Tuesday, November 29, 2016

දම්මී . . !


දම්මී තමයි හැමදාම හැමදෙනාගෙන්ම බැනුම් ඇහුවේ.

හැමෝම කිව්වේ දම්මී චපලයි කියලා.

බඳින්න කෙනෙක්ව දෙමාපියන් තමා කුඩා කාලේදීම තීරණය කරලා තියෙද්දීත් ඒ බව හංගලා හිත ගොලු කරගෙන සුදත්ට ආදරේ කරලා සුගත්ව රැවැට්ටුවා කියලා හැමෝම දකින්නේ.

ඇත්ත, සුගත්ගේ පැත්තෙන් කිසිම වැරැද්දක් නෑ. තමන් අවංකව කරපු ආදරේ නොලැබුනාම ඉන් එහා මොන දේ ලැබුනත් වැඩක් නෑ කියලා හිතලා, එක පාර මැරෙන දෙයක් බොන්න හිතේ හයිය නැතත්, අරක්කු බීලා මැරෙනවා ඊට හොඳයි කියලා හිතලා බේබද්දෙක් උනු එකට සුගත්ට වැරැද්දක් කියන්න බෑ!

ඒත් දම්මී?? දෙයියනේ දම්මී!!!

චපල ගෑනියෙක් කියලා බැනුම් අහන්න තරම් ලොකු වැරැද්දක් දම්මී කලාද?

නෑ!! මම කියන්නේ නෑ කියලා.

සුගත් දැක්ක පලමු මොහොතේ ඉඳන් දම්මී සුගත්ට ආදරේ කලා.

පිරිසිදු ආදරයක්!

ආදරේ කරන කෙනා ගැන හිතුවත් හිත කිතිකවන, සතුටින් උද්දාම වෙන, ඒ කෙනාව දැක්ක ගමන් අවට සියල්ල ගල්වෙනව වගේ දැනෙන, තමන් පුලුන් රොදක් වගේ පාවෙනවා වගේ හැඟීමක් දනවන කොටින්ම ඒ කෙනා ලඟ ඉන්නැද්දී තමන්ගේ සියලු රැහැන් බැඳීම් අමතක වෙන තමන්ට තමන් පවා අමතක වෙන ආදරයක් දම්මී ලඟ තිබුනේ.

එතකොට වැරදි කාරයා කවුද?

වෙන කවුරුත් නෙමේ - දරුවන් කියන්නේ තමන්ගේ බූදලයක් කියලා හිතන දෙමාපියන්!
දරුවන් සම්බන්ධ සියලු දේ තීරණය කිරීමේ පරම අයිතිය තමන් සතුයි කියලා හිතන දෙමාපියන්. කුඩා කාලේදීම දම්මී නිහාල්ට අයිති විය යුතුයි කියලා තීරණය කරලා දම්මිගේ නිකැලැල් හිත ගොළු කරපු දෙමාපියන් කිසි කෙනෙක්ගෙන බැනුම් අහන්නේ නෑ.

ඒත් දම්මී අසරන දම්මී !!

කරුනාසේන ජයලත් උනත් ඔහුගේ අනිත් පොත් වල දම්මී චපලයි කියල පව් පුරෝ ගන්නවා. (නෑ නෑ දම්මී වගේ චපල් නෑ, ඇයි දම්මී වගේ චපල කෙල්ලෙක් කියලද හිතන්නේ වගේ වචන මානවිකාවක්, කුළ කුමරිය වගේ පොත් වල තියෙනවා මතක විදිහට)

දරුවන් ලොකු මහත් උනාම ඕන මගුලක් කරගනිල්ලා කියලා අතාරින්න බටහිර සමායේ බහුතරයකට පුලුවන් උනත් පෙරදිග සමාජයේ අපිට බෑ. ඒ අපි හදවතටම ලංකරගෙන දරුවන් හදන නිසා මම කියන්නේ.

ඒත් දරුවන්ගේ තීරන වලට උපදෙස් දීලා, හරි වැරදි කියලා දීලා, ඔවුන්ගේ තීරණ ගැන වැඩිහිටියෝ විදිහට අපේ දැක්ම ඔවුන්ට පෙන්වලා දීලා, ඔවුන් එක පැත්තක් දිහා බලලා තීරණ ගන්න හදන වෙලාවකදී ඔවුන්ට තුන් හතර පැත්තක් පෙන්වා දෙන එකයි අපි කරන්න ඕන කියලා මම හිතන්නේ.

එහෙම පෙන්වලා දීලත් දරුවෝ ඔවුන්ගේම තනි කැමැත්තට තීරණ ගන්න හදනවා නම් අකමැත්තෙන් උනත් අවසර දීලා ඔවුන් තනි නොකර ඔවුන්ට අපේ උදව් ඕන වෙන ඕන වෙලාවක ඉදිරිපත් වෙන්න පුලුවන් දුරකින් රැඳී ඉන්න එකයි කරන්න ඕන කියලා මගේ අදහස.

තමන් එක හිතින් ආදරේ කරපු දම්මි නොලැබුනු වේදනාව සුගත් මත්පැන් බීලා සමනය කරන්න උත්සාහ ගනිද්දී, චම්පා එක්ක හරි තක්සිලාවේ යාලුවෝ එක්ක හරි ඒ වේදනාව බෙදාගෙන්න පුලුවන් කම තියෙද්දී, ඒ වේදනාව දම්මී කොහොම විඳින්න ඇද්ද?

"ආදරය එක අතක ප්‍රේමය . . තව අතක මා මැදි උනා . .
සාගරය වැනි වේදනාවක . . අහෝ හිතවත තනිවුනා "

ගොලු හදවත ලියපු කරුනාසේන ජයලත් ම ලියපු මේ ගීතයේ මේ කොටසින් ඔහු කලින් අනෙක් පොත් වල දම්මිට දොස් පවරලා කරගත්තු පව් සමාකර ගත්තා කියලා මට හිතෙනවා.

නුහුරු නුපුරුදු රහස පිළිබඳ
මිහිර ආදරයයි කියා...//
පවුරු බැදගෙන ‍සිතක වැජබුනු
රසවතී නැ කොයි ගියා..//

ආදරෙයි මම ආදරෙයි..//
දම්මි තවමත් ආ..දරෙයි
මවා පියකරු සිහින සිතුවම්
මතුකලා රසබර හැගුම්
දයාවන්තය යොවුන් සිතුවිලි
රසකලා ඔබෙ නෙත් කැළුම්..//

ආදරෙයි මම ආදරෙයි
සුගත් තවමත් ආ..දරෙයි...//
අසිමත් ලෙස වැඩුනු දේදුනු
කළුවලා වෙන් යට වුනා
මිහිරියාවිය අනේ දවසක
ඔබේ හදවත ‍ගොළුවුනා..

ආදරෙයි මම ආදරෙයි..//
දම්මි තවමත් ආ..දරෙයි..
ආදරය එක අතක ප්‍රේමය
තව අතක මා මැදි වුනා
සාගරය වැනි වේදනාවක
අ‍හෝ හිතවත තනිවුනා..

ආදරෙයි මම ආදරෙයි..//
සුගත් තවමත් ආ..දරෙයි
ආදරෙයි මම ආදරෙයි..//
දම්මි තවමත් ආ..දරෙයි

ආ..දරෙයි...///

පද රචනය : කරුණාසේන ජයලත්
සංගීතය : සිසිර සේනාරත්න

ගායනය : සිසිර සේනාරත්න, ඉන්ද්‍රාණි සේනාරත්න


19 comments:

  1. දම්මි සුගත් ඇසුරෙන් ලියපු හොද සටහනක්. ඇත්තටම ඔය වගේ දෙමව්පියන්ට තමන් ගන්න තීරණය දරුවන්ට බලපාන්නේ කොයිවිදිහටද කියලා හිතන්න බැරි ඇයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඕක තරුණ කාලේ හිතුවාට දෙමාපියන් වෙලා මැදි වයසට ආවහම අර තරුණ කාලේ ඒ මතේ හිටපු අයත් තමන්ට තම දෙමාපියන් කරපු අසාධාරණේම තම දරුවන්ට කරනවා.

      ඒක තමයි ඇත්ත බන්

      Delete
  2. දම්මි සුගත් තනිකලාට හිතට දුකක් හිමිකලාට
    මම ඒවගෙ කෙනෙක් කියල එපා හිතන්න
    පෙම් පැතුමක් පරවුනාට දුක් කඳුලක් හිමිවුනාට
    හැමදෙනාම එක මිම්මෙන් එපා මනින්න

    ගායනය : සුභානි හර්ෂණී

    ReplyDelete
    Replies
    1. දම්මිලා තවමත් ආදරෙයි . .
      සුගත්ලා . . ආ ආ . . .
      තවමත් ආදරෙයි . . තවමත් ආදරෙයි . .
      එහෙව් අපී . . .
      අතිනත් ගෙන යන මේ නෑකම් ගැන කතා නොකර ඉඳිමූ
      ම් ම් ම් ම් ම්
      හද පමනක් නොව මුවද ගොලු වූවන් සේ

      මේ සින්දුව කියන්නේ කවුද බන් ??

      අන්තර්ජාලේ දැක්ක විදිහට කේමදාස මාස්ටර් සංගීතෙට ලෙස්ලි ප්‍රනාන්දු කියල කෙනෙක්

      Delete
    2. ඔව් දුකා ලෙස්ලි ප්‍රනාන්දු තමයි,,,,,,මේ සින්දුව අමතක වෙලා තිබුනේ ...
      ලෙස්ලි ප්‍රනාන්දුගේ තව ලස්සන සින්දුවක් " මුහුදු තෙරේ හැන්දෑවේ"
      https://www.youtube.com/watch?v=obUbNTrwY9U

      Delete
    3. දම්මිලා තවමත් ආදරෙයි . .

      ගී පද - අජන්තා රණසිංහ
      සංගීතය - කේමදාස

      Delete
    4. අඩෝහ්
      උබ නම් පට්ට පොරක් බන්ස්
      අහ් අර උඩ කෑල්ල මම මතකෙන් ලිව්වේ.
      සර්ච් කලාම තමා බූන්ඩියේ ලින්ක් එකක් ආවේ.
      සින්දුව අහන්න විදිහක් නෑ ගෙදරදි අහන්න ඕන.
      තැන්කූ මචෝ
      අහ් ඔව් ඔව් මුහුදු තෙරේ හැන්දෑවේ සින්දුවත් ලස්සන සින්දුවක්

      Delete
  3. මේ ගැන තව අපුරු ලිපියක්
    http://geemuthumala.blogspot.com/2016/07/blog-post.html

    ReplyDelete
    Replies
    1. ඒ ලිපියට කොමෙන්ට් එකක් දැම්මා
      "මේ කියන විදිහට පොතේ කතෘ යාබද පන්තියේ තරුණයා නම් ඔහු තමයි සුගත් චරිතේ.

      දම්මිව ලැබුනු කෙනා නිහාල්.

      කොහොම උනත් හරිම රසවත් විස්තරයක්.

      ගොලු හදවත් කියෝපු කිසිම කෙනෙක්ට ඒක හිතලුවක් කියලා නම් හිතෙන්නේ නෑ.

      මොකද ඒ ලියපු විස්තර කරපු තාත්වික විදිහට ඒක ජයලත් මහතාගේ පුද්ගලික අත්දැකීමක් කියන එක ඕන කෙනෙක්ට තේරෙනවා.

      බොහෝම ස්තූතියි මේ සටහනට"

      Delete
  4. "ආදරය එක අතක ප්‍රේමය . . තව අතක මා මැදි උනා . .
    සාගරය වැනි වේදනාවක . . අහෝ හිතවත තනිවුනා "

    දුකා මේ ගීක කොටසේ පොඩි ගැටලුවක් තියෙනවා.... ඔබ ලියලා තියෙන්නේ මේක කියැවෙන විදිහට තමා..... ඒත් මේකේ තේරුම මෙහෙම බැලුවාට එන්නෙ නෑ.....

    "ආදරය එක අතක ප්‍රේමය . . තව අතක මා මැදි උනා . .

    මෙහෙම තිබ්බා ම අමුතු තේරුමක් නැහැ... ඒත් ඇත්ත ම අදහස මෙහෙමයි..

    "ආදරය එක අතක ප්‍රේමය තව අතක. මා මැදි උනා සාගරය වැනි වේදනාවක....

    මට මතක විදිහට මේක ලියැවුණා කිව්වේ මෙහෙමයි..... ඒත් ගීතයකට හැරෙද්දි අදහස වෙනස් වෙලා.......

    ReplyDelete
    Replies
    1. //ආදරය එක අතක ප්‍රේමය තව අතක. මා මැදි උනා සාගරය වැනි වේදනාවක//

      ඒ කියන්නේ දෙමව්පියන්ට තියෙන ආදරේ එක අතක, අනිත් අතින් සුගත්ට තියෙන ප්‍රේමය.

      මේ දෙක නිසා දම්මි සාගරය වැනි වේදනාවක් විඳිමින් සුගත්ව අතෑරියා කියන එක නෙමෙයිද තේරුම.

      කොයි විදිහට කිව්වත් දෙකම එකයි කියලා මට හිතෙන්නේ !

      මොකෝ කියන්නේ? හෙ හෙ හේ

      Delete
  5. හම්මේ දැක්ක කල්....කතාවනම් ඇත්ත කතාව.
    එත් මගේ යාලුවෙක් ළගකදි කියුව කතාවක් මතක් වුනා.
    මිනිහා කියනවා "අපේ අම්මලා අපිට එහෙමවත් එකක් පොඩි කාලේ සෙට් කරානම් දැන් අපිටත් කෑල්ලක් ඉන්නවානෙ" කියලා

    දම්මිගෙ දෙම්ව්පියෝ හරිද? වැරදිද? දැවෙන ප්‍රශ්ණ බන් මෙව්වා.

    මොනව වුණත් විවාහයකින් කෙළවර නොවුණු සුගත්ට වඩා.බීලා වැනසෙන් සුගත් මට පට්ට ත්‍රිල්..උන්ගේ ආදරේ එච්චර පට්ට වුණේ ඒ නිසා.අනේ මන්දා දුකා සැබෑ ජීවිතෙත් ඇත්තම ත්‍රිල් එක ඒක නෙවෙයිද කියලා හිතෙනවා

    ReplyDelete
  6. ආදරයක් කඩා වැටුනාම දුකයි කියන සදාතනික සත්‍යයක්..ඒකට මුහුන දෙන්න ඕනි..ඒත් හිත හදාගන්න ඕනි...
    අපිට වෙලා තියෙන්නේ අපිට වැරදුනා කිව්වම බණ කියන්න එන හාල්පාරුවෝ නිසා දුක කියාගන්න තැනක් නෑ..හරියට ඒක අහන් ඉන්න එකෙක් නෑ.. ෆන් එකක් ගන්න සෙට් වෙන්න විදියක් නෑ..

    බණ කියන්නේ මේ සමාජයට පිලිලයක්..හැම ලබ්බටම බණයි උපදේෂනයයි..වෙන ඇක්ටිවිටිස් මොකුත්ම නෑ..

    ReplyDelete
  7. ළඟදී ගොළු හදවත නැවත කියෙව්වද? අපි පාසල් පෙම්වතුන් කාලේ තමයි කරුණාසේන ජයලත්ගේ පොත් ඔක්කොම බදාගෙන කියෙව්වේ. මේ ලිපිය මට අගනා අතීත සැමරුමක්.

    ReplyDelete
  8. කරුණාසේන ජයලත්ගේ ඔය "ගොළු හදවත"මම කියවලා නැහැනේ.චිත්‍රපටිය බලලත් නැහැ.එත් හැබැයි ඔය සිසිර,ඉන්ද්‍රාණි කියන ඔය සිංදුවටනම් හරිම ආසයි.එකේ තියෙන්නේ අමුතුම මිහිරක්.

    දරුවන්ට අහිතක් කිරීමේ අරමුනෙන් නොවුනත් දෙමව්පියෝ ගන්න සමහර තීරණ දරුවන්ගේ ජිවිත වලට පුදුමාකාර බලපෑම් කරනවා.එත් දෙමව්පියෝ ඒ ගැන ඒ තරම් සංවේදී වෙන්නේ නැහැ.ඒ එයලා බලන්නේ එක පැත්තකින් විතරක් නිසා.

    ReplyDelete
  9. දුකා කියවලා තියනවාද පොතක් 'සකායි' කියලා.පුතෙක් ඉන්න හැම අම්මකෙනෙක්ම කියවන්න ඕන පොතක් වගේම හැම පුතෙක්ම කියවන්න ඕන පොතක් එක නම්.. එතනදි කතාව ටිකක් වෙනස් උනාට අදහස දුකාගෙ පෝස්ට් එකට තිතටම ගැලපෙනවා.
    ජයවේවා..!!

    ReplyDelete
  10. කතානොකරණ හදවතක් තුළ, කොයි තරම් නම් කතාන්තර වේද? - සඳරු

    ReplyDelete
  11. //දරුවන් කියන්නේ තමන්ගේ බූදලයක් කියලා හිතන දෙමාපියන්!//

    මේක තමයි සාරාංශය. දෙමව්පියන් දරුවෙක් බිහි කරන්නේ මනුෂ්‍යය සංහතියට තවත් එක නිදහස් මනුස්සයෙක් බිහි කිරීමේ අරමුණින් නෙමේ. ඔවුන්ට දරුවන් යනු commodity එකක් විතරයි. නිවස, වාහනය, ඉඩම කියන රාක්කයේම තියන තවත් එක 'දෙයක්' තමයි ඔවුන්ට දරුවන් කියන්නේ. ඉතින් තවත් මොන කථාද?

    ReplyDelete
  12. මිස් වෙච්ච පොස්ටුවක් මරු.

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails