UAE Sri Lankans Events

Thursday, September 29, 2011

ඔබ නැති නම් මිහිපිට නැත මම් . . !


“ඔය තරම් බොන්නේ ඇයි තාත්තේ”.

“ ඒ විතරක්ද පුතේ සිගරට් එකක් ඉවර වෙන්න එකක් . . කිව්වට අහනවද මෙයා ”

“ තාත්තට ඕන ඔව්ව ඔහොම බීල බීල ලෙඩක් හදාගෙන ඉක්මනට මැරෙන්නද? ”

“ තොපි ඉතිං මම මැරෙන කම් තමයි බලන් ඉන්නේ ”

“ ඔය ඉතිං . . හඳ පෙන්නුවම ඇඟිල්ල ඇදයි කියනවා ”

" හිටපල්ලකෝ . . මම ඉක්මනට මැරෙන්න උඹලට එතකොට නින්ද යයිනේ "

" පිස්සුද සිරී . . ඔයා මැරුනාම කොහොමද . . ඔබ නැති නම් මිහිපිට නැත මම් "

" මොකක් . . අම්මට පිස්සුද? මෙයා බීලා මලා කියලා අම්ම සති පූජා කරන්නද? විකාර නැතුව ඊට පස්සෙවත් හොඳ මිනිහෙක් හොයලා බැඳලා සන්තෝසෙන් ඉන්න තියෙන්නේ "

" මේ නහින දෙහින කාලේ? "

" ඇයි අම්ම කියන්නේ නහින දෙහින කාලේ ඉන්න මිනිස්සු සන්තෝසෙන් ඉන්න එක පවක් කියලද? . . වයසට ගියා කියලා මිනිස්සුන්ගේ කටවල් වලට බයේ දුකෙන් ඉන්න ඕනද? "

ඒ සංවාදේ අපේ ගෙදරදී අම්මයි මායි තාත්තයි අතර ඇති උනේ මීට අවුරුදු දහයකට විතර කලින්.

එදා ඉඳන් අපි හැමෝම එකට හම්බවෙන ගොඩක් වෙලාවට රෙකෝඩින් කරපු කැසට් එකක වගේ මේ සංවාදය කෙරෙනවා . . .

ලස්සනම හරිය අර "ඔබ නැති නම් මිහිපිට නැත මම්" කොටස අම්මා ලස්සනට ගායනා කරන එක.

ඇත්තෙන්ම ශ්‍රීමතී තිලකරත්නගේ ගීත පුංචි කාලයේ ඉඳන් ගුවන් විදිලියේ ඇහුව වුනත් මේ ගීතය විශේෂයෙන්න් අහන්න පටන් ගත්තේ අර සංවාදේ මුලින්ම ඇති උනාට පස්සේ කියලා මට හොඳින් මතකයි.

එදා ඉඳන් අදවන තුරු වෙනසක් නැතුව මම මේ ගීයට කැමතියි. නමුත් කාලයක් යනතුරු නිතර නෑසුනු ගීයක්.

මා මිතුරු තුෂාර ඕමාන්හි රැකියාව කරන කාලයේ ඩුබායි හිටි අපි අනෙක් මිතුරන් නිවාඩුවකට ඕමාන් ගිය මොහොතක ඔහුගේ කාරයේ තිබී අහම්බෙන් මේ ගීය අහන්න ලැබුනාම අර නෑසෙන ගීයේ රසය මාව කොපමන කුල්මත් කරාද කියනවානම් ඒ කැසට් පටය යලි ඩුබායි එන ගමන් තුෂාරගෙන් ඉල්ලන් එන්න මම අමතක කලේ නෑ.

නමුත් "වාසනාවකට" ඒ කැසට් එක ඉල්ලගෙන ගිය මිතුරෙක් ආපහු දුන්නේ නෑ (සුපුරුදු පරිදි)

ඒත් ඒ ගීයට මගේ ඇති කැමැත්ත එහෙම්ම ම තිබුනා.

ලංකාවේ නිවාඩු ගතකරන දිනක නුගේගොඩ සුපිරි වෙළඳ සංක්‍රනයේ සංයුක්ත තැටි සොයා මෙහෙයුමක් දියක් කරපු මොහොතක ශ්‍රීමතී තිලකරත්නගේ අමරස පෙම් සීඩී පටය මිලදී ගැනීමට මා පෙළඹෙව්වේ ඒ කැමැත්තම බව නොකියාම බෑ.



ශ්‍රීමතීගේ ගීත බොහොමයක් රචනා කර තිබෙන්නේ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා.

මගේ යෝජනාව නම් ඔබ ප්‍රේමකීර්ති ගී රචනා සහ 70 දශකයේ අපූරු සරල ගී ප්‍රිය කරන අයෙක් නම් මේ සංයුක්ත තැටිය අනිවාර්යෙන් මිලදීගෙන ඔබේ ගීත එකතුවේ තබා ගත යුතුම බවයි.

ඉතිං අහලා බලන්න එහි අඩංගු ගීත. (මේ ගීත මම අන්තර්ජාලයෙන් බාගත කර ගත්තේ - සබැඳිය නම් මතක නෑ)

අමරස පෙම් රසයෙන් කැලතෙන්
ඔබ නැති නම් මිහිපිට නැත මම්
ඔබ නැති නම් මිහිපිට නැත මම්
අමරස පෙම් රසයෙන් කැලතෙන්

සඳ වතුරෙන් සඳ සිසිල ගෙනා
ඔබ දැකුමෙන් සිත උමතු උනා//
මා ජීවත් වන බව මට දැනුනේ
ඔබ හද සැලෙනානා රාවෙන් . . //

සුපිපුනු මල් නටුවෙන් ගිලිහී
මඳ සුළඟින් ඔබ වෙත පැමිනී//
ඔබ පා මත වැතිරී පර වෙන්නට
මට ඉඩ දෙනු මැන මතුදා //


අර උඩ පින්තූරේ ඉන්න කොල්ලයි කෙල්ලයි ඒ කෙල්ලගේ නංගිගේ වෙඩින් එක දවසේ තමයි යාලුවෙල තියෙන්නේ . . .

ඒ කොල්ලා අර කෙල්ලගේ නංගි බැඳපු කොල්ලගේ නෑදෑ වෙන කොල්ලෙක්.
ඒ කොල්ලව දැක්කම ඒ කෙල්ලට මේ සින්දුවේ කියනවා වගේ "ඔබ දැකුමෙන් සිත උමතු උනා" වගේ වැඩක් වෙන්න ඇති කියලා අපි ඉතිං හිනා වෙනවා.

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

අසා බලන්න මේ ගීතත් ඔබට සුපුරුදු ගීත නොවේද කියා

ආත්මයෙන් ආත්මය පතා එන ගිම් නිවාලන ප්‍රේමයේ කතාවක් . . . . .

ආත්ම ගනනක සිතුවිලි අතරේ
මා ඔබ සෙව්වා නැහැ දුටුවේ
අප දෙ අතක දෙදෙනෙකු වීලා
නැහැ නොවැ කිසිදා මුසු වන්නේ

සඳවත පායන රෑ කල අහසේ
කැලතී කැලතී සිත් යහනේ
මහද ඇඳෙන්නේ ඒ ඔබෙ රූපෙද
පාලුව තනිකම පටලාලා

මිනිසත් බාවය මා නොලදී නම්
පියඹා එනවා සුවඳ දිගේ
ඒ එන පාරේ විඩා නිවාලන
සීතල පවනද ඔබෙ ප්‍රේමේ


. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

මේ ලොවට මා එන්න ඇත්තේ ඔබ ලබන්නම නොවේද?
ඔබට මා නැතුව . . මට ඔබ නැතුව . . අපට අප නැතුව වෙන මොනවා ලැබුනත් පලක් වේද . . ?

ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී
සහන පවන් සැලූ
මා ලඟ ඔබ සිටිනා විටදී
ලොවම දැකුම් කලූ //

මල් වැල් වන විල් පිරී ගියේ
සෙවන දෙවන්නලූ
බිඳු නඳ විහඟුන් ඉගිල්ලුනේ
මිහිරෙ රැඳෙන්නලු
පුන් සඳ නැගුනෙත් අහස් තලේ
අපට බලන්නලූ
දෙනෙතට කඳුලැලි තුරුල් කලේ
පෙමට අඬන්නලූ
පෙමට අඬන්නලූ . . .. .

මීවද මී පැනි පිරී ගියේ
දෙතොලෙ රඳන්නලු
දේදුනු ඕවිලි මැවී ගියේ
ලොවම පිනන්නලූ
මේ ලොව මා ඉපදුනේ ප්‍රියේ
ඔබව ලබන්නලූ
ඒ හැර ලැබුනත් පලක් නැතේ
ඉසුරු මැනික් මලූ

ශ්‍රීමතී වික්ටර් සමඟින්



. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

ඔබේ ආදරය සෙහෙනෙසහ රැකවරනය හැර වෙන කිසිදු භෞතික සම්පතක් මට නොවේ අගනා . . . !

රත්තරන් මැනික් මුතු මොකටද ඒවා
හිස් අතින් සිනා සිසී පැමිනේවා //

මට මල් කුමටද මා උපන්නේ වන මල් උයනේ
මට පැනි කුමටද මා සිටියා මී බැඳී අරණේ
මිණිමුතු රන් සිව් සම්පත් ඇත මේ දෙරණේ
ගෙන එනු මැන ඔබ මට සලසන රැකවරණේ

මුතු බෙල්ලෙකු මුතු රකින ලෙසින් කුස තුල සඟවා
මතු ඔබ රැක ගමි මා සතු පිය සෙනෙහෙස හඟවා
ඔබ පැමිනෙනු පසු සිහිලෙන් හදවත පිනවා
මා ඉන් පසු ඔබ යන හැම තැනකම එනවා



. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

මේ මුලු අහසම මට මදි
ඔබ ගැන මෙතුවක් නොලියූ ගීය ලියන්නට
පුංචි තාරකාවක් දැල්වෙන තැන
ඇත ඉඩ ඔබ ගැන ගීය ලියනන්ට

සප්ත සමුදුරෙහි නිල් සායම් ඇත
එක පැහැයක් මදි ඔබ රුව අඳිනට
ඇසෙන් වැටෙන එක කඳුලු බිඳක් ඇති
මට ඔබෙ පිලිරුව සිතුවම් කරනට . . !

සිත් දහසක් මදි ඔබ ගැන සිතුමට
එපමන ගැඹුරක් ආදරයෙහි ඇත
එක සිතකින් මේ ගැන සිතියැකි මට
ආදරයට සිත් දහසක් ලොව නැත . .

සුභාෂ්: දැක්කා නේද පිරිමි අපි කටින් නොකිව්වට මේ අහසත් ඉඩ මදි අපේ ආදරේ තරම ලියන්න . . ඒකට ගෑනුන්ට පොඩි ඉඩක් තිබ්බ නම් හොඳටෝ . . ම ඇති . . මොනාද ලියන්නේ "කිසි වැඩක් නෑ අපාරාදේ මේ මිනිහව බැන්දේ"

නදීෂා: අනේද ඉතිං කියන්නේ . . ඔය තේරෙන්නේ ඔයාට ගොනාට වගේ . . .


ශ්‍රීමතී වික්ටර් සමඟින්

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

මේ 70 දශකයේ තිරගත වුනු තරංගා චිත්‍රපටයේ මගේ ප්‍රියතම ගීතයක්

කන්දෙන් කන්දට ලන්දෙන ලන්දට
මල් මුව රද ලස විසිරී යනවා
රංචු ගැසීලා පියා සලලා
බමන බමර කැල
රොනට ඇදෙනවා

චන්දන මල් සිහිල උරා
කුන්ද සමන් පෙති අතුරා
මන්දහාස මුව තවරා
සැනහී සැනහී
රංචු ගැසීලා පියා සලලා
බමන බමර කැල
රොනට ඇදෙනවා



ජෝතිපාලට සහය වෙන ශ්‍රීමතී

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

සන්සුන් රුවන් හද මන්දීරයේ //
ආලෝකේ ආලෝකේ ඔබය ප්‍රියේ
රන්වන් එරන්වන් යෞවනියේ //
සෙව්වන්දී පෙම් උයනේ ඔබද ප්‍රියේ

ඔබගේ හද හැඩ
මුහුනෙන් පෙනේ
දෙනෙතේ කැලුම් බර
නිල් මල් පිපේ
තුරු හිස් මුදුන් දළු
සුළඟින් සැලේ
සුවඳක් ඇවිත් පොඩි
රහසක් කියයි

හැලෙනා රිදී දිය ඇල්ලක් වගේ
සංගීතයක් අප දෙහදේ නැගේ
ගීයක් ගයා හොඳ තනුවක් සදා
හිනැහී ටිකක් හැඩ නැටුමක් නටා

සන්සුන් රුවන් හද මන්දීරයේ //
ආලෝකේ ආලෝකේ ඔබය ප්‍රියේ
රන්වන් එරන්වන් යෞවනියේ //
සෙව්වන්දී පෙම් උයනේ ඔබද ප්‍රියේ



මිල්ටර් පෙරේරා සහ ශ්‍රීමතී

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

අපේ වැම්පයර් මළයා නෑසෙන ගීත නිතර ලබා දෙනවා . .

ඔහුට පොඩි උදව්වක් විදිහට මගේ බ්ලොග් එකේ නෑසෙන ගී රස ලේබල් එකේ දූවිලි බොහොම කාලෙකට පස්සේ පොඩ්ඩක් පිහිදලා දාන්න හිතුවා . . .

Monday, September 19, 2011

සැබෑ මිනිසෙකුගේ මතක සටහන් හෙවත් ජෝර්ජ් අයියාගේ ලිපිය. . .! (අවසන් කොටස)


ජෝර්ජ් අයියාගේ ලිපියේ කලින් කොටස නොකියවපු කෙනෙක්ට ඒ ටික මෙතනට ගිහින් බලන්න පුලුවන් . .

මම කුඩා කාලයේදී අපේ අම්මා කවදාවත්ම නිදාගෙන ඉන්නවා දැක්ක බවක් මට නම් මතක නැහැ. ඒකට හේතු උනේ ඇය නිදාගන්න ගියානම් ගියේ අපි ඔක්කොම නින්දට ගියාට පසුව, නැගිට්ටේ අපි කවුරුවත්ම නැගිටින්නත් කලියෙන්.

අපේ අම්මා හැමදාම කෑම කෑවේ අපි ඔක්කොම කාලා ඉවර උනාට පස්සෙ වළංවල ඉතිරිවෙලා තිබුන් දෙයක් විතරයි. මට ඒ කාලේ හිතුනේ අම්මා දංකුඩ කන්නේ ඒවා ගොඩක් රස නිසා වෙන්න ඇති කියලයි. නමුත් කඳුළු පිරි දෙනෙතින් ආයිත් හැරිලා බලන කොටයි මට තේරෙන්නේ අපි 7 දෙනෙකුට කන්න තරම් කෑම මදිවූ නිසා නේද අම්මා ඉතිරි උන දංකුඩ ටික කෑවේ කියලා.

අම්මා ජීවත් වෙලා හිටිය කාලේ ඈ වෙනුවෙන් අපේ යුතුකම් කොටස කලා මදි කියලා මට දැන් හිතෙනවා. අපිට බැරි උනා අම්මවයි තාත්තවයි ඩුබායි වලට එක්ක එන්න, වෙනත් රටක් ඔවුන්ට පෙන්වන්න. මට ඒ කාලෙට නැවත පියඹා යන්න ඇත්නම් අපිට අතපසුවුන යුතුකම් කොටස ඇය වෙනුවෙන් කරන්න පුළුවන් වේවි

ඒ වගේ අම්මා කෙනෙක් ජාති ජාතිත් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා

තාත්තා ටිකක් බීපු වෙලාවට සමහර විට අපිට යම් යම් කරදර වලට මූණ පාන්න උනත්, නොබී හිටිය වෙලාවට ඔහු ඉතාමත් කරුණාවන්ත බව මම අත්දැකීමෙන් දන්නවා. ඔහුට තිබුන වෙර වීරිය අපිට ගෑවිලාවත් තිබුනානම් කියල මට හැම තිස්සෙම හිතෙනවා. මට මතකයි එක කාලෙකදී තාත්තා තනියම ගෙයක් හදන්න ගත්තා උණ පඳුර ලඟ. ඔහු තනියම කල දේවල් අපි 10 දෙනෙකුටවත් කරන්න පුළුවන්ද?

අපි කුඩා කාලයේදි අපිට උදව් කරපු අය අප්‍රමාණයි.

ඒ අතරින් පර්සි අන්කල් සහ අයිරිස් ඇන්ටි මුල් තැනක් ගන්නවා. ඔවුන් දෙදෙනා අපිට කොයිතරම් නම් උදව් උපකාර කලාද? හැම ඉරිදම අපිට ඔවුන්ගේ ගෙදරට ආරාධනා කරලා දවල් කෑම වේලක් දෙනවා. ඒ කෑමවල රස අදත් මට දැනෙනවා. මම ඉස්සරවෙලාම මගේ ජීවිතේට කටලට් එකක් කෑවෙ පර්සි අන්කල්ලගේ ගෙදර තිබුනු දානෙකදි.

නත්තල් දවසට ඒ දෙන්නා අපි ඔක්කෝටම තෑගි දෙනවා. අපි ඉස්සර ඉස්කෝලෙ නිවාඩුවට නුවර යනකොට පර්සි අන්කල් අපිව කොටුව ස්ටේෂන් එකට කාර් එකෙන් ගිහින් ඇරලවනවා. කෝච්චිය පිටත්වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි ස්ටේෂන් එකේ රෙස්ටුරන්ට් එකෙන් මාළු පාන් ඇතුළු නොයෙකුත් බනිස් ජාති බෑග් එකකට දාල ගෙනත් දෙනවා. නුවර යන ගමන් අපි ඒ කෑම කෑවේ ඉතාම සතුටින්.

අයිරිස් ඇන්ටි නැතිවුනාට පස්සේ හැම ඉරිදාටම පර්සි අන්කල් වියළි ආහාර සහිත බෑග් එකක් ගෙදරටම එවනවා. නැති බැරි වෙලාවට අතමාරුවට කීයක්නම් ඔවුන්ගෙන් ඉල්ලගන්න ඇත්ද?

නමුත් අපිට බැරි උනාපර්සි අන්කල්ට නැතිබැරි කාලේ එහෙම නැතිනම් ලෙඩ දුක් හැදුන අවසන් කාලේ ඔහුව බලන්නවත් යන්න . . . !

අපිට නැති බැරි කාලේ ලොකු අයියායි නිමාලි අක්කයි අපිට ගොඩක් උදව් කලා. අම්මා මට කියනවා ගිහින් එයාලගෙන් සල්ලි කීයක් හරි ඉල්ලන් එන්න කියලා.

සමහර දවස්වල ගෙදර වියදමට අම්මා වියදම් කලේ අක්කා මැහුම් මහලා හම්බ කල සල්ලියි.

ලුවී අයියා, සිසි අයියා අපිට හැකි විදිහට උදව් කලා. සිසී අයියා වාලච්චේනේ වැඩ කරනකොට අපිට ඉස්කෝලෙට අවශ්‍යය ඔක්කොම පොත් ගෙනත් දෙනවා.

ලොකු අයියා මට අරන් දුන්න පොත් බෑග් එකේ පාට මට තාම මතකයි.

සනී අයියා මට ඒ දවස්වල පොඩි සෙල්ලම් කාර් එකක් අරන් දුන්නා. මම ඒක අවුරුදු ගානක් තියන් හිටියා. ඒක කැඩුනහම මම යෝගර්ට් හැන්දක් උණු කරලා කැඩිච්ච තැන් හදාගතා. මට එම සිදුවීම් අද වගේ මතකයි.

පසු කාලෙක් රාණි අක්ක සහ එෆ්.ආර්. වික්‍රමසිංහ මට ඉගෙන ගන්න මාස්පතා මුදලක් ලබා දුන්නා. එම මුදලා ඉතා ප්‍රයෝජනවත් උනා මට.

අයියා රුසියාවේ ඉගෙනීම කරන විට එවූ රේඩියෝවෙන් තමා අපි ඉස්සෙල්ලම මුවන් පැලැස්ස ඇහැව්වේ. ඒ කාලේ අයියාගේ යහළුවන් ලංකාවට එන බව ආරංචි වූ විට අපි මග බලාගෙන ඉන්නවා එවන සෙල්ලම් බඩු මොනවද කියලා දැනගන්න.

අයියා ඉගෙනීම අවසන් කරලා ලංකාවට ඇවිත් රැකියාවක් කරන්න පටන් ගත් පසු අපිට ඉගෙනීමට උදව් කලා. අයියා එංගලන්තේ ඉඳන් එනකොට ගෙනාව කාර් එක විකුණල ලැබුන සල්ලි වියදම් කලේ අපේ යහපතට මිසක් අයියගේ පෞද්ගලික ඕනෑ එපාකම් වලට නෙමේ. නිහාල් අයියා එංගලන්තේ ඉන්න කාලේ ලංකාවට එනවිට අපි හැමෝටම ඔහු නොවරදවාම තෑගි ගේනවා. නිහාල් අයියා ගෙනත් දුන් පෑන් පැන්සල් පෙට්ටියේ තිබුනු පෑන් ගණන මට තාම මතකයි.

ඇන්තනි අයියා මට ඩුබායි එන්න උදව් කලා. අපි අද හොඳට කාලා ඇඳලා ඉන්නවා නම් ඒකේ ගෞරවය ලැබෙන්න ඕන ඇන්තනි අයියටයි චිත්‍රා අක්කටයි.

වසන්ත අයියා, රංජිත් අයියා සහ කොලින් අයියත් අපිට හැකි විදිහට උදව් උපකාර කලා.

ඉස්සර සරුංගලයක් හදන්න සව් කොලයක් ගන්නවත් බැරි කාලේ සව්කොල ඉල්ල ගත්තේ වසන්ත අයියගේ අම්මාගෙන්. ඇන්ටි ගෙදර තිබුනු සව්කොල මට දුන්නු වාර ගණන අනන්තයි.

මම අද මගේ කිට්ටුවන්ත මිතුරන්ගේද උදව් ඇතිව මට හැකි විදිහට ලංකාවේ ජීවත්වන දුගී දුප්පත් අයට හැකි විටක උදව් කරන්නේ අපිට කුඩා කාලයේදී නැති බැරි අවදියේදී අපිට උදව් උපකාර කල අය සිහිපත් කරලා.

ජෝර්ජ් අයියා එවූ ඊ ලිපියේ තිබූ පින්තූරය . .


මා අද දින කරනා යම්කිසි පිනක් ඇද්ද, එය මට උදව් උපකාර කල සියල්ලන්ටම ඒ පින් අනුමෝදන් වෙන්න ඕන කියන එකයි උදේ හවස මගේ ප්‍රාර්ථනය. මම නිතරම පසුතැවිලි වෙනවා අපිට උදව්කල සමහර අය ජීවත්වෙලා සිටිය කාලෙදි ඔවුනට උපකාරයක් කිරීමට නොහකි වීම පිලිබඳව.

මගේ ළමා කාලය ඉතාම සුන්දර එකක්. යහළුවන් සමග වෙලේ සරුංගල ඇරිය හැටි, ගොයම් කැපූ පසු හවසට වෙල් එළියේ එල්ලේ ගැසූ හැටි, ගොයම් කපන කාලෙට කෙවිටක් අතට අරගෙන අම්බරුවන් දක්කමින් ගොයම් පෑගූ හැටි, අල්ලපු වත්තේ හොරෙන් කජු පුහුලන් කඩන්න ගස් නැග ගුටි නොකා බේරුන හැටි, ගංවතුර ගලන කාලෙට කෙසෙල් කොට ඔරු හදලා ඇස් පෙනතෙක් මානෙට පැදගෙන ගිය හැටි, උණබට තුවක්කුවට කිරිල්ල ගෙඩි දාලා කොරවක්කන්ට වෙඩි තියපු හැටිමගේ මතකයට එනවා.

සෙල්ලම් ගෙවල් කීයක් නම් අපි හදලා ඇත්ද?

පැත්තකට දාලා තියෙන ටයර් එකක් තල්ලු කරලා අපි කොයිතරම් විනෝද වුනාද?

බයිසිකලයක් පදින්න ඒ කාලේ මම ගොඩක් ආස කලා, නමුත් අපිට වත්කමක් තිබුනේ නැහැ බයිසිකලයක් ගන්න.

ඒ දවස් වල ඉස්කෝලේ නිවාඩුකාලෙ එනකම් අපි ඉන්නේ ඇඟිලි ගණන් කර කර.

නිවාඩු කාලේ ලැබුන ගමන් අපි තාත්තගේ Rail Warrant එකෙන් නුවර යනවා ආච්චිලගේ ගෙදර. කෝච්චියේ නුවර යනකොට බස් ටිකට් රෝලක් ගෙනියනවා ජනේලෙන් එලියට දාගෙන යන්න. උඩතලවින්න ස්ටේෂන් එකෙන් බැහැලා අපි ආච්චිගේ ගෙදර යන්නේ පයින්මයි. ඇවිදගෙන යන අපි ටික වෙලාවකට නවතිනවා කඩේ මාමාගේ කඩේ ගාව. මාමා නොවැරදීම අපිට මොනව හරි දෙනවා.

අපි නැවත කොළඹ එන්නේ ඉස්කෝලේ පටන්ගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී. අපි හැම නිවාඩුවටම ආච්චිලගේ ගෙදර ගිහින් මාසයක් දෙකක් එහි නැවතී හිටිය කාලයේදී අප නිසා ඒ අයට කොච්චර කරදරයක්, වියදමක් යන්න ඇත්ද කියලා මට වෙලාවකට හිතෙනවා.

මම ගතකරපු සුන්දර ලමා කාලයෙන් එක අංශු මාත්‍රයක්වත් අද මගේ දරුවෝ දෙන්නට දෙන්න මට හැකි වෙලා නැහැ. මම ඒ ගැන ජාති ජාතිත් කණගාටු වෙනවා. නමුත් ඔවුන්ගේ සමාව මට කවදාවත් නොලැබේවි.

අද අපේ අම්ම තාත්තා අප අතර නැහැ. නැන්දා, රංජිත් අයියා සහ කොලින් අයියත් අපත් සමග නැහැ. මම ඔවුන් සියළු දෙනාවම මේ අවස්ථාවේ සිහිපත් කරනවා.

අපේ ආච්චි, පුංචි අම්මලා, ලොකු අම්මා, පප්පා, විශේෂයෙන් ස්ටෙලා ඇන්ටි, බර්ටි අන්කල් මේ වෙලවේ මගේ සිහියට එනවා.

අම්පාරේ බාප්පා, අයියා රුසියාවේ යන දවසේ පාර හොයාගන්න බැරිව අතර මං වුනා. බාප්පට බැරිඋනා අයියා රුසියාවේ යනවා දකින්න. අයියා නැවත ලංකාවට එන්කොට බාප්පා ජීවතුන් අතර නැහැ. මට එතකොට වයස අවුරුදු 5 යි නැත්නම් 6 යි. නමුත් අයියා රුසියාවේ යන දවසේ සිදුවූ සිදුවීම් සියල්ලම අද ඊයේ වගේ මට මතකයි.

අපි කුඩා කාලයේ දැක්ක නොයෙකුත් චරිත අපේ නැන්දා, සනී අන්කල්, සැමී අන්කල් සහ අප්පුහාමි සීයා මුල් තැනක් ගන්නවා. දැන් ඉන්න අයට වඩා ඔවුන්ගේ ජීවිත කොයිතරම් ලස්සනද

මට තාම මතකයි චාලට් ඇන්ටිගේ මගුල් ගෙදර. සතියක් විතර මගුල් ගේ තිබුනා.

නීල් අන්කල්ලගේ Page Boy මම. ඒ මගුල් පිංතූරයක් මගේ ලඟ තිබුනා නම් කොයිතරම් අගේද?

ලොකු අයියගේ මගුල් ගෙදර දවසේ සනී අයියල බොන තැනට ගිය මටත් හොරෙන් පොඩ්ඩක් බොන්න දුන්නා. මට එතකොට වයස 7 - 8 ක් ඇති. සනී අයියා "දැක්කොත් පද්මාවතී" සිංදුව ගයමින් නැටූ හැටි මට තවමත් මතකයි.

විලී අන්කල් අසනීප වූ දවස් වල එහේ දින ගනනක ලොකු තොවිලයක් තිබුනා. අපි දින ගණන් නොනිදා පහන් කලා. ඒ වගේ තොවිලයක් අහල ගම් හතකවත් තිබුනයි කියලා මම හිතන්නේ නැහැ.

මට ඒ සුන්දර මතක සටහන් තවමත් හොඳට මතකයි. අනේ ඒ සුන්දර කාලය රසවිඳින මගේ දරු දෙදෙනටත් අවස්ථාවක් දෙන්න මට හැකි නම්.

මට මගේ ආදර බිරිඳ ජෙනීව හමුවුන නිසා, ජෙනී මට ලංකාවට යන්න ටිකට් එකක් දුන්නු නිසා . . අම්මා මිය යන්න දින හතරකට පෙර ඇයව දැක බලාගන්න මට අවස්ථාවක් ලැබුනා, මම ඒ අතින් වාසනාවන්තයි.

නමුත් අම්මට බැරිඋනා මගේ මගුල් ගෙදරට සහභාගී වන්න. ඒ වුනත් අම්මා මිය යන්න කලින් දැනගෙන හිටියා මම අඩු ගනනේ විවාහ ගිවිස ගත් බව. අම්මා ඒ පිළිඹඳව නම් සතුටුවන්න ඇති. මගේ ලමයි දෙන්නාව ඇයගේ ඇස් දෙකෙන් දකින්න තරම් වාසනාවක් අම්මට නැති උනා. අපේ අම්මගේ ආදරය ලබන්නත් මගේ දරු දෙන්නාටත් වාසනාවක් ලැබුනේ නැහැ.

අපේ පවුලට සාමාජිකයන් එකා දෙන්නා එකතු වෙන කොට ගොඩාක් සතුටුවුනේ මමයි.

මෙලූෂා ඉපදෙනකොට මට වයස අවුරුදු 10යි. ඊට පස්සේ සුදේශ් ඉපදෙනකොට මට වයස 11යි. මගේ අක්කලගේ අයියලගේ දූලා පුතාලා මම බලාගත්තේ මගේම ලමයි වගේ, ඒ මම කුඩා ලමුන්ට ගොඩක් ආදරේ නිසයි. මට නංගිලා මල්ලිලා නැති අඩුව ඔවුන් නිසා දැනුනේ නැහැ.

ඉවෝන්, මාර්ක් සහ මිනෝන්ව මම ඉතා කුඩා කාලයේ ඉඳලම බලාගත්තා, ඒ මම නැවතිලා හිටියේ එහේ නිසා. ඒ තිදෙනා ඔවුන් කුඩා කාලයේදී අනෙක් අයට වඩා මගේ ලඟින් හිටියා.

අද අපේ පවුල සී සී කඩ ගිහින්. දියුණුයි කියන ලෝකේ අනිසි ප්‍රතිපල තමයි ඒ. අවුරුදු ගණන් එකිනෙකාට දුරකථනයෙන්වත් කතාකර දුක සැප නොවිමසන අපේ පවුලේ සාමාජිකයන් කී දෙනෙක් අද ඉන්නවද?

කාටවත් ඒ ගැන දොස් කියන්න නම් බැහැ. ලොකේ දියුණු වෙනවා, අපි ඈත් වෙනවා.

මම පොඩි කාලේ පැත්තකට වෙලා බලන් හිටිය විදිහටම මම අදත් පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා. .. . . හිතේ එක්තරා කොනක දැනෙන වේදනාවත් සමග.

ඊමේල් නැති, Face Book නැති, Internet තිබුනේ නැති මා කුඩා කල ගතකල සරල ජීවිතයට මම මීට වඩා ප්‍රියකරනවා.

කන්න බොන්න නැතත් අපි සන්තොසෙන් හිටියා.

ඉස්සර ලියුම්කාරයා ඇවිත් සීනුව ගහන විට අපි දූවගෙන යනවා ලියුම් ගන්න. අපි ලියුම්කාරයා එනකම් බලාගෙන හිටියේ කුතුහලයෙන්. ඉඳලා හිටලා ලැබුනත් ඒ ලියුම්වල ලියවිලා තිබුන දේවල් අද Inbox එකේ තියෙන සිය ගනන් ඊ-ලියුම්වලට වඩා මට වටිනවා.

අතින් ලියුව ලිපියක තිබුන ආදරය කරුණාව ඊමේල් වල ගෑවිලාවත් නැහැ.

මට 50 වසරක් ලබන මේ අවුරුද්දේ මගේ සුන්දර මතක සටහන් මෙසේ ලියා ඔබ සැමට දන්වන්න හිතුනේ ඒකයි. මා ලියනා දේ ඔබ කොහොම පිලිගනීවිදැයි මා දන්නේ නැත.

එක්සත් අරාබි එමිරේටයේ ජීවත්වූ වසර 25 ක කාලයක් තුල ඉතාම සුන්දර මිනිසුන් පිරිසක් මට සහ මගේ පවුලේ අයට හමුවූයේ වසර 1992න් පසුව කියලයි මට හිතන්නේ.

ගිය ආත්මයේදී ඔවුන් මගේම සහෝදර සහෝදරියන්ද කියල හිතෙනවා. අපට පසුගිය කාලේ සිදුවුන නොයෙක් දුක් කරදර වලදී ඔවුන් සැම අපත් එක්ක රැඳී හිටියා. ඔවුන් දුන් සහයෝගය නිසා දුකක් කරදරයක් දරාගන්න එක අපට එතරම් අපහසුවක් වුනේ නැහැ. අදටත් ඔවුන් එසේමයි. ඔවුන් වගේ සොහොයුරු සොහොයුරියන් පිරිසක් දැන අඳුනාගන්න ලැබුන එක පිළිඹඳව මම සතුටු වෙනවා.

ඔවුන් මගේ දුවයි පුතයි බලාගන්නේ අම්මා (ජෙනී) ඩුබායිවල නැති අඩු පාඩුව ඔවුන්ට නොදැනෙන තරමට. එදිනෙදා ගෙදරට අවශ්‍ය දේ පවා ඔවුන් ගෙදරටම ගෙනත් දෙන්නේ මට වාහනයක් නැති බව ඔවුන් දන්නා නිසයි.

ලෙඩක් වුනහම ආරංචිය ලැබුන ගමන් ඔවුන් අපේ ගෙදරට දුවගෙන එනවා, දුක සැප බලන්න. මම ඩුබායිහි දී (1992න් පසුව) දැන අඳුනගත් ඒ නංගිලා මල්ලිලාට දූ පුතාලට මා සදා ණය ගැතියි අපේ ජීවිතය අර්ථවත් කිරීම ගැන.

අප බලාපොරොත්තු නොවූ ප්‍රශ්න රාශියකට පහුගිය වසර 3 - 4 තුල අප මුහුන පෑවා. තවම ඒ ප්‍රශන විසඳී නැතත් අපි අපේ ඉදිරිගමන යන්නේ ඒ ප්‍රශ්න සියල්ල අමතක කරලා.

කොයි දේ වෙන්නෙත් හොඳට කියලා අළුතෙන් කුමක් හෝ කර අපි අපිට හිතවත් අයත් සමග ඉදිරියටම යනවා. අපිට ප්‍රශ්න එනව වගේම එම ප්‍රශ්නයන්ට විසඳුනුත් කොහෙන් හෝ ලැබෙනවා.

මගේ ලඟම මිතුරන්ට සහ මගේ නෑදෑයන්ට මාර්තු මාසේ 11 වෙනිදා නැත්නම් 12 වෙනිදා මගේ 50 වෙනි උපන්දින සාදයට ආරාධනා කරන්න හිතුනේ ඔවුන් වෙනුවෙන කරන කෘතගුණ සැලකීමක් ලෙසයි.

උපන්දින සාදයේ වීවියෝවක්


එදිනට මගේ පවුලේ එක්කෙනෙකුට හෝ දෙන්නෙකුට සහභාගීවන්න පුළුවන්වුනොත් ඒක මගේ සතුටක්.

මගේ අඩ සිය වසක උපන්දිනයට සහභාගී වීමට ඔබ එන්නේ නම් මම ඔබෙන් එක ඉල්ලීමක් කරන්න කැමතියි.

එදින ඔබ කිසිම කෙනෙක් කිසිම ත්‍යාගයක් නොගෙනා යුතුයි.

නමුත් මම එදිනට ඔබ සැම ඉදිරියේ අපේ මව් බිමේ සිට පැමිණෙන ඉහත සඳහන් සුවිශේෂ පුද්ගලයාට සත්කාරයක් කිරීමට බලාපොරොත්තු වෙනවා, ඔහු අප සැමගේ උදව් උපකාර ලැබිය යුතු පුද්ගලයෙක්.

ඔහුගේ නොපෙනෙන දෙනෙතට හිනාවක් එක් කරන්න, එදිනට මට හැකි වුනොත් මගේ 50 වසරක ජීවිතයේ අති සුන්දරම දවස එදින වේවි. මගේ අඩ සියවසක ජීවිතයේ මම කරන මහා පුණ්‍යකර්මය එය වේවි. මගේ දෙමව්පියන්ද මෙලොව හැර ගොස් සිටින අනෙකුත් සියළුම ඥාතීන්ද සිහිවීම පිනිස මම එම පරිත්‍යාගය කිරීමට අදහස් කරනවා.

ඒ සමගම මා කවදත් ගෞරවය කරන අප මව් බිමේ Capt. Elmo Jayawardena සහ Kushil Gunasekar මහතුන්ටත් මම ආරාධනා කරා එදිනට පැමිනෙන ලෙස. Kushil Gunasekara මහත්මයා දැනටම එම ආරාධනාව පිලි අරගෙන තියෙනවා.

සාදයේ පින්තූර මෙතනින් බලන්න පුලුවන් . .
http://tinyurl.com/George-50-Not-Out

ජීවත්ව සිටිනතුරු අප සියළු දෙනා එකිනෙකාට ආදරය කරමින් ජීවත්වීම තමයි අපේ දෙමව්පියන් අපෙන් බලාපොරොත්තුවන්න ඇත්තේ. එසේ සමගියෙන් සමාදානයෙන් අප සියළු දෙනාටම ජීවත්වන්න ලැබේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා.

අප පවුලේ සියළු දෙනාම නැවත කවදා හමුව්වේවිදැයි මම නොදනිමි., නැවත් කෙදිනක හෝ හමුවනතුරු ඔබ සියළු දෙනාටම මගේ ඇති අවංක ආදරය පුද කරමින් මම ඔබෙන් දැනට සමුගන්නෙමි.

ඒත් සමගම පහුගිය වසර 50 තුල නොදැනුවත්ව හෝ මගේ අතින් ඔබට වරදක්වුනි නම් කරුණාකර මට සමාවන්න.

ඔබට සදා ජය.

මීට
ඔබට අවංකව ආදරය කරන
මල්ලී/චූටි මාමා
ජෝර්ජ්

පලි.
ජෝර්ජ් අයියගේ පාර්ටියට දුමී ඇතුලු අපේ කට්ටියේ සෙට් එක සහභාගී වී ඇති අයුරු දුමීගේම කට කහන කතාවකින් අසා ගත යුතු තරම් රසබර එකක් හෙයින් ඒ ගැන සඳහන් කිරීම මඟහැර ජෝර්ජ් අයියා විසින් පාර්ටියෙන් පසුව මිතුරන් වෙත යැවූ ඊ ලිපියේ කොටසක් මෙයට එකතු කරන්නම් ඔහුගේ සංවිධාන ශක්තියේ තරම සහ විනිවිදභාවය ගැන ඔහු දක්වන සැලැකිල්ලට කරන ගෞරවයක් ලෙසට . .

I would like to give you the brief details of the collection of funds on that day:

Total amount collected :

· UAE Dhs. 9580.00

· Canadian $ 100.00 (= Dhs. 349.00)

· Sri Lankan Rs. 7000.00


Amount given to Prasanna:

· Transport from Katunayake to Kandy = Rs. 7000.00

· To buy gifts to his relatives & friends = Dhs. 330.00

Balance amount = Dhs. 9599.00

We have transferred this amount to Prasanna’s personal account. Total amount transferred = SL. Rs. 294,439.00 (=Dh. 9599.00) - ** Kindly refer to attached receipt


Dear Friends, thank you once again for your genorosity. May God Bless you all.

As soon as the DVD of the party is ready I will make extra copies and distribute them among all the participants FOC. I have got two DVDs + CDs with me and I would like to give it to you FOC to remember me. All these will be personally sent to you ASAP.


Regards

George


සාදයේ තවත් වීඩියෝ පහලින්










කාර්යාලයේ වැඩ අධික කම නිසාම ජෝර්ජ් අයියගේ ලිපියේ ඉතුරු කොටස පමා වුනත් . . . පමාව ගැන නිතර විමසා "උඹට වැඩ වැඩි නම් දීපන් මම ටයිප් කරලා දෙන්නම් කියා" එය ටයිප් කර දුන් දුමීටත් දුමීට සහයෝගය දුන් මගේ මරණයටත් විශේෂ ස්තූතිය.

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails