
ආපු දා ඉඳන් දෙගොල්ලෝම කොහේ හරි යමු කිය කිය හිටියට අපේ නිමක් නැති ගමන් බිමන් එක්ක එයාලා එක්ක එහේ ගිහින් සෙට් වෙන්න කාලයක් ලැබුනේම නෑ.
බැරිම තැන දවසක් යාලුවා කතා කරලා දුමීලගේ ගේ තියෙන තැන ඇහුවා. (දන්නවනේ දුමී ගෙදර අපිට බාර දීලා නිවාඩුවට ලංකාවට ගිහින්)
"අද උඹලා ගෙදර හිටපල්ලා. අපි එනවා උඹලා ඉන්න දිහාවේ"
"හරි වරෙන්, මට එලියට යන්න තියෙනවා. එක වාහනයක යමු. උඹලවයි අපේ ගෙදර උන්දෑවයි ෂොපින්ග් මෝල් එකක දාලා මම මගේ වැඩේ කරගෙන එන්නම්" මම කිව්වා
යාලුවයි පවුලේ අයයි ඇවිත් තේ එකක් බිව්ව විතරයි, ගෑනු දෙන්නට කෝප්ප හෝදන්න කාලයක් හම්බ උනෙත් නෑ යාලුවගෙන් ප්‍රශ්නයක්.
“අනේ මචං අර ෆේස් බුක් එකේ තිබුනේ හුචක්කුව කියලා වීඩියෝ එකක්. මම ඒක ගැන මේ මනුස්සයට කිව්වා. මෙයා මාත් එක්ක වලි දානවා ඒක මම ගොතපු කතාවක් කියලා. ඒක මට ආපහු හොයා ගන්න බෑ මෙයාට පෙන්නන්න. උඹේ ෆේස් බුක් එකේ ඒක තියෙනවද?”
"මමත් දවසක් දැක්කා. ඔක්කෝම බලන්න බැරි උනාද කොහෙද"
අපේ උන්දැත් කිව්වා
"අයියෝ ඒක හොයන එක එච්චර අමාරු නෑ"
මම යූ ටියුබ් එක ඕපන් කරලා හුචක්කුව කියලා ටයිප් කරලා වීඩියෝ එක අරගෙන ප්ලේ වෙන්න දැම්මා.
"උඹලා ඕක බලපල්ලා" අපි දුමීලගේ සාලේ ඉඳගෙන ටී වී බලන්න පටන් ගත්තා.
මේ පහල තියෙන්නේ ඒ හුචක්කුව වීඩියෝ එක තමයි ඕන්.
ටික වෙලාවකින් මෙන්න බිරින්දෑ වරු දෙන්නා එනවා හුචක්කුවේ අතුරු කතා ටික අරගෙන
1. අර මනූස්සයා එක්කෝ ගෑනි මැරිච්ච කෙනෙක්, එහෙම නැති නම් ඩිවොස් වෙච්චි කෙනෙක් (නැත්නම් කොහොමද ඔහොම බය නැතිව ඇත්ත කතා කරන්නේ. . හික්ස්)
2. ඒත් නැත්න්ම් මේ වීඩියෝ එක ඒ මනුස්සයගේ ගෑනි දැකලා නම් එහෙම ඒ මනුස්සයා මේ වෙනකොට ජීවතුන් අතර නෑ.(හෆොයි අසරන මනුස්සයා)
4. හුහ් යමන්කෝ අද ෂොපින් . . . අපිටත් බෙන්ස් කාර් වෙන්න පුලුවන් කියලා මේ දෙන්නට පෙන්වන්න (අපේ උන්දෑ එයාගේ සප්ලිමන්ටරි ක්‍රෙඩිට් කාර්ඩ් එක හෑන්ඩ් බෑග් එකට දාන ගමන් කියනවා - ඇයි දෙයියනේ මම කිව්වැයි ඔයා හුචක්කුවක් කියල . . . ) යාලුවගේ බිරිඳත් යාලුවගේ අතින් අල්ලගෙන එලියට යන්න ආවා.
5. අර ගෙදර ආවහම බිරිඳව අතගාලා ප්‍රබෝදමත් කරන්න කියන්නේ. මෙයාලා ආපු වෙලාවේ ඉඳන් එක්කෝ කොම්පීටරේ ලඟ නැත්නම් ටී වී එක ඉස්සරහා. අපිට තනියෙම අතගාගෙන ප්‍රබෝදමත් වෙන්න තමයි වෙන්නේ (මේ අතුරු කතාව ඇහුවේ මහ රෑ දෙගොඩ හරියේ නිදා ගන්න යද්දී තමයි හික් හික් හික් හෆොයි අරූට කොහොමෙයි ඕවා කියන්නේ)
දැන් මේ සිදුවීමට දවස් ගානක් නිසා ඔක්කෝම අතුරු කතා මතක නෑ වගේ අප්පා.
පස්සේ මේ හුචක්කුවේ දෙවෙනි කොටස බලද්දෙ තමයි තේරුනේ මෙතුමා අපේ දයාබර කතා කරුවෙක් වන සරත් විජේසූරිය මහත්තයා බව.
ඇත්තෙන්ම ගෑනු පිරිමි හැමෝටම ප්‍රයෝජනවත් කරුනු රාසියක් එතුමාගේ කතාවේ තියෙනවා.
පලමු කොටස විනාඩි 6යි තත්පර 11යි.
ඒත් දෙවෙනි කොටස විනාදි 41යි තත්පර 20යි.
දෙමව්පියන්ගේ ආදරය අපි අඳුනා නොගන්නා හැටි.
පොඩි ප්‍රශ්නයක් උනත් මහා ලොකු ප්‍රශ්නයක් කරගෙන විඳවන හැටි.
පොඩි ප්‍රශ්නයක් උනත් පවුල් අවුල් වෙන තරම් දුර දිග යන හැටි.
පිරිසිදු කම ගැන අපි විශේෂ සැලකිල්ලක් නොදක්වන එකෙන් වෙන පවුල් ප්‍රශ්න.
අඬවැඩියා සංගීතය අසන්නන් ට දැනෙන හැටි.
කෙනෙක්ගේ පෞරුෂය ගැන අනෙක් අය සොයන්නේ කොයි අකාරයෙන්ද බව.
පවුලේ සාමාජිකයින් අතර සන්නිවේදනයේ අඩු ලුහුඬුකම්.
පෙම් කරන කාලයේ තිබූ ආලය විවාහයෙන් පසුව දියාරු වී යන හැටි.
ඔය ආදී විශාල පරාසයක මාතෘකා මේ විනාඩි හතලිහේ සුලු කාල සීමාවේදී එතුමා විග්රහ කරන අයුරු හරිම අපූරුයි. සිත් ඇද ගන්නා සුලුයි. සිත කම්පා කරනවන සුලුයි.
අපි අනවශ්‍ය දේවල් කරන්න කාලය කොයි තරම් නම් කැප කරනවද.
ඒ නිසා ඒ විනාඩි 41 බලන එක අපරාදයක් කියලා මොහොතකට වත් හිතන්නේ නැතුව මේ පහල තියෙන මුලු විඩියෝවම බලන්නයි කියා මම ආදරයෙන් ඉල්ලා සිටිනවා.