Tuesday, January 18, 2011

අවුල් පවුල් අවුල් . . . !



“විසල් උඹ මහ කැත මිනිහා මචං”

අමන්දගේ චෝදනාව හරියට තමන්ව උස්සලා පොලොවේ ගැහුවා වගේ විසල්ට දනුනා.

කවදාවත් අහන්න නොලැබෙයි කියලා හිතපු ජාතියේ චෝදනාවක් ලබපු විසල්ගේ කිසිවක් කියා ගන්න බැරිව ඇරුනු කට දැකපු අමන්දම චෝදනාවට නැටි එල්ලන්න පටන් ගත්තා.

“මම ස්වීස් ටුවර් එකට කලින් උඹෙන් කී පාරක් ඇහුවද උඹේ යාලුවා -උඹේ බොක්ක ක්‍රිෂාන් දැන් ඉන්නේ ස්වීස් නේද, උගේ කන්ටෑක්ට් නම්බර් එක මට දීපන් කියලා යන්න කලින් ඌට කෝල් කරලා එහේදි උදව් කරන්න කියන්න ඕන කියලා”

විසල්ට ඔව් කියවුනේ ඔලුව වැනීමෙන්.

“උඹ කිව්වේ ඌ කැන්ඩි ගියාට පස්සේ කන්ටෑක්ට් අඩු වුනා කියලා. ඒත් ඌ ෆැමිලි එකත් එක්ක ස්වීස් වලට මයිග්‍රේට් කරපු බව උඹ නොදැන හිටියා වෙන්න බෑනේ”

“අහ් ක්‍රිෂ් එහෙනම් උගේ හීනේ හැබෑ කරගෙන” දුකටද, තරහකටද, ඉරිසියාවටද හේතුවක් තීරණය කර ගන්න බැරි හේතුවකට විසල්ගේ ඇස් වලට කඳුලු ඉනුවා.

විසල් එක දිගට ඇහිපිල්ලම් කීපයක් ගහගෙන ගියා ඇස් වලට උනපු කඳුලු අමන්දට හොරෙන් ඇස් වලම බොඳ කරන්න හිතාගෙන.

"අනේ නෑ මචන් සිරාවටම මම දැනගෙන උන්නේ නෑ. මගේ සිම් එක මාරු කරපු කාලේ තිබුනු කාලේ වෙන්න ඇති සමහර විට ඌ යන්න ඇත්තේ"

විසල් තටම තටම බොරුවක් කිව්වත් කෝල් කරලා කන්ටෑක්ට් කර ගන්න බැරි වුනු යාලුවට ඊමේල් එකකින් හරි දැනුම් දෙන්න බැරි කමක් නෑ නේද කියන ඇත්ත කතාව අමන්දට තේරෙන්න ඇති කියලා විසල් හිතුවා.

. . . . . . . . ..

වැඩ ඇරිලා හවස ගෙදර ගිහින් දොර අරින කොටම නිමාලිට තමන්ගේ මූඩ් එකේ වෙනස තේරෙන්න ඇති කියලා නිමාලි මූණ දිහා බලපු විදිහෙන්ම විසල්ට දැනුනා.

"ක්‍රිෂ් මයිග්‍රේට් කරලලු. අද අමන්ද කිව්වේ මට"

"මෙච්චර ආදෙරෙන් හිටපු මටවත් නොකියා මූ ගියානේ" කියන චෝදනාවෙන් නැතිනම් "හ්ම් එහෙනම් ඌට යන්න කලින් මට කියන්න වත් බැරි තරම් තරහක් තිබිලා" කියන වේදනාවෙන් හෝ ඒ දෙකටම නැති ටෝන් එකකින් විසල් ඒක නිමාලිට කිව්වේ.

නිමාලි ඒ ගැන මොනව හිතුවද කියලා එයාගේ මූනෙන් කියවන්න ඕන කියලවත් විසල්ට හිතුනේ නැති තරම්.

ඇඳුම් මාරු නොකරම සෝෆා එක ඇලවුනු විසල්ට උනු තේ එක්ක් ගෙනත් දීපු නිමාලි "මම අද ඔයා කැමති කෑමක් හදන ගමන්' කියලා ආපහු කුස්සියට දිව්වේ ඇත්තටම එහෙම කෑමක් හදන නිසාවටත් වඩා විසල්ට හිත හදා ගන්න තනිවෙන්න ඉඩ ලබා දෙන්න වෙන්න ඇති කියලා විසල්ට හිතුනා.

හැමදේටම වඩා විසල්ගේ හිත රිදුනු කාරනාව වුනේ කවදාවත් කාගෙවත් දියුනුවකට හදවතින්ම සුභ පතන තමන් කාලයක් ලඟින්ම ඉඳපු තමන්ට විශාල ආදරයකින් සලකපු ක්‍රිෂ්ගේ හීනය හැබෑවුනු බව ඇසූ වෙලේ තමන්ට ඉරිසියා හැඟීමක් වගේ දෙයක් ඇතිවුනු එක ගැන.

විසල් හදවතේ හැම අස්සක් මුල්ලක්ම පීර පීර හෙව්වේ ඇයි ඇයි එහෙම වුනේ කියලා.

හොයන අතර මඟ විසල්ට අහුවුනා හේතුව. විසල් දැනගෙනත් හිටපු විදිහට ඒක ඉරිසියාව නෙමෙයි. සුන්දර මිතුරු දමක වෙලිලා ගෙවපු අතීතයක කෑලි කෑලි වලට කැඩී බිඳී විසිරුනු නටබුන් දැකලා ඇතිවුනු වේදනාව. ඒ වේදනාව තමයි ඇසට කඳුලක් ගෙනාවේ කියල තේරුනු විසල්ගේ සැනසුම් සුසුමක් දිගේ පාවෙලා හිත ඒ සුන්දර අතීතයට පියමං කලා.

. . . . . . . . . . . .

රැකියාවට යෑමේ පහසුවට විසල්, චමිත, නිශාන්, තරංග යාලුවෝ හතර දෙනෙක්ම බෝඩ් වෙලා හිටියේ හොඳම යාලු පවුලක් වුනු සජිත් - නිර්මා ලගේ ගෙදර උඩ තට්ටුවේ.

අනෙක් හොඳම මිතුරු පවුල ක්‍රිශාන් - දිලානිත් සජිත්ලගේ ගෙදරට හැමදාම සෙට් වුනායින් එතන මැවුනේ යසපාලිතටවත් මවන්න බැරි වුනු රස සාගරයක් කියලා කට්ටිය නිතරම කතා වුනා.

එකම ක්ශේත්‍රයේ රැකියා කල නිසාම තහනම් වචනේ විදිහට ජොබ් එකේ විස්තර හා ක්ශේත්‍රය නම් කරගෙන කට්ටිය අතර හැමදාම හවසට සිදුවුනු කතිකා, විග්‍රහ සංවාද වලට කලාව , චිත්‍රපටි, නාට්‍ය, පොත්, සිංදු, ටෙලි නාට්‍ය, ජීවිතය, සමාජය, දේශපාලනය මෙකී නොකී අහසත් පොලොවත් අතරසියලුම දේ බඳුන් වුනා නේද කියලා හිතෙන කොටත් හිතට දැනෙන්නේ පුදුමකාර සතුටක්.

මිතුරු කැලේ සියළුම දෙනාට විසල් එක විදිහට සැලකුවා කියන එකත්, හැමදෙනාටම වඩා විශේෂයකින් ක්‍රිෂ් විසල්ට සැලකුවා කියන එක හැමදෙනාම දැනගෙන හිටියා.

“අපෝ ක්‍රිෂ් ඉතිං විසල් නැත්නම් මේ පැත්තේ එන්නෙත් නෑ” නේ කියලා අනෙක් අය විහිලු කලත් ක්‍රිෂ් විසල්ට විශේෂයක් කරන්න හේතුව මොකද්ද කියලා ක්‍රිෂ් කියපු විදිහටම විසල් ඇවිත් අනෙක් අයට කිව්වයින් අනෙක් අය ක්‍රිෂ් ගැන වැරදි වැටහීමක් ඇති කර ගැනීම වැලකුනා.

“උඹ දන්නවද? මට ඉස්කොලේ යන කාලෙවත් හොඳම යාලුවෙක් හිටියේ නෑ. සමහර විට අනෙක් උන්ට මාව දිරෙව්වේ නෑ වෙන්න ඇති”

“නිෂාන් උඹව මට ඉස්සෙල්ලාම අඳුන්නලා දුන්නු දවසේ මටත් උඹව දිරෙව්වේ නෑ බන්’ විසල් ක්‍රිෂ්ට විහිලු කලේ වසර ගානකට කලින් සිදුවුනු සිදුවීමක් සිහිකරලා.

“උඹව හම්බවුනාම මට හොඳම යාලුවෙක් ලැබුනා වගේම දිලානි බැන්දට පස්සේ දිලානිගේ නංගි හම්බවුනාම මට නංගියෙක් හම්බවුනා. ඒ නිසා මම පුංචි කාලේ ඉඳන් හීන මවපු මගේ ජීවිතේ අඩුවක් වෙලා තිබුනු දෙයක් පිරුනා”

අනෙක් මිතුරු මිතුරින් හවුලේ සියල්ලම ක්‍රිෂ්ගේ තීරණය අවසන් තීරණය විදිහට ගන්න ඕන කියන මතේ ක්‍රිෂ් හිටියා වුනත් නිෂානුත් හිටියේ ඒ මතේමයි. මේ දෙන්න අතර හීනියට තිබුනු බල අරගලය සංසිඳෙව්වේ විසල්.

බල අරගල විසඳුවා විතරක් නෙමෙයි කට්ටියගේ සතුට උපරිමයෙන් රඳවා ගන්න පාර්ටි, ට්‍රිප් ආදිය සංවිධානය කලෙත් විසල්.

ඒ කාලේ තනිකඩ ජීවිතයක් ගතකරපු නිසා විසල්ට ඒ වගේ දේවල් කරන්න හොඳට වෙලාව තිබුනා.

මේ හේතු සියල්ලම නිසා ක්‍රිෂ් විසල්ට විශේෂයෙන් සලකනවා ඇති කියලා විසල් පැහැදිලි කරලා දුන්නම අනෙක් සියල්ලෝ සියලුදේ අමතක කර සතුටින් ගතකරන්න තීරණය කල හැටි විසල්ට මේ දැන් සිදුවුනු සිදුවීමක් වගේ දැනුනා.

සියල්ල උඩු – යටිකුරු වුනේ කෙටි කාලයකින්.

දිලානිට දෙවෙනි දරුවා ලැබුනු පසු, පහසුවට එයාගේ අම්මලගේ මහගෙදර යන්න ඕන වුනා ටික කාලෙකට.

දිලානිව කැන්ඩි ඩ්‍රොප් කරලා එන ගමන් ක්‍රිෂ්ගේ යාලුවෙක්ගේ නංගි කෙනෙක්ට ලිෆ්ට් එකක් දීම කියන සුලු සිදුවීම මිතුරු කැලක් බිඳවන්න තරම් ලොකු දෙයක් වේවි කියලා කාටවත් නොහිතෙන්න ඇති.

ලිෆ්ට් එකෙන් පස්සේ යාලුවගේ නංගිට නිතර එහේ මෙහේ යන්න ක්‍රිෂ්ව ඕන වුනා.

වෙනදට විසල්ව රැගෙන රෑ තිස්සේ රවුම් ගහන්න බලාගෙන ටිකක් ප්‍රමාදවෙලා වැඩ නිමාවෙන විසල්ගේ කාර්‍යාලය පහල වාහන නැවතුමේ දිලානිත් පුතණ්ඩියයි එක්ක බලාගෙන හිටි ක්‍රිෂ්, දිලානිත් පුතාත් නැති තනිකඩ කාලේ විසල් නැතුව තනියෙම යාලුවගේ නංගිත් එක්ක ෂොපින් ගිහින් තිබුනා.

ඉස්සර මෙන් නිතර නැතත් ඉඳ හිට මුනගැහෙන ක්‍රිශ්ගේ ඇස් වල විසල්ට කියන්න ලොකු චන්ඩි කතාවක් නලියනවා කියලා විසල් දැක්කා වුනත්,

විසල්ට සහෝදරත්වයෙන් සලකපු දිලානි ගැන උපන් අනුකම්පාව හෝ පවුලක් කඩාකප්පල් වීමේ අවදානම, එහෙම නැති නම් දරු දෙන්නෙක් අසරණ වෙන හැටි, මිතුරියක් අනාථ වෙන හැටි ඉවසන්න බැරි උනු විසල් ක්‍රිශ්ට අවවාද කරන්න හිතුවා. . .

“මචං උඹ කරන වැඩේ හරියි කියලද උඹ හිතන්නේ”

“කොයි වැඩේද” ක්‍රිශ්ගේ තිබුනේ “අහ් මුන්ට එහෙනම් මගේ වැඩ කිඩ තේරිලා” කියන ජාතියේ හෙනම තෘප්තිමත් හිනාවක්.

“ජීවිත හතරක් එක්ක සෙල්ලම් කිරීම දෙතුන් පාරක් හිතලා බලන්න ඕන වැඩක් මචන්”

“මේක මගේ පුද්ගලික ජීවිතේ, මම සතුටින් ඉන්න එක උඹට ඉවසන්න අමාරුයි නම් ඒ ගැන මාත් එක්ක කතා නොකර හිටපන්”

“උඹයි දිලානිගේ නංගියි මට නැති උනොත් මම කොහොම ජීවත්වෙන්නද කියල හිතන්නවත් බෑ මචං” කියපු ක්‍රිශ්මද මේ කියලා විසල්ට හිතුනා.

මුලදී සති අන්තේ විතරක් මිතුරු හවුලේදි දකින්න ලැබුනු ක්‍රිශ්, සති තුනකට විතර පස්සේ මාසෙකට දවසක් විතර දකින්න ලබෙන ගානට පත් වුනා.

නමුත් දිලානි, ක්‍රිශ් විසල්ලගේ මිතුරු සමාගමත් එක්ක හැමදාම සෙට් වෙලා සුපුරුදු පරිදි කාලේ ගතකරමින් ඉන්නවා වෙන්න ඇති කියලා හිතාගෙන ඉන්න බව කතා බහෙන් තේරුනා.

වැඩියෙන්ම එහෙම කාලේ ගතකරන බව ක්‍රිශ් දිලානිට අඟවලා කියලා තේරුනත් මිතුරු හවුලේ කිසි කෙනෙක්ට එකපාරටම කොයි විදිහේ දෙයක් කියන්නද කියල හිතා ගන්න බැරි වුනා.

හැමදේටම වැඩිය මිතුරු කැලට හිතාගන්න බැරි උනේ ඒ වෙනකොට හිටපු ක්‍රිෂානුයි ඊට අවුරුද්දකට විතර කලින් හිටි ක්‍රිෂානුයි එක්කෙනෙක්මද කියන එක.

බැන්ද දවසේ ඉඳන් තමරා එක්ක එක්ක රන්ඩු වෙන නිෂාන් කොළඹ හිටියේ පුතාවයි තමරවයි ඇබිලිපිටියේ ගමේ නතර කරලා.

නිවාඩු ගිහින් නිෂාන් හැමදාම එන්නේ “මේ ගෑනි එක්ක ජීවත් වෙන්න බෑ බන්, ගෙදර ඉන්න දවස් දෙකට වත් සන්තෝසෙන් ඉන්න ඕන කමක් නෑ. නිකම් බොරු හේතු හොයාගෙන රන්ඩු වෙනවා” කියන අඳෝනාව දාගෙන.

“උඹ ඉතිං මල අතේ තියා ගත්තු ගමන්මනේ. උඹත් එක්ක එහා කාමරේ මෙහා කාමරේ ඉන්න අපිටත් ඉන්න බැරි කොට උඹෙන් කාලා ඇඳලා ඉන්න ගෑනියෙක් කොහොම ඉන්නද කියලා” ආපහු උගේ පිටම වරද පටවනවනවා වුනත් විසල්ලගේ මිතුරු කැළ එයාලව සාමදාන කරන්න හදපු හම වතාවක්ම තමරගෙත් නිෂාන්ගෙත් මුරණ්ඩු කම නිසා මඟ හැරිලා ගියා.

නිෂාන්ගේ ඔෆිස් එකේ කෙල්ලෙක් ඌ ගැන දුක හිතිලා උගෙයි ළමයගෙයි ජීවිතේ භාර ගන්න ලෑස්තිවෙලා “ඔයා තමර එක්ක කතා කරලා සාමදානෙන් වෙන්වෙන්න. එයාට වෙන හොඳ කෙනෙක් හොයාගෙන බැන්දට පස්සේ අපි බඳිමු, පුතාට අපි දෙන්න ලඟම ඉන්න කියමු” වගේ දේවල් කියලා තිබුනා.

නිෂාන්ගෙත් තමරගෙත් දරුවගෙත් සතුට ගැන හිතපු විසල්ල එයාලම හොඳ විදිහකින් බේර ගත්තාවේ කියලා හිටිය වුනත් ක්‍රිෂාන්ට විතරක් මේ සිදුවීම මහා අපරාධයක් විදිහට පේන්න පටන් අරගෙන තිබුනා.

“කොයි තරම් කැත වැඩක්ද ඌ කරන්නේ”

“දරුවගේ අනාගතේ ගැන නිෂාන් හිතන්න ඕන නේද”

“මේ කේස් නිසා තමර හරි ඇන්ඩ්‍රියා හරි ජීවිතේට මොනා හරි කර ගත්තොත් අපිටත් පොලිසි යන්න වෙයි – ඒක මගේ මයිග්‍රේට් කරන වැඩේටත් නරක විදිහට බලපායි”

ක්‍රිෂ්ට කියන්න ජාති ගොඩක් තිබුනා.

“උඹට මල පැනලා තියෙන්නේ ඇන්ඩ්‍රියා වගේ බියුටි ක්වීන් කෙනෙක් උඹ වගේ එකෙක් එක්ක නැතුව නිෂාන් එක්ක සෙට් වුනු එක නෙමෙයි නේද ක්‍රිශ්” කියලා විසල්ලගේ මිතුරු කැල ක්‍රිෂ්ගේ අකමැත්ත නොසලකා හැරියා.

එදා එහෙම පරමාදර්ශී චරිතයක් වුනු ක්‍රිෂ් අද මෙහෙම කරන්නේ කොහොමද කියන එක කට්ටියට පුදුමයක් වුනා.

දිලානිගෙන් විසල්ලගේ මිතුරු කැලට “ඔයාලා හැම දේම දැනගෙන ඉඳලා මට හැන්ගුවා නේද” කියන චෝදනාව එන එක වලක්වන එකටත් වැඩිය දරු දෙන්නෙක්ගේ අනාගතේ අඳුරු වෙන එක නතර කරන්නත් දරු දෙන්නෙක් එක්ක දිලානි අසරණ වෙන එක නොවෙන්නත් මිතුරු කැල තීරණයක් ගත්තා.

“දිලානි, ඔයාට තනියෙම වැඩ කරන්න අමාරුයි නම් අම්මවත් එක්ක කොළඹ එන්න නංගී”

“විසල් අයියා ඇයි හදිස්සියේ ඔහොම කියන්නේ”

“හදිස්සියක නෙමෙයි, ක්‍රිශ් තනියෙමනේ. ඌට පාලු ඇති”

“ඔයාලා සෙට් එක ඉන්නවනේ”

“පහුගිය ටිකේ ක්‍රිෂ් වැඩිය සෙට් වුනේ නෑ. ඔෆිස් එකේ වැඩ වැඩි වෙන්න ඇති”

“ෂුවර් එකටම අරකිත් එක්ක රට වටේ යනව ඇති”

“අරකි .. කවුද අරකි”

“විසල් අයියා මට ක්‍රිශ් කිව්වා එයාගේ ක්ලාස්මේට් කෙනෙක්ගේ නංගි කෙනෙක්ට ලිෆ්ට් එකක් දුන්නා, පස්සේ එයා එක්ක දවස් කීපයක් ෂොපින්ග් ගියා කියලා. ඒ කෙල්ල එක්ක මොකක් හරි ඇති කියලා මට නිකමට හිතුනා”

“නෑ මම හිතන්නේ නෑ එහෙම එකක් ඇති කියලා. අනික ක්‍රිශ් කොහෙද අපිට හොරෙන් එහෙම දෙයක් කරන්නේ”

දවස් දෙකකට පස්සේ දිලානි ළමයි දෙන්නත් එක්ක කොළඹ ආවා. එදා විසල්ට ඔෆිස් එකේ රෑ වෙනකම් වැඩ තිබුනු දවසක්.

පහුවදා උදේම ළමයි දෙන්න බලන්න යන්න ඕන කියලා රෑ වැඩ කර කර හිටපු විසල්ට රෑ 11ට විතර කෝල් එකක් එනවා ක්‍රිශ්ගෙන්.

“ආ මචන් මම හෙට එන්න හිටියේ උඹලගේ දිහා”

“උඹට දැන් සනීපද??” ක්‍රිශ්ගේ ටෝන් එක විසල්ට වෙන කවදාවත් අහල පුරුදු එකක් නෙමෙයි කියලා හිතුනා

“මොකද්ද උඹ කියන්නේ”

“උඹට දැන් සනීපද??? උඹට ඕන උනේ මගේ පවුල කඩල දාන්නනේ. ඔන්න ඒක වෙන්නයි හදන්නේ”

“මොනාද බන් උඹ කියන්නේ”

“උඹ දිලානිට කිව්වද මගෙයි ශාන්තගේ නංගිගෙයි අතරේ එෆෙයා එකක් තියෙනවා කියලා??”

“මොකක්”

“දිලානි මට කිව්වේ. දිලානිගෙන්ම අහ ගනින්කෝ”

“මොනාද නංගී මූ මේ කියන්නේ”

“මෙයාට පිස්සු අයියේ. මම එහෙම දෙයක් කිව්වේ නෑ”

“උඹට ගෑනිව විස්වාස කරන්නද යාලුවව විස්වාස කරන්නද කියන එක මට කියන්න බෑ. ඒත් උඹට වත් උඹේ පවුලට වත් කිසිම හානියක් වෙන විදිහේ දෙයක් මම කරයි කියලා උඹ හිතපු එක ගැන මට හරි කනගාටුයි ක්‍රිෂ්”

ක්‍රිශාන් එක පාරටම ෆෝන් එක විසන්දි කලා.

පැය භාගෙක පස්සේ ආයේ කෝල් එකක්

“මෙයාගෙන් බේරෙන්න බෑ මට වද දෙනවා ඔයා නේද කිව්වේ කියලා අහ අහා. එයාටම මතක නෑ සමහර විස්තර එයාම මට කිව්ව බවක්. කරදරෙන් බේරෙන්නම බැරි කමට මම අයියා මට එන්න කියලා කෝල් කරපු බව කිව්වා"

“"හ්ම්ම් ඒත් ...." කියලා කියන කොටම දුරකතනේ ආයේ පාරක් විසංදි උනා.

. . . . . . .

ක්‍රිෂාන් නුවර බ්‍රාන්ච් එකට මාරුවක් අරගෙන ගියා.

යාලුවෝ සෙට් එකම ෆුල් හොල්මන් වෙලා හිටියා සිදුවුනු දේ ගැන.

. . . .

"විසා. . ල් ඔයාගේ ෆෝන් එක රිං වෙනවා ඇහෙන්නේ නැද්ද අනේ" . . නිමාලි කුස්සියේ ඉඳන් කෑ ගහන සද්දෙට විසල්ව උඩ ගිහින් බිම වැටුනා.

"මින් පස්සේ වත් අනුන්ගේ පවුල් ජීවිත වලට ඇඟිලි නොගහ හිටපන්" කියලා දිලානියි ක්‍රිෂුයි මට ඉගැන්නුවේ හොඳ පාඩමක් කියලා විසල් හිතුවා වුනත් අන්තිමේදී දරුවොත්, දිලානිත් අනාථ නොවී ක්‍රිශ් උගේ හීනේත් හැබෑ කර ගත්තු එක ගැන උපන් සතුටකින් විසල්ගේ දෙනෙත ආපහු පාරක් තෙත් වුනා . . .

“හලෝ චමිත . . ආ හරි හරි වරෙන් වරෙන් . . . හරි මම නිමාලිට කියනන්ම් උඹලටයි ලමයින්ටයි කෑම හදන්න කියලා . . “

- කෙටි කතාවක් පමනි -

Thursday, January 13, 2011

මහේෂ් . . !



මහේෂ් ට තිබුනේ හරිම අහිංසක හිනාවක්.

වැඩිය කතා බහ කරන කෙනෙක් නෙමෙයි කියන එක නම් මට මහේෂ් ව දැකපු දෙවෙනි තුන්වෙනි දවස්වලම හිතුනා.

ඒත් ඒ කතා නොකරන ගතියට හරියන්නත් එක්ක ඔහුගේ හිනාව සෑහුනා.

ඇස් පුංචි කරලා හිනාවෙනකොට ඕනෙම කෙනෙක්ට තේරෙන්න ඇති "හලෝ . . සුභ උදෑසනක්" කියන වචනත් ඒ හිනාවේ තිබුනු බව.

මහේෂ්ව මම දැක්කේ අපි ඩුබායි පදිංචි වෙලා ඉන්න කාලේ. අබුඩාබි ආවට පස්සේ මහේෂ් ව විශේෂයෙන් මතක් කරන්න තරම් කිසිම සිදුවීමක් වුනේ නෑ.

ලඟඳී දවසක් ඩිලංක මල්ලිගේ මූනු පොතේ මහෙෂ්ගේ පින්තූරයක් දාලා "හදිසියේ අප අතරින් වියෝ වුනු මහෙෂ් අය්යාට නිවන් සුව අත්වේවා" කියලා ලියලා තිබුනා.

පපුවෙන් හෝස් ගාලා සද්දයක් එද්දී මට මැවිලා පෙනුනේ මහේෂ් ගේ අර අහිංසක හිනාව.

මනෝජ් මල්ලිට කෝල් කරලා විස්තරේ හරියටම දැන ගත්තා.

පපුවේ අමාරුවක්ලු, වයස 33යිලු, පහුගිය කාලයක් කාර්‍යාලයේ වැඩ කරලා තියෙන්නේ ලොකු පීඩනයක් යටතේලු. මහේෂ්ගේ පුංචි පුතාට වයස 2ක්ලු. බිරිඳට තව දරුවෙක් ලැබෙන්න ඉන්නවලු.

එහා පැත්තේ ඉන්න ජනකටත් පනිවිඩේ දීලා මැටි පූසා (සුදත්) ගේ බැච් එකේ මිතුරෙක් කියලා දන්න නිසා ඌට කතා කලා දුක බෙදා ගන්න.

හවස ගෙදර යද්දිත් මට දැනුනු කම්පනය අඩු වෙලා තිබුනේ නෑ.

"අනේ නදීෂා අර අපි ඩුබායි ඉන්නකොට උදේ හවස මුන ගහුනු මහේෂ් කියලා QS කෙනෙක් හාට් ඇටෑක් එකක් හැදිලා මැරිලා. පුතාට වයස 2යිලු, තව ළමයෙක් හම්බුවෙන්නත් ඉන්නවලු . . පව් හලෝ . . " උගුරේ ගිලින්නත් බැරි විසි කරන්නත් බැරි යමක් හිරවූ විට එන ඒ කටහඬ මගේමද කියලා මටම හිතුනා. ඒ තරමට වෙනස්වෙලා, දුකෙන් පිරිලා, බැරැන්ඩි වෙලා.

"අනේ . .. . ..!! "

"ඒ ගෑනු මනුස්සයට තියෙන්නේ වැඩි කල් නොගිහින් වෙන හොඳ කෙනෙක් හොයල බඳින එක" නදීශා මගේ දිහා බැලුවේ මූට මොකෙක් වැහිලද මේ වගේ ගොං කතාවක් කියන්නේ කියල අහන බැල්මෙන්.

"නෑ අනේ දරුවෝ දෙන්නෙක් එක්ක ගෑනු කෙනෙක්ට තනියෙන් ජීවිතේට මූන දෙන්න බෑනේ"

"ඔයාට පිස්සු"

"ඔක්කෝටම වැඩිය තාත්තා වැඩ ඇරිලා ගෙදර එනකම් සෙල්ලම් කරන්න බලන් ඉන්න පොඩි පුතා, ඌ කොයි තරම් පව්ද . . . අර ඉපදෙන්න ඉන්න දරුවා?? අනිත් ළමයින්ට තාත්තලා ඉන්නවා ඇයි අම්මේ මට නැත්තේ කියලා අහන කොට අර ගෑනු මනුස්සයා කොයි තරම් අසරණ වෙයිද"

"ඒ මොනා වුනත්"

"ඔයා කියන්න හදන්නේ අපේ සමාජේ ඒ වගේ දේවල් මම කියන තරම් ලේසියෙන් හිතන්නේ නෑ කියල නම් මම කියන්නේ සමාජෙට බම්බු ගහ ගන්න කියලා ඒ ගෑනු කෙනා ඒ වගේ තීරණයක් ගන්න ඕනයි කියලයි. තනිවුනු, අසරණ වුනු දරුවෝ ගැන එයාලගේ දෙමාපියෝ සහෝදර සහෝදරියෝ යමක් කලොත් මිසක් සමාජේ අය මොන ඉටිගෙඩියක්වත් කරනවද . . ."

"එහෙම . . "

"මම මැරුනොත් ඔයා සමාජෙට බයේ මේ ළමයට අප්පච්චි කෙනෙක්ගේ සෙනෙහස ලබා නොදී ඉන්න එහෙම හිතන්න එපා. දරුවන්ට ආදරේ කරන, ගෑනුන්ට ගෞරව කරන හොඳ කෙනෙක් හොයලා ආපහු බඳින්න"

"මැරුනු කෙනෙක් ගැන මතකය පොල් කුඩු විසිකරනවා වගේ එහෙම ඉක්මනට විසි කරලා දාන්න පුලුවන් කියලා ඔයා හිතනවද . . "

"මතකය හිතේ තියාගෙන හරි ගෑනු කෙනෙක් ඒ දේ කල යුතුමයි. තමන්ට රැකවරණයට කෙනෙක් හොයා ගැනීමේ චේතනාව කෙසේ වෙතත් දරුවන්ට පියෙක්ගේ සෙනෙහස ලබා දෙන්නම ඕන නිසා. මොකද දරුවන්ගේ පෞරුෂ වර්ධණයට පියාගෙන් කෙරෙන බලපෑම ගොඩක් වැඩියි කියලයි මම අහලා තියෙන්නේ"

"දරුවෝ දෙන්නෙක් එක්ක ගෑනු කෙනෙක් බඳින්න කැමති අය අපේ රටේ ඉන්නවද අනේ"

"හිංදි ෆිල්ම් වල වගේ ලොකේ හොඳම මනුස්සයා පාර වැරදිලා අහම්බෙන් ගෙදර ඇවිත් ගෑනිටයි දරුවන්ටයි ආදරේ හිතිලා මම ඔයාවයි දරුවන්වයි භාර ගන්න කැමතියි කියල කියයි කියලා බලන් ඉන්න එපා. තමනුත් රැකියාවක් කරලා ස්වාධීන වෙන්න උත්සාහ කරන ගමන් අර හොඳ කෙනෙක් හොයන්න ඕන. සොයන්නාට හම්බවෙයි කියනවනේ"

"හපොයි"

"සමහර අය ඉන්නවනේ තමන්ගේ බිරිඳ මිය ගිහින්. ඒත් දරුවන්ට ආදරෙයි. එහෙම කෙනෙක් හරි නැතිනම් මොකක් හරි හේතුවක් නිසා දරුවෝ හදන්න බැරි නිසා කසාද නොබඳ ඉන්න නමුත් දරුවන්ට ගොඩක් ආදරේ කරන කෙනෙක් හරි. . හැබැයි ඉතින් ගෑනු මනුස්සයා තව ළමයි නොහදා ඒ කෙනා එක්ක කතා බහ කරගෙනම තීරණය කරනවනම් හොඳයි "

"පුදුම දේවල් තමයි ඔයාටත් හිතෙන්නේ"

"හ් හ් හ් ම් ම් ම් ම් ම් ම් ම් "

Saturday, January 1, 2011

සුභ උපන් දිනයක් ආදරණීය අම්මේ . . . !


දුමීගේ ගමහාමිනේගේ මල්ලීගේ මිතුරියක් දුමීගේත් මගේත් බ්ලොග් රසිකාවියක්. ඇය කෙටි නිවාඩුවකට ඩුබායි ඇවිත්. ඈ දුමීට කෝල් කරපු වෙලාවේ කියලා ඩුබායි ආපු එක දුකාවත් හමුවෙන්නම ඕන කියලා.

මම දුමීට කිව්වා එයාවත් එක්කරගෙන අපේ ගෙදර එන්න කියලා.

අපේ ගෙදරඋන්දෑගේ මළයටත් කිව්වා එයාගේ බිරින්දෑත් එක්කම එන්න කියලා කස්ටියට එකතු වෙන්න.

උදේ නමයට සාජා වලින් පිටත් වෙන්නම් කියපු දුමී එහෙන් පිටත් වෙනකොට උදේ පාන්දර 11.30ට විතර වෙලා මොකද පැය එකහාමාරෙන් එන්න පුලුවන් ගමන කස්ටිය අපේ ගෙදර එනකොට යාන්තම් උදේ එක විතර වුනා.

පොඩි වෙලාවක් අපේ ගෙදර ගත කරපු කස්ටියම හදාගෙන ආපු කෑමයි, අපේ මිතුරිය දීපානි අරගෙන ආපු දෙකලප්පමුයි අහ් නෑ වටලප්පමුයි, අපි හදපු කෑමයි ඔක්කෝම අරගෙන ගියා "කිඩ්ස් පාර්ක්" කියලා නමක් තියෙන පොඩි සත්වෝද්‍යානයකට.

එතන ඉඳන් කාලා බීලා හවස් වෙලා අපි හැමෝම ගියේ අපේ මිතුරිය අපේ ගෙදර එන්න කියලා අරාධනා කරපු වෙලාවේ ඉඳන් පුන පුනා කියපු ඩුබායි වල තියෙන ලෝකයේ උසම ගොඩනැගිල්ලේ (Burj Khalifa) තියන්න සංවිධනය කරල තිබුනු මල් වෙඩි සංදර්ෂනය බලන්න.



පාර්කින් ප්‍රශ්න එයි කියලා දැනන් උන්නු නිසා වාහන දුමියගේ කාර්‍‍යාලය ලඟ පාර්ක් කරලා මෙට්‍රෝ කෝච්චියේ තමයි ගියේ ඕන්.

මගේ අම්මෝ ඒකට ඇවිත් හිටපු සෙනඟ කන්දරාව.

සංදර්ශනය ඉවර වෙලා "බර්ජ් කලීෆා" මෙට්‍රෝ ස්ටේශන් එකෙන් කෝච්චියට නගින්න බැරි බව තේරුනු අපි කලේ කිලෝ මීටර් 2ක් විතර දුරින් තිබුනු ඊලඟ ස්ටේශන් එකට පයින් ගිහින් එතනින් කෝච්චිය ගත්තු එක.

ඒක තමයි නියම ගමන.

දුමියා උගේ පුතාව කර උඩ තියාගෙන මම මගේ සොඳුරු ත්‍රස්තවාදියා විරුල්ව කර උඩ තියාගෙන. හරියට ලංකාවේදි පෙරහර බලන්න ගිහින් එන්නේ . . . අන්න ඒ වගේ . .

ස්ටේශන් එකේ පැය ගානක් හිරවෙලා බුදු දුකක් විඳලා (ඒ වුනාට අපි නම් කිය කිය හිනාවුනේ ඒන මාර ආතල් රැග් එකක් කියලයි) දුමීලයි අපේ මසියයි කස්ටිය සාජා ගියා . . . අපි අබුඩාබි ආවා.

හැමෝම ගෙවල් වලට එනකොට පාන්දර 3.30-4.00ට විතර ඇති.

ජීවිතයට අමතක නොවන දෙසැම්බර් තිස් එකක් ඔන්න ඔහොම ගත කලා.

ෆෝන් ඕෆ් කරලා නිදා ගත්තු අපි ඇහැරුනේ ඊයේ උදේ පාන්දර 11ට විතර.

විරුල් හීනෙන් මොනවදෝ දැකලා. ඌට කියා ගන්න තේරෙන්නේ නෑ ඒ මොනාද කියලා. කොල්ලා ඒක දෙන්න කියලා කියන එකට කියන්නේ "ඒක දේ" කියලා. උදේම විරුල් අඬාගෙන නැගිට්ටේ ඒක දේ කියාගෙන. අපි ඉතිං අහනවා අහනවා ඌ කෑ ගගහා අඬනවා ඒක දේ කියලා. දෙන දෙන දේ පොලොවේ ගහනවා ඒක නෙමෙයි කියලා.

මම ඉතිං කොල්ලව වඩාගෙන අහනවා මොනාද පැටියෝ ඔයාට ඕන කියලා.

මූ ඒක දේ . . ඒක දේ කියනවා විතරයි.

මට එකපාරටම මතක් වුනේ මම ගැන අපේ ගෙදර අය කියපු කියන දෙයක්.

මම පොඩි කාලේ හරිම චුරු චුරුවලු. අඬාගත්තු ගමන්මලු. (මේ විරුල් කොල්ලා නම් එහෙම නෑ ඌ හිනාපාල වගේ . . හිනා වුනු ගමන් මයි ) මට හිතුනේම අපේ අම්මා මාව නලව ගන්න කොයි තරම් නම් දුකක් විඳින්න ඇද්ද කියලයි.

තාත්තත් නිතර ගෙදර නෑ බිස්නස් වලටයි දේශපාලන වැඩ වලටයි නිතරම ගෙදරින් එලියේ.

නංගි ඉපදුනු ගමන් අම්මට තනියෙන් වැඩ කරන්න බෑ කියලා අක්කව ගමේ ආච්චිලගේ ගෙදර නතර කලා වුනත් පුංචි එකී නංගීවත් බලාගෙන මගේ චුරු චුරු ඇඬිල්ල එක්ක අම්මා මොන තරම් දුකක් විඳින්න ඇද්ද කියලා හිත හිතා ඉන්න කොට තමයි අපේ ගෙදර උන්දෑ නදීෂා මතක් කලේ අද අම්මගේ උපන් දිනේනේ . . ඉක්මනට කෝල් කරන්න කියලා . . . .

අම්මගේ 66වෙනි උපන්දිනේට සුභ පතන කොටම තමයි නංගියි එයාගේ පවුලේ අයයි හැම ජනවාරි පළමුවෙනිදාම තියෙන අම්මගේ විශේෂ දවල් කෑම පාර්ටියට සහභාගි වෙන්න ඇවිත් තියෙන්නේ.

ඒ වෙනකොටත් අක්කලා මඟ එනවලු. දුසිම් භාගෙට එකක් අඩු අක්කගේ ළමයි ටික ලෑස්ති කරගෙන ගමන්ක් එන එක ඉතිං ලේසි නෑනේ.

තාත්තගේ ඉස්සෝ ස්ටුවයි, අම්මගේ දැවිල්ල චිකන් කරි එකයි අල හොද්දයි බෝංචි කරි එකයි එක්ක බත් කටක් කාලා අම්මට උපන්දින හාදුවක් දෙන්න යන්න බැරි උනු එක නම් හිතට හරිම දුකයි තමයි. කමක් නෑ අපේ පවුල විතරනේ අඩු . . අක්කයි නංගියි අපේ අඩුවත් පුරවයි කියලා හිතාගෙන අම්මට සුභ උපන් දිනයක් පතලා අපි කිරිබත් කාලා ආපහු නිදා ගත්තා.

ප. ලි.
අම්මට සුභ උපන් දිනයක් කිව්වා වගේම මගේ බ්ලොග් සහෘදයෝ හැමදෙනාටමත් සියළු පැතුම් ඉටුවෙන සතුටින් පිරුනු සුභ අලුත් අවුරුද්දක් වේවා කියලාත් මම හදවතින්ම සුභ පතනවා.






Tuesday, December 21, 2010

මම මම ම ද?



මේ අද මේ මොහොතේ ජීවත් වෙන මම මීට කලින් හිටි මම ම ද?

මීට අවුරුදු විස්සකටකට දහයකට හතරකට කලින් හිටි මමයි මේ දැන් ඉන්න මමයි එක්කෙනෙක්ද . . ?

නැතිනම් මේ මම එදා හිටි මට වඩා වෙනස් ම වූ කෙනෙක්ද . . .?

එදා හිටි මමයි අද ඉන්න මමයි අතරේ සමානකම් අසමානකම් තියෙනවද?

සමාන කමක් තිබුනත් එදා හිටි මමයි අද ඉන්න මමයි එක්කෙනෙක්ද ??

අසමාන කම් තිබුනත් එදා හිටි මට වඩා අද ඉන්න මම එදාට වඩා හොඳද ??? ඊට වඩා නරකද ??

නැති නම් එදා හිටි මම අද ඉන්න මට වඩා හොඳ එකෙක් වෙලා හිටියද?

එදා හිටි මම දැනුවත්ව හෝ නොදැනුවත්ව කියපු හෝ කරපු වැරදි දෙයක් වසර ගානක් ගිහිනුත් අද කිව්වා හෝ කලා වගේ චෝදනා කරනවනම් ඒක හරිද . . ?

ඒ එදා වුනු වැරැද්ද හදා ගත්තා වුනත් එදා හිටි මමත් අද ඉන්න මමත් එකම එකා නිසා එදා දැනුවත්ව හෝ නොදැනුවත්ව වුනු වැරැද්දට අදත් චෝදනා ලැබීම සාධාරණීය කල හැකි සූත්‍රයක් තියෙනවාද . . ?

. . . . . . . . . .

අපි ජීවත් වන සමජයේ සිදුවෙන සමහර සිදුවීම් දිහා බලුවාම, දෛනික ජීවිතයේ වුනත් සමහර සිදුවීම් වලට සංවේදී උනාම ඔය උඩ කිව්ව වගේ විකාර අදහස් ඇවිත් ඔලුව කොලොප්පන් වෙනවා.

ඒ වගේ වෙලවට අපිටම හිතා ගන්න බැරුව යනවා අපි කොයි විදිහට සමාජයේ ජීවත් විය යුතුයි කියලා අන් අය අපෙන් බලාපොරොත්තු වෙනවද කියන එක.

නිකමට හිතන්න, කෙනෙක් මීට වසර ගානකට කලින් තව කෙනෙක්ට (හිතවතෙක්ට කියමු ) මොනව හරි කියනවා.

සමහර විට කියපු කෙනා ඒ කියපු දේ ගැන වැඩිය හිතන්නේ නතුව කියපු දෙයක් වෙන්න පුලුවන්.

හිතාමතා හෝ තුන්හිතකින් වත් නොහිතා මීට බොහෝ කාලයකට පෙර කියපු කරපු දෙයකට අදත් චෝදනා කරනවනම් ඒක බොහෝම නරක දෙයක් කියලයි මගේ හැඟීම.

මෙහෙම කියන හැම මොහොතෙම අතක් වෙන්නේ මාව හොඳින් තේරුම් ගත්තු මගේ යාලු දමිත් මල්ලියි චමලුයි මම ගැන කියන කතා.

දමිත්: අයියේ තමුසෙගේ චාටර් කට හින්දා නොදන්න එකෙක් නම් ඔයාව වැරදියට තේරුම් ගන්නවා ෂුවර්.

චමල්: තොගේ ඔය ජරා කට අපිම හින්දා ඉවසනවා. වෙන උන් නම් ඕක ගලක අතුල්ලයි.


හික් හික් හික්

. . . . . . . . . .

මේ උදහරණයත් පොඩ්ඩක් බලන්න:

මගේ නංගිගේ යාලුවො සෙට් එකක් හිටියා හරිම රස්තියාදුකාරියෝ ටිකක්.

වින්ඩෝ ෂොපින්ග් යන එක තමයි ඒ අයගේ ප්‍රධාන විනෝදාංශය.

මුන් ටික අපේ නංගිවත් මේ රස්තියාදුවට එකතු කර ගත්තා.

දවසක් බැලුවා, දෙකක් බැලුවා, තුනක් බැලුවා . . ම්හු . . . තාත්තා ගෙදර එන වෙලාවට නංගී පේන්න නොහිටියොත් අම්මා බැනුම් අහනවා ඇයි යන්න දුන්නේ කියලා (ඒත් තාත්තා නංගීට මොකුත් කියන්නේ නෑ - තාත්තා ඒ කාලේ එයාට බයයි හික්ස්)

නිරපරාදේ අම්ම බනුම් අහනවා බලන් ඉන්න බැරි නිසා මම නංගීට කිව්ව "හෙටත් තමුසෙගේ ඔය මළ හෝන්තු ටික ආවොත් මම බැනලා එලව ගන්නවා" කියලා

"ආ ඒවා කොහෙද. තමුසේ මොනා හරි උන්ට කියල තිබ්බොත් බලා ගමු"

"මොනා බලා ගන්නද"

"උන් මගේ යාලුවෝ, තමුසෙට වැඩිය උන් මට වටිනවා"

"මොකක්"

කිව්ව වචනේ ඇදලා ගන්න බැරුව නංගී ගල් ගැහිලා හිටියා.

මම මාසයක් යනකම් එයා එක්ක වචනයක් කතා කලේ නෑ.

නංගී යාලුවෝ එක්ක රස්තියාදුවේ යන එක නතර කලා.

දවසක් නංගීම ඇස් දෙකේ කඳුරු පුරෝගෙන කතා කලා

"ඔයා මාර පොරක් හලෝ. ඔය පොඩි වචනෙකට තමුසෙට මාත් එක්ක මාසයක් තරහා වෙලා ඉන්න පුලුවන් වුනා නේද"

"තමුසෙට මට වැඩිය . . "

"ඒක බොරුවක්-එක පාරටම කටට ආවට කියවුන දෙයක් කියලා ඔයා හොඳටම දන්නවනේ"

අපේ වලිය එදායින් ඉවරයි.

ඔය වචන ටික අල්ලගෙන මම තාමත් නංගී එක්ක රන්ඩු වෙනවනම් එකෙන් පේන්නේ මගේ මෝඩ කම නේද කියලා තේරුනේ ඒ ගැන වෙනමම හිතන කොට.

එයා නොහිතා කියපු වචනෙට මගේ හිත රිදුනු නිසා රිදුනු හිත හදා ගන්න මාසයක් ගිහින් එයාට සමාව දුන්නයින් එයත් සතුටින්, මාත් සතුටින්. සුපුරුදු නොවෙනස් ආදරෙන්

. . . . . . . . . . . . . . . . . . .

පරන කුනුකන්දල් හිතේ පැසව පැසව තියාගෙන දුක් විඳින අපිට ඒවා එක එක අයින් කරන්න ලැබුනොත් කොයි තරම් හිතට සහනයක් දැනෙනවද කියනදේ තේරෙන්න නම් එහෙම කරලම බලන්න ඕන.

එහෙම අයින් කලාට පස්සේ ලබෙන ලොකුම ප්‍රතිලාභේ නිදිය ගන්න ඇඳට වැටුනු ගමන් නිදි දෙව්දුව අපිව නිදි ලෝකෙට අරන් යන එක. කරලාම බලන්න. අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි.

Sunday, December 19, 2010

සැබෑ ආදරය යනු පරිත්‍යාගයයි . . . !



ආදරය යනු පරිතයාගයකැයි කියනු ලැබේ…

සතුට හැර වෙන යමක් බලාපොරොත්තු නොවී ඔබට පුදදිය හැකි ආදරයේ නිම් වළලු කොයිබද??

මේ කියන්න යන්නෙත් එවැනි සුන්දර ආදරයක් ගැන කතාවක් අඩංගු ඉතාම විනෝදජනක චිත්‍රපටයක් ගැන.

ඩ්‍රිව් බැරිමෝර් කියන සුන්දර නිළියත් ඇඩම් සැන්ඩ්ලර් කියන විකට චිත්‍රපට වල වැඩිපුර රඟන නළුවත් තමයි මේකෙ ප්‍රධාන චරිත රගපාන්නෙ.

කතාව මෙන්න මෙහෙමයි…!

හවායි හි පදිංචි තරුණ පශුවෙදය වරයෙකුට අවන්හලකදී ඉතා සුන්දර තරුණ චිත්‍ර ගුරුවරියක්ව මුන ගැහෙනවා.

ඔවුන් ආදරයෙන් බැදෙනවා. ..

ඔවුන් කතාකර ගන්නවා එම අවන්හලේදිම පසුවදාට මුනගැසෙන්නට . . .

නමුත් පසුදා තරුණිය කියාසිටින්නේ ඇය මීට කලින් ඔහුව හදුනන්නේ නැති බවයි.

පසුව අවන්හලේ හිමිකාරිය ඔහුට ඇය ගැන සියලු විස්තර දැනුම් දෙනවා. . .

වසරකට කලින් සිදුවුනු දරුනු රිය අනතුරක් හේතුවෙන් ඇයට බරපතල අමතකවීමේ රෝගයක් ඇති බවත්, ඇගේ මතකයේ ඇත්තේ රිය අනතුර සිදුවූ දවස හෙවත් 2002 ඔක්තෝම්බර් 13 බවත් එදින ඇගේ පියාගේ උපන් දිනය යෙදී තිබුනු බවත් ඇය ඔහුට දැනුම් දෙනු ලබනවා.

අවන්හලේ හිමිකාරිය, යාවජීව පාරිභෝගිකයන්, ඇගේ පියා සහ සොහොයුරා ඇගේ සිත නොරිදවනු පිනිස විශාල කැපකිරීම් කරනු ලබනවා.

2002-10-13 දිනයේ පුවත්පතේ පිටපත් විශාල ප්‍රමානයක් මුද්‍රනය කර දිනපතා ඇයට එක බැගින් ලබා දීම, පියාට දිනපතා කේක් ගෙඩියක් කපා උපන්දින තෑග්ගක් පිරිනමා සුභ පැතීමට සැලැස්වීම ආදී ලෙස හා තවත් බොහේ දේ වශයෙන්. . .

ඇගේ සැබෑ තතු දැනගත් පසු ඇගෙන් වෙන්වීම වෙනුවට ඔහු තව තවත් ඇයට ආදරය කරනවා. . .

ඉන්පසු අපිට බලාගන්න පුලුවන් අර තරුණ පශුවෙදයවරයා මේ තරුනියට දිනපතා අලුතෙන් තමාව හදුන්වාදීමට විවිධ ආකාරයේ ක්‍රම භවිතා කිරීමත් ඒවා කොතරම් විනෝදජනකද යන බවත්.

ඇත්තෙන්ම කදුලු එනකම් හිනා වියහැකි කොටසක් මේ කොටස.

ඇගේ ජීවිතයට සතුටක් ලබාදීම තමාගේ එකම සතුට බවට පත්කරගත් තරුණ පශුවෙදයවරයාගේ සංවේදී ආදරයේ කතාව නම් බැලිය යුතුම විනෝදජනක (රොමෑන්ටික් කොමඩි වර්ගයේ) චිත්‍රපටයක් කියන එකයි මගේ අදහස නම්.
. . . . . .. ..

මගේ බ්ලොග් අඩවියටත් බයිස්කෝප් අඩවියටත් නිතර යන එන අය බොහෝ දෙනෙක් දන්නවා ඇති මම බ්ලොග්කරනයට පැමිනුනේ බයිස්කෝප් අඩවියේ ඉසිර සහෝදරයාගේ ඉල්ලීම පිට බව.


මම ලියන්න ගත්තු මුල්ම කාලේ ලියපුවත් මගේම බ්ලොග් එකේ තිබුනොත් හොඳයි කියල ආපු හිතුවිල්ල නිසා ඉසිර මළයගේ අවසරය පිට බයිස්කෝප් අඩවියට මම ලියපු ලිපි එක එක එතනින් කොපි කරලා මෙතන දාන්න පටන් ගත්තා.

මේ බයිස්කෝප් එක බා ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් මෙන්න මේ ලින්ක් එකෙන් බයිස්කෝප් අඩවියට ගිහින් එතනින් බාගෙන බලන්න ඕන් . . . .

බයිස්කෝප් එක කොහොමද කියල තැන් දෙකේම සටහනක් දාන්නත් අමතක කරන්න එපා හරිය. .

Wednesday, December 15, 2010

තටු බිඳුනු පීනික්ස් !



අළු මතින් උපන් පීනික්ස් කුරුල්ලාත් සියලු දේ එපාවී අකර්මන්‍යවී කලකිරී පරාජය භාරගනීමට සූදානම් වූ මොහොතක් . . !

අරා නුබ ගැබ සරා සියොත් සකි
පුරා පියඹා ලොව දකිනු රිසි
ඉරා තිමිර පට තිබු නෙතු වැසි
පිරූ පාරමි කුරවියෙක් ඇති

ක්ෂිතිජ ඉම ඔබ දකිනු රිසි වූ
විසල් නෙත් හැර බලනු ලොබ වූ
නොදුටු සකි සඳු රැගෙන යනු වූ
අමිල පැතුමන් හදේ රැඳවූ

මහා ගමනෙක යන්ට පලමුව
බිඳි අත්තටු සලනු නොහැකිව
මිදී කඳුළැලි ඉනූ නෙත් මුල
පරාජිත වී ඇරඹුමේදිම . . . !

Monday, December 6, 2010

Home Sweet Home !



"Home Sweet Home"

"There is no place like home'
උදයේ නිවසින් රැකියාවට හෝ පාසැලට පිටවෙන අපි සවසට නිවසට පැමින අසුනකට බරදී ගිමන් නිවද්දී දැනෙන සැහැල්ලුව, සතුට, සනීපය, සුවදායි බව කෙතරම්දැයි ඔබ අත්විඳ තිබෙනවාද . . ?

මොහොතකට ඒ ගැන විශේෂයෙන් සිතා තිබෙනවාද . . ?

යලිත් මොහොතක් සිතා බලන්න.
එසේ වෙහෙස වී පැමින අසුනකට බරදී දෙනෙත් පියාගත් විට ඔබේ සිත ඔබව අතහැර ඈත අහසේ පුලුන් රොදක් මෙන්, වරා මලක් මෙන් පියාසළනවා යැයි සිතෙනවා නොවේද.
ඔබ ජීවත් වෙන්නේ පොල් අතු සෙවිලි කල පැල්පතක විය හැකියි, උඩට උඩුවියන් බඳි පයට පළස් ඇතුරූ රජ මාලිගාවක විය හැකියි, ගඳ ගහන මුඩුක්කුවක විය හැකියි.

මේ කොහේ ජීවත් වුවත් වෙහෙසකාරී දවසේ අවසන පැමිනෙන්න ඔබට නිවසක් ඇත.

වාසනාවන් . . . .

ඔබ වාසනාවන්තයෙකි.


වෙහෙසකාරී දවස අවසන ගිමන් නිවන්න නිවසක් තිබූ පමනින් ඔබ වාසනාවන්තයෙක් වේද . . ?

මොහොතක් සිතන්න, සවස නිවසට පැමිනෙන ඔබේ පියාට දකින්න ලැබෙන්නේ කුමක් හෝ හේතුවක් නිසා කෝපයෙන් සිටින මව එසේත් නොමැතිනම් පොර කුකුලන් මෙන් රන්ඩුවී මූන රකුසු කරගෙන සිටින දරුවන් නම් . . .

ඔහුට "Home Sweet Home" හෝ "There is no place like home" කියා සිතේද . .

නොමැති නම් අයියෝ මොන මගුලටද ගෙදර ආවේ කියා නොසිතේද

එසේත් නැතිනම් "හංදියේ බාර් එකට වෙලා අඩියක් ගහලා රෑට නිදා ගන්න ඩිංග ගෙදරට යන්න තිබුනානම්" කියාත් නොසිතේද . .

. . . .. . . .. . . .. . ..

නිකමට ඔබ ගැන සිතන්න.

ඔබ පාසැල් යන හෝ රැකියාවක් කරන විවාහ නොවූ හෝ විවාහ වූ අයෙක් නම් . . .

පාසැල් ගොස්, සවස අතිරේක පන්ති නිමවා; රැකියාවට ගොස් කාර්‍‍යාලයේ දවස නිමවා, පාරේ වාහන තදබදයේ හෝ බසයේ එල්ලී නිවසට පා නගන්නේ කෙතරම් බලාපොරොත්තු ඇතුවද?

එසේ එන ඔබට දොරකඩදීම කෝපයෙන් සිටින අම්මා, අක්කා, අයියා, නංගී, සැමියා, බිරිඳ මේ කවුරු හෝ වේවා සිටිනු දුටුවහොත්

අර මුලින් සඳහන් කල සුවදායී, සතුටු, සැහැල්ලු හැඟීම ඇස් පනාපිට බිඳ වැටුනු හීනයක් නොවේවිද . . ?

. . . . .. . . .. . .

ඔබ මා සියල්ලෝ කැමති සතුටින් ජීවත් වෙන්න නොවෙද . . ??

කුමන හෝ හේතුවක් නිසා මා අසතුටෙන් නම් ඒ මගේ අසතුට වෙන අයෙකු මතින් පාකර මගේ අසතුටට තවත් අයෙක් හවුල් කර ගන්නේ ඇයි . . .. ???

මොහොතකට හෝ අසතුට අමතක කර, හංගා ගෙට ගොඩවෙන පියාව, මවව, සහෝදරයාව, සහෝදරියව, සැමියාව, බිරිඳව සිනා පිරි සතුටු මුහුනෙන් පිලිගෙන . . ..

ඔවුන්ගේ විඩාව පලවා හරින්න සහයෝගය දී . . ..

පසුව නිවී සැනසිල්ලේ අපේ අසතුටට හේතුවත් . .

එය නැති කිරීමට ඔවුන්ගේ උදව් ඇවැසි බවත් කියා ගත හැකි නම් . .. . !!!!!

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails