Wednesday, November 25, 2009

එපා හිරු පායන්න අදින් පසු මගේ ලොවට . . . ! (අවසාන කොටස)



1 වෙනි කොටස 

2 වෙනි කොටස

3 වෙනි කොටස

4 වෙනි කොටස

5 වෙනි කොටස

6 වෙනි කොටස

7 වෙනි කොටස

සවස් වරුවට, සති අන්ත වලට පංති නොගිහින් නතර වුනු මම ආයෙමත් වැටුනේ සුපුරුදු සෙල්ලමට . . .

එකල අප පදිංචි වී සිටි නිවස පිහිටි පටු මාවතේ සිටි එක වයස් කාන්ඩ වල කට්ටියකටම කුමක්දෝ හේතුවක් නිසා නිවාඩු පිට වගේ සිටියේ කෙසේදැයි කියා කොයි ආකාරයට සිතුවත් හේතුවක් සොයා ගැනීම අපහසුම කාරියක් වුනා . . . ඒත් නිකමට වගේ සිතූ විටෙක මෙසේ වන්න ඇති කියා අනුමාන කරන්න හැකි වුනා . .

සමහර අය උසස්පෙළ කරල ප්‍රතිඵල එනකම් හිටියා . . . සමහර අය සාමාන්‍ය පෙළ කරලා උසස් පෙල කරන්න ළකුනු මදි නිසා දෙවෙනි පාර කරන්න පුනරීක්ෂන පංති ගිය නිසා කාල වේලා තිබුනා . .

එසේ සෙල්ලමට වැටුනු මගේ මේ ක්‍රීඩා ටිකකට හෝ නතර වුනේ බොහෝවිට සවස තුනේ සිට හතර දක්වා ගුවන්ගතවූ හිංදී ගී තීරය, නැතිනම් රූපවාහිනියේ විකාශනය වූ රොබින් හුඩ් වැනි හැඬ කැවූ නාටකයක්, නැතිනම් හුවමාරුවට කියවූ නවකතා පොතක් චිත්‍රකතා පත්තරයක් ලැබූ විටෙක පමනයි . . . නැතිනම් සවස හය වනතුරු එකදිගටම සෙල්ලම් කලේ හෙම්බත් වීමක වගක් වත් නැතුව . ..

කෙසේ නමුත් අප සියලුම දෙනා සිටියේ ක්‍රීඩා උන්මාදෙකින් වගේ . . .

මම සිටි වයස් මට්ටමේ ආනුභාවයෙන්, තරුණයන්ගේ ක්‍රීඩා වූ වැඩිය වාහන නො එන පටු මාවත බදු අරගෙන මෙන් කල පාපන්දු ක්‍රීඩාවටත්, කම්බි වැටවල් නොතිබුනු මාවතේ වතු උඩින් ගස් ගල් පවා පෙරලගෙන දිවූ වයින් බෝතලේ ක්‍රීඩාවටත්, රබර් බෝලයෙන් පිට හරහාට පාරවල් හිටින්න බෝලපාර කෑ ටින් කැඩීම වැනි ක්‍රීඩාවලටත් මා එකතු කරගත්තා වාගේම කුඩා වුන්ගේ ක්‍රීඩා වූ අයිස් පයිස්, වන් ටූ ත්‍රී බම්බල් බී වැනි ක්‍රීඩා වලට පවා පමනක් නොව කට්ටිය අඩුවූ විට ගැහැනු ළමයින්ගේ ක්‍රීඩා වූ බට්ටා පැනීමට පවා නංගී බලෙන්ම මාවත් එකතු කර ගත්තා . . .

කලින් සඳහන් කල කන්ඩායම් සමඟ මාත් ඒ සුපුරුදු රැලටම එකතු වෙලා දුවලා පැනලා ජීවිත කාලෙම මැකිලා නොයන තුවාල කැලල් කකුල් වල ඇති කරගත්තු ඒ කාලය . . පංති නොයන්න බැරි වුනු එක ගැන දුකක් හිතනන් වත් . . . ඉමාෂා මම නැති පංතියේ දුකෙන් ඉන්නවා ඇති කියා හිතන්නවත් . . . ඒ ආදරණීය පංතියත් එහි සියලුම දේත් මට නැති වුනා නේදෝ කියා සිතන්න වත් මට මොහොතකට වත් ඉඩක් නොදුන්නා තරම් . ..

ඉමාෂා, සචිනි අතේ සතියකට දෙක බැගින් එවූ ලිපි මා කියවා පුළුස්සා දැමුවේ සිත් පිත් නැත්තෙකුගේ ආකාරයට . . . සචිනි අතේ හෝ තිලංෂ අතේ එවූ පනිවුඩ - පංති ඇරෙන වෙලාවට පුස්ථකාලය ලඟට එන්න කියා එවූ පනිවුඩ අසා සිටියේ දෙකන් නැත්තෙකු ලෙසට . . .

ඉමාෂා සචිනි අතේ එවූ පනිවිඩ . . .ලිපි කෙමෙක් අඩු වී නැත්තටම නැතිවී ගිය මුල දිනෙක සවස් වරුවක තිලංෂ මා සොයා එනවිටත් මා සිටියේ මිතුරන් සමඟ වයින් බෝතලේ ක්‍රීඩාවට සහභාගී වෙමින් . . . ඔහුට ටික වේලාවකට නතර වෙන්නයි පැවසූ මා එන විට මගේ සිරුර දහඩියෙන් පෙඟී හඩු ගඳ ගසමින් තිබුනා වන්නට ඇති . . .

"හලෝ මචං . . . කාලෙකින් . . ." කියා මා ඔහුගේ උරහිසට තැබූ අත ඔහු පිළිකුලෙන් ඉවත් කලේ යොවුන් සිරුරකින් නැගුනු දහඩිය ගඳ කෙරෙහි පිළිකුලකින් නොව . . . නිනේෂ් දිනුත ගුණරත්න ගේ ආත්මය කෙරෙහි උපන් පිළිකුලෙන් බව මට වැටහුනේ ඉන් ටික කාලයකට පසුවයි . . .

කිසිදු සිනාවකින් තොර ඔහු මගේ දෙනෙත තුලට කිමිඳී මොහොතක් බලා සිටියේ මට කීමට ඔහු සිතාගෙන සිටි දේවල් යලිත් සිහිකැඳවා ගන්න කල්ගන්නවාක් මෙන් . . .

"උඹ නම් මහා බල්ලෙක් නිනෙෂ්. . . "

මගේ දයාබර මිතුරාගෙන් මෙවැනි යමක් කෙදෙනක වත් අසන්න සැදී පැහැදී නොසිටි මගේ හිත පමනක් නොව ගතද එක් වරම වෙව්ලා ගියා . .

"උඹට ලව් කරන්න උවමනාවක් නැත්නම්, ලව් කරන්න දන්නේ නැත්නම් . . . මොන මගුලට අර අහිංසක කෙල්ලට හෝප්ස් දුන්නේ . . . "

කිසිදු පිලිතුරක් නොදුන් මා තවදුරටත් ඔහු දෙස බලා සිටියේ මුලින්ම ඇතිවූ කම්පනය තවදුරටත් දෙනෙතේ දරාගෙන . .

"උඹට ඉමාෂා සචිනිගේ අතේ එවපු ලියුම් වලට වචන දහයක රිප්ලයි එකක් යවන්න බැරි වුනා නේද . . . "

මගෙන් පිලිතුරක් නොලද තැන ඔහු යලිත් පටන් ගත්තේ මුලින් තිබුනු තරම් තරහකින් නොව විශාල කම්පාවක් කටහඬේ රඳෝගෙන . .

"මුලින්ම අපි ඒකි ගැන missunderstand කලාට ඒකි මාර හිත හොඳ කෙල්ලෙක් කියලා තේරුනාම අපි හැමෝම ඒකිත් එක්ක ෆිට් වුනානේ . . . මට මතක් වෙද්දිත් මාර දුකයි ඒකි ක්ලාස් ඇරිලා උඹට එන්න කියලා පනිවිඩ යවපු නිසා උඹ පබ් එකට ඇවිත් ඇති කියලා හිතලා උඹ එනකම් බලං ඉඳලා නො එන බව තේරුනාම අඬල අඬලා ගිය විදිහවල් මතක් වෙද්දී . . ."

"මම ආවේ උඹ ඇයි එහෙම කලේ කියලා උඹෙන් නිදහසට හරුනු අහලා යන්න නෙමෙයි . . . . . ඇයි මම උඹට හොඳ දෙකක් කතා කරන්නේ නැත්තේ කියලා වද දෙන මහේ හිතට සහනයක් දෙන්න . . . . උඹට කුනුහරුපෙන් බැනලා යන්න ඕන නිසාමයි . . . “

ලොකු හුස්මක් ගත් ඔහු “මම යනවා . . . උඹ ආයි කවදාවත් එයාව මීට් වෙන්න යන්න ඕනෙත් නෑ . . එයාව දකින්න වත් යන්න ඕනෙත් නෑ . . . අපි පුලුවන් විදිහකින් එයාගේ හිත හදන්නම් . . ." කියූ තිලංෂ ඔහු ආ පාපැදියට නැගී යන්න ගියේ පසුපස වත් නොබලා. ..

ඔහු යන දෙස මම බලා සිටියේ හැඟීම් විරහිත බවකින් බව මට තාමත් මතකයි . . .

. . . . . . . . . . . .

