Friday, May 27, 2011

සුලැඟිල්ලට කිරි එරෙන මාමා . . !



ලේන් පැටියෙක් තරම් දා නුඹ
වඩා ගත් දා පෙමින් දෝතට
හදේ උතුරා ගැලූ සෙනෙහස
මෙතෙක් වේ යැයි කෙසේ කියමිද

ලොවේ ඉපදුනු සියලු දරුවන්
ගැන දයාවෙන් සිතනු හැකි මුත්
විශේෂිත වූ සෙනේ හැඟුමන්
කෙසේ ඉනුවා දැයි නොදන්නෙමි

කිරි සිනා පා කෝල හැඟුමින්
බදා ගන්නා විට ගෙලේ නුඹ
පියා නොවුනත් දරු සෙනේහෙට
සුලැඟිල්ල කිරි බර වුනේ

අම්මා අප්පා සෙනේ පෑමුත්
මයිලනූගේ සෙනේ මදිවෙද
කෙලි පැටික්කී සුරතලී නුඹ
මගෙම දෝනියි මට සිතේ

උරේ දා නුඹ නිදි කෙරූ මම
ජරා කැත කුණු අත ගගා
ලොකු වුනත් මගෙ කරේ තරමට
මගේ හුරතලි නුඹ සදා

වැඩී අද නුඹේ අත්පා කර දඬු
කුළගෙයක පිට වෙනු සිතා
මගේ සියුමැලි පුංචි දෝනී
කෙසේ ඉවසා ගමි මෙමා

දුවෙක් විණි නම් දීග දිය යුතු
ලොවේ සම්මතයැයි සිතා
මගේ කඳුලැලි උනන නෙත් මුල
නුඹට මල් සේ දෙමි මෙදා . . !

40 comments:

  1. ලස්සන කවි පන්තියක්...

    ReplyDelete
  2. කියන්න වදන් නැහැ .......
    මාට මැවිලා පෙනුනා ........

    ReplyDelete
  3. හුඟක් ලස්සනයි අයියේ..

    ReplyDelete
  4. ගොඩක් ලස්සන අදහසක් කවියට නගලා.

    ReplyDelete
  5. රූප කතාවක් මැව්වා කවිය
    සුදු දුව යා යුතුය ගමනේ දිවිය
    ඉතිරේවා අලුත් කැදැල්ල සිරිය
    සිරි සිරි මංගලම් දුවේ දිරිය

    යටකරන් මාමේ කඩා වැටෙන කඳුළු ගුලිය
    දන්නෙමි නුඹේ ලෙන්ගතු සිත පෙලෙන තරම

    ReplyDelete
  6. අලේ.....ආදරනීය දුකා මාමා

    ReplyDelete
  7. හරිම ලස්සනයි අයියා. ලස්සනටත් වඩා හැගීම්බරයි. ආදරණීයයි. අනේ මංදා...... හැමදේම.......

    අක්කටද කොහෙද දුවෙක් ඉන්නවා කීවා වගේ මතකයි. මේ ඒ දුවවත්ද.......

    ReplyDelete
  8. @හා පැටික්කි (MS) !
    අක්කට දුවල දෙන්නයි නංගීට එක දුවයි.

    අක්කගේ ලොකු දුව ට දැන් 19යි . .

    ඒ කෙල්ල දීග දෙන්න හදනවා නේ අපේ මස්සිනා . .

    මට ඉතිං දුකේ බැරුවා . ..

    ReplyDelete
  9. අනේ අයියේ 19 බඳින වයසක්ද........ මට එච්චරම මතක තිබුනේ නැහැ. අර අයියත් දුවත් අතර උනා කිව්ව කතාව තමා මට මතක තිබුනේ.

    අනේ මංදා...... ඒ ඇහුවමනම් මටත් දුකයි........

    ReplyDelete
  10. @සාතන්, කල්හාර දිසානායක, අකීකරු හිත, පිණිබිඳු, මධුරංග., රත්ගමයා !
    හැමදෙනාටම බොහෝම ස්තූතියි හොඳේ

    ඩීන්
    උඹට කෝල් එකක් දෙන්නම් වෙලාවක. පොඩ්ඩක් කතාකරන්නත් ඕන බන්

    @හා පැටික්කි (MS)
    ඒකනේ මම මේ දුකේ ඉන්නේ නඟේ

    ReplyDelete
  11. හුඟ කාලෙකින් මේ පැත්තේ ආවේ. හැඟුමින් පිරි කවි එකතුවක් !

    ReplyDelete
  12. එදා පොඩි දුව ගියත් දීගෙක

    දෙමින් නෙත් කදුලැලි මෙදා.

    වඩා ගනු හැක ඇගේ පොඩි දුව

    පුරුදු ආදරයම බෙදා.

    ReplyDelete
  13. මෙච්චරට ම ආදරනීය මාමා කෙනෙක් ඉන්න ඒ දියණිය..මොන තරම් වාසනාවන්ත විය යුතුද...
    ඔබට සුභ මංගලම්..සුදු දුවේ.

    ReplyDelete
  14. ඔන්න මාත් සුභ පැතුවා..19 කියන්නේ දීග දෙන්න නරක වයසක් කියලා හිතන්න ඕන නැහැ දුකා..

    ReplyDelete
  15. ඔව් හැබැයි මගේ අක්ක බැන්දෙත් 19න්. 20ට ලංවෙලා. ඒත් මට හිතෙන්නෙම 19කියන්නේ පොඩි වයසක් කියලා

    ReplyDelete
  16. ලස්සන කතාවක්... ලස්සන කවියකින්..

    නුඹේ කර තරමටම ලොකු වෙලා තමයි මම
    සිතැගි තවමත් මගේ සුකොමලයි නුඹේ ලඟ

    ReplyDelete
  17. දුවෙක් විණි නම් දීග දිය යුතු
    හිත හදාගනින් අයියේ.., අපිට වෙනස් කරන්න පුලුවන් දේ වල සීමාවක් තියෙනවා.., මට හිතෙන්නේ මේ දේ ඒ සීමාවෙන් ඈත කියලා..
    හිත හදාගෙන හොඳක් වෙන්නම කියලා පතපන්..!
    වෙන මොනවා කියන්නද..?

    ReplyDelete
  18. අප්පච්චියේ අපිටත් සන්තෝසයිනේ....

    ඒං මාත් සුභ පැතුවා කියන්න දුකා අයියේ... වෙඩිං කේක් කෑල්ලක් ෆැක්ස් කරන්න.

    ReplyDelete
  19. ලස්සනයි . . . . චිත්‍රපටයක් වගේ ඇස් ඉස්සරහ දිගෑරෙනව . . . . .

    ReplyDelete
  20. 19 කියන්නෙ වෛද්‍ය විද්‍යාත්මකව හොඳ ඒත් සමාජ විද්‍යාත්මකව නරක වයස කසාදෙට. කෙල්ල සහ අත ගන්න වාසනාවන්තය ප්‍රශ්නවලට බුද්ධිමත්ව මූණ දෙන්න තරම් මුහුකුරා ගිය එහෙම නැත්තං වැරදීම් තුලින් ඉගෙනගන්න හොඳ අවභෝධයක් තීන දෙන්නෙක්නං ඒකත් ජයසිරි මංගලම් තමයි! එහෙම නැත්තං උන්ට කරදරයක් නොවී පොඩ්ඩක් පස්සෙං ඉන්න්න කියල අක්කට කියහං, මොනව උනත් හැමදේම වෙන්නෙ හොඳටයි දුකා!

    ReplyDelete
  21. මචෝ, මගේ ඇස් දෙක තෙත් කලා මේ කවි ටික. පසුබිමේ කතාවත් මා හොඳාකාරවම දන්න නිසා උඹේ හිතේ තෙරපෙන දුක මට හොඳට තේරෙනවා.

    මගේ නැගනිය දීග ගිය දින පැය ගාණක් ඉකි බිඳ බිඳ කඳුළු සැලුව මට මගේ දුවනියක් කවදා හෝ දීග දෙන දවසක් කෙසේ නම් වාව ගන්නේ දැයි හිතා ගැනීමටත් නොහැකියි.

    හැමදේම හොඳින් සිද්ද වෙයි මචං. ඇඟිල්ලට කිරි එරුණු සොඳුරු මාමාට දුවගේ මගුල් ගෙදරදි කුළ ගෙට යන දුවනි නැවත වරක් තුරුල් කර ගන්නට සමු දෙන්නට හැකිවේවි.

    ReplyDelete
  22. අද දීගෙක ගිය දුව බොට.. බුලත් අතක් දීලා
    යන්න පිටත් වූ මොහොතේ උඹේ දේපා වැඳලා
    එතෙක් සිනාවෙන් සිටි දුක් මාමා තනිවීලා
    කවුරුත් නැති තැනකට වී ඇඬුවා ඉකි ගහලා

    මීට මාතලන් එදිරිසිංඥෝ

    සේම් තිං හැපන්ඩ් ටූ මී.. මට උඹේ වේදනාව දැනෙනව දුකෝ

    ReplyDelete
  23. බලන්නකෝ අප්පා . . ගූගල් දෙයියා දෙන වදේ . .

    එතුමා දුමී එකක්යි මං එක්කයි තරහ වෙලාද කොහේද . .

    දැන් දවස් ගානක් ඉඳන් මගේ බ්ලොග් එකේයි දුමීගේ බ්ලොග් එකේයි කොමෙන්ට් දාන්න දෙන්නේ නෑ . .

    දුමී ට පිං සිද්ද වෙන්න ඕන මේ වෙන මොකද්දෝ කොමෙන්ට් දාන ක්‍රමේ බ්ලොග් එකට දාගන්න හැටි කියලා දුන්නාට

    ReplyDelete
  24. අපේ සමාජයේ කතාවක් තියෙනවා අක්කලට නංගිලට ළමයි හම්බවුනාම ඒ අක්කල නංගිලගේ ළමයින් වෙනුවෙන් උපදින සෙනෙහසට මාමට (සහෝදරයින්ට ) සුලැඟිලට කිරි එරෙනවා කියල.

    කිරි එරෙන එක කෙසේ වෙතත් පුදුම ආදරයක් ඇති වෙන එක නම් සත්‍යක්.

    විෂේශයෙන් පවුලට මුලින්ම එකතු වෙන දරුවන්ට.

    පස්සේ කාලෙක අපිටත් ළමයි ලැබුනා වුනත් අර අක්කලගේ ළමයින්ට ඇතිවුනු ආදරේත් මගේම දරුවට තියෙන ආදරේ තරම්ම අඩු නැතුව තියෙනවා.

    වෙලාවකට නංගියි මමයි කතාවෙනවා "බලපන් අපේ ළමයි ලොකු වුනාම අපිට වලි දායි ඔයාලා අපිට වැඩිය ලොකු අයියටයි ලොකු අක්කටයි ආදරේනේ කියලා"

    හැබැයි උනුත් එහෙම තමයි . . .

    අක්කගේ ලොකු පුතාට මස්සිනා කොයි තරම් බැන්නත් කම්මලේ බල්ලට හෙන ගැහුවට දැන්නේ නෑ වගේ ඔහේ ඉන්නවා මම බැන්නොත් දැන් අවුරුදු 20ක ලොකු එකෙක් කියලා නෑ අඬනවා . . අඬ අඬ කියනවා මාමා තාත්තා බැන්නට කමක් නෑ ඔයා බට බනින්න එපා මට දුකයි කියලා . . .

    ReplyDelete
  25. දරුවෙක් අම්මාගේ බඩේ ඉපදෙන්න කලිං මාමාගේ දණහිසේ උපදිනවා වගේ කතාවක් මං අහලා තියෙනවා. තමන්ට දරුවෙක් ඉපදෙන්න කලිං තමාගේ සහෝදරයෙකුට හරි සහෝදරියකට හරි උපදින දරුවෙක්ගේ දරු සුරතල් බලන්න ලැබුණාම ඒ දරුවා ගැන තමන්ගේ දරුවෙක් ගැන තරම්ම ලෙංගතු කමක් ඇතිවෙනවා කියලා මං හිතනවා. ඒ ලෙංගතු කම ජීවිතේ පුරාවටම තියෙනවා... ඉතාම සංවේදී සුන්දර පද පෙලක් මචං..
    20-21ක් වුණා නම් හොඳයි. ඒත් 19 කියන්නෙත් පොඩිම නෑ නෙව... මගෙනුත් සුභ පැතුම් ජීවිතය සුන්දරත්වයෙන් පුරවාගන්නට....

    ReplyDelete
  26. ලස්සනයි අයියා කවිටිකනම්.. හැගීම්බරයි... දුකයි.. හ්ම්ම් ගෙදරින් ගැහැනු දරුවෙක් දීග දෙනව කියන්නෙ ඉතිං අනෙක් අයට දුකක් තමයි.. කෝම වුනත් දියනියට ජයසිරි මංගම් කිව්ව ඕං.. :)

    දුකා අයියගෙ බ්ලොග් එකට කලිනුත් ඇවිත් තියෙනව. මතකද මංද. මම අලුතෙන් සිංහල බ්ලොග් අවකාශයට පා තැබුව කෙනෙක්. අයියලගෙ බ්ලොග් අපිට හොද ආදර්ශයක්. ජයෙන් ජය...!!

    ReplyDelete
  27. ඇත් ගාලට දරුපැටියෙක් ලැබුනම මාමලාටත් කිරි එරෙනවාලු. අපේ මාමලාටත් එහෙමයි මල්ලී. මාමාගෙයි අම්මගෙයි තියෙන්නෙ එකම ලේ කියල අපේ ආච්චි අම්ම කියනවා මට මතකයි. ලස්සන සිතුවිල්ලක්. සුදු දූට වාසනාව! සතුට! සම්පත! පිරි යුග දිවියක් පැතූ බව කියන්න මල්ලී.

    ReplyDelete
  28. @රොකියා!
    ඈහ් අර ෆෙස්බුක් පෝස්ට් එකටත් ආවා නේද මළේ . . හුඟදවසක් වෙන්නේ කොහොමෙයි එතකොට ??

    @බින්දි!
    ඒක නම් එහෙම තමයි ඉතිං ඒත් කෙල්ල දුරස් වෙන එක වාවගන්න අමාරුයි අප්පා

    @නිල් අහස!
    ඔව් අප්පා . . . අපි උන්ට ආදරෙයි වගේ තමයි උනුත් අපිට මාර ආදරෙයි . ..

    ReplyDelete
  29. @මාරයා
    එහෙමවත් හිතලා හිත හදාගන්න ඕන මචං

    @පබළු
    අනේ ඔව් නගේ කිව්වත් වගේ ඒකි තාම පොඩි එකෙක් වගේ. ඒකම්යි පව් කියලා හිතෙන්නෙත්

    @ලිෂ්
    ඔව් බන් කෙල්ලගේ අප්පට දුවෙක්ගේ බරෙන් නිදහස් වෙන්න ඕනනේ . .

    ReplyDelete
  30. @prasanna86k !
    අහ් තව කල් තියෙනවා මළේ

    @ඕනයා
    හ්හ්ම්ම්ම් . . . උඹ නම් ඉතිං දැන් ටිකක් වැඩියෙනුත් දන්නවනේ . .

    @ඉන්දික
    ඇත්තටම කෙල්ලයි කොල්ලයි දෙන්නම හොඳ අවබෝදයක් තියෙන උන් වෙච්චි එකත් හිත හදාගන්න පහසුවක් බන්

    ReplyDelete
  31. @දුමී
    මගේ අක්ක බැඳපු දා මම අඬපු තරම් දැකපු මස්සිනා කෙල්ල චූටි කාලේ කිය කිය හිටියේ ලොකු කෙල්ල බන්දලා දෙන දවසේ අනිත් අය ගැන හිතනකොටත් දුකයි කියලා . .
    අද හෙට ඇත්තටම ඒ තත්වයට මූන දෙන්න වෙලා.
    සහෝදරයෝ විතරක් නෙමෙයි මාමයි පුංචියිත් ඒ ගොඩට එකතු වෙලා . . හ්හ්ම්ම්ම්

    @මාතලන්
    උඹ දුක් වුනේ උඹේම දුව දීග දෙන දවසෙද ??
    අක්කගේ දුව දීග දෙන දවසෙද ??

    ReplyDelete
  32. මට නම් මචං අඬන්න තරම් උනේ නැහැ... නංගි පැනලා ගියා..
    ලස්සනයි... සුභ අනාගතයක්.... මහින්ද මාමගේ එක නෙමෙයි හැබැයි..

    ReplyDelete
  33. සබඳ, මමද මාමණ්ඩියක වූ බැවින,
    ඔබේ සිතැඟි වටහාගනු හැක සොඳින,

    දුකා, දන්නවද උඩරට දැනට අවුරුදු හැට හැත්තෑවකට ඉස්සර මාමට කියල තියෙන්නෙ අම්මණ්ඩි කියලයි.

    ReplyDelete
  34. @චතුර
    අහ් ඒ වගේ කතාවක් මම නම් කලින් අහලා තිබ්බේ නෑ මචං . .
    ස්තූතියි මචෝ අදහස් දැක්වුවට. .

    @හිම කුමාරි
    ඒකනේ . . කෙල්ලෝ ඉන්නකම් ගෙදර පිරිලා . . උන් ගිය දාට මළපාලුයි . . අක්කයි නංගියි ගියාට පස්සේ තමයි මට ඒක තේරුනේ . .
    ස්තූතියි නගේ . . නිවාඩු වෙලාවක එන්නම් ඔයාගේ අඩවිය පැත්තෙත්

    @චන්දි
    මම අහලා තිබ්බේ ඇත් ගාලේ ඔක්කෝම ඇතිනියන්ට කිරි එරෙනවා කියලයි අක්කේ . . .
    ආදරේ වැඩි බව පෙන්වන්න එහෙමත් කියනවා ඇති . .
    සුභ පැතුම් ඔක්කෝම දූට කියන්නම් අක්කේ . . ස්තූත්යි අක්කටත්

    ReplyDelete
  35. @බස්සා
    මහින්ද මාමාගේ එක නෙමෙයි නම් ලොකු දෙයක් . .
    මොකෝ එකේ කියන සුභ ගෑවිලාවත් නැති නිසා . . හික්ස්
    නංගී පැනලා ගියත් ආපහු එන්න ඇතිනේ බන් . . !

    @රවී අයියා
    අනේ ඒ කතාවත් මම අහලා නෑනේ . . .
    ඔයත් මාමා කෙනෙක් නිසා තේරුනා කිව්වනේ දුක . .
    ඇත්තටම වෙලාවකට මට දුකයි අපිට මාමලා හතර දෙනෙක් ඉඳලත් එක්කෙනෙක්ගේ විතරක් ආදරේ ලැබුනු එක ගැන

    ReplyDelete
  36. වෙඩිමට ජය වේවා කිව්වැයි කියන්න. මේ එදා අපි සෙට් වෙද්දි හිටපු නංගි වෙන්නෝන. අහ් දැනුයි මේ වැඩිපුර දුක මීටර් උනේ. උඹට එන්න වෙන්නේ නෑ නේද ලොකු අයියේ!

    ReplyDelete
  37. සංවේදී පද පෙලක් අයියේ... දුවට සුභ මංගලම්...!!!

    ReplyDelete
  38. ලස්සනයී දුකා අයියේ
    හැඟීම්බරයී
    දුවට සුභ මංගලම්............!!!

    ReplyDelete
  39. මේක දැක්කම මට මතක් වෙන්නෙ මගෙ මල්ලිවයි දෝණ්වයි. කෙල්ල කවදටත් මට නොකියන යමක් කිව්වෙ මගෙ මල්ලිට. මම සැරවෙයි කියන බයට. මෑතකදි දෝණි යාලුවොත් එක්ක ලංකාවට ආපුවෙලාවෙ දුම් රිය නැරඹුම් මැදිරියෙ ටිකට් ගන්ට අවශ්‍ය වුනු වෙලාවෙ පෙරදා රෑ පටන් යාචකයිං මැද්දෙ, කොටුව දුම් රියපොලේ, පත්තරයක් එලාගෙන නිදාගෙන, පාන්දර පහට මට පෝලිමෙ තුන්වන තැන ලබාදුන්න පොඩි අය්යත් ඔයාලවගෙ මාමල වෙන්ට ඇති. ඔබවන් සොහොයුරන් ලද අප වැනි අක්කලා නංගිලා තරම් වාසනාවන්ත අය තවත් වේද මිහිමත?

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails