UAE Sri Lankans Events

Monday, July 22, 2013

ප්‍රසන්න . . !

ලඟදී ෆේස්බුක් එකේ වීඩියෝ දෙකක් දැක්කා.

එකක් මෙහෙමයි: අතපය හතර හොඳට තියෙන මිනිහෙක් එයාගේ කකුලක් දෙකට නවලා ගැටගහගෙන සරම කොටට ඇඳලා ඒ නමපු කකුල වැහෙන්න ඇඳගෙන හිඟාකනවා.

එක ලොකු ගෙයක් ලඟ දී එතන නතර කරන වාහනේ පිටිපස්සේ ඉන්න මහත්මයාටත් හිඟන්නා අතපානවා. මහත්මයා ගනන් ගන්නේ නෑ. ගේට්ටුව ඇරිලා ඩ්‍රැයිවර් කාර් එක වත්ත ඇතුලට දානවා.

හිඟන්න කියවනවා කාරේ එකේ පිටිපස්සේ ගහල තියෙන ලේබලයක්. කොමසාරිස්කෙනෙක්ගේ වාහනයක්. ටික වෙලාවකින් අර කාර් එකේ පිටිපස්සේ ඉඳගෙන හිටපු කොමසාරිස් බහිනවා.

මනුස්සයගේ කකුල් දෙකම පණ නෑ. පෝලියෝ. ඒත් උත්සාහයෙන් ඉගෙනගෙන කොමසාරිස් කෙනෙක් වෙලා. හිඟන්නා තමන් ගැනම හිතනවා.
-------------------------------------------------------------------
අනිත් වීඩියෝ එක කකුල් දෙකම පන නැති අප්‍රිකානු මිනිහෙක් ගැන. එයාගේ නම බිග් මෑන්. මිනිහගේ කකුල් දෙකම පන නෑ. ඒත් තනියෙම බඩ ගාගෙන වගේ ගිහින් තමන්ගේ වැඩ ඔක්කෝම කර ගන්නවා. වත්තේ තණකොල කපනවා. ඉනිමඟක් දිගේ බඩගාගෙන ගිහින් වහලට නැගලා වහලේ හදනවා.
-----------------------------------------------------------------------

ඒ දෙක දැක්ක ගමන් මට මතක් උනේ ප්‍රසන්නව.

ප්‍රසන්න ගැන මට දැනගන්න ලැබුනේ අපේ ජෝර්ජ් අයියා නිසා.

ජෝර්ජ් අයියා එයාගේ පනස්වෙනි උපන්දිනේට විශේෂ යමක් කරපු කෙනෙක්. එයාට ප්‍රසන්නව මුන ගැහිලා තියෙන්නේ නිවාඩු ගිය වෙලාවක අර්ල්ස් රීජන්සි එකට ගිය වෙලාවක. 

ප්‍රසන්න උපතින්ම දෑසින් ලෝකේ දකින්න වාසනාව නොලබපු කෙනෙක්. ඒත් ස්වභාවධර්මය ප්‍රසන්නට හොඳටම අකාරුණික වෙලා තිබ්බේ නෑ. දෑස් නැති අඩුව පුරවන්න ප්‍රසන්නට කඩවසම් රූපෙකුයි, සංගීත හැකියාවකුයි ලබා දීලා තිබුනා.

ප්‍රසන්න අර්ල්ස් රීජන්සි හෝටලයේ පාර්ට් ටයිම් සංගීත ශිල්පියෙක් විදිහට සේවය කරනවා. වාසනාවට එයා හෝටලේ සින්දු කියපු දවසකම අපේ ජෝර්ජ් අයියත් එතනට ගියායින් ඒ දෙන්නා හිතවතුන් වෙනවා.

ජෝර්ජ් අයියා එයාගේ පනස්වෙනි උපන්දිනේට විශේෂ යමක් කලා කිව්වනේ. යාලුවෝ ඔක්කෝටම පාර්ටියට ඉන්වයිට් කලා හැබැයි එක කොන්දේසියක් දාලා. කොන්දේසිය තමයි

"මගේ උපන්දිනයදා මට ලබාදෙන තෑග්ගක් වෙනුවෙන් වැය කරන යම් මුදලක් වේද, ඒ මුදල මගේ 50වෙනි උපන්දිනය විශේෂිත අයුරින් සමරනු වස් විසිට් වීසා එකක් මඟින් ලංකාවෙන් ගෙන්වා ගත් දක්ෂතා පිරිපුන් නමුත් දෑස් නොපෙනෙන කලාකරුවා - ප්‍රසන්නට, ඔහුගේම නිවසක් තනාගැනීමේ සිහිනය සැබෑකරගනු වස් ලබා දෙන්න"
--------------------------------------------------------------

අර වීඩියෝ වල මම දැකපු කොමසාරිස්, බිග් මෑන් වගේ ප්‍රසන්නත් කැමති නෑ තමන්ගේ අන්ධභාවය ලෝකෙට පෙන්නලා ලෝකයාගේ අනුකම්පාව ලබාගෙන අතපාලා ජීවත් වෙන්න.

ඔහු අදීන මනුශ්‍යයෙක්. අතපය හතර, උගත්කම, දක්ෂකම මේ ඔක්කෝම තියාගෙනත් තමන්ගේ බඩ පුරවාගැනීම වෙනුවෙන් දීනයෝ උනු මනුස්සයෝ දිනපතා හතර අතේ දකින්න ලැබෙන සමාජයේ ඔහු වගේ අදීන මනුස්සයෙක්ට මම හදවතින්ම ගෞරව කරන්න දෙපාරක් හිතන්නේ නෑ.

තවම හැබෑවටම මුණගැහිලා නැතත්, ප්‍රසන්න ගැන වගේම ඔහුගේ ප්‍රිය බිරිඳ ගැනත් මට තියෙන්නේ ගෞරවයක්. භක්තියක්.

ආදරේ වෙනුවෙන් රජ සැප අත්හැරපු කුමාරිකවෝ ඒ කිව්වේ තමන් ආදරේ කරන තමන්ගේ මැදුරේ කසල සෝධකයා එක්ක පෙමින් බැඳුනු රත්නවල්ලිලා ගැන, තමන්ගේ මැදුරේ දර පලන්නා සමඟ ආදරයෙන් බැඳුනු පටාචාරලා ගැන අපි අහලා තිබ්බේ පරණ කතාවල විතරයි. ඒවා හැබෑ ලෝකේ කවදාවත් සිදුනොවන නිකම් ම නිකම් කතා විතරක් කියලයි අපි හිතන්නේ.

ඒත් හැබෑ ලෝකෙත් තමන් ආදරේ කරන දෑස් අන්ධ පෙම්වතා වෙනුවෙන් සැප සම්පත් පිරුනු දෙමාපිය සෙවන අතහැර, අන්ධ පෙම්වතාට කණවල අල්ලන්න, දුෂ්කර කන්දක් උඩ තියෙන පැල්පතට කන්ද දිගේ අන්ධ පෙම්වතා වාරු කරගෙන යන්න ජීවිතයම පුද දෙන්න කැමති රූමත්, පෝසත් පෙම්වතියන් ඉන්න බව කිව්වොත් ඔබ විස්වාස කරනවද?

නුවර පෝසත් පවුලක් කෙල්ලෙක් උනු ප්‍රසන්නගේ බිරිඳ, අන්ධ පුද්ගලයෙක් එක්ක පෙමින් වෙළිලා ඔහුගේ සෙවනැල්ලම වෙන්න පතපු හේතුවෙන් පවුලේ දේපල වලින් තඹ සතේක වත්කමක් නොදී පවුලෙන් එළවපු උදාර පෙම්වතියක්.

අම්මල තාත්තලගේ දේපල වලට වඩා අන්ධ පුද්ගලයෙක් උනත් තමන් ආදරය කරන පෙම්වතාට වඩා පෙම්වතියකට මේ ලෝකේ වෙන කිසිම දෙයක වටිනාකමක් නෑ කියලා ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්වපු ඒ පෙම්වතිය / බිරිඳ / සොහොයුරිය / මව ශ්‍රේෂ්ඨ කාන්තාවක් නොවේ කියා ආදරය, මනුස්සකම හඳුනන කිසිවෙකුට කිව හැකිද?

මේ ප්‍රසන්නගේ පුද්ගලික තොරතුරු කීපයක්:
රැකියාව: දෘෂ්‍යාබාදිත පුද්ගලයින් පිලිබඳ සංවර්ධන නිළදාරී
රැකිය ස්ථානය: සමාජ සේවා දෙපාර්තමේන්තුව - මහනුවර, දොඩන්වල අඳ බිහිරි පාසලට අනුයුක්තව
රාජකාරී වේලාව: උදේ 7.30ට දහවල් 1.30 දක්වා
මාසික වේතනය: රුපියල් 22,000/-
උපන් අවුරුද්ද: 1977 ජුනි 15
උගත් පාසැල: මහනුවර කිංස්වුඩ් විද්‍යාලය
අනෙක්: විවාහකයෙක්, වසර 5ක පුංචි පුතෙක්ගේ පියෙක්.
සංගීත හැකියාවන්: බටනළා වාදනය සහ ගායනය
සංගීත කන්ඩායම : විෂන් - කලාකාමී දෘෂ්‍යාබාදිත පුද්ගලයින් කිහිප දෙනෙක්ගේ එකතුවෙන් සෑදූ සංගීත කන්ඩායමේ නායක

2012 පෙබරවාරි 29 වන දින විකාශනය වූ වෙනස වැඩසටහනට ප්‍රසන්න සහ ඔහුගේ විෂන් වාදක කන්ඩායම සහභාගී වුනා. මේ පහත ඇත්තේ එහි යූ ටියුබ් වීඩියෝවක්.

-----------------------------------------------------
රැකියාවට අමතරව ඔහු සමාජ සේවකයෙක්. අන්ධ පුද්ගලයෙක් වුවත් තවත් බොහෝ වූ අන්ධ පුද්ගලයින්ගේ සුභ සාධනය වෙනුවෙන් ඔහු ස්වේච්ඡාවෙන් සේවය කරනවා. ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යාබාදිත සම්මේලනයේ මධ්‍යම පලාතේ සභාපති ඔහුයි.
මහනුවර, මාතලේ, නුවර එලිය දිස්ත්‍රික්ක 3 හෙවත් මධ‍යම පලාතේ වෙනුවෙන් ඔහු දැනට වසර හතරක් නිතරඟයෙන් සභාපති ලෙස පත්වී තිබෙනවා. වසර 2ක් ලේකම් ලෙස සේවය කර තිබෙනවා.

ප්‍රසන්න සහ පුතා රැකබලා ගත යුතු නිසා බිරිඳට රැකියාවක් කරන්න අවස්ථාවක් ප්‍රසන්නගේ පවුලේ නැති නිසා පවුලේ සියළු බර දරන්න සිදුවන්නේ ඔහුගේ මාසික වේතනයන් පමනයි.

උපතින් දෑස් නොපෙනුනත් පුතෙක්ට අම්මා තාත්තා ගැන තියෙන වගෙකීමෙන් මිදෙන්න හැකිද? ප්‍රසන්න ඔහුගේ මාසික වේතනයෙක් දෙමාපියන්ගේ නඩත්තුවටත් යොදවන උදාර පුතෙක්.

ඔහුගේ රැකියාව දෘෂ්‍යාබාදිත පුද්ගලයින් පිලිබඳ සංවර්ධන නිළධාරී, මධ්‍යම පලාතේ ඔහුගේ සේවල ලබාදිය හැකි එකම ස්ථානය ඔහු සේවය කරන දොඩංවල අඳ බිහිරි පාසල පමනයි. ඒ නිසා ගමනාගමන පහසුවට ඔහු රැකියා ස්ථානය අසල නිවසක් මාසිකව රුපියල් 6,000/-ක කුලියට ලබාගෙනයි ඔවුන් එහි පදිංචි වී සිටින්නේ.

මාසික වේතනයෙන් සියලු බර දරන්න නොහැකි නිසාම තම සංගීත හැකියාවෙන් කල හැකි පාර්ට් ටයිම් රැකියා සෙවූ ප්‍රසන්නට අර්ල්ස් රීජන්සි හෝටයේ බටනලා වාදනය කිරීමෙන් උපයන මුදල මහමෙරක් තරම්.

තමාගේම කියා හිසට සෙවනක් ලැබීම මෙලොව උපන් සියළුම මිනිසුන්ගේ ප්‍රධානම සිහිනයයි. අන්ධ පුද්ගලයෙක් වූ පමනින් ප්‍රසන්නට ඒ සිහිනය අකපැද?

ඔහුගේත් එකම සිහිනය තමන්ගේම කියා ඉඩමක පුංචි නිවසක් සාදාගැනීම.

හිතවතෙකුගේ ආරාධනයෙන් පැදුරු පාර්ටියක ගීත ගයන්න ගිය ප්‍රසන්නට එකල දිස්ත්‍රික් ලේකම් ජී.ඒ (දිසාපති) ගෝඨාභය ජයරත්න මහතා (වර්ථමාන අධ්‍යාපන ලේකම්) පොරොන්දුවක් ලබාදෙනවා ඔහුගේ බල ප්‍රදේශයෙන් ඉඩමක් ලබා දෙන්න. දේශපාලන හෙයිංචයිලාට රුපියල් සීයට අක්කරේ මිලදී ගන්න හැකියාව ඇති අපේ රටේ දෑස් නොපෙනෙන ප්‍රසන්නට පර්චස් දහයක් ලබා දෙන්න අපේ රටේ සිස්ටම් එක එතුමට ඉඩ ලබා දුන්නේ නෑ.

තවත් අන්ධ දරුවෙකුට ටියුෂන් දෙන්න ගිය වෙලාවක අඳුනා ගත් විමල් වීරවංශ මහතාගේ සම්බන්ධීකරණ ලේකම් නිමල් ප්‍රේමවංශ මහතා නම් හිතවතාගේ මාර්ගයෙන් සහ ඇමති මහින්දානන්ද අළුත්ගමගේ මහතාගේ මැදිහත්වීමෙන් නිවාස ඇමති විමල් වීරවංස මහතා ඔහුට මාසික වාරිකය රුපියල් 9,000/- බැගින් වසර 20කින් පොලී රහිතව ගෙවීමේ පදනමට ඉඩමක් ලබා දී තිබෙනවා.

හිතන්න මාසිකව රුපියල් 22,000ක වේතනයක් ලබන අයෙක් රුපියල් 9,000ක ඉඩම් වාරිකයත්, රුපියල් 6,000ක නිවාස කුලියත් ගෙවූ පසු ඉතුරුවන රුපියල් 7,000න් තුන්දෙනෙක් වූ තමන්ගේ පවුලත් දෙමාපියන්වත් නඩත්තුවත් කෙසේ කරයිද කියා?

ඊටත් වඩා එසේ වසර විස්සක් ඉඩමේ වටිනාකම ගෙවූ පසු ඔහුට වසර 55 වූ පසුවද තමන්ගේම නිවස යන සිහිනය සැබෑ කර ගන්න සිදුවෙන්නේ?

දෘෂ්‍යාබාදිත පුද්ගලයින් පිලිබඳ සංවර්ධන නිළදාරී තණතුරට අදලා ලියකියවිලි, දැන හඳුනාගත් නිලධාරීන් මාර්ගයෙන් තමන්ට නිවසක්  ලබාගන්න බැරි කමක් ප්‍රසන්නට නැත්තේ නෑ නමුත් දෙනෙතින් අන්ධ පුද්ගලයෙකු වුනත් හදවතින් බොහෝම හොඳින් ලෝකයේ හොඳ නරක දකින පුද්ගලයෙක් ලෙස එවැනි සදාචාර විරෝධී වැ ඩක් කරන්න ප්‍රසන්නගේ කොහෙත්ම කැමැත්තක් නෑ.

ප්‍රසන්නට ඔබගේ, මගේ, අපගේ උපකාරය අවශ්‍ය වෙන්නේ ඒ නිසයි.

නමුත් ඔහු නිකම්ම අපෙන් ආධාර බලාපොරොත්තු වෙන්නේ නෑ.

ඔහුගේ සංගීත හැකියාවෙන් අපි ප්‍රයෝජන ලබා ඊට ප්‍රති උපකාරයක් ලෙස ඔහු වෙනුවෙන් අපට කල හැකි දේ කරනවාටයි ඔහු කැමති.

පුද්ගලික මිතුරු සාද, ෆේස්බුක් සමාජ ජාලයේ මිතුරු සාද, කාර්යාලයීය සාද ආදී පැදුරු සාජ්ජ හෝ ගීත සාජ්ජයන් සඳහා අදාලා එකඟ වූ ගාස්තුවක් ගෙවා ගායකයෙකු වාදකයෙකු ලෙස ප්‍රසන්න සහභාගී කරගැනීමෙන් අපට ඔහුට පිහිට විය හැකියි.

තවත් ආකාරයකින් ප්‍රසන්නට උපකාරයක් කිරීම වෙනුවෙන්ම පැදුරු සාජ්ජ සංවිධානය කර අදාල ගාස්තුව ගෙවා ප්‍රසන්නගේ විෂන් සංගීත කන්ඩායම හෝ ප්‍රසන්න පමනක් ගෙන්වාගෙන ඔවුනට අපෙන් විය යුතු යුතුකම් ඉටු කරන්න අපට පුලුවන්.

විශේෂයෙන්ම පිටරට සංගීත සංදර්ශන සංවිධානය කරන අය මේ ලිපිය කියවන අය අතර ඉන්නවා නම්, ඔවුන්ගෙනුයි මේ විශේෂ ඉල්ලීම . .

කරුනාකර ඔබලාගේ මීලඟ සංගීත සංදර්ශනය වෙනුවෙන් ගායකයෙක්, වාදයකයෙක් ලෙස ප්‍රසන්න සහභාගෙ කරගන්න. දෑසින් ලෝකය දකින්න වාසනාවක් නොලැබූ දක්ශතා සපිරුනු කලාකරුවෙක්ට දරු පවුල සමඟ ඔහුගේම නිවසක ජීවත්වීමේ සිහිනය සැබෑකර ගන්න ඔබෙන් ඔහු වෙනුවෙන් යමක් කල හැකි නම් එය ඔබ මියයනතුරාවට සිහිපත් කර සිත සතුටු කර ගත හැකි මහඟු පිනක් වනවා නොඅනුමානයි.

කලින් සඳහන් කලා ප්‍රසන්න අපෙන් නිකම්ම ආධාර බලාපොරොත්තු වෙන්නේ නැති බව.
ඔහු ආඩම්බරකාරයෙක් කියා වරදවා වටහා ගන්න එපා.

මඟ තොට යන එන පාරේ අපි සිඟමනේ යෙදෙන ආබාධිතයින් බොහෝ විට දකිනවා. ආබාධායක් නැති අයත් ආබාධිතයන් ලෙස වෙස්වලගෙන අපෙන් ආධාර සිඟමන් ඉල්ලනවා.

එවන් වූ ලෝකයේ තවත් තමන්ගේ දෘශ්‍යාබාදය විකුනාගෙන කන්නෙක් ලෙස අනෙක් අය තමාව දකීවී යැයි හැඟීම නිසායි ඔහු එසේ නිකම් ආධාර ලබන්න අකමැති.

නමුත් හදවතින්ම ප්‍රසන්න වෙනුවෙන් උපකාරයක් කරන්න කැමැති පරිත්‍යාගශීලීන් වෙත්නම් අන්‍යෝන්‍ය අවබෝධය මත ඔවුන්ගේ ආධාරය ලබා ගන්න ඔහුගේ අකමැත්තක් නෑ.

මේ පහත දැක්වෙන දුරකථන අංක මඟින් ප්‍රසන්නව සම්බන්ධ කර ගන්න පුලුවන්.

071 80 72 179 , 077 794 96 39

ජෝර්ජ් අයියගේ උපන්දිනය වෙනුවෙන් එකතු වුනු ප්‍රසන්නට ලබා දුන් රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදල ඔහු මොන අඟහිඟකම් මැද්දේ උනත් පරිස්සම් කර තබාගෙන ඔහුගේ නිවසේ අත්තිවාරම දමා නිම කර ගැනීමට ඔහු සමත්වී තිබෙනවා.

වැඩ නිමාවූ අත්තිවාරම දෙස "දෙනෙතින් බලා සිටින" ප්‍රසන්නගේ බිරින්දත් සුරතල් පුතාත් දෙනෙත් අන්ධ නිසා "හදවතින් බලා සිටින" ප්‍රසන්නත් සිටින මේ පින්තූරය දෙස මා බලන්නේ කඳුලු පිරි දෑසින්. ඔවුන්ගේ ගෙපැල නිමා කරගන්න මට පුංචි උපකාරයක් හෝ කරන්න හැකි නම් . . .


මේ ජෝර්ජ් අයියගේ උපන් දින සාදයේ ප්‍රසන්න ගීත ගයන අවස්තාවක්.

මේ බටනලා වාදනය කරන අවස්ථාවක්

ජෝර්ජ් අයියා නිතර පවසනවා වගේ "ජීවිතයේ සුන්දරත්වය රඳා පවතින්නේ අප කෙතරම් සතුටු වනවාද යන්න මත නොව අප නිසා අන් අය කෙතරම් සතුටු වනවාද යන්න මතයි" ඔව් මම මට හැකි පමණින් යමක් කරමි . . ! 

ඔබටත් එසේ කරන්න පුලුවන් නම් . . . කලින් කීවාක් මෙන් මරණ මංචකයේදී හෝ සිතා සතුටු විය හැකි දානයක් වේවි එය . . .

මේ පහත ඇත්තේ තමන්ගේ ගායන වාදන දස්කම් සලකා බලා දෙස් විදෙස් සංගීත සැඳෑවන් සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා ප්‍රසන්න විසින් සකස් කල ලිපියක් .
මහනුවර පල්ලේකැලේ ප්‍රදේශයෙන් ප්‍රසන්නට ඉඩමක් අනුමත වූ බවටත් එහි වාරිකය සහ වාරික කොපමන වෙදැයි යන්න ගැනත් සඳහන් වන ලිපිය මේ පහත අමුනා ඇත.

නොපෙනෙන දෙනෙතට දෙනෙතක් විය හැකි නම් . .
හඬ නැති මුවඟට කට හඬ දිය හැකි නම් . . . පොඩි මිතුරෝ . . මම නුඹ සිප ගන්නම් . .. ! මේ නන්දා මාලනී මහත්මිය ගායනා කරන ගීයක කොටසක් . . . !

18 comments:

  1. මොකක් හරි අවස්ථාවක් ලැබුනොත් ඔහුට ලබා දෙන්නම්

    ReplyDelete
  2. මමත් මේක වෝල් එකේ ෂෙයා කලා. දැනට කළ ඔහ වෙනුවෙන් කල හැකි හොඳම උපකාරය ඔහුට අවශ්‍ය ප්‍රචාරණය ලබාදීමයි කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
  3. මේ ප්‍රසන්න ගැන සිදුවීමක් ජෝර්ජ් අයියගේ ලිව්වේ

    එදත් ප්‍රසන්න ඇවිත් හිටියා සිංදු කියන්න, ඔහුගේ ප්‍රිය බිරිද සහ කුඩා පුතු සමග. ප්‍රසන්නට ඕනෑවුනා වැසිකිලියට යන්න.

    ඔහු රුවිලාල්ගෙන් ඇහුවා ලඟම තියෙන වැසිකිලියට යන විදිහ.

    අපේ මිතුරගේ නිවස කදු බෑවුමක සෑදු කාමර කීපයකින් සැදුම්ලත් තරමක ලොකු නිවසක්.

    " අනේ රුවිලාල් මහත්තයෝ මට කියනවද කොහෙද Toilet එක තියෙන්නේ කියලා ".

    " ප්‍රසන්න මේ Toilet එකේ නම් lights නැහැ.

    අර පහල තියෙන එකට යන්න, ඒකෙ නම් lights තියෙනවා" අපේ රුවියා කිව්වා.

    අනේ රුවිලාල් මහත්තයෝ මම ඉතින් උපන්දා ඉදන්ම අඳුරෙනේ ඒකට කමක් නැහැ මම ඉතින් මේකටම යන්නම්" ප්‍රසන්න කිව්වා.

    රුවිලාල් එතෙක් පානය කර තිබු මඳුවිතවල සැර කොහෙන් ගියාද නැහැ.

    ReplyDelete
  4. බොහොම හොඳ වැඩක් දුකා. මේක හිතේ තියා ගන්නම්.

    ReplyDelete
  5. පෝය දවසේ යහ සිතිවිල්ලක්...

    ReplyDelete
  6. හිතන්න ලිපියක් ! පුලුවන් තරම් දන්න අයට කියන්නම්

    ReplyDelete
  7. උත්සව සංවිධාන කටයුතු සම්බන්ධව මගේ දායකත්වය අවමයි. ඒ නිසා කරන්න පුළුවන් උපරිම දේ වෙන මේ ගැන ප්‍රචාරයක් ලබාදීම කරන්නම්. ස්තුතියි මෙවන් දිරිය මිනිසුන් සමාජයට අඳුන්වා දීම ගැන

    ReplyDelete
  8. ස්තූතියි ඔහු හඳුන්වා දුන්නාට.

    ReplyDelete
  9. උදව්වක් කළ හැකියි. බැංකු ගිණුම් විස්තර දෙන්න.

    ReplyDelete
  10. අත මිට සරු අයට
    නොපෙනෙන.....
    පෙනෙනමුත්
    සරු මිටක් නැත මට.....

    ප්‍රසන්නට වටිනාකමක් දෙනු මැනව!

    ReplyDelete
  11. ඇනෝ
    තරහා නැතුව ප්‍රසන්නව කන්ටෑක්ට් කරලා එයගෙන් ඉල්ල ගන්න පුලුවන්ද?

    "නමුත් හදවතින්ම ප්‍රසන්න වෙනුවෙන් උපකාරයක් කරන්න කැමැති පරිත්‍යාගශීලීන් වෙත්නම් අන්‍යෝන්‍ය අවබෝධය මත ඔවුන්ගේ ආධාරය ලබා ගන්න ඔහුගේ අකමැත්තක් නෑ.

    මේ පහත දැක්වෙන දුරකථන අංක මඟින් ප්‍රසන්නව සම්බන්ධ කර ගන්න පුලුවන්.

    071 80 72 179 , 077 794 96 39"

    ReplyDelete
  12. ඉතාමත් අගෙයි මේ සටහන. හැකි දෙයක් ඔහු වෙනුවෙන් කරන්නම්

    ReplyDelete
  13. පොළොවෙ පය ගහල ඉන්න නියම මිනිස්සු මචං...!

    ReplyDelete
  14. Prasanna said...
    නුවර පලාතෙ ගෙයක් හදාගන්න දවල් හීන දකිමින් හිටි මට එය සුබසිහිනයක් බවට පත්කර ගැනීමෙ අපේක්ශාව මගෙ හදවතතුල ඇති කළ මා සබැඳි ඔබ ගැන මා හට කල හැකි මා විසින් මෙතෙක් කිසිවෙකු වෙනුවෙන් නොකරන ලද හර්‍දයාන්ගම පැතුම වන්නේ මාගේ අවමගුලට කෙදිනක හෝ සහභාගී වියහැකි ආයුශ ඔබට ලැබෙවා!!! යන්නයි.

    මේ ජෝර්ජ් අයියගේ පෝස්ට් එකට ප්‍රසන්න කවුරුහරි ලව්වා දැමූ කොමෙන්ටුවක් . ..

    ReplyDelete
  15. ස්තුතියි! පුලුවන් දෙයක් කරමු!

    ReplyDelete
  16. කියවලා ඉවර වෙන කොට ඇහැට කඳුලු ආවා සුබාෂ් අයියෙ .... අවස්ථාවක් ලැබුනොත් අනිවා කරන්න පුලුවන් දෙයක් කරනවා ......

    ReplyDelete
  17. හරිම සංවේදී පුවතක්. අනිවාර්යයෙන් එවැනි දෙයකට උදව්වක් කරන්න පුළුවන් වෙච්ච ගමන් කරනවා.

    ReplyDelete
  18. අපිටත් ෆුල් ෆිට් එකක් එනව මේව දැක්කම!

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails