

මේ දුර්ග තරණය පොතේ පසු කවරයේ කතාවයි . .
මජරයෙකු හා දීග යාම නිසා සැහැසි ලෙස තම පවුලෙන් කොන් වී, පතොක් ගාලක තම කුටුම්බය අටවා ගන්නා ඇග්නස්, පවුලේ දැවැන්තයින් අභිබවා ජීවිතයේ ජය කෙහෙලි නංවන්නේ මත් වතුර හෝ නිරුවත හෝ වණික් කර්මයේ ගොදුරු බවට පත්කොට නොවේ.
ඈ අලෙවි කලේ මානව දයාවේ ගුණ සුවඳ හා ස්ත්රීත්වයේ අව්‍යාජ සෙනෙහසයි.
දෘඪතර අධ්‍යාත්මික සංහිඳියාවකින් ඔප් නැඟුනු අකපට ලාංකීය ගැමි ජීවිතයේ දයාර්ද කුටුම්බය සතු තීරනාත්මක සාධකය වන ගැමි කාන්තාවගේ තථ්‍ය ප්‍රතිමූර්තියක් වූ ඇග්නස් ගේ සුසුම් අන්දරය ඇගේම ලේ කඳුළු මුතුකැට බවට පෙරළා රන් හුයක අමුණා ප්‍රවීන ලේඛක "තිලක කුඩාහෙට්ටි" තවත් අභිමානවත් පියවරකින් ඔබ හමුවට එන්නේ ඔහුගේ නවතම සුන්දර නිර්මාණය වූ "දුර්ග තරණය" නවකතාවද සමඟිනි . . . !
. . . . . . . . . . .. . . . . .
සත්‍ය සිදුවීම් මාලාවක්
"අක්කේ අක්කේ . . අවුරුදු දවසට අලුත් ඇඳුම් අඳින්නම ඕනද?"
"නෑ නංගියෝ . . කවුද එහෙම කිව්වේ"
"පුංචි අම්මලගේ ගෙදර අය යි කිව්වේ. බොරු නම් අයියගෙන් අහන්න"
"ඔව් අක්කේ, නිශාන්ත මල්ලියි, අනෝමා නංගීයි කිව්වේ. එයාලයි තාත්තා අරන් දුන්නු අලුත් ඇඳුම් විතරක් නෙමෙයි පොඩි මාමත් එයාලට අලුත් ඇඳුම් අරන් දුන්නා කිව්වා"
"අලුත් ඇඳුම් වෙන්න ම ඕන නෑ, පිරිසිදු ඇඳුම් ඇන්දම හොඳටම ඇති. අනික අපේ තාත්තට සල්ලි නෑ නේ අලුත් ඇඳුම් අරන් දෙන්න. සල්ලි හම්බු වුනු ගමන් අම්ම අරන් දෙයි හොඳේ"
"හා"
"ඔයාලට දුක හිතුනාද අනිත් අයට තියෙද්දී ඔයාලට අලුත් ඇඳුම් නෑ කියලා"
"අපෝ නෑ"
. . .
"අම්මේ මට හැමදාම මේ පැට්‍රොල් මැක්ස් ලාම්පුවට හුලං ගහන්න බෑ"
"බැරි නම් චිමිනි ලාම්පුයි, කුප්පි ලාම්පුයි පත්තු කරගෙන පාඩම් කරපන්"
"ඇයි අම්මේ ආච්චිලගේ ගෙදර ඔච්චර ඉඩ තිබිලත් අපි මේ ලයිට් නැති ගේක කුලියට ඉන්නේ. අපිට බැරිද එහේ යන්න"
"ඔය මම සල්ලි නැති මිනිහෙක්ව මගේ කැමැත්තෙන් කසාද බැන්දා කියලනේ. පවුලේ අනෙක් අයට ඉඩම් අරන් දීලා ගෙවල් දොරවල් හදලා දුන්නා. මට කිසි දෙයක් නෑ"
"අපි පොඩි මාමට කියමු අපිට ගෙදරින් කෑල්ලක් දෙන්න කියලා"
"අනේ අපිට ඕන නෑ බං ඒවා. අපි මේ ඉන්න විදිහට ඉමු. අපිටත් කවදා හරි හරි යන්නේ නැතැයි"
. . .
"පුතේ ඔය දර ටික කුස්සියට දාලා බත් ටිකක් කාල පලයන්”
“ආච්චී අම්මේ කෝ විමර්ශා නංගීයි මල්ලිලයි ??”
“රම්‍යා නැන්දා උයලා තියලා ළමයිත් අරන් ඔය කොහේද මන්දා ලොකු ටියුෂන් පන්තියකට යනව කියල ගියේ."
"දර ටික දාලා ඉවරයි ආච්චී අම්මේ. කන්න ඕන නෑ, මම ගෙදර ගිහින් ම කනවා"
"උඹලගේ නංගී ත් ආව දැං ටිකකට කලින්. ඒකිටත් බත් කන්න කිව්වම බෑ කියලා ගියේ ඔන්න"
"අම්ම උයල තියලා වැඩට ගියේ"
"මොනා නැතත් උඹලට උඹලගේ අම්මගේ වගේ මහන්තත්තේ නම් තියෙනවා"
. . .
"අයියේ
ඔයාගේ අලුත් ගෙදර මම දවසක් අම්මලට හොරෙන් ගියා. ඒක තාත්තට අහුවෙලා ආයේ ගියොත් මගේ කකුල් කඩනවා කියලා බැන්නා. අපේ අම්මයි තාත්තයි, පොඩි නැන්දලගේ ගෙදර අයයි හැමෝම උඹලා තුන්දෙනා අලුත් ගෙවල් හැදුවා කියලා හරිම ඉරිසියාවෙන් ඉන්නේ.
සුදු නැන්දව මතක් කලා කියන්න. එහේ ආපහු යන්න බැරි එකට තරහා වෙන්න එපා කියන්න.
මීට විමර්ශා නංගී "
. . . .
"අයියේ මාර වැඩේ හලෝ"
"ඇයි"
"මම පොඩි උන් දෙන්න එක්ක තනියෙම මගේ කාර් එකේ පන්සල් ගිය ගමන් ආච්චිලගේ ගෙවල් පාරෙන් ආවේ. නිකමට ආච්චීව බලන්න කියලා ගියා. ඔක්කෝම හෙන ඉරිසියාවෙන් වගේ මගේ දිහා බැලුවේ"
"තමුසේ ෂෝ දාන්න ගියා කියලා හිතන්න ඇති"
"නෑ හලෝ, අක්කලත් ගිය සුමානේ ගියා කිව්වම මටත් යන්න හිතුනා. රම්‍ය නැන්ද කියනවා අක්කගේ ළමයි ටික අපි තුන්දෙනා වගේ හැමෝටම ආදරේ කරන්න මනුස්සකමින් සලකන්න උගන්වලා තියෙනවා කියලා. පුදුමයි"
"මේකනේ නංගී, අපි නැති බැරි කාලේ වත් කාටවත් ඉරිසියා කලේ නෑ. අපේ අම්ම ඒ අයට බැන්න මිසක් අපිට කිව්වේ තරහා මරහා තියා ගන්න එපා කියලනේ"
. . .
"පුතා මෙන්න විමර්ශා ඔයාට එවපු ලියුමක් ඔයාගේ වෙඩින් ඉන්විටේෂන් එකට රිප්ලයි එකක් විදිහට"
"දයාබර අයියේ
ඔයාගේ වෙඩින් ඉන්විටේෂන් එල ලැබුනා.
උඹලා හැමදාම වගේ මුල අමතක නොකර තරහ මරහ පිරිමහන්නේ නැතුව හැමෝටම වෙඩින් එක කියපු එක ලොකු දෙයක්.
ඒත් අපේ ගෙදර අයට නම් ඒවා දිරවා ගන්න තාම අබෙ විශෙෂයෙන් උඹේ වෙඩින් එක ෆයිව් ස්ටාර් හොටෙල් එකක තියෙන බව දැක්කම අපේ කස්ටියට තවත් මල.
මට එන්න විදිහක් නෑ අයියේ ආවොත් මට ගෙදට ඉන්න බැරි වෙනවා.
උඹ තරහා වෙන්න එපා ඒකට.
මද්දු මහප්පා ගේ පවුල ආච්චී අම්මව බලන්න අපේ ගෙදර ආපු වෙලාවක අපේ තාත්තා කිව්ව උඹේ වෙඩින් එකට එයාල ගියොත් අපේ ගෙදර අය රොෂාන් අයියගේ වෙඩින් එකට එන්නේ නෑ කියලා.
ලොකු අම්මා කිව්ව උයා නාවට කමක් නෑ මට පුංචි අක්කගේ කොල්ලයි, කෙල්ලො දෙන්නයි පුංචි අක්කයි ඊට වඩා වටිනවා කියලා.
හොඳ වැඩේ.
උඹලාට තව තවත් හරියන්න කියා ප්‍රාර්ථනා කරන මම
විමර්ශා නංගී
. . .
"ඇයි අම්මේ මේ මිනිස්සු අපිත් එක්ක මේ තරම් තරහා?? ඉරිසියා??? මේ අය ඒවා යනකොට ගෙනියන්නද??? අපි නැති බැරි කාලෙත් කිසි කෙනෙකුට කරදරයක් කලේ නෑ අපිට පුලුවන් තරමින් ළමයෙකුට අකුරක් ඉගන්නුවා මිසක්, උදව්වක් කලා මිසක්. ඒත් ඇයි මේ මිනිස්සු මේ තරම් කුහක???"
"වෛරය ක්‍රෝධය වගා කරන අය ඒවම නෙල ගනී බං . . අපි ඔන්න ඔහේ පුරුදු විඩිහට කාටවත් වෛර නොකර, ඉරිසිය නොකර,කුහක නතිව ඉමු"
. . . .
දශක ගනනාවකට ඉහත සිදුවූ සිදුවීම් මාලාවක් ලෙස ලියා ඇති මේ පොතේ කතාවත් දශක දෙක තුනකට මෙපිට මෑත කාලයේ සිදුවූ මා දන්නා සත්‍ය සිදුවීම් මාලාවත් එකිනෙක සමපාත වූයේ නොසිතූ විරූ අයුරින්.
රාත්‍රී 12.30 ට පමන කොටසක් කියවා ඉතිරිය පසුව කියවමියි අදිටනින් අතට ගත් පොත කියවා නිමා වූයේ පසුදා පාන්දර 5ට පමන.
රෑ මැද්දේ බිරිදඟේ මැසිවිලි . . . "විකාරද මන්දා " . . . "නිදි මත නැද්ද? " . . "ලයිට් ඕෆ් කරලා නිදා ගන්න පිස්සු නතුව ". . . වලට හිනාවකින් විතරක් පිලිතුරු දී පොත කියවා නිමා කර උදේ පාන්දර නින්දට ගියේ
"මේ කතාව සත්‍ය කතාවක්ම විය හැකි නොවේදෝ" කියා සිතමින් සහ
අවෛරය, කරුණාව, මෛත්‍රීය, දයාව හා ඊර්ශ්යාවෙන් තොරවීම සැබෑ ලෙසම දියුනුවට ඉවහල් වෙනවා නොවේදෝ සිතමින් . . .