිකම් වලට ඔවුන් ප්‍රතිචාර දැක්වූයේ කෙසේද??

දීන ලෙස ඉවසා නෑසෙන කන්ව සිටියා විනා “අපි මේ වගේ රැකියා කරපු අය, රට වෙනුවෙන් ජීවිතය පූජා කරපු අය – ඇයි අපිව මේ විදිහට රස්තියාදු කරන්නේ” කියා වත් ඇසූ බව ඔබට ඇසුනාද?

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

සමාජයේ පුරවැසියෙක් ලෙස පාලක පක්ෂයේ ඇමතියෙකුගේ, ජනාධිපතිගේ හෝ රජයෙන් - අසාධාරන යැයි ඔබට හැඟෙන ඔවුන්ගේ ක්‍රියාකරකම් හෝ තීන්දු තීරණ නිසා අද දින ඔබට හෝ අනාගතයේදී ඔබේ දරුවන්ට මුහුනපාන්න වෙන අසාධාරණයකට එරෙහිව ඔබේ මතය ප්‍රකාෂ කරන්න ඔබේ විරෝධතාව කියාපාන්න තරම් ඔබ අදීන යැයි ඔබට ඔබ ගැන විස්වාසද??

තමාගේ දීන කම තමාට ඉවසුම් නැති අවස්තාවකදී පිටාර ගොස් ඔබ ඒ අසාධාරණයට එරෙහිව වචනයක් හෝ පිට කලේ නම් . .

“කලුගල් වල ඔලුව ගහගන්නේ නැතුව හිටපන් මචං”

“දෙනදේ කාලා වෙනදේ බලාගෙන ඉන්නවා මිසක් ඕවට කතා කරන්න ගිහින් බල්ලෙක් වගේ මරලා දැම්මොත් පාඩුව ගෑනිටයි ළමයින්ටයි නේද”

අදී වශයෙන් උපදෙස් ලැබ අදීන වීමේ අදහස පැත්තකට විසිකොට සුපුරුදු දීන කමින් ජීවත් වෙන්න උත්සාහ කරනවා නොවේද??

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

කොටින්ම මිතුරෙක්ට, හිතවතෙක්ට වත් කියාගන්න ඇවැසි දෙයක් කෙලින්ම මූනට පැවසීමට තරම් අදීන කමක් බොහෝ අයට නෑ නොවේද??

බ්ලොග් අවකාශේ කෙනෙක් පලකල මතයකට තමාගේ විරෝධතාව කෙලින් කියන්න තරම් අදීන කමක් නැති අය ඇනෝනිමස් හෝ වෙන නමකින් ප්‍රොෆයිල් හදාගෙන අදහස් පලකරනවා අප කෙතරම් දැක ඇද්ද?? ඇත්විඳ ඇද්ද??

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

මෙසේ දීන ලෙස ජීවත් වන්නට අපගේ විශේෂ කැමත්තක් තිබෙනවාද??

නැතහොත් පෙර රජකාලේ පටන් රජ, ඇමැත්තෝ සහ සෙබළු ඉදිරිපිට “බඩගැත්තරයාට සමාව බයබෝයි හාන්දුනන්නේ” කියමින් දීන ලෙස වැඳ වැටුනු අපේ මුතුන් මිත්තන්ගේ ජාන වලින් අපට ලැබුනු දායාදයක් නිසා ද??

එසේත් නැතහොත් අදීන ලෙස ජීවත් වෙන්නට බැරි අපගේ සිස්ටම් එකේ ඇති කිසියම් වැරැද්දක් නිසාද??

සිස්ටම් එකේ වැරැද්දක් නම් එය නිවරදි කිරීමට ආඬි හත්දෙනා කලාක් මෙන් "මම නොකලට අනිත් එකා කරයිනේ” කියා බලා සිටිමුද??

නැතිනම් තව චිරාත් කාලයක් දීනයෝ ලෙස ජීවත් වෙමුද??

අනේ මන්දා . . .

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .


Sunday, May 1, 2011

පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය . . . !



ඇන්ජි (ඇන්ජලීන් ගුණතිලක මහත්මිය)ගේ "පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය මුල්ම දවස අද වේ . . මුල්ම දවස අද වේ" ගීයේ "පුංචි ඇස් දෙකේ . . .කඳුලු බිඳු දෙකක් . . ඔන්න වැටෙන්නට . . මෙන්න වැටෙන්නෙට" කිව්වම මට නම් මැවිලා පෙන්නේම ගෙදර ඉඳගෙන අම්මගේ තාත්තගේ හුරතලෙන් මිදිලා ස්කෝලේ එන්න වුනු නිසා මූන බෙරි කරගෙන අඬන්න ඔන්න මෙන්න ඉන්න පුංචි පුතෙක්ව.

ඇන්ජිගේ සින්දුව මේ දවසවල නිතරම මගේ මුවේ රැව් දෙන ගීයක් වෙලා. හේතුව ගිය සතියේ බදාදා ඉඳන් අපේ සොඳුරු ත්රවස්තවාදියා විරුල් පෙර පාසල් යන්න පටන් ගත්තු නිසයි.

අපේ කොල්ලා කැමති බ්‍රයිට් පාට වලට. විශේෂයෙන් රතු. නැති නම් කහ, කොල, නිල් වගේ වත් වෙන්න ඕන. අහගෙන ඉන්න ලස්සනම එයා කැමති පාටක ඇඳුමක් ඇන්දම "මේක නාස්සනයි ඊ ඊ " කියන එකයි එයා අකමැති ඇඳුමක් ඇන්දුවාම "මේක කැතී ඊ ඊ . . " කියන විදිහයි

පෙර පාසලෙන් විරුල්ගේ කටු බොඩියට මැච් වෙන යුනිෆෝම් ඉවරයි කියලා කොයි එකටත් දනට කියලා පෙර පාසලේ ටී ෂර්ට් එකක් විතරක් දීලා. වැඩේ කියන්නේ මූ කියලම ඉන්නවලු 'මේක කැතීඊ . . ." කියලා . . පලවෙනි දවසෙ උදෙන්ම පොඩි ගුටියකුත් කාලම තමයි ඉස්කෝලේ ගිහින් තියෙන්නේ.

කොල්ලව ලෑස්ති කරලා ඉවර වෙලා නදීෂා එස් එම් එස් කලා දැන් කෝල් කරන්න කියලා. උදේම මම කෝල් කරපු ගමන් "අප්පච්චී විරුල් ස්කූල් යන්න . . . " කිව්වේ හරිම සතුටකින් කියලා මට හිතුනා. විරුල් එක්ක ලඟ ඉඳන් ඒ සතුට විදින්න නොලැබුනු එක ගැන නම් මට ඇති වුනේ කනගාටුවක්.

ඉතිං ඔන්න ඔයාලගේ පුංචි යාලුවා ඉස්සෙල්ලාම පෙර පාසල් ගිය දවසේ ගත්තු පින්තූර ටිකක් මම මේ කෙටි ලිපියට එකතු කරන්න හිතුවා.

මම ලෑස්තියි


අප්පච්චී විරුල් ස්කූල් යන්න .


හ්ම්ම් . අප්පච්චි එන්නේ නෑ නේද මාව ස්කූල් එක්ක යන්න


උදේම කිරිබත් කාලා එහෙම


බුදුන් වැඳලා


අප්පච්චි ලඟ නැති නැතුවට පින්තූරේ තියෙනවනේ


අම්මටත් වැඳලා


ඔන්න මම ඉස්කොලේ යන්නයි හදන්නේ


මේන් අපේ ඉස්කොලේ

Sunday, April 17, 2011

විජයගේ ආදරය චන්ද්‍රිකාටද - චන්ද්‍රලේඛාටද??



විජය කුමාරතුංග ජනප්‍රිය නලුවෙක්ව සිටි බව සැබෑවක් නමුත් ඔහුගේ බොහෝ චිත්‍රපටි නරඹා ඇති මගේ මිනුම් දඬු වලට අනුව නම් ඔහු විශිෂ්ඨ ගනයේ නලුවෙක් නොවේ.

ඔහුගේ විශිෂ්ඨතම රඟපෑම් ඇත්තේ කැඩපතක ඡායා චිත්‍රපටියේ බව මතක හැටියට වරක් ටැබූ කොහෝ තැබූ කොමෙන්ටුවක දුටු නමුත් අවාසනාවට එම චිත්‍රපටිය නරඹා නොමැති නිසාවෙන් ඔහු හා එකඟ වන්නට මට හැකියාවක් නැත.

කෙසේ නමුත් ඔහු ගායනා කල ගීත බොහොමයක් අසා ඇති මට ඔහු ඉතා විරල කටහඬක් ඇති අපූරු ගායකයෙක් බව නම් කටපුරා කිවහැකියි.

මිල්ටන් පෙරේරාගේ හඬින් ගයන්න ඔහුගේ පුතුන් වූ ප්‍රියංකර හා චලක චමුපති සිටින අතර අමිත් වල්පොල ධර්මදාස වල්පොල මහතාගේ හඬට සමාන හඬින් ගී ගයයි. චිත්‍රපටි පසුබිම් ගායනයට ජෝතිපාල මහතා අහිමි වූ නමුත් ග්‍රේෂන් ආනන්ද මහතා ඔහුගේ හිස් තැන ඔහු පමනටම නැතත් සුලුවෙන් හෝ පිරවූ බව මගේ අදහසයි.

මොහිදීන් බෙග්ගේ ගීත ඔහු පුත් ඉෂාක් බෙග්ද මර්වින් පෙරේරාගේ ගීත කීපයක් අමල් පෙරේරාද, මිල්ටම් මල්ලවාරච්චිගේ ගී ඔහු පුත් රනිල් මල්ලවාරච්චිද ගායනා කරන නිසාවෙන් අප මතකයෙන් ගිලිහී නොයා තවත් කලක් අප අතර රැඳෙනු ඇත.

එනමුත් විජය කුමාරතුංගගේ විරල කටහඬ හිමි කිසිවෙක් තවම කරලියට පැමින නැති නිසාවෙන් ඔහුගේ ගීත අපගේ වර්තමාන පරපුරට සේම අනාගත පරපුරටද අහිමිවී යාමේ අවදානමක් ඇති බව සිතෙන විට මට නම් ඇතිවන්නේ සියුම් වේදනාවක්.

මේ බ්ලොග් සටහන එවන් වූ මගේ වේදනාව මකා ගැනීමේ කුඩා තැතක් පමනි.

දේශපාලනයේ චරිතයක් වීම විජයගේ සිහිනයක්ව තිබුනා විය හැකියි. බලවත් දේශපාලනක පවුලක චන්ද්‍රිකා ට විජයගේ ආදරය හිමිවීමෙන් ඈ ඔහුගේ බිරිඳවීමෙන් පසු විජයගේ තිබුනා වන්නට විය හැකියැයි මා උපකල්පනය කරන දේශපාලකයෙකු වීමේ සිහිනය යතාර්ථයක් කර ගන්නට ඔහුට ඉඩ ලැබුනා වන්නට ඇත.

සිනමා ක්ෂේත්‍රයේ සංගීත ක්ෂේත්‍රයේ සියල්ලෝ "ඉතා උසස් මානුෂික ගති වලින් හෙබි සුන්දර මනුස්සයෙක්" යනුවෙන් නිතර අර්ථකතනය කල විජය අපට අකාලයේ අහිමිවීම ඔහුගේ දේශපාලන ආගමනය නිසා සිදුවූවක් බව මගේ පමනක් නොව බොහෝ අයගේ මතය නොවේද??

චන්ද්‍රලේඛා පෙරේරා, මාලනී බුලත්සිංහල, ඇන්ජලීන් ගුණතිලක ආදී ගායිකාවන් කීප දෙනෙකු සමඟ විජය යුග ගී ගයා ඇතත් ඔහුගේ යුග ගී අතුරින් විශාල ජනතා රසික ප්‍රදායක් දිනුවේ විජය සහ චන්ද්‍රලේඛා ගායනා කල යුග ගී බව මගේ හැඟීමයි.

ඉදින් විජයගේ ආදරය චන්ද්‍රිකාට නොලැබී චන්ද්‍රලේඛාට ලැබුනි නම් විජය අදටත් විශිෂ්ඨ ගායකයෙකු ලෙස අප අතර සිටින්න ඉඩ තිබුනා නොවේද කියා මට සිතීම අහම්බයක්ද??

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

සිංහල හින්දු අවුරුදු සමය ඇති - නැති, ලොකු - පොඩි කාටත් එකසේ සිතට සුවය සදන සමයක් බව කිව මනාද? ගැමි ජීවිතයේ සුන්දරත්වයත් සිංහල හින්දු අවුරුදු සමයේ ඇති සිරියාවත් මේ ගීතයේ අපූරුවට ගැබ් වී අති අකාරය බලන්න.

පුංචි පැලත් මේ කාලේ මාලිගා
රජ මාලිගා දොලොස් මහේ නැකත ඇවිල්ලා
ගම්මානෙම මංගල ගී ගායනා ගැමි ගායනා
සිංහල අවුරුද්ද ඇවිල්ලා

මල් වරා තිබූ දළු මල් බරින් පිරී
රන් ගොයම් පැසී නැමී සැලේ
බාලොලියා බෝවිටියා හිනැහී ඇතේ
කෝළ ළඳුන් මුවඟ රබන් සුරල් සේ

කමත් බිම් කෙත පුංචි පැංචියන් පිරී
චන්ද කිඳුරු නාඩගම වෙතේ
කෝළ ළඳුන් ආල සිතුම් ගැටවු හා ඇති
ඈත කුඹුරු පිටියෙ සරුංගල් අරී


. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

අනෙකාගේ සෙවනැල්ල පවා හදට සිහිල සදන ගිමන් හලක්වූ, අනෙකාගේ සිතට සීමා මායිම් පැනවූ ඒකාධිපතියන් නොවූ, අනෙකාගේ සතුට සැපත පමනක් තමාගේ සතුට සැපත බවට පත් කරගත් ප්‍රේමයෙන් මුසපත් වූ යුවලකගේ ආත්මීය කථනයක්.

සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමූ
සංසාරෙන් අපි සමුගන්නාදා
ඒ ගමනත් අපි එකට යමූ

ජීවන මංපෙත මලින් සැදී ගිය
යුගයක නොව ඔබ හමු වූයේ
කටු කොහොලින් පිරි කළල් වියේ මා
තනිව මියෙද්දිය හමු වූයේ
මින් මතු මංපෙත මලින් සදන්නෙමි
ළතැවුල් සෝ ගී නෑසෙන සේ
පමනක් නොව මේ සංසාරේ
උපදින වුව මතු සංසාරේ

මතු උසංසාරේ මා හුරුබුහුටිව
පෙම් කරනා කල එලඹෙනදා
කුළුඳුල් නැකතින් හමුවන පැතුමක්
පතනෙමු සසරින් නික්මෙන්දා
සංසිඳුවා සිතු පහන් කරන්නෙමි
මේ පෙම කුළුඳුල් පෙම යැයි සිතා
එන්නෙමි පසුපස සංසාරේ
කැපවෙමි ඔබ සිතු ගැනම සිතා

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

ආදරය දෙස මෙත් සිතින් බලනු හැකි වැසියන් නොමැති; ආදරයෙන් බැඳුනු සිත් රිදවීම, කඩා ඉහිරවීම ඒකායන ප්‍රාර්ථනය කරගත් වැසියන් නොමැති; පෙදෙසක් කොහේ වේද? මිනිස් වාසයෙන් තොර වන දහන හැර එවන් පාරාදීසයක් මිහිමත වෙත්ද??

වනසපු මල් පිපෙන වන රොදේ
ජීවිතයේ සුවඳ විජිතයේ
ඔබ හමුවන්නට මා ආවේ
ලොවින් සැඟව මේ වන දහනේ
ගහකොල මල් සෙවනැලි අතරේ
වැතිරෙමු අපි පිනි කැට යහනේ

කුරිරු සිතින් දළ තුඩු ඇන
අප රිදවන කිසිවෙකු නැත
බොරු හසරැලි මල් රොන් යට
විස සඟවන කිසිවෙක් නැත

පෙමට නිවන් මඟ සලසන
වන ගහනය සිත සුව දෙන
ඔබෙත් මගෙත් සිත හඳුනන
කුරුළු ගීත අසනු මැනවි


. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

දෙතැනක සිරවුනු දෙසිතක සෙනෙහසක් එක්තැන්ව ප්‍රේමයේ සිහිල විඳින දවස කවද උදාවේද?

ඈත එහා . . . ඔබ සිටිනා . . .සිතක සිනා
ඒ සුවඳ හමා
මගේ හදේ ලියවී තියෙනා
කැකුල පිපේයා . . සුවඳ හමා
ඈත එහා . . . ඔබ සිටිනා . . .සිතක සිනා
ඒ මහද සලා
මගේ හදේ සිරවී තිබෙනා හැඟුම් ගලා යා
ඔබව සොයා

පියඹා එන්නට අවසර දෙනු මැන
ලංවී ඉන්නට සැමදා ඔබ වෙත
සෙනෙහස ගන්නට පහස ලබන්නට
සිහිය ලොවින් හෝ සැබේ කරනු මැන

ඔබ හා සිතනා මාගේ පැතුමන්
හමනා සුළඟේ මුදා හරින්නම්
සීත පටලයන් අතරේ සැඟවී
උනුසුම් සුසුමන් නිවා හරින්නම්


. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

නගරයේ ඇති කෘතිම විච්චූර්ණ අරුමෝසම් මායාව විසින් සුන්දර සිහිලැල් ගම්මානය ආක්‍රමනය කිරීම කොතරම් පාපයක්ද?

මා දිනු ගම්බද මේ බිමේ
ගුම් බිඟු ගී නෑසේ
ලාළිත සුන්දර ලාළනා
දැන් නෑ ගම්මානේ
මාදුටු කෝළ ලඳු මේ ගමේ උන්
වෙනස් වීලා ඔබ වගේ

පැරණි දේවල් අගය නෑ නේ
නගර ගම්මානේ
ආල සිත මා ඔබට දුන් ඒ
අගය දැන් නැතිදෝ

ළමැද ඇට පොට ඔසරි වළලූ
ඔබට දැන් හුරු නෑ
ගම වෙනස් වී හිත වෙනස් වී
ඔබත් නෑ මතකේ


. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

ගම්මානයේ සිරියාව නගරයේ අරුමෝසම් වැස්සේ දියෙන් සේදී ගියත් කැකුලෙක් කැකුලියකට ආදරය කිරීම මහා පාපයක් ලෙස සිතන පුහු ආකල්ප වෙනස් නොවූයේ මන්ද??

පෙරමඟ සුභ නිමිත්ත වී
හෙටත් උදෑසන වඩින්න
අකුරට යන බාල නගේ
වෙල ඉස්මත්තේ
එපා ඉන්න හෙට මේ ලෙස
මං යනවා පිට පාරේ

වටින් ගොඩින් එලිය වැටී
දොල ලඟ බැද්දේ
එන්න එපා කතා හැදෙයි මේ ගම්මැද්දේ
කුමාරියක් බලා හිඳී හද විල් තීරේ
පුංචි නෙළුම් මල් යහනාවේ

ජම්බු රතට රතට වෙරේ
ඇහළ මලක් පෙමට හඬයි
පිට දිග වරලේ
පුර පෝය හඳ එලියේ අන්දර හෙවනේ
ඉන්නෙ කෙසේ පෙම් පිලිසඳරේ


. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

තෙතමනයක් නොමැති හදවත් ඇති සියක් දාහක් මිනිස් පුරයක් වුව පිපාසයට දිය බිඳක් නොමැති කතරක් නොවේද?


මල් හසරැල් සැලෙන ලොවක්
දුල් රසු දැල් අසිරි සලක්
සිහින ඉසව්වක්
සිත් කතරක නෙත් දනවන
සිහින දනව්වක්

කතරක් වෙන කොතැනක හෝ
කෙම් බිම් යලි හමුවෙනවා
දුක් අරගෙන යන ගමනේ
හසරැල්ලක් මුසුවෙනවා
කඳුලින් තරු වූ උයනේ
මිනිසත් කම් දලු ලනවා

සිත තෙත් නැති කාලේ
කොතැනත් කතරක් වෙනවා
හදවත් පිවිතූරු වූ දා
නව කෙම් බිම් බිහිවෙනවා
දෙසිතක් මුසුවූ දැහැනේ
දහසක් මල් පිබිදෙනවා

. . . . . . . . . . . . . . . . . . . . . .. . . . . . . . . . . .

පුංචි කාලේ ගෙවුනු තාලේ ආයෙමත් සිහිවේ
අපගේ බාලේ සෙනෙහේ දාමේ නෑ තවත් බිඳුනේ
ඔබගේ දෑතේ එතිලා ආයේ නැගෙනිය මා අයියේ
දෑස වාගේ සෑමාදා මා ඔබලඟමයි ඉන්නේ

වී කරල් පැසුනා මී මලුත් පිපුනා
වෙල් එලි මැද දුවලා කාලයම ගෙවුනා
සොයුරේ පෙර දිනේ ගී සිනා සිහිවේ

දෑසමන් නෙලලා මාලයක් ගොතලා
අයියන්ඩිගේ ගෙලලා මා බලා සිටියා
නැගෙනී පෙරදිනේ ගී සිනා සිහිවේ


මේ ගීතයට මා විසින් පෙර ලියූ බොහෝ දෙනාගේ ප්‍රසාදයට ලක්වූ "කරදරකාර නංගී හෙවත් දෙවියන් ලබා දුන් අගනා තෑග්ග" නම් වූ ලිපිය හර වෙන යමක් ඇවැසිද??

“කුඩාකල මහා කරදර කාරියක් ලෙස අප සිතා සිටින නංගී සැබැවින්ම කරදරකාරියක් නොව දෙවියන් විසින් දුන් අගනා වස්තුවක් බව කඳුලින්ම මුනගැසී . . . කඳුලින්ම සමුගන්නා මගේ නංගී මා හට පසක් කර දුන්නා යැයි මට නිතරම හැඟේ . . ..”

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

විජයගේ විශිෂ්ථ ගායන කුසලතාවය හඳුනා ගත හැකි තවත් අපූරු ගීත දෙකක්

මිණි කිංකිනි හඬ පරදා
මේ ගැල් ගමනේ
කළුවර කතරේ
කඳු වැටි මානේ
දුක් ගී රාවේ සවනත පෑරේ
සුදු මැනිකේ

පාලුවේ පාවී හපුතල් කඳේ
පුර හඳ නැගුනේ මේ දිගු ගමනේ
ගවකුර වැඩිවේ ගව්වෙන් ගව්වේ
ඔබ නැති ගම්මනේ මේ දුර පෑහේ

සීපදේ රාවේ සියොළඟ සසැලේ
ඔබ සිත සැඟවේ දාහය උතුරා
උනුසුම ඔබගේ සිරුරේ තැවරේ
නෑ හිරු පායන්නේ
නෑ මට ආයේ


. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

ඔබ නෙතු මා හා රන්දා
මා සිතු ඔබ හා බන්දා
ආදර හැඟුමන් හදතුල අතුරා
ඇයි දැන් සැගවෙන්න
මා සිත රිද වන්නේ

කාටත් දෙන ඔය නෙතේ කැලුම්
සැමට පිදෙන ඔබේ නුරා බැලුම්
මුතු අතරින් එන පොකුරු සිනාවෝ
ආදර සිත කලඹයි
මා ආදර හද කලතයි

සසර සැරි සරා සෙවූ සිහිනේ
පෙරුම් පුරා ලා බැන්ද සෙනේ
තලන්නෙපා අත හරින්නෙපා
ආදර සිත ඇත්තයි
මා ආදර හද සත්තයි


. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

පින්තූරය ගත්තේ : http://www.sundayobserver.lk/2008/02/24/imp03.asp

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails