
ප්‍රධාන කාර්යාලයේ සිට කි.මී. 150ක් පමන දුරින් තිබූ වැඩබිමකට මාරුවක් ලැබුණි.
වැඩබිම අවටින් නිවසක් සොයා පිලිවෙලක් වෙන තුරු බිරිඳ හා පුතා ටික කලකට බිරිඳගේ නිවසට යන්න තීරණය විය.
නිවසක් සොයා ගන්නා තුරු වැඩබිමට කිට්ටුව මිතුරෙකුගේ නිවසේ තාවකාලිකව නවාතැන් ගැනීමට සිදුවුණි.
මිතුරාගේ බිරිඳ දෙවෙනි දරුවා ලබීම සඳහා ගමට ගොස් සිටියාය.
නිවසේ සිටියේ මාත් මිතුරාත් ඔහුගේ බිරිඳගේ සොයුරාත් පමණි.
මගේ පුරුද්දක් වූ, කෑම කන අතර පොතක් කියවීම හා ශරීරකෘත්‍යය සඳහා වැසිකිලි යාමේදී පොතක් රැගෙන යාම මිතුරාගේ සොයුරා විසින් නිතර නිතර සමච්චලයට ලක් කරන ලදි.
මිතුරාගේ හිතවත් සොයුරියකගේ නිවසේ රාත්‍රී ආහාරයකට ආරාධනා ලැබ අප තුන් දෙනාම එහි ගියෙමු.
ලංකාවේ ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක ඇදුරුතුමෙකු වූ ඒ සොයුරියගේ සැමියා පළමු වරට දැන හඳුනා ගත්තෙමි.
මිතුරා හා ඔහුගේ මස්සිනා ඔවුන්ගේ පවුලේ මිතුරන් හෙයින් අලුතෙන් හඳුනාගත් මා ඔහු හා මිතුරු වන තෙක් අප විවිධ මාතෘකා කතාබහ කරමින් සිටියෙමු.
සුලු මොහොතකින් මිතුරාගේ මස්සිනා සුපුරුදු සමච්චලය පටන් ගන්නා ලදි.
"වෙලාවකට මේ ජීවිත පවු කියලා හිතෙනවා අයියා" ඔහු වි.වි. ඇදුරු සොයුරාට මා පෙන්වා පැවසීය.
"ඇයි ඒ" වි.වි. ඇදුරු සොයුරාගේ නෙත් එක් වරම මා දෙස යොමුවුනේ "එහෙම පවු කියලා හිතන්න දෙයක් මුගේ පේන්නේ නෑ නේ " කියා සිතමින් විය හැකියි.
"නෑ අප්පා කන්න ගියත් අතේ පොතක්. ටොයිලට් යන්නෙත් පොතක් අරන්. මොකටද අප්පා ඔහොම. පවු නේද මේ ජීවිත."
"මේකනේ මල්ලී" වි.වි. ඇදුරු සොයුරා බොහෝම නිස්කලන්කව පටන් ගත්තා.
"අපි හිතන්නේ, අපි කරන දේ අපි සතුටු වෙන විදිහ තමයි හරිම විදිහ, ඒ විදිහට නොකරන ඒ විදිහට සතුටු නොවන අය අසතුටෙන් කියලා තමයි අපි හිතන්නේ"
අපි හැම දෙනා පාෂාණීභූත විලාසයකින් ඔහු දෙස බලා සිටියෙමු.
"එහෙම හිතලා අපි නිකන් ඉන්නේ නෑ, බල කරනවා අනෙක් අයට අපි කරන දේම කරන්න අපි සතුටු වෙන විදිහට සතුටු වෙන්න කියලා. ඒක කොයි තරම් වැරදිද?"
අප තවදුරටත් කතා නොමැතිව. .
"අනෙක් අය ඒ අය ට පුරුදු විදිහට, කැමති විදිහට ජීවිතේ සතුට ලබනවා. අපිට කිසිම අයිතිවාසිකමක් නෑ කිසිකෙනෙකුට කියන්න උඹ මේ විදිහට සතුටු වෙයන් කියලා. . . "
ඒ මොහොත සිහිවෙන හැම වාරෙකම මා ඔහු සිහි කරන්නේ ඉමහත් බැතියෙන්. හදපිරි කෘතගුණයෙන්.
ඒ ඔහු ඒ සුලු මොහොත ඇතුලතදී ජීවිත කාලයටම වටිනා විශාල පාඩමක් මට ඉගැන්වූ නිසාවෙන්.
සාමාදානෙන් සහයෝගයෙන් මිනිසුන් ඇසුරු කිරීමට නැතිනම් මානුෂික සබඳකමකදී එකිනෙකාගේ රුචි අරුචිකම් අඳුනාගෙන ඒවා අගය කිරීමෙන් හෝ හැකි පමනින් සහයෝගය දැක්වීමෙන් අපගේ මානුෂික ගති අන් අයට පෙන්වා දීමෙන් අපගේ ජීවිතයට අන් අයගේ වැඩි සැලකිල්ලක්, ආදරයක් ලබා ගතහැකි ඒ පාඩම ඉගැන්වූ ඔහු ගැන මගේ හිතේ ඇත්තේ විශාල ගෞරවයක්.
. . . . . . . . . . . . . . .
මගේ පෝස්ට් දිග වැඩී කියලා දෝශාරෝපන එල්ලවෙනවා වුනත් පෝස්ට් එක මෙතනින් නවත්තන්න හිතක් ඇති කර ගැනීම බොහෝම අපහසුයි.
තවදුරටත් කියවන්න කැමැත්ත ඇත්තෝ කියවත්වා . . .
ලඟදී දිනෙක අප (මාත් බිරිඳත්)වාදයකට පැටළුනා (වලියක් නෙමේ දුර ගමනක් ගොස් රෑ 12ට එන විට නිදිමත සෑදීම වැලැක්වීමේ අරමුණින්)
ඒ වාදය මට එකිනෙකා ගේ විනෝදාංශ හෙවත් එකිනෙකා (මා දන්නා) සතුටු වෙන ආකාරයවල් ගැන ගැඹුරින් හිතන්න මට අවස්ථාව උදා කලා.
මේ ඒ මා දන්නා අය කීප දෙනෙක් සතුටු වෙන ආකාරයවල් . . .:
A - හැම සති අන්තෙම හොඳටම බොන එක (බොනවා නෙමේ නානවා) හා පුලුවන් හැම වෙලාවෙම එකක් නිවෙන්න එකක් සිගරට් ඉරීම (සිගරට් කනවා . . ඉඳලා හිටලා එකක් දෙකක් නම් කමක් නෑ . . හික්ස් . . . මේ වගේ ඔවුන්ටත් අපිටත් හානි කර විනෝදාංශ වලට නම් අනිවාර්යෙන් විරුද්ධ වෙන්න ඕන )
B - බ්‍රෑන්ඩඩ් සපත්තු එකතු කිරීම (කැටපිලර්, පූමා, මෙරිල්, නයිකි, ඇඩිඩාස් බ්ලා බ්ලා බ්ලා . . මටත් කාලයක් තිබුනා බ්‍රෑන්ඩඩ් සන්ග්ලාස් එකතු කිරීමේ පිස්සුවක්. බුදු අම්මෝ හොඳ වෙලාවට ඒක ඇතහැරුනේ. . .)
C - මුලු ජීවිතේම අනුන් වෙනුවෙන් කැප කිරීම (දහම් පාසලේ ඉගැන්වීම හා දහම් පාසැලේ වැඩ වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසීම, අසරණ දරුවෝ වෙනුවෙන් පාසැල් ඉදිකිරීම, කොම්පියුටර් ලබාදීම ආදී සමාජ සේවා හා මිතුරන්ගේ ඕනෑම වැඩක් සඳහා ඇප කැප වී සිටීම )
D - නොකා නොබී හෝ මුදල් එකතු කිරීම (යනකොට ගෙනියන්න වගේ)
E - තමන්ගේ වැරදි අම්බානක් තියාගෙන අනුන්ගේ පොඩි හෝ වැරද්දක් සොයාගෙන සිනා වීම (මාර ජොලි ඇති . . පවු අප්පා)
F - මාස ගනන් උත්සාහ කොට අමාරුවෙන් ලබාගත් රැකියාවට වත් නොගොස් (හැකි නම්) දවසේ පැය විසිහතරම (කන්න බොන්න ටොයිලට් යන්න විතරක් ඇහැරී) නිදා ගැනීම (මම පොත් බලන එක නරකයි මේක හොඳයි එතකොට ආ. . ?? )
G - රැකියාව කරන කාලයට අමතර සියලුම කාලය . . . පෙම්වතිය බිරිඳ වූ පසුවත් ඈ සමඟම චැට් කිරීමට යෙදවීම. (ලඟපාතක නැති නිසාවෙන් - මේකට නම් තවත් සමහරු කැමතිය. "ඒක හොඳයිනේ. ඒ ගෑනු කෙනාට මනුස්සයා එක්ක වලි දාගන්න ඕන නෑ නේ, ඇයි ඒ මනුස්සයා වෙන වැඩක් කරන්න නෑ නේ . . . ගෑනි ගැන හිත හිතා . . .. ගෑනි එක්කම විතරක් චැට් කරන නිසා" . . හ්හ්හ්හ්ම්ම්ම්ම්ම් . . . . වෙන පිලිතුරු නැත)
H - උදේ නැගිටපු වෙලාවේ සිට ගේ අස්පස් කරන . . . අතුගාන . . . කන බොන වෙලාව හැරුනු කොට, නින්දට යනතෙක් අනෙක් සියලුම කාලය . . . සැමියා සමඟ රන්ඩුවක් ඇද ගැනීමට හේතු සෙවීම (ජීවන රේඛාව එක කෙලින් තිබ්බාම කිසි ගතියක් නෑ නේ එකයි මේ වලියක් දාගන්න හදන්නේ . . . හි හි )
J - මුලු දවසම රූපවාහිනියෙයි, අයි.ටී.එන් එකෙයි කියන බොරු බේගල් අසා සිටීම හා දිවයින පත්තරේ ඒකපාර්ශවික නිව්ස් කියවීම හා අහුවුනු එකෙක් සමග ඔහුට ගැලවී යන්න නොදී ඒවා ගෙඩි පිටින් වමාරා තමා දේශප්‍රේමියෙක් බව ලෝකෙට පෙන්නා සිටීම (පුහ් . . අනේ සකෝ බලලෝ . . )
K - මෙලෝ දෙයක් දන්නේ නැති වුනත්, (නෑ නෑ මූ සිරාවටම දන්නවා මම නම් හිතන්නේ ) හැම විෂයක් සම්බන්ධයෙන්ම තමා උගතෙක් බව කියා පෑම හා මවා පෑම (නෑ ඕක ඔහොම නෙමෙයි, ඕකේ මෙන්න මෙහෙමත් එකක් තියෙනවා)
L - අනිත් අයගේ ඕපා දූප සෙවීම (අපි ගොඩක් අය වගේ සුලු පරිමාණයෙන් නෙමෙයි . . මහා පරිමාණයෙන් හික්ස්) තොරතුරු සොයා ගැනීමට අවශ්‍ය අයගේ විස්තර දුරකතන මඟින් ලංකාවේ ඉන්න අයට යවා ඒවා ගෙන්වාගෙන ඒ අය දන්නා අඳුනන අය අතරේ නොමිලේ බෙදා හැරීම . . . (අපරදේ වැරදි රැකියා කරන්නේ . . බුද්ධි අංශයට බැඳෙන්නයි තිබ්බේ . . නැත්නම් පත්තර වාර්තා කාරයෝ දෙන්නෙක් වෙන්නත් තිබබා . . ??)
මේ මා දුටු / ඇසුරු කල / දන්නා කියන . . විශේෂ විනෝදාංශ ඇති අය කීප දෙනෙකුගේ විනෝදාංශ පමනයි . . .
මේ සමහර විනෝදාංශ වලට එරෙහිව සටන් කරපු කාලයන් මගේ ජීවිතේ නොතිබුනාම නොවේ . . .
ඒත් අර සොයුරාගේ උපදෙසින් පසු මේ සියලුම විනෝදාංශ දෙසත් ඒවා හිමි අය දෙසත් අලුත් ඇසකින් . . උපේක්ෂා සිතකින් බලන්න මට හැකි වූ බව නම් නොකියාම බැරිය . . ..








