UAE Sri Lankans Events

Wednesday, December 30, 2009

ජීවිතේ සුන්දරද මෙතරම් . .. !! 3 වෙනි සහ අවසාන කොටස



කලින් කොටසින් . ..

"ස්වාමියෙකුට තමන්ගේ බිරිඳ ගැන මිතුරෙකුගෙන් හෝ තෙවන පාර්ෂවකරුවෙකුන් එවැනි ගුණවැනුමක් අසන්න ලැබෙනවාට වඩා වෙනත් සතුටක් ලැබිය හැකිද . . . ?"

පලමු කොටස

දෙවන කොටස

. . . . .

"උඹල දෙන්න වලි දාගන්නේම නැද්ද" නෂීම් ගේ දෑසේ ලියවී ඇත්තේ ප්‍රශ්නාර්ථයක්. . . !

"නැත්තේ මොකෝ . . . මාසෙකට සැරයක් විතර පොඩි වලියක් යනව . . . හැබැයි ඒවා ඉතාම සුළු වෙලාවයි . . . පස්සේ දෙන්නම යාළුවුනාම ඒක ගැන කතා කරලා ඉන් පස්සේ ඒ වැරැද්දටම වලියක් නොයන්න ඒ වැරැද්ද හදා ගන්නවා . . "

"කොච්චර ශෝක්ද මචං . . . " එසේ කී නෂීම්ගේ දෑසේ වේදානත්මක බැල්ම දිගේ මගේ හිත යලිත් වරක් දිව ගියේ අතීතයට . . ..

රාජකාරී බහුල සතියේ දිනෙක සවස 4ට පමන මගේ ජංගම දුරකතනය නද දෙන්න පටන් ගත්තා . . . .

"හලෝ . . . තිලාෂ් හිය . . "

"තිලා මම නෙල්කා . . . මගේ මොබයිල් එකේ බැටරි ඩෙඩ් . . තාම මම ඔෆිස් එකේ බං . . . . මචං ,මට අද රෑට කොන්ෆරන්ස් එකකට යූ.කේ යන්න වෙලා . . . නිරෝෂ් ඊයේ සිංගපෝර් ගියා බිස්නස් වැඩ වගේකට . . . අයියත් ඩවුන් සවුත් ගිහින් එන්නේ හෙට උදේට . . . උඹට පුලුවන්ද මාව එයාර්පෝර්ට් එකට ඩ්‍රොප් කරල එන්න . . . "

"හරි . . කීයටද එන්න ඕන . ."

"මම දැන් පිටත් වෙනවා . . උඹ අපේ ගෙදරට හයට වරෙන් . . ."

ඈ මගේ උසස් පෙළ කරන සමයේ සිටන් හොඳම මිතුරියක් වූ නෙල්කා . . . සවස හයට ඇගේ නිවසින් වාහනයට නංවාගෙන . . . තොර තෝංචියක් නැතුව අපේ මිතුරු මිතුරියන්ගේ විස්තර . . . කාර්‍‍යාලීය විහිළු . . . පැරනි රසාංග . . . මේ සියළුම දේ සමඟ කාලාය ගැන වැටහීමක් නැතුවම එයාපෝර්ට් ගිය මට නිලූට දුරකතන ඇමතුමක් දෙන්න පවා මතක් වූයේ නෙල්කා එයාර්පෝර්ට් එකට ඇරලවා යලි එන ගමනේදී . ..

"ඩාලිං මට හදිස්සියේම නෙල්කාව එයාර්පොර්ට් එකට දාන්න යන්න වුනානේ . . ."

"හ්හ්හ්හ්ම්ම්ම්ම්ම්"

ප්‍රතිචාරය යහපත් නොවන බව දැනුනත් මා ප්‍රමාද වැඩි බව දැනුනු බැවින් සෙමින් දුරකතනය විසංධි කල මා වැඩි වේගයකින් රිය පැදවූයේ වාහන තදබදය අඩුවූ නිසාවටත් වැඩිය පරක්කුව ඇගේ කනස්සල්ල තව වැඩි කරාවී යයි උපන් සිතුවිල්ලෙන් . ..

වෙනදා මෙන් ගේට්ටුව විවර කල පසු සුහද කතා බහකට නිමේශයක් නොගෙනම නිලූ ගේ ඇතුලට ගියේ සිනා රහිත මූනෙන් . . .

"සඳ මුවා වෙලා . . වැහි වලාවකින් . . වාගෙයි ඔබෙ වත මේ ගිනි ලන කතරේ . . . " ඇගේ තරහ නිවන්නේ කෙසේදයි සිතමින් වාහනයෙන් බැස්ස මා . . . පසුපස නොබලා ගෙට යන ඈට ඇසෙන්න මා ගීයක කොටසක් ගායනා කලා . . .

නාන කාමරයට වැදී ඇඟ සෝදාගෙන සැහැල්ලු ඇඳුමක් ඇඟලාගෙන මා සාලයට ආවේ ඈ තරහා වී ඇති නිසා කතාබහ කිරීමට කෙනෙක් නැති කමින් බොරුවට පොතක් බලන බවක් අඟවන නියායක් ඈට පෙන්වීමට සිතා පොතක්ද අතේ රඳවාගෙන . ..

සැටියේ වාඩිවී බොරුවට පොත කියවමින් සිටි මා අසල ස්ටූලය මත තේ එකා තබා යන්න පැමිනි ඈ . . . මට රිදවීමට ඈ දන්නා පහසුම මඟ හෙවත් නන්දා මාලනීගේ ගීයක කොටසක් ගායනා කරමින් ගියේ නන්දාගේ සමහර ගී මගේ හද පාරන බැව් ඈ හොඳින්ම දන්නා නිසාවෙන් . .. .

"මා හඬනා කඳුළු ගලා . . සැදුනු කඳුළු සාගරේ . . . ඔබ ඇය හා ඔරු පැද පැද . . සිනා සුනේ ඇයි . . . සිනා සුනේ ඇයි . . . "

නෙල්කාත් මාත් අතර මිතුරු කමින් එහා යන කිසිදු සබඳ කමක් නැති බව . . . මිතුරු මිතුරියන් අතර එවැනි කිසිවකට ඉඩක් නොමැති බව මා මෙන්ම මිතුරි මිතුරියන් රැසක් ඇසුරු කරන ඇය දන්නා බව මා දන්නා නමුත් ඈට හදිසියට වෙනත් ගැලපෙන ගීතයක කොටසක් සොයා ගැනීම අපහසු වූ හැඩයි කියා මා සිතුවා . . .

ඊට ගැලපෙන පිළිතුරු ගීතයකට ගී ඛන්ඩයක් ගැන සිතමින් සිටි මගේ මුවට නිතැතින් පැමිනියේ මගේ ප්‍රියතම ගායකයාගේ ගීයක මැද කොටසක් . . .

"දෙන්නා උන්නේ . . රන් රස සේ පෙම් අරනේ . . . ආදරේ තාරකා සෝ වලාවේ හැංගුනේ . . . . . . . කැන්දා රන්දා රජ දහනේ පෙම් රජ දහනේ . . ඈ සිතේ මා කෙරේ මෝදුවේවා ආදරේ . . . "

විනාඩි කිහිපයක නිහැඬියාවකට පසු හිස් තේ කෝප්පය ගෙන යාමට නිලූ පැමිනියේ නන්දාගේම ගීයක පදවැලක් මුමුනමින් . ..

"මිදි යුෂ යැයි රැවටී හලාහල විෂ බිව්වේ ඇයි මා . . . පෙම් දැල මැද පැටලී සුසුම් ලා මුලා වුනේ ඇයි මා . . . "

අම්මෝ ඒක නම් බරපතල වැඩී කියා සිතූ මා මගේ ඉදිරියෙන් යාමට පැමිනි නිලූ පා නගද්දීම මගේ කකුල දිගු කලේ ඇගේ ගමන් මග හරස් කිරීමට සිතාගෙන . . .

මා එසේ කරාවීයැයි පූර්ව නිගමනයකින් පැමිනි සේ බොරුවට වැටෙන්න යන බවක් අඟවා ඈ මගේ ඔඩොක්කුවේ ඉඳගත්තේ මගේ බෙල්ල වටා අත යවා තදින් අල්ලා ගනිමින් . . .

"මොකෝ මේ තරහා කාරයෝ තරහා කරයින්ගේ ඔඩොක්කුවේ ඉඳගෙන . . . "

"තරහා කාරයෝ මොකෝ තරහා කාරයෝ යනකොට කකුල් මාට්ටු දාන්නේ . . . "

"කකුල් මාට්ටු දැම්මයි කියලා ඔහොමත් ඉඳ ගන්නවාද තරහා කාරයෝ ලඟ . . ."

"මේ හලෝ . . අනිත් දවසේ රවුම් ගහන්න යන කොට හවස හතේ ඉඳන් ගේට්ටුව ගාව බලන් ඉන්න කෙනාට කෝල් එකක් දෙන්න මතක් කර ගන්න . . . "

"අනේ සොරි ඩාලිං . . දන්නැද්ද . . නෙල්කාගේ කෝච්චියට හපන්නේ මගේ කෝච්චිය . . . ඉතින් නිකමට වත් මතක් වුනේ නෑ . . අයි ඇම් සෝ . .. .. සොරි ඩාලිං . . . "

"නෑ නෑ මම දන්නවා . . මගේ හිත රිදුනේ ඔයා නිකමට වත් කෝල් එකක් දීලා කිව්වේ නැති එකට. මම එලියට වෙලා මදුරුවෝ කකා පැය භාගයක් විතර බලන් හිටියා . . ඩ්‍රයිව් කරන ගමන් වෙන්න අති කියලා හිතලා මම කෝල් කලෙත් නෑ . . "

"හරි . . අනිත් දවසේ මෙහෙම කරමු . . මම එන්න පැය කාලක් පරක්කු වුනොත් ඔයා මට කෝල් කරන්න . . . මම වෙන ගමනක් යන ගමන් නම් ඔයාට කියන්නම් . . එතකොට ඔයාගේ හිත රිදෙන්නේත් නෑ . . . දෙන්නටම සින්දු කෑලි මතක් කර කර දුක් විඳින්න ඕනත් නෑ . . ."

. . .. . . . .. .

"ගොඩක් පවුල් වල වෙන්නේ මචං . . . කාගෙන් හරි පොඩි අතපසුවීමක් වුනොත් අනිත් කෙනා හිතනවා අහ් . . අරයා මේ වැරැද්ද කලේ හිතලා මතලමයි මට රිද්දන්න . . . " මගේ තනියෙන් හිනාවෙන මූන දිහා බලං හිටපු නෂීම්ට මම කිවේ බැරෑරුම් මුහුනක් මවාගෙන . . .

"පැමිනිලි කාරයා විසින්ම විත්ති කාරයාව චෝදිතයා කරනවා . . ??" නෂීම් ඇසුවේ නලල රැලි කරගෙන . . .

"ඔව් . . පස්සේ පැමිනිලි කාරයාම නඩුකාරයා වෙලා චෝදිතයා වැරදිකරුවා වෙන්න නඩුව විසඳලා දඬුවමුත් කරනවා . . . "

"විත්තිකාරයා දන්නෙත් නෑ තමා මොන වරදකටද මේ දඬුවම් විඳින්නේ කියලා වත් . . . " කියා නෂීම්ගේ කටින් පිට වනවාත් සමඟ අපේ මහා හඬින් පුපුරා ගිය සිනාව එළියට නෑසුනේ වැසූ වීදුරු නිසාවෙන් . . .

"මේ ඒක නෙමෙයි . . නිලූට කෝල් එකක් දීල බලනන් ඕන නැද්ද පොඩ්ඩිට කොහොමද කියලා . . . "

"උඹ දන්නවනේ මගේ යාළුවෝ කියන කතාව . . මගේ ලඟ නිදා ගත්තු උන් කියන්නේ මාත් එක්ක නිදා ගන්න එක හරියට සිංහ කූඩුවක නිදා ගන්නවා වගේ කියලනේ . . ඉතිං එයා දන්නවා රෑ තිස්සේ හරි හමන් නින්දක් නැතුව ඉන්න එයා දවල්ට නිදහසේ නිදා ගත්තාවේ කියලා හිතලා මම කෝල් නොකරන බව . . . විශේෂ උවමනාවකට ඇර"

. . . . . . ..

අපේ කෑගළු ගමන සාර්ථක වූවා . . . ඉතා වෙහෙස මහන්සියෙන් දිවා රෑ නිදි නොලබා සකස් කල කෑගල්ලේ ඉදිවන විශාල හෝටලයක "ඉන්ටීරියර් ඩෙකරේෂන්" කොන්ත්‍රාත්තුව අපේ සමාගමට ලබා දීමට හෝටලයේ පාලනාධිකාරිය තීරනය කරනු ලැබුවා . . . ඉතිං මේ ජයග්‍රහනයේ කොටස් කාරියක් වූ ඇයට නොදන්වා සිටින්නේ කෙසේද . . . මා නිවසට දුරකතන ඇමතුමක් ලබා ගත්තේ ඉපිලී යන සතුටින් . . .

"නිලූ . . . . ප්‍රොජෙක්ට් එක අපිට ලැබුනා . . . අපි ඉන්ටීරියර් ඩෙකරේෂන් ප්‍රොපොසල් එකට හදපු ප්‍රසන්ටේෂන් එක නියමෙට වැඩ කලා . . . "

"අම්මෝ ඇති යාන්තම් . . . සුභ පැතුම් සුභ පැතුම් . . . මම බයේ හිටියේ ඔයා සති ගානක් රෑ නිදිමරාගෙන වෙච්ච මහන්සිය අපතේ යයිදෝ කියලා . .. "

"ඇයි මම විතරක් . . ඔයත් කොච්චර නිදි මැරුවද . . . හැමදාම ඔයත් මාත් එක්ක ඇහැරගෙන හිටියනේ . . . "

"ඒ වුනාට ඔයාගේ මහන්සියනේ . . "

"ඇයි ඔයාත් මහන්සි වුනේ . . මේකේ ක්‍රෙඩිට් එක ඔයාටත් යන්න ඕනි . . මම හැමදාම කියන්නේ . .. හැම සාර්ථක මිනිහෙක් පිටිපස්සේ ඉන්නේ ගෑනියෙක් කියන දේ හරියටම හරි කියලා . . . "

"හෝව් හෝව් කුකූ . . . . හැම සාර්ථක මිනිහෙක් පිටිපස්සේ වගේම හැම අසාර්ථක මිනිහෙක් පිටිපස්සේ ඉන්නෙත් ගෑනියෙක් හොඳේ . . . හි හි හි . . . ආ මේ දැන් දෝනිට හොඳයි. එයා දැන් මෙච්චර වෙලා මාත් එක්ක සෙල්ලම් කර කර හීය . . . ඔයා හෙමීට එන්න නෂීම් එක්ක . . "

"බුදු සරණයි . . .!!"

නිලූගේ හිනාවට සම්මාදම් වුනු මම ඉක්මනට සංවාදය නිමා කලේ ගෙදරට එන්න තියෙන හදිස්සිය නිසාවෙන්මයි . . .

"අවිස්සාවේල්ල පාරෙන් යමු නේ තිලා . . . අවිස්සාවේල්ලට යන කම් මාම් ඩ්‍රයිව් කරන්නම් . . උඹ එතන ඉඳන් ගනින් . . "

"හරි එහෙනම් ඔන්න මම සින්දුවක් අහන ගමන් පොඩි නින්දක් දාන්න හදන්නේ" කියා අමරදේවගේ ගීත අඩංගු තැටියක් වාදනය වෙන්න දම ආසනය ඇල කරගෙන දෙනෙත් පියා ගත්තා . . .

. . . .

තාත්තා වුනත් මා බත සරි කරන
අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින . . . //

මට පෙර උරුම ආලය දරු කැලට දෙමින් . ..
රෑ දාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින් . . .
ඔබ දුටු මුල් දිනේ වත් හද නොනැඟි පෙමින් . . .
උතුරයි මසිත තව නුඹ වෙත තුරුළෙ වෙමින් . .

බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ . . .
අතදරු පුතුගේ මුව කමලේ ඇත නිබඳ . . .
අම්මා කෙනෙක් මිස නුඹ මගේ බිරිඳ ලෙස . .
නොහැගේ ලඟින් හිද මගේ හිස සිඹින සඳ . .

තාත්තා වුනත් මා බත සරි කරන
අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින . . . //

අමරදේව මහතාගේ ගීතය මගේ සිතට ගෙනාවේ පුදුම සුවයක් . . . .

ජීවිතේ සුන්දරද මෙතරම් . . . මගේ හිත පාවෙලා යනවා වගේ මට දැනුනේ . . .

Saturday, December 26, 2009

සමුගැනීමේ සාදය . . . . . . !



දෙදාස් හය ජූනි විසි හය . . . . අළුත් කන්තෝරුව
ලේසි නෑ ඔතන බං . . . .ඔළුව උස්සන්න නම්
සුද්දෝ විතරක් ම නම් . . . . කමක් නෑ අපේ අය
කමක් නෑ මගේ මිතු . . . . යාපායියා නොබලාද
. . . . . .
හදේ දැල්වෙන ගින්න . . . කමිසයෙන් වසාගෙන
මැඩ්ලින් ගසන පා . . . . වෙර දරා කෙලින් කර
රිසෙප්ෂන් බ්‍රෙනෙල්ඩගෙ . . . . තඩි පස්ස නොබලාම
ඇතුලටම ගිය සඳට . . . . සිනා පිරි කටවල්නෙ
. . . . . . .
ආ මල්ලි කොහොමැයි . . . . සුභ උදෑසනක් උඹට
අපි මේ උඹ එනකම්ම . . . . මග බලාගෙන හිටියා
අරුණයියගේ වචන . . . . . සියොලඟම ගල් කලා
බුර බුරා නැගුනු ගිනි . . . . .අළු සමඟ සේදුනා
. . . . . . .
එදා සිට මෙදා තෙක් . . . . නුඹ මගේ සෝයුරෙකි
නුඹ මගේ බොස් වුවත් . . . . ගුරුතුමෙකි, පියතුමෙකි
අනේ අරුණයියා මේ වැඩේ දන්නෑ නේ . . . . කලින් කරලත් නෑ නේ
හරි මචං සුළු දෙයක් . . . . මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙමයි
අද රෑට මේක මම . . . . ගොඩ දාලා තියන්නම්
උඹ කලින් ගියානම් . . . . . සුදු පුතා බලන් ඇති
. . . . . . .
මචං ඔයාගේ හිසරුදාව . . . . . අඩු නැද්ද මොකෝ දැං
නෝනගේ කැස්සට . . . . . බෙහෙත් ගත්තොත් මොකද
පුතාගේ උන ගතිය . . . . .මෙන්න මෙතනින් බලවන්න
රාජකාරී ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න . . . . පුද්ගලික ප්‍රශ්න පොදු ප්‍රශ්න
මගේ විතරක් නම් මොකෝ . . . . හැමෝගෙම ප්‍රශ්න වැල්
නමුත් අරුණයියා ලඟ . . . . . හැම එකටම බේත් ඇත
. . . . . .
අරුණයියා අස්වෙනවා . . . . . කැන්ගරු දේසෙට යනවා
අනේ අනුරාධයියා . . . . . . මගෙ කකුල් හිරි වැටුනා
ඉන්න පොඩ්ඩක් ඔහොම . . . . කාරෙක අයිනට දැම්මා
මැටි පූසා ෆෙයා වෙල් . . . . . පාටියක් ගැන හිතුවා
උඹ වරෙන් විසි හතර . . . . හතයි තිහ - පැනොරාමා
. . . . . .
වෙව්ලන ඇඟිලි තුඩු . . . . . සුභ පැතුම් පත ලීවා
හදවතේ කඳුළු බිඳු . . . . . නෙත් දෙකේ බොඳ වූවා
ෆෙයා වෙල් පාටියෙදි . . . . ගල් වෙච්ච කඳුළු බිඳු
ගෙදර විත් නිල් පෑනේ . . . . තුඩ මතින් ඉකි බින්ද
. . . . . . . .
පළමු වෙනිදයින් පසුව . . . . නුඹ නොමැති ඔෆීසිය
නුඹේ මනුසත් කම . . . . . . දෝර ගැලු අඩවිය
ගිනි නිවන නුඹෙ සිනා . . . . මල් පිපුනු සහරාව
මොන හිතින් පා තියම්ද . . . . සිත මගේ කෑ ගසයි . . . . !!!

Tuesday, December 22, 2009

ජීවිතේ සුන්දරද මෙතරම් . .. !! 2වෙනි කොටස



කලින් කොටසින් . ..

"හැම මොහොතෙම ඈ ලඟ හිටියත් නොහිටියත් මට දැනෙන සුවඳ . . ඇගේ හිසකෙස් වලින්, බෙල්ලෙන් එන සුවඳ මාව සුපුරුදු පරිදි පැරනි මතකයක් ලඟට මටත් නොදැනිම ගෙන ගියා. . . .. "

නිලූ දෝනිව කුසේ දරාගෙන කොන්දේ වේදනා විඳිමින් සිටි අතීතයේ දවසක, කාර්‍‍යාලයේ වැඩ අධික කම නිසාත් නිමා කරන්න අපහසු රාජකාරියකට දින ගනනක් වෙහෙස වී නිදි මැරීම නිසාත් හටගත් හිසරදයකින් පෙලෙමින් සිටි මා දිනක් සවස පහට පමන නිවසට පැමිණියේ බොහෝම අපහසුවෙන්.

වෙනදා පරිදි ගැලවූ පාවහන් පාවහන් රාක්කයට වත් නොදා දොර ලඟම ගලවා දැමුවා. කමිසය ගලවා පුටුවක් මතට විසිකලේ සුපුරුදු පරිදි ඇඳූ ඇඳුම් අපේ නාන කාමරයේ කිළුටු ඇඳුම් බහාලනයට දමන පුරුද්දත් අමතක කරමින්. . . !

"නිලූ මගේ ඔලුව පැලෙන්න තරම් කැක්කුමයි" කියූ මා එක් වරම ඇඳට වැටුනේ නින්දෙන් වත් සහනයක් ලැබේවී යැයි උපකල්පනයෙන්.

සුළු මොහොතකින් වේදනා නාශක පෙති දෙකක්, වතුර වීදුරුවක්, ඕඩි ක්ලෝන් බෝතයලයක් සහ ඕඩි ක්ලෝන් තැවරූ රෙදි කැබැල්ලක් රැගෙන නිලූ එනවිට මා එදෙස බැලුවේ හිස ඔසවන්නේ නැතුවම.

"මේ පැනඩෝල් දෙක බොන්නකෝ . . . නලළට මේ ඕඩි ක්ලෝන් රෙදි කෑල්ල දැම්මාම සනීපයක් ඒවි"

"නෑ පැනඩෝල් විතරක් ඇති"

"කිව්වම අහන්නකෝ ඉතිං. කෝ ඔලුව උස්සලා මගේ ඔඩොක්කුවේ තියන්න මම ඔලුව පොඩ්ඩක් මසාජ් කරන්නම්" ඇඳ විට්ටමට හේත්තු වෙන්නෙත් නැතුවම නිලූ මගේ ඔලුව එයාගේ ඔඩොක්කුවේ තියා ගත්තා.

එකපාරටම නින්දට වැටුනු මට දැනෙන්න ඇත්තේ පාවෙනවා වගේ හැඟීමක්. . . . නින්ද කොපමන කාලයක්ද කියා සිතා ගන්නවත් අපහසු නිමේශයකදී මට දැනුනේ එක්තරා සුපුරුදු සුවඳක්. . . .දෑස් නොඇරම මම ඒ සුවඳ තේරුම් ගන්න උත්සාහ කලා . . . .

නිවාඩුවට ගමේ ගිය වෙලාවල් වලදී ගමේ ආච්චිගේ චීත්තයක් පොරවාගෙන, ඇගේ ලඟින් ඈව බදාගෙන, ඈ මගේ හිසේ නියපොතු අනිමින් සිටියදී නිදා ගන්න විට දැනෙන සුවඳ මෙන් සුවඳක් . . . . . අම්මා සෝෆා එකේ ඉඳගෙන ටී වී එකේ ටෙලි නාට්‍යය බලද්දී ඇගේ ඔඩොක්කුවේ හිස තියාගෙන,මගේ කකුල් සෝෆා එකේ දිගා කරගෙන ඉන්න විට අම්මා ඇගේ ඇඟිලු තුඩු වලින් හිස අතගාන විට දැනෙනවා වැවි සුවඳක් . . . . . .

හෙමීට ඇස් ඇරපු මම දැක්කේ එක අතක් කොන්දට තියාගෙන අනිත් අත ඇඳේ ඔබාගෙන මගේ හිස ඇගේ ඔඩොක්කුවේ තබාගෙන අපහසුවෙන් ඉන්න නිලූ . . . . !!

එක් වරම නැගිටගත් මා බැලුවේ ඔරලෝසුව දිහා . .. වෙලාව රාත්‍රී 9.10යි. පය හතරක් පමන එක දිගට මම නිදාගෙන.

"මෙච්චර වෙලා ඔයා මෙහෙමද හිටියේ "

"ඔව් . . . "

"ඔයාට පිස්සුද?? මාව අහකට තල්ලු කරලා දාන්න තිබුනානේ . . ඔයා මේ කොන්දේ අමාරුවෙන් ඉන්න කෙනා. . ."

"නෑ මට ඔයාට ඇහැරවන්න පව් කියලා හිතුනා. . ඔලුව කොට්ටයක් උඩින් තියන්න ගිහින් ඔයාව ඇහැරුනොත් කියලා මම එහෙමම හිටියා"

. . . . .

එදා ඒ දැනුනු සුවඳත් . . . අද මේ දැන් දැනෙන සුවඳත් . . . . දෙකක් නොව එකක්ම යැයි මගේ සිත කීවා . . . .එදා ඒ දැනුනේ ත්, . . . මෙදා මේ දැනෙන්නේ ත් . . . ඈ ලඟ සිටියත් නොසිටියත් මට දැනෙන්නේ ත්. . . ස්ත්‍රීත්වයේ සුවඳද ??? මාතෘත්වයේ සුවඳද ??? . . . . මගේ හිත මගෙන්ම ප්‍රශ්න අහනවා . . . .

නෑ ඒ ස්ත්‍රීත්වය, මාතෘත්වය හා මුසු වුනු ආදරයේ සුවඳ . .. මගේ හිතම පිලිතුරු බඳිනවා. . .. !!

අපි ඈතට ඈතට පා නඟලා . . . . !

මගේ දුරකතනයේ නාදය මගේ ප්‍රියතම ගායකයාගේ ගීතයක් . . .

"ඉක්මනට ආන්සර් කරන්න දෝනි ඇහැරෙයි නැත් නම් . . ." මගේ තුරුල්ලෙන් මිදුනු නිලූ මා ව හෙමීට තල්ලු කලා.

"තිලා . . . මම නුවර පාරට දාන්න හදන්නේ . . මොකෝ කියන්නේ එක වාහනේම යන්ද. . ? ඕකේ නම් මම උඹලගේ ගෙදරට එන්නම්"

මගේ කාර්‍‍යයාලයේ මිතුරා හෙවත් අපේ බිස්නස් ඩිවෙලොප්මන්ට් මැනේජර් නෂීම්.

"අනේ ලොකු දෙයක් මචං. . . මම ඊයේ ටිකක් නිදි මරලාත් ඉන්නේ . . . වරෙන් වරෙන් එහෙනම්"

. . . .

"ඔන්න මම දෙන්නටම උදේටයි දවල්ටයි කෑම ලෑස්ති කලා" . . . පිටත් වෙන්න හදද්දී කෙසෙල් කොලේක ඔතලා පාර්සල් කරපු බත් පාර්සල් දෙකකුයි, උදේ කෑම එකයි වතුර බෝතල් දෙකකුයි නෂීම් ගේ වාහනයේ පිටිපස ආසනයට දාන ගමන් නිලූ කියනවා.

"අහ් එහෙනම් අදත් ඔෆිස් එකෙන් පිට කියලා නෑ නිලූගේ කෑම වල රසවිඳින්න පුලුවන්" නෂීම් කියන්නේ සතුටින් පිනා ගිය මූනකින්.

. . . .

"බලපන්, නිලූත් කොලිෆයිඩ් ආකිටෙක්ට් කෙනෙක් වෙලත් කොච්චර නිහතමානිද. අපේ වැඩ වලට ත් කොච්චර හෙල්ප් එකක් දේන්වාද සද්දේ නොකරම . . ." පිටත් වෙලා සුළු මොහොතකින් රිය ධාවනය කරන ගමන් නෂීම් පවසන්නේ හැඟීම්බරව.

මුස්ලිම් සමාජයක හැදීවැඩුනු අයෙක් වුවත් අන්තවාදීයෙක් නොවූ නෂීම් ඔහුගේ බිරිඳට අන් මුස්ලිම් සැමියන් මෙන් වාරන නීති රීති පනවා නැති අයෙක්. එවැනි සැමියෙක් සමඟ සතුටින් ජීවත් වීමට ඕනෑ තරම් ඉඩ කඩ තිබියදීත් තමන්ගේ විහින් සකසා ගත් කුඩා කොටුවක් තුල ජීවත් වනවා වැනි ජීවිත රාමුවක් සදාගෙන ඉන් පිට ලෝකයක් ගැන සිතන්න වත් අකමැති වූ රිෂායා, නෂීම්ගේ සමාජශීලී ජීවිතයට වැට කඩොළු බඳිමින් ඔහුගේ ඔහුගේ ජීවිතයට මහා බරක් එක් කරන ගමන් ඇයගේ ලෝකයේ වැඩකඩොළු ශක්තිමත් කරමින් සිටින්නියක්.

"ඔව් මචං මම උඹට කිව්වේ අපි මොනා හරි ඩිසයින් එකක් ගැන ඩිස්කස් කරන වෙලාවට එයාටත් ජොයින් වෙන්න කිව්වාම ඇවිත් අහගෙන ඉඳලා මොනා හරි අප්සෙට් තැන් තියෙනවානම් මට ශේප් එකේ කියනවා මිසක් එයත් හැම දේම දන්නවා කියලා පෙන්නන්න හදන්නේ නෑ " මම කිව්වේ සියුම් ආඩම්බරයකින්

"ඔව් ඒක තමයි මාත් කිව්වේ වෙන ගෑනියෙක් නම් පැනලා දෙනවානේ අනිත් අය ඉස්සරහා මාත් දන්නවා කියලා පෙන්නන්න. අනික බලහන් උඹේ යාලුවෝ ඔක්කෝටම එයා එයාගේ යාලුවන්ට වගේ සලකනවා. උඹ හරි වාසනවන්තයි ඒ වගේ කෙනෙක් ලැබෙන්න"

ස්වාමියෙකුට තමන්ගේ බිරිඳ ගැන මිතුරෙකුගෙන් හෝ තෙවන පාර්ෂවකරුවෙකුන් එවැනි ගුණවැනුමක් අසන්න ලැබෙනවාට වඩා වෙනත් සතුටක් ලැබිය හැකිද . . . ?

. . . . .

මතු සම්බන්ධයි . . . !

අවසන් කොටසට මෙතනින් යන්න . .

Monday, December 14, 2009

ඔබ ද මා ද වී මා ද ඔබම වෙමු . . . !



ඔබ ඔබම මිස
මම මා ද මිස
ඔබ මා නොවන බව
මා ඔබ නොවන බව
මා කෙසේ නම් හඟින්නද . . . ??
. . . . . . . . .
මට අවැසි ඔබ මා වනු දකිනුය
ඔබ මා ඔබ වනු දකිනු රිසිය
ඔබ නිවරදි බව ඔබ සිතයි . . !
මා නිවරදි බව මා දනියි . . . !
. . . . . .
ඔබට අවැසිලෙස
මට ඔබ වනු නම්
මට මා මිය යා යුතුය . . . !!!
. . . . .
මට මා මිය ගොස්
දැවූ අළු මතින් උපදින
මාද වන . . . මාද නොවන
අමුතුම සතාට
ඔබ කෙසේ වත්
පෙම් නොකරන බව
සක් සුදක් සේ මම දනිමි . . !
. . . . .
පැරණි මළකුනු බදා
තව තවත් වැලපෙමුද
අතීතය වල දමා
හෙට දිනට හිනැහෙමුද . . . ???

Thursday, December 10, 2009

සිරිකත පරද වන රූ සපුවකි ඇයට . . . . !



මමයි මගේ බිරිඳයි දෙන්නා ම ලංකාවේ නැටුම් කලාවට තදින් ආදරය කරන දෙන්නෙක්. මම කලින් ලිපියකත් කිව්වා වගේ සමහර වෙලාවක පිටරටක දී සමහර විජාතිකයින් අපි ශ්‍රී ලාංකිකයෝ කිව්වාම දන්නෙත් නෑ . . . නමුත් අපේ රටේ නැට්ටුවෙක්ගේ පින්තූරයක් පෙන්නුවාම අහනවා "අහ් මේ නැටුම් තියෙන රටේ ද උඹලා ඉන්නේ කියලා" අපේ නැටුම් එතරම්ම සුවිශේෂයි . . යුනික්. !! එවැනි අවස්ථාවන් වලදී අපේ ඒ ආදරයට ආඩම්බරයකයකුත් එකතු වෙන බව නොරහසක්.

අපේ රටේ මූලික නැටුම් අංග තුන වූ උඩරට, පහත රට හා සබරගමු නර්තන ශෛලීන්ට අමතරව එදිනෙදා ජන ජීවිතය හා බැඳුනු ජන සංගීතයක් හා ජන නැටුම් කලාවක් ද තිබෙනවා. නැටුම් කලාව ගැන වැඩි විචාරයක් හෝ විවරනයක් කරන්න තරම් මගේ ඒ සම්බන්ධ දැනීමක් නැති වුනත් මට සිතෙන ආකාරයට ජන නැටුම් වල සමහර අංග මේ මූලික නැටුම් කලාවන් හා සුසංයෝග වෙලා තිබෙනවා කියා.

ජන නැටුම් වෙනමම සංස්කෘතික අංගයක් ලෙස ගත් කල (සමස්තයක් ලෙස නැටුම් කලාවම අභායට යමින් තිබෙනවා වුවත්) ලංකාවේ මූලික නැටුම් කලාවන් කෙරෙහි ඇති සැලකිල්ල හ සසඳා බලන විට ජන සංගීතයට හා ජන නැටුම් වලට නියමිත අගය කිරීමක් හෝ සැලකීමක් නෑ කියන හැඟීම මගේ නම් නිතරම කනස්සල්ලට හේතුවක්.

එයට හොඳම උදාහරනය ලෙස ජන සංගීතය හා ජන නැටුම් නඟා සිටුවන්න නිහඬ අමිල සේවාවක් කල ශ්‍රේෂ්ඨ කලාකරුවෙකුවූ ලයනල් රන්වල මහතාගේ සේවය ඔහු මිය යන තුරුම අගය කිරීමකට ලක් නොවීම. වාසනාවකට මෙන් ඔහුගේ පුත් මගේ ප්‍රියතම කලාකරුවෙකු වූ සහන් රන්වල මහතා පියාගේ අඩි පාරේ යමින් ඔහු තරම්ම නිහඬ ලෙසට නොවුනත් තරමක් සීරුමාරුවෙන්, විශාල ඉදිරි දැක්මක් සහිතව ජන සංගීතය හා ජන කලාව ශ්‍රී ලංකික අපේ හදවත් වලට ලං කිරීමේ උදාර කර්තව්‍යය කරගෙන යමින් සිටිනවා.

පුංචි කාලේ ඉඳන්ම නිවාඩු කාලයට මාව ඔවුන්ගේ ගමේ එක්ක යන්න තාත්තාගේ පුංචි අම්මා හෙවත් අපේ පුංචි ආච්චී හෝ සීයා එන එක එකල නියතයක්. පුංචි ආච්චිගේ දුව මගේ ආදරණීය ලතා නැන්දා නැටුම් ගුරුවරියක්. ඇයගේ සැමියාත් ඔහුගේ සොයුරියත්,පියාත් නැටුම් ගුරුවරු. කුමාර මාමාගේ සොයුරිය විසින් රුවන්වැල්ල මොරාවත්ත පංසලේ කලායතනයක් පවත්වාගෙන යනු ලබනවා.

නිවාඩු කාලයක ගමේ ගිය විටෙක මට අහම්බෙන් මෙන් ඔවුන්ගේ කලායතනය විසින් පැවැත්වූ වාර්ෂික කලා මහෝත්සවයකට සහභාගී වීමට හැකි වුනා. එහිදී තිබූ නැටුම් අංගයන් අතුරින් මගේ සිත් ඉතා තදින් ඇද බැඳ ගත්තේ ගිරිදේවී නැටුමයි. පුහුනුවීම් වට දෙකකුත් සංදර්ශනයේ වට දෙකකුත් නරඹා අවසන මේ ගිරිදේවී නැටුමේ කවි මට කට පාඩම් වූවා. අදින් වසර ගනනාවකට ඉහත කඩපාඩම් වූ ඒ කවි අද දින අතරින් පතර හෝ යාන්තමින් මට කටපාඩම්.

බිරිඳ විසින් ස්කෑන් කර එවූ පොතේ සඳහන් පරිදි මේ ගිරිදේවී නැටුම පහත රට නැටුම් වල කෝලම් නැටුම් සම්ප්‍රදායේ කොටසක්. ජනවහරට අනුව ගිරි දේවී යනු ගරා යකා හෙවත් දළ කුමරුන්ගේ නැගණියයි. සොයුරු දළ කුමරුන් වෙතින් කෙලෙසෙමට පත් ගිරි කුමරිය ඇතිවූ ලැජ්ජාවත් ශෝකයත් දරා ගත් නොහැකිව ගසක එල්ලී ජීවිතක්ෂයට පත් වූවාය. නැගණියගේ වියෝවින් ශෝකයට පත් දළ කුමරු ද මිය ගොස් ගරා යකා ලෙස උත්පත්තිය ලැබූ අතර මරණින් පසු ගිරි කුමරිය ගිරි දේවිය බවට පත් වූවාය. ඇතැම් තැනක සඳහන් වන්නේ ගිරි යකිනිය වූ බවකි.

යූ ටියුබ් එකට පින්සිදු වන්න මට ඒ අලංකාර නැටුම නැවත වරක් රසවිඳින්න ලැබුනා. ඉතිං ඔබට ඒ අවස්තාව ලබා නොදී ඉන්නේ ඇයි . . . ??

සෑරි සොඳට දිගු වරලස දිලෙන්නේ . . .
නෙරිය තියා ලා සේලය අඳින්නේ . . .
රනින් රිදී මුතුහර ගෙල පෙනෙන්නේ . .
ගිරි දේවි උපතය මම කියන්නේ . . .

මයුර පිළස බැඳි කොන්ඩය යස රුවට . . .
දෙපියුරු වසා රන් පටියකි ළමැද වට . . .
සිරිකත පරද වන රූ සපු වකි ඇයට . . .
ආදර වඩන ගිරි දේවිය එයි සබට . . .

ඇඳ ඇඳ සේලය ගත බබළාදෝ . . .
බැඳ බැඳ වරලස සිකි පිලු විලදෝ . . .
සොඳ බඳ ළෙලුමෙන් පියයුරු ළෙලදෝ . . .
ඉඟ ඉඟ සිහිනිඟ දෙපස නටාදෝ . . .

">

මේ කවි වල අන්තිම කොටස තුන් පාරකට ඇදලා කියන එක තමයි මට හිතෙන්නේ මේ කවි වල ඇති සුවිශෙෂිත බව. ඒ නිසා තමයි මම හිතන්නේ මගේ හිතේ ඒ කවි පදවල් රැඳුනේ. හැමදෙනාම අහල බලන්න මේ වීඩියෝ පටිය නරඹන්න "අයියෝ නැටුම්නේ. . . නැටුම් කන්නද. .. !" කියලා අතහැරලා නම් දාන්න එපා. බලලා ඉවරවෙලා කමෙන්ට් එකකුත් දාන්න අමතක නොකර . .. !!











Friday, December 4, 2009

ජීවිතේ සුන්දරද මෙතරම් . . . !



චරාස් . . . .

කුස්සියේ යමක් බදින හඬින් මාව උඩ ගිහින් වගේ ඇහැරුනේ මම ඉන්නේ කොහේද කියලාවත් එක්වරම හිතා ගන්න නොහැකි ලෙසින් . . . මොහොතකින් සිහි එලවාගත් මම ඇස් නොඇරම ඇඳේ වම් පැත්ත අතගලා බැලුවේ නිලූ තාම නිදිද කියලා බලන්න . . . නිලූගේ උනුසුමත් සුපුරුදු සුවඳත් විතරක් ඉතුරු කරලා එයා නැගිටලා ගිහින් බව මට තේරුනා . . .

අඩි හයක් පළල ඇඳේ බිත්තිය පැත්තට වෙන්න නිදන දෝනි ගේ වටේටම කොට්ට තියලා වායුසමීකරනයේ සීතලට ඔරොත්තු දෙන විදිහට උනුසුම් වාතාවරනක් හදලා බෙල්ල ගාවටම වෙල්වට් පොරවනයෙන් වෙනදට වහනවා වුනත් අද එහෙම කරලා නැත්තේ දෝනිට ඊයේ රෑ අංශක 100ට පමන උන තිබුනු නිසා බව වම් පැත්තට හැරුනු මට එක්වරම සිහි වුනා . . . දෝනිගේ නළලට අතේ පිටි අල්ල තියලා රස්නේ බැලුවාම මට තේරුනේ ඊයේ රෑ තරම් ඇඟේ රස්නයක් දැන් නැති බවයි.

කොට්ටේ යට තිබුනු ජංගම දුරකතනේ අරන් මම වෙලාව බැලුවේ එලාම් එක වැදුනේ නැත්තේ ඇයි කියලා හිතන ගමන්. පාන්දර 4.30යි. දෙයියනේ මේ ගෑනු මනුස්සයට නින්ද යන්නේ නැද්ද? ඊයේ පාන්දර තුනට විතර අහම්බෙන් ඇහැරුනු වෙලාවෙත් නිලූ ඇඳේ ඉඳගෙන දෝනි දිහා බලාගෙන ඉන්නවා.

"තාම උනද . . ?"

"නෑ දැන් අඩුයි. . . !"

"ඉතිං ඔයා නිදා ගන්න ළමයෝ . . . හෙට දවසෙත් ඇහැරිලා ඉන්න එපැයි . . "

"නෑ මට නින්ද යන්නේ නෑ දුවට උන වැඩිවෙයි කියන බයටම"

"ඉතිං දැන් අඩුයි කිව්ව්නේ . . . පොඩ්ඩක් හරි නිදා ගන්න ඩාලිං"

"හා ඔයා නිදාගන්න හෙට කෑගල්ලේ යන්නත් තියෙනවානේ . . . "

"කෑම හදන්න ඕන නෑ හොඳේ මම ඔයාට ඇහැරවන්නෙත් නැතුව තේ එකක් විතරක් හදාගෙන බීල යනවා. යන ගමන් මගදි මොනා හරි කන්නම් . . ඔයා මේ නිදි මරලා ආපහු නැගිටලා උදේට කෑම හදන්න ඕන නෑ . . ."

"හරි හරි . . ඔයා නිදා ගන්න. දැන් දෝනිත් ඇහෙරෙනවා ඔයාගේ සද්දෙට"

"කොච්චර කිව්වත් වැඩක් නෑ මේ කෙල්ලට . . " මට දැනුනු සියුම් නොරිස්සුම් ගතියෙන්ම මම ඇඳෙන් නැගිට්ටේ කුස්සියට යන්න . . .

සද්ද නැතුව මම පිටි පස්සෙන් ගිහින් ඒ වෙනකොට පාන් වල බටර් ගගා හිටපු නිලූ ව අත් දෙකෙන්ම හිර කරලා බදා ගත්තා . . .

"අනේ සොරි කුකූ . . ." මගේ තිලාෂ් නමට කොහෙත්ම සම්බන්ධයක් නැති නමුත් ඈ විසින්ම මා වෙනුවෙන්ම හදාගත් සුරතල් නම.

"දුව ඇහැරිලා කෙඳිරි ගෑවොත් මට ඇහෙන්න කියලයි කාමරේ දොර වැහැව්වේ නැත්තේ . . අයියෝ එකෙන් වුනේ ඔයාව කලින්ම ඇහැරුනු එක. . " නිලූ කියන්නේ මගේ නින්ද කැඩුනු එක ගැන දුකෙන් වගේ.

"මේ හලෝ . . . මම තමුසෙව කසාද බැන්දේ වැඩකාර කමට ගෑනියෙක් ගන්න ඕන වුනු නිසා නෙමෙයි හරිද. . .?"

මම තමුසේ කියන්නේ ආදරේට බව දන්න නිලූ මගේ අත ටිකක් බුරුල් කරලා මගේ දිහා බෙල්ල විතරක් හරවලා බැලුවේ හිනාවීගෙන.

"ඔයා ඔය කිව්වට කඩවල් වලින් කන්න කැමති නැති බව මම හොඳටම දන්නවනේ බබෝ . . . ඉතිං ඔයාට කෑම හදල නොදී ගෙදරින් යැව්වොත් මට අද ඔයා ආපහු එනකම්ම ඉන්න වෙන්නේ දුකෙන්. . "

"ඔයා නිදා ගන්න. කෑගල්ලට වෙනකම් ඩ්‍රයිව් කරලා ආපහු එන්නත් ඕනනේ . . . තව පැය එකහාමාරක් තියෙනවා හය වෙන්න . . "

"මට බෑ . . ." මම කිව්වේ මුරන්ඩු කොලු ගැටයෙක් වගේ

ගෑස් ලිපේ තියෙන හාල්මැස්සෝ බැදුමේ ගින්දර අඩු කරපු නිලූ මගේ පිජාමා ෂර්ට් එකේ බොත්තම් ටික ගලවලා මගේ පපුවට ඔලුව තියා ගත්තේ අත් දෙකෙන්ම ෂර්ට් එකට ඇතුලෙන් අතදාගෙන මාව බදා ගන්න ගමන් . . .

"ඔයාගේ ලිපේ තියෙන බැදුමට මොකද වෙන්නේ මේ විදිහට හුරතල් වෙන්න ගියොත් . . ." මගේ අත් දෙකෙන්ම නිලූව තුරිළු කරගන්න ගමන් මම එහෙම ඇහුවා වුනත් මම දන්නවා මේ හැම දවසකම උදේම ඈ විඳින සුන්දර ප්‍රේමනීය මොහොත කොහොමටවත් නැති කර ගන්න ඈ අකමැති බව.

"මම බැදුමට කිව්වා මට කරදර කරන්න එපා. උදේ පාන්දර මගේ මේ ආසම විනාඩි දහය මට මගේ පාඩුවේ ඉන්න දෙන්න කියලා . . ." නිලූ කියන්නේ මට විතරක් නෙමෙයි ඈට වත් ඇහෙන්නේ නැති තරම් හෙමීට

මම හෙමීට ඇගේ හිස් මුදුන ඉඹලා මගේ කම්මුලක් ඇගේ හිස් මුදුනට තියාගෙන ඇස් දෙක වහ ගත්තා. හැම මොහොතෙම ඈ ලඟ හිටියත් නොහිටියත් මට දැනෙන සුවඳ . . ඇගේ හිසකෙස් වලින්, බෙල්ලෙන් එන සුවඳ මාව සුපුරුදු පරිදි පැරනි මතකයක් ලඟට මටත් නොදැනිම ගෙන ගියා.

මතු සම්බධයි . . .

. . . . . . . . . . . . . . . ..

දෙවෙනි කොටසට මෙතනින් යන්න . .

හැමෝම මට ගොඩාක් වෙලාවට බනින නිසා මම විවාහ ජීවිතේ අසුන්දර පැත්ත ගැන විතරක් කතා ලියනවා කියලා මම හිතුවා අද එහි සුන්දර බව ගැන කෙටි කතාවක් ලියන්න කියලා . . .

නමුත් හිතුවට වඩා කෙටි කතාව දිගු වීම නිසා එය කොටස් කීපෙකින් පලකරන්න සිතුවා. මොකද කලින් කතාව ගැන මට චෝදනාවක් තිබුනා එක දවසකදී පල කරන කොටස දිගු වැඩි වීම නිසා ගොඩක් දෙනෙක්ට බ්ලොග් කියවීමට ලැබෙන සුළු කාල වේලාව මදි කියලා එවන් දිගු කොටසක් කියවන්න.

ඉතිං මේ කෙටි කතාව කෙටි කතාවක් වුනත් කෙටි බ්ලොග් සටහන් කීපයකින් යුක්ත කෙටි කතාවක් වේවි.

. . . . .

විවාහ ජීවිතේ අසුන්දර බව ගැන ම කතා ලිව්වේ එය සුන්දර දෙයක් බව අමුතුවෙන් කියන්න ඕන නැති නිසා. ඒකට හොඳම උදාහරනේ අපේ රටේ විවාහ ප්‍රතිශතය. බටහිර රටවල් වගේ නෙමෙයි අපේ රටේ විවාහ නොවී තනිකඩව සිටින්නන් ඉන්නේ බොහෝම සුළු සංඛ්‍යාවයි.

කොතරම් සුන්දර දෙයක් වුනත් යම් යම් මත ගැටීම්, වැරදි වටහා ගැනීම්, හොඳ සන්නිවේදනයක් නැතිකම, පවුල් වල අයගේ උසිගැන්වීම්, කේලාම්, සුළු සුළු අඩුපාඩු මහා ලොකු දේවල් ලෙස ගනන් ගැනීම් . . . වගේ දේවල් නිසා එහි සුන්දර බව නැතිවී එය අසුන්දර අපායක් බවට පත් වෙන අවස්ථාවල් මම ඕන තරම් දැකලා තියෙනවා . . අහලා තියෙනවා . . . මගේ කෙසේ වෙතත් අන් අයගේ එවැනි දේවල් අත්විඳලා තියෙනවා.

එවැනි දේවල් මග හරවා ගෙන විවාහය සුපුරුදු සුන්දර මාවතට යලි ඇදලා දාගන්න දෙවෙනි සිතුවිල්ලක් ඇති කරගන්න නැතිනම් තමන්ගේම ප්‍රශ්න දිහා තුන්වෙනි පාර්ශව කරුවෙකු ලෙසින් දැක ඒ ප්‍රශ්න විසඳ ගන්න උදව්වක් ලෙස වගේ හැඟීමකින් තමයි මම කලින් ලියූ "අග පිපි මල් හෙවත් එක් සත්‍යය කතාවක්", "නුඹත් මාත් රේල් පීලි දෙකක්", "සත්‍යයක්‍රියාවෙන් හෙලිවූ කටුක අමිහිරි සත්‍යය", "අම්මාවරුන් පමනද මතු බුදු වන්නේ", "ඇයි පමා නුඹ ආදරණීය මරනය", "විවාහකයින් සියළුම දෙනාට එක් වරක් හෝ දික්කසාද වීමට ඉඩ සලසා දිය යුතුයි", "ඇස් රතුවෙන විහිළු හා කොන්ඩුම්", , "විවාහය - අවබෝධය - දුක - සතුට","ගැහැනු ළමයිනේ කොහෙද බලා ඉන්නේ", "මගෙ කූඩුවට ඇවිත් සල්ළාල පෙම් වතෙක්, මගෙ පෙම්බරී සමග හාදව දුන්නු ගින්දරක් . . . මට දුන්නු ගින්දරක්"
වැනි පෝස්ට් ලිව්වේ .

එහෙම නැතුව මම විවාහය දෙස අසුභවාදීව බලන්නෙක් නෙමෙයි . . .

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails