UAE Sri Lankans Events

Sunday, June 2, 2013

Happy B'day Darling . . . !


ගිය අවුරුද්දේ නදීෂාගේ උපන්දිනේට "පලංචියේ ලී ඉරුවේ අපි එකට" සිංදුවට වෙන වෙන වචන දාලා පෝස්ට් එකක් ලිව්ව වෙලවේ අපේ කකා මට කිව්ව "දුකා, කොපියක් නෙමේ අළුත්ම සින්දුවක් ලියපං!" කියලා.


කවදා හරි සිංදුවක් ලියන්න ඕන කියලා හිතලා තිබුනට නදීෂාගේ උපන් දිනේට සිංදුවක් ලියන්න ඕන කියලා හාංකවිසියක් හිතලා තිබ්බේ නම් නෑ.


අපේ ගෙදර උන්දෑ නදීෂාට වටින කියන භෞතික තෑගි අරන් දෙන එක හරිම අමාරු කාරියක්. මොකෝ වෙන අයගේ උන්දැලා වගේ නෙමෙයි අපිට ගෙයක් නෑ, කාර් එකක් නෑ වගේ පොදු ඉල්ලීම් තිබුනට  එයා ආසා කරන වටින දේවල් අරන් දෙන්න ගියාම ගන්නේම නෑ.


කොටින්ම ගිය නිවාඩුවෙදි අපේ පරන බ්ලොග් කාරයෙක් වෙච්චි තාරක සමරණායක මුනැගැහෙන්න නුවර එයා වැඩ කරන මැනික් සාප්පුවට ගිය වෙලාවේ අපේ උන්දෑ ආසාකරන කලු පාට ගලක් මැදට හිටින්න වටේට White Sapphire ගල් අල්ලපු ඩිසයින් එකකින් පෙන්ඩන්ට් එකක්, කරාබු දෙකක් බ්‍රේස්ලට් එකක් හදවන්න ගනම් මිනුම් කතා කරගෙන ඇවිත් ඇඩ්වාන්ස් එක පස්සේ එවන්නම් කියලා ආවට "ඕන නෑ අනේ එච්චර ගානක් වියදම් කරන්න" කියල ඒක කපා හැරලා.


එහෙව් එකේ මම හිතුවා අද නදීෂාගේ උපන් දිනේට විශේෂ තෑග්ගක් දෙන්න.


මෙදා සැරේ උපන්දිනේට විශේෂ තෑග්ගක් දෙන්න ඕන කියලා මාස ගානක් කල්පනා කර කර ඉන්නකොට තමයි මට මේ අදහස හිතට ආවේ.


පස්සේ දැනට මාස එකහමාරකට විතර කලින් දවසක් ඩුබායි ගිහින් මහ රෑ තනියෙම ආපහු අබුඩාබි එන ගමනකදී තෑග්ගේ සම්පූර්න අදහසම එක සැරේම හිතට ආවා.


අහ් කියන්න බැරි උනානේ, විශේෂ තෑග්ග තමයි නදීෂා වෙනුවන් සිංදුවක් ලියන්න ඕන කියන එක.


අර මාස ගානක වචන ගැටගැහිල්ලේ අග්‍ර ප්‍රතිඵලය විදිහට එක පාරටම ඒ සින්දුවේ වචනයි ඒ වචන මේ වගේ තාලයක් උනා නම් හොඳයි කියන එකයි හිතට ආව ගමන් මම කලේ ඒ ටික අමතක වෙන්න කලින් ෆෝන් එක රෙකෝර්ඩ් කරගත්තු එක.


එදා ඉඳන් දන්න කියන සංගීත කාරයෝ සෑහෙන දෙනෙක් එක්ක කතා කලා ඒ සින්දුවට තාලයක් දාලා සම්පූර්ණ ගීතයක් විදිහට වැඩේ අවසන් කරන්න.


හරි හරි කරලා දෙන්නම් කිව්වා උනාට එහෙම කියපු ඔක්කෝම අය පොල්ල තිබ්බ මිසක් කිසි කෙනෙක් වචනෙන් එහාට ගිය උනන්දුවක් පෙන්නුවේ නෑ. මම මුල ඉඳන්ම වැඩේ කතා උනේ නිකම් කර ගන්න නෙමේ සල්ලි දීලා කර ගන්න. ඒත් ම්ම්ම්හූ . . .


පස්සේ ඒ සින්දුවක් කරන අදහස අමතක කරලා වගේ ඉන්න මොහොතක අහම්බෙන් පැදුරු පාර්ටියක් ඕගනයිස් කරන වැඩක් ගැන කතා උනු වෙලාවක යාලුවෙක් කිව්ව මෙන්න මෙහෙම.


"මචං හර්ෂන බලපිටිය කියලා සිරා මියුසික් වැඩ කාරයෙක් ඉන්නවා. මම උඹට උගේ නම්බර් එක දෙන්නම්"


එදාම හවස් වෙද්දී නම්බර් එක ඉල්ලගෙන හර්ෂණට කෝල් කලා.


"හරි අයියේ මම ලබන සඳුදා නිවාඩු. අයිය මගේ ගෙදර එන්න. අපි වැඩේ කරමු"


හැමදාම හවසට නදීෂායි විරුලුයි ස්කයිප් එකෙන් චැට් කරන්න බලන් ඉන්න බව දන්න නිසා අද එන්න එපා වෙන ගමනක් යනවා කියලා සඳුදා හවස වැඩ ඇරිලා එන ගමන් ගියා හර්ෂණ මල්ලිගේ ගෙදර.


කලින් වචන ටික ඊමේල් කරල යැව්වත් මම යද්දී ප්‍රින්ට් අවුට් එකක් අරන් ගියා.


හර්ෂන මගේ ෆෝන් එකෙන් එක සැරයක් ඇහුවා අර මම කලින් රෙකෝර්ඩ් කරපු එක.


ගත්තා ගිටාර් එක. ඇස් දෙක වහගෙන ගිටාර් එකේ තත් දෙක තුනක් හැඬෙව්වා. අර කොලේ අරගෙන වචන පේලියක් ලඟින් අකුරක් ලිව්වා.


ආපහු ඒ වැඩේම කලා, ඊලඟ පේලියට අකුරක් ලිව්වා.


ඔහොම ඔහොම පේලි ටික ඔක්කෝටම අකුරු දැම්මා. ඒ දාලා තියෙන්නේ ගිටාර් කෝඩ්ස්. සංගීතය ගැන මම දන්න තරම තමා ඈ


පැයක් විතර ගිහින් හරි අයියේ අපි නිකම් පොඩි රෙකෝඩින් එකක් කරලා අහල බලමුද කිව්වා.


හර්ෂණ ගිටාර් එක ගගහා සින්දුව කිව්වා . .


මට පිස්සු හැදුනේ නැති ටික විතරයි.


අර මම හිතපු විදිහට වඩා සිය දහස් ගුනයක් උපරිමයෙන් ඌ ඒ රෙකෝඩින් එක කලා.


සමහර වචන කීපයක් රෝ වැඩියි වගේ කියලා වෙනස් කරන්න කතා උනා.


"අයියේ මෙන්න මේ වගේ අදහසක් එන වචන ටිකක් ආවනම් මේක සිරා"


පස්සේ තව සැරයක් රෙකෝඩ් කරල ඉවර වෙලා


"හරි මල්ලී එහෙනම් ඉතුරු ටික ඔයා කල්පනා කරලා හදන්න. මම ගෙදර යන්නම්" කියලා ගෙදර යද්දී මඟදීම ආපහු ඔලුවට ආවා හර්ෂන කියපු අදහසට ගැලපෙන වචන් ටික.


ඒ වෙලාවෙම කෝල් කරලා ඒකත් ලියා ගන්න කිව්වා.


අයියේ අපි දැනට මේ වගේ කරලා අක්කගේ උපන්දිනේ දවසට මේක එලියට දාමු. පස්සේ මම නිවාඩු ගියාම හරියට රෙකෝඩින් කරගෙන එන්නම්. හර්ෂණ එහෙම කිව්ව.


මම අපේ දුමියයි දර්ශනයි එක්ක කතා කලාම දෙන්නම කැමති උනා වැඩේට උපරිමයෙන් සහයෝගය දෙන්න.


ඒ කියන්නේ මේ තියෙන්නේ ප්‍රඩක්ෂන් එකේ Early release වර්ෂන් එක.


Final release එකේ මතුවට.


මෙන්න මෙතනින් සින්දුවේ early release වර්ෂන් එක අහන්න පුලුවන්.

මේක මේ පලවෙනි රෙකෝර්ඩින් එක නිසා ගොඩක් අඩු පාඩු තියෙනවා. හර්ෂණ පොරොන්දු උනා නිවාඩුවට ලංකාවට ගියාම මේක ට ගිටාර් පාර්ට් එකත් එක්ක යන වයලීන් පාර්ට් එකක්, බොන්ගෝ හරි තබ්ලා හරි පාර්ට් එකක් එහෙම එකතු කරලා ප්‍රොෆෙෂනල් මියුසික් කොම්පෝසර් කෙනෙක් ලව්වා වැඩේ උපරිමයෙන් නිමා කරන්න. 


හරි ඒ තියෙන්නේ ප්‍රඩක්ෂන් එකේ නිධාන කතාව.


මේ තියෙන්නේ සිංදුවේ නිධාන කතාව.


2011 මාර්තු මාසේ මම වැඩ කරපු ආයතනයේ අලුත් ව්‍යාපෘති නැති නිසා මගේ රස්සාව නැති උනු බව බ්ලොග් පාඨකයෝත් ලඟම හිතවතුනුත් දන්නවා.


ඒ වෙනකොට අප්‍රේල් ඉඳන් පුතාට යන්න අබුඩාබි වල ස්කෝලෙකට ගෙවීම් එහෙමත් කරල තිබ්බා උනත්, ගේ හදන්න ගත්තු ලෝන් වල වාරිකයි, ගෙවල් කුලීයි මාසික වියදම් එහෙමයි බැලුවහම හොඳම දේ පුතාව අරන් ලංකාවට ගිහින් එහේ ඉකෝලෙකට දාන එක කියලා අපි කතා වෙලා අම්මයි පුතයි මාව දාලා ගියා.


ගිහින් නදීෂා කලින් ඉඳන් කර කර ඉඳලා ඉවර කරන්න බැරි උනු Dress making කෝස් එක ඉවර කලාම එයාලගේ අම්මා හොයල දුන්නු සපත්තු හදන කෝස් එකත් කලානේ.


ඒකෙන් පස්සේ අපි කලින් ඉඳන් කතා වෙලා තිබ්බ විදිහට "Virooz" කියලා අපේම ෆැශන් බෑන්ඩ් එකක් රෙජිස්ටර් කරලා 2012 පෙබරවාරි 27 අපේ Virooz සපත්තු බිස්නස් එක පටන් ගත්තා.


සිවිල් ඉන්ජිනේරු ක්ෂේත්‍රයේ හිටපු නදීෂා, "විරුල් හෙවත් මගේ සොඳුරු ත්‍රස්තවාදියා "ට අම්මගෙයි අප්පච්චිගෙයි දෙන්නගේම උනුහුම වෙනුවට අම්මගේ උනුහුම වත් උපරිමයෙන් දෙන්න ඕන නිසා සපත්තු හදන කෙනෙක් උනේ ඔන්න ඔහොමයි.

මේ විස්තර බොහෝ දෙනෙක් දන්නවා.


රැකියාවක්, ව්‍යාපාරයක් කලත් නොකලත් හැම බිරිඳක්ම පවුලේ බරන් විශාලම කොටසක් උහුලනවා. ගේදොර පිලිවෙලට තියා ගන්න එක, ළමයින්ගේ ඉගෙනීම, උයන පිහන වැඩ. ගෘහනියකගේ වැඩ රාජකාරී ගැන හිතුවාම එයාලා ඒ ඔක්කෝම කොහොම කර ගන්නවද කියල පුදුමත් හිතෙනවා.


සපත්තු වැඩේ පටන් ගත්තු දවසේ ඉඳන් නදීෂා, එයාගේ අප්ප්ච්චි එක්ක හරි නංගි එක්ක හරි යාලුවෙක් එක්ක හරි පිටකොටුවේ ගිහින් සපත්තු හදන බඩු අරගෙන බස් එකේ දාගෙන නුවර අරන් ඇවිත්, එහෙම නැති නම් නුවර පුරාම එක එක තැන් වල තියෙන සපත්තු බඩු කඩවලින් බඩු අරගන්න විඳින දුක කොයි තරම්ද කියලා දැන ගත්තේ මම නිවාඩු අවහම අපි දෙන්නම පිටකොටුවෙයි නුවරයි කඩවල් ගානේ රස්තියාදු උනු නිසා තමයි.


බඩු ගේන එක විතරක් නෙමේ බිස්නස් එකේ අනිත් සියලුම වැඩ තනියෙම කරගෙන යන්න එයා විඳින දුක දැක්කම මට හැම තිස්සෙම නදීෂා ගැන පුදුම දුකක් දැනෙනවා.


නදීෂා වෙනුවෙන් ලියවුනු ගීතයේ


දිවි බරට උරදී
ඔබ උහුලනා දුක් රළ රැලී
සිහිව සිත සසැලේ
හද දුක් සුසුම් රැල් සැලි සැලී . . //”


කියන කොටස මගේ හිතට ආවේ ඒ විදිහට


නදීෂා වෙලවකට අපේ "අක්කා" ගෙදර ඉන්න කාලේ වගේ හරිම ඇණයක්. ඕන එකයි එපා එකයි හැම දේටම ඇඟිලි ගහනවා. වෙලාවකට "නංගී" වගේ ජොලි පොරක්. ඕන මහරෑක උදේක දවාලක ඕන ගමනක් යන්න . . . ඕන වලක් බහින්න එක පයින්. ඉතින් වෙලාවකට සහෝදරියක් වගේ.


බීලා ආවහම එලියට දාලා දොර වහනවා වගේ, ඔලුව කැක්කුම හැදුනාම ඔඩොක්කුවේ තියාගෙන සනීපෙට ඔලුව මසාජ් කරනවා වගේ අම්ම කරන ජාතියේ වැඩ අම්ම කරන විදිහටමත් කරනවා. ඉතිං වෙලාවකට අම්ම කෙනෙක් වගේ
.
රහස් කියන්න, උපදෙස් ගන්න, ට්‍රිප් යන්න, එක එක පිස්සු වැඩ අත්හදා බලන්න, ඕප දූප කතා කරන්න, හවුලේ වලි දාගන්න වගේ යාලුවෙක් / යෙහෙලියක් එක්ක කරන ජාතියේ ඕන දේටත් ඉන්න නිසා වෙලාවකට යෙහෙලියක් වගේ.


කලින් දවසේ වලියක් දාගෙන තරහ වෙලා මූන බුම්මගෙන හිටියත් උදේ වැඩට යන්න කලින් නැගිටලා කෑම උයලා කෑම එක බෑග් එකට දානවා. එයා අසනීපයක් හැදිලා ඉන්න වෙලාවක හෙට උයන්න එපා මම කඩෙන් කන්නම් ඔයාලට කෑම ඕඩර් කරල ගෙන්වලා දෙන්නම් කිව්වත් බැරි බැරි ගාතේ හරි උදේ නැගිටලා උයලා තේ හදලා දෙනවා.

ගේ කැලේ වගේ තියෙනවට මම කෑමතිම නැතිබව දන්න නිසා විරුල් ගේ උඩ යට පෙරලුවත් මම එන්න කලින් අස් කරලා තියෙනවා. හැම විදිහකින්ම පතිනියකගෙන් වෙන්න ඕන යුතුකමුත් ඉටු කරනවා.


ඒ ඔක්කෝම චරිත එකට ගත්තාම වැඩිපුරම වෙන්නේ අපේ දුක් කරදර වලට හවුල් වෙන ඒක නේද කියලා හිතුනාම ආපහු එයා ගැන දුක හිතෙනවා.


ඕවා ගැන හිතුවාම මට හිතුනේ සින්දුවේ දෙවෙනි කෑල්ල මේ වගේ ලියන්න.


“ගැහැනු සතරක්
එකම සිරුරක
සැඟව ඇත සිරවී . .
යෙහෙළියක ලෙස
සොයුරියක ලෙස
පතිනියක ලෙස
මවක් ලෙස ඔබ
උහුලනා දුක් රළ රැලී . .
සිහිව හිත සසැලේ . .
හද දුක් සුසුම් රැල් සැලි සැලී . .”


පුතාත් අරන් ගිහින් ලංකාවේ පදින්චි වෙලා නදීෂා බිස්නස් එක කරගෙන යනවා. මම මාස තුනෙන් තුනට වගේ ලංකාවට යනවා.


ජොබ් එක නැතිවෙලා දවස් 10ක් විතර ගෙදර ඉඳලා සෙට් උනේ යාලුවෙක්ගේ කොම්පැනියක ජොබ් එකක්. ඒත් පැකේජ් එක කලින් එකේ තරම් නෑ. ඒ මදිවට වෙලාවට පඩි දෙන්නෙත් නෑ.


අවුරුද්දකට විතර පස්සේ පරන කොම්පැනියෙන්ම ආපහු එන්න කියලා ආරධනා කලා. අපහු ඒකටම සෙට් උනා.


හැම තැනකම බොස් ලා ෆිට් පොරවල් නිසා නිතර නිතර නිවාඩු යන එක ලොකුම අවුලක් උනේ නෑ.


ගිය අප්‍රේල් නිවාඩුවට එද්දී නිවාඩු ඉතුරු වෙලාත් නෑ. ලොක්කා කිව්වේ අපි පස්සේ අඩු කරගමු. උඹ පුතාගේ ඉස්කෝලේ නිවාඩුවට ගිහින් උගේ ලඟ හිටපන් කියලා.


මම මෙහේ රස්සාව කරගෙන මාසේ ගානේ සල්ලි යැව්වට අනිත් බිරින්දෑලට වගේ සැමියගේ උනුහුමේ හෑමදාම දැවටිලා ඉන්න වාසනාවක් නදීෂාට නෑ.


ඒ මදිවට පුතාගේ ඉස්කෝලේ වැඩයි බිස්නස් එකේ වැඩයි, ගෙදර අයගේ දේවල් තිබ්බොත් ඒවයේ වැඩයි, එක එක විදිහට අපේ උදව් ඕන වෙන යාලුවන්ගේ නෑදෑයන්ගේ වැඩ අරව මෙව්වා මේ ඔක්කෝම වැඩ කරගෙන බැලන්ස් කරගෙන යන එක හරියට කුනාටු ගහන සාගරයෙක නැවක් පදවගෙන යනවා වගේ වැඩක් කියලා මට හිතුනේ.


අන්න ඒ නිසයි ගීතයේ ඉතුරු ටික මේ විදිහට ලිව්වේ


“දුරු රටක හිඳ
කාසි එව්වට
උනුහුමද නොලැබී . ..
රළ මතින් සැඩ
සුළං මැඩගෙන
නැවක් පදවන
නියමුවෙකු ලෙස ඔබ
සියළු දුක් ගිනි විඳිමිනී
සිහිව හිත සසැලේ . .
හද දුක් සුසුම් රැල් සැලි සැලී . .”


දැන් මුලු ගීතයම එකට එකතු කලොත් මේ වගේ


දිවි බරට උරදී
ඔබ උහුලනා දුක් රළ රැලී
සිහිව සිත සසැලේ
හද දුක් සුසුම් රැල් සැලි සැලී . . //


ගැහැනු සතරක්
එකම සිරුරක
සැඟව ඇත සිරවී . .
යෙහෙළියක ලෙස
සොයුරියක ලෙස
පතිනියක ලෙස
මවක් ලෙස ඔබ
උහුලනා දුක් රළ රැලී . .
සිහිව හිත සසැලේ . .
හද දුක් සුසුම් රැල් සැලි සැලී . .


දුරු රටක හිඳ
කාසි එව්වට
උනුහුමද නොලැබී . ..
රළ මතින් සැඩ
සුළං මැඩගෙන
නැවක් පදවන
නියමුවෙකු ලෙස ඔබ
සියළු දුක් ගිනි විඳිමිනී
සිහිව හිත සසැලේ . .
හද දුක් සුසුම් රැල් සැලි සැලී . .


දිවි බරට උරදී
ඔබ උහුලනා දුක් රළ රැලී
සිහිව සිත සසැලී
හද දුක් සුසුම් රැල් සැලි සැලී . . //


අහලා බලලා කියන්නකෝ කොහොමද කියලා.

එහෙනම් ඔයාලත් එකතු වෙන්න නදීෂාට උපන්දිනේට සුභ පතන්න . . !!


මේ ගීතය සියළුම බිරින්දෑවන්ට උපහාරයක් වේවා . . .!!!!

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails