Wednesday, September 21, 2016

උඹලා නැති ලොව අපිට මොකටද ?


පුතුන් දෙදෙනා මුහුදට බිලිවූ සොවින් මව සහ පියා එල්ලී මියයති
දිවයින පුවත් පත 2016 සැප්තැම්බර් 20

ලොකු පුතේ උඹ උපන් දා මට
සුරබි දේනුව වගේ දැනුනා
උදේ හවහට නමස්කාර දී
දුර්ගා දේවිට පහන් තිබ්බා

කහටෙ පෙඟවූ පාන් වාටිත්
හරිම රස යැයි අපිට හිතුනා
මනියේ සද්දෙට දුවල ඇවිදින්
කිරි තනේ උඹේ කටේ එබුවා

පොඩි පුතේ උඹේ දාංගලයට
උඩහ ගෙදරින් බැනුම් ඇහුවා
උඹේ හුරතල් කිරි හිනාවට
පපුව සතුටින් නැටුම් නැටුවා

බාර් එක ලඟ තැග් ගැහුනු පා
විදුලි වේගෙන් ගෙදර දිව්වා
තියෙන විදිහට බෙදාගෙන කා
එකට පැදුරේ තුරුළු වූවා

ඉලන්දාරින් ලෙසට යස හැඩ
හැදෙනු දැක අපි උදම් වූවා
සතුට උහුලනු නොහැකි විටකදි
සරොම් වාටියෙ කඳුලු පිස්සා

සුනිල් මල්ලී දුවල ඇවිදින්
පනිවිඩේ අපේ කනේ තිබ්බා
පපුවේ සද්දේ නතර වුනු බව
ඒ වෙලාවෙම අපිට දැනුනා

ලේන් ජෝඩුවෙ දුකට පිහිටට
සක්‍ර දෙයියෝ පිහිට වූවා
සක්‍ර දෙයියට වැඩත් වැඩි ඇති
අපිට ඒ බව දැනිලා තිබ්බා

උඹලා නැති ලොව අපිට මොකටද
පපුව පැලිලා ලේත් ගැලුවා
ගහේ කොල අතු අපේ දුක දැක
අහක බලමින් කඳුලු සැලුවා !

Pic from : http://tinybuddha.com/

23 comments:

  1. Replies
    1. ඔව් ඒක අහපු ගමන් මාවත් ශොක් උනා

      Delete
  2. අපූරු කවි පෙළක් දුකා ලියළා.

    කදුලු මල් වුව තුටින් විඳගෙන
    සෙනෙහසේ සුව නිතර වින්දා
    එකට ඉපදෙමු එක්ව මිය යමු
    මතු භවේ යළි ළංවෙලා......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් බන් ඒ අම්මට තාත්තට එහෙම හිතලා පුතාලා දෙන්න ගිය දවසේම යනන් හිතන්න ඇති

      Delete
  3. මේ විදියෙ අපූරු නිර්මාණ කරපු ඉස්සර හිටිය දුකා දැන් එහෙම ලියන්නෙ යලට මහට වගේ.. ඒකයි අපට දුක..

    ReplyDelete
    Replies
    1. කාල වේලාව බොහෝම අඩුයි බුරා. කෝමෙයි ජීවිතේ? හිටු ෆේස් බුක් එකෙන් හලෝ පාරක් දාන්න

      Delete
  4. මේ සිදුවීමෙන් පෙනෙන්නේ තවමත් අපේ සමාජයේ නූගත්කම කොපමණ දුරට පැතිරී තිබෙනවාද කියන එකයි.

    ReplyDelete
    Replies
    1. සියදිවිනසා ගැනීම මෝඩකමකට, නූගත්කමකට ලඝු කරන්න බැහැ විචාරක.

      මිනිස්සුන්ට උදේ නැගිටින්න, වැඩට යන්න, මහන්සි වෙන්න, සතුටු වෙන්න.. කෙළින්ම කියනව නම් "මිනිස්සුන්ට ජීවත් වෙන්න" අරමුණක් ලබා දෙනවා නොයෙක් දේවල්. සමහරුන්ට තමාගේ ආදරවන්තයා/ආදරවන්තිය.. සමහරුන්ට තමන්ගේ දෙමව්පියන්.. සමහරුන්ට තමන්ගේ රැකියාවේ අනාගතය.. සමහරුන්ට මුදල් හම්බකිරීම.. සමහරුන්ට සමාජයේ කීර්ති නාමයක් ඇති කර ගන්න එක.. තවත් සමහරුන්ට තමාගේ බිරිඳ, දරුවන්, තමාගේ පවුල.....

      ඔය වගේ තමන්ගේ ජීවිතයට අරමුණක් එක් කල දේවල් එක පාරම හෙණ ගහන්නා වගේ නැති වෙලා ගියාම.. ඒවගේ මොහොතකදි තව දුරටත් ජීවත් වෙන්න හේතුවක් හිතාගන්න බැරුව අන්ත අසරණ අඩියට වැටෙන එක මෝඩ කම විදියටවත්, නූගත්කම විදියටවත් හඳුන්වන්න එපා. මනුස්ස හැඟීම් ඒවගේ සිල්ලර විදියට විවේචනය කරන්න එපා.

      අපි ඕනම කෙනෙක්ට දරා ගැනීමේ සීමාවක් තියෙනවා. ඒ සීමා පුද්ගලයා අනුව එක එක තැන් වල පිහිටල ඇති. මගේ අදහස, මරණය කියන්නෙ මේ ලෝකයේ තියෙන නරකම දෙයවත්.. ජීවිතය කියන්නෙ මේ ලෝකයේ තියෙන හොඳම දෙයවත් නෙමේ..

      මේ වගේ අසරණ වුන මනුස්ස ජීවිත දෙකක් මේ විදියට ඉවර වුනාම එතනදි තමයි සහකම්පනය කියන එක අවශ්‍ය වෙන්නෙ.

      වැඩ ඇරිලා ඇවිත් නාලා කරලා ෆෑන් එක දාලා ලැප් එක ඇරගෙන මේ විදියට ඉවර වුන මනුස්ස ජීවිත විනිශ්චය කරන එක එච්චර සදාචාරවාදී ක්‍රියාවක් නම් නෙමේ.

      මේ මම ඔය ගැන මගෙ බ්ලොග් එකේ තියපු සටහනක්. කැමති කෙනෙක් ඉන්නව නම් කියවන්න https://magewalpal.blogspot.com/2016/04/blog-post.html

      Delete
    2. මෙන්න අලුතෙන්ම සටහනක් විදියට ලියල ආයෙම පල කලා. කැමති කෙනෙක් වේ නම් කියවන්න :)

      http://magewalpal.blogspot.com/2016/09/blog-post_25.html

      Delete
    3. සංජය කියන කතාව ඇත්ත විචා.
      ගොඩක් දෙමාපියන්ට දරුවෝ තමා ජීවිතේ.

      වයසට ගියාම කටට වතුර උගුරක් දාන්න කියන පටු චේතනාව නෙමේ. හදපු වඩපු උන් සතුටින් ජීවිතේට මොන්න දෙනවා දකින්න තියෙන ආසාවට වෙන්න පුලුවන්.

      සංජය කියනවා වගේ දරාගැනීමේ සීමාව ට ලඟා උනාම අපි මොනව කරනවද කියලා අපිටම නොපෙනී යන්න පුලුවන් කොයි තරම් උගත් බුද්දිමත් කියලා හිතුවා උනත්

      Delete
    4. සංජය - තැන්කූ මචෝ උඹේ දීර්ග කොමෙන්ටුවට.

      මම හිතන්නේ නිව්ස් එකෙන් ශොක් වෙලා මම ලිව්ව එක උඹ මොලෙන් ඇනලයිස් කරලා ලියලා.
      ජය

      Delete
  5. ඇයි දෙයියනේ ඒ අහල පහළ ළමා නිවාසයක් නැද්ද.. කොයි තරන් ළමයි ඇත්ද අම්මා තාත්තාගේ ආදරේ විඳින්න නැතුව.. මට හිතන්න අමාරු ඇයි මිනිස්සු විපතක් උනාම හිතට එන දේම කරන්න ඕන කියලා මිසක් වෙන විකල්ප හොයන්නේ නැත්තේ.. මිල කල නොහැකි දෙමාපිය ආදරය හිමි තමන් ගෙන් ඉපදුනු ළමයිනට විතරමද...

    කවිය හිතට දැනෙනවා දුකා..

    ReplyDelete
    Replies
    1. දුක දරාගන්න බැරි වුනු මොහොතේ ඔය කිසි දෙයක් මතක් වුනේ නෑ වෙන්න ඇති අප්පා

      Delete
  6. හරිම කනගාටුදායක සිදුවීමක්.ඒ දෙමව්පියෝ කොයි තරම් වේදනාවක් ඇතුව ඉන්න ඇතිද ?

    ReplyDelete
    Replies
    1. අප්පා ඔව් . . ඒ නිව්ස් එක (දරුවෝ දෙන්න මැරුනු නිව්ස් එක ) කියෝපු අපිටම හරිම දුකයි . . අම්මා තාත්තට ??

      Delete
  7. අමාරුවෙන් කියවගත්තා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් .. දරුවෝ කියන්නේ දෙමාපියන්ගේ හදවතනේහ්

      Delete
  8. සංවේදි කවියක් දුකා.............
    මනියෙ සද්දේ කියන්නෙ මොකද්ද බන්

    ReplyDelete
    Replies
    1. තේ වතු රබර් වතු වල වැඩ කරන කම්කරු ජනතාවට උදේ වැඩ පටන් ගන්න වෙලාව, දවල් කෑමට නතර කරන්න ඕන වෙලාව හවස වැඩ නවත්තන්න වෙලාව දැනුම් දෙන්න යකඩයට යකඩයකින් ගහලා ඇති කරන සද්දේ! (මේ අපේ ආච්චි කියලා දුන්නු විදිහ)

      Delete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails