Sunday, September 7, 2014

අපේ ගී පැදුර 2014 . . !

QSUM (Quantity Surveyor's of the University of Moratuwa) එකෙන් ගිය අවුරුද්දේ සංවිධානය කරපු අපේ ගී පැදුර සංගීත අත්දැකීම විඳලා එලියට ආපු ජනකයි මමයි කතා වුනේ ඒක නම් සමහර විට ජීවිතේ එක්වරක් පමනක් විඳින්න ලැබෙන ජාතියේ අපූර්වතම රාත්‍රියක් කියලා.

ඒ අත්දැකීම හැමෝම අඩු තරමින් එක් වරක් වත් විඳින්න ඕන එහෙම නැති නම් අවුරුද්දකට වතාවක් වත් ආයේ ආයේ විඳින්න ලැබෙනවානම් කොයි තරම් වාසනාවක්ද කියලත් අපි කතා වුනා.

"සංගීත ප්‍රසංගය" නොකියා ඇයි "සංගීත අත්දැකීම" කියලා කිව්වේ කියලා හිතුනා නේද?

ඒ වැඩසටහනට ප්‍රසංගය කිව්වොත් ඒකට කරන ලොකුම හානියක් - මොකද ප්‍රසාංගික වැඩසටහනකින් බොහෝ එහාට ගිහින් ගීතයක් එහි පදමාලාවෙන්, නාද රටාවෙන් ගායකයා හෝ ගායිකාවගේ ගායනයෙන් සහ මේ හෑම දේකම සුසංයෝගයෙන් නියමාකාරයෙන් රසවිඳින්නේ කොහොමද කියන එක ගැන බොහෝම සරලව සහ හිතට කාවදින අයුරින් සුප්‍රසිද්ධ ගීපදරචක නිලාර් එන්. කාසිම් මහතා අපට එදා පැහැදිලි කලා.

පොතක පත්තරේක ඒ වෙනුවෙන් ලියැවුනු ලිපියක් කියවනවාට වඩා බොහොම වෙනස්, ගීතයක් ගයන - වයන අතරතුර ඒ පිලිබඳව පැහැදිලි කරද්දී දැනෙන හැඟීම.

ඒක මෙහෙම වචන වලින් කියන්න බැරි හැඟීමක්. ඒක අත්විඳලම ලබා ගන්න ඕන දෙයක්.

ගීතයක හෝ ඕනෑම කලා නිර්මාණයක රසවිඳීම එකිනෙකාට වෙනස්. විශේෂයෙන් ගීත ගැන ගත්තොත් සමහර විට අපි ගීතයක් නියමාකාරයෙන් රසවිඳින්නේ කොහොමද කියලා දන්නේ නෑ වෙන්න පුලුවන්.

අපි නිතරම හිතන්නේ අපි දන්නවා කියලනේ . . . දන්නවා උනත් කමක් නෑ තව ටිකක් දැන ගත්තාට අහක යන එකක් නෑ . . ඒකයි මම කියන්නේ මේ ගීත අත්දැකීම අපි හැමෝම ජීවිතයේ එක් වරක් හෝ වසරකට වරක් හෝ බැගින් අත්විඳිය යුතු අත්දැකීමක් කියලා.

උපතින් මුස්ලිම් ජාතිකයෙකු වුනත් අහලා තියෙන විදිහට විශ්ව විද්යාලයෙන් සිංහල භාෂාවට ගෞරව සාමාර්ථයක් ලබා ගීත රචනයට එක් වුනු නිලාර් එන් කාසිම් එදා අනෙක් කිසිම ගීත රචකයෙක්ට ගී තනු නිර්මාපකයෙක්ට ගායකයෙක්ට ගායිකාවක්ට කොටින්ම කිසිම සංගීත ශිල්පියෙකුට චෝදනා නොකර අපි අපිට තම තමන්ට හැඟෙන දැනෙන තරම අනුව ගීතයක් රසවිඳෙන්නේ කොහොමද කියලා බොහොම සරලව සුමටව විනාඩි කීපයක කාලයක් අරන් කියලා දුන්නා.

ගීතය ගයන්න - වැයන්න පෙර හෝ පසු විනාඩියකින් දෙකකින් ඒ කරපු පැහැදිලි කිරීම කොහොමටවත් සමහර කථිකයින්ගේ වගේ නීරස කියවිල්ලක් නොවෙයි. හරිම අරුත්බර, එක වචයක් වත් ඇහුනේ නැති උනොත් කියල ලෝභ හිතෙන සුන්දරම සුන්දර පැහැදිලි කිරීමක්.

QSUM එකෙන් මේ වසරේත් ඒ සුපිරි අත්දැකීම ප්‍රමාන සමීක්ෂක හිතවතුන්ට පමනක් සීමා නොකර ඔවුන්ගේ හිතවතුන්ටත් හිතවතුන්ගේ හිතවතුන්ටත් ලබා ගන්න පුලුවන් ආකාරයට ඉඩ ප්‍රස්තා සලස්වලා තියෙනවා.

ඉතින් එක්සත් අරාබි එමීරයේ ඉන්න මගේ සියලුම කලාකාමී මිතුරු මිතුරියන්ට මම ආරාධනා කරනවා මේ මහඟු අවස්ථාව අපතේ නොහැර ඔබත් ඒ අපූර්වතම සංගීත අත්දැකීම විඳගන්න එන්න කියලා.

ගායනය: කරුණාරත්න දියුල්ගනේ සහ නෙලූ අධිකාරී
සංගීතය: මහින්ද බන්ඩාර, කපිල පූගල ආරච්චි සහ අපේ දුෂාන්(දුමී), දර්ශන, රජීව් ප්‍රබුඛ අකනිටා වාදක මඬුල්ල
මෙහෙයවීම: ගිය වසරේම පරිදි නිලාර් එන්. කාසිම්

දවස: සැප්තැම්බර් 19 වෙනි සිකුරාදා සවස 6 සිට.
තැන: ඩුබායි ට්‍රේඩ් සෙන්ටර් වටරවුම අසල එච්. හෝටලයේ
රාත්‍රී ආහාරයත් ඒ සමඟ රසවිඳින්න පුලුවන්. සහ පොඩ්ඩන් වෙනුවෙන් කිඩ්ස් කෝනර් එකක් පවා සකස් කර තිබෙනවා.
මිල - වැඩිහිටියන් සඳහා ඩිරාහ්ම්ස් 150/- පොඩ්ඩන් සඳහා ඩිරාහ්ම්ස් 75/-

සංදර්ශන වල මිල ගනන් ගැන අපි මේ ලඟදී නිවාඩු ගිහින් ආපු යාලුවෝ කීප දෙනෙක් එක්ක කතාවක් ගියා.

ලංකාවේ බොහෝ සංදර්ශන වල මේ දවස් වල මිල ගනන් රුපියල් 5,000/-, 10,000/- 15,000/-. ඒ වගේම ඒවා බලන්න සෙනඟ අඩුවකුත් නෑ කියලා ඔවුන් කියන්නේ.

ලංකාවේ සංදර්ශන ගැන ෆේස්බුක් එකේ දකින් අපි මෙහේ ඉඳන් මැරෙන්න හදනවා අපරාදේ ලංකාවේ හිටිය නම් ඒවා බලන්න යන්න තිබ්බනේ කියලා . .

ඒත් මෙහේදි හොඳ ප්‍රසංගයක් තියෙන වෙලාවට ෆයිව් ස්ටාර් හෝටලේක කෑමකුත් එක්ක ටිකට් එක ඩිරාහ්ම්ස් 100 - 150යි කිව්ව ගමන් හෆොයි ගාන වැඩී කියලා හිතලා නොගිහින් ඉන්නවා.

අන්තිමේදි මෙහේ ඉන්න නිසා ලංකාවේ ඒවා විඳලත් නෑ ගාන වැඩී කියලා මෙහේ ඒවා විඳලත් නෑ . . . ඒක නිසා කවදාවත් මෙහේදි ලබා ගන්න පුලුවන් (තමන් කැමති ජාතියේ ) කිසිම සංගීත ප්‍රසංග අත්දැකීමක් අතාරින්න හොඳ නෑ කියලා අපි කතා වුනේ . .

මේ පෝස්ට් එක දුමියා ශෙයා කලාට පස්සේ මට හිතුනේ මේ ප්‍රසාංගික කර්තව්‍යයේ සංගීතය සපයන අය ගැන කෙටියෙන් හෝ කියපු නැති එක ලොකු අඩුවක් කියලා.

මේ වගේ උසස් රසවින්දනයකින් සපිරි සංගීතමය වැඩසටහනකට දිවුල්ගනේ, නෙලූ වගේ ප්‍රවීන ගායක ගායිකාවෝ එනවා නම් වාදක මණ්ඩලය හැටියට ගුවන් විදිලියේ වාදක මණ්ඩලයවත් ඉන්න ඕන වගේ හැඟීමක් සමහර අයට තියෙන බව කතා බහ වලින් තේරෙනවා. ඒ වගේ අයට දැනුම් දීමක් විදිහට තව ඩිංගක් ලියන්න හිතුවා.

මේ සැරේ වාදක මණ්ඩලේට ලංකාවෙන් එන මහින්ද බන්ඩාර, කපිල පූගල ආරච්චි වගේ අය බොහෝ ප්‍රසිද්ධ වෘත්තිය සංගීත ශිල්පීන් නේ . . .


ඒත් අකනිටා වාදක මණ්ඩලයේ දුෂාන් කරවිට, දර්ෂන නාකන්දල, රජීව් ප්‍රනාන්දු, භානු බෝගොඩ, චමින්ද කොළඹමුදලි, සුරේෂ් තිලකරත්න වගේ අය සංගීත ක්ෂේත්‍රයට අහසින් වැටුනු අය නෙමෙයි. ඒ අයත් සහජ සංගීත හැකියාවක් ඇති, පාසැල් කාලයේ ඉඳන් සංගීතය හදාරලා සමහර අය වැඩිදුරටත් සංගීතය හදාරපු නමුත් වෘත්තීමය සංගීතඥයෙක් වෙනවා වෙනුවට වෙනත් ජීවන වෘත්තියක නිරතවෙන දක්ෂ සංගීත ශිල්පීන් බව දන්නේ ඔවුන් සංගීතය සැපයූ ප්‍රසංග රසවිඳපු අය පමනයි.

ඔවුන්ගෙත් ගුවන් විදුලි වාදක මණ්ඩලයේත් සංගීත හැකියාවන්හි වෙනසක් නැති බව දන්නේ ඉහතකී අයුරින් අකනිටා සංගීත කණ්ඩායම සංගීතය සැපයූ ප්‍රසංගයක් රසවිඳි අයෙක් පමනයි.

ඒ නිසා ඔබට කිසියම් කුකුසක් ඇතිනම් ප්‍රසිද්ධ ගායක ගායිකාවන් සහභාගී වන නමුත් වාදක මඬුල්ල එක්සත් අරාබියේ අකනිටා නේද කියලා . . කියන්න තියෙන්නේ දයාබර සොයුර සොයුරිය අකනිටා වාදක මඬුල්ල අකනිටා බ්‍රහ්ම ලෝකය මෙන් පට්ට සුපිරි සෙට් එකක් බවයි.


_____________________________

මෙන්න තියෙනවා අපේ ගී පැදුර ගැන නිලාර් එන්. කාසිම් ලබා දුන්නු වොයිස්කට් එකක්.

මේ තියෙන්නේ නෙලූ අධිකාරි ලබා දුන්නු වොයිස් කට් එක 

මෙන්න තියෙනවා ගිය අවුරුද්දේ අපේ ගී පැදුර වැඩසටහනේ වීඩියෝ කීපයක්



ගිය අවුරුද්දේ අපේ ගී පැදුර වැඩසටහනේ ඇල්බම් එක බලන්න කැමති අයට මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්

8 comments:

  1. කියවද්දි ආස හිතෙනවා. මමත් මම ජීවත් වෙන ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් වල මේ වගේ වැඩ සංවිධානය කරන්න දායකත්වය දෙනවා. නිකම්ම ප්‍රසංගයක් නොවී, පද රචනය, සංගීතය ගැනත් කතා කරන වැඩක් කරන්න මගේ හිතේ තියෙන්නේ ලොකු ආසාවක්. දැනට නම් අපිට තනියම ඒ වගේ දෙයක් කරන්න අමාරුයි. ඉදිරියේදි පුළුවන් වේවි කියලා බලාපොරොත්තු වෙනවා. මේ "සංගීත අත්දැකීම" ට සුභ පතනවා.

    ReplyDelete
  2. දත් නැතිදා උක්දඬු ගිණි තපින්නද කිව්වලු. අඩුගානෙ ඕක ඊද් වලටවත් තිබ්බනං!

    මේ "සංගීත අත්දැකීම" ට සුභ පතනවා.x2

    ReplyDelete
  3. මේ සත්සර ව්‍යායාමයට සුබ පැතුම් දුකා

    ReplyDelete
  4. සාර්ථක වෙන්න කියල පතනවා.

    ReplyDelete
  5. දුකා අයියලා සල්ලි හම්බකරන්න අරාබියට ගියාට පොදු වැඩ වලදි හැම විටම උදව් කරන එක ඉතාම අගය කරනවා. මේ සංගිත සැදෑව වෙලේ එතැන ඉන්න තිබුනා නම් කියලා මටත් හිතුනා. චමින්ද කොළඹමුදලි කියන්නෙ ඉස්සර බ්ලූ ෂැඩෝස් කී බෝඩ් වාදන ශිල්පියා. අපේ අල්ලපු ගමේ හිටියෙ...මේ ලිපියෙන් කියනකං මම දැන උන්නෙ නෑ එයත් ඔහෙ ඉන්නවා කියලා...මම ලගදි ලියපු ලිපියකත් මේ චරිතය ලගදි දැක්කෙ නෑ කියලා ලිව්වා. අකනිටා....පට්ටම නමක්නෙ බෑන්ඩ් එකට දාලා තියෙන්නෙ.

    නිලාර් එන් කාසිම් නිවේදකයෙක් විදියටත් ඉතාම සාර්ථකයි...ඔහුගේ ගීත රචනා කලාවත් අති සාර්ථක එකක්. මේ කාර්යය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා පතනවා....

    ReplyDelete
  6. පහුගිය දවස්වල නන්දා මාලනිය , අරය මෙයා..දැන් මේක.. ඉර්ෂයි අප්පා.. අපිට මෙහෙම නැහැනෙ. අපි එහෙම සංවිධානය කරන්න ගියත් මෙහෙ ගණන් වැඩි නිසයි ඔහොම රසවින්දනය තියන අය හොයාගන්න එකයි දුෂ්කරයි. :-(

    ReplyDelete
  7. මගඇරුන එක ගැන ගොඩාක් දුකයි... නොවෙම්බර් මාසේ තව එකක් තියන බව දැනගන්න ලැබුනා.. ඒකට නම් අනිවාර්යෙන් එනවා...

    ReplyDelete
  8. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails