Thursday, August 1, 2013

ඇට මිදුළු වලට පවා දැනෙන දාරක ප්‍රේමය . .. !

දාරක ප්‍රේමය ඇට මිදුළු වලට පවා දැනෙන හැඟීමකැයි කීවේ මහචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතායි. 

එසේ කීවේ වනයේ හැරදමා බිරිඳ සුප්පා දේවියත් පුතු සිංහබාහුත් දෝනි සිංහසීවලීත් ගල් ලෙන බිඳ පලා ගිය සොවින් වැලපෙන සිංහයාගේ දරුපෙම විදහා දැක්වීමටයි.

පහල කොමෙන්ටුවක අයිලාෂ් සඳහන් කල පසුයි මතක් උනේ. සරච්චද්‍ර මහතා ඒ අදහස පැරණි බෞද්ධ සාහිත්‍ය පතපොතින් උපුටා ගත්තා විය හැකියි. සීයා වූ සුදොවුන් රජුගේත් මෑණියන් වූ යසෝදරා දේවීන්ගෙත් අවසරයකින් තොරව රාහුල කුමරුන් මහන කරවා ගත් බුදුන්වහන්සේට සුද්ධෝදන රජතුමා "දාරක ප්‍රේමය ඇට මිදුළු වලට පවා දැනෙන" හැඟීමකැයි පැවසූ බව බෞද්ධ සාහිත්‍ය කතා වල සඳහන් වෙනවා.

එසේ ඇටමිදුළු වලටත් දැනෙන ඒ දරුපෙම නොදැනුනේ මන්දැයි මගේ තාත්තා සමඟ මම ක්‍රෝධයෙන් සිටියෙමි බොහෝ කාලයක්. 

සමහර විට ඔහු දරුපෙම හදෙහි සඟවාගෙන සිටියා විය හැකියි. 

හදවතේ මහා ලොකු ක්‍රෝධයක්ද ඒ හා සමාන ආදරයක්ද දරාගෙන ක්‍රෝධයට නැගී සිට විට ඔහුට රිදවන්ටත් ආදරයට නැගී සිටින විට ඔහුට ආදරය කරන්නත් මම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් බොහෝ වසර ගානක් මගේ හදවතට ඉඩ දුන්නෙමි.

වාසනාවකට සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගේ "පූර්ව ජන්ම අපූර්වය" පොත කියවන්න ලැබුනායින් එතෙක් කලක් හදවතේ ලැගුම්ගෙන සිටි ක්‍රෝධයට මගෙන් ඉවත්ව යන්න අවසර දුන්නෙමි.

අහා . .. හදවතට දැනෙන සනීපය . . !

අතීතයට ගොස් එහි සියළු වැරදි යලි පිලිසකර කරන්න බැරි බව දන්නා නිසා අතීතයේ ඒ අඳුරු ගුලිය දිහා නොබලන්න ප්‍රවේසම් වෙමි.

දැන හෝ නොදැන මගේ පියාගෙන් මට වුනු අඩුපාඩුව . . එනම් මහාමෙරක් තරම් මා බලාපොත්තු වූ ආදරය නොලැබී යාම නම් වූ සිදුවීම මගේ දරුවෙකුට නම් කවදාවත් සිද්ද වෙන්න ඉඩ නොතබමියි සඵත වුනෙමි.

සිදුවීම් සිදුවෙන්නේ අපිට අවැසි ආකාරය නොවේ.

ජීවන ගමනේ බර කරගසාගෙන යනු වස් ව්‍යාපාරික කටයුතු වලට මාස ගනන් දුර බැහැර ගොස් අපෙන් ඔහු දුරස්ව සිටියාක් මෙන් මට ද බිරිඳ දරුවන් හැරදමා ජීවන ගමනේ බර කරගසගසනු සඳහා ඔවුන් තනිකොට මාස ගනන් ඔවුන්ගේන් දුරස්ව ඉන්න සිදුවුනි. 

එය දෛවයේ සරදමක්ද? 

"උඹේ තාත්තට ත් උනේ මේ දේමයි ඒ නිසා ඔහුට සමාව දීපන්" යන පාඩම දෛවය මට උගන්වන්න සිතුවාද?

මාස ගානකට පසු ගෙදර එන තාත්තාගේ සරමේ ඔන්චිල්ලා පදින්න, ඔහුගේ ඇඟ උඩ පිනුම් ගහන්න,  කරේ නැගලා පේර ගහේ උඩ අතුවල ගෙඩි කඩන්න, වාසනාව නැති උනේ අපිට පමනක්ද?

අපිට ඒ හුරතල් විඳින්න තිබූ කාලය සොරා ගත්තේ කවුරුන්ද?

ඒ කැත, ජරා දේසපාලනයයි. පක්ෂ දේශපාලනයයි.

සාක්ශරතාවය සීයට අනූ ගනන් ඉහල ගියාට ඊට සමානව තාර්කිත බුද්ධි මට්ටම ඉහල නොගිය එකල සිටි (අවාසනාවට මෙකලත් එසේමයි) චන්ද දායකයන් එක්කෝටි අසූ ලක්ෂයෙන් එකෙක් වූ අපේ තාත්තගේ උනුහුම අපිට විඳින්න  තිබූ කාලය සොරා ගත්තේ ජරා දේසපාලනයයි.

මහ එවුන් පාර්ලිමේන්තුවෙදී ස්ටේජ්වලදී ටී වී වලට පේන්න පත්තර වලට ඇහෙන්න මරාගෙන, හෝටල් වලදී මුනගැසී කරේ අතදාගෙන විස්කි බිබී ජොලි කරන පක්ෂ දේසපානය නිසා මාස ගානකට පසු ගෙදර එන තාත්තාට අපිත් සමඟ ඉන්න වෙලාව නැති කරගත් බව දුටු මම මට මාස ගානකට පසු පවුලේ උනුහුමේ දැවටෙන්න ලැබුනු නිවාඩු වෙලාවේ ඔවුන් හැර දමා කොහේවත් නොයන්න වග බලා ගත්තෙමි. යන තැනක අපි හැමෝම ගියා පමනයි.

තාත්තාගෙන් මට උනු අඩුපාඩුව මගෙන් මගෙ පුතාට සිදුනොවෙන්න වග බලා ගන්න මහන්සි උනෙමි.

වරක් රැකියාව අහිමි උනු වෙලාවේ පුතාත් අරන් ගම රට ගිය බිරිඳ දිවි බරට උර දෙන්න ව්‍යාපාරයක් පටන් ගත්තේ අනාගතයේදී දරුවාට හරි ඉන් ප්‍රයෝජනයක් ලැබෙයි යන විස්වාසයෙන්.

අනාගතය වෙනුවෙන් වර්ථමානය කැප කරන එක කොයි තරම් පිස්සු වැඩක්දැයි වෙලාවකට සිතේ.

දරුවෙක් අනාගතයේ දී වටිනා දේවල් ලෙස සලකන්නේ  දෙමාපියන්ගේ කැපකිරීම් තුලින් ලැබූ භෞතික වටිනාකම්ද . . ඔවුන්ගේ ආදරය රැකවරණය මත ලැබූ අධ්‍යාත්මික සන්තෘෂ්ටියද යන දෙකෙන් කොයි එකද කෙසේ විසඳා ගන්නද?

මම මගෙන් ඒ ප්‍රශ්නය ඇසුවොත් පිලිතුර කුමක් වේදැයි නිතර අසමි.

ඇත්ත තාත්තා බිස්නස් කරලා හම්බකලා උනත් දේසපාලනේට නාස්ති කලායින් ගෙයක් දොරක් වත් හැදුවේ නෑ.

ඒත් අපිව බඩගින්නේ නොතියා හැදුවා වැඩුවා නේ ..

තාත්තට බැරි උනු නිසා මට පිට රට ගිහින් එයාලටත් ඉන්න හිටින්න ගෙයක් දොරක් හදල දෙන්න උනා.

නංගිත් එයාලගේ සියළු දුකට සැපට පිහිට වෙනවා.

අක්කත් ඉඳලා හිටලා ගිහින් දුක සප හොයා බලනවා.

ඒත් අපිට මොනව දුන්න නොදුන්නත් තාත්තා අපි පුන්චි කාලේ උතුරන්න තරම් ආදරේ දුන්නා නම් අපිට තාත්ත ගැන තරහක් නොහිතා ඉන්න තිබ්බ නේද?

සරලව ම මගේ පිලිතුර භෞතික දේවල් අපිට කොහොම හරි ලබා ගන්න පුලුවන්. ඒත් අර නැතුවුනු අධා‍යාත්මික සුවය??

- - - - - -- - - - - --

අනිද්දට ස්කෝලේ නිවාඩු දෙන නිසා හෙට මගේ සොඳුරු ත්‍රස්තවාදියයි එයාගේ අම්මයි මෙහේ එනවා.

කොල්ලගේ අනාගතේ ත් වෙනුවෙන් කියලා පටන් ගත්තු අපේ බිස්නස් එක ටික කාලයක්ට නතර කරලා හරි අපි ආපහු එකට ඉමු කියන මගේ යෝජනාවට නදීෂගේ කැමැත්තක් පේන්න තියෙනවා.

ස්කෝල වලට කතා කලාම ගොඩක් ඒවායේ ළමයි අරගෙන ඉවරයි කියනවා . . ඒත් සමහර ඒවා කිව්වේ ළමයව එක්කගෙන එන්න . . ආවට පස්සේ කතා කරමු කියලා.

කොල්ලට මෙහේ හොඳ ස්කෝලයක් ලැබේවා. අපිට ආපහු සංතෝසෙන් එකට ඉන්න ලැබේවා කියන එකයි මගේ එකම ප්‍රාර්ථනය දැන් . . !

එහෙම උනොත් මාස දෙක තුනකට පස්සේ  නිවාඩු ගිහින් බිස්නස් ඒකත් දිගටම කරගෙන යන්න ක්‍රමයක් හොයා ගන්න ඕන.

කොයි දේ වෙන්නෙත් හොඳටයි . . . . !




පින්තූරය: විරුල්ගේ හතරවෙනි උපන්දිනය සැමරුවේ සාජා වල දුමීලගේ ගෙදර. මේ 2011-09-03 ගත්තු එකක්.

38 comments:

  1. ජිව්විතේ එක පැත්තකින් ලැබෙන කොට තව පැත්තකින් අහිමි වෙනවා.....ලෝකේ හිටපු නරකම තාත්තා එයා වෙන්න බෑ.....මට මතකයි දුකා කාලේකට ඉස්සෙල්ලා ලිව්ව...මිනිහෙක්ගේ වැ‍රැද්දක් දැක්කම..ඒ මිනිහා ඒ වැ‍රැද්ද කරන්න හේතුව ගැන හොයලා බැලුවොත් අපට ඒ මිනිහා ගැන ඇති වෙන්නේ කෝපයක් නොව අනුකම්පාවක් වැනි හැඟීමක් වැනි කථන්දරයක්...

    සුභ පැතුම්....

    ReplyDelete
  2. කොයි දේ වෙන්නෙත් හොඳටයි, එහෙම හිතන්න පුළුවන් අය දිනුම්.

    ReplyDelete
  3. සතුට පිරි අනාගතයකට සුබ පැතුම් ...

    ReplyDelete
  4. ජීවීතේ කියන්නේ සල්ලි නෙමෙයි දුකා. කොල්ලා පොඩි නිසා එකට ඉන්න එක තමා හොඳ. අපේ තාත්තා නම් අපිට එහෙම නොකලට. මට එහෙම දෙයක් උනා. මම ආයේ ආවෙත් පොඩි එකාගේ එක කතාවක් නිසා. අද මම ආර්ථික අතින් ශක්තිමත් නෑ. ඒත් ප්‍රීතිය අතින් බොහොම ශක්තිමත්..

    ReplyDelete
  5. මොන සැප සම්පත් නැතත් ගැනු දරුවෝ එක්ක එකට ඉන්න එක තමයි ජිවිතේ

    ReplyDelete
  6. දුකා ඉස්සෙල්ලම පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕන,

    //දාරක ප්‍රේමය ඇට මිදුළු වලට පවා දැනෙන හැඟීමකැයි කීවේ මහචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතායි. //

    සරච්චන්ද්‍ර මහතාගේ උගත් කම්, බුද්ධිමත් කම ගැන මගේ ආචාරය පුද කරනවා, නමුත් මේ ප්‍රකාශය මුලින් කලේ සුද්ධෝධන මහරජතුමා විසින් බුදුරජාණන් වහන්සේට. ඒ රාහුල කුමාරයා මහණ කල වෙලේ. එතන දීර්ග විස්තරයක් තියෙනවා, එලෙස ප්‍රකාශ කරලා තමයි එතුමා බුදුරජාණන්වහන්සේ ගෙන් ඉල්ලීමක් කරන්නේ දරුවන් මහණ කිරීමට පෙර දෙමාපිය අවසරය ගන්නා ලෙස.

    මචං, නිවාඩු කාලේ හරි උල්බට දරුපවුල සමග එකට සිටීමට ලැබීම ගැන ඉතාම සතුටුයි.

    ReplyDelete
  7. බොහොමත්ම සතුටුයි පව්ලම එකට ඉන්න ලැබුන එකට දුකා.උඹ දන්නවනේ මමත් උඹ වගේම තමා අනාගතය වෙනුවෙන් වර්තමානය වැය කරනවානේ.උඹ ගත්ත තීරණය හොදයි හැමදෙයක්ම හොදින් සිද්ද වෙන්න කියල ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා ඔන්න...

    ReplyDelete
  8. //අනාගතය වෙනුවෙන් වර්ථමානය කැප කරන එක කොයි තරම් පිස්සු වැඩක්දැයි වෙලාවකට සිතේ//
    සහතික ඇත්ත අයියේ... ඒත් අපි ඒ පිස්සු වැඩේ කරන්න තරම් අසරණ වෙලා... කොහොමවුනත් විරුල් පුතාට හොද ඉස්කෝලයක් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා... තුන් දෙනාටම ගොඩාක් සතුටෙන් ඉන්න ලැබේවා..

    ReplyDelete
  9. //කොල්ලට මෙහේ හොඳ ස්කෝලයක් ලැබේවා. අපිට ආපහු සංතෝසෙන් එකට ඉන්න ලැබේවා //


    මමත් එහෙම ප්‍රර්ථනා කරනවා ...........!

    ReplyDelete
  10. @කකා!
    අනිවා අනිවා . .!!

    @මයියා!
    අපෝ නෑ මයියා. අපේ තාත්තා බොහෝම හොඳ මනුස්සයෙක්. අපිට හුඟක් ආදරේ කලා ඒත් මඟුල් දේසපාලයනක් බදාගෙන හිටි හින්දා අපිට මදි නොකියන්න ආදරේ කරන්න වෙලාවක් තිබ්බේ නෑ. එක උදාහරණයක් - අක්කයි නංගියි එක එක වැරදි වලට තාත්තගෙන් ගුටි කාලා තියෙනව ඕන තරම්. මම ජීවිතේට එක ගුටියක් වත් කාලා නෑ. ඉතිං මමත් හිතාගෙන ඉන්නව මගේ කොල්ලට ත් එක ගුටියක් වත් නොදී හොඳින් කියලාම ඌව හදන්න. හෙ හෙ හේ

    @ඉවාන්!
    අපොයි ඔව්. ඒක මගේත් ජීවිතේ මොටෝ එක. . !

    @මහේෂ්!
    ස්තූතියි මහේෂ්.

    @මාතලන්!
    ඔව් මචං . . මම හිතුවෙත් ඒක. හම්බකරන තුට්ටු දෙක මෙහේට වියදම් උනත් මොකෝ අපි සතුටින් ඉඳලා කියලා. ඒත් මීට ගේ හදන්න ගත්තු ණයවල බරත් එක්ක ඒක කරන්න බැරි කමක් තිබ්බා. මේ අවුරුද්දේ අන්තිමට ණය බරින් නිදහස් වෙන්න නියමිතයි. ඒ නිසා ආඵු එකට ඉන්න කියලා හිතුවා.

    @අටම්!
    සාහ්තික ඇත්ත බන්.

    @අයිලාශ්!
    ස්තූතියි මචෝ. මට ඒක අමතකම උනා. ඔන්න ඒක හැදුවා.
    ස්තූතියි මචං සුභ පැතුම් වලට. . !

    @මඟියා!
    ඔව් මචං . . මම දන්නවා. සමහර වෙලාවට වෙන කරන්න දෙයක් නැති වෙනවා මචෝ. මොනවා කරන්නද. ස්තූතියි මචං සුභ පැතුම් වලට. . !

    @නදිනි!
    ඇත්ත නංගී . . කරන්න දෙයක් නැතුම් උනාම ඒ විදිහට කරනන් වෙනවා. ඔයාටත් ස්තූතියි හොඳේ . . !

    ReplyDelete
  11. ජඩ දෙශපාලනය නිසා තාත්තා එක්ක අපිත් හැංගි මුත්තංකලා කාලයක් මරණ බියෙන් ඔව්වා ඔහොම තමයි....අක්කලා ඔහේ එනවද ජොලියක් දානෑකයි තියෙන්නේ එහේනම් ...ජය

    ReplyDelete
  12. ශක්තිය ධෛර්ය ලැබේවා

    ReplyDelete
  13. අනාගතය වෙනුවෙන් වර්තමානය කැප කරද්දී මගහැරෙන දේවල් රැකගෙන ඉදිරියට යන්න පුළුවන් නම්...

    හැමදේම හොඳින් ඉටු වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා... යහපත් බලාපොරොත්තු ඉක්මනින් ඉටු වෙනවා

    ReplyDelete
  14. ජීවිතේ ඔහොම තමයි අයියා. හැම විටම අපි කැමති දේවල්ම වෙන්නෙ නෑනේ. පැමිණි දුක් පැණි රසයි කියල එන හැටියකට මූණදෙන එක තමයි කරන්න තියෙන්නෙ.

    ආයෙත් හැමෝටම සතුටින් එකට ඉන්න ලැබෙන්න කියල මමත් ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  15. ඔයාලගෙ ජීවිතේ හොඳම කාලෙ ඈත්වෙලා ඉන්නවට වඩා තුන් දෙනාම එකට ඉන්න පුලුවන්නම් හොඳයි කියල හිතෙනවා . හොඳ විදියකට හැමදේම සිදු වෙයි .

    ReplyDelete
  16. ජය වේවා සැප වේවා.. පොඩි බ්රේක් එකක් ගන්න මතක හිටින. ඊට පස්සේ අයේ ඔරේ රන් එක...

    ReplyDelete
  17. ඔය දේ ගොඩාක් දුරට මගේ කථාවටත් සමීපයි අයියේ. මටත් මගේ කොළුවගේ හොඳම කාලේ මිස් වුනා සහ තවමත් වෙමින් පවතිනවා..එයා මගෙන් ඈත්වෙන බවකුත් දැනෙනවා.. මගේ නම් බලාපොරොත්තුව ඉක්මනට ආපහු යන්න...

    අක්කත්, පුතාත් ආයේ එන එකට සංතෝෂයි.. ඒ හිතේ සතුට මිළ කරන්න බෑ, සුභ පැතුම්!!!

    ReplyDelete
  18. මේ නිවාඩුවේ ඔය ආදරේ දෙගුණ කරගන්න ඉඩ ලැබේවා!

    ;-)

    ReplyDelete
  19. සදා වාසනාවන් දරුවන් බිරිය එක්ක එකට ඉන්න ලැබෙනවා කියන්නේ මොන තරම් සතුටක්ද?

    සුබ පැතුම් දුකා..

    ReplyDelete
  20. මමත් බොහොම ටික කාලයක් දරු පවුලෙන් සහ උපන් රටින් ඈත් වෙලා හිටියා. මගේ බිරිඳවත් දරුවො වත් මගෙන් කිසිම සැප සම්පතක් ඉල්ලපු අය නොවනනිසා මම එහෙම ගියෙ ඇයි කියල අදවත් මට හිතා ගන්න බෑ. ඒත් ඉක්මනටම මම මගෙ සිතූ පැතූ සම්පත් දෙන රස්සාව අත හැරලා ආපහු ආවා. දරු පැටවු ටිකත් එක්ක එකට ඉන්න එක තරම් සැපක් තවත් කොහෙන්ද...? ඒත් , අපි කොයි තරම් කැප කිරීම් කරල හැදුවත්, ටිකින් ටික ලොකු මහත් වෙනකොට දරුවො අපෙන් ඈත් වෙනවා... ඔබට ඒ දුක කවදාවත් නොදැනේවා...!

    ReplyDelete
  21. මගේ දරුවත් කවදා හරි ඒ විදිහට හිතයි. දරුවාගේ ලස්සනම කාලේ ලඟට වෙලා ඉන්න නැත්තේ මේ කාලකන්නි රටේ ඉපදුන කරුමෙට මිසක් අපේ නොහැකියාවකට නෙවේ.

    ReplyDelete
  22. සුබපැතුම් දුකා අයියේ. අම්මයි තාත්තයි දෙන්නම එක්ක ඉන්න එක තරම් තවත් සතුටක් දරුවෙකුට නෑ. ඒ නිසා ඔබේ බලාපොරොත්තුව ඉෂ්ඨ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුබපැතුම් පවුලටම. ජය...!

    ReplyDelete
  23. කොහොමත් පුත්‍රයව දාන්න වෙන්නෙ ජාත්‍යන්තර පාසලකට නේද?
    සිටින රටේ රජයේ පාසැල් වලට ඇතුලු කිරීමේ ගැටලු තිබුනට ජාත්‍යන්තර පාසැල් වලට එහෙම නැහැ නේද?
    පිට රටක හිටපු/ඉන්න බුවාලා,බුවිච්චිල තමයි දන්නෙ මුදල් කොපමන ලැබුනත් සිය පවුල ලග නැති එකේ පාළුව,තනිකම.
    පිට රට වල ඉන්න හැමෝටම මම නම් කියන්නෙ මොන ප්‍රශ් තිබුනත් කාගෙන ඉදිල්ල.ලංකාවට දැම්ම යන්න හිතන්න එපා කියල.
    දුකා මල්ලියාගෙ ඉදිරි ගමනට ජය..!!

    ReplyDelete
  24. දුකා......මට ලියන්න දෙයක් නැහැ.උඹලා තුන් දෙනාට හැමදාම එකට ඉන්න ඉඩ කඩ විවර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.අපි තුන් දෙනත් ඔය වේදනාව විඳලා තියෙනවා.

    ReplyDelete
  25. //තාත්තාගෙන් මට උනු අඩුපාඩුව මගෙන් මගෙ පුතාට සිදුනොවෙන්න වග බලා ගන්න මහන්සි උනෙමි.\\ ගොඩාක් පුතාලට හිතෙන දෙයක්.. ඒත් අන්තිමට හිතෙයි තාත්තා හරි කියලා... ඒත් ඇත්තටම එහෙම හිතෙන පුතාලත් හිටිවී මම වගේ...

    ඒත් අයියේ අපි හිතෙන හැම දෙයක්ම හරියටම හරි නෑ.. ඒත් දාරක ස්නේහයනම් ඇට මිදුලු යටට කිඳා බහිනවා... නමුත් අපි මේ රඟ පන්නේ චරිතයක් විතරයි.. තාත්තා කියන චරිතය.. ඊට පස්සේ අපට එන්නේ සීයා කියන චරිතය.. තාත්තා කියන චරිතයේ රඟපෑමේ සාර්ථකත්වය මත සීයා කියන චරිතය රඟ දක්වන්නට අවස්ථාව ලැබේවි..

    ReplyDelete
  26. "... දරුවෙක් අනාගතයේ දී වටිනා දේවල් ලෙස සලකන්නේ දෙමාපියන්ගේ කැපකිරීම් තුලින් ලැබූ භෞතික වටිනාකම්ද . . ඔවුන්ගේ ආදරය රැකවරණය මත ලැබූ අධ්‍යාත්මික සන්තෘෂ්ටියද යන දෙකෙන් කොයි එකද කෙසේ විසඳා ගන්නද?..."

    අනාගතය ගැන, ජීවිතයයේ යථාර්ථය ගැන, අලුතෙන් හිතන්න ලියපු පෙරවදනක් වගේ දුකා මල්ලි....

    ReplyDelete
  27. පොඩ්ඩක් පහු වෙලා හරි උඹ කරන්නේ හරි දේ දුකා.

    පොඩි එකාට හොඳ පාසැලක් ලැබේවා, උඹේ පැතුන් ඉ‍ටුවේවා කියලා ඉත සිතින් පතනවා. මෙහෙම කට්ටියක් පතනකොට ඒක හරියනවා මචං,

    ReplyDelete
  28. ලොකු කතාවක් එක සීරුවට කියෙව්වා.
    මගේ ජීවිතේ ඔකේ අනිත් පැත්ත. අප්පච්චි ඉන්නවා. ආදරෙත් තියෙනවා...සුට්ටි එකෙක්ට වගේ බතුත් කවනවා. හැබැයි ගොඩක් දේ අපේ පවුලට අහිමි වෙලා.
    ඇත්ත එක දෙයක් අහිමි වෙනකොට තව දෙයක් අහිමි වෙනවා. එක තමයි ලෝක ස්භාවය.

    අපි ඒ දෙයට අවනත වෙමු. තියෙන දේ ලබාගෙන ඒ දෙයින් සතුටු වෙනවා මිසක් වෙන කුමක් කරන්න ද ?

    බොර දියක ඉඳුවර

    ReplyDelete
  29. ඔව් මචන් ඕවා හරි වැදගත්.... සල්ලි කියන්නෙ ජීවිතේ නෙමේ වුනත්, ඉන්න තැනක හදා ගන්න සල්ලි ඕනා වුන නිසා මමත් කොල්ලට මාස දහයෙදි දාලා ආවෙ. ස්කයිප් එප හදපු එකාට පින් සිද්ධ වේවා.. අදටත් බැදීමේ අඩුවක්නම් නෑ.. මේදා පාර නිවාඩුවට ගිහින් "තාත්තා ආයෙ රට ගිහින් සෙල්ලම් බඩු අරන් එන්නද" කියලා අහපුවම කිව්වෙ "සෙල්ලම් බඩු ඔය ගොඩක් තියෙන්නෙ" කියලා. ඔය ඔක්කොම හින්දාම මමත් ගත්තා තීරණයක්.. ! ඔය ඇති ! සල්ලි කියන්නෙ ජීවිතයම නෙමේ..

    ReplyDelete
  30. අපේ තාත්තත් අපි පුංචි කාලෙ දේශපාලන මාරුවීමක් නිසා ඈතකට ගියා .. අපි තනියෙන් හිටියේ තාත්තා අවශ්‍යම කාලෙ. ඒත් ඒකට වරද ඉතින් ජරාජීර්ණ දේශපාලනයේ තමයි. ඒ මොකද තාත්තා කල එකම වරද අදාල පක්ෂෙට චන්දෙ නොදීමයි.. ඒ හින්දමද මන්දා මම යනයන තැන මගෙ පවුලම අරං යන්නෙ. සල්ලි ඉතුරු කිරිල්ලට වඩා අවශ්‍යම වෙලවට දරුවන් දෙමාපියන් ලඟ ඉඳීම වැදගත්.. ඒ හින්දා ඔක්කොටම එකට ඉන්න ලැබේවා කියල මං පතනවා..

    ReplyDelete
  31. නුඹලාගේ පැතුම් ඉටුවේවා! පතනවා.

    ජීවිත කතාව රිවයින්ඩ් කරලා එඩිට් කරන්න පුලුවන් නම්... පලුදු තැන් පැච් කරන්න පුලුවන් නම්... මොනතරම් අගේද යාළු. ඒත් අවාසනාවට එය එහෙම නෙවෙයි. මේ පුංචි ලෝකයේ නුඹට/මට පාලනයට නතු කරන්න/කරගන්න බැරි දේවල් එමටයි. ඒ පරිසරයේ නුඹ කරත හැකි උපරිමය කරනවා, ඒ ගැන සතුටු වෙලා වම් අතින් දකුණු උරහිසට තට්ටුවක් දාගෙන ඉස්සරහට යන්නයි තියෙන්නේ.

    ReplyDelete
  32. ලිපියට කියවුවට උත්තර ලියන්න ලැබුනේ දැන්. පිටතට නොපෙන්නුවට කාටවත්.. නොකියුවට..පියෙකුගේ දාරක සෙනෙහස තෙරෙන්න සෑහෙන්න කාලෙකට පස්සේ .. සමහරවිට අපි සැහෙන්න දුර ගිහිල්ල ඉන්න පුලුවන් එතකොට කාටත් නොපෙනෙන්න ඉකි ගහලා අඩන්න පුලුවන් කමක් එන්න පුලුවන් ...

    ReplyDelete
  33. @රෙහානි!
    ස්තූතියි ඔයාටත්

    @රාජ්!
    ඔව් පලවෙනිදා ආවා. ආපහු යවන්නේ නැතුව ඉන්නයි බලාපොරොත්තුව මල්ලී.

    @වැව් ඉස්මත්ත!
    ස්තූතියි

    @රයිටර්!
    ඒකනේ එහෙම කරන්න ඇහැක් නම් හොඳා . . තැන්කූ ඈ සුභ පැතුම් වලට

    @ඩීඩීටී!
    අනේ ඔව් බන් මම නම් ගොඩක් වෙලාවට ඉන්නේ එහෙමයි. උඹටත් තැන්කූ මලේ

    @ගිම්හානි!
    ස්තූතියි නංගී ඔයාලගේ හර්ද්‍යාංගම සුභ පැතුම් වලට . .

    @දේශකයා!
    බ්‍රේක් එකක් ගන්න නෙමේ බන් සල්ලි මොන මගුලද කියලා හැමෝම එකට ඉන්නයි කල්පනාව මෙහේ.

    @කුෂ්!
    යන්න නම් ඔනේ තමයි මල්ලී . . . ඒත් මේ රට යන හැටියට එහේ ගිහින් ළමයි ගෑනි මම අපි ඔක්කෝම අතරමං වෙයිද කියලා හිතෙන්නේ නැද්ද?
    සුභ පැතුම් වලට ස්තූතියි මලේ

    @කකා!
    හි හි හී . . බලමු බලමු තෙගුන වෙනවනම් ශෝයි කියලා තමයි අපි හිතන්නේ . . හෙ හෙ හේ

    ReplyDelete
  34. මචං දුකා, දේශපාලනය . . . මට තිත්තම වචනය. මටත් අවුරුදු 4 දී මගේ තාත්තා මේ රටට දුන්න දායාදයක් උන්ගෙ කරගන්න බැරිවුන නිසා මගේ තාත්තාට සහ අම්මාට රැකියාව අහිමි කරල මට තාත්තාගේ උණුහුම විදින්න බැරිවෙන විදියට මගේ තාත්තව මැද පෙරදිග රටක සේවයට යාමට පෙළඹ වූ ජරා දූෂිත දේශපාලනයට අදත් මම වෛර කරමි. එයින් වසර 6 කට පසුව මට මගේ තාත්තාව ලැබෙන්නෙ දරුණු ලෙස රෝගාතුර වූ හෘද රෝගියෙක් විදියටයි. නමුත් තාත්තා ආ පසු ඔහුට රැකියාවකට යාමට නොදී පරිස්සම් කරගෙන ප්‍රතිකාර කරමින් යථා තත්ත්වයට ගෙන වසර විස්සක්ම තාත්තාගේ ආදරය අපි වින්දා. නමුත් මමත් විවාහයට පසු මගේ දියණියට මාස 6දී විදේශගත වෙන්නේ ලංකාවේ තිබුන ජරා දේශපාලන මඩ ගොහොරුවට තිබෙන පිළිකුල නිසාමයි. මට ඒ දවස් වල මගේ තාත්තා අපව දමා ගිහින් වින්ද දුක හොදින් දැනුණා. ඇත්තටම මම මාස තුනෙන් තුන ලංකාවට ආවා. ඒත් දුවට ලැබිය යුතු සෙනෙහස ඒ දිනවල ලබාදෙන්න පුළුවන් උනාය කියල මම අද විශ්වාස කරන්නෙ නැහැ. මොකද දියණිය මා සමග Skype එකෙන් පවා කතා කරන එක නැවැත්වුවා. එයින් දැනුනු හිත් අමාරුවට මම විදේශ රැකියාවට සමුදීල ලංකාවට ආවා. දැන් මට තවත් දියණියක් සිටිනවා. ඇය කරන හුරතල් වැඩ දැක්කම මම මා ගැනම දුක් වෙනවා, මොකද මට මගේ ලොක්කිට (තරු) මේ සෙනෙහස දෙන්න බැරි උනානෙ කියලා. සමහර වෙලාවට ලොකු දුව අහනවා " තාත්තා මගේ පුංචි කාලේ මාව නංගිව වගේ හුරතල් කෙරුවෙ නැහැනෙ ?" කියලා. ඉතින් මට ලොකෙටම කෑගහල කියන්න ඕන උනත් "දුවේ මම පිටරට ගියේ සැප විදින්න නෙමේ උඹලව ජීවත් කරවන්න කියලා" හිතින් දරාගෙන නැගෙන කදුල බිරිද සමග බෙදා ගන්නවා. මගේ වස්තුව ඒ තුන්දෙනා බව බිරිද දන්න එක මගේ ජීවිතය නව මාවතකට යොමු කරගන්න උදව් උනා. දැන් මම දෙපයින් නැගී සිටින ලාංකිකයෙක්.

    දුකා මගේ කතාව කිව්වෙ උඹෙ කතාව මගේ හිතට තදින්ම දැනුන නිසා. උඹ දැකල නැති උනත් ලංකාවට ආ දවසකට මුණ ගැහියන්.

    උඹලට ප්‍රීතාමත් නිවාඩුවක්. ත්‍රස්තවාදියාට සහොදර සහෝදරියන් ලැබේවා.

    ReplyDelete
  35. @නලීන්
    ඔව් නලීන් . . . හර්ද්‍යසාක්ශිය විකුනලා ඒ දේ කරන්න බැරි කමට අපි ඉතින් කාන්තාරෙක දුක් විඳිනවා. ඒත් එක පැත්තකින් හිතට සතුටුයි මනුස්සයෙක් වගේ ජීවත් වෙනවනේ කියලා . . හෙ හෙ හේ . .

    @සිංහ!
    ඒක ලෝක ස්වභාවය සිංහ. දරුවන්ගෙන් පරලා යමක් බලාපොරොතු නොවී ආදරේ කරලා යුතුකම් ඉටු කරන්නයි මගේ අදහස.

    @නිශාන්ත!
    ඔව් නිශාන්ත . . දරුවෝ කවදා හරි සැබෑව තේරුම් ගනිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු.

    @ප්‍රදීප්
    ඔව් මල්ලී ඒත් අපේ රටේ එහෙම හමෝම සතුටින් එකට ඉන්න එක හීනයක් වෙන ලකුනු තමා පේන්න තියෙන්නේ දැන්

    @කෙන්ජි!
    ඇත්ත අයියා. ලංකාව යන හැටි මොනිටර් කලාම දැනට පේනන් තියෙන හොඳම දේ පුලුවන් තරම් කාලයක් පිට රටක ඉඳලා ළමයට ත් පුලුවන් නම් වෙන බටහිර රටකට යනන් අවස්ථාව හදලා දෙන එක කියලා හිතෙනවා. නිකම් එක එක ඇමති පුත්තුන්ගෙන් ගුටි කාලා මැරෙන්න ළමයි හදන්න ඕනද කියලා හිතෙනවා උන්ගේ අනාගතේ ලංකාවේ නම්.

    @අරූ!
    ස්තූතියි මචන්

    @අභීත!
    තාත්තා සීයා චරිත රඟපාන්න කලින් "මනුස්සයෙක්" කියන චරිතේ රඟපාලා ඉන්න ඕන. පොරොන්දු ඉටුකරන, උදව් කරපු මිනිස්සුන්ට කලගුන සැලකීමට අනිත් පැත්තට අරින්නේ නැති, හිතට එකඟව ජීවත් වෙන මනුස්සයෙක් කියන චරිතේ . . !

    @විපුල!
    මම ජීවිතයෙන් ඉගෙන ගත්තු පාඩමක් අයියේ ඒක.

    @හෙන්රි!
    අනිවා මචං හැමෝම මෙහෙම ප්‍රාර්ථනා කරනකොට ඒක හරියනවා. තැන්කූ උඹටත් මචෝ.

    ReplyDelete
  36. @බෙන් ටෙනිසන්!
    "මගේ ජීවිතේ ඔකේ අනිත් පැත්ත. අප්පච්චි ඉන්නවා. ආදරෙත් තියෙනවා...සුට්ටි එකෙක්ට වගේ බතුත් කවනවා. හැබැයි ගොඩක් දේ අපේ පවුලට අහිමි වෙලා. "
    ඔය කියන විදිහට හැමදේම ලැබෙනවානම් අහිමි වෙන්න ඇත්තේ නොවටිනා දේවල්ම වෙන්න ඕන බෙන් . . . වටිනා දේවල් ගොඩක් ලැබෙනවනම් නොවටිනා නොලැබෙන දේවල් ගැන නොහිතා ඉන්න ට්‍රයි කරන්න.

    @සෙන්නා!
    ඔව් මටත් ඕක උනා. කොල්ලා ස්කයිප් එකෙන් කතා කරන්න එන්නේ නෑ. ආවත් කතා කරන්නේ නෑ. මට හොඳින්ම දැනුනා මම පොඩි එකා කාලේ ඉඳන් ලඟක් වෙනකම් තාත්තා එක්ක තිබබ් තරහවේ තරම. ඒක නිසා සල්ලි නෙමේ ජීවිතය කියලා තීරණයක් ගන්න හිතුවා.
    ඒත් අම්මා තාත්තා ජීවත් කරවනන්යි, කොල්ල වෙනුවෙන් හදාගෙන යන ගේ හදල ඉවර කරන්නයි මට තව කල් ඉන්න වෙනවා. ඒටික පටි තද කරගෙන ඔක්කෝම එකට ඉන්න හිතුවා.

    @සරත් ඇයියා!
    ඇත්ත අයියා. ජීවිතෙන්ම ඉගෙන ගත්තු පාසම් නිසා ඒ තීරණේ ගන්න හිතුවා.

    @ඩීන් අයියා!
    ඔව් ඩීන් අයියා පුලුවන් හැම වෙලාවෙම උත්සාහ කරන්නේ මැරෙන්න යන මොහොතේ ගතකරපු ජීවිතේ ගැන සතුටු සිතෙන් මැරෙන්න පුලුවන් ජාතියේ මිනිහෙක් වෙන්න. ස්තූතියි සහෝ සුභ පැතුම් වලට.

    @ජෝන්!
    ඔව් ජෝන් ඒත් පිය සෙනෙහස කියන්නේ හංගගෙන ඉන්න ඕන වස්තුවක් නෙමෙයි කියන පාඩම මම ජීවිතෙන් ඉගෙන ගත්තා. ඒක නිසා මගේ තාත්ත අහපු ජාතියේ බැනුම් මට මගේ ළමයින්ගෙන් අහන්න ලැබෙන එකක් නැතිවෙයි කියලා හිතෙනවා. . . ඒත් අනාගතේ ගැන කොහොම කියනන්ද . . හෙ හෙ හේ . .

    @සාගර!
    මචං . . උඹේ කොමෙන්ටුවත් හරිම සංවේදීයි. මට වුනෙත් බොහෝ විට උඹට සෙන්නට උනු විදිහෙම තමයි. පොඩි පොඩි වෙනස්කම් තියේ. අපි එකට හිටියා. 2011 රස්සාව නැති උනාම අම්මයි පුතයි ලංකාවට ගියා. මම මාස 3න් 3ට වගේ නිවාඩු ගියා. ලංකාවේ ඉක්මනට සෙට්ල් වෙන්න ප්ලෑන් කලා. වයිෆ්යි මමයි එකතු වෙලා අපේම කියලා බිස්නස් එකක් පටන් ගත්තා. ඒත් දැන රට යන හැටි බැලුවාම ලංකාවේ සෙට්ල් වෙන එක හොඳ තීරණයක්ද කියලා හිතෙනවා. අනිත් පැත්තෙන් අම්මයි තාත්තයි ජීවත් කරවන්නයි, බාගෙට හදපු ගේ හදලා ඉවර කරන්නයි එහේ ගිහින් ඔලුව උස්සන කම් ජීවත් වෙනන් ශක්තියක් හදාගන්නයි මේ ඔක්කෝම බැලුවාම තව කායලක් මෙහේ ඉන්න වෙනවා වගේ. ඒක නිසා කොල්ලයි වයිෆ්වයි ආපහු ගෙන්න ගත්තා.

    ReplyDelete
  37. මෙන්න කියන්නද කතාවක් අයියේ..?
    අපේ අප්පච්චිගෙ අප්පච්චි , ඒ කියන්නෙ අපෙ ලොකුඅත්තී පවුලට ආර්ථිකයෙන් ඉස්සර ලොකු උපකාරයක් නම් වුණේ නැති ලු... අත්තම්මා තමයි හරි හම්බකරලා තියෙන්නෙ ... ලොකුඅත්තා පඩියෙන් වැඩිහරිය මතට කැප කරාලූ..
    නමුත් ඒ ලොකුඅත්තා දරුවන්ට ආදරය දෙන හැටි නම් අප්පච්චිලට හොඳට දැනෙන්න ඉඩ සැලැස්සුවලු...

    භෞතික දෑ නැති තැන ගැටළු වැඩී තමයි..

    ඒත් මේ පෝස්ට් එකේ වගේ අන්තිමට ඉතුරු වෙන්නෙ අධාත්මිකව අපිට දැනුන හැඟුන දේ තමයි...

    තාම පරපෝෂිත නිසා මට ලොකු තේරුමක් නැති වුනත්...
    මම හිතනවා ඔයා ගත්ත තීරණේ හරි කියලා

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails