Thursday, June 2, 2016

දිවි බරට උරදී - ඔබ උහුලනා දුක් රළ රැලී . . !


මීට අවුරුදු 3කට කලින් - 2013 දී අද වගේ දවසක, නදීෂාගේ උපන්දිනේ වෙනුවෙන් සින්දුවක් ලිව්වා.

ඒ විස්තරේ මගේ බ්ලොග් එකේ තියෙනවා “හැපි බර්ත්ඩේ ඩාලින්” කියලා පෝස්ට් එකක.

පෝස්ට් එක නොබලා විස්තරේ කියනවා නම් . .

ඒ ලියපු සින්දුව අබුඩාබි ඉන්න දක්ෂ සංගීතඥයක් වන හර්ෂන කුමර බලපිටිය මල්ලිට දුන්නාම එයා ඒකට ලස්සන තනුවක් දැම්මා.

හර්ෂණගේ සංගීත කන්ඩායමේ වාදනයත් සමඟින් හර්ෂණම ගායනා කරමින් මූලික රෙකෝඩින් එකක් අපි කලා.

ඒ රෙකෝඩින් එක එකතු කරලා තමා බ්ලොග් පෝස්ට් එක ලිව්වේ.

අද ජූනි දෙවෙනිදා උපන්දිනේට කීප දවසකට කලින් මතක් උනේ එදා හර්ෂණ මල්ලියි මායි එයාගේ සංගීත කන්ඩායමේ මල්ලිලායි කතා වුනු දේ . .

“අපි මේ සින්දුව මීට වඩා හොඳ රෙකෝඩින් එකක් කරමු”

එහෙම කිව්වට කරන්න කාල වෙලාව හොයා ගන්න නම් බැරි උනා.

පහුගිය ටිකේ අපි කස්ටිය අබුඩාබි වෙසක් මංගල්ලේ භක්ති ගී කියන්න සෙට් උනායින් තියාෂා නංගිව එයාගේ මහත්තයා මොහාන් දිලීප් මල්ලිව අන්ඳුන ගන්න ලැබුනා.

මොහාන් මල්ල්ලිගේ ෆේස්බුක් එකේ දැක්කා එයා සින්දුවකට කරපු ලස්සන විෂුවල් එකක්. මට එකසැරේ මතක් උනේ අර අවුරුදු 3කට කලින් කම්ප්ලීට් කර ගන්න බැරි උනු සින්දුව !

මොහාන් මල්ලිගෙන් විස්තර අහද්දී “MP3 එක දෙනවනම් මේ වගේ එකක් කරන්න පුලුවන් අයියා” කිව්වට පස්සේ කතා කලේ හර්ෂණ මල්ලිට.

 “මල්ලී මේ සැරේ අක්කගේ උපන්දිනේට අර සින්දුවේ රෙකෝඩින් එකක් කරල දෙන්න බැරිද?” අහපු ගමන් සුපුරුදු පරිදි හර්ෂණ කිව්වේ “ ඕකේ අයියා අපි කරමු” කියලා.

මේ තියෙන්නේ ඒ දවස් කීපයක් ඇතුලත දඩිබිඩියේ හර්ෂණ, ජීවන්, මහේෂ් ඇතුලු සෙට් එක රෙකෝර්ඩ් කරලා තියාෂාගෙත් උදව්වෙන් මොහාන් දවසකින් විෂුවල් එක හදපු  - දුකා, දුකාගේ ගෙදර උන්දෑගේ උපන්දිනේට ලියපු සින්දුව . . !



ආයේ අහලා බලලා කියන්නකෝ දැන් කෝමද කියලා .. !

https://youtu.be/nE-WlVHYGoU

මගේ ආදරණීය ගෙදර උන්දෑ නදීෂාට සුභ උපන්දිනයක් වේවා එහෙනම් ඈ . . !
අහ් මේ තියෙන්නේ සින්දුවේ වචන:


දිවි බරට උරදී - ඔබ උහුලනා දුක් රළ රැලී

දිවි බරට උරදී
ඔබ උහුලනා දුක් රළ රැලී
සිහිව සිත සසැලී
හද දුක් සුසුම් රැල් සැලි සැලී . . //
ගැහැනු සතරක්
එකම සිරුරක
සැඟව ඇත සිරවී . . //
යෙහෙළියක ලෙස
සොයුරියක ලෙස
පතිනියක ලෙස
මවක් ලෙස ඔබ
උහුලනා දුක් රළ රැලී . .
සිහිව හිත සසැලේ . .
හද දුක් සුසුම් රැල් සැලි සැලී . .
දුරු රටක හිඳ
කාසි එව්වට
උනුහුමද නොලැබී . .. //
රළු රළ මතින් සැඩ
සුළං මැඩගෙන
නැවක් පදවන
නියමුවෙකු ලෙස ඔබ
සියළු දුක් ගිනි විඳිමිනී
සිහිව හිත සසැලේ . .
හද දුක් සුසුම් රැල් සැලි සැලී
සිහිව හිත සසැලේ . .
හද දුක් සුසුම් රැල් සැලි සැලී . . . !
ගායනය : හර්ෂණ කුමර බලපිටිය
තනු නිර්මාණය: හර්ෂණ කුමර බලපිටිය
පද රචනය: සුභාෂ් ගුණවර්ධන
සංගීතය සහ වාදනය: හර්ෂණ කුමර බලපිටිය, ජීවන් විජේමුනි සහ කන්ඩායම
රූප රචනය: මොහාන් දිලීප්


මේ වයලීන් එක අතේ තියාගෙන ඉන්නේ හර්ෂණ කුමර බලපිටිය


මේ ඉන්නේ මොහාන් දිලීප් සහ ඔහුගේ බිරිඳ තියාෂා


මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails