සිතාරයක තතක් ශෝකී ස්වරයෙන් වැයෙයි. දෑස අගට ලොකු කඳුලු බිඳු දෙකක් උනා එයි.
කොහේදෝ ඈතකින් බටලී හඬක් ගලා එයි. සිත කාන්සියකින් පිරී යයි.
වයලීනයක තත් උච්ච ස්වරයකින් පිරිමදිනු ඇසෙයි. හදවත උල් නියපොතු වලින් සූරනවා වැනි වේදනාවක් දැනෙයි.
ගිටාරයක තත් හඬවන රිද්මයට බොන්ගෝ බෙරයක් වේග රිද්ම තාලයක් වයයි. නොදැනීම අපගේ දෙපා ඒ රිද්මය ලුහු බඳී, දෑත් එකට එකතු වී අත්පොලසන් නාද මවයි.
සංගීතයේ ආශ්චර්ය එයයි. කලාවේ ආශ්චර්ය එයයි.
අජිවී තතක්, ලීයක සවි වූ සත්ව හමක්, වියලුනු උණ ලී බටයක් තනිව මේ ආශ්චර්ය කෙසේ මැව්වාද?
නැත, එය එවැනි අජීවී වස්තූන්ගේ නිර්මාණයක් නොව ලේ මස් සමින් සෑදුනු සජීවී මිනිසෙක් ඒ අජීවී වස්තූන්ට ඔහුගේ හෝ ඇගේ සංවේදී හදවතේ රිද්මයෙන්, දෑතේ හුරුවෙන්, ජීව වායුවෙන් සජීවී බවක් අරෝපනය කලා පමනි.
ඔවුන්ව අපි කලා කරුවන් යැයි හඳුන්වන්නෙමු. අපේ හදවතේ සියුම් තැන් පිරිමැදීමේ කලාව දන්නේ ඔවුන්ය, සිනා වෙන්න නොදන්නවුන් මෙන් උදේ සිට රෑ වෙන තුරු ජීවිත හරඹයේ යෙදෙන ඒකාකාරී අප දිවියේ සිනා දොරගුළු හැර දෙන්නේ ඔවුන්ය, කඳුලු උල්පත් උපද්දවා දෙන්නේ ඔවුන්ය.
එවන් වූ විශ්ව කර්ම ප්‍රාතීහාර්යයන් මවන කලා කරුවෝ අතර හුදු කලාව පමනක් පිහිටා මනුසත්දම් නොපිහිටි උන්ද බොහෝය.
කලාවෙන් සංගීතයෙන් නොව ගිනි කන්දකින් උතුරා යන ලෝදියෙන් වත් මෙලෙක් කල නොහැකි නරුම හදවත් ඇත්තෝද මේ ලෝකයේ වෙති.
නමුදු වාසනාවකට අපට බොහෝ විට හමුවන්නේ අනෙකෙකුගේ දුකට හඬන්න උරහිස ලබා දෙන අයයි, කුසගින්නේ හඬන අයෙකුට පිහිට වන්න තමන්ගේ කුස පුරවා ගන්න තිබෙන තුට්ටු දෙක පූජා කල හැකි අයයි, ඉරුනු ඇඳුමක් ඇඳි අසරණයෙකුට තමන්ගේ ආසම ඇදුමක් වුව දන් දෙන්න හිතැති අයයි. අසරණ රෝගියෙකු සුවපත් කර ගැනීම වෙනුවෙන් බස් රියේ යාමට අතැති මුදල පුදදී පයින් යන්න තරම් කාරුණික අයයි.
භෞතික කිසිවක්ම කල නොහැකි නම් අඩු තරමේ කෙනෙක්ගේ දුකක් කරදරයක් ඉවසීමෙන් අසා සිටින්න තරම් වත් වූ විසල් හදවත් ඇත්තෝ ඔබ මා අසල නොවෙත්ද?
ටිකක් නැවතී අවට බලන්න. ඔබ අසල සිටින අනෙකාගේ නෙතේ ලෙංගතු හිනාව ඔබේ දුක් කරදර වලින් අඩක් නිමා කලා නොවේද? කාරුනික වචන සිතේ දුක් ගිනි නිව්වා නොවේද? මේ අවට හමා යන සුවඳ උතුම් මානුෂිකත්වයේ සුවඳ මිස වෙන කුමක්ද?
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
දිනෙන් දින ඉහල යන ජීවන වියදම හමුවේ ආදායම් විෂමතාවයේ පරතරය තව තවත් පුළුල් වෙද්දී, වැඩිවන ජීවන වියදමට සරිලන සේ ආදායම ඉහල නොයෑම "අපේ පූරුවේ කරුමේ" කියා සුපුරුදු දීන බවින් විඳ දරා ගැනීම අපේ ක්‍රමයයි.
හිස ගසා මරා දැමීම්, ඇඟපුරා කටු ගැසීම්, පුලුස්සා දමීම්, ඉහලමාලයෙන් තල්ලු කිරීම් ආදී භයානක පුවත් නිතර පුවත් පත්, රූපවාහිනී ආදී මාධ්‍යන්ගෙන් ප්‍රචාරය කරත්දීත් ගෘහ සේවිකාවන් ලෙස අපේ කාන්තාවන් අරාබියට එන්නේ ඇයි කියා ඔබ මොහොතක් වත් සිතා ඇත්ද?
වැලිකැට පවා පුපුරන ගිනිගහන කාස්ටකය, දූවිලි කුනාටු ආදිය ගැන දැනුවත් වීත් අපේ මේසන්වරු, වඩු කාර්මිකයන්, කම්කරුවන් මැදපෙරදිග ගොඩනැගිලි සහ මාර්ග ඉදිකිරීම් රැකියා සඳහා යාමට ඒජන්සි වල පෝලිම් ගැසී ඉන්නේ විනෝදෙට කියා ඔබ මොහොතකට වත් සිතුවාද?
සහෘදය,
කෑමට යමක් ඉල්ලා හඬන දරුවෙකුගේ කුසගින්න නිවන්න;
එකම පොතේ විෂයන් කීපයක සටහන් තබන ඉරුනු නිල ඇඳුමක් ඇඳන් පාසල් යන දරුවෙකුට සහෝදරයෙකුට අවුරුද්ද මුලදී පොත් ටික අරන් දෙන්න, නිල ඇඳුමක් මසා දෙන්න, කැන්ටිමෙන් මාලු පාන් ගෙඩියක් කන්න උදේම කීයක් හරි මිට මොලවන්න;
කුලී ගෙදරක සිට තමන්ගේම කියා පොල් අතු පැලක් හෝ අටවා ගන්න;
දන්න කියන දා සිට උදේ සිට රෑ වෙන තුරු දරුවන්ගේ කුසගින්න නිවන්න උවමනා එපාකම් පිරිමහන්න වෙහෙසුනු අම්ම තාත්තාට කෑමට බීමට බෙහෙත් හේත් වලට මාස් පතා මුදලක් යවන්න,
මේ එක කරුණක් හෝ කීපයක් ඉටුකර ගන්න ලැබෙනවා නම් හිස ගසා දමන්න, කටු ගසන්න, කාස්ටකේ වෙලෙන්න නොව මාරයගේ කටට පනින්න වුව නොපසුබට මවක්, පියෙක්, සහෝදරයෙක්, සහෝදරියක් සොයා ගැනීම අප ජීවත් වන සමාජයේ මහා කාරියක්ද?
එසේ තමන්ගේ අය වෙනුවෙන් මාරයාගේ මුවට නොව ඕනෑම නරකාදියකට වුව කමක් නැතැයි සිතුවා වුවත් මැදපෙරදිග එන අපගේ හදවත පිරී ඇත්තේ සුභ සිහින වලින් නොවේ යැයි අපට අපගේ හදවතට තට්ටු කර ඇසුවොත් නොකියාවිද?
හැකි ඉක්මනින් මුදල් සොයාගෙන කලින් හිටියාට වඩා යහපත් ජීවිතයක් මවුබිමේ හිතැත්තන් සමඟ ගත කරන්න හීන මවාගෙන අරාබිකරයට ආ අපිට අහම්බෙන් අසනීපයක් වී රෝහල් ගත වෙන්න සිදුවුනොත් එහි බිල ගෙවන්නේ කෙසේද, බොරු කාර ඒජන්සිකාරයෙකුට අසුවී කාන්තාරයේ අතරමං වෙන්න සිදු උනොත් ආපසු ලංකාවට යන්න ගුවන් ටිකට් පතක් ලබා ගන්නේ කෙසේද?
මෙතුවක් එක් එක් ශ්‍රී ලාංකික සංවිධාන එකතු වී එසේ අසරණ වූ අයට පිහිට වූවා නමුත් (අසා ඇති ආකාරයට බොහෝ ඉන්දියානු සංවිධාන පවා ශ්‍රී ලාංකික අපට නිතර පිහිට වී ඇත.) කිසියම් සංවිධානයක් සමබන්ධ කරගත නොහී අසරණ වූ අය කීදෙනෙක් නම් ඇත්ද?
ටික කලකට පෙර ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ හුවමාරුවී එක්සත් අරාබි එමීරයේ කාරුණිකයන්ගේ පිහිට ලැබූ ශීතකරණය උඩ තිබූ ඇසිඩ් බෝතලයක් ඔලුවට පපුවට වැටී රෝහලේ ගතව අසරණවූ සොයුරිය මෙහි වාසය කරන සියළුම දෙනාගේ ඇස් ඇරවූවාය.
ඇය ගැන සඳහන් වූ ගල්ෆ් නිවුස් පුවත් පතේ පලවූ එක් ලිපියක්
මෙතනින් කියවන්න
අනෙක් ලිපිය
මෙතනින් කියවන්න
එක් එක් ආගමික, වෘත්තීක, ක්‍රීඩ සමාජීය, සංස්කෘතික, විනෝදජනක, සුභ සාධක ආදී සංවිධාන රැසක් ක්‍රියාත්මක වූවා වුනත් ශ්‍රී ලාංකික අප වෙනුවෙන් ම සියළුම එක්සත් අරාබි එමීරයේ ශ්‍රී ලාංකික අප එකතුවී කිසියම් සුභ සාධක සංවිධානයක් පිහිටුවා ගත යුතු බව අපට ඇහැට ඇඟිල්ලෙන් ඇන කීවාසේ දැනුම් දුන්නේ ඇයයි.
එතැන් සිට මෙහි ඇති එක් එක් සංවිධාන විසි ගනනක අය නිතර මුන ගැසී සාකච්චා කොට ඉතා ඉහල සංවිධානාත්මක භාවයක් රඳවා ගනිමින් පිහිටුවා ගත් සංවිධානය "සහන" සංවිධානයයි. (Sri Lankan Welfare Association in the UAE)
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
අජීවී සංගීත භාණ්ඩ වලට සජීවීත්වය එක් කරන සංවේදී පුද්ගලයෝ කලාකාරයෝ ලෙස අප හඳුන්වන බව ලිපියේ මුල්දී මම කිවෙමි. කලාව පමනක් පිහිටුවා සංවේදී බව නොපිහිටි ඊනියා කලා කාරයෝ කියා කියා ගන්නා අයද ඇති බව කීවෙමි.
සහන සංවිධානයට අරමුදල් රැස් කිරීම සඳහා සංගීත සැඳෑවක් සංවිධානය කිරීමේ අදහස මතු වූ අවස්ථාවේ අපට නියම කලා කාරයින් සහ ඊනියා කලාකාරයින් යැයි, කියා ගන්නා අයගේ වෙනස අඳුනා ගන්න හැකි වූ බව සඳහන් කරන්නේ එවන් වූ අය ගැන උපන් කලකිරීමෙනි.
සහන සංවිධානයේ ක්‍රියාකාරීන් විසින් මහා ඉහලින් අදහන බොහෝ කලාකරුවන්ට සංවිධානයේ අරමුන පැහැදිලිකොට සංගීත ප්‍රසංගයක් ගැන ඉල්ලීම් කල විට අපට ඔවුන්ගෙන් ලැබී තිබුනු පිලිතුරු වී ඇත්තේ "හොඳ අදහස . . ප්‍රසංගයක් සංවිධානය කරන්න. අපේ මිල මේකයි . .!"
මිල මුදල් ඔවුන්ගේ සංවේදීතාවය බිලි ගත්තාද? මිල මුදල් විසින් ඔවුන්ගේ සංවේදීතාවය, හර්ද්‍යාංගම බව උකසට ගත්තාද දන්නේ ඔවුන්ගේ හර්ද්‍ය සාක්ෂිය පමනි.
මිල මුදලට ආත්මය බිලිදුන් කලාකරුවන් අතර නීලා වික්‍රමසිංහ මහත්මිය සැබෑ සංවේදී කලාකාරියකි.
මුදලට ගී ගැයිය හැකි ලංකාවේ ප්‍රසංගයක් ඇති බැවින් "සහන" සංවිදානයේ ප්‍රසංගය සතියකට හෝ පමා කල හැකි දැයි ඇය අසා ඇත.
ශ්‍රවනාගාරය වෙන් කරවා ගැනීමේ අපහසුවක් ඇති බැවින් පමා කල නොහැකි බව දැනුම් දුන් විට ඈ එසේ ඇගේ ජන්ම හැකියාව වූ ගී ගැයීමෙන් මුදල් උපයන්න තිබූ අවස්තාව අතහැර කාන්තාරයේ දුක් විඳින අප වෙනුවෙන් මුදල් රැස් කරන ප්‍රසංගයට ගී ගයන්න පැමිනෙන්නේ මිල මුදල් වලට වඩා මානුෂිකත්වය කෙරෙහි ගරු සරුවක්, තෙතමනයක් ඇගේ විසල් හදවතේ තිබෙන නිසා නොවේද?
ඩිරාහ්ම්ස් දෙදාහක් (Rs. 70,000/-) වැනි මුදලක් ගෙවීමේ හැකියාවක් සංවිධානය සතුව ඇතැයි සංවිධායකයින් ඇයට පවසා ඇත.
ඇයගේ පිලිතුර වී ඇත්තේ
"බොහෝම ස්තූතියි, ඒ මුදලත් සංවිධානයේ මූල්‍ය ස්තාවරත්වය වැඩි කරගන්න අරමුදලටම යොදවන්න. කිසිම මුදලක් මට එපා. ඔබලා ගේ උදාර කාර්ය වෙනුවෙන් මා සතුටින් නොමිලේ ගී ගයන්නම්" කියායි.
විස්වාස කරනවාද? ඒ බව ඇසූ වෙලේ ඇයගේ උතුම් මානුෂිකත්වය මගේ නෙතට කඳුලක් ගෙනා බව.
ඉතිං සහෘදය ඈ අප වෙනුවෙන් සතුටින් ගයන්නී . . . අප මුදල් දී ටිකට් පතක් ගෙන ඒ ගී අසා අප වෙනුවෙන් ඇය වෙහෙසන කාරිය උත්කෘෂ්ඨත්වයට පත් කරමු.
දයබර සොයුර, සොයුරිය, 2013 පෙබරවාරි මස 15 වෙනි සිකුරාදා සවස 7.30ය ඩුබායි හි රශීඩ් රෝහලේ වෛද්‍ය පුස්ථකාලයේ ශ්‍රවනාගාරයේදී නීලා වික්‍රමසිංහ මහත්මියගේ "මාස්ටර් සර්" ප්‍රසංගය නරඹන්න ඔබ සියළු දෙනාම පැමිනෙන්න.
වැලිකතරේ සේවය කරන අප අහම්බයෙන් හෝ අසරණ උනොත් පිටක් ලබා දෙන්න සංවිධානය වූ සහන සංවිධානයේ සාමාජිකයෙක් වෙන්න.
ඔවුන්ට සවියක් වන්න.
ඔබටයි මේ සුහද ආරාධනය . .. !
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
නීලාගේ සුවිසල් ගීත එකතුව අතුරින් මගේ ප්‍රියතම ගීත දෙකයි මේ
වියෝ ගී ගැයෙනා හදේ . . .
වියෝ ගී ගැයෙනා හදේ . . .
ආදර මල් නොමියේ. . . .
සදා මේ සංසාරයේ . . .
අපේ හමුවීම නොවේ . . . .
අතීතයේ මායා රූ කැඩී බිඳී යාවී . . . . .
අනාථ වූ මා දෑසේ කතා නිමා වේවී. . .
මගේ කඳුලු හංගා මා සිනා සිසී ඉන්නේ . . .
ඔබේ ලොවේ හිරු පායා සදා සිනාසේවා. . .
වියෝ ගී ගැයෙනා හදේ . . . .
අනාගතේ සිහිනේ නෑ මෙදා සැබෑ වෙන්නේ . . .
මිලාන වූ ආකාසේ අපේ පැතුම් පාවේ . . . .
මගේ පැලේ තනිවී මා සුසුම් හෙලන වේලේ . . .
ඔබේ ලොවේ හිරු පායා සදා සිනාසේවා . . . .
වියෝ ගී ගැයෙනා හදේ . . .
ආදර මල් නොමියේ. . . .
සදා මේ සංසාරයේ . . .
අපේ හමුවීම නොවේ . . . .
බෝධියේ විහාරයේ පිදූ පියුම් වැනි වූ
බාලිකා ලොව මැළවුනදා මුළු ලොවටම රෑ වෙනවා
ජීවිතේ පියාඹමින් සිනාසිසී හිඳිනා
ඒ සිනා මා බොළඳ නෙතේ උනු කඳුළක් කරනු එපා
මල් පොහොට්ටු මා හදේ සුරංගනා පොකුණේ
මල් වරම් ලැබ පිපෙන තුරා ඔබ නටුවෙන් මිදෙනු එපා
බෝධියේ විහාරයේ . . ..