Wednesday, January 25, 2012

යාලුවෝ මාලුවෝ යාලුවෝ . . .



හවුල් යාලු මිතුරු කතා බහකදී බීට්ල් කිව්ව කතාවක් දැක්ක ගමන් මට මතක් උනේ ඉස්කෝලේ යන කාලේ මට වෙච්ච් සිදුවීමක්.

ඒ කාලේ මගේ සිංහල අත් අකුරු හරිම ලස්සනයි. භාෂා දින අත් අකුරු තරඟවලට හිටන් ඉඳලා තියෙනවා.

අට වසරෙදි ටීච කෙනෙක් නැති දවසකදී මගේ හොඳම යාලුවෙක් ඌගේ කෙල්ලට මගේ අත් අකුරු වලින් සහ අදහස් වලින් ලියුමක් ලියලා දෙන්න කිව්වා.

මම ලියලා දුන්නා.

අපි ලව් ලෙටර් එක ලියන අතරේ පංතියේ හිටපු තවත් සෙට් එකක් කුනුහරුප ලියුමක් ලිව්වා.

කවුද පාවා දෙන්නෙක් ඊලඟට එන්න හිටපු සර්ට කියලා පන්තියේ කොල්ලෝ කුනුහරුප ලියුම් ලියනවා කියලා.

සර් එක පාරටම ප්‍රිෆෙක්ට්ස්ලා ටිකක් එක්ක පන්තියට කඩන් පැන්නා.

ඔක්කෝගෙම බෑග් ඇවිස්සුවා.

අර කුනුහරුප ලියුම අරුන් කොහොම හරි හංගගෙන එත් මම යාලුවට ලියපු ලියුම මාට්ටු උනා උගේ බෑග් එකේ තිබිලා.

කාගෙද කියලා ඇහුවම යාලුවා සද්ද නැතුව හිටියා.

හොයල බලද්දී අත් අකුරු මගේ.

අපේ පන්තිවල උන් ඔක්කෝම දැනගෙන හිටියා ඒ කාලේ මට දහම් පාසැලේ කෙල්ලෙක් හිටපු බව.

ලව් එකක් කිව්වට එහෙමට එකක් නෙමේ අප්පා. නිකම් ඒක පාර්ශවික වගේ එකක්. මේ තියෙන්නේ ඒ විස්තරේ .

යාලුවා මාව පාවල දුන්නා මගේ කෙල්ලට ලියුමක් ලියන ගමන් ඌටත් ලිව්වා කියලා.

වැඩේ දුරදිග ගිහින් වයිස් ප්‍රින්සිපල් ලඟට ගියා.

වයිස් ප්‍රින්සිපල්ගේ කාමරේට අරගෙන මුලින් ප්‍රශ්න කලේ යාලුවගන්. ඌට අම්මව එක්ක එන්න කිව්වා.

මාව ඉතිං ගිඩි ගිඩි ගාල ගැහෙනවා.

වයිස් ප්‍රින්සිපල් අපේ සීයගේ යාලුවෙක්. අම්මවත් දන්නවා.

වයිස් ප්‍රින්සිපල් මගෙන් මොකුත් ඇහුවේ නෑ . . .

ඔෆිස් කාමරේ එලියේ සම්මාන දාන වීදුරු කබඩ් එක ලඟදී අනිත් පැත්ත හැරිලා කබඩ් එක අල්ල ගන්න කිව්වා.

ඔෆිස් එකේ ඔක්කෝම ඉස්සරහා වේවැලෙන් දුන්නා මගේ පස්ස පැත්තට තුනක් හෝ හතරක්.

ගහන ගමන් කිව්වේ "මේ ගහන්නේ තමන්ගේ කෙල්ලට විතරක් නොලියා අනුන්ගේ කෙල්ලන්ට ලියුම ලිව්වට කියලා"

ඒ තමයි ඉස්කෝලේ ගත කරපු අවුරුදු දහතුනටම මම මගේ වරදකට ගුරුවරයෙකුගෙන් වේවල් පාරක් කාපු එකම දවස.

ඉස්කෝන් අස්වෙනකම්ම ඒ යාලුවත් එක්ක මම තරහා වෙලා හිට්යේ . .

පස්සේ කාලෙක අහම්බෙන් මෙහේදිම (ඩුබායි වලදීම) ඌව සෙට් වෙලා ඒ කාලේ වෙච්චි සීන් එක මතක් කර කර අපි හිනා උනා.

අවවාදය: මිතුරු ඇසුරක දීර්ඝකාලීන / සදාකාලික හෝ කෙටි කාලීන පැවැත්මේ එකම සූත්‍රය / රහස විස්වාසයයි.

Wednesday, January 11, 2012

රෑට ඉර පෑව්වොත් . . . .????



අපි මෙහෙම හිතමු, ඔබ මාව අඳුන්නේ නෑ . . . ඒත් මම උමතු වුනු ගීතයකටම ඔබත් වසඟ වෙලා . . ඒත් අපි දැකලා වත් නෑ . . ඉතිං අපි අඳුන්නේ නැති උනත් අනුන් ලියපු, අනුන් හදපු, අනුන් ගයපු ගීයක් නිසා සදාකාලික මිත්‍රයෝ වෙන්න පුලුවන්.

රෑට ඉර පෑව්වොත් කොහොමට තියෙයිද?

ඉස්සර අපි පුංචි කාලේ නම් අපිට රෑට ඉර පෑව්වා.

ඒ බව මම මෙන්න මේ පෝස්ට් එකෙන් කිව්වා.

මේ පෝස්ට් එක තමා මම හිතන්නේ මගේ බ්ලොග් එකේ වැඩිම කොමෙන්ටු ලැබුනු පෝස්ට් එක.

බොරු නෙමේ ඇත්තමයි. රෑට රේඩියෝ එක ලඟ එකතු උනාම අපිට දැනුනේ
රෑට ඉර පෑව්වා වගේ එලියක්.

ඒ රසවින්දනය කියන එලිය මුලු ජීවිතයම එලිය කරන්න බලපෑවා කියලා ලෝබ නැතුව කියන්න පුලුවන්.

පුංචි කාලේ රෑ වෙලා පායපු ඉර එලිය වගේ එලියක් ඊයේ අත්දුටුවා.

. . . . . .

කාලෙක ඉඳන් යාලු මිත්තරයෝ කීප දෙනෙක් මේ රෑට පායන
ඉර එලිය ගැන කිව්වත් හිතේ නිදහසක් නැති කමින් ඒ එලිය දකින එක දවස්න් දවස කල් ගියා.

ඒත් ඊයේ රෑ . . . ඔව් ඊයේ රෑ . . . ඇඟේ හීගඩු නංවාගෙන . . .. (දුකකටද, සතුටටද මොන මගුලකටලද මන්දා) ඇස් දෙකට උනපු කඳුලු දරාගෙන . . . පාෂාණීභූත වෙලා ඒ කිව්වේ මේ ගල් වෙලා මේ රෑ පායපු එලියේ අපූර්වත්වය වින්දා . . . !!!

ඒ වෙන කිසිම දෙයක් නෙමේ . . . දෙරණ රේඩියෝ එකෙන් කරන රෑ ඉරපාන වැඩසටහන . . . .



“විනාඩි තුනක් හතරක් වුනාට සමහර ගීත වල තියෙනවා සියවස් ගානක් හිතන්න දේවල් “

බන්දුල නානායක්කාරවසම් මහත්මයාගේ වචන තාමත් හදවතේ දෝංකාර දෙනවා . . .

වැඩි කතා ඕන නෑ . . ඔයාලත් අහලා බලන්න මේ රෑ ඉරපාන . . .

අහලා බලලා කියන්න ඒ වින්දනීය ගීත සෙනෙහස් සාගරයේ ගැඹුර කොයි තරම්ද කියලා . . .




පිස්සා පලාමල්ල අඩවියේත් ඔක්තෝම්බර් 14දින මේ වෙනුවෙන් ලිපියක් ලියලා. ඒකත් ගිහින් බලන්න . . ඒකේ තියෙනවා තව ලින්ක්ස් ටිකක් . .



Monday, January 9, 2012

දිලුම් වෙනුවෙන් අපි . . ඉලංදාරියා සහ ජෙරූෂා . . !

දිලුම් වෙනුවෙන් අපි බ්ලොග් එකට ලියපු ලිපිය මගේ බ්ලොග් එකේත් දාන්න හිතුවා මොකද මේ සද්කාරියට හවුල් වුනු අය බොහෝ දෙනෙක් මගේ බ්ලොග් අඩවියට එන බව දන්නා නිසා බැරිවෙලාවත් ඒ අයට අර ලිපිය මඟහැරුනොත් කියලා.



ඊයේ බොහෝම සතුටු දවසක්.

ගිය අවුරුද්දේ ජනවාරි 26දා ඉලන්දාරියගේ බ්ලොග් එකේ පෝස්ට් එකක් තියෙනවා ගිහින් බලපන් කියලා තිසා කිව්වේ.

එදා ගෙදර ගිය ගමන් නදීෂත් කිව්වේ ඒ පෝස්ට් එක ගැන.

පහුවදා උදේම මගේ පරන ඔෆ්ෆිස් එකේදි ජනක මල්ලිත් එක්ක කතාබහ කරලා දුමීටත් කෝල් කරලා ඉලංදාරියට අපි උදව් කරන්න ඕන කියලා මගේ බ්ලොග් එකේ පෝස්ට් එකක් දාලා අදට අවූරුද්දකට කිට්ටුයි.

මේ කාලේ ඇතුලත කොයි තරම් දේවල් සිද්ද වුනාද?

බ්ලොග්ස් කියවන, නොකියවන හැමදෙනාම ඉලංදාරියගේ පෝස්ට් එකයි, අනිත් බ්ලොග් පෝස්ටුයි දැක්ක ගමන් ඉලංදාරියගේ එකවුන්ට් එකට සල්ලි යැව්වා.

දුමීලා (දුමී, රජීව්, දර්ෂන, කින්චා, චරිත්, කෞෂි, භානු සහ අපේ කට්ටිය සංවිධානයේ තව ගොඩක් අය ) රෑ දවල් නිදි මරාගෙන පැදුරු සාජ්ජ දැම්මා ඉලංදාරියගේ ඔපරේෂන් එකට සල්ලි හොයන්න.

ටැබූ, සුපුන්, බින්කු එකතු වෙලා පේපෑල් ගිනුමකට මුදල් එකතු කලා.

අභීත මූලිකත්වය අරගෙන සයිබර් ෆෙස්ටිවල් අවුරුදු උත්සවයක් තිබ්බා.

පුතා(වරුණ), මම, ලිෂා, ඩී, රචියා, චමිල, පැතුම් එකතු වෙලා පින්තූර පෝස්ට් කාඩ් ගැහුවා.

ඉලංදාරියගේ පාසැල් මිතුරෝ ටිකට් පොත් ගහලා බ්ලොග් මිතුරෝ හවුල් කරගෙන ඒවා විකුනලා සල්ලි එකතු කලා.

එකතු වෙන සල්ලි තැන්පත් කරන්න ප්‍රියන්ත, ඉලංදාරියා, ඩීප්ස් එකතු වෙලා ජොයින්ට් එකවුන්ට් එකක් හැදුවා.

මේ සියලුම දේ කරමින් ඉන්නා අතරතුර ඔලුවේ පොඩි ගෙඩියකට කරපු ඔපරේෂන් එකෙන් අපේ දයාබර ඉලංදාරියා මියගියා.



බ්ලොග් සහෘදයෝ බොහෝ දෙනෙක් මල ගෙදර ගියා.

ඔහුට පින් පතා පිලිකා රෝහලට පවා දාන මානාදිය දුන්නා.

එකතු කල මුදල් ගැන වැඩි දෙනාගේ අදහස උනේ ඒ මුදල් ඉලංදාරියගේම ජාතියේ කර්ණාබාධයක් තියෙන කෙනෙක් හොයලා දෙමු කියන එකයි.

ජෙරූෂා ගැන අභීතට දැනගන්න ලැබිලා ගිහින් විස්තර හොයල බලලා සත්‍යතාව පැහැදිලි කර ගත්තාට පස්සේ හැමෝම එකඟ උනා ඒ වන විට එකතු කල මුදල් අවුරුදු 9ක් උනු ජෙරූෂගේ ඔපරේෂන් එකට දෙන්න.


ඉලංදාරියා මිය ගියා කියලා නවත්වන්නේ නැතුව දුමීලා පැදුරුපාර්ටි දිගටම කරගෙන ගියා ජෙරූෂගේ ඔපරේෂන් එකට සල්ලි එකතු කරන්න.


අපේ කට්ටිය මිතුරු සංසදයේ රජීව් ප්‍රනාන්දු මහතා අභීත එදිරිසිංහ සොයුරා සමග ජෙරූෂලගේ ගෙදර ගිහින් විස්තර සොයා බලා එයින් නොනැවතී දොස්තරවරු මුණ ගැසී සාකච්ඡා කර, මුලදී Rs 23,00,000/ යැයි මිල නියම කරන ලද ශ්‍රවණ උපකරණය හා Rs 18,00,000/= ට මිල නියම කරන ලද ශ්‍රවණ උපකරණය හා සමාන බව ඔවුන් වෙතින් සහතික කරවා ගත්තා. උපකරණය මිලදී ගෙන දුන්නොත් ශල්‍යය කර්මය ඇතුළු ඉතුරු අවශ්‍යය කටයුතු රෝහලින් අය කිරීමකින් තොරව කරමින් වෛද්‍යවරයා ඒ වගකීම ගන්නා බවටත් ප්‍රතිඥ්ඥා දී තිබුනා.

ඩුබායි සහ එමීර් රාජ්‍යයේ අපේ කට්ටිය මිතුරු සංසදයේ රජීව් ප්‍රනාන්දු මහතා ජෙරූෂා දියණියගේ මවට, ජෙරූෂාගේ ශල්‍යකර්මය වෙනුවෙන් පැදුරු සාජ්ජ වලින් එකතු කල මුදල් ලබා දෙන බවට සහතික කල ලිපිය ලබා දුන් මොහොත.

මෙඩිකොන් කියල අයතනයකින් ලක්ෂ 18 (Rs 18,00,000)කට ඒ උපකරණය ලබා ගන්න ඔවුන් සහතික කරගෙන තිබුනා.


ලක්ෂ Rs 18,00,000/= න් ලක්ෂ 3ක් ජනාධිපති අරමුදලින් ලැබෙනවා කියා සහතිකයක් ලැබුනා. එතකොට ඕන කරන මුදල ලක්ෂ 15යි. (Rs 15,00,000/=)


මේ ලක්ෂ 15න් ජෙරූෂගේ පවුලේ අය මහන්සි වී ලක්ෂ 4ක මුදලක් සොයාගෙන තිබුනා.



දැන් මදි පාඩුව ලක්ෂ 11යි.


කෙලින්ම දිලුම්ගේ එකවුන්ට් එකටදාපු සල්ලි සහ පස්සේ ජොයින්ට් එකවුන්ට් එකද දාපු සල්ලි මේ ඔක්කෝම 307,000/= වෙලා තිබ්බා.


මේකෙන් Rs 20,000/= ක් ඉලංදාරියගේ අවමන්ගල්‍යය සඳහා පවුලේ අයට ලබා දුන්නා. ඉතුරු මුදල 2,87,000/=.


මුලින්ම මෙඩිකොන් ආයතනයට අත්තිකාරමක් ගෙව්වෙ මේ මුදලින් Rs 100,000/= ක් අරගෙනයි. (මේ අත්තිකාරම් මුදල තැන්පත් කරන ලද්දේ ජෙරූශාගේ දෙමව්පියන් ඔවුන් එකතු කල Rs 400,000 මුදල මෙඩිකොන් වෙත තැන්පත් කරන්නට පෙරයි. )



ඉතුරු Rs 1,87,000/= ඒ වන විට පොලිය සමග Rs 190,158/= ක් වෙලා.ඒ මුදලත් රැගෙන පසුව මෙඩිකොන් ආයතනයේ තැන්පත් කලා.




දැන් අවශ්‍ය කරන මුදල Rs 8,10,000/=


දුමීලගේ පැදුරු පාර්ටි වලින් ඒ වෙනකොට එකතු වී තිබූ Dhs 16,325 සහ මදි පාඩුව සකස් කර (ඒ වන විට රුපියල් වලින් එකතු වී තිබුනේ Rs 489750/= ) Rs 500,000/= ක් මෙඩිකොන් ආයතනයේ තැන්පත් කලා.

( එම මුදල තැන්පත් කල දිනට පසු පැවති අවසාන පැදුරු සාජ්ජයේදි (ප්‍රමාණ සමීක්ෂකවරුන්ගේ සුහද හමුව) තවත් Dhs 1930/=ක් එකතු වී පැදුරු සාජ්ජ වලින් එකතු කල මුළු මුදල Dhs 18,255ක් උනා. )


එම මුදල තැන්පත් තැන්පත් කල පසුව අවශ්‍ය කරන මුදල Rs 3,10,000/=


පැදුරු පාර්ටි වලින් එකතු කරපු Dhs18,255න් ලක්ෂ 5ක් යවන්න Dhs 16,865ක් වියදම් වෙලා තිබ්බා.



පින්තූර පෝස්ට් කාඩ් වලින් ඩුබායි වලින් එකතු කල මුදල Rs 27,900යි.
(සුරාජ්ගේ මිතුරන් - Dhs 500
මනෝජ්ගේ මිතුරන් - Dhs 300
දුමීගේ ඔෆිස් එකේ මිතුරන් - Dhs 130
= Dhs 930 x 30 [Dhs1 = Rs 30 ] --> Rs 27,900)

18,255න් 16,865ක් අඩු උනාම ඉතුරු මුදල ඩිරාහ්ම්ස් 1,390යි පින්තූර පෝස්ට් කාඩ් වල මුදල ඩිරාහ්ම්ස් 930 එකතුව 2,320 ඒ කියන්නේ (2,320 x 30 = 69,600) වෙනුවෙන් Rs 70,000/= ක් තැන්පත් කලා.



මේ රිසිට් එකේ Rs 70,000/= වෙනුවට Rs 72,100/= ක් කියලා සඳහන් වෙන්නේ ක්‍රෙඩිට් කාර්ඩ් එකකින් ගෙවපු නිසා අය කරපු අමතර මුදලට.


ඒ Rs 70,000 න් පසුව අවශ්‍ය කරන මුදල Rs 2,40,000/=


2011 සැප්තැම්බර් 15 වෙනිදා ඩුබායි වල තිබුනු ප්‍රමාන සමීක්ෂකවරුන්ගේ මධ්‍ය ගිම්හාන පැදුරු පාර්ටියේ සංගීත කටයුතු සියල්ල සිදු කලේ දුමීලගේ සංගීත කණ්ඩායමෙන්.


එහිදී අපි ඔවුන්ට වෙත ඉදිරිපත් කර සිටියා දිලුම් සහ ජෙරූෂාගේ කතාව.


එය අසා සිටි ඩුබයිහි ප්‍රමාන සමීක්ෂක ආයතනයක් හිමි අයිවන් සෝවිස් මහතා පැවසුවා "පුතාලා ඒ ඔපරේෂන් එකට මෙතනින් එකතු උනාට පස්සේ මදි ගාන කීයද? ඒ ගාන මම දෙන්නම්" කියා.


ඊයේ මමයි දුමීයි ගියා අයිවන් සෝවිස් මහත්මයාව මුන ගැහෙන්න. කෙටි කතා බහකින් ඒ මහතා පසුව මම පිලියෙල කර කලින් ඊ-මේල් මඟින් යැවූ ජෙරූෂා ව්‍යාපෘතියේ තත්ව සමාලෝචන වාර්ථාවේ පිටපත් බලා ඒ මොහොතේම අදාල අවෂ්‍ය කරන මුදල වූ Rs 2,40,000/= වෙනුවෙන් Dhs 7,686/= ක චෙක් පතක් ලබා දුන්නා.




සාරාංසයක් ලෙස ගතහොත්


ජනාධිපති අරමුදලින් ලැබෙන මුදල = Rs 300,000.00
ජෙරූෂගේ පවුලේ අය එකතු කල මුදල = Rs 400,000.00
ඉලංදාරියගේ ගිනුමට එකතු වූ මුදල = Rs 290,000.00
පැදුරු පාර්ටි වලින් එකතු වූ මුදල = Rs 542,350.00
පින්තූර පෝස්ට් කාඩ් වලින් එකතු වූ මුදල = Rs 27,900.00
අයිවන් සෝවිස් මහතා ලබා දුන් මුදල = Rs 240,000.00
මුළු එකතුව = Rs 1,800,250.00


ඉතින් ඔන්න අපි හැමෝම සද්භාවයෙන් පටන් ගත්තු වැඩේ නිමා කරන්න අපිට පුලුවන් වෙලා තියෙනවා.

අන්තර්ජාලය ඔස්සේ දැන අඳුනා ගත් මනුස්සකම් හඳුනන මිනිස් පිරිසක් රුපියල් ලක්ෂ 11ක මුදලක් එකතු කරනවා කියන්නේ අති විශාල කර්තව්‍යක්.


මේ ඉලක්ක මේ ලෙස සපුරා ගන්න පුලුවන් උනේ හැමදෙනාගේම මනුස්සකම සහ තව කෙනෙක් වෙනුවෙන් තමන්ගෙන් කෙරෙන්න ඕන යුතුකමක් ඉටු කරන්න ඕන කියන මානුෂීය හැඟීම මිසක් වෙන කිසි දෙයක් නෙමෙයි.


එහෙනම් මේ සද්කාරියට සුලුවෙන් හෝ මහා පරිමාණයෙන් හෝ දායක උනු ඔබ හැමදෙනාටම පින්.

මේ ලිපියෙනුත් මේ සමඟ අමුනා ඇති බිල්පත්, මුදල් තැනපත් සහතිකපත් ආදියෙනුත් මේ කාරිය සඳහා එකතු වුනු සියළු දෙනා ඉහල විනිවිදභාවයකින් යුතුව මේ කාරිය සිදුකල බව ඔබ සැමට සහතික වනු ඇති කියා මා සිතනවා.


කිසියම් කෙනෙකුට කුමක් හෝ පැහැදිලි කර ගත යුතු දෙයක් තිබෙනවනම් පහල කොමෙන්ට් තීරුව මඟින් හෝ, අපව පුද්ගලිකව දන්නා හඳුනන කෙනෙක් නම් දුරකථන මඟින් කර ගත හැකි බවත් දන්වන්නේ සතුටින්.

අපි ආයේ ත් මේ වගේ පුන්‍යකර්ම ව්‍යාපෘතියකින් හමුවෙමු.

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails