
නොපෙනෙන දෙනෙතට දෙනෙතක් දිය හැකි නම් . .
හඬ නැති මුවඟට කට හඬ දිය හැකි නම්
අහිමිවු දෙපයට පා යුග විය හැකි නම්
පොඩි මිතුරෝ මම නුඹ සිප ගන්නම් . . .
නංදා මාලනී මහත්මියගේ මේ ගීතය අහන අහන වාරයක් පාසා මට මතක් වෙන්නේ යුද්ධය නිසා අත් පය අහිමිව ඇස් කන් අහිමිව තාවකාලික කූඩාරමක් අසල බිම ඉඳගෙන ඉන්න පුංචි එකෙක්ව.
ඒ සිදුවීම මතක් වීමත් එක්ක මහා දුක් අඳුරකින් හිත වෙලා ගැනීමත් අඳුරු පටලයකින් ඇස් දෙක බොඳ වීමත් උගුරේ යමක් හිරවුනාක් වගේ හැඟීමක් දැනෙන එකකත් යන මේ සියල්ල සිදුවෙන්නෙත් එකටම වගේ.
ආයෙත් මොහොතක් ඒ ගැන සිහි කලාම අනුන්ගේ දුකක් වෙනුවෙන් කඳුලක් හෙලන්න ඒ අය වෙනුවෙන් යමක් කරන්න ඕන කියන හිතුවිල්ලෙන් ඉන්නා අය මේ ලෝකේ ඉන්නවා නේද කියලා හිතට දැනුනාම අර බොඳවුනු දෙනෙත් ආයේ පාරක් පැහැදිලි වෙන්න පටන් ගන්නවා. හදවත වෙලා ගත්තු අඳුරු වේදනාව අඩු වෙලා යනවා . . .
එදා ගිය පෙබරවාරි 12 වෙනිදා විහාර මහා දේවී උද්‍යානයේ ප්‍රධාන ගේට්ටුවේ ඉඳන් මීටර් 100ක් විතර දුරින් තණ බිමේ අඩි 15ක විතර විෂ්කම්භයක් හැදෙන විදිහට රවුමට බිම වාඩි වෙලා හිටපු මිතුරු මිතුරියෝ විසි තිස් දෙනා දැක්කාම මගේ හිතේ උපන්නේ අර දෙවෙනියට කිව්ව අනුන්ගේ දුකේදී උනුවෙන හදවත් දැක්කාම ඇතිවෙන නිරාමිස ප්‍රීතිය . . .
ඉලන්දාරියා (දිලුම්) වෙනුවෙන් යමක් කල යුතුයි කියලා හිතලා තමන්ගේ වටිනා කාලය කැප කරලා ඇවිත් උන්නු ඒ මූනු ටික දක්කාම ඇත්තෙන්ම මගේ ඇසට කඳුලක් උනපු බව එතන හිටපු කාටවත් නොපෙනෙන්න එක දිගට ඇස් පිල්ලම් කීපයක් ගැසීමෙන් යටපත් කර ගන්න මට පුලුවන් උනා. . .
පෙබරවාරි 8 වෙනිදා ආසිරි රෝහලේදි අභීතයි අසේලයි මමයි දිලුම් මුන ගැහෙන්න එකතු වුනු වෙලාවේ. . . දිලුම්, අපි කතාකරද්දී කටවල් දිහා බලන් ඉඳලා බෑග් එක ඇරලා පොතකුයි පෑනකුයි දික්කරපු වෙලාවේ හිත හෝස් ගාලා ඇවිලිලා ගිහින් ගිනි ගත්තු ගින්දර නිවන්න 12 වෙනිදා හිතට ගලපු සීතල හැඟීම මදි වුනත් දුමී, අභීත, අසේල, වැප්, ලිශ්, ඩී, මුචා, ගීත්, පුතා, හිපියා, හම් තුම්, නලින්, අසංග, චමිල, මරේ, බුදාජීව, බින්කු, ටැබූ (පෝස්ට් එක දිග වැඩි වෙන නිසා සියලු නම් ගම් ලියන්න බැරි වෙන එක ගැන අනෙක් අය මට සමාවෙන්න ) ආදී බ්ලොග් සහෘදයෝ එදා උපන් උදව් කිරීඑම හැඟීමෙන් අදටත් ඒ වෙනුවෙන් කල යුතු දේවල් කරගෙන යනවා දැක්කාම ඒ ගින්නේ රස්නිය ටිකෙන් ටික අඩුවෙනවා වගේ දැනෙනවා.
ගිය 6 වෙනිදා පටන් ගත්තු මගේ මෙදාපාර නිවාඩුවේදී කල මුල්ම වැදගත් කටයුත්ත තමයි ඒ දිලුම්ගේ වැඩේ වෙනුවෙන් පොඩි කාලයක් කැප කිරීම.
12 වෙනිදා දවල් උවමනාවකට මහරගම හංදියට ආවට පස්සේ දැක්කේ එදා හවස 7ට නිරෝෂා, සුනිල් එදිරිසිංහ, ටී එම් ජයරත්නගේ සංගීත සැඳෑවක් බව. විහාරමහා දේවී එකේ හමුවට එද්දිම යාලුවෙකුටත් එක්කම ටිකට් අරගෙන ආවයින් දිලුම් වෙනුවෙන් කල යුතු වැඩ ගැන සාකච්චා කරලා ඉවර වුන් ගමන් ආයේ ඉක්මනටම යන්න වුනා.
එදා විහාර මහා දේවී උද්‍යානයේ හමුවේදී සිදුවුනු තවත් විශේෂ සිදුවීමක් සටහන් කරන්න අමතක වුනා.
ෆේස්බුක් එකේ මගේ ප්‍රියතම කවියෝ දෙන්නෙක් වුනු ධනුෂ්කා නිශාදි නැගෙනියත් දොන් ජුවන් පිටකොටුව මලයත් මුන ගැසීම තමයි ඒ සිදුවීම.
. . . . . . . . . . . . . . . . .
නිවාඩු ගිය දාට පහුවදා නදීෂලගේ ගෙදර යද්දී මගදී එනවා කෝල් එකක් නදීෂගේ අම්මගෙන්. අවුරුදු දෙකක් විතර තිස්සේ වකුගඩු අමාරුවක් නිසා ඔපරේෂන් කරලා ඒත් සුව නොවී අසනීපෙන් හිටපු පොඩි මාමා අන්ත්‍රාවුනා කියලා. නුවර ගෙදර ගිය ගමන් කාලා බීලා අනිත් පැත්ත කඳානේ මළ ගෙදරට ආවා ඉතිං.
භූමදානය කලේ අරලිය ගස් තොගයක් වැවිලා තිබුනු හරිම ලස්සන නිස්කලංක සුසාන භූමියක.
. . . . . . . . . . . . . . . . .
ඔය අතරේ අපේ බ්ලොග් කියවන තවත් ලොකු කලාකාරයෙක් මේ පුංචි මම වෙනුවෙන් පැදුරු පාර්ටියක් ඕගනයිස් කලානේ.
චින්තක අබේරත්න තමයි ඒ කලාකාමියා. චින්තක අයියගේ පවුලේ අයත් මගේ තරුණ කාලේ ඉඳන් හිත් ගත් තවත් ලොකු කලා කාරයෙක් වුනු ඉන්ද්‍රනාථ තේනුවර අයියටත්, ඉඳුනිල් නම් වූ ඔහුගේ මිතුරෙකුත් ඔහුගේ පවුලේ අයත්, ප්‍රවීන ඡායාරූප ශිල්පියෙක් වන දීපාල් ගෝමස් සහ ෆේස් බුක් එකේත් ජනප්‍රිය කවියෝ වුනු දුමින්ද අලහකෝන්, චිරන්ත, චමිල පාලිතරත්න යන අයටත් අපිට අමතරව ආරාධනා කරලා තිබුනා. පැදුරු පාර්ටිය තිබුනේ මතුගම තුඩුගල ඇල්ල ලඟ. නදීෂයි මායි විරුලුයි තනියෙම යන්න බැරි නිසා අභීතටත් එන්න කියලා තමයි අපි එහේ ගියේ. ඒ සොඳුරු හදවත් හමුවත් ජීවිතයේ නොමැකෙන සිහිවටනයක් වෙන බව සිකුරුයි.
. . . . . . . . . . . . . . . . .
අහ් තවත් දෙයක් . . මෙහේ ඉඳන් මවාගෙන හිටපු හීන දෙකක්, හැබෑ කර ගන්න බැරි වෙයි කියලා දුක් වෙවී හිටපු හීන දෙකක් හැබෑ කර ගන්නත් පුලුවන් වුනා මගේ වාසනාවට. එකක් තමයි හඳයගේ "විදූ" ෆිල්ම් එක. අනෙක "කොලොම්බෝ කොලොම්බෝ" ඩ්‍රාමා එක.
හීන හැබෑ කර ගත්තා වගේ නෙමෙයි මේ හීන දෙකම මවාගෙන හිටපු අපේ ගෙදර උන්දෑව එයාලගේ ගෙදර ගිහින් ඇරලලා ආවට පස්සේ මේ හීන මම තනියෙන් හැබෑ කරගන්න සිදු වුනු එකෙන් තව පොඩ්ඩන් III වෙනි මහ ලෝක යුද්දේ සිද්ද වෙන්න ගිහින් ලාවට වගේ බේරිලා එන්න පුලුවන් වුනා.
. . . . . . . . . . . . . . . . .
පොඩි කාලේ ඉඳ ලඟින්ම ඇසුරු කරන මගේ හොඳම මිතුරෙක් වුනු මෛත්‍රී අපේ ගෙදර ආපු දා එකම යුද්ධයයි.
ගෝනි කරේ තියන් පක්ෂයක් වෙනුවෙන් කඩේ යන අපේ පියානෝ සහ මෑණියෝ තමයි මුවා පැනලා ගිය මට තඩි බාන්න ලැබුනු හොඳම මුව හම් දෙක.
“උඹ එවන රුපියල් 20,000න් අපි දෙන්නෙක්ට ජීවත් වෙන්න අමාරුයි” කියලා කරන චෝදනා වලට “ඇයි ඉතිං ඔයාලගේ නායකයන්ට කියන්නකෝ උත්සව වලට, පෝස්ටර්, කටවුට් වලට කරන නාස්තිය අඩු කරලා එක එක රට වලට යනකොට හැත්ත බුරුත්ත ඔක්කෝම අරන් ගිහින් මහජන මුදල් කාබාසිනිය කරන එක නවත්වන්න කියල” උත්තර දීලා අර මුව හමට තඩි බෑවට මෛත්‍රී ඇවිත් දේශපාලනේ ගැන කතා කරන්න වුනායින් එකම කනුවේ බැඳපු ගොන්නු තුන්දෙනෙක් තප්පුලනවා වගේ වුනා.
“දෙයක විනිවිද භාවය කියන දේ ඔයාලා දන්නවද” කියලා ඇහුවාම “ඕවා ඕන නෑ ඇහැට පේන්න යමක් කෙරිලා තියෙනවනේ . . ඒ මදිද කියලා” පිලිතුරු ලැබුනට පස්සේ විනිවිද භාවය ගැන විස්වාසයක් තියා ඒ මොකද්ද කියල වත් නොදන්න අය එක්ක දේශපාලනේ කතා කරනවට වැඩිය හොඳයි කට මහ පාරේ අතුල්ල ගන්නවා කියලා වාදේ නතර කරලා දැම්මා.
හිනා යන වඩේ මෛත්‍රී ඇවිත් තියෙන්නේ හම්බුකරන ගානෙන් ලංකාවේ ඉඳගෙන දරු පවුලත් එක්ක ජීවත් වෙන්න අමාරුයි කියලා මගේ හිතවෙතෙක්ට කියලා ඌට පිට රට යන්න උදව් කරන්න පුලුවන්ද කියලා අහන්න.
“අයි බන් ඉතින් ඔය උඹ කියන මහා සංවර්ධනේ, ආශ්චර්‍ය දමල ගහල ඒකට උර දෙන්නේ නැතුව පිට රට යන්න හදන්න” කියලා ඇහුවාම ඌ දාපු අසරණ හිනාව නිසා වෙන මොනවත් නොකියා කට වහගන්න සිද්ද වුනා.
ඒ වෙනකොට කියව කියව හිටපු නවකතාව නිසා ඇති වෙලා තිබුනු කලකිරීමයි මේ සිදුවීමෙන් ඇතිවුනු කේන්තියයි එක්ක එදා රෑම ලිව්ව කවියක් වගේ එකක්. ඒක තමයි මම අර "බඩ ගැත්තරයාට සමාව බයබෝයි " කියලා පලකලේ.
. . . . . . . . . . . . . . . . .
18, 19, 20 දවස් තුනේ මරේ, රවා, ජේ.ඩී. සෝරෝ, වාසල, නුවන්, ප්‍රියන්ත, පසන්, කුෂාන්, ෆා එක්ක ගිය ට්‍රිප් එක නම් ජීවිතේට අමතක නොවන ට්‍රිප් එකක්. මරේගේ ඕගනයිසින් නම් කියලා වැඩක් නෑ - පට්ට. රවා දවස් තුනේ අපිට දුන්නු ආතල් එක ගැන මතක් වෙද්දිත් තාම හිනා යනවා.

ඔක්කෝටම හපන් අපේ කොල්ලා ෆාට අයියා කියන එක. "අයියා නෙමෙයි පුතේ නැන්ද" කිව්වම ඌ "නෑ නෑ අයියා" කියලම කියා සිටිනවා (හි හි හී).
ට්‍රිප් එකේ ගිය තැන්, නතර වුනු තැන් ගන නියම විස්තරයක් (ට්‍රිප් එක නොගිය අයට වුනත් ගියා වගේ දැනෙන්න ) අපේ ප්‍රියන්ත මල්ලී එයාගේ මගේ මතක බ්ලොග් එකේ දාලා තියෙනවා. අපි ගිය ලස්සන ලස්සන තැන් හැම එකකම ලාස්සන පිතූරත් එකතු කරලා තියෙනවා. කට්ටියම මෙන්න මෙතනින් ගිහින් ඒකත් කියවලා බලන්න ඕන හරිද?
. . . . . . . . . . . . . . . . .
නිවාඩුවේදී සිද්ද වුනු විශේෂතම දේ තමයි මගේ නහයේ ඔපරේෂන් එක.
මගේ සුව නොවන හිසරදේ වෙනුවෙන් කරපු එම් ආර්. අයි. සී. ටී ස්කෑන් රිපොර්ට් බලලා ඩොක්ටර්ස්ලා ඔක්කෝම කිව්වේ මගේ නහයේ ඇතුලේ තියෙන ලොකු ඇදය නිසා මොලේට යන ඔක්සිජන් ප්‍රමානය අඩුවීම ඔලුව කැක්කුමට හේතුවක් වෙන්න පුලුවන්ය, නහය කපලා කෙලින් කරලා හැදුවාම හරි යන්ට ඉඩ තියෙනවාය කියන එක.
කපනවට කොටනවට තියා ඉන්ජෙක්ශන් එකක් ගහවටත් මර බයේ දඟලන මම ඔපරේශන් කතාව හිතින් අත්හැරලා හිටියා වුනත් පුරුස දහිරිය හිතට අරගෙන හිත දඩි කරගෙන ඔපරේෂන් එකට මූන දුන්නා ගිය 25 වෙනිදා.
නහය කපලා තියෙන අමාරුවට හිනාවෙන්න කතාකරන්න තියා බඩට යමක් වුනත් අමාරුවෙන් දා ගන්න කාලේ ලිෂා, මුචා, හිපියා, ඩී, චමිලයා ආවා අපේ ගෙදර දිලුම්ගේ ප්‍රොජෙක්ට් එක වෙනුවෙන් කරන පික්චර් පෝස්ට් කාර්ඩ් වැඩේ පින්තූර සිලෙක්ට් කරන්න. (උන් බලෙන් ආවා නෙමෙයි අයියෝ . . මමයි කෝල් කරලා කෝල් කරලා ගෙන්න ගත්තේ හික්ස්)

එදාම අපේ අක්කගේ පවුලේ අයයි නංගීගේ පවුලේ අයයි ඇවිල්ලා එදා ගෙදර නිකම් නුගේගොඩ හන්දිය වගේ. ළමයින්ගේ කෑ ගැහිල්ලත් එක්ක වහලේ ඇස්බැස්ටොස් උඩ යන තරමට හිනාව. තව පොඩ්ඩෙන් හිනාවෙලාම නහයට දාපු මැහුම් ඩොක්ටර් කපන්න කලින් කැඩිලා යනවා.


නිවාඩුවේදී සිදුවුනු කනගාටුදායකම දේ තමයි අපේ දයාබර ජෝර්ජ් අයියා මා වෙනුවෙන් සංවිධානය කරන්නැයි ඔහුගේ මිතුරන් වූ ටියුලින් ජයරත්න (පෙර වෙළඳ සේවයේ පිබිදෙන ගායක පරපුර, අම්බිගා ගීතයෙන් ගීතය ආදී වැඩ සහටන් වල සංගීතය මෙහෙයවූ) අයියාගෙන් සහ ඔහුගේ ඥාති සනත් අයියාගෙන් ඉල්ලා සිටි නිසාවෙන් ඔවුන් පෙබ. 25 දාට රාත්‍රියේ පවත්වන්න සංවිධානය කල පැදුරු පාර්ටිය ලබන නිවාඩුව තෙක් කල දමන්න සිදු වුනු එක.
අමතරව ජෝර්ජ් අයියාගේ අතිප්‍රභල සංවිධාන ශක්තියේ ආනුභාවයෙන් වැල්ලවායේ දුප්පත් දරු පවුලක් වෙනුවෙන් ගොඩනැඟූ නිවසේ යතුරු භාරදීමේ උත්සවයට සහභාගී වෙන්න නොලැබීම.
දයාබර ජෝර්ජ් අයියා මගේ කරුනු කටයුතු සිදුවුනු ආකාරය නිසාවෙන් ඒ දේවල් වලට සහභාගී වෙන්න බැරි වීම තේරුම් අරගෙන මට සමාව දෙනු ඇතැයි සිතනවා.
අහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මගේ දයාබර පාඨකයෙක් වුනු සහෝදරයා නමින් කමෙන්ට් දාන රන්දික සේදර සහෝදරයා මහා වරුසාවක මාව බලන්න ආපු හැටි ගැන ලියන්නම ඕන. අනේ පව් පොඩි වෙලාවක් කතාබහ කර කර ඉඳලා කොල්ලා මහ වැස්සේම යන්න පිටත් වුනා.
නහයේ ඔපරේෂන් එකෙන් පසුව මැහුම් කපන්න බයේ පසුවුනු නමුත් (තව පොඩ්ඩෙන් නිවාඩුවත් එක්ටෙන්ඩ් කර ගන්නයි උත්සාහ කලේ . ..බය ගුල්ලා) 3 වෙනිදා මහුම් කපා නහයට ඇතු කර තිබූ ප්ලාස්ටික් උපකරන ඉවත්කල පසු ඒ බිය පහව ගියායින් මුලින්ම සැලසුම් කල පරිදි මාර්තු 5 වෙනිදා හවස ආපහු ඩුබායි / අබුඩබි පුරය බලා සැපත් වුනා.











