Monday, February 25, 2013

පොලී මුදලාලිගේ බුද්ධාගම . . !


නිවාඩුවට ලංකාවේ හිටි දවසක අපි ජගත්ලගේ ගෙදර ගියේ ඩිනර් එකකට එන්න කියලා ජගත් - අමිලා දෙන්නම අපිට ආරාධනා කරපු නිසා.

විරුල් ඒ ගෙදර එයාගේ වයසේ ළමයි දෙන්න එක්ක සෙල්ලමට වැටිලා හරියට කෑවෙත් නෑ.

අපි දෙන්න නම් කෑවා මදි නොකියන්න. අමිලාගේ කෑම රසයි.

කාලා ඉවර වේගන එනකොටම ජගත්ගේ යාලුවෝ සෙට් එකක් ආපු නිසා ජගත් කෑම මේසෙන් ඉක්මනට නැගිටලා ගියා.

කාලා ඉවර වෙලා චයිනීස් ග්‍රීන් ටී කෝප්පෙකුත් අරගෙන මම සාලෙට ගියාට ජගත් හිටියේ මිදුලේ.

මාත් තේ කෝප්පේ අරගෙනම එතනට ගියා.

ජගත් මධ්‍යම ප්‍රමානයේ ව්‍යාපාරිකයෙක්. එතන ඌගේ ලෙවල් එකේ බිස්නස් කාරයෝ කීප දෙනෙක් ම ඉන්න බව මම දැනගත්තේ කලින් දවසක ජගත්ලගේ ගෙදරදීම උන්ව මුන ගැහුනු නිසා.

කට්ටිය ම මහා ලොකු සල්ලි කාරයෝ නෙමෙයි නිසා පොලියට සල්ලි අරගෙන තමයි බිස්නස් කරන්නේ. මම එතනට යන වෙලාවේ කට්ටිය එතන කතා කර කර හිටියේ සල්ලි පොලියට ගන්න සීන් එකක් ගැන.

ඒ අපිත් විරූස් පටන් ගන්න කල් යල් බලබල හිටපු දවස් නිසා මාත් උනන්දුවෙන් කතාවට සම්බන්ධ උනා.

"දැන් උඹලට ඔය සල්ලි පොලියට දෙන බුවාලා ඉඩමක්, වාහනේක පොතක් එහෙම ඇපේට ඉල්ලනවද?" මම ශේප් එකේ ඇහුවා.

"ලොකු ගානක් ඉල්ලනව නම් දෙන්න ඕන. ඒත් අපි කලින් දීලා තියෙනවනම් ආයේ ඉල්ලන්නේ නෑ ඇග්‍රිමන්ට් එක වෙනස් කරනව විතරයි"

"ඒ කියන්නේ ලක්ෂයක් දෙකක් වගේ පොඩි ගානකට ඕන නෑ ?"

"අපි බුවාලා එක්ක කලින් ඩීල් කරලා අපිව විස්වාස නිසා ඕන නෑ. ඒත් අපි රෙකමන්ඩ් කලා උනත් අලුත් කෙනෙක්ගෙන් ඉල්ලන්න ඉඩ තියෙනවා, නැති වෙන්නත් ඉඩ තියෙනවා" අපේ විරූස් බිස්නස් සීන් එක ගැන ජගත් දන්න නිසා මම මේ හාර හාර අහන්නේ ඒකයි කියලා හිතලා වෙන්න ඇති ජගා කිව්වා.

"හරි උඹලා රෙකමඩ් කරපු නිසා හරි උඹලගේ යාලුකම නිසා හරි පොලියට සල්ලි ගත්තු කෙනෙක් නොගෙවා ඇරියොත් බුවාලා කොහොමද රිකවර් කර ගන්නේ?"
කට්ටියම මගේ දිහා බැලුවා.

"නෑ මම කිව්වේ ඩීඩ් එකක්, වාහනේක පොතක් මොකුත් නැතුව උඹලගේ යාලුවෙක්නේ කියලා විස්වාසෙට දුන්නු සීන් එකක් නම් එහෙම" ප්‍රශ්නේ ටිකක් සැර බාල කරන්න මම නැට්ටක් එල්ලුවා.

"මොකෝ උඹ මාව විකුනලා පොලියට සල්ලි අරගෙන පොල්ලක් තියන්නද හදන්නේ?" ජගා ඇහුවේ හිනා වෙවී.

"නෑ මම අහුවේ එහෙම දේවල් වෙන්න පුලුවන් නිසා"

"ඒවට බුවාලා ලඟ ක්‍රම සහ විධි තියෙනවා මල්ලී" කට්ටියම  එක එකා දිහා බලන ගමන් හිනාවුනා.

"කියහංකෝ බන් අපිටත් ඒ ක්‍රම සහ විධි. මගේ බිස්නස් එක පටන් ගන්නත් පොලියට ගානක් ගන්න හිතාගෙන ඉන්නවා. දැනගෙන ඉන්න එක කොයි එකටත් හොඳයිනේ" මමත් හිනාවෙවීම කිව්වා.

"මෙහෙමයි, උඹ පොල්ල තියන්න හදනවා කියලා උන්ට තේරුනොත් උඹට අනතුරු අඟවනවා සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා කොල්ලෝ කියලා"

"ඊට පස්සේ"

"ඒත් උඹ ගනන් ගන්නේ නැතුව පොල්ල තියන්න හදනවනම් සල්ලි දෙන එක මඟ අරිනවනම් . . . " කියපු එකා ඉතුරු ටික නොකියා අනිත් උන්ගේ මූනු දිහා බලනවා.

"ඉතිං කියහන්" මට ඉවසිල්ලක් නෑ

"උන් එක්කෝ උඹේ ගෙදර ඇවිත් වටින කියන බඩු ටිකක් සීස් කරනවා, නැතිනම් උබේ පවුලේ කෙනෙක්ගේ අතක් පයක් කඩනවා"

"මොකක් . . වටින බඩුවක් උස්සන් යන එක ඕකේ කියමු. පවුලේ එකෙක්ගේ අතක් පයක් කඩන එක කොහොමද කරන්නේ. රටේ නීතිය කියල දෙයක් තියෙද්දී"

"ඕවා කරන බුවාලා නීතිය ක්‍රියාකරවන්න උඹට වඩා හොඳට දන්නවා මචං"

"ඒත් . . ඒත් . " මට වචන පැටලෙනවා වගේ.

"අතක් පයක් කඩනවනම් එහෙම කරන්නේ පවුලේ කෙනෙක්ගෙනුත් උඹ ගොඩක් ආදරේ කරන කෙනෙක්ට. උඹේ පුතාගේ, වයිෆ්ගේ එහෙම වෙන්න පුලුවන්"

"ඈහ් . . " මට මැවිලා පේන්න ගත්තා මම පොලියට සල්ලි ගත්තු බුවා කොන්ත්‍රාත් කාරයෝ ලව්වා මගේ කිරිකැටියා විරුල්ගේ අතක් මේසෙකට පුටුවකට තියලා නොපිට හරවලා කඩන හැටි.  මගේ ඔලුවේ ඉඳන් මුළු ඇඟම හිරි වැටිලා ගියා. අතේ තිබ්බ තේ එකත් එක්කම වෙව්ලන්න ගත්තා.

ජගායි යාලුවෝ සෙට් එකයි ටික වෙලාවක් මගේ දිහා කන්න වගේ බලන් හිටියා.

"ඔහොම දේවල් ඉංග්ලිෂ් ඇක්ෂන් ෆිල්ම් වල විතරයි . . . මෙහේ, මේ ගෙන්දගම් පොලොවේ වෙන්නේ නෑ කියලා හිතහං මචං . . " ජගා ගල්වෙලා හිටපු මාව අපහු යථාතත්වෙට ගෙන්න ඕනවට මගේ පිටට එකක් ගැහුවා.

"මම කරපු වැරැද්දට අතක් පයක් කඩනවනම් කඩන්න ඕන මගේනේ මචං . . මගේ දරුපැටියා මොකටද මගේ වැරැද්දට දඬුවම් ලබන්නේ? ඒක මහපොලොව උහුලන්නේ නැති අපරාදයක්නේ මචං .. !"

"උඹේ අතක් පයක් කඩලා උඹ එක්තැන් උනොත් කොහොමද ඌ උඹෙන් සල්ලි ටික ගන්නේ. අනික ඒ උඹ කියන විදිහට උඹේ වැරැද්දට උඹ දඬුවම් ලබන්න ඕන උඹේ බුද්ධාගමේ. පොලී මුදලාලිගේ බුද්ධාගමේ එහෙම නෑ මචෝ . . . !"

Pic from: http://www.shutterstock.com/

Monday, February 4, 2013

සතුට, දුක, කඳුල, සිනහව . . .!

සතුට
දෑත අද්දරටම පැමින
ඇඟිලි තුඩඟ, නියඟ තුඩඟ 
ගෑවී නොගෑවී මෙන් ඉඳ
ඔච්චම් පා ඈතටම ඇදී යන . . . !

දුක
ආත්මයම තුරුළු කර
ඉරා කීතු කොට හද 
දවා හළු කර බිඳෙන් බිඳ
කැඳවන ඒ වෙතටම තවත් . . . !

කඳුළ
රූරා වැටෙන්නට ඉඩ නොදී
කොපුල් තල තෙමාගෙන
බොඳ කරනට දෑස් තුලම
මහත් වෙහෙසක් දරන . . . !

සිනහව
දුක් කඳුළු බිම දමා
දූලි ගා පාගා දමා
හද කවුළු විවර කර
පිබිදෙන්න ඉඩ සොයන . . . !



අමරදේව මාස්ටර්ගේ මේ සින්දුවත් අහලා බලන්නකෝ


ආරාධනා . .. !

ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා
අතිතයේ ගිලිහි ගිය
සතුට රැගෙන යළි වඩින්න
ආරාධනා

නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ කාලයේ වෙරළේ
ජිවිතයේ දිගු ගමනින් අනාථ වූදා
සෙනේහයේ සත් පියුමන් යළිදු පිපේවා
ආරාධනා

එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ
ඔබේ උණුහුමේ යළිඳු උපන්නෙමි
බිඳුනු එවන් රජදහනින් සමුගෙන යනදා
ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා
ආරාධනා



Pic From: http://www.sweetclipart.com/

Friday, February 1, 2013

සහන සංවිධානය සහ මුදලට ආත්මය බිලි නොදුන් නීලා . . !

neela

සිතාරයක තතක් ශෝකී ස්වරයෙන් වැයෙයි. දෑස අගට ලොකු කඳුලු බිඳු දෙකක් උනා එයි.

කොහේදෝ ඈතකින් බටලී හඬක් ගලා එයි. සිත කාන්සියකින් පිරී යයි.

වයලීනයක තත් උච්ච ස්වරයකින් පිරිමදිනු ඇසෙයි. හදවත උල් නියපොතු වලින් සූරනවා වැනි වේදනාවක් දැනෙයි.

ගිටාරයක තත් හඬවන රිද්මයට බොන්ගෝ බෙරයක් වේග රිද්ම තාලයක් වයයි. නොදැනීම අපගේ දෙපා ඒ රිද්මය ලුහු බඳී, දෑත් එකට එකතු වී අත්පොලසන් නාද මවයි.

සංගීතයේ ආශ්චර්ය එයයි. කලාවේ ආශ්චර්ය එයයි.

අජිවී තතක්, ලීයක සවි වූ සත්ව හමක්, වියලුනු උණ ලී බටයක් තනිව මේ ආශ්චර්ය කෙසේ මැව්වාද?

නැත, එය එවැනි අජීවී වස්තූන්ගේ නිර්මාණයක් නොව ලේ මස් සමින් සෑදුනු සජීවී මිනිසෙක් ඒ අජීවී වස්තූන්ට ඔහුගේ හෝ ඇගේ සංවේදී හදවතේ රිද්මයෙන්, දෑතේ හුරුවෙන්, ජීව වායුවෙන් සජීවී බවක් අරෝපනය කලා පමනි.

ඔවුන්ව අපි කලා කරුවන් යැයි හඳුන්වන්නෙමු. අපේ හදවතේ සියුම් තැන් පිරිමැදීමේ කලාව දන්නේ ඔවුන්ය, සිනා වෙන්න නොදන්නවුන් මෙන් උදේ සිට රෑ වෙන තුරු ජීවිත හරඹයේ යෙදෙන ඒකාකාරී අප දිවියේ සිනා දොරගුළු හැර දෙන්නේ ඔවුන්ය, කඳුලු උල්පත් උපද්දවා දෙන්නේ ඔවුන්ය.

එවන් වූ විශ්ව කර්ම ප්‍රාතීහාර්යයන් මවන කලා කරුවෝ අතර හුදු කලාව පමනක් පිහිටා මනුසත්දම් නොපිහිටි උන්ද බොහෝය.

කලාවෙන් සංගීතයෙන් නොව ගිනි කන්දකින් උතුරා යන ලෝදියෙන් වත් මෙලෙක් කල නොහැකි නරුම හදවත් ඇත්තෝද මේ ලෝකයේ වෙති.

නමුදු වාසනාවකට අපට බොහෝ විට හමුවන්නේ අනෙකෙකුගේ දුකට හඬන්න උරහිස ලබා දෙන අයයි, කුසගින්නේ හඬන අයෙකුට පිහිට වන්න තමන්ගේ කුස පුරවා ගන්න තිබෙන තුට්ටු දෙක පූජා කල හැකි අයයි, ඉරුනු ඇඳුමක් ඇඳි අසරණයෙකුට තමන්ගේ ආසම ඇදුමක් වුව දන් දෙන්න හිතැති අයයි. අසරණ රෝගියෙකු සුවපත් කර ගැනීම වෙනුවෙන් බස් රියේ යාමට අතැති මුදල පුදදී පයින් යන්න තරම් කාරුණික අයයි.

භෞතික කිසිවක්ම කල නොහැකි නම් අඩු තරමේ කෙනෙක්ගේ දුකක් කරදරයක් ඉවසීමෙන් අසා සිටින්න තරම් වත් වූ විසල් හදවත් ඇත්තෝ ඔබ මා අසල නොවෙත්ද?
ටිකක් නැවතී අවට බලන්න. ඔබ අසල සිටින අනෙකාගේ නෙතේ ලෙංගතු හිනාව ඔබේ දුක් කරදර වලින් අඩක් නිමා කලා නොවේද? කාරුනික වචන සිතේ දුක් ගිනි නිව්වා නොවේද? මේ අවට හමා යන සුවඳ උතුම් මානුෂිකත්වයේ සුවඳ මිස වෙන කුමක්ද?

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

දිනෙන් දින ඉහල යන ජීවන වියදම හමුවේ ආදායම් විෂමතාවයේ පරතරය තව තවත් පුළුල් වෙද්දී, වැඩිවන ජීවන වියදමට සරිලන සේ ආදායම ඉහල නොයෑම "අපේ පූරුවේ කරුමේ" කියා සුපුරුදු දීන බවින් විඳ දරා ගැනීම අපේ ක්‍රමයයි.

හිස ගසා මරා දැමීම්, ඇඟපුරා කටු ගැසීම්, පුලුස්සා දමීම්, ඉහලමාලයෙන් තල්ලු කිරීම් ආදී භයානක පුවත් නිතර පුවත් පත්, රූපවාහිනී ආදී මාධ්‍යන්ගෙන් ප්‍රචාරය කරත්දීත් ගෘහ සේවිකාවන් ලෙස අපේ කාන්තාවන් අරාබියට එන්නේ ඇයි කියා ඔබ මොහොතක් වත් සිතා ඇත්ද?

වැලිකැට පවා පුපුරන ගිනිගහන කාස්ටකය, දූවිලි කුනාටු ආදිය ගැන දැනුවත් වීත් අපේ මේසන්වරු, වඩු කාර්මිකයන්, කම්කරුවන් මැදපෙරදිග ගොඩනැගිලි සහ මාර්ග ඉදිකිරීම් රැකියා සඳහා යාමට ඒජන්සි වල පෝලිම් ගැසී ඉන්නේ විනෝදෙට කියා ඔබ මොහොතකට වත් සිතුවාද?

සහෘදය,

කෑමට යමක් ඉල්ලා හඬන දරුවෙකුගේ කුසගින්න නිවන්න;

එකම පොතේ විෂයන් කීපයක සටහන් තබන ඉරුනු නිල ඇඳුමක් ඇඳන් පාසල් යන දරුවෙකුට සහෝදරයෙකුට අවුරුද්ද මුලදී පොත් ටික අරන් දෙන්න, නිල ඇඳුමක් මසා දෙන්න, කැන්ටිමෙන් මාලු පාන් ගෙඩියක් කන්න උදේම කීයක් හරි මිට මොලවන්න;

කුලී ගෙදරක සිට තමන්ගේම කියා පොල් අතු පැලක් හෝ අටවා ගන්න;

දන්න කියන දා සිට උදේ සිට රෑ වෙන තුරු දරුවන්ගේ කුසගින්න නිවන්න උවමනා එපාකම් පිරිමහන්න වෙහෙසුනු අම්ම තාත්තාට කෑමට බීමට බෙහෙත් හේත් වලට මාස් පතා මුදලක් යවන්න,

මේ එක කරුණක් හෝ කීපයක් ඉටුකර ගන්න ලැබෙනවා නම් හිස ගසා දමන්න, කටු ගසන්න, කාස්ටකේ වෙලෙන්න නොව මාරයගේ කටට පනින්න වුව නොපසුබට මවක්, පියෙක්, සහෝදරයෙක්, සහෝදරියක් සොයා ගැනීම අප ජීවත් වන සමාජයේ මහා කාරියක්ද?

එසේ තමන්ගේ අය වෙනුවෙන් මාරයාගේ මුවට නොව ඕනෑම නරකාදියකට වුව කමක් නැතැයි සිතුවා වුවත් මැදපෙරදිග එන අපගේ හදවත පිරී ඇත්තේ සුභ සිහින වලින් නොවේ යැයි අපට අපගේ හදවතට තට්ටු කර ඇසුවොත් නොකියාවිද?

හැකි ඉක්මනින් මුදල් සොයාගෙන කලින් හිටියාට වඩා යහපත් ජීවිතයක් මවුබිමේ හිතැත්තන් සමඟ ගත කරන්න හීන මවාගෙන අරාබිකරයට ආ අපිට අහම්බෙන් අසනීපයක් වී රෝහල් ගත වෙන්න සිදුවුනොත් එහි බිල ගෙවන්නේ කෙසේද, බොරු කාර ඒජන්සිකාරයෙකුට අසුවී කාන්තාරයේ අතරමං වෙන්න සිදු උනොත් ආපසු ලංකාවට යන්න ගුවන් ටිකට් පතක් ලබා ගන්නේ කෙසේද?

මෙතුවක් එක් එක් ශ්‍රී ලාංකික සංවිධාන එකතු වී එසේ අසරණ වූ අයට පිහිට වූවා නමුත් (අසා ඇති ආකාරයට බොහෝ ඉන්දියානු සංවිධාන පවා ශ්‍රී ලාංකික අපට නිතර පිහිට වී ඇත.) කිසියම් සංවිධානයක් සමබන්ධ කරගත නොහී අසරණ වූ අය කීදෙනෙක් නම් ඇත්ද?

ටික කලකට පෙර ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ හුවමාරුවී එක්සත් අරාබි එමීරයේ කාරුණිකයන්ගේ පිහිට ලැබූ ශීතකරණය උඩ තිබූ ඇසිඩ් බෝතලයක් ඔලුවට පපුවට වැටී රෝහලේ ගතව අසරණවූ සොයුරිය මෙහි වාසය කරන සියළුම දෙනාගේ ඇස් ඇරවූවාය.

ඇය ගැන සඳහන් වූ ගල්ෆ් නිවුස් පුවත් පතේ පලවූ එක් ලිපියක් මෙතනින් කියවන්න

අනෙක් ලිපිය මෙතනින් කියවන්න

එක් එක් ආගමික, වෘත්තීක, ක්‍රීඩ සමාජීය, සංස්කෘතික, විනෝදජනක, සුභ සාධක ආදී සංවිධාන රැසක් ක්‍රියාත්මක වූවා වුනත් ශ්‍රී ලාංකික අප වෙනුවෙන් ම සියළුම එක්සත් අරාබි එමීරයේ ශ්‍රී ලාංකික අප එකතුවී කිසියම් සුභ සාධක සංවිධානයක් පිහිටුවා ගත යුතු බව අපට ඇහැට ඇඟිල්ලෙන් ඇන කීවාසේ දැනුම් දුන්නේ ඇයයි.

එතැන් සිට මෙහි ඇති එක් එක් සංවිධාන විසි ගනනක අය නිතර මුන ගැසී සාකච්චා කොට ඉතා ඉහල සංවිධානාත්මක භාවයක් රඳවා ගනිමින් පිහිටුවා ගත් සංවිධානය "සහන" සංවිධානයයි. (Sri Lankan Welfare Association in the UAE)

Sahana Logo (1)

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

අජීවී සංගීත භාණ්ඩ වලට සජීවීත්වය එක් කරන සංවේදී පුද්ගලයෝ  කලාකාරයෝ ලෙස අප හඳුන්වන බව ලිපියේ මුල්දී මම කිවෙමි. කලාව පමනක් පිහිටුවා සංවේදී බව නොපිහිටි ඊනියා කලා කාරයෝ කියා කියා ගන්නා අයද ඇති බව කීවෙමි.

සහන සංවිධානයට අරමුදල් රැස් කිරීම සඳහා සංගීත සැඳෑවක් සංවිධානය කිරීමේ අදහස මතු වූ අවස්ථාවේ අපට නියම කලා කාරයින් සහ ඊනියා කලාකාරයින් යැයි, කියා ගන්නා අයගේ වෙනස අඳුනා ගන්න හැකි වූ බව සඳහන් කරන්නේ එවන් වූ අය ගැන උපන් කලකිරීමෙනි.

සහන සංවිධානයේ ක්‍රියාකාරීන් විසින් මහා ඉහලින් අදහන බොහෝ කලාකරුවන්ට සංවිධානයේ අරමුන පැහැදිලිකොට සංගීත ප්‍රසංගයක් ගැන ඉල්ලීම් කල විට අපට ඔවුන්ගෙන් ලැබී තිබුනු පිලිතුරු වී ඇත්තේ "හොඳ අදහස . . ප්‍රසංගයක් සංවිධානය කරන්න. අපේ මිල මේකයි . .!"

මිල මුදල් ඔවුන්ගේ සංවේදීතාවය බිලි ගත්තාද? මිල මුදල් විසින් ඔවුන්ගේ සංවේදීතාවය, හර්ද්‍යාංගම බව උකසට ගත්තාද දන්නේ ඔවුන්ගේ හර්ද්‍ය සාක්ෂිය පමනි.

මිල මුදලට ආත්මය බිලිදුන් කලාකරුවන් අතර නීලා වික්‍රමසිංහ මහත්මිය සැබෑ සංවේදී කලාකාරියකි.
මුදලට ගී ගැයිය හැකි ලංකාවේ ප්‍රසංගයක් ඇති බැවින් "සහන" සංවිදානයේ ප්‍රසංගය සතියකට හෝ පමා කල හැකි දැයි ඇය අසා ඇත.

ශ්‍රවනාගාරය වෙන් කරවා ගැනීමේ අපහසුවක් ඇති බැවින් පමා කල නොහැකි බව දැනුම් දුන් විට ඈ එසේ ඇගේ ජන්ම හැකියාව වූ ගී ගැයීමෙන් මුදල් උපයන්න තිබූ අවස්තාව අතහැර කාන්තාරයේ දුක් විඳින අප වෙනුවෙන් මුදල් රැස් කරන ප්‍රසංගයට ගී ගයන්න පැමිනෙන්නේ මිල මුදල් වලට වඩා මානුෂිකත්වය කෙරෙහි ගරු සරුවක්, තෙතමනයක් ඇගේ විසල් හදවතේ තිබෙන නිසා නොවේද?

ඩිරාහ්ම්ස් දෙදාහක් (Rs. 70,000/-)  වැනි මුදලක් ගෙවීමේ හැකියාවක් සංවිධානය සතුව ඇතැයි සංවිධායකයින් ඇයට පවසා ඇත.

ඇයගේ පිලිතුර වී ඇත්තේ "බොහෝම ස්තූතියි, ඒ මුදලත් සංවිධානයේ මූල්‍ය ස්තාවරත්වය වැඩි කරගන්න අරමුදලටම යොදවන්න. කිසිම මුදලක්  මට එපා. ඔබලා ගේ උදාර කාර්ය වෙනුවෙන් මා සතුටින් නොමිලේ ගී ගයන්නම්" කියායි.

විස්වාස කරනවාද? ඒ බව ඇසූ වෙලේ ඇයගේ උතුම් මානුෂිකත්වය මගේ නෙතට කඳුලක් ගෙනා බව.

ඉතිං සහෘදය ඈ අප වෙනුවෙන් සතුටින් ගයන්නී . . . අප මුදල් දී ටිකට් පතක් ගෙන ඒ ගී අසා අප වෙනුවෙන් ඇය වෙහෙසන කාරිය උත්කෘෂ්ඨත්වයට පත් කරමු.

Master Sir_15022013

දයබර සොයුර, සොයුරිය, 2013 පෙබරවාරි මස 15 වෙනි සිකුරාදා සවස 7.30ය ඩුබායි හි රශීඩ් රෝහලේ වෛද්‍ය පුස්ථකාලයේ ශ්‍රවනාගාරයේදී නීලා වික්‍රමසිංහ මහත්මියගේ "මාස්ටර් සර්" ප්‍රසංගය නරඹන්න ඔබ සියළු දෙනාම පැමිනෙන්න.

වැලිකතරේ සේවය කරන අප අහම්බයෙන් හෝ අසරණ උනොත් පිටක් ලබා දෙන්න සංවිධානය වූ සහන සංවිධානයේ සාමාජිකයෙක් වෙන්න.

ඔවුන්ට සවියක් වන්න.

ඔබටයි මේ සුහද ආරාධනය . .. !

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

නීලාගේ සුවිසල් ගීත එකතුව අතුරින් මගේ ප්‍රියතම ගීත දෙකයි මේ



වියෝ ගී ගැයෙනා හදේ . . .
වියෝ ගී ගැයෙනා හදේ . . .
ආදර මල් නොමියේ. . . .
සදා මේ සංසාරයේ . . .
අපේ හමුවීම නොවේ . . . .

අතීතයේ මායා රූ කැඩී බිඳී යාවී . . . . .
අනාථ වූ මා දෑසේ කතා නිමා වේවී. . .
මගේ කඳුලු හංගා මා සිනා සිසී ඉන්නේ . . .
ඔබේ ලොවේ හිරු පායා සදා සිනාසේවා. . .

වියෝ ගී ගැයෙනා හදේ . . . .

අනාගතේ සිහිනේ නෑ මෙදා සැබෑ වෙන්නේ . . .
මිලාන වූ ආකාසේ  අපේ පැතුම් පාවේ . . . .
මගේ පැලේ තනිවී මා සුසුම් හෙලන වේලේ . . .
ඔබේ ලොවේ හිරු පායා සදා සිනාසේවා . . . .

වියෝ ගී ගැයෙනා හදේ . . .
ආදර මල් නොමියේ. . . .
සදා මේ සංසාරයේ . . .
අපේ හමුවීම නොවේ . . . .


බෝධියේ විහාරයේ පිදූ පියුම් වැනි වූ
බාලිකා ලොව මැළවුනදා මුළු ලොවටම රෑ වෙනවා

ජීවිතේ පියාඹමින් සිනාසිසී හිඳිනා
ඒ සිනා මා බොළඳ නෙතේ උනු කඳුළක් කරනු එපා

මල් පොහොට්ටු මා හදේ සුරංගනා පොකුණේ
මල් වරම් ලැබ පිපෙන තුරා ඔබ නටුවෙන් මිදෙනු එපා

බෝධියේ විහාරයේ . . ..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails