Saturday, September 19, 2009

ඊට පස්සේ මට පුලුවන් වෙයි නිශා මුළු ලෝකෙටම ආදරය කරන්න . . . . !







"ඔයාට පුළුවන් ද එල්ලුම් ගහට නියම වෙලා ඉන්න කෙනෙකුට ආදරය කරන්න සතී" ඔහු මුහුන ඇයගෙන් වසං වන පරිදි ඉවත බලාගෙන ඇසී ය.

"කූඩුවක ඉන්න මිනීමරුවෙක් පෙන්නලා අරයට ආදරය කරන්න පුළුවන් ද කියල කවුරුත් කිව්ව පළියට මම හිතන් නෑ පුළුවන් ද කියලා. එහෙම බැරි වෙතොත් ඒ එයා මිනීමරුවෙක් නිසාමත් නෙවි. මට ඒක හරියට කියන්න බෑ" යි කී ඈ සිය දුබලකම ආවරනය කරගන්නට මෙන් සිනාසෙන්නට තැත් කළාය ". . . . අර විනීතයි අසෝකයි එකතු වුනා වගේ - මම කියල ඇතිනේ ඔයාට ඒගොල්ල ගැන - ඒවගේ ආලය හරි වෙන දෙයක් හරි උඩ දෙන්නෙක්ට එක පාර බැඳීමක් ඇත්කරගන්න පුලුවන් කියල මම හිත්න්නෑ. කාමාසාව උඩ හැර . . . .. . ඒක වෙනම කතාවක්. අර මිනීමරුවා! ඒ කියන්නේ මරණයට කැප වෙලා අහවල් දවසෙ මැරෙනවා කියල දන්න කෙනෙක් එයත් දන්නවා මමත් දන්නවා ජීවිතය සීමිතයි කියලා. එයා ඉල්ලනව නම් ඒ ටිකට, එයාට වැඩක් වෙනවා නම් මගෙ ආදරයෙන් මම හිතන්නෑ ඇයි මට බැරි එයාට ආදරය කරන්න කියලා"

"ඒ පුද්ගලයා ටික දවසකින් මැරිලා යයි"

"මම ජීවත් වෙනවා. ඒ ආදරයත් හදවතට තුරුලු කරගෙන"

"සදහටම අඬ අඬා . . . . ? තේරුමක් තියෙනවාද සතී? අර්ථයක් තියෙනවාද?"

"ඇයි නැත්තේ? මේ ලෝකේ කිසි කෙනෙකුගෙන් ආදරයක් බලාපොරොත්තු වෙන්න බැරි - ආදරයක් ඉල්ලන්න අයිතියක් නැති - ඒ කියන්නේ එයා අපරාදකාරයෙක් නිසා නෙවී. ආපහු ආදරය කරන්න තරම් කාලයක් ජීවත් නොවන බව සහතික නිසා. ඒ වගෙ කෙනෙක්ට ආදරය කරල ඒ ටික දවසට හරි සහනයක් දීලා . . . . . . "

"ඊට පස්සේ සතී?"

"ඊට පස්සේ මට පුලුවන් වෙයි නිශා මුළු ලෝකෙටම ආදරය කරන්න. මුළු ලෝකෙටම කිව්වම සමාජ විරෝධින්ටත් එක්කල නෙවි. ඔයා වගෙ, මම වගෙ, එදා අපි දෙන්න කතාවුනු විදිහට මෙතැන ම ඉන්න අපේ ජාතියේ තවත් ළමයි වගෙ, බෝගහ වත්තෙ උදවිය වගෙ, හැම දෙනාටම ආදරය කරන්න තරම් ශක්තියක් ආපහු යමක් බලාපොරොත්තු නොවී අර එක පුද්ගලයෙකුට කරන ආදරයෙන් මට ලැබෙයි"

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

මේ ඉහත කොටස් මම උපුටා ගත්තේ කරුණාසේන ජයලත් මහතාගේ "සතීගේ කතාව" නවකතා පොතෙන් . . . මේ සාහිත්‍ය මාසේ පොත් සල්පිලට යන්න සිතා සිටින . . . . ගොසින් පොත් මිලදීගන්න සිතා සිටින . . . . හැඟීම් බර පොත් පත් කියවීමට ලෝභීකමක් දක්වන . . . ඔබ සැම සියලුම දෙනා වෙනුවෙන් මගේ බත් එපා පොත් වර්ගීකරනට මේ පොත ගැන ලිවීමට මගෙ සිත මා පෙලඹවූවා . . .

මේ පොත ගැන ඔබට වැටහීමක් ලබා ගැනීමට වෙන වෙන අටුවාටීකා ලියනවාට වඩා මා ඉහත උපුටා දැක්වූ කොටස් කීපය පමනක් සෑහේවී යන්න මගේ කල්පනාවයි . . . .!

මිලදීගන්න . . . . රසවිඳින්න . . . . අනේ මටත් පවසන්න ඔබ කෙසේ ඒ දුක් කන්දරාව දරා ගත්තාද කියා . . . . !

සතීට මෙන් මුලු ලෝකයටමත් . . . සතා සීපාවටත් . . . ගහකොලටත් . . . මේ මුලු විශ්වයටමත් . . . ආදරය කිරීමට තරම් ආදරයක් ඔබේ සිතේ ඇති නොවූවාදයි මටත් පවසන්න . . . !

28 comments:

  1. ගොඩක් හැගීම්බර කතාවක් වෙන්න ඕන.නේද දුකා අයියේ ඒක වචන වලින්ම වැටහෙනව
    කියවල බලන්න ආස හිතුන,හොයල බලන්න ඕන

    ReplyDelete
  2. හ්ම් බලමු ගන්න පුලුවන් වෙයිද කියලා !

    ReplyDelete
  3. දුකෝ දුක් වෙන්න එපා මචා........

    ReplyDelete
  4. හ්ම් හොඳ පොතක් වගේ..ස්තුතියි දුකා මචෝ..!

    ReplyDelete
  5. සතීගෙ කතාව එක් යුගයක මා දැඩි ලෙස කම්පනය කළ කතාවක්. සතීගේ ආච්චි බැළලියට කෑම දෙන සරල අවස්ථාව පවා ඇසට කඳුළු නංවන සුළුයි. මීටත් වඩා මා කම්පනය කළ කතාවක් 'මව සහ දුව'. පළමුවැන්නේ කම්පනයෙන් මා වයසින් මුහුකුරා යත්ම මිදුනා. දෙවැන්නේ කම්පනය තවමත් දැනෙනවා.

    ReplyDelete
  6. @ ushan !
    ඇත්තෙන්ම මේක හරිම හැඟීම් බර පොතක් අනිවාර්යෙන්ම අරගෙන කියවන්න. . .

    ReplyDelete
  7. @ Chrishi !
    බැරිම උනොත් නුගේගොඩ සරසවි පොත් සාප්පුවේ බලන්න මොකද කරුණාසේන ජයලත් ශූරීන්ගේ පොත් ඔක්කොම ඔහුගේ පුත් කනිශ්ක ජයලත් මහතා සරසවි පොත් සමාගමේ අනුග්‍රහයෙන් නැවත පල කර තිබෙනවා. . .

    ReplyDelete
  8. @ NUWAN"s lane !
    පොත් බලල විඳින දුකේ අමුතුම සුන්දරත්වයක් තිබෙනවා . . . ඔබත් එය විඳ ඇති කියා මා සිතනවා

    ReplyDelete
  9. @ ඉන්දික !
    ඔව් හොඳම පොතක් වචන දෙකක් නෑ ඉංදික . . .!

    ReplyDelete
  10. මම පොත බලමින් යන්නව හරිම ලස්සන පොතක්

    ReplyDelete
  11. @ taboosubjects !
    "සතීගේ කතාව" මාව නම් කම්පනයට පත්කලා නොව වෙනස්ම පුද්ගලයෙක් කලා කීවොත් නිවරදියි . . . පොඩි දේටත් හැමෝම සමඟ කලහ කරන්න ලෑස්ති වූ අයෙක් වූ මා . . . . මිනිහෙක් මුලු ලෝකෙටම ආදරය කල යුතු අයෙක් විය යුතුයි යන්න ගැන වැටහීමක් ලබාගත්තේ මේ පොත කියවූවාට පසුවයි . .

    ඔබට මෙන් මටත් "මව සහ දුව" නවකතාව කියවූ පසු දැනුනු කම්පනය තවමත් මා අතහැර ගොස් නැති බව මටත් නිතරම පසක් වූ කරුනක් . . . පොත් රාක්කයේ ඒ පොත දෙස මා බලන්නෙත් මුලින්ම මේ පොත බැලු දවසේ හදවතේ ඇනුනු කටුව පොත යලිත් වරක් කියවා තව දුරටත් අලුතින් ලේ ගලන තරම් දුරකට තල්ලු කරගන්නවාද නැද්ද යන දෙගිඩියාවෙන් . . .

    ReplyDelete
  12. @ prabath !
    සතුටුයි මචං උඹ ඒ පොත බලමින් සිටිනවා යන්න දැන ගන්න ලැබීම . . .

    ReplyDelete
  13. ආදරණීය දුකා......

    ඇත්තටම ජීවිතය කියවන්න නම්,ජීවිතයට ආදරය කරන්නනම්,කොටින්ම කියතොත් ලෝකයට ආදරය කරන්න ඉගෙන ගන්න නම් කරුනාසේන ජයලත් මහත්මයාගෙ පොත් කිවයුතුමයි.....ඒ මගේ අදහස....
    "සතීගේ කතාව" සැළමුතු නුරා සෙනෙහසක,හුදෙක් මානව දයාව ප්‍රතිරූපණය කළ අගනා නිර්මාණයක්......
    ඉදින්....සතී තුළ ජීවත්වන දුකා,මම සහ පොදුවේ මනුෂ්‍ය වර්ගයාට,ගහට කොළට සතා සිව්පාවාට ආදරය කරණ පරපුරක සොඳුරු සිහිනයක සැරිසරන්නට යහළුවන්ට ආරාධනා කරමු...නේද..දුකා?
    මතකය අවදිකළාට උඹට පින්..

    සුලා...

    ReplyDelete
  14. මම ඔය පොත තව අවුරුද්දකින් විතර ගන්නව...

    හේතුව තමයි කරුනාසේන ජයලත් ගෙ පොත් ටිකක් කියවල මේ ලගදි පාන්දර 3ට විතර මම ඇඩුවා... කියන්නත් ලැජ්ජයි... හෆොයි...!!!

    ගැහැණු ළමයි කියවල තමයි ඇඩුනෙ... ඒ පොත වෙන විදියකට අවසන් උනා නම් මාර සතුටක් දැනෙන්න තිබ්බ.

    දුක හිතෙන ඒව කියවන්න මම කැමති නෑ... :)

    ReplyDelete
  15. @ Anonymous / සුලා !
    ඔබේ සියලුම අදහස් වලට මම 100% එකඟයි . . . ජීවිතයට පමනක් නොව මුලු ලෝකයටම ආදරය කරනා ආකාරය ගැන නියමාකාරයෙන් සටහන් කල ලාංකේය කතුවරයෝ අතරින් කරුණාසේන ජයලත් මහතා මුල් තැනක සිටිනවා කීවොත් එය නිවරදියි . . .

    ඇත්ත අපි එකතුවී මේ බ්ලොග් අවකාශයේ සොයුරු සොයුරියන්ට උගන්වමු ඔහුගේ පොත් හරහා තමන්ට පමනක් නොව මේ මුලු විශ්වයටම ආදරයේ කරන්නේ කෙසේද කියා . . .

    ReplyDelete
  16. @ angel !
    දුක හිතෙන කතා කියවන්න මමත් කැමති නෑ නමුත් බොරුවට හිත රවට්ටා සිහින ලෝකවලට අප ගෙනියන . . . මේ ගෙන්දගම් පොලවේ කිසි දිනෙක සිදු නොවූ . . කෙදිනක වත් සිදුවෙයි කියා සිතිය නොහැකි මායාකාරී කතා බලා අපවම රවටා ගන්නවාට වඩා . . . නියම සත්‍ය මේ යැයි වටහා දියහැකි දුක හිතෙන කතා බලා විඳින දුකත් එක්තරා සතුටක් කියා මා සිතනවා . ..

    ගැහැනු ළමයි . . .පිරුනු හදක් . . හතුරු හිතක් තුන් ඈඳුතු නවකතාව (විශේශයෙන් පිරුනු හදක්)පොත් කියවා මා හැඬූ තරම් කොපමනදැයි මා මගේ මීට කලින් ලියූ "කුසුම් . . ආදරණීය . . කුසුම් . . සාගරයක් තරමට මා හැඬවූ . . කුසුම් . . . !" ලිපියේ සඳහන් කර ඇති . . .

    http://dukaa.blogspot.com/2009/08/blog-post_09.html

    ReplyDelete
  17. I like to made a comment abt "Gahanulamayi" trilogy . I always wonder why writers often want to potrait female characters as "loosers " or "paraajitha" charitha in this world ? (eg. Kusum loose wimal , soma suicide herself after crowned as beauty queen ) its so strange in most of these love story books women are expected to do all the commitments , give up what they like in the name of love .

    or else the love stories will labelled women as " Chapala " gahenu .

    why dont we have better love stories which are not in these two extreme ends ?

    ReplyDelete
  18. @ මනෝ( TMG) !

    Well well mano, it seems you have not read these stories very well or some thing wrong with your understanding . . . in “Gahanu lamayi” story kusum in not a “looser” “nimal” is the looser and “kusum” is the heroin of the story . . . she gave up not because of her parajika character. She gave up coz of her spiritual heartiest act which she can not hurt Niaml’s mothers heart.

    සෝමා රූප සුන්දරියක් වෙලා ජීවිතය වරද්දාගත් එකාට ලේඛකයා දොස් පවරන්නේ රෝහන හතුරුසිංහට . . . කතාව අවසන රෝහන පාපොච්චාරනය කරනු ලබනවා සෝමා පාපයට වැටුනේ ඔහු නිසා බවට . . . ඇගේ රූප සොබාව සහ ඉන් ඇය පත්වන මුලාවෙන් සරුවපිත්තල ලෝකයේ මායාවට රැවටුනා වුවත් ඇය පත්වූ තත්වයට ලේඛකයා දොස් පවරන්නේ . .. සකල පුරුශ පක්ශයට මිසක සෝමාගේ මෝඩකමට නොවෙයි . ..

    සතීගේ කතාව පොතේ සඳහන් කරන්නේ මුලු ලෝකෙට ආදරය කරන්න තරම් විශාල හදවතක් ඇති කාන්තාවක් ගැන කතාවක්. . . .

    අපේ ලාංකේය පොත් සියල්ලකම වාගේ ඇත්තේ පරාජිකා චරිත නොවේ වීර චරිත පමනයි . . . සුමිත්‍රා රාහුබද්දගේ "අග පිපි මල්" පොතේ ඇත්තේ අසාධාරන ලෙස පිරිමියෙක් විසින් හැර දැමූ කාන්තාවක් වෙහෙස මහන්සියෙන් ජීවිතය ජයගන්නා අයුරු විග්‍රහ කරන කතාවක් . . . රිදී තිරන්ගනාවී, පොදු පුරුශයා, සුබෝදාලාංකාරය, යශෝදරීගේ සංග්‍රාමය ආදී මෙකී නොකී සියලුම වගේ නවකතාවල ඇත්තේ ජයගත් පුරුශයන් ගැන නොව දෛර්යසම්පන්න ලෙස ජීවිතය ජයගත් කාන්තාවන් ගැන පමනි . . .

    මහාචාර්‍ය සරච්චන්ද්‍ර මහතාගේ සුප්‍රසිද්ධ "මළගිය ඇත්තෝ" "මළවුන් ගේ අවුරුදුද" පොත් වල ඇත්තේ නොබියව ජීවිතයට මුහුන දෙන නොරිකෝ සං සහ ජීවිතයට බියේ පලා යන දෙවෙන්දරා සං ගැන කතාවක් . . .

    නාමිකව අප ජීවත්වන්නේ පීතෘ මූලික සමාජයක වුනාට සැබෑව එය නොවේ . . . අපි ජීවත් වන්නේ මාතෘ මූලික සමාජයක . . . සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියට ඇති ගෞරවය . . . වසන්ති චතුරානි මහත්මියට, මාලනී ෆොන්සේකා මහත්මියට, සුමිත්‍රා පීරිස් මහත්මියට, සුනේත්‍රා රාජකරුනායක මහත්මියට, සුමිත්‍රා රාහුබද්ද මහත්මියට ආදී කාන්තාවන්ට සමාජයේ ඇති ගෞරවනීය පිලිගැනීම එයට උදාහරන කිහිපයක් පමනයි . ..

    කරුනාසේණ ජයලත් මහතාගේ කාන්තාවන් ගැන මතය "හැම ගැහැනියක්ම සීතාවක්" යන්නයි . . . ඉන්දියානු සමාජයේ වෛශ්‍යාවක් වූ අම්බපාලි අපේ සමාජයේදී බුදුන්ට වෙදැදුරු වූ ජීවක වෙදදුරාගේ ආදරනීය මෑනියෝ . . . කිසිදා ඔබ අසා තිබෙනවාද අම්බපාලිට නිග්‍රහ කරන කතා පුවතක් . . .. ???

    සමහර කාන්තාවන් ඔවුන්ගේ වරදින් සමාජයේ ඔවුන්ගේ මාතෘත්වයට ඇති පිලිගැනීම නැති කර ගැනීම වෙනමම ඛේදවාචකයක් . . . නමුත් මා දැක නෑ කිසිම නවකතා පොතක ගැහැනු චපල ලෙස හෝ පරාජිකා ලෙස හඳුන්වාඅ දී තිබෙන ලෙස . . .

    ReplyDelete
  19. කොහොමත් කරුණාසේන ජයලත් මහත්මයාගේ පොත්වල හිතට දැනෙන අමුතුම සුන්දරත්වයක් තියෙනව. ඒක වචනවලට හරවන එක ටිකක් අමාරු වැඩක්

    ReplyDelete
  20. @ සුදු මහත්තයා !
    ඇත්තෙන්ම ඔවු . . . ඔහු තරම් සාර්ථක නවකතා කරුවෙක් තවම බිහි උනේ නෑ කියලයි මගේ හැඟීම නම් . . !

    ReplyDelete
  21. @ මනෝ(TMG),
    කරුණාසේන ජයලත් ගේ 'මානවිකාවක්', 'කුල කුමරිය', 'රිදී නිම්නය' කියවලා ඇවිල්ලා ආයෙ මේ ගැන කතා කරමු හොඳේ? එතකොට ඔයාට තේරෙයි ඒවායේ ඉන්නෙ පරාජිත ගෑනු ද නැද්ද කියලා....දුකා කියන්නා වාගේ, කුසුම් ව නැති කර ගත්තේ කොන්ද පණ නැති නිමල් මිසක්, කුසුම් ට නැති වුණු දෙයක් නෑ....කුසුම්, නිමල් ගේ මඟුල් ගෙදරට උදව් වෙන කොටස කියවලා බලන්න පරිස්සමින්....එතකොට ඔයාට හොඳට තේරෙයි කවුද දිනුම්, කවුද පරාද කියල....

    ReplyDelete
  22. @ සචී !
    ඔව් ඇත්තෙන්ම මම ඇතුලු . . . නවකතා පොත් බලන බොහොමයක් අයට කාන්තාව ගැන නියම වටිනාකමක් . . . ඇයට හිමි නියම ගෞරවය ලබා දිය යුතුයි කියන පනිවිඩය ලබා දුන්නු අය අතුරෙන් මූල්ම ම කෙනා කරුණාසේන ජයලත් මහතා වෙන්න ඕන . . . මගේ හැඟීමේ හැටියට නම් . .

    ReplyDelete
  23. මේ කතාව මන් ජීවිතේ කියවපු ලස්සනම කතාවක්...මේක කියෙව්වාම මට හිතුනා A WALK TO REMEMBER(2002) ෆිල්ම්1 මේක බලලා හදපු1ක්ද කියලා...අපේ පරණ ලේඛකයන්ගෙ පොත් කොහොමත් අර්තාන්විතයි..

    Man EEsha

    ReplyDelete
  24. මෙයාල මන් නැති කාලේ නේ මේවා කතා කරලා තියෙන්නේ . ගැහැණු ළමයිනේ ආත්ම කථනය කවර ගැහැණු ලේකඛයෙක්ටත් වඩා හොඳින් කලේ ඔහු. මුව දඩයම හැර අනික් සේරම පොත් කියවල තියෙනවා. ''සතිගේ කතාව'' ....''මානවිකාවි''...ගැහැණු ළමයි. ත්‍රිත්වය. මන් හිතුවේ ගැහැණු ළමයෙක් වෙච්ච මන් විතරයි ඒවා රස වින්දේ කියල . අපේ ගෙදර ඔය පොත් ගොඩක් තිබුනා. 3, 4 පන්තියට යද්දීම ගොඩක් කියවල ඉවරයි. පස්සේ ඒවා නැති වුනා . අපිම තමයි පොත් පිටුවල අකුරු නැති දාර වල චිත්‍ර ඇන්දේ. පොඩි ළමයි නවකතා කියවන්න එපා කියල අපිට තහනමක් තිබ්බේ නැහැ.

    මනෝ ..කව්ද කියන්නේ කුසුම් පරාදයි කියල . නිමලුත් ඉතින් අපි කිව්වට මක් කරන්නද . කමලාවතී නැන්ද තමයි මෝඩි. අච්චර හොඳ ලේලියක් නැති කර ගත්තු. මගේ දුල සිංහල හොඳට ඉගෙන ගෙන මේ පොත් කියවයි කියල මන් හීන මවනවා.

    ReplyDelete
  25. @බින්දි

    "මන් හිතුවේ ගැහැණු ළමයෙක් වෙච්ච මන් විතරයි ඒවා රස වින්දේ කියල ."

    එහෙම වෙන්නේ කොහොමද අප්පේ . . රසවින්දනයක් තියෙන ඕනෑම කෙනෙක්ට ඒ පොත් රසවිඳින්න පුලුවන් . . සංවේදී හදවත් තියෙන ඕනෑම කෙනෙක්ට ඒවා කියවලා අඬන්න පුලුවන් . .

    ReplyDelete
  26. කරුනාසේන ජයලත් මහත්මයා ලියලා තියෙන පොත් 15ම මම බලලා තියෙනවා. ඒ අතරින් මම වෑඩියෙන්ම කෑමති "සතීගෙ කතාව","පෙම් පුවතක්" "ගෑහෑනු ලමයි". ඔය පොත් තුන කියවලා මම අඩලා තියෙනවා බොහෝ වාරයක්.
    සතී, පුල්සරා සහ කුසුම් පුදුමාකාර ආත්මශක්තියක් සහ පුදුමාකාර හදවත් ඈති පරමාදර්ශී කාන්තාවො.

    ReplyDelete
  27. අපෝයි මට වඩා සෑහෙන්න කලින් සතී එක්ක දුකා මහත්තයා ආදරෙන් බැඳිලනේ.. මම මේ මූණු පොතේ ලින්කුව හරහා මෙතෙන්ට වැටුනේ ... මදැයි.. මම හිතුවා සතීව හොයා ගත්තේ මම කියලා :'(

    ReplyDelete
  28. මට මතක හැටියට මේ පොත මං දෙවරක් සම්පූර්ණයෙන්ම කියෙව්වා... මේ හා සමානව යම් යම් කොටස් - තැන් කීපයකුත් කියෙව්වා විටින් විට... ඇත්තටම ආදරය දැනෙනවා. මට පිස්සෙක් කියලා යාලුවොත් කිව්වා. ඒ අය වාමාංශික ගොංබට්ටො... හැබැයි උනුත් මේවා කියවනවා. රසවිඳිනවා. ප්‍රසිද්ධියේ නම් කියන්නෑ. මොකද මවාගෙන ඉන්න පාණ්ඩිත්වයට හාණියක් වෙයි කියලා. මට එහෙම මවාගත්තු එකක් නෑ... මං බොළඳයි... පිස්සෙක්... හැබෑවටම ආදරේට ආදරෙයි... පොකුණුවිට ජයලත් ශූරීන්ගේ නිවසට ගිහිං, ඔහුගේ ආදරණීය බිරින්දෑ තම්බා දුන් කොස් කකා, බුලත් විටි කමින්, මහා සද්දෙට පඩ අරිමින් කතා කළ සුන්දර සංවාද, ඒ සංවාද වලදී මා හඳුණාගත් ඔහුගේ සුුන්දර බොළඳ හදවත ගැන මට හැම වෙලාවකම මතක් වෙනවා. දුකා මල්ලී... පොත් ප්‍රදර්ශනේ මට මෙවර අහිමි කළා මගේ හර්නියාව. ඒත් මා පිය බිරින්දෑ හොඳම පොත් ටික ගෙනත් දුන්නා. ඒත් හිතට නම් දුකයි... සැත්කමකින් පසු විවේක ගන්නා මට ඔබේ මේ ලිපිය මහත් සැනසීමක්...

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..