Thursday, August 4, 2011

ඒ රටේ මිනිස්සු . . . !


අපි මෙහේ (ඩුබායි - අබුඩබි ) ඉන්න පිලිපීන් ජාතිකයින්ට හිනාවෙනවා මුන් උපයන ගාන වගේ දෙගුනයක් තුන්ගුනයක් ජීවත් වෙන්න වියදම් කරනවා ඇති කියලා. මුන්ට කිසිම බරපතලක් නැති දියුනු වෙන්න කිසිම උනන්දුවක් නැති ෂෝ එක විතරක් තියෙන සෙල්ලක්කාර ජාතියක් කියලා.

උන් අඳින්නේ ලකොස්ටේ, ලී කූපර්, ජෝර්ඩානෝ වගේ බ්‍රෑන්ඩඩ් ඇඳුම්මයි. දාන්නේ නයිකි, ඇඩිඩාස්, මෙරිල්, කොන්වර්ස් වගේ බ්‍රෑන්ඩ්ස් වල සපත්තු තමයි. ගාන්නේ සිමියාකි, ක්‍රිස්ටියන් ඩියෝර්, ඩන්හිල් වගේ සුවඳ විලවුන්. මැක්ඩොනල්ඩ්, කේඑෆ්සී, සබ්වේ වලින් කාලා ස්ටාර්බක්ස් වලින් කෝපි බීලා ෆුල්ම ෆන් එකේ(ෆන්ද ශෝද කියලා හරියටම කියන්න බෑ) ඉන්න ජාතියක්.

අපි සමහර වෙලාවට කියනවා පිල්ලෝ-පිල්ලියෝ මේ වගේ ජාතියක් නිසා ෆර්ඩිනන්ඩ් මාකෝස් - ඉමෙල්ඩා මාකෝස් වගේ මහජන මුදල් උඩ පිනුම් ගහන දේශපාලකයෝ බිහිවෙන්නේ නැතිනම් තමයි පුදුමේ කියලා.

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

"සුළැඟිල්ලට කිරි එරෙන මාමා" කියලා මම දාපු පෝස්ට් එක කිවපු අයට මතක ඇති මම කිව්වා ඒ ලිපිය අපේ අක්කගේ ලොකු දූ අඩු වයසින් කසාද බඳින නිසා ඇති වුනු දුකට ලියවුනු එකක් වග.

මගේ අබුඩාබි රැකියාව නැති උනාට පස්සේ අපේ ගෙදර උන්දැයි සොඳුරු ත්‍රස්තවාදියයි ලංකාවේ ගිහින් පදිංචි වුනානේ. සතියකට පස්සේ ඩුබායි වලින් රැකියාවක් ලැබුනත් කොලුවව එහේ මොන්ටිසෝරියකට එහෙම දාලා කොලුවා ආසාවෙන් මොන්ටිසෝරි යන නිසා අපේ ගෙදර උන්දෑ කියන්නෙම තව ටික කාලයක් එහේ ඉන්නම් කියලමයි.

මේ මාසේ (අගෝස්තු මාසේ) නිවාඩු නිසා අපි කතාවුනා එහෙනම් මේ මාසේ වත් ආපහු ඩුබායි ඇවිත් ඉස්කෝලේ පටන් ගනිද්දී ආපහු කොල්ලයි අම්මයි යමු කියලා.

මෙහේ වසන්තයේදී උෂ්ණත්වය අම්බානකට ඉහල යන නිසා ඉස්කෝල වල වසන්තය නිවාඩුව මාස තුනක විතර දිගයි. දුමීගේ දුව ජනදිගෙයි පුතා තරුකගෙයි පාසැල් නිවාඩුව නිසා දුමීගේ ගමහාමිනෙයි දරුවෝ තුන්දෙනයි මේ දවස් ටිකේ ලංකාවේ.

අපේ ගෙදර උන්දෑවයි සොඳුරු ත්‍රස්තවාදියවයි මාසෙකට ආපහු ගෙන්න ගන්න ප්ලෑන් ගහද්දී තමයි දුමී කිව්වේ මාසෙකට ගෙවල් ගන්න ඕන නෑ අපේ ගෙදර අයත් නිවාඩු ගිහින් ඉන්න එකේ අපේ ගෙදර හිටපන් කියලා.

. . . .. . . . . . . . . . . . . . . . . . . . . . . . .

ගිය මාසේ දවසක් මමයි ලොක්කයි ව්‍යාපෘති රැස්වීමකට යන ගමන් මම ලොක්කට කිව්වා අක්කගේ දුවගේ මගුල් ගෙදරට සහභාගී වෙලා එන ගමන් මගේ ගෙදර උන්දෑවයි කොල්ලවයිත් එක්ක ඕන නිසා මට ලබන සතියේ සතියකට නිවාඩු යන්න ඕන බව.

"ලංකාවෙත් වසන්ත නිවාඩුවද" ලොක්කා ඇහුවා.

"මේ නිවාඩුවට අපි ඉස්සර කියන්නේ "සරුංගල් නිවාඩුව" මම කිව්වා.

"මගේ ගල්ෆ් ජීවිතයේ අත්දැකීම අනුව, පිලිපීන් ජාතිකයෝ හැරුනු කොට උන් වගේ ජොලියේ ඉන්න අනිත් ජාතිය තමයි ශ්‍රී ලාංකිකයෝ" ලොක්කා කිව්වා.

ඒක අගය කිරීමක්ද නැතිනම් අපි පිල්ලෝ ගැන කියනවා වගේ අපහාසයට කියපු ඇනුම්පදයක්ද තෝර බේර ගන්න බැරි උනු මම හ්හ්ම්ම්ම් අපි ශ්‍රී ලාංකිකයෝ සතුටින් ජීවත් වෙන්න කැමති සරල මනුස්සයෝ" කියලා ලාවට කියල දාල මාතෘකාව වෙනස් කලා.

. . . .. . . . . . . . . . . . . . . . . . . . . . . . .

සතියක් නිවාඩුව ගතකරලා ගිය 27වෙනිදා ආපහු ඇවිත් ඔෆිස් ගිය ගමන් මට එහා පැත්තේ මේසේ ඉන්න නගා ඇහුවේ "කොහොමද අයියේ ඡන්දේ" කියලා.

මට එතකොටයි මතක් උනේ චන්දයක් තිබ්බ බව. (ඡන්දේ දවසේ රස බර සිදුවීම් ටිකක් තියෙනවා. ඒවා පස්සේ වෙලාවක ලියන්නම්) අනේ නංගී ඡන්දයක් තිබ්බ බව නම් දන්නවා . . මොකා දින්නද මොකා පරාදද කියල නම් දන්නේ නෑ" කියලා

අපි රටින් පිට ඉන්න කොට රටේ සුලු සිදුවීමක් වුනත් මහා ලොකු දෙයක් වගේ පේනවා ඒත් රටේ ඉන්නකොට රට ඇතුලේ මහා ලොකු දෙයක් උනත් සුලු දෙයක් තරම් වත් දැනෙන්නේ නැති එක මාර දෙයක්නේ කියලයි මට හිතුනේ.

අපි මෙහේ ඉඳන් බනිනවා රටේ ඉන්නේ කිසිම හැඟීමක් දැනීමක් නැති, ඕනම ගොන් පාර්ට් එකක් එහෙයි කියලා හුරේ දාන මෝඩයෝ කියලා.

ලංකාවේ ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට ජීවිතේ ගැටගන්න ගන්න මහන්සියත් එක්ක රටේ ප්‍රශ්න ගැන සංවේදී වෙන්න බෑ කියලා කට්ටියක් කියනවා.

ඒත් ජීවිතේ ගැටගහගැනීම ලොකු ප්‍රශ්නයක් නොවන, දේශපාලනයට අම්බානක උනන්දුවක් තියෙන මමත් ලංකාවට ගියාම දෙනදේ කාලා වෙනදේ බලං දිහා බකන් නිලාගෙන ඉන්න එකෙක් වෙනවා.

එහෙම හිතුවාම මතක් උනේ අපේ ලොක්කගේ ඇනුම්පදේ වැරදිම නෑ නේද කියලා.

කවුරුහරි මට කිව්වොත් මගේ ගති ලක්ෂණ අනුව අනිත් සිරි ලාංකිකයොත් මම වගේ ම අය කියලා හිතලා සිරි දේසේ ගැන මක්කයි කියන්න පුලුවන් කියලා . . .

අම්මපා වෙඩි තිව්වත්, දේස දොරෝහියා කිව්වත් මට කියන්න හිතෙන්නේ "ලෝකෙන් උතුම රට ලංකාවයි . . .. ලංකාවයි සිරි ලංකාවයි" කියලා නම් නෙමේ ඕන් . . .

"ඒ රටේ මිනිස්සු . . . තනිකර කෙලින්නේ පිස්සූ . . .
අම්මපා ඕයි ඒ රටේ මිනිස්සු . . . තනිකර කෙලින්නේ පිස්සු . . . " කියලා තමයි . . .

Pic Taken from: http://olc.spsd.sk.ca/teachers/month/march/index.html

43 comments:

  1. ලංකාවෙ මිනිස්සු එහෙම තමයි. බොරුනම් ෆේක් ෆේස්බුක් ප්‍රොෆයිල් එකක් දිහා බලන්න. හැම ප්‍රොෆයිල් එකකම වගේ තියෙන්නෙ,

    I hate politics වගේ කතාවක්.

    ඇත්තටම ලොකු තැන් විසින් අනාදිමත් කාලයක ඉඳන් ලංකාවෙ මිනිස්සු දේශපාලනික වශයෙන් නිර්වින්දනය කරල. කොච්චර දේශපාලනික සංවාද බැලුවත්, බ්ලොග් කියෙව්වත්, ළඟම අය ළඟදි ආණ්ඩුවටයි විපක්ෂයටයි අරයටයි මෙයාටයි බැන්නත් මිනිස්සු කැමති නෑ දේශපාලනික වශයෙන් මැදිහත්වීම් කරගන්න. මිනිස්සු ඉන්නෙ, ඔන්න ඔහේ උන් ඕනෙ දෙයක් කරගත්තාවෙ මට්ටමෙ. මිනිස්සුට වෙනත් ප්‍රශ්න කෝටියයි.

    පොඩි එකාට ඉංග්‍රීසි උගන්නගන්නෙ කොහොමද,
    රෑට කන්නෙ පාන්ද බත්ද
    මගේ "උපාධියටම" ගැලපෙන්න රස්සාවක් කොහොමද හොයාගන්නෙ

    වගේ දේවල්. හැබැයි තත්වෙ ටිකක් හොඳ අතට හැරෙමින් පවතිනව කියල ලංකාවෙ මිනිස්සු එක්ක හිටියම තේරුම්ගන්න පුලුවනි. :)

    ReplyDelete
  2. දුකා කියන්නේ මටත් ඔය ටිකමයි හිතුනේ. ඉස්සර මාත් හරි උනන්දුයි ලංකාවේ දේවල් ගැන. දැන් නම් සතේකට ගනන් ගන්නේ නෑ..

    ReplyDelete
  3. අපේ තාත්තා ඉස්සර වැඩ කලේ සවුදි වල දුකා අයියේ,පිල්ලෝ ගැන ඔය කතා ටික එහෙන්මම අපේ තාත්තත් කියනවා,උන් කන්නේ මැක්ඩොනල්ඩ්ස් වලින් , බොන්නේ පෙප්සි ලු..හික් හික්..

    අනිවා අපිට දැන් ගැලපෙන්නේ ඔය අන්තීමට තියෙන සින්දුව තමා ;)

    ReplyDelete
  4. මට දවසක් මෙහෙ ඉන්න ඉන්දියන් කාරයෙක් කියනව "You guys are the latinos of South Asia" කියල. ලැටින් එවුන් වගේ අපිත් සද්දේ දාල, සින්දු කියල නටල ජොලියෙන් ඉන්න නිසා එහෙම කිව්ව කියල මට නං හිතුනෙ. ඇත්තට ඉතින් අපිත් තනිකර කෙලින්නෙ පිස්සු තමයි.

    ReplyDelete
  5. මම නම් චන්දේ දාන්න ගියෙත් නැහැ....දිනුවේ කවුද කියලා දන්නෙත් නැහැ ;)

    ReplyDelete
  6. ඔය කවුරු කවුරුති කියන කොට කියන්නේ තමාට පෙර රට කියල ඒ වුනාට බලාගෙන ගියාම ඕකේ අනිත් පැත්ත තමා වෙන්නේ..

    මමත් හිතන්නේ නම් ඒකට හේතුව වෙන්නේ අනිත් කෙනා ගැන හිතනවාට වඩා තමන් ගැන හිතන්න ගොඩක් දේවල් තියෙනවා අර සුදාරක කිවුවා වගේ..

    එන්න එන්නම අපේ ජීවිත සංකීර්ණ වීම නිසා වෙන්න ඇති එහෙම වෙන්නේ..

