Wednesday, January 26, 2011

අක්කේ උඹට සුභ උපන් දිනයක් . . . !




උඹලගේ වැඩ උඹලම කර ගනිල්ලා කියා
ඉස්කෝලේ අඳින එකම සුදු කමිසය නිල් කලිසම
සෝදන්න වෙලා නැතත් අම්මාට

කලිසම් කමිස සෝදන්න පමනක් නොව
බඹ ගානක් ගැඹුරු ලිඳෙන් වතුර ඇද
පොල් කොස්සෙන් ඇඟ අතුල්ලා නාවන්නත්
ඉවසීමක් තිබූ උඹ . . .

පහල පඩියේ වාඩිවී පොත් පත්තර බලනකම්
උඩ පඩියේ වාඩිවී දණහිස් දෙකෙන් හිරකරගෙන
ඉස් හොරි කැසූ, සනීපෙට ඔලුව අතගෑ උඹ . . .

රෑට රෑවෙන ජාමේ උඹේ ඇඳේ පොරෝන රෙද්දේ
පූස් පැටියා චූටි මල්ලිත් මැද්දේ තියාගෙන
එක ගුලියට ගුලිවෙලා ලෝකේ නැති දේවල් කියෝපු උඹ . . .

තරහා ගිය වෙලාවට නියපොතු වලින් පහුරු ගාපු උඹට
"හිටු තොට හොඳ වැඩක් කරන්න
කුකුල් ගූ ගානවා තුවාලේ මම
තොගේ නියපොතු හැලේවි එතකොට" කියා බැන බැන
පිට හරහට "දෝයි" ගා පහර දී දුව ගියාම
"හිටු තෝව හවසට නාවනකොට
තල්ලු කරනවා ලිඳට" කියා බැනවැදුනු උඹ . . .

අපේ මල් ගස් වල කොල කඩන නංගීට
සාංගම් වී අල්ලගෙන තඩි බා හොඳහැටි
හවසට අම්මගේ දරපොලු පාරවල් වල රස
මාත් එක්ක හවුලේ රසවිඳ බැලූ උඹ . . .

අමු දිවුල් ගෙනත් හිරමනේ දා ගාගෙන
දිවුල් සම්බල් හැදූ
ඇඹරැල්ලා, අඹ, වෙරළු විනාකිරිත් සමඟින්
ගල් වංගෙඩියේ දා කොටා අච්චාරු හදා
හැමෝටම කැන්ද කොලේට ටික ටික බෙදූ උඹ . . .

අවුරුදු දහනමේදී මනමාලියෙක් වෙන්නැයි කියා
මාව දමා ගිය දවසේ
මහ පොලොව හෙල්ලුම් කන තරමට
ඇඳේ පෙරලී කෑ ගසා ඇඬුව තරමට ම

ඊට අවුරුදු විසි එකකට පස්සෙ වුනත්
එලියට ඇහෙන්නේ නැති වුනාට
එදා තරමටම කෑ ගසා අඬන බව
උඹ දන්නෙවත් නෑ අක්කේ . . .


මහා පොලොව දුක් උහුලනවා වගේ
හැම දුකක් වේදනාවක්ම හිනාවෙන් උහුලාන
කිසිම කෙනෙකුට වෛර නොකරන
තරහ කාරයටත් මෛත්‍රී කරන
උඹේ හිනා මූන දකින හැම මොහොතකම
මම ඒත් තවමත් දුකෙන් අක්කේ . . . .

අක්කේ උඹට සුභ උපන් දිනයක් . . . !

30 comments:

  1. ගිය අවුරුද්දේ අක්කාගේ උපන්දිනය දා අපි කතා කර තරමක් නුඹට මතක ඇති යාළු... නන්නාඳුනන එකම දේශයක උන් අපිට දොර විවෘත කළේත් පදපෙලක්.

    පදපෙල මොන තරම් නම් කුලුපඟ ද, සරළද...

    "ඊට අවුරුදු විසි එකකට පස්සෙ වුනත්
    එලියට ඇහෙන්නේ නැති වුනාට
    එදා තරමටම කෑ ගසා අඬන බව
    උඹ දන්නෙවත් නෑ අක්කේ . . ."

    මේ කොටසේ ගැඹුරක් දැණුනි.

    අක්කේ සුභ උපන්දිනයක් වේවා!

    ReplyDelete
  2. නියමයි දුකා. උඹ අක්ක ගැන ලියල තියෙන මේ සටහන දැක්කම අක්කට උඹ වගේ මල්ලියෙක් ලැබුන සතුටට කඳුලක් උනනවා ඇහැ මුලට. මට අක්කල නැතත් අක්කල වගේ උන්න පුංචි අම්මල අර උඩ පඩියෙ වාඩි වෙලා යට පඩියෙ වඩිවෙලා ඉන්න මාව දනිස් දෙකෙන් හිර කරන් දැටි හීනි පනාවෙන් ලේඬි හූරනව මට අදටත් මතකයි බං.

    උඹේ අක්කට සුභ උපන්දිනයක් වේවා !

    ReplyDelete
  3. මට අක්කලා තුන් දෙනෙක් ඉන්නවා මචන්... එකෙකුට ඉන්න ඕන එක අක්කයි... උඹටත් දුකා අක්කලා තුන් දෙනෙක් හිටියනම් බඩුම තමයි..... :D

    ReplyDelete
  4. උඹේ ඇස්වලට විතරක් නෙමෙයි, අපේ ඇස් වලටත් කඳුලක් අරගෙන උඹ උදෙන්ම ඇවිල්ලා....

    උඹවන් සොඳුරු මිනිසිකුගේ ඒ සොඳුරු සොයුරියට සිත් වේදනාවලින් තොර, සාමය, සතුට සහ සෞභාග්‍යය පිරි වාසනාවන්ත උපන්දිනයකට ආසිරි පතන්න අපිත් එක්ක්වෙන්නම්...!

    ReplyDelete
  5. මේ වගේ පෝස්ට් එකකට ප්‍රතිචාර හැටියට යමක් ලියන්ට අමාරුයි, අපේ පුද්ගලික අත්දැකීමක් එක් නොකරනවා නම්.

    ඒ වුණත් මා කැමැති පෝස්ට් එකක් කියලා කියන්ට ඕනැ.

    - Taboo

    ReplyDelete
  6. නියමයි දුකා අයියේ අක්කගේ උපන්දිනයට දෙන්න පුලුවන් හොඳම තෑග්ග තමයි පෝස්ට් එක

    කවදාවත් නොදැක්කා උනාට අපිත් දුකා අයියගේ අක්කට සුබ උපන්දිනයක් වේවා කියල ප්‍රාර්ථනා කරන්නම් ..

    ReplyDelete
  7. ඇත්තටම ඇහැට කඳුළක් ආව මගේ අක්කවත් මතක් වෙලා. සුභ උපන්දිනයක් ඇයට.

    ReplyDelete
  8. මට අක්කලා නැති වුනත් මේ කව් පෙලෙන් කියලා තියෙන දේ සිත්තමක් වගේ ඈඳුනා.. ලස්සනට ලියලා තියෙනවා...

    සුභ උපන්දිනයක් වේවා අක්කට...!!

    ReplyDelete
  9. අක්කාට අපිත් සුබ පැතුවා කියලා කියන්න.

    ReplyDelete
  10. මාරම සංවේදීපැට්දි පෙලක්
    අක්කාට සුභ උපන්දිනයක් වේවා

    ReplyDelete
  11. අක්කේ ඔබට සුභ උපන් දිනක් වේවා...

    ReplyDelete
  12. දුකා අයියාගෙ අක්කට ඔන්න අපිත් සුභ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  13. දුකා මේ කඳුලු ගනින් අක්කට නොවැරදීම පෙන්නපන්

    ReplyDelete
  14. ඔබේ සහෝදරීට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  15. ඔබට සුභ උපන් දිනයක් දුකා අක්කේ !

    ReplyDelete
  16. mama pawle loku eka eth akkala godak innawa
    (nayonge) adatath kellek gana hoda widiyata hithanne akkala nisa. akka nathi giwithe parippu nathi hotel ekatath anthai dukage akkata happy bday

    ME MAGE 1st post eka oyage blog eke mama hithanne

    ReplyDelete
  17. දුකා අයියගේ අක්කට මාත් සුබ පැතුවා කියන්න, එයා ගොඩක් වසනවන්තයි ඔය වගේ මල්ලියෙක් ලබන්න

    ReplyDelete
  18. අක්කේ ඔබට සුභ උපන්දිනක් වේවා !!!!

    ReplyDelete
  19. උදේ ඉඳන් මේ ලිපිය තියාගෙන හිටියෙ මොනාද ලියන්නෙ කියලා හිතාගන්න බැරිව.....

    අක්කට සුභ උපන් දිනයක් වේවා!!!

    ReplyDelete
  20. සහෝදර සහෝදරියෝ ... හිටියාම කරදරේ ... නැතිවාම හිස් බවක් ... ජීවිතය අර්ථවත් කරන සොඳුරු අත්දැකීම් බෙදා ගන්නවාට දුකා බොහොම ස්තූතියි. ඔයාගේ රූප රාජිනියක් වැනි ලස්සන අක්කාට වාසනාව පිරි සුබම සුබ උපන් දිනයක්!

    ReplyDelete
  21. අක්කාට මමත් සුබ පැතුවා කියලා කියන්න.

    ReplyDelete
  22. සුබ උපන්දිනක් අක්කේ...

    හෑමදාම වගෙ දුකා අයිය ඈස් වලට කඳුලු ගේන ලස්සන පෝස්ට් එකක් දාලා... ස්තූතියි

    ReplyDelete
  23. බන්දුල රුවන්පුරJanuary 26, 2011 at 7:48 PM

    මටත් අක්කා කෙනෙක් හිටියා නම් කියනා ඒ පුරවාලිය නොහැකි පුරප්පාඩුවේ සිතුවිල්ල මේ පදපෙලත් සමඟ හීනියට මා ගතත් සිතත් දෙකම හොඳ හැටි වෙලා ගත්තා...

    මල්ලියා මං මල්ලියගේ අක්කට මේ සුබ උපන් දිනයේදී දළදා සමිදූ පිහිට ආරක්ෂාව පතනවා..

    ReplyDelete
  24. බ්ලොග් වලින් ඉස්සරෝම දැක්කෙ දුකා...ඵ්ත් මොනවත්ම ලියන්න තරම් මේ බ්ලොග් ගැන මට දැනීමක් තිබුනේ නැහැ...පහුවෙලා හරි මේවගේ ලිපියකට මටත් එක් වෙන්න ලැබීම සතුටක්...දුකාගේ අක්කට සුබ උපන් දිනයක් වේවා..

    ReplyDelete
  25. අක්කට සුබ උපන්දිනයක් වෙවා!!!

    ReplyDelete
  26. සිහිවුනි මට මගේ අක්කා...
    දෙවසරකින් වැඩිමල් වුනත්..
    මට දෙවෙනි මව වූ...
    ......ස්තූතියි දුකා...

    සුබ උපන් දිනයක් පතමි ඔබ සොයුරියට


    මීට...
    ..අක්කෙක් ඇති වාසනාවන්ත නන්ගියෙක්

    ReplyDelete
  27. අනේ අයියේ ඔයා මෙච්චර හිතට වදින්න ලියන්නේ කොහොමද කියල මට හිතාගන්නත් බැහැ.දෙවියො ඔයාට ඒ වරම උපරිමෙන්ම ලබා දීල තියනවා.මට මේ ගොඩාක් පෝස්ට්ස් කියවගෙන යද්දී ඇහැට කදුලු එන එක නවත්තගන්න බැරි වුනා...

    ReplyDelete
  28. හප්පටසිරි. මම අදනෙ බොලේ මේක දැක්කෙ.

    මටත් අක්කලා එකෙක් මදිවට දෙකෙක්ම ඉන්න නිසා මොනා හරි නොලියාම බැරිවුනා. හිහ්... අනෙ අම්මෝ ඉස්සර අපේ ලොකු අක්කගෙ සැර. මාව නිතරම එක්ස්පෙරිමන්ට් වලට අහු වෙනවා. එක පාරක් ගිනි කූරක් ගහලා ඒක නිවලා පිච්චෙනවද බලන්න මගේ කම්මුලේ තිබ්බා. හපෝයි... ඒකෙ පාර සෑහෙන කල් තිබ්බා. ඇයි ඉස්සර ඉස්කෝලෙ නිවාඩු කාලෙට රාජකීය ගුටි ෆයිට්.ඇත්තටම ගුටි කියලා දෙයක් තිබ්බෙ නෑ.හූරනවා කියලා එකක් තමා තිබ්බෙ. හිහ්...වලිය බේරන්නෙ පොඩි අක්කා.පොඩි අක්කා පනිනවා වලිය මැද්දට.අන්තිමට පොඩි අක්කා තමා අම්බානක් ගුටි කාලා තියෙන්නෙ.හිහ්...ඉස්සර මම ඉස්කෝලෙ ගිහින් එන්න පොඩ්ඩක් හරි පරක්කු වුනොත් පොඩි අක්කා යනවා මගේ පොඩි ඩෙස්ක් එකේ බංකුවත් අරන් ගෙදර සයිඩ් එකේ පිළිකන්නට. ගිහින් හොඳට හරිබරි ගැහිලා වාඩි වෙලා මම එනකම්ම අඩනවා. මම තාම නෑ කියලා.පොඩි අක්කානම් තාමත් එහෙමයි.ඉස්සර යුද්ධෙ කාලෙ කොළඹ බෝම්බයක් පිපුරුවාම පොඩි අක්කා අනිවා කෝල් එකක් දෙනවා.දීලා මට කියනවා ඉක්මනට ගෙදර යන්න කියලා.අම්මටත් කෝල එකක් දාලා කියනවා මට ගෙදර එන්න කියන්න කියලා.එහෙම කියලා එයා ඉන්නෙ බෝම්බ පුපුරණ හරියට බොහොම කිට්ටුවෙන්.හිහ්..හිහ්... මේ ළඟදි මගේ වයිෆ්ගේ අම්මයි තාත්තයි පොඩි කාලෙකට රට ගියා.එතකොට අපි දෙන්න ඉතරයි ගෙදර ඉන්නෙ. සුපුරුදු පරිදි පොඩි අක්කා කතා කළා.කෝල් එක ඉවර වෙන්න කලින් මොකක්ද දන්නවඩ අන්තිමට කිවුවෙ? දන්නෙ නැති කවුරු හරි ගේට්ටුවට ගැහුවොත් ගේටුව අරින්න එපා ගේ ඇතුලටම වෙලා ඉන්න කිවුවා! අනෙ අම්මෝ මමයි වයිෆුයි බඩ පැලෙන්න පෙරළි පෙරළි හිනා වුනා.

    දුකා අයියගේ කවි පන්තිය කියෙවුවමනම් ඇඩෙන්න එනවා. මට මේක සෙට් වුනේ ගොඩාක් කල් ගිහිල්ලනෙ. ඒක නිසා දුකා අයියගෙ අක්කගෙ ඊළඟ උපන්දිනේට තමා විෂ් කරන්න වෙන්නෙ. ඒකටත් මේ වගේම ලස්සන කවි පන්තියක් ලියන්න.

    ReplyDelete
  29. ආදරණිය අක්කට මමත් සුභම සුභ උපන් දිනයක් පතනවා අයියේ... තෙරුවන් සරණයි....

    ReplyDelete
  30. ඔබ ඔබේ වැඩ කුමක්ද? ඔබේ වැඩ උඹට කියා ගන්නා දෙයක් කුමක්ද? Greeting : Telkom University

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails