Tuesday, February 23, 2010

අබිසාරිකාවන්ගේ උන්මාද නෙතු අතරේ . . ..



මේක කලින් පෝස්ට් කරලා ඇනෝනිමස් කමෙන්ට් එකක් නිසා අයින් කර ගත්තු පෝස්ට් එකක්. ඒත් පස්සේ හිතුනා පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරලා ආපහු දාන්න ඕන කියලා . .. මොකද මේ කතාවත් මම අත්දැකපු එක්තරා රසබර සිදුවීමක්. . . .

මගේ මුල්ම පිට රට රැකියාව වුනේ මැද පෙරදිග රටක!

මැද පෙරදිග රටක් කිව්වාම තාමත් ගොඩාක් අය හිතන්නේ කාන්තාර වලින් ගහන, ඔටුවෝ පිටේ ගමනාගමනය සිදුවෙන, මත්වෙන ජාතියක් බෙහෙතකට වත් හොයා ගන්න නැති, ආසාවකට ගෑනු පරානයක් දකින්න නැති, දැක්කත් ඇස් දෙක විතරක් ඇරලා මුලු මූනම වහපු, ක්ශෙම භූමි වලින් වලවල් හාරගෙන වතුර බොන්න සිදුවෙන, වැරදි වැඩ කලාම කසපාර ගහන, බෙල්ල කපන, ගල් ගහලා මරන, මහා නොදියුනු රටවල් කියලයි !!!

එහෙම රටවලුත් තියෙනවාද කියලා නම් මම දන්නේ නෑ. නමුත් මම දන්න සමහර මැද පෙරදිග රටවල් තියෙනවා හරියට නිකම් අපි චිත්රපටි වල දැකපු ඇමෙරිකාවේ නගර වගේ. නැති නම් ප්රංශයේ සමහර නගර වගේ . මිනිස්සුත් ඒ වගේ .
පබ්, ක්ලබ්, අඩියෙන් අඩියට!
අරාබීන්ට වැඩිය සුද්දොයි - ආසියානුවොයි හැම තැනම !
සමහර ගෑනු ඇදුම් අඳින්නේ අවශ්යම (උන්ටද අපිටද ???) තැන් විතරක් වැහෙන විදිහට පොඩි රෙදි කෑල්කින්!
බීලා වැනි වැනි ටැක්සි හොයමින් පාරේ යන මිනිස්සු ඕන තරම් !
ඔන්න ඔය වගේ මැද පෙරදිග රට වලුත් තියෙන බව දැන ගන්න ඉතිං ඒවායේ ගිහින්ම බලන්න ඕන . . .

හැබැයි මම කියූ මම මගේ මුල්ම රැකියාවට ගිය රට නම් ඔය තරම්ම නිදහස තිබුනු රටක් නෙමෙයි. නමුත් හොර රහසේ හැම දේමත් තිබුනා. (සෞදි අරාබිය නෙමෙයි හොඳේ )

මගේ ආයතනයේ, මගේ අංශයේ, මා කල රැකියාවට මම යන විට හිටියේ මම විතරයි ! මට කලින් හිටපු එවුන් ඔක්කෝම වලියක් දාගෙන අයින්වෙලා ගිහින්. මාත් ඉතිං ආපු ගොංකමට කියල අවුරුද්දක් විතර තනියෙම බූරුවෙක් වගේ බර ඇදලා බර ඇදලා බැරිම තැන ලොක්කාට කිව්වා මට තව දෙන්නෙක් වත් දීපන් නැත්නම් මම ගෙදර යනවා කියලා . මම ගියොත් ඔක්කොම හබක් කියලා ඌ දන්න හින්දා මගේ මිතුරෝ තුන්දෙනෙක්ව ගෙන්න ගන්න ඌ මට අවසර දුන්නා !

ඔන්න ඉතිං උන් ටිකත් ආවා කියමුකෝ, අපි හතර දෙනාට නිදන කාමර හතරක් තියෙන ලොකු ඌ . .. ගෙයක් දුන්නා සියලුම බඩු මුට්ටුත් එක්කම!

අපි ඉතින් ඒකේ අම්බානකට පිස්සු නට නට ජොලියේ ඉන්නවා. අපේ දිව්ය ලෝකෙත් අපායත් ඒකම තමයි!

සති අන්තයේ අපේ යාලුවෝ 15-20ක් විතර එනවා . අපේ ගෙදර තිබූනේ අර මගුල් ගෙවල්වල උන තරම් ලොකු හට්ටි මුට්ටි. අපි වෙනමම අල්මාරියක් වෙන්කරලා තිබුනා සති අනතයේ එන මිතුරන්ගේ සරොම්, ෂෝට්, උන්ට දෙන තුවා, පොරවන රෙදි ආදිය දාල තියන්න . හැම සති අන්තයක්ම බොන පාටි. බීලා රෑ එලි වෙනකම්ම සින්දු කියලා (සමහරු වමනේ කරලා අපි ඒවා අස් කරලා, බාත් රූම් හෝදලා) ගොඩක් දවස් වලට පහුවදා උදේ තමයි ඉතිං නිදා ගන්නේ !!! (අපේ කස්ටිය පදමට වැදිලා සින්දු මරපු හැටි දන්නවනම් අදාල ගායකයෝ සියදිවි හානිකර ගන්නවා hiks)

එක පාරක් මම නිවාඩු ගිහින් එනකොට අලුතින් මිතුරො දෙන්නෙක් එක් වෙලා හිටියා අපේ "දිව්‍යලෝකයට" (අපායට නැතිනම් අම්බලමට)!!(මේ ඔක්කෝම නම් ගැලපෙනවා ඒකට )

එකෙන් නම් අහිංසක වැඩිය කතා බහ නැති එකෙක්. අනෙකා නම් මොනවා කරලා වත් දිරවන්නෙ නැති අපතයෙක්. පොර ටෝක්ස්, තෙල බෙදිලි, පන්ඩිත ටෝක්ස්, මඩ ගැහිලි, කම්මැලි වැඩ, පංගු බේරු වැඩ, කර ඇරිලි, ආදී අපිට දිරවා ගන්න බැරිම ජාතියේ දේවල් තමයි ඌ ලඟ තිබුනේ!

තව මාගේ හොඳම යාලුවෙක් එක්කගෙන ආපු පිස්සු කොල්ලෙක් හිටියා. අපිට වැඩිය අවුරුදු තුනක් විතර බාලයි. දෙහි ගෙඩි දෙකක් උස නෑ. නමුත් මාර ඇම්ඩා (හරිම හිතහොඳ කොල්ලා හැබැයි)කලොත් කරන්නේ මගෝඩි වැඩක් . දුන්නොත් දෙන්නේ ගේමක් . කිව්වොත් කියන්නේ බඩ පැලෙනකම් හිනා වෙන්න පුලුවන් දෙයක් . රස සාගරයක් . රස ආකරයක්. මූටත් අරූව දිරෙව්වෙම නෑලු මුල ඉඳලාම !!

සමහර පොරවල් ඉන්නවානේ ඔය අබිසුරු ළියෝ ඇසුරු කලා කියන එක සමාජයේ මහා පිලිගැනීමක් ලැබෙන දෙයක් කියල හිතන අය !!( අසව් අසව් . . ලිංගිකත්වය ගැන හෝ අබිසුරු ළියන් ඇසුර ගැන මම කිසිවක් මේ බ්ලොග් පෝස්ට් එකෙ ලියන්න හිතුවේ නෑ. ඒ ගැන කතා කිරීම නෙමෙයි මේ ලිපියේ අරමුන හොඳේ ! ! )

මේ පොරත් (නොදිරවන බුවා)සමහර විට අර දෙහිගෙඩි දෙකක් උස නැති එකාට (ඇම්ඩන් මල්ලිට) කියන්න ඇති ලොකු කමට අරෙහෙම කලා . මෙහෙම කලා . අර ජාතියේ අය මේ ජාතියේ අය ඇසුරු කලා කියල (මේ මගේ උපකල්පනයන්)

මේ පොර අර ඇම්ඩන් කොල්ලාගෙන් "මචං අරාබි අබිසුරුළිය ක් හොයා ගන්න විදිහක් නැද්ද බං . . " කියා අහලා තිබෙනවා ! (හෆොයි රජ බිසව අන්දරේගෙන් දොලදුක් කෑම ඉල්ලුවා වගේ)

අර ඇම්ඩා කොල්ලාට හිතුනාලු "අහ් නියම වැඩේ . . දෙන්නම් උඹට මම හොඳ අරාබි අබිසුරුළිය ක් " කියල හිතලා (ඉබ්බා දියේ දාන්නම් කිව්වම ඇන්නෑවේ කිව්වලු)දෙන්නම් ජම්බූ . . .!

"පුලුවන් හැබැයි මාර ගනන් . . " කියල කිව්වලු !

"කමක් නෑ කමක් නෑ " කියලා බුවා කියලා.

ඉතිං ඔන්න කට්ටිය කතාවෙනවා අර බුවාට කොහොමද ගේමක් දෙන්නේ කියලා ! ! (මේ දන්නවාද අපේ නඩේට සෙට් වුනු හැමෝම හොඳ ලමයි හරිය)හොඳ ආත්ම සංයමයක් තිබුනු කට්ටිය. පිටරට ආවා වුනත් ඕන තරම් නිදහස තිබුනා වුනත්, තමන්ගේ නම්බුව, ගෞරවය තියාගෙන ඉන්න ඕනා කියල හිතපු අය. (ටැබූ දැක්කොත් කියයිද දන්නේ නෑ ඒකට කියන්නේ ලිංගික කුහක කම කියලා හික්ස් )

මටත් මේ පොරව වැඩිය දිරෙව්වේ නැති නිසා මේ වැඩේට කොක්ක දාන්නෙත් නැතුව හිටියා . හැබැයි අනුබල දුන්නෙත් නෑ. මට හොරෙන් වගේ තමයි කලේ. මමත් දන්නවා වුනත් නොදන්නවා වගේ හිටියා.

ඔන්න ඊලඟ සති අන්තේ හවස් වෙන්න කලින්ම අර ඇම්ඩා මල්ලී එනවා අරාබි ගෑනු අඳින ඔලුවෙ ඉඳන් වැහෙන ඇඳුමක් හෙවත් කලු පාට අබායා එකකුයි , ගෑනු දාන කෝට් ශූස් දෙකකුයි. තිසර පටියකුයි . තිසර පටේ ඇතුලට පුරවන්න පැඩෙට් ටිකකුයි, අරාබි ගෑනු ගාන ජාතියට සමාන සුවඳක් තියෙන සෙන්ට් එකකුයි අරගෙන ! ඇවිත් ඒ ටික ඉස්සරහා කාමරේ හංගල ඌ ආපහු ගියා.

පස්සේ රෑ හතට විතර කට්ටිය සෙට් උනාම ඇම්ඩා මල්ලී ඇවිත් අර බුවාටයි අපිටයි කියනවා . . .

"මේ උඹලා කවුරුවත් සාලේ ඉන්න එපා . . ."

"එතකොට එයා (අරාබි අබිසුරුළිය) එන්නේ නෑ , බයට !"

"ඒක නිසා උඹලා අන්තිම කාමරේ ඉඳපල්ලා . මම එයාව ඉස්සරහා කාමරේට දාලා යන්නම් "

"මොකද මට අද ඔෆිස් එකේ රෑ වැඩ"

"මම එලියට ගිහින් වට පිටාව චෙක් කරලා උඹලට කෝල් කරන්නම් "

"ඊට පස්සේ උඹ (අර බුවාට ) සාලේ දොර ලොක් කරලා ඉස්සරහා කාමරේට පලයන්"

ටික වෙලාවකින් ඔන්න අපි අරූ කියපු විදිහටම අන්තිම කාමරේට වෙලා ඉඳලා ඌ කෝල් කලාට පස්සේ හොරෙන්ම ඉස්සරහා කාමරේ දොර යාන්තමට ඇරලා බැලුවා . . .

කාමරේ ඇඳ ලඟ ඩිම් ලයිට් එක දාලා තිබුනා, කලු අබායා එකක් ඇඳගෙන මූනත් වහගත්තු ගෑනියෙක් මුලු කාමරේම සුවඳ ගහගෙන අඳේ මුල්ලක ඉඳගෙන බිත්තිය පැත්ත බලාගෙන ඉන්නවා.

අර බුවා මොන පොර ටෝක් දුන්නත්, මෙන්න මූව ගැහෙනවා දියෙන් ගඩ ගත්තු මාලුවෙක් වගේ . ඌ අපිට කෙලවරේ කාමරේට යන්න කියලා අපි යනකම් ඉඳලා කකුල් දෙක මැඩ්ලින් ගහ ගහ වගේ ගිහින් හිමිහිට කාමරේ දොර ඇරියා.

ඌ දොර ඇරගෙන කාමරේට ගිහින් දොර වහගත්තා විතරයි අපි හැමෝම එක පිට එකා නැගලා කාමරේ දොරට කන් තියාගෙන අහගෙන ඉන්නවා මොනාද වෙන්නේ කියලා ! (චීයා කැත වැඩ)

මුලින්ම මූ මොනාද මන්දා කුටු කුටු ගෑවා . .

පස්සේ අපිට ඇහෙනවා ගෑනු කටහඬකින් කියනවා . . .

"නෝ නෝ . . .මනී ෆස්ට්. . මනී ෆස්ට්. . " කියලා

අරූ ගේ කටහඩ ඇහෙනවා

"හව් මච් . . " කියලා

ආපහු ගෑනු කටහඩ

"ෆයිව් හන්ඩ්රඩ් . . කියලා . . "

මෙන්න මූ එලියට එනවා . . .

අපි හැමෝම දුවලා ගිහින් ආපහු කාමරේ ලොකු කතාවක් පිට ඉන්නවා වගේ ! !

"මාර වැඩේනේ මචං පන්සීයක් ඉල්ලනවානේ. මගේ ලඟ තියෙන්නේ 300යිනේ. ඔන්න ඔහේ යන්න කියමුද ? "

"ආ 200ක් . . " මුගේ යාලුවා පර්ස් එක ඇදලා 200ක් දුන්නා. . .

මූ ආපහු කාමරේට ගියා විතරයි අපි හැමෝම ආපහු දොර ලඟ . . .

ටික වෙලාවකින් පොඩි සද්දයක් ඇහුනා . . .

එක පාරටම කාමරේ දොර ඇරියා. දොරට හේත්තු වෙලා කන්තියාගෙන හිටපු අපි ඔක්කෝම එකපාරටම කාමරේ ඇතුලේ. එකෙකුගේ පිටේ නැගලා උඩින්ම හිටපු එකෙක් ගෙම්බා පොලොවේ ගැහුවා වගේ බිම.

අර ඇම්ඩන් මල්ලී කොට කලිසමකුත් ඇදගෙන, ටී ෂර්ට් එකට උඩින් ඇඳපු තිසර පටේ ඇතුලට පැඩේට් පුරවගෙන ඌ අර බිම වැටුනු එකාට උඩින් පැන ගෙන ගිහ්න් සාලේ, අබායා එක ඇඳ උඩ!!!!

අර බුවා . . . හීනෙන් බය වෙලා වගේ (නැත්නම් අර ගෝනියක් ඔලුවට දාලා කට්ටියම ටොකු ඇනලා ගෝනිය අහකට ගත්තාම ඉන්නේ, අන්න ඒ වගේ) කටත් ඇරගෙන "මේ මොකද බොලේ මේ වුනේ . . " කියලා බලන් ඉන්නවා !!!!!

ඇම්ඩන් මල්ලියි අපි කට්ටියයි, උඩ පැන පැන, බඩවල් කොර වෙනකම් හිනා වෙනවා !!!!!

Thursday, February 18, 2010

වික්ටර් . . වික්ටර් . . වික්ටර් . . !!



කලෙක හුරුබුහුටි ගැටයෙකු වීමි.
හැමගේ ආදරය දිනා ගතිමි.
තුටු වීමි.
රුදූ ගිනි දල්ලකට මැදිවී සියොලඟම දැවී විරූපී වීමි.
මග යන්නන් මා දුටු විට පිලිකුලෙන් අහක බලනු දුටු කල නොසැලුනෙමි.
සිත තව තව සවි කොට අමාරුවෙන් දරා ගතිමි.
සියළු සංස්කාරයෝ නැසෙන සුළුය
මෙලොව නොවෙනස්වන එකම දෙය සියළු දේ වෙනස්වනවා යන දහම පමනි යි සිතා පෙනුම නම් මොටදැයි සිතා දුක් නොවී සිටින්න උත්සාහ ගතිමි.

. . . . .

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ බල මහිමයෙන් හා රාජරත්න වෙදැදුරු තුමාට නිවන් සුව අත්වෙන්න පෙර තරම්ම නොවුනත් කඩවසම් තරුණයෙකු වීමට තරම් වාසනාවන්තයෙකු වීමි.
නැවත සැමගේ ආදරය, සැලකිල්ල නොමදව ලදිමි.
සංගීත සැඳෑවල්, නාට්‍ය, සතුටු සාද, චිත්‍රපටි, විනෝද ගමන්, ප්‍රේමණීය වදන් . . මෙසේ මේ සියළු දේ සමඟින් තාරුණ්‍යයේ රිසි සේ පියෑඹීමි.
තුටු වීමි.

. . . . . . . .

කැඩපත අසලට වී රැවුල බානාවිට සුදු ගස් එකක් දෙකක් නොව කීපයක්ම දිටිමි.
සැලූන් එකේ බාබර් ගේ "මහත්තයාගේ සෑහෙන්න තියෙනවා නේ සුදු කෙස් ගස්" බස් අසා සිනාසුනෙමි වගකට නැතුව.
සිත රිදෝ නොගතිමි.
මඛාදේව රජු මෙන් තපස් රැකුමට යාමට නොසිතීමි.
ඔව්ව ඔහොම තමයි.

. . . . . . . . . .

මුහුනේ, සමේ පෙර තිබූ දීප්තිය නැති බව කැඩපතින් දිටිමි.
රැලි වැටී නැතත් තවම සම, සිත නොව ශරීරය වයසට යන්න පටන් ගෙන ඇති බව පසක් කලෙමි.
උපේක්ෂාවෙන් සිතුවෙමි හැමදේම වෙනස්වෙනවා, මොනා කරන්නද.
සියළු සංස්කාරයෝ නැසෙන සුළුයි
ඉතිං කුමට දුක් වෙනවාද?

. . .

ට්‍රීං . . . ට්‍රීං . . .
(වෙලාව උදේ දහයයි . . දමිත් මල්ලී)
මොකෝ බං නිවාඩු දවසේ උදේ පාන්දර.
නිදා ගන්න දෙන්නේ නැද්ද අදවත් ටිකක් වැඩිපුර.
හරි හරි හලෝ. නිදා ගන්න එක කොයි වෙලාවේ කරන්න බැරිද.
ටී වී ලංකා දාන්න, අද එතෙර මෙතෙර ප්‍රෝග්‍රෑම් එකට ඇවිත් ඉන්නේ "වික්ටර්"
නැහ් සිරාවට . . !!
ඇඳෙන් නැගිට්ටාද පැන්නාද කියා සිහිය නැත.
සෙනෙහසේ ගුවන් පාලම "එතෙර මෙතෙර" එකළු කරමින් කහපාටට හුරු ජාතික ඇඳුමින් සැරසුනු වික්ටර්ගේ රුව කාලෙකට පසු දිටිමි.

. . . . . . . . . .

අනේ වික්ටර් වයසට ගිහින්
හිත හිරවුනාද??? හුස්ම ගන්න අමතක වුනාද???? ගල් වුනාද????
මීට කලිනුත් කීප පාරක් මෙහෙම වෙලා තියෙනවා.
ජෝතිපාල මැරුනු වෙලාවේ.
විජය, කැරැන්ස්, රමණී බර්තොලමියුස්, මිල්ටන්, ඩයනා කුමාරි, කේමදාස මාස්ටර්, මර්වින් පෙරේරා, මගේ මිතුරු සංජීව මැරුනු බව ඇසූ වෙලාවල් වලදීත්.
තාත්තා අසනීප වුනු බව දැන ගත්තු ගමන් ඉමර්ජන්සි ලීව් දාලා ලංකාවට යන ගමන් ප්ලේන් එකේදී "අනේ තාත්තා මැරුනොත්" කියලා හිතුනු වෙලාවේදී.
ඒත් මේ පාර ගල් වීම ඒ හැම එකටම වඩා වැඩී වගේ.
බුදු හාමුදුරුවෝ පිරිනිවන්පාන බව අහපු ආනන්ද හාමුදුරුවෝත් දුක් වෙන්න ඇත්තේ මේ වගේද?

. . . . . . .

ඇයි බං උඹම නේද කියන්නේ සියළු සංස්කාරයෝ නැසෙන සුළුයි කියලා නිතරම හිතන්න කියලා??
ලස්සනට තිබුනු උඹේ මූන චාටර් වෙන්න පිච්චිලා වත් දුක් නොවුනු උඹ . .
රැවුල කොන්ඩේ සුදු වෙන්න ඇවිත් වයසට යන්න පටන් අරන් කියලා දුක් නොවුනු උඹ. .
මොකෝ මේ වික්ටර් වයසට ගියා කියලා මෙච්චර දුක් වෙන්නේ?
සියළු දේ වෙනස්වනවා, නැසෙනවා කියන දේ වික්ටර් සම්බන්ධව අදාල නැද්ද ???
නෑ නෑ කොහොමත් වෙන්න බෑ.
මම මැරෙන තුරුත් වික්ටර් ජීවත් කරවලා වික්ටර් මැරෙනවා දකින එක මට නොදකින්න තරම් මාව වාසනාවන්තයෙක් කරාවී දෛවය.
උපේක්ෂාව, දරා ගැනීම ගන මොන තරම් බන කිව්වත් වික්ටර් වුනත් කවදා හරි මැරෙනවා කියන හැඟීම මොන හිතකින් දරා ගන්නද??

. . . . . . . .

සියලු දේ වෙනස් වන ලෝකයේ වික්ටර් ව පමනක් නොවෙනස් ව තබා ගැනීමට මගේ සිතට බල කරන්නේ වික්ටර්ගේ තනු නිර්මානයේ ඇති හැකියාවටත් වඩා ළයාන්විත කටහඬ කීවොත් මා සමඟ එකඟ නොවන්නෙක් සිටීද. . ?

. . . . . .

ප්‍රේමවන්තයෝ ආනන්දයෙන් අමන්දානන්දයට පත්කරවන්න, ශෝක වන්නන්ගේ හදවත් ශෝකයෙන් ඉරිතලා දෙදරවා යවන්න, දම් අසනු කැමැත්තෝ දම් සිසිලෙන් තෙමා සිහිලැල් කරන්න මේ ආදී කී නොකී ඒ ඒ ගීතයට ඒ ඒ අවස්තාවට උපරිම සාධාරනය ඉටු කරමින් සහෘද හදවත් පිනවිය හැකි වික්ටර්ට සමකල හැකි වෙන කිසිවෙක් සිටීද . . ?

. . . .

තුරුලට ගෙන අත්පා හැඩ ගස්වා
නිදි ගන්වා . . . යහන් ගැබේ. .
සිහිනෙන් ගෑ සුවඳක් මෙන් . . .
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ළබැඳී
ගෙන දී දිවියට නව පන ලැබදී
මා දැඩි කල අම්මා . . .

ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ . .. ඔබ මතු බුදුවන දවසේ
මා රාහුල කුමරුන් සේ . .
සෙවන පතා අදමෙන් පැමිනෙන්නෙම්
සුළඟිල්ලේ එල්ලී. . .


අම්මගේ අනුදැනුමෙන්, ගීත ශබ්ද රසය පමනක් නොව අර්ථ රසයද සමඟින් රසවිඳින්න පුරුදු වූ පුංචි එකා සංදියේ සිට අද වන තුරුත් මේ ගීතය ඇසෙන හැම මොහොතකදීම ඇඟේ හිරිගඩු පිපෙන්නේ, මයිල් කෙලින් වෙන්නේ . . ඒ ගීතයේ සංගීතයට, පදමාලාවට අනුගතවෙමින් ගීතය අපේ බොක්කටම වදින්නේ වික්ටර්ගේ මියුරු ළයාන්විත හඬ නිසා නොවේද . . ?

. . . ..

ප්‍රේමය නම් ප්‍රේමයමැයි වටහා නොගෙන, ජාති, ආගම්, කුල - මල, දුප්පත් - පොහොසත් යන අවි අමෝරා ප්‍රේමයට වැටකඩොලු බඳින ලෝකයක

අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක් . .
හඳ පානේ . . මඳ අඳුරේ . . .
අත් පටලා යමු ආයේ . . .


කියා තම තම්න්ගේ හෙවනැලි වලටත් හොරෙන් මිදී ඇවිත් පෙම් ලෝකේ සුව විඳින්න කැස කවන ප්‍රේමවන්තයෙකුගේ හදවතේ ගීය වික්ටර්ට හැර වෙන කිසිවෙකුට ගයන්න හැකිද . . .

. . . . .

සුන්දර කඳුකරයදී බැඳී ප්‍රේමයේ මනරම් සුවය . . . සුදු සේල එතුවාක් මෙන් වූ මීදුමෙන් වැසුනු කඳු හරහා හමා එන ප්‍රේමයේ ගීතය . . . ආකාසේ සිඹින නීල කඳු මතින් ගලා හැලෙන දිය පහරේ රැදී ගයා යන ප්‍රේමයේ ගීතය . . . වික්ටර් ගයද්දී ඒ ප්‍රේමයට නතුවී . . . ජීවිතය,සිය පන වුව තොර වුවත් කම් නැතෙයි නොසිතේද . . . ??

දුර ඈත අතීතේ
කඳු සීත පලාතේ
මල් පිබිදෙන කාලේ
දෙහදක කතන්දරේ . .


ආකාසේ සිඹින නීල වර්ණ කඳු වැටී
සුදු මීදුමේ සිහින් සළුව ඔතාගෙන සිටී
කඩා හැලෙන ඇල්ලක් ලඟ ඇයව හමුවුනා . .
ඇගේ දෑසේ නිල් කැලුම්
ආදරේ හැඟුම් හදට තේරුනා . . .

පෙම් ගීතේ සංගීතේ මිහිර වින්ඳෙමු
අපි සැන්දෑවේ ගංගාවේ පාරු පැද්දෙමූ
වෙන් නොවන්න කිසිම දිනෙක සිතා ගත්තෙමු
ඇගේ ආදරේ සිතුම් . . ආදරේ පැතුම්
පහන් දැල්වුනා

. . . .. .

මාරුතේ මතුරා යතේ සුරඹුන් නැඟූ මුකුලූ . .
මාවතේ අතුරා ඇතේ නෙලූ කැකුලූ . . .

නීල බිඟු කැල තාම රස පෙල . .
ආදරෙන් සනසාලා . . .
තිසර තුඩු මුදු තඹර පහසින් . .
මෝහනය වීලා


පෙම්වතියගේ ප්‍රේමය බොහෝ අමාරුවෙන් දිනාගත් ප්‍රේමවන්තයෙකුට සිතුනුයේ තමා අවට මුලු ලොවම දිව්‍ය විමානයක් ලෙසයි .හමා යන මඳ සුලඟේ පවා ඔහුට ඇසෙන්නේ දෙවියන් නඟන මුකුලු හඬවල් ගැබ්වී ඇති ලෙසයි. පා නඟන මාවතේ පුරාවටම දෙවියන් නෙලූ මල් අතුරා ඇති ලෙසයි . ඉඳින් එවැනි පෙම්වතෙකුගේ උද්දාමයෙන් ගයන්න ට වික්ටර්ට හැර වෙන කිසිවෙකුට හැකිද . . .

. . . .

මල්සර හී සර වැදී අනුරාගයෙන් මත්වූ පෙම්වත් බඹරෙකුගේ නුරාහැවිල්ල මත්වූ හඬකින් වික්ටර් අපිට ගයද්දී අපේ හදවත් පවා අමුතු කිතියකින් කිලිපොලා යන බවක් නොහැඟේද . . ?

ගිගිරි ගීත රාවේ . .
මලවි හී සරේ . . .
සබඳ අද කිමදෝ . .
බමන ලෝකෙක කෑ ගසා කීවේ . .. .


. . . .

වලව්වේ නපුරු නිලමේගේ නපුරු කමට වෛර නොකර
නපුරු ළමාතැනීගේ නපුරු කමට වෛර නොකර
සොඳුරු පුංචි කුමාරිහාමිගේ මානුශික ගති අගය කරමින් අයිති කර ගැනීමේ කිසිදු අවැසිතාවක් නැතිව, මනරම් ව පිපී දිලෙන මලක් දෙස බලා සතුටු වන්න සේ ගයන්න ඔබට මට හෝ වෙන කිසිවෙක් සමත් වේද වික්ටර් හැර . . .

පොඩි කුමාරිහාමියේ . .
එපා වලව්වට යන්න නියර පිට
බලා ඉන්න
පොඩි කුමාරිහාමියේ . . .
කාසි එපා නුඹ හිනා වෙවී
ඔහේ බලා ඉන්නවා නම් . .


. . . . . .. .

අමා දහර දිය ගලා ගලා
තුරු ලතා තුලින් මල් පියලි සලා
ජය හඬින් ලොවට සිහ නද පතුරා
ලෝ සත අතුරුන් ජනිත වුනා


බුදු සිරිතේ අපි අසා දැක අති දුෂ්කර ක්‍රියා අතහැර මැදුම් පිලිවෙත තුලට වැද වීරියෙන් ඉපදීම දුකක්ය, තෘෂ්නාව නිසා යලි යලි ඉපදෙන මනුසත් බවට ශාන්තිය ලඟා කරගතහැකි එකම මඟ තෘෂ්නාව අතහැරීම යන සත්‍ය වටහා ගනු පිනිස උරුවෙල් දනව්වේ සැරිසැරූ බෝසතුන් විඳි සුවයෙන් බිඳක් වික්ටර්ගේ වචන හරහා අපිටත් විඳින්න ලැබෙනවා නොවේද . . .

. . . . . . . . . . . .

බබලන විසිතුරු ලෝකයට පා තැබීම තම එකම පරමර්ථය කරගනිමින් ඉගෙනීම, දෙමාපියන් පමනක් නොව තම ආත්මයද පුදදී ඒ ලොවේ සැරිසරන යෞවනියන්, තමන් පහන් දැල්ලට ලොබ බැඳි පලගැටියන් මෙන් පහන් දැල්ලේම වෙලී විනාශ වන බව වැටහෙන විට ආපසු හඬ හඬා එන්නේ සුපුරුදු දෙමාපියන්ගේ සෙවනටම නොවේද . .. . . .

ගැහැනු ලමයි මව් අත්හැරදා
ගමෙන් පිටත් වී යන්න සිතා
බබලන විසිතුරු නගරේ සිතේ ඇඳී
සිතේ ඇඳී
කොතරම් ලස්සන දේ ඇතුවත්
ඒ තුල රැඳෙනා සුලු මොහොතක්
නොපෙනී ඇතිවෙන කරදර මතුවී
නිවස සොයා
නැවතත් හඬ හඬ එයි . .
හඬ හඬ එයි . . . . .

ගැහැනු ළමයිනේ කොහෙද බලා ඉන්නේ . .
ඉගිලී යන්නද සිත බලන්නේ . .
ගැහැනු ළමයිනේ . . අවට අලංකාරයිනේ . .
සිහිනෙන් දුටු දේ . . විසිරී යයිනේ . ..


ඒ අසරන යෞවනියන් ගැන වික්ටර් ගයන්නේ කෙතරම් කම්පා වූ හඬකින්ද . . . ?

. . . . . .. . . .

කැලේ පීදෙන මලකට රොඳ බඬින බෘංගයෙක් මෙන් ගමට සෙත සදන අරමුනින් ගමේ තිබුනු ගම් මඩු පොලේදී ඇස ගැටුනු . . ඇස ගැටුනු සැනින් සිත බැඳුනු ගමේ කැකුලිකට බැලුම් හෙලූ කැකුලෙකුට ඈ යන හැම තැනම පසුපස හඹා යද්දීත් ඈ නිනව් නැතුව සිටිද්දී හිතේ නැගෙන විස්සෝපය වික්ටර් හෙලි කරන්නේ කෙතරම් අපූරුවටද . . .

ඈත ලන්ද දිය මංකඩ
බෝම රුවට පිපුනු මලට
ආලවන්ත බහක් දෙන්න ආ බඹරින්දූ
මලට ලොලේ . . පිනි කඳුලේ . .
නිතර රැඳී උන් බඹරින්දූ . ..
ආල පිරූ මා ගැන දැං නැද්ද නිනව්වක් . . .

රූකඩ මඩු යාග පොලේ
කෝල නුඹේ රුවට ලොලේ
ආල පිරූ මා ගැන දැං නැද්ද නිනව්වක් . . .
ආල පිරූ මා ගැන දැං නැද්ද නිනව්වක් . . .


. . . .. . ... . .. .

වෙන කිසිවෙකුට තම පෙම්බරියගේ මුහුන පෙනෙතැයි බියෙන් ඇයට ඇගේ මුහුන සඟවා ගන්න යි පවසන්න තරම් වික්ටර් කෙතරම් ඊර්ෂ්‍යාකාර පෙම්වතෙක්ද . . .

සඟවා ගනු මැන
ඔබැ රුව සොඳුරියේ
වෙනැකෙකු නෙත් ඔබැ
මුව මත ගැටෙතැයි මා සිත බියවී . .
සැලී සැලී යයි . . .


. . . . . .. .. . . . . . . .

කලු උක්ගසක් මෙන් ඔබ කලු වුවත් මට ඔබ වටී නගේ.
මේ හොල්මන් තිබෙන ගොම්මන් සමයමේ නුඹ දර කඩන්න කැලයට යනවා නම් තනියෙම නම් යන්න එපා නගේ.
මා ඔබ සමඟ එනවා එනවාමයි.

මං ආදර පෙම්මාදර බින්දූමතී
පෙමා වඩන ලද බින්දූමතී . .
මං ආදර පෙම්මාදර බින්දූමතී
පෙමා වඩන ලද බින්දූමතී . .


කළු උක් ගස විලසා කලු
කලු නංගියේ
දර කඩලා ඉහා තියලා
කොහිදෑ ගියේ
ගොම්මන් සමය දා ගම
හොල්මං තියේ
නුඹ එකා මා එන්නා
යමු නංගියේ

බින්දුමතීට පෙම්බැඳි වික්ටර් කෙතරම් කපටි පෙම්වතෙක්ද . . .??

. . . . . . . .. . . . .

ඇලේ දොලේ නා, පිහිනා සැනහුන වෙල් එලියේ දුව පැන සෙල්ලම් කල, මිදුලේ වැලිබත් උයා බෙදා හදාගෙන කෑ පුංචි එකෙක් අද තව දුරටත් පුංචි එකෙක් නොව මහ එකෙක් වී ඒ පුංචි සංදියේ මතකයන් අතර සිරව වේදනා විඳිමින් නංගිලාගෙන් මල්ලිලාගෙන් තමන්ගේ ඒ පුංචි කාලය ඉල්ලා සිටී. වික්ටර් ඒ ඉල්ලන දයාබර හඬට බෑ කිව හැකි නංගියෙක් මල්ලියෙක් සිටීදැයි සැක සහිත නොවේද . . ???

වැලි බත් උයන්නම් සැඟවී සිටින්නම්
මා දං කැලෑවේ පළු වීර වදුලේ . .
කවි ගී අසන්නම් ඇකයේ රැඳෙනම්
මව්ගේ තුරුල්ලේ උනුසුම් කැදැල්ලේ . .

නංගියේ මල්ලියේ
මල්ලියේ නංගියේ
මට දෙන්න මගේ පුංචි කාලේ . .


. . . . . . . . . . . .

ප්‍රේමයෙන් මුසපත් වූ පෙම්වතෙකුට හිමගිරත් වැලි කැටයක් සේ පෙනෙන බව, හිරුගෙන් සීතල වුවත් ලබා දිය හැකි බව, කඩු තුඩු මත පවා සැතපී තුටින් සිටිය හැකි බව ඒ ප්‍රේමයෙන් මුසපත් වූ හඬින් වික්ටර් හැර වෙන කවුරුනම් ගයයිද . . ?

මියුරු කල්පනා නෙතක දැල්වුනා
අමයුරු රස හසකැන් මැද
සිතක් හිනැහුනා
වරෙක නැලවුනා වරෙක ළතැවුනා
නුපුරුදු ගිනි දහසක් මැද
සිතක් මැලවුනා


හිමගිර මට වැලි අහුරකි
මහ සමුදුර දිය රැල්ලකි
කටු අකුලෙන් මල් පුබුදමි
ඔබ සැනසේ නම් . . .

. . . . . .. . . . . .

අම්මා මියගිය පසු මලනුවන්ගේ මව වී කුසයේ නොදැරුවත්, තනෙන් කිරි නොදුන්නත් සැබෑ මවම වී ඔහුගේ නැණ නුවන් පෑදීමට දිවියම කැපකරන අක්කා කීන්කුගේ ප්‍රේමය ගැන වික්ටර්ගේ දයබර හඬ්න් අසන විට සියලුම අක්කලා ගැන මට නම් සිතෙන්නේ කියා ගත නොහැකි ආදරයක් . . .

අම්මා නැති මට කිරි අම්මා වී
කරුවල ගෙදරට මිනි පහනක් වී
දැනගත් දා සිට පෙරුම් පිරූවේ
අක්කේ මං මතු සක්විති වෙයි සිතලාදෝ . . .


. . . . . . . . . . . . . .

මම තමයි පොර . . . මම තරම් දන්න කෙනෙක් ඉන්නවනම් වරෙව්. . . උඹල මොන හාල් කෑලිද . . යි සිතනා මොහෙන් මුලාවුනු මිනිසුන්ගේ මනුසත්කම ගැන වික්ටර් ගයන්නේ කෙතරම් උපේක්ෂාවෙන්ද . . .

මා හරි උගතා මා හරි ජගතා
සිතනා මිනිහා මෝඩයෙකී
අනුන් හෙලන්නට වලක් කපන්නා
ඒ තුල වැටිලා මිය යන්නා
කල දේ පලදේ එලෙසේ . .

මෝහෙන් මුලා වෙලා මානෙන් උදම් වෙලා
තන්හාව ක්‍රෝධ ස්වේෂ පාරේ මිනිහා කොහේද මේ . .
රත්තරං කෙන්ඩියේ
සිංහ තෙල් වගේ
මිනිස් ගුනේ සැමදා බැබලේ . .
එය රැකීම අප උරුමේ වේ . .


. . . .. . . . .. . .

ඉදින් වික්ටර් ගැන ලියනවානම් මෙවැනි එක ලිපියක් නොව ලිපි මාලාවක්ම ලිව යුතු බව දන්නා නියායෙන්, නුදුරු අනාගතයේදී තවත් මෙවැනි වියුනකින් ඔබ හමුවට වික්ටර් කැඳවාගෙන එන්නෙමියි පොරොන්දුවෙන් අදට මෙතෙකින් නිමා කල යුතු බව හැඟේ මට . ..

Sunday, February 14, 2010

ජීවිතයට වෙනස්ම අත්දැකීමක් එකතු කල නිවාඩුවක් . . !



කලින් පෝස්ට් එකක ලිව්ව වගේ මෙදා පාරත් ලියන්න තියෙන්නේ "ඔන්න ඉතිං නිවාඩුව ඉවරයි. හැබැයි සති දෙකක නිවාඩුවක් කියන්නේ මෝය කටින් පොල් ලෙල්ලක් ගියා වගේ තමයි" කියලම තමයි.

හැබැයි මෙදා පාර නිවාඩුව මට, මගේ ජීවිතයට වෙනස්ම අත්දැකීමක් එකතු කලා කීවොත් නිවරදියි.

මගේ නරක ගතියක් ලෙස සලකා ඒ හේතුවෙන්ම මාව ඇසුරු කරන්න අකමැති සමහර අය හඳුන්වන නමුත්, අම්මාගේ ජාන වලින් මට ලැබුනු හොඳ ගතියක් ලෙස මම අගය කරන, "කියන්න තියෙන දේ පොල්ලෙන් ගැහුවා වගේ මූනටම කියන" ගතිය නිසා මාව ලඟින් ඇසුරු කරන්න කැමති අයට වැඩිය අකමැති අය වැඩි වුනා වුනත් නියම මාව අඳුනගෙන මට ආදර කරන ළබැඳියන් ගෙන් මට කිසිම අඩුවක් නෑ.

ඒ ගොඩක් ළබඳියන් කාලයක් ලඟින් ඇසුරු කරලා එක නවාතැනේ නවාතැන් අරගෙන එකට කාලා බීලා රන්ඩු කරලා හිනාවෙලා එක එකාගේ හොඳ නරක දැන අඳුනාගෙන ඇති කර ගත්තු සබඳකම් . . .

ඒ ළබැඳියන් සමඟ සතුටු සාද, විනෝද චාරිකා මට අලුත් දෙයක් නෙමෙයි වුනත් මේ බ්ලොග් අවකාශේට එකතු වුනාට පසු සයිබර් ලෝකයේදී අඳුනගෙන ළබැඳියන් වුනු අය රාශියක් මට මුන ගැහුනේ මේ නිවාඩුවේදී. ඒවා නිකම්ම හමුවීමක් නොවී සතුටු සාද දක්වා ඒවා ඇදී ගියා. ඒකයි මම කිව්වේ මේ නිවාඩුව මට "මගේ ජීවිතයට වෙනස්ම අත්දැකීමක් එකතු කලා " කියලා.

මගේ බ්ලොග් එකේ පෝස්ට් වල කමෙන්ට් හරහා, මූනු පොතේ හරහා, ස්කයිප් එක හරහා යනාදී ලෙස සයිබර් අවකාශය තුලින් ඇති වුනු මේ සබඳකම් අර කාලයක් එකට ඉඳන් ඇති වුනු සබඳ කම් තරම්ම සවිශක්තිමත්, සංවේදී. ආදරණීය, ප්‍රේමණීය සබඳකම් කියලා දැනුනාම මගේ හිත හිරි වැටිලා ගියේ "දෙවියනේ කෙනෙකුට මිනිස් සබඳකම් නැතුව මේ ලෝකේ තනිවෙන්න වුනොත් මොනවායින් මොනවා වෙයිද" කියලා හිතිලා.

ඒ සබඳකමේ සුවඳ . . . රැඳිලා තිබුනු ළතෙත් බව . . . එතරම්ම ආදරණීයයි . . . නිවාඩුව නිමාවෙලා ආපහු ඇවිත් ඒ සිදුවීම් දෙස දෙනෙත් පියාගෙන මනසින් හැරිලා බැලුවාම දැනෙන්න හරියට "සිහිනෙන් දිව ගෑ සුවඳක්" වගේ . . .

මානුෂික සබඳකම් හරියට වීදුරු බඩු වගෙයි බිඳෙන්නේ නැති වෙන්න පරිස්සමින් රැක ගන්න ඕන කියලා "කර්නල්ගේ බිරින්දෑවරු" පොතේ සෝමා ජයකොඩි මහත්මිය කිව්ව වගේ මේ මිතුරු සබඳකම් රැක ගන්න ඕන කියලා ඇත්තෙන්ම මට හිතෙනවා

29වෙනිදා උදේම මව්බිමට ගොඩ බැස්ස ගමන් මාස තුන හතරක් වෙන් වෙලා හිටි බිරිඳවයි පුතාවයි දකින්න ලොකු නොයිවසිල්ලකින් සිටියා වුනත් කොලඹින් කරගන්න වැඩ වගයක් තිබුනායින් මුලින්ම ඒ වැඩ ටික කරගෙන යන්න හිතුවා. . . වෙනදට නම් සුපුරුදු පරිදි අහම්බෙන් මෙන් යන්න සිදු වෙන්නේ නංගීගේ නිවසට වුනත් මෙදා පාර යන්න වුනේ අක්කලගේ නිවසට. එහේදි අක්කගේ ළමයි පස් දෙනාගේ ආදරණීය කංකරච්චරල අහගෙන උදේ කෑම කාලා ගියා නංගීව බලන්න. ඔන්න මෙදා පාරත් දැක්ක ගමන් ඇස් දෙකේ කඳුලු පුරෝ ගත්ත වෙනදා වගේ ම(සතුටු කඳුළු)

පස්සේ මගේ ගෙදරට ගිහින් අම්මයි තාත්තයි බලල අම්ම උයල තිබුනු මගේ ආසම මෙනු එක (තලපත් මාළු කිරට උයල, කැරට් හිඳෙන්න උයල සහ උම්මලකඩ දාපු කට්ට සම්බල්) දාඩිය ද දා හායි හූයි ගගා කාල ගියා ගෙදර උන්දැගේ මහගෙදර.

මම හිතුවේ කොල්ලාට මාස කීපයක් නොදැක්ක නිසා මාව අමතක වෙලා අති කියලා මොන . . දක්ක ගමන් හූ කියල සංතෝසෙන් කෑ ගහුවේ නැද්ද . . මම එයාව වඩා ගන්න කම් ඌට සිහිය නෑ . . .ගෙදර උන්දැගේ මල්ලීගේ වෙඩිම ට දවස් කීපයක් නිසා එයා නම් බරටම වැඩ . .

පහුවදා උදේම දළදා මාලිගාවට ගියා කිරි දානේකට. පස්සේ ෂොපින් ගියා නුවර ඇයි මල්ලීගේ වෙඩිමට අඳින්න මට ඇඳුම් ගන්න එප‍යි නෝනගේ සාරි වලට මැච් වෙන පාට වලින්.

3 වෙනිදා වෙඩින් එක තිබුනා 5 වෙනිදා හෝම් කමින් එක. නුවර කොලඹ ගියා 29 ඉඳන් 4 වෙනිදා වෙනකම් රවුම් දෙකාහමාරක්ම.

පස් වෙනිදා හෝම් කමින් එක ඉවර වෙලා දුවගෙන ආවා කළගෙඩිහේනේ සචීලගේ ගෙදර කලින් ඉඳන් ප්ලෑන් කරන් හිටපු පොඩි ගෙට් ටු ගැදර් එකකට. රෑ පාටියක්, නිදා ගන්න පහසුකම් සලසීම වගේ හේතු නිසා කිහිප දෙනෙකුට තමයි මේකට සෙට් වෙන්න පුලුවන් වුනේ. අපේ ගෙදර උන්දැ නදීෂා, සචීගේ හබී හශිත, අක්කන්ඩි, ලිෂාන්(ලිෂ්විශ්), චමිල (පිටස්තරයා), ලසිත (ආගන්තුකයා), රචින්ත (මුචා), කූඹියා (බූන්දි ), සඳුන් (නොදරුවා) මේ සතුටු සාදයට එකතු වුනා නමුත් ඉසිර (පොතේ ගුරා) ඩෝසා (ඩෝසන්) පොල්ල තිබ්බා. . .

අනුරාධපුරේට ට්‍රිප් එකකුත් ගියා. එනව කිව්ව විතරයි අපේ රජරට පුත්‍රයා ,උදාර මලයා අපිට රෑ කෑම ලෑස්ති කලා . . අපි වැඩිය කයි කියලා මිරිස් ගොඩක් දාලා තිබුනා වුනත් හායි හූයි ගගා අපි ඇරල දැම්මා ගෙදර අයට කඩෙන් හරි ගෙනත් කන්න බැරියැයි කියලා හිතලා.

එන්න දවස් කීපෙකට කලින් දුකාගේ නිර්මාතෘ වෙච්චි පොතේ ගුරා හෙවත් ඉසිර ගුණතිලක මළයව දැක ගන්න ත් පුලුවන් වුනා . . . සුපුන් සුදාරක මළයට කෝල් කලා. අපේ ගෙවල් ලඟම හිටියා වුනත් ඒකව බලන්න යන්න බැරි උනා. තරිඳු මළයා, චමිදේවා, මලී නගා, රන්දිර මළයා, උෂාන් මළයා එක්ක දුරකථනෙන් පොඩි හලෝ පාරවල් නම් දැම්මා. ධනික මළයට කෝල් කලාට නෝ ආන්සර්.

දවසක් ලිශාන්ලගේ ගෙදර ගිහින් බත් නොකා කට්ලට් කාලා තේ බීලා ආපු නිසා ඌ තරහා වෙයි කියලා හිතලා නුවර ඉඳන් එන ගමන් ඌට කෑම හදලා තියන්න කියලා කෝල් කරලා කියලා අපි එයාලගේ ගෙදර ගිහින් කෑවා කෑවා . . . අම්මෝ මාර කෑමක් ඒක නම් . . (එදා වුනු දේවල්, අහපු කතා ගැන කියනවනම් බ්ලොග් දහයක විතර සීරිස් එකක්ම ලියන්න පුලුවන් - ඒ කතා පසුවට හික් හික්)

මූනු පොත හරහා අඳුන ගත්තු තවත් දයාබර සහෝදරයක් වුනු හසිත් ප්‍රසංග මලයා ව ලිශ් ලගේ ගෙදර එන අතර මගදී මුන ගැහිලා කතාබහ කරලා ආවා.

යාළුවෙකුගේ දුවගේ අවුරුද්දේ උපන්දින පාර්ටියකට ගියා, MC එකේ "3 idiots" ෆිල්ම් එක බැලුවා (ඒක නම් පට්ට) "උත්තරා" ෆිල්ම් එක බලන්න ගිහින් ටික වෙලාවකට පස්සේ නැගිටලා ආවා ඒක මෙලෝ රහක් නෑ කියලා හිතුනු නිසා.කටුගස්තොට දී "බල්ලොත් එක්ක බෑ" නාට්‍ය බැලුවා ඒකත් මට නම් හිතුනේ මෙලෝ රහක් නැති එකක් කියලා තමයි (ප්‍රහසන නාට්‍ය ගොඩක් අපි බලල තියෙන නිසා එහෙම හිතුනා වෙන්න පුලුවන්)

13 වෙනිදා හවස 6.30ට අපි කටුනායකින් ආවා. මෙහාට එද්දී මෙහේ වෙලාවෙන් රෑ 9.30යි. අද උදේම ඔන්න ඉතින් වැඩටත් ආවා . .. ජනකයි රුවනුයි එයාර්පෝර්ට් එකට අවිත් හිටියා අපිව එකක්ගෙන යන්න . . . එන්න කලින් රුවන් බත් එකක් උයල ඇවිත්. ගෙදර ඇවිත් නදීශා, තාත්තා වත්තෙන් කඩලා දුන්නු නයි මිරිස් වලින් කරලක් දාලා පරිප්පු හොද්දක් හැදුවා හදලා ලංකාවෙන් ගෙනාපු අපේ අම්ම හදලා දුන්නු මාළු ඇඹුල්තියල් එක්ක බත් කනකොට මෙහේ වෙලාවෙන් රෑ 12.30යි . .

ඔන්න ඕවා තමයි විශේෂ කරුනු නිවාඩුව ගැන කියනවනම් නිවාඩු කාලෙදී සිදුවුනු. හැම දේටම වඩා අපේ අර පොඩි සුහද හමුව තමයි මට නම් අමතක කරන්න බැරි තරම් හිතට වැඩුනු දේ මේ නිවාඩුවටම .

Tuesday, January 26, 2010

පතිනියකගේ ශෝකාලාපය . . . !



තුන්කාලේ කලිසම් - අත්,කර නැති ටී ෂර්ට්
නිල් කලු ඩෙනිම් ජීන්ස් - මල් මල් ගවුම් පොඩි
කිචි බිචි ගා සිනා සෙන - මිතුරු මිතුරියන් කැලම
පාඩමට බාදා දෙන - නිබඳ තුරුලේ නිදන
චූටි මල්ලී යි නම් ලැබූ - හුරතල් පූස් පැටියාද
අත්හලෙමි සියළු දේ - තුටින් නොව පුංචි දුකකින්
ආදරේ නාමයෙන් - මේවා නම් මොනවාද . . .?

කුස රජු මුසපත් කල - රන් රුවක් මෙන් දිදුල
පබාවතී සේ සොඳුරු - නාරි දේහී රූ සපුව
ඉඟටියෙන් පහලට දිවූ - දිගැටි ඝන නීල වරලස
හිසේ සිට දෙපතුලට - වොයිල් සාරියෙන් පොරවා
රන් රූ වසා ගතිමි - කිසිවෙකුට නොපෙනෙන්ට
ප්‍රේමයේ නාමයෙන් - කැප කිරීම් කම් නැතේ

අම්ම අප්ප කෙසේ වත් - මා ගතම කොටස් වූ
නංගියයි මල්ලියයි - කෙසේ අතහැර යම්ද . .

සුදීරා නම පුදා - ෆරීනා නම ලදිමි
බුදු දහම අතැර විත් - ඉස්ලාම් භක්තික වීමි
ප්‍රේමයේ නාමයෙන් - ජීවිතය වුව පුදමි
ප්‍රේමයෙන් මන - රංජිත වේ නංදිත වේ

අහෝ එවන් විසල් ප්‍රේමය - දියව ගිය ඉක්මන
මිරිඟුවක්ද මා මේ - සොයා ආ පෙම් නදිය

නෑදෑ හිතවතුන්ට - පල්ලියට උජාරුවට
පිරිමිකම පෙන්නන්න - දරු රොත්ත ලබනු වස්
දරු වදන යන්ත්‍රයක් - වුනා පමනක් ද මා . . . !!

උදේ ඉඳන් රෑ වන තුරු - දරු නලවන, කෑම පිසින
ගේ අමදින, හති නාරින - වහලියක්ද පතිනියක්ද
අල්ලා දෙවියනේ අනේ - වටහා දෙනු මැන මේ මට . . . !!

දස මසක් කුස දරා - විලිරුදා ලද වැදූ
ඇඟේ ලේ කිරිකර - පොවා සනහා ලැබූ
හිමිගෙන් කිසිදා නොලත් - සෙනේ වදනින් තැවූ
දරු කැලට හිමිකමක් - අහිමි කල නීතිය ශාරියා
කොතරම් මානුශිකද - අනේ මට කියා දෙන්න
නබි නායක තුමානනේ - ආ . . මේන් . . . !

Monday, January 25, 2010

හත් වලාමේ වෙච්චි දේට මක් කොරන්නද . . . . . !!



මාර වැඩේ . . . අපේ ගෙදර උන්දැට හරිම අකරතැබ්බයක් වෙලානේ . . .

"පුල්ලි ගොනා ගෙට පැනලා කඹේ කඩා ගෙන . .
ගෙදර උන්දැ කොන්ඩෙ බඳින හවරියා කාලා . ..
කොන්ඩෙ බඳින්නට විදිහක් නැතෙයි කියාලා . . .
මටයි දෝස කියන්නේ මං මක් කොරන්නද . ..
හත් වලාමේ වෙච්චි දේට මක් කොරන්නද . . "

නෑ නෑ මෙහෙම සීන් එකක් නෙමෙයි දෙයියනේ . . . උන්දැලගේ ගෙදර කොහෙද පුල්ලි ගොනෙක් . . .

උන්දැ නිවාඩුවට උන්දැලගේ මහ ගෙදර ගිය ගමන් නතර වුනානේ ටික කාලෙකට මෙහේ රැකියා තත්වේ හොඳ නෑ කියලා ටිකක් හොඳ වෙනකම් කියලා . . . උන්දැලගේ ගෙදර තියෙන්නේ මහ පාර අයිනේමයි . . ගෙදර ඉඳන් පාරට එන්න පඩි හය හතක් බහින්න ඕන . . . අපේ කොල්ලගේ තියෙනවා පුදුම ඉල්ලීමක් . . . අම්මා හරි . . . ආත්තම්මා හරි . . ලොකු අත්තා හරි ගෙයින් එලියට යනවා නම් එයාවත් එකක්ගෙන යන්න ඕන . . . එයාට පේන්න ගෙයින් එලියට බැහැලා ගියොත් ඉතින් සොරිම තමයිලු . .

අපේ උන්දැට ලඟ පාත කඩේට යන්න ඕන වෙලා කොල්ලාට හොරෙන් ගෙයින් එලියට බැහැලා යන්න හදද්දී කොල්ල එනවද කියලා පස්ස බල බල යන්න ගිහින් පඩිපෙලේ ලිස්සල වැටිලා කකුල දෙපොලක් තුවාල වෙලා . . . හරිම අමාරුවෙන් තමයි මේ දවස්වල ඉන්නේ . . .

"නිදා ගන්නකොට හැරෙන්න බෑ හලෝ හරිම අමාරුයි" කිව්වහම

"ඉතිං ඔච්චර අමාරුවෙන් හැරෙන්නේ මොකෝ . . හැරෙන්නේ නැතුව ඉන්නකෝ ඩාලිං . . . . " කියලා මම කිව්වයි කියලා මාව අනුභව කරන්න තරම් කේන්තියෙන් තමයි උන්දැ ඉන්නේ මේ දවස් වල . ..

(නිවාඩුවට ගෙදර ගියාම අපේ අම්මගේ ලෙඩ ගැන කියද්දී "හුස්ම ගන්න අමාරුයි බං . .හුස්ම ගන්නකොට පපුව රිදෙනවා . . " කියලා කියද්දී . . . "අනේ ඉතිං ඔච්චර අමාරුනම් හුස්ම නොගෙන ඉන්නකෝ . ." කිව්වහම අම්මගෙන් අහගන්න ලැබෙන්නේ මෙන්න මේවායි . . .!@#$%^&%^%$@ හික් හික් . . )

ඒ අස්සේ උන්දැ නොන්ඩි ගහනකොට අපේ කොල්ලත් බොරුවට නොන්ඩි ගහනවලු කින්ඩියට . . .(ඒක නම් කොල්ලට අප්පච්චිගේ ජාන වලින් ලැබුනු තෑග්ගක්ද කොහෙද . . ) හික් හික් . . . ඒක දැක්කාම උන්දැට තවත් කේන්ති යනවා ඇති . . "මූත් මහ එකා වගේමයි . . . කාටහරි කරදරයක් වුනත් ඒකත් විහිලුවටමයි ගනන් ගන්නේ" කියලා . . . ඇයි හත් දෙයියනේ මුලු ඇඟම පිච්චිලත් . . .ඉවසගන්න බැරි අමාරුවෙන් වුනත් මම හිටියෙත් හිනා වෙවීනේ . . එහෙම එකේ මේ පොඩි තුවාලෙකට දුක් වෙන්නේ අහවල් කාරියකටද . . .

තව සතියකින් උන්දැගේ මල්ලිගේ වෙඩිම ත් තියෙන නිසා "හෆොයි දැන් වෙඩිම දවසට සාරි අඳින්නේ කොහොමද . . සපත්තු දාන්නේ කොහොමද . . " කිය කියා නහයෙන් අඬමින් වගපාලි කියන කොට මට මතක් වුනේම ඉස්සර කාලේ මම හරිම ආසාවෙන් කියවපු . . දැන් නම් ඒ ලියපු කෙනාගේ නම ඇහෙනකොටත් යකා නගින . . . පත්තරේක කොලමක තිබුනු ලිපියක් . . .

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

එක පොරක් ගේ හොඳම යාලුවා කසාද බඳින්න ලෑස්ති වුනාලු . . . මේ පොරත් ඉතිං බැහැලා සප් එක දුන්නලු යාලුවගේ වෙඩිමට . . .

ඒ අතරේ වෙඩිම දවසට පොර අඳින ඇඳුම් . . . දාන සපත්තු . . එහෙම ගැන සෑහෙන්න හිතලා මතලා . . වියදම් කරලා ඒවත් ලෑස්ති කර ගත්තලු . . . ඇයි ඉතිං හොඳම යාලුවගේ වෙඩිම නිසා පොරත් ඉන්න එපයි ටොයියා වගේ . . . වෙඩිම දවසේ මොන මොනා වෙයිද කියලා කවුද දන්නේ . . . බැරි වෙලාවත් යාලුවා ලස්සන කෙල්ලෝ ටිකකට එහෙම ඉන්වයිට් කරලනම් . . . .. . . නේ . . ???

පොරගේ කරුමෙට වෙඩින් එකට සතියක් විතර තියෙද්දී කකුලේ තුවාලයක් වෙලා . . .

අනේ පොර ඉතිං හරිම කනගාටුවෙන්ලු ඉන්නේ . . . "දැන් ඉතිං වෙඩින් එක දවසට කොහොමද සපත්තු දාන්නේ" . . "හෆොයි මට වෙච්චි අපරාදයක් . . " කිය කියා මිනිහ කල්පනා කරමින් ඉන්නවලු . . .

මොන දේ කලත් පොරගේ හිතේ තියෙන්නෙම කකුලේ තුවාලෙයි . . වෙඩින් එකයි ගැනමලු . . . කෑවත් . . බිව්වත් . . වැඩක් පලක් කලත් . . මොන මගුලක් කලත් . . . කකුලේ තුවාලෙයි . . . වෙඩින් එකයි මිනිහගේ හිතෙන් අහක් වෙන්නේම නැතිලු . ..

වෙඩින් එකට දවස් දෙක තුනකට කලින් පොරට පොඩි ගමනක් යන්න වෙලා බස් එකකට නැග්ගලු . . . මිනිහ ඉඳලා තියෙනෙන දොර ලඟමලු . .. ඔහොම යන අතරේ මැද්දේ හිටපු අඩි උස සපත්තු දාපු නෝනා කෙනෙක් කඩාගෙන බිඳගෙන එනවලු ඊලඟ හෝල්ට් එකේදී බහින්න කියලා . . .

මිනිහට තේරුනාලු මේ නෝනා එන විදිහට නම් මගේ කකුල පාගනවා ෂුවර් ම තමයි කියලා . . . හිතලා නෝනා ලඟට එනකොටම ටිකක් හයියෙන් කිව්වලු . ..

"හා හා කකුල නම් පාගන්න එපා . . . කකුලේ වෙඩින් එකක්" කියලා . . .

පොරට කියන්න ඕන වෙලා තිබිලා තියෙන්නේ "කකුල නම් පාගන්න එපා කකුලේ තුවාලයක් . . ඒක පෑරුනොත් වෙඩින් එකට යන්න බැරි වෙයි" කියලලු . . නමුත් හදිස්සියට පොරට කියවිලා තියෙනෙන අර විදිහටලු . ..

. . . . . . . . . . . . . . . . . . . . .. . .. . . . . . .

ඒකයි මම කිව්වේ "මාර වැඩේ, අපේ ගෙදර උන්දැට හරිම අකරතැබ්බයක් වෙලානේ " කියලා . . අපේ ගෙදර උන්දැටත් කකුලේ වෙඩින් එකක් . . . හික් හික් හික්

ෆොටෝ එක ගත්තේ මෙන්න මෙතනින් . ..

Tuesday, January 19, 2010

පාර්ටි . . . . පාර්ටි . . . පාර්ටි . . . !!



"චමල් අද මොකෝ කරන්නේ . . . කොහෙද සෙට් වෙන්නේ. . ?"

"දමිත්ල ගේ ගෙදරද . . උඹල ගේ ගෙදරද . . අපේ ගෙදර වුනත් පුලුවන් . . "

"ඉස්සර අපි හැමදාම දමිත්ලගේ ගෙදරම සෙට් වුනානේ බන් . . පවුනේ උන්ටම වද දෙන්නේ . . . අපේ ගෙදර සෙට් වෙමු . . ."

"අහ් නෑ එහෙමට කරදරයක් නෑ අපිට . . අපේ ගෙදර සෙට් වෙමු . . "

"අවුලක් නෑ දමිත් මල්ලී . . උඹලගේ ඔයෙසිස් වතුර බෝතලේ අරන් වරෙන් ඒ ඇති . . වතුර තියෙනවනම් හලල හරි ගෙනෙන් . . ඩිරාහ්ම්ස් අටයිනේ බං . . . ගිටාර් බිටාර් තිබුනත් අපේ ඩ්‍රම් එක නැතුව පාර්ටියෙන් වැඩක් තියෙනවාද . . . හෙ හෙ හෙ හේ "

"තුෂාර උඹේ ලඟ මොනාද තියෙන්නේ බොන්න . . මගේ ලඟ ජැක් ඩැනියෙල් එකක් තියෙනවා . . . බැලැක් ලේබල් එකකුත් තියෙනවා . .. "

"අහ් මම RAK බා කුඩා වලින් ගෙනාපු රෙඩ් වයින් ලීටර් 3නේ පැක් එකක් තියෙනවා . . "

"අපේ කාන්තාවෝ වැඩි හරියක් බොන්නේ නෑ නේ බං . . මගේ ෆ්‍රිඩ්ජ් ඊක ස්මිනෝෆ් වගයකුත් ඇති . . . . එයාල බොනවනම් ඒවා අරගෙන බොන්න කියමු . . . මංජුලා හැමදාම චංඩියා වගේ මට ටිකිලා එකක් ඕන කිව්වට බොන එකක්යැ. . . ටිකිලා බාගයකුත් තියෙනවා ෆ්‍රිඩ්ජ් එකේම . . "

"සංජීවත් කිව්වා ඌ ලඟත් බැලන්ටයින් එකක් තියෙනවා කියලා . . ඒකත් අරන් ඌටයි චම්පිටයි කෙල්ලෝ දෙන්නට යිත් එන්න කියමු . . . "

"ඔව් මචං චමල්, චම්පිට කිව්ව නම් එග් පුඩිමක් ඒ කිව්වේ මේ වපලට්ටමකුත් හදාගෙන එයි නේද . .. "

"ඔව් ඔව් චම්පිට ඔය අනං මනං වැඩිය හදන්න දන්නේ නෑ නේ . . . මම චුට්ටිට (චුට්ටි = චමීරා . . . චුට්ටි කිව්වට චුට්ටිම නැත . . .හික් හික්) කියන්නම් ෆ්‍රයිඩ් රයිස් එකක් හදන්න කියලා . . . "

"ආ ඒක හොඳයි . . . මම ගයාත්‍රිට කියන්නම් චිකන් කරි එකක් හදන්න කියලා . . "

"ඔව් ඔව් ගයාගේ චිකන් කරි එක රසයිනේ . . හරි දමිත් උඹ එහෙනම් මාලකටයි . . ලිඳුලි ටයි ත් කියපන් අල හොද්දක් හදන්න කියලා . . පොඩි උන්ට කන්න දෙන්න පුළුවනේ එතකොට . . . නදීෂාගේ බෝංචි කරි එක රසයි නේ . . . මම එයාට කියන්නම් බෝංචි කරි එකක් හදන්න කියලා .. ""

"සුමින්ද ටයි මංජුලාටයි එන්න කිව්වොත් උන්දෙන්නා කට්ලට් හදාගෙන එයි නේද . . ."

"මංජුලාගේ කට්ලට් කාලා ඉස්පිරිතාලේ ඉන්න වෙයිද දන්නේ නෑ. . හික් හික් .. කමක් නෑ උන් අර කෑම ගන්න අක්කට කියලා හරි හදාගෙන එන්නේ නැතැයි . . ."

"බුද්ධිකයි කුමුදුනිත් මොනා හරි හදාගෙන එයි . . ."

"ජනක් ටයි තක්ෂිලාටයි ත් එන්න කියමු නේද . . . "

"ජනක් ගේ එග්සෑම් නිසා උන් දෙන්න එයිද දන්නෙ නෑ . . ඒත් කොඉ එකටත් උන්ටත් එන්න කියමු . . "

"RAK තුෂාරලටත් එන්න කියනවාද . . "

"උන් කොහෙ එන්නද . . . උන්ගේ ගෙදරත් හැම බ්‍රහස්පතින්දාම පාර්ටිනේ බං . . . අනික මේ වීකෙන්ඩ් එකේ රුවනුයි නිසංසලායිත් එහේ එනවා කිව්වා . . "

"චෙෆ් ලංකා එකෙන් මොනා හරි ගෙන්නමුද . . ?"

"අපෝ එපා . . ඒකේ ඒවා කන්න බෑ බං . . මාර විදිහටනේ උන් මිරිස් දාන්නේ . . . "

"එහෙනම් අරලිය එකෙන් බැදපු මාළු ටිකක් ගෙන්න ගමු . . . බයිට් එකට . . ."

"අහ් . . එහෙනම් ලළන්තට කියම් ඒ ටික අරගෙන එන්න කියල. . . එතකොට අරලිය එකේ නංගිවත් බලල එන්න බැරියයි ඒ ගමන්ම. . . "

"ඇයි PIGI ට පුළුවන්නේ ඕන නම් තව චිකන් එකකුත් චූටි කෑලිවලට කපලා ගම්මිරිස් ලුනු අතගාලා තියලා ඩීප් ෆ්‍රයි කරගෙන අරන් එන්න . . . මොකෝ කියන්නේ තුෂාර .. . "

"හරි හරි මම බදින්නම් . .. "

"රුචිරට එන්න කියන්නේ නැද්ද සුබා. . ."

"චුරු චුරුට මාව දැක්කම තම්බිට ඌරු මාලු දැක්ක වගේ නේ බං . .. කමක් නෑ මල අතේ තියාගෙන බුම්මගෙන හරි ඉන්නෙ නැතැයි . . ඌටත් එන්න කියමු . . "

. . . . . .. . . . . .. . .. . . .. . . .. . ..

මේ කාලයකට පෙර (ඈත කාලයේ නෙමෙයි . . බොහෝම මෑත කාලයේ පවා . . ) හැම බ්‍රහස්පතින්දා දවසකම අපේ මිතුරු සමාගමේ සුපුරුදු සංවාදයක් . . . ඉරිදා ඉඳන් බ්‍රහස්පතින්දා වෙනකම් මැෂින් වගේ එක දිගට වැඩ කරලා සති අන්තේ (අපේ සති අන්ත නිවාඩුව සිකුරාදා සහ සෙනසුරාදා වේ . . ) වෙනකම් අපි හැමෝම බලං ඉන්නේ කාන්තාරයක ගමන් කරනවුන් ටිකක් ක්ෂේමභූමියක් දකින කම් ඉන්නවා වැනි නොයිවසිල්ලකින් . ..

බොහෝ විට රෑ අටට නමයට පටන් ගන්නා මේ පාර්ටි ඉවර වෙන්නේ පහුවදා උදේ හතරට නැති නම් පහට විතර . . . මට තාම මතකයි අපි විවාහ වුනු මුල්කාලයේ බ්‍රහස්පතින්දාක දමිත්ලගේ ගෙදර තිබුනු ඔයවගේ පාර්ටියක් ඉවරවෙලා සිකුරාදා උදේ පහට විතර අපේ ගෙදර යන ගමන් නදීෂා මට කියනවා . . . " මම නම් කවදාවත් හිතුවේ නෑ මේ වගේ නිශාචර ජීවිතයක් ගතකරන්න වෙයි කියලා . . . "

ඒකට පිලිතුරු වශයෙන් "නිශාචරයෙක්ව බැන්දනම් නිශාචර ජීවිතයක් ගත කරනන් වෙනවා" කියලා මම කිව්වද කියලා නම් මට මතක නෑ . . සමහර විට හොඳ ම සිහියෙන් නෙමෙයිද දන්නෙ නෑ ඒ වෙලාවේ හිටියේ . . හික් හික් . .. .

හොඳම වැඩේ කියනනේ අපේ සෙට් එකේ හිටියේ බෙබාලා නෙමෙයි . . . සෙට් වෙලා . . .රෑ එලි වෙනකම් සිංදු කියලා . . . නැත්නම් එකාට එකා මඩ ගහගෙන . . එහෙමත් නැත්නම් අපේ පරන කතා හෙවත් පැරණි රසාංග කිය කියා සතුටු වෙන්න ඕනෑවට බිව්වා මිසක් . . . .කන සාක්කුවේ දාගන්න ගානට බොන වුන් නම් අපේ සෙට් එකේ එකෙක් වත් නෑ . . . දමිතුයි මාලකයි ලළන්තයි නම් කොහොමටවත් බොන්නේ නෑ . . . (අපරාදෙ උන්ගේ ජීවිත . . හික් හික් . . )

මගෙයි දමිත්ගෙයි සංජීවගෙයි ගිටාර් තිබුනා වුනාට ගිටාර් ගහන්න පුලුවන් එකෙක් හිටියේ සංජීව විතරයි . . . චමල් හැමදාම කැලැරන්ස්ගේ සිංදු ඕන එකක් මම කියන්නම් කිව්වට . . . කියන්න ගත්තාම බොරුවාට කුටු කුටු ගගා ඉන්නවා . . .දමිතුයි මායි තමයි ඉතිං ගොඩදාලා දෙන්න ඕන . . .

මට නම් ඉතිං සිංදු ගොඩාක් මතක තියෙනවා වුනාට කියන්න නම් බෑ . . . ඒ වුනාට ඉතිං අර ගස් නැති රටේ එඬරු ගසුත් ගස් වගේ . . මේ මගේ ගීත ගායන හැකියාවටත් (වසරේ විහිලුව . . හික් හික් . . ). . . (අසන්නන්ට දෙයියන්ගේම පිහිටයි. . ) ඒ වගේ වෙලාවට තැනක් ලැබෙනවා . ..

ඒ අස්සේ මට මතක් වෙන්නේ රුවන්වැල්ලේ නැන්දලාගේ කලාඋළෙල නිමා වෙලා අපි කෙල්ලෝ කොල්ලෝ කට්ටිය රෑ වෙන කම් සිංදු කියපු දවසේ කලායතනේ සංගීතය උගන්වන කරවනැල්ලේ "ජගත් සර්" කියපු දෙයක් . . .

"මල්ලී ඔයාට සිංදු ගොඩක් කට පාඩම් ඒත් ඔයාට ගායනා කරන්න බෑ . . . සිංදු කට පාඩම් එකයි ගායනා කිරීමයි කියන්නේ දෙකක් . . ."

මම ඉතිං නදීෂාට නිතරම කියනවා අමරසිරි පීරිස් සංගීත ක්ෂේත්‍රයේ කාලයක් තිස්සේ ඉඳලා වයසට ගියාම නේ ගායකයෙන් විදියට එලිපහලියට ආවේ . .ඒ වගේ මාත් වයසට ගිහින් හරි නියමිත පරිදි සංගීතය හරියට හදාරනවා කියලා . ..

රෑ ඉඳන් පාන්දර වෙනකම් සිංදු කියන්න වුනාම අපි මුහුන දෙන ලොකුම ප්‍රශ්නේ තමයි සිංදු මතක නැති කම . . . පොඩි පාවෙන වගේ ගතියත් එක්ක සමහර වෙලාවට මතක තියෙන සිංදුත් මතක තියෙන්නේ මැද්දෙන් පොඩි කෑල්ලක් . . . "අර අර අහවලා කියන්නේ බං . . අර . . මෙන්න මෙහෙම කෑල්ලක් තියෙන්නෙ . . " කියලා සමහර වෙලාවට සිංදු දහයක් විතර කියන කාලයක් අපතේ හරිනවා එක සිංදුවක් මතක් කරන්න . . .

මේකට පිලියමක් කල්පනා කරපු මම කලේ . . . . මම ඒ කාලේ ටයිප් කරන්න දන්න කපුටා ඩොට් කොම් ෆොන්ට් එකෙන් අපේ ප්‍රියතම ගීත වල මුල් කොටස විතරක් අපි ඒවා කැටගරයිස් කරලා කියන විදිහටම ටයිප් කරපු එක . . .

ඒ කිව්වේ අපි සිංදු කියන්න ගත්දී මුලින්ම ස්ලෝ ඒවා . . පස්සේ චිත්‍රපටිවල ඒවා . . . පස්සේ බයිලා . . වෙලාවක නාට්‍ය ගීත . . . මගුල් ගෙවල් වල දාන ඒවා . . අම්මට තාත්තට කියාන ඒවා . . . ඔන්න ඔය විදිහට තමයි අපි කැටගරයිස් කලේ . . .

මේ ලඟදි මට ගෙදර අස් කරද්ද්දී ඒ ටයිප් කරපු ලිස්ට් එක හම්බුනා . . . ඉතිං මම හිතුවා ඔයාලටත් මේක ප්‍රයෝජනවත් වෙයි කියලා පාර්ටි දාන වෙලාවක . . .

අනික මේ දවස් වල මම ලබන සතියේ නිවාඩු ආවහම පාර්ටියක් දාමු කියලා කතා වෙවී ඉන්න වෙලාවේ නිසා මේක මටත් ගොඩාක් ප්‍රයෝජනවත් වෙන බව නම් මට විශ්වාසයි . . .

ගොඩාක් වෙලාවට වික්ටර්ගේ සිංදුයි නංදාගේ සිංදුයි ගොඩක් දමිත්ටයි මටයි මතක නිසා වික්ටර්ගේ,නංදාගේ ගීත වලින් නිතර නෑසෙන ඒවා විතරයි මේකේ ඇත්තේ . . .

මේක බලල මට මිස් වුනා කියලා හිතෙන ගීත කමෙන්ට් එකක් විදිහට දාන්න කියලා මම ඉල්ලීමකුත් කරන්න කැමතියි ඔයාලා හැමෝගෙන්ම . . . . .









මේ කස්ටිය මේකේ පොඩි පොඩි ටයිපින් මිස්ටෑක් . . වචන වැරදීම් එහෙම තියෙනවා . . .ඒවා ගැන වැඩිය හිතන්න එපා හොඳේ . . . හික්ස්

Monday, January 18, 2010

මා කාටද මේක කියන්නේ . .. මා . . . කාටද මේක කියන්නේ . .. . . . !



මම බොහෝ කාලයක සිට සිතමින් සිටියා මගේ සිත් ගත් පැරණි රසාංග (පැරණි ගී) කීපයක් ඔබ සමඟ බෙදා හදා ගත යුතුයි කියා . . .

විශේෂයෙන්ම නිවාඩුවක දී නුගේගොඩ සුපර් මාර්කට් හි පහත මාලයේ ඇති කඩයකින් මා මිලදී ගත් සංයුත්ත තැටියක් මට ඒ අදහසට පොහොර දමනු ලැබුවා . . .එහි මිල ඉතා පුන්චියි නමුත් ලබාදෙන රසය කියා නිමා කල නොහැකියි . . .

ආර් මුත්තුසාමි අපේ සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන මතක සටහන් තැබූ සංගීතඥයෙක් බව ඔහුගේ ගී . . . ඔහු විසින් නිර්මිත තනු සහිත ගී . . . රසවිඳ ඇති ඕනෑම අයෙක් විසින් පිලිගනු ලබන බව මගේ වැටහීමයි . . .

මේ සංයුත්ත තැටිය ඔහු විසින් නිර්මිත ඔහුගේ ගී ඔහුගේ පුත් මෝහන් රාජ් විසින් සමහර ගී සඳහා නව ගීයක ගායිකාවන් යොදා නැවත පටිගත කල අපූරු තැටියක් . . .

මේ බ්ලොග් අවකාශේ නංගිලා මල්ලිලා බොහෝ දෙනෙක් නම් මේ ගී අසා ඇතිදැයි කියා මට නම් සැක සහිතයි . . . අසා බලන්න මේ ගී ඔබව කොතරම් ආනන්දයට පත්කරනවාදැයි . . .

. . . . . . . . . . . . . . . . . . . . . . . .

මම මගේ දෙනෙත වසා ගතිමි . . . දෙවියනේ . . . ඔබ ඇවිදින් මා අසලම සිටගෙන . . . මම මගේ දෑතින්ම දෙසවන වසා ගතිමි . . ඔබේ මියුරු හඬ මා වටේටම රැව් පිලිරැව් දෙන්නේ මන්ද මේ . . . දෙවියනේ . . මේ මදනලේ දැවටීගෙන එන සුලඟට ඔබේ සුවඳ කොහෙන් ලැබුනාද . . . මේ හැමදේම මගේ කැඩී ගිය පෙම් කැදැල්ලේ මතක සටහන් මට යලි යලි සිහිපත්කරවන්නේ මන්ද . . . අනේ මා මේවා කාටද කියන්නේ . . . දෙවියන්ගේ නාමයෙන් කියන්න මට ඇයි ඔබ පිටවෙද්දී ඔබට මේ සියළුම දේවලුත් රැගෙන යන්න අමතක වුනේ . ..

මගේ දෑසම පියවී යන්නේ . .

මගේ දෑසම පියවී යන්නේ . .
ඔබේ රූපය මයි දිස්වන්නේ . . .
මා කාටද මේක කියන්නේ . ..
මා කාටද මේක කියන්නේ . . .

මා සෑදුව කූඩුව කැඩුනා
මල් මාලය පරවී වැටුනා
සෝ සුසුම් හෙලා දෑසම නොබලා
කාටද මේක කියන්නේ . ..
මා කාටද මේක කියන්නේ . . .

අද ගං තලයේ දිය සිඳුනා
වැලි කතරක ඒ දිය ගිලුනා
මග මරු වැදුනා පහනද නිවුනා
කාටද මේක කියන්නේ . ..
මා කාටද මේක කියන්නේ . . .

මගේ මතකයේ හැටියට නම් මේ ගීතය ගයන්නේ සූරියකුමාර් මුත්තලගේ . .නමුත් මියුරුගී අඩවියේ ඇති ගීතය ගායනා කරනෙන මුත්තුසාමි මාස්ටර් විසින් . . .

මේ මියුරු ගීතය මෙතනින් අහන්න . . .

. . . . . . . . .. . . . . . .

මේ මංදාකිනිය පුරාවට පීදිලා තියෙන දාස් ගනන් තරු නිවි නිවී දිලෙමින් සිනා වෙන්නේ අප සමඟ නොවේද . . .?? මේ මාධුර්‍‍යය පිරුනු රාත්‍රිය අප වෙනුවෙන්ම සුසැදි ප්‍රේම නදියක් ලෙස ඔබට නිකමට වත් සිතෙන්නේ නැද්ද . . . එන්න ප්‍රේමිය . . මේ සුදු හංස රෑන් පෙම් රැඟුම් රඟන ප්‍රේම නදියේ ඇයි අපි තවත් පිහිනමින් සතුටු වෙන්න පමා වෙන්නේ . ..

මධුර යාමේ. . .

මධුර යාමේ සුව දෙසාමේ . . //
සිනහ වීලා එන්න රෑ මේ . .
ප්‍රේම නදියේ . . පීන පීනා
එන්න රෑ මේ . . ඕ . .
තරු සිනා සේ . . දෙනෙත පොපියයි . . //
මසිත පිබිදී සතුට රජවෙයි . .
ප්‍රේම නදියේ . . පීන පීනා
එන්න රෑ මේ . . ඕ . .
ඕ ඔ ඕ . . ඕ ඔ ඕ
හා . හ . හා . . . හා . හ . හා . . .

සුසුදු හංසයෝ විලෙහි සරතී
රසය ඇති තැන් කොහෙද සොයතී . . . //
දෑත විහිදා එන්න අඳුරේ. .
උන්ව අල්ලා ගන්න මිහිරේ . .
අතට අතදී . . .හිතට හිත දී. . //
රැල්ල විලසී එන්න පෙරලී . .
ප්‍රේම අන්දියේ පීන පීනා එන්න රෑ මේ . .
ඕ ඔ ඕ . . ඕ ඔ ඕ
හා . හ . හා . . . හා . හ . හා . . .

"සිතක මහිම" චිත්‍රපටියට ආර්. මුත්තුසාමි සමඟ සුජාතා අත්තනායක ගායනා කල මේ ගීතය මෙතනින් අසන්න පුලුවන් . . .

. . . . . . . . . . . . . . . . . . .

අනේ සුළං රැල්ල . . . ඔබ රැගෙන ආ ඔහුගේ සුවඳ මට නොදී ඔබ පලා යන්න නම් සිතනන්වත් එපා . . . ඔහු වෙනුවෙන් මගේ සිතේ උපන් සිතුවිලි මේ ගං දියේ නැගෙන සුලි මෙන් එක තැනම කැරකි කැරකී එක තැනකටම රොක් වෙනවාක් මෙන් ඔහු වටා පමනයි . . ඔහු පමනයි . . . නෑ මට වෙන ලොවක් ඔහු හැර . . . ඔහු එපමනකටම මගේ ලෝකය ආක්‍රමනය කල සැටි කොතරම් අපූරුද . . . ??? ඉතිං කෝ ඒ සොඳුරු කුමන්ත්‍රනකාරයා . . . ඔහුගේ පමාවෙන් මගේ සිත වේදනාවෙන් සැලෙන හැටි . . .

ආදරේ මන්දිරේ

ආදරේ මන්දිරේ
සඳළුතල එලිවෙලා
මීවිතේ . . මී පිරී
පිටාරය එයි ගලා . .. //

සුවඳ අරගෙන ඔබේ . .
සුලඟ මා වෙත එබේ . . //
සුහද ඔබ කිම පමා . .
සුසුම් රැල් යයි හමා . . . //

ගඟක බිහිවෙන සුලී
වැනිය හද සිතුවිලී . . //
නයන සනහන පුරා . .
කොහෙද මගේ පෙම්බරා . . . //

"ඔක්කොම හරි" චිත්‍රපටයෙන් වෙනුවෙන් මේ ගීතය ගායනා කරන්නේ සුජාතා අත්තනායක . . . මේ ගීතය මෙන්න මෙතනින් අසන්න පුලුවන් . . .

. . . . .. . . . .. . . .. . .

දෙවියනේ . . . ඔබේ කැදැල්ල උනුසුම පිරුනු සුව යහනාවක් කියා මා රැවටුන තරමක් . . . අපේ ප්‍රේමය මගේ හද සුවපත් කරන ඔසුවක් නොව වේදනාවෙන් හදවත පුලුස්සන රත්වූ යවටයක් බව වැටහෙන විට මා කෙතරම් පමා වීද . . . විවාහයට පෙර ඔබෙන් ලද මුදු වදන් වෙනුවට අද පිටවෙන මේ ගිනිදළු වන් රුදුරු වදන් මා සිතේ ඇතිකරන සංකාව මා කෙසේ විඳදරා ගන්නද . . .

පරම රමණී

පරම රමණී අපේ ආලේ
සදාකල් දුකට වී මූලේ . .
සමාජේ රුදුරු කාන්තාරේ . .
කොහේ අපි යනුද නොම තේරේ . .
පරම රමණී . . .

කිමද වෙන්නේ අනේ නොදැනේ . .
මෙයින් මතුදා . . ..
විදුලි හඬ ජලයකැයි සිතලා
මිරිඟුවකි ආවේ මා සොයලා
එයින් නෙත කඳුලී පිරිලා

ආ .. අ . . ආ . ..

විවාහේ මධුර රස ලොබ වී. .
මුලාවේ වැටුනේ අඳුරේ හී
ලැබෙයිදෝ . . මිහිර ප්‍රේමේ මේ
සදා දුක දෙයිද නොදැනේවී . .
සිතේ සැක ඒවි දැන් මතුවී . .

"නලඟන" චිත්‍රපටියට ජී. එස්. බී . රානි පෙරේරා ගායනා කල මේ ශෝකී ගීතය මෙතනින් අහන්න . ..

. . . . . . . . . . .

පියා සලන ඉගිල්ලී . ..

පියා සලන ඉගිල්ලී . . . //
රත්තරනේ . . .
පියා සලන ඉගිල්ලී
රත්තරනේ . . .
ඔබයි සුසුදු පරෙවි කිරිල්ලී . . . ..
පියා සලන ඉගිල්ලී
රත්තරනේ . . .
ඔබයි සුසුදු පරෙවි කිරිල්ලී . . . ..
පියා සලන ඉගිල්ලී . . ..

සිනා හලන වෙලාවේ . . රත්තරනේ
සිත පිබිදෙයි සඳසේ වලාවේ . . .//
නෙතේ කඳුලු පෙනීලා . .
මාස්ටර් . . මාස්ටර් . .
රත්තරනේ . .
ලේ වැගිරෙයි හද පෑරීලා .. .

ඔබේ වත මැලවිලා නම්
රත්තරනේ .. මගේ දුක වාවමිද කෙසේ මම් . . .//
ආ . . .
ඔබේ වත මැලවිලා නම්
රත්තරනේ .. මගේ දුක වාවමිද කෙසේ මම් . .
ඇදී සුරත ගනිද්දී . . රත්තරනේ මා මත්වේ මිහිර පිරෙද්දී . . .


මේ ගීතය ගැන නම් මා අතින් වෙන කිසියම් දෙයක් නොලියවෙන තරම් . . . එපමනටම මේ ගීතයට අදාල චිත්‍රපටියේ රූප රාමු මේ ගීතයේ අන්තර්ගතය පවා ගිලගෙන කියා මා කීවොත් මේ රූප රාමු නරඹා ඇති කෙනෙක් මා නම් සමඟ එකඟ නොවේද . . . ?

චිත්‍රපටිය : අල්ලපු ගෙදර
නළු නිළියෝ : හි‍යුගෝ මාස්ටර්, ජෝ අබේවික්‍රම සහ සුරූපී නිළි කැලැරිස් ද සිල්වා.

(මේ චිත්‍රපටිය සිනමා ශාලාවේ නරඹන්න මා රැගෙන යද්දී දෙමාපියන් කියන හැටියට මට වයස අවුරුදු 2ක් හෝ 3ක් පමන ඇතිලු . . . නමුත් පසුකාලීනව මේ ගීතය හැර සිනමා පටිය මා නරඹා නැති බව පමනක් මා දනිමි . . )

තට්ටු නිවාස ගොඩනැගිල්ලක උඩුමහලක හියුගෝ මාස්ටර්, ජෝ කාරයා (අපේ අම්මා ඔහුව හඳුන්වන නම )සහ තවත් මිතුරන් නවාතැන් ගෙන සිටී . . .

ඔවුන්ගේ සැඳැල්ලෙන් පෙනෙන අල්ලපු ගෙදර නිවසේ හිංදි නිළියන් පරදවන සුරූපී රූ සපුවක් හිමි තරුණියක් වාසය කරයි . . . මෙහා ගෙදර සියළුම තරුණයන් ඈට උමතුවෙන් මෙන් පෙම් කරනු ලබයි . . .

කෙසේ නමුත් සංගීත හැකියාව නිසාම ඇයට සංගීතය ඉගැන්වීම සඳහා හියුගෝ මාස්ටර් මේ තරුණියට ලංවීමට ඉඩ ප්‍රස්ථාලබා ගනී . . .

මේ ගීතය උගන්වමින් සිටින අතරතුර "රත්තරනේ . . " කියමින් තරුණියගේ නිකටින් අල්ලමින් සිටියදී මෙහා ගෙදර සැඳැල්ලේ සිට ජෝ කාරයා හියුගෝ මාස්ටර් ට "බූරුවා. . මී හරකා . .. කැරපොත්තා. . . ගැඩවිලා . . යනදී වචනයෙන් බැනවදිමින් එහාට මෙහාට ගමන් කරන දර්ශනය මේ ගීතය අසන හැම මොහොතකම මැවී පෙනී සිනා උතුරා යන බැවින් ඉන් එහාට දෙයක් සිතීමට වත් මට නම් ඉඩක් නොලැබේ . ..

මේ අපූරු ගීතය ගායන කරනෙන මුත්තුසාමි මාස්ටර් සමඟ සුජාතා අත්තනායක. මේ ගීතය මෙන්න මෙතනින් අසන්න

. . . . . . . . . . . . . . . . . . . .

සෙස්ස පස්සට . . .මේ ලිපියේ ඉතුරු කොටස මතුවට ලියන්න සිතාගෙන සිටිමි . ..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails