UAE Sri Lankans Events

Sunday, August 14, 2016

සතුට මිසක දුක මොකටද ??


මේඛලා ගමගේ ගේ අහන් ඉන්න අහගෙන ඉන්න ගීතයේ "සතුට මිසක දුක මොකටද" කොටස හැමදාම මගේ හිත කොහේදෝ ලෝකෙක අතරමං කරනවා කියා මට සිතේ.

දෑසින් ලෝකය දකින්නට වරම් නොලද ඇය "සතුට මිසක දුක මොකටද" කියා අසන වාරයක් වාරයක් පසා මගේ හිත මගෙන් පිලිතුරක් නැති ප්‍රශ්නයක් අසයි.

කිසියම්ම වූ ශාරීරික අඩුපාඩුවක් සමඟ ලෝකයට පා තැබූ අය සියල්ලෝමත් ඒ අඩුපාඩු අමතක කොට ජීවිතයේ ගෙවෙන හැම මොහොතක්ම සතුටින් ගතකරන්න උත්සාහ කරද්දී . . . කිසිම අඩුපාඩුවක් නොමැතිව ලෝකයට බිහිවූ බොහොමයක් දෙනා නැති ප්‍රශ්න සාදාගෙන ජීවිතයෙන් සතුට බැහැර කරන්න උත්සාහ කරන්නේ ඇයි.

කිසිම වූ අඩුපාඩුවක් නැති අපි බොහෝ දෙනෙක් බොහෝ විට අඩුපාඩුවක් නැති කම ගැන වද වෙනවාද? සමහරවිට අවධානය, ආදරය හෝ අනුකම්පාවක් නැතුව ස්වාධීනව ජීවත්වීම අපහසුයි කියා සිතනවා වත්ද?

ලෝ වැඩ සඟරාවේ "පන නම් තණ අග පිණි බිඳු වැන්නේ" කියා සටහන්ව ඇත. ඒ බැව් අප බොහෝ දෙනෙක් දන්නා නමුදු එවැනි යමක් කෙදිනක වත් අසා නැත්තවුන් සේ ජීවත් වීමට අප උත්සාහ කරන්නෙමු.

අපි සෑහෙන දෙනෙක් කිසිවෙකුගෙන් නොයැපී ස්වාධීනව උපයාගෙන ජීවත් වුවත් අප අපට සරි ලෙස නොව අනෙක් උන් අපි මෙසේ ජීවත්විය යුතුයැයි බලාපොරොත්තුවේ යැයි අපි සිතා සිටින ලෙසකට ජීවත්වන්න කැමැත්තෝ වෙමු.

අපේ සතුට උන් වෙනුවෙන් අනිවාරතේ පුදකර සතුටු වෙන්න ලැබෙන අවස්ථා මඟහරිමින් ජීවත් වෙන්නෝ වෙමු. අසතුටෙන් ජීවත්වෙන්න කරුනු එකතු කරමින් සිටින්නෝ වෙමු.

බොහෝවිට සැබෑව නම් අනුන්ගේ දේවල් සෙවීම තමන්ගේ ජීවිතයේ එකම කාරිය කරගත් අල්පයක් හැරුනු කොට බහුතරයකට අනුන්ගේ දේවල් සොයමින් ඉන්න කාලයක් හෝ උවමනාවක් නැති බව අපිම අමතක කරදැමීමයි

අනුන්ගේ දෙවල් සොයන අනුන්ගේ හරි හෝ වැරදි දේට සිනාවෙන කට කැඩුනු කතා යැයි අප සිතන දේවල් කියන අය අනුන්ට නොරිදවීමේ අදහසකින් එසේ කරනවා විය නොහැකිද.

තමන්ගේ හෝ අනුන්ගේ සිනාවෙන්න ඕන දෙයකට සිනාවීමෙන් කතා කීමෙන් ඔවුන් තනිවමත් අන් අය සමඟත් ලබන්නේ සතුටක් වෙන්න බැරිද?

එසේ නම් අන් අයට සතුටක් ලබා දීම වෙනුවෙන් ඉඳහිටක හෝ තමන් කාරනාවක් වීම මහා භයානක පාපයක්ද?

උදාහරණයක් සිතුවොත් අපි සමහරු භාවිතා කරන මූනුපොතේ අපි ගිය ගමනක පින්තූරයක්, මුන ගැහුනු හිතවතෙක් සමඟ ගත් සෙල්ෆියක් පලකරන්න කලින් හිතන්නේ "දකින මිනිස්සු හිතයිද දන්නේ හැම මගුලම ෆේස් බුක් එකේ දාන පිස්සෙක් කියලා - ඔන්නොහේ ඕන්නෑ" කියායි.

එසේ නොසිතා "මගේ මූනු පොත මම කැමති දේ මම දානවා. බලන්න අකමැති අය ඉඳී නම් අන්ෆ්‍රෙන්ඩ් කරයිනේහ්" කියා සිතා තමන්ට කැමති (තමන්ට සිතෙන අයුරින් සමාජයට හෝ ලෝකයට හානියක් නැති ) දේවල් පලකරන්නෝ ඒ පලකල දේවල් වසරක් පාසා යලි යලිත් දකිද්දී ලබන සතුට එසේ නොකරන අය කෙසේ දැනගන්නද?

අනුන්ගෙන් ණයට ඉල්ලාගෙන හදිසියේ ගෙන ආවක් නොව දුක් කම්කටොලු බාදක පවා මැදින් පරිස්සමින් ගෙනයන ජීවිතයේ ඒකායන ප්‍රාර්ථනය සතුට පමනයි කියා සිතන්නෝ මෙතරම් විරල ඇයි!

ඇත්තෙන්ම සතුට මිසක දුක මොකටද කියා අපි අපෙන්ම අසා සතුට මිසක වෙන කිසිදෙයක අගයක් නැතෙයි සිතා අපි අපිට ඕන විදිහට ජීවත්වෙන්න පටන් ගන්නේ කවදාද . . ???

Pc From : www.pexels.com

26 comments:

  1. බොහෝදෙනෙක් වැඩ කරන්නේ කැරට් අලේ පසුපස හබා යන අශ්වයා වගේ නෙවෙයිද... ලද දෙයින් සතුටු නොවී තව තව දේ බලාපොරොත්තුවෙන් හැමදේම කරනවා..... ලද දෙයින් සතුටු වෙලා හැමදේම තමාට අනුගත කරගන්නවා නම් සතුට මිස දුක මොකටද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත අපි බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිත අන් අයගේ ජීවිත සමඟ සංසන්දනය කරන්නත් අපි කරන දේවල් වලට අන් අයගේ මතය කුමක් වේදැයි සිතා වදවෙන්නත් පුරුදු වී ඉන්නවා. ඒක හරිම අපරාදයක්

      Delete
  2. මේක වැදගත් මාතෘකාවක් දුකා . සමහරු මගෙන් ව්‍යංගයෙන් අහල තියෙනවා ඇයි ගෙදර ඉන්න දරුවන්ට නෝනට උපන් දිනේට සුබ පතන්න බ්ලොග් පෝස්ට් ලියන්නේ . ඇයි මුණු පොතේ සුබ පැතුම් දාන්නේ කියල.
    ඒ අපේ සතුට. කාටවත් හානියක් නැති අහිංසක සතුටක් . කවුරු මොනවා කිව්වත් මම ඒ දේවල් කරනවා. සතුට බෙදා ගන්නවා. මේ ලෝකේ තියෙන්නේ තමන්ට තේරෙන මට්ටමෙන් සතුට බෙදා හදා ගෙන ඉන්න . තමන්ට හානියක් නැත්නම් අනුන් කරන දේ ගැන උපේක්ෂාවෙන් බලන්නත් තව කෙනෙක්ගේ සතුට දැකලා සතුටු වෙන්නත් පුරුදු පුරුදු වීම තමයි වටින්නේ

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි ඒ සමහරු තාම මැචුවර් වෙලා නෑ වෙන්න පුලුවන්. මම මගේ ගැන හිතුවොත් මීට වසර කීපකට කලින් මම උනත් හිතුවේ - වැඩකලේ අන් අයට ඕන විදිහට සහ අන් අයට මාතෘකාවක් නොවී ජීවත් වෙන්න. ඒත් අද වෙද්දි හිතෙනවා ඒක මොන තරම් ගොන් කමක්ද. මගෙන් කිසි කෙනෙක්ට කරදරයක් නැතිනම් මම මට ඕන විදිහට ජීවත් වෙන එක තමා හොඳම කියලා. කොහොමත් ලෝකට බම්බු ගහගන්න කියලා තමන් තම්න් විදිහට ජීවත් වෙන්න ලොකු ආත්ම විස්වාශයක් තියෙන්න ඕන කියලා මට හිතෙනවා මහත්තයෝ

      Delete
  3. මාතෘකාවමත් වටිනවා දුකා

    ReplyDelete
  4. මම නම් කියන්නේ මිනිස්සුන්ට පෞදගලික ජීවිතය කියලා දෙයක් තියෙන්න ඕන.. මම බ්ලොග් ලියන්න වෙන නමකින් එන හේතුවත් ඒකයි.. එතන තියෙන්නෙ මගේ නම නෙමෙයි. හේතුව මේ සමාජය මිසක් වෙන දේකුත් නෙමෙයි.

    හැබයි දුකා කියන දේ මම පිලිගන්නවා.. අපි කවුරුත් කරන්න ඕන එක එකාට ඕන දේ නෙමෙයි තමන් කැමති දේ.. සතුට කියන්නේ ඒක තමයි.. කොහොමත් මම දුක කියන දේට කැමතිම නෑ.. ඒ නිසා ඒ වගේ නිර්මාණ කියවන්නෙත් නෑ.. ඒවයේ මට ඇති රසයකුත් නෑ.. ඒවයෙන් සමාජයට දෙන පනිවිඩයකුත් නෑ.. හරියට බුද්ධාගම වගේ... දුකම පමණයි..

    ReplyDelete
    Replies
    1. දුකේත් රසයක් නැත්තේ නෑ උදාහරණෙකට කියනවා නම් පෙරේදා ආයේ පාරක් කරුණාසේන ජයලත්ගේ සතීගේ කතාව කියෙව්වා. ඒකේ ගොඩක් තැන් තියෙනවා දුක හිතෙන. නමුත් දුක දරාගෙන දුක අමතක කරලා පොඩිම පොඩි හෝ සතුටු වෙන්න පුලුවන් දෙයක් හොයලා සතුට හොයාගෙන යන්න අපිට පුලුවන් නම් අන්න ඒක ගොඩක් වටිනවා කියලා මට හිතෙන්නේ. බුද්ධාගමේ කියන විදිහට දුකට හේතුව තන්හාව නිසා තන්හාව අඩුකරලා සතුටු වෙන්න පුලුවන් දේවල් වලට වියදම් කරන්න පුරුදු උනානම් නේහ්

      Delete
  5. ඔව්... අසතුටු දේවල් ගැන හිත හිත දුක් වෙනවට වඩා සතුටින් ඉන්න පුළුවන් දේවල් ගැන හිතලා සතුටින් ඉන්න එක වටිනවා..

    ReplyDelete
    Replies
    1. අපූගේ කතාව, ගෝදානය, , අරණකට පෙම්බැඳ, ශ්‍රී කාන්ත සහ රාජලක්ෂ්මී වගේ චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි පරිවර්ථනය කල බටහිර බෙංගාලි නවකතාවල දුකම යි තියෙන්නේ කියලා කිව්වට ගොඩක් අය කියෝලා නෑ ඒ පොත්වල චරිත දුක අතරින් පොඩි දෙයක් හොයාගෙන ඒ පොඩි දේ නිසා කොයි තරම් සතුටක් විඳිනවද කියන එක. අතට අහුවෙන දේවල් වලින් සතුටද අසටුටද ගන්නේ කියලා තීරණක කරන්න ඕන අපි අපිමයි නේහ්

      Delete
  6. ඔය සතුට කියන එකේ කෙරොල හොයන එක ලේසි නෑ. කොච්චර තියෙන එකා උනත් බලන්නෙ තව වැඩි කරගන්න මිසක්, නැති එකා දිහා බලල ඌට වැඩිය මට තියෙනවනෙ කියල හිතන එක නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් උන් සතුට හොයාගෙන යනවා සතුට අතට අරන් පැත්තකට විසිකරලම

      Delete
  7. දුකා, හොඳම ටොපික් එකක්. මේක ගැන මමත් හිතල තියෙනවා. මගේ අදහස
    මෙතනින් බලන්න.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ ලිපිය කියෙව්වා ඉයන්. මගේ අදහස ඒ ලිපියෙම කොමෙන්ටුවක් විදිහට දාන්නම් වෙලාවක

      Delete
  8. Replies
    1. ඔබ මුහුණු පොත ගැන කියු දේ නිසා මට මෙහෙම ලියලා යන්න හිතුනා. කවදහරි මගේ ඇත්ත නම ගම දැනගෙන කෙනෙක් මගේ මුණු පොත මුල ඉඳලා බලාගෙන ආවොත් මගේ ජීවිත කතාවේ වැඩි හරිය එහි තියනවා. මම තෝරගෙන ඉන්න යාලුවෝ පිරිස නිසා ඒ වගේ විවෘත වෙන්න මට පුලුවන් වෙලා තියනවා. කිසිම කෙනෙක් මගෙන් අහලා නැ "ඇයි ඔයා මේවා දාන්නේ " කියලා. මට අයහපතක් වෙයි කියලා හිතලා කියන අය නම් එක්කෙනක් දෙන්නෙක් හිටියා..අද වෙනකන් ඉඟියකින් වත් අපහාසයක් ඒ එක යාලුවෙක් අතින්වත් වෙලා නැ...

      Delete
    2. එහෙම අය හිටියා උනත් ඒ අයගේ කතා ඒ කනෙන් අහලා මේ කනෙන් පිට කරලා තම්න් සතුටු දෙයක් කරන්න තරම් ගට්ස් තම්න්ට තියෙන්න ඕන. මම නම් කියන්නේ ඒකයි. මම ජීවත්වෙන්නේත් ඒ විදිහටයි

      Delete
  9. ඕනම දෙයක් ඇතුලෙ දුක් වෙන්නත් සතුටු වෙන්නත් කාරණා තියනවා.තෝරාගැනීම තියෙන්නෙ තමුන්ගෙ අතේ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අනිවා ඩෙෆා. ඕක ගොඩක් අය තේරුම් නොගන්න එක තමා පාඩුව

      Delete
  10. මේ දවස් වල ඉන්න මූඩ් එකේ හැටියට මාව සෑහෙන්න හිතන්න පොලබවපු ලිපියක් උනා මේක.

    අපි අපිට ඕන කරපු දේ කරපු, සරලව සතුටින් ජිවත් උන කාලයක් තිබුනා. ඒ උනාට අපි වටේ ඉන්න උන් සතුටින් ඉන්න දෙන්නේ නෑ අපි වෙනස් වෙන්න ඕනේ, සංකීර්ණ වෙන්න ඕනේ කියන බලපෑම නිතරම දෙනවා. හරියට නිකම් අපි මුළු ජීවතේම අසාර්ථක , වටිනාකමක් නැති පුද්ගලයෙක් ගානට දාලා, සමාජය ඉස්සරහ පොරක් යැයි කියන්නාවූ සම්මතයන් එක්ක ඉන්න පුද්ගලයන්ව අනුගාමිකයන් වශයෙන් තෝර ගන්න කියපුවහම. අපි අපි වගේ වෙලා සතුටින් ඉන්නේ කොහොමද කියල හිතෙනවා.

    ඇත්ත, සීමා මායිම්, අනික් උන්ගේ කතන්දර නිසා අපි අපේ සතුට නැති කරගෙන.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. විශේෂයෙන් ඔයා කිව්වා වගේ පවුලේ, ඔෆිසියේ ගමේ කොටින්ම සමාජය අපට අන්දපු සළුපිලි හෝ ප්‍රතිරූපය ආරක්ෂා කරන්න අපි උත්සාහ කරනවායින් අපි නැති කරගන්නේ අපේ සතුට. සමහර විට සමාජය අපෙන් බලාපොරොත්තු වෙන ජීවන රටාවෙන් අපි ජීවත්වීමෙන් ඔවුන් සෑහීමකට පත්වෙන්නේත් නෑ. එහෙව් එකේ එක දවසක් එනවා උඹලා ඕන කුදයක් ගහගනිල්ලා, මම මම විදිහට ජීවත්වෙනවා කියලා කියන්න හිතෙන. ඒ දවස වැඩි කල් නොගොස් උදාවේවා කියලා පතනවා

      Delete
  11. මේ පැත්තට ආවේ අදයි. ඇත්තටම අනුන්ට කරදරයක් හිරිහැරයක් නොවී සතුටු වෙන්න පුලුවන්නම් වටිනවා, සහෝ. ඒ සතුට ලබන ක්‍රමය තමන්ගේ කැමැත්තයි. මේ ලිපිය මටත් වැදගත්. සතුට වෙනුවෙන්, හිතේ සැනසුම වෙනුවෙන් අත්හැරපු වටිනා අවස්ථා කීපයක් මටත් තියෙනවා. ඒත් පසුතැවීමක් නෑ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. //හිතේ සැනසුම වෙනුවෙන් අත්හැරපු වටිනා අවස්ථා කීපයක් මටත් තියෙනවා. ඒත් පසුතැවීමක් නෑ// අන්න ඒකයි වටිනාකම. සමහර වෙලාවට ඒ අතෑරපු දේවල් අතෑරපු නිසාම අද ගොඩක් සතුටින් ඉන්නවා වෙන්න පුලුවන්. තුන්වෙනියෙක් කියලා හිතලා ආපහු පොඩ්ඩක් හැරිලා බලන්න. අතීතෙට දිහා දුකක් වේදනාවක් නැතුව හිනාවෙන් බලලා හෙට ට යමු.

      Delete
    2. මේ කාලෙකට කලින් ලිව්ව මේ ජාතියේ ලිපියක්. වෙලාවක් තිබ්බොත් කියවන්න
      මම මම ම ද?
      http://dukaa.blogspot.ae/2010/12/blog-post_21.html

      Delete
  12. කාලෙකට පස්සෙ දුකා අයියා ආයෙමත් ලියනවා දැක්කෙ. සතුටුයි ඒ ගැන.

    මගේ හිතට දුකක් කල කිරීමක් ඇති උන වෙලාවට මම කල්පනා කරන්නෙ මට වඩා දුක් විදින මිනිසුන් මේ ලෝකෙ ඉන්නවා නේද කියලයි. මට තියෙන සම්පත් වත් නැති තවත් අය බොහෝ දෙනෙක් ඉන්න බව සිහි කලාම මට තියෙන දේ ගැන සෑහීමකට පත් වෙන්න බොහෝ දෙනෙකුට හැකි වේවි.

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails