Monday, February 20, 2017

පාසැලින් අස්නොවූ අයියලා-අක්කලා, ඇන්ටිලා සහ අන්කල්ලා!


"වයසට ගියත් බොහෝ අය සුපිරි පාසලින් අස්වී නොමැත" කියලා පහුගිය දවස් කීපෙකම ෆේස්බුක් එකේ එක එක ජාතියේ ස්ටේටස් දැක්කා. ඒවට බොහෝ අය පක්ශව සහ අපක්ෂව කොමෙන්ට් දානවා දැක්කා. අවිවේකී කම නිසා ඒ සංවාද වලට සම්බන්ධ වෙන්න බැරි උනා. ඉතින් මාත් ස්ටේටස් එකක් / පෝස්ට් එකක් දාලම මගේ අදහසත් කියන්න හිතුවා.

වයසට ගියත් බොහෝ අය තමන් උගත් පාසැලට ආදරය කිරීම, ඒ වෙනුවෙන් පෙනී සිටීම, ඒවාට විරුද්ධව අදහස් පල කරන අය සමඟ මරාගෙන මැරෙන්න යාමේ කිසිම වැරැද්දක් මම නම් දකින්නේ නෑ.

ඔවුන් වර්තමානයේ යම් ස්ථාවර තැනක ඉන්නවාද ඒ සඳහා පාසැලෙන් ලැබුනු ඉගෙනීමක් හෝ වෙන පිටුවහලක් (ඒ පාසලේ ඉගෙනුම ලැබූ නිසා රැකියාවක් ලැබීම, පාසැලේ උගත් ජනප්‍රිය අය නිසා ඔවුන්ටත් යම් ජනප්‍රියතාවක් හෝ කිසියම්ම දෙයක්) ලැබී ඇති නම් හෝ ලැබී ඇතැයි සිතා සිටී නම් එසේ තමන්ගේ දේ වෙනුවෙන් ඕනෑම මනුශ්‍යයෙක් පෙනී සිටී.

එසේ පෙනී ඉන්නා ගමන් "කක්කුස්සියේ වහලෙට ටකරන් දුන්නු නිසා", "අඳුරන පුංචි අම්මගේ දුවට පත්වීමක් දුන්නු නිසා" වගේ හේතු නිසා යම් පක්ෂයක යාවජීව සාමාජිකයෙක් වී පක්ෂය වෙනුවෙන් මරාගෙන මැරෙන්න හදන උන් දැක "මේ වගේ ගොන් වාහෙලා එක්ක මේ රට හදන්න බෑ" ජාතියේ ටෝක්ස් ඉශූ කරනවා නම් පොඩි පරස්පර ගතියක් දැනෙනා එක සත්‍යක්.

ඒත් තමන් උගත් පාසලට මැරෙන තුරුම ආදරය කිරීමත් රටක් ලෙස සිතීමේදී පුද්ගලික කාරනා නිසා තමන්ගේ අදහන පක්ෂය කරන කියන සියලු නරක පවා හොඳ දේ ලෙස අන්ධ භක්තියෙන් පිලිගැනීම ත් එකම එසේ එක තරාදියේ දමා කිරා බලන එක සාධාරන නොවේ කියා සිතෙනවා.

අනික මම දැක ඇති ලෙස බොහෝ විට අර කිව් ලෙස "පාසලින් අස්වෙන්න බැරි"වී සිටින්නේ හෝඩියේ සිට ඒ පාසල් වල ඉගෙන ගත් අයට වඩා පහේ ශිෂ්‍යත්වයෙන් සමත්ව හෝ උසස්පෙළ කරන්න ඒ පාසල් වලට ඇතුලු වූ අයයි.

ගෙදර සෙල්ලම් කරමින් ජොලියේ හිටි පොඩි එකාව හෝඩිය පන්තියට බාර දුන් පසු ගෙදර හිටියොත් ගුටිකන්න වෙන හේතුවට පාසල් ආ එකාට වඩා කඩයිම් විභාගයකින් සමත්ව හෝ කලින් ඉගෙනගත් පාසලේ තමන් ප්‍රිය කරන හෝ දක්ශතාව ඇති විෂයන් නැති කමින් හෝ වඩා හොඳ අද්‍යාපනයක් ලැබීමේ පරමාර්ථයෙන් සුපිරි පාසලට ආ එකාට ඒ පාසල ගැන විශාල භක්තියක් ඇති වෙන එක අහන්නත් දෙයක්ද?

ඒ අය අතරින් බොහෝ අය තමන් කලින් ඉගෙන ගත් පාසැල ගැන කිසිම විටෙක කිසිම තැනක සඳහන් නොකරන්න හේතුව අර කලින් කිව්ව ජොලියේ හිටි එකාව ඇදගෙන ඇවිත් හෝඩියට දාපු තරහවේ අවිඥ්ඥාන බලපෑම නොවේ යැයි කිව හැක්කේ කාටද?

සැබෑ ලෝකයේ තමන්ට කිසිවක් නැතත් තමන්ට තමන් ගැන සතුටු වීමට කිසිවත් හෝ ඇතැයි ෆැන්ටසියක ජීවත් වීමට මෙසේ සුපිරි පාසැලේ ලේබලය අලවාගෙන මානසික ස්වයන්වින්දනයක් ලබන්න උත්සාහ දැරනවා යැයි අදහසක් ද සංවාදවලදී දකින්නට ලැබුනා.

සතුටින් ජීවත්වීම හැර වෙන කිසියම්ම වූ වටිනා දෙයක් වේද මිනිසුන් හට.

එසේ ෆැන්ටසියක ජීවත් වීමෙන් ඔවුන් සතුටක් ලබනවානම් ඔවුන්ගේ සතුට දෙස බලා සතුටු වෙනවා මිස ඒ සතුට පලුදු කරන්න උත්සාහ ගන්නේ ඇයි?

Sunday, February 5, 2017

හිණි මඟ !

ඉහල අවකාශය දකින්නේ කෙසේදැයි
සිතන්නවත් බැරි කල
අහම්බෙන් අතගැටුනු, 

පියෙන් පිය ඉහල යද්දී
තුතියක් පුදන්න වත්
අමතක වුනු,

ඉහලට නැඟුනු සැනින්
මළකෑ ඇණ මුරිසි
අඩු පාඩු දකින,

ඉහල අවකාශයේ 
අසිරි විඳින සඳ 
මේ මොන කසි කබලක්දැයි
පා පහර ලබන 

හිණි මඟ !

එනමුත් 
තවත් ඉහල යන්න අවැසි 
උන් ඇත්දැයි විමසා බලන, 
පා පහරවලින් නොසැලෙන...!

Pic from www.shutterstock.com

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails