Friday, February 1, 2013

සහන සංවිධානය සහ මුදලට ආත්මය බිලි නොදුන් නීලා . . !

neela

සිතාරයක තතක් ශෝකී ස්වරයෙන් වැයෙයි. දෑස අගට ලොකු කඳුලු බිඳු දෙකක් උනා එයි.

කොහේදෝ ඈතකින් බටලී හඬක් ගලා එයි. සිත කාන්සියකින් පිරී යයි.

වයලීනයක තත් උච්ච ස්වරයකින් පිරිමදිනු ඇසෙයි. හදවත උල් නියපොතු වලින් සූරනවා වැනි වේදනාවක් දැනෙයි.

ගිටාරයක තත් හඬවන රිද්මයට බොන්ගෝ බෙරයක් වේග රිද්ම තාලයක් වයයි. නොදැනීම අපගේ දෙපා ඒ රිද්මය ලුහු බඳී, දෑත් එකට එකතු වී අත්පොලසන් නාද මවයි.

සංගීතයේ ආශ්චර්ය එයයි. කලාවේ ආශ්චර්ය එයයි.

අජිවී තතක්, ලීයක සවි වූ සත්ව හමක්, වියලුනු උණ ලී බටයක් තනිව මේ ආශ්චර්ය කෙසේ මැව්වාද?

නැත, එය එවැනි අජීවී වස්තූන්ගේ නිර්මාණයක් නොව ලේ මස් සමින් සෑදුනු සජීවී මිනිසෙක් ඒ අජීවී වස්තූන්ට ඔහුගේ හෝ ඇගේ සංවේදී හදවතේ රිද්මයෙන්, දෑතේ හුරුවෙන්, ජීව වායුවෙන් සජීවී බවක් අරෝපනය කලා පමනි.

ඔවුන්ව අපි කලා කරුවන් යැයි හඳුන්වන්නෙමු. අපේ හදවතේ සියුම් තැන් පිරිමැදීමේ කලාව දන්නේ ඔවුන්ය, සිනා වෙන්න නොදන්නවුන් මෙන් උදේ සිට රෑ වෙන තුරු ජීවිත හරඹයේ යෙදෙන ඒකාකාරී අප දිවියේ සිනා දොරගුළු හැර දෙන්නේ ඔවුන්ය, කඳුලු උල්පත් උපද්දවා දෙන්නේ ඔවුන්ය.

එවන් වූ විශ්ව කර්ම ප්‍රාතීහාර්යයන් මවන කලා කරුවෝ අතර හුදු කලාව පමනක් පිහිටා මනුසත්දම් නොපිහිටි උන්ද බොහෝය.

කලාවෙන් සංගීතයෙන් නොව ගිනි කන්දකින් උතුරා යන ලෝදියෙන් වත් මෙලෙක් කල නොහැකි නරුම හදවත් ඇත්තෝද මේ ලෝකයේ වෙති.

නමුදු වාසනාවකට අපට බොහෝ විට හමුවන්නේ අනෙකෙකුගේ දුකට හඬන්න උරහිස ලබා දෙන අයයි, කුසගින්නේ හඬන අයෙකුට පිහිට වන්න තමන්ගේ කුස පුරවා ගන්න තිබෙන තුට්ටු දෙක පූජා කල හැකි අයයි, ඉරුනු ඇඳුමක් ඇඳි අසරණයෙකුට තමන්ගේ ආසම ඇදුමක් වුව දන් දෙන්න හිතැති අයයි. අසරණ රෝගියෙකු සුවපත් කර ගැනීම වෙනුවෙන් බස් රියේ යාමට අතැති මුදල පුදදී පයින් යන්න තරම් කාරුණික අයයි.

භෞතික කිසිවක්ම කල නොහැකි නම් අඩු තරමේ කෙනෙක්ගේ දුකක් කරදරයක් ඉවසීමෙන් අසා සිටින්න තරම් වත් වූ විසල් හදවත් ඇත්තෝ ඔබ මා අසල නොවෙත්ද?
ටිකක් නැවතී අවට බලන්න. ඔබ අසල සිටින අනෙකාගේ නෙතේ ලෙංගතු හිනාව ඔබේ දුක් කරදර වලින් අඩක් නිමා කලා නොවේද? කාරුනික වචන සිතේ දුක් ගිනි නිව්වා නොවේද? මේ අවට හමා යන සුවඳ උතුම් මානුෂිකත්වයේ සුවඳ මිස වෙන කුමක්ද?

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

දිනෙන් දින ඉහල යන ජීවන වියදම හමුවේ ආදායම් විෂමතාවයේ පරතරය තව තවත් පුළුල් වෙද්දී, වැඩිවන ජීවන වියදමට සරිලන සේ ආදායම ඉහල නොයෑම "අපේ පූරුවේ කරුමේ" කියා සුපුරුදු දීන බවින් විඳ දරා ගැනීම අපේ ක්‍රමයයි.

හිස ගසා මරා දැමීම්, ඇඟපුරා කටු ගැසීම්, පුලුස්සා දමීම්, ඉහලමාලයෙන් තල්ලු කිරීම් ආදී භයානක පුවත් නිතර පුවත් පත්, රූපවාහිනී ආදී මාධ්‍යන්ගෙන් ප්‍රචාරය කරත්දීත් ගෘහ සේවිකාවන් ලෙස අපේ කාන්තාවන් අරාබියට එන්නේ ඇයි කියා ඔබ මොහොතක් වත් සිතා ඇත්ද?

වැලිකැට පවා පුපුරන ගිනිගහන කාස්ටකය, දූවිලි කුනාටු ආදිය ගැන දැනුවත් වීත් අපේ මේසන්වරු, වඩු කාර්මිකයන්, කම්කරුවන් මැදපෙරදිග ගොඩනැගිලි සහ මාර්ග ඉදිකිරීම් රැකියා සඳහා යාමට ඒජන්සි වල පෝලිම් ගැසී ඉන්නේ විනෝදෙට කියා ඔබ මොහොතකට වත් සිතුවාද?

සහෘදය,

කෑමට යමක් ඉල්ලා හඬන දරුවෙකුගේ කුසගින්න නිවන්න;

එකම පොතේ විෂයන් කීපයක සටහන් තබන ඉරුනු නිල ඇඳුමක් ඇඳන් පාසල් යන දරුවෙකුට සහෝදරයෙකුට අවුරුද්ද මුලදී පොත් ටික අරන් දෙන්න, නිල ඇඳුමක් මසා දෙන්න, කැන්ටිමෙන් මාලු පාන් ගෙඩියක් කන්න උදේම කීයක් හරි මිට මොලවන්න;

කුලී ගෙදරක සිට තමන්ගේම කියා පොල් අතු පැලක් හෝ අටවා ගන්න;

දන්න කියන දා සිට උදේ සිට රෑ වෙන තුරු දරුවන්ගේ කුසගින්න නිවන්න උවමනා එපාකම් පිරිමහන්න වෙහෙසුනු අම්ම තාත්තාට කෑමට බීමට බෙහෙත් හේත් වලට මාස් පතා මුදලක් යවන්න,

මේ එක කරුණක් හෝ කීපයක් ඉටුකර ගන්න ලැබෙනවා නම් හිස ගසා දමන්න, කටු ගසන්න, කාස්ටකේ වෙලෙන්න නොව මාරයගේ කටට පනින්න වුව නොපසුබට මවක්, පියෙක්, සහෝදරයෙක්, සහෝදරියක් සොයා ගැනීම අප ජීවත් වන සමාජයේ මහා කාරියක්ද?

එසේ තමන්ගේ අය වෙනුවෙන් මාරයාගේ මුවට නොව ඕනෑම නරකාදියකට වුව කමක් නැතැයි සිතුවා වුවත් මැදපෙරදිග එන අපගේ හදවත පිරී ඇත්තේ සුභ සිහින වලින් නොවේ යැයි අපට අපගේ හදවතට තට්ටු කර ඇසුවොත් නොකියාවිද?

හැකි ඉක්මනින් මුදල් සොයාගෙන කලින් හිටියාට වඩා යහපත් ජීවිතයක් මවුබිමේ හිතැත්තන් සමඟ ගත කරන්න හීන මවාගෙන අරාබිකරයට ආ අපිට අහම්බෙන් අසනීපයක් වී රෝහල් ගත වෙන්න සිදුවුනොත් එහි බිල ගෙවන්නේ කෙසේද, බොරු කාර ඒජන්සිකාරයෙකුට අසුවී කාන්තාරයේ අතරමං වෙන්න සිදු උනොත් ආපසු ලංකාවට යන්න ගුවන් ටිකට් පතක් ලබා ගන්නේ කෙසේද?

මෙතුවක් එක් එක් ශ්‍රී ලාංකික සංවිධාන එකතු වී එසේ අසරණ වූ අයට පිහිට වූවා නමුත් (අසා ඇති ආකාරයට බොහෝ ඉන්දියානු සංවිධාන පවා ශ්‍රී ලාංකික අපට නිතර පිහිට වී ඇත.) කිසියම් සංවිධානයක් සමබන්ධ කරගත නොහී අසරණ වූ අය කීදෙනෙක් නම් ඇත්ද?

ටික කලකට පෙර ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ හුවමාරුවී එක්සත් අරාබි එමීරයේ කාරුණිකයන්ගේ පිහිට ලැබූ ශීතකරණය උඩ තිබූ ඇසිඩ් බෝතලයක් ඔලුවට පපුවට වැටී රෝහලේ ගතව අසරණවූ සොයුරිය මෙහි වාසය කරන සියළුම දෙනාගේ ඇස් ඇරවූවාය.

ඇය ගැන සඳහන් වූ ගල්ෆ් නිවුස් පුවත් පතේ පලවූ එක් ලිපියක් මෙතනින් කියවන්න

අනෙක් ලිපිය මෙතනින් කියවන්න

එක් එක් ආගමික, වෘත්තීක, ක්‍රීඩ සමාජීය, සංස්කෘතික, විනෝදජනක, සුභ සාධක ආදී සංවිධාන රැසක් ක්‍රියාත්මක වූවා වුනත් ශ්‍රී ලාංකික අප වෙනුවෙන් ම සියළුම එක්සත් අරාබි එමීරයේ ශ්‍රී ලාංකික අප එකතුවී කිසියම් සුභ සාධක සංවිධානයක් පිහිටුවා ගත යුතු බව අපට ඇහැට ඇඟිල්ලෙන් ඇන කීවාසේ දැනුම් දුන්නේ ඇයයි.

එතැන් සිට මෙහි ඇති එක් එක් සංවිධාන විසි ගනනක අය නිතර මුන ගැසී සාකච්චා කොට ඉතා ඉහල සංවිධානාත්මක භාවයක් රඳවා ගනිමින් පිහිටුවා ගත් සංවිධානය "සහන" සංවිධානයයි. (Sri Lankan Welfare Association in the UAE)

Sahana Logo (1)

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

අජීවී සංගීත භාණ්ඩ වලට සජීවීත්වය එක් කරන සංවේදී පුද්ගලයෝ  කලාකාරයෝ ලෙස අප හඳුන්වන බව ලිපියේ මුල්දී මම කිවෙමි. කලාව පමනක් පිහිටුවා සංවේදී බව නොපිහිටි ඊනියා කලා කාරයෝ කියා කියා ගන්නා අයද ඇති බව කීවෙමි.

සහන සංවිධානයට අරමුදල් රැස් කිරීම සඳහා සංගීත සැඳෑවක් සංවිධානය කිරීමේ අදහස මතු වූ අවස්ථාවේ අපට නියම කලා කාරයින් සහ ඊනියා කලාකාරයින් යැයි, කියා ගන්නා අයගේ වෙනස අඳුනා ගන්න හැකි වූ බව සඳහන් කරන්නේ එවන් වූ අය ගැන උපන් කලකිරීමෙනි.

සහන සංවිධානයේ ක්‍රියාකාරීන් විසින් මහා ඉහලින් අදහන බොහෝ කලාකරුවන්ට සංවිධානයේ අරමුන පැහැදිලිකොට සංගීත ප්‍රසංගයක් ගැන ඉල්ලීම් කල විට අපට ඔවුන්ගෙන් ලැබී තිබුනු පිලිතුරු වී ඇත්තේ "හොඳ අදහස . . ප්‍රසංගයක් සංවිධානය කරන්න. අපේ මිල මේකයි . .!"

මිල මුදල් ඔවුන්ගේ සංවේදීතාවය බිලි ගත්තාද? මිල මුදල් විසින් ඔවුන්ගේ සංවේදීතාවය, හර්ද්‍යාංගම බව උකසට ගත්තාද දන්නේ ඔවුන්ගේ හර්ද්‍ය සාක්ෂිය පමනි.

මිල මුදලට ආත්මය බිලිදුන් කලාකරුවන් අතර නීලා වික්‍රමසිංහ මහත්මිය සැබෑ සංවේදී කලාකාරියකි.
මුදලට ගී ගැයිය හැකි ලංකාවේ ප්‍රසංගයක් ඇති බැවින් "සහන" සංවිදානයේ ප්‍රසංගය සතියකට හෝ පමා කල හැකි දැයි ඇය අසා ඇත.

ශ්‍රවනාගාරය වෙන් කරවා ගැනීමේ අපහසුවක් ඇති බැවින් පමා කල නොහැකි බව දැනුම් දුන් විට ඈ එසේ ඇගේ ජන්ම හැකියාව වූ ගී ගැයීමෙන් මුදල් උපයන්න තිබූ අවස්තාව අතහැර කාන්තාරයේ දුක් විඳින අප වෙනුවෙන් මුදල් රැස් කරන ප්‍රසංගයට ගී ගයන්න පැමිනෙන්නේ මිල මුදල් වලට වඩා මානුෂිකත්වය කෙරෙහි ගරු සරුවක්, තෙතමනයක් ඇගේ විසල් හදවතේ තිබෙන නිසා නොවේද?

ඩිරාහ්ම්ස් දෙදාහක් (Rs. 70,000/-)  වැනි මුදලක් ගෙවීමේ හැකියාවක් සංවිධානය සතුව ඇතැයි සංවිධායකයින් ඇයට පවසා ඇත.

ඇයගේ පිලිතුර වී ඇත්තේ "බොහෝම ස්තූතියි, ඒ මුදලත් සංවිධානයේ මූල්‍ය ස්තාවරත්වය වැඩි කරගන්න අරමුදලටම යොදවන්න. කිසිම මුදලක්  මට එපා. ඔබලා ගේ උදාර කාර්ය වෙනුවෙන් මා සතුටින් නොමිලේ ගී ගයන්නම්" කියායි.

විස්වාස කරනවාද? ඒ බව ඇසූ වෙලේ ඇයගේ උතුම් මානුෂිකත්වය මගේ නෙතට කඳුලක් ගෙනා බව.

ඉතිං සහෘදය ඈ අප වෙනුවෙන් සතුටින් ගයන්නී . . . අප මුදල් දී ටිකට් පතක් ගෙන ඒ ගී අසා අප වෙනුවෙන් ඇය වෙහෙසන කාරිය උත්කෘෂ්ඨත්වයට පත් කරමු.

Master Sir_15022013

දයබර සොයුර, සොයුරිය, 2013 පෙබරවාරි මස 15 වෙනි සිකුරාදා සවස 7.30ය ඩුබායි හි රශීඩ් රෝහලේ වෛද්‍ය පුස්ථකාලයේ ශ්‍රවනාගාරයේදී නීලා වික්‍රමසිංහ මහත්මියගේ "මාස්ටර් සර්" ප්‍රසංගය නරඹන්න ඔබ සියළු දෙනාම පැමිනෙන්න.

වැලිකතරේ සේවය කරන අප අහම්බයෙන් හෝ අසරණ උනොත් පිටක් ලබා දෙන්න සංවිධානය වූ සහන සංවිධානයේ සාමාජිකයෙක් වෙන්න.

ඔවුන්ට සවියක් වන්න.

ඔබටයි මේ සුහද ආරාධනය . .. !

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

නීලාගේ සුවිසල් ගීත එකතුව අතුරින් මගේ ප්‍රියතම ගීත දෙකයි මේ



වියෝ ගී ගැයෙනා හදේ . . .
වියෝ ගී ගැයෙනා හදේ . . .
ආදර මල් නොමියේ. . . .
සදා මේ සංසාරයේ . . .
අපේ හමුවීම නොවේ . . . .

අතීතයේ මායා රූ කැඩී බිඳී යාවී . . . . .
අනාථ වූ මා දෑසේ කතා නිමා වේවී. . .
මගේ කඳුලු හංගා මා සිනා සිසී ඉන්නේ . . .
ඔබේ ලොවේ හිරු පායා සදා සිනාසේවා. . .

වියෝ ගී ගැයෙනා හදේ . . . .

අනාගතේ සිහිනේ නෑ මෙදා සැබෑ වෙන්නේ . . .
මිලාන වූ ආකාසේ  අපේ පැතුම් පාවේ . . . .
මගේ පැලේ තනිවී මා සුසුම් හෙලන වේලේ . . .
ඔබේ ලොවේ හිරු පායා සදා සිනාසේවා . . . .

වියෝ ගී ගැයෙනා හදේ . . .
ආදර මල් නොමියේ. . . .
සදා මේ සංසාරයේ . . .
අපේ හමුවීම නොවේ . . . .


බෝධියේ විහාරයේ පිදූ පියුම් වැනි වූ
බාලිකා ලොව මැළවුනදා මුළු ලොවටම රෑ වෙනවා

ජීවිතේ පියාඹමින් සිනාසිසී හිඳිනා
ඒ සිනා මා බොළඳ නෙතේ උනු කඳුළක් කරනු එපා

මල් පොහොට්ටු මා හදේ සුරංගනා පොකුණේ
මල් වරම් ලැබ පිපෙන තුරා ඔබ නටුවෙන් මිදෙනු එපා

බෝධියේ විහාරයේ . . ..

29 comments:

  1. තාමත් මුදල් අංක එක කර නොගත්ත අය කොච්චර ඉන්නවද නේද

    ReplyDelete
  2. ඇය වගේ සංවේදි කෙනෙක් මේ කලා ලෝකයේ නෑ මම හිතන්නේ.. ඇයට අප ගෞරව කළ යුතුයි.. ඇත්තටම කව්රුවත් එහෙම කරන්නෑ දුකා.. විස්වාස කරන්නත් අමාරුයි...

    ReplyDelete
  3. ඇය ගැන නොදන්නා දෙයක් කියන්නද ? ඇය ඉතාමත් වේගයෙන් රිය පදවන්නියක්.

    ReplyDelete
  4. ඉස්කෝලේ යන කාලේ සිංහල සාහිත්‍ය උළෙලට නොවරදාවම එනවා. ඒ තරම් නිහතමානී උතුම් කාන්තාවක්.. ගීත වල රහ ගැන කියන්න දෙයක් නෑනේ ගොයියෝ... මාස්ටර් සර් නියම හැඟීම එන්නේ නීලා කියන කොට විතරයි....

    ReplyDelete
  5. උඹ නෝට් කරලා තියෙනවද ලංකාවේ ගායක ගායිකාවො ගැන සඳහන් කරනකොට එක්තරා කාණ්ඩයකට විතරක් මහත්මයා හෝ මහත්මිය නම අගට යොදනවා. ඔය සින්දු ගියන මහත්ම මහත්මීන්ගෙන් කීදෙනෙක් එහෙම කියාගන්න සුදුසුද කියන එක ඔය සිද්ධියෙන් අපට දැනගන්න උඹ නම් ලැයිස්තුවක් හෙම දාන්න අදහසක් නැතුව ඇති නේද?

    ReplyDelete
  6. දුකා, 'සහන'ට වෙනත් විදියකින් උදවු කරන්න ක්‍රමයක් තියෙනවාද?

    ReplyDelete
  7. ඇහැට කඳුළු ගෙනෙන කතාවක්..! නීලාට මල් මිටක්....!!!!!!!!!

    ReplyDelete
  8. මේ උපහාරය නීලට හා වැලිකතරේ දුක් විඳින්නන් වෙනුවෙන් යමක් කිරීමට සිත් වූ ඔබටයි. මුදලට වඩා මනුසත් කම උතුම් බව සලකූ නීලා ඔබට නිරෝගී සුව හා දීර්ගායුෂ ලැබේව.

    ReplyDelete
  9. දුකා මාරම සංවේදි පෝස්ටුවක්... නීලා වික්‍රමසිංහ ගැනත් පුදුම පැහැදීමක් ඇතිවුනේ...ඔබලාගේ සද් කාර්යය අති සාර්ථක වේවා..
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
  10. බොහොමත්ම ස්තූතියි දුකා..... ගොඩක්ම සංවේදී විදිහට ලියපු මේ උපහාරය ඇයට පුදන මල් මිටක්ම වෙයි...!

    නීලා වික්‍රමසින්හ මහත්මිය වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම ඉතාම නිහතමානි සොඳුරු චරිතයක් විතරක් නෙමෙයි ආත්ම ශක්තියෙන් ජීවිතය ජයගත් කාන්තාවක්. බාල කාලයේ සිටම පාදයක් අක්‍රීය කරමින් ඈ හට වැලඳුන පෝලියෝ රෝගය පමණක් නොව, මෑතකදී ඇයව වෙලාගත් පිළිකා රකුසාටත් ඇය මුහුණ දුන්නේ ඒ ආත්ම ශක්තිය නිසා. මට මතක ඇති කාලේ පටන්ම දණ දක්වාම පිහිටා තිබූ ඉතාමත් අලංකාර වූ ඇයගේ දිගු නීල කෙස් වැටිය ඈ හට අහිමු වූවේ පිළිකා රෝගය සඳහා 'කීමෝ තෙරපි' ප්‍රථිකාරය කිරීම නිසාවෙන්.

    ඇය හැම විටම ආධුනිකයන්ට අත දුන්නියක්. සමහර ගායක ගායිකාවන් මෙවැනි ප්‍රසංගයන්ට විදේශ ගත වනවිට සැම විටම වාදනය සැපයීම සඳහා ලංකාවෙන්ම රැගෙන එන ප්‍රවීන වාදක මණ්ඩලයක්ම ඉල්ලා සංවිධායකයන්ට හිසරදයක් වන විට, කිසිම කොන්දේසියක් නොමැතිව, ආධුනික වාදකයන් සමග වුවත් තම ප්‍රසංගය ඉදිරිපත් කිරීමට නීලා කැමති වූවා. එයින් නොනැවතී ඇය මෙහි වෙසෙන ආධුනික ගායකයන්ටද අත දෙමින් ඔවුන් සමග යුග ගීත කීපයක්ම මීට අවුරුදු කීපයකට කලින් පැවැත්වූ ප්‍රසංගයේදී ගායනා කලා.

    නීලා වික්‍රමසිංහයන් වැනි සොඳුරු, නිහතමානී වචනයේ පරිසමාර්ථයෙන්ම ජනතාවාදී කළා කරුවන් තව තවත් බිහි වේවා.

    එසේම ඇයට නිදුක් නිරෝගී දීඝායු ලැබේවා....!

    ReplyDelete
  11. මේ වගේම සංවේදී වුන කලාකාරයෙක් තමයි ගුණදාස කපුගේ. මට මතකයි මහරගම හිටපු එතුමාගේ දන්නා හඳුනන කෙනෙකුගේ හදවත් සැත්කමකට සල්ලි හොයලා දෙන්න තනියම ෂෝ එකක් කළා. සම්පූර්ණ මුදලම ඒ මහත්මයා අතට දුන්නා.

    ReplyDelete
  12. ගිය අවුරුද්දේ තුන් වෙනි මාසේ මමත් නීලා ගැන ලිව්වා... මට මතකයි අයියත් ඒකට කමෙන්ට් කරලා තිබුනා.. ඒකේ තිබ්බට වැඩි දෙයක් ඔයා කියලා තියෙනවා..

    ReplyDelete
  13. දුකා අයියා හිතට දැනෙන්න මේ ලියමන ලියලා තියෙනවා...ලංකාවේ ඊනියා කලාකරුවො ගැන නම් මම සෑහෙන කාලෙක ඉදන් දන්නවා... මස් රාත්තලම ඉල්ලන ෂයිලොක්ලා තමා වැඩිපුර ඉන්නෙ... රූපවාහිනිය ඉස්සරහා බොහොම සුහද විදියට දත් විලිස්සලා හිනා වෙන මේ ඇත්තො රසිකත්වය කියන දේ තුට්ටුවකට වත් මායිම් නොකර තමන්ගෙ අයකිරීම් ඉදිරිපත් කරන්නෙ හරියටම පොලී මුදලාලිලා වගේ...මම හිතන විදියට මේ ගැලරියෙ ඉදලා අත්පුඩි ගහන රසිකයො මිළදී ගත්ත කැසට් පටයෙන්, සීඩී තැටිය නිසා තමයි ඒ අය අද මෙතැන ඉන්නෙ...අන්න ඒ මතකයට, මනුෂ්‍යත්වයට ගරු කරපු නීලා මැතිණියට මගේ සුභ පැතුම් එක් කරන්න කැමතියි...ඇගේ ගීතාවලියෙන් මම කැමතිම ගීතය “පාරමී දම් පුරමු අප දෙදෙනා“ දුකා අයියට හැකියාවක් තියෙනවා නම් මේ කියන ප්‍ර‍සංගයේ ඇය මේ ගීතය ගායනා කරන අවස්ථාව වීඩියෝ මාධ්‍යයෙන් ලබාදෙන්න කටයුතු කරන්න...

    ඔබ ඇතුලු මනුෂ්‍යත්වයට වටිනාකමක් දෙන්නට කැසකවන සියලුම රත්තරං හදවත් වලට ආයුබෝවන් කියන ගමන් මේ ප්‍ර‍සංගය හැම අතින්ම සාර්ථක වෙන්නට පතමි. ජය !

    ReplyDelete
  14. ලියැවිල්ල කියෙව්වාම ටිකට් එකක් අරං බලන්න එන්න ම හිතුණ. එකක් නීලාට අප්පුඩියක් ගහන්න. දෙක උඹලාගේ අඩිතාලමට කීයක් හරි දෙන්න. ඒත් ටිකට් එකක්වත් අරං බලන්න එන්න විදිහක්වත් නෑනෙ...

    මම මගේ පැනෝරාමා පින්තූර ටිකක් දෙන්නං පුලුවන්නම් සල්ලිවලට විකුණගෙන, ඒ මුදල ඔබේ සහන සේවයේ අරමුදලට එකතු කර ගන්න.

    ReplyDelete
  15. ඔව් මේ සිරා කිව්වත් වගේ අප්‍රමාණ මනුස්ස කමක් TV එක
    ඉස්සරහ පෙන්නනවා විතරයි 98 % විතරම කලා කරුවෝ
    කියන පිරිස.හිත් වල හොදටම ඉරිසියාව , කුහක කම තියෙන්නේ
    ඔය පිරිසගේ ..

    ඒ අතර හොද කෙනෙක් දෙන්නෙක් ඉන්නවා මේ වගේ..ගොඩක්
    ස්තූතියි මේ වචන වලට දුකා...

    ReplyDelete
  16. නීලා සොයුරියට මගෙනුත් මල් මිටක්....

    ReplyDelete
  17. අපොයි සමහර කලාකාරයො කියන පොරවල්ගේ හැටි හොඳට දැනගන්ඩ පුළුවං උනා අපේ ෆැකල්ටියේ ලෑස්ති කරපු සංගීත වැඩසටහන් නිසා.නීලා වික්‍රමසිංහට මගේ ප්‍රණාමය.කොහෙද බලන්ඩ එන්ඩ විදිහක් නෑනේ.

    ReplyDelete
  18. වියෝ ගී ගැයෙනා හදේ . . .
    ආදර මල් නොමියේ. . . .
    සදා මේ සංසාරයේ . . .
    අපේ හමුවීම නොවේ . . . .

    මේක මම හැමදාම අහන ආසම සින්දු වලින් එකක්...

    ReplyDelete
  19. ඇය මීට කලින් ලංකාවෙත් මේවගේ ප්‍රසංගයක් පැවැත්තුවා ඒකෙ නම් ටිකට් වලට නෙමෙයි.. අපේ ආධාර අනුව තමයි බලන්න ලැබුනේ ඒත් දැනගත්දි පරක්කුයි...
    අනිවර්යෙන්ම මේකට එනවා අය්යේ... කට්ටිය එකතු කරගෙන එන්නම්... වැඩ වලට උදව්වක් ඕනි නම් කියන්න.... ටිකට්ගන්නෙ කොහොමද මේ නොම්බර වලට කතා කරොත් හරිද?

    ReplyDelete
  20. නීලාට මගේ උත්තමාචාරය...මේ වගේ වැඩ අපටත් වෙලා තියෙනවා.. අපේ ළමා සංවිධානයේ අනුශාසක සම්මේලනය පැවැත්වෙන්නෙ හැම වසරකම අප්රේේල් මාසෙ. එක් වරක් අපි ආරාධනා කළා කරුණාදාස සපුතන්ත්රීැට සහ එතුමාගේ ගී වැඩි වශයනේ ගායනා කළ තවත් ගායකයකුට. නමුත් ඔහුගේ පිළිතුර වී තිබුණේ අප්රේ්ල් මාසෙ වැඩිපුර සංගීත සන්දර්ශන තියෙන නිසා මුදලක් හම්බ කර ගන්න ලැබෙන අවස්ථාව මග හැර ගන්න බැරි බවයි...
    එවර සම්මේලනයට පැමිණියේ සපූ සමග දීපිකා ප්රිශයදර්ශනී පීරිස්... සම්මේලනයට ආරාධිත දේශන සහ වැඩසටහන්වලට ආරාධනා කරන අයට අපට මහා මුදලක් ගෙවන්නට හැකියාවක් නැහැ. නමුත් ඒ බව නොසලකා රාවයේ භාෂණ, නිලාර් කාසිම්, සුනේත්රාන රාජකරුණානායක, සිබිල් වෙත්තසිංහ, සුනිල් විජේසිරිවර්ධන වැනි කලාකරුවන් අප සමග එක් වී තිබෙනවා.. මුදලට වඩා මනුස්සකම සහ ළමුන් වෙනුවෙන් කරන සේවය අගය කරමින්....
    අයිරාගනී සේරසිංහ, ජයලත් මනෝරත්න නිහතමානීව එකග වූ අවස්ථා තිබුණා. නමුත් ගෙන්වන්න ඉඩක් ලැබුණෙ නැහැ. ඔවුන්ගේ කතා බහ අප දිරි ගන්වන සුළුයි...මේ සටහන කියවද්දි මට ඒ සියලුම කරුණු මතක් උණා..
    ඇත්තටම මෙය ඉතා අගය කළ යුතු වැඩක්..

    ReplyDelete
  21. නීලා වික්‍රමසිංහ මහත්මියගේ ගේ මනුෂ්‍යත්වයට ආචාර කරමු. ඇයට නිදුක් නිරෝගී සුවය පතමු ..!

    ReplyDelete
  22. සරලව කිවොත් ඇය සුන්දරයි.. හඩ තාම තරුණයි..

    ReplyDelete
  23. සංවේදී කතාවක් දුකා
    ආතල් ගන්න මැද පෙරදිග ටුවර් නොයන ඈයො වෙනුවෙන් උඹලා කරන වැඩේ අගය කරනවා.
    වෙස් මූණු ගැළවිච්ච "කලාකාරයො " එක්කලම වෙස් මූණු නොදාන කලාකාරයොත් අඳුරගන්න ලැබිච්ච එකත් හොඳයි නේද..
    අන්තිමට මේ කාර්යය සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා !
    ජයවේවා !

    ReplyDelete
  24. නීලා ගේ අළුී් කොණ්ඩා මෝස්තරයට මං කැමතියි.

    සහන ව්‍යාපෘතියට ජයවේවා!

    ReplyDelete
  25. නීලා වික්‍රමසිංහ නම්වූ කලාකාරිණිය වචනයේ පරිසමාප්තියෙන්ම ඉතාම නිරහංකාරී කලාවට අපමනව ආදරය කරනා කලාකාරියක්. ඈ මේ ගමන ආවේ බොහෝ කටු කොහොල් මැඳින්. පිළියන්දල ඉන්නා කාලේ පටන්ම ඈ ගැන දන්නවා. බොහෝ අතීත මතකයනුත් ඈ ගැන තියෙනවා. මේ සොඳුරු කලා කාරියගේ ආසම ගීතනම් පාරමී දම් පුරමු අපි දෙදෙනා........... දස්කොන් සකි සඳ...... පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ...... .
    දිනක් ඈ ගෙයක් බලන්නට අපේ ගේ ළඟට ආවා. අපේ පොඩි පුතා ඒ දිනවල ඇහැලග තුවාලයක් කරන් හිටියේ. පුතාව වඩාගෙන ගොඩක් වෙලා ඈ මා හා කතාකරමින් උන්නා. ඒ තුවලෙ අපේ බල්ලා ඇහැ ලග හපාකාලා උනේ. ඒ වෙලවෙ ඈ හරිම නිරහංකාර ලෙස මා හා දොඩමින් පුතාව සැනසුවා. පුදුම ගෞරවයක් මට ඈ ගැන ඇති උනේ.
    ඇයට නිදුක් නීරෝගී දීර්ඝායුෂ පතන ගමන් දුකා ඔබලාගේ මේ සත්කාර්යයත් ඉතාම සාර්ථක වේවා කියා පතනවා. දුකා, පුළුවන් නම් අබුඩාබියේ දහම් පාසැලේ බන්දුල මෙන්ඩිස් අයියාටත් මතක් කිරීමක් කරන්න මල්ලී.

    ReplyDelete
  26. කොහොමත් කලාකාරයෙක්ගෙං වෙන්න ඕනේ ඕක තමා..
    දේෂපාලනය නෙමේ..
    ඒ දේ වටහාගත්තු නීලා වික්‍රමසිංහ මහත්මියට මාගේ උපහාරය!!!!!!!!!!!!!

    ReplyDelete
  27. අහන්නත සතුටුයි තවමත් මෙවැනි අය සිටින බව..

    ReplyDelete
  28. නීලා වික්‍රමසිංහ ඒක පුද්ගලික ප්‍රසංගයක් මමත් බැලුවා...ඒ වගේම එයාගේ පුදුම නිහතමානිකමක් තියෙන්නේ

    ReplyDelete
  29. ඒ කාලේ කලාකරුවන්ට කලාව වගේම මනුස්ස කමත් තිබුනා. අද ඉන්න එවුන් මුදලට විතරයි කලාව නෑ. ඒ හින්දා නිලා වගේ අයගේ කලාව එදා වගේම අදත් වටිනවා

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails