Friday, September 10, 2010

යෞවනයට නැතුවම බැරි මිල්ටන් නම් තාරුණ්‍යයට නැතුවම බැරි ප්‍රියා . . !




මගේ බිරිඳගේ බලවත් ඉල්ලීම මත හා මගේත් ප්‍රියතම ගායකකු වීම නිසාවෙන් කාලයක සිට ලියන්න සිතා සිටි නමුත් නිදහසේ අකුරු අමුනන්න ඉසුඹුවක් නොලත් නිසාවෙන් දවසින් දවස කල් ගිය ලිපියක් ලිවීම තව දුරටත් ප්‍රමාද කිරීම නොතරම් යැයි හැඟුනු නිසාවෙන් අද දින ශරීරය පෙලන අසනීප තත්වය ගැන හෝ නොසලකා ලියන්න පටන් ගතිමි.

මා කලින් සටහනක මිල්ටන් මල්ලවාරච්චි ගැන ලිවීමේදී "යෞවනයට නැතුවම බැරි වූ මිල්ටන්" ලෙස මිල්ටන් මල්ලවාරච්චි හඳුන්වාදුන්නේ යම් සේද තාරුණයට නැතුවම බැරි වූ ගායකයෙක් වෙත්ද ඔහු නම් ප්‍රියා සූරියසේන හැර වෙන කිසිවෙක් නොවේ යනු කුඩා කල සිට ගී රස විඳින සහෘදයෙක් වූ මගේ හැඟීමයි.

තාරුණ්‍යය හා ආදරය යනු ගසට පොත්ත, මලට රේනු සේ එකිනෙක යාවූ, එකිනෙක හාවූ යමක් යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ කියා තාරුණ්‍යයේ සැරිසරන්නන් හා සැරිසැරූවන් දෙස් දෙනවා නොඅනුමානයි.

එසේ තාරුණ්‍යය හා බැඳුනු ආදරයේ මිහිරියාව, දයාබරත්වය, ප්‍රේමනීය බව ප්‍රියා අප හමුවේ තබන්නේ කෙතරම් ආනන්දයකින්ද කියා ප්‍රියාගේ "ආදරණීය නේරංජනා", "තුන් යමේ රෑ තුන් යමේ දුටු සිහිනයේ ඔබ රැජින වී", "ජීවිතේ මගේ ඔයා කියලා . . . සිඟාවී ඔබේ අදරේ", "සරතැස නිවා දිවි ගමනේ . . ඔබ හමු වුනා මට සුහදේ", "මට වාසනා ඔබ මට වාසනා උප නූපන් හැම ආත්මයේ", "ඈත රන් විමන් තුලින් පාට සේලයෙන් සැදී", "තරුකැට දිදුළනවා . . මට මඟ පෙන්වනවා . . රහසේ ආදර සඳළුතලාවට පුරහඳ පානයවා", "හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමු විය යුතු වේ", "කැන්දන් යන්නම් රන් මල් මාල දාලා . . පායනා තරුවේ", "මල්සර හිනාව පෙම්බර කතාව කාගේදෝ", "මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා . . භවෙන් භවේ පෙම් පුරා බලා ඉන්නවා", "මී කැකුණ කැලේ . . ගමේ එහා ඉමේ . . සුදු හාමිනේ මගේ සුදු හාමිනේ", "සඳ මාගාවයි නෑ මා දුටුවේ නෑ" , “මොහොතක සුව දෙන චංචල ලෝකයේ”, "තරු යායේ ඈති ඈතට ඉගිලෙන රන් තරු යුවලක් සේ" ආදී ගීත අසත්දී ඔබට වැටහී නොයනවානම් ඔබේ තාරුණය ගැන දුක් වෙනවා හැර වෙන කල හැකි කිසිවක් නොවේ . . ..

තාරුණ්‍යයටම අවේනික වූ දඟකාරීත්වයත් ප්‍රියාගේ ගීත වල නොඅඩුව දක්නට ලැබෙන තවත් ලක්ෂණයක්. "ගෙල වට බැන්දා වූ මුතු පොටේ දිස්නෙට මුහුනේහී ඔප වැටේ", "සුදු පරෙවි රෑන සේ පියා සලා", "සීතා . . බාලේ එක්වී දොළ ගාව හැන්ගී හැන්ගී දඟ පෑව", "හිරුද මුවාවී ලැසි ගමන බලාවී. .. . කිංකිනි හඬ පරදන කැකිරි පැලෙන කොමළ හිනා", "මාගේ සැමරුම් පොතේ රෝස පිටුවක් පුරා", "නිල් මහනෙල් මල කිම මේ සරදම් . . නැතිද හදේ මුදු ගුණයක් කිසියම්", "පැතුම් පිරීලා උතුරා යනවා ඇය අද එනවා . . හමුවේදෝ" ආදී ගීත ඒ තාරුණ්‍යයේ දඟකාරීත්වය මොනවට පෙන්වා දෙන ගීත බැව් මේ ගීත ඇසූ, අසන ඔබට වැටහී යනු ඇත . ..

ආදරයත් විරහවත් තාරුන්‍යයේ දී එකම කාසියේ දෙපැත්ත යයි මා කීවොත් කිසිවෙක් මා හා උරණ නොවනු ඇතැයි සිතමි. එපමනටම ආදරය හා විරහව තාරුණ්‍යය හා බද්ද වී ඇති බව තාරුණ්‍යයේ විරහ වේදනා විඳින හා විඳි අය හැර වෙන කවුරු නම් දනීද . .. .

එසේ විරහ දුකින් පෙලෙන තාරුණ්‍යයේ වේදනාව "බිඟු වැලපීලා මල් පරවීලා",ප්‍රණීත මී පැනි ගෙන ආවත් . .. විස ඇත බඹර තුඩේ", "ලිහිණින් රෑන පියා සලන්නේ . . මන්දාරම් වැහි පොද වැටෙන්න්නේ", "ආපසු එනවා මගේ හිත ඉබි ගමනින් . . ඔබ ඈතක රඳවා", "සුදු මල් දෙකක් කඩා ගෙනත් මා නෙත් ලඟින් තබා", "හැරදා විමන් සිය මාපියන් ", "මුලු මුහුදම හඬයි මම වෙරලේ නිසසලයි . . ඔබ මුහුදයි මම වෙරළයි මට සිතේ", "එකම වීදියේ දෙතුන් වතාවක් එහා මෙහා අපි ඇවිද ඇති", "අඳුර අඳුර මගේ . . සොඳුර සොඳුර මගේ . . .නොයනු මැනවි දා තනිකර එලියේ . . ", "ඇසුරින් මිදීලා ඔබගේ ලොවේ . . සැඟවී ගිහින් මා වෙන්වී මෙසේ", "හදවත ඉල්ලා නොලැබුනු විටදී දහසක් සිතුවිලි මා හද තුල තෙරපී", "ඉස්සර මා ඔබ දකින්න ආවේ මුව සරසාගෙන සිනාවකින් . . දැන් ඉඳ හිටලා බලන්න එන්නේ දරන්න බැරි වේදනාවකින්", "රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා", "සඳ තාරකා හඬාවී .. . කඳු මීදුමෙන් එහා" ආදී ගීත තුලින් ප්‍රියා පාකර හැරි වග පසක් කලෝ එසේ විරහා වේදනා වින්දෝමය . . ..

ප්‍රියාගේ ගීත තරුණ හද බැඳ ගත් තරම කොමපන වුවත් ප්‍රියා තරම් සංගීත ක්ෂේත්‍රයේ අසාධාරණයට ලක් වූ තවත් ගායකයෙක් නොමැති තරම් යැයි සිතන්නෝ මා, මගේ බිරිඳ හා තව කීප දෙනෙකු හැර තවත් ඇත්දැයි සිතීම පවා විටෙක උගහටය.

රියලටි ෂෝ හෙවත් සුපර් ස්ටාර් තරඟ වලට අපගේ කිසිදු අකමැත්තක් නැත. බොහෝ කලකට පෙර වරප්‍රසාද ලත් කන්ඩායමකට පමනක් සීමාවූ වේදිකාව ඈත ගම් දනව්වලින් පවා බිහිවූ දක්ෂයන් කැලේ පිපී කැලේම පරවෙන මල් ගොන්නට වැටෙන්න නොදී ඉදිරියට ගෙනා සුපර් ස්ටාර් තරඟ ගැන ඇත්තෙන්ම අපිට ඇත්තේ පැහැදීමක්.

එසේ කැලේ පරවෙන්න දෛවයට අනුව නියම වී තිබුනු මල් එසේ පරනොවී රටම සුවඳ හමන්න ඉදිරියට ගෙන එන්න ප්‍රියාගේ ගීත සැපැයූවේ මහඟු අත්වැලක්. නමුත් අවසානවට අපේ රටේ බහුතරයක් මිනිසුන් ඉහලට නැගි ඉනිමඟට පයින් ගසා පෙරළාදමන මිනිසුන් වූ නිසාවෙන් අදටත් ප්‍රියා සංගීත සැඳෑවක ගී ගැයීමට එකතරා මුදලක් අය කරයිද ඒ මුදල මෙන් දහගුණයක මුදලක් ප්‍රියාගේ ගීතම ඒ සංගීත සැඳේවේම ගයා අඩුම තරමින් ඒ ගී වල මුල් ගායකයා ප්‍රියා සූරියසේන කියා වත් සඳහන් නොකරන තරම් අකාරුනික වූ හදිසියේ පීදුනු තරු සිටින බව සිහි කරන්නේ කනගාටුවෙන්.

(පුද්ගලිකව මා අත්විඳ ඇත්තේ ඇන්ජලීන්ගේ ගීත ඇගේ ගීත මෙන් ගැයූ හදිසියේ පිපුනු තරුවක් ගැන මතක සටහනක් පමනි. ප්‍රියා ගැන ඒ කරුනු මිතුරන් පිරිසක් සමඟ සාමිචීයකදී කන වැටුනු යමක් පමනි. ඇන්ජිගේ ගීත වලට වූ දේම ප්‍රියාටත් සිදු වූවා යි මා උපකලපනය කල බැව් සැලකුව මනාය)

. . . . . . . . . . . . . . .

තවදුරටත් ප්‍රියාගේ මේ පහල ඇති ගීත ඔබේ හදවතේ ගැඹුර ස්පර්ෂ කරනවා නොවේදැයි අසා . . විඳ බලන්න . .. .

. . . . .

මරණයෙන් පවා වෙන් කල නොහැකි ආත්මීය ආදරයක සුවඳක් කෙදිනක හෝ විඳ තිබේද . . .

ආදරණීය නේරංජනා

ආදරණීය නේරංජනා . . . / /
ඔබේ මුදු මදහස් රැලි මාලාවේ
වෙලී බැඳුනු දින රඟ ශාලාවේ
තුන් හිතකින් වත් නොසිතූ විලසින්
යලි ඔබ දැකුමට ආවේලාවේ
අප හමු වූ ගෙවුයන් සීමාවේ
එක මොහොතක් පමනකි තනි වූයේ
මටමම පුදුමයි අදහන්න බෑ
මම ම නොවේ යලි ඉන් පිට වූයේ

කවුදෝ මා පසුපස එනු දැනුනා
පාලු වීදියේ තනිකම මැකුනා
ජීවමාන කිසිවකු සිටියේ නෑ
එනමුදු කවුදෝ ඇති බව හැඟුනා
නිදි යහනේ මා නින්දට වැටුනා
ඔබ මා සිහිනෙන් අමතනු දැනුනා
එනමුදු කෙලෙසද ඇගෙ අත ගන්නේ
මගේ සිතම මට මුමුනනු ඇසුනා

. . . . .. . . .. .

ඉරිදා උදයේම දෙල්කඳ හංදියෙන් 122 බසයට නැගුනේ ගොඩගම කාර්මික විද්‍යාලයේ හදාරමින් සිටින් පාඨමාලාවේ 8ට පටන් ගන්න දේශනයට සහභාගී වීම සඳහා. මහරගමින් බසයට නැගුනේ මගේ වයසේම කිවහැකි කඩවසම් තරුණයෙක්. කුමක්දෝ අවාසනාවකට ඔහුට රැකියාවක් කරන්න නොහැකි කමින් බස් වල ගීත ගයන්නෙක් . . . බසයේ ගොරහැඬි රිද්මය ඔහුගේ ගීතයෑ ළයාන්විත බවට බාදාවක් නොවුනා සේයි . . ..

ප්‍රණීත මී පැනි

ප්‍රණීත මී පැනි ගෙන ආවත්
විස ඇත බඹර තුඩේ
උදා එලිය පුබුදා සිය නෙත්
පුබුදයි නෙලුම් මඩේ
පිපෙන පිපෙන හැම මල් නෙලුවත්
ගස මල් පූදිනවා
ගලන සියලු රළ කරදියරේ
ගඟ රැලි නංවනවා . . ..

බිඳින බිඳින තරමට සුවඳයි
සුධවල සඳුන් ගසේ
පිසින පිසින තරමට උපදයි
කඳුළැලි බිඳුත් ඇසේ //
පිපෙන පිපෙන හැම මල් නෙලුවත්
ගස මල් පූදිනවා
ගලන සියලු රළ කරදියරේ
ගඟ රැලි නංවනවා

මිනිසුන් පිය සටහන් තැබුවත්
නොබිඳෙයි කිරණ සඳේ
මහද ආදරය තව උපදයි
ඔබ රිදවුවත් ළඳේ //
ප්‍රණීත මී පැනි . . .

දහවල් බත් පත මිතුරියන්ගෙන් පිරිමසා ගත හැකියි සිතා සවස බස් ගාස්තු පමනක් තබාගෙන පොකැට්ටුවේ තිබුනු සියලුම මුදල ඔහුට දුන් බව තාමත් මතකයේ ඇත

. . . . . .. . .

දයාබර නංගියේ මල්ලියේ . . . පාසැල් සමය යනු ජීවිතයේ කිසිම බරපතලක් සිතට නොගෙන නිදහසේ ආසාවෙන් ඉගෙනීම කල හැකි එකම කාලයයි. කොතනක හෝ වැරදීමක් සිදු වුවොත් එය යලි පිලිසකර කිරීම පහසු නොවේ . . . ඉගෙනීමටද යොවුන් ආදරයටද මූලිකත්වය දිය යුත්තේ කියා ඔබම මොහොතක් සිතා බලන්න . . . ..

ජීවිතේ මගේ ඔයා කියලා

ජීවිතේ මගේ ඔයා කියලා
සිඟාවී ඔබේ ආදරේ
ඔබේ රුවේ බැඳේ හදේ
කියා ලියා ඔබව පතාලා

නීල දෑසේ කෝල බැලුම් පා සිනා සළා
යොවුන් කුමරි එවන් බසට නුවන් මං මුලා
ආදරේ කරන්න සිල්ප සතර නිම කරන්
ජීවිතේට මිහිර ඉසුර ඔබට ලං කරන්
බාල කාලේ අයේ එන්නේ නෑ
වැරදුනු තැන යලි හදන්න බෑ


මිහිරි මී වගේ දැනේවි යොවුන් ආදරේ
යොවුන් සිතට සතුට ගෙනේ එවන් ආදරේ
ආදරේක මිහිර ඔබේ හදට ලංකරන්
හිනාවෙන්න කුමරිය සිප් සතර ලංකරන්
බාල කාලේ අයේ එන්නේ නෑ
වැරදුනු තැන යලි හදන්න බෑ

. . . . . .. . .

"ආ මල්ලී. . එකහාමාරට ස්කෝලේ ඇරෙන්නේ දැන් දෙකයි කාලයි .. තාම මොකෝ බස් හෝල්ට් එකේ"
"අයියෝ මූ ගෙදර ගියා නම් ගෙදරට වෙලා නොයිඳ මොන දීපංකරේක යනවද . . නෑ මචන් කලින් ආපු බස් ඔක්කෝගෙම සෙනඟ"
"හරි හරී අපි නොදන්න චෙස් . . ඕන් අපි ගියා . . "
"අයියෝ මේ කෙල්ල මෙච්චර වෙලා මොනවා කරනවාද මංදා . .. එයාලගේ ඉස්කෝලේ අනිත් කෙල්ලෝ ඔක්කෝම වගේ ගිහින් ඉවරයි. . අද එයා ස්කෝලේ ආවේ නැතුවා වත්ද . . "

සුදු පරෙවි රෑන සේ

සුදු පරෙවි රෑන සේ පියා සලා
පාසැල නිමවී යොවුන් කුමරියන්
පෙලින් පෙලට එයි
ඈ තාම නෑ . . .ඈ තාම නෑ . . . //

පොත් පත් අහුරා මුදු ළැමට තුරු කරවා
පිරුනු සඳක් සේ මහද දිලේ
යහළු යෙහෙලියන් අතරේ
ඈ තාම නෑ . . ඈ තාම නෑ . . .

මල් හිනා පිපී මුව මඳල පුරා රඳවා
මුතු අහුරක් සේ දසන් සලා . .
ඉර හඳ දහසක් පරදා
ඈ තාම නෑ . . ඈ තාම නෑ . . .

. . . . . . . . . . .

අපේ ගැටලු මතවාද අපි අපිම විසඳා ගමු. අන් අය ඇසුරින් වෙන් වී දිවි ගෙවනු අපහසු බැව් සැබවි එනමුත් අඩු තරමින් ඔබත් මමත් අතර ඇති දේවලට අන් අයගේ මැදිහත් වීම් අවැසි නැති බැව් පමනක් වත් ගිවිසා ගනිමුද . . . ?

මගේ ළමැද සුව යහනක්

මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙනන් කියා
භවෙන් භවේ පෙරුම් පුරා බලා ඉන්නවා
ඒ යහනේ ඔබ සතපා බිඟු ගී වැල් මුමුනනවා
සොඳුරු ලොවක අපි දෙදෙනා හෙට තනි වෙනවා

සිහින ගෙනෙන කුමාරියේ ඇගේ ලොවට එන්න එපා
ඇය රවටා කැඳවාගෙන නොයන් කුමරියේ

අපට උරුම අපේ ලොවේ හද සොම්නස් සතුට දරා
මගේ ලඟින් සසර පුරා ඉන්න වාසනා

. . . .. . . .. .. . .

ජීවිත කාලය පුරාවට ම ඔබේ කුරිරු කම් වලින් මා විඳි වේදනාවට ප්‍රාණය සුන් මගේ කලේබරයේ දෙනෙත් අසල තැබූ සුදු මල් දෙකෙන් වන්දි ගෙවීම ඔබේ අභිලාශයද . . . . ?
ජීවත් වූ කාලයේ නොලඳ ආදරයේ වටිනාකමක් මියගිය පසු කුමකටදැයි නොසිතුවේ මන්ද . . .

සුදු මල් දෙකක් කඩා ගෙනත්

සුදු මල් දෙකක් කඩා ගෙනත් මා නෙත් ලඟින් තබා
ඔබේ කඳුලු බින්දුවෙන් තෙමා සමුගනෙන්පා එපා
උනුසුම් ඔබේ නෙතේ දියෙන් ඒ මල් හඬයි සිතා
නොසිතන් ළඳේ දිනක් නොවේ වැලපෙන්නෙපා එපා

සිනාසුනු ආදරේ නමින් රැඳී උන් ජීවිතේ වෙලී
වෙන් වූ දා ඉතිං ඔබෙන් පල නෑ මේ තරම් හැඟුම්
පැතූ පෙම් මාලිගා බිඳී දරා යයි වේදනා දිදී
මන්මත් වූ පැතුම් මැදින් පල නෑ මා සොයා ඇවිත්

. . .. . .. . .. . .

ස්ථානය : දෝහා කටාර් රාජ්‍යයේ කාර්මික ජනපදය
දිනය : 2004 වර්ෂයේ දිනක්
අවස්ථාව : ආධුනික ගී තරඟාවලියේ අවසන් වටය

ඔව් පිලිගන්න මේ තරඟාවලියේ ජයග්‍රහී ගායකයා සලාම් ආයතනයේ සේවය කරන ජානක අමරසිංහ . . ඒ අපේ අපේ ආයතනයේම සේවය කරන ජානක නොහොත් අපේ දයාබර කොඩී සොයුරා . .. .

අපේ විසිල් හඬ අත්පොලසන් හඬ හා "කමෝන් කොඩී" යනුවෙන් කෑ ගාන හඬ පිටිය සිසාරා ඇසෙයි . . .

රටකින් එහා ඉගිලී

රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා
අද මෙන් ළඳේ හෙට නෑ හමුවන්නේ මා
ගෙන යමි ඔබේ ආදරේ ආදරේ

නා දළු දෙතොල් හසරැලී මතු වෙවී
ආගිය ගමන් සිහිව එයි යලි යලී
අසමාන වූයේ අප ආදරේ
කිසිදා බිදෙන්නෑ සැකයක් නැතේ . ..

අතිනත වෙලා පටලලා රන් හුයෙන්
ඔබ ගෙන යමී සපුරලා සිත සිතුම්
හෙට ඒ දිනේදී සයුරෙන් එහා
පිලි ගනන්වාදෝ පැමිනී වහා

. . . .. . .. . . .. . .. . .. . .. .

ජීවිතේ රේඛාව එක දිගට කෙලින් ඉරක් නම් කිසි වෙනසක් නැතැයි සිතා මසකට වරක් කිසිම හේතුවක් නොමැතිව අමනාප වෙන්නත් අමනාප වූ සැනින් යලි හාද වෙන්නත් ඉඳහිට එලෙස පුංචි අමානපකම් ඇතිවුවත් නිතර මනාපයෙන් විනෝදයෙන් සිටින්නත් මෙලෙස අප හමුවූයේ දෛවයේ නියමයකින්ම විය යුතුයි කියා නොසිතේද . ..

සරතැස නිවා

සරතැස නිවා දිවි කතරේ
ඔබ හමු වුනා මට සොඳුරේ
දිය ගලනා උල්පත් මව මවා
සරතැස නිවා දිවි කතරේ

වියලුනු දෙතොල් සිසිලෙන් තෙමා
පුබුදා උපුල් නෙත් යුග යොමා
රණ මයුරියක ලෙසින්
හද තුල සැරි සරා

සඳවත් ඉතිං පල නැහැ ප්‍රියේ
ඔබෙ වත ලඟින් මගේ වත තියේ
හෙට යයි තවත් දිනක්
මට ඇත ඔබ නිසා

. . . . ..



Wednesday, September 1, 2010

නෙත කඳුලින් නුඹ හඩද්දි හිත කඳුලින් මම හැඬුවෙමි. .!



නිල් කටරොලු මල් ගොමුවේ
පැනි උරනා සමනයෙක්
මිදුලේ දුව පැන නටනා
පුතුගේ අතේ ගල් අහුරක්
කුරුමානම වැරදුනාට
කමක් නෑ පුතේ
සතුනට හිංසා වද දී
නොවෙන් පුතේ දඟ ළමයෙක් . ..
. . . .
පුංචි කමට නොදැන කරන
වැරදි වලට සමා නොදී
කෝටු පාර ඉඳ හිටලා
නුඹට තලද්දී
නෙත කඳුලින් නුඹ හඩද්දි
හිත කඳුලින් මම හැඬුවෙමි . . .
. . . .
කිරි කල හත පෙවී නුඹට
පා පොඩි එසවුනු දා සිට
සුරතල් සිහිනයකි මගේ
ළය මුලු ගැන්වී රැඳුනේ
නුඹ හොඳ මිනිහෙක් වන දා
මල් පිපියන් මගේ සිහිනේ . . . . !!

සිංදු අහන්න පුරුදු වුනු පුංචි කාලේ ඉඳන් හරියටම අදට අවුරුදු තුනකට කලින් දවසක් වෙනකම් ම මේ ගීතය සිය දහස් වර සවනට වැටෙන්න ඇති . . ඒ හැම වාරෙකම ලස්සන නිල් කටරොලු මල් වැලකුයි . . .ලස්සන සමනලයෙකුයි . . . පුන්චි දඟකාර සුරතල් කොලු පොඩ්ඩෙකුයි . . කෝටුවක් අතේ තියාගෙන ඉන්න නපුරු තාත්තා කෙනෙකුයි හිතේ මැවුනා හැර වෙන කිසි දෙයක් සිහිපත් නොවුනු බව මට මතකයි වගේම මේ ගීත අසා පුරුදු ඔබ සැමටත් ඉන් එහා යමක් මතක් වුනාද කියා අහන්නත් මට හිතෙනවා.

"අනේ මට නම් මේ ළමයට කවන්න දවස තිස්සේ ට්‍රයි කරලා එපා වෙලා තියෙන්නේ . .. ඔයාට පුලුවන් නම් කොහොම හරි කරලා බත් කටක් කවන්න"

කියලා ලෝකේ අමාරුම කාරිය වුනු පොඩි එවුන්ට කවන රාජකාරිය නදීෂා මට පවරපු දවසක, මගේ සොඳුරු ත්‍රස්තවාදියා බත් කටක් කන්න කට නෑර කට වහගෙනම ඉන්න වෙලාවක . . . තරහා ඉවස ගන්න බැරිම තැන පස්ස පැත්තට දෙකක් දීලා මට තරහ ගිය බව දැකපු පුංචි කොල්ලා මහ හයියෙන් මර හඬ දීලා අඬපු වෙලාවෙයි . . .

ගිය සතියේ ෂොපින් ගිය වෙලාවක අපි පස්සෙන් එනවද කියලා බල බල ෂොපින් මෝල් එකේ එක කෙලවරක ඉඳන් අනෙක් කෙලවරට දුවලා අපිව බය කරන්න හැංගිමුත්තන් සෙලල්ම් කරද්දී . . . මෙහේ ෂොපින් මෝල් වල දී ළමයින් නැතිවුනු කතා අහලා තිබුනු නිසා "අපි පාර්ක් ගිය වෙලාවක සෙලල්ම් කරපු පුතේ . . මේක ඇතුලේ දුවන්න එපා" කියලා කියපු දේ අහන්නේ නැතුව හත් පාරක් මාව ෂොපින් මෝල් එකේ එහාටයි මෙහාටයි දුවවපු වෙලාවේ ඇති වුනු තරහට ආපහු පස්ස පැත්තට දෙකක් දුන්නු නිසා කොල්ලට දුක හිතිලා බිම ඉඳගෙන අඬපු වෙලාවෙයි . . .

තමයි මට තේරුනේ මේ ගීතයේ අර කටරොලු මල් වලට. . සමනලයාට . . කෝටු පාරට එහා ගිය . . . පපුවේ ලේ කිරි නොවුනා වුනත් . . මහා සාගරය වගේ නොසංසිඳෙන පිය සෙනෙහසක අරුතක් මේ ගීතයේ ගැබ් වෙලා තියෙනවා කියලා . . .

කොලුවා බිම ඉඳගෙන විනාඩි දෙකක් ඇස් දෙකෙන් කඳුලුපෙර පෙර අඬලා ඒක අමතක කරලා හිනා වෙලා මට තුරුල් වෙලා හිටියාට කොලුවට තලපු එක මතක් වෙන මතක් වෙන වාරයක් පාසා කොලු පැටියාට තලපු මගේ අතේ ඇඟිලියි හිතේ කඳුලුයි තාමත් තරඟෙට අඬන බව දන්නේ මම විතරක් බව නොකියා කොහොමද . ..

මේ ගීතයේ කියැවෙන පිය සෙනෙහස ගැන වටහා ගන්න මමත් පියෙක් වෙනකම් ඉන්න වුනා කියනවට වඩා මම පියෙක් වෙනකම්ම පිය සෙනෙහස වටහා ගන්න මම උත්සාහ නොකලා කියන එක තමයි වඩා නිවරදි කියලා මම දන්නවා.

ඒකෙන් වුනේ ඒ මොහොත වන තුරුම "තාත්ත අපිට ආදරේ නෑ" කියලා කෝපය සමඟ මුසු වුනු බරක් මගේ හිතේ රැඳිලා තිබ්බ වගේම . . . "මුන්ට මගේ ආදරේ තේරෙන්නේ නෑ" කියලා වේදනාව මුසු වුනු බරක් තාත්තගේ හිතේ රැඳිලා තියෙන්න ඇති කියලා මට හිතෙනවා.

කෙසේ නමුත් කලින් දවසක් මා ලියූ සුනේත්‍රා රාජ කරුණානායකගේ පූර්ව ජන්ම අපූර්වය ආදී පොත් වලට පිංසිදු වෙන්න ඒ බරවල් වලින් නිදහස් වෙන්න මංපෙත් පෑදුනු එක කොයි තරම් නිදහසක් ද කියලා දැනෙන්නේ ඒ නිදහස් ගැඹුරු දියේ පීනා සුව විඳින නිසාවෙන්මයි.

යහගුණදම් වලින් සපිරුනු දරුවෙක් බිහිකරනවාට වඩා අල්ලපු ගෙදර එකාට වඩා ඉහල යවන්න පුලුවන් සරුංගලයක් කිරීමේ පරමාර්ථයෙන් පුහු ආටෝපයන්ගෙන් පමනක් සපිරුනු රේස් දුවන තරඟකරුවෙක් නොකර දරුවා "හොඳ මිනිහෙක් වනදා . . .මල් පිපියන් මගේ සිහිනේ" එනම් ඔහු හොඳ මිනිහෙක් වනදා ඔහුගේ ජීවිතයේ සියලු පරමාර්ථයන් ඉටුවුනායි කියා සිතන මේ ගීතය ගයන පියාට මම හිස නමා ආචාර කරන්නේ ඔහු මෙන් මමත් මගේ දරුවා රේස් එකකට හුරු නොකරමියි අධිෂ්ථානයෙන් . .


මේ ගීතයත්, ගීතය ගැන මගේ අටුවාවත් වෙන වෙන වල්පලුත් මේ සැම ලියවුනේ අද විශෙෂ දවසක් නිසාවෙන් . . . මගේ බ්ලොග් එක කියවන ඔයාල හැමෝම කලින් කියවන්න ඇතිනේ මගේ "විරුල් නොහොත් සොඳුරු ත්‍රස්තවාදියා" ගැන මම දවසක් ලියපු සටහන් . .. නොකියවපු කෙනෙක් ඉන්නවනම් මෙන්න මෙතනින් ඒ ලිපියත් කියවලා බලන්නකෝ . .. ඉතිං අද මගේ ඒ විරුල් නොහොත් සොඳුරු ත්‍රස්තවාදියාගේ තුන්වෙනි උපන් දිනේ . . .

ගිය අවුරුද්දේ දෙවෙනි උපන් දිනේට අපි ලංකාවේ සිටිය නිසාවෙන් ගල්කිස්සේ ළමා නිවාසයකට දානයක් දෙන්න පුලුවන් වුනා . . . ඒ ගැනත් ලිපියක් "ළමා නිවාසයේ අකුරු ඉගැන්වූ යුවතිය" නමින් ලිව්වා . . කැමති කෙනෙක්ට මෙන්න මෙතනින් ඒ ලිපියත් කියවන්න පුලුවන් . . .

ලංකාවේ නොසිටියා වුනත් විරුල්ගේ හැම උපන්දිනයකටම දානයක් දෙන්න එදා භාරගත්තේ පුතාගේ උපන් දිනයට පමනක් නොව හැකි සෑම මොහොතකම ඒ ළමා නිවාසය වෙනුවෙන් යමක් කල යුතුයි කියා හැඟීමෙන් වුවත්. . .පවතින ආර්ථිකයත් සමඟ මාසික ණය වාරික, නඩත්තු, ජීවන වියදම්, නොරටක වසන නිසාවෙන් ජීවිතයේ සතුට විනෝදාස්වාදය වෙනුවෙන් වැය කලයුතු විය හියදම් ආදී සියලු දේත් සමඟින් වසරකට එකක් පමනක් කල හැකි තත්වයකට පත්වීම උපේක්ෂාවෙන් දරා ගන්නවා හැර වෙන කල හැකි නැති නිසා අනාගතය සුභ වෙන දිනක් දෙස බලාපොරොත්තු තබා ගෙන සිටින එක හැර වෙන විකල්පයක් නැති තරම් . ..

කෙසේ නමුත් මෙදා සැරේත් උපන් දිනය වෙනුවෙන් දානයක් දෙන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා මෙහේ ලඟපාත ඉන්න මිතුරෝ දෙතුන් දෙනාත් නදීෂාගේ මල්ලීත් ඔහුගේ බිරිඳත් ගෙන්න ගෙන කේක් එකක් කපලා පුංචි සාදයකුත් පවත්වන්න බලාපොරොත්තුවෙන් ඉන්න නිසා හෙටත් ආපහු මගේ බ්ලොග් එක පැත්තේ ඇවිත් මේ ලිපිය කියවන්න එනවානම් අද හවස පාර්ටියේ පින්තූර ටිකකුත් මේ ලිපියට එකතු කරන්න පුලුවන් . .. .

එහෙනම් හැමෝම ඔන්න මගේ කොලු පැටියට අමතක නොකර සුභ පතලා යන්න හොඳේ . . මම එකා ලොකු වුනාම ඒවා පෙන්නම් . . . එහෙනම් සුභ දවසක් වේවා කිව්වා හැමෝටම . .. .

අර උඩින්ම මම සඳහන් කල ගීතය ගයන්නේ සුනිල් එදිරිසිංහ මහතා. මියුරු ගී අඩවියේ ඇති ගීතය මෙන්න මෙතනින් ගිහින් අහන්න පුලුවන්







Tuesday, August 24, 2010

චූචි චීචර්ට වෙච්චි දේ . . . හෆොයි . . .!!




අර මම කලින් ලියපු ඇටසැකිල්ලේ කතාව මතකයි නේද . . ?, ඇයි අප්පා අර හදිසියට ඇටසැකිල්ල කියලා ලියන්න ගිහින් පලමු දවසේ නිසා චකිතයට පොඩි අකුරු ටැපලිල්ලක් වෙලා අකරතැබ්බයකට මූන දුන්නු ටීචර්ගේ කතාව . . හරි දැන් මතකයිනේ මතක නැත්නම් මෙන්න මෙතනින් ගිහින් ඒක බලලා එන්න . . .

. . . . . .

හරි හරි . . . අද මම කියන්න යන්නේ ඒ ජාතියෙම තවත් ටීච කෙනෙක්ට වෙච්චි තවත් අකරතැබ්බයක් ගැන කතාවක් . . .

මේකත් මම ඇහුවේ දැක්කේ කොහේදිද කියලා නම් ඉතිං හාංකවිසියක මතකයක් නෑ ඕන් . ..

. . . . . .. . . .. . ..

හරි කතාවට බහිමුකෝ දැන් . . .

ඔන්න තවත් අලුත් ටීච කෙනෙක්ට මූලික පත්වීම ලැබුනලු බොහෝම දුෂ්කර පලාතක

ඉතිං මේ ටීචත් සූට් කේස් එකකට ඇඳුම් කැඩුම් ටික සාරි හැට්ට ටික අඩුක් කරගෙන කොලඹින් නැග්ගලු ටීචගේ ඉස්කෝලේ තියෙන පැත්තේ ටවුන් එකක නතර කොරන බස් එකකට.

ඒ බස් එක හතර වරම් ගහලා ගහලා ටවුන් එකේ නවත්තන කොට හොඳටෝම හවස් වෙලාලු.

බැහැපු ගමන් චූටි ටීචර් විපරම් කලාලු ඉස්කොලේ තියෙන ගමට යන බස් එක ගැන . . .

මනුස්පයෙක් පොඩි හුංඩුවක් වගේ වෑන් කට්ටක් පෙන්නලා කිව්වලු "ආං නෝනේ ආං අර බස් එක තමයි ඔය ගමට යන අන්තිම බස් එක . . .” කියල . .

අපේ චූටි ටීචත් එක අතකින් සාරියත් පැත්තකින් උස්සගෙන අනිත් අතින් සූට් කේස් එකත් උස්සගෙන දුවලා දුවලා ගිහින් නැග්ගලු අර මොරගහ හේනේ පොල් පටෝපු බස් එක වගේ බස් එකට

දන් මේ ටීච කොන්දොස්තර ළමයට කියලා ඉස්කෝලෙට හැරෙන හන්දියෙන් බැස්සලු . . . ඒත් එක්කම තව අවුරුදු 3ක විතර පුංචි කොලු පැටියෙක් වඩා ගත්තු අම්ම කෙනෙකුයි කොලු පැටියගේ අප්පච්චි කියලා හිතන්න ඇහැක් මනුස්සයෙකුත් බැස්සලු.

බැහැලා බැලින්නම් හතර අත කට්ට කලුවරයිලු.

ටීචර් අර මනුස්ස පරාන දෙකෙන් ඇහුවාම ඉස්කොලේ තියෙන්නේ කොයි හරියෙද කියලා අර කොලු පැටියගේ අප්පච්චි කිව්වලු "අනේ නෝනේ ඉස්කෝලේට මෙතන ඉඳන් මයිල හතරක විතර දුරක් යන්ට වෙන්වා නොවෑ . . " කියලා

ඒ මනුස්සයා එක පාරටම මයිල කිව්ව ගමන් ටීචර්ව පොඩ්ඩක් අන්දොස් උනු බව දැක්ක ගෑනු කෙනා " ඒ කිව්වේ නෝනේ මේ හැතැප්ම හතරක්" කියලා මනුස්සයගේ කතාවට ගෑනු කෙනා නැටි කෑල්ලක් එල්ලුවලු.

"මේ අපේ ස්කෝලෙට අලුතෙන් එන ගුරුතුමී වෙන්ටැ . . . සතා සරුපයියා හක්කලන් කොරන මේ වෙලාවේ ගුරු නිවාසෙට යන්ට ඇහැකිය . . ?? ඇහැක් විදිහට අද අපේ දිහා ඉඳලා හෙට උදානැක්කේ ගුරු නිවාසෙට යන්ට බැරුවායැ" කියලා අර ගෑනු කෙනා මනුස්සයගෙන් අවසර ඉල්ලන බැල්මක් දාගෙන කිව්වලු.

"අනේ අක්කේ ඒක නම් ලොකු උදව්වක්" කියලා ටීචර් ස්තූතිපූර්වක බැල්මක් දෙන්නටම දැම්මලු.

කොහේදෝ තිබිලා හුලු අත්තකුත් පත්තු කරගෙන තුන් හතර දෙනා යන ගමන් අර මනුස්සයා "හැබැයි නෝනේ ඒ වුනාට අපේ ගෙදර එහෙමට ඉඩ පාඩු නම් නැතෙයි" කියලා කිව්වහම

“කමක් නෑ අයියේ මට අද රෑට විතරයිනේ කියලා ටීචර් ඒක ශේප් කලාලු.

දැන් ඉතිං ඔන්න කට්ටියම ගෙදරට ආවලු.

කටු මැටි ගහපු මේ ගෙදරට තියෙන්නේ එකම එක කාමරයයිලු. කනු හිටෝපු පිලක් දාපු පොඩි ස්තෝප්පුවේ පැලළි දොරෙන් ඇතුල් වුනාම මේ කියපු කාමරේ ඉන් එහා තව පැලළි දොරක් ඇරියාම ගෙට එහාට වෙන්න තියෙන කුස්සියලු. කට්ට කලුවරේ නිසා ටීචර්ට මේ කිසි දෙයක් හිතා ගන්නත් බෑලු.

ගෙදරට ඇවිත් අර ගෙදර ගෑනු මනුස්සයා ටීචර්ව කාමරේට එක්ක ගිහින් ඇඳුම් මාරු කරගෙන ඇවිත් මූන කට ඩිංගක් හෝදගෙන කෑවායින් නොකෑවයින් නිදා ගන්නලු ලෑස්තිය.

කොලු පැටියගේ අම්මයි තාත්තයි කාමරේ පැදුරක් එලලා හෙලිකොට්ටෙන් නිදාගෙන හිටපු කොලු පැටියව පැදුරේ තියලා "ගුරුතුමී එහෙනම් මේ කාමරේ තියෙන අපේ එකම ඇඳේ නිදා ගන්ට . . අපි දෙන්නා ඉස්තෝප්පුවේ පැදුරක් දාගෙන නිදා ගන්නම්. කොලු පැටියා ඉස්තෝප්පුවේ නිදා ගත්තොත් පිනී බායිනේ . . ඒක නිසා ඌව මෙතන බිමින් නිදි කලා " කියලා ටීචර් ස්තූති කරද්දී ගෙදර තිබුනු එකම කුප්පි ලාම්පුවත් අරගෙන කාමරෙන් ඉස්තෝප්පුවට යන්න තිබුනු පැලැළි දොරත් වහගෙන ගියාලු.

කට්ට කලුවරේ කොහු ලනු මෙට්ටේ එහාට මෙහාට ඇඹරී ඇඹරී ඉන්නවා මිසක් ටීචර්ට නින්ද අහලක වත් නෑලු . . .

ඔහොම පැයක් දෙකක් ඉන්න කොට අපේ මේ ටීචර්ට එනවලු අම්බානක පිප්පි බරක් . . .

මේ කෑලි කපන්න පුලුවන් කලුවරේ කාමරේ දොරක් කොහේ තියෙයිද කොහාට කියලා යන්නද කියලා නොදන්න ටීචරුත් ඉවසගෙන ඉන්නවලු දැන් එලිවෙයි දැන් එලිවෙයි කියලා . . .

ම්ම්හූ එලිවෙන පාට කෙසේ වෙතත් තව ඉවසගෙන හිටියොත් මුත්‍රා බොක්ක පැලයි වත්දෝ කියලා හිතලා කොහොමද මේ බරෙන් නිදහස් වෙන්නේ කියලා හිත හිත ඉන්න ටීචර්ගේ ටිකිරි මොලේට ආවලු නියම අයිඩියා එකක් . ..

ටීචර් කලුවරේ අත ගගා ගිහින් අර කොලු පැටියව උස්සගෙන ඇවිත් තිබ්බලු ඇඳ උඩින් . .. තියලා කොලු පැටියා නිදාගෙන හිටපු පැදුරේ පිප්පි කලාලු . . . "දැන් හරි දැන් ඉතිං මේක වැටෙන්නේ මේ කොලු පැටියගේ එකවුන්ට් එකටනේ" කියලා හිතලා ආපහු කලුවරේ අත ගගා ඇවිත් කොලු පැටියව ආපහු පැදුරෙන් තියන්න ඒකාව වඩා ගන්න හදනකොට ටීචර්ට ආපහු පාරක් චූ බර හැදෙන වැඩක් වෙලාලු . ..

පොඩි එකා ඇඳේ කක්කි දාලලු . . ..

. . . ..

pic taken from : http://lagringasblogicito.blogspot.com/

Sunday, August 15, 2010

හාමුදුරුවනේ දනක් බෙදන්නට හයි හත්තිය නෑ දැන් . . . !



"ට්‍රී. .. . න්"

"හ . . . ලෝ . .. "

"අනේ අයියා ඔයාලා තාම නිදිද . . . සමාවෙන්න ඇහැරෙව්වට"

"කවුද මේ . . . "

"මම චාන්දනී, මංජුලගේ වයිෆ්"

"ආ නංගී . . කියන්න . . ."

"අනේ අයියා අද රිවිර පත්තරේ බලනකොට දැකපු ලිපියක් හින්දයි අයියට කරදර කරන්න උනේ නිවාඩු දවසේ උදේ පාන්දරම . . "

“ඒකට කමක් නෑ නංගී. මොකද්ද සීන් එක”

"අපේ ගමේ අපි දන්න කියන දුප්පත් පවුලක ගෑනු ළමයෙක් ගැන පත්තරේ තියෙනවා දැකලා මම එහාට කෝල් කලා . . .අනේ අයියා ඒ ගෑනු ළමයා කැම්පස් යන කෙනෙක් . . . වකුගඩු දෙකම නරක් වෙලා ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්න ඕන කියලා දැන් හොස්පිටල් එකේලු ඉන්නේ . . ."

"ඒ කියන්නේ දැන් ඔපරේට් කරන්නද හදන්නේ"

"නෑ ඒකට එයාට මැච් වෙන වකුගඩුවක් ලැබෙන පාටක් තියෙනවලු. හැබැයි ඒ වකුගඩුව දෙන කෙනාට ත් රුපියල් ලක්ෂ තුනක්ද කොහෙද දෙන්න ඕන වගේ කතාවක් කිව්වා"

"අද කාලේ මිනිස්සු හරිම අමාරුවෙන්නේ නංගී ජීවත් වෙන්නේ ඉතිං ඒ වකුගඩුව දෙන කෙනාත් ඒ ලැබෙන සල්ලි වලින් පවුලේ අය වෙනුවෙන් මොනව හරි යමක් කරන්න ඉන්නව වෙන්න පුලුවන් . . ඒක නිසා ඒ මනුස්සයා ගැන අහිතක් හිතන්න නරකයි"

"වැඩේ කියන්නේ අයියා ඔපරේට් කරනකම් සතියක්ලට සැරයක් විතර ඉස්පිරිතාලේ යන්න ඕනළු . . එකට එක පාරකට රුපියල් 9000ක් විතර වියදම් වෙනවළු. මේ පවුලේ අය ගැන මම දනන්වා අයියා එයාල එහෙමට වත්කමක් තියෙන අය නෙමෙයි. අපි කට්ටිය එකතු වෙලා කීයක් හරි එකතු කරල යවමුද අයියා . .. "

"හරි මම කැමතියි නංගී"

"තව එකක් අයියා, ඉස්සර ඉඳන්ම මේ වගේ වැඩ ඕගනයිස් කලේ . . ඔයාටම බැරිද මේ වැඩේත් පොඩ්ඩක් ඕරගනයිස් කරලා කට්ටියට කෝල් කරලා වැඩේ කෙරෙන විදිහකට වැඩේ සංවිදානය කරන්න අයියා . .. "

දැනට සති තුනකට පමන කලින් සිකුරාදා උදේවරුවක ලැබුනු දුරකතන ඇමතුමෙන් පසු මුලින්ම මූනු පොතේ මේ පනිවිඩය සියලුම මිතුරු මිතුරියන් හට දන්වා දෙවෙනුව මා දන්නා හඳුනන මීට කලින් මේ වගේ යහපත් කාර්‍‍යන්ට හවුල් වුනු මිතුරනුත් ඊට අමතරව බ්ලොග් හරහා අඳුන ගත්තු මිතුරු මිතුරියනුත් අතර මේ පනිවිඩය බෙදා හැරීමෙන් පසු අද හවස් වන විට මිතුරු මිතුරියන්ගේ කීප දෙනෙකුගේ උපකාරයෙන් මේ වන විට ලංකාවේ මුදලින් රුපියල් 60,000කට කිට්ටු මුදලක් එකතු වී ඇති බව චාන්දනීත් අනෙක් පසින් මුදල් බැර කිරීම සඳහා ගිනුම් අංකය හා සියලු සහයෝගය ලබා දෙන මනෝජ් මල්ලීත් දැනුම් දෙනු ලැබූ විට දැනුනේ සියුම් සතුටක් හා මුසුවුනු වේදනාවක් . . .

ඒ වේදනාව තුලින් මට ඇසුනේ මාලනී බුලත්සිංහල මහත්මිය ගායනා කරපු ගීතයක්.

"හාමුදුරුවනේ දනක් බෙදන්නට හයි හත්තිය නෑ දැන්
ඉස්සර නම් දවසක් ඇර දවසක් පන්සල් එනවා මං
දැන් කොහොමද ලොකු හාමුදුරුවනේ කරන්නේ ඒ වගේ ඉතින්
රස්සාවක් නැති දරුවගේ දරුවොත් රකින්නේ මං නේ දැන් . . . !"

මේ උපාසකම්මා "දනක් බෙදන්නට හයි හත්තිය නෑ දැන්" කියන දෙයින් අදහස් වෙන්නේ ඇය වයසට ගොස් නිසාවෙන් හයි හත්තිය නොමැති බව නෙමෙයි, ඉස්සර කාලේ වගේ නමෙයි දැන් ජීවිතේ පවතින ආර්ථික අපහසුකම් එක්ක ඉස්සර වගේ පිනට දහමට විය පැහැදම් කරන්න ශක්තියක් නැති බව බව මේ ගීතයෙ සිව් වන පදය අහන කොට ම අපට වැටහෙනවා.

මටත් හිතුනේ අපි හැම දෙනාටමත් වෙලා තියෙනෙන මේ දේම නොවේද කියලා . . .

ඉස්සර ඒ කිව්වේ මීට අවුරුද්දකට දෙකකට කලින් මේ වගේ දෙයක් වෙනුවෙන් අපි මුදල් එකතු කරද්දී දැන් වගේ දෙතුන් පාර දුරකතන ඇමතුම් දෙන්න අවශ්‍ය වුනේ නෑ . . .

ඒත් ලෝක මූල‍ය අවපාතය අපි ඉන්න මේ රටට තදින්ම බලපාලා හැමදෙනාගේම වගේ රැකියා අහිමි වෙලා, ගොඩක් අඩු පඩි වලට නැවත් රැකියා සොයාගෙන, ඒ අතරේ රැකියා අහිමි නොවුනු අයගේ වැටුප තදබල ලෙස සීයට ලොකු ගනන් වලින් අඩු කලාට පස්සේ කලින් එක්තරා මුදලකට සරිලන ලෙස ජීවත් වෙන්න හුරුවෙලා ඉඳපු අපි හැමෝම ඊට වඩා අඩු මුදලකට ජීවත් වෙන්න උත්සාහ කරද්දී (වැටුප් අඩු කලාට බඩු මිල වත් බැංකු වලින් අරන් තිබුනු ණය වල වරික මුදලේ වටිනාකම වත් අඩු නොවුනු නිසාවෙන් සහ ලංකාවේ මෙතුවක් කරගෙන ආ නඩත්තු සඳහා යවන මුදල් ප්‍රමානය දිනෙන් දින වැඩි වනවා මිස අඩු වීමක් නැති නිසාවෙන්) මාලනී බුලත්සිංහල මහත්මිය කියන අයුරු ඉස්සර වගේ දන් පින් කරන්න හයි හත්තිය නැති එක ගැන කනගාටු වෙනවා හැර වෙන මොනවා කියලා කරන්නද කියලා හිතෙනවා.

දුමී මට ඔහුගේ හිතවතෙකුගේ (ජෝර්ජ් අයියගේ)පරන ලැප්ටොප් පර්ඝනකයක් ලබා දීපු වෙලාවේ ඒකට ස්තූති කරලා මම මූනු පොතේ දාපු සටහනට රන්දිල් නංගී කියලා තිබුනු "බත් ඇති තැනටමයි කොස්" කියන කොමෙන්ටුවට දුමී දුන්නු "අපි කන හැටි ලිපා දනී" කියන පිලිතුර දැක්කාම මට හිතුනේ ඒක තමයි ලබා දෙන්න පුලුවන් නියම පිලිතුර කියලයි. මොකද ලංකාවේ ඉන්න අය (පිට රටක වැඩ නොකරපු අය ) ගොඩක් අය හිතන්නේ පිට රට ඉන්න අය සුරපුරයක ජීවත් වෙනවා . . . එහෙම නැතිනම් සල්ලි ගස් හිටවලා තියෙන දිහාක ජීවත් වෙනවා . . එයාලට තියෙන්නේ ඕන වෙලාවට ඒ ගහ යටට ගිහින් ගහ පොඩ්ඩක් හොල්ලන එක විතරයි කියලා (අපේ අම්මයි තාත්තයි උනත් හිතන්නේ එහෙමයි )

කොහොමින් හරි අපි අමාරුවෙන් එකතු කර ගත්තු මුදල් එයාලගේ ගිනුම් අංකයට යවන්න හිතලා චාන්දනී නංගී ඒ ගෙදරට ආපහු දුරකතන ඇමතුමක් ලබා දුන් වෙලාවේ ඒ අය කියලා තියෙනවා තව සතු තුනකින් හෝ මාසෙකින් විතර පස්සේ මුදල් ලැබුනත් ඇති කියලා . . .

අහ් තව දෙයක් ඉතාලියේ වැඩ කරන කෙනෙකුගේ තාත්තා කෙනෙක් මහ රෝහලට ගිහින් මේ සොයුරියගේ දුක සැප බලා ඒ වෙලාවේම රුපියල් 15,000ක පරිත්‍යාගයක් කරලා කිව්වලු මූනු පොතේ තිබුනු පනිවිඩේ දැකලා අර ඉතාලියේ වැඩ කරන ඔහුගේ දරුවා කිව්ව කියලා ගිහින් පුලුවන් උපකාරයක් කරන්න කියලා . .. .

ඉතිං ඒක ඇහුවට පස්සේ හා තව සති තුනක්,මාසයක් කල් තියෙනවා කියලා තේරුනාට පස්සේ මම හිතුවා ආපහු පාරක් මේ උදව්වට සම්මාදම් වෙන්න කියලා මගේ බ්ලොග් එකේත් දැම්මොත් පුලුවන් කමක් තියෙන අය කවුරු හරි උදව් කරාවී නේද කියලා . . ..

ඉතිං මගේ ඉල්ලීම ලොකු දනක් බෙදන්නට හයි හත්තිය නැති උනත් තියෙන හත්තියේ තරමින් පොඩි හරි දනක් බෙදන්න කැමති අය ඉන්නව නම් පොඩියක් හිතලා බලන්න . .. .

(ප.ලි. ලංකාවට මෙහෙන් මුදල් යවන්න ඩිරාහ්ම්ස් 15ක් යන නිසා ඒ මුදලත් මෙහේ එක්කෙනෙක් එකතු කරලා එක පාරට යවන්න ත් මුදල් යවලා ඉවර උනාට පසු රිසිට් එක සියලු දෙනාට මේල් කරලා යවන්නත් අපි හිතුවා. . .ඒක නිස (UAE) ඩුබායි, අබුඩාබි ඉන්න තව කවුරු හරි මේකට එකතු වෙන්න කැමති නම් 050-4514671 කියන අංකයට දුරකතන ඇමතුමක් දෙන්න කියලා ඉල්ලා සිටින්නත් කැමතියි.



නයෝමි ගැන සඳහන් රිවිර පුවත්පතේ ලිපිය සඳහා සබඳියාව මෙතනින්

Pic taken from : http://www.dhammakaya.net/events/501104_kathina.php

Thursday, August 5, 2010

ඇටසැකිල්ල



මගේ බ්ලොග් එකේ තියෙන වෙන්න හිනා කරදර ඉවත දමා කියන කැටගරි එකට යමක් ලියන්න ඕන කියලා දවස් ගානක් හිත හිත හිටියා.

ම්හු කෙටි ඒත් හිනා යන දෙයක් මතක් කර ගන්න අමාරු වුනා.

මාගල් වගේ දිග කතා නම් තියෙනවා ඒත් කෝ ලියන් න වෙලාවක්.

ඔහොම ඉන්න කොට ඊයේ මගේ සොඳුරු ත්‍රස්තවාදියා උඩට එකක් අඳින්නේ නතුව කටු බොඩිය පිටින් ඉන්න්කොට අපේ ගෙදර උන්දෑ "බලන්නකෝ මේකගේ හැටි ඇටසැකිල්ල විතරයි" කියලා කියපු ගමන් සං ගාල මට පරන කතාවක් මතක් වුනා.

හැබැයි මේ පරන කතා කියද්දී දාන කොන්දේසිය මතකයිනේ කවුද මේක කලින්ම කිව්වේ කොහෙන්ද මේක හොයා ගත්තේ ඔන්න ඕව්ව අහන්න බෑ හරිය මොකෝ මට ඒවා මතකම නෑ . ..

හරි මෙන්න කතාව

අපි ස්කෝලේ පහේ හයේ වගේ ඉන්නකොට (මතක හටියට) එක පාරක් රුපියල් දාහේ පඩියට වැඩකරන්න ගුරුවරු බඳවා ගත්තා.

මේ ගුරුවරු ගුරුවරියෝ ගොඩක් වෙලාවට හරිම තරුණ අය. මේ අය අයට ඒ කාලේ කොල්ලෝ කෙල්ලෝ කිව්වේ දාහේ කෑලි කියලයි මට මතක හැටියට.

අපේ ස්කෝලේටත් ආවා මේ දාහේ ගුරුවරියෝ කීපදෙනෙක්ම ඒ අයගෙන් සමහර අය හරිම ලස්සන අක්කලා.

අපේ ස්කෝලේ පිරිමි පාසලක් නිසා අපේ ලොකු අයියලා ඉස්සර මේ ලස්සන ටීචර්ස්ලාට හරියට උදව් කලා අපි දැක්කා. කොච්චරද කියනවනම් මේ අයට එක පංතියක ඉඳලා තව පන්තියකට තනියෙම යන්නවත් දෙන්නේ නෑ වැටෙයි එහෙම කියලා . . හික්ස්

අතුරු කතා එපා . . . ආපහු කතාවට එමු.

හරි ඔන්න ඉතිං මේ වගේ එක ටීච කෙනක්ට ලැබුනු පත්වීම මිශ්‍ර පාසලක්ලු. ලැබුනු පන්තිය හත වසරලු. විශය සෞඛ්‍යලු.

ඔන්න ඉතිං මේ ටීච පලමු දවසේ කකුල් දෙකත් මැඩ්ලින් ගහ ගහ ගියාලු පංතියට. ළමයින්ට ආයුබෝවන් ළමයි කියලා සුභපතලා එහෙම . .

"ළමයි මම තමයි අද ඉඳලා ඔයාලගේ සෞඛ්‍ය ටීචර් . . . මගේ නම . . .. .. ගම . .. . . බ්ලා . . . බ්ලා . . . බ්ලා . . . කියලා

"හරි ඔයාලා මේ පංතියට වෙනකම්ම සෞඛ්‍ය ඉගෙන ගත්තානේ . . අපි බලමු ඔයාලගේ සෞඛ්‍ය පිලිබඳ දැනීම" කියලා කළු ලෑල්ලේ තඩි පොල් ගෙඩි අකුරින් ලිව්වලු "ඇටසැකිල්ල" කියලා . ..

ලියලා ඉවරවෙලා මේසෙට හේත්තු වෙලා ළමයි දිහා හිනාවක් එහෙම දාගෙන කිව්වලු හරි දැන් මේ ළමයි මේ ගැන ඔයාලා දන්න දේවල් අහලා තියෙන දේවල් . . දැකලා තියෙන දේවල් කියන්න කියල . . .

පංතියේ ගෑනු ළමයි ඔක්කෝම ඇස් උඩ තියාගෙන බලන් ඉන්නවලු . .. කොල්ලෝ අත් වලින් කටවල් වහගෙන හිනාව හිර කරගෙන ඉන්නවලු . . .

ටීච හිතුවලු "හහ් . . මුන් මේ මගේ පලවෙනි දවස හිංදා මට රැගක් දෙන්න වෙන්න ඇති හදන්නේ" කියලා හිතලා . . ."ඔයාල මෙච්චර කල් මොනාද ඉගෙන ගත්තේ . . කොයි ලෝකෙද ජීවත් වුනේ" කියලා ටිකක් තදින් ඇහුවලු . ..

ඒත් නෑළු කිසි වෙනසක් . . . ආපහු ටිකක් තරහින් වගේ කිව්වළු "මේ ගැන කිසි දෙයක් කියන්න දන්න එක ළමයෙක් වත් නැද්ද මේ පන්තියේ" කියලා . . .

ඔන්න ගෑනු ළමයින්ගේ පැත්තේ එක කටකාර වගේ කෙල්ලෙක් නැගිට්ටලු . . .

නැගිටලා වට පිට බලලා කිව්වලු . . .

"ටීච ඕක අපේ ආච්චිට තිබුනේ නෑ . . ඒක නිසා අපේ අම්මට තිබුනෙත් නෑ . . අම්ම්ට තිබුනේ නැති නිසා මටත් නෑ . . . ඒත් . . . ඕක අපේ සීයට තිබුනා . . . ඒක නිසා අපේ තාත්තටත් තිබුනා . . . තාත්තට තියෙන හින්දා තමයි මල්ලිටත් තියෙන්නේ කියලා අපේ අම්මා නිතරම තාත්තට බනිනවා මට ඇහිලා තියෙනවා" කියලා කිව්වලු . .. .

පන්තියේ කෙල්ලෝ කොල්ලෝ ඔක්කෝම හූ කිය කිය උඩ පැන පැන හිනා වෙන්න ගත්තලු . ..

ටීච ෆුල් අඤ්ඤකොරොස්ලු කෙල්ලගේ මේ කොහේටවත් නැති උත්තරේ හින්දා . . . .

දැම්මලු හීනියට දාඩිය පාරකුත් . . .

සාරි පොටෙන් දාඩිය පිහිදගෙන ආපහු බැලුවලු කළු ලෑල්ල දිහා . . .


මල කෙලියයි . . .


ටීච "ඇටසැකිල්ල" කියලා කළු ලෑල්ලේ ලියද්දී චකිතය හින්දා පොඩි ටැපලිල්ලක් වෙලාලු

Tuesday, August 3, 2010

තුසිතයට මා කැඳවා ගෙන ගිය මට ලැබුනු නිධානය



විශ්වාස කරනවද, මට දවසක් නිධානයක් ලැබුනා.

ලැබුනා කිව්වට මේ ඉබේ පහල වුනා නෙමයි මගේ දයාබර මිතුරු ලළන්ත මළයා මට තෑගි කලා.

"අයියේ මේක මම ලඟදී ගත්තේ. . . අයියා මේ වගේ ඒවට ගොඩක් කැමතියිනේ . . . ඔයා මේක තියා ගන්න. . "

කියා කොපියක් ලඟතබා ගන්නේ වත් නොමැතිව ඔරි"ම"ජිනල් එකෙන් ඔහු මිලදී ගත් අපූරුම අපූරු සී ඩී තැටියක් අබුඩාබි සිට ඩුබායි ගොස් නයිට් පාකින් වලට දවසක් ඔහුගේ කාමරයට ගිය වෙලාවක පැකින් කඩපු ගමන් ම මට තෑගි කලා. (මගේ දයාබර මිතුරු කැල ජාතිත් වාසනාවන්)

ඒ නිධානය මගේ මනුස්ස කමට ත්‍යාගයක් ලෙස ලැබුවා කියා කියන්න මම හදිස්සි වෙන්නේ නැත්තේ එය ඇත්තම නොවන නිසා. ඇත්තෙන්ම එය මට ලැබුනේ සොයුරු ලළන්තගේ පරම පිවිතුරු පරිත්‍යාගශීලී හදවතට පින්සිදු වන්න කියා කීවොත් එයයි නිවරදි . .. .



ඉස්සර මම ඩුබායි ඉන්න කාලේ නිතර අහන හිංදි රේඩියෝ චැනල් එකක මගේ ප්‍රියතම නිවේදිකාව "ක්‍රිතිකා" උදේ පාන්දර ඈ මෙහෙයවන වැඩසටහනට සවන් දෙන මට තිබුනු ලොකුම ප්‍රශ්නේ නිදිමත බේරෙන උදේපාන්දර ඈ ඒ තරම් ප්‍රහර්ශයකින් උද්දාමයකින් කිලිපොලායන සතුටකින් වැඩසටහන මෙහෙයවන්නේ කෙසේද යන්න.

මිතුරන් සමඟ ඒ ගැන කතාබහ කරද්දී මගේ උපකල්පනය කිසිවෙක් නොසිතන දෙයක්

"මම නම් කියන්නේ මචංලා ඔය ක්‍රිතිකා උදේ නැගිට්ට ගමන් හරි රෙකෝඩින් ස්ටුඩියෝ එකට එන ගමනේදි හරි පස්ස පැත්තේ හෙනම සැර මිරිස් කරලක් ගහගෙන ඉන්නවා වෙන්න ඕන"

දැං ඔයාලා අහන්න එපා මම කවදහරි එහම ගහගෙන ඉඳලා තියෙනවාද කියලා හරිය . . !@#$%

මට තිබුනු ප්‍රශ්නේම තිබුනු ප්‍රේක්ෂකයෙක් දවසක් ක්‍රිතිකාගෙන් දුරකථන මාර්ගයෙන් අහද්දී ඈ දුන්නු පිලිතුර තමයි . .

"මගේ ලඟ විශේෂ සී ඩී එකක් තියෙනවා. මම හැමදාම උදේට ඔෆිස් එනගමන් ඒ සී ඩී එක අසමින් තමයි එන්නේ. ඒ සී ඩී එක තමයි මාව මේ තරම් ප්‍රබෝධයෙන් තියන්නේ කියලා.

ඒක අහපු දවසේ ඉඳන් ඈ කිව්වේ බොරුවක් වෙන්න ඇති කියලා හිතමින් උන්නු මට මේ මා සඳහන් කල සී ඩී තැටිය ලැබුනු පසු තමයි පසක් වුනේ ඇගේ වචන කෙතරම් සත්‍යද යන්න.

. . . . . . .. . . .. . .. .. ..

මෙහි අඩංගු බෙර වාදන තාල ඇසෙන විට මට සිතෙන්නේ මා කොහේදෝ මා නොදන්නා තුසිතයකට රැගෙන යන බවකුයි එසේත් නොමතිනම් පා වී යන ලෙසකුයි. මා අසා ඇති මනෝ විද්‍යාවේදී මෝහනයට පත්කිරීම සඳහා බෙර වාදන යොදා ගන්නා මතයත් මේ තැටියට සවන් දීමේදී සිත පාවෙලා ගොස් නතර වී ගිමන් හරින තුසිතයත් එකට සමපාත වන බවක් මොහොතකට සිතුනා කීවොත් එය බොරු නොවෙයි . . . .

රසවිඳ බලන්න, මේ තැටියේ බෙරවාදන නාද මාලා සියුම් ඉඳිකටු තුඩක් වී ඒ ඉඳිකටු තුඩ ඔබේ සියළුම රෝමකූපයන් එකක් නෑර එහි මුලට වැද ඒවා විද ඒ සියල්ල උද්දීපනය කොට නැගිටුවා තබන අපූරුව.

රසවිඳ බලන්න, සාම්ප්‍රදාය්ක ලාංකික නැටුම් කලාව විචිත්‍රවත් කිරනු වස් නාද මාලා සපයන සාම්ප්‍රදායික බෙරවාදන කලාවේ ආශ්චර්‍‍යෙන් ඔබ කෙතරම් මවිතයට පතකල හැකිද කියා . . .

ඉන් ඔබ මෝහනයට පත්නොවුනේදැයි කියා මට පසුව කියන්න . . . .

කෙටියෙන් පැවසුවොත් ඇඟේ මවිල් කෙලින්වන, හිරිගඩු පිපෙන, ලේ රත්වෙන සංගීතයක් මේ නාද අසන්න ප්‍රථම මා අසා ඇත්දැයි කියාත් සැකයි.

. . . . . .. . ..

මේ නාදමාලා වල නිර්මාතෘ පාරම්පරික නාට්‍ය කලාව බොහෝ උත්සාහයෙන් රැකගන්නා මහා කලාකරුවෙක් වූ රවිබන්දු විද්‍යාපති මහතායි. ඩී. ඩී ගුණසේන, නෙලූ අධිකාරී ඇතුලු විශාල කලාකාමීන් පිරිසක් මේ උත්කෘෂ්ඨ නිර්මාණය සඳහා දායකත්වය ලබාදී තිබෙන බැව් මේ සමඟ අමුණා ඇති පින්තූර බැලීමේදී ඔබට වැටහෙනවා ඇති.



උසස් රසවින්දනයක් ලැබීම පමනක් නොව අපගේ ලාංකීය අනන්‍යතාව ලෝකයට ඉදිරිපත් කිරීමේදී මහඟු මෙහෙවරක් ඉටුකරනු ලබන සාම්ප්‍රධායික නර්ථන කලාව රැකගෙන ඉදිරි පරම්පරාවට දායාද කිරීම නම් වූ කර්ථව්‍යයේදීත් දී මේ සංයුක්ත තැටිය බෙරවාදන කලාවේ සළකුණක් ලෙස භාවිතා කල හකි බව මගේ හැඟීමයි.

ඉදින් මේ සංයුක්ත තැටිය මිලදීගෙන උසස් රසවින්දනයක් ලබන්න ඔබ තවත් පමා වෙනෙනේ මන්ද . . . මේ මහඟු කලාකෘතිය ඔබේ දූ දරුවන් ට තිලිණ කර දෙන්න ඔබ තව ත් දෙවෙනි වතාවටත් සිතා බලිය යුතුද . ..

නමුත් එකම එක ඉල්ලීමක් . . මේ සාම්ප්‍රදායික කලාකරුවන් තම ජීවිත කාලයම කැපකොට ලබාගත් විශේෂ ප්‍රාගුණ්‍යයේ බලමහිමයෙන් නිර්මිත මේ නිර්මාණය මිලදීගෙන ඔවුන්ගේ ඒ කලාවට හා කලාවට ඇති කැපවීමට දිරි දෙනු විනා එක් අයෙක් මිලදීගෙන මිලදී ගැනීමට පහසුකමක් නැති පිටරටවල ජීවත් වන අය හර සියළු දෙනාට නොමිලේ බාගත කරගතැ හැකි ලෙස නොයවන ලෙස සාම්ප්‍රදායික කලාවට හිතැති කලාකාමියෙක්, රසිකයෙක් ලෙස මා ඔබ සැමගෙන් කාරුණාවෙන් ඉල්ලා සිටිමි.

අවසන, මට ලබා දුන් මේ නිධානය වෙනුවෙන් දයාබර ලළන්ත මළයාට බොහෝමත්ම ස්තූතියි හා පිං.




අනතුරු ඇඟවීමයි!

අමතක වුනු තව දෙයක් නදීෂාගෙයි සචී ගෙයි මතක් කිරීම් නිසා දාන්න හිතුනා. . .

මේ සී ඩී තැටිය අසමින් රිය ධාවනයේ යෙදෙන්නේ බලාගෙන . . .

ඒ අනතුරු ඇඟවීම වැඩි විස්තර අවශ්‍ය නම් මෙන්න මේ ලින්ක් එකෙන් "තව පොඩ්ඩෙන් දුකාට අනිච්චාවත සංඛාරා" කියන ලිපිය බලන්න.

ඇත්තෙන්ම ඒ දේ සිදුවුනේ මේ සී ඩී එක අහගෙන යන ගමන් සිදුවුනු මෝහනය වෙනවා වගේ දේ නිසා තමයි.

Tuesday, July 27, 2010

සාහිත්‍ය ලෝකයේ සියළු නොපනත්කම් ඉවසමින් සිට ඈ අවසන් ගමන ගියාය.



පහුගිය මාසයේ දින කීපයක් අසනීපෙන් උන්නු නිසාවෙන් ලැබුනු පොඩි විවේකයේ කලින් වතාවක් කියවා තිබූ පොතක් යලිත් වරක් කියවන්න සිතා පොතත් රැගෙන සයනයේ හරි බරි ගැසුනෙමි.

පොතේ නම “ගෝ දානය” නූතන ඉන්දීය ලේඛකයින් විසින් විශිෂ්ඨතම කතුවරයෙකු ලෙස සලකන ප්‍රේම් චාන්ද් විසින් රචිත, චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි විසින් පරිවර්ථිත ශ්‍රේෂ්ඨ නවකතාවක්. පොත පතට ආදරය කරන අපි බොහෝ දෙනෙක් ආදරයෙන් වැළඳගත් පොතක් . ..

පොතේ කතෘ හා පරිවර්තිකාව පොත හරහා විවරණය කරන්න අදහස් කරන සමාජ කතිකාව කලින් වතාවේ කියවනවිට දැනුනාට වඩා විශාල ලෙස හදවතට වැදුනු බවක් දැනුනා වුවත් අද මගේ සටහනේ පරමාර්ථය පොත ගැන මට හැඟුනු දේ සටහන් කිරීම නොවේ . . . .

ඒ ගැන නුදුරු දිනෙක ලියා තබන්නම් කියා පොරොන්දු වෙන්නම්.

පොතේ පෙරවදන ලෙස එකතු කර තිබෙන සරත් විජේසූරිය මහතා විසින් දිවයින පුවත්පතට 2000-08-20 දින ලියූ ලිපිය කියවූ සැනින් එතනින් එහාට පොත කියවාගන්න තරම් ශක්තියක් නොමැතිව හදවත ගල්වූවා වැනි හැඟීමක්, එසේත් නොමැතිනම් මගේ දයාබර නැගෙනිය මා හැරදමා දුරු රටකට ගියදා දැනුනාක් බඳු ගිලින්නත් නොහැකි විසිකරන්නත් නොහැකි ගුලියක් වැනි යමක් උගුරේ සිරවුනාක් වැනි හැඟීමක් නිසාවෙන් දෙනෙතේ හා හදවතේ රැඳි කඳුලු බිඳු අතරින් ඇගේ මහඟු සත්කාරිය මගේ ජීවිතයට කෙසේ බැලපෑමක් කලාදැයි සිතන්න මා වෙහෙසුනා . . .

සෝමා ජයකොඩි, මර්ටින් වික්‍රමසිංහ, ජී බී සේනානායක, ජයකොඩි සෙනෙවිරත්නයන් ආදීන්ගේ පොත් තුලින් මානව දයාවේ වටිනා කම හා එහි ගැඹුර උගත් ලෙසින්, කරුණාසේන ජයලත් මහතාගේ පොත් තුලින් සොයුරියන්ට, මිතුරු මිතුරියන්ට ගහකොලට මුලු විශ්වයටම ආදරය කරන්න ඉගෙන ගත් ලෙස, ජයසේන ජයකොඩි මහතාගේ පොත් තුලින් ජීවිතයේ ඕනෑම කඩාවැටීමක් උපේක්ෂාවෙන් දරාගැනීමට හුරුවූවාක් මෙන් සුනේත්‍රා රාජකරුණාය්නායකගේ පූර්වජන්ම අපූර්වය පොත තුලුන් ක්‍රෝධය ඉවතලන හැටි ඉගෙන ගත්තාක් මෙන් වෙනසක් නොමැත ඇගේ අපූ ත්‍රිත්වය, ගෝ දානය හා අරණකට පෙම්බැඳ තුලින් ලද දෙයින් තුටුවන අකාරය, ජීවිතයේ සතුට ලබන ආකාරය, සොබාදහමට ආදරය කරනා ආකාරය ආදී ලෙසින් කොටින්ම ජීවිතය විඳිනා අයුරු ඉගෙන ගතිමි.

ඉදින් මා අද දින මගේ දිවියේ මේ අත්විඳින සැහැල්ලුව සතුට වෙනුවෙන් මා සදා ණයගැති අය අතර ඈත් මූලිකම ස්ථානයක හිඳින නිසාවෙන් මීට දසවසකට පෙර අප අතරින් වියෝවූ නමුත් ඇගේ මියගිය ආත්මයට ශාන්තියක් උදාවේවායි හදවතේ ගැඹුරුම තැනින් කල ප්‍රාර්ථනාවෙන් පසු මා ගෝදානය පොතේ පිටු පෙරලන්නට වීමි.

ලිපිය දිගු වුවත් ඇගේ පොත් හරහා ජීවිතයේ සතුට ලද අය විසින් කියවාවි යයි උපකල්පනයෙන් තවදුරටත් ඈට උපහාරයක් ලෙස ගෝදානය පොතේ මුලට හැඳින්වීම ලෙස එකතුකොට තිබූ සරත් විජේසූරිය මහතා විසින් 2000-08-20 දින දිවයින පුවත්පතට සැපයූ ලිපිය ස්කෑන් කර මේ ලිපියේ අගට ඇමිනීමට මා අදහස් කලෙමි.







මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails