UAE Sri Lankans Events

Wednesday, November 11, 2009

එපා හිරු පායන්න අදින් පසු මගේ ලොවට . . . ! (හයවන කොටස)


මෙතෙක් කතාව

සමරු පොත අතට ගත් ඈ එහි පිටු පෙරලන්නට වූයේ නොයිවසිල්ලකින් . . . චොක්ලට් පෙත්තක් ලද දරුවෙකු එහි කොලය ගලවනවාක් මෙන් වූ නොයිවසිල්ලකින් ඈ එසේ පිටු පෙරලනවා මා බලා සිටියේ හොර බැල්මක්ද දෙනෙතේ රඳවාගෙන, ඇගේ ප්‍රථිචාරය කෙසේ වේදැයි බලා ගන්නට හිතේ උපන් ආශාව අමාරුවෙන් හිර කරගෙන . .

පිටු පෙරලූ ඇගේ දෙනෙත් මා තැබූ සමරුව අසල නතර වනවාත්, ඈ උනන්දුවෙන් එය දෙතුන් වරක් කියවනවාත් දුටු මා ඉන් පසු ඇගේ මුවේ නැඟුනු සිනහ රැල්ලේ තේරුම මෙසේ වේ යැයි උපන් උපකල්පනයෙන් එක් වරම දෙවිදියක හැඟීම් වලින් වෙලී ගියා කීවොත් නිවරදියි . . .

"ඔව් . . ඔබ පැවසූ ලෙස ම අහිංසක හදකට සදා නොනිමෙන පහනක් වන්නෙමියි . . " ඈ සිතන්නට ඇතැයි සිතුනු සිතුවිල්ල මා නුහුරු සුන්දර හැඟීමකින් මුසපත් කර කිති කැවී ගියා වුවත් "ඒ අහිංසක හද ඔබේ හදවත වීමට . . . ඔබේ හදවතට සදා නොනිමෙන පහනක් වන්න මට ඉඩක් නැත්දැයි . . ? ? " ඈ සිතන්නට වත් ඇත්දැයි සිතුනු සිතුවිල්ල මා එක්තරා භීතියකින් විපක්ශිත කර වෙව්ලා ගියා මෙනැයි මට සිතුනා . . .

දෙවෙනියට උපන් සිතුවිල්ල දිගේ කල්පනා කරමින් සිටින විට, පංති අරගල . . . පංති පරතර ගැන දැනුම් තේරුම් ගත හැකි වයසක නොවූ කුඩා එකෙක් වූ මට ඕලුත් මාත් අතර ඇතිවන්නට ගිය . . . නො එසේනම් ඇතිවී අතරමඟ නතර කරනට සිදුවූ අපගේ පුංචි ප්‍රේමයට තහංචි වැටුනේ මා එසේ ගැඹුරින් නොදැන සිටි නමුත් “පෝසත් අයත් දුප්පත් අයත් මේ ලෝකේ ඇත . . . දුප්පත් අයට පෝසත් අය හා පෙම් සබඳ කම් ඇති කර ගත නොහැකිය . .” කියා මා මගේ ශක්ති ප්‍රමානයෙන් තේරුම් ගත් පංති පරතරය නම් වූ මහා ඛේදාවාචකය නිසා නොවේදැයි හැඟුනු සිතුවිල්ල, ඇගේ පැතුම මේ යැයි මා සිතූ සිතුවිල්ලට තව තවත් දුර සිතා බලන්නට අනුබල දෙනු ලැබුවා

අඳින පලඳින ආකාරයෙන්, සපත්තු-සෙරෙප්පු, පාසැල් බෑග් ආදියෙන් පවා ඉස්මතුවන ඇගේ පෙනුමට අනුව ඈ කුලීන පවුලක යුවතියකගේ නැතහොත් ඉහල මධ්‍යම පාන්තික පවුලක යුවතියකැයි අනුමාන කරන්නට ඕනෑ තරම් සාධක වූවා . . .

මා, කුලී නිවාසයක ජීවත් වන, අමාරුවෙන් දෛනික අවශ්‍යතා ඉටුකර ගැනීමට තරම් වන ආදායමක් උපයන ව්‍යාපාරයක හිමිකරුවෙක් වූ පියෙකුගේ ත් ආදායමක් ඉපයිය හැකි ශිල්පයක් උගත් නමුත් ස්වාමියාගේ වගකීම බිරිඳත් දරුවනුත් වෙනුවෙන් මුදල් ඉපයීම යැයි ඇතිකරගත් හැඟීමෙන් ස්වාමියා විසින් රැකියාවක් කිරීම වලක්වනු ලැබූ ගෘහනියක් වූ මවකගේ ත් පුතෙක් . . .

ඉදින්, වෙනස් පංති දෙකක . . . වෙනස් ලෝක දෙකක දෙදෙනෙකු වූ අපිට ආදරයදැයි, ප්‍රේමයදැයි නොදන්නා සිත්වල ඇතිවූ සෙනෙහසකට නතුවී සමාජ පෙරලියක් කිරීමට තරම් ශක්තියක් උපදවා ගත හැකි වේද . . ? ?

නැත . . . එය කෙසේ වත් සිදුවිය නොහැක . . .

"ගිනි පෙලෙල්ලෙන් බැට කෑ මිනිසා කනා මැදිරි එලියටත් බයයි . . " කියන්නා සේ එකම වේදනාවක් දෙවරක් විඳින්නට තරම් මා මෝඩයෙකු නොවිය යුතු යැයි කෑ ගසා කී මගේ හදවතේ දෝංකාරයට කන්දුන් මා අපේ මේ අළුත් ඇසුරේ සීමාව මිතුරු කමින් එහාට නොගිය යුතුයි කියා ඈට අනතුරු ඇඟවීමක් ලෙසත් . . . තවදුරත්, ඒ වන විටත් ඕලුගෙයි මගෙයි බිඳුනු සබඳ කමේ නටඹුන්, කැඩුනු සෙල්ලම් බඩුවක් බදාගෙන හඬන දරුවෙකු මෙන් . . . මියගිය ස්වාමියෙකුගේ දේහය බදා වැලපෙන බිරිඳක් මෙන් . . . අතීතය සිතින් බදාගෙන පිටතින් කොපමන සිනා මුසු මුහුනෙන් සිටියා වුවත් ඇතුළු හදවතින් වැලපෙමින් සිටි මට ඒ අතීතයේ අක්මුල් එක්වරම කපා සිඳ හෙලන්න ඇති නොහැකියාව උඩ ඉමාෂා ගේත් නිනේෂ් ගේත් සබඳ කමේ සීමා නීර්න ගැන වැටහීමක් ඉමාෂාට ලබා දීමට සිතා නිතර ගුවන් විදුලියේ රැව් දුන් නිරංජලා සරෝජිනී මහත්මිය ගැයූ ගීයක පද කිහිපයක් වෙනස් කරමින් ලියූ කුඩා සටහනක් ඇගේ ටීන් බුක් එක ඇතුලට දමා ඈට දුන්නෙමි . . .

"පමා වී මෙසේ අප ඇයි හමු වුණේ.
අප අතීතයේ හමු වූවා නම් . . . .
මට ඈව හමුවන්නට පෙර . .
ඔබ අතීතයේ මුණ ගැසුනා නම් . . .

ඔබේ මුදු වදන් පවසන හැඟුම් හැඳින්නෙමි . . .
ඔබේ නෙතින් වදනින් ඔබ සිතද හැඳින්නෙමි . . .
මේ දිවි මඟ මා නොලද සෙනෙහසින් . . .
ඔබේ සෙනෙහසේ මොහොතක යලිදු උපන්නෙමි . . . .

රැයේ සිහිනයෙන් ඔබගේ ලොවේ වෙසෙන්නෙමි..
සිතේ සුසුම් සුළඟින් යළි එයින් මිදෙන්නෙන්මි..
නොහැකි වුවත් ළං වන්නට සෙනෙහසක් අරන්
යළිදු බවයකදි හෝ ඔබ සෙවණ පතන්නෙමි..."

සටහන කියවා ඇගේ මුහුනේ ඇදෙන වේදනා රැහැන් මා නොදැකිය යුතු යැයි උපන් සිතුවිල්ල දෙතුන් දිනක් ඇගේ දෙනෙත් මඟ හැරීමෙන් මා ජය ගතිමි . . .

එලෙස අපි දෙදෙනා විසින්ම අපි දෙදෙනා අතර ඇති කරගත් සම්මුතියක් ඇතිව මිතුරන් ලෙස කල් ගෙවී ගියේ අපටත් නොදැනීම . . .

උපකාරක පංතියට එහා ඉඩමේ වූ ගුරුතුමා අළුතෙන් සාදන නිවස සහිත ඉඩමේ වූ පේර ගහේ ගෙඩියක් කඩාගෙන අප-මිතුරන් හවුලේ කන විටෙක මගේ කොටසක් ඈට නොදී කෑ නොහැකි බවක් මට දැනුනා සේම ඈත්, අතරමඟ කඩේකින් මිලදීගත් ටොෆියක් . . . චොක්ලට් එකක් කෑවේ මගේ කොටස ලෙස ඈ මට දුන් දේ මා මගේ මිතුරන් සමග හවුලේ රසවිඳ නිමාවූ පසුවයි . . . හිරුෂි විසින් තිලංශට දෙනු ලබන ටොෆී, චොක්ලට්, අඹ, පෙර, වෙරළු ආදියේත් . . . ඉමාෂා විසින් මට දෙනු ලබන දේවලත් ඉබේම කොටස් හිමිකරුවන් වූ රුසිත්ගේ ත් සාරංග ගේත් ඇනුපද නෑසූ කන්ව විඳ ගැනීමට තිලංශට ත් මටත් සිදු වුනා . .

අප අතර ඇත්තේ මිතුරු කමක් පමනක් යැයි නිතර නිතර හිතට අවධාරනය කර ගත්තා වුවත් පංතියට ඇතුලු වීමේදීත් . . . ඇතුලු වූ පසුවත් මුලු පංතියම සිසාරා ඒ දෙනෙත ම පමක් සොයා වෙහෙසෙන නෙතට, සිතට එසේ සොයා ගත් පසුව හදවතින්ම නැග එන සිනාවකින් පමනක් සංග්‍රහ කර නතර කර තබා ගැනීම ට බල කිරීම එසේත් නැතහොත් නැවත නැවත ඒ දෙනෙත දෙස බලා පුංචි හෝ යමක් පැවසීමට සිතට නැගෙන සිතුවිල්ල බැඳ තබා ගැනීම විටෙක ඉතාම වෙහෙසකර කටයුත්තක් වූවා. විටෙක ඒ වෙහෙසකර කටයුත්තට යොමු නොවී සිතට රිසිසේ රිසි දෙයක් කරන්න ඉඩදී ඒ දෙස බලා සතුටුක් ලබා ගැනීමට පෙලඹුනේ එහි සුන්දරත්වය වලක්වාලනු තරම් සවිමත් සිතක් නොතිබූ නිසාවෙන්මැයි . .

හිරිමල් දෙසිතක ඉපදුනු සෙනෙහසකට වැට කඩොලු බැඳීම කාට නම් කල හැකි වේද . . . ආදරය, පංති පරතර . . . සීමා මායිම් නොතකන මනෝභාවයක් බැවි ආදරයේ බැඳුනෝ හැර එහි සුව වින්දෝ හැර වෙන කිසිවෙකු දනීද . . .

මිතුරුකමේ සීමා මායිම් කැඩී සෙනෙහස දෝර ගලන්නට ඉඩ සැලසුනේ අහම්බයෙන් . . .

පංති නිමාවූ වහාම රුසිතු ත් සාරංගත් නිවෙස් බලා යාමට යුහුසුලු වන නමුත් තිලංශත් මාත් නුගේගොඩ සමහර සාප්පු වලට විශේෂයෙන් සරසවි පොත් හලට (පොත් ගන්න අතේ මුදල් නැති බව හොඳින්ම දන්නා නමුත් පොත් අතගා ඒමත් සුවයක් ලෙස සැලකූ නිසාවෙන්) ගොස් පැය භාගයක් පමන ගතකර එන ගමන් ආනන්ද සමරකෝන් එළිමහන් රඟශාලාව පිටුපස කොනේ ඇති බීම හලෙන් "මිරින්ඩා" බීම අපේ පංති දිනවල දෛනික පුරුද්දක් . . .

මුලින්ම බීම හලෙන් කවුන්ටරේ උඩ මුදල් තබා තිලංශ මිරින්ඩා ඉල්ලපු දවස් මතක් වෙද්දීත් එන සිනාව නවතා ගැනීම තාමත් අපහසුයි . . .

"මුදලාලි . . අපිට මැරෙන්ඩ දෙකක් දෙන්න . . "

බීම හලේ මැදි වියේ හිමිකරු අපි දෙස බැලුවේ පුදුමයෙන් වගේ . . . පසුව තේරුම් ගිය පසු ඔහුටත් සිනා . . . ඉන් පසු බීම හලට එන විටම "ආ එන්න එන්න පුතාලා මැරෙන්ඩ දෙකක් දෙන්නද . . ??" කියා ඔහු අපෙන් අසන්නේ බීම හලේ තවත් පාරිභෝගිකයන් සිටියොත් ඔවුන් මවිතයට පත් කරමින් . . .

දිනක් පංති නිමාවූ වහාම මිරින්ඩා බොන්න වත් සුනංගු නොවී තිලංශට සමුදී මා තදියමේ දිව ඇවිත් ඒ වන විටත් ගමන් ආරම්භ කරන්න තතනමින් තිබූ බසයකට ගොඩ වූයේ පෝ දිනයක් වූ එදින හවස පංසල් යාමට ඇති හදිස්සිය නිසාවෙන් . . .

නැගුනු සැනින් කොන්දොස්තර ගේ "පස්සට යන්න පස්සට යන්න කරුණාකරල පස්සට යන්න . . . " කියා කරන කෑ ගෑමත් ඒ වන විටත් තවදුරටත් බසයට නැගුනු මගීන් නිසාවෙනුත් ඇතිවූ තෙරපුමත් නිසාවෙන් ඉබේ තල්ලු වී ගොස් නතර වූ තැනේදී එතනම ඉදිරියේ තිබූ ආධාරක බටය කෙනෙකුගේ උරහිසට ඉහලින් අතදමා ඇල්ලීමේදී ඇල්ලූ සැනින් අත අහකට ගත්තේ මා අත තබා තිබුනේ බටයට නොව බටය අලා සිටි අතක් උඩින් බව වැටහී එසේ මගේ අතට දැනුනු සුමුදු පහස ගැහැනු ළමයෙකුගේ යැයි එහි ස්පර්ශයෙන්ම මා තේරුම් ගත් නිසාවෙන් . . . ඇය මා විසින් උවමනාවෙන් එසේ කලායැයි සිතාවී යැයි නැගුනු සිතුවිල්ලෙන් .

සමාව ඉල්ලන බැල්මක් හෙලන්න යැයි සිතා ඒ මුහුන දෙසට හැරී බැලීමේදීයි මට පසක් වූයේ එසේ මා විසින් නොදැනුවත්ව ඇල්ලූ අත ඉමාෂාගේ බව . . . ඈ සිටියේ මට වෙන ඇල්ලීමට ආධාරකයක් නොමැති කමින් වැරදීමෙන් මා ඇගේ අත ඇල්ලූ බවට ඈ දන්නා නියාව පෙන්වන සිනාවක් මුවේ රඳවාගෙන . . .

ටික ටික බසය ඉදිරියට යෑමේදී වාරුවක් නොමැතිව සිටි මා දෙපසට වැනෙනවා දුටු ඈ ළතාවකට හිස වනා මට ඉඟි කලා මා නොවැටී සිටීමට නම් ඇගේ අතට උඩින් හෝ ආධාරක බටය අලා ගත් යුතු බව . .

පංතියේදී කොපමන සිනා හුවමාරු කර ගත්තා වුවත් . . . දෙනෙතින් කෙතරම් අදහස් හුවමාරු කරගත්තා වුවත් මෙපමන කලකට ඈ සමඟ වචනයක් වත් කතා බහ නොකර තිබුනු මගේ හිතේ ඇතිවී තිබුනේ කියා ගත නොහැකි චකිතයක් . . . මා බිය වී වට පිට බැලුවේ මගේ පපුවෙන් නගින "ඩිග්-ඩිග් . . . ඩිග්-ඩිග්" ශබ්දය අන් අයටත් ඇසේදෝ කියා සැකයෙන් . . .

දෙවෙනි වරටත් ඇගෙන් ලද ආරාධනාත්මක ඉඟිය ට මට යට නොවී සිටීමට කොහෙත්ම ඉඩක් ලැබුනේ නෑ . . . මා හිමිහිට ඇගේ අතට උඩින් මගේ අත තැබුවේ වැටෙයි කියා බයට ආධාරකයක් අල්ලා ගන්නා අයෙකු ලෙස නොව පංසලේ බුද්ධ පූජාව අවස්ථාවේ පේලියට සිටගෙන සිටින විට කෙනෙකු විසින් අතට ලබා දෙන මල් වට්ටියක් ලබා ගන්නවා වැනි පරීක්ෂාකාරෙ නමුත් පහන් හැඟීමකින් . . .

පපුව ඇතුලෙන් විශාල ශබ්දයක් පිටකරමින් නැග ආ ඩිග්-ඩිග් ශබ්දය නැති වී සාමාන්‍ය වීමට බොහෝ වේලාවක් ගත වන්න ඇති . . . ගාඩිනියා වැනි මල් සුවඳකට හුරු විලවුන් වර්ගයක ශේෂවුනු සුවඳක් හමන ඇගේ කන අසලට හෙමින් පහත් වුනු මා ඈත් මත් මිතුරන් වූ පසු කල අපේ පලමු සංවාදය ඇරඹුවා . . . ! !

"අද උදේ ඇඳේ වැරදි පැත්තකින්ද බිමට බැස්සේ . . ."

මගේ අමුතු ප්‍රශ්නයෙන් ඈ විපක්ශිත වන්නට ඇති බව මූනේ ඇඳුනු හැඟීම වලින් වටහා ගත හැකි වූවා . . .

ඈ "ඇයි එහෙම අහන්නේ . .. ??" යැයි ඇසුවේ වචනයෙන් නොව කුඩා කරගත් දෙනෙතින් හිස පැත්තකට ඇල කොට කුතුහලාත්මක බැල්මක් මදෙසට හෙලීමෙන් . .

"නෑ අද මේ වැරදි බස් එකක නැගලා නිසායි එහෙම ඇහුවේ . . ."

"බකස් " ගා ඇයට යන්නට ගිය හිනාව ඈ අමාරුවෙන් නතර කර ගත් බවත් . . . එසේ අමාරුවෙන් හිනාව නතර කරගත් බැවින් පිට නොවුනු හිනාව පිට වුනේ දෙනෙතින් කඳුලු ලෙසින් . . . .

සුලු මොහොතක් නිහඬව සිටි ඈ . . .

"වැරදි බස් එකක් ද හරි බස් එකද කියලා ඔයා කොහොමද දන්නේ . . ?" කියා මගේ ප්‍රශ්නයට ප්‍රශ්නයකින් ම පිලිතුරු දුන්නා . . .

"නෑ වෙනද ට ඔයා හිරුෂිත් එක්කම හයිලෙවල් පාර පැත්තට යනවානේ . . .ඒකයි මම අහුවේ . . ."

"ආ . . ඒක නිසාද ඔයාල දෙන්නත් අපේ පස්සෙන් එන්නේ හයිලෙවල් පාර පැත්තට . . අපි යන්නේ කොහෙද කියලා බලන්නද . . . ?"

"අපෝ නෑ . . . අපි කාගෙවත් පස්සෙන් ගියේ නෑ . . . ඔයාල අපිට ඉස්සරහින් ගියා එච්චරයි වුනේ . . . "

"එහෙනම් මොකටද බස් එක ගන්න මෙතනට එන්නේ නැතුව ඒ පැත්තට යන්නේ . . ."

"අපි යන්නේ සරසවි එකට . . ."

"පොත් ගොඩාක් ඇති එහෙනම් දැං නේ . . . . ඇයි ඉතිං සතියට දවස් දෙක ගානේ සරසවි එකට ගිහින් ගත්තු ඒවා . . . "

"එහෙම පොත් ගන්න සල්ලි තිබුන නම් සතියට දෙපාර ගානේ යන්නේ නෑ . . එක පාර ගිහින් ආස කරන පොත් ඔක්කොම අරන් එනවා . . . ඒක නෙමෙයි මේ කොහෙද යන්නේ . . . ?? "

"අපේ මාමා ඉන්නේ පිට කෝට්ටේ . . . අම්මගේ පනිවිඩයකට එහේ යනවා මාමට දෙන්න කියලා පාර්සලේකුත් දුන්නා අම්මා . . . "

"මම තව හෝල්ට් දෙකක් එහායින් ලී මෝල ලඟින් බහිනවා . . . ඔයා පිට කෝට්ටේ හංදියටම යනවා නේද . . . ??? " ඈ අසන්නේ "වැරදිලාවත් එතනින් බහින්න එහෙම එපා හොඳේ . . " කියා නොකියා කියනු වැනිව . . .

"වෙනදට විනාඩි හතලිස්පහක් . . . පැයක් විතර තිස්සේ කොට කොට එන බස් කාරයා අද ඉක්මනට ඇවිත් . . . මුන් නම් මහාම මහා නසරානියෝ ටිකක් . .. මීට වැටිය හෙමින් එන්න තිබුනේ නැද්ද මුන්ට . . ."

බස් එකේ රියදුරුටත් කොන්දොස්තරටත් එරෙහිව මගේ හිතේ ඇතිවී තිබෙන රන්ඩුව ට බාදා කරමින් ඈ . .

"එහෙනම් මම මෙතනින් බහිනවා . . . අනිද්දට මීට් වෙමු . . බායි . . " කියා සිනාවක් පා බසයේ දොරටුව අසලට පිය නැගුවා . . . .

"බායි " කියා මාත් හෙමීට මටම කොඳුරා ගත්තා . . .


මතු සම්බන්ධයි . . .

15 comments:

  1. හිතාගන්න බැරි තරම් ගැලපීමකින් යුතුයි...! කතාව මම කොපි කරගෙන ප්‍රින්ට් කර ගත්තා ට කමක් නෑ නේ ද දුකා...! මොකද මේ වගේ ඇබ්බැහියකින් කතාවක් කියවන්නේ කාලෙකින් දුකා...! ඒකයි...!
    මචං ලොක පාලන දෙවියන් ට බැරිද මංදා...! එක දිගට බ්‍රහස්පතින්දා වල් විතරක් එන මාසයක් හදන්න...? එතකොට මේ කතාව එක හුස්මට කියවලා ඉවර කලෑකි නෙව...!

    හරීම අගේ ඇති ලියමනක්...!
    අනාගතයට ජයෙන් ජය ම පතනවා...!

    ReplyDelete
  2. @ LishWish !
    ලිශ් . . කිසිම ප්‍රශ්නයක් නෑ . . .

    ස්තූතියි උඹේ මූනු පොතේ ඇඩ් එකටත් . . කොමෙන්ටුවටත් . . . හැම දේටමත් . . .

    ReplyDelete
  3. මම හිතන් ඉන්නේ, ඔක්කොම එක පාරටම කියවන්න..
    කතාව ලියලා ඉවර උනාම, මට මතක් කරන්න දුකා..
    මටත් කතාවක් බලනවා නම් ඉවර වෙන්නම බලන්න ඕනේ.. නැත්නම් මට මගේ වැඩ කර ගන්න බෑ...

    මට ඊ- බුක්ස් තියෙනවා නම් (සිංහල) එවන්න දුකා...

    ReplyDelete
  4. කියෙව්වා... තියරි කියොනවා මිසක් කොහෙ ප්‍රැක්ටිකල් කරන්නද... ඒ නිසා දිගටම ලියන්ඩ! :)

    ReplyDelete
  5. දුකා අයිය ඇඩ් පාරක් දාන්න ඇති එයාගේ ඇගේ වදින්න බැරි තැන කෙල්ල කියන්න ඇති මෙන්න මේ බටේ අල්ල ගන්න කියල නැත්තං බටේ අල්ලනනේ නැතිව හේත්තු වෙන්න හදයි නේ :P

    ReplyDelete
  6. මරු දුකා.... සිංදුව හෙව්වේ මොකටද කියල දැන්නේ තේරුනේ....මුලදි මම බැලුවා නිරංජලා සරෝජිනී මහත්මිය "මට ඈව හමුවන්නට පෙර" කිව්වෙ කොහොමද කියල....පද වෙනස් කරපු කතාව දැක්කේ පස්සෙ..... ;)

    දුකා අයියේ වෙන්නෙම හරි සුන්දර වැරදීම් නේද.....:)

    ReplyDelete
  7. අනිද්දට හමබවෙමු කිව්වට අපි ඉතිං සතියක් ම බලන්න ඉන්න ‍එපැයි! මේක මහ අසාධාරණයි :පී

    ReplyDelete
  8. @ .::පිස්සා::.!
    ඉවර උනාම උඹට පනිවිඩයක් එවන්නම් මචං . . .. ඊ බූක්ස් මම කොහේ හරි දැක්කා වගේ මතකයක් තියෙනවා මචං . . . සුලඟ වගේ ඇවිදින් පොත ස්කෑන් කරල ඇඩ් කරල තිබුනා . . .තව පොතක් තිබුනා මතක නෑ දැන් කොහෙදිද දැක්කේ කියලා . .

    දෙන්න මට පොඩි කාලයක් හොයලා එවන්නම් උඹට මැසේජ් එකක් . . .

    දැනට සිංහලයා ඩොට් කොම් එකේ ත් පොඩ්ඩක් බලපන් . .

    ReplyDelete
  9. @ Supun Budhajeewa !
    මේ කතාව ඉවර වෙන කම් ඉන්නකෝ ටිකක් . . . ඔයාට එත්කොට හිතේවී හොඳ වෙලාවට ඕවායේ පැටලුනේ නැත්තේ කියලා . . .

    මගේ උපදෙස නම් පාසැල් යන කාලේ ඉගෙනීමට විතරක් හිත යොදවන්න . . .

    ආදරේ ගැන උසස් පෙලත් කරල ඉවර වෙලා ම හිතන්න කියන එකයි . .

    ReplyDelete
  10. @ උෂාන් කෝදාගොඩ විතාරණ !
    අන්න අන්න මල්ලී රෝං ටෝක්ස් හික් හික් . . උඹ කරන ඒවා හැමෝම කරනවා කියලා හිතන්න එපා හරිද . . හික්ස්

    ReplyDelete
  11. @ Ishara !
    ඔව් මචං . . දැන් ඒවා මතකත් නෑ . . එකයි හැමෝගෙන්ම අහන්න වුනේ අන්තිමේදී සචී මේ සිංදුව ලියපු රචකයා වූ කුලරත්න ආරියවංශ මහතාගෙන්ම ඉල්ලගෙන ලියලා එව්වා . . .

    ඒක මට හොඳ අවස්ථාවක් වුනා ඒ මහතාගේ ගීත ඇල්බමය වූ "තිස් වසරක ගී" ගැන මගේ අදහස ඒ මහතාට දැනුම් දෙන්න ත් . . .

    ඒක (තිස් වසරක ගී) මට ලැබුනාම මට හිතුනේ "හීනයක් හැබෑ වුනා වගේ . . ." පුංචි කාලේ ඉඳන් ආසාවෙන් ඇසූ ගීත ඔක්ක්කොම වගේ එතන තිබුනා . .

    ReplyDelete
  12. @ malee_msg !
    මොනා කරන්නද මලී . . . බ්ලොග් ලියන්නේ අතිරේක කාල වෙලාවල් වලදිනේ . . ඉතිං කොහොමත් එක පාර ලියන්න නම් බෑ . .

    කොහොමත් මම හිතාගෙන ඉන්නවා එක තැනකින් මේක (මේ දැන් ලියන කතාව) නතර කරල ඉතුරු ටික දෙවෙනි කොටස විදිහට ඔක්කොම ටික ලියල ඉවර කරල එක පාර ම බ්ලොග් එකට දාන්න . . .

    හොඳයි නේද අදහස . . ???

    ReplyDelete
  13. කතාවනම් නැගලා යනවා ඒකේ කිසි සැකයක් නෑ. නියමයි... හැබැයි...
    දුකා....
    උඹ මුලින්ම ලියද්දී තිබුණු ඒ Raw ගතියට මම හරිම ආසයි. ඒක හරිම සැරට හිතට කැවෙනවා

    ඇත්තටම මම මේ කතාව කියවන්නේ ආයාසයෙන්... ඒ කතාව කියවන්න ආස නිසා..

    ඒත්...

    අර මුල් post වල තිබුනු හිතට දැනෙන ගතිය මටනම් අඩුයි.
    (ලබන සතියෙ කතාව ලිව්වෙ නැත්නම් බලාගමු...)

    ReplyDelete
  14. පහුගිය පොත් ප්‍රදර්ශනයෙන් ගත්ත පොතක් බලද්දි මට දුකාව මතක් වුනා. පොතේ නම "ජීවිතයෙන් උපන්කතා". මේ පොත ලියලා තියෙන්නෙ ප්‍රවීන ලේඛක ජයතිලක කම්මැල්ලවීර. මේ පොතෙන් ඔහු ඉදිරිපත් කරන්නේ ජීවන අත්දැකීම් සාහිතය්‍ය නිර්මාණයකට පරිවර්තනය කරන්නේ කොහොමද කියන එක. ඒවගේම නිර්මාණ කරණයේදි පෞද්ගලිකත්වය රැකගෙන ඇති ආකාරය බොහොම හොඳින් පෙන්වලා තියනවා. දුකා ඔයාට මේ පොතෙන් බොහොදේ එකතු කරගන්න පුලුවන් වේවි. මේ පොත අළුත් පොතක්. විජේසූරිය ප්‍රකාශනයක්. කියවලා නැතිනම් හොයාගෙන කියවන්න.

    ReplyDelete
  15. යාන්තම් අද කියෝ ගත්තා....(මැඩගස්කරයෙන් ආපු 'නොරෝ' ට පින් සිද්ද වෙන්න!!!)...අපූරුයි!!!!...

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails