Saturday, July 25, 2009

ආදරණීය අක්කලා හෙවත් හිට්ලර්ගේ අවතාර . . . !


වතුරට වඩා ලේ ඝනකමයි කියන කතාව මට අහම්බෙන් පොතක තිබිලා දකින්න හෝ කවුරුහරි කියනවා අහන්න ලැබුනා මේ ලඟදී දවසකදී . . .

ඉතිං ඒ වෙලාවෙම මම හිතා ගත්තා මේ සම්බන්ධව යමක් ලියන්න ඕන කියල . . විශේෂයෙන් අක්කලා ගැන . . . මොකද මගේ අක්කා ගැනත් . . මගේ හොඳම මිතුරන් දෙදෙනෙකුගේ අක්කලා දෙදෙනෙකු ගැනත් හැඟීම මහාමෙරක් වගේ මගේ හිතේ බරට රැඳිලා තියෙනවා . .

පුංචිකාලෙ නැතිනම් පාසැල් යනකාලේ නම් අක්කල ගැන හිතුවොත් . .

අක්කා කියන්නේ . . මහාම මහා පරාල ඇණයක් . .

ඕන එකටයි එපා එකටයි හැම එකටම හොටදාන . .

ඇඳ අස්සේ හරි නැතිනම් කාටවත් හොයාගන්න බැරිතැන් කියලා හිතාගෙන අපි හංගන කෙල්ලො එවපු ලියුම් කොහොම හරි හොයාගෙන අම්මට කේලාම් කියන . .

නැතිනම් ලියුම් වල තිබුනු කෑලි කියකිය නක්කලේ දාලා අපේ හිසට යක්ෂයා අවේශ කරන . .

පෝයදාට පේවෙලා උපාසකයෝ වගේ හවස 5-6 ට විතර බොහෝම ශ්‍රද්ධාවෙන් පන්සල් ගිහින් කාටත් හොරෙන් ගෑනු ලමය එක්ක නිදහසේ ටිකක් කතාකර කර හිටියොත් නැතිනම් වෙන ගෑනු ලමයෙකුට රබර් ඇහැ දානවා දැක්කොත් . . "මල්ලී . . . මොකීද ඒ සක්කර වට්ටම . . " "තමුසේ කාවද ඔය සක බඹරෙ වගේ කැරකි කැරකි හොයන්නේ . . " වගේ දේවල් පවුලේ හැමෝම ඉදිරියේ කියලා ප්‍රසිද්ධියේ අපව නිරුවත් කලා වගේ හැඟීමක් හිතට දනවන . . .

පාසැල් ඇරිලා ගෙදර ඇවිත් තියෙන දෙයක් කාලා හවස්වරුවම යාලුවෝ එක්ක සෙල්ලම් කරලා ගෙදර එනකොටම . . ඇවිත් පොඩ්ඩක් රෙස්ට් කරන්න කියලා හිතනකොටම . . "හෆොයි . . ගස් ගඳේ බෑ . . හඩු ගඳේ බෑ . . පලයන් පලයන් නාගෙන වරෙන්" කියා ලිඳලගට හෝ නාන කාමරයට බලෙන් ඇදගෙන ගොස් අපව බලෙන්ම නාවන . .

ඊට පස්සෙ ඉතිං ටීවී එක ටිකක් බලන්න කියල හිතුවොත් . . "හා හා ඉඳ ගත්ත ඉතිං මැජික් පෙට්ටිය ඉස්සරහා . . ඕක වහල පාඩම් කරපන් . . පාඩම් කරපන් . . " කියලා අපේ අපිරිසිදුවට ඉන්නත් . . ටීවී බලන්නත් තියෙන මානුශික නිදහස අමු අමුවේ උල්ලන්ඝනය කරන ජේලර් කෙනෙක් මේකි නම් කියා හිතෙන . .

ඇණ පැකට් එකක් කියා තමයි අපි හැමෝම නැතිනම් ගොඩක් දෙනෙක් හිතන්නේ අක්කලා ගැන . . . .

කොටින්ම කිව්වොත් අක්කා කියන්නෙ හිට්ලර්ගේ අවතාරෙ කියලයි අපි හිතන්නේ . .

අපි කීයෙන් කීදෙනාටද ඇගේ නියම ආදරේ ගැඹුර තේරුම් ගන්න පුලුවන් වෙන්නේ . . ඇත්තෙනම ඇගේ මතුපිටින් තියෙන හිට්ලර්ගේ බඳු නියෝග වලට යටින් තියෙන්නේ උතුරා යන සෙනෙහස . . අපේ අනාගතය සුන්දර කිරීමේ ඒකායන පරමාර්ථය . . අප යහපත් පුරවැසියෝ කිරීමේ සොඳුරු බලාපොරොත්තුව . .

ඛේදයකි . . අප කීදෙනෙකුටද මේ ඇගේ නියම ස්වරූපය හඳුනා ගතහැකිවූයේ . . .

මට තාම මතකයි . . යාලුවෝ එක්ක සෙල්ලම් කර කර ඉන්න මට චිත්‍රකතා පත්තරයක් පෙන්වා . . ලගට ආවොත් පිටුවක් දෙනවා කියා අපේ ගෙදරට නගින්න තියෙන පඩි පහෙන් උඩම පඩියේ වාඩිවෙලා . . ලගට ආ ගමන් ඇදලා අරගෙන පහල පඩියේ මාව ඉන්ඳවාගෙන පත්තරේ බලනකම් ඔලුවේ ඉස් හොරි තියෙනවාද . . සෙල්ලම් කරන්න ගොස් තුවාල කරගෙනද කියලා ආදරෙන් මාව පරීක්ශා කරන . . හවසට හඩු පෙරාගෙන ගෙදර ආ ගමන් ලිඳ ලගට ඇදගෙන ගොස් වතුර ඇද මාව නාවන . . "නිතරම දත් . . නියපොතු . . ඉකිලි . . කිහිලි . . පිරිසිදුව තියා ගන්න මල්ලී කවදහරි කෙල්ලෙක් යාලුකර ගන්න දවසක ඔයාට තේරෙයි . . කෙල්ලෝ මූනේ ලස්සනට වඩා හිතන්නේ ඕවා ගැන . ."කියා බලෙන් මගේ දත් මද්දා . . පරන දත් බුරුසුවකින් මගේ නියපොතු මැද මාව ඈ පිරිසිදු කලහැටි . . අදටත් මගේ නියපොතු රෝසපාටයි . . හැම උදේම නාන්න යන මොහොතෙදී මගේ හිතේ ඈ දුන් උපදෙස් රැව් පිලිරැව් දෙනාවා . . .

"අම්මා නැති මට කිරි අම්මා වී . . .
කරුවල ගෙදරට මිණි පහනක් වී . .
දැනගත් දා සිට . . පෙරුම් පිරූවේ . .
අක්කේ මං මතු . .
සක්විති වෙයි සිතලා . . දෝ . . "

වික්ටර් රත්නායක මහතාගේ මේ ගීතය ඇසෙන හැම මොහොතකම මගේ හිත රිදවනවා මගේ හොඳම මිතුරෙකු ගැන සිතලා . . ඔහු සා/පෙළ කරන්න කලින් පියා මියගිහින් . . උසස්පෙළ කරන කාලෙදි මවත් මියගිහින් . . එදින පටන් ඔහුගේ ලොකු අක්ක තමයි ඔහුට මව වී තිබෙන්නේ . . අදටත් ඔහු අතින් අනාගෙන බත් කන්න හරිම කම්මැලියි . . ඔහුගේ බිරිඳගේ ලොකුම චෝදනාව තමයි "ලොකු අක්ක තමයි මෙයාව නරක් කරල තියෙන්නේ . . " කියන එක . .

මගේ දෙවෙනියට ගම උනු පෙදෙසේදි මට මතකයි කෙට්ටු, අහිංසක, කරුනාව උතුරා යන මූනක් තිබූ තරුණ ගෑනු කෙනෙක් දෑතින්ම විශාල බෑග් දෙකක කීර (කංකුන් . . මුකුනුවැන්න, ගොටුකොල ආදී කොල වර්ග ) ගෙනවිත් දාඩිය පෙරාගෙන ගෙවල් ගානේ ගෙනගොස් විකුනනවා . . පසුව කාලෙක ඇගේ මල්ලී මගේ හොඳම මිතුරෙක් වූවා . . ඔහු දිනක් මට කීවා ඔහුගේ ලොකු අක්ක කීර විකුනලා තමයි ඔහුට විශ්ව විද්‍යායලයේ ඉගෙන ගන්න වියදම් සපයලා දුන්නේ කියලා . . මගේ හිත හෝස්ගා ඇවිලී ගියා . . හදවත වෙව්ලා ගියා ඇගේ සහෝදර ප්‍රේමයේ තරම දැනිලා . .

මා කුඩා කල ඈ මට අමතන්නේ "චූටි මහත්තයා" කියා . . පසුව ඇගේ මල්ලි මගේ මගේ මිතුරෙක් වූ පසු මා ඈ එකඟ කරවා ගත්තා මට මල්ලී කියන්න කියා . . දැනටත් ඉඳ හිට හෝ ඈව මට ඔහුගේ ගෙදරදී මුන ගැසුනාම සමුගන්න මොහොතේදී මා ඈ සිප ගන්නේ හදපිරි භක්තියෙන් . .

මගේ නංගී විවාහවී කලින්ම විදේශ ගතවුනා . . මා මුලින්ම රැකියාවක් සඳහා විදේශ ගතවන මොහොතේදී "අනේ මල්ලී . . මට ඉන්නේ ඔයාල දෙන්න විතරයි . . නංගී රට ගියාම මම හිත හදාගත්තා ඔයා මගේ ලග ඉන්නවානේ කියලා . . අනේ දැන් ඔයත් මාව දාලා යනවා . . මම තනිවෙනවා . . " කියා මගේ අක්කා හඬාවැටුනු මොහොතේදී පිටරට රැකියාව බල්ලට ගියාවේ කියා හිතා හදාගෙන ලංකාවේම රැඳී සිටින්න මට හිතුනා . .

ඇත්තෙන්ම කෙදිනක වත් විදේශගත වෙන්න කැමැත්තක් නොතිබූ මට "ඔයා මෙහේ හිටියොත් ගන්න දෙයක් නැති වෙනවා . . කීයක් හම්බුකලත් කිසිම ඉතුරුවක් නෑ . . යාලුවොත් එක්ක රවුම් ගහලා පාන්දර ගෙදර එන්නේ . ." ආදී වශයෙන් බොහෝ කරුනු ගෙනහැර දක්වා මාව ඒ සඳහා උනන්දු කලෙත් ඈමයි . . .

ගුවන්තොටුපලේ වීදුරු බාදකයෙන් එපිට . . දරුවන් වඩාගෙන සිටි මස්සිනාගේ ඇගට වාරුවී . . කඳුලුපිරි දෙනෙතින් මා දෙස බලා සිටි . . ඈ දුටු මට . . . මගේ හදවත වීදුරු බාදකයෙන් එපිට බිම වැටී . . . යන එන දහසක් මිනිසුනගේ පයට පෑගී . . වේදනා විඳිනු වගේ දැනුනා . . .

නිවාඩුවට ගෙදර ඇවිත් ආපසු යන මොහොතේදී . . පිරිසිදුකම ගැන මට ඉගැන්වූ නමුත් . . . දරුවන් රැසකගේ වැඩ කටයුතු නිසා . . ඇගේ පිරිසිදුකම ගැන සිතන්න නිමේශයක් නැතිකමින් . . දාඩිය සුවඳින් පිරුනු ඈව මා සිපගනිද්දී . . "දෙවි පිහිටයි මල්ලී . . පරිස්සමින් ගිහින් එන්න" කියා ආශීර්වාද කරද්දී . . . දෙවියන් සිටිනාවායැයි විශ්වාස නොකරන මගේ හිතට . . . ඇගේ ආශීර්වාදයේ බර දැනෙන්නේ මහාමේරුවක් ලෙසට . . . !

ඉඩකඩම් වල අයිතිය වෙනුවෙන් සහෝදර සහෝදරියන් කෙසේ මිනිමරා ගන්නවාදැයි "වතුරට වඩා ඝනකම් වූ ලේ වලින් සැදි " සහෝදරත්වයේ සුවඳ හඳුනන . . . මටනම් සිතාගන්න වත් නොහැකියි . . . !

ඔබත් මෙපමන කලක් අක්කාගේ නියම ආදරය හඳුනා නොගත් සොයුරෙක් . . සොයුරියක් වියහැකියි . .

මා පැවසූ අක්කලා ගැන නියම සත්‍යයේ නාමයෙන් . . . ඔවුන්ගේ නියම ආදරයේ ගැඹුර ගැන සිතා . .

ඔබ සිටින්නේ ඔවුන්ට දුරින් වියහැකියි . . ඔවුන්ට දුරකතන ඇමතුමක් දී හෝ ඔබ ඔවුන්ට කොතරම් ආදරේ දැයි පවසා සිටින්න . . . ඔවුන් ඔබේ ජීවිතයට කල බලපෑම් ඒකාලයේ සතුරුකම් කියා සිතුවත් . . ඉන් ඔබේ ජීවිතයට වූ යහපත කෙතරම්දෙයි පවසන්න . . .

අදම පවසන්න . . . හෙට පමා වැඩිවිය හැකියි . . . !

74 comments:

  1. මට අක්කලා නෑ. ඒත් ඇසේ කඳුළු.
    උඹට දුකා කියන්නේ ඇයි කියලා දැන් තේරෙනවා.

    කතන්දර කාරයා

    ReplyDelete
  2. මේක නම් හුඟාක් හැඟීම්බරයි. ඇත්තටම, සමහරුන්ගෙ ඇසට කඳුලු නංවන්න පුලුවන් ලිපියක්.
    මට අක්ක කෙනෙක් නෑ, ඒත් ඉන්නව නම් මම හරි ආසයි. මගෙ cousin අක්කලට මම හුඟක් ආදරෙයි.

    ReplyDelete
  3. මටත් අක්කලා නෑ. ඒත් මේ ලිපිය හරිම හැඟීම්බරයි.

    බොහෝම හොඳ ලිපියක් මචං, අපි තව තවත් මේ වගේ වටිනා ලිපි උඹෙන් බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  4. යකෝ මුං එකෙකුටවත් අක්කල නෑනෙ. ඔය කිවුවට මොකද මටත් නෑ. මට ඉන්නව මේ ලෝකෙ ඉන්න හොඳම අයියා. මට වඩා අවුරුද්දකින් හා මාස 11 වැඩිමල්. අයියා මට අසීමිතව ආදරෙයි. මමත් එහෙමයි. හැබැයි ඒක කාටවත් පේන්නෑ. මේ තත්පර 25ට විතර ඉස්සර අම්මා ඇහුවා ඇයි පුතේ ඔයා අයියා එකක් වැඩිය කථා කරන්නෙ නැත්තෙ කියල. අයිය මට දක්වන ආදරයට වඩා මම එයාට ආදරෙයි හැබැයි ඒක කාටවත් පේන්නෙ නෑ. අයියා යමක් දිහා දකින විදිහ වෙනස්. ඒක නිසා මම කරන සමහර වැඩ අයියට රුස්සන්නෙ නෑ. සමහර වැඩ කිවුවෝත වැරදී. හැම වැඩක්ම වගේ. ඒ හැම දෙයක්ම කියන්නෙ මගෙ හොඳට නිසා මම කටෙන් වචනයක් වත් පිටකරන්නෙ නෑ. මේ තත්වය නිසා මට අයිය එකක් කථා කරන්න බැ. දැන් අම්ම හිතන්නෙ වෙන දෙයක්. මම ඉතිං මොනව කරන්නද?? අයියට තේරෙන දවසක තේරෙයි මම එයාට ගොඩක් ආදරය කලා කියල.

    ReplyDelete
  5. ඇත්තට‍ම ලස්සනට ලියවිලා තියෙනවා.

    කොහොමත් හැම අක්කාකෙනෙක්ම තමන්ගෙ මල්ලිට වච‍නයෙන් කියන්න බැරි තරම් ආදරෙයි. ඒක අක්කලා තුන්දෙනෙක්ගෙ මල්ලි කෙනෙක් හැටියට මට නොබියව කියන්න පුළුවනි.

    ReplyDelete
  6. කතන්දර කාරයා , H. Madhawa Ranga , ප්‍රවීන් ඉන්ද්‍රනාම , ඉද්දා . . ඔබලාට අක්කලා නැති එක ගැන කනගාටුයි. . .

    ඇත්තෙනම අපි තුන්දෙනාට තුන්දෙනා හරිම ආදරෙයි . .

    අක්කගේ ළමයි රන්ඩුවෙනවා දකින මස්සිනා කියන්නේ . . ඇයි ඔයාලට අම්මයි . . මාමයි . . පුංචියි වගේ ඉන්න බැරි කියලා . .

    අක්කා විවාහ වී යන දවසේ මම හැඬූ සැටි සිහිකරන මස්සිනා නිතරම කියන දෙයක් තමයි . . .

    "අනේ මල්ලී අපේ ලොකුදුවව මට කවදාහරි විවාහ කර දෙන්න ඕන කියා හිතනකොටත් දුක හිතෙනවා . . . අපේ චූටි පුතාත් ඔයා වගේම අඬයි කියලා"

    මොකද චූටි පුතා අක්කගෙන කිරිබිව් ගමන් දුවන්නේ ලොකු දුව ලඟට . . . ඔහු ඈට හරිම ආදරෙයි . .

    මම දැන් හුරතල් වෙන වයසක නෙමෙයි ඉන්නේ . . ඒත් තාමත් අපි එකතු වුනු වෙලාවට . . මම අක්කගේ ඔඩොක්කුවේ හිස තියාන . . ඈ මගේ හිස අතගානකොට දැනෙන සුවය විඳින්නේ . . ඇගේ දරුවන් ඒදිහා ඉරිසියාවෙන බලා ඉන්නැත්දී . . .

    ReplyDelete
  7. @ ඉද්දා !
    ලාංකික අපි "මම ඔයාට ආදරෙයි" කියන වචනේ කියන්න හරිම පැකිලීමක් තියෙන්නේ . . අපි උත්සාහ කරන්නේ නැතිනම් හිතාගෙන ඉන්නේ . . කටින් කොකියන අපේ ආදරේ අනිත් අය තේරුම් ගනී කියලා . . .

    ඒක මට හිතෙන්නේ වැරදි හැඟීමක් . . අනික් අයට පුබ්බේ නිවාසානුස්මති නුවන තියෙනවැයි . . ??

    පිටරැටියන්ගේ . . . විශේෂයෙන් යුරෝපියානුවන්ගේ මම දකින හොදම දේ තමයි . . "love u dad", "love u mom", "love u sis", "love u bro" කියලා තමන් ආදරේ කරන අයට කෙලින් තමන්ගේ ආදරේ ප්‍රකාශ කිරීම . . .

    ඔබ අයියට ආදරේ නෑ කියලා අම්ම හිතනවා වගේම අයියටත් එහෙම හිතෙනවා ඇති . . . වචනවට ලෝභ වෙන්නෙ නැතුව . . අදම කියන්න . . මම ඔයාට ආදරෙයි . . ඔයාගේ සමහර උපදෙස්වලට මට තරහ එනවා . . . මගේ ජීවිතේ ගැන අත්දැකීම් අඩුකම නිසා වෙන්න ඇති . . . ඒකට මාත් එක්ක තරහ වෙන්න එපා කියලා . . . අදම කියන්න . .

    ආදරේ හිතේ හිරකරගෙන දුක්විඳින්නේ ඇයි . . . ?

    ReplyDelete
  8. ශා දුකා නියම ලිපියක් මටත් අක්කා කෙනෙක් නෑ.පවුලේ වෑඩිමලා මම.ඒත් මේ ලිපිය කියෙව්වාට පස්සේ මටත් අක්ක කෙනෙක් ඈත්තටම හිටියානම් හොදයි නේද කියලා ඈත්තටම හිතිලා ඒ ගෑන පොඩි දුකකුත් ඈති උනා..

    ReplyDelete
  9. @ NUWAN"s lane !
    මොනා කරන්නද නුවන් . . . හැමදෙනාටම හැමදේම ලැබෙන්නේ නෑනේ . . . !

    ReplyDelete
  10. හරියට හරි දුකා මාත් එහෙම තමයි හිතුවේ...

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. මගේ ආදරණීය අක්කා ලඟදි විවාහ උණා.දැනෙන දුක කියන්න බැරි තරම්..

    ReplyDelete
  13. ගොඩක් කට්ටිය කියල තිබුන වගේ මටත් අක්කලා නෑ.
    අනේ හිටියනම් කියල හිතෙනවා.
    දුකාගෙ ලිපි ලස්සනයි නියමෙට ලියනවා සුබ පැතුම්

    ReplyDelete
  14. සංවේදි මාර්තෘකාවක්. මටත් සහෝදරියන් නැතත් එ අඩුව අනන්තවත් දැනි තිබේවා.එ අතින් ඔබ වාසනාවන්තයි. "දාඩිය ගඳින් පිරුනු ඈව" දාඩිය ගද වෙනුවට සුවද යන්න වඩා උචිත යැයි සිතනවා.

    ReplyDelete
  15. @ naya !
    මටත් හිතාගන්න පුලුවන් ඔබට දැනුනු දුක . . !

    @ සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Senarath !
    ස්තූතියි ඔබට . . !

    @ දිලාන් !
    සමාවෙන්න මටත් ඔබ පෙන්වා දුන්නාට පසුව තමයි තේරුනේ . . ඔන්න ඒක හැදුවා . . . !

    ReplyDelete
  16. මටත් ඇත්තටම කියවද්දි පුදුම හැඟීමක් දැණුනෙ මටත් මගේම කියල අක්ක කෙනෙක් නෑ ඒත් මටත් හිතුන මගේ අක්ක කෙනෙක් හිටයනං කොච්චර හොඳද කියල.
    මොනා උනත් දුකා උඹ අපිට වඩා වාසනාවන්තයි!

    ReplyDelete
  17. නියමයි.හුගක් සංවේදි ලිපියක්.මටත් සහෝදරියො නැහැ.සහෝදරයො දෙන්නෙක් තමා ඉන්නෙ.අක්කලා,අයියලා,මල්ලිලා,නංගිලා කවුරු වුනත් සහෝදර බැදීම කියන්නෙ මහා පුදුම දෙයක්.අපි පුංචි කාලේ අනන්තවත් රණ්ඩු වෙලා ඇති.ගහගෙන ඇති.මම අයියලට වඩා අවුරුදු 6,7 න්ම බාල නිසා මම කොච්චර ගැහුවත් උන් මට අතක්වත් උස්සන්නෙ නැහැ.මමත් ඉතින් හිතේ හැටියට උන්ට ගහනවා.එත් ටික වෙලාවකින් එහෙම දෙයක් උනාද මතකත් නැහැ.අද මගේ අයියලා දෙන්නම ලංකාවෙ නැහැ.සහොදරයො නැති පාලුව මට දැන් හොදටම දැනෙනවා.

    ReplyDelete
  18. හැමදාමත් වගේ දුකා උඹ හිතට තට්ටු කරලාම මේක කියන්න හැදුවට ඔය කතාවට අදාල තැන මගේ හිතේ හිස්. මම එකම එක දරුවා. ඉතින් පුංචි කාලේ ඉඳන් තනියා තමයි.

    මේ වෙනකම් අක්කා කෙනෙක් හිටියානම් කොච්චර හොඳයිද කියලා හිතුන වාර අනන්තවත් තිබුනා. ඒත් ගෑණු ළමයෙක් යාළු වුනාට පස්සේ ඒක යටපත් වුනා. තනිකම ටිකක් මැකිලා යන්න ඇති.

    හැබැයි දුකා උඹ හරි වාසනාවන්තයි ඒ අතින්.

    ReplyDelete
  19. මොනවා කියන්නද කියලා හිතන්න බැහැ. ලියලා තියෙන විදිහෙන් ද මන්දා කියවද්දි කඳුළු එනවා. අක්කලා මල්ලිලාට වගේම අයියලා නංගිලාටත් ආදරේ ඇති නේද ? සමහර මිනිස්සු බැඳීම් ගැන ලොකු ලොකු කතා කියලා ඒවා හෑල්ලු කරන්න හැදුවට ඇත්තටමට ඒක ව්‍යාජයක් විතරයි. අපි ඉපදෙන්නේ බැඳීම්වලට..ඉන්නෙත් හැදෙන්නෙත් ඒවත් එක්ක. දුකාට ස්තූතියි ඇතැමුන් වගේ ලොකු හිස් තියරි නැතිවට කාගෙත් හැඟීම් අවදි කරන්න පුලුවන් විදිහට ලියන එකට..

    ReplyDelete
  20. මොනාද ඕයි මේ ලියන්නේ ?? මට ඇඬෙනවා !!! මගේ අක්ක මං ගැන කිව්ව කතාවක් මට දවසක් ඇහුනා. එයා කිව්වෙ "All I got in my life is my brother" කියලා. මට වැඩියෙන්ම කඳුළු ආවේ ඒක මතක් වෙලා.

    ReplyDelete
  21. මටත් අක්කා කෙනෙක් නැහැ, නංගි විතරයි. ඒත් මේ ලිපිය කියෙව්වම මගේ නංගීත් අක්කා කෙනෙක් වගෙයි නේද කියලා හිතුණා. එකම වෙනස නීති දාන්න එන්නේ නැති එක විතරයි.

    ReplyDelete
  22. ඇ‍ඬෙනවා... සිරාවටම.....

    ReplyDelete
  23. @ ම !
    ස්තූතියි ඔබට . . !

    @ කේෂාන් !
    ඇත්තෙන්ම මම වාසනාවන්තයි . . මට පනවගේ ආදරේ කරන අක්කෙකුයි නංගියෙකුයි ඉන්න එක . . . ඒ දෙන්නා මගේ හොඳම මිතුරියන් . . අපි අතරේ කිසිම රහසක් නෑ . . ඕනෑම පුද්ගලික දෙයක් අපි විවෘතව කතා කරනවා . . පිරිමි ලෝකෙ ගෑනු සම්බන්ධ ප්‍රශ්නවලදී ගෑනියෙකුගෙ පැත්තෙනුත් හිතලා බලන්න මට උපදෙස් දෙන්නේ ඔවුන් තමයි . . ! ඇත්තෙන්ම මම වාසනාවන්තයෙක් . . . !

    ReplyDelete
  24. @ Anonymous, chamila_dealwis, සු෴ , Chrishi, තමීර, ගයන්ත !
    වතුර වලට වඩා ලේ ඝනකමයි කියන එක හැමෝටම හොඳට දැනිලා වගේ . . ! කලිනුත් කිව්වා වගේ . . වචන වලට ලෝභ වෙන්න එපා . . සහෝදර සහෝදරියන්ට කියන්න ඔවුන්ගේ ආදරය අපට කොපමන වටිනවාද . . .තමන් ඔවුන්ට කොපමන ආදරේද කියලා . . . ! Tomorrow will be too late . . . !

    ReplyDelete
  25. @ සු෴ !
    අහ් ස්තූතියි මතක් කලාට . . .
    අය්යලා නංගිලාට ආදරේ නැතුව මොකද . . ?
    නංගිගෙයි මගෙයි කතාවත් දවසක ලියන්න ඕන. . . !

    ReplyDelete
  26. සංවේදී සටහනක්. අක්කා කෙනෙක් නැති අඩුව දැනිලා තිබුනත්, මේතරම් වටිනවා කියලා දැනිල නැහැ කවදාවත්.

    දුකා වාසනාවන්තයි විතරක් නෙවෙයි, ලැබුනු වාසනාවෙන් ප්‍රයොජනත් අරන් තියෙනව. අක්කල මල්ලිලා පර්චස් 10ට මරාගන්න කාලෙක ඔයාලගෙ සමගිය රටක් වටිනවා.

    ReplyDelete
  27. hitha ganna bari tharam lassana aadarayak. duka , matath innawa ayya kenekuyi nangi kenekui. api okkoma inne yaluwo wage..

    danatamath.., pamaa una de niwaradi karanna hitha lahesthi welaa iwarayi..

    isthuthiyi obata...

    ReplyDelete
  28. චන්දිමJuly 25, 2009 at 11:50 PM

    හුගක් දෙනෙකුට වගේ මටත් අක්ක කෙනෙක් නෑ. ඒත් මගෙ Cusin අක්කල දෙන්නෙක් ඉන්නව ඔය විදියටම මට සමීප. ඒ නිසා මේ කතාව හුගක් හිතට වැදුන.............දුකා......නුඹට තුති, අපි කවුරුවත්ම නොහිතන පැත්තකට අපිව ගෙනගියාට

    ReplyDelete
  29. මචන් දුකා.. උබේ කතාව 100% ඇත්ත මචන්... ඒක මට දැනුනෙ මගෙ අක්කා විවාහ වෙලා ගිය දවසෙ...

    ReplyDelete
  30. මට අක්කලා නෑ...........හිටයනං ....

    ReplyDelete
  31. දුකා මම ඔය දුක විඳලා තියනවා. මට අක්කලා 5ක් ඉන්නවා. මොනවා උනත් සමහර වෙලාවට අමතක වෙන ආදරය මතක් කරලා ඇස් වලට කඳුළක් ගෙනාවට ස්තූතියි.

    ReplyDelete
  32. මගෙත් ඇස් දෙක කඳුළින් පිරුණා මේ ලිපිය කියවද්දී... මට අක්කලා එක් කෙනෙක් නෙමේ දෙන්නෙක්ම ඉන්නවා... ලොකූ අක්කා මට පුදුම ආදරයක් තියෙන්නේ... මං ලෙඩ උනාම එයා අඩනවා... මං කැමති හැම කෑමක්ම හදලා දෙනවා.. අද මං ‍තැනක ඉන්නවා නම් එක හේතූවක් තමා මගේ අක්කලා... මාත් මගේ අක්කලාට පුළුවන් උපරිමයෙන් සලකනවා...

    කොච්චර කෙල්ලෝ හිටියත් දවසක කසාද බැන්දත් මගේ ළමයි හිටියත්, එක කූස උපන් මගේ අක්කලා වගේ මට කවුරූත් ආදරේ කරන එකක් නැති වෙයි.. ඒ තරමට මං ආදරෙයි මගේ අක්කලාට...

    ගොඩාක් ස්තූතියි මේ මාතෘකාව ගැන ලියන්න හිතුවට...

    ReplyDelete
  33. අයියෝ.... මමත් පවුලේ තනියා නෙව... :( හ්ම්... අනේ මන්දා... මුකුත් කියැවෙන්නේ නෑ... දුක තමයි... අයියෝ... හිටියානං අක්කා කෙනෙක් කියන දේ ගැන ‍‍මම ගොඩක් කාලෙකට කලින් වුනත් හිත හිත හිටපු දෙයක්... මට මගේම කියලා එහෙම සහෝදර සහෝදරියෝ කවුරුවත්ම නෑ අප්පා...

    (අඬමින්...)

    ReplyDelete
  34. This comment has been removed by the author.

    ReplyDelete
  35. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මරු ළිපියක් දුකෝ..ඕක මට හුඟාක් දැනිල තියෙන දෙයක්.මමත් ඕක ගැන එක ළිපියක් ලිව්වා.

    http://muchalindha.blogspot.com/2009/07/blog-post_21.html

    ඒත් උඹේ ළිපියෙන් මගේ හිතේ තිබිච්ච ඔක්කොම දේවල් කියවුනා වගේ.

    ReplyDelete
  36. කියන්න වචන නෑ මචං.ඇස්වල කඳුලු කඩාගෙන වැටෙන්න ඔන්න මෙන්න.....

    ReplyDelete
  37. මම හැම දෙනාවම අඬවන මාතෘකාවක් ගැන ලිව්ව කියලා . . . හැමෝම මාත් එක්ක තරහ වෙන එක කෙසේ වෙතත් . . . හිටියට වැඩිය මාත් එක්ක බැඳෙයි වගේ . . .

    මට පුදුම සතුටක් තියෙන්නේ මේ හැමදෙනාම ආදරේ හඳුනන . . සංවේදී . . මිනිස් කොට්ඨාශයක් වුනු එකට . . .

    ඇත්තෙනම මාර සතුටක් ඒක . .

    මම ලියන ඒවා බලන්නේ . . මම වගේම ආදරයට ආදරෙන් ආදරය කරන පිරිසක් කියල දැන ගන්න ලැබීම ගැන මට කියන්න වචන නෑ දැනෙන සතුට කොපමනද කියලා . . . .

    ReplyDelete
  38. මං වගේ කෙනෙක්ට මේ වගේ ලිපියක් කියවලා හූල්ලනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.. තනි දරුවෙක් විදියට ඉපදෙන එක ලොකු පවක් කියලා මම ‍නිතරම හිතපු දෙයක්.! ඒත් මගේ අම්මාත් අක්කා කෙනෙක්. එයාටත් මල්ලි කෙනෙක් ඉන්නවා.. දැන් එයාට ඉන්නේ මල්ලි විතරයි නෑ කෙනෙකුට. ඒයා ගැන හිතුවම මට දුකාගේ අක්කා කොයි වගේද කියලා හිතා ගන්න පුළුවන්.

    ReplyDelete
  39. සමාවන්න, මට අක්කලා හතර‍ෙදනෙක්ම ඉන්නව. මම පවුලේ බාලයා. එහෙත් ඔබ තරම් මම නම් වාසනාවන්ත නැහැ. අක්කලා හතරදෙනාගෙන් තුන්දෙනෙක්ම හරිම නරකයි. අපේ අම්මටත් එපා වෙලා තියෙන්නෙ. ඔවුන් තුන්දෙනාටම තියෙන්නෙ දේපල තන්හාව. මම මේ ගේ අතඇරල යන්නයි හිතාගෙන ඉන්නෙ.

    ReplyDelete
  40. @ malee_msg

    මට දුකයි මලී ගැන . . . ඔ‍යාට සහෝදර සහෝදරියන් නැති එක ගැන . . .

    හැමෝටම හැමදේම ලැබෙන්නේ නෑනෙ මලී . . .

    ඔයාගෙ අම්මත් මගේ අක්ක වගේම මල්ලිට ගොඩක් ආදෙරේ කෙනෙක් වෙන්න ඇති කියල මට හිතෙනවා . . . !

    ReplyDelete
  41. @ Anonymous !

    හැමෝටම හැමදේම ලැබෙන්නේ නෑනෙ කියන එක තමයි ඔබටත් කියන්න තියෙන්නේ . . . .

    ඔවුන්ට දේපල වලට තන්හා හිතෙන්න . . . සමාජයෙන් ලැබෙන වැරදි මාර්ගෝපදේශකත්වයක් බලපානවා වෙන්න ඇති . . .

    ටිකක් ඔවුන්ගේ පැත්තෙනුත් හිතල බලන්න ඔවුන්ට සමහර විට එහෙම නොකර බැරුව වෙන්න පුලුවන් . . . !

    ReplyDelete
  42. හැමදාම උඹ ලියන බ්ලොග්ස් කියවල කෝල් එකක් දාල comment දෙනවට වඩා ලියල දාන එක හොඳ බව දන්නව උනත් මට මේ බම්බුවෙ type කරන්න එපා වෙන නිසා නිකන් හිටියෙ. ඒත් මට මේකට comment එකක් නොදා ඉන්න බැරි තරම්.

    නිර්මානයකින් කෙනෙක් හිනස්සනවට වඩා කෙනෙකුගෙ දෙනෙතට කඳුලු ගන්න එක අමරු බවයි බොහොමයක් දෙනාගෙ අදහස. දුකා (සුදු අය්යෙ ) උඹ ඒක කරන්න සමතෙක්. මට හිතෙනව උඹ සාර්ථකයි කියල. මේකෙ comment කරපු ගොඩක් දෙනා කියල තියනව එයාලගෙ ඈස්වලට කඳුලු ආව කියල. මට හිතෙනව ඒක ඇත්ත කියල, මොකද මටත් එහෙම උන නිසා.

    මට හිතෙනව මේ ලියල තියෙන්නෙ දුකාගෙ අක්ක ගැන නෙවෙයි කියල.

    මට හිතෙනව මේ ලියල තියෙන්නෙ එක දවසක් (මම O/L කරන කාලෙදි ) අම්මට මම පන්ඩිත වාක්‍යක් දාන්න ගිහින් මගේ අතේ තිබුන කරවල හොදි එක මගේ ඔලුව පුරා නෑවෙන්න ගුටි කාල ඇස් දෙකවත් ඇරගන්න බැරුව හිටිය වෙලාවෙ මම ඒක දරා ගත්තත්, අඬ අඬා මගේ අතින් අල්ලගන නාන කාමරයට අරන් ගිහින් මගේ මූන සෝදපු මගේ මගේ රතු අක්ක ගැන කියල.

    මට හිතෙනව මේ ලියල තියෙන්නෙ මම විශ්ව විදය්‍යාලෙ ඉන්න කාලෙදි මගේ අධ්‍යන කටයුතුවලට මුදලින් උදවු කරන්න තරම් ආර්ථික හයියක් නැති උනත්, රුපියල් 8.50 හේ බත් එක අරගන රුපියල් 10 කැන්ටිමට දුන්නම මාරු සල්ලි නැති නිසා ගොඩක් වෙලාවට ඉතුරුවට හම්බ වෙන්නෙ රුපියලයි කියල කිව්වම ඊට පස්සෙ සතියෙ ඉඳන් කැටේකට සත 50 කාසි එකතු කරල (10.50ක් දුන්නම රුපියල් 2 ගන්න පුලුවන් නිසා) හැම සති අන්තෙම ගෙදර ආවම මට දුන්න මගේ ලොකු අක්ක ගැන කියල.

    මට හිතෙනව මේ ලියල තියෙන්නෙ ලේක ආර්ථික අර්බුදයෙ ප්‍රතිපලයක් විදියට මටත් ජොබ් එක නැති වෙන්න වගේ (පෙර පිනකට එහෙම නොවුනත්) යන බව දැනගත්තු වෙලාවෙ අසනීප උන මගේ පොඩි අක්ක ගැන කියල.

    මට මේ බ්ලොග් එක ඒ තරමටම සන්වේදියි.................උඹ හැබෑවටම දක්ෂයි. අපි කන්තෝරුවෙදි උඹට අතුරු කතා කාරය කියල නෝන්ඩි කලාට, උඹට හදවතට දැනෙන්න ලියන්න පුලුවන්. මම උඹට හදවතින්ම සුබ පතනව. මේක උඹේ අනිත් වැඩ වගේ මගදි නවත්තන්නෙ නැතුව දිගටම කරගන යමන්. මේක දීර්ඝ ගමනක ආරම්භයක් කරගනින්. උඹට ඒ ගමන යන්න හැකියාව තියනව. ඔහොම යා...........O

    ReplyDelete
  43. ලොවෙත් නෑ!
    maXxa ලිපිය :)

    හැබැයි මටත් අක්කල නෑ :(

    ReplyDelete
  44. මම මේක දැක්කේ පහුවෙලා,
    පිස්සු හැදෙයි.. අමුතුම ලිපියක්.. මටත් අක්කා කෙනෙක් ඉන්නවා නොවැ :)

    ReplyDelete
  45. @ Cinommon Cat !
    මට තාම හිතාගන්න බෑ උඹට මොකද්ද කියන්නේ කියල . . . ඇත්තෙන්ම මාව නොදැන කමෙන්ට්ස් දාන කට්ටියත් . . . දැනගෙන උපදෙස් කමෙන්ට්ස් දුන් උඹලගෙයි, මංජුගෙයිත් දිරිගැන්වීම් නොතිබුනානම් . . . මගේ බ්ලොග් වැඩේට බොහෝ විට සෝඩා බෝතලේ සන්තෑසියම වෙන්නත් තිබුනා . .

    උඹ දනන්වනේ මම ගොඩාක් දේවල් වලට උපදෙස් ගන්නෙ උඹලගෙන් . . .

    ගොඩාක් ස්තූත්යි ලියල දාපු කමෙන්ට් එකටත් . . . කෝල් කරල දෙන කමෙන්ට් වලටත් . . .

    උඹල හැමදාම මාත් එක්ක ඉන්නවානම් . . . මමත් හිතනව මට දිගු බ්ලොග් ගමනක් යන්න හැකි වේවි කියලා . . .

    ReplyDelete
  46. @ Akila DJ , Thilina !

    ස්තූත්යි මචංලා . . .

    ReplyDelete
  47. හිතවත් දුකා
    මම මේ blog එක බැලුවෙ මගේ මල්ලි මේක කියවලා මට ඇඬෙන ලිපියකුත් එක්ක මේ link ඵක එවලා තිබ්බ නිසා මම දැන් ව්වාභ වෙලා ව්දේශගත වෙලා ඉන්න නිසා මගේ මල්ලිට මගේ "අම්මාගේ භූමිකාවේ" අගය තවත් දැනිලා.ඇත්තටම මේ ලේවල පුදුම බරක් තියෙන්නේ දුකා උබ ඟැබෑම දක්ශයෙක් ඒ බරට ඟෘදයාගම අරුතක් දෙන්න. මේ media වල දුර්ලබ දෙයක් අක්කා කෙනෙක්ගේ සෙනෙහස ප්‍රස්තූතය කරගන්න එක.ඒ අතින් උබ දිනුම්. මේකේ (blog)ඉන්න මහාමෙරක් තරමට හිතේ ආදරය තියෙන හැම අක්කාකෙනෙක්ටම මේක උපඟාරයක් වේවා!කියලා මම ප්‍රර්තනා කරනවා.

    ReplyDelete
  48. @ vimukthi !

    ස්තූතියි විමුක්ති . . . ඔබේ කමෙන්ට් එක මගේ නෙතට කඳුලක් ගෙනාවා . . .

    ආයෙත් පාරක් මගේ අක්කවත් . . . මා දන්නා ආදරනීය අක්කලා සැමදෙනාමත් මතක් වෙලා . . . .

    ඔබේ මල්ලීට ඔබ නැති අඩුව කොපමනදැයි මට සිතා ගත හැකියි . . .

    ඉක්මනට ආපහු එන්න මල්ලී ලඟට (ඇවිත් යන්න වත් . . .) . . . වචනවලින් කියන්න බැරි උනත් මල්ලිලා ඉන්නේ අක්කලාගේ ආදරනීය සෙනෙහස මහා ලෝභ කමකින් විඳින්න බලාගෙන හැම මොහොතකම . . .

    ReplyDelete
  49. මට අක්කා කෙනෙක් නෑ. ඒත් හිටියනම් හොදයි කියලා හිතෙනවා.

    ReplyDelete
  50. අක්කෙක් නැති මට අක්කාගේ ගුණ කිවු දුකා අයියාට පිං..

    ReplyDelete
  51. මම අක්කා කෙනෙක්....මට ඉන්නේ මල්ලි කෙනෙක්.........ස්තුතියි දුකා!

    ReplyDelete
  52. "ඒක මට හිතෙන්නේ වැරදි හැඟීමක් . . අනික් අයට පුබ්බේ නිවාසානුස්මති නුවන තියෙනවැයි . . ?? "
    දුකා...මේක 'පුබ්බේ නිවාසානුස්සති' (පෙර විසූ කඳ පිළිවෙළ දැන ගැනීමේ) නුවණ නෙමෙයි...පර චිත්ත විජානන (අනුන්ගේ සිත් දැන ගැනීමේ) නුවණ නේද?

    ReplyDelete
  53. @ Anonymous!
    බොහොම ස්තූතියි වරද නිවරදි කලාට . . . ඔන්න මම හැදුවා ඒක . .

    ReplyDelete
  54. @ ඉද්දා !
    ලාංකික අපි "මම ඔයාට ආදරෙයි" කියන වචනේ කියන්න හරිම පැකිලීමක් තියෙන්නේ . . අපි උත්සාහ කරන්නේ නැතිනම් හිතාගෙන ඉන්නේ . . කටින් කොකියන අපේ ආදරේ අනිත් අය තේරුම් ගනී කියලා . . .

    ඒක මට හිතෙන්නේ වැරදි හැඟීමක් . . අනික් අයට පර චිත්ත විජානන නුවන තියෙනවැයි . . ??

    පිටරැටියන්ගේ . . . විශේෂයෙන් යුරෝපියානුවන්ගේ මම දකින හොදම දේ තමයි . . "love u dad", "love u mom", "love u sis", "love u bro" කියලා තමන් ආදරේ කරන අයට කෙලින් තමන්ගේ ආදරේ ප්‍රකාශ කිරීම . . .

    ඔබ අයියට ආදරේ නෑ කියලා අම්ම හිතනවා වගේම අයියටත් එහෙම හිතෙනවා ඇති . . . වචනවට ලෝභ වෙන්නෙ නැතුව . . අදම කියන්න . . මම ඔයාට ආදරෙයි . . ඔයාගේ සමහර උපදෙස්වලට මට තරහ එනවා . . . මගේ ජීවිතේ ගැන අත්දැකීම් අඩුකම නිසා වෙන්න ඇති . . . ඒකට මාත් එක්ක තරහ වෙන්න එපා කියලා . . . අදම කියන්න . .

    ආදරේ හිතේ හිරකරගෙන දුක්විඳින්නේ ඇයි . . . ?

    ReplyDelete
  55. mata mathak wune mage malliwa. mata inne malli vitharai. podi kale kochchara randu wunath ada api dennata api denna nathuwa ba. adare pennuwe nathi wunata hama dekadima malli innawa kiyaya danenawa. eka loku shakthiyak!!!

    ReplyDelete
  56. හිරන්‍යOctober 16, 2009 at 10:38 PM

    මමත් පවුලේ එකම ළමයා..... ඒත් මට අක්කා කෙනෙක්ගේ උනුසුම ලබන්නට වාසනාව තිබුනා. ඒ ලොකු අම්මාගේ දුවගෙන්. ඒත් වැඩි කාලෙකට නෙවෙයි. එයා මට වඩා සැහෙන වැඩිමල් ඒ නිසා එයා විවාහ වෙන කොට මම පෙරපාසල් යන වයසේ... එදා එයා විවාහ වෙලා ඈතකට ගිය දවසේ මම අඬපු ඇඬිල්ල මතක් වෙලා මට දැනුත් ඇඬුනා... මම එතකොට ගොඩක් පොඩි උනත් ඒකලෙ අම්මා වැඩට ගියාට පස්සෙ අක්ක මාව බලාගත්ත හැටි මට තම ටික ටික මතකයි. ඒත් පසු කාලෙදී මට අක්කගෙ උනුහුම ලබන්නට බැරි වෙච්ච එක ගැන දුකයි.....

    දුකා මේවගෙ මාතෘකාවත් ගැන ලියුවට පින්....
    එත් එක්කම මේක අයිමත් මූනු පොතේ දැම්ම එකත් හොඳයි, මං වගේ කීදෙනෙක් කලින් මේක දැක්කේ නැද්ද ද්න්නේ නෑ නේ.....

    ReplyDelete
  57. මට අක්කලා දෙන්නෙක්ම ඉන්නවා දුකා අයියෙ... කාලෙකට පස්සෙ (විභාගෙ ඉවර වෙලා) ඔයාගෙ බ්ලොග් එකට ඇවිත් කියෙව්වෙ මේක... ඇත්ත... ඔයා කියලා තියෙන ඔක්කොම ඇත්ත... දැන් නම් මගේ අක්කලා දෙන්නම බැඳලා... ඒත් මේ ලිපිය කියවද්දි මාව ආයෙ අර අක්කල දෙන්නත් එක්ක ඉස්කෝලෙ ගිය පුංචි කාලෙට ඇදිලා ගියා... අමතක වෙලා තියෙන අතීත දේවල් මතක් කරලා දුන්නට පිං...

    ReplyDelete
  58. @maneesha !
    අනේ ඔව් . . . අක්කලට මල්ලිලා මල්ලිලට අක්කලා ආදරේ කරන තරම හරිම අපූරුයි අප්පා . .

    @හිරන්‍ය!
    අනේ හරිම දුකයි . . ඒත් ඔයාගෙයි අක්කගෙයි සෙනෙහස බින්දුවක් වත් අඩු වෙලා නෑ නේද කොතරම් දුරස් වුනත් . .

    ReplyDelete
  59. @ධනික | Dhanika !
    අක්කලා දෙන්නෙක්ගේම ආදරේ ලබන්න ඔයා කොච්චර වාසනාවන්තයෙක්ද . . ??

    ReplyDelete
  60. දුකා මචන් ....මම දැනුයි මේ පොස්ට් එක දැක්කේ.


    උබ කිව්ව කතාව අම්මපා ඇත්ත. මම හිට්ලර්ගේ අවතාර 3යි, හිට්ලර්ගේ අවතාර ඇසිස්ටන්ට් 1යි එක්ක ඉදලත් තාම පනපිටින් ඉන්න එකම ගැන මටම පුදුමයි බන්....:)

    ReplyDelete
  61. මටත් අක්කලා නෑ. මේක කියෝපුවාම නම් අක්ක කෙනෙක් හිටියනං මමත් කොච්චර වාසනාවන්තයෙක් වෙන්න තිබුනානේදෝ කියලා හිතෙනවා.

    ReplyDelete
  62. මටත් අක්කලා නෑ..... අක්ක කෙනෙක් හිටියා නං කොච්චර හොඳද කියල හිතුන කාලයක් තිබුනා... ඒත් අක්ක කෙනෙකුටත් හරියන්ඩ මට නංගි කෙනෙක් ඉන්නව.... සමහර වෙලාවට ජීවිතේ කෙළවෙලා ඉන්න වෙලාවට ලඟට වෙලා ඉන්න නංගිගෙ ආදරේ දැනෙන්නෙ මහ මෙරක් වගේ... අක්කලා වගේ අණ දෙන්නේ නැති උනාට පොඩි පොඩි වචන වලින් අපිව අලුත් පාරවල් වල ගෙනියන්න නංගිලටත් පුලුවන්... ඉතින් මට මේ දුකාගෙ ලිපිය, නංගි හරහා දකින්ඩ පුලුවන්...
    මේක ගැනත් පොඩි චිත්‍රපටි කෑල්ලක් මතක් උනා... (500) Days of Summer චිත්‍රපටියෙ කොල්ලා ආදරෙන් පිස්සු වැටිල ඉන්න වෙලවෙ පොරගෙ යාලුවො සෙට් එකට ඒකට විසඳුමක් හොයන්ඩ බැරි වෙද්දි කට්ටිය කාටද දන්නවද කතා කරන්නෙ. පොරගෙ නංගිට... බටු ඇටයක් වගේ කෙල්ල ඇවිත් කොල්ලව ශේප් කරන හැටි මරු....හිනා යනව.... හැබැයි ඒ හිනාව ඇතුලෙන් දකින්ඩ පුලුවන් නංගි කෙනෙක්ගෙ "අක්කා භුමිකාව"

    ReplyDelete
  63. දෙවියනේ අක්කෙක් නැති උනත් හිතට අක්කා කෙනෙක්ගේ ආදරේ දැනෙන්න තරම් හැඟීම්බර කතාවක් මේක..... අනේ සමනලීටත් අක්කා කෙනෙක් උන්නා නම්......

    ReplyDelete
  64. @Anjana!
    හප්පා . . උඹ කොයි තරම් වාසනාවන්තයෙක්ද එහෙනම් . . .

    @බුද්ධි!
    අයියෝ අක්කලා නැති මල්ලිලා පව් අප්පා . ..

    @!
    අහ් මම මේ ෆිල්ම් එක බලන්න ගත්තා. . . අපේ කොල්ලා නිසා ඒක ඉවර කරන්න බැරි උනා . . පස්සේ වෙලවක බලන්න ඕන. වෙලාවකට නංගීලත් අක්කලා වගේ අක්ක චරිතේ ගොඩක් හොඳට රඟපානවා මචන් . .

    @punchisamanalee!
    අනේ මටත් දුකයි ඔයට අක්ක කෙනෙක් නැති එක ගැන නම් . . .

    ReplyDelete
  65. මටත් අක්ක කෙනෙක් හිටයා නම් කියලා හිතෙනවා..අහ්! මට අක්ක කෙනෙක් ඉන්නවා..එයා මගේම අක්කියා නොවුනත් මං එයාට මගේම අක්කට වගේ ආදරෙයි...ඔයා නම් ඇත්තටම වාසනාවන්තයි දුකා..

    ReplyDelete
  66. “හිට්ලර්ගෙ අවතාර“ කොයිතරම් දුරට සාධාරණද මන්දා....

    කොහොම නමුත් මට අක්කෙක් නෑ... හැබැයි මම අක්කෙක් මල්ලියෙකුගෙයි, නංගියෙකුගෙයි...

    ඒත් ඔයා තරම්ම මගෙ මල්ලි වාසනාවන්ත නෑ කියලා හිතෙනවා...
    මිනිස්සු අඬවන්න කොහොම ඉගෙනගත්තද මන්දා?

    ReplyDelete
  67. මටත් සහෝදරියො නෑ. එළ අය්යා කෙනෙකුයි, මල්ලි කෙනෙකුයි ඉන්නෙ. මම මේවා කියවන්ඩ ගත්තෙ මේ බොහොම ළඟදී. බොහොම අපූරුවට ලියලා තියෙන හින්දා, මගේ අදහසක් නොලියා මේ පිටුවෙන් ඉවත් වෙන්න බැරි නිසායි මේ ලිව්වෙ..
    තව තවත් ලිවීමේ ශක්තිය ලැබේවා!
    Vaj

    ReplyDelete
  68. අක්කා ගැන මතකයන් බොහොමයි.... ඒ මතකයන් අළුත් වුණු අපූරු ලිපියක් මචං. දැක්කේ දැනුයි..

    ReplyDelete
  69. හැගීම්බර ලිපියක් ලොකු අයියේ. මාත් මේ ලිපියත් එක්ක අතීතයට ගියා.

    ReplyDelete
  70. පට්ට ඇත්ත. වෙන කියන්න දෙයක් නෑ. :')

    ReplyDelete
  71. මන් දන්නේ නෑ මට ඇඬුනා හොඳටම..ඔයා අයියෙ කියාල තියෙන දේවල් වලට මගෙ හිතේ උදාහරණ තියනව ඕන තරම්..

    ReplyDelete
  72. මන් දන්නේ නෑ මට ඇඬුනා හොඳටම..ඔයා අයියෙ කියාල තියෙන දේවල් වලට මගෙ හිතේ උදාහරණ තියනව ඕන තරම්..

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails