Tuesday, September 29, 2009

ප්‍රේමෙතෝ ජායතී සෝකෝ . . . ප්‍රේමෙතෝ ජායෙතී භයං . . . !



මේ දිනවල දුකා සුනේත්‍රා රාජකරුනායක මහත්මියගේ "මතක පොත" දෙවෙනි කොටස එක හුස්මට නොව ඉඩක් ලද ලද පරිදි රස ආහරක් බිඳෙන් බිඳ . . කාල වේලා රැගෙන රසවිඳිනවා මෙන් ඉසිඹුවක් ලැබෙන නිමේශයක් අපතේ නොයවා කියවාගෙන යන හෙයින් . . . දුකාගේ මතක පොතේ අඳුරු අහු මුළු වල ලැගුම් ගෙන සිටි රසදැයි . . නීරසදැයි එක වරම වටහා ගත නොහුනු මතකයන් අකීකරු දෑත්වලින් පරිඝනක තීරයේ අකුරු වන්නට පටන් ගෙන . . .

අනෝනිමස් කමෙන්ට් වලින් පමනක් සැලී නොව ළබැඳි මිතුරන්ගේ උපදෙසුත් දුකාගේම හෘද සාක්ශියේ සදාචාරත්මක නිම්වළලු කෙරෙහි ඔහුගේම හෘදය නැඟූ චෝදනාවලිනුත් නිවරදිකාරයෙක් වීමට . . . දෙවරක් නොසිතාම ලියූ යමක් ඉවත් කිරීමටත් දුකා මොහොතක් වත් පමා වූයේ නෑ . ..

මතක පොතේ අඳුරු අහුමුළු වල සැඟවී හුන් මතකයන් ගැන අමතක වූ මතකයන් අවදි වන්නට වූ මොහොතේදී කුඩා කල දුකාගේ මනෝ රාජ්‍ය අරක්ගෙන සිටි . . . වාසනාවකට හෝ අවාසනාවකට අකාලයේ පිපී අකාලයේ පරවූ කුසුමක් මෙන් උපන්ගෙයිම මියෑදුනු නැටුම් ගුරුවරයෙකුවීමේ සිහිනයේ . . . බිඳී වැටුනු සිහිනයේ නටඹුන් අතර වූ තවදුරටත් මතක වස්තුවක් ලෙස සුරැකිය හැකි යම් කිසිවක් මතක පොතේ පිටු අතරේ එහි පිටු එහාට මෙහාට පෙරලමින් සිහින් වලා රොදක් මෙන් හමා ගියා . .

තොරතුරු තාක්ෂණයේ බලමහිමයෙන් ලෝකය විශ්ව ගම්මානයක් වී ඇති වර්ථමානයේ . . . මගේ රට . . .මගේ ජාතිය . . . මගේ ආගම. . . මා හැදී වැඩුනු සංස්කෘතික වටපිටාව . . . යනාදී යෙදුම් ආදී කාලීන ගෝත්‍රික මානසිකත්වය නම් කැටපත් පවුරේ . . . 21 වෙනි සියවස නම් වූ දූලි වලාවෙන් වැසී යන අක්ශරයන් යැයි කෙනෙකුට තර්ක කල හැකි වුවත් . . . දුකා . . .තවමත් ඒ ගොත්‍රික මානසිකත්වයෙන් පෙලෙන . . . දුකා තුල ජීවත් වන ඒ ආදී කාලීන සත්වයාට ප්‍රේම කරනු ලබනවා . . . ! !

"ප්‍රේමෙතෝ ජායතී සෝකෝ ප්‍රේමෙතෝ ජායෙතී භයං ". . . ප්‍රේමය නිසා සෝකය උපදී ප්‍රේමය නිසා භය උපදී . . . කියා ඒ ආදී කාලීන සත්වයා යම් කිසි කලෙක ඇසූ අත්දුටු යමක් ඇසුරු කරගෙන ඒ ආදීකාලීන සත්වයා අදහන ගෝත්‍රික මානසිකත්ව කැටපත් පවුරේ අක්ශර, 21වෙනි සියවස නම්වූ දූලි වලාවන්ගෙන් සදහටම වියැකී යාදෝ යැයි හටගත් සෝකයකිනුත් . . . භයකිනුත් විලම්භීත වී . . . එසේ නොවීමට ඔහුගේ දායකත්වයෙන් කල හැකි යම් කිසිවක් ඇත්දෝයි කියා විපරම් කිරීමේදී . . . විශ්ව ගම්මාන සිහිනයේ කිරුලු පලන් රජවරුන්ගේ දෑත් වලින් විසිකරනු ලබන ගලුත් ගල්වලට හිස පාන්නට අවැසි ශක්තියත් . . . ඔහු මෙන්ම ගෝත්‍රික මානසිකත්වයෙන් පෙලෙන්නවුන්ගේ දෑත් වලින් පුදන්නා වූ මල්වලට දෝත පෑමට ඇති ජාගර සිතත්, ගිජු දෑතත් කෙරෙහි වූ ඇල්මෙන් . . . ඒ සඳහා මෙසේ යමක් අකුරු වලට පෙරලෙන්න්ට ඉඩදී බලා සිටී . .

සැතපුම් සිය ගනනක් වූ සියරට බටහිරින් වූ කේන්ද්‍රස්තානයේ සිට දකුනු දෙසට හෝ රටේ අභ්‍යන්තරයට ලඟ වීමට පැය 4 ක හෝ 5ක කාල පරාසයක් ගතවෙද්දී . . . . සැතපුම් දහස් ගනනක් දුර ඈත වෙනත් රටකට / පෙදෙසකට ලඟා වීමට ගතවෙන්නේ සමහර විට ඊට වඩා අඩු කාලයක් . . . මෙසේ විශ්ව ගම්මානයේ වෙනස් පෙදෙසකට අහම්බෙන් හෝ සපැමිනි (දුකාගේ ගම්වාසී) අයෙකුගෙන් එගම වැසියන් හෝ වෙනස් පෙදෙසකින් එහි පැමින නවාතැන් ගත්තවුන් එකිනෙකා හඳුනාගැනීමේ ක්‍රියාවලියේදී . . .තමාගේ ගම් පියස ගැන හඳුන්වාදීමට . . දුකාගේ ගෝත්‍රිකවාදී මානසිකත්වයේ සංඝටකයන්ගේ පිහිට ලබා ගැනීමට නිතැතින්ම සිදු වනු ලබනවා . . . ඒ අතරින් . . . යටත්විජිතවාදීන් හඳුන්වාදුන් තේ, ක්‍රිකට් ක්‍රීඩාව . . . එසේත් නොමැතිනම් සීගිරිය හෝ උඩරට නැටුම් මූලිකත්වය ගනු ලබන බව දුකා අත්දැකීමෙන්ම දන්නා බවත් සටහන් කරන්නට කැමතියි . . . . . සමහරුන්ට උඩරට නැට්ටුවෙකුගේ ඡායාරූපයකින් පමනක් ම වුවත් විශ්ව ගම්මානයේ අපගේ පියස හඳුනා ගත හැකි වෙනවා . .. එය එපමනටම අපටම පමනක් සුවිශේශී වූ අනන්‍යතාවයක් හිමිකරගෙන . . . ! !

කෙසේ වෙතත් අද මගේ වෑයම මේවා අතරින් සංස්කෘතික අංගෝපාංගයක් ලෙස මූලිකත්වයක් ගත් අපේ ලාංකික නැටුම් කලාවේ . . . උඩරට . . පහතරට . . . සබරගමු . . . යන මූලික නැටුම් වර්ග වලිනුත් ඉන්දියානු ආභාශයෙන් සැදුම් ලත් භරත නාට්‍යම්, කතකලි, කතක් මනිපුරි ආදී නැටුම් වලිනුත් . . .කුලු නැටුම්, ලී කෙලි, රබන් නැටුම් ආදී ජන ජීවිතයේ දෛනික ක්‍රියාවලියන් හා සම්බන්ධ නැටුම් වර්ගත් වලින් පෝශිත නැටුම් අතුරින් දුකාගේ මතක පොතේ අහු මුල්ලක සැඟවී ගත් නිශ්චිතවම මේ වර්ගයට අයත් යැයි දුකාගේ පරිකල්පනයේ සීමාවන්ගෙන් වටහ ගත නොහුනු නැටුමකට අදාල පදමාලාවක් සඳහන් කර තැබීමයි . . . පදමලාවේ අනුභූතියට අනුව නම් මෙය ප්‍රශස්ති නැටුමක් වියහැකි බවට අනුමානයක් දුකාට තිබේ . . . ඒ අතරම පදමාලාවේ නිවරදි භාවය ගැනත් සැක සංකා නැතුවමත් නොවේ . . කිසියම් අයෙක් . . . නැටුම් පිලිබඳ දැනුමතෙක් හෝ දැනුමතියෙක් දුකාව ඔහු වැරදී නම් නිවරදි කරාවී යැයි ඔහු උදක්ම බලාපොරොත්තු වනවා .. .

බලන්න ඔබටත් මේ පදමාලාව කිසියම් වූ දිනෙක . . කිසියම් වූ අවස්ථාවක . . . දෙසවනේ ගෑවී නොගෑවී හෝ ගොස් ඇත්දැයි කියා . . .අහම්බෙන් හෝ දෙනෙතේ පැටලී ඇත්දැයි කියා . . .

වරලසා . . . පිල් සේ නීල . . .
මල් දමින් ගොතා - සොබන
මෙදිගැසා . . .
සඳුන් තිලක . . . ළමින් නලලතා . . . .
ගෙල යසා . . . . රනින් මාල . .
කරේ දිලිසෙතා - ලෙළෙන
ඉඟ යසා . . . දුහුලින් එපට . . .
සේල පැලඳෙතා . ..

සඳුම් කොකුම් මොරසු ගාන . ..
මුදුන් කරල වරල බඳින . .
රජුන් සමඟ ඇමති සිටින . ..
ළඳුන් දුටුද රජ ගෙට යන . .. .

වරලසා . . . පිල් සේ නීල . . .
මල් දමින් ගොතා - සොබන
මෙදිගැසා . . .
සඳුන් තිලක . . . ළමින් නලලතා . . . .
ගෙල යසා . . . . රනින් මාල . .
කරේ දිලිසෙතා - ලෙළෙන
ඉඟ යසා . . . දුහුලින් එපට . . .
සේල පැලඳෙතා . ..

කර තල සපු මල ලෙසින්ද . .
උර තල සල ඔඩිය ලෙන්ද . .
දුර දුර ඉසි ගෝමරින්ද . .
ළඳ නුඹ හැර වෙන කොයින්ද . ..

වරලසා . . . පිල් සේ නීල . . .
මල් දමින් ගොතා - සොබන
මෙදිගැසා . . .
සඳුන් තිලක . . . ළමින් නලලතා . . . .
ගෙල යසා . . . . රනින් මාල . .
කරේ දිලිසෙතා - ලෙළෙන
ඉඟ යසා . . . දුහුලින් එපට . . .
සේල පැලඳෙතා . ..

14 comments:

  1. අනෝනිමස් කමෙන්ට් වලින් පමනක් සැලී...
    වැරැද්දක් පෙන්නල දෙනවනම් ඇරෙන්න ගනන් ගන්න එපා බන් සත පහකට. කිසිම බුවෙක් ක්‍රෝටන් ගස් වලට ගල් ගහන්නෙ නෑනෙ අඹ ගහකට ජම්බු ගහකට මිසක්.


    පේමතෝ ජායතී සෝකෝ තමයි, ඒත් ඉතින මචන් ළිදට වැටිච්ච මිනිහා ලින් කටින්ම ගොඬ එන්න එපෑ. හික්ස්...

    ReplyDelete
  2. @ änthräX !
    ඇත්තෙන්ම වුනේ ඇනෝනිමස් මගේ වැරැද්දක් පෙන්වා දීමක් තමයි . . . මම නිහතමානීව වැරැද්ද පිලි අරගෙන . . . ඉක්මනින් වැරැද්ද හදා ගත්තා . . .

    ReplyDelete
  3. සිරාවටම ප්‍රේමතෝ ජායති ‍සෝකෝ තමයි..
    දුකා අයියේ.. ඔයාගෙ තියන නිහතමානීකම ගොඩක් හොඳයි.. ඇත්තටම හැමොට ආදර්ශයක්.. ඒත් ඉතින් කොච්චර පෙන්නල දුන්නත් වෙනස් වෙන්නෙ නැති අයත් ඉන්නවනෙ.. සමහර අය පිළිගන්න කැමති නැ.. ඒකයි ගොඩක් දුක :(

    ReplyDelete
  4. @ KaniRockz !
    ස්තූතියි මලේ . . නිහතමානී කම ගැන මට අදහසක් දුන්නේ මම හිතන්නේ අපේ අම්මා . . . ඒක හරියට ගෙඩි වලින් බර වුනු ගහක් වගේ . . . ගහක් ගෙඩි වලින් බර වෙන්න බරවෙන්න බිමට පහහ් වෙනවා මිසක් බලෙන් උඩට ඔසවාගෙන ඉන්නේ නෑ වගේ . . . කෙනෙක් නිහතමානී වෙනකොට අන් අයගේ බස් වලට කන් දෙන්න ඕනා . . . තමන්ගේම මතය තමන්ම විවේචනය කරන්න ඕනා . . . වගේ දෙයක් තමයි ඈ මට ඉගැන්වූවේ . .

    ReplyDelete
  5. දුකාගෙ අනෙක් ලිපි වලට වඩා වෙනස් ශෞලයක් කියලා කියවන්න පටන් ගත් ගමන් මට හිතුනෙ.එක පාරටම තේරුම් ගන්න අමාරුයි වගේ.වාක්ය දිග වැඩිද මන්දා................

    g.g

    ReplyDelete
  6. @ Anonymous!
    ඔව් හැමදාම එකම විදිහට ලියලා ලියලා හරියන්නේ නෑ කියලා හිතලා වෙනස් විදිහකට ලියන්නත් පොඩි උත්සාහයක් ගත්තා . . . දෙතුන් විදිහල් ට්‍රයි කරලා බලලා හොඳ විදිහකට දිගටම ලියන්න පුලුවන් වෙයිනේ . . නේද . . ?

    ReplyDelete
  7. ප්‍රේමයක් නිසා දුකක් ඉපදුනත් ඒ ප්‍රේමයම නැති තැනත් පීඩා දුක බිය ඇතිවෙනවා. මිනිස්සු එකිනෙකාට (කොන්දේසි රහිතව )ප්‍රේම කරානම් කොහොමත් කවුරුවත් දුක්වෙන එකක් නෑ නේද. අප්පේ නැටුම් නම් මාත් කරා මේ පද වැල් හිතට හරි ළඟයි. වරලසා..ආ..... කියලා තාලෙ තියලා කියද්දි හරිම ලස්සනයි. අපිටත් කිට්ටු මතකයක් දිග හැරියාට නොවක් තුති දුකා !

    ReplyDelete
  8. මම පෙමෙන් ඇතිවෙන දුකට බයක් නෑ දුකා. නමුත් මම ආදරේට බයයි. "ප්‍රේමෙතෝ ජායෙතී භයං" කියන එකට මම 100% එකඟයි.
    " ගිණි පෙණෙල්ලෙන් බැටකෑ මනුස්සයා කණාමැදිරියටත් බයලුනේ.. "

    මේ උ"ලව්"ව නිසා මම වින්ද දුක හොඳටම ඇති. කෙටියෙන් කියනවා නම් මේ ඇති මට දැනට.. [ ඉදිරියටත් එහෙමම වෙයි කියලත් හිතෙනවා]

    ReplyDelete
  9. @ sereneworld !
    ඇත්තෙන්ම අමාරු වුනත් කොන්දේසි විරහිත ප්‍රේමය තමා ශෝක නොවී සිටීමේ එකම පිලියම . . .

    ඔබ කිව්ව විදිහ හරි . . වරලසා..ආ..... කියලා තමයි මේක ගායනා කරන්නේ . . මගෙ නම් නිතර මුවග රැව්දෙන පදමාලාවක් . .

    පන්තේරු නැටුමක්ද . . ? නැටුම් කලා කිව්වනේ මතක් කරල බලන්න ටිකක් ..

    ReplyDelete
  10. @ LishWish !
    මෙහෙමයි ලිශ් . . . අපි ප්‍රේම කරන නිසා ප්‍රේම කරන කෙනාගෙ පොඩි හරි වෙනස් වීමක් අපේ හිතේ ලොකු සසල වීමක් කරනවා (වෙනස් නොවන කිසිවක් මේ ලෝකේ ඇත්තෙත් නෑනේ . . ??). . . ලොකු ශෝකයක් උපදිනවා . . . ඒ අතරම ඒ ප්‍රේම කරන කෙනා අපෙන් ඈත්වෙයිදෝ කියලා තව ලොකු භයක් අපිව නිතරම පෙලනවා . . . ඉතිං අපි ප්‍රේමය නිසා හැම මොහොතකම ඉන්නේ ලොකු ශෝකයකින් . . හා ලොකු භයකින් . . .

    ප්‍රේමය යි . . ශෝකය යි . . භය යි ගැන වෙනමම බ්ලොග් එකක් ලියන්නත් හිතෙනවා මේ කමෙන්ට් දැක්කාම නම් . .

    ReplyDelete
  11. දුකා "ගෝත්‍රික මානසිකත්වය" දැන් තමා තියෙන්නෙ එහෙම නැතුව ඉස්සර නෙවේ

    මම නම් හිතන්නෙ ඉස්සෙල්ලා ලිපිය ලියපු විදියයි වැරදි ඒක "අමුවෙන්" කිව්වෙ, වෙන ලස්සන වචන දාල ඒ සිද්ධිය කියන්න තිබ්බා.

    ලිපිය යට තියන පදමාලාව වගේ

    "තමන්ගේම මතය තමන්ම විවේචනය කරන්න ඕනා"
    මෙය තමා සැම දෙන කල යුත්තෙ

    ReplyDelete
  12. @ Anonymous!
    ගෝත්‍රික මානසිකත්වය ආදී කාලීන දෙයක් විදිහට මම හිතුවේ අපි අද දවසේ "මගේ රට . . . මගේ ජාතිය . . " වගේ වචන කිව්වහම "අපෝ මේ අද අපි හමෝම එකම ගමක ජීවත් වෙනවා වගේනේ . . .ඔය වචන නිකම් 18 වෙනි සියවසේ භාවිතා කල ඒවානේ " කියලා කෙනෙකුක් තර්ක කරන්න පුලුවන් කියල මට හිතෙන නිසායි මම් ලිව්වේ ආදී කාලීන ගෝත්‍රික මානසිකත්වයෙන් පෙලෙන දුකා කියලා

    අනෙක . .

    මම නිතරම කියන දෙයක් තමයි මම මේ බ්ලොග් කලාවට නවකයෙක් . . . ඒ වගේම නිතරම අනුන්ගේ උපදෙස් පිලිපදින්න කැමති කෙනෙක් . . . මගේ අක්කගේ පුතා හරි කිව්වොත් "මාමා ඕක ඔහොම නෙමෙයි මෙහෙමයි . . " කියලා මට මගේ මතය ගැන සම්පූර්න විශ්වාසයකුත් නැති නම් . . එයා කියන දේ හරි වගේත් කියල හිතෙනවානම් . . අනිවාර්‍යෙන් මම ඒක පිලිගන්නවා .. . ඉතිං මේ ඇනෝනිමස් මට කව්ද කියලා ටිකක් කියලා පුද්ගලිකව හරි මූනු පොත හරහා හරි මට තව උපදෙස් දෙනවානම් මම හරිම සතුටුයි . . .

    ReplyDelete
  13. Thilini JasinArachchiOctober 12, 2009 at 11:06 AM

    මට හොදට මතකයි..වරල...සා පිල් සේ..නී..ල මේ පදමාලාව අපේ නැටුම් පන්ති මිස් හරිම මිහිරි විදියට අපේ දෙසවන් රසවත් කරපු හැටි..එවගේම රැ පැල් රකින කුරහන් පිපෙනා හෙනේ මේ සින්දුව හැගුම්බරව මිස් ගායනා කරද්දි යාලුවෝ ටික මියාට පිම්බාවගේ අහගෙන හිටියා....හරියට ගුත්තිල විනා වයද්දි නොදනිත් දරුවන් ඇකයෙන් වැටුනා...වගේ නැටුම් මිස්ගේ කවි සින්දු වලට අපි වශි වෙලා හිටියේ.දුකා...ඔයාගේ මෙ ලිපිය බලද්දි මගේ හිත ගිහින් නතර උනේ නැටුම් පන්තියට අකුරු කරපු නැටුම් මිස්ගේ ලග. ඒදා මිස්ගේ ලග තිබුනු නිහතමානිකම,කලාවට සිත නැඹුරු කිරිමේ හැකියාව ඔයා ලගත් තියෙනවා....මෙත්‍රිය,කරුනාව,දයාව,අනුකම්පාව,ආදරය,සන්වෙදි කම මේ හැම දෙම කලා ලෝකෙන් අපිට උරුම වෙච්ච දෙවල් කියලා මට හිතෙනවා....ඔයාට ගොඩක් පින් රසාස්වදයට අලුත් දොරටුවක් විවර කරාට.......සදා ජය!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  14. @ Thilini JasinArachchi!
    ස්තූතියි තිලිණි . . ඇත්තෙන්ම මගේ අදහස හැමදෙනාටම උසස් රසවින්දනයක් තියෙනවා නමුත් හොඳ දේ තෝරා බේරා ගැනීමේ පොඩි ගැටලුවක් තියෙනවා ඉතිං මගේ වෑයම මට හොඳයි කියලා සිතුනු . . උසස් නිර්මාණයක් කියලා මට හැඟුනු දේවල් ගැන මේක බලන අයට වැටහීමක් ලබා දීම . . ලබා දී ඒවායින් මා විඳි තරම් සතුටක් ලබා ගන්න ඉඩ ලබා දීම. . එසේ ලබාගන්නවා ඇතියි උපකල්පනයෙන් මා ත් සතුටක් ලැබීමයි . .

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails