Wednesday, March 24, 2010

හදවතේ පැරණි තුවාල සුව කල "පූර්ව ජන්ම අපූර්වය"





මගේ බ්ලොග් අඩවිය මට මගේ දිහා තුන්වෙනියෙක් විදිහට බලන්න හුරු කරන තුන්වෙනි ඇසක් ලබා දුන්නා කියල මම කලින් ලිපියක් ලිව්වා දැකපු අයට මතක ඇති. ඒ වගේම මගේ පහුගිය නිවාඩුවේදී සිදුවූ විශේෂ සිදුවීම - ("රසවතිය" බ්ලොග් එක ලියන ) හෂිත හා ("සිතිවිලි" කවි බ්ලොග් එක ලියන ) සචීයුවලගේ නිවසේ තිබුනු මිතුරු හමුවේදී . . . එකම මවට අම්මා නොකීවත් එක කුස උන් සොයුරියක් මෙන් දයාවෙන් මට සලකන සචී මට තෑගි කල මේ "පූර්වජන්ම අපූර්වය" පොත, මට තවත් ඇසක් ලබා දුන්නා කියනවාට වඩා බ්ලොග් එක තුලින් ලැබුනු තුන්වෙනි ඇසේ වපසරිය, එහි නිම් වළලු තවත් පුළුල් කලා කීවොත් තවා වඩා නිවරදි.

සචී ඔබට පිං . . .

එසේත් නැත්නම් ඔබ ලඟදී පටන් ගත් ඔබේ "සිතිවිලි" කවි බ්ලොග් අඩවිය සාර්ථකවේවා කියා පතන්නම් ඒ පිනෙන්.

. . . .. . . .. . .. . . .. . . .. . . .. . . . .. . . .. . . .. . . .. .

මම පුංචි කාලේ අපේ අසල්වැසි නිවසක පූසියෙක් හිටියා. මේ පූසිට පැටව් හම්බුවුනු දෙපාරකම මේ පූසිම ඒ පැටව් ටික ඔක්කෝම කෑවා. අපේ ගෙදාර පූසි නොවුනත් මේ සිදුවීම පුංචි අපේ (අක්කගේ මගේ නංගිගේ) හිත් බොහෝම සසල කලා මට මතක හැටියට. අපේ හිත් හදන්න අම්මා දුන්නු පිලිතුර තමයි "ඒ පූසි ගේ පෙර ආත්ම වල වෛරක්කාරයෝ තමයි එයගේ බඩෙන් ඉපදිලා තියෙන්නේ. . . ඉතිං ඒ පෙර ආත්ම වල ඉඳන් පතාගෙන එන වෛරය මේ ආත්මෙත් පිරිමහගත්තා. ඔයාලා වැඩිය දුක් වෙන්න එපා ඒ ගැන. ඒ කර්මය හෙවත් කරුමය"

උපතින් බෞද්ධයෝ වුනත්, ඒ කාලයේ දිනපතා පන්සිල් ගත්තා වුනත්, ඉරිදාට දහම් පාසැල් ගියා වුනත්, පෝයදාට පන්සල් ගියා වුනත්, බෝ මලුවේ - විහාර ගේ පෙරලි පෙරලී වැන්ද වුනත්, හාමුදුරුවෝ කියන බන කතා සාවදානව අසා සිටියා වුනත්. . . ඒ අපේ පුංචි බෞද්ධ හිත් වලට අම්මා කියූ ඒ කතාව කොයි විදිහකින් ජීර්ණය වුනාද කියා නම් මතකයක් නැත.

. . . . . . .. . . . . . . .. . . . . . .. . . . . . . .. . . . . . . .

කුඩා කල අප විසූ නිවස අසල නාලනී ඇන්ටිලගේ (අන්වර්ත නාමයකි) නිවසට අප බොහෝ සවස් වරුවන්හි ගියේ රූපවාහිනියක් ගෙනාවොත් දරුවන්ගේ ඉගෙනීමට බාදා වෙයි කියා සිතූ අපේ තාත්තගේ සිතුවිල්ලට පින්සිදු වෙන්නටයි (ඒ වුනාට ඊට වඩා ගෙදර තිබූ දේශපාලන රැස්වීම් නිසා ඉගෙනීමට බාදා වූ බව දැක්කත් නොදැක්කා වගේ සිටියේ ඇයිදැයි නොදනිමි)

නාලනී ඇන්ටිගේ සැමියා පියසිරි අන්කල් ඉතාම අහිංසක හිනාවක් තිබූ එපමනටම අහිංසක මිනිසෙක්. පියසිරි අන්කල්ට පියාගෙන් ලැබුනු නිවසේ පදිංචිවී සිටි ඔවුන් දෙදරු පවුලක්. ඔවුන් දෙපලගේ දිවිය ගැන කුඩා කල සිට මගේ සිත විමසූ ප්‍රශ්න බොහොමයකට මේ පූර්ව ජන්ම අපූර්වය පොත මට පිලිතුරු දුන්නා කීවොත් එයයි සත්‍ය.

නාලනී ඇන්ටි පියකරු කාන්තාවක් වුවත් නිතර සිටියේ මූනට අබ ටිකක් දැම්මොත් පිපිරේවි යැයි සිතෙනා තරම් නපුරු මූනකින්. අප සමඟ කතාබහේදී සුහදශීලී ලෙස සිනාසුනත් එකම වත්තේ විසූ පියසිරි අන්කල්ගේ සහෝදර සහෝදරියන් දුටු විගස අර සුපුරුදු අබ පිපිරෙන මූන කෙසේ දමා ගන්නවාදැයි එකල කුඩා මට ව්ශාල ප්‍රශ්නයක්. ශෝචනීයම දේ නිතර අසල්වැසියන් සමග සුහදව සිනාසෙන කතාබහ කරන පියසිරි අන්කල් දුටු විගස නාලනී ඇන්ටිගේ අබ පිපිරෙන මූන අන් අවස්තාවාට වඩා රෞද්‍ර වීමයි.

තාත්තා ගෙදර නැති දිනවල රූපවාහිනිය නරඹන්න ඔවුන්ගේ නිවසට යාම අපට අප්‍රිය කල එකම සිදුවීම එයයි කීවොත් එය කිසිවිටෙකත් බොරු නොවේ. වැඩිහිටියන්ට තවකෙනෙක් ගැන, යම්කිසි සිදුවීමක් ගැන ඔවුන්ගේ හිතේ පැවති නොරිස්සුම් ගතිය සඟවාගෙන සිටිය හැකි වුවත්, බොරු සුහදත්වයක් පෙන්වා කතාබහ කල හැකිවුවත් අව්‍යාජ ළමාවියේ සිටි අපට එය අපහසු කාරියක් වූවා කියා හොඳින්ම මගේ මතකයේ රැඳේ තිබෙනවා.

පූර්ව ජන්ම අපූර්ව කියවා නැති, එවැනි මනෝ විද්‍යාව ඇසුරින් ලියවුනු පොත් පත් කියවා නැතැයි විශ්වාසයෙන් පැවසිය හැකි පියසිරි අන්කල්ගේ අහිංහසක මුහුන මගේ ඉදිරියේ මේ දැන් මැවී පෙනෙන විට නාලනී ඇන්ටි පියසිරි අන්කල් සමග පූර්ව ජන්මයක දී බැඳගත් වෛරයක් මේ ආත්මයේ දී පිරිමහගන්න උත්සාහ කරනවා යැයි මට මේ පොත කියවූ පසු දැනුනු හැඟීම, අවබෝදය පියසිරි අන්කල් එදා කොහෙන් ලබා ගන්න ඇත්දැයි සිතන විට මට සිතෙන්නේ ඔහුගේ ඒ ඉවසීමේ ශක්තිය වෙනුවෙන්, ඒ අහිංසක හදවතින් විඳි වේදනාව වෙනුවෙන් එදා ඔහුගේ අතින් අල්ලාගෙන මට විනාඩියක් වත් අඬන්න තිබුනානම් අද මට ඔහු වෙනුවෙන් දැනෙන මේ වේදනාව වේදනාවක් නොවන්න තිබුනා නොවේදැයි කියායි.

. . . . . . . .. . . . . . . . . . . . . .. . . . . . .. . . . . . . . . .. . . .

අක්කාත් නංගීත් විවාහ වී නිවසින් වෙන්වී මා පමනක් නිවසේ නිවසේ සිටි කාලයේ අම්මාගේත් තාත්තාගේත් රන්ඩුවක් දුරදිග ගොස් ඔවුන් සති දෙකක් එකිනෙකට කතා බහ නොකර සිටි කාලයක දෙදෙනාගේම තෝල්කයා වීමේ (අම්මගේ පනිවිඩ - තාත්තට කෑම කන්න කියන්න. බෙහෙත් ටික වතුරත් එක්ක මේසේ උඩ ඒක බොන්න කියන්න . . .. තාත්තගේ පනිවිඩ - අන්න මම දැල්ලෝ වගයක් ගෙනාව ඒක උයන්න කියන්න. ලයිට් බිල් ගෙවන්න සල්ලි මගේ සාක්කුවෙන් ගන්න කියන්න . . . ආදී වශයෙන්) කාරියට ඇති මගේ අකමැත්ත මා පිටකලේ මෙසේයි . .

"මේ මොන කරදරයක්ද . ."

"දැන් අවුරුදු විසිපහක් විතර තිස්සේ රන්ඩුවෙලත් තාම ඉවර වෙලා නැද්ද?"

"දැන් අපි ගැන හිතනන් ඕන නෑ නේ . . . "

"අර දෙන්න බැන්දා මම ජොබ් එකක් කර්නවා . . . "

"ඔය දෙන්නා ඩිවෝස් වෙලා ජීවිතේ ඉතුරු කාලේ සතුටින් ඉන්න පුලුවන් දෙන්නෙක් හොයගෙන බැඳ ගන්න . . .
මොකටද රන්ඩු වෙවී ඉන්නේ . . ."


අම්මගේ පිලිතුර උනේ :

"පෙර ජාති වල ඉඳන් තිබුනු තරහක් වෙන්න අති බන්."

"ඔන්න ඔහේ ඒක මේ ආත්මෙම ගෙවලා දානවා. නැත් නම් ලබන ආත්මෙකදීත් ගෙවන්න වුනොත් . . ."

තාත්තගේ පිලිතුර වුනේත් :

"ඔව් ඔව් පෙර ජාති ඉඳන් තියෙන ගනුදෙනුවක් වෙන්න අති."

ඒ කාලයේ පූර්ව ජන්ම අපූර්වය කියවා නොතිබුනත් පුනර්භයව කර්මය ආදී දේවල් ගැන පත පොතින් ලත් දැනීමෙන්

"ඕන මගුලක් කොර ගත්තාවේ . . . කාගෙන කාගෙන ගිහින් නැටි දෙක වත් ඉතුරු වෙන්නේ නැතැයි"

කියලා සිතා හිත හදාගත්තු හැටි මතකයි. ඒත් ඔවුන්ට සතුටුන් ඉන්න හොඳින්ම පුලුවන් කමක් තිබියදෙත් නිරපරාදේ ඒ සතුට නැති කරගෙන ජීවිතේ දුක් විඳින හැටි දුටු මට ඔවුන්ගේ දුක වෙනුවෙන් අඬන්නද ඔවුන්ගේ රන්ඩුවේ වචන වලට සිනාසෙන්නද කියා සිතාගත නොහැකි වූ මට එය උපෙක්ෂාවෙන් දරා ගන්න පිච්ච මල පොත් සෙට් එකේ රාහුල හාමුදුරුවෝ "හ්හ්ම්ම් ඒකත් එහෙමද" කියා කියවා වැනිව ඇසුනා විය හැකියි . .

. . . . .. . . .. . . .. . . . .. . . .. . . .

කාලයක් මගේ හොඳම මිතුරෙක් වී සිටි නමුත් මගේ බ්‍රේක් නැති කට හෙවත් හිතේ තියෙන දේ කෙලින්ම කියන (ගොඩක් අය මගේ නරකම දේ ලෙස සිතුවත් මගේ හොඳම දේ කියා මා සිතන ) ගතිය නිසා මගෙන් දුරස්වී සිටින රිසිත විදුමිනි විජේසේකර (අන්වර්ත නාමයකි)ගැන මා සිතේ වූ සංකා බොහෝමයකට මේ පූර්ව ජන්ම අපූර්වය පොත පිලිතුරු දී ඒ සංකා නිමා කලා.

යහපත් කාරුනික දෙමවුපියන් (පියාගේ විශ්‍රාම වැටුපෙන් නඩත්තු වන), දයාබර එකම සොයුරිය, වැදගත් නෑදෑ පිරිස, මාපිය උරුමයෙන් ලැබුනු නිවස, වසර ගනනාවක රැකියාවෙන් උපයා ගත් මුදලින් මිලදී ගත් නව නිවස, වාහන කීපය, දුටුවනම පෙමින් බැදී කරදර රාශියක් මැද පෙම් සටන් දිනා විවාපත් රූමත් බිරිඳ, දඟකාර පුතනුවන්, දයාබර මිතුරු මිතුරියන් කැලක් . . . මේ සියලුම දේවල් වලින් පරිපූර්න වූ කෙනෙකුට "ජීවිතේ සුන්දරද මෙතරම්" කියා නොසිතා විහින් ඇති කර ගන්නා ප්‍රශ්න ගොඩක පැටලී . . .

සියලුම මිතුරන් අමනාප කරගෙන, දෙමාපියන් සහෝදරිය ප්‍රශ්න ගොඩකට ඇද දමා, බිරිඳ සමඟ දන්නා තරමින් කිසි හේතුවක් නොමැතිව දබර කරගෙන ඇගෙන වෙන්වෙන්න කටයුතු සකස් කරමින් ඔහු මේ සතුටු විය යුතු . . . විය හැකි ජීවිතය . .. කුමක් නිසා විඳවනවාදෝ කියා මා සිතූ දේට ආසන්නම පිලිතුර ලෙස මේ පූර්ව ජන්ම අපූර්ව පොතේ පේද්‍රෝස් සහ එලිසබෙත් පූර්ව ජන්ම වලදී මුහුන දුන් සිදුවීම් නිසා මේ ජන්මයේදීත් ඒ පූර්ව ජන්ම වල අහිතකර බලපෑම් හේතුකොට ගෙන ඒ බලපෑමෙන් මිදිය නොහැකිව තැවුල් විඳින බැව් පසක් වූ පසු වයි මාගේ සිතෙන් ඔහු ගැන විමසමින් සිටි දේවලට පිලිතුරු ලැබුනේ. ඔහු නිසා හදවතේ ඇති වූ පරන තුවාල කැලල් සුව වූයේ . .

. . . . . . . .. . . . . .. . . .. . . . .

කොටින්ම සුනේත්‍රා පවසන පරිදි නැතිනම් ඈ ප්‍රාර්ථනා කරන පරිදි මේ පොත කියවීමෙන් පසු . . . .මගේ හදවතේ කාලයකට පෙර ඇනී තිබුනු කවදාවත් නොගැලවේවී කියා සිතූ කටු බොහොමයක් දෑස් ඉදිරිපිටම ගැලවී වැටෙනු මා දුටුවා . . . . . අද හෝ හෙට වෙන කිසිම කටුවක් සදාකාලිකව නො ඇනෙන ලෙස හදවත ගල්වෙනු / මෙලෙක් වෙනු මා දුටුවා . . . . . කවදාවත් සුව නොවේ කියා මා සිතූ හදවතේ කාලයකට පෙර, අද, ඊයේ සිදුවී තිබුනු තුවාල සියල්ලම වාගේ සුවවෙනු මට දැනුනා . . . . . යලි කිසි දිනෙක තුවාල නොවන සේ ස්වයං ප්‍රතිශක්තියක් එය විසින්ම සකසා ගනු මට දැනුනා. . . !
. . . .. .. ..

ඉදින් එතරම්ම ශාන්තියක් මට ලබා දුන් මේ පොත ගැන ඔබට කීමට තව පමා වෙන්නේ ඇයි.

පොත ලියූ සුනේත්‍රා රාජකරුණා ටත් බොහෝම පිං . .

27 comments:

  1. හරි මම බලන්නම් හොයගෙ ඇතුලට දාගන්න... ස්තුති අයියා...

    ReplyDelete
  2. අතෑරියා.... ගොඩක් දේ... දැන්මම... මේ දැන්මම... ස්තූතියි සහෘදයා...

    නවලෝකේ වරු ගනන් රස්තියාදු වෙන්නේ මොකටද...ට්‍රේඩ්මිල් එකේ විනාඩි 15 දුවලා පෙති ගොන්නක් එක්ක එලියට එනවාට වඩා කොච්චර ලේසිද....?

    ReplyDelete
  3. උස්සා...
    කරකවා...
    පොළොව ගසනු ලැබූවෙමි...

    සිතන්නට දෙයක් ලදිමි...
    සිතමි...
    සිතුනොත් මතුදාක ලියමි...

    ReplyDelete
  4. පොත් කියවීමට තිබූ ඇබ්බැහිකම නම් දැන් මගෙන් ටිකක් දුරස් වෙලා. කොහොම උනත් මේ ලිපිය කියෙවුවම මේ පොත ගැන සෑහෙන උනන්දුවක් ඇති උනා. හොයාගෙන කියවන්න ඕනෙ.

    බලමු මරණින් මතු ජීවිතය ගැන මගේ තියෙන අවිස්වාසය මේ පොත විසින් දුරු කරයිද කියල.

    ස්තූතියි අයියා මේ වටිනා ලිපියට.

    ReplyDelete
  5. සුනේත්‍රාගේ පොත් වලට ආදරය කරන්නට ගෙන මම දැනට ටිකක් කල් වෙනවා. ඒත් මේ පොත මගේ අතට ආවේ නැ. හොයාගෙන කියවන්න ඕනේ අයියා..! ස්තූතියි දැනුවත් කලා ට...!

    ReplyDelete
  6. මට හරිම සතුටුයි...! ඔය පොත කියවපු දා ඉඳන් මිනිස් සම්බන්ධතා ගැන අමුතුවෙන් හිතන්න මම පෙළඹුනා. මගේ නැන්දම්මා (හෂිත ගේ අම්මා) ත් තදින් ම පොත් කියවීමට ඇබ්බැහි වුණ කෙනෙක්...එයත් මා එක්ක කිව්වා, සමහර අය ගැන තිබුණු අමනාප සහගත හැඟීම් 'පූර්වජන්ම අපූර්වය' කියෙව්වට පස්සෙ නැති වුණා කියලා...අපි ඔක්කොම එකතු වෙලා සුනේත්‍රා අක්කට පිං දෙමු ඒ පොත අපට දුන්නට...!

    ReplyDelete
  7. සුනේත්‍රා රාජකරුණානායක නැන්දා ලංකාවේ ඉන්න දක්ෂතම ලේඛිකාවක්,ඒ වගේම ජීවිතය ගැන වෙනස්ම විදිහකට සිතන්නියක්.

    ඇගේ 'මතක පොත' මට ජීවිතය ගැන වෙනස්ව හිතන්නට ඉගැන්නුවා.ඒ පොත කියවපුදාට පහුවදාම මම ලිපියක් ලියුවා ඇයට.ඒකට ලැබුන පිලිතුරු ලිපිය තවමත් මම පරිස්සමින් තියාන ඉන්නවා.මේ පොත නම් කියවලා නෑ.කියවන්න ඕනි.ස්තූතියි දුකා අයියට...

    ReplyDelete
  8. මම මීට දින කීපයකට පෙර රවා ගේ ලිපියකට ප්‍රතිචාර දැක්වීමෙදී මෙ පිළිබද පුංචිම පුංචි සටහනක් තිබ්බා මතකයි.
    ඇත්තටම සසර බැදීම කියන්නේ හිතවත් පමණක් නොව වෛරයද සහිත දෙයක්.

    ReplyDelete
  9. කළු සුදු චරිත කියල මිනිසුන් ඛෙදා වෙන් කරන්න බැහැ. පූර්ව ජන්මය කොහොම වුනත් හැම මිනිහෙක් ලගම සොදුරු ගති තියනව. වෙලා තියෙන්නෙ එක්කො ඔවුන් නොදැනුවත්වම එය වසා ගෙන සිටිනව. නැත්තම් අපිට එය තේරුම් ගැනීමට බැරි වෙනව. සමහර වෙලාවට අපිට තේරුම් යනකොට සෑහෙන කල් ගිහින්..... සතුටින් ඉන්න පුලූවන් කම තියෙද්දි මාත් බොරුවට දුක් වුනා. "අනේ මට ඉතින් දුක තමයි" කියල හිතාගෙන හිටියෙ... දැන් මමත් බොහොම උපේක්ෂාවෙන් ලොව දකින්න පුරුදු වෙලා.... අපිට ලැඛෙන දේට වඩා අපි දෙන දේ ගැන හිතල සතුටු වෙන්න දැන් මටත් පුලූවන් ...

    ReplyDelete
  10. පොත් කියවන්න තිබ්බ පෙරේතකම අඩු වෙලා ගිහින්.......... ආයෙමත් ඒ ඇබ්බැහිය ඇති කරගන්න ටික කාලයක් යයි......... ස්තුතියි දුකා අයියෙ දැනුවත් කිරීමට..... මේ පොත හොයාගන්න ඕනෙ....

    ReplyDelete
  11. අනිවාර්යෙන්ම මේ ඉරිදා පොත ගන්නවා කොහෙන් හරි...අනිවාර්යෙන්ම....අතාරින්න ගොඩාක් දේවල් තියනවා හිතෙන්....

    ReplyDelete
  12. පොත ගන්න ඔනා මත් .......

    ReplyDelete
  13. කියවන්න වටිනවා ඒත් දැන් පොත පත ඇසුර ටිකක් දුරස් වෙලා ඒක හැබැයි ඉතින් අපරාදයක් තමයි. ස්තුතියි දුකා

    ReplyDelete
  14. පූජ්‍ය කන්නිමහර සුමංගල හිමියන් පරිවර්තනය කළ "සංසාර මන්දිර" පොතත් කියවන්න.
    සුළඟ

    ReplyDelete
  15. කියවන්න ආස හිතෙනවා. ඒත් ඉතින් මෙහෙ කොහොමද ඔය පොත් හොයන්නෙ! ගිය දවසකට ගන්න ඕනෙ !

    ReplyDelete
  16. මට හුගාක් වටින පොතක් කියලා හිතුනා. අරන් බලන්නම ඕනා. තොරතුරු දැන්නුවට දුකාට පිං....

    ReplyDelete
  17. "ඕන මගුලක් කොර ගත්තාවේ . . . කාගෙන කාගෙන ගිහින් නැටි දෙක වත් ඉතුරු වෙන්නේ නැතැයි"

    සමහර අයගේ රණ්ඩු දැක්කම දැන් මටත් එහෙම හිතන්න පුළුවන්.

    පොත කියෙව්වට පස්සේ අයියා දැන් හිතන විදියට හිතන්න පුළුවන්.

    ඒක නිසා පොත ඉක්මනට ගන්න ඕනේ.

    ReplyDelete
  18. මට පොත ගන්න පුලුවන් දවසක කියවලා බලන්නම් අයියේ...ඔයා කියලා තියෙන දේ වලිනා හිතෙනවා පොත ලස්සන ඇති කියලා...ගොඩාත් ස්තුතියි අපිටත් කිවුවට ඒ ගැන...

    Dinithi

    ReplyDelete
  19. සොයුරේ සිතින් බොහෝ ඈත පියාසර කලා ආපස්සට. මනෝ විද්‍යා පොත්පත් වලින් පිරුණ කාලයක් තිබුණා - ඉන් ලබන්නට වඩා ලබාදෙන්න ගොඩාක් දේවල් ගතහැකිවුනා. මෙ මෑතක නම් එවැන්නක් කියවන්න අවස්ථාවක් ලද්දේ නැති වුනත් ඔබේ හරබර ලියමන මෙකී පොත ගැන ඇතිකල කුතුහලය අපමණයි.

    මෙවන් ලිපියක් පලකල ඔබට යහපතක්ම වේවා!

    ReplyDelete
  20. මගේ කවියකට comment කරද්දි, දුකා කිව්වේ මේ පොත ගැන නේද.
    මාත් අනිවාර්යෙන්ම මේක ගන්නයි ඉන්නේ.

    තොරතුරු බෙදා හදා ගත්තට ..පිං..මචං.

    ReplyDelete
  21. සිරා සිරා මාත් පොත ගන්න ඕනි.. දුකා අයියේ මේක පොත්ගුලටත් දාපන්....

    ReplyDelete
  22. ඔබේ ලිපිය කියවු පසුව මේ පොත ගැනත් ලොකු ඇල්මක් ඇතිවුණා... මගෙ එකම වස්තුව වන සිය ගණනක් වන පොත් අතරෙ වැඩි ඉඩක් ඩැහැගෙන තියෙන්නෙ විද්‍යා ප්‍රබන්ධ පොත්පත් වුණත් ජීවිතය ගැන අළුතින් හිතන්න පොළඹවන මේ වගෙ පත පොතටත් එහි තවම ඉඩකඩ තියෙනවා...
    පිච්ච මල් නවකතාවේ රාහුල හාමුදුරුවන්වත් නැවත සිහිපත් කරගත්තා, ඔබේ පිහිටෙන්...

    ReplyDelete
  23. මටත් මේ පොත කියවන්න ආසාවක් ඇති වුණා... අම්මට, තාත්තට, හොඳම යාළුවට කරන්න බැරි දේ කරන පොත් එමටයි.. ඔබට පිං...

    ReplyDelete
  24. පහු ගිය දාක සුනේත්‍රා අක්කා අහමබෙන් ජී මේල් එකේ දැකලා ඩිංගක් කතා කළා. 'මල්ලි අපි ඉක්මණට දවසක හම්බ වෙයි, ඔයාලත් එක්ක භාවනා කරන්න' ඇගේ අන්තිම පිළිතුර. අපි බලමු..!

    ReplyDelete
  25. මම සුනෙත්‍රාගෙ පොත් වලින් කියවල තියෙන්නෙ රිදී තිරංගනාව විතරයි. දැන් කියවන්න කාලය සොයාගැනීමේ අර්බුදයත් එක්ක කියවීම මගඇරුණත් අපේ උන්දැනම් ඔය පොත් සෙට් එකම ගන්න එක හොඳටම ෂුවර්! ඒ නිසා මටත් කවදහරි කියවන්න පුළුවන්!

    ReplyDelete
  26. මචන් ඔය හැම සිද්ධියක්ම වෙන්නෙ අපි හැමකෙනෙක්ගෙම ශරීර වලින් විහිදෙන රැස් වළලු වල බලපෑමෙන්.ඒ රැස්වළලු අනෙකාට මිත්‍රශීලී නම් සමීප බන්ධනයක් ඇතිකරගන්නවා.ජ්‍යෝතිශ විද්‍යාවෙ ඕක නම් වෙන්නෙ පක්ෂි කේන්දරය හැටියට.පොදු සාධකය තමයි අපි පෙර භවයන් වල කරපු කුසළ අකුසළ කර්ම.මට මේ දේවල් කියා දුන්නෙ 'අශෝක විජේසේකර'අය්යා.

    ReplyDelete
  27. සුනේත්‍රාගේ මේ පොතට පදනම් වූ කීර්තිමත් කර්තෘ ආචාර්ය බ්‍රයන් වේස් ගේ පර්යේෂණ පිළිබඳ ඔහු ලියූ Through the Time into Healing කෘතියෙහි සිංහල පරිවර්තනය මම බ්ලොග් එකක් හැටියට ලියනවා http://kalatharanaya.blogspot.com/ අඩවියට ගිහින් බලන්න. ඔබේ අදහසුත් කියන්න.

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..