Thursday, January 13, 2011
මහේෂ් . . !
මහේෂ් ට තිබුනේ හරිම අහිංසක හිනාවක්.
වැඩිය කතා බහ කරන කෙනෙක් නෙමෙයි කියන එක නම් මට මහේෂ් ව දැකපු දෙවෙනි තුන්වෙනි දවස්වලම හිතුනා.
ඒත් ඒ කතා නොකරන ගතියට හරියන්නත් එක්ක ඔහුගේ හිනාව සෑහුනා.
ඇස් පුංචි කරලා හිනාවෙනකොට ඕනෙම කෙනෙක්ට තේරෙන්න ඇති "හලෝ . . සුභ උදෑසනක්" කියන වචනත් ඒ හිනාවේ තිබුනු බව.
මහේෂ්ව මම දැක්කේ අපි ඩුබායි පදිංචි වෙලා ඉන්න කාලේ. අබුඩාබි ආවට පස්සේ මහේෂ් ව විශේෂයෙන් මතක් කරන්න තරම් කිසිම සිදුවීමක් වුනේ නෑ.
ලඟඳී දවසක් ඩිලංක මල්ලිගේ මූනු පොතේ මහෙෂ්ගේ පින්තූරයක් දාලා "හදිසියේ අප අතරින් වියෝ වුනු මහෙෂ් අය්යාට නිවන් සුව අත්වේවා" කියලා ලියලා තිබුනා.
පපුවෙන් හෝස් ගාලා සද්දයක් එද්දී මට මැවිලා පෙනුනේ මහේෂ් ගේ අර අහිංසක හිනාව.
මනෝජ් මල්ලිට කෝල් කරලා විස්තරේ හරියටම දැන ගත්තා.
පපුවේ අමාරුවක්ලු, වයස 33යිලු, පහුගිය කාලයක් කාර්‍යාලයේ වැඩ කරලා තියෙන්නේ ලොකු පීඩනයක් යටතේලු. මහේෂ්ගේ පුංචි පුතාට වයස 2ක්ලු. බිරිඳට තව දරුවෙක් ලැබෙන්න ඉන්නවලු.
එහා පැත්තේ ඉන්න ජනකටත් පනිවිඩේ දීලා මැටි පූසා (සුදත්) ගේ බැච් එකේ මිතුරෙක් කියලා දන්න නිසා ඌට කතා කලා දුක බෙදා ගන්න.
හවස ගෙදර යද්දිත් මට දැනුනු කම්පනය අඩු වෙලා තිබුනේ නෑ.
"අනේ නදීෂා අර අපි ඩුබායි ඉන්නකොට උදේ හවස මුන ගහුනු මහේෂ් කියලා QS කෙනෙක් හාට් ඇටෑක් එකක් හැදිලා මැරිලා. පුතාට වයස 2යිලු, තව ළමයෙක් හම්බුවෙන්නත් ඉන්නවලු . . පව් හලෝ . . " උගුරේ ගිලින්නත් බැරි විසි කරන්නත් බැරි යමක් හිරවූ විට එන ඒ කටහඬ මගේමද කියලා මටම හිතුනා. ඒ තරමට වෙනස්වෙලා, දුකෙන් පිරිලා, බැරැන්ඩි වෙලා.
"අනේ . .. . ..!! "
"ඒ ගෑනු මනුස්සයට තියෙන්නේ වැඩි කල් නොගිහින් වෙන හොඳ කෙනෙක් හොයල බඳින එක" නදීශා මගේ දිහා බැලුවේ මූට මොකෙක් වැහිලද මේ වගේ ගොං කතාවක් කියන්නේ කියල අහන බැල්මෙන්.
"නෑ අනේ දරුවෝ දෙන්නෙක් එක්ක ගෑනු කෙනෙක්ට තනියෙන් ජීවිතේට මූන දෙන්න බෑනේ"
"ඔයාට පිස්සු"
"ඔක්කෝටම වැඩිය තාත්තා වැඩ ඇරිලා ගෙදර එනකම් සෙල්ලම් කරන්න බලන් ඉන්න පොඩි පුතා, ඌ කොයි තරම් පව්ද . . . අර ඉපදෙන්න ඉන්න දරුවා?? අනිත් ළමයින්ට තාත්තලා ඉන්නවා ඇයි අම්මේ මට නැත්තේ කියලා අහන කොට අර ගෑනු මනුස්සයා කොයි තරම් අසරණ වෙයිද"
"ඒ මොනා වුනත්"
"ඔයා කියන්න හදන්නේ අපේ සමාජේ ඒ වගේ දේවල් මම කියන තරම් ලේසියෙන් හිතන්නේ නෑ කියල නම් මම කියන්නේ සමාජෙට බම්බු ගහ ගන්න කියලා ඒ ගෑනු කෙනා ඒ වගේ තීරණයක් ගන්න ඕනයි කියලයි. තනිවුනු, අසරණ වුනු දරුවෝ ගැන එයාලගේ දෙමාපියෝ සහෝදර සහෝදරියෝ යමක් කලොත් මිසක් සමාජේ අය මොන ඉටිගෙඩියක්වත් කරනවද . . ."
"එහෙම . . "
"මම මැරුනොත් ඔයා සමාජෙට බයේ මේ ළමයට අප්පච්චි කෙනෙක්ගේ සෙනෙහස ලබා නොදී ඉන්න එහෙම හිතන්න එපා. දරුවන්ට ආදරේ කරන, ගෑනුන්ට ගෞරව කරන හොඳ කෙනෙක් හොයලා ආපහු බඳින්න"
"මැරුනු කෙනෙක් ගැන මතකය පොල් කුඩු විසිකරනවා වගේ එහෙම ඉක්මනට විසි කරලා දාන්න පුලුවන් කියලා ඔයා හිතනවද . . "
"මතකය හිතේ තියාගෙන හරි ගෑනු කෙනෙක් ඒ දේ කල යුතුමයි. තමන්ට රැකවරණයට කෙනෙක් හොයා ගැනීමේ චේතනාව කෙසේ වෙතත් දරුවන්ට පියෙක්ගේ සෙනෙහස ලබා දෙන්නම ඕන නිසා. මොකද දරුවන්ගේ පෞරුෂ වර්ධණයට පියාගෙන් කෙරෙන බලපෑම ගොඩක් වැඩියි කියලයි මම අහලා තියෙන්නේ"
"දරුවෝ දෙන්නෙක් එක්ක ගෑනු කෙනෙක් බඳින්න කැමති අය අපේ රටේ ඉන්නවද අනේ"
"හිංදි ෆිල්ම් වල වගේ ලොකේ හොඳම මනුස්සයා පාර වැරදිලා අහම්බෙන් ගෙදර ඇවිත් ගෑනිටයි දරුවන්ටයි ආදරේ හිතිලා මම ඔයාවයි දරුවන්වයි භාර ගන්න කැමතියි කියල කියයි කියලා බලන් ඉන්න එපා. තමනුත් රැකියාවක් කරලා ස්වාධීන වෙන්න උත්සාහ කරන ගමන් අර හොඳ කෙනෙක් හොයන්න ඕන. සොයන්නාට හම්බවෙයි කියනවනේ"
"හපොයි"
"සමහර අය ඉන්නවනේ තමන්ගේ බිරිඳ මිය ගිහින්. ඒත් දරුවන්ට ආදරෙයි. එහෙම කෙනෙක් හරි නැතිනම් මොකක් හරි හේතුවක් නිසා දරුවෝ හදන්න බැරි නිසා කසාද නොබඳ ඉන්න නමුත් දරුවන්ට ගොඩක් ආදරේ කරන කෙනෙක් හරි. . හැබැයි ඉතින් ගෑනු මනුස්සයා තව ළමයි නොහදා ඒ කෙනා එක්ක කතා බහ කරගෙනම තීරණය කරනවනම් හොඳයි "
"පුදුම දේවල් තමයි ඔයාටත් හිතෙන්නේ"
"හ් හ් හ් ම් ම් ම් ම් ම් ම් ම් "
අනේ පව්..! මහේශ් අය්යාට නිවන් සුව අත්වේවා!
ReplyDeleteමමත් මේ වගේ අත්දැකීම් 3 කට ගිය ඔක්තෝබර් මාසෙ මුහුණ දුන්නා. මගේ යෙහෙලියක ගේ සැමියා මිය ගියා දුම්රිය අනතුරකින්. ඇය මරණය දවස් වල උදැසන අසනීප තත්වයක් පෙන්නුම් කල නිසා බෙහෙත් ගන්න ගියාම දොස්තර කියා තියෙන්නේ ඇය දෙමස් ගැබිණියක් බව. ඇයගේ සැමියාට එය කියන්නවත් අවස්ථාවක් ඇයට ලැබුනේ නෑ. හරිම ශෝචනීයයි. ඇය ඔහුගේ මෘත දේහය බදාගෙන වැලපෙන ඡායාරූපයක් මගේ මුහුණු පොතේ තියෙනවා. මගෙ හිත රිද්දා ගන්න වුවමනා වෙලාවට මම ඒ පින්තූරේ දිහා බලාගෙන ඉන්නවා. අයියා කියලා තියෙන දේ හරියටම කරන්න මේ සමාජයේ තාම ඉඩ කඩ අඩුයි කියලා මට හිතෙනවා.බොහෝ වෙලාවට මේ වගේ අකල් මරණ වුනාම ඒකේ පව් ටික යන්නේ මිය ගිය පුද්ගලයාගේ අසරණ බිරිදගේ කර මතින්. "මේ ගෑණිගේ කරුමේ නිසයි මගේ පුතා මගේ සහෝදරයා මලේ" කියලා ඒ ගෑනිව නොමරා මරනවා. ඒකයි ඇත්තටම සිද්ධ වෙන්නේ අය්යේ අත්දැකීමෙන් කියන්නේ. ඒ මානසික පීඩනයෙන් ඒ ගෑණිට ගොඩ වෙලා ඔයා කියන දේ කරන්න උදව් කරන්න ඉන්නේ කවුද මේ ලෝකෙ?
එහෙම අසරණ උනු කෙනෙකුට අනුකම්පා කරන්න අය නම් ඕන තරම් ඉන්නවා. ගෑණු පිරිමි භේදයකින් තොරවම. හැබැයි මගේ පුද්ගලික අත්දැකීම නම් මෙක යට තියෙන ගණුදෙනුව එච්චර මානුෂික නෑ. සද් භාවයෙන් උදව් කරන්න ඉදිරිපත් වෙන අය නැතුවා නෙමෙයි. ඒත් වැඩිදෙනෙක් එහෙමද? ඒක හොඳටම බලාගන්න පුළුවන් වෙන්නෙ එයා තවත් විවාහයක් කරගන්න ලෑස්ති උනාම.
ReplyDeleteඅපේ සමාජයේ හොඳ දේවල් කියලා අපි හිතං ඉන්න හුඟක් දේවල් යට තියෙන කැත ගණුදෙනු කතාතලාම අපි නිකම්ම ද්‍රෝහියෝ වෙනවා දුකා.
(මේ සටහනට පින්සිද්ධ වෙන්ඩ පොඩි කතන්දරේකුත් මතක් උනා. වෙලාවක් තිබුනොත් ලියනවා)
මම ඉන්නෙ මේ අතරමැද.. මොකක්ද බන් කරන්නෙ ඇත්තටම ඒ වගේ වෙලාවකදි.... අනේ මන්දා මටනම් හිතා ගන්න බෑ...
ReplyDeletecharmi කිව්ව දේටත් මම 100%ක් ම එකගයි.
ReplyDeleteමමත් දුකා අයියගේ අදහසට එකඟයි.....
ReplyDeleteඅනිවර්යෙන්ම නැවත විවාහ වෙන්න ඕනි කියන තැන තමා මම නම් ඉන්නේ නැත්තන් වෙන්නෙ අර ගෑනු මනුස්සයට රටෙ නැති ප්‍රෂ්න කෝටියකට මූන දෙන්න වෙන එක.
ReplyDeleteඊට වඩා වැදගත් දේ තමා නැති උන ආදරය ලබා ගැනීම ඒක ඔය බොරුවට බයිලා කියවන කවුරුත් දෙන්නේ නෑ ඒක නිසා හොඳ කෙනෙක් හොයන් බඳින එක තමා හොඳම දේ.
සංජු කියන කතාවට මමත් එකඟයි.., මිනිස්සු ගොඩක් වෙලාවට කියන්නේ අර කිව්වත් වගේ ගෑණිගේ කරුමෙට තමා ඒ කොල්ලට මෙහෙම දෙයක් වෙන්නේ කියලා.., ඒත් මොනම වෙලාවකවත් ඒ මිනිස්සු හිතන්නේ නෑ, මෙයින් පසුවට අර ගෑණු මනුස්සයා අර ළමයි හදාගෙන ජීවත් වෙන්නේ කොහොමද කියලා..,
ReplyDeleteමොනතරම් හොඳින් ගෑණු මිනිස්සු පවුල් කෑවත් කරදරය වෙච්චි වෙලාවක වැඩියෙන් ම අසරණ වෙන්නේ ගෑණි කියන එක පුරුෂාර්ථ මේ ඔලුවේ තියා ගත්තු සමාජේට අමතක වෙලා..!
මහේෂ් එයා ප්‍රාර්ථනා කල මඟක නිවන වෙත යාමට ලැබේවා කියා ප්‍රාර්ථනා කරන එක තමා අපිට කරන්නට ඉතුරුවෙලා තියෙන එකම දේ..!
@සංජු!
ReplyDeleteඔයා කියන දේ ඇත්ත.
ඒත් අපි හැමෝම දන්නවා ඒක මහා ආත්මාර්ථකාමී පටු චෝදනාවක් කියලා.
එහෙම දැනගෙන අපිත් ඒ ගොං වැඩේම කරනවා. එහෙම නැති නම් ඒ ගොං වැඩේ කරන අයට විරුද්දව වචනයක් වත් නොකියා කට වහගෙන ඉන්නවා.
කට වහගෙන ඉන්න එකම ඒ ගොං වැඩේ අනුමත කිරීමක් නෙමෙයිද??
හරි මින් පස්සේ වත් අපේ පවුලක කවුරුහරි පිරිමියෙක් අකාලේ මියගියොත් (වනේ වන හතුරෙකුටවත් එහෙම නොවේවා) ඒ පිරිමියාගේ ගෑනිට "කාලකන්නි ගෑනි" කියන ලේබල් එක වදින එක වලක්වන්න අපි එක්කෙනෙක්ට හරි පුලුවන් වුනොත් . . . !!!!
මගේ තාත්තගේ අයියා එහෙම කරලා ඒ දරුවාට තමන්ගේ නමත් දුන්නා කියලා මම දැකලා තියෙනවා. ඒ ඇරෙන්න එහෙම මිනිස්සු වෙන නම් ඇත්තටම මම නම් දැකලා නෑ. සිංදු වල හින්දි ෆිල්ම් වල වගේ නම් දැකලා තියෙනවා අයියා. එහෙම කෙනෙක් ඉන්නවා නම් ඒ මනුස්සයා බුදු වෙනවා මේ සමාජයේ හැටියට ඒ වගේ දෙයක් කරනවා නම්. නිකන් මගුලක් කරන්නත් දාහක් හමාරක් නීති දාන මේ රටේ එහෙම කොන්දක් තියෙන මිනිස්සු ඉන්නවනම් වාසනාවන්තයි.
ReplyDelete(ඒත් ඉතින් ඒ ගෑණි ලස්සන සල්ලියබාගෙ තියෙන කෙනෙක් නම් ඕනේ කෙනෙක් බදියි. අය්යා ඒක නේද ඇත්ත මේ රටේ???) චාම් කියලා තියෙන දේ බලන්න. ඒවා ගෑණුන්ට දරා ගන්න හරි අමාරුයි අය්යේ. තමන්ගේ පවුලෙන් උනත් කොන් වෙන්න තියෙන ඉඩකඩ හරිම වැඩියි.
මෙහෙම කෙනෙක්,අසරණ නොවී ආයෙත් බඳින එක තමයි හොඳම වැඩේ.එත් අමාරුම කාරණාව දරුවන්ට අවැඩක් නොවෙන,ගැලපෙන කෙනෙක් හොයාගන්න එක.
ReplyDeleteසංජු.
ReplyDeleteඔයාගේ තාත්තගේ අයියා එහෙම කලා කියන එකෙන් "ඒ ජාතියේ මිනිස්සු මෙ ලොකේ නෑ" කියන එක බොරු වෙනව නේද?
ඇත්ත එහෙම අය ලොකේ අඩුයි. අඩු උනාට නැත්තේ නෑ.
විෂේශයෙන් අපේ සමාජේ ඒ වගේ දේකට හොඳ හිතුන් ඉදිරිපත් වෙන පිරිමියෙක් හිටියොත් ඌට කරන්නේ මොකද්ද?
"අඩෝ උඹ නපුංසකයෙක්ද බැඳලා ළමයි ඉන්න ගෑනියෙක් බඳින්නේ" කියලා යාළුවෝ අහයි.
අපේම සහෝදරයෙක් එහෙම දෙයක් කරන්න හැදුවොත් අපිම අහයි
"උඹට වෙන ගෑනු ලොකේ නැද්ද බන් මේ කනවැන්දුම් ගෑනියෙක් බඳින්නේ" කියලා
තව එකෙක් කියයි "මූදෙ නැව් ගියාට පාරවල් හිටිනවද මචන් කරගන්න දෙයක් කරගෙන පැත්තකට වෙන්නේ නැතුව මොකද උඹ මේ ගෙරි මස් කරේ එල්ලගෙන කන්න හදන්නේ" කියලා
අපි මේ වගේ කතිකා වලින් කරන්න ඕන සමාජයේ මේ වගේ දෙයෙක් කරන්න ඉදිරිපත් වෙන කෙනෙක්ව අපි දෛර්‍යමත් කරන්නේ කොහොමද කියලා සාකච්චා කරලා එහෙම කරන්න පටන් ගන්න එක.
ලොකේ හැමෝම හදන්න කලින් මේ වගේ සිදුවීමකට මූන දුන්නට පස්සේ වත් ඒ කම්පනේම අපිව එහෙම දේකට ඉදිරිපත් වෙන කෙනෙක් ව එන්කරේජ් කරන්න පුලුවන් වෙන විදිහට අපේ ඇටිටියුඩ් එක වෙනස් කර ගන්න පුලුවන් නම් . .
අපි එකා එකා හරි හරි අපේ අර වගේ ගොං අදහස් අයින් කලොත් අද නැතත් හෙට දවසේවත් අර වගේ සිදුවීමකට මූන දුන්නු ගෑනු කෙනෙක්ට හොඳ හිතින් පියෙක් සැමියෙක් වෙන්න ඉදිරිපත් වෙන්න පිරිමි ඉඳියි නේද සංජු
ඒ මම අඳුරන කෙනෙක් හිටියා ඩුබායි වල... හෙනම හැන්ඩියා... මසිරියෙක් වගෙ උස මහත... වැඩි වයසක් පෙනෙන්නෙත් නෑ... පිස්සුම චරිතයක්... ගිය අවුරුද්දේ තමයි අවුරුදු දහයක් දොළහක් මෙහෙ ඉඳලා ලංකාවට ගියේ... මනුස්සයා අඳුරගෙන සෑහෙන කාලෙකට පස්සෙ වෙන එකෙක් තමයි කිව්වේ මිනිහගෙ ස්ටෝරිය... පොර බැඳල ඉන්නේ පොරත් එක්ක එකට වැඩ කරපු යාළුවගේ වයිෆ්ව... යාළුවා ඇක්සිඩන්ට් එකකින් නැතිවෙලා.. ඒ වෙද්දිත් ඉස්කෝලේ යන වයසේ පොඩි එවුන් දෙන්නෙකුත් ඉඳලා... මූ ඒ ළමයි දෙන්නත් එක්කම ඒ ගෑණු කෙනාව බාර ගෙන... කොච්චර ෆිට් වුනත් මනුස්සයා නිකමටවත් කාටවත් දැනගන්ට තියන්නෙ නෑ මෙහෙම සිද්ධියක් වෙලා තියෙනවා කියලා... කොටාගෙන කොටාගෙන ගියා... මාතෘකාවට අදාලද මන්දා... අයියගෙ කතාව කියවලා කමෙන්ට් ටික කියවගෙන එද්දි මට මතක් වුනේම බුවා ගැනමයි... :)
ReplyDeleteආ... තව එකක් මාස දෙක තුනක් කොහෙදෝ හැංඟිලා හිටපු රියල් දුකා ආයෙත් ටික ටික කටුවෙන් එලියට එනවා වගෙ දැනුනා මේක කියවද්දි...
මම නම් හිතන්නෙ ඒ තීරණය ගැනීමේ අයිතිය ඒ අසරණ ගෑනිට තියෙන්න ඕනෙ. මිනිහා නැති උනා කියලා වැලපි වැලපි ඒ මත්තෙම නැහීගෙන ඉන්නවද, ඔළුව උස්සල නැගිටිනවද කියන එක තීරණය කරන්න ඕනෙ එයා. එයාට හැකියාවක් තියෙනවනන් රස්සාවක් කරගෙන තමන්ගෙ දරුවො රැකගන්න, එයාට තීරණය කරන්න පුළුවන් ආපහු කසාද බඳිනවද නැද්ද කියලා.
ReplyDeleteමගේ හොඳම යාළුවෙක් නැති උනා මම ඩුබායි ආපු අළුත. ඒ වෙනකොට එයාගෙ දුවට අවුරුදු 1 1/2, හරියටම මගේ දුවගේ වයසෙ. හැබැයි එයාගේ වයිෆ් කොච්චර පුළුවන්කම තිබුනත් ආපහු කසාදයක් කරගත්තෙ නැහැ, එයා රස්සාවක් කරලා හොඳින් ඒ දූ පොඩිත්තිව බලාගන්නවා.
මම හිතන්නෙ නම් අද සමාජයේ මේ පටු ආකල්ප ගොඩක් අඩුයි, ඒ එක්කම කාන්තාවන් ගොඩක් ස්වාධීනයි. තමන්ටම කියල ස්ථිර රැකියාවක් නැති කාන්තාවක් අද අළුත් පරම්පරාවෙන් හොයාගන්න බැරි තරම්.
ඒ වගේ ගෑනු කෙනෙක් අසරන වුනාම පිහිට වෙන මිනිස්සුන්ට තමා පිරිමි කියන්නේ. මගේ පුංචි හිතට මහ ලොකු දෙයක් තේරෙන්නේ නෑ. හැබැයි අර පුතා කියන්න වගේ මිනිස්සු නම් බුදුවෙනවා.
ReplyDeleteඕකට ප්‍රදීපා ධර්මදාස මෙහෙම කියල තියෙනව
ReplyDeleteවිනේ කටින උන් තරහක් නොකියාම
කනේ කොහොඹ මිරිකනවා හැමදාම
ගුණේ රැකං ඉන්නලු මළ හිමි ගේම
වනේ නැතුව උං දුක දන්නේ කෝම
ගමේ ගැටව් කරබාගෙන හිටියාට
විසේ නැද්ද නාකිත් එනකොට රෑට
නෙලාගනින් යැයි කප් රුක කීවාට
ඉනේ රෙද්ද මයි හිටියේ හරහාට
ලැමේ කිරට මොරගහනා පැටියන්ට
අනේ කව්ද ඉන්නේ වේලක් දෙන්න
ලිපේ ගින්න තුන් වරුවේ වලඳන්න
වරෙව් මහතුනේ කුණුකය වලඳන්න
මචංලා . . . .
ReplyDeleteමම මේක කියෙව්වට කවදාවත්ම චොම්මෙන්ට්ස් දාල නෑ. ඒත් මට අද හිතුන මොනවහරි දැම්මොත් හොදයි කියල.
මම දන්න අංකල් කෙනෙක් ඉන්නව පිලියන්දල. ඒ අංකල්ගෙ තාත්ත ලංකාවෙ රබර් නිශ්පාදන වලට සම්භන්ද පවුලේ ව්‍යාපාරයක ප්‍රදාන සාමාජිකයෙක්. මේ කියන පුද්ගලය කසාද බැන්දෙ තමන්ට වඩා අවුරුදු 10ක් වැඩිමල් . . . . ලමයි 5දෙනෙක් ඉන්න ගෑනු කෙනෙක්ව.
මහෙශ් අයියට නිවන් සුව අත් වේවා කියලා පතනවා. !!!!!
ReplyDeleteසංජු . . . . .
ReplyDeleteමගෙ යාලුවෙක් හිටිය . . . අපි ඌට කිව්වෙ "පූස" කියල. පූස කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම අහිංසකයෙක්. පූස රිය අනතුරකින් අපෙන් වියෝවෙද්දි උගෙ පැටියට වයස යන්තම් අවුරුද්දක් විතර ඇති. ලස්සන කොලු පැටිය.
පූස මලා විතරයි . . . පූසගෙ අම්මයි තාත්තයි පූසගෙ බිරිදවයි පුතාවයි ගෙදරින් එලියට ඇදල දැම්මෙ පූසගෙ අවසන් කටයුතු වලටවත් සහභාගිවෙන්න නොදී.
නිකං හිතන්න ඒ වෙනකොට පූසගෙ බිරිද රැකියාවක් කලේ නැහැ.
පූසගෙ යාලුවො මේ දෙන්නට ගොඩක් උදවු කලා . . . . . නමුත් ඒ උදව් වලට පූසගෙ බිරිදට ගොඩක් වන්දි ගෙවන්න සිද්ද උනා.
ඒ හැමදේමත් දැනගෙන මම කැමති උනා පූසගෙ බිරිදව විවාහ කරගන්න. නමුත් ඒවෙනකොට . . . . . පූසගෙ යාලුවො පූසගෙ බිරිදට හීන ගොඩාක් මවල දීල තිබුනෙ. ඒක නිසා මට වෙන අතක් බලාගන්න සිද්ද උනා.
මේ දේවල් උනේ 2003 -2004 වගේ කාලෙ.
මට මේ ලගදි ආරන්චි උනා . . . . . පූසගෙ බිරිද දැන් "පාරෙ ජොබ් එක" කරනව කියල.
මට තාම චිත්‍රයක් වගේ මතකයි . . . . . RU** (පූසගෙ බිරිද) පොඩි එකාව කිහිල්ලෙ ගහගෙන මගෙ මල්ලිගෙ ගෙදර එනව (බත්තරමුල්ලෙ සුභූතිපුර තිබුන මල්ලිගෙ ගෙදර තමයි අපි ඒ දවස් වල සෙට් උනේ).
මට කවදාවත් අයිති කරගන්න බැරි උන . . . . . අවුරුදු 5ක පැටියෙක් කිහිලිගන්නගත්ත RU**ට මම අදත් ආදරෙයි . . . . . හැබැයි . . . මම පූස ඉන්න කාලෙ කවදාවත් එයා දිහා එහෙම ඇහැකින් බලල නෑ.
පවුලක මරණයකින් ඉතිරි වෙන සහකාරිය හෝ සහකරුවා හා දරුවන් සඳහා කරත හැකි ලොකුම දේ තමයි ජීවිත රක්ෂණයක් ලබා ගැනීම. මම ඒක දකින්නෙ පවුලේ යුතුකමක් හැටියට. ලංකාවේ අය නම් එවැන්නක් කිරීම ඉතා අඩුයි. මරණය ගැන කතාබහ තියා අන්තිම කැමති පත්‍රයක් ලියන්නවත් බය මිනිස්සුනෙ ඉන්නෙ.
ReplyDeleteදරුවන් නිසා යැයි ආයේ විවාහ වීම නුසුදුසු යැයි මගේ මතය. දරුවෝ අපිත් එක්ක හැදෙන්නෙ වැඩෙන්නෙ එයාලගෙ ජීවිතයෙන් සුළු කාලයක්. දරුවාට මවත් පියාත් දෙදෙනෙක් සිටීම වැදගත් වුනාට ආදරයෙන් ඉන්න එක දෙමාපියෙක්, නමට පමණක් ඉන්න දෙමාපියෝ දෙන්නට වඩා සුදුසුයි.
මචං,
ReplyDeleteතමංගෙ පවු වහගන්න අනුන්ගෙ පවු වලට කරගහන පවු කාරයො වගේම සැබෑ දෙවිවරුත් ඉන්නෙ අපි අතරමයි. නිකමට හිතල බලහං ඕකෙම අනිත් පැත්ත. අපි තනි උනොත් ළමයි එක්ක, අතේ සල්ලි ගොඩක් තිබ්බොත් කෙල්ලොත් කැමතිවෙයි, නැත්තං ඉතිං බේබි සිටිං සහ වර්කිං තමයි. අනිතිමට ළමයිත් වලේ තාත්තත් වලේ!
"මහේෂ්ට නිවන්සුව"
හොඳ මිනිස්සුන්ට ආයුෂ අඩුයි, පරිස්සම් වෙයං!
මට මේකට ආපු අර දුලිප්ගේ කෙමෙන්ට් එකෙන්, ඇනෝ ගේ කමෙන්ට් එකෙන්, පුතා ලියපු පොර ගැන හිතුවාම සංජුගේ ලොකු තාත්තා ගැන හිතුවාම අසරණ ගෑනු කෙනෙක්ට සද්භායවෙන් ඉදිරිපත් වෙන පිරිමි අපේ සමාජයේ නෑ කියල කියන්න බෑ වගේම අරුණි දුමී කිව්ව වගේ ගෑනු කෙනෙක්ට පිරිමි කෙනෙකුගේ රැකවරයණ නැතුව වුනත් ස්වාධීනව ජීවත් වෙන්න බැරි කමක් නැත්තේ නෑ.
ReplyDeleteමගේ පුංචිගේ මහත්තයා මැරෙනකොට පුංචිට 38යි, එයාගේ ලොකු දුවට අවුරුදු 19යි. එයා අපහු බැන්දේ නෑ තනියෙම ළමයි 4දෙනෙක්ට උගන්න ගෙන ජීවත් උනා.
අනික චාමි කිව්ව වගේ යටි හිතේ නරක අරමුණු තියාගෙන ළංවෙන මිනිස්සු කොහොම අඳුන ගන්නද කියලා හිතුවාම කබලෙන් ලිපට වැටීමක් වෙයිද කියලත් හිතෙනවා අසරණ වුනු පලියට දරුවන්ට සෙනෙහස ඕන වුනු පලියට වෙන කෙනෙක් සරණ යෑම.
මේ සටහනත් නිසා මට ජීවිතේ බොහෝ දේවල් ඉගෙන ගන්න ලැබුනා. අදහස් දක්වපු හැමෝටම ගොඩක් ස්තූතියි.
තව අදහස් තියෙනවන්ම් නිවාඩු පාඩුවේ ලියලා දාන්න මොකද ඒකෙන් අපිට පුලුවන් සංවාදය දිගට ගෙනිහින් දෙයක් දිහා අපි හරියි කියලා හිතාගෙන ඉන්න දැක්ම හරියටම හරිද කියලා ආපහු හැරිලා බලන්න.
ඊටත් වඩා හැම දෙනාගෙන් අදහස් විමසලා බලලා අහම්බෙන් හරි අපිට අපේ හිතවත් කෙනෙක්ට මේ වගේ සිදුවීමකට මූන දෙන්න වුනොත් හරි හමන් උපදේසයක් දෙන්නත් පුලුවන් වේවි.
දුකා අයියේ මටත් කියන්න තියෙන්නේ අක්ක කියපු එකම තමා.
ReplyDeleteඋබට හිතෙන්නෙ පුදුම දේවල්
හරිම කණගාටුදායක සිද්ධියක් දුකා, ඒත් ඉතිං ජීවිතේ කියන්නෙ ඕකම තමා, අපි හීනෙන්වත් නොහිතන දේවල් නොහිතන මොහොතක, නොපැතූ විදිහට සිද්ධ වෙන එක,
ReplyDeleteමෙහෙම වෙච්ච ගැහැණියකට හෝ පිරිමියෙකුට තමන්ටම තීරණයක් ගන්න වෙනවා තමන් තනිවම ඉදිරි ජීවිතේට මුහුණ දෙනවද? නැත්නම් නැවත විවාහයක් කර ගන්නවද කියලා, හැබැයි ඇත්තටම එහෙම ඉදිරිපත් වෙන කෙනෙක් ධෛර්යමත් කරනවා වෙනුවට අපේ අය කරන්නෙ කොහොම හරි කරල ඒ මනුස්සයා වට්ටවන එක,
අරුණි කියා ඇති කරුණු දෙකටම එකහෙලා එකඟ වෙමි, රක්ෂණය සහ දරුවන් වෙනුවෙන් යයි සිතා විවාහයක් කර නොගත යුතුය යන්නට,
ම්..ම්... බර කතාවක්, ලොකු තේරුමක්...
ReplyDeleteතනියමද? එක් වෙලාද?
අමාරු වෙලාවක්
මිත්‍රයින් හැමෝගෙම අදහස් සහ දුකාගේ ලිපියත් ඉහළ ඉදලා පහළටත් පහළ ඉදලා ඉහලටත් කියෙව්වා... මට නම් හිතාගන්න බැහැ මම ඔය මොන විදියට ඔය කියන තත්ත්වයට මුහුණ දෙයි ද කියලා... මම හදිසියෙවත් මැරුනොත් මගේ බිරිද තව විවාහයක් කර ගනියිද නැද්ද කියලා කියන්න බැහැ... ඒත් මොන හිතකින් මම එයාට තව විවාහයක් කරගන්න කියලා කියන්නද තේරෙන්නේ නැහැ... මොකද අවංකව කිව්වොත් මගේ බිරිද වෙන පිරිමියෙක්ට ආදරය කරනවා කියන එක දකින්න තියා අහන්නවත් මම කැමති නැති නිසා... මොකද මම ඒ තරම්ම එයාට ආදරේ කරන නිසා... මට වුනත් වෙන කෙනෙක්ට ආදරය කරන්න හිතක් හදාගන්න බැහැ කවදාවත්... මගේ මේ අදහස බොළද වෙන්න පුලුවන් ඒත් මිත්‍රවරුනි මම අත්දකින, මම විදින්න කැමති ආදරය තමයි මේ මම කිව්වේ... සමහරවිට මගේ මේ අදහස ආත්මාර්ථකාමී වෙන්නත් පුලුවන් බව මම දන්නවා... ඒත් මම වෙනුවෙන් එයාගේ හිතේ ඇතිවෙච්ච ආදරය තවත් කෙනෙක්ට ලැබෙනවා කියන එක ගැන හිතන්නවත් පුලුවන්ද... මිත්‍රවරුනි මම දන්නෙ නැහැ මම හරිද වැරදිද කියලා... මට හිතෙන දේ කිව්වා එචිචරයි... මාව නිවැරදි කරන්න ඕනම කෙනෙක්ට අවස්ථාව තියෙනවා.
ReplyDeleteමහේෂ සොයුරාට නිවන් සුව අත්වේවා... මෙවන් අකල් මරනයක් හතුරෙකුටවත් නොවේවා...