
ආදරය දැනෙන්නේ හිතටය
හිතට දැනෙන්න ආදරේ කරන්න
හැමෝටම බැරිය
සැතපුම් දාස් ගානක් දුරක හිටියත්
උඹේ හිතේ මං ගැන තියෙන ආදරේ
මට දැනෙනවා නංගෝ – මට ඒ ඇති
ආදරේ පෙන්නනැයි කියා
මූනිච්චාවට ඉඳහිට කෝල් කර
ආ කොහොමද සනීපෙන් ඉන්නවාදැයි
විමසීම මහා බොරුවක් නේද බන් ?
ප්රශ්න ගොඩක ඉන්න මල්ලීට කෝල් කර
මගේ ප්රශ්නවල බරත්
එයාට දෙන්නේ ඇයිදැයි කියා සිතා
අක්කා නම් නිතර කතා නොකලත්
වැඩ රාජකාරී දාහක් මැද්දෙත්
සතියකට දෙකකට දවසක් කෝල් කර
“අයියේ තමුසෙට කොහොමද ඕයි” කියා
අපේ සුපුරුදු ආදරණීය තමුසේ ඕයි බාසාවෙන්
පටන් අරගෙන විනාඩි ගනන් කියවන්නේ
මූනිච්චා ආදරේට නොව
හැබෑම ආදරේට බව
මං හොඳින්ම දන්නවා නංගෝ
ආදරේදී, ආදරේටැයි කියා
ආදරේ කරන අය කොන්දේසි දැම්මත්
කොන්දේසි විරහිත උඹේ ආදරේ
මට මහාමේරුවක් තරම් නංගෝ
ජීවිතේ ප්රශ්න වලදි වැටුනාම
නැගිටින්න අත දෙන
අඬන්න ඕන වුනු ඕන වෙලාවක
අඬන්න උරහිස දෙන
මගේ දුකට එක්ව අඬන
සතුටට එක්ව හිනාවෙන
උඹ සංසාරේ හැම දාකම
මගේම නංගා වෙයන් නංගෝ . . . !
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
අද මගේ ආදරණීය නංගීගේ උපන්දිනේ.
කප්-රුක එකෙන් එයාගේ ගෙදරට කේක් එකක් යැව්වත් ඒ වෙනුවෙන් වචන දහයක් හරි ලියන්න බැරි වුනොත් ලොකු අඩුවක් වෙයි කියලා හිතුනා.
ඒක නිසා හදිස්සියෙම මේ කෙටි නිසඳැස ලිව්වා.
ඉස්සරම කාලේ නංගී ගැන ලියපු "කරදරකාර නංගී හෙවත් දෙවියන් ලබා දුන් අගනා තෑග්ග" පෝස්ට් එක හින්දා තමයි මම හිතන්නේ මගේ බ්ලොග් එකට ගොඩක් දෙනෙක් කැමති වුනේ.
නොකියවපු කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් ඒ ලිපිය කියවන්න පුලුවන්.