UAE Sri Lankans Events

Thursday, December 29, 2011

අපි ගිරවුන්ට ආදරය කරන්නෝ වෙමු . . .!

පහුගිය 9 වෙනිදා හදිසියේම ලංකාවට ගියේ සති ගානක ඉඳන් පුහුනුවීම කලත් හරියටම දවස සහතික නොකල පුතාගේ පෙර පාසැලේ වාර්ෂික ප්‍රසංගය 10 වෙනිදාට කරන්න සහතික කරගත් බව අපේ ගෙදර උන්දෑ දන්වපු නිසයි.

මගේ සොඳුරු ත්‍රස්තවාදියටයි ගෙදර අය හැමෝටමයි බොහෝම සතුටුයි ඉතිං.

කොල්ලා කලින් ගිය පෙර පාසැල ට වඩා හොඳ එකක් ගෙවල් ලඟම තියෙනවා කියලා දැනගෙන අපේ ගෙදර උන්දෑ මීට මාස දෙක තුනකට කලින් ඒකට කොල්ලව දාලා.

"ඒක පොෂ් තැනක් නෙමෙයි ඒයි . . ඒත් එතන ගොඩක් හොඳයි කියලා මට හිතෙනවා" කිව්වේ ටිකක් සැකෙන් වගේ.

"මගුලක් කතා කරනවා . . මොන පොෂ්ද . . . කොල්ලට සමගියෙන් සෙල්ලම් කරන්න, අත්වැඩ කරන්න උගන්වනම් ඒ හොඳටෝම ඇති" මම කිව්වේ හිනා වෙවී.

ගිය දාට පහුවදාම උත්සවේ තිබ්බා.

ලාංකීය අභිමානයට සුපුරුදු පරිදි පටන් ගන්න හිටි වෙලාව පහුවෙලා තමා පටන් ගත්තේ.

අපේ කොල්ලා මේ පෙර පාසලේ මාස දෙකක් වගේ පොඩි කාලයක් උනාට නැටුම් ගැයුම් අංග අටකට තෝරගෙන.

තෝරගෙන නෙමේ මේකා බලෙන්ම වගේ ගිහින්.

නැටුමකට කට්ටිය එක්කගෙන යනකොට මේකා අහනවලු "ටීච, විරුල් එන්න එපාද?" කියලා. ටීචර්ට පුලුවන්ද එපා කියන්න. මේකා නම් පුදුම එකෙක්.

මතකයිනේ කිව්වා මේ තරම් හුරතලයක් ඇති එකෙක් මම තාම දැකලා නෑ කියලා. (මගේ එකා හින්දා කියනවා නෙමේ . . මූව දන්න අය ඔක්කෝම ඒ බව දන්නවා)

උත්සවේ නැටුම් ගැයුම් නාට්‍ය අංග 25ක් 30ක් විතර තිබ්බා.

වැඩ සටහන් අතරතුර දරුවන්ට ඇඳුම් මාරු කරගන්න ඉඩ සලස්වල දෙන්න ආරාධිත අමුත්තන්ට පොඩි පොඩි කතා පවත්වන්න ඉඩ දීලා තිබ්බා.

එක් විශ්‍රාමික විදුහල්පතිවරයෙක් (මයික් ටයිසන් කෙනෙක් - දාඩිය දාගෙන, ළමයි බඩගින්නේ, දාඩිය දාගෙන ඉන්න අස්සේ අම්මෝ ඒ මනුස්සයගෙන් මයික් එක ආපහු ගන්න වින්ද දුකක්) මේ පෙර පාසැල් අධ්‍යාපන (ඒ පෙර පාසැලේ) ක්‍රමය වැරදි බව කියනවා.

නැටුම් ගැයුම් වගේ දේවල් වලින් ළමයින්ට වැඩක් නැතිය.

දරුවන්ට පොත් පත් කියවන්න, ගනන් හදන්න පෙර පාසැලේ සිටම පුහුනු කරවිය යුතුය.

ආදී විදිහට මේ දරුවන්ගේ සෞන්දර්යාත්මක හැකියාවන් ඉස්මතු කිරීමට වඩා පෙර පාසැලේ සිට දරුවන් ගිරව් කල යුතු බව ඇඟවෙන විදිහට ඒ ගුරුවරියන් දෙදෙනාගේ මහන්සිය සහ කැපවීම තුට්ටු දෙකට දමා කල කතාවෙන් . . .

ගැබිනියක් වූ (ගැබිනි බව ත් නොසලකා උපරිමයෙන් වෙහෙස මහන්සි වී ඉගැන්නුම් කල-කරන) තරුණ ගුරුවරියගේත් පුද්ගලික වැඩ රාජකාරී පවා ඉවත දමා දරුවන් වෙනුවෙන් කැපවෙන මැදි වයසේ ගුරුවරියගේත් හිත් රිදුනු බව අප දැන ගත්තේ පසුව.

ගුරුවරියන් දෙදෙනාට සහ උත්සවය සංවිධානය කල සියලුම දෙනාට ස්තූති කරන්න කතාවක් කරන්න ඇහැක්ද කියලා පේ ගෙදර උන්දෑ ඇහුවා.

යාලුවෝ එක්ක සහ බ්ලොග් එකෙන් පොර ටෝක්ස් දුන්නට සභාවක් මැද්දේ කතා කරන්න බැරි කකුල් මැඩ්ලින් ගහන ලෙඩක් තියෙනවා වුනත් ඕ පූ කියලා හා කිව්වා.

කකුල් මැඩ්ලින් ගහ ගහ මොනව කිව්වාද කියලා මතක නම් නෑ . . ඒත් මට කියන්න ඕන වුනේ මේන් මේ පහල තියෙන ඒවා කියලා නම් මතකයි.

අපි හැමෝම කැමති ගිරව් වගේ පොත් කටපාඩම් කර විභාග සමත්වන දරුවන්ටයි.

අපි දරුවන් ස්කෝලේ, ස්කෝලේ වෙලාවෙන් පස්සේ සහ සති අන්තවල අතිරක පන්ති යවමින් කරන්නේ ඔවුන් ගිරවුන් අතරින් හොඳම ගිරවා කිරීමටයි.

අපේ අධ්‍යාපන ක්‍රමයෙන් මෙසේ ගිරවුන් ලෙස පුහුනු කල අපි පාසලින්, සරසවියෙන් පිටවී රැකියාව කරද්දී මැරෙන තුරු හැමදාම එකම දෙයක් පමනක් කරමින් සිටිනෙමු.

ඒ කරන දේ සම්බන්ධව අපි උපරිම දක්ෂයෝ වෙමු.

ගිරව් ලෙස නොවී සෞන්දර්ය, නව නිර්මාන, සබකෝලය නැති ඉදිරිපත්වීම් ඇති හැම පැත්තක්ම ස්පර්ෂ වෙන පරිදි උගත්කමක් ලැබිය හැකි අධ්‍යාපන රටාවකට උගත් අයෙක් අර දක්ෂයා ලවා මරව මරවා වැඩ ගෙන කලමනාකරුවෙකු ලෙස හෝ ආයතනයක අධ්‍යක්ෂක වරයෙක් ලෙස ඉදිරියට යනු ඇත.

බොහෝ විට පිටරටක ගොස් රැකියා කරද්දී මේ කලමනාකරුවා හෝ ලොක්කා බටහිර ජාතිකයෙක් විය හැකියි.

රැකියාව සම්බන්ධයෙන් වුවත් ඔහුගේ දැනීම බොහෝම අල්ප විය හැකියි.

නමුත් ලොක්කෙක් ලෙස ඉදිරියට යන්නට ඔහු සතු වූ දේ සහ විෂය සම්බන්ධව ඉතා විශාල දැනීමක් අප සතු වුවත් ලොක්කෙක් වීමට අප සතු නොවූ දේ මොනවාද?

මා කලින් වැඩ කල ආයතනයේ නෙදර්ලඩ් ජාතික ගණකාදිකාරිනිය කීවේ ඇගේ දරුවන් කෙදිනක වත් පෙර පාසැල් නොයැවූ බවත් ඔවුන්ගේ ළමා කාලය සෙල්ලම් කරමින් සහ නිවසේ සිට චිත්‍ර ඇඳීම ආදී අත්වැඩ සඳහා පමනක් ඔවුන් යොමු කල බවය.

ඇගේ දරුවන් වර්ථමානයේ උසස් ලෙස විභාග සමත් වෙමින් සිටින බැව් මීට වසර කීපයකට පෙර ඈ පවසන ලදි.

පෙර පාසැල් අධ්‍යාපනය ගැන කතා කරනවනම් මගේ හැඟීම නම් දරුවන් මේ පහල ක්‍රියාකාරකම් පමනක් කලාම හොඳටෝම ඇති කියායි.

අනෙක් දරු උදැරියන් සමඟ සාමූහිකව රන්ඩු දබර නොවී ක්‍රීඩා කරන්න ඉගෙන ගැනීම.

ක්‍රීඩාවකින් ජය පරාජය දෙකම පිලිගත යුතු බව ඉගැන්වීම.

පසු කාලෙක සංස්කෘතිකමය දේවල අගය වටහා ගන්න පහසු කරනු වස් චිත්‍ර, ගායනය, වාදනය, රංගයන සහ නර්ථනය ඉගැන්වීම. (කලාව හිතට දැනන අය සංවේදී අය නිසා දුක සැප හොඳ නරක ආදියට සංවේදී පුරවැසියෙකු බිහි කිරීමත් මේ මඟින් සිදුවේවී)

සභාවක් මැද සබකෝලය නැතුව (කකුල් දෙක මැඩ්ලින් ගහන්නේ නැතුව) කතාවක් කරන්න වෙනයම් හෝ ඉදිරිපත් වීමක් කරන්න පුලුවන් ලෙස දරුවන් හැඩගැස්සවීම.

ජීවත් වන පරිසරය සුන්දරව තබා ගත යුතු බව ඉගැන්වීම. (ටොපියක් කෑවත් කොලේ අතන මෙතන විසි නොකර කුනු කූඩෙකටම ගෙනත් දැමීම, නිදාගත්සෙල්ලම් බඩු ටික සෙල්ලම් කල පසු පිලිවෙලකට තැබීම, ඇඳේ රෙද්ද නවා තැබීම ආදිය කුඩා උන්ට ලොකු වැඩි දේ නිසා පාසැල් බෑගය නියමිත තැනක තැබීමට හුරු කිරීම ආදිය )

වැඩිහිටියන්ට ගරු කරන්න ඉගැන්වීම සහ ඒ අතරම වැඩිහිටියන් වුනත් වැරදි දෙයක් කරනවා නම් එයට විරෝධය පාන්න ඉගැන්වීම. (මොනවද සීයේ මිදුලේ හැමතැනම බුලත් කෙල ගහන්නේ . . කානුවට හරි පඩික්කමකට හරි කෙල ගහන්නකෝ කියා පොඩි එකෙක් කීවොත් ලොකු මිනිහෙක් කියනවට වඩා දැනෙනවා නේද?)

සපත්තුවේ ලේස් එක පවා ගැටගසන්න අපහසු තඩි බඩගෙඩි ඇති අය නිතර දකින්න ඇති නිසා ශරීරය පහසුවෙන් සිහින්ව තබා ගන්න ව්‍යායාම ආදිය කලයුතු බව දන්වන්න සරඹ ආදියට හුරු කිරීම.

මුලින්ම ඕනෑම කෙනෙක් බලන්නේ දකින්නේ මතුපිට පෙනෙන ඔපය නිසා දත්, නියපොතු ආදිය පිරිසිදුවට තබා ගත යුතු බව ඉගැන්වීම.

විශේෂම දේ පොත් කට පාඩම් කරන්න ජීවිතයේ පාසැල් කාලය සහ සරසවි කාලය ඉදිරියේ ඇති නිසා ළමා කාලය කෙලි සෙල්ලමින් ගත කරන්න ඉඩ ලබා දීම.

පෙර පාසැල් අධ්‍යාපන ක්‍රමය කොයි වගේ උනොත් හොඳයිද කියලා මේන් මට දැනට දැනෙන විදිහ. මේ දේවල් පෙර පාසැලෙන් වෙන්නේ නැති නම් ගෙදරදිම උනත් දරුවන්ට උගන්වන්න පුලුවන් නේද?

චිත්‍ර පොතක් - පැස්ටල් - දිය සායම් ගෙනත් දී චිත්‍ර කලාවට හුරු කරන්න පුලුවන්.

නැටුම් ගැයුම් සඳහා ගෙදරදී අම්මට, තාත්තාට, ආච්චීට හෝ සීයට උදව් කරන්න පුලුවන්.

අහල පහල දරුවන් කෙප දෙනෙක් රැස් කර සභාවක් තියා කතා පැවැත්වීම, සභාවක ගීත ගැයීම ආදිය හුරු කරන්න පුලුවන්.

උදේ ම සරඹ ටිකක් කරලා මූන හෝදගන්න කියලා උගන්වන්න පුලුවන්

එහෙම නේද?

නෑ මම කියන්නේ පෙර පාසැලේ ක්‍රමයේ ඒ දේවල් නැතිනම් ගෙදරදී හරි ඒ දේවල් දෙන්න පුලුවන් උනොත් ගිරවෙක් නැතුව නිර්මාණශීලී දරුවෙක් ලෝකට දෙන්න අපිට පුලුවන් වෙයි නේද?

පෙර පාසැල් අධ්‍යාපනය කොයි වගේ උනා නම් හොඳයි ද කියලා ඔයාලට හිතෙන හැටි පොඩ්ඩක් කියන්නකෝ බලන්න.

මගේ සොඳුරු ත්‍රස්තවාදියගේ පෙර පාසලේ උත්සවයේදී ගත්තු පින්තූර ටිකකුයි එහේදි ගන්න බැරි වුනු ඒවට ගෙදරදී ඒ ඇඳුම් අන්දලා ගත්තු පින්තූර ටිකකුයි මේ පහල තියෙන්නේ.














Wednesday, December 7, 2011

මං . . මේ මං . . . !



හාත්පස ඇදහිය නොහැකි නිස්කලංක බව හිතේ ඇති කරන්නේ නොසන්සුන්කමකි.

ඒ නිස්කලංකබව අනෝරා වැස්සකට පසු ඇතිවන අරුම නිස්කලංක භාවය මෙනි.

දෙදෙනාගේ වචන හුවමාරුවේ ගෝසාව ඒ නිස්කලංකබව මැද සුලි සුළඟක් මෙන් දෙසවන සිසාරා රැව් පිලිරැව් නඟයි.

කතාබහේ දිගුව කවුරුන් විසින් අරබන්නදෝයි සිතේ කරන පෙරලිය අනෙකාට ඇසෙයිදෝ මෙන් බියෙන් දෙදෙනාම දෙදෙනා දෙස බලාගත්වනම හුන් ආසන වලම හිරවී සිටී.

"නිරාෂා, ඔයාගේ ඔය මල ඉලව් ගායනය නවත්තලා විනෝදාංශ ඕනෙම නම් වෙන මොනව හරි කරන්න . . ., පොත් බලන්න පුලුවන්, ෆිල්ම් බලන්න පුලුවන් කොයි තරම් දේවල් තියෙනවද රටේ ලෝකේ"

නිරාෂාගේ නළලේ රැලි කීපයක් නැඟෙන්නේ ඇගේ මුවට එක්විටම ගලා ආ වදන් සීමා කරගෙන සිත් නොරිදෙන පිලිතුරක් ගොඩ නගා ගන්න කාලය ලබා ගනු වස් යැයි සහන්ට නොතේරිනිද?

"අනේ සහන්, මම හිතන්නේ මට සින්දු කියන්න හොඳ හැකියාවක් තියෙනවා, මට හොඳ කට හඬක් තියෙනවා කියලයි. අනිත් අයත් එහෙම කියනවනේ . . . අනෙක මම හරිම සතුටක් ලබන්නේ ඒ විනෝදාංසෙන් . . ඉතිං එහෙම එකේ ඇයි මම ඒ විනෝදාංශේ නවත්වලා ඔයා කැමති, ඔයා තෝරලා දෙන විනෝදාංශයක් තෝරගන්න කියලා කියන්නේ?"

අධිපතිවාදය, අනෙකා මත තම බලය පැතිරවීමට ඇති කැමැත්ත හෝ ඉරිසියාව . . . මේ සියල්ල සමඟ සම්ම්ශ්‍රණය වූ හැඟීමක් සහන්ගේ හිතට ආ නමුත් ඒ සියල්ලට ප්‍රතිවිරුද්ධ අදහසක් ප්‍රකාෂ කල යුතු බැව් ඔහුගේ හිතට නැගෙන්නේ අසුරක් ගසන නිමේෂයකින්.

"මම එහෙම කියන්නේ ඔයාට තියෙන ආදරේ නිසානේ ළමයෝ . ."

මේ දැන් මෙතන ඉන්නේ මීට මොහොතකට කලින් ගෝරනාඩු කල මිනිසාමදැයි සිතා ගත නොහැකි තරම් වූ ළාමක හඬක් කෙසේ ආරෝපනය කර ගත්තාදැයි සහන්ටම හිතුනු අතර "අනේ මේ මිනිහා මට කිසි හැඟීමක් දැනීමක් නැති එකියෙක් කියලා හිතනවද?" කියා හැඟීමක් නිරාෂාට ඇති වුනු බව සහන් සනාත කර ගන්නේ ඇගේ මුහුනේ ඇතිවී නැතිවුනු සමච්චල් සිනාව නිසාවෙනි.

සැබෑ ආදරය නම් අනෙකාගේ සතුට පතන, තමන් ආදරය කරන කෙනා සතුටු දේ ලබාගෙන සතුටු වීම දිහා බලා සතුටු වීම නොවේදැයි වාදකලේ පසුගිය සතියේය. මේ ඉක්මනට ඒ දේ අමතක වූවාද නැති නම් උවමනාවෙන් අමතක කලාද?

"මට තියෙන ආදරේ නිසා නම් ඇයි මම සතුටු වෙන දෙයක් කරනවට ඔයා ඔය තරම් අකමැති සහන්"

යලිත් ගෝරනාඩුවක් තරම් වචන හුවමාරුවකට යාමට නොරිසි නිරාෂා මතුරන්නේ සහන්ට ඇසෙන්නට නොව ඈත ක්ෂිතිජයේ කොහේ හෝ ඉන්නා හදවතේ සියුම් රිද්මය පවා හඳුනා ගත හැකි ප්‍රානියෙකුට පවසන්නාක් මෙන් නොපෙනෙන අනන්තයක නෙත මානාගෙනයි.

මං . . මේ මං . . . මං කිරිල්ලියක් . .
මං කිරිල්ලියක් තමයි . .
මේ . . මගේ පිහාටූ . .
මට ඉගිල්ලෙන්න නොදෙන එකයි හරි කනගාටූ
හිත සනසවන්න හිස අතගා දෙඩුවත් චාටූ . .
තටු කපන්නේ ඇයි . . හද මවමින් අඳුරු කුනාටූ . . . .

නිල් අහස අයිති අපටයි . .
ඔව් අත්තටු ඇති අයටයි . .
මේ ගමන අලුත් ලොවටයි . .
වැට කඩුළු ලෑම නිවටයි . .

ගඟ ගලන්නේ සමුදුරටයි
ඔව් බාදක නම් එමටයි
තටු ලැබෙන්නේ පෙර පිනටයි
තටු කපන්නේ බැරි කමටයි . .
තටු කපන්නේ බැරි කමටයි . . !

ගායනය - නිරෝෂා විරාජිනී
ගී පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීත නිර්මාණය - මහින්ද බන්ඩාර


පහුගිය කාලේ දවසක් බස් රේඩියෝ එකේ කතාබස් වැඩසටහනකට මට ආරාධනා ලැබිලා ඒක විකාෂනය වෙන අතරට දාන්න මගේ ප්‍රියතම ගීත කීපයක් තෝරා දෙන්න කියපු වෙලාවේ මම තෝරපු ගීතයක් මේ ගීතය.

නමුත් වැඩසටහන අතරතුර ගූගල් බස් සමඟින් එකතු වෙලා වැඩසටහන අහපු අය බස් එකේ කොමෙන්ට් කලා අයියෝ මෙලෝ රහක් නැති සිංදුවක් මේක නම් කියලා.

මම මේ ගීයට ප්‍රිය කරන්නේ මේ ගීයේ මට විඳින්න පුලුවන් තරමේ රසයක් (අර්ථය, සංගීතය, ගායනා කරන ආකාරය) තියෙන නිසා.

එත් මේක මෙලෝ රහක් නැති එකක් කියලා කියන අය මෙකේ පදමාලාවේ අර්ථය තේරුම් අරගෙන නැති නිසා මෙලෝ රහක් නෑ කියනවා වෙන්න ඕන කියලා මට හිතුනා.

ඉතිං එදා හිතුවා වෙලාවක මේ ගීතයේ අර්ථය මට දැනුනු විදිහ ලියන්න ඕන කියලා . . .

ඉතිං එච්චරයි . . . . . !!!

අදහස් දක්වපු හැමෝටම බොහෝම ස්තූතියි . . .

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails