Sunday, August 15, 2010

හාමුදුරුවනේ දනක් බෙදන්නට හයි හත්තිය නෑ දැන් . . . !



"ට්‍රී. .. . න්"

"හ . . . ලෝ . .. "

"අනේ අයියා ඔයාලා තාම නිදිද . . . සමාවෙන්න ඇහැරෙව්වට"

"කවුද මේ . . . "

"මම චාන්දනී, මංජුලගේ වයිෆ්"

"ආ නංගී . . කියන්න . . ."

"අනේ අයියා අද රිවිර පත්තරේ බලනකොට දැකපු ලිපියක් හින්දයි අයියට කරදර කරන්න උනේ නිවාඩු දවසේ උදේ පාන්දරම . . "

“ඒකට කමක් නෑ නංගී. මොකද්ද සීන් එක”

"අපේ ගමේ අපි දන්න කියන දුප්පත් පවුලක ගෑනු ළමයෙක් ගැන පත්තරේ තියෙනවා දැකලා මම එහාට කෝල් කලා . . .අනේ අයියා ඒ ගෑනු ළමයා කැම්පස් යන කෙනෙක් . . . වකුගඩු දෙකම නරක් වෙලා ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්න ඕන කියලා දැන් හොස්පිටල් එකේලු ඉන්නේ . . ."

"ඒ කියන්නේ දැන් ඔපරේට් කරන්නද හදන්නේ"

"නෑ ඒකට එයාට මැච් වෙන වකුගඩුවක් ලැබෙන පාටක් තියෙනවලු. හැබැයි ඒ වකුගඩුව දෙන කෙනාට ත් රුපියල් ලක්ෂ තුනක්ද කොහෙද දෙන්න ඕන වගේ කතාවක් කිව්වා"

"අද කාලේ මිනිස්සු හරිම අමාරුවෙන්නේ නංගී ජීවත් වෙන්නේ ඉතිං ඒ වකුගඩුව දෙන කෙනාත් ඒ ලැබෙන සල්ලි වලින් පවුලේ අය වෙනුවෙන් මොනව හරි යමක් කරන්න ඉන්නව වෙන්න පුලුවන් . . ඒක නිසා ඒ මනුස්සයා ගැන අහිතක් හිතන්න නරකයි"

"වැඩේ කියන්නේ අයියා ඔපරේට් කරනකම් සතියක්ලට සැරයක් විතර ඉස්පිරිතාලේ යන්න ඕනළු . . එකට එක පාරකට රුපියල් 9000ක් විතර වියදම් වෙනවළු. මේ පවුලේ අය ගැන මම දනන්වා අයියා එයාල එහෙමට වත්කමක් තියෙන අය නෙමෙයි. අපි කට්ටිය එකතු වෙලා කීයක් හරි එකතු කරල යවමුද අයියා . .. "

"හරි මම කැමතියි නංගී"

"තව එකක් අයියා, ඉස්සර ඉඳන්ම මේ වගේ වැඩ ඕගනයිස් කලේ . . ඔයාටම බැරිද මේ වැඩේත් පොඩ්ඩක් ඕරගනයිස් කරලා කට්ටියට කෝල් කරලා වැඩේ කෙරෙන විදිහකට වැඩේ සංවිදානය කරන්න අයියා . .. "

දැනට සති තුනකට පමන කලින් සිකුරාදා උදේවරුවක ලැබුනු දුරකතන ඇමතුමෙන් පසු මුලින්ම මූනු පොතේ මේ පනිවිඩය සියලුම මිතුරු මිතුරියන් හට දන්වා දෙවෙනුව මා දන්නා හඳුනන මීට කලින් මේ වගේ යහපත් කාර්‍‍යන්ට හවුල් වුනු මිතුරනුත් ඊට අමතරව බ්ලොග් හරහා අඳුන ගත්තු මිතුරු මිතුරියනුත් අතර මේ පනිවිඩය බෙදා හැරීමෙන් පසු අද හවස් වන විට මිතුරු මිතුරියන්ගේ කීප දෙනෙකුගේ උපකාරයෙන් මේ වන විට ලංකාවේ මුදලින් රුපියල් 60,000කට කිට්ටු මුදලක් එකතු වී ඇති බව චාන්දනීත් අනෙක් පසින් මුදල් බැර කිරීම සඳහා ගිනුම් අංකය හා සියලු සහයෝගය ලබා දෙන මනෝජ් මල්ලීත් දැනුම් දෙනු ලැබූ විට දැනුනේ සියුම් සතුටක් හා මුසුවුනු වේදනාවක් . . .

ඒ වේදනාව තුලින් මට ඇසුනේ මාලනී බුලත්සිංහල මහත්මිය ගායනා කරපු ගීතයක්.

"හාමුදුරුවනේ දනක් බෙදන්නට හයි හත්තිය නෑ දැන්
ඉස්සර නම් දවසක් ඇර දවසක් පන්සල් එනවා මං
දැන් කොහොමද ලොකු හාමුදුරුවනේ කරන්නේ ඒ වගේ ඉතින්
රස්සාවක් නැති දරුවගේ දරුවොත් රකින්නේ මං නේ දැන් . . . !"

මේ උපාසකම්මා "දනක් බෙදන්නට හයි හත්තිය නෑ දැන්" කියන දෙයින් අදහස් වෙන්නේ ඇය වයසට ගොස් නිසාවෙන් හයි හත්තිය නොමැති බව නෙමෙයි, ඉස්සර කාලේ වගේ නමෙයි දැන් ජීවිතේ පවතින ආර්ථික අපහසුකම් එක්ක ඉස්සර වගේ පිනට දහමට විය පැහැදම් කරන්න ශක්තියක් නැති බව බව මේ ගීතයෙ සිව් වන පදය අහන කොට ම අපට වැටහෙනවා.

මටත් හිතුනේ අපි හැම දෙනාටමත් වෙලා තියෙනෙන මේ දේම නොවේද කියලා . . .

ඉස්සර ඒ කිව්වේ මීට අවුරුද්දකට දෙකකට කලින් මේ වගේ දෙයක් වෙනුවෙන් අපි මුදල් එකතු කරද්දී දැන් වගේ දෙතුන් පාර දුරකතන ඇමතුම් දෙන්න අවශ්‍ය වුනේ නෑ . . .

ඒත් ලෝක මූල‍ය අවපාතය අපි ඉන්න මේ රටට තදින්ම බලපාලා හැමදෙනාගේම වගේ රැකියා අහිමි වෙලා, ගොඩක් අඩු පඩි වලට නැවත් රැකියා සොයාගෙන, ඒ අතරේ රැකියා අහිමි නොවුනු අයගේ වැටුප තදබල ලෙස සීයට ලොකු ගනන් වලින් අඩු කලාට පස්සේ කලින් එක්තරා මුදලකට සරිලන ලෙස ජීවත් වෙන්න හුරුවෙලා ඉඳපු අපි හැමෝම ඊට වඩා අඩු මුදලකට ජීවත් වෙන්න උත්සාහ කරද්දී (වැටුප් අඩු කලාට බඩු මිල වත් බැංකු වලින් අරන් තිබුනු ණය වල වරික මුදලේ වටිනාකම වත් අඩු නොවුනු නිසාවෙන් සහ ලංකාවේ මෙතුවක් කරගෙන ආ නඩත්තු සඳහා යවන මුදල් ප්‍රමානය දිනෙන් දින වැඩි වනවා මිස අඩු වීමක් නැති නිසාවෙන්) මාලනී බුලත්සිංහල මහත්මිය කියන අයුරු ඉස්සර වගේ දන් පින් කරන්න හයි හත්තිය නැති එක ගැන කනගාටු වෙනවා හැර වෙන මොනවා කියලා කරන්නද කියලා හිතෙනවා.

දුමී මට ඔහුගේ හිතවතෙකුගේ (ජෝර්ජ් අයියගේ)පරන ලැප්ටොප් පර්ඝනකයක් ලබා දීපු වෙලාවේ ඒකට ස්තූති කරලා මම මූනු පොතේ දාපු සටහනට රන්දිල් නංගී කියලා තිබුනු "බත් ඇති තැනටමයි කොස්" කියන කොමෙන්ටුවට දුමී දුන්නු "අපි කන හැටි ලිපා දනී" කියන පිලිතුර දැක්කාම මට හිතුනේ ඒක තමයි ලබා දෙන්න පුලුවන් නියම පිලිතුර කියලයි. මොකද ලංකාවේ ඉන්න අය (පිට රටක වැඩ නොකරපු අය ) ගොඩක් අය හිතන්නේ පිට රට ඉන්න අය සුරපුරයක ජීවත් වෙනවා . . . එහෙම නැතිනම් සල්ලි ගස් හිටවලා තියෙන දිහාක ජීවත් වෙනවා . . එයාලට තියෙන්නේ ඕන වෙලාවට ඒ ගහ යටට ගිහින් ගහ පොඩ්ඩක් හොල්ලන එක විතරයි කියලා (අපේ අම්මයි තාත්තයි උනත් හිතන්නේ එහෙමයි )

කොහොමින් හරි අපි අමාරුවෙන් එකතු කර ගත්තු මුදල් එයාලගේ ගිනුම් අංකයට යවන්න හිතලා චාන්දනී නංගී ඒ ගෙදරට ආපහු දුරකතන ඇමතුමක් ලබා දුන් වෙලාවේ ඒ අය කියලා තියෙනවා තව සතු තුනකින් හෝ මාසෙකින් විතර පස්සේ මුදල් ලැබුනත් ඇති කියලා . . .

අහ් තව දෙයක් ඉතාලියේ වැඩ කරන කෙනෙකුගේ තාත්තා කෙනෙක් මහ රෝහලට ගිහින් මේ සොයුරියගේ දුක සැප බලා ඒ වෙලාවේම රුපියල් 15,000ක පරිත්‍යාගයක් කරලා කිව්වලු මූනු පොතේ තිබුනු පනිවිඩේ දැකලා අර ඉතාලියේ වැඩ කරන ඔහුගේ දරුවා කිව්ව කියලා ගිහින් පුලුවන් උපකාරයක් කරන්න කියලා . .. .

ඉතිං ඒක ඇහුවට පස්සේ හා තව සති තුනක්,මාසයක් කල් තියෙනවා කියලා තේරුනාට පස්සේ මම හිතුවා ආපහු පාරක් මේ උදව්වට සම්මාදම් වෙන්න කියලා මගේ බ්ලොග් එකේත් දැම්මොත් පුලුවන් කමක් තියෙන අය කවුරු හරි උදව් කරාවී නේද කියලා . . ..

ඉතිං මගේ ඉල්ලීම ලොකු දනක් බෙදන්නට හයි හත්තිය නැති උනත් තියෙන හත්තියේ තරමින් පොඩි හරි දනක් බෙදන්න කැමති අය ඉන්නව නම් පොඩියක් හිතලා බලන්න . .. .

(ප.ලි. ලංකාවට මෙහෙන් මුදල් යවන්න ඩිරාහ්ම්ස් 15ක් යන නිසා ඒ මුදලත් මෙහේ එක්කෙනෙක් එකතු කරලා එක පාරට යවන්න ත් මුදල් යවලා ඉවර උනාට පසු රිසිට් එක සියලු දෙනාට මේල් කරලා යවන්නත් අපි හිතුවා. . .ඒක නිස (UAE) ඩුබායි, අබුඩාබි ඉන්න තව කවුරු හරි මේකට එකතු වෙන්න කැමති නම් 050-4514671 කියන අංකයට දුරකතන ඇමතුමක් දෙන්න කියලා ඉල්ලා සිටින්නත් කැමතියි.



නයෝමි ගැන සඳහන් රිවිර පුවත්පතේ ලිපිය සඳහා සබඳියාව මෙතනින්

Pic taken from : http://www.dhammakaya.net/events/501104_kathina.php

12 comments:

  1. දුකා අයියා.. මිනිස්සුන්ගෙ හදවත් ඇතුලෙ හැම දෙම තියනවා, එකෙන් මොනවද එලියට එන්නෙ කියන දෙ තමයි වැදගත්, ඉන්නෙ කෙටි කාලයයි, පාරෙ යද්දි ලොරියක් යට කරගෙන ගියෙ නැත්තම් අවුරුදු 70. 80 විතර තමයි ජිවත් වෙන්නෙ. වැදගත්ම දෙ එකිනෙකා වෙනුවෙන් ජිවත් විමයි, සමහර අයට සල්ලි තියනවා, සමහර අයට හැගිම්, ගතිගුණ තියනවා එක එක අයට එක එක දෙවල් තියන්නෙ, කට්ටිය ටිකක් බෙදා ගෙන වැඩ කරන එක පින් නොවෙයි, එක තමයි අපෙ හදවතට කවදා හරි ඉතුරු වෙන්නෙ.

    ReplyDelete
  2. දුකා අයියේ... ඔහොම තමයි ඡිවිත.ඡිවිතයට කොච්චර කරදර වෙනවාද?මම හිතන්නේ මේවා අපේ පෙර කරුම කියලයි.

    ReplyDelete
  3. දුකා, අපි ඔක්කොම එකතු උනොත් මේක කරන්න බැරි වෙන එකක් නැහැ. පුළු පුළුවන් විදිහට එක රුපියල් 100 කින් හරි දායක වෙන්න පුළුවන් උනොත් තව මාසයක් යනකොට සැලකිය යුතු මුදලක් එකතු කරල රටට වැඩ දායක වටින ජීවිතයක් බේරගත්තා කියල අපි හැමෝටම සතුටුවෙන්න පුළුවන් වෙයි. උඹ මේකෙ පෙරමුණේ රාළ වෙලා ඉන්න එකම ලොකු ශක්තියක්.

    ReplyDelete
  4. ලංකා බැංකු අංකය රිවිර පත්තරෙන් ගත්තා. මම හුඟක් වෙලාවට ඔය දකින ඒවයෙ ඇත්ත නැත්ත නොදන්න නිසා දෙයක් කරන්නෙ නැහ. ඒත් මේ සිදුවීම ඇත්ත බව උබේ පෝස්ට් එකෙන් දැන ගත්තා. මහ දෙයක් කොහේ කරන්නද.. ඒත් පුලුවන් මුදලක් ට්‍රාන්ස්ෆර් කරනවා මමත්.

    රට ඉන්න උන් ගැන කියපු කතාව සහතික ඇත්ත බන්. අපි කන හැටි දන්නෙ අපිනේ. විඳින දුක.. ලංකාවෙ ඉන්න අය ඒක හිතන්නෙ නැහ.

    ReplyDelete
  5. ජීවිතේ හැටි තමා....මෙහේ වලකට වතුර පුරවන්න ජනතාවගෙම රන්මසු රිසිසේ විසිකරමින් දඟලන අස්සේ මේවාගෙ අසරණයින් ගැන කවර කතාද?... :(

    ReplyDelete
  6. පිස්සා කියන කතාව පිලිගන්නවා. ඇත්ත නැත්ත දැනගන්න එපැයි මොකක් නමුත්. මේ ගැන නම් යමක් කරනවා...

    ReplyDelete
  7. අපිටත් කරන්න පුලුවන් උදවුවක් අපි කරන්නම් අයියා....

    ReplyDelete
  8. මමත් ගත්තා ලංකා බැංකු අංකය.... අපිත් මොනව හරි කරමු මචන්.... හෙට උදේම මමත් උදව්වක් කරන්නම්.... දන්න උන්ටත් කියන්නම්

    ReplyDelete
  9. අපිත් පුලු පුලුවන් විදිහට උදව් කරන්නමකෝ !!!

    ReplyDelete
  10. මගේ දායබර යාලුවනේ . ..

    මට හරිම සතුටුයි . . . .

    ඇත්තෙන්ම අපේ එක රුපියක් සීයක් හරි ඒ අසරණ මිනිස්සුන්ට ලොකූ දෙයක් මම හිතන විදිහට . ..

    අනික අර කතාවක් අහලා තියෙනවානේද "අඳුරට නිගා කරමින් නොසිට එක පහනක් හෝ දල්වා ලන්න" වගේ තේරුමක් තියෙන උපහරණායක් . .

    එහෙම එකේ අර වතුර පුරෝන ඒවාට කෝටි ගනන් වියදම් කරන ඒවාට හතර අතට බනින ගමන් අපිට පුලුවන් විදිහකට මේ වගේ දේකටත් හවුල් වෙන එක මහා ලොකු පිනක් (හිතට සතුට දැනෙන දෙයක් - මම පින කියන දේ හඳුන්වන්නේ එහෙමයි)

    ReplyDelete
  11. අර කිව්ව වගේ ඇත්ත නැත්ත දැනගන්නකම් මුකුත් කරන්න හිතෙන්නැති එක නම් ඇත්ත... ඇත්තටම උදව් අවශ්‍ය කරන අය හොරුන්ගෙන් වෙන් කරල අඳුරගන්න අමාරු මේ වගේ කාලෙක එවන් උපකාරයක් ඇත්තටම ඇවැසි අයෙක් ගැන අප දැනුවත් කර මේ පින්කමට අපටත් දායක වෙන්න අවස්ථාව ලබා දුන් ඔබට පින් දුකා අයියේ...

    හැකි උපකාරයක් කරන්න සැබවින්ම උත්සාහ ගන්නවා...

    ReplyDelete
  12. දුකා අයියේ, මායි කහකිරිල්ලියි අපිට පුළුවන් හැටියෙන් ඔය පින්කමට දායක වුණා.. ඒ වගේ පින්කමකට අපවත් දායක කරගත් අයියට ගොඩක් පින් !

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails