Saturday, August 20, 2011

හුචක්කුවේ අතුරු කතා . . . !


මෙහේ යූ ඒ ඊ වල මගේ හොඳම මිතුරෙක්ගේ බිරිඳයි දරු දෙදෙනායිත් පාසැල් නිවාඩුවට මෙහේ ඇවිත්. (යාලුවා කවුද කියලා නම් කියන්න බැරියෝ.)

ආපු දා ඉඳන් දෙගොල්ලෝම කොහේ හරි යමු කිය කිය හිටියට අපේ නිමක් නැති ගමන් බිමන් එක්ක එයාලා එක්ක එහේ ගිහින් සෙට් වෙන්න කාලයක් ලැබුනේම නෑ.

බැරිම තැන දවසක් යාලුවා කතා කරලා දුමීලගේ ගේ තියෙන තැන ඇහුවා. (දන්නවනේ දුමී ගෙදර අපිට බාර දීලා නිවාඩුවට ලංකාවට ගිහින්)

"අද උඹලා ගෙදර හිටපල්ලා. අපි එනවා උඹලා ඉන්න දිහාවේ"

"හරි වරෙන්, මට එලියට යන්න තියෙනවා. එක වාහනයක යමු. උඹලවයි අපේ ගෙදර උන්දෑවයි ෂොපින්ග් මෝල් එකක දාලා මම මගේ වැඩේ කරගෙන එන්නම්" මම කිව්වා

යාලුවයි පවුලේ අයයි ඇවිත් තේ එකක් බිව්ව විතරයි, ගෑනු දෙන්නට කෝප්ප හෝදන්න කාලයක් හම්බ උනෙත් නෑ යාලුවගෙන් ප්‍රශ්නයක්.

“අනේ මචං අර ෆේස් බුක් එකේ තිබුනේ හුචක්කුව කියලා වීඩියෝ එකක්. මම ඒක ගැන මේ මනුස්සයට කිව්වා. මෙයා මාත් එක්ක වලි දානවා ඒක මම ගොතපු කතාවක් කියලා. ඒක මට ආපහු හොයා ගන්න බෑ මෙයාට පෙන්නන්න. උඹේ ෆේස් බුක් එකේ ඒක තියෙනවද?”

"මමත් දවසක් දැක්කා. ඔක්කෝම බලන්න බැරි උනාද කොහෙද"

අපේ උන්දැත් කිව්වා

"අයියෝ ඒක හොයන එක එච්චර අමාරු නෑ"

මම යූ ටියුබ් එක ඕපන් කරලා හුචක්කුව කියලා ටයිප් කරලා වීඩියෝ එක අරගෙන ප්ලේ වෙන්න දැම්මා.

"උඹලා ඕක බලපල්ලා" අපි දුමීලගේ සාලේ ඉඳගෙන ටී වී බලන්න පටන් ගත්තා.

මේ පහල තියෙන්නේ ඒ හුචක්කුව වීඩියෝ එක තමයි ඕන්.

නොදැකපු කෙනෙක් ඉන්නවනම් මුලින්ම මේක බලලම ඉන්න.


ටික වෙලාවකින් කිචි කිචි සද්ද සහ මුනු මුනු සද්ද ඇහුනත් අපි ඇහුනේ නෑ වගේ හිටියා.

ටික වෙලාවකින් මෙන්න බිරින්දෑ වරු දෙන්නා එනවා හුචක්කුවේ අතුරු කතා ටික අරගෙන

1. අර මනූස්සයා එක්කෝ ගෑනි මැරිච්ච කෙනෙක්, එහෙම නැති නම් ඩිවොස් වෙච්චි කෙනෙක් (නැත්නම් කොහොමද ඔහොම බය නැතිව ඇත්ත කතා කරන්නේ. . හික්ස්)

2. ඒත් නැත්න්ම් මේ වීඩියෝ එක ඒ මනුස්සයගේ ගෑනි දැකලා නම් එහෙම ඒ මනුස්සයා මේ වෙනකොට ජීවතුන් අතර නෑ.(හෆොයි අසරන මනුස්සයා)

3. ඔය ඔෆිස් වල බෙන්ස් කාර් උනත් ගෙවල් වල ඉන්නේ හුචක්කු වගේ තමයි අනේ (දෙයියනේ බෙන්ස් කාර් වලට ගිය කලක්)

4. හුහ් යමන්කෝ අද ෂොපින් . . . අපිටත් බෙන්ස් කාර් වෙන්න පුලුවන් කියලා මේ දෙන්නට පෙන්වන්න (අපේ උන්දෑ එයාගේ සප්ලිමන්ටරි ක්‍රෙඩිට් කාර්ඩ් එක හෑන්ඩ් බෑග් එකට දාන ගමන් කියනවා - ඇයි දෙයියනේ මම කිව්වැයි ඔයා හුචක්කුවක් කියල . . . ) යාලුවගේ බිරිඳත් යාලුවගේ අතින් අල්ලගෙන එලියට යන්න ආවා.

5. අර ගෙදර ආවහම බිරිඳව අතගාලා ප්‍රබෝදමත් කරන්න කියන්නේ. මෙයාලා ආපු වෙලාවේ ඉඳන් එක්කෝ කොම්පීටරේ ලඟ නැත්නම් ටී වී එක ඉස්සරහා. අපිට තනියෙම අතගාගෙන ප්‍රබෝදමත් වෙන්න තමයි වෙන්නේ (මේ අතුරු කතාව ඇහුවේ මහ රෑ දෙගොඩ හරියේ නිදා ගන්න යද්දී තමයි හික් හික් හික් හෆොයි අරූට කොහොමෙයි ඕවා කියන්නේ)

දැන් මේ සිදුවීමට දවස් ගානක් නිසා ඔක්කෝම අතුරු කතා මතක නෑ වගේ අප්පා.

පස්සේ මේ හුචක්කුවේ දෙවෙනි කොටස බලද්දෙ තමයි තේරුනේ මෙතුමා අපේ දයාබර කතා කරුවෙක් වන සරත් විජේසූරිය මහත්තයා බව.

මගේ නඩුව ඉවරයි, නිරානන්දය, සතුටින් ජීවත් වෙන හැටි වගේ පොත් එතුමා ලියපුවා.

ඇත්තෙන්ම ගෑනු පිරිමි හැමෝටම ප්‍රයෝජනවත් කරුනු රාසියක් එතුමාගේ කතාවේ තියෙනවා.

පලමු කොටස විනාඩි 6යි තත්පර 11යි.

ඒත් දෙවෙනි කොටස විනාදි 41යි තත්පර 20යි.

දෙමව්පියන්ගේ ආදරය අපි අඳුනා නොගන්නා හැටි.

පොඩි ප්‍රශ්නයක් උනත් මහා ලොකු ප්‍රශ්නයක් කරගෙන විඳවන හැටි.

පොඩි ප්‍රශ්නයක් උනත් පවුල් අවුල් වෙන තරම් දුර දිග යන හැටි.

පිරිසිදු කම ගැන අපි විශේෂ සැලකිල්ලක් නොදක්වන එකෙන් වෙන පවුල් ප්‍රශ්න.

අඬවැඩියා සංගීතය අසන්නන් ට දැනෙන හැටි.

කෙනෙක්ගේ පෞරුෂය ගැන අනෙක් අය සොයන්නේ කොයි අකාරයෙන්ද බව.

පවුලේ සාමාජිකයින් අතර සන්නිවේදනයේ අඩු ලුහුඬුකම්.

පෙම් කරන කාලයේ තිබූ ආලය විවාහයෙන් පසුව දියාරු වී යන හැටි.

ඔය ආදී විශාල පරාසයක මාතෘකා මේ විනාඩි හතලිහේ සුලු කාල සීමාවේදී එතුමා විග්‍රහ කරන අයුරු හරිම අපූරුයි. සිත් ඇද ගන්නා සුලුයි. සිත කම්පා කරනවන සුලුයි.

අපි අනවශ්‍ය දේවල් කරන්න කාලය කොයි තරම් නම් කැප කරනවද.

ඒ නිසා ඒ විනාඩි 41 බලන එක අපරාදයක් කියලා මොහොතකට වත් හිතන්නේ නැතුව මේ පහල තියෙන මුලු විඩියෝවම බලන්නයි කියා මම ආදරයෙන් ඉල්ලා සිටිනවා.


Friday, August 12, 2011

තාත්තා අසනීපයෙනි, වහාම එන්න එපා.. . !



මගේ මුල්ම පිටරට රැකියාව කරන කාලේ - කටාර් රාජ්‍යයේ - වැඩ කරන දවසක කෝල් එකක් ආවා. කතා කලේ අම්මා.

"පුතේ දැනට දවස් හතරකට කලින් තාත්තට ඩෙංගු හැදිලා හොස්පිටල් ඇඩ්මිට් කලා. ඔයාගේ යාලුවෝ ඉන්දික, හිමාෂ්, සමරෙ එහෙම තාත්තව බලා ගන්නවා. ඔයා බය වෙන එපා දැන් තාත්තට ගොඩක් හොඳයි"

අම්මට පිලිතුරු විදිහට මම මොනව කිව්වද මතකවත් නෑ.

මට මතක මගේ ඉස්මුදුනෙන් පටන් ගත්තු හිරි වැටීමක් බෙල්ල, පපුව, කකුල් හරහා යටි පතුලටම කරන්ට් එක වදිනවා වගේ දුවපු බව විතරයි.

"අනේ තාත්තා මැරුනොත්?"

මාව එතනම තිබුනු පුටුවේ ඉන්දවුනා කියලාත් මතකයි.

"තාත්තා නැතුව අපි කොහොම ජීවත් වෙන්නද?

එතකොට අක්කයි නංගියි දෙන්නත් බැඳලා පවුලෙන් වෙන්වෙලා, නංගී ජපානේ, මම කටාර්. ඒත් තාත්තා කියන්නේ අපේ පවුල් ගහේ මුදුන් මුල විතරක් නෙමෙයි මුලු ගහම. මට හිතුනේ එහෙම

පවුල වෙනුවෙන් තාත්තාට වැඩිය කැපකිරීම් අම්මා කලා උනත්, පිට රට ඉන්න නංගීත්-මමත් පවුලේ වියදම් බලා ගත්තා උනත් අපි හැමදෙනාම පවුල් ගහේ නිකම්ම නිකම් කොල. තාත්තා තමයි මුලු ගහම වුනේ.

මම එදාම නිවාඩු දාලා ලංකාවට ගියා.

යනකොටත් අම්මගේ, අක්කගේ, මගේ යාලුවන්ගේ සහ රෝහලේ වෙද-හෙද-හෙදි-සේවක පිහිටෙන්, සහයෝගයෙන්, උපකාරයෙන් තාත්තා සුවය ලබලා.

ගුවන් යානයේ ගමන් කාලය පුරාවටම මගේ හිත හිරි වට්ටපු එකම ප්‍රශ්නයයි තිබ්බේ.

"තාත්තා මැරුනොත් අපි ජීවත් වෙන්නේ කොහොමද? පවුලේ මූලිකයා නැතිවුනොත් අපිට මොනවා වෙයිද?"

ඒක තනිකරම ආත්මාර්ථකාමී හැඟීමක් වෙන්න ඇති, ඒත් ඒක එහෙමයි උනේ.

ඒ කාලේ අපි තුන්දෙනා ම වැඩියෙන්ම ආදරේ කලේ තාත්තට.

අක්කයි නංගියි තාත්තගෙන් ඇති වෙන්න ගුටි කාලා තිබුනත් අද වෙනකම් තාත්තා මට එක පාරක් වත් ගහලා නෑ.

මේ ලඟක් වෙනකම් ම සුනේත්‍රාගේ පූර්ව ජන්ම අපූර්වය සහ කර්ම අත්පොත කියවනකම්ම වගේ මම මේ ලොකේ තරහින් හිටියේ එකම එක්කෙනෙක් එක්ක.

ඒ තාත්තා එක්ක.

ලඟදී මගේ සොඳුරු ත්‍රස්තවාදියා විරුල් මගෙන් ඈත් වෙලා හිටපු මාස තුනට පස්සේ මට තේරුනේ මම තාත්තා එක්ක තරහා වෙන්න හේතුව.

මම තාත්තගෙන් ලොකූ ආදරයක් බලා පොරොත්තු උනා.

තාත්තගේ ව්‍යාපාරයට අනුව එක එක පලාත් වල තිබුනු ව්‍යාපෘති වලට ගියාම තාත්තා ගෙදාර එන්නේ සමහර විට මාසෙකින්, දෙකකින්, තුනකින්.

එහෙම කාලෙකින් එන තාත්තා අපිව හුරතල් කරයි කියලා මම නම් බලන් හිටියා.

සාලේ පැදුරක් එලාගෙන තාත්තා නිදා ගත්තාම පිට දිගේ ඇවිදින්න, පිටේ සුදු පාට බිබිලි කැඩුවාට එක බිබිලකට සත විසිපහ ගානේ අය කරන්න, තාත්තා පත්තරේ බලනකම් සරමේ ඔංචිල්ලා පදින්න . . .

මේ ඔක්කෝම හීන තාත්තා ගෙදර ආපු දා ඉඳන් වැඩි වෙලාවක් දේශපාලනය වෙනුවෙන් යොදවපු නිසා කැඩිලා බිඳිලා ගියාම තාත්තා ගැන තරහවක් ඉපදෙන්නේ නැතුව තියෙයිද?

ඒ ඔක්කෝම අතීතයේ කතා.

වර්තමානයේ මුනුබුරු මිනිබිරියෝ හත් දෙනෙක් ඉන්න සීයා කෙනෙක් වෙච්චි අපේ තාත්තට මුනුබුරු මිනිබිරියෝ බලන්න යන්න වෙලාවක් නැතත් කෙප්ප දෙසා බාන දේශපාලන රැස්වීම් වල කකුල් කෙඩෙත්තුව හැදෙන කම් හිටගෙන ඉන්න වෙලාව තිබ්බත් . . .

ඒ මුනුබුරු මිනිබිරියෝ හැමෝමත් උන්ගේ අම්මලා තාත්තා වගේම ආදරේ සීයට . . .

හැබැයි නොපෙන්නුවාට තාත්තාගේ හිතේ මගේ ගැනත් ලොකු ආදරයක් ඇති.

අපේ ගෙදර උන්දෑ නම් කියන්නේ එහෙම නැතිනම් කොහොමද ඔයා වලි දාන තරමට ඔයා එක්ක තරහක් ඇති කර ගන්නේ නැතුව ඉන්නේ කියලා. ඔයා කියන ජාති වලට කනට ගහන්නේ නැතුව හිනාවෙවී ඉන්නේ කියලා

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

පෙරේදා හවස නංගිගෙන් කෝල් එකක් ආවා.

"අයියේ තාත්තට හාට් ඇටෑක් එකක් ඇවිත් හෝමගම හොස්පිටල් එකේ නතර කලා"

කලින් දැනුනු හිරි වැටීම මෙද පාර නොදැනුනේ ඇයි?

මගේ හිතේ තාත්තා ගැන තිබුනු ආදරේ අඩුවෙලාද?

මම ළමයෙක් වගේ හිතන එක නතර කරලා වැඩිහිටියෙක් වගේ හිතන්න පටන් අරන්ද?

මගේත් රැවුල කොන්ඩේ සුදුවෙන්න පටන් අරන් එහෙම වයසට යන්න පටන් අරන් ඉන්න එකේ තාත්තාත් දැන් වයසයි කියලා මම හිතනවද?

මනෝකාය, මරණය හා සසර ප්‍රගමනය පොත ආපහු වතාවක් කියෙව්වට පස්සේ මාව ඕනෑම දුකක් වේදනාවක් ඉවසන්න තරම් නිර්වින්දනය කරලද?

"මම, මගේ කියලා මමත්වයකින් රැක ගන්න හදන දේවල් මගේ වෙන්නේ කොහොමද"

මගේ කියලා මම හිතාගෙන ඉන්න මගේ ශරීරය වත් මගේ නොවෙයි නම් . . . මගේ අය, මම ආදරය කරන අය, මට ආදරය කරන අය කියලා මම හිතාගෙන ඉන්න අය කරන දේවල් වලින් හිත රිදෝ නොගෙන ඉන්න ඒ පොතේ කරුනු හේතු වුනා තමයි.

කිසි දෙයක් නිසා ඕනවට වඩා සැලෙන්න නැතිව ඉන්න එක හොඳ දෙයක් උනත් මට වෙලාවකට හිතෙනවා එහෙම නොවී ඉන්න තිබ්බනම් කියලා . .

. . . . . . . . . . . . .

නංගීයි ඒ රෝහලේ වැඩ කරන මගේ මිතුරිය නදීගේ මල්ලී දොස්තර චමත් යි කියපු විදිහට තාත්තා ට සුව වෙමින් පවතිනවා. ඒත් සති ගානක් යනකම් බොහෝම පරිස්සම් වෙන්න වෙයිලු.

තාත්තාට ඉක්මනට සනීපවෙලා, ආපහු පරන සුපුරුදු පරිදි මට තාත්තා එක්ක වලි දාගන්න ලැබේවා.

Thursday, August 4, 2011

ඒ රටේ මිනිස්සු . . . !


අපි මෙහේ (ඩුබායි - අබුඩබි ) ඉන්න පිලිපීන් ජාතිකයින්ට හිනාවෙනවා මුන් උපයන ගාන වගේ දෙගුනයක් තුන්ගුනයක් ජීවත් වෙන්න වියදම් කරනවා ඇති කියලා. මුන්ට කිසිම බරපතලක් නැති දියුනු වෙන්න කිසිම උනන්දුවක් නැති ෂෝ එක විතරක් තියෙන සෙල්ලක්කාර ජාතියක් කියලා.

උන් අඳින්නේ ලකොස්ටේ, ලී කූපර්, ජෝර්ඩානෝ වගේ බ්‍රෑන්ඩඩ් ඇඳුම්මයි. දාන්නේ නයිකි, ඇඩිඩාස්, මෙරිල්, කොන්වර්ස් වගේ බ්‍රෑන්ඩ්ස් වල සපත්තු තමයි. ගාන්නේ සිමියාකි, ක්‍රිස්ටියන් ඩියෝර්, ඩන්හිල් වගේ සුවඳ විලවුන්. මැක්ඩොනල්ඩ්, කේඑෆ්සී, සබ්වේ වලින් කාලා ස්ටාර්බක්ස් වලින් කෝපි බීලා ෆුල්ම ෆන් එකේ(ෆන්ද ශෝද කියලා හරියටම කියන්න බෑ) ඉන්න ජාතියක්.

අපි සමහර වෙලාවට කියනවා පිල්ලෝ-පිල්ලියෝ මේ වගේ ජාතියක් නිසා ෆර්ඩිනන්ඩ් මාකෝස් - ඉමෙල්ඩා මාකෝස් වගේ මහජන මුදල් උඩ පිනුම් ගහන දේශපාලකයෝ බිහිවෙන්නේ නැතිනම් තමයි පුදුමේ කියලා.

. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

"සුළැඟිල්ලට කිරි එරෙන මාමා" කියලා මම දාපු පෝස්ට් එක කිවපු අයට මතක ඇති මම කිව්වා ඒ ලිපිය අපේ අක්කගේ ලොකු දූ අඩු වයසින් කසාද බඳින නිසා ඇති වුනු දුකට ලියවුනු එකක් වග.

මගේ අබුඩාබි රැකියාව නැති උනාට පස්සේ අපේ ගෙදර උන්දැයි සොඳුරු ත්‍රස්තවාදියයි ලංකාවේ ගිහින් පදිංචි වුනානේ. සතියකට පස්සේ ඩුබායි වලින් රැකියාවක් ලැබුනත් කොලුවව එහේ මොන්ටිසෝරියකට එහෙම දාලා කොලුවා ආසාවෙන් මොන්ටිසෝරි යන නිසා අපේ ගෙදර උන්දෑ කියන්නෙම තව ටික කාලයක් එහේ ඉන්නම් කියලමයි.

මේ මාසේ (අගෝස්තු මාසේ) නිවාඩු නිසා අපි කතාවුනා එහෙනම් මේ මාසේ වත් ආපහු ඩුබායි ඇවිත් ඉස්කෝලේ පටන් ගනිද්දී ආපහු කොල්ලයි අම්මයි යමු කියලා.

මෙහේ වසන්තයේදී උෂ්ණත්වය අම්බානකට ඉහල යන නිසා ඉස්කෝල වල වසන්තය නිවාඩුව මාස තුනක විතර දිගයි. දුමීගේ දුව ජනදිගෙයි පුතා තරුකගෙයි පාසැල් නිවාඩුව නිසා දුමීගේ ගමහාමිනෙයි දරුවෝ තුන්දෙනයි මේ දවස් ටිකේ ලංකාවේ.

අපේ ගෙදර උන්දෑවයි සොඳුරු ත්‍රස්තවාදියවයි මාසෙකට ආපහු ගෙන්න ගන්න ප්ලෑන් ගහද්දී තමයි දුමී කිව්වේ මාසෙකට ගෙවල් ගන්න ඕන නෑ අපේ ගෙදර අයත් නිවාඩු ගිහින් ඉන්න එකේ අපේ ගෙදර හිටපන් කියලා.

. . . .. . . . . . . . . . . . . . . . . . . . . . . . .

ගිය මාසේ දවසක් මමයි ලොක්කයි ව්‍යාපෘති රැස්වීමකට යන ගමන් මම ලොක්කට කිව්වා අක්කගේ දුවගේ මගුල් ගෙදරට සහභාගී වෙලා එන ගමන් මගේ ගෙදර උන්දෑවයි කොල්ලවයිත් එක්ක ඕන නිසා මට ලබන සතියේ සතියකට නිවාඩු යන්න ඕන බව.

"ලංකාවෙත් වසන්ත නිවාඩුවද" ලොක්කා ඇහුවා.

"මේ නිවාඩුවට අපි ඉස්සර කියන්නේ "සරුංගල් නිවාඩුව" මම කිව්වා.

"මගේ ගල්ෆ් ජීවිතයේ අත්දැකීම අනුව, පිලිපීන් ජාතිකයෝ හැරුනු කොට උන් වගේ ජොලියේ ඉන්න අනිත් ජාතිය තමයි ශ්‍රී ලාංකිකයෝ" ලොක්කා කිව්වා.

ඒක අගය කිරීමක්ද නැතිනම් අපි පිල්ලෝ ගැන කියනවා වගේ අපහාසයට කියපු ඇනුම්පදයක්ද තෝර බේර ගන්න බැරි උනු මම හ්හ්ම්ම්ම් අපි ශ්‍රී ලාංකිකයෝ සතුටින් ජීවත් වෙන්න කැමති සරල මනුස්සයෝ" කියලා ලාවට කියල දාල මාතෘකාව වෙනස් කලා.

. . . .. . . . . . . . . . . . . . . . . . . . . . . . .

සතියක් නිවාඩුව ගතකරලා ගිය 27වෙනිදා ආපහු ඇවිත් ඔෆිස් ගිය ගමන් මට එහා පැත්තේ මේසේ ඉන්න නගා ඇහුවේ "කොහොමද අයියේ ඡන්දේ" කියලා.

මට එතකොටයි මතක් උනේ චන්දයක් තිබ්බ බව. (ඡන්දේ දවසේ රස බර සිදුවීම් ටිකක් තියෙනවා. ඒවා පස්සේ වෙලාවක ලියන්නම්) අනේ නංගී ඡන්දයක් තිබ්බ බව නම් දන්නවා . . මොකා දින්නද මොකා පරාදද කියල නම් දන්නේ නෑ" කියලා

අපි රටින් පිට ඉන්න කොට රටේ සුලු සිදුවීමක් වුනත් මහා ලොකු දෙයක් වගේ පේනවා ඒත් රටේ ඉන්නකොට රට ඇතුලේ මහා ලොකු දෙයක් උනත් සුලු දෙයක් තරම් වත් දැනෙන්නේ නැති එක මාර දෙයක්නේ කියලයි මට හිතුනේ.

අපි මෙහේ ඉඳන් බනිනවා රටේ ඉන්නේ කිසිම හැඟීමක් දැනීමක් නැති, ඕනම ගොන් පාර්ට් එකක් එහෙයි කියලා හුරේ දාන මෝඩයෝ කියලා.

ලංකාවේ ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට ජීවිතේ ගැටගන්න ගන්න මහන්සියත් එක්ක රටේ ප්‍රශ්න ගැන සංවේදී වෙන්න බෑ කියලා කට්ටියක් කියනවා.

ඒත් ජීවිතේ ගැටගහගැනීම ලොකු ප්‍රශ්නයක් නොවන, දේශපාලනයට අම්බානක උනන්දුවක් තියෙන මමත් ලංකාවට ගියාම දෙනදේ කාලා වෙනදේ බලං දිහා බකන් නිලාගෙන ඉන්න එකෙක් වෙනවා.

එහෙම හිතුවාම මතක් උනේ අපේ ලොක්කගේ ඇනුම්පදේ වැරදිම නෑ නේද කියලා.

කවුරුහරි මට කිව්වොත් මගේ ගති ලක්ෂණ අනුව අනිත් සිරි ලාංකිකයොත් මම වගේ ම අය කියලා හිතලා සිරි දේසේ ගැන මක්කයි කියන්න පුලුවන් කියලා . . .

අම්මපා වෙඩි තිව්වත්, දේස දොරෝහියා කිව්වත් මට කියන්න හිතෙන්නේ "ලෝකෙන් උතුම රට ලංකාවයි . . .. ලංකාවයි සිරි ලංකාවයි" කියලා නම් නෙමේ ඕන් . . .

"ඒ රටේ මිනිස්සු . . . තනිකර කෙලින්නේ පිස්සූ . . .
අම්මපා ඕයි ඒ රටේ මිනිස්සු . . . තනිකර කෙලින්නේ පිස්සු . . . " කියලා තමයි . . .

Pic Taken from: http://olc.spsd.sk.ca/teachers/month/march/index.html

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails