UAE Sri Lankans Events

Saturday, December 15, 2012

බාල වියෙන් පිටමං වී . . . යොවුන් වියට පියමැන්නේ . . . ප්‍රිය ළඳුනේ . . . නුඹ නිසායි . . . !


මේ කතාව කොතනින් පටන් අරගෙන . . . කොහොම ලියනවද කියලා මම දවස් ගානක් තිස්සේ හිතුවා . . . හිතල හිතලා මගේ හිත පඹ ගාලක පැටලිලා වගේ තිබුනේ මේ දවස් කීපයේම . . . . කොතනින් කොහොම උනත් . . . ලියන්නම ඕන කියල මට මගේ හිත කරපු තර්ජනය නම් නොසලකා හරින්න මට බැරි උනා . . .

වික්ටර් රත්නායක මහත්මයා ගායනා කරන "හුරතලේට කවි කියමින් එහෙ මෙහෙ ගිය මං . . . බාල බොලඳ බස් දොඩමින් කැලේ පැන්න මං . . . බාල වියෙන් පිටමං වී . . . යොවුන් වියට පියමැන්නේ . . . ප්‍රිය ළඳුනේ . . . නුඹ නිසායි . . ." ගීතය අහල තියෙන කෙනෙකුටත් . . . කරුණාසේන ජයලත් මහතා විසින් රචිත "ලස්සන ඇස්" නවකතාව කියවල තියෙන කෙනෙකුටත් . . . . . . ඒ ගීතයෙත් . . . නවකතාවෙත් . . . සමහර කොටසුත් මගේ මේ කතාවෙත් යම්කිසි සමාන ගතියක් තියෙනවා කියල හිතෙන්න පුලුවන් . . .



ඇත්තෙන්ම මේ සිදුවීමෙන් සෑහෙන කාලෙකට පසු මම ඒ ගීතයත් . . . නවකතාවත් . . . රසවින්ඳට පසු මම දෑස් පියාගෙන අතීතෙට ඉගිලිලා ගොස් යලි යලිත් ඒ සුන්දර අතීතය මනසින් ස්පර්ශ කලා . . .

කිසිවෙක් මගෙන් අසුවොත් මා වැඩියෙන්ම ආදරේ කරන්නේ . . . පාසැලේ ගතකරපු අතීතයටද . . . දහම් පාසැලේ ගතකරපු අතීතයටද කියල . . . . වචන දෙකක් නෑ මම නම් කියන්නේ මා දහම් පාසැලේ ගතකරපු අතීතයට කියලා . . . එය එතරම්ම සොඳුරුයි . . . ආශ්වාදජනකයි . . . දැනටත් ඒ කාලය ගැන සිතන කොට . . . මොකද්දෝ කියාගන්න බැරි . . . කිතියක් වගේ හැඟීමකින් . . . හිත සිහිල් වෙනවා . . . හරියට සිහිනෙන් දිව ගෑ සුවඳක් වගේ . . .

මේ සිදුවීම සිදුවෙන කාලෙ වෙනකොට මම පාසැලේ 8 වසරෙ . . . දහම් පාසැලේ 6 ශ්‍රේනියේ . . . මගේ වයස 13ක් නැතිනම් 14ක් පමන ඇති . . .

ඔය කාලේ මම විනෝදාංශෙට කලේ ඔය වයසෙ හැම ළමයෙකුම කරනව වගේ . . මාළු ඇති කරන එකයි . . මුද්දර එකතු කරන එකයි . . . පාට පාට පිහාටු එකතු කරන එකයි . . රට රට වල කාසි එකතු කරන එකයි. . .හැකි හැමවෙලාවෙම යාළුවොත් එක්ක සෙල්ලම් කරන එකයි තමයි. . .

දහම් පාසැල . . . 
නුපුරුදු ජාතික ඇඳුම හෙවත් සුදු අත්දිග කර පියවපු කමිසයයි . . දාංගලේට කඩා ගනී කියල බයට ඉනට තද වෙන්න අක්කගෙ පරන ලේස් පටියකින් ගැටගහල අම්ම හිරට අන්දපු සුදු කොට කලිසමට උඩින් අඳින සුදු සරමයි ඇඳල . . . අපේ වත්තේ අරලිය ගහෙනුත් . . ඉද්ද ගස් වලිනුත් කඩාගත්තු සුදු මලුත් අහල පහල ගෙවල් වලින් ඉල්ලගෙන කඩාගත්තු පාට මලුත් . . වට්ටියක දාගෙන . . . අම්ම පොල්තෙල් ගාලා පැත්තට පීරපු කොන්ඩෙ අවුල්වෙයි කියල බයට දුවන්නේ නැතුව . .සුදු ළමා සාරි ඇඳගත්තු අක්කයි . . නංගියි එක්ක . . . පෙලට දහම් පාසැල් ගිය පුංචි කොල්ලව මට මේ දැනුත් මැවිලා පේනව . . . .

අනේ කොච්චර අහිංසකද . . . ඒ පුංචි එකා . . .

දහම් පාසැලේ කලා සංගමේ මමත් සාමාජියයෙක් නිසා නිතැතින්ම මම ඇසුරු කලේ මට වඩා වයස 5-6ක් හෝ 7-8ක් හෝ වැඩිමහල් සොයුරු සොයුරියන්ව . . . මට වඩා අවුරුද්දක් බාල "තරුශි" ත් මාත් තමයි අපේ කලා සංගමේ වයසින් අඩුම දෙදෙනා . . .

අපේ මිතුරු මිතුරියන් වුනේ පර්ල් අක්කා,ළලනිශා අක්ක,චමින්ද ,ලෝචනා අක්කා,සමන් අයියා, වසන්ත අයියා, ලතිකා අක්ක, දිනේන්ද්‍ර අයියා, නිරෝශා අක්කා . . . සමහර නම් මතකයෙන් ගිලිහිලාත් ගිහින් . . . . එහෙම නොවී තිබේවියෑ . . . . . දැනට කොපමන කාලයකට පෙරද . . ?

මගේ වයසෙ අනිත් ළමයි විවේක කාලයේදී සරම ගලවල පැත්තක තියෙන ගහක එල්ලල යටට ඇඳන් ආපු කොට කලිසම පිටින් සෙල්ලම් කරද්දි . . . මම යන්නේ මගේ දයාබර අක්කල අයියල ටික හොයාගෙන . . !

"තරුශි" . . . .
හ්හ්හ්ම්ම්ම්ම්ම් . . . තළෙලු . . සිහින් සිරුරක් තිබූ . . නිතරම එහෙ මෙහෙ දුවන චංචල . . කතාකරන දෙනෙතක් තිබූ . . . විනාඩියක් එක තැනක එකවිදිහට ඉන්න බැරි තරම් දඟකාර . . . "තරුශි" . . . . . . !

මට ළමා වියෙන් යොවුන්වියට පා තබන්නට මඟ සලකුනු කියා දුන් . . "තරුශි" . .

"දහම් පාසැලේ සංවත්සර උත්සවය . . . " 
අපි හැමදෙනාම පුල පුලා බලා සිටින . . . ආදරණීය සංවත්සරය . . . . !

මමත් ගායන කාංඩායමේ සාමාජිකයෙක් නිසා පාසැල් වෙලාවෙන් පසුව පවත්වන රිහසල් වලට "මෙයාට ස්කෝලේ වැඩකටවත් නැහැනේ මෙහෙම උනන්දුවක්" කියා බනින අම්මගේත් . . . "ඔය ඉතිං පර්ල් ලයි, ලළා ලයි, ලතිකලයි, තරුශියි එක්ක මුකුළු කර කර ඉන්න තියෙන හදිස්සියනේ " කියා ඇනුම්පද කියන අක්කගෙත් . .බැනුම්, ඇනුම්පද . . වම් කනෙන් අසා දකුනු කනෙක් පිටකර හැර , තියෙන දෙයක් කා බී දඩිබිඩියේ රිහසල් වලට දුවන ආදරණීය සංවත්සරය . . . . !

රිහසල් වල විවේක කාල වලදී අක්කල අයියල එයාලගේ පෙම්වතුන් පෙම්වතියන් සමඟින් පෙම්බස් දොඩද්දී දෙපැත්තකට වී ඉන්න අපි දෙදෙනාට ඔවුන්

"උඹල දෙන්නත් සෙට් වෙලා ලව් කලානම් හරිනේ " කියා සමච්චල් කරත්දී . . . පුංචි අපේ හිත් වලටත් කුමක්දෝ නොදන්නා හැඟීමක් ගලා එන්න ඇති . . . .

එක තැනක එක විදිහට ඉන්න බැරි ඇගේ දාංගලේ පැත්තකට විසිකොට . . . මම ප්‍රමාද වී දහම් පාසැල් ආ දිනෙක . . . ගේට්ටුව අසල ඇති බුලු මුලේ වාඩිවී . . . මා එනතුරු . . . දෑස් දලවා බලා සිටි ඈ . . මා ලඟට එනවාත් සමඟ අතේ ගුලිකරගෙන සිටි නාරංබික් ලොසින්ජර අහුරක් මගේ අතේ තැබූ සැටි මට අද මෙන් මතකයේ තිබෙනවා . . . අනේ පුංචි අපි . . . !

පසුකලෙක ගොළුහදවත නවකතාව බැලූ පසු දම්මි සුගත්ට වෙරළු අහුරක් දිගු කල සිදුවීම මට මගේ යටගියාව සිහිපත් කලා . . .

අන්තර් දහම් පාසැල් නාට්‍ය තරඟයක් අපේ දහම් පාසැලේ සංවිධානය කර තිබුනා . . පිට දහම් පාසැල් වලින් පැමිනි සොයුරු සොයුරින්ට හැඩ ගැන්වීම සඳහා පංති කාමරයක් බැගින් ලබාදී අපේ කට්ටියේ අය ඔවුන්ට අවශ්ය යමක් ඇත්නම් සපයා දීමේ බලාපොරොත්තුවෙන් එකිනෙකා එක් එක් පංති කාමර බෙදා ගත්තා . . .

තරුශිටයි මටයි පංති පේලියේ කෙලවරේම පංතියක් ලබාදී තිබුනේ . . .

"උඹල අපේ පංතිත් ටිකක් බලා ගනිල්ල ළමයිනේ . . . අපි තේ එකක් බොන්න යනෝ . . ." කියාගෙන අක්කලා ටික අපිව තනිකර පැන ගියා . . .

වෙස්ගැන්වී අහවර උනු අය රංගශාලාවට ගියපසු ඔවුන්ගේ බඩු මුට්ටු ප්‍රවෙසම් කිරීමට ඉතිරි වූයේ ටික වේලාවකට ඇයත් මාත් පමනයි . . .

ඇගේ දෑතිම අල්ලගත් මා "මම ඔයාව ඉඹින්නද . . ." කියා ඇසුවා . . .

හා කියන දෙය කටින් නොව දෙනෙතින් පැවසූ ඇය . . . ඇගේ කම්මුලක් මගේ පැත්තට හැරවූවා . . .

මා සිනිදුවට ඇගේ කම්මුලක් සිප ගත්තා . . .

දැනටත් මතක් වෙද්දී හීන් සිනාවක් මගේ මුවට නැගෙනවා . . අනේ පුංචි අපි . . . !

ගැහැනු ළමයි නවකතාවේ ලොක්කයියාගෙත් කුසුම්ගෙත් කුඩාකල පටන් බැඳි වචනයයෙන් "මම ඔබට ආදරෙයි " නොකියූ පෙම මෙන් අපේ කුඩා පෙමත් සුන්දරව ගලා ගියා . . .

අපේ පාසැලේම මගේ නමම තියෙන අයිය කෙනෙක් ඇගේ ආච්චිලගේ ගෙදර ඇනෙක්සියේ පදිංචිවී සිටියා . නිවාඩුවට ආච්චිලගේ ගෙදර ගොස් ආපසු පැමිනි ඈ බොහෝ සෙයින් වෙනස් වී ඇති අයුරක් මට දැනුනා. පෙර මෙන් පෙම් බැලුම්, පෙම් සිනා,කෝමල කතා අතුරුදන්වී ඇති සැටියක් මට දැනුනා .

දිනක් ඉහත සඳහන් අයියාගේ මිතුරෙක් මා හමුවට පැමින, මල්ලී ඔයා අර තරුශි එක්ක ෆිට් නේද ? මේ ලියුම සුභාෂ් අයියා දුන්නා කියල එයාට දෙන්න කියලා මගේ නම ඇති සොයුරගේ නම සඳහන් කර මට ලිපියක් දී ගියා . . .

විදුලියක් වැදුනු සැනින් කෙනෙකුට කුමන හැඟීමක් දැනේවිදැයි මට එදා දැනී ගියා . . . .

ලිපිය ඉරා විසිකරන්න තරම් ක්‍රෑර නොවූ මා විවේක කාලයේ ඈ අතට ලිපිය දුන්නේ වෙව්ලන දෑතින්.

මගේ දෙනෙත් දෙස බැල්මකුදු නොහෙලූ ඇය එය ගෙන ගොස් පොතක් ඇතුලේ දමා විත් මා පසුකර කැන්ටිමට ගියේ මා කවුදැයි නොදන්න අයෙකු ලෙසින්.

එදින දහම් පාසැල නිමා වෙන තුරු කාලය මා කෙසේ ගෙවා ගත්තාදැයි මටම සිතා ගත නොහැකි වුනා. හැමදාම ප්‍රමාද වී යන අපේ කන්ඩායමෙන් වෙන්වී ඈ තනිවම ඉක්මන් ගමනින් පා නගනු මා දුටුවා.

සරම කොනකින් උස්සා ගත් මා වේගයෙන් දිවගියා. පන්සල මෙහා පැත්තේ වූ කෝන්ගස අසලදී මට ඈ හමුවූවා . . . .

"තරුශි. . . මට කියන්න ඇයි ඔයා ඔහොම කරන්නේ . . . ඔයාට ඔහොම කරන්න පුලුවන්ද ? මගේ සියලු ප්‍රශ්න වලට ඇගේ පිලිතුර නිහඬ බව පමනක් වූවා . . .

"අඩු තරමින් මට කියන්න ඔයා ආදරේ කරන්නේ මටද . . . නැතිනම් සුභාෂ් අයියාටද ? "

පුංචි මගේ මුවට එවැනි වදන් කෙසේ ආවාදැයි අදටත් මට සිතා ගත නොහැකියි . . .

කිසිදු පිලිතුරක් නොදුන් ඈ . . . අප දෙදෙනා . . . දෙදෙනාගේ නිවෙස්වලට යාමට වෙන්විය යුතු මංසන්ධිය හෙවත් පංසල පිටුපස කාක බෝධිය අසලටම ඇගේ එදින හුරුකරගත් ඉක්මන් ගමනින් පැමින . . .

"සුභාෂ් අයියාට කියා . . . මගේ දෙස වත් නොබලා පවසා පොත් ටිකත් ළමැදට තදකරගෙන ළමා සාරියේ මැදින් ටිකක් ඉහලට ඔසවාගෙන වේගයෙන් දිව ගියා . . . .

මාළු ටැන්කි හතක පමන ගෝල්ඩ් ෆිශ් . . ෆයිටර් . . සීබ්‍රාස් . . ඒන්ජල්ස් . . ආදී මාළු වර්ග ආසාවෙන් ඇතිකල . . . ලොකු පොත් 4ක් පිරෙන්න රට රට වල මුද්දර එකතු කල . . . පාට පාට පිහාටු . . . කාසි වර්ග එකතු කල . . . නමුත් දැන් ඒවාට ආසාවක් නැතිවී . . . ළමා වියෙන් එලියට පැනගත් . . . යොවුන් වියේ එලිපත්ත මත හිඳි කුඩා ලමයෙක් . . . අසල වූ කාක බෝධිය පසුපසට වී . . . මංසන්ධියේ මැදට වී . . . දුරින් දුවන . . . කුඩා දැරියක දෙස වේදනාවෙන් බලා හිඳින තවත් දරුවෙකු දෙස . . . අසරන හැඟීමන් බලා සිටියා . . . . !!!

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails