twitter
    Find out what I'm doing, Follow Me :)

සැබෑ මිනිසෙකුගේ මතක සටහන් හෙවත් ජෝර්ජ් අයියාගේ ලිපිය. . .! (අවසන් කොටස)


ජෝර්ජ් අයියාගේ ලිපියේ කලින් කොටස නොකියවපු කෙනෙක්ට ඒ ටික මෙතනට ගිහින් බලන්න පුලුවන් . .

මම කුඩා කාලයේදී අපේ අම්මා කවදාවත්ම නිදාගෙන ඉන්නවා දැක්ක බවක් මට නම් මතක නැහැ. ඒකට හේතු උනේ ඇය නිදාගන්න ගියානම් ගියේ අපි ඔක්කොම නින්දට ගියාට පසුව, නැගිට්ටේ අපි කවුරුවත්ම නැගිටින්නත් කලියෙන්.

අපේ අම්මා හැමදාම කෑම කෑවේ අපි ඔක්කොම කාලා ඉවර උනාට පස්සෙ වළංවල ඉතිරිවෙලා තිබුන් දෙයක් විතරයි. මට ඒ කාලේ හිතුනේ අම්මා දංකුඩ කන්නේ ඒවා ගොඩක් රස නිසා වෙන්න ඇති කියලයි. නමුත් කඳුළු පිරි දෙනෙතින් ආයිත් හැරිලා බලන කොටයි මට තේරෙන්නේ අපි 7 දෙනෙකුට කන්න තරම් කෑම මදිවූ නිසා නේද අම්මා ඉතිරි උන දංකුඩ ටික කෑවේ කියලා.

අම්මා ජීවත් වෙලා හිටිය කාලේ ඈ වෙනුවෙන් අපේ යුතුකම් කොටස කලා මදි කියලා මට දැන් හිතෙනවා. අපිට බැරි උනා අම්මවයි තාත්තවයි ඩුබායි වලට එක්ක එන්න, වෙනත් රටක් ඔවුන්ට පෙන්වන්න. මට ඒ කාලෙට නැවත පියඹා යන්න ඇත්නම් අපිට අතපසුවුන යුතුකම් කොටස ඇය වෙනුවෙන් කරන්න පුළුවන් වේවි

ඒ වගේ අම්මා කෙනෙක් ජාති ජාතිත් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා

තාත්තා ටිකක් බීපු වෙලාවට සමහර විට අපිට යම් යම් කරදර වලට මූණ පාන්න උනත්, නොබී හිටිය වෙලාවට ඔහු ඉතාමත් කරුණාවන්ත බව මම අත්දැකීමෙන් දන්නවා. ඔහුට තිබුන වෙර වීරිය අපිට ගෑවිලාවත් තිබුනානම් කියල මට හැම තිස්සෙම හිතෙනවා. මට මතකයි එක කාලෙකදී තාත්තා තනියම ගෙයක් හදන්න ගත්තා උණ පඳුර ලඟ. ඔහු තනියම කල දේවල් අපි 10 දෙනෙකුටවත් කරන්න පුළුවන්ද?

අපි කුඩා කාලයේදි අපිට උදව් කරපු අය අප්‍රමාණයි.

ඒ අතරින් පර්සි අන්කල් සහ අයිරිස් ඇන්ටි මුල් තැනක් ගන්නවා. ඔවුන් දෙදෙනා අපිට කොයිතරම් නම් උදව් උපකාර කලාද? හැම ඉරිදම අපිට ඔවුන්ගේ ගෙදරට ආරාධනා කරලා දවල් කෑම වේලක් දෙනවා. ඒ කෑමවල රස අදත් මට දැනෙනවා. මම ඉස්සරවෙලාම මගේ ජීවිතේට කටලට් එකක් කෑවෙ පර්සි අන්කල්ලගේ ගෙදර තිබුනු දානෙකදි.

නත්තල් දවසට ඒ දෙන්නා අපි ඔක්කෝටම තෑගි දෙනවා. අපි ඉස්සර ඉස්කෝලෙ නිවාඩුවට නුවර යනකොට පර්සි අන්කල් අපිව කොටුව ස්ටේෂන් එකට කාර් එකෙන් ගිහින් ඇරලවනවා. කෝච්චිය පිටත්වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි ස්ටේෂන් එකේ රෙස්ටුරන්ට් එකෙන් මාළු පාන් ඇතුළු නොයෙකුත් බනිස් ජාති බෑග් එකකට දාල ගෙනත් දෙනවා. නුවර යන ගමන් අපි ඒ කෑම කෑවේ ඉතාම සතුටින්.

අයිරිස් ඇන්ටි නැතිවුනාට පස්සේ හැම ඉරිදාටම පර්සි අන්කල් වියළි ආහාර සහිත බෑග් එකක් ගෙදරටම එවනවා. නැති බැරි වෙලාවට අතමාරුවට කීයක්නම් ඔවුන්ගෙන් ඉල්ලගන්න ඇත්ද?

නමුත් අපිට බැරි උනාපර්සි අන්කල්ට නැතිබැරි කාලේ එහෙම නැතිනම් ලෙඩ දුක් හැදුන අවසන් කාලේ ඔහුව බලන්නවත් යන්න . . . !

අපිට නැති බැරි කාලේ ලොකු අයියායි නිමාලි අක්කයි අපිට ගොඩක් උදව් කලා. අම්මා මට කියනවා ගිහින් එයාලගෙන් සල්ලි කීයක් හරි ඉල්ලන් එන්න කියලා.

සමහර දවස්වල ගෙදර වියදමට අම්මා වියදම් කලේ අක්කා මැහුම් මහලා හම්බ කල සල්ලියි.

ලුවී අයියා, සිසි අයියා අපිට හැකි විදිහට උදව් කලා. සිසී අයියා වාලච්චේනේ වැඩ කරනකොට අපිට ඉස්කෝලෙට අවශ්‍යය ඔක්කොම පොත් ගෙනත් දෙනවා.

ලොකු අයියා මට අරන් දුන්න පොත් බෑග් එකේ පාට මට තාම මතකයි.

සනී අයියා මට ඒ දවස්වල පොඩි සෙල්ලම් කාර් එකක් අරන් දුන්නා. මම ඒක අවුරුදු ගානක් තියන් හිටියා. ඒක කැඩුනහම මම යෝගර්ට් හැන්දක් උණු කරලා කැඩිච්ච තැන් හදාගතා. මට එම සිදුවීම් අද වගේ මතකයි.

පසු කාලෙක් රාණි අක්ක සහ එෆ්.ආර්. වික්‍රමසිංහ මට ඉගෙන ගන්න මාස්පතා මුදලක් ලබා දුන්නා. එම මුදලා ඉතා ප්‍රයෝජනවත් උනා මට.

අයියා රුසියාවේ ඉගෙනීම කරන විට එවූ රේඩියෝවෙන් තමා අපි ඉස්සෙල්ලම මුවන් පැලැස්ස ඇහැව්වේ. ඒ කාලේ අයියාගේ යහළුවන් ලංකාවට එන බව ආරංචි වූ විට අපි මග බලාගෙන ඉන්නවා එවන සෙල්ලම් බඩු මොනවද කියලා දැනගන්න.

අයියා ඉගෙනීම අවසන් කරලා ලංකාවට ඇවිත් රැකියාවක් කරන්න පටන් ගත් පසු අපිට ඉගෙනීමට උදව් කලා. අයියා එංගලන්තේ ඉඳන් එනකොට ගෙනාව කාර් එක විකුණල ලැබුන සල්ලි වියදම් කලේ අපේ යහපතට මිසක් අයියගේ පෞද්ගලික ඕනෑ එපාකම් වලට නෙමේ. නිහාල් අයියා එංගලන්තේ ඉන්න කාලේ ලංකාවට එනවිට අපි හැමෝටම ඔහු නොවරදවාම තෑගි ගේනවා. නිහාල් අයියා ගෙනත් දුන් පෑන් පැන්සල් පෙට්ටියේ තිබුනු පෑන් ගණන මට තාම මතකයි.

ඇන්තනි අයියා මට ඩුබායි එන්න උදව් කලා. අපි අද හොඳට කාලා ඇඳලා ඉන්නවා නම් ඒකේ ගෞරවය ලැබෙන්න ඕන ඇන්තනි අයියටයි චිත්‍රා අක්කටයි.

වසන්ත අයියා, රංජිත් අයියා සහ කොලින් අයියත් අපිට හැකි විදිහට උදව් උපකාර කලා.

ඉස්සර සරුංගලයක් හදන්න සව් කොලයක් ගන්නවත් බැරි කාලේ සව්කොල ඉල්ල ගත්තේ වසන්ත අයියගේ අම්මාගෙන්. ඇන්ටි ගෙදර තිබුනු සව්කොල මට දුන්නු වාර ගණන අනන්තයි.

මම අද මගේ කිට්ටුවන්ත මිතුරන්ගේද උදව් ඇතිව මට හැකි විදිහට ලංකාවේ ජීවත්වන දුගී දුප්පත් අයට හැකි විටක උදව් කරන්නේ අපිට කුඩා කාලයේදී නැති බැරි අවදියේදී අපිට උදව් උපකාර කල අය සිහිපත් කරලා.

ජෝර්ජ් අයියා එවූ ඊ ලිපියේ තිබූ පින්තූරය . .


මා අද දින කරනා යම්කිසි පිනක් ඇද්ද, එය මට උදව් උපකාර කල සියල්ලන්ටම ඒ පින් අනුමෝදන් වෙන්න ඕන කියන එකයි උදේ හවස මගේ ප්‍රාර්ථනය. මම නිතරම පසුතැවිලි වෙනවා අපිට උදව්කල සමහර අය ජීවත්වෙලා සිටිය කාලෙදි ඔවුනට උපකාරයක් කිරීමට නොහකි වීම පිලිබඳව.

මගේ ළමා කාලය ඉතාම සුන්දර එකක්. යහළුවන් සමග වෙලේ සරුංගල ඇරිය හැටි, ගොයම් කැපූ පසු හවසට වෙල් එළියේ එල්ලේ ගැසූ හැටි, ගොයම් කපන කාලෙට කෙවිටක් අතට අරගෙන අම්බරුවන් දක්කමින් ගොයම් පෑගූ හැටි, අල්ලපු වත්තේ හොරෙන් කජු පුහුලන් කඩන්න ගස් නැග ගුටි නොකා බේරුන හැටි, ගංවතුර ගලන කාලෙට කෙසෙල් කොට ඔරු හදලා ඇස් පෙනතෙක් මානෙට පැදගෙන ගිය හැටි, උණබට තුවක්කුවට කිරිල්ල ගෙඩි දාලා කොරවක්කන්ට වෙඩි තියපු හැටිමගේ මතකයට එනවා.

සෙල්ලම් ගෙවල් කීයක් නම් අපි හදලා ඇත්ද?

පැත්තකට දාලා තියෙන ටයර් එකක් තල්ලු කරලා අපි කොයිතරම් විනෝද වුනාද?

බයිසිකලයක් පදින්න ඒ කාලේ මම ගොඩක් ආස කලා, නමුත් අපිට වත්කමක් තිබුනේ නැහැ බයිසිකලයක් ගන්න.

ඒ දවස් වල ඉස්කෝලේ නිවාඩුකාලෙ එනකම් අපි ඉන්නේ ඇඟිලි ගණන් කර කර.

නිවාඩු කාලේ ලැබුන ගමන් අපි තාත්තගේ Rail Warrant එකෙන් නුවර යනවා ආච්චිලගේ ගෙදර. කෝච්චියේ නුවර යනකොට බස් ටිකට් රෝලක් ගෙනියනවා ජනේලෙන් එලියට දාගෙන යන්න. උඩතලවින්න ස්ටේෂන් එකෙන් බැහැලා අපි ආච්චිගේ ගෙදර යන්නේ පයින්මයි. ඇවිදගෙන යන අපි ටික වෙලාවකට නවතිනවා කඩේ මාමාගේ කඩේ ගාව. මාමා නොවැරදීම අපිට මොනව හරි දෙනවා.

අපි නැවත කොළඹ එන්නේ ඉස්කෝලේ පටන්ගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී. අපි හැම නිවාඩුවටම ආච්චිලගේ ගෙදර ගිහින් මාසයක් දෙකක් එහි නැවතී හිටිය කාලයේදී අප නිසා ඒ අයට කොච්චර කරදරයක්, වියදමක් යන්න ඇත්ද කියලා මට වෙලාවකට හිතෙනවා.

මම ගතකරපු සුන්දර ලමා කාලයෙන් එක අංශු මාත්‍රයක්වත් අද මගේ දරුවෝ දෙන්නට දෙන්න මට හැකි වෙලා නැහැ. මම ඒ ගැන ජාති ජාතිත් කණගාටු වෙනවා. නමුත් ඔවුන්ගේ සමාව මට කවදාවත් නොලැබේවි.

අද අපේ අම්ම තාත්තා අප අතර නැහැ. නැන්දා, රංජිත් අයියා සහ කොලින් අයියත් අපත් සමග නැහැ. මම ඔවුන් සියළු දෙනාවම මේ අවස්ථාවේ සිහිපත් කරනවා.

අපේ ආච්චි, පුංචි අම්මලා, ලොකු අම්මා, පප්පා, විශේෂයෙන් ස්ටෙලා ඇන්ටි, බර්ටි අන්කල් මේ වෙලවේ මගේ සිහියට එනවා.

අම්පාරේ බාප්පා, අයියා රුසියාවේ යන දවසේ පාර හොයාගන්න බැරිව අතර මං වුනා. බාප්පට බැරිඋනා අයියා රුසියාවේ යනවා දකින්න. අයියා නැවත ලංකාවට එන්කොට බාප්පා ජීවතුන් අතර නැහැ. මට එතකොට වයස අවුරුදු 5 යි නැත්නම් 6 යි. නමුත් අයියා රුසියාවේ යන දවසේ සිදුවූ සිදුවීම් සියල්ලම අද ඊයේ වගේ මට මතකයි.

අපි කුඩා කාලයේ දැක්ක නොයෙකුත් චරිත අපේ නැන්දා, සනී අන්කල්, සැමී අන්කල් සහ අප්පුහාමි සීයා මුල් තැනක් ගන්නවා. දැන් ඉන්න අයට වඩා ඔවුන්ගේ ජීවිත කොයිතරම් ලස්සනද

මට තාම මතකයි චාලට් ඇන්ටිගේ මගුල් ගෙදර. සතියක් විතර මගුල් ගේ තිබුනා.

නීල් අන්කල්ලගේ Page Boy මම. ඒ මගුල් පිංතූරයක් මගේ ලඟ තිබුනා නම් කොයිතරම් අගේද?

ලොකු අයියගේ මගුල් ගෙදර දවසේ සනී අයියල බොන තැනට ගිය මටත් හොරෙන් පොඩ්ඩක් බොන්න දුන්නා. මට එතකොට වයස 7 - 8 ක් ඇති. සනී අයියා "දැක්කොත් පද්මාවතී" සිංදුව ගයමින් නැටූ හැටි මට තවමත් මතකයි.

විලී අන්කල් අසනීප වූ දවස් වල එහේ දින ගනනක ලොකු තොවිලයක් තිබුනා. අපි දින ගණන් නොනිදා පහන් කලා. ඒ වගේ තොවිලයක් අහල ගම් හතකවත් තිබුනයි කියලා මම හිතන්නේ නැහැ.

මට ඒ සුන්දර මතක සටහන් තවමත් හොඳට මතකයි. අනේ ඒ සුන්දර කාලය රසවිඳින මගේ දරු දෙදෙනටත් අවස්ථාවක් දෙන්න මට හැකි නම්.

මට මගේ ආදර බිරිඳ ජෙනීව හමුවුන නිසා, ජෙනී මට ලංකාවට යන්න ටිකට් එකක් දුන්නු නිසා . . අම්මා මිය යන්න දින හතරකට පෙර ඇයව දැක බලාගන්න මට අවස්ථාවක් ලැබුනා, මම ඒ අතින් වාසනාවන්තයි.

නමුත් අම්මට බැරිඋනා මගේ මගුල් ගෙදරට සහභාගී වන්න. ඒ වුනත් අම්මා මිය යන්න කලින් දැනගෙන හිටියා මම අඩු ගනනේ විවාහ ගිවිස ගත් බව. අම්මා ඒ පිළිඹඳව නම් සතුටුවන්න ඇති. මගේ ලමයි දෙන්නාව ඇයගේ ඇස් දෙකෙන් දකින්න තරම් වාසනාවක් අම්මට නැති උනා. අපේ අම්මගේ ආදරය ලබන්නත් මගේ දරු දෙන්නාටත් වාසනාවක් ලැබුනේ නැහැ.

අපේ පවුලට සාමාජිකයන් එකා දෙන්නා එකතු වෙන කොට ගොඩාක් සතුටුවුනේ මමයි.

මෙලූෂා ඉපදෙනකොට මට වයස අවුරුදු 10යි. ඊට පස්සේ සුදේශ් ඉපදෙනකොට මට වයස 11යි. මගේ අක්කලගේ අයියලගේ දූලා පුතාලා මම බලාගත්තේ මගේම ලමයි වගේ, ඒ මම කුඩා ලමුන්ට ගොඩක් ආදරේ නිසයි. මට නංගිලා මල්ලිලා නැති අඩුව ඔවුන් නිසා දැනුනේ නැහැ.

ඉවෝන්, මාර්ක් සහ මිනෝන්ව මම ඉතා කුඩා කාලයේ ඉඳලම බලාගත්තා, ඒ මම නැවතිලා හිටියේ එහේ නිසා. ඒ තිදෙනා ඔවුන් කුඩා කාලයේදී අනෙක් අයට වඩා මගේ ලඟින් හිටියා.

අද අපේ පවුල සී සී කඩ ගිහින්. දියුණුයි කියන ලෝකේ අනිසි ප්‍රතිපල තමයි ඒ. අවුරුදු ගණන් එකිනෙකාට දුරකථනයෙන්වත් කතාකර දුක සැප නොවිමසන අපේ පවුලේ සාමාජිකයන් කී දෙනෙක් අද ඉන්නවද?

කාටවත් ඒ ගැන දොස් කියන්න නම් බැහැ. ලොකේ දියුණු වෙනවා, අපි ඈත් වෙනවා.

මම පොඩි කාලේ පැත්තකට වෙලා බලන් හිටිය විදිහටම මම අදත් පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා. .. . . හිතේ එක්තරා කොනක දැනෙන වේදනාවත් සමග.

ඊමේල් නැති, Face Book නැති, Internet තිබුනේ නැති මා කුඩා කල ගතකල සරල ජීවිතයට මම මීට වඩා ප්‍රියකරනවා.

කන්න බොන්න නැතත් අපි සන්තොසෙන් හිටියා.

ඉස්සර ලියුම්කාරයා ඇවිත් සීනුව ගහන විට අපි දූවගෙන යනවා ලියුම් ගන්න. අපි ලියුම්කාරයා එනකම් බලාගෙන හිටියේ කුතුහලයෙන්. ඉඳලා හිටලා ලැබුනත් ඒ ලියුම්වල ලියවිලා තිබුන දේවල් අද Inbox එකේ තියෙන සිය ගනන් ඊ-ලියුම්වලට වඩා මට වටිනවා.

අතින් ලියුව ලිපියක තිබුන ආදරය කරුණාව ඊමේල් වල ගෑවිලාවත් නැහැ.

මට 50 වසරක් ලබන මේ අවුරුද්දේ මගේ සුන්දර මතක සටහන් මෙසේ ලියා ඔබ සැමට දන්වන්න හිතුනේ ඒකයි. මා ලියනා දේ ඔබ කොහොම පිලිගනීවිදැයි මා දන්නේ නැත.

එක්සත් අරාබි එමිරේටයේ ජීවත්වූ වසර 25 ක කාලයක් තුල ඉතාම සුන්දර මිනිසුන් පිරිසක් මට සහ මගේ පවුලේ අයට හමුවූයේ වසර 1992න් පසුව කියලයි මට හිතන්නේ.

ගිය ආත්මයේදී ඔවුන් මගේම සහෝදර සහෝදරියන්ද කියල හිතෙනවා. අපට පසුගිය කාලේ සිදුවුන නොයෙක් දුක් කරදර වලදී ඔවුන් සැම අපත් එක්ක රැඳී හිටියා. ඔවුන් දුන් සහයෝගය නිසා දුකක් කරදරයක් දරාගන්න එක අපට එතරම් අපහසුවක් වුනේ නැහැ. අදටත් ඔවුන් එසේමයි. ඔවුන් වගේ සොහොයුරු සොහොයුරියන් පිරිසක් දැන අඳුනාගන්න ලැබුන එක පිළිඹඳව මම සතුටු වෙනවා.

ඔවුන් මගේ දුවයි පුතයි බලාගන්නේ අම්මා (ජෙනී) ඩුබායිවල නැති අඩු පාඩුව ඔවුන්ට නොදැනෙන තරමට. එදිනෙදා ගෙදරට අවශ්‍ය දේ පවා ඔවුන් ගෙදරටම ගෙනත් දෙන්නේ මට වාහනයක් නැති බව ඔවුන් දන්නා නිසයි.

ලෙඩක් වුනහම ආරංචිය ලැබුන ගමන් ඔවුන් අපේ ගෙදරට දුවගෙන එනවා, දුක සැප බලන්න. මම ඩුබායිහි දී (1992න් පසුව) දැන අඳුනගත් ඒ නංගිලා මල්ලිලාට දූ පුතාලට මා සදා ණය ගැතියි අපේ ජීවිතය අර්ථවත් කිරීම ගැන.

අප බලාපොරොත්තු නොවූ ප්‍රශ්න රාශියකට පහුගිය වසර 3 - 4 තුල අප මුහුන පෑවා. තවම ඒ ප්‍රශන විසඳී නැතත් අපි අපේ ඉදිරිගමන යන්නේ ඒ ප්‍රශ්න සියල්ල අමතක කරලා.

කොයි දේ වෙන්නෙත් හොඳට කියලා අළුතෙන් කුමක් හෝ කර අපි අපිට හිතවත් අයත් සමග ඉදිරියටම යනවා. අපිට ප්‍රශ්න එනව වගේම එම ප්‍රශ්නයන්ට විසඳුනුත් කොහෙන් හෝ ලැබෙනවා.

මගේ ලඟම මිතුරන්ට සහ මගේ නෑදෑයන්ට මාර්තු මාසේ 11 වෙනිදා නැත්නම් 12 වෙනිදා මගේ 50 වෙනි උපන්දින සාදයට ආරාධනා කරන්න හිතුනේ ඔවුන් වෙනුවෙන කරන කෘතගුණ සැලකීමක් ලෙසයි.

උපන්දින සාදයේ වීවියෝවක්


එදිනට මගේ පවුලේ එක්කෙනෙකුට හෝ දෙන්නෙකුට සහභාගීවන්න පුළුවන්වුනොත් ඒක මගේ සතුටක්.

මගේ අඩ සිය වසක උපන්දිනයට සහභාගී වීමට ඔබ එන්නේ නම් මම ඔබෙන් එක ඉල්ලීමක් කරන්න කැමතියි.

එදින ඔබ කිසිම කෙනෙක් කිසිම ත්‍යාගයක් නොගෙනා යුතුයි.

නමුත් මම එදිනට ඔබ සැම ඉදිරියේ අපේ මව් බිමේ සිට පැමිණෙන ඉහත සඳහන් සුවිශේෂ පුද්ගලයාට සත්කාරයක් කිරීමට බලාපොරොත්තු වෙනවා, ඔහු අප සැමගේ උදව් උපකාර ලැබිය යුතු පුද්ගලයෙක්.

ඔහුගේ නොපෙනෙන දෙනෙතට හිනාවක් එක් කරන්න, එදිනට මට හැකි වුනොත් මගේ 50 වසරක ජීවිතයේ අති සුන්දරම දවස එදින වේවි. මගේ අඩ සියවසක ජීවිතයේ මම කරන මහා පුණ්‍යකර්මය එය වේවි. මගේ දෙමව්පියන්ද මෙලොව හැර ගොස් සිටින අනෙකුත් සියළුම ඥාතීන්ද සිහිවීම පිනිස මම එම පරිත්‍යාගය කිරීමට අදහස් කරනවා.

ඒ සමගම මා කවදත් ගෞරවය කරන අප මව් බිමේ Capt. Elmo Jayawardena සහ Kushil Gunasekar මහතුන්ටත් මම ආරාධනා කරා එදිනට පැමිනෙන ලෙස. Kushil Gunasekara මහත්මයා දැනටම එම ආරාධනාව පිලි අරගෙන තියෙනවා.

සාදයේ පින්තූර මෙතනින් බලන්න පුලුවන් . .
http://tinyurl.com/George-50-Not-Out

ජීවත්ව සිටිනතුරු අප සියළු දෙනා එකිනෙකාට ආදරය කරමින් ජීවත්වීම තමයි අපේ දෙමව්පියන් අපෙන් බලාපොරොත්තුවන්න ඇත්තේ. එසේ සමගියෙන් සමාදානයෙන් අප සියළු දෙනාටම ජීවත්වන්න ලැබේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා.

අප පවුලේ සියළු දෙනාම නැවත කවදා හමුව්වේවිදැයි මම නොදනිමි., නැවත් කෙදිනක හෝ හමුවනතුරු ඔබ සියළු දෙනාටම මගේ ඇති අවංක ආදරය පුද කරමින් මම ඔබෙන් දැනට සමුගන්නෙමි.

ඒත් සමගම පහුගිය වසර 50 තුල නොදැනුවත්ව හෝ මගේ අතින් ඔබට වරදක්වුනි නම් කරුණාකර මට සමාවන්න.

ඔබට සදා ජය.

මීට
ඔබට අවංකව ආදරය කරන
මල්ලී/චූටි මාමා
ජෝර්ජ්

පලි.
ජෝර්ජ් අයියගේ පාර්ටියට දුමී ඇතුලු අපේ කට්ටියේ සෙට් එක සහභාගී වී ඇති අයුරු දුමීගේම කට කහන කතාවකින් අසා ගත යුතු තරම් රසබර එකක් හෙයින් ඒ ගැන සඳහන් කිරීම මඟහැර ජෝර්ජ් අයියා විසින් පාර්ටියෙන් පසුව මිතුරන් වෙත යැවූ ඊ ලිපියේ කොටසක් මෙයට එකතු කරන්නම් ඔහුගේ සංවිධාන ශක්තියේ තරම සහ විනිවිදභාවය ගැන ඔහු දක්වන සැලැකිල්ලට කරන ගෞරවයක් ලෙසට . .

I would like to give you the brief details of the collection of funds on that day:

Total amount collected :

· UAE Dhs. 9580.00

· Canadian $ 100.00 (= Dhs. 349.00)

· Sri Lankan Rs. 7000.00


Amount given to Prasanna:

· Transport from Katunayake to Kandy = Rs. 7000.00

· To buy gifts to his relatives & friends = Dhs. 330.00

Balance amount = Dhs. 9599.00

We have transferred this amount to Prasanna’s personal account. Total amount transferred = SL. Rs. 294,439.00 (=Dh. 9599.00) - ** Kindly refer to attached receipt


Dear Friends, thank you once again for your genorosity. May God Bless you all.

As soon as the DVD of the party is ready I will make extra copies and distribute them among all the participants FOC. I have got two DVDs + CDs with me and I would like to give it to you FOC to remember me. All these will be personally sent to you ASAP.


Regards

George


සාදයේ තවත් වීඩියෝ පහලින්










කාර්යාලයේ වැඩ අධික කම නිසාම ජෝර්ජ් අයියගේ ලිපියේ ඉතුරු කොටස පමා වුනත් . . . පමාව ගැන නිතර විමසා "උඹට වැඩ වැඩි නම් දීපන් මම ටයිප් කරලා දෙන්නම් කියා" එය ටයිප් කර දුන් දුමීටත් දුමීට සහයෝගය දුන් මගේ මරණයටත් විශේෂ ස්තූතිය.

47 යි අදහස්:

මාරයාගේ හෝරාව said...

මොනවා කියන්නද බං...
වචන වලින් කියන්න පුළුවන්නං හිතට එන හැම දේම....

තිස්ස දොඩන්ගොඩ said...

"කොයි දේ වෙන්නෙත් හොඳට කියලා අළුතෙන් කුමක් හෝ කර අපි අපිට හිතවත් අයත් සමග ඉදිරියටම යනවා. අපිට ප්‍රශ්න එනව වගේම එම ප්‍රශ්නයන්ට විසඳුනුත් කොහෙන් හෝ ලැබෙනවා..."

බැලූ බැල්මට මේක හරිම සුලභ ප්‍රකාශනයක්.. ඒත් මේ සොඳුරු මනුස්සයාගේ කටින් මේ වචනපෙළ පිටවුනහම ඒ වචන වල කොච්චර ගැම්මක් තියේද... කොච්චර අරුතක් තියේද...?

අසනි said...

මෙහි එන අපේ සොදුරු කතා නායකයා මගේ තාත්තගේ වයසට වඩා අවුරුද්දක් ලොකුයි..වගේම ඔහුගේ වයසින් හරියටම අඩකටත් වඩා මන් බාල වුනු නිසාම, ආදරෙන් ජෝජ් අන්කල් කියලා කතා කරන්න මට අවසර..

අන්කල් ඔබ සැබවින්ම සොදුරු මිනිසෙක්..ජීවිතේ තමන්ට මග ඇරුනු දේවල් හිතේ හෝ තියෙනවා යයි කියන්නේ සැබවින්ම ඔබට ජීවිතය අත ඇරි නෑ..

ඔබ තරම්ම අද්දැකීම් නැතත් මේ දියුනුයි කියන ලෝකේ අපි දුරස් වෙලා කියන යතාර්ථය නම් පසක් කරගෙන හමාරයි..

අපෙත් ආයූ ලැබ ඔබ දිගු කල් ජීවත් වේවා...!!!

@දුකා අයියා
මෙවැනි ලිපියක් මගින් අපිට සොදුරු මිනිසෙක් හදුන්වා දීම ගැන ස්තූතී..අයියන්ඩි..

hare :-) said...

සුන්දර මනුස්සයෙක්. ජීවිතේ පහු කරපු හැම ගහක් ගලක්ම මතක තියෙන, ඒ ගෞරවය හිතේ තියෙන එල පොරක්.

අපට හීනෙන්වත් පේන්නෙ නැති...

Gimhani said...

හරිම සංවේදී ලිපියක්.හිතට මොකක්දෝ උනා වගේ...හැගීම් වචන වලට පෙරලන්න අමාරුයි..

ගල්මල්-Coral said...

/මා අද දින කරනා යම්කිසි පිනක් ඇද්ද, එය මට උදව් උපකාර කල සියල්ලන්ටම ඒ පින් අනුමෝදන් වෙන්න ඕන කියන එකයි උදේ හවස මගේ ප්‍රාර්ථනය/

ලොකු හිතක් ඇති සුන්දර මිනිසෙක් වූ ජොර්ජ් අයියේ හැම දුක් කරදරයම තුරන් වී යහපත් අනාගතයක් උදාවේවා!

දුකා මේ කතාව ඉදිරිපත් කරාට පිං, වෙන මොකුත් ලියාගන්න බෑ යාළු.

Charmi said...

හෘදය සාක්ෂිය...... වැදගත්ම දේ. ඒක යහමින් ඇති මේ වගේ මිනිසෙක් ඇසුරු කරන උඹලා හරි වාසනාවන්තයි මචං...

දුකා said...

ජෝර්ජ් අයියට කොමෙන්ටුවක් දාන්න ඕන නමුත් මගේ බ්ලොග් එකේ කිසියම් තාක්ෂණ දෝසයක් නිස එය කල නොහැකි කමින් ඒ කොමෙන්ටුව මට එවා තිබුනා . .

George Hettiaratchy

මාගේ ජීවිත කථාව කියවා, එහි ඇති කෙටි වීඩියෝවන්ද නරඹා, කෙනෙක් ප්‍රසන්න වැනි තවත් කෙනෙක්ගේ දුකට පිහිට වන්නේ නම්, මාගේ වචනවලින්ද ක්‍රියාවෙන්ද මා ප්‍රයෝජනවත් වැඩක් කලා යැයි මම සිතමි.

මා පිලිබදව සටහනක් කල සුභාශ් මල්ලීටද මගේ ස්තුතිය.

ගොඩයා said...

මුළු කතාවම ඉවරවෙනකම් හිටියේ කොමෙන්ට් එකක් දාන්න. මට නම් දුකක් වගේම ලොකු සතුටකුත් දැනුනා අයියේ. මේ වගේ මනුස්සකම තියන මිනිස්සු තාමත් ඉන්නවා දකින කොට පුදුම සතුටක්.... ඉස්සර තිබුන මනුස්සකම දැන් ගොඩක් මිනිස්සු ළඟ නෑ. අපි ඉඳලා හිටලා ලංකාවට ගියහම ඒක හොඳටම දැනෙනවා. දියුණුයි කියන ලෝකේ සල්ලි ගැනම හිතන මිනිස්සු මිසක් මනුස්සයෝ ගැන හිතන ඒවගේම මුල මතක තියන මිනිස්සු හොයන්න හරි අමාරුයි. එහෙම එකේ ජෝර්ජ් අයියා කියන්නේ කට ඇරලා මනුස්සයෙක් කියන්න පුලුවන් මනුස්සකම පිරුණු කෙනෙක් කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ. ජොර්ජ් අයියගේ වචන ටික කියවද්දී ඒක දැනෙනවා. ජොර්ජ් අයියාට සුභම සුභ උපන් දිනයක් සහ දීර්ඝායුෂ පතනවා.... මේ සංවේදී සුන්දර වචන ටික බෙදාගත්තට දුකා අයියටත් බොහොම ස්තූතියි.............

මුහුදු කොල්ලකාරයා said...

දැනෙන හැගීම වචන වලට පෙරලන්න හැදුවොත් ඒක ඒ හැගීමට කරන අසාධාරණයක් කියලයි මට හිතෙන්නෙ. ඒක නිසා ලිපිය කියවල ඒ වගේ හැගීමක් ඇති වුනා කියල විතරක් කියන්නම්.

දේවා ගේ අඩවිය said...

බ්ලොග් ලිපියක මේ තරම් හිතට දැනුන සංවේදිම ලිපියක් අය්යේ... මට කියාගන්න බැ හිතේ තියන හැගිම් ගැන.. ඒ තරම් දුරකට එක හුස්මට කියවපු ගොඩාක් සංවේදි ලිපියක්

මයියා ( Mayya) said...

වචන නෑ......

RoshanHerath said...

අතීතය. විටෙක දුකත් විටෙක සතුටත් ළඟාකරදෙනවා. ඒ මතක අනාගතයට පාර කියනවා..

Bindi said...

ආදරණිය මිනිසෙක් ගැන කිව්වට දුකාට බොහොම පින්.

''මට ඔය කවුරුවත් වැඩක් නැහැ . මන් තනියම නැගිටපු මිනිහෙක්'' කියන අය වැඩි ලෝකෙක ජෝර්ජ් අය්යේ ..ඔබ සුන්දර මිනිසෙක් .

cjgayan said...

ඇත්තෙන්ම මනුස්සකම කියන දේ උපරිමයෙන්ම පෙන්වන ලිපියක්. අද අපේ සමාජයේ අඩුවෙන්ම තියන මේ උතුම් ගුනාංගය මතක් කරලා දුන්නට ජෝර්ජ් අයියට ස්තුති කරන්න වචන නෑ

හරී - පිණිපළස said...

මේ ලිපිය කියවීමෙනුත් අපි සෑහෙන පාඩම් ඉගෙන ගන්නවා, එතකොට ඒ පිනුත් ජෝර්ජ් අයියාගේ දෙමාපියනට අනුමෝදන් වෙන්න ඕනෙ. ඇත්තටම අපිත් පසුතැවෙනකම් ඉන්න හොඳ නෑ, මේ ලිපිය ඉදිරිපත් කළ දුකා අයියාටත් උදව් කළ හැමටත් බොහොම ස්තූතියි,,,,,,,,,

Ad.com said...

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

Ad.com said...

නියම මිනිසත්කමේ අරුත කියන කතාවක්

නිශ් said...

හ්ම්ම්ම් දැනුන හැඟීම වචන කරන්න උත්සහ කරාට හරි ගියේ නෑ....................

ස්තූතියි දුකා.

සිතුවිලි නිහඬයි said...

මොනා කියන්නද කියලා හිතා ගන්න බෑ අයියේ.....

මේ වගේ මහත්මයෙක්,(අන්කල් කෙනෙක් කීවට කමක් නැනේ) ගැන අපිට කීවට...අපිට අඳුන්වල දුන්නට අයියට ගොඩක් ස්තුතියි.......

Kumudu said...

නොදන්නා ජොර්ජ් අයියාට සුභ උපන් දිනයක් සහ දීර්ඝායුෂ පතනවා… අපි කාටත් යමක් කියාදෙන සංවේදී මේ කථාව බෙදාගත්තට දුකා අයියට බොහොම ස්තූතියි…
අද කා වෙනුවෙන් හරි කෙරෙන්න ඕන යුතුකමක් හෙටට කල් දාන්න නරකයි. හෙට අපි ප්‍රමාද වැඩි වෙන්න පුලුවන්..
NRFCඑකේ යන්තම් ලක්ශ 2ක් විතර තියෙන කාලෙ මම අපේ අම්මය් තත්තය් සින්ගප්පූරු සවාරියක් එක්කගෙන ගියා දවස් 4ක්. එයින් දවස් දෙකක් හිටියෙ තරු 5 හොටලේක.(ජීවිතේ ප්රථම හා අවසන් වතාවට ) එත් එතන කෑම ගිනි ගනන් නිසා අපි කෑවෙ එලියෙන්.අන්තිම දවසෙ උදේ අම්මගෙ කකුල් රිදෙන නිසා කොහෙවත් යන්න බෑ කියල මෙහෙන් මොනා හරි කන්නද ඇහුවා. "අම්මෙ, මෙහේ කෑම ගිනි ගනන්. පාර එහා පැත්තෙ Food court එකෙන් කන්න" මම කිව්වා. රෑ 7ට විතර ඇවිත් ඇහුවම අම්මා කිව්වා "බඩගිනි වුනේ නෑ පුතේ, තේ එකක් බිව්ව කියලා" අද අම්මලට යුතුකම් ඉෂ්ඨ කළා කියන හැගීමට උඩින්,පොඩි ගානක ලාබෙ ගැන හිතල,කකුල් රිදෙන අම්මව දවසක් බඩගින්නෙ තිබ්බ නේද කියන වේදනාව දැනෙනව.... ඒ වේදනාව මට ජීවිතේ පුරාවට දැනෙයි..

Observer said...

දුකකුත් එක්ක ලොකු සන්තෝසෙකුත් හිතට ආව.

මධුරංග said...

මේ කතාව කියෙව්වට පස්සේ මොනවා කියන්නද කියලා මටවත් හිතාගන්න බැරි උනා. ගොඩක් දුක් විඳපු ඒ වගේම ඒ දුක ආදරෙන් මතක් කරලා සතුටු වෙන්න පුලුවන් ආදරනීය ම මනුස්සයෙක්.

ඔච්චරමයි ලියන්න හිත් දුන්නේ.

නිසුපා said...

සැබෑම මනුස්සයෙක් අයියේ.අද කාලෙ මෙහෙම අය සෑහෙන්න අඩුයි.

අයියාත් මේ කතාව කියලා කලේ හොද වැඩක්. මේ වගේ අය තාම ඉන්නවා කියලා දැන ගන්න ලැබීමත් සතුටක්.

batti said...

අද අපේ පවුල සී සී කඩ ගිහින්. දියුණුයි කියන ලෝකේ අනිසි ප්‍රතිපල තමයි ඒ. අවුරුදු ගණන් එකිනෙකාට දුරකථනයෙන්වත් කතාකර දුක සැප නොවිමසන අපේ පවුලේ සාමාජිකයන් කී දෙනෙක් අද ඉන්නවද?

කාටවත් ඒ ගැන දොස් කියන්න නම් බැහැ. ලොකේ දියුණු වෙනවා, අපි ඈත් වෙනවා.

මම පොඩි කාලේ පැත්තකට වෙලා බලන් හිටිය විදිහටම මම අදත් පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා. .. . . හිතේ එක්තරා කොනක දැනෙන වේදනාවත් සමග.
මගේ පපුව පුච්චිලා ගියේ මේ කොටස කියවද්දී. අවුරැදු 50ක් නෙවෙයි ඉන් අඩක් වත් යන්න කලින් මේ දේ මටත් දැනිලා තියෙනවා.
ජෝර්ජ් අයියේ සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩාකල් ඔබ ජීවත් වේවා !

George Aiyah said...

මම අද ප්‍රසන්නට කථා කරා. ප්‍රසන්න මහනුවර "දෙනෙත් නොපෙනන අයට" ඇති පාසැලක සේවය කරන්නේ.
" ප්‍රසන්න අන්න මගේ යාලු මල්ලි කෙනෙක් මගේ ජීවිත කථාව Internet එකේ දාලා තියෙනවා. ඒත් එක්කම එදා ගත් Video clips දෙක තුනක්ද දාලා තියෙනවා. මම ලින්ක් එක එවන්නම්, ඔයාටත් බලන්න පුළුවන්. "
ප්‍රසන්න මට හෙමිහිට කියනවා. " සර් මට ලින්ක් එක එවන්න, මම සිංදුව ලියපු මැඩම්ටයි, අනෙක් මැඩම්ටයි පෙන්නනම්. මට බලන්න බැහැනේ සර්" . මම ගොලුවුනෙමි....

දුකා said...

ජෝර්ජ් අයියා . . .

ප්‍රසන්න එහෙම කිව්වාම ඔයාට උන්හිටි තැන් අමතක වෙන්න අති ඒත්
ප්‍රසන්න ට දුකක් හිතෙන්නේ නැති වෙන්න ඇති . .

ප්‍රසන්න දෑසින් නෙමෙයි හදවතින් මිනිස්සු දකින්න හුරුවෙලා නිසා අයියට වෙච්චි වැරදීම තේරුම් ගන්න ඇති . ..

George Aiyah said...

ඔව් ඇත්තෙන්ම ඔහු ඉතාම සුන්දර පුද්ගලයෙක් සුභාශ් මල්ලී. එවැනිම සිදුවීමක් රුවිලාල් අයියටත් මුහුණ දෙන්න සිදුවුනා නුවර යාළුවෙකුගේ ගෙදර තිබුන " පැදුරු පාටියකදී ".
එදත් ප්‍රසන්න ඇවිත් හිටියා සිංදු කියන්න, ඔහුගේ ප්‍රිය බිරිද සහ කුඩා පුතු සමග. ප්‍රසන්නට ඕනෑවුනා වැසිකිලියට යන්න. ඔහු රුවිලාල්ගෙන් ඇහුවා ලඟම තියෙන වැසිකිලියට යන විදිහ. අපේ මිතුරගේ නිවස කදු බෑවුමක සෑදු කාමර කීපයකින් සැදුම්ලත් තරමක ලොකු නිවසක්.
" අනේ රුවිලාල් මහත්තයෝ මට කියනවද කොහෙද Toilet එක තියෙන්නේ කියලා ". " ප්‍රසන්න මේ Toilet එකේ නම් lights නැහැ. අර පහල තියෙන එකට යන්න, ඒකෙ නම් lights තියෙනවා" අපේ රුවියා කිව්වා". අනේ රුවිලාල් මහත්තයෝ මම ඉතින් උපන්දා ඉදන්ම අඳුරෙනේ ඒකට කමක් නැහැ මම ඉතින් මේකටම යන්නම්" ප්‍රසන්න කිව්වා. රුවිලාල් එතෙක් පානය කර තිබු මඳුවිතවල සැර කොහෙන් ගියාද නැහැ.

- නිල් අහස - said...

" කන්න බොන්න නැතත් අපි සන්තොසෙන් හිටියා "
මේ වාක්‍යය දැක්කම ලෝබ හිතෙනවා.

තුන් වේලම බඩ පැලෙන්න කෑවත්, අද.. අපට....කෝ සතුටක්.
මේ ජිවිතය සැබෑවටම තේරුම් ගත් සැබෑ මිනිසෙක්ම විය යුතුයි.

මෙවන් චරිතයක් අපට හදුන්වා දුන්නට...පින් දුකා..අයියා.

Chandi said...

දුකා මල්ලි, ජෝර්ජ් අයියා මට වඩා අවුරුද්දක් වැඩිමහල්. මම මගේ ලමා කාලය ඉතාම සතුටින් හා දුක්කරදර කන්දරාවක් මැද ගතකල අයෙක්. ඒ උනාට ඉතාම සුන්දරයි ඒ කාලය. අද මේ සටහන කියවත්දි මෙවන්වූ සුන්දර මිනිසුන් තාම අපේ රටේ ඉන්නවා නේද? කියන සිතුවිල්ල තමයි ඉස්සෙල්ලාම හිතට එන්නේ. අපේ රටේ දැනට ජීවත් නොවුනාට අපේකම උතුරා යන මානව දයාව පිරි පුද්ගලයෙක්. ඒකනේ අපේම කෙනෙක් කියන්නෙ. ඔහු කියනදේ මටත් දැනෙනවා. අපි අද තුන්වේල හොදට කෑවත් අපේ දරුවන්ට අපේ ලමාකාලය නෑ කියන එක. ලස්සනම කතාවක් කියන්නම් පුතා අපි අලුත් ගෙදරට ආවහම ඇයි ? කියල අහනවා කෙසෙල් ගහ කැන කැපුවහම ගලවලා දාන්නෙ? ආයෙත් මල් එන්නෙ නැත්ද? කියල. එයාල දැකල නෑ කෙසෙල්ගහ කොහොමද? හැදෙන්නෙ කියල. අපේම නේද වැරැද්ද? කොන්ක්‍රිට් වනාන්තර වල ගෙවල්වල ලමයි හැදුව එක, පරිසරයට ගැටෙන්නට නොදී. කියන්නට ඇතිදේ බොහොමයි. නමුත් ඒ දේවල් කීමෙන් මේ සටහනත් නිසරුවේවි කියල හිතෙනවා. ජෝර්ජ් අයියාට දීර්ගායුශත් ඔබට පින් කියමින් මේ සටහන නිමාකරමි.

pads said...

මෙ සටහන මගෙම සටහනක් වගෙ
…පොදු අත්දැකිම් පොදු අදහස් පොදු අතපසුවිම්

…බොහොම ස්තුතියි දුකා

දුමී said...

මම ජෝජ් අයියාව අඳුනගෙන දැනට අවුරුදු 7ක් විතර වෙනවා. මගේ ජීවත කාලේදි මට හමු වෙච්ච සුවිශේෂී මිනිසුන් අතර සුවිශේෂීම මිනිසෙක් තමයි ජෝර්ජ් අයියා කියන්නෙ. ජොර්ජ් අයියා හැමදාම ඉතාමත් විනෝදයෙන් ඉන්න හරිම ප්‍රියමනාප පුද්ගලයෙක්. ජෝර්ජ් අයියා කිසිම දිනක දුකකින් කණගාටුවකින් ඉන්නවා මට නම් මතක නෑ. හැම තිස්සේම ප්‍රියමනාප හිනාවකින් මුව සරසාගෙන තමන්ගේ වටේ ඉන්න හැමෝමවත් ප්‍රබෝදමත් කරමින් තමයි ඔහු හැම විටම ඉන්නෙ.

නිතරම කාට හරි විහිලුවක් කරමින් හැම දෙනාවම හිනා ගස්සන ජෝර්ජ් අයියා ඉඳලා හිටල අපිට පොඩි පොඩි විනෝද ජනක රැග් එකකුත් සමහර වෙලාවට දෙනවා. ඒ අපි හැමෝටම දීපු රැග් වල ප්‍රථිඵල නිසා තමයි ඔය උපන්දින සාදයේදී අපේ කට්ටිය මිතුරු හවුලේ මිතුරන් පරණ සිංහල විදිහට කොණ්ඩේ බඳිමින්, කෝට්බෑයවල් සරම් කොට ගහගෙන ඔහුගේ උපන්දිනය සමරන්න ඔහුත් සමග එකතු වෙන්නෙ.

ඒ වගේම තමයි ජෝර්ජ් අයියාගේ ප්‍රිය බිරිඳ, ජෙනී අක්කත්. ජෝර්ජ් අයියාත්, ජෙනී අක්කාත් මට මුලින්ම මුණ ගැසුනේ ඔවුන් විසින් පැවැත්වූ ප්‍රිය සාදයක ගිටාර් වාදනය කරන්න ගිය ගමනකදී. මුලින්ම මුණ ගැහෙන විට ජෙනී අක්කාට දණහිසටත් වඩා දිග කේශ කල්‍යාණයක් තිබුනා. ඒ විතරක් නෙමෙයි ඇය ඉතාමත්ම මිහිරිව ඒ සාදයේදී ගීත ගායනා කලා. ඉන් පසුව දෙවනුව ඔවුන්ව මට මුණ ගැහෙන්නෙ ජෝර්ජ් අයියා විසින් ඩුබායිහි සංවිධාණය කල ප්‍රථම පැදුරු සාජ්ජයේදි. ගුවන් විදුලියේ හිටපු සංගීත අධ්‍යක්ශක වරයෙක් වන ටියුලින් ජයරත්න මහතා ප්‍රමුඛ වාදන වෘන්දයේ වාදනයේ යෙදෙන්න ජෝර්ජ් අයියා මට ආරධානා කලා. මෙහෙ ජීවත් වන ශ්‍රී ලාංකික මිතුරන් හැම දෙනාටම අමතක නොවන අත්දැකීමක් ලබා දුන් ඒ පැදුරු පාටියෙන් මාස කීපයකට පස්සෙ තමයි ජෝර්ජ් අයියාගේ ජීවිතේ උඩු යටිකුරු වෙන්නෙ. ඒ ජෙනී අක්කා අසනීප වීමත් සමගම.

දින කීපයක පටන් තිබූ හිසේ කැක්කුමක් අවසානයේදී ජීවිතයම අනතුරේ හෙලන රෝගයක පෙරනිමිත්තක් විදිහට ජෙනී අක්කාත්, ජෝර්ජ් අයියාත් හිතුවේ නෑ. එක්තරා රාත්‍රියක ඉතාමත් අසාද්ධ්‍යය තත්වයට රෝහල කරා ගෙනයන ජෙනී අක්කාව පරීක්ෂා කරන දොස්තරවරුන් තීරණය කරන්නේ මොලයේ රුධිර කැටිගැසීමක් පවතින බැවින් ඒ මොහොතේම මොලයේ ශල්‍යයකර්මයක් කලයුතු බවය. ජීවතයත් මරණයත් අතර දෝලණය වූ ඒ මොහොතේ හැමදෙනාගේම වාසනාවට ජෙනී අක්කා අප්‍රමාදවම ශල්‍යකර්මයකට භාජනය කලා. ඒත් ඇයගේ දිගුවන් කේශ කළ්‍යාණයත්, ඇගේ මිහිරි කටහඬත් අහිමි කරන්න ඒ රුධිර කැටියට පුළුවන් වෙලා තිබුනා. ශල්‍යය කර්මයෙන් මාස ගාණක් යන තුරු ජෙනී අක්කාට කතා කරන්නවත්, ඇඳෙන් බහින්නවත් හැකි උනේ නෑ.

අප සැමදෙනාටම ආදර්ශයට ගත හැකි ආදරණීය ස්වාමි පුරශයෙකුගේ භූමිකාවට ජෝර්ජ් අයියා එළඹෙන්නේ එතන සිටයි. ජෙනී අක්කාව නෑවීම, පිරිසිදු කිරීම, කැවීම පෙවීම වැනි රැක බලා ගැනීමේ සියළුම දේවල් තමන්ගේ අතින්ම නොපිරි හෙලා ඉටු කරන ජෝර්ජ් අයියා, ඉතා කුඩා වියේ උන් පුතාටත්, දියණියටත් තාත්තා කෙනෙකු පමණක් නොව, අම්මා කෙනෙකුගෙනුත් ඉටුවිය යුතු සියළුම දේවල් තමන්ගේ කරමතට ගත්තා. ඉතාමත් දිරිය කාන්තාවක් වූ ජෙනී අක්කා අසනීප වෙන විට ගෙදර දොර පාලනය සම්පූර්ණයෙන්ම ඇය විසින් සිදු කලා. ඇය අසනීප වන විට ජෝර්ජ් අයියා අඩු ගානේ ගෙදර විදුලි බිල ගෙවන්නේ කොහොමද, ගෙදර බීමට ගන්නා ජලය ලබාගන්නේ කොහොමදවත් දැන ගෙන හිටියේ නෑ. අඩුම තරමේ ජෝර්ජ් අයියා ඩුබායිහී රියදුරු බලපත ලබා ගැනීමටවත් උනන්දු නොවී සිටියේ ජෙනී අක්කා හට රියදුරු බලපත තිබූ නිසාත් සියළුුම අවශ්‍යයතාවන්ට කාරය පදවාගෙන ගියේ ඇය විසිනුත් නිසාය.

එයින් පසු ගත වූ කාලය කිසිම මනුශ්‍යයෙකුට දරාගත හැකි එකක් උනේ නෑ. ගෙදර 'අම්මා' යන චරිතය එක් තැන් වූ විට තාත්තා කෙනෙක් ඒ භූමිකාව කරන්නේ කොහොමද ? විශේෂයෙන් ඒ සඳහා සූදානම් නොවූ කෙනෙකුට එය කොතරම් නම් අසීරු වනවාද ? ජෝර්ජ් අයියාගේ අපමණ වූ වෙර වීරිය නිසා ජෙනී අක්කා ඉතාමත්ම අසීරු කාලය පසු කර අද වන විට පොලවේ පය තබා ඇවිදීමටත්, හොඳින් වචන හැසිරවීමටත් හැකියාව ලබා තියෙනවා.

ඒ සියළුම දුක්ඛ දෝමනස්සයන් දරාගෙන, සියළුම කැපකිරීම්, අප්‍රහිත ධෛරයකින් ඉටු කරන ගමන්ම ජෝර්ජ් අයියා අසරණයන් වෙනුවෙන් කරන සමාජ සේවා කටයුතු වලටත් කිසිම විටක තිත තැබුවේ නෑ. විටෙක ලංකාවේ අසරණ පවුලක් සොයා ඔවුනට හිසට නිවහනක් තනා දීම, ඉතාමත් දුප්පත් පවුල් කිහිපයකට මාස්පතා වියළි ආහාර සැපයීම, විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් පිරිසකට මාස් පතා මුදලක් පිරිනැමීම, සෑම අවුරුද්දකම අසරණ කුඩා පාසල් සිසු සිවියන් සිය ගණනක් වෙනුවෙන් සියළුම අවශ්‍යය දේවල් (සපත්තු, පෑන් පැන්සල්, කවකටු පෙට්ටි ) සමග පාසල් බෑගයක් පිරි නැමීම වගේ දේවල් එයින් සමහරක්.

ජෝර්ජ් අයියා ගැන කියන්න තියෙන දේවල් සියල්ලම මෙහෙ ලිවීමට ගියොත් මගේ කමෙන්ට් එක මේ පෝස්ට් එකටත් වඩා දිග එකක් වේවි.

ජෝර්ජ් අයියා කලාතුරකින් මෙලොව පහලවෙන ගණයේ පුද්ගලයෙක්. ඉදින්ම ඔහුගේ ඇසුර, ගුරුහුරුකම් ලබන අපි සියළුම දෙනා නිතැතින්ම වාසනාවන්තයෝ නොවේද ?

Luckey said...

මම ඊයෙ පොස්ට් එක කියවලා වීඩියෝ ටික බැලුවට පස්සෙ හිතට ආපු හැඟිම් ටික කොමෙන්ට් එකකට පෙරල ගන්න බැරිව ගොඩක් වෙලා කල්පනා කලා...ඒකට මට ඒ වෙලාවෙ වචන හොයාගන්න බැරි වුන නිසා අද ආයෙත් ආවා..ඒත් අද තියන කොමෙන්ට් ටික කියෙව්වම තව අපිට කියන්න දෙයක් තියනවද කියල හිතෙනවා...

කොහොම වුනත් මේකේ තියන සමහර කාරණානම් හදවතටම දැනුනා.
අද මම මෙතන ඉන්නෙ කා නිසාද / ඒ හැමෝටම මගෙන් වෙන්න ඕන යුතුකම් මම ඉෂ්ඨ කලාද කියලා ආයෙත් හිතන්න මේ පොස්ට් එක මාව පෙළඹෙව්වා..

ස්තූතියි දුකා වටින කියන යමක් බෙදාගත්තට...දුමීටත් ස්තූතියි ජෝර්ජ් අයියගෙ ජීවිතේ තවත් පැත්තක් පෙන්වලා දිලා නොසැලෙන ආත්ම ශක්තිය ගැන පාඩමක් කියලා දුන්නට..

George Aiyah said...

ඇත්තෙන්ම දුමී (දුශාන්) මල්ලී මා හා අප පවුලේ අය ගැන ලියු ඉහත සටහන කියවු පසු මට සිත්වුනේ මා ඔහු, සුභාශ් මල්ලී ඇතුළු ඩුබායි වල ජීවත්වන අනෙකුත් සොහොයුරු, සොහොයුරියන් පිලිබදව, මා ගේ ජීවිත කථාවේ පහත සදහන් දේ ලියුවේ කට කහනවට නොවේ නේද යන්නයි?


" එක්සත් අරාබි එමිරේටයේ ජීවත්වූ වසර 25 ක කාලයක් තුල ඉතාම සුන්දර මිනිසුන් පිරිසක් මට සහ මගේ පවුලේ අයට හමුවූයේ වසර 1992න් පසුව කියලයි මට හිතන්නේ.

ගිය ආත්මයේදී ඔවුන් මගේම සහෝදර සහෝදරියන්ද කියල හිතෙනවා. අපට පසුගිය කාලේ සිදුවුන නොයෙක් දුක් කරදර වලදී ඔවුන් සැම අපත් එක්ක රැඳී හිටියා. ඔවුන් දුන් සහයෝගය නිසා දුකක් කරදරයක් දරාගන්න එක අපට එතරම් අපහසුවක් වුනේ නැහැ. අදටත් ඔවුන් එසේමයි. ඔවුන් වගේ සොහොයුරු සොහොයුරියන් පිරිසක් දැන අඳුනාගන්න ලැබුන එක පිළිඹඳව මම සතුටු වෙනවා. "

George Aiyah said...

සුභාශ් මල්ලී වෙනත් විෂයක් පිලිබදව තවත් බ්ලොග් සටහනක් ලිවීමට පෙර මම කැමතියි තවත් එක් දෙයක් සදහන් කරන්න. මා මාගේ ජීවිත කථාවේ අංශු මාත්‍රයක් පමනයි මා මෙතෙක් ලියා ඇත්තේ. ඒ මා ලියුවේ අප පවුලේ අයගේ අවධානය සදහා පමනක් නිසයි. ඇත්තෙන්ම මාගේ ජීවිත කථාවේ ඉතිරිය, කියවන අයට වඩාත් රසවත් වන්න පුළුවන්. මා ඩුබායි පැමිනෙන විට මට සමාජය පිලිබදව කිසිත් අත්දැකීමක් තිබුනේ නැහැ. මා ජීවිතයේ ප්‍රථම වතාවටයි නිවසින් පිටව තනියම ජීවත්වුනේ. හත්දෙනෙක්ගේ පවුලේ බාලයා ලෙස අම්මාගේ හා තාත්තාගේත් පවුලේ අන් අයගේත් ආදරය රැකවරනය මැද ජීවත්වුන මා ඩුබායි පැමිනි පසු වතුරෙන් එලියට ගත් මාළුවෙක් හා සමානවුනා. තම දු දරුවන්ට ආදරය කල යුතුමුත් ඔවුන්ව අනවශ්‍යය ලෙස පරිස්සම් කිරීමට යෑම ඔවුන්ගේ ඉදිරි අනාගතයට අනිසි ලෙස බල පෑ හැකිය යන්න මාගේ ජීවිතයේ ඉතිරි අන්දරය කවදා හෝ ඔබට කියවීමට ලබුනොත් ඔබටත් හිතේවි.

නිශ් said...

ජෝර්ජ් අයියා ලියමුකො බ්ලොග් එකක් දුකා දුමී උදවු කරයි නෙව.

හා පැටික්කි (MS) said...

පමා වුනා කියවන්න. එදාම දිගහැරගත්තත් නිදහසේ එකදිගට කියවන්න ඕනි නිසා.

බටනලා වාදනය ගැන නම් කියන්න දෙයක් හිතාගන්න බැ. පුදුමාකාර ලස්සනක්.

මාරයියා කිව්වා වගේම හිතට එන හැමදේම අකුරු කරන්න පුලුවන් උනානම්.....!

දුකා said...

නිෂ් . .අපි නිතරම කියනවා බන් . . කිසි සැලකිල්ලක් නෑ . . . අපි තව ටිකක් බල කරලා කියමු නේද

Luckey said...

ජෝර්ජ් අයියෙ, තියන දහසකුත් එකක් වැඩ රාජකාරිත් එක්ක බ්ලොග් එකක් ලියනවා කියන්නෙ අමාරු වැඩක් තමයි.ඒත් අපි වගේ තවමත් අඳුරෙ අතපත ගාන අයට ඔබ වැනි අයගේ ජීවිත අත්දැකීම් වලින් ගත හැකි ආලෝකය අපමණයි...මහා දිග කතාවල් ලියන්න ඕන නැහැ..ඔබේ මතකයට නැගෙන විදියට ඉඳලා හිටලා පුංචි සටහනක් දාලා වටින පාඩමක් අපිට කියලා දෙන්නත් එක්ක පටන් ගමුකො බ්ලොග් එකක්...

සෝරෝ said...

වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනි සුන් ඇත..
ඒ දේවතාවන් දිව්‍යාන්ගනාවන් මනුලෝ තලයේ වාසනාවන්..

George Aiyah said...

බ්ලොග් එකක් ලිවීමට ලැබුන ආරාධනාවට බොහොම ස්තුතියි නිශ් මල්ලිට. මගේ එදිනා දිනයන් ගෙවී යනහැටි හොදින් දන්නා දුකා මල්ලී, මගෙන් එවැන්නක් මෙතෙක් නොලියවුනේ නොසැලකිල්ල නිසා නොවන බව හොදින්ම දන්නවා (ඔහු එම අරුතෙන් එම වචන නොලීව බව මම දනිමි ). බ්ලොග් එකක් ලියන්න නම් පොරොන්දුවීමට නොහැකිවුවත් ඔබ සැම ලියනා දේට සුදුසු සටහනක් නම් ඉදහිට ලියා දමන්න මම පොරොන්දු වෙන්නම්. ඇත්තෙන්ම මම මල්ලිලා, නංගිලා, (අපොයි අමතක වුනා) එතකොට ඔය දුවලා, පුතාලා ලියන ගොඩක් බ්ලොග් සටහන් මම කියවනවා මෙන්ම ඔබලාගේ අදහස් උදහස්ද ඉතා අගේ කරනවා.

George Aiyah said...

හා පැටික්කි ඇතුළු ගොඩක් අය මා මිතුරු ප්‍රසන්නවත් " ප්‍රසන්න " පිලිබදව හිත සතුටින් ලියා ඇති බැවින් මම හිතුවා අපේ බ්ලොග් මිතුරන්ට " ප්‍රසන්නට " කථා කරන්න අවස්ථාවක් ලබාදෙන්න පිලිවන්නම් හොදයි කියා. මොකද මට තෙරුම් ගිය දෙයක් තමා කෙනෙක් සමග (අවංක අය සමග ) කථා බස් කිරීමට ප්‍රසන්නට ඇති කැමැත්ත. ලංකාවට කථා කල මම ප්‍රසන්නගෙන් විමසුවා ඔහුගේ අකමැත්තක් තියෙනවද කියලා මම අපේ බ්ලොග් මිතුරන්ට ඔහුගේ දුරකථන අංකය ලබා දුන්නොත්. ඔහුත් ඒ අදහසට කැමතිවුනා. ඉතින් ප්‍රිය මිතුර ඔහුගේ ජංගම දුරකථන අංකය 0094-718072179

කින්නරාවි said...

මොනවා කියන්නද කියලා හිතා ගන්න බැහැ. හිතේ තියෙන දේවල් විස්තර කරන්න වචන එන්නේ නැහැ. කොහොම උනත් මේ වගේ සොඳූරු මිනිහෙක්ව අපිට අඳුන්නලා දීපු එකට දුකා අයියට ගොඩක් පිං.

පිස්සා පලාමල්ල said...

තමන්ට උදව් කල මිනිස්සු ගැන මෙහෙම මතකයක් තියෙන්නෙ කීයෙන් කී දෙනාටද.... කියන්න දේවල් හුඟයි.. ඒත් වචන වලින් කියන්න අමාරුයි... මගේ ඇස් දෙකට කඳුලකුත් ආව අතර මගදි...

උබල වාසනාවන්තයි බන් ඔහොම මනුස්සයෙක් අඳුරගෙන ආශ්‍රය කරන්න ලැබීම ගැන... මේ ලොකේ සල්ලි පස්සෙ දුවන චරිත අතර ඔහොම චරිත විරලයි

පන්සල් හංදිය said...

පුදුම සංවේදී ලිපියක්, හිතට දැනුනා ........
අපිට ජීවිතේදි මඟ ඇරෙන සමහර දේවල් ආයේ කවදාවත් ගන්න බැහැ ......

චමිල said...

අදයි මේක කියවන්ඩ නිදහසක් හම්බවුනේ. හරිම සංවේදී සටහනක්. ඒ සුන්දර හදවතට මගේත් ගෞරව ප්‍රණාමය !!

Prasanna said...

නුවර පලාතෙ ගෙයක් හදාගන්න දවල් හීන දකිමින් හිටි මට එය සුබසිහිනයක් බවට පත්කර ගැනීමෙ අපේක්ශාව මගෙ හදවතතුල ඇති කළ මා සබැඳි ඔබ ගැන මා හට කල හැකි මා විසින් මෙතෙක් කිසිවෙකු වෙනුවෙන් නොකරන ලද හර්‍දයාන්ගම පැතුම වන්නේ මාගේ අවමගුලට කෙදිනක හෝ සහභාගී වියහැකි ආයුශ ඔබට ලැබෙවා!!! යන්නයි.

Post a Comment

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

Related Posts with Thumbnails