Monday, November 23, 2009

අග පිපි මල් හෙවත් එක් සත්‍යය කතාවක් . . . ! ! !




අද මම කියන්න හදන පොත නම් ගොඩක් දෙනෙක් බලල ඇති කියල මට විශ්වාසයි . . . ඒත් නොබලපු අය ඉන්නවනම් ඒ අයට මේ පොත බලන්න කියන හැඟීමෙන් මම මේ පොත ගැන විස්තරක් කරන්න හිතුවා . . . .

චමින්ද වාසල මිතුරා දවසක් මට කමෙන්ට් එකක් දාලා තිබුනා දුකා ඇයි මේ විවාහ ජීවිතේ ගැන බය හිතෙන දේවල් ම කියන්නේ කියලා . . . .

විවාහ ජීවිතේ සතුටුදායක දෙයක් කියලා දන්න නිසානේ එහෙම නැතිනම් ඒක සතුටුදායක දෙයක් කියලා අනුමාන කරන නිසානේ හැමෝම විවාහ බැම්මෙන් බැඳෙන්නේ . . . ඒත් යම් යම් සිදුවීම්, මත ගැටීම්, සන්නිවේදන නොමැති කම්, වැරදි වැටහීම්. . . ආදිය නිසා ඒ සතුට නැතිවෙන බව මම දැකලා තියෙන නිසා, එවැනි දේවල් වලින් විවාහ ජීවිතයේ සතුට නැති කරගන්න එපා කියන හැඟීමන් විවාහ දිවියේ නියම සතුට රඳවාගෙන යහපත් දරු දැරියන් ලොවට දායාද කරමින් ප්‍රීතිමත් ජීවිතයක් ගතකරන්න පාඩම් ඉගෙන ගත හැකි දේවල් ගැන සටහන් කරන්න හිතුවේ . . .

මේ පොත බලපු මුල් දවස් වල මම හිතුවේ මේක හුදු ප්‍රභන්ධයක්, ගොතපු කතාවක් පමනයි කියලා . . . නමුත් ටික කලෙකට පසු මේ පොතේ සඳහන් වෙන ආකාරයේම සිදුවීමක් මම මගේ ඇස් දෙකෙන්ම දැක්කට පස්සේ මගේ ඒ හැඟීම දෙදරා ගියා . .

ඉන් ටික කලෙකට පස්සේ මේ පොත ඇසුරින් වසන්ති චතුරානි මහත්මිය ඒ පොතේ නමින්ම නිශ්පාදනය කරලා ඈම ප්‍රධාන චරිතය රඟපාපු ටෙලි නාට්‍යය මම එක කොටසක් වත් මඟ නොහැර බැලුවේ ඒ සැබෑ ලෝකේ දැකපු සිදුවීමෙන් මගේ හිතේ ඇති වුනු කම්පනයත් සිතේ දරාගෙන . . .( පොතක් ඇසුරින් ටෙලි නාට්‍යක් නිපදවීමේදී පොතට වඩා සාර්තක වූ මා දැක ඇති එකම නිර්මාණය ඒ ටෙලි නාට්‍යය කියා කියන්න පුළුවන් . . සමහර විට කතුවරියම නාට්‍යය පිටපත ලියපු නිසාම වෙන්න ඇති . .)

මේ පොතේ කතා නායිකාව "අමා" නීතිඥවරියක් . . . ඇගේ ස්වාමියා "අසිත" ත් නීතිඥවරයක් . . . ඔවුන් කාලයක් ප්‍රේමයෙන් වෙලිලා අමාගේ ගෙදර අයගේ අකමැත්තෙන්ම ඇගේ කැමැත්තට ඉඩදී ඔහු හා විවාහ වෙන්නේ ඔහු ප්‍රේමනීය පුද්ගලයෙක් කියා ඇගේ සිතේ ඇතිවූ හැඟීමන් . . . නමුත් අවාසනාවට අසිතට කාලයකදී කිසිම හේතුවක් නැතුව අමා ව එපා වෙනවා . . . . ඈ ඉතාම යහපත් බිරිඳක් . . . අවසානයේ ඔවුන් දෙදෙනා වෙන් වෙනවා . . .

එතැන් සිට ඇගේ ජීවිතයේ ඈ මුහුන දෙන දුක් කම්කටොළු . . . නින්දා අපහාස . . . දරුවන්ගේ ප්‍රශ්න. . . ලිංගික පීඩනය . . . යනාදී වශයෙන් මා ඉතිරි සියල්ලත් පැවසුවොත් ඔබට මේ පොත බලන්න තිබෙන උවමනාව නැතිවී යන්න ඉඩ තිබෙන හෙයින් මෙතැනින් මා මේ පොත ගැන කරන සඳහන නතර කරනවා . . .

කලින් සඳහන් කලාක් මෙන් මේ පොත් හුදු ප්‍රභන්ධයක් කියා සිතන්න බැරි ආකාරයට කිසිම සාධාරන හේතුවක් නැතුව ස්වාමියන්ට බිරිඳැන්ව එපා වෙන එකත් බිරිඳැන්ට ස්වාමියන්ව එපා වෙන එකත් ඇස් දෙකෙන්ම දැකපු මට මේ පොත ප්‍රභන්ධයක් නොව "අග පිපි මල් - එක් සත්‍යය කතාවක්" කියල අලුත් නමකින් හඳුන්වන්න තිබුනානම් කියලා හිතුනා . . .

18 comments:

  1. මට මේ ටෙලි නාටයේ DVD එකක් ලැබිලා බැලුවා. කතාවෙ කොටස් කීපයක් විතරයි ඒකෙ තිබ්බෙ. බලපු ටිකෙන්ම මට ආස හිතුනා, ඉතුරු ටිකත්් හොයන් බලන්න.(නමුත් තාම හොයා ගන්න බැරි වුනා තාම නම්)

    දැන් හිතෙනවා පොත කියවන එක හොදයි කියලා..පොත කියවලා ටෙලිය බැලුවනම් හරි ;-)

    ReplyDelete
  2. ඔය කතාව කියවද්දි මට එක වරම මහා කම්පනයක් දැනුනා.., ඒ ඉදිරියට විවාහ ජීවිතයක් ගත කරන්න වුනොත් එහි මේ වගේ හැලහැප්පීම් උනොත් මම එයට කොහොම මූණ දේවිද කියන බය අස්සෙං...,
    සමස්තයක් හැටියට අන්තවාදී ස්ත්‍රී ප්‍රකාශණ එපාවුනු කෙනෙක් හැටියට මම රාහුබද්ධව හිතාන හිටියෙත් ඒ රාමුවට කොටු කරගෙන. මගේ ඒ වැරදි අදහස ඉවත් උනේ මේ කතාව කියෙව්වා ට පස්සේ..,

    ඒ ඇය මේ කියන්නේ වර්තමාන පවුල් කුටුම්බ ඇතුලේ වෙමින් පවතින නිහඬ ඛේදවාචකයක් නිසා...,
    ස්තූති දුකා මේ ලිපිය ට.., මෙතෙක් මේ පොත නොකියවපු අයට මනා පෙරවදනක් මේ ලිපියෙන් සපයාවි..!

    ජය...!

    ReplyDelete
  3. @ LG!
    මම නම් මේ ටෙලි නාට්‍යය බැලුවේ TV එකෙන් සතියෙන් සතිය නොයිවසිල්ලෙන් ඉඳලා . . . DVD එකක් තියෙනවා කියලා දන්නෙත් මේ දැං ඔයා කිව්වට පස්සේ තමයි . . ආයේ පාරක් හොයාගෙන බලන්න ඕන . .

    ReplyDelete
  4. @ LishWish !
    මම නම් සුමිත්‍රා රාහුබද්ධ මහත්මියව ඒ විදිහට අන්තවාදී ස්ත්‍රීවාදී කෝණයකින් ලියන කෙනෙක් කියලා හිතුවෙත් නැති තරම් . . .

    කෙලිමඬල, බුමුතුරුණු, ඉටි පහන් නවකතා මම නම් ආසාවෙන් කියෙව්වේ . . . ඇය අන්තිමට ලියපු දුල දුලාය කතාව නම් මහා විකාරයක් කියලා හිතුනා . . .

    ReplyDelete
  5. දුකා... මමත් හිතන්නෙ සුම්ත්‍රා රාහුබද්ධ මහත්මිය ලියපු හොඳම නවකතාව මේක. ඇත්තම කීවොතින් මගේ පොත් එකතුවේ මම වඩාත්ම කැමතිම පොත. ඒත් මට හිතෙනවා අසිතට අමාව එපා වෙන්නෙ හේතුවක් නැතිවම නෙවෙයි කියලා. අමා වෛද්‍යසේකර කියන්නෙ බොහොම ධෛර්ය සම්පන්න බුද්ධිමත් ගැහැණියක්. අසිත අමාව කසාද බැන්දා වුනත් අසිතගේ ඇතුලු හදවත කැමති පාලි වගේ සාම්ප්‍රදායික ගැහැනියකට. ඒ නිසයි අසිතට අමාව එපාවෙන්නෙ. අමා නීතිඥ වරියක් හැටියට ඉදිරියට එනවාට අසිත කැමති නැත්තෙත් ඒ නිසා කියලා මට හිතෙනවා.
    මම හිතන්නෙ බොහෝ වෙලාවට අපිට අපිව නිවැරදිව වටහාගන්න පුළුවන් වෙන්නෙ විවාහ වුනාට පස්සෙයි. විවාහ වෙලා කලක් එකට ඉන්නකොට තමයි හුඟක් වෙලාවට තේරෙන්නෙ අපට හරියටම ගැලපෙන්නෙ මොනවගේ කෙනෙක්ද කියලා. අසිත තුලින් නිරූපණය වෙන්නෙ අන්න ඒ යථාර්තයයි.
    මට මේ පොතේ හොඳින්ම මතක තියෙන සුළු චරිතයක් තියෙනවා. නම මතක නැහැ. ඔහු තමයි අමාට තමන්ගෙ බිරිඳට හොරෙන් ප්‍රේම කරන චිත්‍ර ශිල්පියා. මම හිතන්නෙ දුකාට මතක ඇති. ඇත්තටම කීවොත් අපි අතරේ වැඩිහරියක් ඉන්නේ අසිතලාට, වීරපානලාට, නලීන් විජිතසේනලාට වඩා මේ චිත්‍රශිල්පියාගෙ ජාතියෙ අය.

    ReplyDelete
  6. @ Anonymous !
    ඇත්තෙන්ම මට හිතුනෙත් අසිත අමාට ආදරේ කරන කාලෙදි අමාගේ ඒ උසස් ගතිගුන වලට කැමති වුනාට බැන්දට පස්සේ අසිත අමාගෙන් බලා පොරොත්තු වුනේ ගතානුගතික සාම්ප්‍රදායික බිරිඳක් . . .

    නමුත් අමා අසිත වෙනුවෙන් විවාහය වෙනුවෙන් ඇගේ සියලුම දේ කැප කලට පස්සෙත් ඇයි අසිතට අමාව එපා වෙන්නේ කියන එකට නම් මට හිතුනේ විවාහ වූ මුල ඉඳන්ම අසිතට අමාගේ ස්වාදීනත්වයට ඇගේ පෞරුශත්වයට එරෙහිව අසිතගේ සිත තුල උපන් නොරිස්සුම වැඩි දියුනු වීම නිසා ම ඇය ව එපා වෙලා . . .

    අවසානයේ ඈට, ඔහු ඈට වෛර කරන බව . . නොරිස්සුම් බව දැන දැන . . . හිත රවට්ටගෙන ජීවත් වෙන්න බැරි කම නිසාම . . . ඔහු අඩු තරමින් තමා නැති විට හිතේ සන්තෝසයෙන් වත් ඉඳපුවාවේ කියන හැඟීමෙන් ඔහුගෙන් වෙන් වීම තමයි එකම තීරනය කියලා සලකලා ඒ තීරනය ගත්තා කියලායි මම හිතන්නේ . . . . .

    ReplyDelete
  7. මාත් ආසාම ටෙලියක්......
    ඒකේ ලස්සන සිංදුවකුත් තිබ්බා මතකයි...

    අනේ මන්දා දුකා, මට වෙලාවකට මාවවත් තේරුම් ගන්න බෑ.. ඉතිං මට හිතෙනවා ඒ හැම කෙනාම සාධාරණයි කියලාත් වෙලාවකට......

    ReplyDelete
  8. ඔව්..ඕක මරු ටෙලිය.මමත් තාම පොත කියවලා නෑ.ටෙලියත් මරු ඒකේ තිබ්බ නදීකගේ අහස ගුගුරා ත් මරු.බලන් යනකොට ඔක්කොම මරු,වසන්ති චතුරානිගේ ලොකු පුතාට අරගෙන හිටපු එකා ඇරෙන්න.

    මම ඉටි පහන් එකටත් ආසයි.ඒකේ හිටපු අනර්කලී දැන් කොච්චර වෙනස් වෙලාද. . .

    ReplyDelete
  9. @මුචා, සංසාරේ සංසාරේ...අනේ කෙලී සංසාරේ!

    මං නම් ඔය ටෙලිය බලලා නැද්ද ඇද්ද කියලා නම් මතක නෑ, ඒත් ඕක පටං ගන්නකොට යන තේමා තීරය මතකයි වගේ. කොහොමත් මම වැඩිය ටෙලියන් බලලා නෑනේ, බැලුවත් ඒ ගොඩාක් එව්වා ආවට ගියට බැලුවා මිස. ඒකනේ අවුල!

    පොත නම් කියවලා නෑ, කියවන්න හිතුණාට අපිට ඕන හැමදේම කරන්න බෑ කියන කියමන කියවෟමටත් ආදේශ කරන්න වෙනවා. බලමු අවස්ථාවක පොත ලැබූණ ගමං කියවන්නම් අනිවාර්යෙන්ම.

    ReplyDelete
  10. මේ විස්තරය දැක්කාම අම්මප බදින්න හිතෙන්නෙත් නෑනේ. එක අතකට රටේ ලෝකෙ වෙන දේවල්. තමන් ඒව බලල හරියට ජීවත් වෙනවනන් තමයි ජීවිතය හරියට ජයගන්නවා කියන්නේ. මම නම් කියන්නේ බැන්දොත් බැන්දා. විශේෂයෙන් ලව් කරල බදිනවනන් දෙන්නම ඒ අවධානම ගන්න ඕනේ. ප්‍රශ්නවලින් පැනල හරියන්නේ නෑ.

    ReplyDelete
  11. ඇත්තටම ඔයා හරි අයියෙ...ඒ පොතට නම දාන්න තිබුණෙ එක් සත්‍ය කතාවක් කියලා තමයි...
    ආදර ලෝකෙදි අපි දකින ජිවිතයයි විවාහ වුනාට පස්සෙ අපි දකින ජිවිතයයි ඒ සමගම වෙනස්වෙන සිතත් එක්ක සිතුවිලිත් එක්ක ගැටෙන්නට බැරිවුන තැන දිව්‍ය විමානයක් සිතන ලෝකය අපායක් වෙන්නෙ නොහිතන වෙලාවක...

    හැබැයි විවාහයට පෙර එක සැරයක් හරි මෙි පොත කියවනවනමි හැම කෙනෙක්ටම හුගාක් හොදයි කියලා මට හිතෙනවා.....

    දිනිති දීපිකා...

    ReplyDelete
  12. මම ‍ඔය පොත ගොඩක් කාලෙකට කලකදි කියෙව්වා... නාට්‍යත් බැලුවා.. ඒ නිසා මම කථාව මතකයි.. මම හිතන්නේ අපේ ආසියාතික රටවල බහුතරව ඉන්න පිරිමියාව අසිත හොදින් නිරූපණය කරනවා.. අභිමාන් ෆිල්ම් එක මතක නම් ඒකත් ටිකක් ඒ වගේ නේ.. ඒ කියන්නේ තමන්ගේ බිරිඳ තමන්ට වඩා ඉහලට යනවාට ගොඩක් පිරිමි අකමැතියි.. අකමැත්තට වඩා එතන තියෙන්නේ හීනමානය හෝ ඒ වගේ හැගීමක්.. ඒත් මං හිතන්නේ දැන් ඒක ටිකක් අඩුවෙමින් යනවද මන්දා. හැබැයි මං හිතන්නේ.. පවුල් අවුල් කර ගන්නේ නැතුව හරියට බැලන්ස් කරගන්න නම් නෝනයි මහත්තයයි දෙන්නම රේල් පීලී දෙකක් නොවී කාන්දම් දෙකක් වෙන එක හොදයි.. එහෙම නැත්තං මහ පොළවයි ගොයම් ගහයි වගේ උනත් නරක නෑ නේද? අනේ මන්දා ඉතිං දැන් අපි මෙහෙම බයිලා ගැහුවට ප්‍රායෝගිකව කරන්න ගියාම මොන ගැටළු එනවාද දන්නේ නැහැ නේ

    ReplyDelete
  13. දෙය්යෝ සාක්කි දුකා අයියේ....
    ඔප්පු කරන්න ක්‍රමයක් නැති එකයි දුක... අම්මපල්ලා මම මේ 'අග පිපි මල්' පොත ගැන බ්ලොග් පොස්ට් එකක් මගේ බ්ලොග් එකේ දාන්න ඔන්න මෙන්න සිතිවිල්ලෙන් ඉන්දිද්දියි මේ බ්ලොග් පෝස්ට් එක දැක්කේ... ( මේච්චර අපූරුවට මට ලියන්න නම් බැහැ කොහොමටවත්)

    අග පිපි මල් කියන්නේ මගෙත් ජීවිත කතාව... ඒ නිසා ඒ ටෙලි නාට්‍යයෙ තේමා ගීතයෙ කොටස් ටොයිලට් එකට ගියත් මට කියවෙනවා...

    "අහස ගුගුරා... අකුණු පුපුරා.. මගේ හිත වැන්දඹු වුනා
    වසා ගන් දොර මගේ හිමියනි, නුඹට රිසි නම් යන්ට යන්නෙමි

    කාලයක් නැති.. තාලයක් නැති.. විජිතයේ... ක‍ටු ඔ‍ටුනු හැර යමි
    කාලයක් අපි.. ආදරෙන් හිටි..සොඳුරු මතකය..අරන් යන්නෙමි

    බැන්ද රන් දම්.. මගේ ගෙල වට... මුදා විසී කොට..අඬන අහසට
    මගේ සිහිනයෙ නුඹ නිදන් කොට, නුඹට රිසි නම් යන්ට යන්නෙමි"

    මේ ටෙලිය බලද්දි කොටින්ම තේමා ගීතය යද්දිම ඇඬෙනවා... එච්චර හැඟීම්බරයි...

    දුකා... මම මේ වචනයට 200% ක් එකඟයි. අපිට පොතක සුන්දරත්වය නොනසා පොත ප්‍රති නිර්මනය කල නාට්‍ය හම්බ වෙන්නේ අතලොස්සයි... ඒ අතරින් මේ නාට්‍ය සුවිශේශයි... තව එකම නාට්‍යක් තියනව පොත තරම්ම මට සමීප වුන... "නිසල විල" ටෙලිය - ජයසේන ජයකොඩිගේ "අරලිය මල් ආරාමය" ඇසුරින් හැදුව.. ජයසේන ජයකොඩිගෙ හැම පොතක් නෑර කියවන්න පුලුවන් නම්.. "පිච්චමල"න් පටන් ගෙන "තෙර තරණය" තෙක් යන පොත් 8 ඒ අතරින් අති විශිෂ්ටයි.... ගැඹුරු ධර්මයත්,කතා රසයත්, සමාජයට අවශ්‍ය තීව්‍ර පණිවිඩයත් මේ තරම් සුමටව ලියන ලේඛකයෙක් මම නම් දැකල නැහැ.

    ReplyDelete
  14. @jeewithemal !
    ඔප්පු කරන්න ඕන නෑ නන්ංගියා මට හිතා ගන්න පුලුවන් . . . ඇත්තෙන්ම එකේ තේමා ගීතයත් හරිම හැඟුම්බරයි . . මම 100%ක් එකඟයි ඔයා එක්ක ඒ ගැන . . .
    ඇත්තෙන්ම ප්‍රසන්න ජයකොඩි (ජයසේන ජයකොඩිගේ පුතා) නිර්මානය කරපු "නිසල විල" ටෙලි නාට්‍යත් ඔයා කිව්ව වගේ පොතට අසාධාරනයක් නොකර කරපු තවත් ටෙලි නාට්‍යයක් . . .

    අනේ නංගියා . . . ජයසේන ජයකොඩි ගේ පොත් ඔක්කෝම මගේ ලඟ තියෙනවා . . පිච්ච මල පොතේ ඉඳලා තෙර තරනය පොත වෙනකම් පොත් මම ඇත්තෙන්ම නිකුත් වෙන කම් බලා ඉඳලා මිලදී ගත් කෙනෙක් . .

    මගේ ජීවිතේ වේදනාකාරී අත්දැකීම් බොහොමයක් මම සමනය කර ගත්තේ ඔය පොත් සෙට් එක නිසා . . . විශෙෂයෙන් උපේක්ෂාව කියන දේ මම පුහුනු කලේ ඔය පොත් ටික නිසා කීවොත් නිවරදියි . . .

    මට හරිම සතුටුයි මම රසවිඳි විදිහටම ඔයාත් ඒ ටික රසවිඳපු එක ගැන . . .

    ReplyDelete
  15. ජීවිතේ මල් ගෙ පොඉස්ට් එකේ ගීතය දාල තිබ්බ එඊක කියවල ඒ හර්හාම මේ පැත්තට ගොඩ වැදුනා. මට නම් මේක කියෙව්ව බවක් වත් ටෙලි නාට්‍ය බලපු බවක් වත් මතක නැහ. ඒත් මේ විස්තරත් එක්ක ගීතය අහද්දි බලන්න ඕනි කියල හිතුනා. ගීතය නම් දැනෙනවා හොඳටම

    ReplyDelete
  16. අද මේ පැය දෙක තුඅනකට කළියෙන් අග පිපිමල් ටෙලියෙ තේමා ගීතය මගේ මූණු පොතේ ඇලෙව්වා...පොත ටෙලිනාට්යය වගේම ඒ ගීතය නිසාත් මේ කතාව පුදුම විදිහට හිත කම්පා කරනවා කියලයි මටනම් දැනුනෙ..... අහන්න කැමතිනම්.....

    http://youtu.be/J8ckzT5j3xk

    ReplyDelete
  17. "පොතක් ඇසුරින් ටෙලි නාට්‍යක් නිපදවීමේදී පොතට වඩා සාර්තක වූ මා දැක ඇති එකම නිර්මාණය ඒ ටෙලි නාට්‍යය කියා කියන්න පුළුවන්."
    ඈත්තටම මගේ අදහසත් ඒකම තමා. අග පිපි මල් කියන්නේ මම කියවලා තියෙන ඉතාම වටින පොතක්.විවාහයේ බරපතලකම ගෑන හරි හෑටි තේරුමක් නෑති උනත් ඒ පොත කියවන හෑම අවස්තාවකදිම හදවතට දෑනෙන්නේ හරිම අමුතු හෑගීමක්.

    ආලයක් නෑතී තාලයක් නෑතී
    විජිතයේ කටු ඔටුනු හෑර යමී..

    නනදා මාලිනියගේ හඩ දෑනුත් ඈහෙනවා වගේ.

    ReplyDelete
  18. ආදරය විරහ ඔය හැඟීම් නොතේරෙන පොඩි එකා කාලෙ බැලුවත් අග පිපි මල් හිතේ හිටිය... අහස ගුගුරා අදටත් මගේ ප්‍රියතම ගීයක්...

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails