Thursday, February 18, 2010
වික්ටර් . . වික්ටර් . . වික්ටර් . . !!
කලෙක හුරුබුහුටි ගැටයෙකු වීමි.
හැමගේ ආදරය දිනා ගතිමි.
තුටු වීමි.
රුදූ ගිනි දල්ලකට මැදිවී සියොලඟම දැවී විරූපී වීමි.
මග යන්නන් මා දුටු විට පිලිකුලෙන් අහක බලනු දුටු කල නොසැලුනෙමි.
සිත තව තව සවි කොට අමාරුවෙන් දරා ගතිමි.
සියළු සංස්කාරයෝ නැසෙන සුළුය
මෙලොව නොවෙනස්වන එකම දෙය සියළු දේ වෙනස්වනවා යන දහම පමනි යි සිතා පෙනුම නම් මොටදැයි සිතා දුක් නොවී සිටින්න උත්සාහ ගතිමි.
. . . . .
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ බල මහිමයෙන් හා රාජරත්න වෙදැදුරු තුමාට නිවන් සුව අත්වෙන්න පෙර තරම්ම නොවුනත් කඩවසම් තරුණයෙකු වීමට තරම් වාසනාවන්තයෙකු වීමි.
නැවත සැමගේ ආදරය, සැලකිල්ල නොමදව ලදිමි.
සංගීත සැඳෑවල්, නාට්‍ය, සතුටු සාද, චිත්‍රපටි, විනෝද ගමන්, ප්‍රේමණීය වදන් . . මෙසේ මේ සියළු දේ සමඟින් තාරුණ්‍යයේ රිසි සේ පියෑඹීමි.
තුටු වීමි.
. . . . . . . .
කැඩපත අසලට වී රැවුල බානාවිට සුදු ගස් එකක් දෙකක් නොව කීපයක්ම දිටිමි.
සැලූන් එකේ බාබර් ගේ "මහත්තයාගේ සෑහෙන්න තියෙනවා නේ සුදු කෙස් ගස්" බස් අසා සිනාසුනෙමි වගකට නැතුව.
සිත රිදෝ නොගතිමි.
මඛාදේව රජු මෙන් තපස් රැකුමට යාමට නොසිතීමි.
ඔව්ව ඔහොම තමයි.
. . . . . . . . . .
මුහුනේ, සමේ පෙර තිබූ දීප්තිය නැති බව කැඩපතින් දිටිමි.
රැලි වැටී නැතත් තවම සම, සිත නොව ශරීරය වයසට යන්න පටන් ගෙන ඇති බව පසක් කලෙමි.
උපේක්ෂාවෙන් සිතුවෙමි හැමදේම වෙනස්වෙනවා, මොනා කරන්නද.
සියළු සංස්කාරයෝ නැසෙන සුළුයි
ඉතිං කුමට දුක් වෙනවාද?
. . .
ට්‍රීං . . . ට්‍රීං . . .
(වෙලාව උදේ දහයයි . . දමිත් මල්ලී)
මොකෝ බං නිවාඩු දවසේ උදේ පාන්දර.
නිදා ගන්න දෙන්නේ නැද්ද අදවත් ටිකක් වැඩිපුර.
හරි හරි හලෝ. නිදා ගන්න එක කොයි වෙලාවේ කරන්න බැරිද.
ටී වී ලංකා දාන්න, අද එතෙර මෙතෙර ප්‍රෝග්‍රෑම් එකට ඇවිත් ඉන්නේ "වික්ටර්"
නැහ් සිරාවට . . !!
ඇඳෙන් නැගිට්ටාද පැන්නාද කියා සිහිය නැත.
සෙනෙහසේ ගුවන් පාලම "එතෙර මෙතෙර" එකළු කරමින් කහපාටට හුරු ජාතික ඇඳුමින් සැරසුනු වික්ටර්ගේ රුව කාලෙකට පසු දිටිමි.
. . . . . . . . . .
අනේ වික්ටර් වයසට ගිහින්
හිත හිරවුනාද??? හුස්ම ගන්න අමතක වුනාද???? ගල් වුනාද????
මීට කලිනුත් කීප පාරක් මෙහෙම වෙලා තියෙනවා.
ජෝතිපාල මැරුනු වෙලාවේ.
විජය, කැරැන්ස්, රමණී බර්තොලමියුස්, මිල්ටන්, ඩයනා කුමාරි, කේමදාස මාස්ටර්, මර්වින් පෙරේරා, මගේ මිතුරු සංජීව මැරුනු බව ඇසූ වෙලාවල් වලදීත්.
තාත්තා අසනීප වුනු බව දැන ගත්තු ගමන් ඉමර්ජන්සි ලීව් දාලා ලංකාවට යන ගමන් ප්ලේන් එකේදී "අනේ තාත්තා මැරුනොත්" කියලා හිතුනු වෙලාවේදී.
ඒත් මේ පාර ගල් වීම ඒ හැම එකටම වඩා වැඩී වගේ.
බුදු හාමුදුරුවෝ පිරිනිවන්පාන බව අහපු ආනන්ද හාමුදුරුවෝත් දුක් වෙන්න ඇත්තේ මේ වගේද?
. . . . . . .
ඇයි බං උඹම නේද කියන්නේ සියළු සංස්කාරයෝ නැසෙන සුළුයි කියලා නිතරම හිතන්න කියලා??
ලස්සනට තිබුනු උඹේ මූන චාටර් වෙන්න පිච්චිලා වත් දුක් නොවුනු උඹ . .
රැවුල කොන්ඩේ සුදු වෙන්න ඇවිත් වයසට යන්න පටන් අරන් කියලා දුක් නොවුනු උඹ. .
මොකෝ මේ වික්ටර් වයසට ගියා කියලා මෙච්චර දුක් වෙන්නේ?
සියළු දේ වෙනස්වනවා, නැසෙනවා කියන දේ වික්ටර් සම්බන්ධව අදාල නැද්ද ???
නෑ නෑ කොහොමත් වෙන්න බෑ.
මම මැරෙන තුරුත් වික්ටර් ජීවත් කරවලා වික්ටර් මැරෙනවා දකින එක මට නොදකින්න තරම් මාව වාසනාවන්තයෙක් කරාවී දෛවය.
උපේක්ෂාව, දරා ගැනීම ගන මොන තරම් බන කිව්වත් වික්ටර් වුනත් කවදා හරි මැරෙනවා කියන හැඟීම මොන හිතකින් දරා ගන්නද??
. . . . . . . .
සියලු දේ වෙනස් වන ලෝකයේ වික්ටර් ව පමනක් නොවෙනස් ව තබා ගැනීමට මගේ සිතට බල කරන්නේ වික්ටර්ගේ තනු නිර්මානයේ ඇති හැකියාවටත් වඩා ළයාන්විත කටහඬ කීවොත් මා සමඟ එකඟ නොවන්නෙක් සිටීද. . ?
. . . . . .
ප්‍රේමවන්තයෝ ආනන්දයෙන් අමන්දානන්දයට පත්කරවන්න, ශෝක වන්නන්ගේ හදවත් ශෝකයෙන් ඉරිතලා දෙදරවා යවන්න, දම් අසනු කැමැත්තෝ දම් සිසිලෙන් තෙමා සිහිලැල් කරන්න මේ ආදී කී නොකී ඒ ඒ ගීතයට ඒ ඒ අවස්තාවට උපරිම සාධාරනය ඉටු කරමින් සහෘද හදවත් පිනවිය හැකි වික්ටර්ට සමකල හැකි වෙන කිසිවෙක් සිටීද . . ?
. . . .
තුරුලට ගෙන අත්පා හැඩ ගස්වා
නිදි ගන්වා . . . යහන් ගැබේ. .
සිහිනෙන් ගෑ සුවඳක් මෙන් . . .
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ළබැඳී
ගෙන දී දිවියට නව පන ලැබදී
මා දැඩි කල අම්මා . . .
ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ . .. ඔබ මතු බුදුවන දවසේ
මා රාහුල කුමරුන් සේ . .
සෙවන පතා අදමෙන් පැමිනෙන්නෙම්
සුළඟිල්ලේ එල්ලී. . .
අම්මගේ අනුදැනුමෙන්, ගීත ශබ්ද රසය පමනක් නොව අර්ථ රසයද සමඟින් රසවිඳින්න පුරුදු වූ පුංචි එකා සංදියේ සිට අද වන තුරුත් මේ ගීතය ඇසෙන හැම මොහොතකදීම ඇඟේ හිරිගඩු පිපෙන්නේ, මයිල් කෙලින් වෙන්නේ . . ඒ ගීතයේ සංගීතයට, පදමාලාවට අනුගතවෙමින් ගීතය අපේ බොක්කටම වදින්නේ වික්ටර්ගේ මියුරු ළයාන්විත හඬ නිසා නොවේද . . ?
. . . ..
ප්‍රේමය නම් ප්‍රේමයමැයි වටහා නොගෙන, ජාති, ආගම්, කුල - මල, දුප්පත් - පොහොසත් යන අවි අමෝරා ප්‍රේමයට වැටකඩොලු බඳින ලෝකයක
අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක් . .
හඳ පානේ . . මඳ අඳුරේ . . .
අත් පටලා යමු ආයේ . . .
කියා තම තම්න්ගේ හෙවනැලි වලටත් හොරෙන් මිදී ඇවිත් පෙම් ලෝකේ සුව විඳින්න කැස කවන ප්‍රේමවන්තයෙකුගේ හදවතේ ගීය වික්ටර්ට හැර වෙන කිසිවෙකුට ගයන්න හැකිද . . .
. . . . .
සුන්දර කඳුකරයදී බැඳී ප්‍රේමයේ මනරම් සුවය . . . සුදු සේල එතුවාක් මෙන් වූ මීදුමෙන් වැසුනු කඳු හරහා හමා එන ප්‍රේමයේ ගීතය . . . ආකාසේ සිඹින නීල කඳු මතින් ගලා හැලෙන දිය පහරේ රැදී ගයා යන ප්‍රේමයේ ගීතය . . . වික්ටර් ගයද්දී ඒ ප්‍රේමයට නතුවී . . . ජීවිතය,සිය පන වුව තොර වුවත් කම් නැතෙයි නොසිතේද . . . ??
දුර ඈත අතීතේ
කඳු සීත පලාතේ
මල් පිබිදෙන කාලේ
දෙහදක කතන්දරේ . .
ආකාසේ සිඹින නීල වර්ණ කඳු වැටී
සුදු මීදුමේ සිහින් සළුව ඔතාගෙන සිටී
කඩා හැලෙන ඇල්ලක් ලඟ ඇයව හමුවුනා . .
ඇගේ දෑසේ නිල් කැලුම්
ආදරේ හැඟුම් හදට තේරුනා . . .
පෙම් ගීතේ සංගීතේ මිහිර වින්ඳෙමු
අපි සැන්දෑවේ ගංගාවේ පාරු පැද්දෙමූ
වෙන් නොවන්න කිසිම දිනෙක සිතා ගත්තෙමු
ඇගේ ආදරේ සිතුම් . . ආදරේ පැතුම්
පහන් දැල්වුනා
. . . .. .
මාරුතේ මතුරා යතේ සුරඹුන් නැඟූ මුකුලූ . .
මාවතේ අතුරා ඇතේ නෙලූ කැකුලූ . . .
නීල බිඟු කැල තාම රස පෙල . .
ආදරෙන් සනසාලා . . .
තිසර තුඩු මුදු තඹර පහසින් . .
මෝහනය වීලා
පෙම්වතියගේ ප්‍රේමය බොහෝ අමාරුවෙන් දිනාගත් ප්‍රේමවන්තයෙකුට සිතුනුයේ තමා අවට මුලු ලොවම දිව්‍ය විමානයක් ලෙසයි .හමා යන මඳ සුලඟේ පවා ඔහුට ඇසෙන්නේ දෙවියන් නඟන මුකුලු හඬවල් ගැබ්වී ඇති ලෙසයි. පා නඟන මාවතේ පුරාවටම දෙවියන් නෙලූ මල් අතුරා ඇති ලෙසයි . ඉඳින් එවැනි පෙම්වතෙකුගේ උද්දාමයෙන් ගයන්න ට වික්ටර්ට හැර වෙන කිසිවෙකුට හැකිද . . .
. . . .
මල්සර හී සර වැදී අනුරාගයෙන් මත්වූ පෙම්වත් බඹරෙකුගේ නුරාහැවිල්ල මත්වූ හඬකින් වික්ටර් අපිට ගයද්දී අපේ හදවත් පවා අමුතු කිතියකින් කිලිපොලා යන බවක් නොහැඟේද . . ?
ගිගිරි ගීත රාවේ . .
මලවි හී සරේ . . .
සබඳ අද කිමදෝ . .
බමන ලෝකෙක කෑ ගසා කීවේ . .. .
. . . .
වලව්වේ නපුරු නිලමේගේ නපුරු කමට වෛර නොකර
නපුරු ළමාතැනීගේ නපුරු කමට වෛර නොකර
සොඳුරු පුංචි කුමාරිහාමිගේ මානුශික ගති අගය කරමින් අයිති කර ගැනීමේ කිසිදු අවැසිතාවක් නැතිව, මනරම් ව පිපී දිලෙන මලක් දෙස බලා සතුටු වන්න සේ ගයන්න ඔබට මට හෝ වෙන කිසිවෙක් සමත් වේද වික්ටර් හැර . . .
පොඩි කුමාරිහාමියේ . .
එපා වලව්වට යන්න නියර පිට
බලා ඉන්න
පොඩි කුමාරිහාමියේ . . .
කාසි එපා නුඹ හිනා වෙවී
ඔහේ බලා ඉන්නවා නම් . .
. . . . . .. .
අමා දහර දිය ගලා ගලා
තුරු ලතා තුලින් මල් පියලි සලා
ජය හඬින් ලොවට සිහ නද පතුරා
ලෝ සත අතුරුන් ජනිත වුනා
බුදු සිරිතේ අපි අසා දැක අති දුෂ්කර ක්‍රියා අතහැර මැදුම් පිලිවෙත තුලට වැද වීරියෙන් ඉපදීම දුකක්ය, තෘෂ්නාව නිසා යලි යලි ඉපදෙන මනුසත් බවට ශාන්තිය ලඟා කරගතහැකි එකම මඟ තෘෂ්නාව අතහැරීම යන සත්‍ය වටහා ගනු පිනිස උරුවෙල් දනව්වේ සැරිසැරූ බෝසතුන් විඳි සුවයෙන් බිඳක් වික්ටර්ගේ වචන හරහා අපිටත් විඳින්න ලැබෙනවා නොවේද . . .
. . . . . . . . . . . .
බබලන විසිතුරු ලෝකයට පා තැබීම තම එකම පරමර්ථය කරගනිමින් ඉගෙනීම, දෙමාපියන් පමනක් නොව තම ආත්මයද පුදදී ඒ ලොවේ සැරිසරන යෞවනියන්, තමන් පහන් දැල්ලට ලොබ බැඳි පලගැටියන් මෙන් පහන් දැල්ලේම වෙලී විනාශ වන බව වැටහෙන විට ආපසු හඬ හඬා එන්නේ සුපුරුදු දෙමාපියන්ගේ සෙවනටම නොවේද . .. . . .
ගැහැනු ලමයි මව් අත්හැරදා
ගමෙන් පිටත් වී යන්න සිතා
බබලන විසිතුරු නගරේ සිතේ ඇඳී
සිතේ ඇඳී
කොතරම් ලස්සන දේ ඇතුවත්
ඒ තුල රැඳෙනා සුලු මොහොතක්
නොපෙනී ඇතිවෙන කරදර මතුවී
නිවස සොයා
නැවතත් හඬ හඬ එයි . .
හඬ හඬ එයි . . . . .
ගැහැනු ළමයිනේ කොහෙද බලා ඉන්නේ . .
ඉගිලී යන්නද සිත බලන්නේ . .
ගැහැනු ළමයිනේ . . අවට අලංකාරයිනේ . .
සිහිනෙන් දුටු දේ . . විසිරී යයිනේ . ..
ඒ අසරන යෞවනියන් ගැන වික්ටර් ගයන්නේ කෙතරම් කම්පා වූ හඬකින්ද . . . ?
. . . . . .. . . .
කැලේ පීදෙන මලකට රොඳ බඬින බෘංගයෙක් මෙන් ගමට සෙත සදන අරමුනින් ගමේ තිබුනු ගම් මඩු පොලේදී ඇස ගැටුනු . . ඇස ගැටුනු සැනින් සිත බැඳුනු ගමේ කැකුලිකට බැලුම් හෙලූ කැකුලෙකුට ඈ යන හැම තැනම පසුපස හඹා යද්දීත් ඈ නිනව් නැතුව සිටිද්දී හිතේ නැගෙන විස්සෝපය වික්ටර් හෙලි කරන්නේ කෙතරම් අපූරුවටද . . .
ඈත ලන්ද දිය මංකඩ
බෝම රුවට පිපුනු මලට
ආලවන්ත බහක් දෙන්න ආ බඹරින්දූ
මලට ලොලේ . . පිනි කඳුලේ . .
නිතර රැඳී උන් බඹරින්දූ . ..
ආල පිරූ මා ගැන දැං නැද්ද නිනව්වක් . . .
රූකඩ මඩු යාග පොලේ
කෝල නුඹේ රුවට ලොලේ
ආල පිරූ මා ගැන දැං නැද්ද නිනව්වක් . . .
ආල පිරූ මා ගැන දැං නැද්ද නිනව්වක් . . .
. . . .. . ... . .. .
වෙන කිසිවෙකුට තම පෙම්බරියගේ මුහුන පෙනෙතැයි බියෙන් ඇයට ඇගේ මුහුන සඟවා ගන්න යි පවසන්න තරම් වික්ටර් කෙතරම් ඊර්ෂ්‍යාකාර පෙම්වතෙක්ද . . .
සඟවා ගනු මැන
ඔබැ රුව සොඳුරියේ
වෙනැකෙකු නෙත් ඔබැ
මුව මත ගැටෙතැයි මා සිත බියවී . .
සැලී සැලී යයි . . .
. . . . . .. .. . . . . . . .
කලු උක්ගසක් මෙන් ඔබ කලු වුවත් මට ඔබ වටී නගේ.
මේ හොල්මන් තිබෙන ගොම්මන් සමයමේ නුඹ දර කඩන්න කැලයට යනවා නම් තනියෙම නම් යන්න එපා නගේ.
මා ඔබ සමඟ එනවා එනවාමයි.
මං ආදර පෙම්මාදර බින්දූමතී
පෙමා වඩන ලද බින්දූමතී . .
මං ආදර පෙම්මාදර බින්දූමතී
පෙමා වඩන ලද බින්දූමතී . .
කළු උක් ගස විලසා කලු
කලු නංගියේ
දර කඩලා ඉහා තියලා
කොහිදෑ ගියේ
ගොම්මන් සමය දා ගම
හොල්මං තියේ
නුඹ එකා මා එන්නා
යමු නංගියේ
බින්දුමතීට පෙම්බැඳි වික්ටර් කෙතරම් කපටි පෙම්වතෙක්ද . . .??
. . . . . . . .. . . . .
ඇලේ දොලේ නා, පිහිනා සැනහුන වෙල් එලියේ දුව පැන සෙල්ලම් කල, මිදුලේ වැලිබත් උයා බෙදා හදාගෙන කෑ පුංචි එකෙක් අද තව දුරටත් පුංචි එකෙක් නොව මහ එකෙක් වී ඒ පුංචි සංදියේ මතකයන් අතර සිරව වේදනා විඳිමින් නංගිලාගෙන් මල්ලිලාගෙන් තමන්ගේ ඒ පුංචි කාලය ඉල්ලා සිටී. වික්ටර් ඒ ඉල්ලන දයාබර හඬට බෑ කිව හැකි නංගියෙක් මල්ලියෙක් සිටීදැයි සැක සහිත නොවේද . . ???
වැලි බත් උයන්නම් සැඟවී සිටින්නම්
මා දං කැලෑවේ පළු වීර වදුලේ . .
කවි ගී අසන්නම් ඇකයේ රැඳෙනම්
මව්ගේ තුරුල්ලේ උනුසුම් කැදැල්ලේ . .
නංගියේ මල්ලියේ
මල්ලියේ නංගියේ
මට දෙන්න මගේ පුංචි කාලේ . .
. . . . . . . . . . . .
ප්‍රේමයෙන් මුසපත් වූ පෙම්වතෙකුට හිමගිරත් වැලි කැටයක් සේ පෙනෙන බව, හිරුගෙන් සීතල වුවත් ලබා දිය හැකි බව, කඩු තුඩු මත පවා සැතපී තුටින් සිටිය හැකි බව ඒ ප්‍රේමයෙන් මුසපත් වූ හඬින් වික්ටර් හැර වෙන කවුරුනම් ගයයිද . . ?
මියුරු කල්පනා නෙතක දැල්වුනා
අමයුරු රස හසකැන් මැද
සිතක් හිනැහුනා
වරෙක නැලවුනා වරෙක ළතැවුනා
නුපුරුදු ගිනි දහසක් මැද
සිතක් මැලවුනා
හිමගිර මට වැලි අහුරකි
මහ සමුදුර දිය රැල්ලකි
කටු අකුලෙන් මල් පුබුදමි
ඔබ සැනසේ නම් . . .
. . . . . .. . . . . .
අම්මා මියගිය පසු මලනුවන්ගේ මව වී කුසයේ නොදැරුවත්, තනෙන් කිරි නොදුන්නත් සැබෑ මවම වී ඔහුගේ නැණ නුවන් පෑදීමට දිවියම කැපකරන අක්කා කීන්කුගේ ප්‍රේමය ගැන වික්ටර්ගේ දයබර හඬ්න් අසන විට සියලුම අක්කලා ගැන මට නම් සිතෙන්නේ කියා ගත නොහැකි ආදරයක් . . .
අම්මා නැති මට කිරි අම්මා වී
කරුවල ගෙදරට මිනි පහනක් වී
දැනගත් දා සිට පෙරුම් පිරූවේ
අක්කේ මං මතු සක්විති වෙයි සිතලාදෝ . . .
. . . . . . . . . . . . . .
මම තමයි පොර . . . මම තරම් දන්න කෙනෙක් ඉන්නවනම් වරෙව්. . . උඹල මොන හාල් කෑලිද . . යි සිතනා මොහෙන් මුලාවුනු මිනිසුන්ගේ මනුසත්කම ගැන වික්ටර් ගයන්නේ කෙතරම් උපේක්ෂාවෙන්ද . . .
මා හරි උගතා මා හරි ජගතා
සිතනා මිනිහා මෝඩයෙකී
අනුන් හෙලන්නට වලක් කපන්නා
ඒ තුල වැටිලා මිය යන්නා
කල දේ පලදේ එලෙසේ . .
මෝහෙන් මුලා වෙලා මානෙන් උදම් වෙලා
තන්හාව ක්‍රෝධ ස්වේෂ පාරේ මිනිහා කොහේද මේ . .
රත්තරං කෙන්ඩියේ
සිංහ තෙල් වගේ
මිනිස් ගුනේ සැමදා බැබලේ . .
එය රැකීම අප උරුමේ වේ . .
. . . .. . . . .. . .
ඉදින් වික්ටර් ගැන ලියනවානම් මෙවැනි එක ලිපියක් නොව ලිපි මාලාවක්ම ලිව යුතු බව දන්නා නියායෙන්, නුදුරු අනාගතයේදී තවත් මෙවැනි වියුනකින් ඔබ හමුවට වික්ටර් කැඳවාගෙන එන්නෙමියි පොරොන්දුවෙන් අදට මෙතෙකින් නිමා කල යුතු බව හැඟේ මට . ..
කෙතෙක් ලීවද
ReplyDeleteලියා නිම කළ නොහැකි
කෙතෙක් ගැයුවද
ගයා නිම කළ නොහැකි
කෙතෙක් ඇසුවද
අසා නිම කළ නොහැකි
ගීතයකි
වික්ටර්...!
මෙහෙව් ලිපියකට පලවෙනි කමෙන්ටුව දාන්න පුලුවන් වෙච්ච එක ගැන පට්ට සතුටුයි අයියේ.වික්ටර් මහත්තයා මේක දැක්කා නං ඇත්තටම සතුටු වෙයි.අමරදේව මහත්තයා දැක්කානං අනේ මටත් කවුරුහරි මෙහෙව් එකක් ලියලා එව්වානං කියලා ඊරිසියා වේවි!
ReplyDeleteඇත්තටම උපරිමයි!
වචන නෑ!
ෂිහ් මම දෙක වෙලා.සචී අක්කා එක නේ!
ReplyDeleteවික්ටර් ගැන කියන්න දෙයක් නැත. සියල්ලට ආසන්න ප්‍රමාණයක් ඔබ පවසා ඇත. ඉතිරි ටිකත් ඔබම පවසනු ඇත.
ReplyDeleteBY THE WAY,
'රුදූ ගිනි දල්ලකට මැදිවී සියොලඟම දැවී විරූපී වීමි.'
අනේ ඇත්තට, මම අදයි දන්නේ. මට එහෙම කිව්වහම එක්කෙනෙක් ව මතක් වුනා. ඒ අපි දුම්රියේ යන කාලේ ගිය කෙනෙක්. එයාද දන්නේ නැහැ මේ කියලා හිතුනා.
ඇත්තටම එයාද?
@ RanDil !
ReplyDeleteane naha . . . mama eya nemei . . .
menna me pahala post eka balannako . . oke vistare tiyenawa . .
http://dukaa.blogspot.com/2009/08/blog-post_16.html
ෆට්ට වෙන මොනව කියලා කියන්නද.. කමෙන්ට් දාගන්න හිතාගන්න බැරි ගානට හොල්මන්..
ReplyDeleteඅමරදේව ඕක දැක්ක නං කියාවි - කොළොම් තොට නැත මහළු වී කියන සින්දුව.
ReplyDeleteඋඹ මේ ලියල තියෙන්නෙ වික්ටර්ගෙ eulogy එක නේද?
කකා
බිය නොවන්න අයියන්ඩිය. වික්ටර් මැරෙන්නේ නැත. අඩු තරමේ තව සිතාගත නොහැකි කලක් ජීවත් වනු ඇත :)
ReplyDeleteනෝ කමෙන්ට්ස්..! මං වගේ දුහුනෙක් වික්ටර් වගේ මහා ඇදුරෙකුට මොනා කියලා කියන්නද? අනිවා.. වික්ටර් මැරෙන්නේ නැහැ..!
ReplyDeleteසඳ හිරු තරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ
කියන්නේ නිකමට යෑ..!
පට්ට
ReplyDeleteවෙන නම් කියන්න වචන නෑ.
ඉදිරියටත් වික්ටර් ගැන ලියන්න.
සඳ හීරු තරු පවතින තුරු අපි මැරෙන්නෙ නෑ
ReplyDeleteඅනග තරුණ බමරු අපී අමර වරම අපට හිමී
අපි මැරෙන්නෙ නෑ අපි මැරෙන්නෙ නෑ...
කියල වික්ටර් රත්නායක මහත්තයා කියන්න ඇත්තෙ ඔහු අමරණීය වන බව දැනගෙනම වෙන්න ඇති. දුකා සහෝදරයා බොක්කෙන්ම ලියල තියනවා. හරිම ලස්සනට.
මලා. මම කමෙන්ට් එක ලිය ලිය ඉද්දි මලී ඒකම ලියලනේ.
ReplyDeleteආ බං උඔත් හෙන කලා කාරයා නේද බං. ලියපං ලියපං මම දිගටම කියෝනවා.
ReplyDeleteමගේ ප්‍රියතම දෙවැනි ගායාකයාය.
ReplyDeleteතනි තරුව කොහොමද...?
අද කාලේ පායන තරු වගේද බං මේ තරු...
/බිඟුවා...!
අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්...
ReplyDeleteඉඩ ලබාගනිමු තරමින් වියතක්...
ලස්සන මතකයන්,වචනයන් ඇමිණිමක්... ලස්සන වැඩක්.. මම ආසම සින්දුවක් නිතර ගැයෙන සින්දුවක් ... ආදරයෙ උල්පත වු අම්මා...
ReplyDeleteපිස්සු හැදෙනවා..දවස් 2ට කලින් වික්ටර් ITN එකට ආවා.මම අහම්බෙන් දැක්කෙ..මටත් ඔය වගේම අවුලක් හිතට ආවා.මොනවා හෝ පොඩියට මේ ගැන ලියන්න හිටියත් ඒකට වෙලාවක් ලැබුනෙ නෑ.
ReplyDeleteදයාබර දුකා.....
ඇයි මෙච්චර දුක හිතෙන්න මේවා ලියන්නෙ...?
වික්ටර්ගෙ 68 වන උපන්දිනේ දවසට එයගෙ පරන සිංදු 9 හා අලුත් සිංදු 9 අඩංගු CD එකක් එලි දක්වනවා.එත් ඔය අලුත් සිංදු 9 ප්‍රචාරය කරයිද දැන් ඉන්න මීඩියා කාරයො..
ඒ ගැන හිතද්දි තවත් දුකයි..
කියලා වැඩක් නෑ අයියෙ උපරිමේටම ලියලා...
ReplyDeleteඅනේ කව්රුහරි මේ ලිපියෙ කොපියක් ඔහුට දුන්නොත් මේක කියවලා ඔහුට කොපමණ නම් සතුටු හිතෙයිද? සමහරවිට ඇඬෙන්නත් ඉඩ තියෙනවා. (අපිට වගේම)
තව මං ආසම ආස සින්දුවක් තියෙනවා...
"හිත මිතුරු සුළඟ ලඟ එන වැහි වළාවට කියන්
අද නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණගැසේවි හසඟනක් ලෙසින්
වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වෙයි සැණින්"
ගිටාරය විතරක් වයමින් ගැයුවත් මේ සින්දුව කොයිතරම් නම් පිරිලද? කොයිතරම් නම් අපූරුද? උපරිමයි!
මම වික්ටර්ගේ ආසා මේ සිංදුවට..
ReplyDeleteමල් පොකුරු පොකුරු ඇය එන එනමඟ- ඈ දෙසටම නැමීයන්
මල් අසිරි සිරිය ඇඟේ මුහුණින් මල් පොකුරට ලැබීයන්...
මම ආසාම ගායකයෙක් වික්ටර්. ඒත් මට මේවා තනියම අහද්දී දැනෙන පාළුව දරා ගන්න බෑ... ඉතිං මම මේවා අහන්නේ නෑ..
Thanks Dukaa...
අපි කවුරුත් කවදාහෝ මැරෙනවා.වික්ටර්ත් මිය යයි.ඒත් ඔහුගේ සදාදරණීය කටහඬ නොමියෙයි කවදාවත්ම......
ReplyDeleteආදරණීය දුකා.....
ReplyDeleteඇත්තටම කොතනින් පටන් ගන්නදැයි සිතිවිලි පැටලිලා...හැඟුම්බර වැඩිද මන්දා...ඒ සොඳුරු ගාන්ධර්වයාගේ මිහිරිතම පදවැල්වලට,කටහඬට,සප්තස්වර මුසුවට පෙම් කරන්න පටන් ගත්තේ කොයිකාලෙද කියල නිනව්වක් නැහැ.කොහොමවුනත් බෙළ බිඳුණු වෑර්ලස් එකෙන් ඒ ආදරණීය පදවැල් සවන් පත් අතරින් රිoගා යනකොට හදවත හිරිවැටෙන බව නම් සත්‍යයක්....ම්....අර ගුත්තිලයෙ ගුත්තිල පඬිතුමාගේ වීණා වාදනය අහල ඇකයේ හුන් දරුවන් ගිලිහුණා කියන කතාවනම් ඇත්ත කියලා හිතෙනවා නේද දුකා....දන්නවාද..?..උඹ ඔය සටහන තබන අදවන විට ආදරණීය වික්ටර්ගේ සoගීත චාරිකාවට පන්සාලිස් වසක්..!!!!
ඉදින් ආදරණීය වික්ටර්....නුඹගේ ආදරණීය කන්කළු හඬට,ගේය පද ගෙත්තමට,දිව්‍යමය සත්සර මුසුවට පෙම් කරණ මම... දුකා...සුවහසක් වූ සහර්දයන්ගේ එකම පැතුම..............
තෙරුවන් සරණින් නීරෝගීව චිරාත් කාළයක්..යෙහෙන් වැජඹේවා....!!!
.................................................
ජීවිතයට සහන් එළියක්
සොයමින් සැරිසැරූ අතීතයක....
අහම්ඹෙන් හැඳින ගතිමි නුඹ
ලොව මා රිදවද්දීත්...ඈ මා හැරයත්දීත්
නොසැලී සිටියා...මතකයි..
ඉදින්..හුදෙකලාව සස්වාමික වූ මහදට
පෙනෙන දුරින්..ඉඳපන්
ළයාදර "තනිකම"
කණ කැස්බෑ නෙත බලා හිඳිනවා - අහස දකින්නට විය සිදුරෙන්
පෙරුම් පුරාගෙන අහස බැලූදා - සඳ නැත අහසේ අමාවකයි..
පියන් වසාලා අගුළු දමා තිබු - දිවි මැදුරේ කවුළුවක් ඇරී
සඳකැන් සිසිළස ගලා හැලෙන් තුරු - බලා උනිමි එය තවත් නැතී
තනිකම ගණඳුර නොනිමෙන කෙඳුරුම - යළි රජයන්නට වරම් ලැබී
සුපුරුදු උරුමයෙ සුළඟ වැදී යළි - කවුළුව වැසුනා අඳුර වැටී
............සුලා....
හප්පේ මේ ඇවිත් ඉන්නේ. ඉතිං ඉතිං, මොකද වෙලා හිටියෙ..
ReplyDeleteඇත්තෙන්ම හරිම පුදුම වැඩක් අද සිදු වුනේ.
ReplyDeleteමම කාලයක් (බ්ලොග් එක පටන් ගත් අවදියේ ඉඳන් ම වගේ) වික්ටර් ගැන ලියන්න ඕන කියලා හිතමින් හිටියා වුනත් මොකද්දෝ හේතුවක් නිසා පමාවුනා.
අපි සචී - හෂිතලගේ ගෙදරදී සෙට් වුනු වෙලාවේ හෂිත ත් යෝජනා කලා අපි හැමෝගෙම ප්‍රියතම ගායකයා වික්ටර් නිසා හැම දෙනාගේම බ්ලොග් වල එතුමා ගන ලියමු කියලා.
රචියා වික්ටර් ගැන ලියපු වෙලාවෙත් මතක් කලා ඒ යෝර්ජනාව ගැන.
ඊයේ හවස අහම්බෙන් හිතුනා අද නම් ලියනවාමයි කියලා.බාගයක් ලියලා ඉතුරු ටික රෑ දොලහට නදීෂා තේ එකකුත් හදලා ගෙනත් දෙනකනුත් ලියනවා. ඒත් ඉවර නෑ. අද උදේ තමයි ඉවර කරලා පෝස්ට් කලේ.
හවස මූනු පොත බලද්දී සුදේෂ් කියලා තියෙනව අද උගේ උපන්දිනය, අද වික්ටර්ගෙත් උපන් දිනය කියලා.
මට මාර සතුටුයි. මාර පුදුමයි. අහම්බෙන් මගේ ප්‍රියතම ගායකයාට හොඳම උපන්දින තෑග්ගක් දෙන්න ලැබුනා වගේ සතුටක් මට දැනුනේ.
@සචී !
ReplyDeleteමම වචන ගනනාවකින් ලියපු දේට සමාන කල හැකි තරම් දෙයක් ඔයා වචන කීපයකින් ලස්සනට කියලා . . . මාරයි
කෙතෙක් ලීවද
ලියා නිම කළ නොහැකි
කෙතෙක් ගැයුවද
ගයා නිම කළ නොහැකි
කෙතෙක් ඇසුවද
අසා නිම කළ නොහැකි
ගීතයකි
වික්ටර්...!
@ මුචා !
ReplyDeleteඋඹට කලින් සචී ඉස්සර වෙලා නේද මලයෝ . . . මොනා වුනත් උඹටත් ස්තූතියි උඹත් මට එදයින් පස්සේ මතක් කලානේ අර කතා වුනු විදිහට වික්ටර් ගැන ලියන්නේ නැද්ද කියලා . . .ඉතිං උඹේත් කොටසක් මේකේ තියෙනවා. අනික උඹේ පෝස්ට් එක දැකපු දා තමයි මම හිතුවේ තව ප්‍රමාද කරන්න ඕන නෑ කියලා . ..
@@ RanDil !
ReplyDeleteම් ම් ඕ ඉතිරි ටිකත් මම වෙලාවක් ලැබුනු ගමන් අනිවාර්යෙන් ලියනවා. මම හිතුවට වැඩිය කට්ට්ටිය වික්ටර්ට කැමති කියලා දැන ගන්න ලැබුනු එක නම් මට මාර සතුටක්.
අර මම පිච්චුනු එක ගැන ලියපු පෝස්ට් එක දැක්කද . . ?
@ආගන්තුකයා !
ReplyDeleteඑල එල මචෝ . . . උඹේ බ්ලොග් එකෙත් ලියමු නේද එකක් වික්ටර් ගැන. . . !
@කකා!
ReplyDeleteම් ම් ම් ඔව් මචං . . අමරදේව එහෙම කියයි . . ඒත් මම කැඩපතින් මම වයසට ගිය බව දැක්කට දුක් වෙන්නේ නෑ . . මම දුක් වෙන්නේ වික්ටර් වයසට යන එක ගැන.
ඔව් මචං. මේක වික්ටර් ගැන eulogy එකක් තමයි. තුට්ටු දෙකක් නොවටින මෝඩ දේශපාලකයන් වෙනුවෙන් eulogy ලියන එකේ, හදවත් වලට මිනිස්කම උගන්වන සංවේදී මිනිසුන් බිහිකරන ගාන්ධර්වයෙක් වෙනුවෙන් eulogy ලියන එක වැරද්දක් කියල උඹ හිතනවද මචං . . . ? නෑ නේද . . ???
@ h!
ReplyDeleteඅනේ එහෙම හිතෙන එකත් කොච්චර ලොකු දෙයක්ද . . අපි හැමෝම එහෙම ප්‍රාර්ථනා කරමු.
@මලී!
ReplyDeleteඇත්ත මලී. නියම කලාකාරයෝ කවදාවත් මැරෙන්නේ නෑ. නිකමට හිතලා බලන්න විජය, ජෝති, කේමදාස මාස්ටර්, මර්වින් පෙරේරා, කැරැන්ස්, මිල්ටන්, සරත් දසනායක ඔය වගේ අය මියගියා කියලා අපිට නිකමට වත් හිතෙනවාද??
@thiraya !
ReplyDeleteඅනිවාර්යෙන් ලියන්නම් . . . මාර සතුටුයි ඔයාල හැමෝම වික්ටර්ට ප්‍රිය කරන එක ගැන දැක්කාම . . මාර සතුටුයි . .
@දසයා !
ReplyDeleteඇත්තෙන්ම මටත් එහෙම හිතෙනවා. ඔහු සිරාවටම කවදාවත් මිය යන්නේ නැති ගායකයෙක් බව නිසැකයි. අහ් මලීයි උඹයි දෙන්නම එක පාරටමද කමෙන්ට් කලේ . . එල එල
@බුද්ධි!
ReplyDeleteඅනේ බං . . මම එහෙමට කලා කාරයෙක් නෙමෙයි. නමුත් හොඳින් කලාව රසවිඳින්නෙක්. දේශපාලයකයින්ට පලු යනකම් බනින්න චන්ද දායකයින්ට සදාචාරාත්මක අයිතියක් තියෙනව වගේ (අද කාලේ නම් එහෙම කලොත් ඉතිං සුදු වෑන් වල අතුරුදහන් වෙන්න තමයි වෙන්නේ) කලාව රසවිඳින්නෙක්ට සදාචාරාත්මක අයිතියක් තියෙනව කලාකාරයෙක් ව අගය කරන්න . . . නැද්ද මම අහන්නේ . .
@බිඟුවා...! !
ReplyDeleteඅහ් කවුද උඹේ පලමු ප්‍රියතම ගායකයා මචං . . . ???
ඔව් බං මේ තරු දවල් රෑ දෙකේම සදාකල්ම පායන තරු . . . !!!
@CD Athuraliya!
ReplyDeleteඇයි මල්ලියා ඉතුරු ටික . . .
අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්
අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක් . . . //
හඳ පානේ මඳ අඳුරේ
අත් පටලා යමු ආයේ . . . . . . //
. . . . .
ඔබ ඔබෙ සෙවනැල්ලෙන් මිදී
මම මගේ සෙවනැල්ලෙන් මිදී . . //
අවුදින් හෙමින් රහසින් මුමුනා
හඳ පා . . නේ . . . මඳ අඳුරේ . . .
හඳ පානේ මඳ අඳුරේ
අත් පටලා යමු ආයේ . . .
. . ..
හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම් . . . //
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ .
හඳ පානේ මඳ අඳුරේ
අත් පටලා යමු ආයේ . . . . ///
@රවා !
ReplyDeleteඔව් මචං ඒක මගෙත් ප්‍රියතම ගීතයක්.
ඇඟ හිරිවැටෙනවා ඒ ගීතය ඇහෙන හැම වෙලාවකම මට නම්
@ප්‍රියන්ත කරුණාරත්න !
ReplyDeleteඅහ්. අදලු වික්ටර් ගේ උපන් දිනය මචෝ. ඒ කියන්නේ අදද ඒවා එලි දක්වන්නේ.
උඹත් ලියපන් මචං. අනිවාර්යෙන් ලියපන්.
දුක් වෙන්න එපා බං අද තියෙන ගොං මීඩියා වලින් වික්ටර්ගේ ගීත ප්‍රසිද්ද නොකරට මේ තරම් වික්ටර් ලෝලියෝ ගොඩක් ඉන්නැද්දී මොකද දුක් වෙනවද මීඩියා වල සපෝර්ට් එක නෑ කියලා. අපි දෙමු උපරිමයෙන්ම පබ්ලිසිටියක් අලුත් සින්දු වලට.
@ධනික !
ReplyDeleteඔව් මලේ අර සචී කිව්ව වගේ . . .
කෙතෙක් ලීවද - ලියා නිම කළ නොහැකි
කෙතෙක් ගැයුවද - ගයා නිම කළ නොහැකි
කෙතෙක් ඇසුවද - අසා නිම කළ නොහැකි
ගීතයකි - වික්ටර්...!
ඉතිං තව පෝස්ට් දෙක තුනක්ම ලියන්න වෙයි ඔය ඔක්කෝම ගැන ලියන්න නම් . . . බලමු බලමු ඒව ගැනත් ලියමු නේද . . .
@පිස්සා!
ReplyDeleteඅනේ බං උඹට තනියෙම අහද්දී දුක දරා ගන්න බැරි බව අහුවාම මටත් හරිම දුකයි.
දන්නවාද මම මුලින්ම පිටරට ගිහින් මාස තුනක් විතර වෙන කම් කිසිම කෙනෙකුගෙන් ලියුමක්, SMSඑකක්, කෝල් එකක් ආවේ නෑ. මම මාර දුකෙන් හිටියේ.
අහම්බෙන් දවසක් (මාස 3කට ත් පස්සේ) සින්දුවක් අහන්න හිතිලා මගේ වෝක්මන් එක දැම්මා. මගේ කරුමෙට ඒක නතර වෙලා තිබිලා තියෙන්නේ "දෛවයෝගයකින් නොවේදෝ" සින්දුව ලඟ. ඒක ඇහුනු ගමන් මට ඇඬුනා. මම ඇඬුවා . . . ඇඬුවා . . . රෑ 10 ඉඳන් පහුවදා පාන්දර 5 වෙන කම් ඇඬුවා. ජීවිතේ වැඩියෙන්ම ඇඬුවේ එදා තමයි.
නමුත් පහුවදා වෙනකොට "ලොකේ වෙනස් නොවන එකම දේ වෙනස් වීම පමනයි" කියන දේ මම තේරුම් අරගෙන . . පහුවදා ඇඳෙන් නැගිට්ටේ වෙනස්ම මිනිහෙක්
@චමිදේවා!
ReplyDeleteඔව් මචං . . අපි එහෙම හිතලා හිත සනසා ගමු . . .
@සුලා!
ReplyDeleteදයාබර සුලා
වික්ටර් වෙනුවෙන් ඔබේ මගේ අප හැමගේ මේ ප්‍රාර්ථනව කෙතරම් අපූරුද . . ???
"ඉදින් ආදරණීය වික්ටර්....නුඹගේ ආදරණීය කන්කළු හඬට,ගේය පද ගෙත්තමට,දිව්‍යමය සත්සර මුසුවට පෙම් කරණ මම... දුකා...සුවහසක් වූ සහර්දයන්ගේ එකම පැතුම..............
තෙරුවන් සරණින් නීරෝගීව චිරාත් කාළයක්..යෙහෙන් වැජඹේවා....!!! "
@änthräX !
ReplyDeleteඇයි බං මම නිවාඩු ගිහින් හිටපු බව දැක්කේ නැද්ද. උඹ මූනු පොතේ හිටියේ නැද්ද පහුගිය ටිකේ. හිටිය නම් අනිවාර්යෙන් දකින්න ඕන අලුත්ම අලුත් විස්තර දුකාගේ . . . කොහොමින් හරි ඔන්න ආයේ ඇවිත් දුකා සුපුරුදු සෙනෙහසින් . . .
PS
කෝ මට අර ඊ මෙල් කරලා එවනවයි කියපු එක . . ලොල් ???
දුකා අයියෙ..
ReplyDeleteඔයා වික්ටර් ගැන ලියල තියෙන පෝස්ට් එක දැක්කම හරිම සතුටුයි.. මාත් වික්ටර්ගෙ සින්දුවලට හුඟාක් ආස නිසා..
ඒත් මේ කමෙන්ට් එක නම් උදව්වක් ඉල්ලන්න, වික්ටර්ගෙ සින්දුවලට ගොඩක් ආස ඔයාට සමහර වෙලාවට මේ උදව්ව කරන්න පුලුවන් වේවි.
අපේ අම්ම කියනව වික්ටර්ගෙ සින්දුවක් තියෙනවලු
"සමාස තද්ධිත ප්‍රත්ය විශේෂණ
සන්ධි විසන්ධි විභක්ති ක්‍රියාපද
වින්ධයා කඳුවැටි භූමි විෂමතා
පෙම් නොකරන්නෙමි දෙගුරුන් දෙනෙත වසා"
මේ පද පේලි හරියටම හරිද කියල මම දන්නෙ නෑ.. මොකද මම කවදවත් ඒ සින්දුව අහල නැති නිසා..
මම දන්න හැමෝටම කියලත් මට මේ සින්දුව හොයාගන්න බැරි උනා.. මට මේ සින්දුව අහන්න හරිම ආසයි..( අම්මත් මෙක ආපහු අහන්න ආසයි.. )
පුලුවන් නම් මේ සින්දුව හොයගන්න මට උදව්වක් කරන්න.
"හද ගී පොත" ලියන තිස්ස අය්යටත් පුලුවන් වෙවිද මන්දා මේකට උදව් කරන්න. පුලුවන් නම් ගොඩාක් ස්තුතියි..
මචං දුකා,
ReplyDeleteවික්ටර් ගැන උඹ ලියල තියන විදිය නම් මාරයි. මම හිතන්නෙ අද තරුණ පරම්පරාවටත් වැඩිය 70 ගණන්වල හැදුන වැඩුන අපට මේක බොක්කටම වදිනවා. ඒ දවස්වල වික්ටර්ගෙ "ස" ප්‍රසංගය උපරිමයටම ජනප්‍රිය වෙලා තිබ්‍රන හැටි, එතකොට වික්ටර් රත්නායක හා ප්‍රේමකීර්ති ද අල්විස් දෙන්නා එකතු වෙලා අපට හඳුන්වා දුන්න ගීත සමූහය, මේ ඔක්කොම ආයෙත් මතක් වෙනවා මේක කියවනකොට.
මම ආරම්භය දුන්නා..
ReplyDeletehttp://ambarox.blogspot.com/2010/02/blog-post.html
ඒත් උඹ ලියපු එකට මම ඊට වඩා කැමතියි..
උපරිමයි දුකා.......... වික්ටර් රත්නායකයන් ගැන කියන්න තියෙන හැමදේම වගේ ලියවිලා තියෙනවා...
ReplyDelete"නියම කලාකාරයෝ කවදාවත් මැරෙන්නේ නෑ. නිකමට හිතලා බලන්න විජය, ජෝති, කේමදාස මාස්ටර්, මර්වින් පෙරේරා, කැරැන්ස්, මිල්ටන්, සරත් දසනායක ඔය වගේ අය මියගියා කියලා අපිට නිකමට වත් හිතෙනවාද??"
මේ කතාවනම් සම්පූර්ණ ඇත්ත.. මේ අය මියගිය වගක්වත් දැනෙන්නෙ නැහැ... සදාකල් ජීවමානයි..
@ ආගන්තුකයා !
ReplyDeleteඅනේ සමාවෙයන් කොල්ලෝ . . .මම උඹ දාපු පෝස්ට් එක දැක්කේ නෑ. නිවාඩු හිටපු දවස් වල තමයි උඹ ඒක ලියලා තියෙන්නේ . . ඉතිං මට ඒක මිස් වෙලා. උඹ එහෙනම් ආරම්භය දුන්නා. රචියා ත් එකක් ලිව්වා. හශිත කාලෙකට පෙර එකක් ලිව්වා. තව කවුද ඉන්නේ. ලිශ්, අක්කන්ඩි, පිටස්තරයා ටත් කියමු ලියන්න කියන්න කියලා. හැමෝටම ආරාධනා කරමු වික්ටර් ගන ලියන්න කියලා.
@චේජනා !
ReplyDeleteමියුරු ගී අඩවියේ නැද්ද මේ ගීතය. මම සචීගෙනුත් ඇහුවා . . එයා වික්ටර් ගේ ගී ගබඩාවක්. දැනට මතකෙට එන්නේ නෑ කියලා පසුව දැනුම් දෙන්නම් කිව්වා . . . .
@Sujeewa de Silva !
ReplyDeleteඔව් මචං . . සිරාවට ම 70 දශකයේ උපන් අයට මේ ගීත මතකයේ රැඳිලා තීය්නවා මම හිතන්නේ ඒකට හේතුව ගුවන් විදුලියේ වෙලඳ සේවයයි, ස්වදේශී සේවයයි. අද තියෙන ෆ්ම් නාලිකා වලින් කරන්නේ රසවින්ඳනය දියුනු කරන එකටත් වඩා තියෙන ටිකත් මොට කරන එක කියලා වෙලාවකට හිතෙනවා. (ලක් හඬ හැර )
@Wish !
ReplyDeleteඔව් සිරාවට ම මේ අය අමරණීය කලාකාරයෝ . . . !
තෑන්ක්ස් අයියේ..
ReplyDeleteඑච්චර ඉක්මනට ඒක ගැන හෙව්වට..
eaka nam kiyannama beee duka....
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteපෝස්ට් එක නං හරිම ලස්සනයි...
ReplyDeleteවික්ටර් මහත්තයා දැක්කොත් ආස හිතෙයි...
අවුරුදු කිහිපයකට පෙර වික්ටර් රත්නායක මහතාගේ සංගීත සංදර්ශනයක් බලන්න ලැබුනා... ඒ විතරක් නොවේ.. ඔහු සමග කතා කරන්නද මට ලැබුනා... අපේ බෝ අක්කි වික්ටර් මහතාට ලියපු ලිපියකුත් කවි පෙලකුත් එදා මම වික්ටරි මහත්මා අතට දුන්නා...
හරිම ලස්සනයි දුකා අයිෙය්.මමත් ෙගාඩක් අාසා කරන ගායකයින් අතුරින් වික්ටර් මහත්මයා ඉදිරිෙයන්ම සිටිනවා.මව් බිෙමන් පිට නුහුරු ෙද්ශයක මට දැෙනන පාළුව තනිකමට මකන්ෙන වික්ටර් නන්දා මාලනි .අමර ෙද්ව වැන්නන්ෙග් හරවත් ගීතයි.එවැනි ගීත රසවිදින විට සිතට දැෙනන හැගීම් වචන වලට ෙපරලන්න බැරි තරම්.අාදර ෙය් උල්පත වූ අම්මා...මම ෙගාඩක් අාදරය කරන ගීතයක්...ඔබට බෙෙහවින් ස්තූතියි.
ReplyDeleteඔහුගේ හඬ හැමදාමත් අමරණීයයි.. එතකොට හැමදාමත් වික්ටර් ජීවමානයි කියලා අපිට හිතේවි..
ReplyDeleteවික්ටර්....
ReplyDeleteඔබ අනන්තයි....
මේ ගී සයුර මැද..
නිමක් නොදකිමි..
සිතිජයේවත්....
මාලිනියේ - ඉන්ද්‍රජාලය
ReplyDeleteමාලිනියේ - අන්ධකාරය
මා දෑස සොයනා - ඔබ දෑස නැත
රුව ඇඳුනා
මාලිනියේ - නොරැවටෙන්
මංගල පෝරුව මස්තකයේ - අමන තරුණය
මම ඔබ අත ගනිමී
මංගල පෝරුව මස්තකයේ - අමන තරුණය
මම ඔබ අත ගනිමී - කුමට ද ඔය තරම් සොඳුරූ
බුදුහාමුදුරුවො අපිත් දකින්නැති - බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පින් මඳි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ
නිවන් දකින්නට පින් මඳි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ
තව මතක් කරන්න කොච්චර නම් ගී තියෙනවද ?
ලිපිය නම් අති විශිෂ්ඨයි.
පාසල් වියේදි වික්ටර්ගේ ගීක එකතුවක් මමත් අක්කත් මොනිටර් පොතක හැදුවා ගීතයක් එක්කම ඊලග පිටුවෙ සිතුවමක් අපි පිස්සු වැටිලා හිටියෙ කිව්වොත් වඩාත් නිවැරදියි පැන්සලෙන් ෂේඩ් කරලා වික්ටර්ගේ සිතුවම් තරගෙට ඇන්දා තවම තියෙනවා ඒවා රෙඩියෝ එතේ ආරාධනා ප‍්‍රසංගයේදි හිතමිතුරු සුලග හින්දියෙන් කියද්දි මේක රෙකෝඩ් කරගන්න ටේක් අප් ස්පූල් එකක් නැතුව ටේප් පටිය පොලොවට නිදහසේ වැටෙන්න සලස්වලා වැඩසටහන ඉවර වෙනකොට සාලෙ පුරා ටේප් කන්දයි. ඒ කාලෙ (1980) තිබුනෙ ස්පූල් ටේප් රෙකොඩර්ස්. 1996 අපි බැඳලා ගෙදර එන දා අපේ සාදය රසවත් කරන්න මම ආරාධනා කලේ ඔහුට. මේ ලගදි දවසක් වෙසක් දා ඇප් ගමේ පන්සලේ ප‍්‍රසංගයක් කළා බොදු ගී සරණිය නමින්. වික්ටර් තරම් දැනෙන විඳිහට බොදු ගී ගයපු කෙනෙක් නෑ. මගේ හිතවතෙකුගේ පුතෙකුට අවස්ථාව ලැබුනා එහි අත්වැල් ගායනයෙන් දායක වෙන්න. එදා තමයි දුකාට ඇතිවුනු මේ සිතුවිල්ලෙන් මගේ හිත ගිලන් වුනේ අනේ ඇයි ඔබ වයසට යන්නේ ?
ReplyDeleteHow could you describe the same feelings i have for Victor..... I also got shocked seeing him recently.... then only realized that we all getting old.....
ReplyDeletebut his voice.................
u hv said all what i feel.........its just amazing...............AMAZING..!!!!!!!!!!!
i just envy you subash.....
කියා නිම කල නොහී
ReplyDeleteතනි තරුව....
මාරයියගේ රේඩියෝ එකේ වික්ටර් ශූරීන්ගේ සිංදු ගිය නිසා ආයෙත් මේක හොයාගෙන කියෙවුවා.....
ReplyDeleteමගේ ප්‍රියතමයෙක්.............
ඈත්තටම ඔහුට සම කල හෑකි කිසිවෙක් නෑ.ඒ කටහඩ අමරනීයයි.
ReplyDeleteමට තාමත් මතකයි මම 9 වසරෙ ඉද්දි අපේ ඉස්කෝලෙ සර් කෙනෙක් ආදරයේ උල්පත වූ අම්මා ගායනා කලා.ඒ අවුරුද් 11කට කලින්. නමුත් අදටත් ඒ ගීතය ඈහෙනකොට නිකන්ම ඈහෑට කදුලු එනවා.
මම මුලින් දිනේ බැලුවෙ නැහැ...හිතුවෙ අලුත් පෝස්ට් එකක් කියලා..
ReplyDeleteහරිම සතුටක් දැනුනා පරණ දුකා ආයෙත් ඇවිත් කියලා...
කොහොම වුනත් සුපිරි ලියවිල්ලක්...දැන් ඉතින් දුකා බිසිනෙ..
මම 65..
ReplyDeleteපෝස්ට් එක උරිමයි.. ඒ නිසා කමෙන්ට් එකක් නොදා යන්න හොද නෑනේ.... ආස සිංදු ටිකක් මතක් කරලා දුන්නා......
වික්ටර් රත්නායකයන්ගේ අවසාන " ස" ප්‍රසංගය නරඹන අවස්ථාවේ ඇති උනේ පුදුම දුකක් . මෙවැනි සොඳුරු ගායකයෙන් , මින් මතුවට ඉපදෙන්නේනම් නැති වෙයි .
ReplyDeleteඔහුට සුභ උපන්දිනයක් සමඟ දීර්ඝායූ පතනවා .
ලිපියනම් හරිම සංවේදී ආකාරයට ලියා තියෙනවා .
ලස්සන ලිපියක්. ස්තුතියි.
ReplyDeletehttp://www.lankantunes.com/player/victor_rathnayaka/index.php?name=Victor%20Rathnayaka%20(HQ%20Mode)
ලිපිය හොඳයි,ලස්සනයි,මමත් කැමතියි.
ReplyDeleteහැබැයි මේ උපමාවට කැමති නෑ.හොද මදි වගේ හිතෙනවා.
"බුදු හාමුදුරුවෝ පිරිනිවන්පාන බව අහපු ආනන්ද හාමුදුරුවෝත් දුක් වෙන්න ඇත්තේ මේ වගේද?"
ඒ කටහඬ ගැන මොනවනම් කියන්නද....? මේ මම දාපු status එකක්.
ReplyDeleteසංගීතවේදියාණනි, ඔබට සුබ උපන්දිනයක්.....
"සම්බුද්ධ සද්ධර්ම අනුහසින්.....
ගෝවින්ද ශ්‍රී ස්කන්ධ ශාන්තියෙන්....
කමලාසනාරුඩ සරස්වතී ආශිර්වාදයෙන්....
රසික ඔබ මිලනයෙන්.... ආනන්දජනක වූ...
මේ සොඳුරු රාත්‍රී යාමයේ...
සුවහසක් සවන් යුග ප්‍රීතියෙන් උදම් වේවා...
ප්‍රීතියෙන් උදම්....වේවා....."
ඔටුනු නොපැළඳි මුත්, රජ මාලිග නොමැති මුත්, සිහසුන් අරා හිඳිනා රජු ඔබය....
වික්ටර් යනු හැට දශකයේ අග භාගයෙත් හැත්තෑව දශකයේත් ජනප්‍රිය සංගීතය තුළ සිරවූ ජෝති, මිල්ටන්,බෙග්, එක ඉවුරක හින්දි ගීයේ ජනප්‍රිතාවය හඹායද්දී අනෙක් ඉවුරේ සුනිල් සාන්ත, අමරදේව, සනත් වැනි අය සුභාවිත ගීය පෝෂණය කරද්දී ඒ දෙපිරිසටම එකට එහා මෙහා යා හැකි පාලම නිර්මාණය කළේ ඔහුයි ඔහුගේ ගායනයට වික්ටර් නම් වූ මහා ගී තනු රචකයා රසිකයන්ට නිතැතින්ම අමතක වෙනවා.
ReplyDelete"ඔබෙ දෙතොල් පෙති ලිහී" කියන ගීතයත් පුදුම එකක්, අති සංවේදී එකක්. ආදරය සහ විරහව ගැන බොහෝ දේ පවසා අවසානයේ ගීතය මෙන්නෙ මෙහෙම අවසන් වෙන හැටි කාටත් මතක ඇති...
ReplyDeleteඅහස් තල පොලෝ තල ඔබට මට පොදු වෙලා...
හදවතින් එක්වුනත් ගතින් දෙදෙනෙකු වෙලා...
මට බලා ඉන්න බැහැ සියොලගම තැවෙනවා...
සසර සැරි සරණතෙක් ඔබ මගේ ඔබ මගේ.....
Dear Subash
ReplyDeleteIt is an amazing write up, excellent approach
Great piece of work
Keep writing
Piyal Rathnayake
ලිවීම නම් හරිම අපූරුයි අය්යෙ. පහුවෙලා හරි මේ ලිපිය කියවන්න ලැබිච්ච එක වාසනාවක්. ඔබේ ජීවිතය ආදර්ශයට ගත යුතු චරිතයක් විදියටයි මං දකින්නෙ.
ReplyDeleteමට මේ ලිපිය කියවු පසු හිතුනේ කලාවෙන් කෙරෙන්න ඕන මිනිස් හිත හැදීම, සැනසීම, ශක්තිමත් කිරීම, යථාවබෝධනය කලාකරුවන් අති උපරීමෙට උනත් මිනිසුන් එයින් වැඩි ප්‍රයෝජනයක් ගෙන නැ වගේ හැඟිමක්.
ReplyDeleteඔව් අපි ගොඩක් වෙලාවට කරන්නේ කලාව මතුපිටින් විඳින එක. කලාවෙන් කරන්න හදන ආනන්දයෙන් ප්‍රඥාවට යන්න අපිට ලෝබයි. තිත්ත උනත් ඇත්ත ඒකයි මට හිතෙන්නේ
Deleteලෝබයි නෙමේ දුකා ඕන කමක් නැ මට හිතෙන්නේ...අපි ලෝබ දේවල් කොහොමහරි කරනවානේ අපිට ඕනේ නම්...
Deleteමෙහෙමත් දෙයක් තියෙනවනේ . . . අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා ඉන්නේ හඳ පෙන්නුවාම ඇඟිල්ලේ වෙනස්කම් හොයන්නේ. දෙව් රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ .. මාසිටියානම් . . . කියලා අපි හීන මවන්නේ බුදුන්ගෙන් බන අහලා නිර්වාණය අත්පත්කරගන්න නෙමේ. ඒ කාලේ කොයි වගේ වෙන්න ඇත්ත කියන හීනේ හැබෑ කරගන්න :D
Deleteඒක ඇත්ත දුකා, ඇඟිල්ලෙන් ඇනලා පෙන්නුවත් හඳ නෙමේ තමා ගොඩක් අය බලන්නේ...ඕකට දුකා හොඳම උත්තරෙත් බුදුහාමුදුරුවෝම දීලා තියනවනේ.. අපි සිහියෙන් ජීවත් වෙන්න ඕන මේ මොහොතේ මිසක් හීන ලෝක වල නෙමේ කියලා..
Delete