සියල්ල උඩු යටිකුරු වී සත්‍යය වැටහීමට ගතවූයේ මාස දෙකක් හෝ තුනක් වැනි සුලු කාලයයි . . .

අසල් වැසි පොත් ගුල්ලන් ගුල්ලියන් පාසැලේ පුස්ථකාලයෙනුත් . . මහජන පුස්ථකාලයෙනුත් රැගෙන විත් මාරුවෙන් මාරුවට කියවන පොත් අතරින් "ගොළු හදවත" පොත නැවත වරක් මගේ අතට ලැබුනේ දෛවයේ හාස්කමකින් මෙන් . . . වරක් කියවා තිබුනු මුත් මෙවර එය මා කියවන විට දම්මි-සුගත්ට මෙන් ආදරයක ශේෂවූ මතක සටහන් මා ලඟ තිබුනු නියායෙන් වැඩි කාලයක් රැගෙන සීරුවෙන් කියැවූයේ සමහර විට මගේ අවාසනාවට විය හැකියි . . නැතහොත් ජීවිතයේ කෙදිනක වත් යලිත් එවැනි පාදඩ කමක් නොකිරීමට මට පාඩමක් ඉගැන්වීමට දෛවයෙන් දුන් තීන්දුවන් නිසා විය හැකියි . . .

දෙවියනේ . . . දමයන්ති කලාක් මෙන් . . ඊටත් වඩා කුරුරු ලෙස මා විසින්ද සිදු කලේ පලමු වර කියැවීමේදී දම්මි කලේ බරපතල වරදක් යැයි මා සිතූ වරදම නොවේද . . . ??

දම්මි හදවත ගොළු කරගෙන සිටියේ කුඩා කල පටන් ඈට යෝජිතව සිටි නිහාන් නිසාවෙන් . . . නමුත් මා . . . ?? දෙවියනේ මා . . ?? මා ඒ වැරැද්ද සිදු කලේ කිනම් වූ හේතුවක් නිසාවෙන්ද . . . ආදරය කිරීම යනු අරයාටත් කෙනෙක් ඉන්නා නිසා මටත් කෙනෙක් සිටිය යුතුයි වැනි යමක් . . . නැතහොත් පෙම්වතියක් සිටීම ආඩම්බරයට කරුනකැයි වැනි . . මෝඩ සිතුවිල්ලකින් ආදරය යන උදාර වචනයට මුවාවී මා විසින් සිදු කර ඇත්තේ කුමන සාපරාධී ක්‍රියාවක් ද . . .

එතැන් පටන් මා දැවෙන්න වූයේ විශාල ගින්දරකින් . . . මා ඇයට කලේ විශාල වරදක් යන හැඟීමෙන් එකදු මොහොතක් හෝ මිදෙන්නට ඉඩක් නොලැබුනා තරම් . . .

නිතරම මට දැනෙන්නට වූයේ හදවතේ කිණිස්සක් ඇණී නොමැරී ජීවත් වෙන්නෙකුට කොයි මොහොතේ කිණිස්ස ඇතුලටම ඇනී මියයාදෝ වැනිව දැනෙන හැඟීමක් වෙන්න ඇති . . .

ප්‍රේම මායා දැලේ පැටලිලා නොයන්
සිහිනයක් නොවේ ජීවිතේ . . .
අරුණු යාමේ රැඳී
තුෂර බිංදුවක් වගේ
ආදරේ බිඳේවි මොහොතකින් . . .

බිඳුනු පෙම් හදින් හඩන තුරුණු පෙම්වතුන්
ලෝකයේ කොතෙක්ද යාලුවේ . . . .
පුංචි කාලේ එවන් වේදනා දැනුනොතින්
දරාගන්න හැකිද ඔය සිතින් . . .

මිහිරි කල්පනා සොඳුරු මුකුළු මල් හිනා
පුංචි හිතට සතුට ගෙනෙනවා . . .
නොසිතු සේ ඈ සෙමින් පෑ සෙනේ බිඳුනොතින්
පුංචි හිතට නේද වේදනා . . . .

අල්ලපු ගෙදර රේඩියෝවෙන් නැගෙන නිමල් ගුණසේකර මහතාගේ හඬ මේ හදවතේ ඇනුනු කිණිස්ස තව තවත් ඇතුලටම තද කරන්න දරන උත්සාහයක් වගේ යැයි සිතුනා . . .

ඈට ලිපියක් යවන්න කියා සිතා සචිනි ගේ උපකාරය ලබා ගත් හැකි නොවේදැයි සිතූ සිතුවිල්ල පවා සචිනිගේ එක බැල්මකින් සුනු විසුනු කර කර දැමුවා . . . ඉමාෂා එවූ ලිපි වලට මගෙන් පිළිතුරු නොලැබීමේ රහස ඈ ඉමාෂාගෙන්ම අසා දැන ගන්න ඇති . . ඈ ඉන් මතු මා දෙස බැලුවේ පීදීගෙන රෝස මල් පාත්තියක් සපත්තු දැමූ දෙපයකින් පාගා පොඩි කර දැමූ නරුමයෙකු දෙස බලන්නාක් මෙන් . ..

එකම පාසැලේ ඉගෙන ගන්නා යෙහෙළියක ගේ අහිංසක සිතක් තලා දැමූවෙකු පමනක් නොව යෞවනියක් ලෙස බාලිකා ලොවටම අපරාධකල අපරාදකරුවෙක් ලෙස ඈ මා ගැන උපන් සිතුවිල්ලෙන් මා දෙස බලන බව ඇගේ බැල්මෙන් තෙරුම් ගත් පසු මා කෙසේ ඈ අත ඉමාෂාට ලිපි යවන්නද . .. ??

එනත් පාසැලක එකම පංතියේ උගත් මගේ උපකාරක පංතියේ මිතුරු කැල තිලංෂ, රුසිත් සහ සාරංග ඉන් මතු අහම්බෙන් හෝ මා මුන ගැසුනු විටෙක බලෙන්ම මා ඔවුන් හා කතාබහට එක්කරගන්න උත්සාහ කල විට "ආ නිනේෂ් මහත්තයා . . . කොහොමද සැප සනීප . . . හොඳට පාඩම් කරනවාද . . . අපි යන්නම් මචං . . පරක්කු වුනා " කියා නිනේෂ් මහත්තයා කියන නම බර කර කීවේ ඔවුන් මට ඇමතූ මගේ කෙටි නම වූ "නිනෝ" පවා ඔවුන්ට අමතක වුන් ලෙස . . . එසේ වචනයෙන් දෙකෙන් මගහැර යන ඔවුන් අත මා කෙසේ ඈට පනිවිඩ යවම්ද . . .

පංති නිමාවෙන වේලාවට නුගේගොඩ හංදියේ අපේ සුපුරුදු බීම හල ලඟට වී ඈ සමඟ වචනයක් හුවමාරු කරගෙන සමාව ඉල්ලීමට මට ඉඩක් නොදීම . . . . ඈ මා දුටුවිට හිරුෂි නොමතිව තනියෙම ආ විටෙක පවා දන්නා හෝ නොදන්නා බාලිකාවන් රැලකට මැදිවී මා මඟහැර ගියේ මා නොදුටු ලෙස . . . එක් වරක් හෝ හෝ ඈ හැරී බලනු ඇතැයි මා මගේ සිතත් සමඟ කල ඔට්ටු ඇල්ලීම් වලින් මා දිනුම ලැබුවා වුවත් වචනයක් හුවමාරු කිරීමට කිසිදු ඉඩක් ඈ නොවේ මට ලබා දුන්නේ . . .

කිසිදු ලෙසකින් ඇගෙන් සමාවක් ඉල්ලීමට ඉඩක් නොලද මා එතැන් සිට මගෙන්ම පලි ගන්නවා හැර වෙන කුමක් කරන්නද . . . ???

ඈ යලිත් මට නොලැබෙන බව පසක් වෙන හැම මොහොතකදීම ඈවම ඇගේ සෙනෙහසම ඉල්ලා කෑ ගසන සිතට දිය හැකි උපරිම දඬුවම් ලබා දෙමට මා කිසිවිටෙක පැකිළුනේ නෑ . . . මා ආදරය කල සැම දෙයින්ම මා පලා යා යුතුයි . . . ම දැනසිටි, මා ඇදහූ පලිගැනිමේ ක්‍රමය එපමනයි . . . ! ! !

. . . . . . . . .

දිනක් පාසැල් වේලාවේ මගේ පන්තිය අසල මගේ මාමගේ පුත්‍රයා රැඳී සිටියේ එම කාල පරිච්ඡේදය නිමා වෙනතුරුයි . . .

"තිසල් මල්ලී මොකෝ මේ . . . පංති කට් කලාද . . . "

"නෑ නිනෝ අයියේ . . අද අපේ සයන්ස් ටීච නිවාඩු . . ඉතිං මේ පීරියඩ් එක ෆ්‍රී . . "

"මොකෝ ඉතිං තමුසේ මාව බලන්න අවේ . . . "

"නිනෝ අයියේ මගේ මාළු ටැංකිය ඊයේ අපේ මල්ලිගේ අතින් කැඩුනා හලෝ . . . මාළු ටික බේසමක දාලා තියෙන්නේ . . ඔයාට ටැංකි හතක් විතර තියෙනවානේ . . මට එකක් දෙනවකෝ හලෝ . . . "

"එහෙනම් හවසට එන්න . . . මම දෙන්නම් . .. " උගේ මූනේ රැඳුනේ සතුටු සිනාවක් . . .

හවස ඔහු එනවිට මා ටැංකි හතේම සියලුම මාළුවන් වෙන වෙන බෑග් වලට දමා ටැංකි වල තිබූ උපකරනත් ගල් වර්ග, ලී කැබලි ආදියත් බෑග් වල අසුරා ටැංකි ටිකත් මිදුලේ පේර ගස යට තබා තිබුනා . . .

"මේ මොකෝ මේ . . . "

"ඔයා මේ ඔක්කොම ගන්න . . . යමු මම එක ටැංකියක් ගන්නම් . . ඔයා පොඩි එකක් ගන්න . . "

ඔහුගේ ඇස් විස්මයෙන් ඉපිලී එලියට නොපැන්නා පමනි . ..

. . . . . . . .

මිදුලේ ලොවි බංකුවේ වාඩිවී පොතක් බලනවා වැනි ඉරියව්වකින් වේදනාබර කල්පනා ලෝකයේ කිමිදී ඉන්නා විටෙක . . . .

"ස්ස්ස්ස්ස්ස් . . . . හලෝ හලෝ . . . නිනේෂ් අයියේ . . ."

ඉස්සරහා වත්තේ කවින්ද්‍යා නංගී

"මොකෝ . . . "

"මේ ඔයාගේ මුද්දර පොත් වල තියෙනවනම් ඔස්ට්‍රියා වල එක වගේ මුද්දර දෙකක් මට එකක් දෙන්නකෝ තරහා නැතුව . . . මම ඔයාට මගේ ලඟ එක වගේ දෙකක් තියෙන ඉන්ඩියා වල රෙයා මුද්දරයක් දෙන්නම් . . "

සුළු මොහොතකින් මා ඔවුන්ගේ නිවසේ සීනුව නාද කලා . . .

ඇතුළු කාමරක සිටි කවින්ද්‍යා නංගී සාලයට අවේ . . .

"අම්මෝ . . .මාර Quick නේ . . . ඉන්න මම මගේ මුද්දර පොත් ටික අරගෙන එන්නම් . . "

"නෑ . . එපා . . . මෙන්න මේ ටික ඔක්කොම ඔයා තියා ගන්න . . . "

කාලයක් ආදරෙන් එකතු කල, රටවල් ගනනාවක එක එක වර්ගයේ දුර්ලභ මුද්දර එකතුවකින් යුතු මගේ මුද්දර පොත් හතරම මා ඇගේ අතේ තැබුවා . . . .

ඈ සතුට දරා ගත නොහැකිව නොහැඩුවා පමනයි . . .

. . . . . . . .

මගේ කුරුළු පිහාටු එකතුවත් . . . රට රට වල කාසි එකතුවත් හිමි වුනේ අපේ පටුමගේ පටන් ගන්නා තැනම වම් පැත්තේ ගෙදර මිතුරාගේ කුඩා මලනුවන්ට . . . .

. . . . ..

ඉතිං තවදුරටත් ඉතිරි වී ඇත්තේ මගේ ප්‍රියතම විනෝදාංශය ආදරනීය ඉගෙනීම පමනි . . . නමුත් මුද්දර පොත්, මාළු ටැංකි, කාසි, පිහාටු මෙන් එය අතහැරීම ලේසි කාරියක් නොවේ . . . සියලුම දෙනාට නොදැනෙන්නට එය කල යුතු වේ . . .

ඒ සඳහා මාස කීපයක් ගතවුනි . . .

මුලින්ම වෙනස දැනුනේ මගේ ගණිත ගුරුවරියටයි . . . විවේකය සඳහා සීනුව නාදවී සියල්ලෝම එලියට දුවන්න සරසෙන මොහොතේ ඈ . .

"නිනේෂ් . . පොඩ්ඩක් නවතින්න . . . මට ඔයාත් එක්ක කතා කරන්න තියෙනවා ටිකක් . . . . "

මා ගල් ගැසී ගියේ මා පමනක් දන්නා රහසක් ඈ කෙසේ දැන ගත්තාදෝ කියා දෙගිඩියාවෙන් . . . සියළුම දෙනා පිටව ගිය පංති කාමරය ඇතුලේ සිටියේ ගුරුතුමියත් මාත් පමනයි . . .

"පුතා . . . මම මෙහෙම අහුවට අමනාප වෙන්න එපා . . . . . "

බෙල්ල නමාගෙන සපත්තුව දෙස නෙත් යොමාගෙන සිටි මා දෙස ඈ සුලු මොහොතක් බලා සිටින්න ඇති . .

"ඔයාට මොකක් හරි ගෙදර ප්‍රශ්නයක් තියෙනවාද . . ."

"නෑ මිස් . . . "

"ඔයා ලඟකදී ඉඳලා ගණන් වලට හරිම දුර්වලයිනේ . . . ඉස්සර ගානක් දුන්නු ගමන් ගාන බෝඩ් එකේ ලියල ඉවර වෙන්න කලින් හදන කෙනා දැන් මොකද පීරියඩ් එක ඉවර වෙනකනුත් ගණන් හදල පොත පෙන්නන්නේ නැත්තේ . . . "

“මම දවසක් ටීචර්ස් රූම් එකෙදි විජේසූරිය මිස් එක්කයි . . . මුනසිංහ සර් එක්කයි කතා කරපු වෙලාවක එයාලත් කිව්වේ ඒකමයි . . . English Day එකෙදි කප් ගහපු ලමයා . . . සයන්ස් ටීචගේ ප්‍රියතම ගෝලයා . . . ඔයට මොකද්ද මේ වුනේ . . . අපි හැමෝටම පුදුමයි මෙච්චර දක්ෂ ඔයා ඇයි මේ එක පාරටම දුර්වල වුනේ කියන එක . . . ඒකයි මම කිව්වේ මම හෙමීට අහල බලන්නම් කියලා . . . "

" මම . . . . මම . . . ටියුෂන් ක්ලාස් යන එක නැවත්තුවනේ මිස් . . . ඒක නිසා වෙන්න ඇති . . . "

"ඒ වුනාට ටියුෂන් ක්ලාස් යන්න කලින් ඔයා ඊටත් හොඳට වැඩ කලානේ . . . මොකක් හරි ප්‍රශ්නයක් තියෙන වනම් කියන්න ලැජ්ජ වෙන්න එපා . . . ඔයාලව ඉතිං අපිට අපේම දරුවො කියලා තමයි දැනෙන්නේ . . . "

"නෑ . . එහෙම මොකුත් නෑ මිස් . . . " තටම තටම මා කියූ බොරුව ඈ විශ්වාස නොකල බව ඇගේ දෙනෙතේ බැල්මෙන් මා තේරුම් ගත්තා . . .

"විභාගෙට තව මාස තුනයි තියෙන්නේ . . . මහන්සි වෙලා වැඩ කරන්න . . ." අපි හැමෝම ඔයා ඩී අටක් නැත්ත හතක් වත් ගනී කියලා තමයි ඉස්සර ඉඳලම හිතාගෙන හිටියේ . . . සංගීත ගුරුතුමාගේ ඉගැන්වීමේ තරම දන්නා නිසා ඈ සිතා සිටින්නේ සංගීතයට හැර අනෙක් සියලුම විශයන්ට මා ඩී ලබා ගනීවී කියා . . .

විභාගයේ ප්‍රතිපල පිටවෙන දවසේ අනිත් ළමයින් උදේ ඉඳන් පාසලට ගියා වුනත් මා දහවල පසූවී පාසැලට ගියේ ගුරුවරුන් පිටවී ගොස් ප්‍රතිඵල ලේඛනය දැන්වීම් පුවරුවේ අලවා ගොස් ඇතැයි අනුමාන කරමින් . . . නමුත් අවාසනාවට ඉංග්‍රීසි ගුරුවරිය ඒ වන විටත් පැමිනෙන සිසුන්ට ප්‍රතිඵල දැනුම් දෙමින් සිටියා . . . මා දුටු විගස ම . .

"නිනේෂ් . . . මොනවද මේ කරගත්තේ . . . " කියා ඇසූ සැනින් මට ඇතිවූ හැඟීම නම් මා බලාපොරොත්තු වූ ලෙසම සියළුම විෂයන්ගෙන් මා අසමත්ව ඇති . .. දැන් ඉතිං කෙසේද මා ගුරුවරුන්ට මූන දෙන්නේ යනුයි . . .

මා සිතූ තරම් අයහපත් ප්‍රතිඵල ලබා නොතිබීම කුඩා කල පටන්ම මා අසාවෙන් කල ඉගෙනීම වෙනුවෙන් මා ලද ත්‍යාගයක් මිස වෙන කිසිවක් නොවේ . . . සංගීතය හැර සියළුම විශයන් සමත්වී උසස් පෙළ සඳහා වරම් ලැබීමට තරම් සම්මාන ද ලබා තිබුනා . . . ගුරුවරුන්ගේ නෝක්කාඩු . . . ඇනුම් බැනුම් කෙසේ වෙතත් මාස ගනනාවකට පසු මගේ මුවේ සතුටු සිනා රැළි ඉතිරී යනු මට දැනුනා . . . . පවුලේ අයගෙන් බැනුම් ලබා නොගෙනීමට මා විභාගය නිමාවූ දිනවල පටන් පරිසරය සකස් කොට තිබුනායින් (ක්ලසස් යන්න බැරි වුනු නිසා විභාගේ හොඳින් කරන්න බැරි වුනා ආදී බොරු වලින් . . . ) ගෙදරින් වැඩි බලපෑමක් නොමැතිව සැනසීමක් ලබන්න හැකිවූවා

"මට බෑ ආයේ ඉස්කෝලේ යන්න . . . "

මා සිදු කල වරදට මගේ ජීවිතයෙන්ම පලි ගැනීමේ අවසාන භාගයගේ මුව විටේ මා සිටියේ . . . ඒ සඳහා සුදුසුම අවස්ථාව මේ . . . මම අම්මාට මගේ ඉගෙනීම නතර කරීමේ තීරනය දැනුම් දුන්නා . . .

"ආ කමක් නෑ . . . හිටපන් මම තාත්තාට කියන්න ගොනෙක් නැති කරත්තයක් අරගන්න කියලා . . . " අම්මා පැවසුවේ සැහැල්ලුවෙන් . . .

"මම ඉස්කෝලේ නොයෑමයි ගොනා නැති කරත්තෙයි සම්බන්ධෙ මොකද්ද . . . " මට හිතා ගන්න වත් බැරි වුනා . .

"ඇයි ඉතිං උඹට ඉකෝලේ යන්න බෑ කිව්වනේ . . . නිකම් කන්න බොන්න දිදී තියා ගන්නේ මොකටද . . . කරත්තෙක බැඳලා හංදියට වත් යවන්න කියලා අර හාඩ්වෙයර් එකේ ගඩොල් අදින්න කියලා . . . . "

"අම්මට කිව්වට තේරෙන්නේ නැත්ද . . . මට ඉගෙන ගන්න බෑ . . . මම හරිම දුර්වලයි ඉගෙන ගන්න . . . "

"දුර්වල නිසාද එක දවසක් වත් පාඩම් කරන්නේ නැතුව සම්මානත් අරගෙන විභාගේ පාස් වුනේ . . . පිස්සු කතා කියන්නේ නැතුව AL ක්ලස් එකක් බලපන් . . . "

"සල්ලි . . . ????"

"සල්ලි . . . තාත්තයි මායි බලා ගන්නම් . . . උඹ ඒ ගැන හිතන්නේ නැතුව හිටපන් . . .“

ඒ සටනෙන් මට ගැලවී සිටින්නට . . . දිනන්නට . . . බැරි බව දැනුනු විට මා සිතුවේ . . . "හරි . . මම හොඳ වැඩක් කරන්නම්කෝ . . . අන්තිමට විභාගේ ෆේල් උනාම හරිනේ . . . එතකොට මෙයාලට තේරෙයිනේ . . . “

උසස් පෙල උපකාරක පංති සඳහා පියාගේ හිතවත්කම උඩ නුගේගොඩ උසස් අධ්‍යාපන ආයතනයකින් විශයන් හතරටම Free Card එකක් ලැබීම මා සැලකුවේ ඒ ගුරුවරයා මට කල අසාධාරනයක් ලෙසට . . . . "මේ මගුල නොලැබුනානම් ක්ලස් Fees වියදම් වුනා හරි මොනා හරි බොරුවක් කියලා ක්ලාස් නොගිහින් ඉන්න තිබුනා . . . දැන් ඉතින් පලයන්කෝ ක්ලාස් . . . . "

පාසැලේ උසස්පෙල පංතියේ මගේ කුඩා කල සිටම මිතුරෙකුවූ . . . අසිත මුලින් මුලින් කෙසේ හෝ මා ව බලෙන්ම වාගේ උපකාරක පංතියට ඇදගෙන ගියා . . .

"අනේ මචං මට වැඩිය යාළුවෝ නෑ උඹ දන්නවානේ . . . ටොයිලට් යන්න ගියත් ටැප් එක ලඟට ගියත් යන්නෙ හෙන අප්සට් එකේ බං තනියෙම ක්ලාස් ගිය දාට . . . ඒක නිසා හොඳ එකා වගේ ක්ලාස් වරෙන් බං . . . "

මට පංති යන්න කිසිම අවශ්‍යතාවයක් නැති වුනා වුනත් අසිතගේ උවමනාවටම පංති යන්න සිදුවුනා . . .

දෙවෙනි හෝ තුන්වෙනි සතියේ දිනක් පංති යෑමේදී ගේට්ටුව අසල දී මා දුටුවේ මා හීනෙන් පවා ප්‍රාර්ථනා කල රුවක් . . . ටක් ශොප් එක අසල කොට්ටම්බා ගස යට බංකුවේ වාඩිවී සිටියේ ඉමාෂා ඇතුළු ඇගේ පාසැලේ යෙහෙළියන් රෑන . . .

ඈ දුටු වනම මා ගල්සුනාක් මෙන් පා ඔසවා ගත නොහැකිව ළතවෙද්දී ඈත් මා මෙන්ම විමතියෙන් ගල් ගැසුනු බව මා පමනක් නොව ඇගේ යෙහෙළියන්ටත් දැනුනු බව ඔවුන් මාරුවෙන් මාරුවට මා දෙසත් ඈ දෙසත් බැලූ බැල්මෙන් ම මා අඳුනා ගත්තා . . .

"මොකෝ මචං . . . මොකද්ද අප්සට් එක . . . " මේ කිසිවක් නොදන්නා අසිත ඇසුවේ පිටට තට්ටුවක්ද දමමින් . . .

"නෑ මචං . . . කිසි අප්සට් එකක් නෑ . . . යමු පංතියට . . . " මා දෙතුන් වතාවක් හැරි හැරී බලන බව අසිත දුටුවත් මා කා දෙස බලනවාදැයි තේරුම් ගැනීම ඔහුට අපහසු වූ බව ඔහුගේ සැක සහිත බැල්මෙන් මට තේරුනා . . .

පංති නිමාවී බස් නැවතුමට එන අතර කතාව මුල සිට අගට අසිතට පැවසූ මා බලාපොරොත්තු සහගත සතුටු සිනාවක් නැගුවේ . .

"කමක් නෑ . . . දැන් ඉමාෂාත් මාත් ඉන්නේ එකම පංතියේ . . . උත්සාහයක් දැරුවොත් නැතිවූ ප්‍රේමය යලි ගොඩනංවාගෙන මගෙන් සිදුවූ වැරැද්දට සමාව ඉල්ලාගෙන . . . තිබුනාටත් වඩා වැඩි ප්‍රේමයක් ඇතිකරගත හැකි නොවේදෝ . . . " කියා සිතුනු හැඟීමෙන් . . .

පංතියේ මට අවසාන පේලි වල අසුන් ගැනීමට අවැසි වුවත් අසිතගේ උවමනාවට ඉඩදිය යුතු නිසාවෙන් අපි ඉඳ ගත්තේ මැද පේලිවල . . . ඉඳ ගත් සැනින් මගේ කාරිය වුනේ ඉමාෂා කොහේදැයි සොයා බැලීමයි . . . මුලු පංතිය සිසාරා සොයා බලන විට මගේ දෙනෙතට අසුවන්නේ ගැහැනු ළමයින්ගේ පේලිවල මුල් හරියේ වාඩිවී පැන්සල් පෙට්ටියේ සවිකරගත් කන්නාඩියකින් මා කොහේදැයි සොයා බලන ඉමාෂාවයි . . . අහම්බයෙන් අපගේ දෙනෙත් එකට මුන ගැසෙනවිටම ඈ කරන්නේ පැන්සල් පෙට්ටිය වසා දැමීමයි . . . නමුත් එවැනි ඉඟි වලින් මා තේරුම් ගත්තේ උත්සාහ කලොත් ඇගේ සිත වෙනස් කිරීමට හැකියාවක් ඇති බවයි . . .

මුල් මාස කීපය සතුටින් පංති ගියේ ඒ ඇතිවූ උද්දාමයෙන් . . . හැමදේටම කලින් ඇගේ යෙහෙළියන් සමඟ යලි මිතුරු කම් අලුත් කරගත යුතු බව පසක් වූ මා හිනාවෙන් පටන් ගෙන කතාවක් කරගත හැකි තරම් මිතුරු කම් ගොඩනගා ගත්තා . . .

"උඹට මොකෝ බං උනේ . . . "

"උඹ ඇයි එච්චර නරක විදිහට ඉමාෂාව අතහැරියේ . . . "

"ඒකි මාර දුකෙන් ඒ කාලේ ගෙව්වේ . . . "

"තාමත් ඒකි අර උඹ යාළු වෙන්න ඉස්සෙල්ලා හිටියා වගේ ජොලියේ ඉන්නවා අපි නම් තාමත් දැක්කේ නෑ . . . "

ඇගේ මිතුරින්ගේ දාහක් ප්‍රශ්න වලට ඒ වෙලාවට ගැලපෙන පිළිතුරු දීගන්න හැකිවුනත් ඈත් මාත් අතර මිතුරු කමක් ඇති කරන්න හැකි බවක සේයාවක් වත් මා දුටුවේ නැති තරම් . . . මොන කතාවක් ඇති වුවත් තහනම් වචනය ලෙස අපගේ මිතුරු කම යන මාතෘකාව ඔවුන් සැලකුවා මෙනි . .

ඔවුන් අතේ යැවූ ලිපි සියල්ලම විවෘත නොකරම හරවා එවන්න තරම් ඇගේ හදවත ඈ ගල් කරගෙන සිටියා . . . පංති නිමාවී බස් නැවතුමට යන අතර මඟ දී වචනයක් හුවමාරුකර ගැනීමට ගත් සියළුම උත්සාහයන් ඈ පයේ පෑගෙන දූවිල්ලක් තරම් වත් ගනන් නොගෙන පිටු දැක්කා . . .

මා සතුටින් පංති ගිය කාලය නිමා වූවා . . . ඈ මා පිළිකෙව් කරන බැව් නිත්‍යලෙසම දැනගත් පසු තවදුරටත් පංතිය මට සතුටින් යා හැකි තැනක් නොවූවා . . .

අසිතට මා දැමූ කොන්දේසිය නම් පංතියට යන විට ගේට්ටුව අසල ඈ සිටියෝතින් මා ආපසු හැරී යන බවයි . . . සතියක් දෙකක් මා සමඟ එසේ පංති මඟහැර පැමින චිත්‍රපටි . . නාට්‍ය . . . බලන්න පැමිනි අසිත තෙවෙනි සතියේදී පැවසුවේ . . .

"අනේ මචං . . . උඹට ක්ලාස් නොගිහින් අනාගතේ අවුල් කරගන්න පුළුවන් වුනාට මට නම් එහෙම කරන්න පුළුවන් කමක් නෑ . . . උඹ ක්ලාස් නාවට අනිත් දවසේ මම නම් ක්ලාස් යනවා . . . "

මට දිය හැකි පිළිතුර වූයේ . . .

"කමක් නෑ මචං . . . මගේ පව් මම ම තනියෙම ගෙවන්නම් . . . උඹ ක්ලාස් පලයන් . . ." කියා පමනි . . .

කාලය ගතවන ඉක්මන . . . වසර දෙකහමාරක කාලය අවසන, ආරම්භය ගැන සිතීමේදී එය අද ඊයේ මෙන් දැනුනා . . .

. . . .

එපා හිරු පායන්න . . .අදින් පසු මගේ ලොවට . . .
අදයි අවසන් දවස . . .
ඇගෙන් මා . . .
මගෙන් ඈ සමුගන්න . . .

සැඳෑ තරු නොදිලෙන්න . . .
සරා සඳ නොනඟින්න . . .
වෙලී යුඟදුර සතර . . .
අනු දිසා ගිලගන්න . . .
ගලා යන නදී දොල මිදී . . .
මිදී නැවතී ඉන්න . . .

ලිය මඬුලු තුරු සිරස . . .
එපා මල් පලදින්න . . .
වසන්තය නිමාවිය . . .
කොවුලනේ ගොළු වන්න . . .
සොබා දම් නෑසියනි සැලී . . .
සැලී කම්පා වන්න . . .

පංතියේ අවසන් දින නිවසින් පිටවීමේදී සුපුරුදු පරිදි අල්ලපු ගෙදර රේඩියෝව මගේ හදවතේ ඇනී තිබුනු පිහියේ මිටට තදබල පහරක් එල්ලකලා . . .

පංතිය අවසාන වනතුරු කාලය කෙසේ ගතවුනාදැයි සිහියේ රැඳුනේ නැති තරම් . . . පංතියේ අවසන් දිනයේදී පමනක් දිගහරින ගුරුතුමාගේ ජීවිත කතාවේ කිසිදු කොටසක් මගේ මතකයේ රැඳුනේ නැති බව පමනක් දනී . . . නිමාවූ අවසන් පංතියෙන් එලියටබට යෞවන යෞවනියන් කිසිවෙකුට නිවෙස් බලා යාමට උවමනාවක් නැති හැඩයි . . . තැන තැන එකතු වී කන්ඩායම් පිටින් හඬා වැටෙන කුමර කුමරියන් . . . කඳුළු පිරි දෑසින් සමරු පොත් එහාට මෙහාට හුවමාරුකරගන්නා කුමර කුමරියන් . . . අතුරින් මා දෙතුන් විඩක් එහාට මෙහාට පිස්සුවෙන් වගේ ගමන් කලේ එක් වරක් හෝ ඉමාෂාව අඩු තරමින් දැක ගන්න වත් තිබුනෝතින් යන ප්‍රාර්ථනාව හිසේ දරාගෙන . . .

අහම්බෙන් අතරමගකදී මා මෙන්ම පිස්සුවෙන් මෙන් කාවදෝ සොයමින් ළමයින් අතුරින් හිර වෙවී ගමන් ගත් ඉමාෂාව දුටු මා ඇගේ අතකින් අල්ලා ගත්තේ තවෙකෙකුගේ හිසටත් උඩින් අත දමා . . .

"නිනේෂ් . . . . මම මේ මෙච්චරවෙලා හෙව්වේ ඔයාව . . . "

මා දුටු ගමන් ඇගේ දෑසින් කඳුළු කැට කඩා හැළුනේ සොරොව්වක් ඇරියාක් මෙන් . . . ඒ දුටු මගේ දෙනෙතුත් මෙතුවක් කල් රහසේ හෙලූ කඳුළු වලට නිදහසේ ගලා යන්න ඉඩ සලසා දුන්නේ මෙතෙක් කල් හදවතේ ගල්වී තිබූ කඳුළු නිධි සියල්ලම එලියට ඇද දැම්මාක් මෙන් . . . .

නිනේෂ් දිනුත ගුණරත්න ත් ඉමාෂා විහාරි සමරතුංගත් එකිනෙකාගේ දෑත් අල්ලාගෙන දෙනෙතින් දෙනෙත බලාගෙන කඳුළු සැලීම කිසිවෙකුට අරුමයක් නොවුනේ පංතියේ අවසන් දවස කඳුළු වෙනුවෙන්ම වෙන්කල දවස්කැයි හැමදෙනාම සිතූ නිසාම වෙන්න ඇති . . .

"ඉමා . . . අනේ ඉමා මට එක පාරක් කියන්න . . . එකම එක පාරක් කියන්න . . . ඔයා මට සමාව දෙනවා කියලා . . . "

"නිනෙෂ් . . ඊට කලින් මට කියන්න . . . ඇයි ඔයා මට එහෙම කලේ කියලා . . මම මොකද්ද ඔයාට කරපු වැරැද්ද . . . ඔයා කොහොමද ඔයාගේ අහිංසක හිත ගල් කර ගත්තේ කියන්න මට රිද්දන්න තරම් . . . "

"මම දන්නේ නෑ ඉමා . . . විස්වාස කරන්න මටත් තාම හරියටම හිතා ගන්න බෑ ඇයි මම එහෙම කලේ කියලා . . . සමහර විට මට හිතෙන්න ඇති අපි දෙන්නා නොගැලපෙනවා කියලා . . . ඔයා මගේ දුප්පත් කමට හිනාවෙනවා කියලා වගේ මට හිතෙන්න ඇති . . . "

"ඒ කියන්නේ ඔයා මාව හරියට අඳුර ගත්තේ නෑ කියන එකනේ නිනෝ . . . මම කොහොමද ඔයාට සමාව දෙන්නේ . . . "

"ඕනෑම කෙනෙකුගේ අතින් වැරදි සිද්ද වෙන්න පුළුවන් ඉමා . . . වැරදි කාරයෙකුට වැරැද්ද හදාගෙන ජීවත් වෙන්න දෙවෙනි අවස්ථාවක් දෙන්න බැරි ඇයි ඉමා . . . කියන්න . . . . ඇයි බැරි ඉමා . . . . "

"එක පාරක් විස්වාසේ කඩපු කෙනෙක් දෙවෙනි වතාවටත් ඒ වැරැද්දම නොකරයි කියලා දෙන්න පුලුවන් සහතිකේ මොකද්ද නිනෝ . . . ආදරේ කියන්නේ වීදුරු මල්පෝච්චියක් වගේ . . . ඒක එක පාරක් බිඳුනොත් ආයේ කොයි විදිහෙන් ඇලෙව්වත් ඒ පරන ලස්සන ආපහු ගන්න බෑ . . . ඒ පළුදු නැති කරන්න බෑ . . . දේයියනේ ඇයි ඔයා ඒක තරුම් නොගත්තේ නිනෝ . . . . "

"ඒ කියන්නේ ඔයා මට කිසිම විදිහකින් සමාවක් දෙන්නේම නැද්ද . . ?"

"මම ආදරේ ඉගෙන ගත්තේ ඔයාගෙන් නිනෝ . . . ජීවිතේ ආයි කවදාවත් . . . කාටවත් . . . මම ඔයට ආදරේ කරපු තරම් ආදරේ කරන්න බැරි වෙයි . . . වෙන කෙනෙක්ව බැන්දා වුනත් . . . අපි ආයි ජීවිතේටම හම්බවෙන්නේ නෑ නිනෝ . . . හොඳින් ඉගෙන ගන්න . . . සන්තෝසෙන් ඉන්න . . . මම යනවා නිනෝ . . . . ගූඩ් බායි . . . . ! . . . "

එතැන් සිට වෙලේ බෝක්කුව උඩට වෙනකම් මා කෙසේ ආවාදැයි කොපමන උත්සාහ කලත් සිහියත නඟා ගත නොහැකි වූවා . . . එය හරියට ජීවිතයේ එක්තරා රික්ත කාල පරාසක් වගේ කියා මත සිතුනා . . .

. . . . . . . .

ගොයම් කැපූ වෙල් යායට සඳ රැස් අපූරුවට වැටී තිබුනා . . . පොත් ටිකත් සෙරෙප්පු දෙකත් අතට ගත් මා සඳ එලියේ නෑ වෙමින් කුඩා ඇලෙන් එගොඩ වී නියර මතට පා තැබුවේ . . . සැබෑවටම මින් මතු මගේ ලොවට හිරු පායන්නේ නැති බව සත්‍යක් බව පසක් කරමින් . . . .

. . . . . . . අවසානයි . . . !. . . . ..

41 comments:

  1. කතාව ගොඩාක් ලස්සනයි, ඒත් මේ අපි බලාපොරොත්තු උන අවසානය නම් නෙමෙයි. ජීවිතේ විඳවන මිනිස්සුන්ට කියවලා වත් සැනසෙන්න හොඳ අවසානයක් තිබුනා නම් ඇත්තටම සතුටුයි, කමක් නෑ. අපි හැම වෙලාවෙම සතුට විතරක් බලාපොරොත්තු උනත් බොහෝවිට උරුම දුක කියලා අන්තිමට හිතාගන්නම්, මේ කතාව සත්‍ය සිදියක් නම් අවසානය උපේක්ශාවෙන් පිලිගන්නම්, ඔබේ ලෙඛන හැකියාව නම් අති විශිෂ්ට්යි. මගේ සුබ පැතුම්, දිගටම ලියන්න දුකා අය්යේ.

    ReplyDelete
  2. අන්තිම ටික කම්මැලි කමටඩ ඉක්මනට ඉවර කරෙ අපරදනෙ මොනා වුනත් එල කතාව

    ReplyDelete
  3. අන්තිම කොටස හරිම අපූරුවට ලියවිලා තියෙනවා....!!!..නිනේෂ් ට දැනුණු හිස් ගතිය අපටත් හොඳට දැනෙනවා......! ඉදිරි ලේඛන ජීවිතේට සුබ පැතුම්!!!!

    ReplyDelete
  4. දුක් බර අවසානයක්නෙ අයියේ :-(

    තව කතාවක් ලියන්න..අපි ඉන්නවා කියවන්න ;-)

    ReplyDelete
  5. ඔබගේ ලේඛණ හැකියාව නම් අති විශිෂ්ට්යි.
    නැවතත් මෙවන් කථාමාලාවක් ඔබගෙන් බලාපොරොත්තු වෙමි..
    හදව‍තට කථාකිරීම ඔබට ලැබුණු ත්‍යාගයකි එය ඔබ හොදින් භාවිතාකරනවා... මගේ සුබ පැතුම්...!!!

    ReplyDelete
  6. අනේ.. ඉවරයි කිව්වම නිකං හිතා ගන්නත් බෑ ව‍ගේ.. ඒත්... මෙගා නාට්‍ය වෙනවට වඩා මෙහෙම උනු එකත් හොදයි.. ඒත මං දන්නේ නෑ... කථාවේ නමේම විරහව තිබ්බට මං හිතන්නේ කියවපු කවුරුත් ඒක ‍එහෙම වෙයි කියලා හිතුවේ නැතුව ඇති.. කොහොම උනත් මේ කථාව මෙච්චර දවස් ලිව්වට දුකා අයියට ස්තූතියි.. ආයේ අළුත් කථාවක් ලියයි නේද?

    ReplyDelete
  7. දුකා අය්යේ.....මම මේ කතාව මුල සිට නොකියෙව්වත් අවසාන කොටස බලන්න හිතුනා. අවසානය බලපුවාම මට දැනුනා මේ කතාව මගෙ ජීවිතේට මොන තරම් සමීපද කියලා.ආදරයෙදි කරපු වැරදි ගැන මමත් අද මේ විදියටම පසුතැවෙනවා.ඒත් දැන් ගොඩාක් ප්‍රමාද වැඩී.ඒ නිසා ජීවිතේ ලැබෙන්න තිබුන දේ ඒක වෙන්න ඇති කියලා මම හිත හදා ගන්න තාමත් උත්සහ කරනවා.මොනවා උනත් අයියට හොඳ හැකියාවක් තියනවා.ඉදිරියටත් මේ වගේ නිර්මාණ කරන්න හැකියාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා...

    සුබපැතුම්

    ReplyDelete
  8. උඹ ලිව්වෙ ඇත්තම අද්දැකීමක් උනත් නැතත් මම අමතක කරන්න උත්සාහ කරන අතීතය ආයෙත් මුල ඉදලම මතක් උනා මේක කියවලා. ජීවිතේ ගත්ත කිසිම තීරණයක් නිසා පසු නොතැවෙන මමත් පසු තැවෙන එකම තීරණය තමයි ආදරය. ඒක මේ උඹේ කතාවට බෙහෙවින්ම සමීපයි. අදටත් මටත් හිතාගන්න බැරි එකම දේ, ඇයි මම එදා එහෙම තීරණයක් ගත්තෙ කියන එකයි. එක අතකින් මේ කතාවෙ නිනේෂ් වාසනාවන්තයි සමාව නොලැබුනත් ඇයගෙන් අවසාන වශයෙන් සමාව ඉල්ලන්න හරි අවස්ථාවක් ලැබුනු නිසා. මම ඒ අවස්ථාව එනකම් තාම බලන් ඉන්නවා.

    මොනවා උනත් උඹේ විශිෂ්ඨ ලිවීමේ හැකියාවට මගෙනුත් සුභ පැතුම්. තව කතාවක් ලියපන් ඉක්මනටම. අපි බල් ඉන්නවා කියවන්න.

    ReplyDelete
  9. ඇත්ත අත්දැකීමක් උනත් නැතත් අපේ ජීවිතේ ට මේ කතාවෙන් ගන්න ට හැකි අත්දැකීම් පරිමාණය නම් අපරිමාණයි. සමහර වෙලාවට මේ ලියන කතා අපිට ජීවත් වෙන්න , ජීවත් වෙන විදිය හිතන්න අලුත් ලොවකට කමටහන් දෙනවා කියලා හිතෙනවා. හැමදේම වෙන්නෙ අපට කියලා සනසවාගන්න බොරුවට හරි හැකියාව තිබ්බත් ඇත්තට මූණ දීල හිත නිදහස් කරගන්න පාඩම මොනතරම් වැදගත්ද කියලා මට දැනුනේ මේ කොටසින්...,
    ස්තූතියි දුකා.., උඹ මේ කරන්නේ නිකම්ම කතාවක් ලියනවා නොවේ.., අපේ තැලුණු හිතවලට ජීවකයෙක් වෙලා ඒ තැන් සුවපත් කරන ජීවක සමාජ සේවයක්...!

    ජයෙන් ජය ම පතනවා...!

    මේ කරන සමාජ සේවාවට හා මේ අමිල ලියමන ට..!

    ReplyDelete
  10. දුකා... කතාව මුල ඉඳලාම කියෙව්වා විතරක නෙවෙයි ඔයාගෙ පාඨකයන්ගෙ අදහස් සියල්ලමත් කියෙව්වා. කතාව ලස්සනයි. ඒත් එක්කම හිතුනා ආදරය නිසා හිත රිද්දවා ගත්ත සංවේදි මිනිසුන් තවමත් අපි අතරෙ කොතෙකුත් ඉන්නවා නේද කියලා. එහෙම කිව්වෙ අළුත් පරම් පරාවෙ බොහෝ දෙනෙක් ලඟ මානුශික හැඟීම් වලට වටිනා කමක් නැති නිසා.

    බලාගෙන ඉන්නෙ අලුත් කතාවක් ලියනකල්.
    ඔබට ජය !!

    ReplyDelete
  11. බලපු, බලන හැමෝටම . . !

    මට මේකෙන් කියන්න ඕන කලේ පාසැල් යන කාලේ ළමයින් ආදරේ මොකද්ද කියල වත් නොදැන ආදරේ කියලා තමන් හිතන යම් කිසි මනෝ භාවයක පැටලෙනවා . . . ගොඩාක් වෙලාවට ඒක ආදරේ නෙමෙයි . . .

    සමහර විට
    "අහ් අරයට කෙනෙක් ඉන්න නිසා මමත් කෙනෙක් හොයා ගන්න ඕන"

    නැතිනම්
    "මාර ලස්සන කෙල්ලෙක් / කොල්ලෙක් ඉන්නවා . . වෙන කෙකෙන් එයාව සෙට් කරගන්න කලින් මම සෙට් කර ගන්න ඕන " . . .

    නැතිනම් . . .
    "කීයක් ඔට්ටුද . . මම අර කෙල්ලව / කොල්ලව යාළු කරගන්නවා"

    වගේ අදහසකින් පටන් ගන්න දෙයක් වෙනවා . . නමුත් අහම්බෙන් හෝ එක්කෙනෙක් හරි ඒක සීරියස් අරගත්තොත් වැරදීමකින් හෝ ඒ ආදරේ බිඳුනොත් එක්කෙනෙක් හෝ දෙන්නම දුක්විඳිනවා . . බොහෝ විට ලෝකෙටම හොරෙන් තමන්ගෙන්ම පලිගන්නවා . . . ඒ පලිගැනීම තමන්ගේ ඉගෙනීම නැතිකරගැනීම වගේ දෙයක් නොවෙයි කියලා කාටවත් දෙන්න පුලුවන් සහතිකේ මොකද්ද . . ??

    මේ කතාව ලියපු එකෙන් මම බලාපොරොත්තු වුනේ මේ බ්ලොග් එක බලන දෙමාපියන් ඉන්නවානම් . . . නැතිනම් අනාගතයේ දෙමාපියන් වන අයට මට දෙන්න උවමනා කල පණිවුඩය තමයි දරුවන්ගේ ජීවිත සමඟ කිට්ටුවෙන් ඉන්න . . . එයාලගේ හොඳම යාලුවා වෙන්න . . . එතකොට එයාලා ජීවිතේ වැරදුනු වෙලාවලදී එයාල විහින්ම තීන්දු නොගෙන වැරදි මාර්ගෙකට නොවැටී එයාලගේ හොඳම යාලුවා වුනු අම්මගෙන් තාත්තාගෙන් උපදෙස් අරගෙන වැරදීම් හදාගනී කියන දේ . . .

    ඉතිං මගේ ඒ වෑයම බිංදුවක් හරි ඉටුවුනාද කියලා පොඩි හරි කමෙන්ට් එකක් දාලා මට දැනුම් දෙන්න පුලුවන් නම් අනාගතයේ මගෙන් තව මොනා හරි ලියවුනොත් (මෙතුවක් ලියපුවා සාර්ථක හෝ නැතුවා) ඒ ලියවෙන දේ සාර්ථක ලියවිල්ලක් වෙන්න උපකාරී වෙයි කියලා මම හිතනවා . . .

    සති 8ක් මා සමඟ මේ කථාව සමඟ එකතු වෙලා හිටි ඔබ සැමට ගොඩාක් ස්තූතියි . . .

    ජය . . . !!!

    ReplyDelete
  12. ඇත්තටම මගෙ කෙල්ල මම සෙට් කරගත්තෙ නිකන් ඉන්න බැරි කමට.....
    එත් කල් ගත වෙනකොට එයා මට කියා දුන්න ආදරේ.....
    මේ කතාව මට ලොකු උදව්වක් එයත් එක්ක සතුටින් ඉන්න.....
    ගොඩාක් ස්තුතියි.....
    දිගටම ලියන්න.....
    ඔයාට ජය.....

    ReplyDelete
  13. @ Anonymous !
    tnx for our comment . . !

    ReplyDelete
  14. දුකා අය්යේ ,ඇත්තටම මේ කතාව ගොඩාක් ලස්සනයි, ඔයා මෙතනින් මේ විදියට කතාව ඉවර කරල තියන එක නිසා තව ගොඩාක් දෙවල් හිතන්න ඉතුරු වෙලා තියනවා..
    අපිත් ඔය වයසම පහු කලා, ඔය විදියටම පන්ති ගියා,එදා උසස් පෙලදි බැඳුනු ආදරේ ඒ විදියටම හත් අවුරුද්දකට පස්සෙත් තියනවා, මේ කතාව මගේ අතීතය ගොඩාක් මතක් කරල දුන්නා..
    ඔයාට බොහොමත්ම ස්තුතියි.. ආයෙත් ලස්සන කතාවක් ලියන්න මේ විදියට බොක්කටම වදින්න..

    ReplyDelete
  15. බ්ලොග්වල කතා ලියන ගොඩක් අය මගදි කතාව ලියන එක අතඇරලා දානවා. එක නිසයි මම උඹ කතාව ලියලා ඉවරකරනකන් කියෙව්වේ නැත්තේ. සිරා කතාව මචං. බොක්කටම වදින්න ලියලා තියනවා. PDF එකක් කරලා බ්ලොග් එකට දැම්මොත් අපිට අනිත් email අයට කරන්න පුලුවන්.

    ReplyDelete
  16. @දෙනෙත් !
    ස්තූතියි මල්ලී . . උසස් පෙළ කරක කාලෙදි බැඳුනු ආදරේ හත් අවුරුද්දකට පස්සෙත් එහෙම්මම තියෙනවා කියලා ඇහුවාමත් හරිම සතුටුයි . . . විවාහවී . . යහපත් දරුවෝ ලැබ සතුටින් අනාගතය ගතකරන්න ලැබේවා කියා පතන්නම් . .. ජයවෙවා . . .

    ReplyDelete
  17. @Anonymous!
    මේකේ තවත් කොටසක් පසු කාලෙක ලියන්න කියලා හිතන් ඉන්නවා . . ඒ ටිකත් ලියලා ඉවර වුනාමම PDF කරලා දාන්නම් . .

    එහෙම හොඳයි නේද??

    ReplyDelete
  18. දුකා... කාලෙකට පස්සෙ හොඳ කතාවක් කියෙව්වා. මමනම් සම්පූර්ණ කතාවම කියෙව්වෙ අද තමයි. එක දිගටම කියවගෙන යන්න පුලුවන් උනා කම්මලි නැතුව.
    ඒත් අවසානයට මගෙනම් වැඩි කැමත්තක් නැහැ. (සමහරවිට මගේ ආදරයත් කෙලවර උනේ කදුළකින් නිසා වෙන්න ඇති.)
    මොනවා උනත් ගොඩක් හොඳ කතාවක්. ඒකගැන කතා දෙකක්නෑ.

    ReplyDelete
  19. ඇඬුණා. Key Board 1 ට කඳුළු 1, 0 කරන්න බෑ. මං එයාට තවමත් ආදරෙයි.
    - Dan.

    ReplyDelete
  20. @indik !
    අවසානේ වෙනස් කරන්න පුළුවන් කමක් තිබ්බේ නෑ මචං . . . එහෙම උනානම් ඒකේ රියලස්ටික් ගතිය නැති වෙනවා . . . ස්තූතියි කමෙන්ට් එකට මචං . .

    ReplyDelete
  21. @Anonymous - Dan !
    "ඇඬුණා . . . මං එයාට තවමත් ආදරෙයි"

    ආදරේ හැමෝටම සුන්දර හිනාවක්ම ඉතුරු කරන දෙයක් නෙමෙයි සහෝ . . . සමහර වෙලාවට ආදරේ ගැන මෙලෝ හසරක් නොදන්න කාලේ ආදරේ නිසා ඉතුරු වෙන්නේ කඳුලක් . . . මට කියන්න ඕන වුනෙත් ආදරේ ගැන හරියටම තේරෙනකම් ඒ මායාවේ පැටලෙන්න එපා කියන එකයි . . .

    ReplyDelete
  22. මටත් ඔය වගේ දෙයක් වුනා. විහිලුවෙන් පටන් ගත්තට ගෑනුලමයා සීරීයස් අරන් තිබුනේ. මොනවා උනත් එ ගර්ල් වෙන බොයි කෙනෙක් එක්ක යලු උනා ඉක්මනටම. සමහර විට එයා එහෙම කරන්න ඇත්තේ වෙන කරන්න දෙයක් නැති නිසා වෙන්න ඇති. පස්සෙ කාලෙක මන් ගොඩක් ආදරේ කරපු කෙනෙක් මට කමතී උනේ නැත්තේ මන් කරපු පව් වැඩේ නිසා කියලයි මන් තාමත් හිතන්නේ. අද මන් පලවෙනි ගැනුලමයට දීපු වේදනාවයි, දෙවෙනි ගැනු ලමයා කැමති නොවීමයි දෙකම නිසා ගොඩක් දුක් වෙනවා. හිත රලු කරන් ජීවත් වෙන්න පුලුවන් කියලා හිතුවට ජීවත් වෙද්දී තමා අපි කොච්චර සංවේදිද කියලා දැනෙන්නේ.දැන් අවෘරුදු 24ක් වෙනවා.මේ කාලේදී හිත දරදඩු කරන් ඉන්න බෑ කියන්නේ ජීවිතේ කවදාවත් මීට වඩා හිත හයිය කර ගන්න බෑ කියන එකම තමයි.හදවතට අමතන කතාවක් ලිව්වට දුකාට ස්තුතියි. මේක ඇත්තම කතාවක්ද?

    ReplyDelete
  23. ඇඬෙනව දුකා.... අපි හැමොටම මේ වගේ අත්දැකීම් තියෙනව කියන්න අකමැති උනත්.....

    ReplyDelete
  24. @prashan !
    ඒක තමයි මමත් කියන්නේ. අපි ඕනෑම දෙයක් කරද්දී හොඳට හිතලා බලලා කරන්න ඕන. පස්සේ පසු තැවෙන්න වෙන්න දෙය්ක් නම් නොකර හිටියාම වැඩිය හොඳයි නේද . . ?

    අර අබේවර්ධන බාලසූරියගේ සිංදුවකුත් තියෙන්නේ "මලක මෙලෙක් හිතා ගන්න බැරි අතකින් මල් නෙලන්න එපා යාළුවේ. . . . හිතක මෙලෙක හිතා ගන්න බැරි හිතකින් පෙම් කරන්න එපා යාළුවේ" කියලා අන්න ඒ වගේ තමයි.

    ReplyDelete
  25. @Anonymous!
    අකමැත්තෙන් හරි මම නම් කිව්වේ මේ කතාවෙන් කාට හරි පාඩමක් ඉගෙන ගන්න දෙයක් තියෙයි කියලා හිතුනු නිසායි

    ReplyDelete
  26. matath une imashata una demai. lv this story .

    ReplyDelete
  27. අයියා.. මෙ උබෙම දෙයක් නෙද..හරිම වැදගත් දෙයක්... මම ඔයාගෙ බ්ලොග් එක උඩින් පලෙලෙන් කියෙව්වෙ.. එත් නොවැම්බර් මාසෙ ඉදන් ඔයාගෙ පොස්ට් වල තිබුන ලින්ක් වලින් ගිහිල්ලා බැලුවා... පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරපුහාම.. කතාව ඔයගෙම ජිවිත අත්දැකිමක් වෙනවා.. එයට අලංකාරයක් එකතු කරන්න ඔයා යම් යම් දෙවල් එකතු කරලා.. ලස්සනයි.. ලොකු දෙයක් ඉගෙන ගත්තා..මගෙ වාසනවක් දවල් ඔයත් එක්ක චැට් එකට සෙට් වුන එක

    ReplyDelete
  28. @රවා!
    මේ කතාව මගේ කතාව කියනවට වැඩිය අකල්හි ප්‍රේම කරන්න ගොස් ඉගෙනීම කඩාකප්පල් කරගත් හැමෝගෙම කතාවක් කියලා හඳුන්වන්න පුලුවන් මළේ

    ReplyDelete
  29. මචං.
    විස්වාස කරපං අද උදේ වැඩ පටං ගන්න ඉස්සෙල්ල එක හුස්මට ඔක්කොම කියාගෙන ගියා.මං හිතන්නෙ මීට කලින් මං උඹට කිව්ව Autograph කියන tamil film එක බලන්න කියල. එහෙම නොකිව්වනං, ඔන්න දැන් කිව්ව. හෙට හවසට අරං බලපං. පුලුවන්නං දෙමළ දන්න එකෙක් හොයා ගනින්, නැත්තං වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා subtitle තීන DVD එකක්ම බලපං.
    එතකොට තේරෙයි උඹේ මේ කතාව බලපු මට මොනා හිතෙන්න ඇද්ද කියල.

    ReplyDelete
  30. @ඉන්දික උපශාන්ත!
    අෆ්ෆා . . .දැන් ඉතිං හොයපල්ලකෝ ඔටෝ ග්‍රාෆ් ෆිල්ම් එක . .

    මේ මචෝ මම ඉන්නේ අබුඩාබි . . අබුඩාබිත් සිටි එකේ නීම්යි සිටි එකෙන් ගොඩාක් මෙහාට (ඩුබාය් පැත්තට වෙන්න)

    බලමු කොහොම හරි හොයාගෙන බලන්න . . ඒ අතරේ අර හිතුනු දේත් කියපන්කෝ . .

    ReplyDelete
  31. මන් දැනං හිටිය උඹ ඉන්නෙ UAE වල කියල. ඔහේ ඕක හොයා ගන්න බැරි වෙන්නෙ නෑ. මන් ඉස්සෙල්ලම බැලුවෙත් 2003 දි QATAR වල. තාම මට ඒ shock එකෙන් මිදෙන්න බැරි උනා. කොහොම හරි බලල film එක තෙරුන් ගන්න try කරහන්.( මට නං කේරළ යාලුවෙක් හිටිය උදව්වට )

    ReplyDelete
  32. @ඉන්දික උපශාන්ත!
    ඉන්නකෝ මහත්තයෝ එහෙනම් මම ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්ද කියලා බලන්න . . .

    ReplyDelete
  33. ඕක ටොරන්ට් එකට දැම්ම කියල කවුද් මට කිව්ව. පොඩ්ඩක් බලන්නකො.

    ReplyDelete
  34. @ඉන්දික උපශාන්ත !
    ඩවුන්ලෝඩ් වෙන්න දැම්මෝ . . . තැන්කූ වේවා කිව්වා එහෙනම් . . මේ උඹ දැන් ඉන්නේ කොහේද . . ? බහරේන්ද . . ? මොබයිල් නම්බර් එක පුලුහං නං එවන්ට පොඩ්ඩක් කයියක් ගහන්ට

    ReplyDelete
  35. මළ හත්තිලව්වක්නෙ යකෝ මේක! හැම එකාම ලියන්නේ බූට් කතා! පුස්පෙ පනිනවා!

    කතාව ලස්සනයි බන්. පරන කාලෙ මතක් වෙනවා! ආයෙ ඒ වගේ කාලයක් මුලු ජීවිතේටම ලැබෙන්නේ නෑ! මක්ක කොරන්නෙයි :(

    ReplyDelete
  36. උඹ අයියෙ ආයෙමත් මගේ හිත පෑරවා.මම අද තමයි මේ කථාව දැක්තේ.මං ආවෙත් මේ තුන් වෙනි දවසටද කොහේද මෙහාට.උඹ මගේ කථාව 75%ක්ම ලියලා.එකම වෙනස තියෙන්නෙ මට ඒ වගේ කෙල්ලෙක් වෙන්න එයාට බැරි වුන එක විතරයි.මේ ළඟ එන ඒලෙවල් ප්‍රතිළුල වලදි මට ඇඩෙයි.ඒ මට නැති වුන ආදරේ නිසා නෙමෙයි.මට නැති වුන ජීවිතේ නිසා.මේ වගේ ආදරයික අනේ මට ලැබුණනම්..ඒත් අද මම හිත ගල් කරන් ඉන්නවා.මගේ කථාව නම් හතර බීරි කථාවක් වගේ කියන කෙනෙකුට දැනෙන්නෙ.ඒත් මං මොනා කරන්නද..උඹ ලස්සනට ලිව්වා..මං බොක්කෙන්ම වින්දා..මං මේ ටික ලිව්වෙ මේ සයිබර් ලෝකෙ කව්රුවත් මාව නොදන්න නිසා.උඹ මෙහෙම කිව්වට හිතන්නෙපා මං ආදරය දන්නෙ නෑ කියලා.දවසක් මගේ බිලොග් එකට ආව නිසා යම් වැටහීමක් හරි මං ගැන උඹට ඇති අයියේ..මෙහෙම ලිව්වම මට පොඩ්ඩක් සැහැල්ලු නිසා මම ඔහේ ලියා ගෙන ගියා.කථාව නියමයි..

    ReplyDelete
  37. මාත් කෙනෙක්ට හුගක් ආදරේ කලා,ඒත් එයා ආදරේ කලේ මගේ සල්ලි වලට මට නෙමෙ.අන්තිමට මට ඉවසගන්න බැරුව මන් එයාව දාල ආවට මන් තම එයාට හුගක් ආදරේයි.මන් එයාව දාල ආපු එක වැරදිද?එයාට මගෙ ආදරේ කවදහරි තේරේවිද?

    බොහොම ස්තූති ඔයා ලියල තියෙන්නෙ හුග දෙනෙක්ගෙ ජිවිත කතාව

    ReplyDelete
  38. ප්‍රසා...:)June 12, 2012 at 10:52 PM

    මුලු කතාවම කියෙව්වා අයියේ...ඔයා ගෙ අත්දැකීම ලස්සනට ලියලා තියන බව හැමෝටම පැහැදිලියි....කතාවෙ ඉන්න ඉමාෂා මේක කියවලා අයියට සමාව දුන්න නම් ඇත්තටම හොදයි නේද?? අපි හැමෝටම වැරදි වෙනවනේ....අර කතාවක් තියෙන්නෙ..."වැරදි කිරීම මනුස්ස ගතියක් එහෙත් සමාව දීම දේව ගතියක් කියල"..ඒ වගේම "ආදරය කියන්නේ ලබා ගත යුත්තක් පමනක්ම නොව ලබා දිය යුත්තක්" බවත් කවුරු කවුරුත් වටහා ගත්තොත් ලෝකය කොතරම් සොදුරු වෙයිද?........

    ඔබට සදා හිරු පායන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නෙමු!!!!!!

    ජය වේවා!!!!!!

    ReplyDelete
  39. හොඳ ලස්සන කතාවක්. හැමෝගෙම මේ වගේ අත්දැකීම් ටික ටික හරි තියෙනවා. ලස්සනට ලියන එක තමා අමාරු. ඔබ ඒ මාරු කාරිය ජය ගෙන තිබෙනවා. සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අජිත් . . මේක බ්ලොග් එක ලියන්න පටන් ගත්තු කාලෙම වගේ ලිව්ව එකක් . .ආයේ ලියන්න ඕන . . ඔයාගෙත් අනෙක් අයගෙත් කමෙන්ට්ස් නිසා ඇත්තෙන්ම ආයේ ලියන්න හිතුනා

      Delete
  40. Hi,

    Nice Story. Heart warming.
    Sun will never rise in my world ever again. So here is my story. I'm from a well to do family. Sometimes back I was a final year student studying in a local university. One day I got an email from a dating site saying I have a new message. In my curiosity I followed the link and found myself chatting with strangers in seconds.

    The next day I got a message asking "hi kohomada jewithe?" from a guy having a cool profile picture. He was 12 years elder than me and so the messages that were exchanged were innocent looking enough. But being an intelligent person I had my suspicions. I double checked what he said to me from my personal knowledge. He said he was an aircraft engineer and a singer.

    His outlandish personal life kept me excited and his honey filled messages were looked forward to after tiresome lectures.
    He proposed to me with a song he composed and wrote me another song called "Haadu Genena"

    Song

    He had finally done a video and released it to media. The video looks similar to my story and the girl in the video has my complexion. These happenings kept me over the moon. I felt like I'm the luckiest girl on earth. He kept on talking about earning big money.

    Not long after he asked me to come with him to a hotel room. God fearing and all I flatly refused. He told me he is elderly and needs it. He threatened me he will find willing girls if I don't come.

    After many tears and shouting I finally gave in. One unfortunate day I went to the place he asked me to come. After 1-2 hours I went back home. Following the incident we continued to chat online. He asked me not to tell my mom as he is not ready yet.

    "Wait till I earn big money. Then your parents will say yes". I felt like I was chasing wild geese.

    Next my semester exams started. I came to my senses. I had not studied. I ditched him knowing well he is in the power of black-mailing me. He had enough information. I had even sent him a copy of a photo of us taken on our first date.

    He didn't hurt me there after. Only sent few messages saying that he missed me, trying to get me back together. May be he loved me for real after all. Who knows? But I didn't stay to find out.

    There ended my fantasy of a virtual love affair.

    Sun had turned his face from me and my world is left in pitch dark forever.

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails