“විසල් උඹ මහ කැත මිනිහා මචං”
අමන්දගේ චෝදනාව හරියට තමන්ව උස්සලා පොලොවේ ගැහුවා වගේ විසල්ට දනුනා.
කවදාවත් අහන්න නොලැබෙයි කියලා හිතපු ජාතියේ චෝදනාවක් ලබපු විසල්ගේ කිසිවක් කියා ගන්න බැරිව ඇරුනු කට දැකපු අමන්දම චෝදනාවට නැටි එල්ලන්න පටන් ගත්තා.
“මම ස්වීස් ටුවර් එකට කලින් උඹෙන් කී පාරක් ඇහුවද උඹේ යාලුවා -උඹේ බොක්ක ක්‍රිෂාන් දැන් ඉන්නේ ස්වීස් නේද, උගේ කන්ටෑක්ට් නම්බර් එක මට දීපන් කියලා යන්න කලින් ඌට කෝල් කරලා එහේදි උදව් කරන්න කියන්න ඕන කියලා”
විසල්ට ඔව් කියවුනේ ඔලුව වැනීමෙන්.
“උඹ කිව්වේ ඌ කැන්ඩි ගියාට පස්සේ කන්ටෑක්ට් අඩු වුනා කියලා. ඒත් ඌ ෆැමිලි එකත් එක්ක ස්වීස් වලට මයිග්‍රේට් කරපු බව උඹ නොදැන හිටියා වෙන්න බෑනේ”
“අහ් ක්‍රිෂ් එහෙනම් උගේ හීනේ හැබෑ කරගෙන” දුකටද, තරහකටද, ඉරිසියාවටද හේතුවක් තීරණය කර ගන්න බැරි හේතුවකට විසල්ගේ ඇස් වලට කඳුලු ඉනුවා.
විසල් එක දිගට ඇහිපිල්ලම් කීපයක් ගහගෙන ගියා ඇස් වලට උනපු කඳුලු අමන්දට හොරෙන් ඇස් වලම බොඳ කරන්න හිතාගෙන.
"අනේ නෑ මචන් සිරාවටම මම දැනගෙන උන්නේ නෑ. මගේ සිම් එක මාරු කරපු කාලේ තිබුනු කාලේ වෙන්න ඇති සමහර විට ඌ යන්න ඇත්තේ"
විසල් තටම තටම බොරුවක් කිව්වත් කෝල් කරලා කන්ටෑක්ට් කර ගන්න බැරි වුනු යාලුවට ඊමේල් එකකින් හරි දැනුම් දෙන්න බැරි කමක් නෑ නේද කියන ඇත්ත කතාව අමන්දට තේරෙන්න ඇති කියලා විසල් හිතුවා.
. . . . . . . . ..
වැඩ ඇරිලා හවස ගෙදර ගිහින් දොර අරින කොටම නිමාලිට තමන්ගේ මූඩ් එකේ වෙනස තේරෙන්න ඇති කියලා නිමාලි මූණ දිහා බලපු විදිහෙන්ම විසල්ට දැනුනා.
"ක්‍රිෂ් මයිග්‍රේට් කරලලු. අද අමන්ද කිව්වේ මට"
"මෙච්චර ආදෙරෙන් හිටපු මටවත් නොකියා මූ ගියානේ" කියන චෝදනාවෙන් නැතිනම් "හ්ම් එහෙනම් ඌට යන්න කලින් මට කියන්න වත් බැරි තරම් තරහක් තිබිලා" කියන වේදනාවෙන් හෝ ඒ දෙකටම නැති ටෝන් එකකින් විසල් ඒක නිමාලිට කිව්වේ.
නිමාලි ඒ ගැන මොනව හිතුවද කියලා එයාගේ මූනෙන් කියවන්න ඕන කියලවත් විසල්ට හිතුනේ නැති තරම්.
ඇඳුම් මාරු නොකරම සෝෆා එක ඇලවුනු විසල්ට උනු තේ එක්ක් ගෙනත් දීපු නිමාලි "මම අද ඔයා කැමති කෑමක් හදන ගමන්' කියලා ආපහු කුස්සියට දිව්වේ ඇත්තටම එහෙම කෑමක් හදන නිසාවටත් වඩා විසල්ට හිත හදා ගන්න තනිවෙන්න ඉඩ ලබා දෙන්න වෙන්න ඇති කියලා විසල්ට හිතුනා.
හැමදේටම වඩා විසල්ගේ හිත රිදුනු කාරනාව වුනේ කවදාවත් කාගෙවත් දියුනුවකට හදවතින්ම සුභ පතන තමන් කාලයක් ලඟින්ම ඉඳපු තමන්ට විශාල ආදරයකින් සලකපු ක්‍රිෂ්ගේ හීනය හැබෑවුනු බව ඇසූ වෙලේ තමන්ට ඉරිසියා හැඟීමක් වගේ දෙයක් ඇතිවුනු එක ගැන.
විසල් හදවතේ හැම අස්සක් මුල්ලක්ම පීර පීර හෙව්වේ ඇයි ඇයි එහෙම වුනේ කියලා.
හොයන අතර මඟ විසල්ට අහුවුනා හේතුව. විසල් දැනගෙනත් හිටපු විදිහට ඒක ඉරිසියාව නෙමෙයි. සුන්දර මිතුරු දමක වෙලිලා ගෙවපු අතීතයක කෑලි කෑලි වලට කැඩී බිඳී විසිරුනු නටබුන් දැකලා ඇතිවුනු වේදනාව. ඒ වේදනාව තමයි ඇසට කඳුලක් ගෙනාවේ කියල තේරුනු විසල්ගේ සැනසුම් සුසුමක් දිගේ පාවෙලා හිත ඒ සුන්දර අතීතයට පියමං කලා.
. . . . . . . . . . . .
රැකියාවට යෑමේ පහසුවට විසල්, චමිත, නිශාන්, තරංග යාලුවෝ හතර දෙනෙක්ම බෝඩ් වෙලා හිටියේ හොඳම යාලු පවුලක් වුනු සජිත් - නිර්මා ලගේ ගෙදර උඩ තට්ටුවේ.
අනෙක් හොඳම මිතුරු පවුල ක්‍රිශාන් - දිලානිත් සජිත්ලගේ ගෙදරට හැමදාම සෙට් වුනායින් එතන මැවුනේ යසපාලිතටවත් මවන්න බැරි වුනු රස සාගරයක් කියලා කට්ටිය නිතරම කතා වුනා.
එකම ක්ශේත්‍රයේ රැකියා කල නිසාම තහනම් වචනේ විදිහට ජොබ් එකේ විස්තර හා ක්ශේත්‍රය නම් කරගෙන කට්ටිය අතර හැමදාම හවසට සිදුවුනු කතිකා, විග්‍රහ සංවාද වලට කලාව , චිත්‍රපටි, නාට්‍ය, පොත්, සිංදු, ටෙලි නාට්‍ය, ජීවිතය, සමාජය, දේශපාලනය මෙකී නොකී අහසත් පොලොවත් අතරසියලුම දේ බඳුන් වුනා නේද කියලා හිතෙන කොටත් හිතට දැනෙන්නේ පුදුමකාර සතුටක්.
මිතුරු කැලේ සියළුම දෙනාට විසල් එක විදිහට සැලකුවා කියන එකත්, හැමදෙනාටම වඩා විශේෂයකින් ක්‍රිෂ් විසල්ට සැලකුවා කියන එක හැමදෙනාම දැනගෙන හිටියා.
“අපෝ ක්‍රිෂ් ඉතිං විසල් නැත්නම් මේ පැත්තේ එන්නෙත් නෑ” නේ කියලා අනෙක් අය විහිලු කලත් ක්‍රිෂ් විසල්ට විශේෂයක් කරන්න හේතුව මොකද්ද කියලා ක්‍රිෂ් කියපු විදිහටම විසල් ඇවිත් අනෙක් අයට කිව්වයින් අනෙක් අය ක්‍රිෂ් ගැන වැරදි වැටහීමක් ඇති කර ගැනීම වැලකුනා.
“උඹ දන්නවද? මට ඉස්කොලේ යන කාලෙවත් හොඳම යාලුවෙක් හිටියේ නෑ. සමහර විට අනෙක් උන්ට මාව දිරෙව්වේ නෑ වෙන්න ඇති”
“නිෂාන් උඹව මට ඉස්සෙල්ලාම අඳුන්නලා දුන්නු දවසේ මටත් උඹව දිරෙව්වේ නෑ බන්’ විසල් ක්‍රිෂ්ට විහිලු කලේ වසර ගානකට කලින් සිදුවුනු සිදුවීමක් සිහිකරලා.
“උඹව හම්බවුනාම මට හොඳම යාලුවෙක් ලැබුනා වගේම දිලානි බැන්දට පස්සේ දිලානිගේ නංගි හම්බවුනාම මට නංගියෙක් හම්බවුනා. ඒ නිසා මම පුංචි කාලේ ඉඳන් හීන මවපු මගේ ජීවිතේ අඩුවක් වෙලා තිබුනු දෙයක් පිරුනා”
අනෙක් මිතුරු මිතුරින් හවුලේ සියල්ලම ක්‍රිෂ්ගේ තීරණය අවසන් තීරණය විදිහට ගන්න ඕන කියන මතේ ක්‍රිෂ් හිටියා වුනත් නිෂානුත් හිටියේ ඒ මතේමයි. මේ දෙන්න අතර හීනියට තිබුනු බල අරගලය සංසිඳෙව්වේ විසල්.
බල අරගල විසඳුවා විතරක් නෙමෙයි කට්ටියගේ සතුට උපරිමයෙන් රඳවා ගන්න පාර්ටි, ට්‍රිප් ආදිය සංවිධානය කලෙත් විසල්.
ඒ කාලේ තනිකඩ ජීවිතයක් ගතකරපු නිසා විසල්ට ඒ වගේ දේවල් කරන්න හොඳට වෙලාව තිබුනා.
මේ හේතු සියල්ලම නිසා ක්‍රිෂ් විසල්ට විශේෂයෙන් සලකනවා ඇති කියලා විසල් පැහැදිලි කරලා දුන්නම අනෙක් සියල්ලෝ සියලුදේ අමතක කර සතුටින් ගතකරන්න තීරණය කල හැටි විසල්ට මේ දැන් සිදුවුනු සිදුවීමක් වගේ දැනුනා.
සියල්ල උඩු – යටිකුරු වුනේ කෙටි කාලයකින්.
දිලානිට දෙවෙනි දරුවා ලැබුනු පසු, පහසුවට එයාගේ අම්මලගේ මහගෙදර යන්න ඕන වුනා ටික කාලෙකට.
දිලානිව කැන්ඩි ඩ්‍රොප් කරලා එන ගමන් ක්‍රිෂ්ගේ යාලුවෙක්ගේ නංගි කෙනෙක්ට ලිෆ්ට් එකක් දීම කියන සුලු සිදුවීම මිතුරු කැලක් බිඳවන්න තරම් ලොකු දෙයක් වේවි කියලා කාටවත් නොහිතෙන්න ඇති.
ලිෆ්ට් එකෙන් පස්සේ යාලුවගේ නංගිට නිතර එහේ මෙහේ යන්න ක්‍රිෂ්ව ඕන වුනා.
වෙනදට විසල්ව රැගෙන රෑ තිස්සේ රවුම් ගහන්න බලාගෙන ටිකක් ප්‍රමාදවෙලා වැඩ නිමාවෙන විසල්ගේ කාර්‍යාලය පහල වාහන නැවතුමේ දිලානිත් පුතණ්ඩියයි එක්ක බලාගෙන හිටි ක්‍රිෂ්, දිලානිත් පුතාත් නැති තනිකඩ කාලේ විසල් නැතුව තනියෙම යාලුවගේ නංගිත් එක්ක ෂොපින් ගිහින් තිබුනා.
ඉස්සර මෙන් නිතර නැතත් ඉඳ හිට මුනගැහෙන ක්‍රිශ්ගේ ඇස් වල විසල්ට කියන්න ලොකු චන්ඩි කතාවක් නලියනවා කියලා විසල් දැක්කා වුනත්,
විසල්ට සහෝදරත්වයෙන් සලකපු දිලානි ගැන උපන් අනුකම්පාව හෝ පවුලක් කඩාකප්පල් වීමේ අවදානම, එහෙම නැති නම් දරු දෙන්නෙක් අසරණ වෙන හැටි, මිතුරියක් අනාථ වෙන හැටි ඉවසන්න බැරි උනු විසල් ක්‍රිශ්ට අවවාද කරන්න හිතුවා. . .
“මචං උඹ කරන වැඩේ හරියි කියලද උඹ හිතන්නේ”
“කොයි වැඩේද” ක්‍රිශ්ගේ තිබුනේ “අහ් මුන්ට එහෙනම් මගේ වැඩ කිඩ තේරිලා” කියන ජාතියේ හෙනම තෘප්තිමත් හිනාවක්.
“ජීවිත හතරක් එක්ක සෙල්ලම් කිරීම දෙතුන් පාරක් හිතලා බලන්න ඕන වැඩක් මචන්”
“මේක මගේ පුද්ගලික ජීවිතේ, මම සතුටින් ඉන්න එක උඹට ඉවසන්න අමාරුයි නම් ඒ ගැන මාත් එක්ක කතා නොකර හිටපන්”
“උඹයි දිලානිගේ නංගියි මට නැති උනොත් මම කොහොම ජීවත්වෙන්නද කියල හිතන්නවත් බෑ මචං” කියපු ක්‍රිශ්මද මේ කියලා විසල්ට හිතුනා.
මුලදී සති අන්තේ විතරක් මිතුරු හවුලේදි දකින්න ලැබුනු ක්‍රිශ්, සති තුනකට විතර පස්සේ මාසෙකට දවසක් විතර දකින්න ලබෙන ගානට පත් වුනා.
නමුත් දිලානි, ක්‍රිශ් විසල්ලගේ මිතුරු සමාගමත් එක්ක හැමදාම සෙට් වෙලා සුපුරුදු පරිදි කාලේ ගතකරමින් ඉන්නවා වෙන්න ඇති කියලා හිතාගෙන ඉන්න බව කතා බහෙන් තේරුනා.
වැඩියෙන්ම එහෙම කාලේ ගතකරන බව ක්‍රිශ් දිලානිට අඟවලා කියලා තේරුනත් මිතුරු හවුලේ කිසි කෙනෙක්ට එකපාරටම කොයි විදිහේ දෙයක් කියන්නද කියල හිතා ගන්න බැරි වුනා.
හැමදේටම වැඩිය මිතුරු කැලට හිතාගන්න බැරි උනේ ඒ වෙනකොට හිටපු ක්‍රිෂානුයි ඊට අවුරුද්දකට විතර කලින් හිටි ක්‍රිෂානුයි එක්කෙනෙක්මද කියන එක.
බැන්ද දවසේ ඉඳන් තමරා එක්ක එක්ක රන්ඩු වෙන නිෂාන් කොළඹ හිටියේ පුතාවයි තමරවයි ඇබිලිපිටියේ ගමේ නතර කරලා.
නිවාඩු ගිහින් නිෂාන් හැමදාම එන්නේ “මේ ගෑනි එක්ක ජීවත් වෙන්න බෑ බන්, ගෙදර ඉන්න දවස් දෙකට වත් සන්තෝසෙන් ඉන්න ඕන කමක් නෑ. නිකම් බොරු හේතු හොයාගෙන රන්ඩු වෙනවා” කියන අඳෝනාව දාගෙන.
“උඹ ඉතිං මල අතේ තියා ගත්තු ගමන්මනේ. උඹත් එක්ක එහා කාමරේ මෙහා කාමරේ ඉන්න අපිටත් ඉන්න බැරි කොට උඹෙන් කාලා ඇඳලා ඉන්න ගෑනියෙක් කොහොම ඉන්නද කියලා” ආපහු උගේ පිටම වරද පටවනවනවා වුනත් විසල්ලගේ මිතුරු කැළ එයාලව සාමදාන කරන්න හදපු හම වතාවක්ම තමරගෙත් නිෂාන්ගෙත් මුරණ්ඩු කම නිසා මඟ හැරිලා ගියා.
නිෂාන්ගේ ඔෆිස් එකේ කෙල්ලෙක් ඌ ගැන දුක හිතිලා උගෙයි ළමයගෙයි ජීවිතේ භාර ගන්න ලෑස්තිවෙලා “ඔයා තමර එක්ක කතා කරලා සාමදානෙන් වෙන්වෙන්න. එයාට වෙන හොඳ කෙනෙක් හොයාගෙන බැන්දට පස්සේ අපි බඳිමු, පුතාට අපි දෙන්න ලඟම ඉන්න කියමු” වගේ දේවල් කියලා තිබුනා.
නිෂාන්ගෙත් තමරගෙත් දරුවගෙත් සතුට ගැන හිතපු විසල්ල එයාලම හොඳ විදිහකින් බේර ගත්තාවේ කියලා හිටිය වුනත් ක්‍රිෂාන්ට විතරක් මේ සිදුවීම මහා අපරාධයක් විදිහට පේන්න පටන් අරගෙන තිබුනා.
“කොයි තරම් කැත වැඩක්ද ඌ කරන්නේ”
“දරුවගේ අනාගතේ ගැන නිෂාන් හිතන්න ඕන නේද”
“මේ කේස් නිසා තමර හරි ඇන්ඩ්‍රියා හරි ජීවිතේට මොනා හරි කර ගත්තොත් අපිටත් පොලිසි යන්න වෙයි – ඒක මගේ මයිග්‍රේට් කරන වැඩේටත් නරක විදිහට බලපායි”
ක්‍රිෂ්ට කියන්න ජාති ගොඩක් තිබුනා.
“උඹට මල පැනලා තියෙන්නේ ඇන්ඩ්‍රියා වගේ බියුටි ක්වීන් කෙනෙක් උඹ වගේ එකෙක් එක්ක නැතුව නිෂාන් එක්ක සෙට් වුනු එක නෙමෙයි නේද ක්‍රිශ්” කියලා විසල්ලගේ මිතුරු කැල ක්‍රිෂ්ගේ අකමැත්ත නොසලකා හැරියා.
එදා එහෙම පරමාදර්ශී චරිතයක් වුනු ක්‍රිෂ් අද මෙහෙම කරන්නේ කොහොමද කියන එක කට්ටියට පුදුමයක් වුනා.
දිලානිගෙන් විසල්ලගේ මිතුරු කැලට “ඔයාලා හැම දේම දැනගෙන ඉඳලා මට හැන්ගුවා නේද” කියන චෝදනාව එන එක වලක්වන එකටත් වැඩිය දරු දෙන්නෙක්ගේ අනාගතේ අඳුරු වෙන එක නතර කරන්නත් දරු දෙන්නෙක් එක්ක දිලානි අසරණ වෙන එක නොවෙන්නත් මිතුරු කැල තීරණයක් ගත්තා.
“දිලානි, ඔයාට තනියෙම වැඩ කරන්න අමාරුයි නම් අම්මවත් එක්ක කොළඹ එන්න නංගී”
“විසල් අයියා ඇයි හදිස්සියේ ඔහොම කියන්නේ”
“හදිස්සියක නෙමෙයි, ක්‍රිශ් තනියෙමනේ. ඌට පාලු ඇති”
“ඔයාලා සෙට් එක ඉන්නවනේ”
“පහුගිය ටිකේ ක්‍රිෂ් වැඩිය සෙට් වුනේ නෑ. ඔෆිස් එකේ වැඩ වැඩි වෙන්න ඇති”
“ෂුවර් එකටම අරකිත් එක්ක රට වටේ යනව ඇති”
“අරකි .. කවුද අරකි”
“විසල් අයියා මට ක්‍රිශ් කිව්වා එයාගේ ක්ලාස්මේට් කෙනෙක්ගේ නංගි කෙනෙක්ට ලිෆ්ට් එකක් දුන්නා, පස්සේ එයා එක්ක දවස් කීපයක් ෂොපින්ග් ගියා කියලා. ඒ කෙල්ල එක්ක මොකක් හරි ඇති කියලා මට නිකමට හිතුනා”
“නෑ මම හිතන්නේ නෑ එහෙම එකක් ඇති කියලා. අනික ක්‍රිශ් කොහෙද අපිට හොරෙන් එහෙම දෙයක් කරන්නේ”
දවස් දෙකකට පස්සේ දිලානි ළමයි දෙන්නත් එක්ක කොළඹ ආවා. එදා විසල්ට ඔෆිස් එකේ රෑ වෙනකම් වැඩ තිබුනු දවසක්.
පහුවදා උදේම ළමයි දෙන්න බලන්න යන්න ඕන කියලා රෑ වැඩ කර කර හිටපු විසල්ට රෑ 11ට විතර කෝල් එකක් එනවා ක්‍රිශ්ගෙන්.
“ආ මචන් මම හෙට එන්න හිටියේ උඹලගේ දිහා”
“උඹට දැන් සනීපද??” ක්‍රිශ්ගේ ටෝන් එක විසල්ට වෙන කවදාවත් අහල පුරුදු එකක් නෙමෙයි කියලා හිතුනා
“මොකද්ද උඹ කියන්නේ”
“උඹට දැන් සනීපද??? උඹට ඕන උනේ මගේ පවුල කඩල දාන්නනේ. ඔන්න ඒක වෙන්නයි හදන්නේ”
“මොනාද බන් උඹ කියන්නේ”
“උඹ දිලානිට කිව්වද මගෙයි ශාන්තගේ නංගිගෙයි අතරේ එෆෙයා එකක් තියෙනවා කියලා??”
“මොකක්”
“දිලානි මට කිව්වේ. දිලානිගෙන්ම අහ ගනින්කෝ”
“මොනාද නංගී මූ මේ කියන්නේ”
“මෙයාට පිස්සු අයියේ. මම එහෙම දෙයක් කිව්වේ නෑ”
“උඹට ගෑනිව විස්වාස කරන්නද යාලුවව විස්වාස කරන්නද කියන එක මට කියන්න බෑ. ඒත් උඹට වත් උඹේ පවුලට වත් කිසිම හානියක් වෙන විදිහේ දෙයක් මම කරයි කියලා උඹ හිතපු එක ගැන මට හරි කනගාටුයි ක්‍රිෂ්”
ක්‍රිශාන් එක පාරටම ෆෝන් එක විසන්දි කලා.
පැය භාගෙක පස්සේ ආයේ කෝල් එකක්
“මෙයාගෙන් බේරෙන්න බෑ මට වද දෙනවා ඔයා නේද කිව්වේ කියලා අහ අහා. එයාටම මතක නෑ සමහර විස්තර එයාම මට කිව්ව බවක්. කරදරෙන් බේරෙන්නම බැරි කමට මම අයියා මට එන්න කියලා කෝල් කරපු බව කිව්වා"
“"හ්ම්ම් ඒත් ...." කියලා කියන කොටම දුරකතනේ ආයේ පාරක් විසංදි උනා.
. . . . . . .
ක්‍රිෂාන් නුවර බ්‍රාන්ච් එකට මාරුවක් අරගෙන ගියා.
යාලුවෝ සෙට් එකම ෆුල් හොල්මන් වෙලා හිටියා සිදුවුනු දේ ගැන.
. . . .
"විසා. . ල් ඔයාගේ ෆෝන් එක රිං වෙනවා ඇහෙන්නේ නැද්ද අනේ" . . නිමාලි කුස්සියේ ඉඳන් කෑ ගහන සද්දෙට විසල්ව උඩ ගිහින් බිම වැටුනා.
"මින් පස්සේ වත් අනුන්ගේ පවුල් ජීවිත වලට ඇඟිලි නොගහ හිටපන්" කියලා දිලානියි ක්‍රිෂුයි මට ඉගැන්නුවේ හොඳ පාඩමක් කියලා විසල් හිතුවා වුනත් අන්තිමේදී දරුවොත්, දිලානිත් අනාථ නොවී ක්‍රිශ් උගේ හීනේත් හැබෑ කර ගත්තු එක ගැන උපන් සතුටකින් විසල්ගේ දෙනෙත ආපහු පාරක් තෙත් වුනා . . .
“හලෝ චමිත . . ආ හරි හරි වරෙන් වරෙන් . . . හරි මම නිමාලිට කියනන්ම් උඹලටයි ලමයින්ටයි කෑම හදන්න කියලා . . “
- කෙටි කතාවක් පමනි -