    ReplyDelete
  7. මන් බැලුව දුකා අය්යට මක් වෙලද කියලා,අය්ය නිස මාත් ලියන්න පටන් ගත්තා,දවසක් අහම්බෙන් දැකලා ගොඩ උනෙ.......අය්යා ලියන හම ලිපියක්ම හරිම ආසවෙන් කියවනවා.......

    ReplyDelete
  8. පිල්ලො පිල්ලියෝ ජීවිතේ විඳිනව, අපේ උන් විඬ්හ්වනව.. අපේ උන් කී දෙනාද ඩිස්කො ගිහිල්ල තියෙන්නෙ. ඩිස්කො කියන්නෙ මොකක්ද කියල දන්නෙ. මම ඕගනයිස් කොලා ඩිස්කෝ එකක් ලංකාවේ කට්ටියට පිලිපීන් ඩිස්කෝ එකක. යන කොට අපේ කෙල්ලො කොල්ලො මට පින් දීල ගියේ. පොඩි බයිල සෙශන් එකකුත් කලා.. හිතවත් ජාතීයක්..

    ReplyDelete
  9. මම කාලයක් ඉතාමත් ආසාවෙන් දේශපාලනය කියන මාතෘකාවට කැමැත්තෙන් හිටියා. ඒ කාලේ ලඟින්ම හිටිය අය දැන් ගොඩක් ලොකු ඇමතිලා. නායකයො, එතකොට නිළධාරි, නමුත් මගේ දුව ඉපදුනු දවසේ මම තීරනයක් ගත්තා. ඒ තීරනයේ තියන වටිනාකම මට දැන් හොඳටම දැනෙනවා.කොටින්ම මගේ වාහනේ මට වඩා පට්ට ගැහුව එකෙක් ලඟදි මට හමුවුනා, උත්සවයකදී, ඒකා දැන් ඇමතියෙක්, මගේ මිත්‍රයෙක් මේ ඇමතිට මාව හඳුන්වා දුන්න. පැයකට වඩා අපි කථා කර කර හිටියා, කිව්වට විශ්වාස කරන්න මේ මනුස්සයට මම තනියම කථා කර කර ඉඳලත් නිකමට මතක් වුනේ නැහැ.එදාම හමු වුනු කෙනෙක් වගේ කථා කලා මමත් එහෙමම හිටියා.
    මේ අපේ හැටිද?
    ඉතින් ලංකාවේ ඉන්න අයට දේශපාලනය කියන්නේ නීරස මාතෘකාවක් වෙන එක අහන්නත් දෙයක්ද?

    ReplyDelete
  10. දුමී අයියා මරු මනුස්සයානේ.
    දුමී අයියා ලංකාවට ඇවිල්ලා නම් කලුබෝවිල පැත්තේ ගියානම් මහත කාටහරි දුමී කියලා එන්න තිබ්බා.

    ඡන්ද කාලෙට නම් හතරට පහට නැමීගෙන එනවා. ඊට පස්සේ නම් හොයාගන්න නෑ. අපේ පැත්තේ වෙලක් ගොඩ කලා පිට්ටනියක් හදන්න කියලා. ඡන්දේ ඉවර උනා. පිට්ටනිය හැදිල්ල නතර උනා. මට හිතෙන විදිහට නම් අඩුම තරමේ ඡන්ද 5 ,6ක් වත් ඕනාවෙයි ඕක හදලා ඉවර කරන්න.

    ReplyDelete
  11. අද මාකොස්ලා ගොඩායි. එත් People Power නැතිම ගානයි.

    සාමාන්‍ය මිනිහාගේ කරමතින් තැන ගන්න තුරු විතරයි අපේ රටේ දේශපාලකයින් ජනතා සේවක. පට්ටම ගත්තාට පසුව ඒක රැකගන්න මොනවා වුනත් කරනවා, අයේ ජනතාව හමුවට එද්දි මොනවා හරි කරලා දිනාගන්න බලන්නේ ඒ පදවිය නැති දා වෙන දෙය දන්න නිසා. එහෙම වෙද්දී සාමාන්‍ය මිනිහා තවදුරටත් පලංචි හැදීමෙන් වලකිනවා. වාසිය අරකී උත්තමයින්ටම විතරයි.

    ReplyDelete
  12. ලිපි එමට කියවලා තිබුනට,අද තමයි අයියගේ ලිපියකට මුලින්ම කමෙන්ටුවක් දාන දවස..

    දේශපාලනේ ගැනනම් ඒ හැටි දැනුමක් නැතත් මන් ඒක හදුන්වා ගන්නේ "බඩ වඩවා ගැනිමේ පහසුම මග කියලයි.."

    මේ ලිපියේ මට වැඩියෙන්ම කා වැදුනේ..අක්කාවයි,පැටියවයි ලගට ගන්න ඕන කියපු එක.. මේ මොහොතේම මටත් මගේ ආදරේ හොයන් ඉගිල්ලිලා යන්න හිතුනා..අයියේ..

    ඒත් අවසනාවට අවුරුදු 4ක් තිස්සේ,මේ රටේ සමහරක් බලධරයෝ වගේම මේ අපි අපි කෙලින පිස්සු වලට.. බෙල්ල තියලා අනගතේට හූල්නවා ඇරෙන්න..තටු තිබුනත් ඉගිල්ලිලා යන්න බැරි කෙරිල්ලියෙක් වෙලා මන්.."ඇත්තමයි අයියේ මේ රටේ මිනිස්සු කෙලින්නේ තනිකර පිස්සු"

    ReplyDelete
  13. උන් ඔක්කොම දේස පාළුවො... වැඩේ කියන්නේ ඕක දැන දැන බත් පැකට් එකටයි කසිප්පු කාලකටයි හෝයියා හෝයියා ගාන්නේ නැති බැරිම මිනිහ නේ.... අනේද කියන්නේ...

    ඒ රටේ මිනිස්සු . . .තනිකර කෙලින්නේ පිස්සූ . . ඕයි ඒ රටේ මිනිස්සු . . . තනිකර කෙලින්නේ පිස්සු...

    ReplyDelete
  14. පිල්ලො ගැන කියන කතාව සම්පුර්ණ ඇත්ත දුකා..

    හැබැයි ඒකෙ තව පැත්තක් තියනවා..උන් අද ජීවිතය විඳිනවා..විඳවන්න වුනොත් ඒක හෙට බලා ගමු කියලා. අපි ජීවිතය විඳවනවා, හෙට විඳින්න පුලුවන් කියලා හිතාගන..උන්ගෙ හෙට නම් මම දන්නෙ නැහැ..ඒත් අපේ හෙටට නම් බාලගිරි දෝසය..
    හැබැයි අවංකව බැලුවොත් ඔය විඳීම සහ විඳවීමත් සාපේක්ෂයි නේද..කොහොමද ඩුබායි එන්නෙ නැතිව ලංකාවෙම හිටියනම්....

    ඡන්දෙ නේද ...මමත් ගියානෙ..එක හොරෙක් එක්ක තියන තරහට තව එකෙක්ට මනාපෙ දීලා ඌටත් හොරෙක් වෙන්න අවස්තාව සලසලා දුන්නා..ලබන අවුරුද්දේ පොඩි එකාව ඉස්කෝලෙ දාලා දෙන්න පුලුවන් හොරෙක්ව තමයි ඊ ළඟට ඕන වෙලා තියෙන්නෙ

    ReplyDelete
  15. අපි හැමෝම අපේ වැඩ බලා ගෙන හිටියාම මුළු ලෝකෙම දියුණු වෙනවා. ඒඛ තමයි ධනවාදයේ අදෘශ්‍රමාණ හස්තය කියන්නේ.

    ReplyDelete
  16. දුකා අයියා හිනා වෙයිද දන්නෙ නෑ මේ කිව්වම මම ඉස්සරවෙලාම පිල්ලන්ව දැක්කෙ පවුලේ උදවිය එක්ක ඩුබායි අබුඩාබි සංචාරයේදී. බාප්පා තමා ඉතින් කියලා දුන්නෙ පිල්ලන්ව පෙන්නලා මේ අහවල්ලු කියලා. එතකොට මට අවුරුදු 16යි. ඇත්තෙන්ම... මම දැක්ක උන්න ඇදලා පැලදලා උන්නෙ බ්‍රෑන්ඩ්ස් ඒවා. හොඳ පිරිසිදු විදියට....

    දෙවෙනි වතාවට මට උන් ගැන සැබෑවටම අත්දැකීමක් ලබන්න ලැබුනෙ මම Taisei සමාගමේ වැඩ කල අවදියේ. මාතර කොලඹ අධිවේගී මාර්ගයේ ප්‍රොජෙක්ට් එකෙදී. අර බ්‍රෑන්ඩඩ්ස් අදින උන කොයිතරම් අපිරිසිදු ජාතියක්ද කියලා දැක්කෙ එතකොටයි. හැබැයි අදින්නේ උපරිම විදියට. ලඟින් යන්න බෑ ගඳ.... නාන්නෙ නෑ. දත් මදින්නෙ නෑ. කට ඇරියොත් පලාතෙ ඉන්න බෑ...

    අපි මොනා උනත් ජාතියක් විදියට අඩුතරමින් ජොලි කරමින් ඉන්න බැරි උනත් පිළිවෙලට ඉන්නවා කියලයි මට හිතෙන්නේ. ඔය පිල්ලන්ගෙ පවුල් ජීවිත 80% ක් ම අවුල්.....

    ලංකාවේ අපි " කන්නෙ පොළොස්...දාන්නෙ කලර්ස්....." නෙමේ නේද ?

    ReplyDelete
  17. අනිත් දකුණු ආසියාතික රටවල් එක්ක බලද්දි ලන්කාවෙ වුන් ඇත්තටම ජොලි කරනවා.අපෙ උන් හෙට මැරුනත් අද පිස්සුව තමායි ඔනා..
    ඒත් එක්කම හරි එකමුතුයි.හැබැයි ගැනු පොඩ්ඩ්ක හරි කෙලි ගැටිස්සියක් හාරි හොටියොත් එකමුතු කම හබක් තමා..
    මෙහෙ(මාලේ ඇවුරුදු උත්සවෙ දවසට යන එකම වලියත් ගැනු පුලුටක් නිසා..

    ReplyDelete
  18. මම නම් හිතන්නේ ඕක වෙන්නේ අන්තර්ජාලයේ බොහෝ වෙබ් අඩවි ලංකාවේ වෙන සුළු සිද්ධි මහා ලොකුවට උලුප්පලා දක්වන නිසා කියලයි. ලංකාවේ ඉන්නකොට අපි ටීවී එකේ පෙන්නන දේ බලනවා මිසක් අන්තර්ජාලෙන් ප්‍රවෘත්ති බලන්නේ අඩුවෙන්. හැබැයි ලංකාවෙන් පිට ඉන්නකොට හැම ප්‍රවෘත්තියක්ම දකින්නේ අන්තර්ජාලෙන්. ගොඩක් වෙලාවට පිටරට වල ඉන්න කට්ටිය මහා ලොකුවට අපිත් එක්ක කියන සමහර සිද්ධි ලංකාවේ අපිටන් ඒතරම් දේවල් නෙමෙයි.

    ReplyDelete
  19. මං මේ ඔයාලාට වැ‍රැද්දක් කියනව එහෙම නෙමේ ඕං..මගේ අදහස තමා දේශපාලනය කරන එකා මොලේ තියෙන එකා.ඒක කතා කරන එකා තමා මෝඩයා.ඒත් අපේ රටේ අපිට වෙලා තියෙන්නේ අතින් කාලා හරක් බලන එකයි.ඒ වගේම අපි දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්නවා.හික් හික්

    ඒ රටේ මිනිස්සු . . .තනිකර කෙලින්නේ පිස්සූ . . ඕයි ඒ රටේ මිනිස්සු . . .අම්මපා කෙලින්න පිස්සු ලොල්

    ReplyDelete
  20. දේශපාලනේ ගැන නං මම කතා කරන්නෙ නෑ . . . හැබැයි අනිත් ලාංකිකයො කෙසේ වෙතත් මම නං ජීවත් වෙන්නෙ එක ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් කියල තියන පිලිවෙලකට . . . .

    "ඉන්න ඩිංග ජීවත් වී . . . .සැපෙං ඉඳිමු අපි මල්ලී . . . "
    - පිස්සු පූසා

    ReplyDelete
  21. "ඒ රටේ මිනිස්සු...තනිකර කෙලින්නේ පිස්සූ..ඕයි ඒ රටේ මිනිස්සු...තනිකර කෙලින්නේ පිස්සු..."
    හැමෝම නෙවි අයියෙ ටික දෙනයි පිස්සු කෙලින්නෙ...හැබැයි උන් හින්දා මුලු රටම නැති වෙනවා...

    ReplyDelete
  22. ඕක ටිකක් වයසත් එක්කත් සම්බන්ධයි . අවුරුදු 16 වගේ ඉඳන් ..අපේ කාලේ නම් අවුරුදු 12 ..13 කාලෙදිම ඔය දේශපාලන උණ හැදෙනවා. ඊට පස්සේ කැම්පස් ගියොත් තත්වේ දරුණු වෙනවා . ටික ටික වයසින් මොරද්දී රස්සාවක් කරලා කසාද බැඳල දරුවෝ හෙම ඉදිද්දී අපි ගොඩක් දෙනෙක්ට ඔය ලෙඩේ අඩු වීගෙන යනවා . ඔයින් අපගමනය වෙන්නේ එක්කෝ ඕක රස්සාවක් කර ගත් කෙනෙක් . සැබෑවටම උනන්දු අයත් ඇති . ඒත් බහුතරය ඔහොමයි.
    මමත් දුකා වගේ තමයි ..ඕන උලව්වක් කියල දේශපාලන නිවුස් නම් බලන්නෙම නැහැ . අපේ මහත්තය තමයි ඔය දේවල් තාම බලන්නේ . අපි අවස්ථාවාදීන් ද . අනේ මන්ද .
    මිනිස්සු ටිකක් විනෝදෙන් හිටියට කමක් නැහැ . තමන්ට හැකි විදියට . එහෙම නැතුව කරදරම හිත හිත හෙට ගැන බ් ඉන්න ගියොත් කවදද මේ ලද ජිවිතේ සතුටක් ලබන්නේ . සැබෑ බුදු දහමේත් කියන්නේ මැද පිළිවෙත හොඳයි කියලනේ . අන්න එක නම් මන් තරයේ අදහනවා .
    මට හමු වුන පිල්ලෝ නම් ඒ හැටි වෙනසක් නැහැ . පවුල් වශයෙන් ඇවිත් ළමයි පාසල් අරන් එන අම්මල තමයි මන් දන්නේ . මේ අපි වගේ .හැබැයි මේ නැගෙනහිර ආසියාවේ මිනිස්සු හොඳට අඳින පළඳින බව නම් කියන්න ඕන .
    අඩු මිල ඇඳුම් වුනත් පිළිවෙලක් තියෙනවා . ඒ කිව්වේ සල්ලිකාරයෝ branded එව්වා අඳිද්දී සල්ලි අඩු අය ''කොපි ''
    අඳිනවා . දකුණු ආසියාවේ වගේ නෙමේ .

    ReplyDelete
  23. කොහොමද දුකා අයියා.කාලෙකින් ආයෙත් රසවත් ලිපියක්.මම ගැන කියනවනම් මම දැම්මේ මගෙ පලවෙනි ඡන්දෙ විතරයි.ඒ දැන් ඉන්න ජනාධිපති පත්වෙච්චි දෙවනි ජනාධිපතිවරණයෙදිද කොහෙද.දැන් කරන්නේ මුං එකෙක්වත් මට එපා කියලා මුලු කොලේම වැහෙන්න තඩි කතිරයක් ගහලා එන එකයි. :D

    ReplyDelete
  24. ඉමෙල්ඩ ලඟ සපත්තු කුට්ටම් 2700 ක් තිබුනයි කියන්නෙ... අනේ මට නෑ නොවැ එහෙම කස්ටමර් කෙනෙක්... :D

    .........................................

    ලංකාවෙ දේශපාලනය යන අත ගැන හිතාගන්න අපි උඹලට තියා නාථ දෙයියන්ටවත් බැරුව ඇති... අපිට ඉතින් දෙන දේ කාල වෙන දේ බලා ඉන්න තමා තියෙන්නෙ...

    " විපක්සයක් නැති පලාත් පාලන ආයතනයක් " .... WOW !
    ........................................

    පිල්ලො නම් කතාකරන්න වටින සබ්ජෙcට් එකක්... උන් ඔහොම හැසිරෙන්නෙ මේකයි.. උන්ගෙ background එකත් එක්ක උන්ට ලොකු හීන තිබිලම නෑ.. උන්ගෙ හීන brands අඳින්න.. හොඳ mobile එකක් digital camera එකක් ගන්න වගේ ඒව... අපිට වෙලා තියෙන්නෙ අපේ හීන ලොකු වැඩියි... ලකී එක්ක 100% ක් එකඟයි...

    දිල් එක්ක එකඟ වෙන්න බෑ උන්ගේ පිරිසිදු කම ගැන නම්.. මම පිල්ලො හුඟදෙනෙක් ( කෙල්ලො, කොල්ලො, බක්ලා, ෆැමිලීස් ) ඉතාම ලඟින් ( පුද්ගලික හිතවත්කමිනුත් රැකියාවෙ මට්ටමිනුත් ) ආශ්‍රය කරල තියෙනව... මට නම් එකම එකෙක්වත් මුණගැහිල නෑ ඉතාම පිරිසිදුවට නොඉන්න... ( මෙහේ ඉන්න උන් විතරද දන්නෙ නෑ )

    උන්ගෙ පවුල් ජීවිත ගැන 100% ක් දිල් එක්ක එකඟයි...

    ....................................

    ඔබතුමාට පුංචි පවුලත් එක්ක සතුටෙන් පිරි නිවාඩුවක් ගත කරන්න ලැබේවි කියා හිතනව... රාමදාන් නිසා වැඩත් අඩු ඇතිනෙ.. සොඳුරු ත්‍රස්තවාදියා මුණගැහෙන්නත් ආසයි..

    ....................................

    පුංචි අදහසක්... summer එකට සිංහල වචනය ගිම්හානය වෙන්න ඔනෙ.. වසන්තය කියන්න spring එක මහිතෙ.. ඩිංගක් චෙක් කරල බලපං...

    - සපතේරු උන්නැහේ

    ReplyDelete
  25. අද මාකොස්ලා ගොඩායි. එත් People Power නැතිම ගානයි.

    සාමාන්‍ය මිනිහාගේ කරමතින් තැන ගන්න තුරු විතරයි අපේ රටේ දේශපාලකයින් ජනතා සේවක. පට්ටම ගත්තාට පසුව ඒක රැකගන්න මොනවා වුනත් කරනවා, අයේ ජනතාව හමුවට එද්දි මොනවා හරි කරලා දිනාගන්න බලන්නේ ඒ පදවිය නැති දා වෙන දෙය දන්න නිසා. එහෙම වෙද්දී සාමාන්‍ය මිනිහා තවදුරටත් පලංචි හැදීමෙන් වලකිනවා. වාසිය අරකී උත්තමයින්ටම විතරයි.

    හැමදාම පලංචිය යට ඉඳන් ඉහළ ඉන්න එකාට කියත හසුරුවන්න විතරක් උදව් දි දී ලී කුඩුම කනවා. පලන්චිය උඩට මොන කඳ ආවත් නැතිවෙන්නේ අපේම කැලෑ ගසක්, ලී තොගය යන්නේත් එකම තැනට.

    බලාපොරොත්තුව නැති දා ඔය තත්වය තවත් දරුණුවෙන අතර ඒ අයිස් තුල මහජනතාව මිදීම ගැන ජනතාව නියෝජනය කරනවා කියා බෝඩ් ගහගන්න හැමෝම හවුල්. වගකිව යුතුයි.

    (මගේ පලමු කොමන්ටුවේ කොටසක් හැලිලා, කොපි කරද්දී වෙන්න ඇති)

    ReplyDelete
  26. මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු කියන කතාව නම් සහතික ඇත්ත... හැබැයි ඉතිං ඒක ‍රටේ නෙමෙයි මිනිස්සුන්ගෙම වරද?...

    මට නොතේරෙන දේ තමයි දුකා අයිය තමන්ටම චෝදනාවක් කරගන්නවද වෙන කාට හරි ඇඟිල්ල දික් කරනවද කියන එක...

    ReplyDelete
  27. ඡන්දයක් තිබ්බද?
    මමත්නම් කැමති ඔහෙ මගෙ වැඩක් බලාගෙන ඉන්ඩ තමයි. මොකද, එහෙම නැතුව හැම එකටම සංවේදී වෙලා දඟලන්ඩ ගියොත්, ස්නායු කුපිත වෙලාම මැරෙන තරමට දේවල් මේ රටේ හැම වෙලාවෙම සිද්ධ වෙනවා.

    ReplyDelete
  28. අපේ උන්ගේ තියෙන්නේ හරි පුංචි මෙමරියක් . . . සතියක කැපෑසිටි එක පිරුනම ඕනදේයි එපා දේයි දෙකම අමතක කරලා දාල මුකුත් නොවුණ ගානට ඉන්නවා . . ඒකතමයි අපේකම ආයිබොවන්ඩ . සිරිලාංකීය අභිමානය . හැමදේම කටිං පිට දාන වචනයට විතරයි සීමාවෙන්නේ . තවත් හිතන්නේ ලංකාව සිංගප්පූරුවක් කරන්ඩනොවැ . . . තමන්ගේ ඇහේ පොල් පරාල අයින් කරන්න යන්නේ නැතුව අනුන්ගේ ඇස්වල රොඩු අයින් කරන්න යනකන් ගොඩ එන එක බොරු . . . දුකාට ජය . .!

    ReplyDelete
  29. මම ඉන්න දිහාවේ නම් රට ආදරේ කරන රට ජාතිය ගැන කැක්කුමක් තියන . රට වෙනුවෙන් පන වුණත් දෙන නියම ඩයල් 100ක් ගේමක් නැතුව හොයාගන්න පුලුවන් .. හැබැයි ලංකාවයි තව රටකුයි ක්‍රිකට් මැච් එකක් ගහන දවසක් වෙන්නම ඕන එදාට තමයි ඔය රට ජාතිය ගැන හැඟීම එලි බහින්නේ ..

    දේසපාලනේ නම් මට අමු තිත්තයි දැන් ..

    ReplyDelete
  30. මදෑ නිවාඩුවකට ගිහින් ‍දේශපාලන රැළියක් අහන්න ගියේ ලංකා දේශපාලනය එදත් අදත් තිත්ත වෙච්චි මං විතරක් ද?!!! මොනවා ද කියන්නෙ බලන්නයි ගියෙ. පැරදෙනවා කියලා මිනිස්සු දන්න පැත්තෙ ටෝක් නෑහෙන්න වෙන්නැති පාරේ හිටපු දඩාවතේ යන බල්ලෙක් වත් එතැන හිටියෙ නැහැ!!!

    අපේ ගිම්හාන නිවාඩුව අවසන් වෙන්න ළඟයි.

    ඔයාලා තුන්දෙනාටම සුබ ගිම්හාන නිවාඩුවක් දුකා මල්ලී!

    ReplyDelete
  31. දුකා;

    හිතට වදින්න ලියලා තියෙන්නේ. මාත් එකඟයි මේ කතා අහුරට.

    පිල්ලෝ කියන්නේ ටිකක අතරමං වෙච්ච ජාතියක්. සුද්දෝ එනකොට එතරම දියුණු ශිෂ්ටාචාරේක නොහිටියත්, අනික් එවැනි රටවල් වලට වඩා දැවැන්ත ජන ගහනයක් උන්නු නිසා සුද්ද ඉදිරියේ වල පල්ලටම ගියේ නැහැ. පිල්ලන්ගේ වත්මන් සංස්කෘතියේ මුල සිඳිලා සුද්දන් කරපු දේවල් වල කොපි හැටියට ඉන්න එක තමයි උන් කරන්නේ.

    හරියට කොලොම් තොටට යහපත් නාවිකයා ලොරෙන්සෝ ද අල්මේදා වගේ.

    අපේ රටත් වැඩි වෙනසක් නැහැ. අපේ "සිංහල සංස්කෘතිය" මුලිකව පදනම වෙලා තියෙන්නේ වෙනත් අන්ස්කෘති තුනක. පළමුව පහුගිය දහස වසේ බලවත් ව හුන් දෙමල බලපෑම. ඊළඟට අපේ රටේ උන්ගේ ලේ මස් දක්වා රින්ගාගෙන අපෙමකරණය වූ පරංගි ආභාෂය. තෙවනුව අප මත බලෙන් පැටවුන වික්ටෝරියානු රාමුව. ඔන්න ඕකයි මේ අපේ රටේ සංස්කෘතිය කියා උගන්වන සංසිද්දිය සමාජයෙන් වෙන්ව ගිය කෘතීම එකක් වන්නේ.

    එකයි අපට රට ගැන සීරියස් වෙන්න බැරි කියා මට හිතෙන්නේ. ඉන්දියානුවෙකුගෙන් හෝ දෙමල්කුගෙන් අප මෙහිදී දුරස් වෙනවා. අප රටට යහපතක් කරනවට වඩා අපට යහපතක් ක‍රන්න කැමතියි. අපට රට මතක වෙන්නේ, එක්කෝ පිටරට ගියොත් [ආදරය], නැතිනම් "බටහිර කුමන්ත්‍රණයක්" [දනිස් ගැස්ම], නැතිනම් ලෝකෙන් උතීම් ම රට අපේය කියා පාරම්බාන්න ඕන උනොත් [ෂෝ ඕෆ්].

    හැබැයි රටේ සංවර්ධනය වෙනුවෙන් අබ ඇටයක් කැප කරන්න අපි සුදානම් නැහැ.

    "මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු" කියා මා කියන්නේ නැහැ. මොකද ඕක කිව්ව මහත්තයත් ලිව්ව මහත්තයත් ඔය පිස්සුවට පොර දාන පිස්සුව හරියට නොදුටු තවත් පිස්සන් වීම නිසා. කොටින්ම රටේ පිස්සුව විකුණා ජනප්‍රිය වීමේ චේතනාවෙන් ඔය සින්දුව ලිව්වා මිස හැබෑ හැඟීමක් ඇති ය කියා මට නොහිතෙන නිසා. එහෙත් අපේ රට ටිකක් පිස්සුවට ජොලියට බර කල යුත්ත නොකරන, නොකල යුතු දාහක් දේවල් කරන රටක්.

    අවුරුදු 200 ක විතර ඉතිහාසයක් හිමි පළමු ලෝකේ රටක මා උන්නා. ඒ රටේ මිනිස්සුන් ගෙන් 1/5 විතර ඉපදිලා තියෙන්නේ පිටරටවල. හිතන්නේ තමන් වෙනත් ජාතින් කියා, පොදු එක සංස්කෘතියක් නැහැ. උදේට උදා ගී තිරයෙන් දේශාභිමානි ගීත වාහෙන්නේ නැහැ. ලෝකෙන් උතුම් රට කියා හිතන් නැහැ තම රටට විහිලුත් කරනවා. හැබැයි උන් ඒ රට අගේට දියුණු කරනවා. කල යුත්ත ලෙසට ම කරනවා.

    සමහරවිට අපි කරන ඔය අමතර දේශාභිමානි වැඩ නිසා මුලික දේ මිස් වෙනවද මන්දා

    ReplyDelete
  32. පිල්ලො ගැන දුකාගේ අදහස ස්ථිර කරන්න, මේ කතාව ඉස්සර මගේ ටීම් එකේ හිටිය පිල්ලන්ගෙන් එකෙක් ගැනයි...ඌට බෙන් කියමුකො... 2008 න් විතර කතාව පටන් ගන්නේ...

    මේ වෙන විට බෙන්ට ලැබුනේ ආයතනේ එන්ට්‍රි ලෙවල් එකේ ටෙක්නිකල් බුවෙකුට ලැබෙන පඩිය... ජොයින් වෙලා මාස දෙක තුනකින් ඒ දවස්වල හැටියට අලුත්ම මොඩ්ල් එකේ කියා ස්පෝටේජ් වාහනයක් ගත්තා...ඌ සැහැල්ලුවෙන් කියපු විදියට ලෝන් ඉන්ස්ටොල්මන්ට් එකට විතරක් පඩියෙන් බාගෙකට චුට්ටක් වැඩියෙන් යනවා...

    මගේ පරණ කාර් කබල ආයතනේ දාලා උගේ වාහනේ අපි දෙන්නම කස්ටමර් සයිට් වලට යන්නේ පුදුම සතුටකින්... ටික කාලෙකින් අවාසනාවන්ත සිද්ධියක් වුණා... සති අන්තයේ මූ තමන්ගේ පෙම්වතියත්, පෙම්වතියගේ මිතුරියන් දෙදෙනෙකුත් එක්ක වාහනේ විනෝද චාරිකාවක් යද්දි ඇක්සිඩන්ට් වුණා... ආසන පටි පැලදගෙන හිටි නිසා බෙනාත් පෙම්වතියත් බරපතල තුවාල ලබා බේරුනත්, වාහනේ පිටිපස්සේ ආසනවල ගිය මිතුරියෝ දෙන්නම මියගියා...

    මාස කිහිපයක් රෝහලේ ඉදලා බෙන් ගෙදර ගෙදර එද්දි පෙම්වතිය සදාකාලික ආබාධිත වෙලා, මියගිය තරුණියන් දෙදෙනාගේ භාරකාරයන් මූට විරුද්ධව වන්දි ඉල්ලලා නඩු දමලා... ඒ නිසාම මූට රටින් පිටවී තමන්ගේ මව් රටට යෑම තහනම්...අලුත්ම වාහනේ කන්ඩෙම්ඩ්... මාස ගානක් කදුලු බොන්න මේ ප්‍රශ්ණ ටික ඇති...

    කාලෙකට පස්සේ අපි දෙන්නා දැන් ආයෙත් එකට යනවා... ෆො විල් වල නම් නෙමෙයි, මගේ කාර් කබලේ...කස්ටමර් සයිට් නෙමෙයි බෙනා ගේ තුවාලෙ ඩ්‍රෙසින් එක මාරු කරන්න... ඒ යන ගමනෙදි මූ නෙවෙයි ඌට තියෙන ප්‍රශ්ණ ගැන වචනයක් කතා කරන්නේ... උගේ හිත හදන්නේ කොහොමද කියලා මම කල්පනා කරද්දි මූ ෆුට්බෝල් මැච් එකක් ගැන දොඩවනවා...

    තවත් මාස දෙකක් යන්න ඇති බෙනා බොසා ගාවට යන්නේ අලුත් වාහන ලෝන් එකකට ආයතනෙන් ඇපෘවල් එකක් දාගන්න... "මොකද්ද උඹ ගන්න යන්නේ?" මම අහන්නේ මේ කරදර අස්සේ යන්තම් එහේ මෙහේ යන්න ඌ සෙකන්ඩ් හැන්ඩ් වාහනයක් ගන්න යනවා කියලා හිතාගෙන...
    "ජි එම් සී අකේඩියා!" බෙනා කියන්නේ ඇගට පතට නොදැනි...

    දැන් මාසෙකට සැරයක් ජිඑම්සි එකේ ඌ උසාවි යනවා..අලුත් එකක් ගන්න හිතාගෙන හතරපාරක් විතර විකුනන්න හදලා අපරාදෙ සල්ලි කියලා හිතලා අදහස අතඇරලා දාපු මගේ පරණ කාර් කට්ටෙම මම ගෙදර යනවා...

    මේ එක පිල්ලෙක් සහ එක සිරි ලංකියෙක් විතරයි... :D

    ReplyDelete
  33. අයියගේ කතාව හරි අයියේ... ඒවගේම ලංකාවෙන් ඈත් වෙලා ඉන්න කෙනාට තමා වැඩියෙන්ම ලංකාව ගැන හොයන්න හිතෙන්නේ...

    ReplyDelete
  34. මම දැකල තියෙන විදියට මෙක්සින් කාරයො තමා ජොලි බඩු. හරිම විනෝදකාමී. හෙටක් ගැන හිතන්නෙ නෑ. ඉතිරි කිරීමක් ගැන දන්නෙ නෑ. ඒ වගේම තමා වැඩටත්. මහන්සි වෙලා හම්බ කරනවා. ඒ සල්ලි වලින් ජොලි කරනවා. අපිත් හම්බ කරනවා. හෙට නෙවේ ලබන මාසෙ ගැනත් හිතල ඉතිරි කරනවා. ජොලි නොකර අනුන්ගෙ ජොලි දිහා බලන් ඉන්නවා.

    ReplyDelete
  35. මයියා ඉන්න රටේ පිලිපීන් කාරයන්ට කියන්නේ 'පිනෝලා ' කියලයි, ඌරුමස් කන්න රුසියෝ, ඒතකොට මස්ල්ස් කියලා කියන බෙලි කටු සුප් එකත් ඒගෝල්ලන්ගේ ආසම කෑමක්..මොනා උනත් හොදට කාලා බිලා ඉන්න කට්ටිය..

    ReplyDelete
  36. අපි ඉන්දියානුවන්ට කියන්නෙ අල්ලපු රටේ අය.
    පකිස්තානුවන්ට කොල පාට රටේ අය.
    පිලිපීනෙට..(no offence).බල්ලො කන රටේ අය..ඇත්ත ද දන්නෙ නම් නැත.ඒත් බොහෝ අය කියන පරිදි ඔවුන් බොහෝ දෙනෙක් බලු මස් කති.

    ReplyDelete
  37. ලංකාවේ මිනිස්සු පිස්සු කෙලින් නැතුව මොළේ වෙහෙසලා වැඩ කරානම් අද ලංකාවත් පුංචි සිංගප්පූරැවක්. මොනව කරන්නද මුංට ගඩ්ස් තිබුනට මොළේ නෑ.

    ReplyDelete
  38. දැන් මට හිතාගන්න බෑ උඹේ පෝස්ට් එක කියවලා පින්නො ගැන ලියන්නද එහෙම නැතිනම් ලංකාවෙ දීශපාලනේ ගැන මොනව හරි කියන්නද කියලා. ලංකාවෙ දේශපාලනේ කොහොමත් මට දිරවන්නේ නැති නිසා මම පින්නො එකම නැතිනම් පිල්ලෝ ගැන මොනව හරි කොටන්නම් කියලා හිතුවා. ඊට කලින් උඹලා අපේ ගෙදර නැවතිච්ච එක කොච්චර නම් දෙයක්ද කියලා මම කියන්නම්.

    පහුගිය අවුරුදු බර ගානම වගේ අපේ ගම හාමිනේවයි පොඩි එවුන් ටිකවයි ලංකාවෙ තියලා ආවහම මම කල්පනා කලේ මේ පාළු ගෙදර ඉඳන් තව මාසයක් කොහොම ගෙවන්නද කියලා. උඹලා ඇවිත් මෙහෙ නැවතිච්ච එකන් පාළුවෙන්න තිබුනු ගෙදර සොඳුරු ත්‍රස්ථවාදියාගේ දුව පැන ඇවිදීම් වලින්, හුරතල් කතාවලින්, අම්මාව අවූස්සන්න කරන ඇඬීම් වලින් පිරිලා ඉතිරිලා යනකොට, මට මගේ පොඩි එවුන් ලඟ නැතිවෙච්ච අඩුව දැනෙන්නෙ නෑ. වෙනදා මේ කාලෙට වැඩ ඇරිලා ගෙදර ආපු ගමන් මොනවහරි බඩට දාගෙන ඇඳට වැටෙන මට දැන් කයියක් ගහගෙන ඉන්න, පොඩි ඩ්‍රින්ක් එකකට සෙට් වෙන්න උඹ ඉන්නවා. ඒ වගේම හැම වෙලාවෙම "අයියේ කෑවද, බිව්වද ? තේකක් හදලා දෙන්නද ?" කිය කිය නිතර අහන නදීෂාගේ සහෝදරයෙක්ට වගේ කරන සැලකුම් නිසා පොඩි ඩයටින් පාරක් දාලා ටිකක් කෙට්ටුවෙන්න පෙරුම් පුරන මම මේ දවස් ටිකට තව ටිකක් මහත් වෙලාද කියලත් මට හිතෙනවා......

    කමෙන්ට් එක පෝස්ට් එකක් වෙන්න වගේ යන්නෙ..... ඒක නිසා පින්නෝ ගැන පස්සෙ කියන්නම්.....!

    ReplyDelete
  39. මේ පාර චන්ද ප්‍රතිපල අහද්දි මටත් ඔය සින්දුව මතක් වුණා.

    ReplyDelete
  40. දුකා, ඒ රටේ මිනිස්සු පිස්සු කෙළියට, ලෝකෙන් උතුම්ම රට ලංකාව.

    ReplyDelete
  41. මේකෙ හොඳම පොයින්ට් එක සුපුන් සුදාරක දාල තිබුණා
    //ලංකාවෙ මිනිස්සු එහෙම තමයි. බොරුනම් ෆේක් ෆේස්බුක් ප්‍රොෆයිල් එකක් දිහා බලන්න. හැම ප්‍රොෆයිල් එකකම වගේ තියෙන්නෙ,

    I hate politics වගේ කතාවක්.//

    මේක තමයි ඇත්ත. වැඩි දෙනෙක් හිතන්නෙ පොලිටික්ස් කියන්නෙ තමන් වෙනුවෙන් වෙන අය කරන්න ඕනෙ දෙයක් කියලා.

    ReplyDelete
  42. මමත් ඔය පිලිපීන් ජාතිකයෝ ඩුබායි වල ගත කරන විකාර ජිවිතේ ගැන අහලා තියෙනවා..
    -------------------

    ඇත්ත ඇත්ත ඒ රටෙත් ඉන්නේ පිස්සු කෙලින අයම තමා

    ReplyDelete
  43. අල්ලපු රටේ එවුනුයි පක්කොයි ගොඩක් වෙලාවට කියන කතාවක් තමයි උන් දැකපු ආතල් ගන්න හොඳම ජාතින් දෙක පිල්ලොයි සිලෝනියොයි කියන එක.. මටත් හිතෙන්නේ ඒ කතාව බොහෝ දුරට සාධාරණයි.. උන් ඒක කියන්නේ ඇණුම් පදයක් විදිහට නෙවෙයි කියල තමයි මට දැනුනේ...

    රටෙන් පිට ඉන්නකොට රටේ වෙන දේවල් ගැන ලොකුවට දැනෙන එකයි රට ඇතුලෙදි ඒ ගැන දැනෙන්නවත් නෑ කියන එකනම් සහතික ඇත්ත.. :) කතාවක් තියෙනවනෙ වැසිකිලි වලේ ඉන්න එකාට ගූ ගඳ දැනෙන්නේ නෑ කියලා..:) ඔය අපේ පුසාත් ඒක හේතුත් එක්කම පැහැදිලි කරලම තියෙන්නේ..

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails