UAE Sri Lankans Events

Tuesday, August 24, 2010

චූචි චීචර්ට වෙච්චි දේ . . . හෆොයි . . .!!




අර මම කලින් ලියපු ඇටසැකිල්ලේ කතාව මතකයි නේද . . ?, ඇයි අප්පා අර හදිසියට ඇටසැකිල්ල කියලා ලියන්න ගිහින් පලමු දවසේ නිසා චකිතයට පොඩි අකුරු ටැපලිල්ලක් වෙලා අකරතැබ්බයකට මූන දුන්නු ටීචර්ගේ කතාව . . හරි දැන් මතකයිනේ මතක නැත්නම් මෙන්න මෙතනින් ගිහින් ඒක බලලා එන්න . . .

. . . . . .

හරි හරි . . . අද මම කියන්න යන්නේ ඒ ජාතියෙම තවත් ටීච කෙනෙක්ට වෙච්චි තවත් අකරතැබ්බයක් ගැන කතාවක් . . .

මේකත් මම ඇහුවේ දැක්කේ කොහේදිද කියලා නම් ඉතිං හාංකවිසියක මතකයක් නෑ ඕන් . ..

. . . . . .. . . .. . ..

හරි කතාවට බහිමුකෝ දැන් . . .

ඔන්න තවත් අලුත් ටීච කෙනෙක්ට මූලික පත්වීම ලැබුනලු බොහෝම දුෂ්කර පලාතක

ඉතිං මේ ටීචත් සූට් කේස් එකකට ඇඳුම් කැඩුම් ටික සාරි හැට්ට ටික අඩුක් කරගෙන කොලඹින් නැග්ගලු ටීචගේ ඉස්කෝලේ තියෙන පැත්තේ ටවුන් එකක නතර කොරන බස් එකකට.

ඒ බස් එක හතර වරම් ගහලා ගහලා ටවුන් එකේ නවත්තන කොට හොඳටෝම හවස් වෙලාලු.

බැහැපු ගමන් චූටි ටීචර් විපරම් කලාලු ඉස්කොලේ තියෙන ගමට යන බස් එක ගැන . . .

මනුස්පයෙක් පොඩි හුංඩුවක් වගේ වෑන් කට්ටක් පෙන්නලා කිව්වලු "ආං නෝනේ ආං අර බස් එක තමයි ඔය ගමට යන අන්තිම බස් එක . . .” කියල . .

අපේ චූටි ටීචත් එක අතකින් සාරියත් පැත්තකින් උස්සගෙන අනිත් අතින් සූට් කේස් එකත් උස්සගෙන දුවලා දුවලා ගිහින් නැග්ගලු අර මොරගහ හේනේ පොල් පටෝපු බස් එක වගේ බස් එකට

දන් මේ ටීච කොන්දොස්තර ළමයට කියලා ඉස්කෝලෙට හැරෙන හන්දියෙන් බැස්සලු . . . ඒත් එක්කම තව අවුරුදු 3ක විතර පුංචි කොලු පැටියෙක් වඩා ගත්තු අම්ම කෙනෙකුයි කොලු පැටියගේ අප්පච්චි කියලා හිතන්න ඇහැක් මනුස්සයෙකුත් බැස්සලු.

බැහැලා බැලින්නම් හතර අත කට්ට කලුවරයිලු.

ටීචර් අර මනුස්ස පරාන දෙකෙන් ඇහුවාම ඉස්කොලේ තියෙන්නේ කොයි හරියෙද කියලා අර කොලු පැටියගේ අප්පච්චි කිව්වලු "අනේ නෝනේ ඉස්කෝලේට මෙතන ඉඳන් මයිල හතරක විතර දුරක් යන්ට වෙන්වා නොවෑ . . " කියලා

ඒ මනුස්සයා එක පාරටම මයිල කිව්ව ගමන් ටීචර්ව පොඩ්ඩක් අන්දොස් උනු බව දැක්ක ගෑනු කෙනා " ඒ කිව්වේ නෝනේ මේ හැතැප්ම හතරක්" කියලා මනුස්සයගේ කතාවට ගෑනු කෙනා නැටි කෑල්ලක් එල්ලුවලු.

"මේ අපේ ස්කෝලෙට අලුතෙන් එන ගුරුතුමී වෙන්ටැ . . . සතා සරුපයියා හක්කලන් කොරන මේ වෙලාවේ ගුරු නිවාසෙට යන්ට ඇහැකිය . . ?? ඇහැක් විදිහට අද අපේ දිහා ඉඳලා හෙට උදානැක්කේ ගුරු නිවාසෙට යන්ට බැරුවායැ" කියලා අර ගෑනු කෙනා මනුස්සයගෙන් අවසර ඉල්ලන බැල්මක් දාගෙන කිව්වලු.

"අනේ අක්කේ ඒක නම් ලොකු උදව්වක්" කියලා ටීචර් ස්තූතිපූර්වක බැල්මක් දෙන්නටම දැම්මලු.

කොහේදෝ තිබිලා හුලු අත්තකුත් පත්තු කරගෙන තුන් හතර දෙනා යන ගමන් අර මනුස්සයා "හැබැයි නෝනේ ඒ වුනාට අපේ ගෙදර එහෙමට ඉඩ පාඩු නම් නැතෙයි" කියලා කිව්වහම

“කමක් නෑ අයියේ මට අද රෑට විතරයිනේ කියලා ටීචර් ඒක ශේප් කලාලු.

දැන් ඉතිං ඔන්න කට්ටියම ගෙදරට ආවලු.

කටු මැටි ගහපු මේ ගෙදරට තියෙන්නේ එකම එක කාමරයයිලු. කනු හිටෝපු පිලක් දාපු පොඩි ස්තෝප්පුවේ පැලළි දොරෙන් ඇතුල් වුනාම මේ කියපු කාමරේ ඉන් එහා තව පැලළි දොරක් ඇරියාම ගෙට එහාට වෙන්න තියෙන කුස්සියලු. කට්ට කලුවරේ නිසා ටීචර්ට මේ කිසි දෙයක් හිතා ගන්නත් බෑලු.

ගෙදරට ඇවිත් අර ගෙදර ගෑනු මනුස්සයා ටීචර්ව කාමරේට එක්ක ගිහින් ඇඳුම් මාරු කරගෙන ඇවිත් මූන කට ඩිංගක් හෝදගෙන කෑවායින් නොකෑවයින් නිදා ගන්නලු ලෑස්තිය.

කොලු පැටියගේ අම්මයි තාත්තයි කාමරේ පැදුරක් එලලා හෙලිකොට්ටෙන් නිදාගෙන හිටපු කොලු පැටියව පැදුරේ තියලා "ගුරුතුමී එහෙනම් මේ කාමරේ තියෙන අපේ එකම ඇඳේ නිදා ගන්ට . . අපි දෙන්නා ඉස්තෝප්පුවේ පැදුරක් දාගෙන නිදා ගන්නම්. කොලු පැටියා ඉස්තෝප්පුවේ නිදා ගත්තොත් පිනී බායිනේ . . ඒක නිසා ඌව මෙතන බිමින් නිදි කලා " කියලා ටීචර් ස්තූති කරද්දී ගෙදර තිබුනු එකම කුප්පි ලාම්පුවත් අරගෙන කාමරෙන් ඉස්තෝප්පුවට යන්න තිබුනු පැලැළි දොරත් වහගෙන ගියාලු.

කට්ට කලුවරේ කොහු ලනු මෙට්ටේ එහාට මෙහාට ඇඹරී ඇඹරී ඉන්නවා මිසක් ටීචර්ට නින්ද අහලක වත් නෑලු . . .

ඔහොම පැයක් දෙකක් ඉන්න කොට අපේ මේ ටීචර්ට එනවලු අම්බානක පිප්පි බරක් . . .

මේ කෑලි කපන්න පුලුවන් කලුවරේ කාමරේ දොරක් කොහේ තියෙයිද කොහාට කියලා යන්නද කියලා නොදන්න ටීචරුත් ඉවසගෙන ඉන්නවලු දැන් එලිවෙයි දැන් එලිවෙයි කියලා . . .

ම්ම්හූ එලිවෙන පාට කෙසේ වෙතත් තව ඉවසගෙන හිටියොත් මුත්‍රා බොක්ක පැලයි වත්දෝ කියලා හිතලා කොහොමද මේ බරෙන් නිදහස් වෙන්නේ කියලා හිත හිත ඉන්න ටීචර්ගේ ටිකිරි මොලේට ආවලු නියම අයිඩියා එකක් . ..

ටීචර් කලුවරේ අත ගගා ගිහින් අර කොලු පැටියව උස්සගෙන ඇවිත් තිබ්බලු ඇඳ උඩින් . .. තියලා කොලු පැටියා නිදාගෙන හිටපු පැදුරේ පිප්පි කලාලු . . . "දැන් හරි දැන් ඉතිං මේක වැටෙන්නේ මේ කොලු පැටියගේ එකවුන්ට් එකටනේ" කියලා හිතලා ආපහු කලුවරේ අත ගගා ඇවිත් කොලු පැටියව ආපහු පැදුරෙන් තියන්න ඒකාව වඩා ගන්න හදනකොට ටීචර්ට ආපහු පාරක් චූ බර හැදෙන වැඩක් වෙලාලු . ..

පොඩි එකා ඇඳේ කක්කි දාලලු . . ..

. . . ..

pic taken from : http://lagringasblogicito.blogspot.com/

Sunday, August 15, 2010

හාමුදුරුවනේ දනක් බෙදන්නට හයි හත්තිය නෑ දැන් . . . !



"ට්‍රී. .. . න්"

"හ . . . ලෝ . .. "

"අනේ අයියා ඔයාලා තාම නිදිද . . . සමාවෙන්න ඇහැරෙව්වට"

"කවුද මේ . . . "

"මම චාන්දනී, මංජුලගේ වයිෆ්"

"ආ නංගී . . කියන්න . . ."

"අනේ අයියා අද රිවිර පත්තරේ බලනකොට දැකපු ලිපියක් හින්දයි අයියට කරදර කරන්න උනේ නිවාඩු දවසේ උදේ පාන්දරම . . "

“ඒකට කමක් නෑ නංගී. මොකද්ද සීන් එක”

"අපේ ගමේ අපි දන්න කියන දුප්පත් පවුලක ගෑනු ළමයෙක් ගැන පත්තරේ තියෙනවා දැකලා මම එහාට කෝල් කලා . . .අනේ අයියා ඒ ගෑනු ළමයා කැම්පස් යන කෙනෙක් . . . වකුගඩු දෙකම නරක් වෙලා ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්න ඕන කියලා දැන් හොස්පිටල් එකේලු ඉන්නේ . . ."

"ඒ කියන්නේ දැන් ඔපරේට් කරන්නද හදන්නේ"

"නෑ ඒකට එයාට මැච් වෙන වකුගඩුවක් ලැබෙන පාටක් තියෙනවලු. හැබැයි ඒ වකුගඩුව දෙන කෙනාට ත් රුපියල් ලක්ෂ තුනක්ද කොහෙද දෙන්න ඕන වගේ කතාවක් කිව්වා"

"අද කාලේ මිනිස්සු හරිම අමාරුවෙන්නේ නංගී ජීවත් වෙන්නේ ඉතිං ඒ වකුගඩුව දෙන කෙනාත් ඒ ලැබෙන සල්ලි වලින් පවුලේ අය වෙනුවෙන් මොනව හරි යමක් කරන්න ඉන්නව වෙන්න පුලුවන් . . ඒක නිසා ඒ මනුස්සයා ගැන අහිතක් හිතන්න නරකයි"

"වැඩේ කියන්නේ අයියා ඔපරේට් කරනකම් සතියක්ලට සැරයක් විතර ඉස්පිරිතාලේ යන්න ඕනළු . . එකට එක පාරකට රුපියල් 9000ක් විතර වියදම් වෙනවළු. මේ පවුලේ අය ගැන මම දනන්වා අයියා එයාල එහෙමට වත්කමක් තියෙන අය නෙමෙයි. අපි කට්ටිය එකතු වෙලා කීයක් හරි එකතු කරල යවමුද අයියා . .. "

"හරි මම කැමතියි නංගී"

"තව එකක් අයියා, ඉස්සර ඉඳන්ම මේ වගේ වැඩ ඕගනයිස් කලේ . . ඔයාටම බැරිද මේ වැඩේත් පොඩ්ඩක් ඕරගනයිස් කරලා කට්ටියට කෝල් කරලා වැඩේ කෙරෙන විදිහකට වැඩේ සංවිදානය කරන්න අයියා . .. "

දැනට සති තුනකට පමන කලින් සිකුරාදා උදේවරුවක ලැබුනු දුරකතන ඇමතුමෙන් පසු මුලින්ම මූනු පොතේ මේ පනිවිඩය සියලුම මිතුරු මිතුරියන් හට දන්වා දෙවෙනුව මා දන්නා හඳුනන මීට කලින් මේ වගේ යහපත් කාර්‍‍යන්ට හවුල් වුනු මිතුරනුත් ඊට අමතරව බ්ලොග් හරහා අඳුන ගත්තු මිතුරු මිතුරියනුත් අතර මේ පනිවිඩය බෙදා හැරීමෙන් පසු අද හවස් වන විට මිතුරු මිතුරියන්ගේ කීප දෙනෙකුගේ උපකාරයෙන් මේ වන විට ලංකාවේ මුදලින් රුපියල් 60,000කට කිට්ටු මුදලක් එකතු වී ඇති බව චාන්දනීත් අනෙක් පසින් මුදල් බැර කිරීම සඳහා ගිනුම් අංකය හා සියලු සහයෝගය ලබා දෙන මනෝජ් මල්ලීත් දැනුම් දෙනු ලැබූ විට දැනුනේ සියුම් සතුටක් හා මුසුවුනු වේදනාවක් . . .

ඒ වේදනාව තුලින් මට ඇසුනේ මාලනී බුලත්සිංහල මහත්මිය ගායනා කරපු ගීතයක්.

"හාමුදුරුවනේ දනක් බෙදන්නට හයි හත්තිය නෑ දැන්
ඉස්සර නම් දවසක් ඇර දවසක් පන්සල් එනවා මං
දැන් කොහොමද ලොකු හාමුදුරුවනේ කරන්නේ ඒ වගේ ඉතින්
රස්සාවක් නැති දරුවගේ දරුවොත් රකින්නේ මං නේ දැන් . . . !"

මේ උපාසකම්මා "දනක් බෙදන්නට හයි හත්තිය නෑ දැන්" කියන දෙයින් අදහස් වෙන්නේ ඇය වයසට ගොස් නිසාවෙන් හයි හත්තිය නොමැති බව නෙමෙයි, ඉස්සර කාලේ වගේ නමෙයි දැන් ජීවිතේ පවතින ආර්ථික අපහසුකම් එක්ක ඉස්සර වගේ පිනට දහමට විය පැහැදම් කරන්න ශක්තියක් නැති බව බව මේ ගීතයෙ සිව් වන පදය අහන කොට ම අපට වැටහෙනවා.

මටත් හිතුනේ අපි හැම දෙනාටමත් වෙලා තියෙනෙන මේ දේම නොවේද කියලා . . .

ඉස්සර ඒ කිව්වේ මීට අවුරුද්දකට දෙකකට කලින් මේ වගේ දෙයක් වෙනුවෙන් අපි මුදල් එකතු කරද්දී දැන් වගේ දෙතුන් පාර දුරකතන ඇමතුම් දෙන්න අවශ්‍ය වුනේ නෑ . . .

ඒත් ලෝක මූල‍ය අවපාතය අපි ඉන්න මේ රටට තදින්ම බලපාලා හැමදෙනාගේම වගේ රැකියා අහිමි වෙලා, ගොඩක් අඩු පඩි වලට නැවත් රැකියා සොයාගෙන, ඒ අතරේ රැකියා අහිමි නොවුනු අයගේ වැටුප තදබල ලෙස සීයට ලොකු ගනන් වලින් අඩු කලාට පස්සේ කලින් එක්තරා මුදලකට සරිලන ලෙස ජීවත් වෙන්න හුරුවෙලා ඉඳපු අපි හැමෝම ඊට වඩා අඩු මුදලකට ජීවත් වෙන්න උත්සාහ කරද්දී (වැටුප් අඩු කලාට බඩු මිල වත් බැංකු වලින් අරන් තිබුනු ණය වල වරික මුදලේ වටිනාකම වත් අඩු නොවුනු නිසාවෙන් සහ ලංකාවේ මෙතුවක් කරගෙන ආ නඩත්තු සඳහා යවන මුදල් ප්‍රමානය දිනෙන් දින වැඩි වනවා මිස අඩු වීමක් නැති නිසාවෙන්) මාලනී බුලත්සිංහල මහත්මිය කියන අයුරු ඉස්සර වගේ දන් පින් කරන්න හයි හත්තිය නැති එක ගැන කනගාටු වෙනවා හැර වෙන මොනවා කියලා කරන්නද කියලා හිතෙනවා.

දුමී මට ඔහුගේ හිතවතෙකුගේ (ජෝර්ජ් අයියගේ)පරන ලැප්ටොප් පර්ඝනකයක් ලබා දීපු වෙලාවේ ඒකට ස්තූති කරලා මම මූනු පොතේ දාපු සටහනට රන්දිල් නංගී කියලා තිබුනු "බත් ඇති තැනටමයි කොස්" කියන කොමෙන්ටුවට දුමී දුන්නු "අපි කන හැටි ලිපා දනී" කියන පිලිතුර දැක්කාම මට හිතුනේ ඒක තමයි ලබා දෙන්න පුලුවන් නියම පිලිතුර කියලයි. මොකද ලංකාවේ ඉන්න අය (පිට රටක වැඩ නොකරපු අය ) ගොඩක් අය හිතන්නේ පිට රට ඉන්න අය සුරපුරයක ජීවත් වෙනවා . . . එහෙම නැතිනම් සල්ලි ගස් හිටවලා තියෙන දිහාක ජීවත් වෙනවා . . එයාලට තියෙන්නේ ඕන වෙලාවට ඒ ගහ යටට ගිහින් ගහ පොඩ්ඩක් හොල්ලන එක විතරයි කියලා (අපේ අම්මයි තාත්තයි උනත් හිතන්නේ එහෙමයි )

කොහොමින් හරි අපි අමාරුවෙන් එකතු කර ගත්තු මුදල් එයාලගේ ගිනුම් අංකයට යවන්න හිතලා චාන්දනී නංගී ඒ ගෙදරට ආපහු දුරකතන ඇමතුමක් ලබා දුන් වෙලාවේ ඒ අය කියලා තියෙනවා තව සතු තුනකින් හෝ මාසෙකින් විතර පස්සේ මුදල් ලැබුනත් ඇති කියලා . . .

අහ් තව දෙයක් ඉතාලියේ වැඩ කරන කෙනෙකුගේ තාත්තා කෙනෙක් මහ රෝහලට ගිහින් මේ සොයුරියගේ දුක සැප බලා ඒ වෙලාවේම රුපියල් 15,000ක පරිත්‍යාගයක් කරලා කිව්වලු මූනු පොතේ තිබුනු පනිවිඩේ දැකලා අර ඉතාලියේ වැඩ කරන ඔහුගේ දරුවා කිව්ව කියලා ගිහින් පුලුවන් උපකාරයක් කරන්න කියලා . .. .

ඉතිං ඒක ඇහුවට පස්සේ හා තව සති තුනක්,මාසයක් කල් තියෙනවා කියලා තේරුනාට පස්සේ මම හිතුවා ආපහු පාරක් මේ උදව්වට සම්මාදම් වෙන්න කියලා මගේ බ්ලොග් එකේත් දැම්මොත් පුලුවන් කමක් තියෙන අය කවුරු හරි උදව් කරාවී නේද කියලා . . ..

ඉතිං මගේ ඉල්ලීම ලොකු දනක් බෙදන්නට හයි හත්තිය නැති උනත් තියෙන හත්තියේ තරමින් පොඩි හරි දනක් බෙදන්න කැමති අය ඉන්නව නම් පොඩියක් හිතලා බලන්න . .. .

(ප.ලි. ලංකාවට මෙහෙන් මුදල් යවන්න ඩිරාහ්ම්ස් 15ක් යන නිසා ඒ මුදලත් මෙහේ එක්කෙනෙක් එකතු කරලා එක පාරට යවන්න ත් මුදල් යවලා ඉවර උනාට පසු රිසිට් එක සියලු දෙනාට මේල් කරලා යවන්නත් අපි හිතුවා. . .ඒක නිස (UAE) ඩුබායි, අබුඩාබි ඉන්න තව කවුරු හරි මේකට එකතු වෙන්න කැමති නම් 050-4514671 කියන අංකයට දුරකතන ඇමතුමක් දෙන්න කියලා ඉල්ලා සිටින්නත් කැමතියි.



නයෝමි ගැන සඳහන් රිවිර පුවත්පතේ ලිපිය සඳහා සබඳියාව මෙතනින්

Pic taken from : http://www.dhammakaya.net/events/501104_kathina.php

Thursday, August 5, 2010

ඇටසැකිල්ල



මගේ බ්ලොග් එකේ තියෙන වෙන්න හිනා කරදර ඉවත දමා කියන කැටගරි එකට යමක් ලියන්න ඕන කියලා දවස් ගානක් හිත හිත හිටියා.

ම්හු කෙටි ඒත් හිනා යන දෙයක් මතක් කර ගන්න අමාරු වුනා.

මාගල් වගේ දිග කතා නම් තියෙනවා ඒත් කෝ ලියන් න වෙලාවක්.

ඔහොම ඉන්න කොට ඊයේ මගේ සොඳුරු ත්‍රස්තවාදියා උඩට එකක් අඳින්නේ නතුව කටු බොඩිය පිටින් ඉන්න්කොට අපේ ගෙදර උන්දෑ "බලන්නකෝ මේකගේ හැටි ඇටසැකිල්ල විතරයි" කියලා කියපු ගමන් සං ගාල මට පරන කතාවක් මතක් වුනා.

හැබැයි මේ පරන කතා කියද්දී දාන කොන්දේසිය මතකයිනේ කවුද මේක කලින්ම කිව්වේ කොහෙන්ද මේක හොයා ගත්තේ ඔන්න ඕව්ව අහන්න බෑ හරිය මොකෝ මට ඒවා මතකම නෑ . ..

හරි මෙන්න කතාව

අපි ස්කෝලේ පහේ හයේ වගේ ඉන්නකොට (මතක හටියට) එක පාරක් රුපියල් දාහේ පඩියට වැඩකරන්න ගුරුවරු බඳවා ගත්තා.

මේ ගුරුවරු ගුරුවරියෝ ගොඩක් වෙලාවට හරිම තරුණ අය. මේ අය අයට ඒ කාලේ කොල්ලෝ කෙල්ලෝ කිව්වේ දාහේ කෑලි කියලයි මට මතක හැටියට.

අපේ ස්කෝලේටත් ආවා මේ දාහේ ගුරුවරියෝ කීපදෙනෙක්ම ඒ අයගෙන් සමහර අය හරිම ලස්සන අක්කලා.

අපේ ස්කෝලේ පිරිමි පාසලක් නිසා අපේ ලොකු අයියලා ඉස්සර මේ ලස්සන ටීචර්ස්ලාට හරියට උදව් කලා අපි දැක්කා. කොච්චරද කියනවනම් මේ අයට එක පංතියක ඉඳලා තව පන්තියකට තනියෙම යන්නවත් දෙන්නේ නෑ වැටෙයි එහෙම කියලා . . හික්ස්

අතුරු කතා එපා . . . ආපහු කතාවට එමු.

හරි ඔන්න ඉතිං මේ වගේ එක ටීච කෙනක්ට ලැබුනු පත්වීම මිශ්‍ර පාසලක්ලු. ලැබුනු පන්තිය හත වසරලු. විශය සෞඛ්‍යලු.

ඔන්න ඉතිං මේ ටීච පලමු දවසේ කකුල් දෙකත් මැඩ්ලින් ගහ ගහ ගියාලු පංතියට. ළමයින්ට ආයුබෝවන් ළමයි කියලා සුභපතලා එහෙම . .

"ළමයි මම තමයි අද ඉඳලා ඔයාලගේ සෞඛ්‍ය ටීචර් . . . මගේ නම . . .. .. ගම . .. . . බ්ලා . . . බ්ලා . . . බ්ලා . . . කියලා

"හරි ඔයාලා මේ පංතියට වෙනකම්ම සෞඛ්‍ය ඉගෙන ගත්තානේ . . අපි බලමු ඔයාලගේ සෞඛ්‍ය පිලිබඳ දැනීම" කියලා කළු ලෑල්ලේ තඩි පොල් ගෙඩි අකුරින් ලිව්වලු "ඇටසැකිල්ල" කියලා . ..

ලියලා ඉවරවෙලා මේසෙට හේත්තු වෙලා ළමයි දිහා හිනාවක් එහෙම දාගෙන කිව්වලු හරි දැන් මේ ළමයි මේ ගැන ඔයාලා දන්න දේවල් අහලා තියෙන දේවල් . . දැකලා තියෙන දේවල් කියන්න කියල . . .

පංතියේ ගෑනු ළමයි ඔක්කෝම ඇස් උඩ තියාගෙන බලන් ඉන්නවලු . .. කොල්ලෝ අත් වලින් කටවල් වහගෙන හිනාව හිර කරගෙන ඉන්නවලු . . .

ටීච හිතුවලු "හහ් . . මුන් මේ මගේ පලවෙනි දවස හිංදා මට රැගක් දෙන්න වෙන්න ඇති හදන්නේ" කියලා හිතලා . . ."ඔයාල මෙච්චර කල් මොනාද ඉගෙන ගත්තේ . . කොයි ලෝකෙද ජීවත් වුනේ" කියලා ටිකක් තදින් ඇහුවලු . ..

ඒත් නෑළු කිසි වෙනසක් . . . ආපහු ටිකක් තරහින් වගේ කිව්වළු "මේ ගැන කිසි දෙයක් කියන්න දන්න එක ළමයෙක් වත් නැද්ද මේ පන්තියේ" කියලා . . .

ඔන්න ගෑනු ළමයින්ගේ පැත්තේ එක කටකාර වගේ කෙල්ලෙක් නැගිට්ටලු . . .

නැගිටලා වට පිට බලලා කිව්වලු . . .

"ටීච ඕක අපේ ආච්චිට තිබුනේ නෑ . . ඒක නිසා අපේ අම්මට තිබුනෙත් නෑ . . අම්ම්ට තිබුනේ නැති නිසා මටත් නෑ . . . ඒත් . . . ඕක අපේ සීයට තිබුනා . . . ඒක නිසා අපේ තාත්තටත් තිබුනා . . . තාත්තට තියෙන හින්දා තමයි මල්ලිටත් තියෙන්නේ කියලා අපේ අම්මා නිතරම තාත්තට බනිනවා මට ඇහිලා තියෙනවා" කියලා කිව්වලු . .. .

පන්තියේ කෙල්ලෝ කොල්ලෝ ඔක්කෝම හූ කිය කිය උඩ පැන පැන හිනා වෙන්න ගත්තලු . ..

ටීච ෆුල් අඤ්ඤකොරොස්ලු කෙල්ලගේ මේ කොහේටවත් නැති උත්තරේ හින්දා . . . .

දැම්මලු හීනියට දාඩිය පාරකුත් . . .

සාරි පොටෙන් දාඩිය පිහිදගෙන ආපහු බැලුවලු කළු ලෑල්ල දිහා . . .


මල කෙලියයි . . .


ටීච "ඇටසැකිල්ල" කියලා කළු ලෑල්ලේ ලියද්දී චකිතය හින්දා පොඩි ටැපලිල්ලක් වෙලාලු

Tuesday, August 3, 2010

තුසිතයට මා කැඳවා ගෙන ගිය මට ලැබුනු නිධානය



විශ්වාස කරනවද, මට දවසක් නිධානයක් ලැබුනා.

ලැබුනා කිව්වට මේ ඉබේ පහල වුනා නෙමයි මගේ දයාබර මිතුරු ලළන්ත මළයා මට තෑගි කලා.

"අයියේ මේක මම ලඟදී ගත්තේ. . . අයියා මේ වගේ ඒවට ගොඩක් කැමතියිනේ . . . ඔයා මේක තියා ගන්න. . "

කියා කොපියක් ලඟතබා ගන්නේ වත් නොමැතිව ඔරි"ම"ජිනල් එකෙන් ඔහු මිලදී ගත් අපූරුම අපූරු සී ඩී තැටියක් අබුඩාබි සිට ඩුබායි ගොස් නයිට් පාකින් වලට දවසක් ඔහුගේ කාමරයට ගිය වෙලාවක පැකින් කඩපු ගමන් ම මට තෑගි කලා. (මගේ දයාබර මිතුරු කැල ජාතිත් වාසනාවන්)

ඒ නිධානය මගේ මනුස්ස කමට ත්‍යාගයක් ලෙස ලැබුවා කියා කියන්න මම හදිස්සි වෙන්නේ නැත්තේ එය ඇත්තම නොවන නිසා. ඇත්තෙන්ම එය මට ලැබුනේ සොයුරු ලළන්තගේ පරම පිවිතුරු පරිත්‍යාගශීලී හදවතට පින්සිදු වන්න කියා කීවොත් එයයි නිවරදි . .. .



ඉස්සර මම ඩුබායි ඉන්න කාලේ නිතර අහන හිංදි රේඩියෝ චැනල් එකක මගේ ප්‍රියතම නිවේදිකාව "ක්‍රිතිකා" උදේ පාන්දර ඈ මෙහෙයවන වැඩසටහනට සවන් දෙන මට තිබුනු ලොකුම ප්‍රශ්නේ නිදිමත බේරෙන උදේපාන්දර ඈ ඒ තරම් ප්‍රහර්ශයකින් උද්දාමයකින් කිලිපොලායන සතුටකින් වැඩසටහන මෙහෙයවන්නේ කෙසේද යන්න.

මිතුරන් සමඟ ඒ ගැන කතාබහ කරද්දී මගේ උපකල්පනය කිසිවෙක් නොසිතන දෙයක්

"මම නම් කියන්නේ මචංලා ඔය ක්‍රිතිකා උදේ නැගිට්ට ගමන් හරි රෙකෝඩින් ස්ටුඩියෝ එකට එන ගමනේදි හරි පස්ස පැත්තේ හෙනම සැර මිරිස් කරලක් ගහගෙන ඉන්නවා වෙන්න ඕන"

දැං ඔයාලා අහන්න එපා මම කවදහරි එහම ගහගෙන ඉඳලා තියෙනවාද කියලා හරිය . . !@#$%

මට තිබුනු ප්‍රශ්නේම තිබුනු ප්‍රේක්ෂකයෙක් දවසක් ක්‍රිතිකාගෙන් දුරකථන මාර්ගයෙන් අහද්දී ඈ දුන්නු පිලිතුර තමයි . .

"මගේ ලඟ විශේෂ සී ඩී එකක් තියෙනවා. මම හැමදාම උදේට ඔෆිස් එනගමන් ඒ සී ඩී එක අසමින් තමයි එන්නේ. ඒ සී ඩී එක තමයි මාව මේ තරම් ප්‍රබෝධයෙන් තියන්නේ කියලා.

ඒක අහපු දවසේ ඉඳන් ඈ කිව්වේ බොරුවක් වෙන්න ඇති කියලා හිතමින් උන්නු මට මේ මා සඳහන් කල සී ඩී තැටිය ලැබුනු පසු තමයි පසක් වුනේ ඇගේ වචන කෙතරම් සත්‍යද යන්න.

. . . . . . .. . . .. . .. .. ..

මෙහි අඩංගු බෙර වාදන තාල ඇසෙන විට මට සිතෙන්නේ මා කොහේදෝ මා නොදන්නා තුසිතයකට රැගෙන යන බවකුයි එසේත් නොමතිනම් පා වී යන ලෙසකුයි. මා අසා ඇති මනෝ විද්‍යාවේදී මෝහනයට පත්කිරීම සඳහා බෙර වාදන යොදා ගන්නා මතයත් මේ තැටියට සවන් දීමේදී සිත පාවෙලා ගොස් නතර වී ගිමන් හරින තුසිතයත් එකට සමපාත වන බවක් මොහොතකට සිතුනා කීවොත් එය බොරු නොවෙයි . . . .

රසවිඳ බලන්න, මේ තැටියේ බෙරවාදන නාද මාලා සියුම් ඉඳිකටු තුඩක් වී ඒ ඉඳිකටු තුඩ ඔබේ සියළුම රෝමකූපයන් එකක් නෑර එහි මුලට වැද ඒවා විද ඒ සියල්ල උද්දීපනය කොට නැගිටුවා තබන අපූරුව.

රසවිඳ බලන්න, සාම්ප්‍රදාය්ක ලාංකික නැටුම් කලාව විචිත්‍රවත් කිරනු වස් නාද මාලා සපයන සාම්ප්‍රදායික බෙරවාදන කලාවේ ආශ්චර්‍‍යෙන් ඔබ කෙතරම් මවිතයට පතකල හැකිද කියා . . .

ඉන් ඔබ මෝහනයට පත්නොවුනේදැයි කියා මට පසුව කියන්න . . . .

කෙටියෙන් පැවසුවොත් ඇඟේ මවිල් කෙලින්වන, හිරිගඩු පිපෙන, ලේ රත්වෙන සංගීතයක් මේ නාද අසන්න ප්‍රථම මා අසා ඇත්දැයි කියාත් සැකයි.

. . . . . .. . ..

මේ නාදමාලා වල නිර්මාතෘ පාරම්පරික නාට්‍ය කලාව බොහෝ උත්සාහයෙන් රැකගන්නා මහා කලාකරුවෙක් වූ රවිබන්දු විද්‍යාපති මහතායි. ඩී. ඩී ගුණසේන, නෙලූ අධිකාරී ඇතුලු විශාල කලාකාමීන් පිරිසක් මේ උත්කෘෂ්ඨ නිර්මාණය සඳහා දායකත්වය ලබාදී තිබෙන බැව් මේ සමඟ අමුණා ඇති පින්තූර බැලීමේදී ඔබට වැටහෙනවා ඇති.



උසස් රසවින්දනයක් ලැබීම පමනක් නොව අපගේ ලාංකීය අනන්‍යතාව ලෝකයට ඉදිරිපත් කිරීමේදී මහඟු මෙහෙවරක් ඉටුකරනු ලබන සාම්ප්‍රධායික නර්ථන කලාව රැකගෙන ඉදිරි පරම්පරාවට දායාද කිරීම නම් වූ කර්ථව්‍යයේදීත් දී මේ සංයුක්ත තැටිය බෙරවාදන කලාවේ සළකුණක් ලෙස භාවිතා කල හකි බව මගේ හැඟීමයි.

ඉදින් මේ සංයුක්ත තැටිය මිලදීගෙන උසස් රසවින්දනයක් ලබන්න ඔබ තවත් පමා වෙනෙනේ මන්ද . . . මේ මහඟු කලාකෘතිය ඔබේ දූ දරුවන් ට තිලිණ කර දෙන්න ඔබ තව ත් දෙවෙනි වතාවටත් සිතා බලිය යුතුද . ..

නමුත් එකම එක ඉල්ලීමක් . . මේ සාම්ප්‍රදායික කලාකරුවන් තම ජීවිත කාලයම කැපකොට ලබාගත් විශේෂ ප්‍රාගුණ්‍යයේ බලමහිමයෙන් නිර්මිත මේ නිර්මාණය මිලදීගෙන ඔවුන්ගේ ඒ කලාවට හා කලාවට ඇති කැපවීමට දිරි දෙනු විනා එක් අයෙක් මිලදීගෙන මිලදී ගැනීමට පහසුකමක් නැති පිටරටවල ජීවත් වන අය හර සියළු දෙනාට නොමිලේ බාගත කරගතැ හැකි ලෙස නොයවන ලෙස සාම්ප්‍රදායික කලාවට හිතැති කලාකාමියෙක්, රසිකයෙක් ලෙස මා ඔබ සැමගෙන් කාරුණාවෙන් ඉල්ලා සිටිමි.

අවසන, මට ලබා දුන් මේ නිධානය වෙනුවෙන් දයාබර ලළන්ත මළයාට බොහෝමත්ම ස්තූතියි හා පිං.




අනතුරු ඇඟවීමයි!

අමතක වුනු තව දෙයක් නදීෂාගෙයි සචී ගෙයි මතක් කිරීම් නිසා දාන්න හිතුනා. . .

මේ සී ඩී තැටිය අසමින් රිය ධාවනයේ යෙදෙන්නේ බලාගෙන . . .

ඒ අනතුරු ඇඟවීම වැඩි විස්තර අවශ්‍ය නම් මෙන්න මේ ලින්ක් එකෙන් "තව පොඩ්ඩෙන් දුකාට අනිච්චාවත සංඛාරා" කියන ලිපිය බලන්න.

ඇත්තෙන්ම ඒ දේ සිදුවුනේ මේ සී ඩී එක අහගෙන යන ගමන් සිදුවුනු මෝහනය වෙනවා වගේ දේ නිසා තමයි.

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails