Tuesday, November 27, 2012

වැලි කතරේ අපි . . .!

091111115843-large

ගිනිගෙන දැවෙනා මිරිඟු දියෙන් පිරි
වැලිකැට පුපුරන වැලි කතරක් සරි
ගහක් කොලක් නැති දිය කඳුලක් නැති
මරු කතරක් ගැන ඇසුවෙමි බිය ඇති

මිනිසුන් යති එති කහවනු ගෙන එති
මැදුරුද තනවා සිටුවරු මෙන් වෙති
කහවනු ඇති මුත් බෝ දුක් එහි ඇති
කතරට යන්නට නොසිතනු පවසති

ගත සරසන්න සළු පිලි නැති මුත්
කුස පුරවන්නට මසවුළු නැති මුත්
කරදර අඟහිඟ බෝ දුක් ඇති මුත්
කිම යනු කතරට සුරපුර මෙහි වෙත්

දේසපාලුවන් මුලු රට වනසති
මහජන මුදලින් සෙල්ලම් පෙන්නති
ජීවන වියදම අහසට උඩයති
දුප්පත් අපගේ බඳපටි තදවෙති

දෙමාපියන් හා අඹු දරු විඳවති
නොබලා ඉන්නට සිත සවි බල නැති
මරු කතරේ නොව මරු මුව තුල ඇති
කහවනු ගන්නට යන්නට සිත ඇති

ආවෙමි කතරට උන් ගැන සිතලා
දහදුක් වින්දෙමි උන් සැප පතලා
කතරේ දුක් ගිනි සිත තුල වලලා
සිනා සිසී ඉමි උන් දෙස බලලා  . . .!

Pic from: http://www.sciencedaily.com/releases/2009/11/091111115843.htm

38 comments:

  1. කතරේ දුක් ගිනි සිත තුල වලලා
    සිනා සිසී ඉමි උන් දෙස බලලා . . ....
    හිතට දැනුනු , අමු ඇත්තක් ඇති පද වැලක් !

    ReplyDelete
  2. ජීවිතේ හැබෑ දුක තේරෙන එකත් කරුමයක් වගේ. අපිටත් සුරපුරක ඉපදිලා එහේටම වෙලා ඉන්න බැරි වෙච්ච හැටි.....

    ReplyDelete
  3. හ්ම්ම්ම්..... කොච්චර ආස උනත් අපේ අයත් එක්ක අපේ රටට වෙලා ඉන්න, ඒකට අවස්තාවක් නම් ලැබෙන්නේ නෑ වගේ අයියා....

    ReplyDelete
  4. රට ගිය ඇත්තෝ.....යම් යම් කාරනා නිසා මිනිස්සු වෙන රට වලට යනවා . නමුත් හැමදාම තමන්ගේ මිනිස්සු අතර ඉන්න පොඩි තණ්හාවක් අපි හැමෝටම තියෙනව . දුකා පොඩි එකයි බිරිඳයි දාලා ආපු නිසා මේ පාළුව වැඩිය දැනෙනවා ඇති.

    අපි හැමෝටම මේ කාන්සිය අඩු වැඩි වශයෙන් තියෙනව . කවද ආපසු යයිද කියන දෙගිඩියාව තියෙනවා . එහමයි කියල අපට ආපහු දුවන්න බැරි හේතු තියෙනව .

    ඒ වුනාට මේ හිනාවෙන ඇහැ ළඟ ඕන වෙලාවක එලියට එන්න කඳුලුත් ගබඩා වෙලා තියෙනව . ඒ කඳුළු තීන්ත කරලා මේ වගේ කවි ලියන වග මන් දන්නවා .

    ReplyDelete
  5. ඉසුරු සොයා ගෙව්වත් කාලය මාරු කතරේ
    දරුවන් නොවෙද සම්පත මාගේ මිතුරේ
    තියෙන දෙයක් කාලා බී ඇල් වතුරේ
    යලි මෙහි වරෙන් ඉඳපන් දරුවාගේ ඇසුරේ

    ReplyDelete
  6. දුක,දුකා,දුකාගේ,එම්බා දුක...හේ දුකා...

    ReplyDelete
  7. ඔය දුක මමත් විඳලා තියෙනවා දුකා. පොඩි එකාගේ හුරතල්ම කාළේ. පස්සෙ මම ආවෙත් දරුවා නිසාමයි. මොනවා කරන්නද උපන් බිමේ අභිමානයක් ඇතුව ජීවත් වන්න බැරිකොට.

    ReplyDelete
  8. ඇත්ත තමයි අයියේ...

    ReplyDelete
  9. හෙම් සංවේදී කරුණක් .....

    ReplyDelete
  10. කතරේ දුක් ගිනි සිත තුල වලලා
    සිනා සිසී ඉමි උන් දෙස බලලා . . .!


    ඒක නම් ඇත්ත තමයි දුකා... මේතරම් කල් හිටියෙත් එහෙම තමයි... ඒත් මගේ නම් දැන් රතු කට්ට පැනලා..


    ReplyDelete
  11. කතරේ දුක් ගිනි සිත තුල වලලා
    සිනා සිසී ඉමි උන් දෙස බලලා . . .!

    දුක හිතෙනවනෙ අය්යේ...හිත හදන් ඉන්නේ අපි..! :(

    ReplyDelete
  12. සල්ලි තියෙන්වනම්, ලොකු ලොකු කනෙක්ශන් තියෙනවා නම් ලංකාව තරම් හොද රටක් කොහෙවත් නෑ. මිනිහෙක් මරලා උනත් බේරෙන්න පුලුවන්, මතක නෑ කියල විතරයි කියන්න තියෙන්නේ...

    ගව ‍රැලක් ව ගොපල්ලෙක් දක්කනවා....වෙන මොනවා කියන්නද.....හිතන්න පුලුවන්, සාධාරණ මිනිස්සු පුලු පුලුවන් විදිහට රට පනිනවා.....

    ReplyDelete
  13. '...දේසපාලුවන් මුලු රට වනසති
    මහජන මුදලින් සෙල්ලම් පෙන්නති
    ජීවන වියදම අහසට උඩයති
    දුප්පත් අපගේ බඳපටි තදවෙති ...'

    බඳ පටි පුපුරලා ගිය දවසක උන්ට මහපාරෙ මැරෙන්න වෙනවා.

    ReplyDelete
  14. දුක බෙදන දුකා

    ReplyDelete
  15. මම නම් තුන්පාරක් සුරපුරේට ආයිත් ගිහින් ඉන්න බැලුවා ආපහු ආව. හැබැයි ඉතින් ආයිත් යන්න හිතන් ඉන්නවා.

    ReplyDelete
  16. වැලි කතරෙ නොවුනත් වැඩි වෙනසක් නෑ බන් අයියේ... හිතට වැදුනා...

    " දෙමාපියන් හා අඹු දරු විඳවති
    නොබලා ඉන්නට සිත සවි බල නැති... "

    මගේ හිත මේ දවස් වල...

    ReplyDelete
  17. කහවනු ඇති මුත් බෝ දුක් එහි ඇති .......

    ReplyDelete
  18. ඔන්න ආයෙ ලියන මූඩ් එකකට ඇවිත් උඹ . ඔන්න අපි නම් මරු කතරෙන් පොඩ්ඩක් වෙන් වෙලා නිවාඩුවට ගෙදර ආවා බං.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  19. දුකා දුකෙන් ලියලා

    ReplyDelete
  20. දැන් ඉතින් ලංකාවට ඇවිත් මෙහේ විඳගන්න අයියේ හිටියා ඇති වගේ නැද්ද...

    ReplyDelete
  21. ඇඬෙනවා මලයෝ මේවා කියෙව්වම!!!!

    ReplyDelete
  22. මරු කතරකි සුර පුරයක් නොම වැනි
    දුක් කදුලකි සතුට පතා කැප කල හැකි
    දිනු දෙයක් කා කව්රුත් තමන් වැනි
    දුක් විදපන් ඇති තරමට තියෙන හැටි

    යථාර්තය තමා දුකා.. මොන දේ වගේ උනත් අප එය කළ යුතු වෙනවාම නොවෙද???

    ReplyDelete
  23. කතර නම් තිත්තයි, ඒත් මොනව කොරන්නද

    ReplyDelete
  24. දුරුකතරේ වැලිකතරක ඉන්න මම
    කුබුස්‌ රොටි සමගින් මස් බුදින මම
    දුකක් කියා ඒ දුක නොසිතමි මම
    ගෙදර උන් නිසා ඒ දුක විඳීම් මම

    ReplyDelete
  25. අවංකව කිව්වොත් දුකා, ජීවිතේටම මෙහෙ ඉන්න පුළුවන්නං ඒක මට එහෙට වඩා හොඳයි. උඹටත් හාමිනෙයි පැටියයි ලඟ හිටියනං එහෙම නොහිතෙයිද?

    ReplyDelete
  26. අදහස් දක්වපු හැමෝටම බොහෝම ස්තූතියි.

    ඇත්තෙන්ම මේක මගේ පුද්ගලික අත්දැකීම නෙමයි.

    මම මුලින්ම කතරට ආවේ පවුල් බරක් තිබුනු නිසා නෙමේ.

    වුනේ හම්බකරපු තුට්ටු දෙක නිකම නැති නාස්ති කරලා දාපු නිසා ගෙයක් දොරක් හදාගන්න නම් පිට රට පලයන් කියලා කරපු අක්කගේ වදේට තමයි මම කාන්තාරෙට ආවෙ.

    මේක මගේ කතාව නොවුනට ඇත්තෙන්ම දරු පවුල ලංකාවේ ඉන්න බොහෝ අයගේ කතාව.

    මම කරන රැකියාවට අනුව උපයන ගානින් මට නම් පවුලේ අය එක්ක මෙහේ ඉන්න පුලුවන් ඇත්තෙන්ම අපි ගිය අවුරුද්ද වෙනකම් මෙහේ හිටියේ . .

    ගිය අවුරුද්දේ මගේ රැකියාව අහිමි වුනු නිසා තමයි බිරිඳයි පුතයි ලංකාවට ගියේ.

    ආපහු පරන ආයතනයේම රැකියාව ලැබුනු නිසා මගේ උත්සාහය ආපහු එයාලව ගෙන්න ගන්න.

    ඒත් මෙහේ පොඩි පඩි වලට වැඩ කරන පියවරු, පුත්තු ගොඩක් දෙනෙක්ගේ කඳුළු කතාව තමයි මේක . .

    ලංකාවේ ඉන්න අපි ආදරේ කරන අය වෙනුවෙන් ඒ අය මෙහේ තනියෙම දුක් විඳිනවා.

    හැබැයි මේක කාන්තාරේ කිව්වට කාන්තාර දකින්න කිලෝ මීටර් ගනන් දුර යන්න ඕන.

    රස්නේ කිව්වට ලංකාවේ වගේ දවස තිස්සෙම රස්නේ නෑ . . එලියට එන ඩිංගට විතරයි රස්නේ . . අනිත් හැම වෙලාවෙම ඒ සී එකේ . .

    ReplyDelete
  27. ආවෙමි කතරට උන් ගැන සිතලා
    දහදුක් වින්දෙමි උන් සැප පතලා
    කතරේ දුක් ගිනි සිත තුල වලලා
    සිනා සිසී ඉමි උන් දෙස බලලා

    හ්ම්ම්... හ්ම්ම්....
    හිතට දැනෙන්න ලියල තියෙනවා....

    ReplyDelete
  28. මෙහෙ ජීවන වියදමට හරියන රැකියාවක් සහ වැටුපක් තියෙනවනම් මේ රට ඉතා අගෙයි. ඒත් ගොඩක් වෙලාවට තමන්ගේ පවුලේ අයට හොඳින් සලකන්න නම් මේ සොච්චම් වැටුපට වැඩ කරලා හරියන්නේ නැ. කොයි තරම් දුරෙන් හිටියත් සිතෙන් සිය දහස් වර ලංකාවට ඇවිත් යනවා ඇති දුර ඉන්න ඕගොල්ලො , ගෙදරින් කිලෝමීටර ගානක් දුරින් සති කිහිපයක් ඉන්න එකත් ගොඩක් අමාරු කොට පිටරට ඉන්න ඇත්තෝ අවුරුදු ගණන් කොහොම ඉන්නවද කියලයි මම හිතුවේ. කවි පෙළ සංවේදීයි.ඔබට දවසක ලංකාවේ ඉන්නම එන්න පුළුවන් වේ යැයි පතමි.

    ReplyDelete
  29. අපි හැමෝගෙම කතාව මේක..

    ReplyDelete
  30. අපි මෙහෙ සැප විඳිනවා කියල තමයි ලංකාවේ ඉන්න අය හිතන්නේ ඒත් ඉතින් මෙහෙ තියෙන කට්ට දන්නේ ඒ කට්ට කන අපිමනේ.
    කෝරලේ වලව්ව

    ReplyDelete
  31. ///දේසපාලුවන් මුලු රට වනසති
    මහජන මුදලින් සෙල්ලම් පෙන්නති
    ජීවන වියදම අහසට උඩයති
    දුප්පත් අපගේ බඳපටි තදවෙති///
    එහෙම අය කොහොමත් ඔහොමම තමා

    පුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න... MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)

    ReplyDelete
  32. දන්න සෙල්ලම් දාල කරගන්න බැරිම නම් ගොවිතැන් කරගෙන හරි (අපිට තැන් නිකන් ඇටත් දෙනවනේ ) සුරපුරේම ඉන්නවා . සුරපුරේ දාල ගියොත් ඔය කාන්තාරේට හෝ එයැයිලා බහුතරේ වෙච්ච කිසිම අහකට යන්නේ නෑ ඩබල් නෙවෙයි ට්‍රිබල් හම්බකරන්න පුලුවන් උනත් !

    ReplyDelete
  33. වැලි කතරේ දුක් විඳින දහසක් පිය වරුන්ගේ කඳුළු කතාව දුකා. හරිම සංවේදියි. ඉක්මනින්ම පුතායි, බිරිඳයි ළඟට ගන්න ලැබේවා! කියල පතන්නම් මල්ලි.

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails