
මනෝජ්: අයියේ, ඩුබායි වල අසපුව කියලා පන්සලක් තියෙනවා. අපි වෙලාවක දානයක් හරි බනක් හරි ඕගනයිස් කරමුද?
මම: ඔය අසපුව අර ලංකාවේ තියෙන අසපුවේ බ්‍රාන්ච් එකක්ද?
මනෝජ්: ඔව්
මම: මල්ලි මම එකේ වෙබ් සයිට් එක බැලුව, ධර්ම දේශනා කීපයක් ඇහුවා. මගේ නම් ඒ තරම් පැහැදීමක් නෑ එකේ බන ගැන.
මනෝජ්: නෑ අයියේ දැන් එතන ඉන්නේ හොඳ සිල්වත්, පැහැදිලිව බන කියන හාමුදුරුවරු.
මම : අහ් එහෙමද? එහෙනම් අභිධර්මය ගැන එහෙම දන්න සිල්වත් හාමුදුරුවරු දැන් ඉන්නවා ඇති.
මනෝජ්: අනේ අයියේ මම කියන නිසාවත් ඕගනයිස් කරන්න. ප්ලීස්. මම ඔයාට දැන් එතන නම්බර් එක එස් එම් එස් කරන්නම්.
. . . . . . . . . . . . . . . . . . . . . . . .
එදාම හවස:
ට්‍රීන් . . .. .ට්‍රීන් . . .
එහා කොනෙන්: තෙරුවන් සරණායි . . . (ගැහැනු කටහඬක් තාලයට )
මම: (මොකක් කියන්නදැයි හිතා ගන්න බැරුව ෆුල් අන්දොස් වෙමින්) ම් ම් ම් තෙරුවන් සරණයි. අපිට වීක් එන්ඩ් එකක දානයක් දෙන්න හරි බනක් කියන්න හරි උවමනාවක් තියෙනවා.
අනෙක් පැත්තෙන්: පොඩ්ඩක් ඉන්න. වීක් එන්ඩ් එකක නම් ලඟදි දවසක් නෑ. ආයේ තියෙන්නේ ජුනි මාසේ.
මම: ජුනි මාසේ මම නිවාඩු යනවා. බනක් කියනවනම් කොහොමද දවස්?
අනෙක් පැත්තෙන්: ඉන්න මම අසපුවේ නොම්මරේ දෙන්නම්. මම කරන්න දාන භාර ගන්න එක විතරයි.
හාමුදුරුවන්ට කෝල් කලාම කිව්වෙත් සති අන්තෙක බනක් සඳහා අප්‍රේල් මාසෙන් මෙහා දින නැති බවයි.
“හරි එහෙනම් ආපහු ටික දවසක් ගිහින් මාර්තු මාසේ මුල වගේ ආයේ ට්‍රයි කරලා බලමු” ජනක, මම මනෝජ් ඒකමතිකව තීරණය කලා.
. . . . . . . . . . . . . . . . . . . . . . . .
2011 මාර්තු මාසේ මුල දවසක බ්ලොග්ස් ලියන අපි හැමදෙනාගේ ආදරණීය අක්කන්ඩීත් මාත් අතර ඇතිවුනු සංවාදයක්.
අක්කණ්ඩී : මල්ලී, මම දැන් ඉන්නේ ඩුබායි. දුවගේ ගෙදරයි පුතාගේ ගෙදරයි මාරුවෙන් මාරුවට ඉන්නේ.
මම : අහ් එහෙමද අක්කණ්ඩී. මම ඩුබායි එන වෙලාවක එන්නම් අක්කන්ඩිව බලන්න.
අක්කණ්ඩී : මෙහේ පන්සලට එන්න වෙලාවක. මගේ පුතා එතනෙ හොඳ දායකයෙක්.
මම: අනේ අක්කණ්ඩී, අපි එකපාරක් බනක් කියන්න දවස්ක් ගන්න ට්‍රයි කලා. වීක් එන්ඩ් එකක දවසක් දෙන්න පුලුවන් අප්‍රේල් මාසේ කිව්ව නිසා වැඩේ කල් දැම්මා.
අක්කණ්ඩී : ආ ඉන්න මම පුතාට කියලා දවසක් ඉල්ලල දෙන්නම්. පුතාගේ නම XXXXX. මේ එයාගේ මොබයිල් නම්බර් එක. ඔයාත් එයාට කෝල් එකක් දෙන්න මල්ලී.
අක්කණ්ඩීගේ පිහිටෙන් XXXXXගේ උදව්වෙන් ගිය බ්‍රහස්පතින්දා හවස බනක් කියන වැඩේට සෙට් වුනා.
අපි ආපහු යන්න ගෙවල් අස් පස් කරන නිසා ජනක මල්ලිලගේ ගෙදර තමයි යොදා ගත්තේ.
. . . . . . . . . . . . . . . . . . . . . . . .
මනෝජ් – සඳමාලි, ජනක – චාමිකා, මම – නදීෂා, සඳුන් – ඩිලූජා, නදීෂලගේ මල්ලී හශිතට, මගේ මිතුරු රුවන්, රුචක – රොජර් – රොෂාන්, බුධ්දික සහ මිතුරු දමිත, මනෝජ්ගේ මිතුරු ඩග්ලස් මේ තමයි බන අහන්න එකතු වුනු කට්ටිය.
හාමුදුරුවන්ව ඩුබායි ඉඳන් අබුඩාබි වඩම්මගෙන එන්න හෂිතට භාර දුන්නා.
බන ඉවර වෙලා පන්සලට ආපහු වඩම්මවන්න රුචක – රොජර් – රොෂාන්ට භාර දුන්නා.
24 බ්‍රහස්පතින්දා වැඩ කරන දවසක් නිසා හැමදෙනාම වැඩ ඉවරවෙලා ගෙවල් වලට ගිහින්, ඇඳුම් මාරු කරගෙන එන්න ඕන.
රුවන් උඔම් අල් කුවීන් ඉඳන් කිලෝමීටර් 300ක් විතර එන්න ඕන, ජනකත් ඉන්නේ සිටි එකට මෙහායින් නිසා සඳුන්ලා කිලෝමීටර් 60ක් විතර ඩුබායි පැත්තට එන්න ඕන. මමත්, මනෝජ්ලත් කිලෝමීටර් 50ක් ගෙදර ඇවිත් ආපහු කිලෝමීටර් 35ක් විතර ඩුබායි පැත්තට එන්න ඕන.
මුලින් අපි කතා වුනේ රෑ 8ට බන පටන් ගමු කියලා. හෂිත ටිකක් කලින් පන්සලට ගිහින් ජනකලගේ ගෙදරට ගාමුදුරුවෝ වඩම්මගෙන එනකොට 7.15ට විතර වුනාලු.
දැන් ඔන්න එනවා කෝල් දිගට හරහට . .
“ඉක්මනට වරෙල්ලා බන්. හාමුදුරුවන්ට මල පැනලා වගේ ඉන්නේ දැන් පය භාගයක් විතර තිස්සේ බලාගෙන ඉඳලා”
“පොඩ්ඩක් ඉවසන්න කියන්න අප්පා. අපිට මෛත්‍රී කරන්න කියන්න. අද වැඩ කරන දවසක්නේ”
“එන්න එන්න ඉක්මනට එන්න”
“මේ අයියේ මම එන ගමන් හාමුදුරුවන්ට කිව්වා ජොබ් කෙලවෙච්ච සීන් එක”
“ආ ඒකට කමක් නෑ”
7.45ට විතර ඔන්න මනෝජ්ලා සඳුන්ලා එන්නත් කලින් මල් පහන් පූජා කරලා වැඩේ පටන් ගත්තා”
. . . . . . . . . . . . . . . . . . . . . . . .
මේ තියෙන්නේ මතක තියෙන තරමට එදා කියපු බන වල සාරාංශය. සමහර තැන් වල හාමුදුරුවෝ අපෙන් කෙටි උත්තර එහෙමත් බලා පොරොත්තු වුනා. ඒවා සහ විශේෂ දේවල් වරහන් ඇතුලේ දාන්නම්.
• දැන් අපි අසපුව දාලා අවුරුද්දක් විතර වෙනවා. මේ පින්වතුන් එක්කෙනෙක්ගේ වත් මූනක් අපි එහේදි දැක්කේ නෑ.
• බෞද්ධයන්ට පන්සල, බන දහම් මතක් වෙන්නේ ජීවිතට බයක් දැනුනු වෙලාවට, රැකියාව නැති වුනු වෙලාවට තමයි (හාමුදුරුවන්ගේ හින්ට් එකට කස්ටියම මගේ දිහා බලන බව මට තේරුනා)
• මුස්ලිම් මිනිස්සු දවසට පස් පාරක් වඳිනවා. ක්‍රිස්තියානි අය හැම ඉරිදාම පල්ලි යනවා. ඒත් එයාලා සුගතියට යනවද? (එතුමා අපි නෑ කියනකම් බලන් ඉන්නවා. අපි කිසි කෙනෙක්ගෙන් සද්දයක් නෑ – අයි අප්පේ අපි කොහොමෙයි නෑ කියන්නේ) පස්සේ එතුමාම කියනවා “නෑ පින්වතුනි” (හරියට එහේ ගිහින් ඇවිත් වගේ – අනෙක් අතට අප බෞද්ධයෝ වූ පලියට අනෙක් ආගම් වලට ගරහන එක ඒවා හෙලා දකින එක කල යුතුද??)
• අකුසල් වර්ග දහයක් තියෙනවා – කීයක්ද – දහයක්. අපි වැඩිපුර කරන්නේ කුසල්ද අකුසල්ද?? (අපි අකුසල් කියලා කියනකම් එතුමා බලන් ඉනන්වා – මගේ පිලිතුර “කුසල්” – හාමුදුරුවෝ සමච්චලේට හිනාවුනා)
• සිතින් කෙරෙන අකුසල් – ලෝභය, ද්වේෂය, මෝහය; කයින් කෙරෙන අකුසල් – කාමයේ වරදවා හැසිරීම, ප්‍රාණඝාතය, සුරාමේරය, සොරකම් කිරීම; වචනයින් කෙරෙන අකුසල් – බොරු කීම, හිස් වචන කීම, පරුෂ වචන කීම.
• මෙහෙම බැලුවාම අපි වැඩියෙන් කරන්නේ මොනවද පින්වතුනි (කිසි කෙනෙක්ගෙන් පිලිතුරු නැත – හාමුදුරුවන්ගේ හිත හැදෙන්න කියලා බොරු කියන්න පුලුවන්ද අප්පා)
• අකුසල් කරන අය අපායේ යනවා, ලෝදිය බොන්න වෙනවා, කටු ඉඹුලේ නගින්න වෙනවා.
• ජීවිත කාලේම කිසිම පිනක් දහමක් නොකරපු වයසක මෑණි කෙනක් මරන මොහොතෙදි බුදු හාමුදුරුවෝ දැකලා හිත පහදාගෙන දිව්යලොකේ ගියා පින්වතුනි (හාමුදුරුවෝ එහේ ගිහින් ඇවිත් වද්ද?? දැක්ක වගේ කිව්වේ. . !!)
• බුදු හාමුදුරුවන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂන දන්නවද?? (සද්දයක් නැත – කාටද අප්පේ ඔව්ව කට පාඩම් තියෙන්නේ) බෞද්ධයෝ උනාම දැනගෙන ඉන්න එපැයි. මේ වගේ කිසිම දෙයක් නොදන්න පිරිසකට මම මේ බන කියනවමයි.
• අනේ පිඬු සිටු තුමා කවුද කියලා දන්නවද – බුදු හාමුදුරුවන්ගේ අග්‍ර දායකයා (පිලිතුර මගෙන් - ආයෙත් හාමුදුරුවන්ගෙන් සමච්චල් හිනාවක් සමඟ ) එච්චරද දන්නේ - අනේ පිඬු සිටු තුමා කියන්නේ සල්ලි පොලියට දුන්නු කෙනෙක්. බුදුන්ට පන්සලක් හදන්න ඉඩමක් ගන්න ඕන වෙලා ජේත කුමාරයාගේ ඉඩමක් අරන් තියෙන්නේ ඉඩමේ මුලු බිම් ප්‍රමානෙම රන් කාසි අතුරලා.
• කල්පය කියන්නේ මොකද්ද කියලා දන්නවද? (සද්දයක් නැත ) සැතපුම් හතක් දිග, සැතපුම් හතක් පළල, සැතපුම් හතක් උස කලු ගලක් තියෙනවා පින්වතුනි. ඒක අවුරුදු සීයකට වරක් කෙනෙක් ඇවිත් සිනිදු රෙදි කඩකින් පිසදාලා ගෙවිලා නැති කරන්න තරම් කාලයක් තමයි කල්පයක් කියන්නේ.
• මේවා කියලා තියෙන්නේ බුදු හාමුදුරුවෝ. එතුමා කිව්ව ඒවා ඔක්කෝම ඇත්ත. (බුදු හාමුදුරුවෝ මෙහෙම්ම කිව්ව කියලා කොහොමෙයි ටක්කෙටම කියන්නේ)
• මෙහේ ඉන්න අය සල්ලි පස්සේ දුවනවා විතරයි. පන්සලකට යන්නේ නෑ – බනක් අහන්නේ නෑ – පිනක් දහමක් කරන්නේ නෑ.
• රුචක – රොජර් – රොෂාන් දෙසට හැරී, අසපුව තියෙන තැන දන්නවද? නෑ (රොෂාන්ගෙන් පිලිතුර ) ඒකනේ ඩේරා සිටි සෙන්ටර් එක තියෙන තැන, ඩුබායි මෝල් එක තියෙන තැන එහෙම නම් දන්නවා ඇති නේද? (ඇයි හත්දෙයියනේ කන්න බොන්න දේවල් ඇඳුමක් කැඩුමක් ගන්න ඕන උනාම මෝල් එකකට එපැයි යන්න නැතුව අසපුවට ගියාම හරියනවැයී
• කුසල් රැස් කරන්න පින්වතුනි, කුසල් රැස් කිරීමෙන් තමයි සුගතියකට යන්න පුලුවන් (මොකක්? ධම්ම පදයෙද කොහෙද තියෙනවා නේද කුසල් අකුසල් දෙකාම් රැස් කරන්නේ තෘෂ්නාවෙන් නිසා ඒක සසර ගමන දිගු වෙන්න හේතුවක් කියලා)
• ඔයාලට ධර්මය ගැන දන්නේ නැතිනම්, ඉගෙන ගන්න ඕන නම් අසපුවේ වෙබ් සයිට් එකක් තියෙනවා. ඒකෙන් ඉගෙන ගන්න.
• නිවාඩු වෙලාවට අසපුවට එන්න. ඇවිත් බන අහන්න.
. . . . . . . . . . . . . . . . . . . . . . . .
බන යන අතරේ මට එනවා එස්. එම්. එස්. එකක් එතනම ඉන්න එකෙක්ගෙන් “මොකද්ද යකෝ තෝ මේ කෙරුවේ – ගෙදර හිටියනම් පාඩුවේ නිදිය ගන්න්වානේ බන්” කියලා.
හාමුදුරුවෝ රුචක මල්ලිලත් එක්ක යවලා අපි කට්ටිය පටන් ගත්තා සංවාදේ . . .
“අපරාදේ මේ බන නිසා අපේ හොඳට තිබුනු හිතත් අවුල් වුනා”
“මේ විදිහේ බන කිව්වාම අසපුව පැත්තේ යන්න හිතන එකාත් නොගිහින් ඉඳීයිනේ අප්පේ”
“අපි කලින් දවසක් යාලුවෙක්ගේ ගෙදරක ගියා එතනදිත් කිව්වේ ඔය බනමයි”
“මෙව්ව බනද – අපරාදේ අපේ කාලේ. හත්ගව්වක් දුර ඉඳ ඇවිත් නිකම් පැට්‍රොල් පුච්ච ගත්තා විතරයි”
දැනටත් මේ පෝස්ට් එක මාගලක් විතර දිගයි . . ඔක්කෝම ටික කියන්න ගියොත් ඉතිං . . .
. . . . . . . . . . . . . . . . . . . . . . . .
පහුවදා උදේම අක්කණ්ඩීගේ පුතා XXXXXට කෝල් එකක් දී බොහොම අකමැත්තෙන් උනත් ලොකු බොරුවක් කියන්න සිදුවුනා.
“XXXXX බොහොම ස්තූතියි – වැඩේ හොන්දින් සිද්ද වුනා” (ඇත්ත කතාව කිව්ව නම් මනුස්සයට හිතෙයි වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුනයි කියලා)
නමුත් අක්කන්ඩිත් එක්ක චැට් එකක් දාලා විස්තරේ කිව්වා.
පුතාගේ හිත රිද්දන්න අකමැති නිසා බොරු කිව්ව බව කියන්න අමතක උනා.
. . . . . . . . . . . . . . . . . . . . . . . .
පෙරේදා ඔෆිස් එකේ වැඩ කරන අතර තුරේ එනවා කෝල් එකක්
“තෙරුවන් සරණයි, මම මේ එදා බනට වැඩිය ස්වාමින්වහන්සේ."
මම : තෙරුවන් සරණයි. ඔව් කියන්න ස්වාමින්වහන්ස.
හාමුදුරුවෝ: මහත්මයා එදා මගේ ධර්ම දේශනාව නිසා මොකක් හරි අප්සට් එකක් උනාද?
මම : ඔව් හාමුදුරුවනේ. ඔබ තුමා කිව්වනේ අපිට ජොබ් එකට කෙල උනාම තමයි බන දහම් මතක් උනේ කියලා. ඇත්තටම අපි ගිය ජනවාරි වල තමයි මේ වැඩේ ප්ලෑන් කලේ. ඒ කාලේ මෙහෙම ජොබ් ප්‍රශ්නයක් තිබ්බේ නෑ, ඒත් දවසක් ලබුනේ නෑ. පස්සේ පුෂ්පා අක්ක නිසා XXXXX මහත්තයට කියලා තමයි මේ දවස ලැබුනේ.
හාමුදුරුවෝ: මම ඒක හිතලා කිව්වේ නෑ මහත්තයා (බොරු ??) එහෙම කියපු එකෙන් හිත රිදුනනම් සමාවෙන්න.
මම : හිත රිදුන තමයි හාමුදුරුවනේ. මොකද අපි ජනප්‍රිය බුද්ධාගම පස්සේ යන ප්‍රදර්ශනාත්මක බෞද්ධයෝ නෙමෙයි. අපි හදවතින්ම බෞද්ධ දර්ෂනයට අනුව ජීවත් වෙන්න උත්සාහ කරන ප්‍රතිපත්ති ගරුක බෞද්ධයෝ.
සාසනයේ පැවැත්මට ආමිස පූජා ඕන කියල දන්න නිසා තමයි පන්සල් යන්නේ, දාන දෙන්නේ, බන කියවන්නේ.
අනික බුදු දහම කියන්නේ හාමුදුරුවනේ ඇත්තටම ආගමක් නෙමෙයිනේ. ඒක දර්ෂනයක්නේ. බෞද්ධ සාහිත්‍ය කියන්නේ පස්සේ කාලේක නූගත් ශ්‍රාවකයන්ගේ හිතේ පැහැදීමක් ඇති කරන්න ඕන කමට බලෙන් එකතු කරපුවානේ.
හාමුදුරුවෝ: මහත්තයාලා යමක් කමක් දන්න අය වගේ.
මම : අපි ධර්ම දේෂනාවක් කියලා බලාපොරොත්තු වුනේ හාමුදුරුවනේ පොඩි කාලේ දහම් පාසලේදි උගන්වනව වගේ නැති නම් මෝඩ උපාසකම්මලා රෑනක් වට කරගෙන කියන අකුසල් කරන්න එපා. අකුසල් කලාම අපායේ යනවා, ලෝදිය බොන්න වෙනවා, කටු ඉඹුලේ නගින්න වෙනවා. කුසල් කලාම දිවිය ලොකේ යනවා ජාතියේ බනක් නෙමෙයි.
හාමුදුරුවෝ: නෑ මහත්තයා මම කිව්වේ අද කාලේ මිනිස්සු ආගමෙන් දහමෙන් ඈත් වෙලා කියලා.
මම : අසපුවට නො එන අය ඔක්කෝම පව් කාරයෝ වගේනේ හාමුදුරුවෝ කතා කලේ. මෙහේ ඉන්න අපි ලංකාවේ ඉන්නකොට වැඩිය හොඳින් ආගමික ජීවිත ගත කරනවා හාමුදුරුවනේ. සතියේ දවස් පහ වැඩට යනවා. සති අන්තේ පවුලේ දරුවන්ගේ වැඩ වෙනුවෙන් වෙහෙසෙනවා. පඩි ගත්තාම දෙමාපියන්ට සහෝදරයින්ට නෑදෑයින්ගේ උවමනාවලට සල්ලි යවනවා. සමහර වෙලාවට පත්තර වල එහෙම දැකලා නොදන්න අයගේ පවා ඔපරේෂන් වලට එහෙම සල්ලි එකතු කරලා යවනවා. ගෙවල් හදා ගන්න, දුප්පත් ලමයින්ට ඉගෙන ගන්න එහෙම උදව් කරනවා. එහම එකේ හාමුදුරුවෝ කොහොමද කියන්නේ මෙහේ ඉන්න අපි සල්ලි පස්සේ දුවනවා විතරයි අසපුව පැත්තේ එන්නේ වත් නැති නිසා පව්කාරයෝ කියලා.
පෘතග්ජන මිනිස්සු හැටියට අපෙන් අකුසල් කෙරෙනවා වෙන්න ඇති. ප්රාණඝාතේ නොකලට අපි මස් මාළු කන නිසානේ මරන්නේ. ඒක නිසා කෙලින්ම නැත්ත් අපි වක්‍රාකාරව ප්‍රාණගාතේ කරනවා; මාසෙකට පාරක් විතර කට්ටිය එකතු වෙලා බොනවා; ඒත් අපි අකුසල් කරනෙන බොහොම අඩුවෙන් – ඒකයි හාමුදුරුවෝ අපි වැඩියෙන් කරනේ කුසල්ද අකුසල්ද කියලා ඇහුවාම මම ෆුල් කොන්ෆිඩන්ට් පිට කුසල් කියලා කිව්වේ”
හාමුදුරුවෝ: මගේ මහන ජීවිතේ මේ පලවෙනි වතාව මම කරපු දේෂනාවක් නිසා මේ වගේ හිත රිදෙන කතා ඇහුවේ මහත්මයා. මම විරුද්ධයි අර මහත්තයා කියපු පෘතග්ජන මිනිස්සු කියපු දේට. ඒකේ තේරුම මම කියන්නේ නෑ. ඔය තරම් දේවල් දන්න ඒක හොයා ගන්න.
මම : මම ප්‍රතිපත්තියක් විදිහට බොරු කියන්නේ නෑ. ඒත් XXXXX මහත්තයට බොරුවක් කියන්න උනා. නමුත් හාමුදුරුවන්ට බොරු කියන්න මට ඕන නෑ. මොකද හාමුදුරුවනෙග දර්ම දේශනය න්සිආ අපි ඔක්කෝගෙම හිත් රිදුනා. බනක් කියවන්න ගිහින් අපි අකුසලයක් කර ගත්තේ කියලා අපි ඔක්කෝම කතා වුනා. අපි හාමුදුරුවන්ට ධර්ම දේශනයකට ආරාධනා කල නිසා අපි හැමෝම කටවල් වහගෙන හිටියා. ධර්ම සාකච්චාවකට එන්න කියලා ආරාධනා කරලා තිබුනා නම් එදාම වාද කරනවා.
හාමුදුරුවනේ සමාවෙන්න මම ඔෆිස් එකේ වැඩ කරන වෙලාවේ මේ පැය භාගයක් විතර කතා කලේ. ඒ ගැන තව කතා කරන්න ඕන නම් මම අයේ වෙලාවක ගන්නම්.
හාමුදුරුවෝ: මහත්තයල හැමෝම වෙලාවක අසපුව පැත්තේ එන්නකෝ . .

ධර්ම දේශනාවෙන් පසු පියෝ වෙජිටේරියන් රෑ කෑම.
. . . . . . . . . . . . . . . . . . . . . . . .
ඇත්ත වශයෙන්ම සම්පූර්ණ වරද ඇත්තේ මා අතය.
අපි ධර්ම දේශනාවෙන් බලා පොරොත්තු වූයේ අප දන්න කරුනු තවත් පැහැදිලි ලෙස වටහා දීමක් සිදුවේයැයි උපකල්පනය කිරීමය.
චතුරාර්ය සත්‍ය එනම් දුක – දුකට හේතුව – දුක නැති කිරීම - දුක නැති කිරීමේ මාර්ගය (ඉපදීම දුකක් බව, තෘෂ්නාව නිසා ඉපදීම සිදුවන බව, දුක හෙවත් ඉපදීම නැති කරන්න නම් නිර්වාණාය අවබෝද කර ගත යුතු බව, නිර්වාණය ට ඇති එකම මඟ ආර්ය අෂ්ඨාංගික මාර්ගය (සම්මා දිට්ඨි , සම්මා සඞ්කප්ප,සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි - වැඩි විස්තර මෙතනින්)බව එතුමා පැහැදිලි ලෙස විස්තර කරාවි යැයි අප උපකල්පනය කිරීමය
. . . . . . . . . . . . . . . . . . . . . . . .
මේ ලිපිය කිසි කෙනෙකුට පහර ගැසීම හෝ හෙලා දැකීම අරමුණු කරගෙන ලීවක් නොවේ.
ඒ හාමුදුරුවන් සිතන ආකාරයට ඔහුගේ / ඔවුන්ගේ අනුගාමිකයින්ට සුගතියට යන්නත් ගෞතම බුදු රජාණන් වහන්සේ දෙසූ ධර්මයට අනුව දිවිගෙවන අයට නිර්වාණය අවබෝධ කරගන්නත් එක සමාන අයිතියක් ඇති බව මා එක සිතින් පිලිගන්නා බවද කිව යුතුයි.
මේ ලිපිය නිසා අක්කණ්ඩීට හෝ වෙන කිසියම් පාර්ෂවයක සිත් රිදීමක් සිදුවූවා නම් ඒ ගන සමාවන ලෙසද ඉල්ලා සිටිමි.